පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, November 29, 2014

නිදාගෙන වාහන පැදවීම හෙවත් මහා මාර්ග මෝහනය/ශ්වේත රේඛා උණ රෝගය - Highway hypnosis/white line fever


මහා මාර්ගයේ ගමන් කරද්දී මෝහනයකට ලක් වෙන බව ඔබ අසා තිබෙනවාද? මෙය  අධිවේගී මාර්ගයක හෝ අධික  දුරක් එක එල්ලේ වාහනයක් පදවාගෙන යාමේදී රියැදුරන්ට වැළඳෙන මානසික තත්වයකි. මෙවැන්නක් අප රටේ රියැදුරන් පත්වන්නට තරම් මෙහි එක එල්ලේ ඇදී යන මාර්ග නැති තරම්ය. නමුත් ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, චීනය වැනි විශාල රටවල රටවල අධික දුරක් ඇදී යන මහා මාර්ග බොහෝ පවතින බැවින්, එවැනි මාර්ගවග ගමන් ගන්නා රියැදුරන් බොහෝ විට මෙම තත්වයට පත් වේ. 


මෙය හැඳින්වෙන්නේ ශ්වේත රේඛා උණ රෝගය’ (white line fever) හෙවත්  මහාමාර්ග මෝහනය’ (Highway hypnosis) නමිනි. අඛණ්ඩව දිගු දුරක් ගමන් කරද්දී රියැදුරන් ඉබේම නිද්‍රා තත්වයකට පත් වෙයි. නමුත් ඔවුන්ට බොහෝ විට කිසිදු අනතුරකට පත් නොවී වාහනය පදවාගෙන යන්නට හැකියාව ලැබේ. නමුත් ඔවුන්ට පියවි සිහිය ලැබෙන විට මේ සා දුරක් එසේ ගමන් කළේ යැයි ඔවුනට මතකයක් ඇත්තේ නැත. මෙය සවිඥානිකව එසේ කළේ යැයි මතකයක් නොමැතිව අපේක්ෂිත ආකාරයෙන්, බාහිර සිදුවීම්වලට ප්‍රතිචාර දක්වමින් අධික දුරක් ට්‍රක් රථයක් හෝ වෙනත් මෝටර් වාහනයක් පදවාගෙන යාමට හැකියාවක් ලැබෙන මානසික තත්වයක්යනුවෙන් හඳුන්වනු ලබයි. මෙම තත්වයේදී නිවැරදි හා සුරක්ෂිතව වාහනය පදවාගෙන යාමට අවශ්‍ය කරන තොරතුරු ඔහුට නොදැනීම ඔහුගේ මනසට ලැබෙන මුත් අවධානය පූර්ණ වශයෙන් යොමුව ඇත්තේ වෙනත් දෙයක් කෙරෙහිය. ඇතැම්විට එය නින්ද විය හැකිය. එය අපට තාක්ෂණික ලෙස මෙසේ හැඳින්විය හැකිය. 


මෙම තත්වයේදී රියැදුරාගේ සවිඥානික මනස සුරක්ෂිතව වාහනය පදවාගෙන යාමට අවශ්‍ය තොරතුරු රැසක් උපයෝගී කරගනු ලබමින් පැවතුන ද ඔහුගේ අවධානය පූර්ණ වශයෙන්ම යොමුව ඇත්තේ වෙනත් දෙයක් කෙරෙහිය.  සවිඥානික හා අවිඥානික මනස් එකිනෙකට වෙනස් දෑ කෙරෙහි අවධානය යොමුකරන්නා වූ සාපේක්ෂ වශයෙන් පොදු අත්දැකීමක් විද්‍යාමාන වන එක් අවස්ථාවක ලෙස මහමාර්ග මෝහනය සඳහන් කළ හැකිය.’ 


මහාමාර්ග මෝහනයයන සංකල්පය මුළින්ම විස්තර කෙරුණේ 1921 වර්ෂයේ පුවත්පතක පල වූ ලිපියක ය. එහිදී මෙය විස්තර කෙරුණේ එක් නිශ්චිත අරමුණක්, එල්ළයක් කෙරෙහි අවධානය යොමුකරමින් ආවේශයකින් මෙන් වාහනය පදවාගෙන යන මානසික තත්වයක් ලෙසිනි. වර්ෂ 1929 දී මයිල්ස් (Miles ) නමැත්තා විසින් දෑස් විවරකොටගෙන නින්දට පත්වීම’ (Sleeping with the Eyes Open) මැයෙන් අධ්‍යයනයක් කරන ලද්දේ ද මේ පිළිබඳවමය. ඔහු එයින් ඉදිරිපත් කළ අදහස වූයේ රියැදුරන්ට දෑස් විවිරකොට නින්දට පත්වීමේ හැකියාවක් ඇති බවය. නොගිනිය හැකි තරම් වූ මෝටර් රථ අනතුරු සංඛ්‍යාවක් මෙම සංකල්පය ඔස්සේ විස්තර කිරීම 1950 දශකයේදී ඉතා ජනප්‍රියත්වයකට පත් ව තිබිණි. මහාමාර්ග මෝහනයයන වදන මේ සඳහා මුළින්ම භාවිත කරන ලද්දේ වර්ෂ 1963 දී ජී.ඩබ්ලිව්. විලියම්ස් විසිනි. මෝහනය යනු සම්ප්‍රජාණනය හෙවත් සිහිනුවණෙහි විපර්යාසයකට ලක් වූ මානසික තත්වයක් බවට අර්නස්ට් හිල්ගාර්ඩ් විසින් පළ කළ අදහස මත පදනම් ව න්‍යායයන් ගොඩනගමින් ඇතැම් න්‍යයාවාදීන් පෙන්වා දුන්නේ සවිඥානිකභාවය නිසා මෝහන විඝටනයක් ඇති වන බවය. මහාමාර්ග මෝහනය උදාහරණයක් ලෙස ගතහොත් එක් ධාරාවක සවිඥානික බව ඔස්සේ වාහනය පැදවීම ද, අනෙක් ධාරාවේ සවිඥානික බව ඔස්සේ වෙනත් කරුණු සම්බන්ධව ක්‍රියාකරීම ද සිදු වේ. මෙය තවත් සරලව මෙසේ විස්තර කළ හැකිය. මනසේ එක් පාර්ශ්වයක් වාහනය පැදවීම සම්බන්ධව අවධානය යොමු කරද්දී අනෙක් පාර්ශ්වය වෙනත් කරුණක් කෙරෙහි අවධානය යොමු කිරීමය. වාහන පදවාගෙන යාමට හේතුවන සංඝටන සවිඥානික බව නිසා විස්මෘති තත්වයක් වුව ඇති විය හැකිය. 




No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න