“අපේ රටේ තරම්
ග්‍රහයන්ට බය ජනතාවක් මුළු ලෝකයේම නැහැ”
වර්තමාන ශ්‍රී ලාංකීය ජන සමාජයේ පැන නැඟී
ඇති සමාජ සංස්කෘතික ගැටලු අර්බුද සම්බන්ධයෙන් අභීතව හා විවෘතව අදහස් පළ කරමින් ඒ
සඳහා ධර්මානුකූල විසඳුම් ඉදිරිපත් කරන යතිවරයාණන් වහන්සේ නමක ලෙස අනුරාධපුර
මිරිසවැටිය රාජමහා විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමිපානෝ බොහෝ
දෙනෙකුගේ අවධානයට ලක්ව හිඳිති. එනිසා පසුගිය නොවැම්බර් දෙවැනිදාට යෙදුණු, ශ්‍රී ලාංකීය
ජනතාව බියට පත් කළ සෙනසුරු මාරුව
සම්බන්ධයෙන් මැදහත් විචාරයක යෙදෙන මෙන් අපි උන් වහන්සේගෙන් ඉල්ලා සිටියෙමු.
ස්වාමීන්
වහන්ස, පසුගිය
නොවැම්බර් දෙවැනිදාට යෙදුණු සෙනසුරු මාරුව අපේ සමාජයේ විශාල ආන්දෝලනයකට
තුඩුදුන්නා. නමුත් ඒ කරුණ මෙතෙක් මැදහත් විචාරයකට ලක් වී නැහැ.
ඒකාන්ත
වශයෙන්ම ඒක මැදහත් විචාරයකට ලක්විය යුතු කාරණයක්. මොකද ඉතිහාසෙ කිසිම දිනයක ග්‍රහ
මාරු සම්බන්ධව ඇති නොවුණු භීතියක් දැන් දැන් මෙරට පොදු ජන විඥානයේ සනිටුහන් වෙලා
තියෙනවා. මේක සුළුවෙන් ගත යුතු කාරණයක්
නෙවෙයි. පසුගිය දවසක ගාල්ලේ මනෝ වෛද්‍ය රුමී රූබන් මහත්තයා අපට දුරකතනයෙන් කතා කළ
වෙලාවක කිව්වා පහුගිය නොවැම්බර් දෙවැනිදා ගාල්ල ප්‍රදේශයේ වෙසක් උත්සවයකදී වගේ
පහන් දල්වලා තිබුණා කියලා. ඒකට හේතුව සෙනසුරුගේ අපලවලින් මිදීම සඳහා පහනක් දල්වන්න
කියලා කවුරුහරි ජ්‍යොතීර්වේදියෙක් මාධ්‍ය මගින් කියා තිබීම වෙන්න පුලුවන්.
සෙනසුරු
මාරුවට මිනිසුන් මෙසේ බියවීම යුක්ති සහගත නොවේය කියාද ඔබ වහන්සේ සිතන්නේ?
ජ්‍යොතිෂ්‍යය
කියන්නේ පුරාණ වෛදික සාහිත්‍යයේ වේදාංගවලට අයිති විෂයක්. මෙය පුරාණ වේදයේ උපවේද
ගණයටවත් අයිති වුණේ නැහැ. උපවේද කියන්නේ මිනිසාගේ ලෞකික සමෘද්ධිය පිළිබඳව වූ විද්‍යා
ශාස්ත්‍ර. පැරණි භාරතයේ ආයුර්වේදය,
ධනුර්වේදය, ගාන්ධර්වවේදය හෙවත්
සංගීත ශාස්ත්‍රය සහ ස්ථාපත්‍යවේදය හෙවත් ශිල්පවේදය යන සතර මිනිසාගේ ලෞකිකත්වය
තහවුරු කෙරෙන උපවේද ගණයට අයත් වුණා. නමුත් අතීත ජ්‍යොතීර්වේදය අයිති වුණේ වේදය
සඳහා යොදාගත හැකි උපකාරක අංග හෙවත් වේදාංග හැටියටයි. ශික්ෂා, කල්ප, ව්‍යාකරණ, නිරුක්ති, ඡන්දස්, සහ ජ්‍යොතිෂ්‍ය තමයි ඒ
වේදාංග හය. ජ්‍යොතිෂයේ පදනම වැටිලා තියෙන්නේ තියෙන්නේ රවි, සඳු, කුජ, බුධ, ගුරු, ශනි, සිකුරු කියන භෞතික ග්‍රහයන්
හත් දෙනාත්, ඒ වගේම රාහු,
කේතු යන සංකල්පීය ග්‍රහයන්
දෙදෙනාත්, පෘථිවිය වටා
පරිභ්‍රමණය වනවාය කියන කල්පිත සිද්ධාන්තය මුල්කරගෙනයි. ඒ අනුව අපට සිතන්නට
තියෙන්නේ ජ්‍යොතිෂ්‍යය පහළ වූ දා සිටම මේ ක්‍රියාවලිය පිළිබඳ සිද්ධාන්ත සකස් වී
ඇති බවයි. නමුත් තාරුකා විද්‍යාවට අනුව වුවත් සෙනසුරු මාරුව වැනි ග්‍රහ මාරු
අනාදිමත් කාලයක සිට, නොඑසේ නම්
විශ්වය පහළ වූ දි සිටම සිදුවී තිබෙනවා. නමුත්
මේ ග්‍රහ මාරු ගැන අතීත සමාජය අද තරම් බියෙන් තැති ගත්තේ නැහැ.
ස්වාමීන්
වහන්ස, මොකක්ද ඒ වෙනස?
සෞරග්‍රහ
මණ්ඩලයේ එක් ග්‍රහයෙක්වත් කිසිම මොහොතක නිශ්වලව එක තැන රැඳෙන්නේ නැහැ. ඒ නිසා මේ
ග්‍රහ මාරු කියන ඒවා ඉතා ස්වභාවික, ඒ වගේම නිරන්තරවම සිදුවන ක්‍රියාදාමයන්. අපි දැනට දශක
දෙක තුනක් ආපස්සට ගිහින් බලමු. ඒ කාලේ ග්‍රහ මාරු ගැන ජනතාව අද වගේ බියෙන් තැති
ගත්තද? ඒ කාලේ ජනතාව තැති ගත්තේ නැහැ. ඒ කාලේ ග්‍රහ
මාරු කියන ඒවා ගැන කිසිම ජාතික පුවත්පතක ලොකුවට සඳහන් වෙලා තිබුණෙත් නැහැ. මොකද ඒ
කාලේ ග්‍රහයෝ කියලා ජාතියක් හිටියේ නැද්ද? ඒ ග්‍රහයෝ එක තැන නැවතිලා හිටියද? නැහැ නේ. අද වගේම ග්‍රහයෝ
හිටියා. ඕනෑ තරම් මාරු වුණා. නමුත් එදා ජනතාවට ඒක වැදගත් දෙයක් වුණේ නැහැ. නමුත්
අද සිදුවෙන ග්‍රහ මාරු කියන සංකල්පය ජනතාවට ඉතා වැදගත් කාරණාවක් බවට පත්වෙලා තියෙනවා.
ඒ නිසාම ග්‍රහ මාරුවකට මාස ගණනකට පෙර සිට ජනමාධ්‍ය ඒ ග්‍රහමාරුව මුල්කොට ජනතාව
බියවද්දන්න පටන් ගන්නවා. ග්‍රහමාරුව
සිද්ධවෙන දවසේ ලංකාවේ බොහෝ ජනමාධ්‍ය ආයතන තමන්ගේ දිනපතා වැඩසටහන් පවා වෙනස්
කරලා ඒ ග්‍රහ මාරුව දිහා බලාගෙන ඉන්නවා. ඒකට හේතුව අද ග්‍රහයන් නිසා අපේ රටේ ජනතාව
අනවශ්‍ය පීඩනයකට ලක්වීමයි. මේක ලක්වීමකටත් වැඩිය ‛ලක් කිරීමක්’ කිව්වොත් තමයි හරි. අතීතයේ ජනතාව ග්‍රහයන්
සම්බන්ධව මේ වගේ පීඩනයකින් ජීවත් වුණේ නැහැ.
මෙයට හේතුව
මොකක්ද ස්වාමීන් වහන්ස?
මෙතන තියෙන්නේ
ග්‍රහයන්ගේ වරදක් නෙවෙයි. මේකට හේතුව තමයි අපේ ශ්‍රී ලාංකීය ජනසමාජයේ ඇති ආකල්පමය
පිරිහීම. වඩාත් අවධාරණයෙන් කියනවා නම් ශ්‍රී ලාංකික බෞද්ධ ජනසමාජයේ ආකල්ප තමයි මේ
පරිහානියට ලක්ව තිබෙන්නේ. අපේ රටේ මුස්ලිම් ප්‍රජාවවත්, සිංහල ක්‍රිස්තියානි ප්‍රජාවවත් මේ ග්‍රහමාරු
පිළිබඳ තැකීමක් කරන්නේ නැහැ. එනිසාම ඔවුන්ගේ ජීවිත අසාර්ථක වන්නෙත් නැහැ. නමුත් ශ්‍රී
ලාංකික බෞද්ධ ජනසමාජයේ ග්‍රහයන්ට ඇති බය දවසින් දවසම වැඩි වෙනවා. ජනමාධ්‍ය ද මේ
ඇති බය වැඩිකිරීමට ලොකු පිටිවහලක් ලබාදෙනවා. මේ අර්බුදය දඩමීමා කරගත් ජ්‍යොතිෂ්‍ය
ජාවාරම්කාරයන් අසරණයන්ගේ මේ භීතිය පදනම් කරගෙන කෝටිපතියන් බවට පත් වී සිටිනවා. මම
ඉතා පැහැදිලිවම කියනවා අපේ රටේ ජනතාව තරම් ග්‍රහයන්ට බය ජනතාවක් මේ මුළු ලෝකයේම නෑ
කියලා.
ස්වාමීන්
වහන්ස අතීතයට සාපේක්ෂව වර්තමාන ජනතාව තුළ ඒ බය වැඩීවීමට හේතුව මොකක්ද?
අතීතයේ අපේ
රටේ මිනිස්සු එලොව මෙලොව කෙරෙහි සමතුලිත ලෙස සිතා තමන්ගේ ජීවිත තුලනය කරගන්නට
පුරුදුව සිටියා. එනිසා අතීතයේ මිනිස්සු ගත කළේ ඉතා සැහැල්ලු, සැනසිලිදායී ජීවිත.
ඔවුන් ජ්‍යොතිෂය වුණත් බරපතල ලෙස ගණන් ගත්තේ නැහැ. අතීත ගැමි සමාජයේ ජීවත් වූ
සිංහල බෞද්ධ ගැමියා ඕනෑම දෙයක් සැහැල්ලුවෙන් භාරගන්නට පුරුදුවෙලා හිටියා. මෙහිදී
මංගල සූත්‍රයේ එන ගාථාවක් සඳහන් කළ හැකියි.
‛පුට්ඨස්ස ලෝක
ධම්මෙහි
චිත්තං යස්ස න
කම්පති
අසෝකං විරජං
ඛේමං
ඒතං මංගල
මුත්තමං’
ඒ කියන්නේ මේ
ලෝක ධර්මතාවයන් පිළිබඳ කම්පනයකින් තොරව රහතන් වහන්සේලා වගේ ඉන්න පුලුවන් නම් ඒක
මංගල කාරණයක් කියන එකයි. අතීත ජන සමාජයේ තිබුණු ඒ මංගල ස්වභාවය වර්තමාන ජනසමාජයේ
අවමංගල්‍යයක් බවට පත්වෙලා. අද අපේ ජනතාව මෙලොව ගැන පමණක් සිතන ‛ලෝකායත පැවැත්ම’ (Secularization) මුල්කොට අගතියට
පත්වෙලා. කොටින්ම අද අපේ ජනතාව ජීවත්
වෙන්නේ වේලිච්චි ගෙඩි තියෙන පොල් ගහක් යටින් යනකොට ඔලුවට කොයි මොහොතක හරි පොල්
ගෙඩියක් කඩා වැටේදෝ වගේ බයකින්. ඒ වගේ තමයි අද සමාජයේ බොහෝ දෙනෙක් ග්‍රහ අපල ගැන
හිතන්නෙත්. මේක පුද්ගල හා සමාජ සංවර්ධනයට ප්‍රබල බාධාවක්.
බුදු දහමට
අනුව මේ ග්‍රහ අපල ගැන කොහොමද සඳහන් වෙන්නේ?
ලෝකයේ පවතින
සියලුම ආගම් අතරින් පුද්ගලයාගේ ස්වාමිත්වයට උපරිම වටිනාකමක් හිමිකරදෙන බුදු දහමින්
ග්‍රහයන්ගේ අපල වැනි විශ්වාස හුදෙක් මිථ්‍යාවන් සේ සැළකෙනවා.
බුද්ධකාලයේත්
ග්‍රහයන් පිළිබඳ විශ්වාසය තිබුණා නේද ස්වාමීන් වහන්ස?
බුද්ධ කාලය වන
විට ජ්‍යොතිෂ්‍යය මුල්කරගෙන නැකැත් ශාස්ත්‍රයක් තිබුණා. ඒක බුද්ධ දේශනාවේත් සඳහන්
වෙනවා. ඛුද්දක නිකායේ සුත්ත නිපාතයේ
මහානිද්දේස පාලියේ බුදුහාමුරුවෝ මෙන්න මෙහෙම දේශනා කරලා තියෙනවා.
“නැකත් කියන්නෝ
නැකත් දක්වනවා. නැකත් විසි අටක් තියෙනවා. ඒ ගෙට ගෙවදින්න, කිරුළු පළදින්න,
ආවාහ විවාහ කරගන්න,
බීජ වපුරන්න, පැළ සිටුවන්න, සංවාසයේ යෙදෙන්න ආදී
වශයෙන්.”
නමුත් බුදුහාමුදුරුවෝ
දේශනා කරනවා තෙරුවන් කෙරෙහි අචල විශ්වාසයක් දරන අය මේ නැකත් පිළිපදින්නේ නැහැ
කියලා. ඒ වගේම එසේ නැකත් පිළිපදින්නවුන් බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ ‛බාලයන්’ යනුවෙන්.
ස්වාමීන්
වහන්ස ජ්‍යොතිෂ්‍යයට අනුව පැවසෙන මිනිසාගේ දෛවය පිළිබඳ බුදුදහමේ සඳහන් වන්නේ කොහොමද?
අපි
තිරිසනුන්ට වඩා දියුණුයි, ශ්‍රේෂ්ඨයි,
උතුම් කියලා කියනවානේ.
නමුත් තිරිසනුන්ට වඩා අයහපත් අංගත් මිනිසුන් තුළ පිහිටලා තියෙනවා. භීතිය
සම්බන්ධයෙන් ගත්තොත් තිරිසනුන්ට ඇත්තේ එක්තරා භීතියක් පමණයි. නමුත් මිනිසුන් වන
අපට අපේ භීතිය විවිධාංගීකරණය වෙලා තියෙනවා. ඔය දෛවය කියන දේ අපේ සහජතාවයන් අතරට
එක් වී තිබෙන්නෙත් ඒ අමතර භීතිය නිසයි.
ස්වාමීන්
වහන්ස, ඒ පිළිබඳව තව
ටිකක් විස්තර කළොත්.
මිනිසුන් වන
අපට පාරිසරික භීතියට අමතරව අනාගත භීතියකුත් තිබෙනවා. තිරිසනුන්ට තිබෙන්නේ පාරිසරික
භීතිය පමණයි. මස් කඩයට ඇදගෙන යන ගවයා මර බයෙන් දඟළන්නේ තමන් මුහුණ දෙන පාරිසරික
අත්දැකීම අනුව මරණ සංඥාවක් හිතට දැනෙන නිසයි. එසේ නොමැතිව ඉදිරි වසරේ තමන්ට පිදුරු,
පුන්නක්කු, තණකොල නැතිවෙයිද? තමාට සහවාසයට
වැස්සියක් නොලැබේද, වැනි කිසිම
බියක් උන්ට නැහැ. නමුත් මිනිසුන් තුළ ආහාර, ඇඳුම් පැළඳුම්, වාසස්ථාන, ලිංගිකත්වය, රෝග පීඩා, වියපත්වීම, මරණය ආදිය පිළිබඳව වගේම මරණයෙන් මතු අනාගතය
පිළිබඳවත් අනියත බියක් පවතිනවා. මේවා කෙසේ විසඳේද යන්න පිළිබඳ අවිනිශ්චිත බවක්
මිනිස් සිත්වල නිසර්ගයෙන්ම රැඳී තිබුණා. ඒ සඳහා ලෝකයේ මුලික පැරණි ආගම්වලින්
මිනිසාගේ අනාගත භීතිය සඳහා පහසු, පොදු විසඳුමක් ඉදිරිපත් කළා. ඒ තමයි මේ ලෝකය පාලනය කරන දෙවියකු සිටිනවාය,
ඒ දෙවියන්ගේ කැමැත්ත
පරිදි ඔබේ අනාගතය විසඳෙනවාය, ඒ නිසා ඔබ කළ
යුත්තේ ඔබේ ජීවිතාන්තය දක්වාත්, මරණයෙන්
පසුවත්, ඔබට යහපතක්
උදාකරගැනීම පිණිස ඒ දෙවියන් කැමති ආකාරයකට දෙවියන්ට අනුගතව සිටින එකය කියා ඒ
ආගම්වලින් පැවසුණා.
නමුත්
ස්වාමීන් වහන්ස බෞද්ධයන්ට, දෛවය පිළිගැනීමට බුදුදහමෙනුත් නියමකොට තිබෙනවා නේද?
දෛවය යන
සංකල්පය බුදු දහමේ කොතැකන හෝ සඳහන් වන්නේ නැහැ. දෛවය (Destiny) යන්නෙහි තේරුම ‛දෙවියන්ගෙන් පැමිණි දෙය’ යන්නයි. සංස්කෘතයෙහි දෛවය පිළිබඳ නිරුක්තිය
දක්වා ඇත්තේ ‛දේවේභ්‍යඃ
ආගතඃ දෛව්යයඃ’ යනුවෙන්.
නමුත් ලෝකය පාලනය කරන දෙවි කෙනෙකු සිටිනවාය කියන සංකල්පය මුළුමනින්ම පිටු දකින
බුදුදහම දෛවය කියන සංකල්පයත් ඉඳුරාම බැහැර කරනවා.
එතකොට
ස්වාමීන් වහන්සේ ‛කර්මය’
කියන එක?
‛කර්මය’
කියන්නේ ‛චේතනාව මුල්කොටගත් ක්‍රියාදාමයට’.
නමුත් අපේ ජනවහරේ එන ‛කරුමය’ කියන්නේ ඔය අබෞද්ධ
දෛවයටමයි. එයට ඉංග්‍රීසි බසින් Fate කියා
කියනවා. අපි බුදුදහමේ කර්ම ශක්තිය පිළිබඳ
සඳහන් කළත් ‛කරුමය’
යන්න පිළිබඳව බෞද්ධ
ඉගැන්වීම්වල කිසිම තැනක සඳහන් වන්නේ නැහැ. කර්ම ශක්තිය මැඩ පැවැත්වීමට, අවම කරගැනීමට හැකි බව
බුද්ධ දේශනාවේ සඳහන්. නමුත් ඔය ‛දෛවය’ හෝ ‛කරුමය’ වැළැක්විය නොහැක්කක්
බවයි පැවසෙන්නේ.
එසේ නම්
ස්වාමීන් වහන්ස ග්‍රහයන්ගෙන් විපත් පැමිණීම පිළිබඳව බෞද්ධයන් තැකීමක් කළ යුතු
නැද්ද?
නවග්‍රහයන්ගෙන්
මිනිසාට විපත් පැමිණෙනවා යැයි පැවසෙන විශ්වාසය බුදු දහමට අනුව අර්ථ දක්වන්නේ ‛මිච්ඡා දිට්ඨි’
හෙවත් වැරදි දැක්මක්
හැටියටයි. වැරදි දැක්මකින් යමක් නිවැරදිව බලාගන්න පුලුවන් නම් අප ග්‍රහයන්ට බිය
වුණාට කමක් නැහැ. ජාතක පාලියේ ‛නක්කත්ථ ජාතකට්ඨ’
කතාවේ එන අප කවුරුත්
දන්නා ‛කිං
කරිස්සන්ති තාරකා’ යන ගාථාවේ
තේරුම තමයි ‛නක්ෂත්‍රය
පිළිගන්නා බාලයෝ අර්ථය, යහපත ඉක්මවා
කටයුතු කරති. නැකත යනු යමක් සඳහා වූ සුදුසුම වෙලාවය. ග්‍රහ තාරකාවෝ කුමක් කෙරෙත්ද?’
කියන එක.
ඔබ වහන්සේට මේ
පිළිබඳව පෞද්ගලික අත්දැකීම් තිබෙනවාද?
ඕනෑ තරම්
තිබෙනවා. මා ඉන් එකක් කියන්නම්. ග්‍රහයන්ගේ බලපෑම් නිසා තමන්ට බලවත් අපල කාලයක්
උදාවී ඇතැයි බියට පත්ව සිටි විනිසුරුතුමකු තමන්ගේ රාජකාරිය පවා අතපසුකොට මා හමුවට
පැමිණියා. මම එතුමාට ධර්මානුකූලව කරුණු පැහැදිලි කළා. සිත ශක්තිමත් කරගැනීම, ශක්තිමත් සිත දමනය
කිරීම, අනුන්ට අවංකවන
අතරේම තමන්ගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීම, සදාචාරත්මකව ජීවත්වීම වැනි කරුණු ගැන මා
එතුමා දැනුවත් කළා. ඒ තුළින් ගොඩනැගුණු චිත්ත ශක්තිය ඔස්සේ එතුමා ඒ ‛අපල’ කාලය තුළ තමන්ගේ පවුල්
ජීවිතයේ ඒ වෙනකොට තිබුණු අඩුපාඩුත් සම්පූර්ණ කරගෙන තනතුරිනුත් ඉහළ ගිහින් ජීවිතයේ අතිශය සාර්ථකත්වයට පත් වුණා. පසුව
එතුමා ඇවිත් ඇසුවා, ‛ස්වාමීන්
වහන්ස, මට ඒ වෙනස
දැනෙනවා. මොකක්ද එහි ඇති රහස’ කියලා. මම
කිව්වා එතැන වෙන කිසිම රහසක් නැහැ, ‛මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා’ කියන බුදු වදන විතරයි
එතැන තියෙන්නේ කියලා. ඉතින් අපට බුදු දහමට අමතරව නවග්‍රහයනුත් වැදගත් වෙනවා නම් ‛අපි තමයි හරි. බුදු
හාමුදුරුවන්ටයි වැරදිලා තියෙන්නේ’ කියලා අපිට හිතන්න වෙනවා. නමුත් බෞද්ධයන් හැටියට එහෙම
හිතන්න අප කාටවත් පුලුවන්ද? ඒ අනුව මිථ්‍යාව
හිස මත රඳවා ගත්තොත් අපේ ජීවිත දවසින් දවස කරුවල පක්ෂයේ සඳ වගේ පිරිහීමට පත්වීමත්
වළක්වන්න බැහැ කියන එක විශේෂයෙන් මතක තබාගත යුතුයි. ඒ වගේම නවග්‍රහයන් එකිනෙකා පිට
හිටි පිණුම් බඩ පිණුම් ගැහුවත් අපේ ආධ්‍යාත්මික ශක්තිය ප්‍රබල නම් අපේ ශරීරයේ එක
රෝම කූපයකටවත් ඉන් කිසිම හානියක් සිදු නොවන බව ත්‍රිවිධ රත්නයේ නාමයෙන් අප මෙහිදී
අවධාරණය කර සිටිනවා.
- ඡායාරූපය -
නලින්ද ගුණතිලක
No comments:
Post a Comment
මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න