පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, November 5, 2014

වයසට ගිය විට අපිව බලාගන්නට - වෘද්ධ චිකිත්සාව - Let's know about Geriatrics



අපේ අතපය හතර සවිමත්ව තිබෙන තරුණ කාලේ අපට කරන්න බැරි දෙයක් නෑ. ඒ නිසා අපි හිතෙන හිතෙන දේ කරනවා. හැමෝම එහෙමයි. නමුත් ජීවිතයේ සැඳෑ භාගය ටිකෙන් ටික එළැඹෙන්න පටන් ගත්තාම සමහර දේවල් ඉස්සර වගේ කරන්න බැහැ වගේ දැනෙන්න පටන් ගන්නවා. එතකොට දැනෙනවා අපි වයසට යනවා නේද කියලා. ඒක බොහෙත් අරන් සනීප කරන්න පුලුවන් විදිහේ අසනීපයක් නෙවෙයි. ඒ නිසා දවසින් දවස අපේ නොහැකියාවන්වල ලැයිස්තුව වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ. තව කාලයක් යනකොට අපට අපේ දේවල් තනිවම කරගන්න බැරි වෙනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. සමහර දේවල්වලට කවුරු හරි උදව් කරනවා නම් හොඳයි කියලා හිතෙනවා. මේක තමයි ජීවිතයේ ස්වභාවය. මේ වගේ වයසකට පත් වුණාම ඒ අය ගැන විශේෂයෙන් හොයා බලන්න ඕන. සාමාන්‍ය ලෙඩ රෝගවලට අමතරව මේ වගේ වයසක ඉන්න අයට වැළඳෙන විශේෂ ලෙඩරෝග තියෙනවා. ඒවා ගැන අවබෝධයෙන් ඉන්න කෙනෙක් අපේ ළඟ ඉන්නවා නම් හොඳයි කියලා හිතෙන්න පුලුවන්. ජීවිතය මේ වගේ අවධියකට පත් වුණු කෙනෙක් ගැන, ඔහුගේ හෝ ඇයගේ සෞඛ්‍යය, දුක සැප ආදී දේ ගැන හොයා බලන එක ආදිය හඳුන්වන විශේෂ නමක් තිබෙනවා. ඒ තමයි වෘද්ධව චිකිත්සාව’ (Geriatrics). මෙහිදී සිදුවෙන්නේ වයස්ගත පුද්ගලයන්ගේ සෞඛ්‍යය ගැන සැළකිලිමත් වෙන එකයි. අපි කතා කරන්න යන්නෙත් ඒ ගැනම තමයි.

වෘද්ධව චිකිත්සාවෙන් කෙරෙන්නේ ඉහතින් සඳහන් කළා වාගේ මහලු අයගේ සෞඛ්‍යය ගැන සොයා බැලීම. ඒ වගේම වයස්ගත පුද්ගලයන් රෝගවලින් වළක්වාගෙන, ඔවුන්ගේ නොහැකියාවන්ට ප්‍රතිකර්ම සිදුකිරීම ගැනත් මෙහිදී කියැවෙනවා. ආයුර්වේදයේ ජරා/රසායනනමින් හඳුන්වනු ලබන්නේත් මේ තත්වයමයි. කොහොම නමුත් බටහිර වෛද්‍ය විද්‍යාව වෘද්ධ චිකිත්සාව ගැන සදහන කරන්න බොහෝ කලකට පෙර ආයුර්වේදයේ මේ බව සඳහන් කොට තිබෙනවා. ඉංග්‍රීසි බසින් මෙය හඳුන්වන් යෙදුමේ මුල් පදයේ අඩංගු වන geri බිඳී ඇත්තේ ආයුර්වේදයේ මෙය හඳුන්වන ජරායන්නෙන් බව බොහෝ දෙනෙකුගේ මතයයි. වෘද්ධ චිකිත්සාවට හෝ වෘද්ධ චිකිත්සක වෛද්‍යවරයෙකු (geriatric physician) කරා යම්කිසි පුද්ගලයෙකු යොමු කළ යුත්තේ කුමන වයසකදී ද කියන එක ගැන නිශ්චිත අදහසක් නැහැ. ඒක තීරණය වෙන්නේ එක් එක් පුද්ගලයාගේ තත්වය ගැන සැළකිලිමත්වීමෙන් පසුවයි.

වයස්ගතවුණු පුද්ගලයෙකුගේ සිරුර තරුණ පුද්ගලයකුගේ සිරුරට වඩා බොහෝ වෙනස්. වයස්ගත වෙද්දී අපේ ශරීරයේ බොහෝ ක්‍රියාකාරීත්වයන් අඩපණ වෙන්න පටන් ගන්නවා. බොහෝ අවයව හා ඉන්ද්‍රියයන්  අක්‍රියාකාරී වෙන්න පටන්ගන්නවා. ඒ ඒ පුද්ගලයාට ආවේණික ලෙඩ රෝග නිසා මේ තත්වයේ තවත් වෙනස්කම් සිදුවෙන්නට පුලුවන්. උදාහරණයක් විදිහට ජීවිතයෙන් වැඩි කාලයක් දුම්පානය කළා නම් ඔහු හෝ ඇය අනෙක් වයස්ගත අයට වඩා හුස්ම ගැනීමේ ආබාධවලින් පෙළෙන්න පුලුවන්. වෘද්ධ චිකිත්සාවෙදි සිදුවන්නේ වයස්ගත පුද්ගලයකු තුළ යහපත් සෞඛ්‍යයක් පවත්වාගැනීමට හැකි සියලු දේ සිදුකිරීමයි.

වයස්ගත පුද්ගලයන්ට ඖෂධ ලබාදීමේදී විශේෂ සැළකිල්ලකින් කටයුතු යොදන්න වෙනවා. මේ වගේ වයසක ඉන්න බොහෝ දෙනෙක් බහු ඖෂධකියන තත්වයට පත්වෙන්න පුලුවන්. ඒ කියන්නේ මේ වගේ වයසක ඉන්න කෙනෙක් ලෙඩ රෝග කිහිපයකට එකවර ප්‍රතිකාර ගන්න කෙනෙක් වෙන්න පුලුවන්.  එවිට ඔවුන් එකවර ඖෂධ වර්ග ගණනාවක්ම ලබාදිය යුතු අය වෙන්න පුලුවන්. මෙසේ ගන්නා ඖෂධ වෛද්‍යවරයකු විසින් නියම කළ ඒවා වගේම එසේ නොවන ඒවා වන්නටත් පුලුවන්. මේ ආකාරයට එකවර ඖෂධ ගණනාවක් ලබාදීමේදී සෑම වයෝවෘද්ධ පුද්ගලයන් 25 දෙනෙකුගෙන් එක් අයෙක්ම ඖෂධ කලවම්වීම නිසා ඇතිවන ආබාධි තත්වයට පත්වෙන්නට හැකියාව තිබෙනවා. ඖෂධ වැඩි වශයෙන්ම පරිවෘත්තීය ක්‍රියාවන්ට බඳුන්වන්නේ වකුගඩුවේදී හෝ අක්මාවේදීයි. වකුගඩු හා අක්මාව වයෝවෘද්ධ තත්වයකදී වැඩි වශයෙන් ආබාධයන්ට ලක්විය හැකියි. ඒ නිසා ඖෂධ ලබාදීමේදී විශේෂයෙන්  සැළිකිලිමත් විය යුතුයි.

ඇතැම් විට වයෝවෘද්ධ පුද්ගලයන්ට වැළඳෙන ලෙඩ රෝග පවතින්නේ දරුණු තත්වයේ නොවෙයි. ඒ පුද්ගලයාම තරුණ වියේ පසුවද්දී මෙවැනි ඇතැම් ලෙඩ රෝග සඳහා ප්‍රතිකාරයක් පවා ලබා ගන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි සෙම්ප්‍රතිශ්‍යාව ගැන හිතුවොත් තරුණ කාලේ නම් මෙයට ප්‍රතිකාර ගන්නේ නැහැ. නමුත් වයෝවෘද්ධ පුද්ගලයකු සම්බන්ධව එසේ කටයුතු කරන්න බැහැ. ඔවුන්ගේ ශරීරවල මෙවැනි ලෙඩ රෝගවලට එරෙහිව සටන් වදින්නට තරම් ශක්තියක් නැතිවෙන්න පුලුවන්. ඒ වගේම ඇතැම් වයෝවෘද්ධ පුද්ගලයනට තමන්ගේ ලෙඩරෝග ගැන විස්තර කරන්න තරම් හැකියාවක් නැහැ. ඔවුන්ගේ සන්නිවේදන හැකියාව කෙමෙන් දුර්වල වීම එයට හේතුවයි. කෙසේ නමුත් මේ ලෙඩ රෝගවලට මූලික හේතුව සොයාගත්තොත් ඒවාට ප්‍රතිකාර කරන්නත් පහසුයි.

වෘද්ධ චිකිත්සක යෝධයෝ (Geriatric giants)

මෙය ද වයෝවෘද්ධ පුද්ගලයන් අතර දක්නට ලැබෙන සාමාන්‍ය දෙයක්. මෙවැනි තත්වයකට පත්වන්නේ ඔවුන්ගේ නොහැකියාවන්ගේ ප්‍රමාණය ඉහළ යාම නිසයි. ඇතැම් අයට තනිව ඇවිදගන්නට බැහැ. තනිව සිය වැඩකටයුතු කරගන්නට බැහැ. සංයමය බිඳී යනවා. මතකය දුර්වල වෙනවා.

වයෝවෘද්ධ පුද්ගලයන් අතර දක්නට ලැබෙන පොදු ගැටලු අතර පෙනීම හා ඇසීම දුර්වලවීම සඳහන් කරන්න පුලුවන් ඇසීම, එසේත් නැත්නම් ශ්‍රවණය දුර්වල වීම නිසා ඔහු හෝ ඇය සමාජයෙන් වෙන් වී හුදෙකලා තත්වයකට පත්වෙන්න පුලුවන්. දොම්නස වැනි මානසික තත්වයන් ඇතිවිය හැකියි. බාහිර තොරතුරු ලැබෙන්නේ නැහැ. වෙනත් අයකු සමඟ අදහස් හුවමාරු කරගන්නට අවස්ථාවක් නැහැ. පෙනීම දුර්වලවීම නිසා වයෝවෘද්ධ පුද්ගලයකු තමා ඉදිරියේ ඇති දෙය නිවැරදි දකින්නේ නැහැ. ඖෂධ ආදිය වැරදි ආකාරයෙන් ගන්න ඉඩ තියෙනවා. යමක් පිළිබඳ විස්තර කියවගන්න බැහැ. බොහෝ දේ අවුල්වන්න තියෙන ඉඩකඩ වැඩියි.

වෘද්ධ චිකිත්සාව යනුවෙන් හැඳින්වෙන්නේ වෛද්‍ය විද්‍යාවේ එක් ප්‍රධාන ක්ෂේත්‍රයක්. බටහිර හා ලෝකයේ වෙනත් දියුණු රටවල් බොහොමයක වෘද්ධ චිකිත්සාව ඉතා දියුණු මට්ටමක පවතිනවා. නමුත් අපේ රටේ තවම එවැනි තත්වයක් නැහැ. සංඛ්‍යා ලේඛනවලින් හෙළිවී තිබෙන ආකාරයට අපේ රටේ ආයු අපේක්ෂණය වර්ධණය වී තිබෙනවා වාගේම වැඩිහිටි ජනගහනත් ඉහළ ප්‍රතිශතයකින් පවතිනවා. වසර 2031 වන විට අපේ රටේ සමස්ථ ජනගහනයෙන් 14%ක් දක්වා මෙය වර්ධනය වන බවයි කියැවෙන්නේ. මෙවැනි තත්වයක් යටතේ වෘද්ධ චිකිත්සක පහසුකම් ලබාගැනීමට අවශ්‍ය බොහෝ දෙනෙකු සිටියත් පසුගිය ඔක්තෝබර් 30 වැනිදා ඩේලි නිව්ස් පුවත්පතේ අන්තර්ජාල සංස්කරණයේ සඳහන් ව තිබුණේ අපේ රටේ තවමත් වෘද්ධ චිකිත්සක උපදේශනය සම්බන්ධ එක් වෛද්‍යවරයකු හෝ නොමැති බවයි. කෙසේ නමුත් 2014 නොවැම්බර් 13 වැනිදා  ශ්‍රී ලංකා වෘද්ධ චිකිත්සක සංගමය’ (Sri Lanka Association of Geriatric Medicine) සිය මංගල සැසිවාරය පැවැත්වෙන බව දැනගන්නට ලැබුණා. එය හොඳ ආරංචියක්. ලෝක වැඩිහිටි දිනයට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පවත්වන ලද සම්මන්ත්‍රණයකදී රාගම ශික්ෂණ රෝහලේ උපදේශන වෛද්‍ය අචලා බාලසූරිය මහත්මිය සඳහන් කළේ තව වසර කිහිපයකින් අප රටේ ද වෘද්ධ චිකිත්සක වෛද්‍යවරුන්ගේ සේවය ලබාගැනීමට හැකිවන බවයි. මේ සඳහා ඩිප්ලෝමා පාඨමාළාවක් ක්‍රියත්මක වන බවත් දැනටමත් වෛද්‍යවරු 13 එය අවසන් කොට ඇති බවත් තවත් 16 දෙනෙක් එය හදාරමින් සිටින බවත් ඇය සඳහන් කළා.

මෙය වෘද්ධ චිකිත්සාව සම්බන්ධව අප රටේ ඇතිවී තිබෙන යහපත් තත්වයක් බව සඳහන් කළ යුතුයි. වැඩිහිටියන්ට සැලකීම අපේ සංස්කෘතියේ උරුමයක් වගේම විශේෂ ලක්ෂණයක්. වෘද්ධ චිකිත්සාව පිළිබඳ ජනතාව දැනුවත්ම සිටීමත්, ඒ සඳහා පහසුකම් සැලසීමත් වගකිව යුතු අංශවල කාර්යභාරයක්. රටකට අනාගතයක් නිර්මාණය කළ වැඩිහිටියන්, ඔවුන් වෘද්ධභාවයට පැමිණි විට රැකබලාගැනීම අප සියලු දෙනාගේම යුතුකමක්.


2 comments:

  1. අවුරුදු 85 ක ආච්චිලාවත් දුෂනය කරන අපේ රටේ මිනිස්සුන්ට කොහෙද සංස්කෘතියක්

    ReplyDelete
    Replies
    1. ඒ කතවෙත් ඇත්ත.් තියෙනවා. ඒත් ඒ අතරෙම වැඩිහිටි දින, මව්වරුන්ගේ දින, පියවරුන්ගේ දින ආදිය තිබුණත් නැතත් තමන්ගේ වැඩිහිටියන්ව ආදරෙන් රැක බලාගන්න පරපුරක් තවමත් අපේ රටේ ඉතිරිවෙලා ඉන්නවා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න