පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, December 27, 2020

මිනිසකු මරා දැමීමේ වරදට එල්ලුම් ගස් ගිය මේරිගේ අනුවේදනීය කතාව - The tragic story of Mary who was hanged for killing a man



අපරාධයක් වෙනුවෙන් ලබා දෙන දඬුවමක් විදියට මිනිසෙක්ව එල්ලා මරන සිදුවීම් ඔබ ඕනෑ තරම් අසා ඇති. නමුත් අපරාධයක් වෙනුවෙන් අලියෙක්ව  එල්ලා මරන සිදුවීමක් ගැන අසා නැති වෙන්නත් පුළුවන්. මේ කියන්න යන්නේ එහෙම කතාවක්.


මේ කතා නායිකාව ආසියානු ගැහැනු අලියෙක්. ඒ කියන්නේ කෙනරක්. නමින් මේරි. කොහොම වුනත් ඉතිහාසයේ ඇගේ නම ලියවී තිබෙන්නේ ‘මිනීමරු මේරි’ විදියටයි. 1894 දී උපන්, ටොන් 5ක පමණ බරින් යුක්ත ඇය උසින් අඩි 11 අඟල් නවයක් වුණා. ඇමරිකාවේ චාලි ස්පාර්ක් කියන සර්කස් කණ්ඩායමේ හිටිය ඉතා හීලෑ සතෙක්. ඇය කළේ මිනිසුන් සතුටු කරන්න සර්කස් පෙන්වපු එක. 




මේ විදියට අහිංසක විදියට හිටිය මේරිගේ ඉරණම් දවස උදා වුණේ කිසිවෙක් නොසිතපු විදියට. ඒ 1916 අවුරුද්දේ සැප්තැම්බර් 11 වෙනිදා. ඇමරිකාවේ ටෙනිසි ප්‍රාන්තයේ කිංග්ස්පෝර්ට් කියන කුඩා නගරයට මේ සර්කස් කණ්ඩායම පැමිණෙමින් සිටියා. මේ සර්කස් කණ්ඩායමේ ප්‍රසිද්ධම චරිතය තමයි මේරි. 

රෙඞ් එල්ඩ්‍රිජ්


එදා මේරිගේ ඇත්ගොව්වා විදියට වැඩකටයුතු කළේ රෙඞ් එල්ඩ්‍රිජ්. ඔහු මේ කණ්ඩායමට එකතු වී තිබුණේ එදාට කලින් දවසෙ. අලින්ව බලාකියා ගැනීම ඔහුට කිසිම පළපුරුද්දක් තිබුණේ නැහැ. නමුත් ඔහු නිතර පුරසාරම් දෙඩමින් කිව්වේ “හෙණ්ඩුව අතේ තියෙන කල් ඕනම අලියෙක් මට ඔට්ටුයි” කියන එක. කොහොම වුනත් මේ කියන දවසේ මේරිගේ දතක වේදනාවක් තිබුණා. පාරේ වැටිලා තිබුණු කොමඩු ගෙඩියක් අරන් හපමින් යන්න මේරි කැමැත්තක් ඇති වුණා. ඇය එය හොඬයෙන් ගන්න නතර වුණා. ඒ වෙලාවේ නතර වෙන වළක්වන්න එල්ඩ්‍රිජ් මේරිට හෙණ්ඩුවෙන් ඇන්නා. ඒ ඇන්නෙත් හක්කේ දතේ අමාරුව තිබුණු තැනටයි. 


සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා අලින්ට ඇත්තුන්ට හරි ඉක්මනින් කේන්ති එනවා කියලා. එදා මේරිටත් ඒකම සිද්ධ වුණා. මේරි සැනෙකින් එල්ඩ්‍රිජ් හොඬයෙන් ඇදලා අරන් පොලොවේ ගසා මරා දැම්මා. 


එල්ඩ්‍රිජ්ගේ මරණ සහතිකය. අලියෙක් විසින් මරා දැමූ බව එහි සඳහන් වෙනවා.



‘මිනීමරු මේරිව මරා දමන්නැයි රැස්ව සිටි පිරිස ගෑගැසුවා. එතැන හිටි කම්මල්කාරයෙක් මේරිට වෙඩි පහක් තැබුවා. නමුත් ඒවාට ඇගේ ඝනකම් හම පසා කරගෙන යන්න පුළුවන් වුණේ නැහැ. 


සර්කස් කණ්ඩාමේ අයිතිකාරයා, චාලි ස්පාර්ක්


සර්කස් කණ්ඩාමේ අයිතිකාරයා, චාලි ස්පාර්ක්ට  පවා ඕනෑ වුණේ මේරිව මරා දමා සර්කස් එක ඉදිරියට පවත්වාගෙන යෑම පමණයි. ඔහු ඇයව එල්ලා මරා දමන්න තීරණය කළා. ඒක එකපාරටම විකාර අදහසක් වගේ පෙනුනත් අවසාන තීරණය වුනෙත් ඒකම තමයි. 


ඔවුන්ගේ ඊළඟ සර්කස් සංදර්ශනය පැවැත්වෙන අර්වින් නගරයේ දී මෙය සිදු කරන්නට ඔවුන් තීරණය කළා. එයට හේතුව වුණේ එහි දුම්රිය මැදිරි එසවිය හැකි ටොන් 100 දොඹකරයක් තිබුණු නිසයි. 



ඒ 1916 සැප්තැම්බර් 13 වෙනිදා. මේ මරාදැමීම නරඹන්න ඔහු මුළු නගර වැසියන්ටම ආරාධනා කළා. ඇගේ කකුල් සියල්ලත්, මුළු සිරුර වටේටත් දම්වැල් යොදා බැඳ තිබුණා. බෙල්ලටත් දම්වැලක් යොදා දොඹකරයෙන් ඇයව ඉහළට ඉස්සුවා. දම්වැල් නිසා ඇති වුණු වේදනාවෙන් ඇය කෑ ගැසුවා. 



කොහොම වුනත් අඩි 5ක් ඉහළට ඔසනවාවත් සමග දම්වැල් ලිහිල් වී ඇය බිම ඇද වැටුණා. ඇගේ උකුල් ප්‍රදේශය එයින් දැඩිව බිඳී ගියා. ඇය වේදනාවෙන් කෑගැසුවත් ඒ හඬ අසන්නට කිසිවෙක් හිටියේ නැහැ. තවත් ශක්තිමත් දම්වැල් ගෙනැත් ඇයව ගැට ගසා නැවතත් ඉස්සුවා. බෙල්ලට දමා තිබුණු දම්වැල් හිර වී ඇය මිය යන තුරුම මෙසේ එල්ලාගෙන සිටියා. 




මිනිසුන් සතුටින් කෑගැසුවා. පැය භාගයකට පමණ පසු ඇය බිමට පහත් කළා. පශු වෛද්‍යවරයකු විසින් පරීක්ෂා කළාට පසුව මේරි මිය ගොස් ඇති බව නිල වශයෙන් නිවේදනය කළා. 




මිනිසකු මරා දැමූ වරදට මේරි එල්ලා මැරූ පුවත එකල පුවත්පත්වල පළ වුණා. මේරි මරා දැමුවේ එක් පුද්ගලයකු පමණක් වුවත් ඇතැම් පුවත්වල තිබුණේ ඇය මිනිසුන් අට දෙනෙකු මරා දැමූ බවයි. 





ඇගේ සිරුර වළලා දමන්නට දැවැන්ත වලක් සෑරු බවට වාර්තා වුනත් එය තිබුණු තැනක් දැන් කිසිවෙක් දන්නේ නැහැ. 

 


Tuesday, December 15, 2020

සිරිලකට සම්බා බත හඳුන්වා දුන් බව කියන අප්‍රකට මිනිසාගේ කතාව

 


අනාදිමත් කාලයක සිට ශ්‍රී ලාංකේය ජන සමාජයේ ප්‍රධාන ආහාරය බත් ය.අතීතයේ සිට විවිධ සහල් වර්ග වලින් බත් පිසිනු ලැබුවද ඒ සියළු බත් වර්ග අතුරින් පෙරටු වන බතක් තිබේ.එනම් සම්බා බතය.ශ්‍රී ලංකේය බෞද්ධ සමාජයේ ආධ්‍යාත්මික පක්ෂය නියෝජනය කරන අග්‍ර භෝජනය වන බුද්ධ පූජාවේ සිට ලෞකික පක්ෂය නියෝජනය කරන අග්‍ර භෝජනය වන මංගල භෝජනය තෙක් වන සියළු සම්භාවනීය අවස්ථාවන් සඳහා යොදා ගැනෙන සම්බා ඉන්දියානු සම්භවයකින් යුතු වී වර්ගයකි.ඉන්දියාවේ දී මෙම වී වර්ගය සඳහා කෙතරම් සම්භාව්‍ය තත්වයක් ආරෝපණය වී තිබේ ද යන්න බටහිර බෙංගාලයේ දී එය ගෝභින්දෝ භෝග්[විෂ්ණු දෙවියන්ගේ බෝගය] නමින් හැඳින්වීමෙන් පැහැදිලි වෙයි.එමෙන්ම මෙම උතුම් බත අප රටට හඳුන්වා දුන් අතීත වීර පුරුෂයකු පිළිබඳ මානව විද්‍යාත්මක සාක්ෂි රැසක් සහිත අප්‍රකට පුරාවෘත්තයක් ගොනු කර ගැනීමට අපට හැකි විය.

ගම්පහ දිස්ත්‍රික්කයට, ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගණේමුල්ලේ පිහිටි හොරගොල්ල ගම්මානයේ කොටසක් අතීතයේ භැඳින්වෙන ලද්දේ මහ ගමයනුවෙනි. ඒ පැරණි ග්‍රාම නාමය මතකයෙන් කිව හැකි ගැමියෝ තවමත් එම ප්‍රදේශයේ සිටිති. මෙම හොරගොල්ල ග්‍රාමයේ උතුර  ග්‍රාම නිලධාරී කොට්ඨාශයට අයත් නිවාස එකසිය පනහක් පමණ අයත් වන කොටසක් අදටත් ගෘහ මූලික ලැයිස්තු වල හම්බාගමයනුවෙන් සඳහන් ය. ඒ එහි මුල් නම වන සම්බාගම යන්නෙන් බිඳී ඒමේ ප්‍රතිඵලයක් ලෙසිනි. සිරිලකට සම්බා බත හඳුන්වාදුන් බව පැවසෙන "මහගම මුත්තා": පුරාවෘත්තය මතු වනුයේ ඒ ගම් පියස ඇසුරිනි. මෙම හොරගොල්ල ගම්වරයේ වෙසෙන ජනතාව සමඟ පාරම්පරික ඥාති සම්බන්ධයක් සහිත ජනතාවකගෙන් යුතු තවත් ගම්වරයක් ඊට යාබදව පිහිටා තිබේ. එය හැඳින්වෙනුයේ තිබ්බටුගොඩ ලෙසිනි. එහෙත්, ඉහත සඳහන් හොරගොල්ල සහ තිබ්බටුගොඩ යන ගම්මාන වල සෑම පාරම්පරික වැසියකුගේම පෙළපත් නාමය ආඬිගේ හෝ සේනාසිගේ යනුවෙන් දැක්වෙයි. සන්‍යාසි යන්නෙන් බිඳීගත් මෙම සේනාසිගේ නාමය පසුව සේනාසිංහගේ හෝ සේනාසිංහ යනුවෙන් වෙනස් වී ඇති බව ද පෙනෙයි. අතීතයේ විසූ මෙම මහගම මුත්තා පිළිබඳව විමසීමට පෙර ඔහු නියෝජනය කළ එම ජන වර්ගය පිළිබඳව ද විමසා බැලිය යුතු ය. මුඛ පරම්පරාගත කතා වලට අනුව අතීතයේ වනයෙන් වැසී තිබූ මෙම ප්‍රදේශය ජනාවාස වීම ඇරඹී ඇත්තේ ඉන්දියාවෙන් පැමිණි ආඬි සහ සන්‍යාසි මිනිස් කණ්ඩායම් දෙකකිනි. මොවුන් අතර කාන්තාවන් සිටියේ ද නැතහොත් ඔවුන් මෙරට කාන්තාවන් විවාහ කරගත්තේ ද යන්න අවිනිශ්චිතය.

මෙම ආඬි මිනිස්සු තෙළිඟු බස කතා කරන දකුණු ඉන්දියාවේ නැගෙනහිර කොටසට වන්නට පිහිටි ආන්ද්‍රා දේශයෙන් පැමිණි අතර ඔවුන් කතා කළ තෙලිඟු බස තේරුම් ගත නොහැකි අප රටේ ගැමියෝ ඊට ආන්ද්‍රා දෙමළ යන අරුත ගෙනෙන අණ්ඩර දෙමළ යැයි කීහ. දහ අට වන සියවසේ ලියැවුණු රාජාවලියෙහි දැක්වෙන අන්දමට ද ආඬි යනු වත්මන් ආන්ද්‍රා දේශයෙන් හෙවත් තෙළිඟු රටින් පැමිණි ජන වර්ගයට කියන නමකි. එම සියවසටම අයත් උපාසක ජනාලංකාරය, සුළු පූජාවලිය වැනි කෘතීන් මඟින් අබෞද්ධ පූජක කොට්ඨාශයක් සේ නම් කොට ඇති ආඬි ජනයා පිළිබඳව මදුරාසි සරසවියේ දෙමළ ශබ්ද කෝෂයෙහි [Tamil Lexicon] අර්ථ දක්වා ඇත්තේ ද පූජක විශේෂයක් ලෙසිනි. ඔවුන් සමඟ මෙහි පැමිණි සන්‍යාසී මිනිසුන් දකුණු ඉන්දියාවේ බටහිරට වන්නට පිහිටි කේරලයෙන් පැමිණි අතර ඔවුන්ගේ මව් බස මලයාලම් විය. සන්‍යාසීන් යනුවෙන් හින්දු සංස්කෘතික ධාරාවේ  ගිහි පූජක පිරිස් හැඳින්වුණු අතර හිස මුදුනට වන්නට බැඳගත් ජටාව හෝ ඒ අයුරින් සකසා ගත් කෙස් කළඹ, මුහුණ පුරා වැඩුණු රැවුල, උඩු කය වසා ගත් සාළුව ගෙලෙහි වූ නව ගුණ වැල සේම උරෙහි එල්ලා ගත් ලෝගුව සන්‍යාසියකු ගේ විශේෂ ලක්ෂණ විය. එවක ගමින් ගමට යමින් වැසියන් ගේ රෝග පීඩා, අපල, යක්ෂ බලපෑම් ආදිය තමන් සතු මලයාලී මන්ත්‍ර ශාස්ත්‍ර බලයෙන් දුරු කළ හැකි බව පැවසූ මොවුන් කෙරෙහි මෙරට සාමාන්‍ය වැසියන් තුළ බිය හා සබැඳි ගෞරවයක් තිබූ බව පෙනෙයි. ඒ අතරේ ඔවුන් තමන්ගේ උරෙහි එල්ලෙන ලෝගුවේ බහා කුඩා දරුවන් පැහැර ගෙන යන බවට පැවැති වැරදි සමාජ විශ්වාසය මත ගම්මු මොව්හු සන්නාසි බිල්ලන් ලෙස ද හැඳින්වූහ. ජලය හා සබැඳි පූජා චාරිත්‍ර සම්ප්‍රදායක් පවත්වාගෙන ගිය මෙම සන්‍යාසීන් ඒ සඳහා හොරගොල්ල, තිබ්බටුගොඩ යන ගම්මාන මැදින් ගලා යන ඌරුවල් ඔය යොදා ගත් බව පෙනෙයි. ඒ අනුව මෙම තිබ්බටුගොඩ ග්‍රාම නාමය පූජකයන් හෙවත් තීර්ථකයන් ගොඩ බසින ලද ගොඩැල්ල හෙවත් තිත්+බට+ගොඩ යන්නෙන් බිඳී ආ එකක් බව පෙනෙයි. මෙය වඩාත් තහවුරු වනුයේ තිබ්බටුගොඩ ගමේ කෙලවර ඌරුවල් ඔය ආසන්නයේ පුරාණ පත්තිනි දේවාලයක් කේන්ද්‍ර කර ගත් පත්තිනිපිටිය නම් ප්‍රදේශයක් අදත් දක්නට ලැබීමෙනි.

අද අපගේ මාතෘකාවට බඳුන් වන මහගම මුත්තා එම ඉන්දීය සංක්‍රමණික ජනතාවගේ නායකයා වූ බව පැහැදිලි ය. එහෙත්, ඔහු ආඬි මිනිසෙකු ද නැතහොත් සන්‍යාසියෙකු ද යන්න තහවුරු කර ගැනීමට අවශ්‍ය සාක්ෂි නොමැත. නමුදු ඔහුජීවත් වූ ගම්වරය මහ ගමනමින් හැඳින්වීමට ඔහු ගේ එම පෞරුෂය, ප්‍රතාපය හේතු වන්නට ඇත. අදටත් ඒ අවට හොරගොල්ල සහ තිබ්බටුගොඩ වැසියෝ මෙම ප්‍රදේශය හැඳින්වීම පිණිස ගම දිහායන්න යොදති.  මහගම මුත්තා පිළිබඳව කෙරෙන ඓතිහාසික විමසුම්වල දී ඔහු පහලොස් වන සියවසත් දහසය වන සියවසත් අතර කෝට්ටේ යුගයේ ජීවත් වූවකු බව පෙනී යයි. එමෙන්ම මහගම මුත්තා ඒ සමයේ උඩුගම්පල රජ කළ සකල කලා වල්ලභ රජුගේ සමීපතමයකු වූ බවට ද තොරතුරු තිබේ. සිංහල රජවරුන්ගේ නාමාවලිය අතුරින් තරමක් වෙනස් ස්වරූපයක් ගන්නා සකල කලා වල්ලභ නාමය ද ද්‍රවිඩ ඌරුවකින් යුතු වූවකි. එහි එන වල්ලභ යන වදන අධිපති යන්න හැඟවෙන වල්ලවන් යන ද්‍රවිඩ වදනට අනුරූප ආර්ය සම්භවයේ වදනකි. මෙම කලා යන්නෙන් සියලු ශාස්ත්‍ර සේම ආත්මාරක්ෂක සටන් කලා (Martial Arts)  හැඟවෙයි. කෘෂිකර්මාන්තයේ, වාරි කර්මාන්තයේ, සේම සටන් කලාවන් හි ද විශාරදයකු වූ රජතුමා ඒ සියලු ශාස්ත්‍ර දකුණු  ඉන්දීය ආභාෂයකින් ප්‍රගුණ කළ බව ද සාධාරණ ලෙස අනුමාන කළ හැක.

සකල කලා වල්ලභ රජු ගේ කෘෂිකාර්මික විප්ලවයේ අග්‍ර ඵලය වත්මන් ගම්පහ දිසාවේ බටහිරට වන්නට පිහිටි සුවිසල් තෙත් බිමක් විධිමත් වාරි තාක්ෂණිකක්‍රම යොදා ගනිමින් අස්වද්දන ලද මුතුරාජවෙල ය. මුතුවන් සහල් ලැබෙන රාජකීය වෙල්යාය යන අරුතින් ඊට "මුතුරාජවෙල" යන නම ලැබී තිබේ.හොරගොල්ල,තිබ්බටුගොඩ ප්‍රදේශයේ මුඛ පරම්පරාගත කතාවලට අනුව මෙම සම්බා වී මුලින්ම වගා කොට ඇත්තේ මෙම මහගම මුත්තා විසින් දැනට හොරගොල්ල, ශ්‍රී ලංකා විද්‍යාලයට පහලින් ඇති වෙල් යායේ ය. පසුව එතෙක් කිසිවකු දැක නොතිබූ මුතු වැනි වූ මෙම අපූරු සහල් වර්ගය දුටු සකල කලා වල්ලභ රජතුමා වහාම මහ ගම මුත්තා රජ වාසලට කැඳවා ඒ වී වර්ගය ගැන විමසා දැන එම වී වගාව ව්‍යාප්ත කරන ලෙස දන්වා ඇත. පසුව ඊට දියවර සපයා ගැනීම පිණිස එම කුඹුරු යාය ඉහත්තේ වැවක් ද තනා දුන් බව පැරණි මුඛ පරම්පරාගත කතාවල සඳහන් ය. අද වන විට එම වැව මුළුමනින්ම ගොඩ වී ඇතත් ශ්‍රී ලංකා විද්‍යාලයට පහලින් වැටී ඇති මාර්ගය අද ද හඳුන්වනුයේ වැව් වේල්ලයනුවෙනි. පසුව සකල කලා වල්ලභ රජ තුමා විසින් රාජකීය කුඹුරු යායක් බවට පත් කරන ලද මෙය සම්බා කෙත යනුවෙන් හැඳින්වුණු බව කියනු ලැබේ. ශ්‍රී ලංකාවේ මුල්ම පුරාවිද්‍යා කොමසාරිස් පදවිය හෙබ වූ එච්. සී. පී. බෙල් සූරීන්ගේ කෑගලු වාර්තාව මඟින් ද කෙත යනු රාජකීය කුඹුර බව තහවුරු වෙයි. එමෙන්ම එකල මෙම සම්බා කෙතින් ලබා ගන්නා වී අස්වැන්න සකල කලා වල්ලභයන්ගේ සේම අටවන වීර පරාක්‍රමබාහු නමවන ධර්ම පරාක්‍රමබාහු ආදී සමකාලීන කෝට්ටේ රාජධානියේ රජවරුන් ප්‍රමුඛ ප්‍රභූන්ගේ ආහාරය සඳහා යොදා ගැනුණු රජ බොජුනක් වූ බව පෙනෙයි. නමුදු මහගම මුත්තා විසින් හඳුන්වා දුන් මෙම මුතුවන් සහල සහිත වී වර්ගය  සකල කලා වල්ලභයන් විසින් පසුව මුතුරාජවෙල පුරා ව්‍යාප්ත කිරීමත් සමඟ එය සාමාන්‍ය ජනතාවගේ ආහාරයක් බවට පත්ව තිබේ. මෙලෙස හොරගොල්ල සහ තිබ්බටුගොඩ යන ගම්මාන වල ජනතාවගේ නොමඳ ආදර ගෞරවයට පත් වෙමින්, සම්බා වී වගාවේ පුරෝගාමීත්වය දරමින් සහ තමන් දන්නා ගුප්ත ශාස්ත්‍ර මුල් කොට ඔවුනට සෙත සලසමින් දිගු කලක් වැජඹුණු ගමේ මුත්තා මරණයෙන් පසුව මහගම ඉහත්තාවේ ඇති නාගොඩ අල්ලිය නම් නාගස් ගොඩැල්ල වාස භවනය කරගත් ගම්බාර දෙවියකු වශයෙන් දේවත්වයට පත් ව තිබේ. එහෙත්, ඉන් පසුව ඛේදනීය අකල් මරණයකට පත් සකල කලා වල්ලභයන් ද අස්වානේ දෙවියන් නමින් දේවත්වයට පත් වන ලදුව මේ දේවත්වයන් දෙකම එකම දේවත්වයක් සේ සැලකෙන ලදී. ඊටත් පසු කලෙක දිවයිනේ ප්‍රදේශ බොහොමයක අදහනු ලබන සූනියම් ගම්බාර දේවත්වය තුළට මේ දේවත්වයන් දෙකම අවශෝෂණය වීම තුළ මහගම මුත්තාගේ දිව්‍යමය අනන්‍යතාව මුළුමනින් ගිලිහී තිබේ.

සම්පත් දායකත්වය - ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මහතා

Monday, December 7, 2020

පරණ පවර් සප්ලයි එකකින් වැඩක් ගනිමු - Computer Power Supply Hack



ඔබ ළඟ සමහර විට ඩෙස්ක්ටොප් වර්ගයේ පරිගණකවලට බලය ලබා දෙන, මේ වන විට ප්‍රයෝජනයක් නොගන්නා පවර් සප්ලයි එකක් තියෙන්න පුළුවන්. මේවා පරිගණකයකට බලය ලබා දෙන්න යොදා ගත්තත්, අපට එයින් වෙනත් ප්‍රයෝජන ගන්නත් ඕනෑ තරම් ක්‍රම තියෙනවා. උදාහරණයක් විදියට ඔබට නිවැරදි ආකාරයට වෝලට් 12 සරල ධාරාවක් යම් කිසි දෙයකට යොදා ගන්න අවශ්‍ය වුනොත්, වෙළෙඳ පළෙන් වොල්ට් 12 පවර් සප්ලයි එකක් මිලදී ගන්නේ නැතිව, පරිගණකයක ඇති පවර් සප්ලයි එකකින් මේ අවශ්‍යතාව සපුරා ගන්නට පුළුවන්. අනෙක පරිගණක පවර් සප්ලයි එකකින් වෝල්ට් 12 සරල ධාරවක් හැරුණු එයට වඩා අඩු වෝල්ටීයතාවන් ද ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. බොහෝ අය මේ ගැන දන්නවා  වුනත් නොදන්නා කෙනෙක් හිටියොත්, එහෙම අයට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා මම මේ සටහන ලියන්න හිතුවා.


මේ ඉහළ පින්තූරයෙන් පෙනෙන්නේ මා ළඟ තිබුණු පවර් සප්ලයි එක. මෙයින් ප්‍රයෝජනයක් ගන්නේ නැති නිසාත්, මට වෝල්ට් 12 සරල ධාරාවක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් ඇති වූ නිසාත්, මම කල්පනා කළා මෙයින් ඒ අවශ්‍යතාව ඉටු කරගන්න. මේ කියන්න යන කතාව ඔබටත් ප්‍රයෝජනයක් වෙයි කියලා මා හිතනවා.




පවර් සප්ලයි එකක් පරිගණක පද්ධතියෙන් ගලවා ඉවත් කර ගත් විට මෙන්න මේ ආකාරයකට දකින්න පුළුවන්. එහි විවිධ වර්ණවලින් නොසෑහෙන්න වයර් තියෙන බව ඔබ දන්නවා. මේ වයර්වලින් එකිනෙකට වෙනස් වෝල්ටීයතාවන් ලබා ගන්න පුළුවන්. ඒ ගැන විස්තරයක් පවර් සප්ලයි එකේ පැත්තක සඳහන් වෙනවා. පහත තියෙන්නේ එහෙම විස්තරයක්




 මේ පින්තූරයට අනුව අපට විවිධ වර්ණවල වයර්වලින් ලැබෙන වෝලටීයතාව දැනගන්නට පුළුවන්. 


දම් - වෝල්ට් +3.3/ ඇම්පියර් 7

කහ - වෝල්ට් +12/ඇම්පියර් 12

නිල් - වෝල්ට් -12/ඇම්පියර් 0.5

රතු - වෝල්ට් +5/ඇම්පියර් 12

සුදු - වෝල්ට් -5/ඇම්පියර් 0.5

දම් - වෝල්ට් +5/ඇම්පියර් 2 (SB - ස්ටෑන්ඞ් බයි - පවර් සප්ලයි එකේ අනෙක් සියල්ල අක්‍රියාකාරී තත්වයෙන් පැවතුනත් මේ වයර් එකෙන් සැපයෙන බලය සූදානම් තත්වයෙන් පවතිනවා. මෙයට ඒ නමින් පවසන්නේ ඒ නිසයි)

කලු - පොදු 

කොළ - පණ ගැන්වීම

අලු - PG (PG කියන්නේ පවර් ගුඞ් කියන අදහස. පවර් සප්ලයි එකෙන් සැපයෙන් සියලු වෝල්ටීයතාවන් හොඳ තත්වයෙන් පවතින බව පරිගණකයේ මදර් බෝඞ් එකට දැනුම් දෙන්න යොදා ගන්නේ මේ වයර් එකෙන් ලැබෙන විදුලියෙනුයි. 


මේ විස්තරය කියවා ගත්තාට පසු අර පවර් සප්ලයි එකේ නොසෑහෙන්න තියෙන වයර් ටික මෙන්න මේ විදියට පහසුවෙන් වෙන් කරගන්න පුළුවන්. 





මේ වයර් අතරින් කොළ පාට වයර් එක විශේෂයි. ඒ වයර් එක තමයි පවර් සප්ලයි එක පණ ගන්වන්න යොදා ගන්නේ. කලු එක වයර් එකක් සහ මේ කොළ වයර් එක මේ පහත සඳහන් ආකාරයට එකිනෙක සම්බන්ධ කිරීමෙන් පවර් සප්ලයි එක පණ ගන්වන්න පුළුවන්. 





ඊට පස්සේ අපට පුළුවන් මල්ටි මීටරයක් භාවිතයෙන් මෙයින් සැපයෙන වොල්ටීයතාවන් මැන බලන්න. 


මෙය අපට පිළිවෙලකට සකස් කර ගැනීමෙන් පසුව අපට අවශ්‍ය පරිදි වෝල්ටීයතා කීපයකින්ම බලය ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා