පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, January 31, 2014

බැරක් ඔබාමා දැනටමත් දික්කසාද වෙලා - Barak Obama already Divorced

ආකර්ෂණීය ගැහැනියක නොවන නිසා මිචෙල්ගෙන් වෙන් වන ලෙස රුසියානු දේශපාලඥයකුගෙන් ඔබාමාට උපදෙස්





ලෝකයේ විවිධ රටවල විවිධාකාරයේ නායකයෝ සිටිති. ඇතැම්හු අගමැතිවරුන් වන අතර තවත් අය ජනාධිපතිවරු වෙති. මේ අතර කොන්සල්වරු ද සිටිති. අපට සිටින්නේ ද ජනාධිපතිවරයකු බැවින් අප වැඩිපුර දන්නේ එවැනි නායකයන් ගැනය. අප රටේ බොහෝ දෙනකු අප රටේ ජනාධිපතිවරයා හැරුණු විට වෙනත් දන්නා එවැන්නෙකු ගැන ඇසුවොත් බොහෝ දෙනකු නිසැකවම දෙන පිළිතුර නම්, “ඇයි ඇමරිකානු ජනාධිපති?” යන්නය.  ඇමරිකාවේ ද විවිධාකාර ජනාධිපතිවරු අතීතයේ සිටම සිටියහ. ඒ අතරින් බොහෝ දෙනෙකු පිළිබඳ විවිධ කටකතා ද අපි අසා ඇත්තෙමු. මෑත ඉතිහාසයේ අප ඇසූ හොඳම කතාව සම්බන්ධ වන්නේ බිල් ක්ලින්ටන්ටය. ඒ ගෑනු හුටපටයක් පිළිබඳවය. නමුත් වර්තමාන ඇමරිකානු ජනාධිපතිවරයා වන බැරක් ඔබාමා පාලනය බාරගන්නා විට ඔහු ලකුණු දමාගත්තේසිය යහපත් පවුල් ජීවිතය ද ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කරගනිමිනි.  ඔහු සහ ඔහුගේ පවුල පිළිබඳ ලොව පුරා පුවත්පත් සහ සඟරා බොහෝ කතාකරන්නට ඇත. කෙසේ නමුත් පැණි වරකා ගසටත් හෙණ ගසනවා යැයි අපි අසා ඇත්තෙමු. බැරක් ඔබාමාගේ පවුල් ජීවිතය නමැති පැණි වරකා ගසටත් හෙණ ගසාගෙන එන්නේ දැයි සිතෙන තරම් කතා දැන් දැන් ආරංචි වේ. නෙල්සන් මැන්ඩෙලාගේ අවමඟුල මොහොතේ ඔහු සිය බිරිඳ වූ මිචෙල් ඔබාමා පසෙක සිටියදී ඔබාමා ඩෙන්මාර්ක් අගමැතිවරිය වූ හෙලේ තෝර්නින්ග් සමඟ අමුතු ආකාරයේ කතාබහක යෙදී සිටින ආකාරයත්, මිචෙල් ඔබාමා පැත්කට වී පිපිරෙමින් සිටින ආකාරයත් දැක්වෙන ඡායාරූප අන්තර්ජාලය පුරා පැතිර ගියේය. දැන් ලැබෙන ආරංචිවලට අනුව තත්වය තවත් දරුණු වී ඇති බැව් පෙනෙන්ට තිබේ.

නෙල්සන් මැන්ඩෙලාගේ අවමඟුළ මොහොතේ ඔබාමා, මිචෙල් සහ ඩෙන්මාර්ක් ජනපතිවරිය 

අඬන්නට සිටින මිනිහාගේ ඇහැට ඇඟිල්ලෙන් අනිනවා වැනි වැඩක් ද පසුගිය දවසක සිදුවිය. ඒ රුසියානු නායකයකු වූ ව්ලැදිමීර් සිරිනොව්ස්කි පවසා තිබුණේ වඩාත් සාර්ථක නායකයකු වන්නට නම් ඔබාමා අනිවාර්යයෙන්ම මිචෙල්ගෙන් දික්කසාද විය යුතු බවයි. රුසියාවේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයකු වූ ඔහු මෙවැනි පපුවට පිහියෙන් අනිනවාක්වැනි ප්‍රකාශ නිකුත්කිරීමට රුසියෙකු සහ හපනෙකු බව ද පැවසේ. ඔහු තවදුරටත් පවසා සිටියේ මිචෙල් යනු ආකර්ෂණීය බලපෑමක් ඇතිකරන ගැහැනියක නොවන බවය. එනිසා  ඔබාමාට ඇති ජනප්‍රියත්වය අඩුවියහැකි බවය. ඔහු විශ්වාස කරන පරිදි සෑම ලෝක නායකයකුම යම්කිසි ප්‍රසිද්ධියට පත්වන වැඩකට දායක විය යුතුය. ඔහු පවසන්නේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වූ බිල් ක්ලින්ටන් වඩාත් කාර්යක්ෂම නායකයකු බවට පත්කරන්නට මොනිකා ලෙවින්සිගේ වැඩකටයුතුහේතු වූ බවය.  කෙසේ නමුත් 2013 සිය දික්කසාදයෙන් පසුව වඩාත් කාර්යක්ෂම නායකයකු වූ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් පිළිබඳ කිසිවක් හෝ සඳහන් නොකරන්නට ද ඔහු වග බලාගත්තේය.
අනෙක් අතට තමා දික්කසාදවන්නට සැරසෙන බවට පැතිර යන කටකතා සමඟ සටනක් කරන්නට ද ජනපති ඔබාමාට දැන් සිදුව තිබේ. මෙය මේ දිනවල අන්තර්ජාලය පුරා පැතිර යන උණුසුම්ම පුවත බවට පත්වී ඇත. මිචෙල් ඔබාමා රහසේම දික්කසාදවීමක් සම්බන්ධව නීති උපදෙස් ලබාගෙන ඇති බව ද දැනගන්නට ලැබී තිබේ. ඇය දික්කසාද නඩුවෙන් බැරක් ඔබාමාගේ දේපළවලින් අඩක් ද ඉල්ලා සිටින්නට සැරසෙන බව පැවසේ.

ජනපති ඔබාමාගේ ධුර කාලයෙන් අනතුරුව ඔහු හැදී වැඩුණු හවායි කරා යාමට නියමිත බැව් පැවසේ. මිචෙල් ඔබාමා සහ දියණියන් දෙදෙනා වොෂිංටන් ඩී.සී. හි නතරවනු ඇත.
ඔබාමා දික්කසාදවන්නට සැරසෙන බවට කටකතාවක් පැතිර ගිය ප්‍රථම අවස්ථාව මෙය නොවේ. නමුත් මෙවර එය තරමක් දරුණු ආකාරයක් ගෙන ඇති බැව් පෙනේ.

බැරක් ඔබාමා නත්තල් උත්සවය සඳහා හවායි කරා ගිය අවස්ථාවේදී ඔහුගේ අනියම් සම්බන්ධයක් පිළිබඳව යමෙක් මිචෙල්ට පවසා ඇත. ඔබාමා  එක්තරා කාන්තාවක සමඟ හිඳ මිචෙල්ගේ අතටම අසුවූ පුවතක් ද වාර්තාවන අතර එය සියලු මාධ්‍යවලින් වසන්කරන්නට ජනපතිවරයාගේ රහස් සේවාව කටයුතු යොදා ඇත. මේ සම්බන්ධයෙන් ජනපතිවරයා හා බිරිඳ අතර ගැටුමක් ද හටගෙන ඇති බැව් වාර්තා වේ.

මේ ගැටුමෙන් පසුව මිචෙල්, සිය සිය දියණියන් සහ ජනපතිවරයා සමඟ එක ගුවන් යානයේ වොෂිංටන් කරා පැමිණීම ද ප්‍රතික්ෂේප කොට ඇත. නමුත් ජනපතිවරයා සමඟ දියණියන් දෙදෙනා වොෂිංටන් කරා ගොස් ඇති අතර මිචෙල් පසුව තනිවම පැමිණ ඇත. ඇය ජනපතිවරයා සමඟ වූ සිත් අමනාපය නිසා සතියකටත් වැඩි කාලයක් හවායි හි නැවතී සිට ඇති ඇති අතර ජනපති මාධ්‍යවලින් ඒ පිළිබඳ පවසා ඇත්තේ ජනපති බැරක් ඔබාමා මිචෙල් ගේ උපන්දිනය වෙනුවෙන් ඇයට හවායි හි සතියක නිවාඩුවක් ගතකිරීමට වරප්‍රසාදයක් දී ඇති බවය. මෙය ජනපති මාධ විසින් අතේ පැළකරනලද්දක් බැව් කියනු ලැබේ.


ධවල මන්දිරයෙන් ලැබෙන දූෂමාන ආරංචිවලට අනුව නම් ජනපති යුවල දැනටමත් දික්කසාද වී හමාරය. නමුත් ජනපති ධුරය අවසන්වන තෙක් ලෝකයාට පෙනෙන සේ ඔවුහු තවමත් පවුල් කනබව ප්‍රදර්ශනය කරති. අනෙක මිචෙල්, බැරක් ඔබාමා සමග එක කුටියේ සැතපීමෙන් ද වැළකී වෙනම කාමරයක පදිංචි වී සිටින බැව් ද පැවසේ. එමෙන්ම චිකාගෝ හි ඇති ඔවුනට ඇති නිවහනේ වූ බැරක් ඔබාමා ද අයත් බඩු බාහිරාදිය  ඉවත් කරන්නට ද මිචෙල් ක්‍රියාමාර්ග ගෙන ඇති බැව් ද පැවසේ. කෙසේ හෝ මේවා හුදෙක් කටකතා පමණක් නොවන බව අපටද හැඟී යන්නේ ගින්නක් නැතිව දුමක් නොනගී යන අපේ පිරුළ සිහියට නැංවෙන විටය. 

Friday, January 24, 2014

හෝටල් කාමරයක අභිරහස් ලෙස මියගිය ඉන්දීය ඇමති බිරිඳ - Wife of Indian Minster committed suicide in hotel room


ඉන්දීය මධ්‍යම රජයේ ඇමතිවරයකුගේ බිරිඳ හිටිහැටියේ මරණයට පත්වීමේ පුවත මේ දිනවල ජාත්‍යන්තර ජනමාධ්‍යයේ සුවිශේෂීතම පුවතක් බවට පත්වී තිබේ. පුවත් සොයමින් සිටි මාධ්‍යවලට මෙය කදිම සිදුවීමක් බවට පත්ව තිබේ. මෙම සිදුවීම සවිස්තරව මෙසේය. 

ඇමතිවරයා නමින් ශෂී තරූර් ය. ඔහු ඉන්දීය මධ්‍යම රජයේ කණිෂ්ට මානව සම්පත් සංවර්ධන ඇමතිවරයාය. ඔහුගේ බිරිඳ සුනන්දා පුෂ්කර් ය. ඇය පසුගිය 17 වැනිදා (ජනවාරි) නවදිල්ලියේ තරු පහේ හෝටලයක් වූ ලීලා පැලස්හි සිය කාමරය තුළ මිය ගොස් සිටියාය. ඇය මියගොස් සිටි බව සොයාගන්නට හැකි වූයේද හෝටල් සේවකයන් කාමරයේ දොර විවෘත කරන්නට උත්සාහ ගත් මොහොතේය. 

වෛද්‍යවරු මෙම මරණය හඳුන්වා දී තිබුණේ අස්වාභාවික ක්ෂණික මරණයක්වශයෙනි. 


ශෂී තරූර් 

මෙම සිදුවීමේ එක් චරිතයක් වන්නේ ශෂී තරූර් නම් ඇමතිවරයාය. 1956 මාර්තු 9 වැනිදා උපන් ඔහු දේශපාලනඥයකු පමණක් නොව කර්තෘවරයකු සේම පුවත්පත් තීරු ලිපි රචකයකු ද වන්නේය. ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනතුරු අතර වේගයෙන් ඉහළට නැග ආ අතර එහි මහලේකම් සඳහා පැවති තරගයෙන් බැංකි මූන් හට පරාජය වීමෙන් පසු එම සංවිධානයේ තනතුරුවලින් ඉල්ලා අස්විය. කෙසේ මුත් ඔහු දේශපාලන වශයෙන් දූෂණ හා අක්‍රමිකතාවලට ද චෝදනා ලැබ තිබේ. 

මෙහ්රා තරාර් 


මෙම සිදුවීම පසුපස සිටින තවත් චරිතයක් නම් පකිස්ථානු මාධ්‍යවේදිනියක වන මෙහ්රා තරාර් ය. 1968 මාර්තු 2 වැනිදා උපන් ඇය පාකිස්ථානු ඩේලි ටයිම්ස් පුවත්පතේ සහකාර සංස්කාරකවරිය ලෙස කටයුතු කරන්නීය. ඇය මාධ්‍යවේදිනියක වුවත් ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානයට ලක්වන්නේ ශෂී තරූර්ගේ සමඟ යම්කිසි සබඳතාවයක් පවත්වාගෙන ගිය බවට ඔහුගේ මියගිය බිරිඳ චෝදනා කිරීමත් සමගය. එමෙන්ම ඇය පාකිස්ථානු රහස් ඔත්තුකාරියක බවටත් සුනන්දා පුෂ්කර්ගේ චෝදනාවට ලක්ව සිටියාය.

සුනන්දා පුෂ්කර්ගේ යටගියාව 

1964 ජූනි 17 වැනිදා උපන් සුනන්දා පුෂ්කර් මියයන විට 50 වැනි වියෙහි පසු වූවාය. ඇය ඩුබායි හි පිහිටි ටෙකොම් ඉන්වෙස්ට්මන්ට්ආයතනයේ අළෙවි කලමනාකාරිනිය මෙන්ම ඉන්දියාව මුල්කරගනිමින් පිහිටුවාගත් රෙන්ඩසවුස් ස්පෝර්ට්ස් වර්ල්ඩ්හි සම හිමිකාරිනිය ද වූවාය. කාශ්මීර් ජාතිකයකු වූ සංජේ රයිනා සමඟ ඇය මුළින්ම විවාහ වී සිටි අතර 1988 වසරේදී එම විවාහයෙන් වෙන්වූවාය. අනතුරුව 1989දී ඩුබායි කරා පිටත්ව ගිය ඇය 1991 දී සුජිත් මෙනන් සමඟ විවාහ වූවාය. 1997 වසරේ ඉන්දියාවට පැමිණි අවස්ථාවකදී සුජිත් රිය අනතුරකින් මිය ගියේය. ඇයට ශෂී තරූර් හමුවන්නේ 2009 වසරේදීය. ඒ කෝටිපතියකු විසින් සංවිධනය කරනු ලැබූ සාදයකදීය. එදින සිදුවූ පළමු හමුවෙන් පසුව ගෙවුණු බොහෝ අවස්ථාවල ශෂී හා සුනන්දා එක්ව සිටිනු දක්නට ලැබීම සුලභ සිදුවීමක් විය. සුනන්දාගේ සමාගම වෙනුවෙන් වාසිසහගත යම් යම් දේ සිදුකරවා දීම හේතුවෙන් ශෂී තරූර් ඇමතිවරයා මාධ්‍යවල දෝෂාරෝපණයට ලක්වන්නට වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙදෙනාම මාධ්‍යවල අවධානය යොමු විය. 


ට්විටර් සිදුවීම 

ට්විටර් යනු සුප්‍රකට ෆේස්බුක් වැනිම සමාජ ජාල වෙබ් අඩවියකි. මෙය ඉන්දීය දේශපාලඥයින්, කලාකරුවන් ඇතුළු බොහෝ සුප්‍රකට පුද්ගලයන් අතර ජනප්‍රිය වෙබ් අඩවියකි. ඔවුන් සිය පෞද්ගලික තොරතුරු පවා මේ ඔස්සේ හෙළිකොට තිබෙනු දැකිය හැකිය. ශෂී තරූර් වෙනුවෙන් ද ට්විටර් ගිණුමක් තිබිණි. 2014 ජනවාරි 15 වැනිදා ඔහුගේ ට්විටර් අඩවියේ ආදරබර පණිඩිඩ ගණනාවක් දිස්වන්නට පටන්ගත්තේය. ඒවා එයට එක්කොට තිබුණේ පකිස්ථානු මාධ්‍යවේදිනියක වූ මෙහ්ර් තරාර් විසිනි. එම පණිවිඩවලින් දැකගන්නට ලැබුණේ අැය සහ ශෂී තරූර් අතර ආදර සබඳතාවයක් ඇති බවය. එක් පණිවිඩයක් මෙබඳු විය. 

මම ඔයාට ආදරෙයි ශෂී තරූර්. හැම වේලාවෙම ඔයාට ආදරෙයි. මම ඔබේ ආදරයත් හිතේ තියාගෙන යන්නම්. වේදනාවක් තමයි. ඒත් ඔයා එක්ක මම හැමවෙලාවකම”. 

මෙවැනි පණිවිඩ ගණනාවක්ම ශෂී තරූර්ගේ ටිව්ටර් පිටුවේ පළවී තිබුණු අතර ඒවා ඔහුගේ මිලියන දෙකක් තරම් අනුගාමිකයන් විසින් දැක තිබිණි. 

පසුව ශෂී පැවසූයේ තම ට්විටර් ගිණුමට යම්කිසිවෙකු හොරෙන් ඇතුළු වී මේවා සිදුකළ බව වුව ද මිය යන්නට පෙර සුනන්දා හෙළිකොට සිටියේ එවැනි කිසිවක් සිදුනොවූ බවත්, මෙහ්රා විසින් සිය සැමියා අපහසුවට පත්කිරීම සඳහා මෙම පණිවිඩ ටිව්ටර් හි පළකරන්නට ඇති බවත්ය. පසුව ශෂී තරූර්ගේ ෆේස්බුක් පිටුවේ පළවී තිබුණේ සුනන්දා හා ශෂී එක්ව සකස් කළ පණිවඩයකි. එහි සඳන්ව තිබුණේ ඔවුන්ගේ විවාහ ජීවිතය ප්‍රීතිමත් එකක් බවය. සුනන්දා යම්කිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ බව ද එහි සඳහන්ව තිබිණි. 

මරණය 


ට්විටර් සිදුවීමෙන් පසු 2014 ජනවාරි 17 වැනිදා නවදිල්ලියේ ලීලා හෝටලයේ 345වැනි කාමරයේ සුනන්දා පුෂ්කර් මියගොස් සිටියාය. සුනන්දාගෙන් කිසිදු පණිවිඩයක් නොලැබුණු තැන ශෂී විසින් පොලීසිය දැනුවත්කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇයගේ සිරුර හොටල් කාමරයේ තිබී සොයාගන්නට හැකිවිය. මුළින්ම වාර්තා වූයේ සුනන්දා සියදිවි නසාගෙන ඇති බවකි. පසුව වාර්තා වූයේ එය අස්වාභාවික හදිසි මරණයක්ලෙසිනි. මූලික මරණ පරීක්ෂණයේදී හෙලි වූයේ ඇයගේ සිරුරේ තුවාළ සළකුණු තිබෙන බවය. මෙම තුවාල මරණයට හේතු වූයේද නැතිද යන්න පිළිබඳ කිසිවක් සඳහන් නොවිණි. පොර බැදූ සළකුණක් ද දක්නට නැත. ඇය වේදනානාශක ඖෂධයක් මාත්‍රාව ඉක්මවා ලබාගෙන ඇති බව ද පරීක්ෂණවලදී හෙළිවිය. ඒවා සමඟ මද්‍යසාර ද කළවම් වී ඇති බැව් දක්නට ලැබිණි. කෙසේ මුත් මරණ පරීක්ෂණවලින් අනතුරුව සෙනසුරාදා නවදිල්ලියේදී ඇගේ සිරුර ආදාහනය කෙරිණි. 

මෙම සිදුවීම්වලින් සම්බන්ධව මෙහ්රා පවසන්නේ ශෂී සමඟ තමාගේ කිසිදු සම්බන්ධයක් නොපැවති බවය. ඇය මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන්නීය. 

කෙසේ මුත් ඉන්දීය වෝහාරික වෙවද්‍යවරුන් පිරිසක් මෙම මරණයට හේතුව ලෙස සඳහන් කොට ඇති අස්වාභාවික හදිසි මරණයයන හේතුව ප්‍රතික්ෂේප කර සිටිති. ඔවුන් පවසන්නේ ස්වභාවික හදිසි මරණයයන යෙදුම මිස අස්වාභාවික හදිසි මරණයවැනි යෙදුමක් වෝහාරික වෛද්‍ය විද්‍යාවේ භාවිත නොවන බවය. ඔවුන් පවසන්නේ මේ පිළිබඳ තවත් පරීක්ෂණ අවශ්‍ය බවය. මේ සම්බන්ධව තවමත් පරීක්ෂණ අවසන්ව නොමැති අතර නොබෝ දිනකින් සියලු තතු මාධ්‍ය ඉදිරියේ දිගහැරෙනු ඇත.

Sunday, January 19, 2014

ඉසිවර වෙදැදුරු නාට්‍යයේ ජී න්‍යොන්ග් - Lee Yo-won as Kang Ji-nyeong in The King's Doctor


‛ඉසිවර වෙදැදුරු’ කියන්නේ මේ දවස්වල කවුරුත් වගේ නරඹන ජනප්‍රිය කොරියානු ටෙලිනාට්‍යයක්. හැම කොරියානු ටෙලි නාට්‍යයක් වගේම ‛ඉසිවර වෙදැදුරු’ත් සත්‍ය ඉතිහාස කතාවක්. මේ නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ ඔබ මෙයට පෙර නැරඹූ ‛සුජාත දියණි’ සහ ‛අභීත දියණි’ කියන ජනප්‍රිය නාට්‍යවල අධ්‍යක්ෂවරයාමයි. මෙය මේ තරම් ජනප්‍රියවන්නට එයත් හේතුවක් වෙන්න ඇති. ජෝසෙන් රාජ්‍ය සමයේ අවසාන භාගයේ දී පමණ ජීවත් වූ අශ්වයිනට ප්‍රතිකාර කිරීමට දක්ෂකම් දැක් වූ ‛බෙක් ක්වන්ග් - හ්‍යුන්’ නම් පශු වෛද්‍යවරයකු වටා මෙම කතාව ගෙතී තිබෙනවා. කුලයෙන් පහත් පුද්ගලයකු වන බැවින් පශු වෛද්‍යවරයකු ලෙස පවා ඉහළට පැමිණෙන්ට ඔහු ඉදිරියේ ඇති බාධාවන් අපමණයි. නමුත් වැඩවසම් සමාජ ක්‍රමයේ තාඩන පීඩනවලින් නොසැලී දිරියෙන් ජීවිතය ජයගන්නා මේ පශු වෛද්‍යවරයා අවසානයේ රජමාලිගාවේ රාජකීය වෛද්‍යවරයා බවට පත්වෙනවා. මේ තමයි ප්‍රධාන චරිතය. එය නිරූපණය කරන ‛ජෝ සුන්ග් - වූ’ ගැන අපි පසුගිය සතියක කතා කළා. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඔහු සමග මෙහි ප්‍රධාන චරිතයට දායකවන රංගන ශිල්පිනිය ගැනයි. ‛ඉසිවර වෙදැදුරු’ නාට්‍යයයෙන් අපි ඇයව හඳුනාගන්නේ ‛ජි න්‍යොන්ග්’ විදියට. (ඉසිවර වෙදැදුරු නාට්‍යයේ මේ නම තරමක් වෙනස්ව්නට පුළුවන. මෙහි සඳහන්කොට ඇත්තේ මුල් කොරියානු නමයි) හැබෑ ජීවිතයේ දී අප ඇය හඳුනාගන්නේ ‛ලී යෝ-වොන්’ නමින්. 

විවාහය

1980 අප්‍රේල් 9 වැනිදා දකුණු කොරියාවේ ග්‍යොන්ගි පළාතේ සොන්ග්නම් නගරයේ උපන් ලී යෝ-වොන් ගේ කුඩා සමය ගැන තොරතුරක් සොයාගන්නට නැහැ. ඇය තමන්ගේ වෘත්තිය ජීවිතය ආරම්භ කරන්නේ මෝස්තර නිරූපණ ශිල්පිනියක් විදියට. ඇය වර්ෂ 1997 ඇය ඩැන්කොන් සරසවියේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටින කාලයේ මෝස්තර නිරූපණ ශිල්පිනියන් සඳහා වූ තරගයකට අයැදුම්කරනවා. එය අවසන්වන්නේ ඇයට ජග්‍රහණය ලබාදෙමින්. ඉන් පසුව ඇයට කොරියාවේ අතිශය ජනප්‍රිය මාසික මෝස්තර සඟරාවක් වන ‛ෆිගාරෝ’ හි 1998 නොවැම්බර් කලාපය සඳහා පෙනී සිටින්නට අවස්ථාවක් ලැබෙනවා. ඒ තමයි ඇය තමන්ගේ රූ සපුව ප්‍රසිද්ධියේ ඉදිරිපත් කළ මුල්ම අවස්ථාව. 

1988 වසරේම ඇයට තමන්ගේ මුල්ම සිනමා නිර්මාණය සඳහා සහභාගී වන්නට ද අවස්ථාව ලැබෙනවා. ඒ ‛සෙන්ට් ඔෆ් මෑන්’ සඳහායි. ප්‍රථම සිනමා නිර්මාණයේදීම ඇයට මුහුණ දෙන්නට ලැබෙන්නේ දුක්බර අත්දැකීමක්. ඇය අලුත් නිසා කාර්ය මණ්ඩලයේ කිසිකෙනෙක් ඇයගේ රංගනය අගය කරමින් කතා කළේ නැහැ. ඔවුන් එක් ජවනිකාවකින් පසුව අත්පොළසන් දුන්නේත් ජනප්‍රිය අය සඳහා පමණයි. මේක ලී යෝවොන් ගේ පළමු රංගනය නිසා මේ වෙනස දරාගන්නට බැරිව නිතර හැඬුම් එන්න පටන් ගත්තා. ඇය හඬනවා දුටු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙක් කිව්වේ, “ඔයා අඬන්න නම් මාර දක්ෂයි” කියලයි. තමන්ගේ කුමක් හෝ දක්ෂතාවයක් ගැන මුළින්ම හොඳක් අහන්න ලැබුණේ ඒ වෙලාවෙයි. ඇය ඒ ගැන හිතුවේ ඒ විදියට. ඒ විදිහට ආත්ම විශ්වාසය ගොඩනගාගත්තු ඇය රංගනය වෘත්තීය මට්ටමෙන් කළ යුතුයි කියා සිතුවා. 
ඇගේ දෙවැනි සිනමා නිර්මාණය ‛ඇටෑක් ද ගෑස් ස්ටේෂන්’. එහි ප්‍රවේශ පත්‍ර මිලියන 2.4ක් අළෙවි වූ බව වාර්තා වෙනවා. මෙය ජනප්‍රියවීමත් සමඟ ලී යෝ-වොන්’ මහජනතාවගේ අවධානයට ද ටිකෙන් ටික ලක්වන්නට පටන් ගත්තා. ඒ එක්කම ඇයට රූපවාහිනි නාට්‍ය ද ලැබෙන්නට පටන්ගත්තා. 2001 දී ඇය  ‛බ්ලූ ලව්’ කියන ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට දායක වුණා. ඒ ටෙලි නාට්‍යයක් සඳහා කළ ඇගේ මුල්ම ප්‍රධාන චරිතයයි. මේ නාට්‍ය මාළාව නොසිතූ විදිහට ජනප්‍රිය වුණා. මේ කතාවෙන් කියැවුණේ අවුරුදු 40 ක පමණ පුද්ගලයකු සමග ආදර සබඳතාවයක් පවත්වාගෙන යන අවුරුදු 20 ක පමණ තරුණියක් ගැනයි. මේ කතා තේමාව නිසාම මෙය බොහෝ දෙකෙුගේ කතාබහට ලක්වුණු ටෙලිනාට්‍යයක් බවටත් පත් වුණා. 
පුංචි පවුල

ඒ වසරේදී ඇයට ‛ටේක් කෙයාර් මයි කැට්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත තුනෙන් එකක් සඳහා රංගනයෙන් දායකවන්නට අවස්ථාවක් ලැබුණා. අධ්‍යක්ෂවරියක් යටතේ නිර්මාණය වුණු මෙය විචාරක පැසසුමට ද ලක්වූ සිනමා නිර්ාමාණයක්. ‛සිනේ සෝල්’ සඟරාව 2001 වසරේ තිරගත වූ හොඳම චිත්‍රපට 5 අතරට මෙය ද තෝරාගෙන තිබීම විශේෂත්වයක්. අනෙක ‛එල්ලේ කොරියා’ කියන මෝස්තර සඟරාව සමඟ ලී යෝ-වොන් කළ සාකච්ඡාවකදී සඳහන් කොට තිබුණේ ‛ටේක් කෙයාර් මයි කැට්’ කියන සිනමා නිර්මාණය ඇගේ රංගන ජීවිතයේ අමතක නොවන සන්ධිස්ථානයක් බවයි. 

කවුරුත් බලාපොරොත්තු නොවූ විදියට 2003 වසරේ ආරම්භයේදීම ඇය පැවසූයේ තමන් විවාහවන්නට සූදානම්වන බවයි. ජනවාරි මාසයේ අවසන්වන විට ඇය වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයකු හා ව්‍යාපාරිකයකු වන ‛පාර්ක් ජින්-වූ’ සමඟ විවාහ වුණා. සිය සැමියා සමඟ අධ්‍යයන කටයුතු සඳහා ඇමරිකා එක්සත් ජනපදය කරා යාමට සියලු කටයුතු සූදානම්කරගත් නිසා මද කලකට රංගන ජීවිතයෙන් සමුගන්නට ඇයට සිදු වුණා. 2004 වසරේදී ඇය සිය පළමු දරු උපතට මුහුණ දුන්නා. 

2005 වසරේදී ඇය නැවතත් රංගනයට එක් වුණා. ඒ ‛ෆැෂන් සෙවන්ටීස්’ නාට්‍ය මාළාවෙන්. ඇය මෙහි තමාට හිමි චරිතය භාරගැනීම සඳහා හේතු තුනක් සඳහන් කොට තිබුණා. එකක් එය ඓතිහාසික කතාවක් වීම. අනෙක මෙය අධ්‍යක්ෂණය කළේ මෙයට පෙර ස්ත්‍රීවාදී දෘෂ්ටියකින් රහස් පරීක්ෂක කතාවක් (ඩේමෝ - ද ලෙජන්ඩරි පොලිස් වුමන්) නිර්මාණය කළ ජනප්‍රිය සිනමාකාරියක වන ලී ජේ-ක්‍යු’ වීම. අනෙක මේ කතාව කාන්තාවන් ගැන කතා කිරීම. ඇය පැවසූයේ හුදු ප්‍රේම කතාවලට වඩා කාන්තාවන් ගැන කියැවෙන කතාවලට රංගනයෙන් දායකවීමෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගැනීමට වැඩිවශයෙන් මගපෑදෙන බවයි. 
‛පැෂන් සෙවන්ටීස්’ නාට්‍යයෙන් පසුව ඇය විවිධ සිනමා නිර්මාණ හා ටෙලිනාට්‍යවලට දායක වුණා. 2009 දී ඇය අතිශය ජනාදරයට පත් වූ තවත් ටෙලිනාට්‍යයක් සඳහා දායක වුණා. ඒ ‛ද ග්‍රේට් ක්වීන් සොන්ඩොක්’. ඇය මෙහි නිරූපණය කළේ අසාමාන්‍ය බුද්ධියකින් හා ශක්තියකින් යුක්ත වුණු සොන්ඩොක් රැජිනගේ චරිතයයි. දුර්වල කාන්තා චරිත නිරූපණය කරන්නට තමන් අකැමති බව ඇය එක් අවස්ථාවක පවසා තිබුණා. මෙවැනි ශක්තිමක් චරිත තෝරාගන්නට ඇය දෙවරක් නොසිතන්නේ ඒ නිසා යැයි ද ඇය පැවසුවා. 

2010 දී ඇය ‛ද රෙසිපි’ සඳහා දායක වූ අතර ඔක්තෝබර් අවසානවන විට එය තිරගතවන්නට පටන් ගත්තා. ජාත්‍යන්තරයට ගිය ඇගේ ප්‍රථම සිනමා නිර්මාණය එයයි. 

ඉසිවර වෙදැදුරු


ඇය පසුගිය වසරේ (2013) අවසන් වරට රංගනයෙන් දායක වූයේ ‛එම්පයර් ඔෆ් ගෝඩ්’ ටෙලිනාට්‍යය සඳහායි. ඉන්පසුව ඇය මාධ්‍ය හමුවේ පවසා සිටියේ තමන් දෙවැනි දරුවා අපේක්ෂාවෙන් පසුවන බවයි. ඒ නිසා තමන්ට විවේකය අවශ්‍ය බවත් ඇය පවසා තිබුණා. 

මේවන විට ඇය සිනමා නිර්මාණ 10කටත්, ටෙලි නිර්මාණ 12කටත් පමණ දායක වී තිබෙනවා. අප නරඹන ‛ඉසිවර වෙදැදුරු’ විකාශනය වී තිබෙන්නේ 2012 වසරේ. ඇය සිය රංගනය උදෙසා මේවන විට සම්මාන 14ක් පමණ දිනාගෙන තිබෙනවා. 

Friday, January 17, 2014

පසුම්බියේ දමාගෙන යා යුත්තේ මොනවාද? - How to Know What to Carry in Your Purse



පසුම්බිය යනු අප සියලු දෙනාටම බොහෝ ප්‍රයෝජනවත් වන අත්‍යවශයම භාණ්ඩයකි. ලොකු, කුඩා, ගැහැනු, පිරිමි භේදයකින් තොරව සියලු දෙනාම පසුම්බි භාවිත කරති. ඇතැම්විට දමාගන්න මුදල් නැතත් පාසල් යන කුඩා දරුවා සතුව ද පසුම්බියක් තිබෙනු දැකිය හැකිය. පසුම්බි ගැහැනු පිරිමි වශයෙන් පැහැදිලවම වෙනසක් තිබේ. ගැහැනුන්ගේ පසුම්බි පිරිමි භාවිත නොකරන අතර පිරිමින්ගේ පසුම්බි ගැහැනු භාවිත නොකරයි. මේවායේ දමාගෙන යන ඒවායේ ද පැහැදිලිවම වෙනස්කම් පවතී. පසුම්බි ආශ්‍රිතව ආදිකාලයේ පටන්ම සුප්‍රකට රැකියාවක් ද බිහිවී තිබේ. ඒ ‛පික්පොකට්’ ගැසීම හෙවත් ‛ගැට කැපීම’ ය. පසුම්බියට දමාගත් දෙයක් විසි කරන්නට අකැමති අය ද දක්නට ලැබේ. මෙය බොහෝ විට පිරිමින් අතර පවතින පුරුද්දක් වන අතර ඒ නිසාම එවැනි අයගේ පසුම්බි ප්‍රමාණයට වඩා පිම්බී තිබේ. කෙසේ නමුත් බොහෝ කාන්තාවන් ද සිය පසුම්බියේ දමාගත යුත්තේ මොනවාද යන්න පිළිබඳ නිසි අවබෝධයකින් පසුනොවනවා වන්නට ද පුලුවන. ඇතැම් අය අනවශ්‍ය දේ පසුම්බියේ දමා අවශ්‍ය දේ ගෙදර දමා යන අවස්ථාවන් ද දක්නට ලැබේ. මේ ලිපිය කියැවීමෙන් පසුව එවැනි දේ සිදුනොවනවා ඇතැයි අපි සිතමු.

1. මුළින්ම අප සළකා බැලිය යුත්තේ අපට ගැළපෙන පසුම්බියක් වෙළෙඳපළෙන් තෝරාගැනීමය. එය එක් එක් අයගේ අවශ්‍යතාවය, ඔවුන් කරනා රැකියාව ආදිය මත තීරණය වේ. දීර්ඝ වේලාවක් නිවසින් පිටව ගත කරන අයකු රැගෙන යා යුතු දෑ බොහොමයක් ඇති බැවින්, එවැනි අයට තරමක විශාලත්වයෙන් වැඩි පසුම්බියක් අවශ්‍ය වේ. එය ඔබ විසින් තීරණය කළ යුතුය. 

2. දිනපතා ඔබගේ පසුම්බියේ දමාගෙන රැගෙන යා යුත්තේ මොනවාදැයි තීරණය කරන්න. මෙය වඩාත් වැදගත් වන්නේ වැඩි කාලයක් නිවසින් පිටව කාලය ගත කරන්නට සිදුවන අවස්ථාවකදීය. රැකියාවක් කරන කාන්තාවකට ද එය වැදගත්ය. එබැවින් පසුදිනට තමාට අවශ්‍යවන දේවල ලැයිස්තුවක් සකස්කොට ඒ සියල්ල පසුම්බියේ දමාගැනීමෙන් මගහැරෙන දේ අඩුකරගත හැකිය. 

3. පසුම්බියක් රැගෙන තමා යන්නේ කුමන ස්ථානයකට ද යන්න පිළිබඳ සිතිය යුතුය. ඔබ රැකියාවට යන විට රැගෙන යන දෙයට වඩා වෙළෙඳපළට යන විට රැගෙනයන දේ වෙනස් ය. දුරගමනක් යන්නේ නම් තවත් අමතර දේ බොහොමයක් රැගෙන යන්නට සිදුවනු ඇත. විනෝද ගමනක්, උත්සවයක් නම් එය තවත් වෙනස්ය. 

4. කාන්තාවන් සියලු විටම සිය පෙනුම පිළිබඳ සැළකිලිමත්වන බැවින් ඔවුනගේ පසුම්බිවල රූපලාවන්‍ය උපාංගවලින් අඩුවක් දක්නට නොලැබේ. එබැවින් මෙය ඔබගේ සුවිශේෂී අවධානයට යොමුවිය යුත්තකි. 

- ඔබ දිනපතා කෙතරම් රූපලාවන්‍ය ප්‍රමාණයක් භාවිත කරන්නේ දැයි සිතාබලන්න. ඔබ වැඩිපුර රූපලානව්‍ය උපකරණ භාවිත කරන්නේ නම් හෝ නිතර බැහැරට යන්නේ නම් ඔබගේ රූපලාවන්‍ය උපාංග ද පසුම්බියේ දමාගෙන යායුතු වන්නේය. කුඩා කැඩපතක් ද තිබිය යුතු අත්‍යවශ්‍යම අංගයකි. 
- ඔබ රූපලාවන්‍ය එතරම් භාවිත නොකරන කාන්තාවක වුව ද ටිෂූ සහ පනාවක් හෝ කොණ්ඩය පීරන බුරුසුවක් පසුම්බියේ පැවතීම ප්‍රයෝජනවත් වනු ඇත. 
- ඇතැම් කාන්තාවෝ වෛද්‍ය උපදෙස් ඇතිව හෝ නැතිව දහවල් ආහාරයෙන් පසුව ද දත්මදින්නට පුරුදුව සිටිති. රැකියා ස්ථානයේ නම් දත් බුරුසුවක් සහ කුඩා දන්තාලේපයක් තබාගත හැතිය. නමුත් වෙනත් ස්ථානයකට යන්නේ නම් ඔබට එම අවශ්‍යතාවය ඉටුකරගතනොහැකි වනු ඇත එබැවින් එවැනි අවස්ථාවකදී දත් බුරුසුවක් හා දන්තාලේපයක් ඔබගේ පසුම්බියේ දමාගෙන යාම වැදගත්වනු ඇත. 
- මින්ට් සුවඳැති යමක් පසුම්බියේ දමාගෙන යාම වැදගත්ය. අතැම්විට ඔබට අතරමගදී කැස්සක් ඇතිවී උගුර කිතිකවන්නාක් සේ දැනෙන අවස්ථාවක් ඇතිවිය හැකිය. ඇතැම්විට උත්සවයකදී ඔබ ආහාරයට ගත් යම් දෙයකින් අනවශ්‍ය පරිදි ඔබ අකැමති දුර්ගන්ධ්‍යක් හමනවා වන්නට පුලුවන. එවැනි අවස්ථාවකදී ද මින්ට් රසැති, මින්ට් සුවඳැති යමක් පසුම්බියේ පැවතීම ප්‍රයෝජනවත් වේ. 

5. කුඩා සුවඳ විලවුන් බෝතලයක් දමාගෙන යන්නට අමතක නොකරන්න. එමෙන්ම අවන්හල්වල ඇති කුඩා ප්‍රමාණයේ සබන් කැබැල්ලක් වුවත් ප්‍රයෝජන විය හැකි අවස්ථා තිබේ. මේවා අත්‍යවශ්‍යම දේවල් නොවුන ද ඇතැම් විට එවැන්නක් ගෙන ආවා නම් හොඳයි කියා සිතෙන අවස්ථා තිබෙන්නට පුලුවන. 
- අතිරේක සනීපාරක්ෂ තුවායක් ගෙන යාම ද ප්‍රයෝජනවත් දෙයකි. බොහෝ කාන්තා පසුම්බි සකසා ඇත්තේ කොටස් කොටස් වශයෙනි. එවැනි එක කොටසක සනීපාරක්ෂක තුවායක් පහසුවෙන් දමන්නට පුලුවන. 
- ඔබගේ පසුම්බිය කොටස් වශයෙන් වෙන් නොකරන ලද්දක් නම් ඇතැම් කුඩා දේවල දමන්නට පැනසල් බෑගයක් වැනි කුඩා ඇසුරුමක් යොදාගත හැකිය. මෙය බොහෝ ප්‍රයෝජනවත් වන්නේ රූපලාවන්‍ය උපකරණ රැගෙන යාම සඳහාය. ඒවා කිසිදු ඇසුරුමකින් තොරව පසුම්බියට දැමුවහොත් රෝල්වී එයා මෙහා යන්නට පුලුවන. ලිප්ස්ටික් වැනි දෑ පසුම්බිය තුළ තැවරෙන්නට පුලුවන. අනෙක් ඒ සියල්ල එක් කුඩා ඇසුරුමක දැමීමෙන් අවශ්‍ය වේලාවට ලබාගැනීමට ද පහසුය. 

6. නිවසින් බැහැර යන්නට පෙර ඔබ යම් යම් ඖෂධ ගන්නේ දැයි මතක් කරගැනීම සුදුසුය. ඇතැම්විට ඒවා අමතක වුවහොත් යළි නිවසට පැමිණෙන තුරුම එම ඖෂධ ගැනීමට නොහැකිවනු ඇත. එවැනි අත්‍යවශ්‍ය ඖෂධ වර්ග අමතක නොකර පසුම්බියට දමාගන්න. 
-  ඔබ නිතර හිසකැක්කුම්වලට හෝ කෙන්ඩා පෙරලීම්වලට හෝ ලක්වන්නේ නම් වේදනානාශක ඖෂධයක් පසුම්බියේ තබාගැනීම ප්‍රයෝජනවත්ය. 
- ඔබ ස්පර්ශක කාච පළඳින අයෙක් නම් ඇස්වලට දමන අදාළ දියර පසුම්බියේ තබාගත යුතුය. යම් හදිසි අවස්ථාවක ස්පර්ෂක කාචයක් බිම පතිත ව සොයාගන්නට නොහැකිවුවහොත්, එවැනි අවස්ථාවකදී ප්‍රයෝජනය ගැනීම සඳහා උපැස් යුවලක් ද පසුම්බියේ තබාගැනීම නුවණට හුරුය. 
- ප්‍රථමාධාර සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පසුම්බියක දමාගෙන යාම ප්‍රායෝගික නොවුනත් අඩුම තරමේ බෙහෙත් ප්ලාස්ටර් කිහිපයක්වත් රැගෙන යාම ප්‍රයෝජනවත් විය හැකිය. 

7. මුදල් හා හැඳුනුම්පත පසුම්බියේ අනිවාර්යයෙන්ම තිබිය යුතුය. එමෙන්ම ඔබගේ නිවසේ හා මෝටර් රථයේ යතුරු (යතුරු වැනි දේ පසුම්බියේ තිබෙනවාට වඩා සාක්කුවේ තිබීම වඩා ආරක්ෂිතය) ද පසුම්බියේ දැමිය හැකිය. කෙසේ මුත් අනවශ්‍ය තරම් මුදල් රැගෙන යාම ද සුදුසු නැත. 

මෙම තොරතුරු කියැවීමෙන් පසු මේ පවසා ඇත්තේ පසුම්බියක් පිළිබඳව ද නොඑසේනම් ගමන් මල්ලක් පිළිබඳවද කියා ඔබට සිතෙන්නට පුළුවන. සැබැවින්ම මෙහි සඳහන් කළේ පසුම්බියක තිබිය යුතු දේ වුව ද ඒ සියල්ල එහි තිබිය යුතු නැත. ඒවා තීරණය වන්නේ ඔබගේ අවශ්‍යතාවය අනුවය. ඒ සඳහා ඔබට මෙම තොරතුරු උදව්වක් වනු ඇති බැව් අපි සිතමු. 

Friday, January 10, 2014

2013 වසරේ රූමත්ම කාන්තාවන් මෙන්න - Most beautiful Women in Year 2013

ගෙවීගිය වසර පිළිබඳ සැළකිලිමත්වීමේදී ලෝකයේ ජනප්‍රියතම වෙබ් අඩවි කිහිපයක් මගින් 2013 වසරේ රූමත්ම කාන්තාවන් කවුරුන්දැයි තේරීමක් සිදුකොට තිබිණි. මේ අතුරින් http://www.beautiful-women-pedia.com/ මගින් කාන්තාවන් 50 දෙනෙකු තෝරා තිබුණි. http://www.world-actuality.com/ මගින් ද කාන්තාවන් 50 දෙනෙකු තෝරා තිබිණි. එමෙන්ම http://www.people.com/, http://www.imdb.com/ යන වෙබ් අඩවි ද, තවත් විවිධ වෙබ් අඩවි බොහොමයක් ද මෙම කර්තව්‍යයට අතගසා තිබිණි. අප දැන් සූදානම් වන්නේ මේ සියලුම පාහේ වෙබ් අඩවිවලට අනුව ලෝකයේ රූමත්ම කාන්තාවන් 10 දෙනෙකු පිළිබඳව පමණක් කතා කිරීමය. මෙම 10 දෙනා තෝරාගැනීමේදී අපගේ ආසියානු හා ඉන්දීය උප මහද්වීප කලාපය පිළිබඳ වැඩි සැළකිල්ලක් දැක්වූයෙමු.

1. අයිශ්වර්යා රායි බච්චාන්

අයිශ්වර්යා රායි ශ්‍රී ලාංකිකයනට අමුතුවෙන් හඳුන්වාදිය යුතු චරිතයක් නොවේ.  1973 නොවැම්බර් 1 වැනිදා ඉන්දියාවේ මැන්ගලෝර්වලදී ක්‍රිෂ්නරාජ් රායි හා බ්‍රින්ධ්‍යා රායිට දාව උපන් ඇය 1994 වසරේදී ලෝක රූ රැජින කිරුළ  ද දිනාගත්තාය. වෙබ් අඩවි කිහිපයක්ම ලෝකයේ රූමත්ම කාන්තාවන් අතරට වෙබ් අඩවි කිහිපයක්ම ඇය තෝරා තිබිණි.

2. ඇන්ජලීනා ජොලී

ඇන්ජලීනා ද අප බොහෝ දෙනෙකු දන්නා හඳුනන කාන්තාවකි. ඇමරිකානු නිළියක් වන ඇය චිත්‍රපට අධ්‍යක්ෂිකාවක, තිර රචිකාවක සහ ග්‍රන්ථ කර්තෘවරියක ලෙස ද ප්‍රකටය. ඇකඩමි සම්මානයෙන් වරක් පිදුම් ලද ඇය තවත් සම්මාන රැසකටම හිමිකම් පෑවාය. 1974 ජූනි 4 වැනිදා මාර්සලීන් බර්ට්‍රන්ඩ් හා ජෝන් වොයිට් දෙපළට උපන් ඇය අප රටේ බොහෝ දෙනෙකු හඳුනාගත්තේ රිලික් හන්ටරස්නම් රූපවාහිනි චිත්‍රපට මාළාවෙනි.

3. ප්‍රියාංකා චොප්රා

ප්‍රියාංකා චොප්රා ද අප රටට අමුතුවෙන් හඳුන්වාදිය යුතු චරිතයක් නොවේ. 1992 ජූලි 18 වැනිදා මධු චොප්රා හා අශෝක් චොප්රා දෙපළට ඉන්දියාවේ ජැම්ෂෙඩ්පූර් හිදී උපන් ඇය අප කවුරුත් දන්නා පරිදි හින්දි නිළියක් වනවා සේම බොහෝ දෙනෙක් නොදන්නා පරිදි ගායිකාවක ද වන්නීය. 2000 වසරේදී ඇය ලෝක රූ රැජින ලෙස කිරුළු පැළඳුවාය.

4. ඉඩ්ඩා වැන් මුන්ස්ටර්

1990 ජූනි 5 වැනිදා බොස්නියාවේ සරජේවෝවල උපන්, අයිඩා ඩැපෝනමින්ද ප්‍රකට ඇය නිළියක් නොවේ. නමුත් බොස්නියානු මෝස්තර නිරූපණ ශිල්පිනියකි. ඇය බොහෝ වෙබ් අඩවිවල හඳුන්වා ඇත්තේ A vintage girl living in a modern world යනුවෙනි. එනම් නවීන ලෝකයේ උපන් මිදි නෙළන්නියවශයෙනි. ඇය ලෝකයේ ප්‍රකටව ඇත්තේ අතීතයේ විලාසිතාවන් ලොව හමුවේ ඉදිරිපත්කරනා මෝස්තර නිරූපණ ශිල්පිනියක් ලෙසය.

5. ජැකලින් ෆර්නැන්ඩස්

ජැකලින් ෆර්නැනඩස් ද අප රටට අමුතුවෙන් හඳුන්වා දිය යුතු අයකු නොවන්නට ප්‍රධාන හේතු දෙකක් තිබේ. එකක් නම් ඇය ජනප්‍රිය බොලිවුඩ් නිළියක වීමය. අනෙක ඇය අප රටේ උපන් තැනැත්තියක වීමය. 1985 අගෝස්තු 11 වැනිදා කිම් හා එල්රෝයි දෙපළට කොළඹදී උපන් ඇය හැදී වැඩෙන්නේ බහරේන්වලය. මොස්තරත නිරූපිකාවක වන ඇය 2006 වසරේ ශ්‍රී ලාංකාක රූ රැජින ලෙසින් ද කිරුළු පැළඳුවාය.

6. මවිස් පෑන් ෂුවාන්ග්

1987 අප්‍රේල් 3 වැනිදා චීනයේ සෙජියෑන්ග් ප්‍රාන්තයේ තායිසවු නගරයේ උපන් චීන හා හොංකොං නිළියක වන මවිස් ප්‍රකටව ඇත්තේ චීනයේ අනුරාගීතම පෙනුම ඇති කාන්තාව ලෙසිනි. ඒ හැරුණු විට ඇය පිළිබඳ වෙනත් තොරතුරක් සොයාගන්නට නැත.

7. ලියා කොබේඩේ


1978 මාර්තු 1 වැනිදා ඉතියෝපියාවේ අඩිස් අබාබාවල උපන් ලියා කොබේඩේ මෝස්තර නිරූපිකාවක්, නිළියක්, විලාසතා නිර්මාණකාරියක හා පරහිතකාමී කාන්තාවක ලෙස ද ප්‍රකටය. ඇය ප්‍රසිද්ධියට පත්ව ධනවත් කාන්තාවක වූ සමයෙදීම ලියා කොබේඩේ පදනමආරම්භ කළ අතර ලොව පුරා මව්වරු දහ දරුවන් මරණයෙන් ගළවාගැනීම පිණිස එය කැප කළාය. 2005 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාතෘ, අලුත් උපන් දරුවන් හා ඔවුනගේ සෞඛ්‍යය වෙනුවෙන් වූ තානාපතිනිය වූයේ ද ඇයයි. එමෙන්ම ඇය වසරේ කීර්තිමත් කාන්තාව වෙනුවෙන් වූ ඇමරිකානු සම්මානය ද වරෙක දිනාගත්තාය.

8. ශ්‍රීස්ති ශ්‍රේතා


1988 ඔක්තෝබර් 18 වැනිදා නේපාලයේ නාරායන්ගාර් හි උපන් ශ්‍රීස්ති මෝස්තර නිරූපකාවකි. එමෙන්ම ඇය ලෝකයේ රූමත්ම හෙදියන් අතරට ද පත්ව සිටින්නීය. 2012 වසරේ නේපාල රූ රැජින වූ ඇය 2012 වසරේ ලෝක රූ රැජින තරගයේ අර්ධ පූර්ව අවසාන තරගයට ද සුදුසුකම් ලැබුවාය. ශ්‍රීස්ති ලෝකයේ හොඳම නර්තන ශිල්පනියන් 10 දෙනා අතර ද සිටී.

9.  වැනෙස්සා හෙස්ලර්


1988 ජනවාරි 21 වැනිදා ජෝන් හෙස්ලර් හා ගේබ්‍රියෙලා හෙස්ලර්ට දාව ඉතාලියේ රෝම නගරයේ උපන් වැනෙස්සා අර්ධ ඇමරිකානු - අර්ධ ඉතාලි මෝස්තර නිරූපිකාවකි. ඇය මෝස්තර නිරූපණයට එක් වූයේ 15 හැවිරිදිවියෙහි සිටය. හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුතකු වූ මුටාසිම් ගඩාෆි සමඟ වසර 4ක ආදර සම්බන්ධතාවයක් පැවති බව ද ප්‍රකට කරුණකි. සූර පප්පාලෙසින්  අප රටෙහි ප්‍රකට වූ කාටූන් කතන්දර පසුබිම් කරගෙන තැනූ Asterix at the Olympic Games චිත්‍රපයේ ග්‍රීක කුමරිය ලෙසින් රඟපෑ චරිතය තුළින් ලෝක ප්‍රසිද්ධියට පත් වූවාය.

10. සාන්නා සුමාලියේවා


1987 ජූලි 26 වැනිදා කසක්ස්තානයේ යූරස්ක් හි උපන් සාන්නා මොස්තර නිරූපිකාවකි. එමෙන්ම 2010 සැප්තැම්බර් මාසයේ පවත්වන ලද කසක්තාන් රූ රැජින තරගයේදී කසක්තාන් රූ රැජිනලෙස කිරුළු පැළඳුවාය. 

වයසට ගැළපෙන සේ දරුවන්ට සෙල්ලම් බඩු තෝරන හැටි - How to Select Toys Suit to the Children's Age



කුඩා දරුවන්ගේ වැඩිපුරම කැමැත්තක් දක්වන දේ පිළිබඳව සොයා බලනවිට අපට හමුවන්නේ එක දෙයකි. ඒ සෙල්ලම් බඩු ය. මේ පිළිබඳ දන්නා වැඩිහිටියෝ තම දරුවාට හෝ වෙනත් දරුවන්ට හෝ තිළිණකිරීම සඳහා විවිධ සෙල්ලම් බඩු රැගෙනයාමට පෙළැඹී සිටිති. සෙල්ලම්කිරීම, එසේත් නැත්නම් ක්‍රීඩාකිරීම යනු දරුවන්ට අත්‍යවශ්‍යම දෙයකි. සෙල්ලම් බඩු යනු දරුවන්ට සෙල්ලම් කිරීම සඳහා ඇති හොඳම දෙයයි. තෝරාගත යුත්තේ කුමන සෙල්ලම් භාණ්ඩය ද, ඒවායේ ප්‍රයෝජන මොනවාද යන්න දැනගැනීම එකසේ ප්‍රයෝජනවත්ය. වැඩිහිටියන් තමාට ආදරේ බව දරුවන්ට දැනෙන එක් දෙයක් ලෙස සෙල්ලම් බඩු ලබාදීම සැළකිය හැකි මුත්, ඒවා දෙමාපියන් හෝ වැඩිහිටියන්, ඔවුනගේ ආදරය වෙනුවට  ආදේශකයක් නොවන බව ද අප මතක තබාගත යුතුය. සෙල්ලම් බඩු ආරක්ෂිත විය යුතුය. දරාගැනීමට  හැකි මිලකින් යුක්ත විය යුතුය. දරුවාගේ බුද්ධිවර්ධණයට ඉවහල් විය යුතුය. නමුත් බොහෝ දෙනෙකු සෙල්ලම් බඩු තෝරන්නේ කිසිදු විචාරයකින් තොරව බව හොඳින්ම පෙනෙන්නට ඇති දෙයකි. හොඳින්ම ගැළපෙන සෙල්ලම් භාණ්ඩයක් දරුවකු අතට පත්කිරීමෙන්, ඔහුගේ/ඇයගේ බුද්ධි වර්ධණය හොඳින් සිදුවන බැව් මනෝවිද්‍යාත්මක පර්යේෂණවලින් පවා හෙළිවී තිබේ. නමුත් ගැටලුව වන්නේ නිවැරදි සෙල්ලම් භාණ්ඩයක් තෝරාගන්නේ කෙසේද යන්න ය.  ඒ නිසාම අපි ඒ පිළිබඳව කතාබහ කරන්නට තීරණය කළෙමු. 

උපන් මොහොතේ සිටම දරුවෝ ඉගෙනගනිති. එබැවින් ඉගෙනගැනීම සඳහා හොඳ වටපිටාවක් නිර්මාණය කිරීම දෙමාපියන්ගේ හා වැඩිහිටියන්ගේ යුතතුකම හා වගකීම වන්නේය. සෙල්ලම් භාණ්ඩයක් සහ දරුවා අතර ඇති අන්තර් සම්බන්ධතාවය තුළින් දරුවකුගේ මොලයේ මුල්කාලීන වර්ධණයට දැඩි බලපෑමක් එල්ල කරනා බැව් සොයාගෙන තිබේ.  එබැවින් සෙල්ලම් භාණ්ඩයක් තෝරාගන්නට පෙර පහත සඳහන් ප්‍රශ්න ඔබෙන්ම අසාගන්නට හැකි නම් එය වඩාත් හොඳින් ගැළපෙන සෙල්ලම් භාණ්ඩයක් තෝරාගන්නට මූලික් අඩිතාලම දැමීමක් වනු නොඅනුමානය. 

1. මෙය දරුවාගේ වර්ධණයට ගැළපේද? සෑම සෙල්ලම් භාණ්ඩයක්ම දරුවාගේ වයසට, කැමති අකැමති දෙයට හා හැකියාවන්ට ගැළපිය යුතුය. 
2. මෙම සෙල්ලම් භාණ්ඩය එකිනෙකට වෙනස් විවිධ ආකාරවලින්, විවිධ වයස් කාණ්ඩ සඳහා භාවිත කරන්නට හැකිද? එසේ නම් එය දිගු කාලයක් භාවිත කරන්නට හැකිය. 
3. සෙල්ලම් භාණ්ඩයේ සවි ශක්තිය කෙසේද? කිහිප වාරයක් භාවිතකිරීමෙන් පසු එය කැඩී බිඳී යනවාද? වඩාත් දිගුකලක් පවත්නා සෙල්ලම් භාණ්ඩයක් තෝරාගැනීමේදී තමා වියදම්කරනා මුදලට වැඩි වටිනාකමක් ලැබෙනු ඇත. 
4. මෙම සෙල්ලම් භාණ්ඩය දරුවාගේ පරිකල්පනය ශක්තිය වර්ධණය කරන්නේද? එනම් නිර්මාණාත්මක බව වර්ධණයට උපකාරී වන්නේද? 
5. මෙය ආරක්ෂිතද? සෙල්ලම් බඩු අසුරණයේ ඇති උපදෙස් බලන්න. කුඩාම දරුවන්ට ඇතැම් විට ලබාදෙන සෙල්ලම් බඩු කොටස් ගිළින අවස්ථාවන් ද දක්නට ලැබේ. 
6. සෙල්ලම් භාණ්ඩය ගළවා නැවත සවිකරන්නට හැකි එකක්ද? ගළවා සවිකිරීමෙන් ඔවුනගේ නිර්මාණාත්මක හැකියාවන් වර්ධණය වේ. 
7. සහයෝගයෙන් වැඩකටයුතු කරන්නට මෙම සෙල්ලම් භාණ්ඩය උපකාරී වේද? රූපවාහිනියේ ඇති ජනප්‍රිය චරිත ආශ්‍රිතව තනන ලද සෙල්ලම් බඩු කෙරෙහි දරුවන් තුළ කැමැත්ක් ඇති බැව් පෙනෙන්ට තිබේ. මෙවැනි චරිත ආශ්‍රිතව බොහෝ විට තනා ඇත්තේ සෙල්ලම් තුවක්කු, සෙල්ලම් පිහි සෙල්ලම් කඩු වැනි ඒවාය. මෙවැනි චරිත ඔස්සේ දරුවන් කිහිප දෙනෙකු එකතුවී සෙල්ලම් කරනු ද දැකිය හැකිය. නමුත් මේ චරිත ආශ්‍රිතව ඇත්තේ සටන් හා බිහිසුණු බව වැනි දේ ය. එවැනි ඒවා තේරීමෙන් වැළකී සිටීම ඔබගේ වගකීම වන්නේය. 
පහත සඳහන් කරුණු පිළිබඳ අවධානය යොමුකිරීමෙන් ඔබට වඩාත් පහසුවෙන්, දරුවනට ගැළපෙන සේ සෙල්ලම් බඩු තෝරාගැනීමට හැකිවනු ඇත.  

1. වයස අවුරුදු 1 දක්වා දරුවන් සඳහා 

මේ වයස් කාණ්ඩයේ දරුවන් දීප්තිමත් වර්ණවලට කැමැත්තක් දක්වයි. කුඩා සෙල්ලම් බඩු එල්ලූ, තල්ලු කරන කරත්තයක් වැනි ඒවා සුදුසුය. එමෙන්ම අල්ලන්නට බැරිවන අයුරින් එල්ලන ලද සෙල්ලම් බඩු තැබීම සුදුසුය. මිරිකන විට හඬක් නැගෙනා, නොකැඩෙන, සේදිය හැකි සෙල්ලම් බඩු හා බෝනික්කන් ප්‍රවේශම් සහගතය. බෝනික්කන්ගේ ඇස් බොත්තම්වලින් නොව එයටම මැසූ ඒවාම ගැනීමට සැළකිලිමත්වන්න. ළිහිල් කොටස් ගිලීමට නොහැක ඒවා ද විය යුතුය. කොටස් ගැළවිය හැකි, උල් හැඩැති, විෂ සහිත තීන්ත ආලේප කළ, දිගු රැහැන් සහිත සෙල්ලම් බඩු සහ බැලූන් ආදිය මෙම වයසට සුදුසු නැත. 

2. අවුරුදු 1 -12 අතර දරුවන් සඳහා 

දීප්තිමත් වර්ණයන්ගෙන් යුක්ත චිත්‍ර සහිත පොත් සුදුසුය. විශේෂයෙන් රෙදි හෝ ඝන කාඩ්බෝඩ්වලින් තැනූ ඒවා නම් වඩා හොඳය. වීදුරුවලින් නොසාදන ලද දර්පණ, විශාල කොටස්වලට වෙන්කළ හැකි සෙල්ලම් බඩු, කාඩ්බෝඩ්වලින් හෝ ප්ලාස්ටික්වලින්  තනන ලද බිල්ඩින් බ්ලොක්ස්, නහවන විට බේසමේ පා කරවිය හැකි ඒවා, සංගීතමය උපකරණ සේ තැනූ සෙල්ලම් බඩු ආදිය යෝග්‍ය වේ. බැලූන්, උල් කෙළවරවල් සහිත හා කුඩා කොටස්වලට වෙන්කළ හැකි සෙල්ලම් බඩු සුදුසු නැත. 

අවුරුදු 2-3 අතර දරුවන් සඳහා 

මෙම වයසට වඩාත් සුදුසු වන්නේ නිර්මාණාත්මක කාර්යයන් සිදුකළ හැකි සෙල්ලම් බඩුය. විෂ රහිත මැටි, ලොකු පැස්ටල්, සංගීතය සහිත පොත්, පැදවිය හැකි හෝ තල්ලු කළ හැකි සෙල්ලම් කාර්, උසින් අඩු සෙල්ලම් අශ්වයින්, මෘදු බෝල ආදිය සුදුසු ය. විදුලියෙන් ක්‍රියාත්මක වන සෙල්ලම් බඩු සුදුසු නැත. අඟල් 12කට වඩා උස රෝදතුනේ බයිසිකල් ද සුදුසු නොවේ. එමෙන්ම පබලු, කාසි, උල් කෙළවර සහිත සෙල්ලම් බඩු හා බැලූන් ලබාදීම අනතුරුදායක විය හැක. 

අවුරුදු 3 - 4 අතර දරුවන් සඳහා 

ඇඳුම් ඉවත් කළ නොහැකි අන්දමට සකස්කළ බෝනික්කන්, විදුලියට සම්බන්ධයක් නැති වාහන, බෝල, බිල්ඩින් බ්ලොක්ස් හා එකිනෙක සවිකළ හැකි ප්ලාස්ටික් කොටස්, මුවහත නැති සෙල්ලම් කතුරු, විෂ රහිත මාර්ක්ර් පෑන් සහ පැස්ටල් ආදිය මේ වයසට සුදුසු ඒවා වේ. එමෙන්ම සෙල්ලම් දුරකථන, නොකැඩෙන සෙල්ලම් භාජන, පොත්, සරල ගැටලු විසඳීම පිණිස සකස්කළ සෙල්ලම් බඩු ආදිය පිළිබඳව ද සළකා බැලිය හැකිය. විදුලියට සම්බන්ධ ඒවා, වැඩිහිටියන් භාවිතයෙන් ඉවත්කළ රූපලාවන්‍ය උපකරණ, කොටස් වෙන්කළ හැකි හා උල් කෙළවර සහිත සෙල්ලම් බඩු ද සුදුසු නොවේ. 

අවුරුදු 4 -5 අතර දරුවන් සඳහා 

බිල්ඩින් බ්ලොක්ස්, මැටි, ඇඟිළිවලින් ඇඳිය හැකි තීන්ත, සරල ගොඩනැගීම් උපකරණ, බැටරියෙන් ක්‍රියාත්මක වන සෙල්ලම් බඩු, ස්ටෙන්සිල්, කාර්ඩ් හා පුවරු ආශ්‍රිතව කළ හැකි ක්‍රීඩා සුදුසු වේ. සරල සංගීත උපකරණ ද සුදුසුය. අඟල් 20 රෝද හා වැටීම වළක්වන්නට පිටුපසින් රෝද දෙපැත්තට රෝද දෙකක් සහිත පාපැදි, කුඩා ක්‍රීඩා උපකරණ ආදිය ද ඔබේ තෝරාගැනීමට එකතුකරගත හැකිය. විදුලියෙන් ක්‍රියාත්මක වන සෙල්ලම් බඩු සුදුසු නැත. විෂ සහිත, තෙල් සහිත ගිනිගන්නා සුළු ද්‍රව්‍ය, වෙළෙඳපළේ අළෙවියට ඇති සරුංගල්, උල් කෙළවර සහිත සෙල්ලම් බඩු ද සුදුසු නොවේ. 

අවුරුදු 5 -8 අතර දරුවන් සඳහා 

අඟල් 24 රෝද සහිත පා පැදි, ‛ජිග්සෝ පසල්’ නමැති ගැටළු විසඳන සෙල්ලම් බඩු, ඩොමිනෝ ක්‍රිඩා උපකරණ, නිවසේ තනන ලද සරුංගල්, සංකීර්ණ නොවන මෙවළම් උපකරණ, විශාලකොට බලන කාච, කාන්දම්, බැටරියෙන් ක්‍රියාත්මක වන සෙල්ලම් බඩු, බෝනික්කන්, සෙල්ලම් කැමරා, චිත්‍ර අඳින උපකරණ, මැහුම් උපකරණ ආදිය සුදුසුය. ඈතට යමක් විදිය හැකි සෙල්ලම් බඩු සුදුසු නැත. උල් කෙළවර සහිත ඒවා ද තෝරාගැනීමෙන් වළකින්න. 

අවුරුදු 8 - 12 අතර දරුවන් සඳහා 

චිත්‍ර ඇඳීම හා නිර්මාණාත්මක අත්වැඩ කළ හැකි කට්ටල සුදුසු වේ. විවිධ ගොඩනැගීම් කට්ටල, විදුලියෙන් ක්‍රියාතමක වන දුම්රිය, තනිව ගොඩනැගිය හැකි යම් යම් උපකරණ කට්ටල (මෙවැනි කට්ටල කොළඹ පිටකොටුවේ පළමුවන හරස් වීදියේ බහුලව මිලට ගැනීමට තිබේ), අඟල් 26 ප්‍රමාණයේ රෝද සහිත පාපැදි, ක්‍රීඩා උපකරණ ආදිය සුදුසුය. යමක් ඈතට විදිය හැකි ඒවා, පුපුරණ ද්‍රව්‍ය සහිත සෙල්ලම් තුවක්කු, ඊතළ ආදිය සුදුසු නොවේ. 

මෙහි සඳහන්ව ඇත්තේ ළමා මනෝ විශේෂඥයින් විසින් කරන ලද නිර්දේශයන්ය. වර්තමාන වෙළෙඳ පළේ දක්නට ඇති බොහෝ සෙල්ලම් බඩු සැබවින්ම දරුවන්ට සුදුසු ද නැතිද යන්න දැන් ඔබට අවබෝධවන්නට ඇත. අපට අවශ්‍යවන්නේ අනාගතයේ නිර්මාණාත්මක කුශලතාවයන්ගෙන් හෙබි දරුවකු බිහිකිරීම විනා සමාජය හානිදායක දරුවකු බිහිකිරීම නොවේ. එබැවින් වැඩිහිටියකු වශයෙන් ඔබ දරුවකුට සෙල්ලම් කිරීම සඳහා යමක් තෝරාගැනීමේදී නිරතුරුව සිහියේ තබාගත යුත්තේ එයයි.