පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, July 28, 2018

නළු නිළියන්ගේ අත පය සමග ජීවිතය ද අහිමි කළ චිත්‍රපට - Tragic Accident on the set of he movies

සිනමා පටයක් නරඹනවා කියන්නේ අපූරු අත්දැකීමක්. අපි මොහොතකට සැබෑ ලෝකයෙන් ඈත් වී සිනමාවෙන් මවන ලෝකයේ ජීවත් වෙනවා. සිතට දරා ගන්නට නොහැති තරම් උද්වේගකර අවස්ථාවන් දකින විට ඇතැමුන් සැබෑ ලෙසම ඒ ගැන කම්පාවට පත් වෙනවා. කෙසේ වෙතත් සිනමා පටයේ ධාවන කාලයෙන් පසු මේ හැමදෙයක්ම හැබෑවටම සිදුවුණු දේවල් නෙවෙයි නේකියා හිත හදා ගන්නවා. සාමාන්‍යයෙන් ඒක එහෙම වුනත් හැම විටම ඒක එහෙම වෙන්නේ නෑ. එහෙම කියන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි. සිනමා දර්ශන තලවලදී අප නොදන්නා, බොහෝ විට කිසි දිනෙක දැන නොගන්නා අතිශය දරුණු අනතුරු සිදු වෙනවා. මේ ඇතැම් අනතුරු ඒ අයුරින්ම සිනමා පටයේ ද තිබෙනවා. ඇතැම් අනතුරු රංගන ශිල්පියාගේ මරණයෙන් කෙළවර වුණු අවස්ථාවන් ද තිබෙනවා. සිනමා ලෝකයෙන් මෙවැනි සිදුවීම් බොහෝ අසන්නට ලැබෙනවා. ඒ සියල්ල ගැනම කතා කරන්නට නොහැකි වුනත් දැනගන්නත් එක්ක ටිකක් කතා කරමු.

ක්‍රියාදාම ශිල්පිනියකට අතක් අහිමි කළ රෙසිඩන්ට් ඊවිල් - ද ෆයිනල් චැප්ටර්’ (RESIDENT EVIL: THE FINAL CHAPTER)

ඔලිවියා ජැක්සන්ගේ අත අහිමි වීමෙන් පසු



රෙසිඩන්ට් ඊවිල් කියන්නේ අපූරු අත්දැකීම් සහිත කතා රැගත් චිත්‍රපට මාලාවක්. මේ අතරින් ද ෆයිනල් චැප්ටර්කියන්නේ හදිසි අනතුරු බොහොමයක් වාර්තා වුණු චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වුණේ මිල්ලා ජොවික්. ඇය වෙනුවෙන් ත්‍රාසජනක දර්ශන ඉදිරිපත් කළේ ඔලිවියා ජැක්සන්. ඇය ඇවෙන්ජර්ස් - ඒජ් එෆ් අල්ට්‍රන්’, ‛ස්ටාර් වෝර්ස් VII - ද ෆෝර්ස් අවේකන්ස්වැනි චිත්‍රපටවල ද ප්‍රධාන නිළිය වෙනුවෙන් ත්‍රාසජනක දර්ශන සඳහා පෙනී සිටියා. ඉහත සඳහන් කළ රෙසිඩන්ට් ඊවිල් චිත්‍රපටයේ යතුරු පැදියක් අධික වේගයෙන් පදවාගෙන යන දර්ශනයක් කරන්නට ඇයට පැවරී තිබුණා. ඇය වේගයෙන් ඇදී එන දර්ශනය හසු කරගැනීම සඳහා ඉදිරියෙන් ඇය එන මාර්ගයේ කැමරාවක් සවි කොට තිබුණා. සාමාන්‍යයෙන් යතුරු පැදිය ඉතා ආසන්නයට එද්දී මේ කැමරාව එතැනින් පැත්තකට ගැනීමට සැලසුම් කොට තිබුණත් ඒ අවස්ථාවේ දී එය බලාපොරොත්තු පරිදි සිදුවුණේ නැහැ. ඇය අධික වේගයෙන් පැමිණි මේ කැමරාවේ ඝට්ටනය වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇගේ වම් අත සුනුවිසුනු වී ගියා. මේ නිසා අත කපා වෙන් කිරීමට සිදු වුණා. එයට අමතරව තවත් තුවාල ගණනාවක්ම සිදුව තිබුණා. එයට අමතරව මේ චිත්‍රපටයේ තවත් මාරක අනතුරක් සිදු වුණා. එය මෝටර් රථයක් කරකැවී පෙරළෙන දර්ශනයක්. මෙසේ කරකැවී පැමිණි මෝටර් රථය  සේවක මණ්ඩලයේ සිටි රිකාඩෝ කොර්නේලියස්ගේ සිරුරේ ඝට්ටනය වුණා. මෝටර් රථය නැවතුණේ ඔහුව තාප්පයකට සිර කරමින්. ඔහු එයින් මිය ගියා.




ප්‍රධාන නළුවාගේ මුහුණ තලා දැමූ මේස් රනර් - ද ඩෙත් ක්‍යර්’ (MAZE RUNNER: THE DEATH CURE)

මෑත කාලයේ ජනප්‍රිය වුණු සිනමා පට මාලාවක් තමයි මේස් රනර්කියන්නේ. වංකගිරියක අතහැර දමා ඇති පිරිසක් එයින් මිදී පළා එන ආකාරය මේ සිනමාපටවලින් අපට පවසනවා. මෙහි ප්‍රධාන චරිතයක් සඳහා පණ දුන් රංගන ශිල්පියෙක් තමයි ඩිලාන් ඕබ්‍රයන් කියන්නේ. මේ චිත්‍රපටය රූපගත කරද්දී ඔහුට තිබුණු එක් ත්‍රාසජනක ක්‍රියාවක් වුණේ ධාවනය වෙමින් තිබෙන මෝටර් රථයක් උඩ සිට තවත් මෝටර් රථයක් උඩට පැනීමයි. මෙහිදී ඔහුගේ පිම්ම වැරදී බිම ඇද වැටුණා. ඔහු වැටුණේ ගමන් කරමින් තිබුණු තවත් මෝටර් රථයක් ඉදිරියටයි. මේ අනතුරින් ඔහුගේ මුහුණට දැඩි හානි සිදු වුණා. ඔහුගේ තත්වය කෙතරම් බරපතළ වුවාද කීවොත් ඔහුගේ රංගන ජිවිතය එතැනින්ම කෙළවර වේ යැයි බොහෝ දෙනෙකු සිතුවා.  ඔහු සුව වන තුරු චිත්‍රපටයේ රූගත කිරීම් තාවකාලිකව නතර කෙරුණා. කෙසේ නමුත් කලින් සිතුවාට වඩා ඔහුගේ තත්වය බරපතළ වූ නිසා 2017 පෙබරවාරියේ තිරගත කරන්නට කලින් සැලසුම් කොට සිටි මේ චිත්‍රපටය 2018 ජනවාරි මාසය දක්වා කල් දැමුණා.




බොරු උණ්ඩයක් ඇත්තට පත්තු වුණු ද ක්‍රෝ’ (THE CROW)


බ්‍රැන්ඩන් ලී ද ක්‍රෝ’ චිත්‍රපටයේ



හොලිවුඩ් සිනමාවේ ඛේදජනකම අවස්ථාවක් වන්නේ සුප්‍රකට නළුවකු සහ සටන් ශිල්පියකු වන බෘස් ලී ගේ පුත් බ්‍රැන්ඩන් ලී ගේ මරණයයි. මෙය සිදුවුණේ 1994 වසරේ ද ක්‍රෝචිත්‍රපටය රූපගත කෙරෙමින් පවතිද්දී. මෙය නිර්මාණය වූයේ මේ නමින්ම වූ ජනප්‍රිය නවකතාව පදනම් කොට ගෙනයි. බ්‍රැන්ඩන් ලී හට මයිකල් මෙසී නමැති නළුවා විසින් වෙඩි තබන දර්ශනයක් රූපගත කරන්නට නියමිතව තිබුණා. මේ සඳහා රැගෙන විත් තිබූ තුවක්කුවට බොරු උණ්ඩ දමා තිබුණත් තුවක්කුව නියමිත ආකාරයෙන් පිරිසුදු කොට තිබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වූයේ බොරු උණ්ඩය පත්තු වනවාත් සමගම එහි බටයේ සිර වී තිබූ ලෝහ කැබැල්ලක් වේගයෙන් පැමිණ බ්‍රැන්ඩන් ලීගේ පපුව පසා කරගෙන ගමන් කිරීමයි. හැකිතාක් ඉක්මණින් ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නත් රෝහලේ දී ඔහු මිය ගියා. මේ සිදුවීමෙන් අතිශය කම්පනයට පත් මයිකල් මෙසී වසරක පමණ කාලයක් රංගනයෙන් ඉවත් වී සිටියා. චිත්‍රපටය සම්පූර්ණ කරන ලද්දේ බ්‍රැන්ඩන් වෙනුවෙන් ත්‍රාසජනක දර්ශන සඳහා පෙනී සිටි වෙනත් නළුවකු යොදා ගෙනයි. ඔහුගේ පෙනුම බ්‍රැන්ඩන් ලීට වඩා වෙනස් වූ නිසා ඒ පෙනුම ගැනීම සඳහා දෘශ්‍ය ප්‍රයෝග භාවිත කරන්නට සිදුවුණා. හොලිවුඩ් චිත්‍රපට රූපගතකිරීමේ දී අනුගමනය කළ යුතු උපදෙස් හරිහැටි පිළිනොපැදීම නිසා මේ මරණය සිදු වූ පැවසෙනවා.




වැරදුණු පිපිරීමකින් ක්‍රියාදාම නළුවකුට ජිවිතය අහිමි කළ ද එක්ස්පෑන්ඩබල්ස් 2’ (THE EXPENDABLES 2)




ද එක්ස්පෑන්ඩබල්ස් 2’ කියන්නේ හොලිවුඩ්වල සිටින, ඉහළ ගෙවීම් ලබන ක්‍රියාදාම රංගන ශිල්පීන් රැසක් එක් කළ චිත්‍රපටයක් කීවොත් එහි වරදක් නැහැ. මේ චිත්‍රපටය මුළුල්ලේ ම පවතිනේ උග්‍ර ක්‍රියාදාම ජවනිකා. මෙහි දැවැන්ත පිපිරීමක් සහිත දර්ශනයක් බල්ගේරියාවේ දී රූපගත කෙරෙමින් පැවතුණා. මේ අවස්ථාවේ දී දර්ශන තලය ආසන්නයේ බෝට්ටුවක් ද වැරදීමකින් පුපුරා ගියා. එහි ඒ අවස්ථාවේ දී ත්‍රාසජනක ජවනිකා සඳහා පෙනී සිටින කුන් ලියු නම් රංගන ශිල්පියා සිටි අතර මේ අනතුරින් ඔහු මිය ගියා. ඒ අසල සිටි නුවෝ සන් තුවාල ලැබූ අතර පසුව ඔහු සම්පූර්ණයෙන් සුවපත් වුණා. කුන් ලියුගේ දෙමාපියන් මේ චිත්‍රපටය නිෂ්පාදනය කළ මිලේනියම් ෆිල්ම්ස් සමාගමට එරෙහිව නඩුමගට අවතීර්ණ වුණා. ඔවුන් සඳහන් කළේ ත්‍රාසජනක ජවනිකා සඳහා පෙනී සිටින ක්‍රියාදාම නළුවන්ගේ ආරක්ෂාව සඳහා ගත යුතු නියමිත ක්‍රමවේදයන් මෙහිදී අනුගමනය කර නොතිබුණු බවයි. කෙසේ නමුත් මිලේනියම් ෆිල්ම්ස් සමාගම නුවෝ සන් අනතුරට ලක් වූ සිදුවීම ප්‍රතික්ෂේප කළා. ඔවුන් පැවසූයේ බල්ගේරියා මාධ්‍ය තම සමාගමට විරුද්ධව බොරු ප්‍රවෘත්ති ප්‍රචාරය කරන බවයි.



සතුන් බොහෝ දෙනෙකුට මරණය හිමි කළ ද හොබිට්’ (THE HOBBIT)






කල්පිත චිත්‍රපට අතර අතිශය ජනප්‍රිය වුණු චිත්‍රපටයක් තමයි ද හොබිට්කියන්නේ. මේ චිත්‍රපට සම්පූර්ණයෙන්ම ත්‍රිමාන සජීවීකරණ දර්ශනවලින් නිර්මාණය වන නිසා මිනිසුන්ගේ මරණ වාර්තා නොවුනත් චිත්‍රපටයකදී සිදුනොවිය යුතු අන්දමින් සතුන්ගේ මරණ සිදු වී ඇති බවට වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් චිත්‍රපටයක් ආරම්භ කරද්දී රූපගත කිරීම් අතරේ දී කිසිදු සතකු මරණයට පත් නොවූ බවට ප්‍රකාශයක් තිරයේ පෙන්වනවා. හොබිට් චිත්‍රපටයේ ද එවැන්නක් සඳහන් කොට තිබුණ ද දර්ශන ගත කරන අතරවාරයේ සතුන් 27 දෙනෙකු මිය ගිය බවට වාර්තා වෙනවා. බොහෝ සතුන් මරණට පත් ව තිබුණේ ඔවුන් සඳහා ක්‍රමවත් සැලකිල්ලක් නොදක්වා තිබූ නිසයි. චිත්‍රපටයක් සඳහා සතුන් යොදා ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැන ඔවුන් කිසිසේත්ම උනන්දුවක් දක්වා තිබුණේ නැහැ. දර්ශන තලයේ තිබූ වලවල් ආදියට වැටී අශ්වයන් සෑහෙන සංඛ්‍යාවක් මිය ගොස් තිබුණා. මේ චිත්‍රපටයට සත්ව හිමිකම් සංවිධානවලින් දැඩි විරෝධයක් ද එල්ල වුණා.


ක්‍රියාදාම නළුවකු පාළමක සිර වී මරණයට පත් වුණු ට්‍රිපල් එක්ස්’ (XXX)


හැරී ඕ’ කෝනර්.ගේ අවසන් ජවනිකාව


ට්‍රිපල් එක්ස්කියන්නේ සිනමා රසිකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් විද්‍යා ප්‍රබන්ධ මත පදනම් වුණු චිත්‍රපට මාලාවක්.  මෙහි ප්‍රධාන චරිතය සඳහා දායක වුණේ වින් ඩීසල් කියන රංගන ශිල්පියා යි. මේ චිත්‍රපටයේ අතිශය අවදානම් සහිත ක්‍රියාදාම දර්ශන පිරී තිබෙන අතර මේ බොහෝ ඒවා සඳහා පෙනී සිටියේ වින් ඩීසල් වෙනුවට ඔහු වෙනුවෙන් රංගනයේ යෙදෙන හැරී ඕකෝනර්. මෙහි එක් දර්ශනයක් අතර තුර පැරෂුටයක් එල්ලී පාලමක් යටින් ගමන් කරමින් පනින ක්‍රියාදාමයක් රූපගත කරමින් පැවතුණා. කෙසේ නමුත් ඉලක්කය වැරදී ගොස් ඔහුගේ හිස මද වේලාවක් පාලමේ සිරවුණා. ඔහු මෙයින් ගැලවෙන්නට දැරූ උත්සාහයේ දී ගඟට ඇද වැටුණත් ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බව පැවසෙනවා. ඔහු සිය රංගනය වෙනුවෙන් කළ කැපවීමට උපහාරයක් වශයෙන් මේ චිත්‍රපටයට මෙම දර්ශනයේ කොටසක් ඇතුළත් කොට තිබෙනවා.



අභිරහස් ගුවන් අනතුරක් සිදුවුණු ටොප් ගන්’ (TOP GUN)


ආර්ට් ස්කොල්



ආර්ට් ස්කොල් කියන රංගන ශිල්පියා වැඩි වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටියේ ත්‍රාසජනක ගුවන් යානා දර්ශන සඳහායි. ඒ වගේම ගුවනේ සිට කෙරෙන කැමරාගත කිරීම්වලදී ඔහු නියමුවකු ලෙස දක්වන දක්ෂතාව පිළිබඳ සිනමා ලෝකයේ අද ද කතාබහට ලක් වෙනවා. ද රයිට් ස්ටෆ්’, ‛අයර්න් ඊගල්’, ‛ඉන්ඩියානා ජෝන්ස්සහ ටෙම්පල් ඩූම්ස්කියන්නේ ඔහුගේ දායකත්වය ලද ලෝක ප්‍රකට සිනමා නිර්මාණ. ඔහු ටොප් ගන්නම් චිත්‍රපටය සඳහා දර්ශනයකට දායක වෙමින් සිටියා. ගුවන් යානය පදවමින් සිටි අතරතුරේ තමාට ගුවන් යානය පාලනය කරගන්න අපහසු තත්වයක් ඇති වූ බැවින් ඔහු පාලක මැදිරියට මෙසේ ඇමතුවා. මට ප්‍රශ්නයක්. මට ඇත්තටම ප්‍රශ්නයක්.ඒ පණිවිඩයත් සමගම ඔහුගේ යානය මුහුදට කඩා වැටී තිබෙනවා. කෙසේ නමුත් මේ කඩා වැටුණේ කොතැනකටදැයි කිසිවකු දුටුවේ නැහැ. ඔහුගේ ගුවන් යානයේ සුන්බුන් කිසිවක් ද අද වන තෙක් සොයා ගන්නට හැකි වූයේ නැහැ. මේ නිසා ඔහුට සැබවින්ම සිදුවූයේ කුමක් ද යන්න අදටත් අභිරහසක්ව පවතිනවා.


සිල්වෙස්ටර් ස්ටැලොන්ගේ මරණීය අත්දැකීම්





සිල්වෙස්ටර් ස්ටැලොන් කියන්නේ දැනට සැත්තෑ හැවිරිදි වියෙහි පසුවන, හොලිවුඩයේ අදටත් ජනප්‍රිය සුපිරි ක්‍රියාදාම රංගන ශිල්පියෙක්. ඔහු වඩාත්ම ජනප්‍රියත්වයට පත් වූයේ රැම්බෝනමින්. බොහෝ දෙනෙකු පවසන්නේ ඔහු සිදු කළ ත්‍රාසජනක රංගනයන්ගෙන් සිදු වූ අනතුරු නිසා තවමත් ජීවත් සිටීම පුදුමයක් බවයි. ඔහු තරම් අනතුරුවලට සහ තුවාලවලට බඳුන් වූ වෙනත් හොලිවුඩ් රංගන ශිල්පියෙක් නොමැති තරම්. ෆර්ස්ට් බ්ලඩ්චිත්‍රපටයේ කන්දකින් පහළට වැටෙනවා. ඔහු වැටෙන්නේ ගස් උඩට. ඔහු මෙය සැබෑ ආකාරයෙන් කරන්නට යාම නිසා ඔහුගේ ඉළ ඇට කිහිපයක් බිඳී යනවා. මේ චිත්‍රපටයේ මේ දර්ශනයේ දී ඔහු කෑගසන්නේ එසේ ඉළ ඇට බිඳී යම නිසා ඇති වූ සැබෑ වේදනාවෙන් බවයි පැවසෙන්නේ. ඔහුගේ රොකී IV’ චිත්‍රපටයේ එක් සටන් ජවනිකාවක් අතරේ ඔහුට තවත් රංගන ශිල්පියකු වූ ඩොල්ෆ් ලන්ග්ඩ්‍රන් අතින් දැඩි පහරක් පපුවට එල්ල වෙනවා. මෙය ඔහුගේ හෘදය වස්තුවට බලපාන අතර එම ප්‍රදේශය ඉදිමීමකට ලක් වෙනවා. ඔහු සුවය ලබන්නේ රෝහලේ සති කිහිපයක් ගත කිරීමෙන් පසුවයි. ද එක්ස්පෑන්ඩබල්රූපගත කරද්දී ඔහුගේ කොඳු ඇට පේලිය බිඳී යනවා. ඔහුගේ කොන්ද යථා තත්වයට පත්කරන්නේ කොඳු ඇට පේළියේ ශක්තිය සඳහා ලෝහ පටියක් සවිකිරීමෙන් පසුවයි. 

Saturday, July 21, 2018

නළු සත්තු - Animal Actors

ලෝකය රඟහලක් නම් අපි හි නළුවෝ වෙමුකියා ශේක්ෂ්පියර් කියා තිබෙනවා. ඒ විදියට බැලුවොත් මේ ලෝකේ ඉන්න හැමෝම කුමක් හෝ චරිතයක් කරනවා. මිනිස්සු විතරක් නෙවෙයි සතුන් පවා නළුවෝ වෙනවා. කොහොම වුනත් සාමාන්‍ය කතාබහේදි අපි නළුවෙක් හෝ නිළියක් කියා කියන්නේ සිනමා පටයක, ටෙලි නාට්‍යයක හෝ වේදිකා නාට්‍යයක යම් චරිතයක් ඉදිරිපත් කරන පුද්ගලයෙකුට. ඒ අර්ථයෙන් ගත්තොත් නම් නළුවා කියන්නේ විශේෂ පුද්ගලයෙක්. ඒ අතරිනුත් යම් සතෙක් නළුවෙක් වෙනවා නම් ඒක තවත් විශේෂයි. එහෙම විශේෂ නළු සතුන් අපි ඕනෑ තරම් දැක තිබෙනවා. ඒත් ඒ තරම් විස්තරයක් දන්නේ නෑ. අදින් පස්සේ නම් දන්නේ නෑ කියන්න බෑ මොකද අද අපි එයාලා ගැනයි කතා කරන්න යන්නේ.

රින් ටින් ටින් (RIN TIN TIN)



රින් ටින් ටින් කියන්නේ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයට අයත් සුනඛයෙක්. මෙයාව පුරුදු පුහුණු කරලා තියෙන්නේ ලොස් ඇන්ජලිස්වලින් ආපු පළමු ලෝක යුද්ධයට සහභාගී වූ යුද විශේෂඥයෙකු වූ ලී ඩන්කන්. මුලින්ම ප්‍රංශයේ හිටපු රින් ටින් ටින්ව ඇමරිකාවට ගෙනාපු ඔහු, මෙයාට විවිධ උපක්‍රම පුරුදු පුහුණු කළා. ඔහුට අවශ්‍ය කළේ රින් ටින් ටින්  ඒ වන විට හොලිවුඩ්වල හිටපු තවත් සුනඛ නළුවකු වූ ජීන්ගේ අඩි පාරේ යනවා දකින්නටයි. අවසානයේ ඔහු සිතූ දෙයම වුණා. 1920 සහ 1930 කියන දශකවල රින් ටින් ටින් අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. රින් ටින් ටින් පෙනී සිටියේ වෝනර් බ්‍රදර්ස් සමාගමේ චිත්‍රපටවලට පමණක් වූ අතර ඒවායේ ආදායම් ඉපැයීම අදහා ගත නොහැකි තරම් ඉහළ ගියා. රින් ටින් ටින් විවිධ නම්වලින්, චිත්‍රපට ගණනාවකම පෙනී සිටියා. රින් ටින් ටින් වෙනුවෙන් වෙන් වූ ගුවන් විදුලි වැඩසටහනක් ද තිබුණා. කොහොම වුනත් ගුවන් විදුලි වැඩසටහනේ දී රින් ටින් ටින්ට කරන්න තිබුණේ බුරන එක සහ ගොරවන එක පමණයි. 1932 දී රින් ටින් ටින් මිය ගියා. රින් ටින් ටින්ගෙන් පස්සේ තවත් රින් ටින් ටින්ලා බොහොමයක් සිනමාවට එකතු වුණා. ඒ හැමෝම මුල් රින් ටින් ටින්ගේ දරු මුණුබුරෝ. රින් ටින් ටින් චිත්‍රපටවල පෙනී සිටි හොඳම කාලයේ සතියකට ඇමරිකානු ඩොලර් 6,000 ක ආදායමක් ලබා ගත් බව පැවසෙනවා. එය වර්තමානයට ගැළපුවොත් ඇමරිකානු ඩොලර් 78,000 කට වඩා වැඩි බවයි පැවසෙන්නේ.



කෙයිකෝ (KEIKO )


කෙයිකෝ කියන්නේ යෝධ ඩොල්ෆින් විශේෂයකට අයත් සතෙක්. 1993 තිරගත වූ ෆ්‍රී විලීකියන චිත්‍රපටයෙන් ලෝක ප්‍රසිද්ධියට පත් වුණා. මේ චිත්‍රපටය නිසා කෙයිකෝ ඇමරිකානු ඩොලර් මිලියන 36ක් උපයා ගත් බව පැවසෙනවා. අයිස්ලන්තය ආශ්‍රිත මුහුදකින් කුඩා කාලයේ අල්ලා ගත් මේ ඩොල්ෆින් සත්වයාට මුලින්ම තබා තිබුණේ වෙනත් නම් වුවත් පසුව වාසනාවන්තයා’, ‛ආශීර්වාද ලත් තැනැත්තායන අරුතැති මෙම ජපන් නම යොදනු ලැබුවා. චිත්‍රපටයේ රඟපෑමෙන් පසු කෙයිකෝ මාළු අල්ලන්නට පුහුණු කරනු ලැබුවා. එසේ කළේ කෙයිකෝ ලවා ආදායමක් ලබා ගන්නට නොව ඌව නැවත මුහුදු ජීවිතයට පුරුදු කිරීමේ අරමුණින්. මුහුදු ජීවිතයට යළි පුරුදු කිරීම සඳහා අධික මුදලක් වැය කරන්නට සිදු වූ අතර 2003 වසරේ ඌ උපන් මුහුදු ප්‍රදේශයටම යලි නිදහස් කළත් වසරක් ගත වන්නටත් පෙර මිය ගියා.




බාර්ට් (BART )


බාර්ට් කියන්නේ කොඩියැක් කියන වර්ගයට අයත් යෝධ ඇලස්කානු දුඹුරු වලසෙක්. ද බෙයර්කියන චිත්‍රපටය ඇතුළු තවත් හොලිවුඩ් චිත්‍රපට ගණනාවකම පෙනී සිටි නිසා ඌ ඉතා ප්‍රසිද්ධ හොලිවුඩ් වලස් නළුවෙක් බවට පත් වුණා. මේ චිත්‍රපටය ඇකඩමි සම්මානය සඳහා ද නිර්දේශ වුණා. එයට අමතරව බාර්ට් රංගනයෙන් දායක වූ අනෙකුත් චිත්‍රපට අතර වයිට් ෆෑන්ග්’, ‛ලෙජන්ඩ් ඔෆ් ද ෆෝල්සහ ද එජ්යන ඒවා බොහෝ දෙනෙකුගේ මතකයේ රැඳී තිබෙනවා. බාර්ට් ගේ චිත්‍රපට අතිශය ජනප්‍රියව තිබූ සමයේ උපයා ගත් ආදායම පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 6ක් පමණ වන බවයි පැවසෙන්නේ. 1977 දී උපන් බාර්ට් 2000 වසරේ දී පිළිකා රෝගයක් නිසා මිය ගියා. මිය යන කාලයේ බාර්ට්, ග්‍රෝවින් අප් ග්‍රිස්ලිකියන වාර්තා චිත්‍රපටයේ වැඩ කටයුතු කරමින් සිටියා. මේ මරණයෙන් පසු චිත්‍රපටයේ ඉතිරි කොටස් සම්පූර්ණ කර ගැනීම සඳහා පෙනී සිටියේ බාර්ට් සමග ලෙජන්ඩ්ස් ඔෆ් ද ෆෝල්ස්චිත්‍රපටයේ රඟ පෑ ලිට්ල් බාර්ට්කියන වලසායි.


පැල් (PAL )


ඔබ ලැසීකියන කියන සුනඛ චරිතය තියෙන රූපවාහිනී නාට්‍යවල හෝ චිත්‍රපටවලින් දැක ඇත්නම් මේ සුනඛයාව මතක ඇති. බැල්ලක් වූ පැල් උපන්නේ 1940 වසරේදියි. හොලිවුඩ්වල සතුන් පුහුණු කරන්නකු වූ රුඩ් වෙදර්වැක්ස්, පැල්ගේ දක්ෂතා හඳුනාගෙන ඌව පුහුණු කරන්නට පටන් ගත්තා. 1943 දී පැල්ට ලැසී කම් හෝම්චිත්‍රපටයේ පෙනී සිටින්නට අවස්ථාව ලැබුණා. 1940 සහ 1950 දශකවල ඌ තවත් චිත්‍රපට ගණනාවකම රංගනයෙන් පෙනී සිටියා. ලැසීකියන මාලා චිත්‍රපටයේ රඟපාන්නට ලැබුණේ 1954 වර්ෂයේ දියි. 1958 ජුනි මාසයේ දී පැල් මිය ගියා. පැල්ගේ හොඳම කාලයේ දී සතියකට ඇමරිකානු ඩොලර් 51,000 ක පමණ ආදායමක් ලැබූ බව පැවසෙනවා.



මූස් (MOOSE )


මූස් කියන්නේ තවත් සුනඛ නළුවෙක්. පාර්සන් රසල් ටෙරියර් කියන වර්ගයට අයත් මූස් උපන්නේ 1990 වසරේ දියි. මූස් ජනප්‍රියත්වයට පත් වූයේ එඩීකියන අපූරු හැකියාවන්ගෙන් යුත් සුනඛයාගේ චරිතය ඇසුරින් නිර්මාණය කරන ලද රූපවාහිනී වැඩසටහන්වල එඩීලෙසින් පෙනී සිටීම නිසයි. 2006 දී සිදු වූ මූස්ගේ මරණයෙන් පසුව මූස්ගේ පුත්‍ර සුනඛයා වූ එන්සෝමේ වැඩසටහන සඳහා පෙනී සිටියා. මූස් රූපවාහිනි වැඩසටහන්වල පෙනී සිටි කාලයේ එක් වැඩසටහනක් වෙනුවෙන්  ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් 10,000 ක පමණ වූ බව පැවසෙනවා.



ටෙරී (TERRY )


ටෙරී කියන්නේ 1933 දී උපන් සුනඛ නළුවෙක්. බැල්ලක් වන ඌ ටෙරියර් කියන වර්ගයට අයත් වෙනවා. ඌ අතිශය ජනප්‍රියත්වයට පත් වුණේ ද විසර්ඩ් ඔෆ් ඔස්චිත්‍රපටයේ ටොටෝලෙස පෙනී සිටීමෙන් පසුවයි. විශ්ව සාහිත්‍ය කෘතියක් වන ද විසර්ඩ් ඔෆ් ඔස්කියවා ඇත්නම් මේ චරිතය කුමක්දැයි ඔබට මතක් වන්නට ඇති. ද විසර්ඩ් ඔෆ් ඔස්චිත්‍රපටයේ රඟපාද්දි සිදු වූ අනතුරකින් ටෙරීගේ කකුලක් කැඩුණා. එයින් සුව වීමෙන් පසු ටෙරී ට තවත් බොහෝ චිත්‍රපට ලැබෙන්නට පටන් ගත් අතර බ්‍රයිට් අයිස්’, ‛ටෝර්ටිලා ෆ්ලැට්ස්ද ඇතුළුව තවත් ලෝක ප්‍රකට චිත්‍රපට 12 කට පමණ රංගනයෙන් දායකවී තිබෙනවා. ටෙරීගේ ජීවිත කතාව ඇතුළත් කෘතියක් ඇන් ඔටෝබයොග්‍රුෆි ඔෆ් ටෙරීනමින් පළවී තිබෙන අතර එය ඇමසන් වෙබ් අඩවියේ වරින් වර අළෙවියට දමා තිබෙනු දකින්නට පුළුවන්.




හයිලන්ඩ් ඩේල් (Highland Dale)



1943 වසරේ උපන් හයිලන්ඩ් ඩේල් කියන්නේ ස්ටැලියන් වර්ගයට අයත් කලු අශ්වයෙක්. කලු අශ්වයෙක් වූ නිසාම ඌට ලෝක ප්‍රකට බ්ලැක් බියුටිකියන වීර අශ්ව චරිතය ඇතුළත් චිත්‍රපටයට රංගනයෙන් දායක වන්නට අවස්ථාව හිමි වුණා. හයිලන්ඩ් ඩේල් පෙනී සිටි ෆියුරිරූපවාහිනී කතා මාලාව ද අතිශය ජනප්‍රියත්වයට පත් වූවක් ලෙස සැලකෙනවා. බ්ලැක් බියුටිචිත්‍රපටයේ රඟපෑමෙන් අතිශය ජනප්‍රියත්වයට පත් වූ නිසා පසු කාලයේ බොහෝ දෙනෙක් හයිලන්ඩ් ඩේල්ව ව හඳුන්වනු ලැබුවේ බියුටිනමින්. 1972 වසරේ මිය යන විට ඌ චිත්‍රපට 8 ක පමණ රඟපා තිබුණු අතර සම්මාන තුනක් ද හිමි කරගැනීම විශේෂයෙන් සඳහන් කළ යුතුයි.




ගෝල්ඩන් ක්ලවුඩ් (Golden Cloud)




1934 උපන් ගෝල්ඩන් ක්ලවුඩ්කියන්නේ අශ්ව නළුවෙක්. මුල් නම මෙය වුනත් සිනමා ලෝකයේ ප්‍රසිද්ධියට පත් වුණේ ට්‍රිගර්නමින්. ගොපලු චිත්‍රපට සඳහා පෙනී සිටි, වේගයෙන් දිවිය හැකි, උඩින් පැනිය හැකි බොහෝ අශ්වයන් සිටියත් ට්‍රිගර්ගේ විශේෂත්වය වූයේ වාචික උපදෙස් පිළිපැදීමේ මනා හැකියාවත් තිබුණු නිසයි. සාමාන්‍යයෙන් අශ්වයන්ට වචනයෙන් ලබා දෙන උපදෙස් පිළිපදින්නට ඇති හැකියාව අඩුයි. එවැනි හැකියාවන් ඇති අශ්වයන් අප දකින්නේ චිත්‍රපටයක දර්ශනවල පමණයි. ඒ වගේම අනෙක් බොහෝ අශ්වයන්ට තිබුණාට වඩා අති විශේෂ හැකියාවන් රැසක් ට්‍රිගර්ට හිමිව තිබුණා. තම ස්වාමියාගේ දෑත් බැඳ ඇති අවස්ථාවක ඒවා ගලවා දමන්නට, පිටුපස කකුල්වලින් සිට ගන්නට, නටන්නට, මළාක් මෙන් සිටින්නට ආදී බොහෝ හැකියාවන් ට්‍රිගර්ට තිබුණා. චිත්‍රපට 13කට පමණ රංගනයෙන් දායක වූ ට්‍රිගර් 1965 දී මිය ගියා.