පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, June 28, 2019

කට පිච්චෙන්න තේ බොන අයට ගලනාලයේ පිළිකා ඇතිවීමේ අවදානමක් - Hot Tea and Cancer Risk



ඇමරිකා එක්සත් ජනපදයේ පිළිකා සංගමය මේ වසර මුලදී සිය පර්යේෂණ වාර්තාවක් නිකුත් කරමින් පවසා සිටියේ එරටින් වාර්ෂිකව ගලනාලයේ පිළිකා ඇතිවන රෝගීන් 17,650 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන බවත්, එයින් 16,000 ක් පමණ මිය යන බවත් ය. දරා ගැනීමේ හැකියාව අනුව මෙම පිළිකා රෝගී තත්වය නිර්ණය කිරීමෙන් පසු මෙයට ගොදුරු වන රෝගීන්ගෙන් 20% ක් පමණ උපරිම වශයෙන් වසර 5 ක පමණ දක්වා ජීවත් බව  පැවසේ. යම් කිසි පුද්ගලයෙකුගේ ගලනාලය තුළ පිළිකා තත්වයක් ඇති විමට විවිධ සාධක හේතු වේ. වයස 55 ඉක්මවීම, පුරුෂයකු වීම, ආමාශය නිතරම පාහේ ආම්ලික ස්වභාවයට ගොදුරු වන පුද්ගලයකු වීම, නිතර සකසන ලද ආහාර පරිභෝජනය කරන්නකු වීම, එළවළු පලතුරු අඩුවෙන් ආහාරයට එක් කරගන්නකු වීම ආදී කරුණු ගලනාල පිළිකාවන්ට ගොදුරු වීමේ අවදානම වැඩි කරයි.

කෙසේ නමුත් මේ වසර මුලදී මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාවෙන් මෙම පොදු, කලක් තිස්සේ දැන සිටි කරුණුවලට වඩා බිය ජනක කාරණාවක් ද හෙළි කොට තිබිණි. ඒ, තේ, කෝපි හෝ වෙනත් පාන වර්ග අධික ලෙස උණුසුම් තත්වයෙන් පරිභෝජනය කරන්නන් ද ගලනාල පිළිකාවන්ට ගොදුරු වීමේ හැකියාව තිබෙන බව ය.

මේ සම්බන්ධව පර්යේෂණය මෙහෙවන ලද්දේ ඇමරිකානු පිළිකා සංගමයේ අවේක්ෂණ පර්යේෂණ මධ්‍යස්ථානයේ ක්‍රමෝපාය අධ්‍යක්ෂ ෆර්හාඩ් ඉස්ලාමි විසිනි.

වෛද්‍ය ඉස්ලාමි ඇතුළු කණ්ඩායම මෙයට දත්ත එකතු කර ගැනීම සඳහා අවුරුදු 40 - 75 අතර වයසේ පසුවන 50,000 කට අධික නියැඳියක් භාවිත කරන ලදී. පර්යේෂකයන් වසර 10 ක පමණ කාලයක් තිස්සේ මෙම නියැඳියේ පුද්ගලයන්ව අධීක්ෂණයට ලක් කළ අතර, 2004 - 2017 කාලය තුල දී මේ අතරින් 317 දෙනෙකුට ගලනාල පිළිකාව වැළඳුණි.

පර්යේෂකයන් විසින් පානයන්ගේ උෂ්ණත්වය ද කොටස් දෙකකට වෙන් කළහ. ඒ අධික ලෙස උණුසුම්සහ ඇල් මැරුණුවශයෙනි. අධික ලෙස උණුසුම්  යනු සෙන්ටිග්‍රේඩ් අංශක 60 ට වඩා වැඩි උණුසුමින් යුක්ත ඒවා වූ අතර ඇල් මැරුණුයනු එම උෂ්ණත්ව මට්ටමට වඩා අඩු ඒවා ය.

ඒ වගේම මෙම පර්යේෂණයේ දී අවධානයට ලක් කළ තවත් එක් කාරණයක් වූයේ තේ හෝ වෙනත් උණුසුම් පානයක් කෝප්පයකට වත් කර ගැනීමේ සිට පානය කිරීම දක්වා අතර තුළ කාලයයි. එම කාලය මිනිත්තු 2 - 6 අතර නම්, එය ද අධික ලෙස උණුසුම්යන ගොඩට ඇතුළත් කෙරිණි.

මෙම පර්යේෂණයේ සමස්ත ප්‍රතිඵලය දෙස බැලූ විට පෙනෙන්නට තිබුණේ දෛනිකව අධික ලෙස උණුසුම්තේ හෝ වෙනත් පානයකින් මිලි ලීටර් 700 ක් පමණ පරිභෝජනය කරන්නන්, එසේ නොවන පුද්ගලයන්ට වඩා 90%කින් ගලනාල පිළිකා රෝගයට ලක්වීමේ ඉහළ අවදානමකින් පසු වන බව ය.

‛‛අධික උණුසුම් තත්වයේ පවතින පානයක් නිතර පරිභෝජනය කිරීම නිසා ගලනාල පිළිකා තත්වයක් ඇති වන්නට හේතු විය හැකිය යන්න පිළිබඳව අප මෙයට පෙර අවිධිමත්ව සිදු කළ පර්යේෂණයකින් සොයා ගත් කරුණු මෙම නව පර්යේෂණය තුළින් තහවුරු වුණා. මේ නිසා මෙය උණුසුම්ව පරිභෝජනය කරන සියලුම පානයන් සඳහා අදාළ වන බව සඳහන් කරමින් මහජනතාව දැනුම්වත් කිරීම සුදුසු යැයි අපි කල්පනා කළා. මේ නිසා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ යම් පානයක් සෙන්ටිග්‍රේඩ් අංශක 60 ට වඩා අඩු තත්වයට හෙවත් ඇල්මැරුණු තත්වයකට පත් වන තුරු එය පරිභෝජනය කිරීමෙන් වැළකී සිටීම වඩාත් යහපත් බවයි.’’ වෛද්‍ය ඉස්ලාමි ඇතුළු පර්යේෂක කණ්ඩායම එසේ පවසයි.

‛‛බොහෝ පුද්ගලයන් තේ, කෝපි හෝ වෙනත් පානයන් දැඩි ලෙස උණුසුම් ස්වභාවයෙන් පරිභෝජනය කරන්නට දක්වන්නේ දැඩි කැමැත්තක්. කෙසේ නමුත් අප සිදු කළ පර්යේෂණයෙන් හෙළි වී තිබෙන්නේ එසේ අධික ලෙස උණුසුම්ව යම් පානයක් පරිභෝජනය කිරීමේ දී ගලනාල පිළිකා ඇති වන බව යි. එබැවින් එහි උෂ්ණත්වය අඩු වන තුරු මදක් ඉවසන මෙන් මා ඉල්ලා සිටිනවා.’’

වෛද්‍ය ඉස්ලාමි සියලු දෙනාගෙන්ම එම ඉල්ලීම සිදු කරයි.

කෙසේ නමුත් මෙයට කුමක් හේතු වේ ද යන වෛද්‍ය විද්‍යාත්මක කාරණය හෙළිකරගැනීමට ඔවුන්ට තවමත් හැකි වී නැති අතර ඒ සඳහා තවත් පර්යේෂණයක් කරන්නට ඔවුහු අදහස් කරගනෙ සිටිති.

ගලනාල පිළිකාවක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ගලනාලයේ ඇති වන මාරක ගැටිත්තකි. ගලනාලය යනු ඔබ අප කවුරුත් දන්නා පරිදි මුඛයෙන් ලබා දෙන ආහාර ආමාශය කරා ගමන් කරනා නාලයයි. තවත් ආකාරයකින් සඳහන් කළ හොත් උගුර සහ ආමාශය සම්බන්ධ කරනා නාලයයි.

මෙය ඇමරිකා එක්සත් ජනපදයේ විරල රෝගී තත්වයකි. නමුත් මෙය ආසියාවෙ සහ අප්‍රිකාවේ බහුලව පවතින රෝගී තත්වයක් නිසා මෙම පර්යේෂණය වඩාත් වැදගත් වන්නේ ආසියානු රටක ජීවත් වන අපටය. 2015 වසරේ දී ලෝකයේ පිළිකා රෝගයෙන් මිය ගිය 2.6% වන රෝගීන්ගෙන් 1%කටම වැළඳී තිබුණේ ගලනාල පිළිකාව ය. එය බොහෝ විට වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයන්ට වැළඳේ.

ගලනාල පිළිකාව ප්‍රධාන වශයෙන් ප්‍රභේද දෙකකි.

1. ශල්කමය සෛල කාසිනෝමාව (Squamous cell carcinoma) - මෙය ගලනාලයේ ඉහළ කොටසේ ඇති සෛලවල ඇති වේ.

2. ගලනාලයේ අපිච්ඡද පටකයේ සෛලවල ඇති වන පිළිකාව (Adenocarcinoma of the esophagus) - මෙය බොහෝ විට ඇති වන්නේ ගලනාලය සහ ආමාශය එකිනෙක සම්බන්ධ වන සන්ධියේ පවතින සෛලවලය.

මීට අමතරව ගලනාලයේ ඇති වන පිළිකා තත්වයන්ගේ තවත් විරල ප්‍රභේදයන් කිහිපයක් ම වේ. කෙසේ නමුත් බොහෝ දෙනෙක් නොසිතන, නමුත් අවදානමක් ඇති මෙම තත්වය පිළිබඳ අප දඩි සැලකිල්ලක් දැක්විය යුතුව ඇත්තේ අප අතර සිටින බොහෝ දෙනෙක් ද අධික ලෙස උණුසුම් තත්වයේ පවතින පානයන් කෙරෙහි දැඩි කැමැත්තක් දක්වන බැවිනි. මේ නිසා මෙම පර්යේෂණයෙන් පැවසෙන පරිදි මදක් ඇල්මැරෙන තෙක් සිට උණුසුම් පානයන් පරිභෝජනය කිරීමව වඩාත් සුදුසු බව සඳහන් කළ හැකිය.

Wednesday, June 19, 2019

ක්‍රිකට් ලෝකයේ උගත්තු - Educated people in the Cricket World


වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වටපිටාව ගෙන බැලුවොත් පෙනෙන්නේ ඔවුන් බොහෝ දෙනෙක් කුඩා කාලයේ පටන්ම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම සූදානම් වෙමින් කටයුතු කරන සහ කළ අය බවයි. තවත් විදියකින් පැවසුවොත් ඔවුන් යම් දිනක ජාතික ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධවීමේ අරමුණින් සියලු කටයුතු කරමින් සිටින බව පෙනෙනවා. බොහෝ දෙනෙක් තමාගේ අධ්‍යාපනය පිළිබඳ අවධානය යොමු කරන්නේ ඉතා අඩු මට්ටමකින්. නමුත් අතීතයේ තත්වය එයට වඩා වෙනස්. අතීතයේ සිටි ක්‍රිකට් ක්‍රීඩකයන් බොහෝ දෙනෙකු යම් දිනෙක වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩකයන් වීම සම්බන්ධයෙන් දැඩි සිහිනවල එල්බගෙන නොසිටි බව පැහැදිලිව පෙනෙන්ට තිබෙනවා. ඔවුන් අධ්‍යාපනය පිළිබඳව ද දැඩි අවධානයක් යොමු කොට තිබෙනවා. ඒ නිසාම ඔවුන් බොහෝ දෙනෙකුට ක්‍රිකට්වලට අමතරව උසස් අධ්‍යාපනික සුදුසුකම් තිබෙන බව ද පෙනෙනවා. අතීතයේ සිටි එවැනි ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ගැනයි ක්‍රිකට් වසන්තය මැද ගෙවී යන මේ සතියේ කතා කරන්නේ.


ජෝන් මයිකල් බ්‍රේලි




නියම නම ජෝන් මයිකල් බ්‍රේලි වුනත් ලෝකයේ ප්‍රසිද්ධ වෙලා හිටියේ මයික් බ්‍රේලි නමින්. 1942 වසරේ උපන් ඔහු මුල් පෙළේ පිතිකරුවෙකු සහ කඩුළු රකින්නකු ලෙස එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිට ජීවිතය කැප කළත් අධ්‍යාපනය අතින් ඉහළට ගිය පුද්ගලයෙක් විදියට ඔහුව හඳුනාගන්නට පුළුවන්. ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් උපාධි දෙකක් ලබා ගත් පුද්ගලයෙක්. ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ දී අන්තර් විශ්ව විද්‍යාල තරග වෙනුවෙන් ක්‍රීඩා කළා. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයකු බවට පත්වන්නට ඔහුට අවස්ථාව ලැබුණේ මේ තරගවලට සහභාගී වීම නිසයි. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියාට පසු ඔහු ලේඛකයකු සහ මනෝ විශ්ලේෂකයකු ලෙස සේවය කළා. ඔහු එම කාලයේ බ්‍රිතාන්‍ය මනෝවිශ්ලේෂක සංගමයේ සභාපතිවරයා ලෙස ද සේවය කළා.

ඉම්රාන් ඛාන්




පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ඉම්රාන් ඛාන් ගැන ක්‍රිකට් ලෝලීන්ට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ක්‍රීඩාවෙන් සමුගෙන වසර ගණනාවක් ගත වුවත් ක්‍රිකට් ලෝකයේ ඔහු ඒ තරමටම ප්‍රසිද්ධයි. 1952 වසරේ උපන් ඔහු වර්තමාන පකිස්තානු අගමැතිවරයා ද වෙනවා. ඔහු සමාජ සේවකයකු සේම පරහිතකාමියකු ලෙස ද ප්‍රසිද්ධියක් උසුලනවා. ඔහු ලාහෝරයේ ඒටිචිසන් විද්‍යාලයේ සහ එංගලන්තයේ රාජකීය ව්‍යාකරණ විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරා තිබෙනවා. 1972 වර්ෂයේ දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට අයත් කීබල් කොලේජ් හි ලියාපදිංචි වූ ඔහු එහිදී දර්ශනවේදය, දේශපාලනය සහ ආර්ථික විද්‍යාව හැදෑරූ අතර 1975 වසරේ දී ගෞරව උපාධියක් සහිත ඉන් පිටවුණා. ඔහු කලක් බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස ද සේවය කළා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු ඔහු ක්‍රිකට් විස්තර විචාරකයකු  ලෙස ද කටයුතු කළා.


කුමාර් චෝක්ෂනාද සංගක්කාර




1977 වසරේ උපන් කුමාර් චෝක්ෂනාද සංගක්කාර හෙවත් කුමාර් සංගගක්කාර කියන්නේ කවුද කියා විස්තර කරන්න යන එක තේරුමක් නැති දෙයක්. ලෝකයේම ක්‍රිකට් ලෝලීන් අතර සංගායන ආදරණීය නමින් හැඳින්වෙන ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි දක්ෂ කඩුළු රකින්නෙක්. 2011 ජූලි 4 වැනිදා පැවැත්වූ කොලින්ස් කවුඩ්රි දේශනය නිසා ඔහු ලෝකයේ ක්‍රිකට් පරිපාලකයන් අතර මහත් අගැයීමකට ලක් වුණා. මේ නිසා ඔහු ක්‍රිකට් ලෝකයට මහත් බලපෑම් කළ ක්‍රීඩකයෙක් ලෙස ද සැලකෙනවා. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සිසුවකු වූ ඔහු 1996 වර්ෂයේ දී කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරූ අතර ත්‍රිත්ව විද්‍යාලයේ සිසුවකුට ලැබෙන උසස්තම ගෞරවය වූ රයිඩ් රන් පදක්කම දිනා ගත්තා. එය ඔහුට පිරිනමනු ලැබුයේ සෑම අතින්ම දක්ෂ සිසුවා ලෙස ඔහු තෝරා ගත් නිසයි. සිය පියාගේ අඩිපාරේ යමින් ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ නීතිය හැදෑරීම සඳහා ද ලියාපදිංචි වුණා. කෙසේ නමුත් ක්‍රිකට් සංචාරවලට දිගින් දිගටම සහභාගී වන්නට සිදු වූ නිසා ඔහුට සිය නීතිඥ වෘත්තිය සම්පූර්ණ කරගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.


අනිල් කුම්බ්ලේ




1970 දී උපන් අනිල් කුම්බ්ලේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් බව ක්‍රිකට් ලෝලීන් දන්නා දෙයක්. දකුණතින් පා දඟ පන්දු යවන්නට දස්කම් දැක්වූ ඔහු මුත්තයියා මුරලිදරන් සහ ෂේන් වෝර්න්ට පසුව වැඩිම ටෙස්ට් කඩුළු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා ලෙස ද වාර්තා ගත වී සිටිනවා. ඉන්දියානු පුරවැසියකුට ලැබිය හැකි ඉහළම සම්මානය වූ පද්ම ශ්‍රීසම්මානය ද ඔහු හිමිකර ගෙන සිටිනවා. ඔහු ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ලෝකයේ ප්‍රසිද්ධියට පත්ව සිටියත් ඔහුගේ අධ්‍යාපනික වශයෙන් ලබා ඇති සුදුසුකම් පිළිබඳ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඔහු ඉන්දියාවේ රාෂ්ට්‍රීය ඉංජිනේරු විද්‍යාලයෙන් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් හිමි කර ගෙන සිටිනවා.

රාහුල් ඩ්‍රාවිඩ්



1973 උපන් රාහුල් ඩ්‍රාවිඩ් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු එහි නායකත්වය ද උසුලනු ලැබුවා. ක්‍රිකට් ඉතිහාසයේ හොඳම පිතිකරුවකු ලෙස ද ඔහු ඉතිහාස ගත වී තිබෙනවා. බැංගලෝරයේ උසස් බාලක පාසලක් වූ සාන්ත ජෝශප් විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති ඔහු බැංගලෝරයේ වාණිජ විශ්ව විද්‍යාලයෙන් වාණිජවේදී උපාධියක් හිමිකරගෙන සිටිනවා. පසුව ඔහු ව්‍යාපාර පරිපාලන උපාධියක් සඳහා ද ලියාපදිංචි වී එය හැදෑරීම ආරම්භ කළා. ඔහුව ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගනු ලැබුයේ එම කාලයේදීයි. එසේ නොවුනේ නම් ඔහු ව්‍යාපාර පරිපාලනවේදී උපාධිධරයකු ද වනු නොඅනුමානයි.

ජොෆ් ලෝසන්




1957 වසරේ දී උපන් ජොෆ් ෆ්‍රාන්සිස් ලෝසන් කියන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක්. ඔහු කලක් පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලැබුවා. ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ලෝකයේ ප්‍රකට වූ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඔහු නිව් සවුත්වේලස් විශ්ව විද්‍යාලයේ දෘෂ්ටි පරීක්ෂාව පිළිබඳ උපාධිධරයෙක්. කෙසේ නමුත් ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණීමත් සමග ඔහුට එය වෘත්තියමය වශයෙන් ඉදිරියට කරගෙන යන්නට හැකියාවක් තිබුණේ නැහැ.

සයීඩ් අන්වර්




1968 දී උපන් සයීඩ් අන්වර් පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක්. ඔහු වරෙක එම කණ්ඩායමේ එක් දින සහ ටෙස්ට් තරගවල නායකයා ලෙස ද කටයුතු කළා. ආරම්භක පිතිකරුවකු ලෙස ප්‍රකටව සිටි ඔහු යම් යම් අවස්ථාවලදී පමණක් වමතින් මද වේග පන්දු යවන්නකු ලෙස ද කටයුතු කොට තිබෙනවා. ඔහු කරච්චි හි එන්.ඊ.ඩී. ඉංජිනේරු සහ තාක්ෂණික විශ්ව විද්‍යාලයෙන් 1998 වසරේ දී පරිගණක පද්ධති ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඉහළ පෙළේ උපාධියක් ලබාගෙන තිබෙනවා.

ජවගාල් ශ්‍රීනාත්




1969 වර්ෂයේ දී උපන් ජවගාල් ශ්‍රීනාත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරකයකු ලෙස කටයුතු කරමින් සිටිනවා. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සිටි දක්ෂතම වේග පන්දු යවන්නකු ඔහු එරට ක්‍රිකට් ක්‍රීඩකයන් අතර කඩුළු 300 ඉක්මවූ ප්‍රථම පන්දු යවන්නා ද වෙනවා. ඔහු ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ප්‍රකටව සිටියත් උසස් අධ්‍යාපනික අංශයෙන් ද ඉතා උසස් සුදුසුකම් ලද පුද්ගලයකු ලෙස සඳහන් කළ හැකියි. ඔහු, මයිසූරා හි ශ්‍රී ජයචාමරාජෙන්ද්‍ර ඉංජිනේරු විද්‍යාලයේ යාන්ත්‍රික උපකරණ සම්බන්ධ උපාධිධරයකු වෙනවා.









Thursday, June 13, 2019

සර්වසම නිවුන්නු සහ අපරාධ - Identical Twins and Crimes


ඔබ සර්වසම නිවුන්නු’ (Identical Twins) ගැන අසා තිබෙනවද? අසා තිබුණත් නැතත් ඒ ගැන කෙටියෙන් සඳහන් කළොත් කියන්න තියෙන්නේ හැම අතින්ම සමාන නිවුන්නු කියන එකයි. ඒ කියන්නේ පෙනුමෙන්, කතා බහෙන්, ඇවිදින විලාශයෙන් ආදී සෑම අතින්ම සමානයි. විද්‍යාත්මකව ගත්තොත් ඔවුන්ගේ ඩී.එන්.ඒ. පවා සමානයි. වෙනස් වෙන්නේ ඇඟිලි සලකුණු පමණයි. ඩූම් 3’ හින්දි චිත්‍රපටය නැරඹුවා නම් එහි කියැවෙන්නෙත් සර්වසම නිවුන්නන්ගේ කතාවක් බව ඔබට මතක් වේවි. ඒ වගේම මේ වසරේ තිරගත වුණු තඩම්කියන දෙමළ චිත්‍රපටයේත් මේ වගේම කතාවක් නිරූපණය වෙනවා. සිය සර්වසම භාවය ප්‍රයෝජනයට ගෙන අපරාධකරුවන් බවට පත් වූ නිවුන්නු ගැනත් කතා අපට ලෝකය වටෙන්ම අහන්න ලැබෙනවා. මොවුන්ගේ ඩී.එන්.ඒ, සමාන නිසා බොහෝ දෙනෙක් සිදුකොට තිබෙන්නේ යම් අපරාධයක් පිළිබඳ වගකීම සිය අනෙක් නිවුන්නාට බැර කිරීමයි. එසේත් නැත්නම් කිසිම දෙයක් ගැන නොකියා සිටීමයි. ඩී. එන්. ඒ. පරීක්ෂාවක් හැර වෙන කිසිදු සාක්ෂියක් ඉතිරිව නැත්නම්, නීතිය පසිඳලන බලධාරීන්ට මොවුන්ව නිදහස් කරනවා හැර වෙන විකල්පයක් ඉතිරි වන්නේ නැහැ. එයට හේතුව අපරාධකරුවන් සියයක් සිරේට ගියත් එක් නිවැරදිකාරයෙක් සිරගතවීම අමානුෂික දෙයක් බව ලොව පුරා පිළිගැනීමට ලක්ව තිබීමයි. මේ තත්වයේ වාසිය ප්‍රයෝජනයට ගත් සර්වසම නිවුන් අපරාධකරුවන් කිහිප දෙනෙක් ගැනයි මේ කියන්න හදන්නේ.

හසාන් සහ අබ්බාස්



2009 වසරේ පෙබරවාරි 25 වැනිදා දවස ඇරඹෙත්ම වාගේ ජර්මනියේ සුඛෝපභෝගී භාණ්ඩ අළෙවි කෙරෙන වෙළෙඳ සලක් වූ ඛවුපෝස් ඩෙ වෙස්ටෙන්ස්මංකොල්ලකෑමකට ලක් වුණා. එහිදී මෙහි තිබුණු ස්ටර්ලිං පවුම් මිලියන පහක් (රුපියල්වලින් නම් ආසන්න වශයෙන් මිලියන 1133ක් පමණ) සුඛෝපභෝගී ඔරලෝසු සහ වෙනත් ආභරණ සොරාගෙන ගොස් තිබුණා. සීසීටීවී දර්ශනවලට එක් පුද්ගලයෙකුව හසුව තිබුණා. සොරුන්ගේ එක් අත්වැස්මක් ද මෙහි දමා ගොස් තිබී හමුවුණා. අත්වැස්මේ  ඇඟිලි සලකුණු සටහන්ව නොතිබුණු නිසා පොලිසිය කළේ එයින් ඩී.එන්.ඒ. සාම්පලයක් ලබාගැනීමයි. මේ ඩී.එන්.ඒ. අයත් කාටදැයි සොයා බැලීමේදී පොලිසියට තරු පෙනුණේ ඒවා පුද්ගලයන් දෙදෙනෙකුටම අයත් බව දැනගන්නට ලැබුණු නිසයි. ඒ හසාන් සහ අබ්බාස් යන සර්වසම නිවුන්නන් දෙදෛනාටයි. කෙසේ නමුත් මේ මංකොල්ලයට මේ දෙදෙනාම හවුල් ද, එසේත් නැත්නම් කුමන සහෝදරයා මෙය සිදු කළේද යන්න සොයා ගැනීමට පොලිසීයට හැකියාවක් ලැබුණේ නැහැ. ඔවුන් දෙදෙනාගෙන් කිසිවකු කුමන පීඩනයක් යටතේවත් මේ ගැන වචනයක් හෝ කතා කළේ නැහැ. අනෙක සීසීටීවී කැමරා දර්ශනයට හසු වූ පුද්ගලයා වෙස් මුහුණක් පැළැඳ සිටි නිසා එයින් ද එතරම් ප්‍රයෝජනයක් ලැබුණේ නැහැ. ඔරලෝසු සහ ආභරණ සොයා ගන්නට හැකියාවක් නොලැබුණත් මේ සහෝදරයන් දෙදෙනාව නිදහස් කරන්නට පොලිසියට සිදුවුණා.


ඇල්බට් එබෙන්සර් ෆොක්ස් සහ එබෙන්සර් ඇල්බට් ෆොක්ස් 



1857 වසරේ උපන් ඉංග්‍රීසි ජාතික මේ ෆොක්ස් සහෝදරයන් පෙනුමෙන් කොයි තරම් සමාන ද කීවොත් ඔවුන් වෙන් කොට හඳුනාගැනීම සඳහා ඔවුන්ගේ ඇඳුම්වල වර්ණ රිබන් පටි ගැට ගැසීමට පවා ඔවුන්ගේ දෙමාපියන්ට සිදු වුණා. මොවුන් පසු කාලයේ මහා අපරාධකරුවන් බවට පත් වූ නිසා ඒ අපරාධවලින් ගැලවී යන්නට මේ පෙනුමත්, එක හා සමාන නම් දෙකක් වාසියකට හිටියා. මේ සහෝදරයන් දෙදෙනා කිසිදු අපරාධයක් කරන්නට එක්ව ගමන් කළේ නැහැ. මේ නිසා තමන් නිර්දෝෂය කියා නීතිය හමුවේ පවසන්නට එය වාසියක් කරගන්නට හැකියාවක් ලැබුණා. මේ ආකාරයට අපරාධ කරමින් පොලිසිය ගොනාට අන්දවමින් සිටි ෆොක්ස් සහෝදරයන්ව අල්ලා ගන්නට පොලිසිය ද හැකිතාක් උත්සාහ ගත්තා. පොලිසිය මොවුන්ගේ ඇඟිලි සලකුණු සොයා ගන්නටත්, ඔවුන්ගේ සිරුරේ වූ ලප කැලැල් මොනවාද කියා වෙන් කොට හඳුනාගන්නටත් උපක්‍රම යෙදුවා. මොවුන් හැකිතාක් මේ සාක්ෂි වසන් කරමින් අපරාධ සිදු කළත් අවසානයේ ඔවුන් එයින් පරාජයට පත් වුණා. 1904 වසරේ දී ඔවුන්ගේ ඇඟිලි සලකුණු අල්ලා ගන්නට පොලිසියට හැකි වුණා. ඒ 1904 වසරේ දී. ඇඟිලි සලකුණු මගින් අපරාධකරුවන් අල්ලා ගැනීමේ ලොව පළමු සිදුවීම වාර්තාගත වන්නේ ද මොවුන්ගේ නම සමගයි. මොවුන් නීතිය හමුවේ පරාජයට පත්වීමෙන් පසුව එකම පොලිස් ස්ථානයක  සිරකුටිවල රඳවා තබන්නට පොලිසිය ක්‍රියා කළා. එයට හේතුව මේ පොලිස් ස්ථානය ගොඩ නගා ඇත්තේ මේ සහෝදරයන් විසින්ම වීම නිසයි. ඔවුන්ගේ නීති විරෝධී වැඩකටයුතු අතරේ නීත්‍යානුකුළ එකම රැකියාව වී තිබුණේ ගොඩනැගිලි ඉදිකිරීම පමණයි. ඔවුන් සිය ජීවිත කාලය තුළ අපරාධ 200 කට වඩා සිදුකොට ඇති බව පැවසෙනවා.


සතිෂ් සහ සබාරිෂ් රාජ්

සතිෂ් සහ සබාරිෂ් රාජ් කියන්නෙත් සර්වසම නිවුන් සහෝදරයන් දෙදෙනෙක්. 2003 වසරේ දී මැලේසියානු පොලිසිය මගින් ඔවුන් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක්ව මැලේසියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ කිලෝ ග්‍රෑම් 160ක කංසා සහ කිලෝග්‍රෑම් දෙකක අබිං ළඟ තබා ගැනීමේ වරදට.  ඔහුව අත්අඩංගුවට ගනු ලැබූ ස්ථානයට ඔහුගේ අනෙක් නිවුන් සහෝදරයා ද පසුව පැමිණි අතර ඔහුව ද අත්අඩංගුවට ගනු ලැබුවා. කෙසේ නමුත් මොවුන්ගේ සර්වසම ස්වභාවය නිසා ටික දිනක් ගත වෙද්දී මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටීමේ වරදට අත්අඩංගුවට පත් වුණේ කුමන නිවුන් සොයුරා ද කියා හඳුනා ගැනීමට පොලීසියට නිවැරදිවම පවසන්නට හැකියාවක් නැති වුණා. ඔවුන්ගේ ඩී.එන්.ඒ පරීක්ෂාවක් කළත්, ඒවා ද සමාන නිසා පොලිසිය මුහුණ දුන්නේ පුදුම අපහසු තත්වයකටයි. අනෙක ඔවුන් කිසිව දෙයක් කතා කළේ ද නැහැ. ඔවුන්ව උසාවියට ඉදිරිපත් කරනු ලැබුවත්, එහි නිගමනය වුණේ වරදකරු නිවැරදිවම තීරණය කළ නොහැකි නිසා දෙදෙනාවම නිදහස් කළ යුතු බවයි. යම් හෙයකින් වරදකරු නිශ්චිතවම සොයා ගැනීමට හැකි වුණා නම් ඔහුට නිසැකවම මරණ දඬුවම ලැබෙන්නට නියමිතව තිබුණා.


ඕර්ලැන්ඩෝ සහ බ්‍රැන්ඩන් නෙම්බාර්ඩ්




2011 පෙබරවාරි 12 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ රාත්‍රී සමාජ ශාලාවක ගැටුමක් හට ගත්තා. මේ ගැටුම අවසන් වුණේ 19 හැවිරිදි සර් ෂේවියර් බෲක්ස් වෙඩි වැදී මිය යාමෙන්. එයින් මාසයකට මේ මිනීමැරුමේ සැකකරු විදිහට ඕර්ලැන්ඩෝ නෙම්බාර්ඩ්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ පිළිබඳ පරීක්ෂණය හිතුවාට වඩා සංකීර්ණ වෙමින් පවතින බව පොලිසිය තේරුම් ගත්තේ ඕරලැන්ඩෝට සර්වසම නිවුන් සහෝදරයෙක් ද සිටින බව සොයා ගැනීමත් සමගයි. මේ මිනීමැරුම ඔප්පු කරන්නට ඩී.එන්.ඒ. වලින් කිසිදු සහයෝගයක් නොලැබෙන බව පොලීසිය දැන සිටියා. ඊට අමතරව මෙය ඔප්පු කරන්නට ඔවුන් ළඟ වෙනත් සාක්ෂි තිබුණෙත් නැහැ. මිනීමැරීමට යොදා ගත් ආයුධය ද සොයා ගන්නට නොහැකි වූ නිසා ඇඟිලි සලකුණු ලබාගන්නට ක්‍රමයක් තිබුණෙත් නැහැ. ඔවුන්ට ඉතිරි වී තිබුණු එකම දේ ඇසින් දුටු සාක්ෂි පමණයි. නමුත් එය ද විශ්වාසදායක නොවුණේ ඇසින් දුටු සාක්ෂිකරුවන්ට මේ සොයුරන් දෙදෙනා වෙන් කොට හඳුනා ගැනීම දුෂ්කර වූ නිසයි. මිනීමැරුම සිදුකළේ ඕර්ලැන්ඩෝ යැයි ඇතැමුන් කී අතර තව පිරිසක් පැවසූවේ එය බ්‍රුන්ඩන් විසින් සිදු කළ බවයි. අධිකරණයටත් මේ ගැටලුව විසඳා ගත නොහැකි වුණා. බ්‍රැන්ඩන්ට අපරාධ සම්බන්ධ කිසිදු ඉතිහාසයක් නොතිබුණු අතර ඕර්ලැන්ඩෝ නම් මංකොල්ලකෑම් සහ මරිජුනාවා ළඟ තබාගැනීම සම්බන්ධව චෝදනා එල්ල වී තිබුණා. අවසානයේ දෙදෙනාවම නිදහස් කර හරින්නට සිදු වුණා.



රොනාල්ඩ් සහ ඩොනල්ඩ් ස්මිත්



2008 ජූලි 18 වැනිදා ජෙනායි කෝල්මන් නම් තැනැත්තාට දුම්රිය ස්ථානයක් අසළදී වෙඩි තබා මෝටර් රථය පැහැරගෙන තිබුණා. පසුව වෙනත් තැනක අතහැර ගොස් තිබුණු මේ වාහනය පොලිසිය විසින් සොයා ගත්තා. මෝටර් රථයේ තිබුණු දුම්වැටි කොටසක් මෙහිදී පොලිසියට සොයා ගන්නට හැකි වුණා. මෙයින් ලබා ගත් ඩී.එන්.ඒ. වලින් හෙළි වූයේ එය ඩොනල්ඩ් ස්මිත් නම් පුද්ගලයකු විසින් පානය කරන ලද දුම්වැටියක් බවයි. ඔහු මෙයට පෙර මත්ද්‍රව්‍ය චෝදනාවක් යටතේ සිරගත ව සිටි පුද්ගලයෙක්. කෙසේ නමුත් ඩොනල්ඩ්ව අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු මේ අපරාධ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ එය සිය සොයුරා වන රොනාල්ඩ් විසින් සිදුකරන ලද්දක් බවයි. මෙය සිදුකළේ රොනාල්ඩ් බව සනාථ කිරීම සඳහා එම අපරාධයේ සීසීටීවී දර්ශන සිය ඥාතීන්ට පෙන්වන මෙන් ද ඔහු ඉල්ලා සිටියා. පොලිසිය එම ඉල්ලීම ඉටුකරමින් එකී දර්ශන ඥාතීන්ට පෙන්වූ අතර ඔවුන් පවසා සිටියේ ද එහි සිටින්නේ රොනාල්ඩ් බවයි. දින කිහිපයකට පසුව රොනාල්ඩ්ව අත්අඩංගුවට ගනු ලැබුවා. වාහනයෙන් ලබා ගත් ඇඟිලි සළකුණු ද රොනල්ඩ් හා කදිමට ගැලපුණා. අනෙක මේ වාහනය අතැර දමා ගොස් තිබු ප්‍රදේශයේ රොනාල්ඩ් ගැවසෙමින් සිටි බවට ඇසින් දුටු සාක්ෂි ද ඉදිරිපත් කළ හැකි වුණා. ඔහු එම පළාතේ සිට දුරකතන ඇමතුම් කිහිපයක් ද ලබාගෙන තිබුණා.

කෙසේ නමුත් රොනාල්ඩ් පවසා සිටියේ තමා එම අපරාධය සිදු නොකළ අතර එය සොයුරා වූ ඩොනල්ඩ් විසින් සිදුකරන ලද්දක් බවයි. රොනල්ඩ්ගේ නීතිඥයා පවසා සිටියේ මෝටර් රථයේ රොනල්ඩ්ගේ ඇඟිලි සලකුණු තිබෙන්නට හේතුව එය පිරිසිදු කරන්නට රොනාල්ඩ් උදව් කළ නිසා බවයි. කෙසේ නමුත් මේ කාරණය ජූරිය විසින් පිළිනොගත් අතර රොනාල්ඩ් ද වසර 25 ක සිරදඬුවමක් හිමි වුණා.

Monday, June 10, 2019

අටෝපියාව සහ කේතුමතිය

පෝලන්තයේ අටෝපියා නගරයක් සඳහා ආකෘතියක් ඉදිකරන්නට පටන් ගත් අතර තවම එය අවසන් වී නැත


‘අටෝපියාව‘ මේ බොහෝ දෙනෙක් අද කාලයේ සිය ලියමන්වල භාවිත කරන වදනකි. මෙය බොහෝ තැන්වල කියවා ඇතත් හතර විලිලිජ්ජාව වන්නේ මා එහි තේරුමක් දැන නොසිටි නිසාය. ඇතැම් තැන්වල මෙය ‘උතෝපියාව‘, ‘උටෝපියාව‘ ලෙස ද සඳහන් කොට තිබේ. කියවන සියල්ලේම තේරුමක් තිබිය යුතුය කියා නීතියක් නැති බැවින් මම මෙය ඔහේ කියවාගෙන කියා මිස තේරුමක් සොයන්නට උත්සුක නොවූයෙමි. නමුත් මේ දැන් හදිසියේ එය මට මතක් වූ නිසා තේරුම සොයන්නට අන්තර්ජාලයේ පිහිට පැතීමි. මෙය සෑදී ඇත්තේ Utopia යන වදනෙනි. එහි තේරුම නම් පුරවැසියන්ට ජීවත් වීම සඳහා සර්ව සම්පූර්ණයෙන්ම ගැළපෙන පරිසරයක් සහිත සිතින් මවා ගත් නගරයක්ය යන්නයි. අවශ්‍ය නම් ‘සිතින් මවා ගත්‘ යන තැනින් අවසන් කොට තමන්ගේ ලියමන්වල ගැළපෙන තැනකට එය යෙදිය හැකිය. 


ඊට අමතරව Utopia නමින් පොතක් ද තිබේ. ලතින් බසින් ලියා ඇති එහි ලේඛකයා තෝමස් මෝර් ය. එයින් කියවෙන්නේ අටෝපියා නම් නව දූපතේ වැඩ කටයුතු සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

පුරවැසියන්ට ජීවත්වීමට සර්ව සම්පූර්ණ වශයෙන්ම ගැළපෙන පුරවරයක් ගැන බෞද්ධ සාහිත්‍යයේ ද දක්නට ලැබේ. ඒ කේතුමතී පුරයයි. කේතුමතී පුරය යනු අනාගතයේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදුවන පුරවරයයි. මෙහි පුරවැසියන් සියල්ලෝම පින්වන්තයෝය. ප්‍රඥාවන්තයන්ය. ධාර්මිකයන්ය. සිතූ පැතූ සම්පත් ලබන ඔවුන්ගේ පරමායුෂ අවුරුදු හාරදහසකි. ධාර්මික පාලකයෝ සිටිති.

කෙසේ නමුත් කේතුමතිය කියන වචනයේ පොෂ් ස්වභාවයක් නැති නිසා අවස්ථාවක් ලදොත් මගේ ඉදිරි ලියමන් සඳහා මම ද අටෝපියාවම භාවිත කරන්නට දැන් සිට අදිටන් කරගෙන සිටිමි.



Thursday, June 6, 2019

වෛද්‍යවරු හැම වෙලාවකම කියන්නේ ඇත්තමද?


දොස්තර මහත්තුරු කියන හැම දෙයක්ම ඇත්තද? මේ දවස්වල සිද්ධ වෙන දේවල් දිහා බැලුවාම මේ ගැටලුව බොහෝ දෙනෙකුට ඇති වෙන්න පුළුවන්.

වෛද්‍යවරයෙක් කියන්නේ අපේ සමාජයේ තිබෙන ඉහළම වෘත්තියක්. වෘත්තිය ඉහළ වුනත් ඒ වෘත්තිය තුළ ඉන්නෙත් අපි වගේම සාමාන්‍ය මිනිස්සු. සාමාන්‍ය මිනිස්සු කරන හැම දෙයක්ම ඔවුනුත් කරනවා. මත්පැන් බිම සිරුරට අහිතකරයි කියලා අප හැමෝටම වඩා දන්නේ ඔවුන් වුනත්, මත්පැන් පානය කරන වෛද්‍යවරු එමටයි. වෘත්තිය උතුම් වුනත්, ඒ උතුම් බවට නොගැළපෙන දේවල් කරන වෛද්‍යවරු එමටයි. ගබ්සා කිරීම්, වද කිරීම්, ගසා කෑම්, අල්ලස් ගැනීම්, අධික ලෙස මුදල් අය කරමින් රෝගීන්ව සූරා කෑම් කරන වෛද්‍යවරු එමටයි. ඔවුන් තමන්ගේ වෘත්තිය ඇතුළේ ගහන්න පුළුවන් හැම ගේමක්ම ගහනවා. වෘත්තිය කොයි තරම් උතුම් ද කියන එක ඒ නිසා ඔවුන්ට බාධාවක් නොවෙයි. මේ නිසා අපේ සමාජයේ වෘත්තිය අනුව මිනිස්සු මනින්න යනවා නම් ඒක තමයි මෝඩම වැඩේ.

ඇත්තටම වෛද්‍යවරු කියන්නේ ඇත්තමද? හැමෝම නැතත් ඇතැම් අය මුදල් ගරා ගන්න රෝගීන්ට ගජ බින්න අත අරිනවා. මට පෞද්ගලිකව සිද්ධ වුණු දෙයකින් මට ඒක එහෙමයි කියලා කියන්න පුළුවන්.

2016 අවුරුද්දේ ගම්පහ ස්ටේෂන් එකේදි කෝච්චියක් අල්ලගන්න ගිහින් දුවලා මම වැටෙනවා. ඒක ටිකක් දරුණු වැටීමක් වගේම ඒ නිසා මගේ දකුණු උරහිසේ Grater Tubercle කියන ස්ථානයේ පිපිරීමක් සිද්ධ වෙනවා. පහළ ඇති එක්ස් කිරණ සටහනේ ඒක පෙනෙනවා. මේක ගත්තේ මේ සිදුවීමෙන් දවස් කිහිපයකට පසුව නිසා පිපිරීම අඩුවෙන් පෙනෙන්නේ.


මේ රතු පාට කවයෙන් පෙනෙන්නේ බිඳී ගිය ස්ථානය. පිපිරුණු පසු අස්ථිය ඝන වී ඇත්තේ අවිධිමත් ආකාරයටයි. එය විධිමත් ලෙස ඝන වූවා නම් එය තිබිය යුත්තේ මෙහි පෑනකින් ඇඳ ඇති සීමාවේ පෙනෙන පරිදි ගෝලාකාරව. මෙය පෑනකින් ඇඳ පෙන්නුවේ මා අවසන් වතාවට හමු වූ විකලාංග වෛද්‍යවරයා විසින්. ඉහතින් ගැට්ටක් සහිතව ඝන වීම නිසයි අත ඔසවන්නට ඇති හැකියාව නැති වී තිබුණේ. 


මේක සාමාන්‍ය දෙයක් කියා හිතන මම දේශීය වෛද්‍යවරයෙක් හමුවට ගොස් තෙල් බෙහෙත් සාත්තුවක් දාගන්නවා. සතියක් පමණ ගත වෙද්දි මට අත උස්සා ගන්නට නොහැකි තත්වයක් ඇති වෙනවා. මම නැවත දේශීය වෛද්‍යවරයා හමු වෙනවා. ඔහු පවසන්නේ ටික දවසක් තෙල් සාත්තුව කරද්දි මෙය සුව වන බවයි. ටික දිනක් තෙල් ගෑවත් අත උස්සාගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ.  එවිට මම හිතවත් සාමාන්‍ය වෛද්‍යවරයෙක් හමුවන්නට ගිහින් මේ සිද්ධිය කියනවා. ඔහු තමාගේ දැනුමේ හැටියට අත පරීක්ෂා කරලා බලා කියනවා ඇතැම් විට මේක ස්නායු ගැටලුවක් වෙන්න පුළුවන්, ඒ නිසා ඒ සම්බන්ධ වෛද්‍යවරයෙක් හමුවෙන්න කියලා.

මම කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකදී ස්නායූ වෛද්‍යවරයෙක් හමුවෙනවා. ඔහු අත සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරලා බලා කියනවා මේක ස්නායූ රෝගයක් නෙවෙයි, කොහොම වුනත් කෝකටත් කියලා බෙහෙත් ටිකක් නියම කරන්නම් ඒක අරගන්න කියලා. ඒකෙන් අඩු වුණේ නැත්නම් ඉක්මනින්ම Rheumatologist (රක්තවේද වෛද්‍යවරයෙක්)  හමුවෙන්න කියා ඔහු කියනවා.

ඔහුගේ බෙහෙත්වලින් සුවයක් නොලැබෙන නිසා මම Rheumatologist කෙනෙක් මුණ ගැහෙනවා. ඒ අවස්ථාවේ දී තමයි එක්ස් කිරණ ඡායාරූපයක් ගන්න කියා උපදෙස් දෙන්නේ. මුලින්ම පෙන්වා තියෙන්නේ ඒ අවස්ථාවේ දී ගත් ඡායාරූපයයි. Grater Tubercle කියන තැන පිපිරීමක් සිදුවී ඇති බවත්, දැන් එය නැවත සවි වී ගෙන යන බවත්, සවි වී ඇත්තේ අවිධිමත් ආකාරයකින් නිසා අත ඔසවන්නට නොහැකි වී ඇති බවත් ඔහු පවසනවා. මේ නිසා ඔහුගේ උපදේශය වන්නේ වහාම විකලාංග ශල්‍ය වෛද්‍යවරයකු (orthopedic surgeon) හමු විය යුතු බවයි. දකුණු අත කෙසේ හෝ සුව කර ගත යුතු නිසා මා වහා ප්‍රමාද නොවී විකලාංග වෛද්‍යවරයකු හමු වෙනවා.

ඔහු පවසන්නේ උරහිසේ MRI Scan එකක් කළ යුතු බවයි. කොළඹ පෞද්ගලික රෝහලක දී මේ Scan එක කර ගන්නවා. පසුව වෙනත් දවසක මේ වාර්තාවත් සමග නැවත විකලාංග ශල්‍ය වෛද්‍යවරයා  හමු වෙන්නට යනවා. එහිදී ඔහු පවසන කතාවෙන් මා වික්ෂිප්ත වෙනවා.

Grater Tubercle කොටස සහ උරහිස් අස්ථිය සම්බන්ධ වන මාංශ පේශියේ කණ්ඩරාව (Tendon) කොටස ඉරී ඇති බවත්, දැන් නූල් කැබලි කිහිපයක් සේ ඉතිරිව ඇති පේශී කොටස්වලින් පමණක් අත රැඳී ඇති බවත්, ඒ නිසා අත ඔසවන්නට ඇති හැකියාව නැතිවී ඇති බවත් ඔහු ඒ අවස්ථාවේ දී පවසනවා. 


ඔහු පැවසූ පරිදි හානිවී ඇත්තේ මේ රතු කවයෙන් පෙන්වා ඇති කණ්ඩරා කොටසයි


ඔහු ඒ සඳහා ශල්‍යකර්මයක් නිර්දේශ කරනවා. ඒ අනුව ටයිටේනියම්වලින් සකසන ලද ඇණ වැනි දෙයකින් කෘත්‍රිමව මාංශ පේශී කොටසක් සවි කළ යුතු බව ඔහු පවසනවා. මේ සඳහා ලක්ෂ 4ක පමණ මුදල් වැය විය හැකි බවත්, ඒ මුදල් සූදානම් කොට ගෙන ඔහුව හමු වන ලෙසත් උපදෙස් දෙනවා. මේ ශල්‍යකර්මය ඉක්මනින් සිදුකරන්නට නොහැකි වුවහොත් සදාකාලයටම අත ඔසවාගන්නට කිසිසේත්ම  හැකියාවක් නොලැබෙන බව ඔහු පවසනවා.

ලක්ෂ හතරක් එකපාරම හොයන්න?

ලක්ෂ හතරක් එකවර සොයා ගන්නට මට හැකියාවක් නැති බව මට අවබෝධ වෙනවා. ආයතනයෙන් ලබා දෙන රක්ෂණයෙන් ද ලැබෙන්නේ එක් ලක්ෂ විසිපන්දහසක් පමණයි.

පසුව මෙය රජයේ රෝහලකින් සිදුකරගන්නට සිතන මම කොළඹ මහ රෝහලේ විකලාංග සායනයකට සහභාගී වෙනවා. එහි සිටි එක් විකලාංග ශල්‍ය වෛද්‍යවරයෙක් පවසන්නේ උරහිස ප්‍රදේශයේ මාංශ පේශී ඝන වී ඇති නිසා අත ඔසවන්නට ඇති හැකියාව නැති බවයි. එහිදී ඔහු කුමක් හෝ යන්ත්‍රයකින් උරහිසට කම්පන වාර සෑහෙන ගණනක් දෙනවා ඉන් පසුව මට අත ඔසනවා තබා සොලවා ගන්නටත් නොහැකි වෙනවා. වෛද්‍යවරයා පවසන්නේ මේ ප්‍රතිකාරය ගැනීම සඳහා නැවත දිනයක පැමිණෙන ලෙසයි. කෙසේ නමුත් වැඩි වේලාවක් ගත වෙන්නට පෙර උරහිස අධික ලෙස වේදනා දෙන්නට වීම නිසා ඒ ප්‍රතිකාරය ගැනීමට යාමෙන් මම වැළකී සිටිනවා.

දැන් මම දකුණ අත නැවත එසවීම පිළිබඳ බලාපොරොත්තු අතහැර ගන්නවා.

නමුත් නැවතත් යමක් කල්පනා කරනවා.

ජාතික රෝහලේ දැනට සේවයේ නියුතු විකලාංග ශල්‍ය වෛද්‍යවරයෙක් හමුවීමෙන් ඔහුගේ මාර්ගයෙන් මේ ශල්‍යකර්මය කර ගත හැකි දැයි මට සිතෙනවා. මම පෞද්ගලික රෝහලක දී එක් වෛද්‍යවරයෙක් හමු වෙනවා. මා එදින ඔහුගේ අවසන් රෝගියා නිසා සෑහෙන වේලාවක් රැගෙන මේ තත්වය මට පැහැදිලි කරනවා.

ඔහු පවසන්නේ ශල්‍යකර්ම කරන්නට ගොස් නැති ලෙඩ දමා නො ගන්නා ලෙසයි. දැන් අස්ථියේ පිපිරුම සවි වී ඇති නිසා ඒවා වෙනස් කරන්නට යාමෙන් පලක් නැති බව ඔහු පවසනවා. ප්‍රතිකාර අමතක කර දමා පුරුදු පරිදි ගෙදර දොරේ වැඩ කරගෙන සිටින ලෙසත්, ලක්ෂ හතරක් ඉල්ලා සිටි වෛද්‍යවරයා පැවසූ පරිදි අත මාංශ පේශී කැබලිවලින් එල්ලී තිබෙන්නට හැකියාවක් නැති බවත් පවසනවා. අතට හොඳින් ව්‍යයාම ලැබෙන්නේ නම් අවුරුද්දක් පමණ ගත් වෙද්දී සියල්ල යථා තත්වයට හැරෙන බවත් ඔහු පවසනවා.

අවසානයේ මම ඔහුගේ උපදෙස් පිළිපදිනවා.

අවුරුද්දක් පමණ ගතවෙද්දී ඔහු පැවසූ පරිදි මගේ අත ටිකෙන් ටික යථා තත්වයට පත් වෙනවා.

ඔන්න ඕක තමයි මගේ කතාව.

ඉතින් වෛද්‍යවරු හැම වෙලාවකම කියන්නේ ඇත්තමද?