පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, August 27, 2016

මැල්ලුම් කන්න කැමැති නැත්නම් මේක ටිකක් බලන්න


සමබල ආහාරයකට එකතු විය යුතු ආහාර වර්ග අතරින් පලා වර්ගවලට හිමි වන්නේ සුවිශේෂී තැනකි. ගම්බද ව ජීවත් වන්නෙකුට නම් තමාගේ ගෙ වත්තෙන් බොහෝ පලා වර්ග පහසුවෙන් සොයා ගත හැකිය. නගරබදව ජීවත් වන්නෙකුට නම් එළවළු අළෙවි කරන ස්ථානයකින් පහසුවෙන් හා අඩු මිලට පලා වර්ග මිලට ගත හැකිය. අප මිලට ගන්නා එළවළු අතුරින් අඩුම මිලට ගත හැකි එකම වර්ගය ද පලායැයි කිව හොත් එහි වරදක් නැත. කෙසේ නමුත් ඇතැමුන් පලා වර්ග කෑමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැත. ඇතැම්හු තෝරා ගත් පලා වර්ග එකක් හෝ දෙකක් පමණක් අනුභව කරති. මීට අමතරව යම් යම් කාලවල දී යම් යම් පුද්ගලයන්ගේ අවශ්‍යතාවයන්ට අනුව පලා වර්ග කෑමට ගැනීම නිසා යම් යම් රෝග වර්ග වැළඳෙන බවට ව්‍යාජ මත මාධ්‍ය ඔස්සේ පතුරවා හැරුණු අවස්ථාවන් ද අපි දැක ඇත්තෙමු. අප දන්නා කාලයේ සිටම කිසිදු අයහපත් ප්‍රතිඵලයක් නොමැති බව හොඳින් දැන කෑමට ගත් ඇතැම් පලා වර්ගවලින් රෝගාබාධ ඇතිවිය හැකි යැයි පවසමින් ඒවා ආහාරයට ගැනීම අධෛර්යමත් කිරීම නිසා ද ඇතැමුන් තුළ පලා වර්ග කෑමට ඇති කැමැත්ත අඩුවී තිබෙන්නට පුළුවන. සැබැවින්ම පලා වර්ග කෑමෙන් කිසිදු අහිතකර ප්‍රතිඵලයක් නොලැබෙන බව ඔප්පු කෙරෙන පර්යේෂණ බොහෝ සිදුවී තිබේ. ඒවායින් ලැබෙන තරමක් ලැබෙන්නේ යහපත් ප්‍රතිඵල විනා අයහපත් ඒවා නොවේ. මේ නිසා පලා වර්ග ගැන දැන සිටීම ඔබ අප කාටත් ප්‍රයෝජනවත්ය. 

බටහිර රටවල පලා වර්ග එතරම් ප්‍රචලිත නැති මුත් ඔවුන් විසින් කරන ලද විවිධ පර්යේෂණවලින් මේවායේ ඇති පෝෂණ තත්වය අවබෝධ කොට ගෙන දැන් සිය ආහාර වේල්වලට විවිධාකාරයෙන් පලා වර්ග එක් කර ගැනීමේ නැඹුරුවක් ඇතිවී තිබෙන බව සඳහන් කළ යුතුය. 

අප වයස් ගතවද්දී අපගේ මතකය අඩුවී යාම හෝ සම්පූර්ණයෙන්ම අහිමිව යාම බොහෝ විට දක්නට ලැබෙන ගැටලුවකි. ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ ප්‍රාන්තයේ පිහිටා ඇති රෂ් සරසවියේ පර්යේෂක මාර්තා ක්ලෙයාර් විසින් මෑතකදී සිදු කරන පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ පුරුද්දක් ලෙස පලා වර්ග කෑමට ගත් පුද්ගලයෙකු ඉහත සඳහන් තත්වයට පත්වන්නට ඇති ඉඩ කඩ බොහෝ අඩු බවය. මතකය අඩුවී යාමේ අවසාන ප්‍රතිඵලයක ‘ලෙස ඇල්ෂයිමර්රෝගී තත්වය අති විය හැකි බවත්, මේ සඳහා කළ හැකි ලාභදායකම ආයෝජනය වන්නේ පලා වර්ග ආහාරයට ගැනීම පුරුද්දක් කරගැනීම බවත් මෙම පර්යේෂණයෙන් හෙළි වී තිබේ. මතකය අඩුව යාමේ තත්වයට පත්ව සිටි වැඩිහිටියන් 950 දෙනෙකු මෙම පර්යේෂණය සඳහා යොදාගෙන තිබූ අතර මොවුන් අතරින් පලා වර්ග වැඩි වශයෙන් කෑමට ගත් වැඩිහිටියන්ගේ මතකය අඩුව යාමේ වේගය සැලකිය යුතු තත්වයකින් අඩුවී තිබුණු බැව් පැවසේ. මෙම පර්යේෂණයෙන් හෙළි වී ඇති විස්මය ජනක කාරණය නම් කිසිදු පලා වර්ගයක් ආහාරයට නොගත් වැඩිහිටියන්ට වඩා මොවුන් තුළ වර්ධනය වූ මතක ශක්තිය වසර 11 කින් තරුණ වී තිබුණු බවයි. 



පලා වර්ගවල අධික ලෙස මැග්නීසියම් අන්තර්ගත වන බැවින් දෙවැනි වර්ගයේ දියවැඩියාව (type 2 diabetes) ඇති පුද්ගලයන්ට මෙයින් ඉමහත් ප්‍රතිලාභයක් ලැබෙන පර්යේෂණවලින් හෙළි වී තිබේ. දිනකට එක් ආහාර වේලකට පලා වර්ග කෑමට ගත්ත ද දියවැඩියා රෝගයට ලක්වීමේ හැකියාව 9% කින් පහත වැටෙන බව පැවසේ. පලා වර්ගවල වැඩි වශයෙන් අඩංගු වන විටමින් කේඅපගේ අස්ථිවල සෞඛ්‍යය කෙරෙහි බලපාන ඔස්ටියෝකැල්සින්’ (osteocalcin ) නිෂ්පාදනයට ඍජුවම බලපාන බැව් හෙළ වී තිබේ. පලා වර්ග වැඩි වැඩියෙන් ආහාරයට ගැනීමෙන් මැදි වයස්වල පසු වන පුද්ගලයන්ගේ අස්ථි බිඳීම් 45%කින් අඩුකරගැනීමට ඉවහල් වේ. 

තද කොල පැහැ පලා වර්ගවල අඩංගු Lutein and zeaxanthin, carotenoids යන පෝෂණ සංඝටක අපගේ ඇස්වල කාචය සහ එය වටා වූ මාංශපේශිවල ආරක්ෂාවට බෙහෙවින් ඉවහල් වන බැව් පර්යේෂණවලින් හෙළිවී තිබේ. ඇසේ සුද මතු වීම සහ ඇස් අවට ඇති මාංශ පේශි දුර්වල වීම පලා වර්ග වැඩි වැඩියෙන් ආහාරයට ගැනීම නිසා සැලකිය යුතු මට්ටමකින් වළක්වා ගත හැකිය. ඉහත සඳහන් කළ පෝෂණ සංඝටක නිසා පියයුරු සහ පෙනහළු පිළිකා ඇතිවීම පහත වැටෙන බවත්, හෘදයාබාධ සහ ආඝාත තත්වයන් ද වළක්වා ගත හැකි බවත් හෙළි වී තිබේ. 

අද අප බොහෝ දෙනෙකුට ඇති ගැටලුවක් වන්නේ ගුණදායක පල වර්ග පිළිබඳ දැනුමක් නොමැතිවීමය. බොහෝ දෙනෙකු පලා වර්ග ලෙස හඳුන්වන්නේ මුකුණුවැන්න, ගොටු කොළ වැනි කිහිපයක් පමණක් බැව් කතාබහ කිරීමේ දී වටහා ගත හැකිය. නමුත් තවත් බොහෝ ගුණදායක පල වර්ග පවතින බැව් සොයා දැන ගැනීම ඉතා වැදගත් ය. 


මුකුණුවැන්න, ගොටු කොළ ආදියට අමතරව ඇඹුල් ඇඹිලිය, පෙතිතෝර, කූරතම්පලා, වැල්පෙනෙල, වලාවැන්න, හාතාවාරිය, අඟුණ, ජපන්බටු, ලුණුවිල, කංකුං, ගැට තුඹ, තැල්කොල, කරවිල, කුප්පමේනියා, කතුරුමුරුංගා, මඤ්ඤොක්කා කොල, පැෂන්පෲට් කොල ආදී වශයෙන් තවත් බොහෝ පලා වර්ග තිබේ. මේ සියලු පලා වර්ග පෝෂණ ගුණයෙන් අනූන වුවද, මේ අතරින් ඇතැම් පලා වර්ග තනිකරම මැල්ලුමක් ලෙස පිළියෙල කරගතහොත් කෑමට ගත නොහැකි විය හැකිය. ඇතැම් ඒවා රසවත් නැත. ඇතැම් ඒවා අධික තිත්ත ගුණයෙන් යුක්තය. එබැවින් කළ යුත්තේ කළවම් මැල්ලුමක් ලෙස පිළියෙල කරගැනීමය. උදාහරණයක් ලෙස අඟූණ කොල තිත්ත ගුණයෙන් යුක්ත වේ.  එවිට කළවම් මැල්ලුමක් ලෙස ඒවා පිළියෙල කරගත හැකිය. එසේත් නැත්නම් දෙහි ඇඹුල් තරමක් වැඩිපුර දැමීමෙන් තිත්ත ස්වභාවය අඩුකරගත හැකිය. එමෙන්ම අමුවෙන් කෑමට ගත හැකි ගොටු කොල, කතුරු මුරුංගා, අඟුණ ආදිය හැකි තාක් දුරට ඒ ආකාරයෙන් ම ගැනීමෙන් පෝෂණ ගුණය නො අඩුව ලැබේ. මේ සියලු පලා වර්ග ඖෂධ ගුණයෙන් ද අනූන නිසා අපට වැළඳෙන යම් යම් රෝගී තත්වයන් ද නිරායාසයෙන්ම වළක්වා ගැනීමට පලා වර්ග ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබේ. 

පලා වර්ග ආහාරයට ගැනීම නිසා ආහාර ජීර්ණය ද පහසු කරවයි. ස්වීඩනයේ සිදු කළ එක් පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ පලා වර්ග වල අඩංගු කැරොටෙනොයිඩ්ස් (carotenoids ), ෆ්ලැවොනොයිඩ්ස් (flavonoids ) සහ එවැනි වෙනත් ප්‍රති ඔක්සිකාරක ප්‍රභේදවලින් පිළිකා මර්දනය කරන්නට හැකියාව ලැබෙන බවය. විශේෂයෙන් දිනකට ආහාර වේල් තුනකට ම පල වර්ග එක්ක ගැනීමෙන් ආමාශ ගත පිළිකා වැළදීමේ ඉඩකඩ සැලකිය යුතු මට්ටමකින් පහත වැටෙන බව ද මෙම පර්යේෂණයේ ප්‍රතිඵල ලෙස හෙළි වී තිබේ. 

පල වර්ග ආහාරයට ගැනීම වඩාත් ප්‍රචලිත ආසියානු රටවල, විශේෂයෙන් ඉන්දියානු උප මහද්වීපයේ  පවතින ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල වුවත්, මේවායේ පෝෂණ ගුණය පිළිබඳ මේ වන විට බටහිර රටවල බොහෝ පර්යේෂණ සිදුකෙරමින් පවතී. එහ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් සිය ආහාර වේල්වලට වැඩි වැඩියෙන් පල වර්ග එක්ක ගැනීමට සැලකිලිමත් වී ඇත. කෙසේ නමුත් පෝෂණයෙන් හා ඖෂධීය ගුණයෙන් අගතැන්පත් පලා වර්ගවලට අපගේ ආහාර වේල තුළ ලැබෙන සැලකිල්ල බොහෝ දුරකට අඩුවී  ඇති බැව් පෙනේ. ඔබගේ සෞඛ්‍යය අඩු වියදමකින් රැක ගෙන නිරෝගිමත් ජීවිතයක් හිමිකරගැනීමට නම් මෙතැන් සිට  හෝ ඔබගේ සහ ඔබගේ පවුලේ සාමාජිකයන්ගේ ආහාර වේලට අනිවාර්යයෙන් ම පල වර්ගයක් එක්කර ගැනීමට උනන්දු වීම අනිවාර්යෙන්ම සිදු කළ යුතු වේ.

Friday, August 12, 2016

වයස්ගත වැඩිහිටියන්ට ආවේණික රෝගාබාධ


ඔබේ දෙමාපියන් වයස්ගත තත්වයේ පසුවන්නන් විය හැකිය. එසේත් නොමැති නම් බොහෝ විට ඔබේ නිවසේ කවුරුන් හෝ වයස්ගත අයකු සිටිය හැකිය. සාමාන්‍යයෙන් වයස්ගත වූ විට විවිධ රෝගාබාධ වැළඳෙයි. මේ නිසාම ඔවුන්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන ගිය ද ඔවුන් පවසන තරමට කායික ආබාධ වෛද්‍ය පරීක්ෂණවලට හසු නොව අවස්ථාවන් ඕනෑ තරම් තිබේ. වෛද්‍යවරයාට හසුවන සුළු සුළු ආබාධ සඳහා ප්‍රතිකාර ලබා දුන්න ද ඇතැම් විට ඒවා සුව අතට හැරෙන්නේ නැත. ඇතැම් විට සුව අතට හැරුණත් වැඩි දිනක් ගත්වන්නට පෙර නැවත එම රෝග ලක්ෂණ මතු වේ. යළිත් වෛද්‍යවරයකු හමුවට යාමට සූදානම් වුවහොත් බොහෝ වැඩිහිටියන් පවසනුයේ,

මේවාට ඉංග්‍රීසි බෙහෙත් නැහැ දරුවෝ. කසාය වඩියක් දෙකක් තම්බලා බිව්ව නම් ඔක්කෝම හරිකියාය.

එමෙන්ම සිරුරේ විවිධ ස්ථානවල ඇතිවන ආබාධයන් සඳහා ඔවුන් ආලේප කරන්නට සොයන්නේ පැරණි සිංහල බොහෙත් තෙල් වර්ගයන්ය. බටහිර වෛද්‍ය විද්‍යාවේ මෙවැනි රෝග සඳහා ප්‍රතිකාර නැතැයි යන මතය බොහෝ දෙනෙකු අතර තිබුණ ද පැහැදිලිවම පැවසිය හැක්කේ නූතන වෛද්‍ය ක්‍රමවලින් මෙවැනි තත්වයන් හඳුනාගෙන ඇති බවය.

බටහිර වෛද්‍ය විද්‍යාව සහ මනෝ විද්‍යාව විසින් හඳුනාගෙන ඇති පරිදි මෙවැනි රෝග ලක්ෂණ විවිධාකාර වේ. ඉන් එකක් වනුයේ දීර්ඝ කාලීනව සිතේ ඇතිවන්නා වූ ගැටලුවල කායික ප්‍රකාශන (Chronic Fatigue Syndrome) ලෙසිනි.

එමෙන්ම තවත් පිරිසකට මනෝ කායික දෝෂ (Psychosomatic Disorders) නම් රෝගාබාධ තත්වයක් වැළඳෙනු දැකිය හැකිය. මෙවැනි රෝගී තත්වයක් ඇතිවන්නේ යම්කිසි ශාරීරික සහ මානසික දෝෂ තත්වයක් හේතුවෙනි. ඇතැම් ශාරීරික රෝග විවිධ මානසික හේතුන් නිසා අසාධ්‍ය වන අවස්ථා වෛද්‍ය විද්‍යාවේදී ඕනෑ තරම් දැකිය හැකි වේ. විශේෂයෙන් ආතතිය හා කාංසා තත්වයන් නිසා කායික රෝග දරුණු අතට හැරුණු අවස්ථා ඇත. වයස්ගත වැඩිහිටියන් නිරායාසයෙන්ම අන්‍යන්ගෙන් වැඩි වැඩියෙන් සැළකිලි බලාපොරොත්තු වන්නේ මේ නිසාය.

එමෙන්ම ඇතැමුන්ට දේහීකරණ ආබාධ (Somatization disorder) නම් රෝග තත්වය ද වැළඳුණු අවස්ථාවන් ද දැකිය හැකිය. බ්‍රිකට්ගේ සහලක්ෂණය’ (Briquet's syndrome) යනුවෙන් හඳුන්වනු ලබන්නේ ද මෙයමය. මෙහිදී සිදුවන්නේ තමාට යම් යම් කායික ආබාධ ඇතැයි යම් වයස්ගත පුද්ගලයකු විසින් නිතර නිතර පවසනු ලැබුවත්, වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ගිය විට පරීක්ෂණ මගින් එවැනි ආබාධ කිසිවක් සොයාගැනීමට නොමැතිවීමය. බොහෝ වයස්ගත වැඩිහිටියන්ගෙන් මෙම ලක්ෂණ දැකිය හැකි වේ.

මේවා සියල්ල කාලයක් තිස්සේ මානසික වශයෙන් පැවතී වයස්ගත වන විට කායික රෝග ලක්ෂණ ලෙස මතුවන තත්වයන්ය. ඉන්පසු වන්නේ ඔවුන් නිතර විවිධ හේතූන් නිසා අසනීප තත්වයට පත්වීමය. බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකර නැතැයි බොහෝ වැඩිහිටියන් පවසන්නේ මෙවැනි රෝගාබාධවලටය.

වයස්ගත වූ වැඩිහිටියන් මෙවැනි රෝගාබාධ තත්වයන් පවසද්දී කිසිවකු ඔවුනට දොස් පැවරීමක් සිදුකරන්නේ නැත. මේ නිසාම ඇතැම් වැඩිහිටියෝ මේ තත්වයෙන් ප්‍රයෝජන ගන්නට උත්සාහ කරනු දැකිය හැකිය. නමුත් පැහැදිලිවම පැවසිය හැක්කේ මෙය ඔවුන් හිතාමතා කරන දෙයන් නොව මානසිකව ඉබේ ඇතිවන දෙයක් බවය. වයස්ගත වූවන්ට ඔවුන් තරුණ වියේ කළ කී දෑ කෙසේවත් කළ නොහැකිය. ඔවුන් තරුණ වියෙහිදී කළ දේ වයස්ගතව පසුවද්දී කරන්නට නොහැකි වීම නිසා ඔවුන්ගේ සිතෙහි ඒ පිළිබඳව යම් කනස්සල්ලක් ඇතිවේ.

තාත්තා අපි පොඩි කාලේ නම් මේ වැඩේ නියමෙට කරලා දුන්නා

යැයි ඔවුන්ගේ දරුවකු පවසනු ඇසුනහොත් එවැනි වැඩිහිටියකුට ඇතිවන්නේ වරදකාරී හැඟීමකි. දැන් එවැන්නක් කළ නොහැක්කේ තමා වයස්ගත්ව සිටින නිසා බව තමන් දන්නා නමුත් අනෙක් අය එය එසේ තේරුම් ගනීවි ද නැද්ද කියා ඔවුනට අවබෝධයක් නැත. මෙවැනි අවස්ථාවක යමෙකු,

ඒ කාලේ නම් තාත්තාට මේ වගේ වැඩ ටොයිස්. ඒත් දැන් මේ වයසයි අසනීපයි නිසා ඒවා කරන්න බැහැ. අපි ඒ වගේ වැඩ කරන්න දෙන්නෙක් නැහැ

වැනි දෙයක් පවසනු ඇසුණ හොත් එවිට වැඩිහිටින්ට සිය සිතේ ඇතිවුණු වරදකාරී හැඟීම තුරන්ව යයි. ඔවුන්ගේ කණස්සල්ල නැති වෙයි. මෙවැනි මානසික තත්වයක් නිසා ඔවුන් තුළ වෙනත් කායික රෝග තත්වයක් තිබුණේ නම් ඒවාද ඒවාද සුව අතට හැරෙන්නට ඇති ඉඩකඩ වැඩිය. මෙම තත්වය මනෝ විද්‍යාවේදී හඳුන්වන්නේ මූලික ප්‍රතිලාභ’ (Primary gain)  වශයෙනි. ඔවුන්ගේ මේ නොහැකි බව වෙනත් අයකු විසින් සාධාරණීකරණය කරනු අසන්නට ලැබීම ඔවුන්ගේ සිතේ සතුට ඇති කරන්නකි.

යම් ස්ථානයකට ගිය විට බොහෝ වැඩිහිටියන් තමා වයස්ගත වූවකු නිසාම විශේෂ සැළකිල්ලක් බලාපොරොත්තු වන අවස්ථාවන් තිබේ. ඔවුන්ට එවැනි සැළකිල්ලක් නොලැබී යාම නිතර නිතර සිදුවන්නේ නම් අවසානයේ එයින් සිදුවන්නේ ද ඔවුන් තුළ යම් යම් රෝගාබාධ ලක්ෂණ ඇතිවීමය. ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයකු හමුවට ගිය විට පෝළිමේ සිටින්නට ඉඩ නොහැර වෛද්‍යවරයා කරා යන්නට අවස්ථාවක් ලබාගැනීම ආදිය බොහෝ වැඩිහිටියන් බලපොරොත්තු වන දේවල්ය. මෙම තත්වය මනෝ විද්‍යාව විසින් හඳුනාගෙන තිබෙන්නේ ඉහත සඳහන් කළ මූලික ප්‍රතිලාභතත්වයේ දෙවැනි අවස්ථාව ලෙස වන අතර මෙය ද්වීතීක ප්‍රතිලාභ’ (Secondary gain) යනුවෙන් හඳුන්වනු ලබයි. එමෙන්ම වයස්ගත වැඩිහිටියන්ගේ යම් යම් ශාරීරික ආබාධ ඇති අවස්ථාවලදී දරුවන් විසින් හන්දිවල, අත පයවල තෙල් ආලේපකිරීම සිදුකරයි. එසේ තෙල් ආලේප කරන විට එම ආබාධ ද සුවවී යයි. සැබැවින්ම එතැන ඇත්තේ කායික රෝගී තත්වයක් නොවේ. වයස්ගත වැඩිහිටියන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ රෝගාබාධ කෙරෙහි අන් අයගේ සැළකිල්ල ලබාගැනීමය. මෙයින් ඔවුන්ගේ මනස තෘප්තිමත් තත්වයකට පත් වේ. මෙය ද ද්වීතික ප්‍රතිලාභගණයට වැටෙන්නකි.


ඔබ පවුලේ වයස්ගත වැඩිහිටියකු සිටී නම් මෙවැනි කරුණු පිළිබඳ අවබෝධයෙන් සිටීම ඉතා ප්‍රයෝජනවත්ය. අනෙක ඔබ අප සියලු දෙනා යම් දිනයක වයස්ගත තත්වයට පත් වේ. වර්තමානයේ වෙනත් කෙනෙකුගෙන් මෙවැනි ලක්ෂණ දකින අප ඒවා පිළිබඳ නුරුස්නා සිතින් බැලිය හැක. නමුත් සියලු දෙනාම වයස්ගතවීමේදී මෙම තත්වයට පත්වන්නේ නිරායාසයෙනි. සමාජයෙන් කොන්වීම, තනිකම, පිළිගැනීම අඩුවීම, යැපෙන්නකු බවට පත්වීම වැනි වයස්ගත තත්වයට පත් සියලු දෙනාටම පොදු කරුණු මෙවැනි මානසික තත්වයන් ඇතිවීම කෙරෙහි බලපෑ හැකිය. මේවා පිළිබඳ අවබෝධයෙන් සිටියහොත්, සියලු වැඩිහිටියන්ගේ කායික හා මානසික සෞඛ්‍යය වඩාත් සතුටුදායක තත්වයට පත්කරගැනීමට ඔබට සහය වන්නට හැකිය.

Saturday, August 6, 2016

ගැහැනු පිරිමින්ට වඩා ජීවත් වෙනවාද? Life Expectancy Man Vs. Woman



පාසල් ගිය කාලය කාලයේ ආර්ථික විද්‍යාව හෝ භූගෝලය හැදැරූ අයෙක් සිටිනවා නම් ඔබට ‛ආයු අපේක්ෂාව’ ( Life Expectancy) යන්න අමුතු දෙයක් නොවනු ඇත. යම්කිසි පුද්ගලයෙක් උපන් අවස්ථාවේදී ඔහු හෝ ඇය ජීවත් වේ යැයි සළකනු ලබන උපරිම ආයු කාලය සාමාන්‍යයෙන් මේ නමින් හඳුන්වයි. අපේ රටේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක ආයු අපේක්ෂා සංඛ්‍යාලේඛණ පිළිබඳ මඳක් අවධානය යොමු කළ හොත් පැහැදිලිව පෙනී යන එක් කරුණක් තිබේ. ඒ සෑම රටකම ගැහැනු පිරිමින්ට වඩා වැඩි ආයු අපේක්ෂාවකින් යුක්ත බවය. අපි පහත ඇති උදාහරණ දෙස බලමු. මේ සංඛ්‍යාලේඛනය උපුටා ගෙන ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බව ද සැළකිය යුතුය. 

ශ්‍රී ලංකාව - ගැහැනු අවු. 77, පිරිමි අවු. 73
ඉන්දියාව - ගැහැනු අවු 72, පිරිමි 67
ඇමරිකා එක්සත් ජනපදය - ගැහැනු අවු. 80, පිරිමි අවු. 75
මහා බ්‍රිතාන්‍යය - ගැහැනු අවු. 82, පිරිමි අවු. 79
සෝමාලියාව - ගැහැනු අවු. 56, පිරිමි අවු. 53 

මේ ලැයිස්තුව තව කෙතරම් ලියාගෙන ගිය ද තත්වය මෙසේය. අප සාමාන්‍යයෙන් අප අවට සිදුවන ස්වභාවික මරණ පිළිබඳ සළකා බැලුව ද මේ තත්වය මෙසේ බව අවබෝධ වේ. සැබැවින්ම මෙය පසුපස පවතින කාරණය කුමක්ද කියා සිතා බැලීමේ වරදක් නැත. මේ පිළිබඳව සොයා බලන්නට සිතී ඇත්තේ අපට පමණක් නොවේ. ලෝකයේ විවිධ රටවල වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය මහාචාර්යවරු ද මේ පිළිබඳව පර්යේෂණ පවත්වා තිබේ. ඇතැමෙක් සිතන්නේ ගැහැනුන්ගේ හෝර්මෝන මගින් ඔවුන්ට පිරිමින්ට වඩා වැඩි ආරක්ෂාවක් ලැබෙන බවය. මේ නිසා ගැහැනු, පිළිකා වැනි දරුණු රෝග තත්වයන්ට බඳුන් වන්නේ පිරිමිනට වඩා පසු කාලයේදීය. 

එමෙන්ම ඇතැම් පර්යේෂණවලින් හෙළිවී ඇත්තේ ගැහැනුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පිරිමින්ට වඩා ශක්තිමත් බවය. අපගේ සිරුරේ ‛තයිමස’ නම් ග්‍රන්ථියක් තිබේ. අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය කරන ‛ටී’ සෛල නිපදවනු ලබන්නේ මෙහිය. ගැහැනු හා පිරිමි වයස්ගතවත්ම මෙම ග්‍රන්ථිය මගින් ටී සෛල නිපදවීම අඩුවන නමුත් ගැහැනුන්ගේ එම තත්වය පිරිමින්ගේ තරම් අඩුවන්නේ නැති බව පර්යේෂණ මගින් සොයාගෙන තිබේ. වයස්ගත වද්දී පැරණි ‛ටී’ සෛලවලින් ප්‍රයෝජනයක් ඇත්තේ නැත. අලුත් ඒවා නිපදවෙන්නේ නම් එය සිරුරේ ආරක්ෂාව පැත්තෙන් ගතහොත් ඉතා වාසිදායකය. නමුත් පිරිමින්ගේ එම තත්වය ඉතාමත් පහත් අඩියකට පත්ව ඇති බැවින් ඔවුන්ට ගැහැනුන් හා සමාන ආයු අපේක්ෂාවක් භුක්ති විඳින්නට වාසනා මහිමයක් නැති බව කිව හැකිය. 

ඇතැම් පර්යේෂණවලින් සොයා ගෙන ඇත්තේ අනාගත පරපුර පෝෂණය කිරීමේ හැකියාව ඇත්තේ ගැහැනුන්ට නිසා ඔවුන් ස්වභාවිකම පරිණාමය වී ඇත්තේ වැඩි කාලයක් ජීවත්වන්නටය බවය. දරුවකු පිළිසිඳ ගැනීමේදී ඒ දරුවාට පියාගෙන් සහ මවගෙන් එක සමාන වර්ණ දේහ ලැබුණත්, ගැහැනු දරුවකුට ලැබෙන වර්ණ දේහවල ගුණත්වයේ යම් වෙනසක් ඇති බව එම පර්යේෂණය සිදු කළ අය පවසති. මේ නිසා ගැහැනුන්ගේ ශාරීරික කොටස් පිරිමින්ගේ තරම් ඉක්මණින් ක්ෂය වන්නේ නැත. මේ නිසා ගැහැනුන්ට යම් යම් රෝගාබාධ වැළදෙන්නට පටන් ගන්නේ පිරිමින්ට වඩා ප්‍රමාදවී ය. අනෙක කාන්තවෙන්ගේ සිරුරේ ඇති ඊස්ට්‍රජන් හෝර්මෝනය නිසා ඔවුන්ගේ ඔසප් නවතින තුරුම රුධිර නාලිකාවලට අතිරේක ආරක්ෂාවක් ලැබෙයි. එය හෘද රෝග ඇතිකිරීම ප්‍රමාද කරයි. පිරිමින්ට එවැනි වාසියක් නොමැත. 

පිරිමින්ගේ වැඩි වශයෙන් ඇති ටෙස්ටස්රෝන් හෝමෝනය  පිරිමින්ට අවාසිදායකය. මේ හෝර්මෝනය නිසා පිරිමින් බහුල වශයෙන් හෘද රෝග සහ පුර්ස්ථිත පිළිකාවලට බඳුන් වෙයි.

පිරිමි ගැහැනුන්ට වඩා අනතුරුවලට ලක්වීමේ ඉඩකඩ වැඩි බව සොයා ගෙන තිබේ. මෙයින් අදහස් වනුයේ  සිදුවිය හැකි යම් යම් අනතුරුදායක තත්වයන් පිළිබඳ කාන්තාවන්ගේ ‛ඉව’ පිරිමින්ට වඩා වැඩි බවය. එයට හේතුව මිනිස් මොලයේ ඇති ‛ලලාට කණ්ඩිය’ නම් කොටස පිරිමින්ගේ වර්ධණය වන්නේ ගැහැනුනට වඩා මන්දගාමීව වීමය. අපට යම් යම් අනතුරු තත්වයන් පිළිබඳ ඉවක් ලැබෙන්නේ මෙම කණ්ඩියෙන් බව පර්යේෂණ මගින් සොයාගෙන තිබේ. 

පිරිමින්ට වඩා ගැහැනුන්ගේ සමාජ ආශ්‍රය වැඩි වීම ද වුන්ගේ ආයු කාලය වැඩි කරන්නට හේතුවී ඇති බව තවත් පර්යේෂණයක් මගින් හෙළිවී තිබේ. ගැහැනුන් සිය ගැටලු නිතරම සිය හිත මිතුරන් සමඟ කතා කොට සිතේ ඇති බරින් නිදහස් වන නමුත් පිරිමින් බොහෝ දෙනෙකු කරන්නේ සෑම දුක් කම්කටොලුවක්ම පපුවේ හිරකරගෙන සිටීමය. නමුත් මෙය අදාළ වන්නේ බොහෝ විට අවිවාහක පිරිමින්ටය. විවාහක පිරිමි සිය බොහෝ ගැටලු බිරිඳ සමඟ කතා බහ කරන බැවින් එකම වයසේ සිටින විවාහක පිරිමි ඒ වයසේ අවිවාහක පිරිමින්ට වඩා වැඩි කාලයක් ජීවත් වන ද සොයා ගෙන තිබේ. 

ගැහැනුන් පිරිමින්ට වඩා සිය සෞඛ්‍ය පිළිබඳ සැළකිලිමත්වීම ද මෙම ආයු කාලය වෙනස්වීමට බලපාන තවත් සාධකයක් වී තිබේ.  ගැහැනු සුළු අසනීපයක් පෙන්නුම් කළ ද වෛද්‍යවරයෙකු සොයා යන අතරේ පිරිමි පවසන්නේ “මට ඇති ලෙඩක් නැහැ’ යන්නය. එයට හේතුව වෛද්‍යවරයකු හමුවට යාමට තරම් සිය ශරීරය දුර්වල වී ඇතැයි යන්න පිළිගැනීමට බොහෝ පිරිමි අකැමැති බැවිනි. 

විවිධ පර්යේෂකයන් තවත් මෙවැනි පර්යේෂණ රැසක්ම සිදු කොට තිබේ. ඒ සියල්ලෙන්ම පෙන්නුම් කරනුයේ ඔවුන් සළකා බැලූ විවිධ කාරණාවලට අනුව පිරිමින්ගේ ආයු අපේක්ෂාව ගැහැනුනට වඩා අඩු බවය. කෙසේ වෙතත් දැනට වසර ගණනාවකට පෙර ගැහැනු හා පිරිමි අතර පැවති ආයු අපේක්ෂා අවුරුදු ගණන අතර ඇති පරතරය සෑහෙන දුරට අඩුවෙමින් පවතින බව ද පැවසිය යුතුය. ඒ බොහෝ විට අතීතයට වඩා වර්තමානයේදී ගැහැනු මෙන්ම පිරිමි ද සිය සෞඛ්‍ය පිළිබඳ සැළිකිලිමත් වන්නට පටන් ගෙන ඇති නිසා විය හැකිය. නමුත් පිරිමින්ට වඩා ගැහැනු වැඩි කාලයක් ජීවත් වීම නම් මිනිස් සංහතිය පවතින තුරුම පවතිනු ඇත.