පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, July 12, 2015

ලේන් පැටවුන්ගේ කතාව - Story of Baby Squirrels


අද, ඒ කියන්නේ ඉරිදා උදේ අැහැරුනේ ලේනෙක් කන් බීරි වෙන කල් කෑගහන සද්දේ ඇහිලා. මේ මොකක්ද කියල බැලුවා. ගේ පිටිපස්ස පැත්තෙන් තමයි සද්දේ ආවේ. ඒ පැත්තට යන කොට ලේනෙක් ගේ පිටිපස්සේ පරණ ටොයිලට් එකේ වහලේ දුව දුව කෑ කහනවා. තව ටිකක් හොයලා බලද්දි ලේන් පැටියෙකුගේ සද්දයකුත් ආවා. ටොයිලට් එක ඇතුළට ගිහින් බලද්දි ඒකේ පෝච්චියට ලේන් පැටියෙක් වැටිලා. ඔළුව විතරයි උඩ. දෙපාරක් හිත හිතා හිටියේ නෑ පෝච්චියට අත දාලා පැටියාව ගත්තා. රෙදි කෑල්ලක් අරන් හොඳට පිහ දැම්මා. බලද්දි ටොයිලට් එක ඇතුළේ ලේන් කූඩුවක් හදලා. කවුරුවත් දන්නෙත් නැහැ. මම හෙමින් කූඩුවෙන් ලේන් පැටියාව තිබ්බා. ඌ හෙමින් ඒක ඇතුළට රිංගුවා'


ටික වෙලාවකින් මහ ලේනා හෝ මහ ලේනි කෑ ගහන සද්දෙත් නැවතුණා. 

අපේ වත්තේ සෑහෙන්න ලේන් කූඩු තියෙනවා. මේ වගේම දවසක් ලේන් පැටියෙක් වැටිලා ඉඳළා පැටියාගේ අම්මටයි තාත්තටයි දෙන්න බැලුවත් හරි ගියේ නෑ. ඒ නිසා ටික දවසක් හදලා ඌව නිදහස් කරලා ඇරියා. 

ඌට දුවයි පුතයි එකතු වෙලා ‛මිමී’ කියලා නමකුත් දැම්මා. දවාලට ගෙදර කවුරුවත් නැති නිසා කිරි පොවන්න මට ඌව පොඩි පෙට්ටියක දාගෙන ඔෆිස් අරන් යන්නත් වුණා. කොහොම වුණත් ඌට කරදරයක් නොවී ආයෙමත් ලේන් සමාජයට එකතු කළා. 



මිමියාගේ නම් ෆොටෝ සෑහෙන්න ගත්තා. ඒ ෆොටෝ සහ මිමියා වෙනුවෙන් හදපු වීඩියෝ එකක් තමයි මේ එක්ක දාලා තියෙන්නේ. 

අද බේරා ගත්ත ලේන් පැටියාගේ ෆොටෝ ගන්න වෙලාවක් තිබුණේ නැහැ. මට ඕන වුණේ ඉක්මණට පැටියාව අම්මටයි තාත්තටයි භාර දෙන්න. 

කොහොම වුණත් සතෙකුගේ ජීවිතයක් බේරාගත්තා කියලා අමුතු සතුටකින් තමයි අද දවස පටන් ගත්තේ. 









Saturday, July 11, 2015

අනේ ජනාධිපතිතුමා පව්

ඡායාරූප අනුග්‍රහය - http://www.365gossiplanka.com/gossipdata/gossip_images/16-rajapaksa-rejiment-bankrupted-grand-scale-mud-attack-to-maithree.png

කලකදි මස කලකදි වස වෙනවාලු’ කියා කියමනක් සිංහලයාගේ තිබේ. මේ දිනවල එවැන්නක් පෙනෙන්නට තිබේ. 

මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යැවීම සඳහා දිවා රෑ වෙහෙසෙමින් වැඩ කටයුතු කළ බොහෝ කණ්ඩායම්, වෙබ් අඩවි, බ්ලොග් අඩවි ජනපතිවරණය පැවැත්වෙන දිනවලදී වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අපමණ ගුණ වැයූහ. නමුත් මේ ‛ගුණ ගී වරුසා සහ පැසසුම් ඝෝෂා’ වැඩිකලක් යන්නට මත්තෙන් කණපිට ගැසුවේය. ඒ මහින්ද රාජපක්ෂ මහතාට මහ මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදෙන්නට මෛත්‍රීපාල සිරිසේන මහතා කැමැති වීමත් සමගය. මේ පිළිබඳව තවමත් මතභේද පවතින්නේ යැයි පෙනුනද බැලූ බැල්මට නම් ඔහු සිය කැමැත්ත ලබා දී තිබේ. ඔහු නාමයෝජනා ලබා දෙන්නට මෙසේ කැමැත්ත පළ කොට ඇත්තේ යම් හෙයකින් දිනුවේ නම් තමා සිරගෙට යැවීමට හෝ පොලොව යට අඩි හයක් ගැඹුරින් වළලා දමන්නට ක්‍රියා කරන්නෙකු යැයි වරින් වර සඳහන් කළ තැනැත්තෙකුටය. මේ නිසා දැන් ඔහු වටා සිටි පිරිස දැන් ඔහුට එරෙහිව අවි ඔසවමින් හිඳිති. සැබැවින්ම ඔහුට මේ අපකීර්තියෙන් ගැළවෙන්නට ඕනෑ තරම් ඉඩකඩ තිබුණද මේ ‛පරිප්පුව’ ඉල්ලාගෙන කෑවේ ඔහුමය. 

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී මහින්ද රාජපක්ෂ මහතාව ගෙදර යැව්වේ ඒකාධිපතිවාදය අවසන් කිරීමේ අපේක්ෂාවෙනි. ඔහු පැවසූයේ බලය පිළිබඳ තමාට තණ්හාවක් නැති බවය. නමුත් ජනපති බවට පත්වීමත් සමඟ ඔහු තුළ බල තණ්හාවක් නැති බවට ඉදිරිපත් කළ අදහසට පයින් දමා ගැසුවේය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගැනීමත් සමගිනි. ඇතැම් විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙසු නායකයින් සිරිසේන මහතාව හිතා මතාම මේ උගුළට හසු කළා වෙන්නටත් බැරි නැත. ඔහු අද මේ නාමයෝජනා උගුලක හසු වී කීර්තිනාමය විනාශ කරගත්තේ මේ තනතුරු භාරගැනීමත් සමගය. ඔහුට බල තණ්හාවක් නොමැති නම් මේ කිසිදු තනතුරක් භාර නොගෙන හුදෙක් පොදු අපේක්ෂකයා වශයෙන් නිර්පාක්ෂිකව සිටින්නට හැකියාව තිබිණි. එසේ නම් ඔහුට විශේෂයෙන් දිනවිය යුතු පක්ෂයක් නැත. කිසිවකු වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍යතාවයක් ද නැත. ඔහුට එසේ නම් නිර්භීතව තමා බලයට කැමැත්තක් නැති යහපාලනයක් අපේක්ෂා කරන නායකයකු ලෙස රැඳෙන්නට අවකාශ තිබිණි. නමුත් දැන් සිදුවිය යුතු දේ සිදුවී හමාරය. අපට දැන් කිව හැක්කේ එකම දෙයක් පමණි. ඒ, 

’අනේ ජනාධිපතිතුමා පව්’

කියා පමණකි. 

ඇස් යට එල්ලා වැටීම හා එයට පිළියම් - Eye Bags and Treatments for that




වයස්ගත වන විට  බොහෝ දෙනෙකුගේ මුහුණේ දිස්වෙන කැපී පෙනෙන ලක්ෂණයක් විදිහට ඇස් යට සිදුවන  එල්ලා වැටීම  සඳහන් කළ හැකියි. වයසට යාමත් සමග ඔබගේ ඇසි පියෙහි ක්‍රියාකාරීත්වයට උදව් කරන මාංශ පේශීන් ඇතුළුව ඇස් අවට ඇති පටක දුර්වල බවට පත් වෙනවා. ඇස්වල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන මේද කොටස් එවිට පහළ ඇසි පිය කරා ගමන් කරනවා. ඇස් යට එල්ලා වැටුණු ස්වභාවයක් දිස්වන්නේ එවිටයි. ශරීරයේ ඇති දියරයන්ද මේ සමග එකතු වීම නිසා මේ එල්ලා වැටීම තවත් වැඩි වී පෙනෙන්නට පටන් ගන්නවා.

සාමාන්‍යයෙන් ඇස් යට එල්ලා වැටීමේ තත්වය වෛද්‍ය උපදෙස් ගත යුතු බරපතල තත්වයක් නොවෙයි. වෛද්‍ය උපදසේ ලබාගන්නට තරම් දෙයක් බවට පත්වන්නේ ඉතා කලාතුරකින්. මෙය හුදෙක් පෙනුම පිළිබඳ ගැටලුවක් පමණයි. ඒ නිසා මේ සඳහා බහුලව ඇත්තේ ද රූපලාවන්‍ය ප්‍රතිකාර පමණයි. යම් හෙයකින් මෙම පෙනුම සමග ඇස් අවට දැවිල්ලක් හෝ වේදනාවක්, ඇස් රතුවීමක්, ඇස කැසීමක්, වේදනාවක් ආදිය ඇත්නම් වෛද්‍ය උපදෙස් ගැනීම සුදුසුයි. 

ඇස් යට මේදය තැන්පත්වීමට අමතරව සිදුවන ශාරීරික දියර තැන්පත් වීම, කාලගුණ තත්වයන්, හෝර්මෝන මට්ටම සහ ලවණ සහිත ආහාර පරිභෝජනය ද මේ සඳහා හේතු විය හැකියි. එමෙන්ම නිතර නිදි වැරීම, අසාත්මිකතාවයන්, චර්ම රෝග, ආදිය ද මේ සඳහා බලපාන බව සොයාගෙන තිබෙනවා. මෙය පරම්පරාවෙන් උරුම වන ලක්ෂණයක් බව ද පැවසිය යුතුයි. 

කෙසේ නමුත් මෙය නිවසේදීම පහසුවෙන් සිදු කළ හැකි ප්‍රතිකාර ක්‍රම මගින් සෑහෙන දුරට සමනය කරගත හැකියි. ඇස් යට ප්‍රදේශයේ ඇති අධික ලවණතාවය හේතුවෙන් එම කොටසේ ඇති ජලය අඩුවී යන බැවින් පුරුද්දක් ලෙස ඔබ පානය කරන ජලය ප්‍රමාණය වැඩි කිරීම පහසුවෙන්ම කළ හැකි දෙයක්. ඒ වගේම ලුණු රස ඇති ආහාර පානවලින් හැකිතාක් දුරට වැළකී සිටීම  තූලින් ද මේ තත්වය පාලනය කරගත හැකියි. කෝපි සහ මද්‍යසාර භාවිතයෙන් ද ඈත්වන්න. 


බොහෝ දෙනෙක් ඇස් යට කලුවීමෙන් සහ මෙසේ එල්ලා වැටීමෙන් වළක්වාගැනීම සඳහා පිපිඤ්ඤා පෙති තැබීමට පුරුදුව සිටිනවා. සැබවින්ම මෙහිදී සිදුවන්නේ පිපිඤ්ඤාවල ඇති ඖෂධීය ගුණයක් නිසා මෙම තත්වයන් පාලනය වීමක් නොවේ. මෙහිදී සිදුවන්නේ ඇස් යට ප්‍රදේශය සිසිල්වීමයි. එම ප්‍රදේශය හැකි සෑම අවස්ථාවකම යම් කිසි ආකාරයකින් සිසිල්ව තබා ගැනීමට උත්සුක වනවා නම් මෙම තත්වය බොහෝ දුරට පාලනය කරගත හැකියි. මේ සඳහා කළ හැකි පහසුම දෙය නම් පිපිඤ්ඤා පෙති තැබීමයි. එය ද අපහසු නම් තේ කුඩු බෑග් කිහිපයක් තෙත් කොට ශීතකරණයේ තබන්න. ඒවා සිසිල් වූ විට ඇස් යට ප්‍රදේශයේ තබා එම පෙදෙස සිසිල් කරන්න. 








සාමාන්‍යයෙන් වයසත් සමග ඇස් යට එල්ලා වැටීම පාලනය කරගැනීමට මෙවැනි ක්‍රම අනුගමනය කළත් අසාත්මිකතාවයන් නිසා මෙය සිදුවනවා නම් ඔබ වහාම ඒ සඳහා මුළින්ම ප්‍රතිකාර ගත යුතුයි. ඒ වාගේම ආසාත්මිකතාවයන් ඇති කරන ස්ථානයන් සහ ද්‍රව්‍යවලින් ඈත්ව සිටීමට නිතර වගබලා ගත යුතුයි. 

අක්‍රමවත් නින්ද ද මෙයට හේතුවන නිසා නිදාගැනීමේ පුරුද්ද වෙනස් කිරීම ද තවත් එක් ප්‍රතිකාරයක්. බඩ යටට සිටින සේ හෝ පැත්තට හැරී හෝ නිදාගැනීමට පුරුදුව සිටින පුද්ගලයන්ගේ ඇස් යට එල්ලා වැටීම වැඩි වශයෙන් සිදුවන බව සොයාගෙන එයට හේතුව මෙම ඉරියව්වලදී ඇස් යට ප්‍රදේශයේ දියර එකතුවීම සඳහා වැඩි ඉඩක් පැවතීමයි. එම නිසා උඩුබැලි අතට හැරී නිදාගන්නට පුරුදුවීම තුළින් මෙම තත්වය සෑහෙන දුරකට සමනය කරගන්නට පුළුවන්. 


මුහුණේ සම සිරුරේ අනෙක් ස්ථානවලට වඩා සියුම්. එයට ඉක්මණින් හානි සිදුවිය හැකියි. එම නිසා මුහුණ සේදීමේදී මුහුණ රළු ලෙස පිසදැමීමෙන් වැළකෙන්න. විවිධ ආලේපන වර්ග සමග නින්දට යාමෙන් වැළකෙන්න. සෑම රාත්‍රියකම මුහුණේ මොයිස්චරයිසර් වර්ගයක් ගල්වන්න. දිවා කාලයේදී සන්ස්ක්‍රීන් එකක් ආලේපකරන්න. 

මෙවැනි ක්‍රම සහ යහපත් සෞඛ්‍ය පුරුදු වර්ධනය කරගැනීම තුළින් ඇස් එල්ලා වැටීම සෑහෙන දුරකට පාලනය කරගත හැකියි.

Wednesday, July 8, 2015

බොලිවුඩ් නිළියගේ රියට දැරියක් බිලි වෙයි - A 4 Year Old Died In Hema Malini's Car Accident


වර්තමාන ශ්‍රී ලාංකික හින්දි සිනමා රසිකයන් අතර වැඩි දෙනෙක් නොදන්නා චරිතයක් වූ හේමමාලිනී ගැන නරක ආරංචියක් පසුගිය ජූලි දෙවැනි බ්‍රහස්පතින්දා ආරංචි වුණා. ඒ ඇයගේ මෝටර් රථය රාජස්ථාන් ප්‍රාන්තයේදී අනතුරට පත් වීම නිසා දෙහැවිදිරි දැරියක්  මිය යාමයි. මෙය එදින රාත්‍රී 9ට පමණ ඉන්දියාවේ 11 වැනි ජාතික අධිවේගී මාර්ගයේදී සිදුවුණු බවයි දැනගන්නට ලැබෙන්නේ. හේමමාලිනී අතීතයේදී හින්දි සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම සුරූපී නිළියක වුවත් වර්තමානයේ අය පිළිබඳ බොහෝ දෙනෙක් කතා බහ කරන්නේ දේශපාලනයේ යෙදෙන කාන්තාවක් ලෙසයි. 66 හැවිරිදි ඇය  ඇය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකාවක්. 


හේමමාලිනී ගමන් ගත් මර්සිඩීස් බෙන්ස් රථයේ වේගය වැඩි කරත්ම අධිවේගී මාර්ගය බෙදා දක්වා ඇති සීමවෙන් ඉවතට පැන අනෙක් පැත්තෙන් ගමන් ගත් ඇල්ටෝ රථයක ගැටී තිබෙනවා. එහිදී මිය ගිය සිව් හැවිරිදි දැරියගේ පියා සහ දැරියගේ සොයුරියක් දරුණු ලෙස තුවාල ලබා තිබෙනවා. දැරියගේ පියාගේ පාද සහ අකු ඇටය හානි වී තිබුණු අතර වහා දැඩි සත්කාර එ්කකයට ඇතුළත් කොට තිබෙනවා. මිය දැරියගේ සොයුරියගේ පාද දෙකම බිඳී ගොස් තිබුණු බවයි කියැවෙන්නේ. ඇගේ මව ද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට තිබුණු අතර සිය දියණියක් මිය ගිය බව හෝ ඇය දැන සිට නැහැ. අනතුරින් දැඩි ආපදාවට ලක් වූ රථයේ මිය ගිය දැරිය හැරුණු විට තවත් පස් දෙනෙකු ගමන් කොට තිබෙනවා. කෙසේ නමුත් ඇසට ඉහළින් ඇති සුළු තුවාල හැරුණු විට හේමමාලිනීට වෙනත් අපාදාවක් සිදුව නැහැ. 


මෙම අනතුරින් පසුව ඇගේ දියණිය සේම ජනප්‍රිය නිළියක ද වන ඊෂා ඩියොල් මාධ්‍යවේදීන් හමුවේ පවසා සිටියේ අනතුරින් ආපදාවන්ට පත් පවුලේ පිරිසට උදව් කරන්නට තම මව තීරණය කොට ඇති බවයි. එසේ කරන්නේ ඇය දේශපාලඥයකු නිසා නොව මිනිස් ගුණය දන්නා කාන්තාවක් ලෙසට යැයි ද ඊෂා ඩියොල් පවසා තිබෙනවා. 

අනතුර සිදුවන අවස්ථාවේදී හේමාලිනීගේ මෝටර් රථය පැදවූ මහේෂ් චාන්ද් ටකූර් අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසෙනවා. 

මිය ගිය දැරියගේ පියා පවසන්නේ හේමමාලිනී රැගෙන ගිය රෝහලෙන්ම සිය දියණියට ප්‍රතිකාර කිරීමට අවස්ථාව ලැබුණේ නම් ඇයගේ ජීවිතය ගළවාගැනීමට හැකියාවක් තිබුණු බවයි. ඒ වෙනුවෙන් වියදම් කිරීමට තමා සතුව මුදල් තිබූ බව පවසන ඔවුන්ගේ සෙසු ඥාතීහු සඳහන් කරන්නේ මාධ්‍ය ද හේමාලිනීගේ තුවාල ගැන සෙව්වා මිස දැඩි ලෙස අනතුරට පත් තම පිරිස ගැන සොයන්නට උත්සුක නොවූ බවයි. 

1948 ඔක්තෝබර් 16 වැනිදා උපන් හේමමාලිනී වර්තමාන හින්දි සිනමා රසිකයන් අතර එතරම් ජනප්‍රියව නැතත් ඇය එහි ජයකෙහෙළි නැංවූ නිළියක් ලෙස සඳහන් කළ හැකියි. ඇය නිළියක් පමණක් නොව අධ්‍යක්ෂවරියක්, නිෂ්පාදකවරියක්, නර්ථන නිර්මාණ ශිල්පිනියක් ලෙස ද ප්‍රසිද්ධයි. ඇය ‛භරත’ නැටුම් සඳහා අති දක්ෂතාවයක් දක්වනවා. කෙසේ නමුත් ඇය පිළිබඳ වර්තමානයේ හඳුන්වන බොහෝ දෙනෙක් ඇයව දකින්නේ දේශපාලඥයකු ලෙස පමණයි. අැය සිය සිනමා ජීවිතයේ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් සඳහා චරිත නිරූපණය කොට ඇත්තේ සිය සැමියා වන ධර්මේන්ද්‍ර හා තවත් සුප්‍රකට නළුවකු වූ රාජේෂ් ඛන්නා සමගයි. ඇය හින්දි සිනමාවේ තවත් සුපිරි තරු දෙකක් වන සනී හා බොබී ඩියොල්ගේ මෑණියන් ද වනවා. හින්දි සිනමාවේ සිටි වඩාත් සාර්ථකත්වයට පත් වූ එක් නිළියක්  ලෙස ද ඇය ප්‍රකටයි. 

2003 - 2009 අතර සමයේ එවකට සිටි ඉන්දීය ජනපතිවරයා වූ අබ්දුල් කලාම් විසින් ඇයව මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය නියෝජනය කරමින් රාජ්‍ය සභාවේ මන්ත්‍රී තනතුරක් ප්‍රදානය කොට තිබෙනවා. ඇගේ දේශපාලන ජීවිතයේ ආරම්භය එතැනයි. 



කෙසේ වෙතත් මේ අනතුර පෙන්වා දෙන්නේ අප අතර සියලු විටම සිදුවන සත්‍යයයි. එනම් මාධ්‍ය මෙන්ම සෙසු ජනතාව ද මෙවැනි අවස්ථාවකදී වැඩි වශයෙන් කතා කරන්නේ එතැන යම් ප්‍රසිද්ධ පුද්ගලයෙක්, බලවතෙක් ආදින් සිටිනවා ඔවුන් ගැන පමණක්ය යන්නයි. මේ බලවතුන් අතින් වෙනත් පිරිසකට කෙතරම් හානියක්, අයුක්තියක් සිදුවුවත් ඔවුන් ගැන කතා කරන්නට මාධ්‍ය පවා පමාවක් දක්වනවා. එක්කෝ අඩුවෙන් කතා කරනවා. එසේත් නැත්නම් කතා කරන්නේම නැහැ. අවසානයේ ජනතාව ද බලවත් පුද්ගයලයා ගැන පමණක් කතා බහ කොට වැඩි හානියක් සිදුවූ අය ගැන කතාකිරීම අමතක කොට දමනවා. සෑම විටම, සෑම තැනම සිදුවන්නේනේ මෙයයි. 

Monday, July 6, 2015

නූඩ්ල්ස් පරීක්ෂණ වාර්තාව


‛ඉන්දියාවේ අහවල් නූඩ්ල්ස් ආහාරයට අහිතකර බව හෙළිවීම නිසා ටොන් ගණනින් විනාශ කෙරේ’ 
- පුවතක් 

‛ශ්‍රී ලංකාවේ ද ඒ අහවල් නූඩ්ල්ස් ආහාරයට අහිතකර ද යන්න පරීක්ෂා කෙරේ’ 
- පුවතක් 

‛ශ්‍රී ලංකාවේ අහවල් නූඩ්ල්ස්වල අහිතකර ද්‍රව්‍ය තිබේ දැයි පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කෙරේ’ 
- පුවතක් 

‛අහවල් නූඩ්ල්ස්වල අහිතකර ද්‍රව්‍ය තිබේදැයි සිදුකළ පරීක්ෂණ වාර්තාව හෙට’ 
-පුවතක් 

‛ශ්‍රී ලංකාවේ අහවල් නූඩ්ල්ස්වල අහිතකර ද්‍රව්‍ය කිසිත් අඩංගු නැති බව පරීක්ෂණ වාර්තාව පවසයි’ 
- පුවතක් 

‛රඳවාගෙන සිටි අහවල් නූඩ්ල්ස් යළි වෙළෙඳ පළට’ 
- පුවතක් 

‛පාරිභෝගිකයන්ට අහිතකර දේ කිසිවක් දෙන්නේ නැති බව අහවල් නූඩ්ල්ස් සමාගම පවසයි’ 
- පුවතක් 

‛ආහාර විෂවීමක් නිසා පාසල් දරුවන් රැසක් රෝහල් ගත කරයි’ 
- පුවතක් 


Saturday, July 4, 2015

කන්‍ය පටලය ගැන විකාර මත - Myths about Hymen

කන්‍යා පටල වර්ග කිහිපයක්

කුමරි බඹසර, පතිවත, කන්‍යා භාවය වැනි කුමන වදනකින් හැඳින්වුවද අප කතා කරන්නේ එකම දෙයක් පිළිබඳවය. ඒ කාන්තාවකගේ පිවිතුරු බව පෙන්වන සංකේතය යැයි අප සමාජයේ සාම්ප්‍රදායිකව පිළිගනු ලබන සංකේතයක් පිළිබඳවය. බටහිර සමාජයේ මෙය සැළකිල්ලකට නොගන්නා තත්වයකට පත්ව ඇතත්, අප සමාජයේ ද අතීතයේ තරමට වර්තමානයේ මේ පිළිබඳව ඇති සැළකිල්ලක් නොතිබුණත්, මෙය  දැඩිව සොයා බලන්නන් දුර්ලභ නැත. තරුණියකගේ කන්‍යාභාවය රඳා පවතින ‛කන්‍යා පටලය’ පිළිබඳ පසුගිය වසර ගණනාව මුළුල්ලේ විවිධ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ කළ වෛද්‍ය විද්‍යාත්මක  දැනුවත් කිරීම් නිසා බොහෝ තරුණියෝ නිරපරාදේ දෝෂාරෝපණයට ලක්වන්නට තිබුණු අවස්ථාවලින් නිදොස් වූහ. අතීතයේ කන්‍යාභාවය නිසා තරුණියන්ගේ ජීවිත අඳුරු බවට පත්වූ අවස්ථා ඕනෑ තරම් දක්නට ලැබිණි. 1984 වසරේදී ‛දෙවැනි ගමන’ නමින් අප රටෙහි සිනමා පටයක් තිරගත වන්නේ ද මේ සමාජ ගැටලුව පිළිබඳ කතා කරමිනි. එහිදී අවසානයේ සියල්ල සතුටින් නිමාවට පත් වුවද එවැනි සතුටුදායක නිමාවන්ට පත් නොවූ ජීවිත ද බොහෝ ය. 

කෙසේ මුත් කන්‍යාභාවය පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම්වලින් පසුව ඇතැමුන් නැගූ චෝදනාව වූයේ ඇතැම් තරුණියන් ‛වැරදි ක්‍රියාවල’ යෙදී, පසුව මෙම වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම්වලට මුවා වී සිය වරද වසා ගන්නා බවය. නමුත් ‛වැරදි ක්‍රියාවන්ගේ’ නිරත වුව ද කන්‍යා පටලය ආරක්ෂා කරගන්නට සමත් තරුණියක් සිටින්නේ නම් ඔවුන් මෙසේ සිතන පුද්ගලයන්ගේ ප්‍රශංසාවට ලක්විය හැකි බව මොවුන් සිතන්නේ නැත. අනෙක වර්තමානයේ කෘත්‍රිම ලෙස කන්‍යා පටලය නැවත සකස්කිරීමේ පහසුකම් ද තිබේ. ඒ නිසා තරුණියකගේ පිරිසිදු බව මනින්නට සිරුරේ කොටසක් වන කන්‍යා පටලය නමැති ‛සම් කැබැල්ල’ මත රඳා පැවතීම කෙතරම් දුරට යුක්ති සහගත ද යන්න කල්පනා කොට බැලිය යුතුය. මන්ද තරුණියකගේ අනාගත ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නේ සම් කැබැල්ලක් මත නොව ඇය තුළ ගොඩ නගා ගන්නා අධ්‍යාත්මික බව, අධ්‍යාපනික හා සමාජ දැනුම ආදිය මත වන බැවිනි. කෙසේ වෙතත් තවමත් බොහෝ දෙනෙකු තුළ මේ පිළිබඳ වැරදි මත ඇති බැවින් ඒ පිළිබඳ යමක් කතා බහ කිරීමේ වරදක් නැත. 

කන්‍යා පටලය ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන Hymen නම් වදන බිඳී ඇත්තේ ‛පටලය’ යන්න හඳුන්වනු ලබන ග්‍රීක වදනකිනි. එමෙන්ම ග්‍රීක දේව විශ්වාසවලට අනුව ඔවුන්ගේ විවාහය සම්බන්ධ දෙවියා වන්නේ ද ‛හයිමන්’ ය. තරුණිකගේ ප්‍රථම ලිංගික එක්වීමකදී ‛බිඳී යාම’, ‛ඉරීම‛, ‛කැඩීම’ ආදී බොහෝ දේ සිදුවන්නේ මෙයටය.

වසර දහස් ගණනක් තිස්සේ බොහෝ සමාජයන්වල පැවති විශ්වාසය වූයේ මෙය බිඳී යද්දී වේදනාවක් දැනෙන බවය. එබැවින් වර්තමානයේ ද තරුණියකට මෙම වේදනාව දැනිය යුතු යැයි පොදු පිළිගැනීමක් තිබේ. එමෙන්ම මෙය බිඳී යාමේදී රුධිර වහනයක් වන බව ද පවතින තවත් එක් විශ්වාසයකි. විවාහයේ දෙවැනි දවසේදී මනාලියගේ ඇතැම් නැන්දම්මාවරුන් මෙසේ වහනය වූ රුධිරය සහිත සුදු රෙදි කඩ බැලීමට ‛පොර කන’ අවස්ථාවන් ද දක්නට ලැබේ. එක් මංගල අවස්ථාවද මනාලයාගේ පාර්ශවයේ වැඩිහිටියෙක් සියලු දෙනාටම දැනුම් දුන්නේ ‛මනාලියගේ පෙරමග සළකුණු සුබ‛ බවය. එයින් පැවසුනේ සුදු රෙදි කඩ මත රුධිරය පැවති බවය. එක් විවාහක යුවලක් පවසා සිටියේ ඔවුන් විවාහයට පෙර ‛තහනම් ගහේ ගෙඩිවල රස’ බැලූ මුත් වැඩිහිටියන් සැනසීම සඳහා වෙනත් බාහිර ආකාරයකින් රුධිරය ස්වල්පයක් රෙදි කඩ මත තවරා ගත් බවය.  කෙසේ නමුත් අද ද මෙවැනි කරුණු සොයා බලන විවාහයන් කොතෙකුත් දක්නට ලැබේ. වැඩිහිටියන් පමණක් නොව සියලු දේ පිළිබඳවම මනා අවබෝධයක් ඇති තරුණයන් පවා මේ ‛සම් කැබැල්ල’ පසුපස දිව යන්නේ එය තරුණියකගේ පිවිතුරු බව මනින් එකම සංකේතය ලෙස සිතමිනි. එසේ හෙයින් තවමත් බොහෝ දෙනෙකු මේ පිළිබඳව දරන්නේ වැරදි අදහස් බව පැහැදිලිය. 

වෛද්‍ය විද්‍යාත්මකව නම් බිළිඳියක් ලෙස උපදින අවස්ථාවේදීම බොහෝ දෙනෙකුගේ කන්‍යා පටලය පිහිටා නැත. බොහෝ කන්‍යා පටල ‛ඩෝනට්’ එකක හැඩයෙන් මැදින් සිදුරක් සහිතව පිහිටා තිබේ. අලුත් උපන් අවස්ථාවේදී කන්‍යා පටලය ඉතා පැහැදිලිව දකින්නට ඇති අතර එය ඉතා තද ගතියෙන් ද යුක්තය. නමුත් වයසින් වැඩෙත්ම බොහෝ කන්‍යා පටල තුනී බවට පත්වන අතර මැදින් ඇති සිදුර ද පළල් වෙයි. එමෙන්ම ශාරීරික ක්‍රියාකාරකම් නිසා ද කන්‍යා පටලය තවත් තුනී වී යාමට ඉඩ ඇති බව ද සොයාගෙන තිබේ. 

කෙසේ නමුත් ඇතැමුන් විශ්වාස කරන පරිදි කන්‍යා පටලය යෝනි මාර්ගය සම්පූර්ණයෙන් වසාගනිමින් පැතිරී ඇති දෙයක් නොවේ. නමුත් කලාතුරකින් එවැනි තත්වයන් දැකිය හැකි අතර එවැනි අවස්ථාවක සුළු සැත්කමකින් කන්‍යා පටලයෙහි සිදුරක් ඇති කළ යුතුය. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු සිතා සිටින පරිදි එවැනි තත්වයක් පැවතියේ නම් තරුණියන්ට මාසික ඔසප් වීම සිදුවන්නට හැකියාවක් නැත. මන්ද යෝනි මාර්ගය අවහිර වී ඇති බැවිනි. කෙසේ නමුත් සෑම තරුණියකගේම කන්‍යා පටලය මැද ඇති සිදුර ඩෝනට් එකක හැඩයෙන් යුක්ත නොවේ. ඇතැමුන්ගේ ඇත්තේ ‛ඉනිමඟක්’ වැනි දිගටි හැඩයකි. මේ සිදුර හරහා ඉනිමඟක මෙන් හරස් අතට සම් කොටස් තැනින් තැන වැඩී තිබේ. ඇතැම් තරුණියන්ගේ කන්‍යා පටලය මී වදයක් මෙන් සිදුරු කිහිපයකින් යුක්තය. එමෙන්ම තරුණියක් 200 දෙනෙකුගෙන් එක් අයෙකුගේ කන්‍යා පටලය මැද ඇති සිදුර ඇඟිල්ලක් ඇතුළු කිරීමට පවා නොහැකි ලෙස කුඩාවට පිහිටා තිබේ. එවැනි අවස්ථාවකදී ප්‍රථම ලිංගික එක්වීමේදී පවා මෙය බිඳී යන්නේ නැත. එවැනි තත්වයන්වලදී සුළු ශල්‍යකර්මයක් මගින් මෙය විශාල කරන්නට සිදුවූ අවස්ථාවන් ද ඕනෑ තරම් අසන්නට ලැබේ.  කන්‍යා පටලය පිළිබඳ මේ තොරතුරු අනාවරණය කරමින් නිව්යෝර්ක් නුවර හන්ටර් කොලේජ් හි හෙද මහාචාර්යවරියක වන කැරොල් රෝයි දීර්ඝ නිබන්ධනයක් ද සම්පාදනය කොට තිබේ. 

බොහෝ දෙනෙකු විශ්වාස කරන පරිදි මේ තුනී පටලය කැඩී බිඳී යද්දී දැනෙන්නේ ඉතා සුළු වේදනාවකි. එක්කෝ වේදනාවක් දැනෙන්නේම නැත. නමුත් වේදනාවක් දැනිය යුතු යැයි සාම්ප්‍රදායිකව පිළිගැනීමක් පවතින නිසා ප්‍රථම ලිංගික එක්වීමේදී වේදනාවක් දැනුනේ යැයි ඇතැම්හු පවසති. ප්‍රථම ලිංගික එක්වීමේදී වේදනාවක් දැනෙන්නේ සැබවින්ම මේ පටලය බිඳී යාම නිසා නොවේ. බොහෝ තරුණියන් විවිධ හේතු නිසා ප්‍රථම ලිංගික එක්වීම යනු ‛මහා භයානක අත්දැකීමක්’ යැයි පෙර සිටම ඇති කරගත් භීතිය නිසා ඇගේ යෝනි ප්‍රදේශයේ ඇතිවිය යුතු ශාරීරික ඉහිල් බව ඇති වන්නේ නැත. අනෙක පිරිමි පාර්ශ්වයෙන් සිදුවන යම් යම් ක්‍රියාවන් නිසා ද මෙම ඉහිල්වීමට බාධා ඇති වේ. එවිට යෝනි ප්‍රදේශය ආශ්‍රිත මාංශ පේශී සංකෝචනය වී පැවතීමෙන් ලිංගික එක්වීමට බාධා ඇති වේ. වේදනාව ඇතිවන්නේ ඒ හේතුව නිසා මිස කන්‍යා පටලය බිඳී යාම නිසා නොවේ. 

“තමන්ගේ සහකාරිය පිළිබඳ ඉතා සංවේදීව සිතන තරුණයන් පවා ලිංගික උපක්‍රම නිසි පරිදි යොදා නොගැනීම නිසා ලිංගික එක්වීම සහකාරියට වේදනාවක් ගෙන දෙන අවස්ථාවන් ඉතා බහුලයි” යනුවෙන් ලිංගික චිකිත්සාව පිළිබඳ ආචාර්යවරියක වන සැන්ඩ්‍රා ලයිබ්ලම් පවසයි.


කන්‍යා පටලය ගැටලුවක් කරගත් තරුණයන් සේම වැඩිහිටියන් ද ඕනෑ තරම් දක්නට ලැබේ. පිරිමින්ට ද කන්‍යාභාවය පෙන්වීම සඳහා යම් නිර්ණායකයක් පැවතියේ නම් ඔවුන් මේ තරමටම තරුණියන්ගේ කන්‍යා භාවය පසුපස ලුහුනොබඳිනු ඇත. කෙසේ වෙතත් වඩාත් වැදගත් වන්නේ යම් පුද්ගලයකු පිළිබඳ ඇති ‛චරිතවත් බව’ හෙවත් හොඳ නමයි. එය තරුණියන්ට පමණක් නොව තරුණයන්ට ද පොදු කරුණකි. සමාජය තුළ යහපත් පුරවැසියකු ලෙස ජීවත්වීම තුළින් ඇතිවන ‘හොඳ නම‘ මේ දෙපාර්ශ්වයටම වටිනා ගුණාංගයකි. හොඳ නමක් නොමැතිව කන්‍යා පටලය පමණක් ආරක්ෂාවීමේ අර්ථයක් නැත. එමෙන්ම තරුණියකගේ මෙන්ම තරුණයකුගේ ද සැබෑ වටිනාකම රැඳී පවතින්නේ යහපත් හැදියාව, අවංක බව, සත්‍යගරුක වීම ආදී මානව ගුණාංගයන් මතය. ඔබගේ යුග දිවියටත්, සමාජයටත් වඩාත් යහපත් හෙට දවසක් බිහිවන්නේ එවිටය.

Wednesday, July 1, 2015

පිළිකා රෝගීන්ට සුබ ආරංචියක් - Good News for Cancer Patients

මෙලනෝමා තත්වයන්

අප පිළිකා යනුවෙන් පොදුවේ හඳුන්වන රෝගය ‛මෙලනෝමා’ (melanoma) සහ ‛කාසිනෝමා’ (carcinoma) යන කාණ්ඩ දෙකට වර්ග කෙරෙනවා. එයින් මෙලනෝමා යනු සම මතුපිට ඇතිවන පිළිකා වර්ග වන අතර කාසිනෝමා යනු සිරුර තුළ ඇතිවන පිළිකා වර්ගයි. පොදුවේ සියලු පිළිකා සුවකිරීම සඳහා නිතිපතා විවිධ පර්යේෂණ සිදුවෙමින් පැවතියත් ඒ බොහෝ ඒවායෙන් සියයට සියයක්ම සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීමට හැකියාව ලැබී නැහැ. නමුත් මෑතකදී බ්‍රිතාන්‍යයේ සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ‛මෙලනෝමා’ වර්ගයේ පිළිකා සුවකරගැනීම සඳහා එක්තරා ප්‍රතිකාර ක්‍රමයක් වර්ධණය කොට තිබෙනවා.

මෙය එක්තරා ප්‍රබල ඖෂධ වර්ග දෙකක සංයෝගයෙන් ලබාදෙන්නා වූ ප්‍රතිකාර ක්‍රමයක් වන අතර එහිදී පිළිකා ටියුමර හැකිලී යන බව සොයාගෙන තිබෙනවා. මෙය පිළිකා රෝගීන්ට සුබ ආරංචියක් බව නම් නිසැකයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ යේල් සරසවියේ ප්‍රධාන වෛද්‍ය පර්යේෂක මහාචාර්ය රෝයි හර්බස්ට් පවසන්නේ මෙම ප්‍රතිකාර ක්‍රමයේදී පිළිකා සෛලවලට  ප්‍රහාර එල්ල කරන්නට යොදාගන්නේ සිරුරේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතියම බවයි. මෙතෙක් පිළිකා රෝග සඳහා භාවිත කළ රසායනික චිකිත්සක ක්‍රම වෙනුවට මෙය යොදා ගත හැකි බවත් ඔහු පවසනවා. 

රෝයි හර්බස්ට්

මෙම පර්යේෂණය සඳහා රෝගීන් 945 දෙනෙකු යොදාගත් අතර ඔවුනට ‛ඉපිලිමුමාබ්’ (ipilimumab ) සහ ‛නිවෝලුමාබ්’ (nivolumab ) යන ඖෂධ භාවිතයෙන් ප්‍රතිකාර කරනු ලැබුවා. මෙම ප්‍රතිකාරවලින් පිළිකාවේ වර්ධණය වසරකට 58% කින් නතර වූ බව නිරීක්ෂණය කරන්නට හැකි වුණා. එහිදී මාස 11.5ක කාලයක් තුළ පිළිකා ටියුමරය එකම ප්‍රමාණයේ පැවතීම හෝ හැකිළීම ද මෙහිදී දක්නට ලැබුණා.

බ්‍රිතාන්‍ය රාජකීය මාර්ස්ඩන් රෝහලේ උපදේශක වෛද්‍යවරයකු සේම එක්සත් රාජධානියේ ප්‍රධාන පෙළේ පර්යේෂකයකු ද වන වෛද්‍ය ජෙම්ස් ලාර්කින් බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවය හමුවේ පවසා සිටියේ මෙම ඖෂධ දෙක වෙන් වෙන් වශයෙන් ලබාදෙනවාට වඩා එකට ලබාදීමෙන් පිළිකාවලට එරෙහිව සටන් කරන්නට ප්‍රතිශක්තිකරණ පද්ධතියට වැඩි ශක්තියක් ලැබෙන බවයි. එමෙන්ම මෙයට පෙර හඳුනා නොගත් පිළිකා ටියුමර හඳුනාගෙන ඒවාට එරෙහිව ප්‍රතික්‍රියා කොට ඒවා විනාශ කර දමන්නටත් හැකියාව ලැබී ඇති බව ද ඔහු  පවසනවා. මෙයට පෙර කළ කිසිදු ප්‍රතිකාර ක්‍රමයකදී පිළිකා ටියුමර 50%කට වඩා හැකිළී යනු තමන් දැක නැති බව ද ඔහු සඳහන් කරනවා.

“පිළිකා සඳහා සිදුකරන ප්‍රතිකාරවල අනාගතය සුබදායක බවයි අපට මෙයින් පෙනෙන්නේ” යැයි ඔහු වැඩිදුරටත් සදහන් කොට සිටියා. 

විකී බ්‍රවුන්

‛ඉපිලිමුමාබ්’ යනු පිළිකා සඳහා භාවිත කරනා වඩාත් උසස් ඖෂධයක් ලෙස බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය විසින් පසුගිය වසරේදී  අනුමත කරනු ලැබුවා. මෙය සෑම මාස තුනකට වරක්ම එන්නත් මාර්ගයෙන් ලබාදිය යුතු අතර ඒ සඳහා වසරකට පවුම් ලක්ෂයක පමණ (රුපියල්  දෙකෝටියකට වැඩි මුදලක්) වැය කරන්නට ඔවුන්ට සිදුවුණා. ‛නිවෝලුමාබ්’ ඖෂධය පිළිකා ටියුමරය අවසන්වන තුරුම සෑම සති දෙකකටම වරක් ලබාදිය යුතු වෙනවා. මේ නිසා ශ්‍රී ලංකාව වැනි දිළිඳු රටක රෝගීන්ට තවමත් මෙම ඖෂධවලින් පිහිටක් කෙටි කලකින් ලබාගත හැකි වේද යන්නත් ගැටලුවක්.

එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ ආයතනයේ වෛද්‍ය ඇලන් වෝර්ස්ලි පවසන්නේ මෙම ඖෂධ දෙකෙහි එකතුව එක්වර එල්ල කරන පහර දෙකකට සමාන බවයි. මෙම ඖෂධ දෙකෙහි අතුරු ආබාධ ලෙස වෙහෙසකර බව හා පාචනය ඇතිවිය හැකි යැයි පැවසෙනවා.

මෙම ප්‍රතිකාර ක්‍රමය නිසා සහනය ලබාගත් පාසල් ගුරුවරියක ලෙස සේවය කළ කාන්තාවක වන්නේ 61 හැවිරිදි විකී බ්‍රවුන්. 2013 වසරේදී වෛද්‍යවරු පවසා සිටියේ ඇයට ජීවත්වීමට වාසනාව ඇත්තේ තව මාස කිහිපයක් පමණක් බවයි.  ඇයට චර්ම පිළිකාවක් වැළඳී තිබුණු අතර එය ඇගේ පියයුරු සහ පෙනහළු දක්වා පැතිර ගොස් තිබුණා. ඉහත සඳහන් ඖෂධ භාවිත කරමින් රාජකීය මාර්ඩ්සන් රෝහලේ සිදුකළ වෛද්‍ය පර්යේෂණ සායනයට සහභාගීවන්නට පසුගිය අගෝස්තු මාසයේදී අවස්ථාව ඇයට හිමි වුණා. සති කිහිපයක් ඇතුළත ඇගේ පිළිකා ටියුමරය තුරන් කරන්නට මේ ප්‍රතිකාර ක්‍රමයට හැකියාව ලැබුණා. ඉන් පසුව නැවත එම ටියුමරය වර්ධණය වූ අතර ඒ අවස්ථාවේදී ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාර ක්‍රමයෙන් එය ඉවත් කරනු ලැබුවා. එය නැවත තෙවැනි වතාවටත් පැමිණ තිබෙන අතර වෛද්‍යවරු පෙර ක්‍රමයම එය ඉවත් කිරීම සඳහා භාවිත කරන්නට බලාපොරොත්තුවෙන් පසුවන බවයි දැනගන්නට ලැබෙන්නේ.

මම මේ ප්‍රතිකාර ක්‍රමය පටන් ගත්තේ 2014 අගෝස්තු මාසයේදී. මෙහිදී දැඩි අතුරු ආබාධ මට ඇති වුණත් ඒවාට ප්‍රතිකාර කොට තවමත් ජීවත්වන්නට මට වාසනාව ලැබී තිබෙනවා” බ්‍රවුන් එසේ පවසා සිටියා.

බකිම්හැම් සරසවියේ වෛද්‍ය විද්‍යාලයේ පිළිකා සම්බන්ධ මහාචාර්යවරයකු වන කැරොල් සිකොරා පවසන්නේ මෙම ආශ්චර්යමත් සොයා ගැනීමක් බවයි.

අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇතැම් පිළිකාවලට යම් ප්‍රතිරෝධයක් වර්ධණය කරගත්තත් පිළිකාව නසා දමන්නට තරම් හැකියාවක් ලබාගත්තේ නැහැ. නමුත් මේ ඖෂධ දෙකෙහි සංයෝගය නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඒ හැකියාව ලැබී තිබෙනවා.

තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මේ ප්‍රතිකාර ක්‍රමය සැබවින්ම පිළිකා රෝගයෙන් පීඩා විඳින් අනන්ත වූ රෝගීන්ගේ සිතට යම් බලාපොරොත්තුවක් ඇති කරන්නක් බව කිව හැකියි. පර්යේෂණ මට්ටමේ පවතින බැවින් ප්‍රතිකාර සඳහා දරාගන්නට බැරි තරම් මුදලක් වැය වුවත් අනාගතයේ මෙයට වඩා සුබ අපේක්ෂාවන් මේ ප්‍රතිකාර ක්‍රමය ගැන තබාගන්නට හැකිවේවි.