පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, July 31, 2015

රුධිර පරීක්ෂා ගැන ටිකක් දැන ගනිමු - Lets Know about Blood Tests


පෞද්ගලික රෝහලකින් හෝ පෞද්ගලිකව යම් වෛද්‍යවරයකුගෙන් හෝ ප්‍රතිකාර ලබාගන්නා අවසථාවලදී රුධිර පරීක්ෂාවන් කරගැනීමට බොහෝ විට සිදු වෙයි. අපි බ්ලඩ් රිපෝට් එකකුත් ගනිමුයැයි පවසා වෛද්‍යවරයා විසින් කොල කැබැල්ලක ඉංග්‍රීසි අකුරු කිහිපයක් ලියා දෙයි. ඩෙංගු පවතින කාලයක උණ රෝගයක ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයා විසින් අනිවාර්යයෙන්ම රුධිර පරීක්ෂාවක් සඳහා අප යොමු කරවයි. මෙවැනි අවස්ථාවලදී හුදෙක් රුධිර පරීක්ෂණයක් යැයි පැවසුවද, විවිධ රෝග සඳහා විවිධ වර්ගයේ පරීක්ෂාවන් කළ යුතු බව බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකිය. බොහෝ දෙනෙකු දන්නේ එය රුධිර පරීක්ෂාවයන නමින් පමණි. බොහෝ දෙනෙකු දැන සිටිය යුතු, මූලික රුධිර පරීක්ෂණ වර්ග කිහිපයක් ගැන ඔබ දැනුවත් කරන්නට සිතුවේ එබැවිනි.

පූර්ණ රුධිර ගිණුම් පරීක්ෂාව (FBC$CBC)

රුධිර පරීක්ෂාවලදී ප්‍රධාන වශයෙන්ම සහ පොදුවේ සිදුකෙරෙන්නක් වන්නේ පූර්ණ රුධිර ගිණුම් පරීක්ෂාව (Full Blood Count - FBC fyda Complete Blood Count - CBC) යි. පුද්ගලයකුගේ සාමාන්‍ය සෞඛ්‍යය පිළිබඳ යම් අවබෝධයක් ලබාගැනීම සඳහා මෙම පරීක්ෂාව සිදු කරනු ලබයි. රක්ත හීනතාවය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා ද මෙම පරීක්ෂාව පිටිවහලක් වෙයි. මෙහිදී රතු රුධිරානු, සුදු රුධිරානු හා රුධිර පට්ටිකා සංඛ්‍යාව පරීක්ෂා කෙරේ. හීමෝග්ලොබීන්වලින් සමන්විත රතු රුධිරානුවලින් සිරුර පුරා ඔක්සිජන් රැගෙන යාම සිදු කෙරෙන අතර සුදු රුධිරානු මගින් ආසාදනවලට එරෙහිව සටන් වැදීම සිදු වෙයි. කැපීමක් වැනි අවස්ථාවකදී රුධිරය කැටිගැසීම හා රුධිර වහනය නවතාලීම පට්ටිකා මගින් සිදු වේ.

අප රුධිර පරීක්ෂාවක් සිදු කරගැනීමෙන් පසු වෛද්‍ය රසායනාගාරයෙන් නිකුත් වන වාර්තාවේ විවිධ කරුණු ඇතුළත් වී ඇති බව ඔබ දැක තිබෙන්නට පුළුවන. මේවා කියවා ගැනීමෙන් එහි ඇති දේ පිළිබඳ යම් අවබෝධයක් ලබාගැනීමට හැකිය. මෙම වාර්තාවෙන් යම් කිසි රෝගයක් පිළිබඳ නිශ්චිත තොරතුරක් ලබා නොදෙතත් වෛද්‍යවරයාට සෞඛ්‍ය ගැටළු පිළිබඳ අවබෝධ කරගැනීමට එය ප්‍රමාණවත්ය.

මෙම පරීක්ෂාවේ ප්‍රතිඵලවලට අනුව හීමෝග්ලොබීන් අඩු නම් එයින් කියැවෙන්නේ රක්තහීනතාවයයි. එයට හේතුව පරිපූර්ණ ආහාර වේලක් නොලැබීම හෝ අභ්‍යන්තර රුධිර වහනයක් විය හැකිය. හීමෝග්ලොබීන් වැඩි නම් එයින් කියැවෙන්නේ පෙනහළුවල යම් රෝගී තත්වයක් හෝ ඇට මිදුලුවල ගැටළුවක් ඇති බවය.

සුදු රුධිර සෛල අඩු නම් ඇට මිදුලුවල පිළිකාවක් හෝ ඒවායේ යම් කිසි ගැටළුවක් ඇති බව අවබෝධ කරගත යුතුය. එමෙන්ම යම්කිසි වෛරස් ආසාදනයක් නිසා ද මෙය සිදුවිය හැකිය. එමෙන්ම ජානමය විපර්යාසයන් නිසා ද මෙවැනි තත්වයන් පෙන්නුම් කරයි. එමෙන්ම පිළිකාවක් සඳහා රසායානාගාර චිකිත්සාවක් සිදුකරන විට ද සුදු රුධිර සෛල සංඛ්‍යාව පිළිබඳ සැළකිලිමත්වීම වැදගත් බැවින් එය පරීක්ෂා කිරීම සඳහා ද මෙය සිදුකරනු ලබයි. සුදු රුධිරානු අධික නම් සිරුර තුළ යම්කිසි ආසාදනයකට එරෙහිව සිදුවන ක්‍රියාකාරීත්වයක් සිරුරේ පවතින්නේ යැයි අවබෝධ කොට ගත හැකිය. එමෙන්ම ලියුකේමියා හෙවත් රුධිරගත පිළිකා වැනි තත්වයන්වලදී ද සුදු රුධිරානු වැඩි වෙයි.

රුධිර පට්ටිකා අඩුවීම මගින්  වෛරස් ආසාදන පිළිබඳ ද කියැවේ. එමෙන්ම සිරුරේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය මගින් සිරුරේ සෞඛ්‍ය සම්පන්න පටකවලට ප්‍රහාර එල්ලකරන විට ද රුධිර පට්ටිකා අඩුවීම සිදු වේ. එමෙන්ම ප්‍රදාහ හෙවත් ඉදිමුම් හෝ ඇට මිදුලුවල ගැටලු අවස්ථාවන්වලදී ද පට්ටිකවල වැඩි වීම සිදු වේ.  

රතු රුධිරානු අවසාදන අනුපාතය (Erythrocyte sedimentation rate - ESR)

මෙම රුධිර පරීක්ෂාව මගින් සිරුරේ ඇති ප්‍රදාහ හෙවත් ඉදිමුම් තත්වයන්ගේ මට්ටම පිළිබඳ සොයා බැලේ. රසායානාගාරයේදී පරීක්ෂණ නලයේ පතුළට රුධිර සෛල ගමන් කිරීමට ගතවන කාලය පිළිබඳ සොයා බැලීම සිදු වෙයි. එය වඩා ඉක්මණින් පතුළට ළඟා වූයේ නම් සිරුරේ ඉදිමුම් තත්වයන් වැඩි බව කියැවේ. ආතරයිටිස්, එන්ඩෝකාඩිටිස්, ක්‍රෝන්ස්ගේ  රෝගය, තාවකාලික ආතරයිටිස් තත්වයන්, රූමැටික තත්වයන් ආදිය පිළිබඳ මෙම පරීක්ෂාවෙන් අවබෝධය ලබාගත හැකි වේ. අසාමාන්‍ය ලෙස උණ පවතින විට ද මෙම පරීක්ෂාව සිදු කෙරේ. සිරුරේ ස්වයං ප්‍රතිශක්තිය, අස්ථි ආසාදන, අපැහැදිලි රෝග ලක්ෂණ පෙන්නුම් කරන ප්‍රදාහ තත්වයන්, පටක මිය යාම ආදිය පිළිබඳව ද මෙයින් සොයා බැලිය හැකිය. රුධිර පරීක්ෂණ වාර්තාවේ ඔබේ පවතින තත්වය සහ සාමාන්‍ය තත්වය දක්වා ඇති බැවින් යම් කිසි ගැටලුවක් ඇත්නම් ඔබට එතැනදීම යම් අවබෝධයක් ලබාගත හැකිය. මෙම අනුපාත මට්ටම වැඩි නම් රක්ත හීනතාවය, වසා ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා, වකුගඩු රෝග, ගර්භනීභාවයේ ගැටලු සහ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රීත ගැටලු පැවතිය හැකිය.

කෑමෙන් පසු රුධිර ග්ලූකෝස් පරීක්ෂාව (Postprandial glucose test/ Postprandial Blood Sugar  - PPBS)

මෙහිදී රුධිරයේ සීනි මට්ටම හෙවත් ග්ලූකෝස් මට්ටම පිළිබඳ සොයා බැලේ. මෙය කෑමෙන් පසුව පමණක් සිදු කරයි. නමුත් පූර්ණ රුධිර ගිණුම් පරීක්ෂාව සහ රතු රුධිරානු අවසාදන අනුපාතය පරීක්ෂාව සඳහා නිරාහාරව සිටිය යුතුය. සාමාන්‍යයෙන් කෑමෙන් පසු රුධිරයේ යම් තරමකින් ග්ලූකෝස් මට්ටම ඉහළ යයි. එවිට අගන්‍යාසය මගින් ඉන්සියුලින් නිකුත් කරයි. එමගින් රුධිරයේ ඇති ග්ලූකෝස් ඉවත්කොට ඒවා ශක්තිය ලෙස සිරුරේ තැන්පත් වෙයි. නමුත් දියවැඩියා තත්වය ඇති රෝගීන්ගේ සිරුර මෙම සාමාන්‍ය ආකාරයෙන් ඉනිසියුලින්වලට ප්‍රතිචාර දක්වන්නේ නැත. එවිට රුධිරයේ ග්ලූකෝස් මට්ටම එලෙසම ඉතිරි වේ. මේ ආකාරයට රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩිවන විට එමගින් ඇස්, වකුගඩු සහ රුධිර සෛලවලට හානි සිදුවිය හැකිය.

නිරාහාරව සිටීමෙන් පසු රුධිර ග්ලූකෝස් පරීක්ෂාව (Fasting Blood Sugar- FBS)

මෙය අවම වශයෙන් පැය 12 ක් පමණ නිරාහාරව සිටීමෙන් පසු රුධිරය ලබාගෙන සිදු කරනු ලබන පරීක්ෂණයකි. මෙයින් ද රුධිරයෙහි ඇති ග්ලූකෝස් මට්ටම මැන බැලීම සිදු වේ. එනම් මෙය ද දියවැඩියා පරීක්ෂණයකි.

මෙම රුධිර පරීක්ෂණ වාර්තාවට අනුව ඔබේ ග්ලූකෝස් මට්ටම ඩෙසිලීටර් 1කට ග්ලූකෝස් මිලිග්‍රෑම් 70 - 100 (mg/dL) පවතින්නේ නම් එය සාමාන්‍ය තත්වයක් ලෙස සැළකේ. එමෙන්ම ඔබ අවසන් වරට ආහාරයට ගත් දෙය මත ද රුධිරයේ ග්ලූකෝස් මට්ටම තීරණය වේ. ඒ අනුව ඇතැම් විට මෙම සාමාන්‍ය මට්ටම 125 mg/dL දක්වා වුව ඉහළ යා හැක.

මෙම රුධිර පරීක්ෂණ ප්‍රතිඵල ඉහත කෑමෙන් පසු රුධිර ග්ලූකෝස් පරීක්ෂාව සඳහා ද අදාළ බව සළකන්න. එහි ද සළකා බැලෙන ග්ලූකෝස් මට්ටම ද මෙයම වේ.  

ග්ලූකෝස්වලට ඔරොත්තු දීමේ පරීක්ෂණය  (Glucose tolerance test - GTT)

රුධිරයෙන් කෙතරම් ඉක්මණින් ග්ලූකෝස් ඉවත්ව යනවා ද යන්න මෙහිදී පරීක්ෂා කෙරේ. මෙය සාමාන්‍යයෙන් දියවැඩියා රෝගීන් සඳහා සිදුකෙරුන ද සියලුම ගර්භනී මව්වරුන් ද මේ සඳහා නිර්දේශ කෙරේ. මෙම පරීක්ෂණයේ ද රුධිරගත ග්ලූකෝස් මට්ටම වැඩි නම් එය වෙනත් පරික්ෂණ සිදු කොට දියවැඩියා තත්වයක් ඇතිදැයි නිශ්චිත වශයෙන් දැනගත යුතුය.


සාමාන්‍යයෙන් තවත් රුධිර පරීක්ෂණ ඇතත් මෙහි සඳහන් කොට ඇත්තේ  ප්‍රධාන වශයෙන් සිදුවන ඒවා පමණි. මේවා පිළිබඳ යම් වැටහීමක් ඇත්නම් රුධිර පරීක්ෂණ වාර්තාව කියවා ඔබට යම් වැටහීමක් ලබාගන්නට දැන් හැකිවනු ඇත. එමෙන්ම ඔබේ සෞඛ්‍ය තත්වය පිළිබඳ වෛද්‍යවරයාගේ යම් යම් කරුණු අසා දැනගැනීමට ද මෙම වාර්තා පිළිබඳ ඇති දැනුම ඉවහල් වනු ඇත.

Sunday, July 26, 2015

පොල් තෙල් ඇත්තටම අහිතකරද? - Does coconut oil bad for the health


පොල් තෙල් භිතිකාව

බැදුමකින් හෝ තෙම්පරාදු කරන ලද වෑංජනයකින් කෑම වේලක් රසවත් වෙනවා විතරක් නෙවෙයි කෑම ගැනීමේ ප්‍රියතාවයකුත් ඇති වෙනවා. අසල්වැසි නිවසක කරවල බැදුමක් බැදෙන විට කටට කෙළ උනන්නේ මේ නිසයි. තෙල්වලින් පිළියෙල කරනු ලබන ආහාර සඳහා අපේ රටේ ගෘහණියන්ගෙන් බහුතරයක් අනාදිමත් කාලයක සිට භාවිත කරන්නේ පොල් තෙල්. අපේ රටේ සංස්කෘතිය සමගත් පොල් තෙල්වල ඇත්තේ අපූරු බැඳීමක්. උත්සව අවස්ථාවලදී කෑම පිසීමට, රසකැවිලි සෑදීමට ආදියට පොල් තෙල් නැතිවම බැරි ද්‍රව්‍යයක්. වසර ගණනාවක් තිස්සේ මේ ආකාරයෙන් පොල් තෙල් පරිභෝජනය කළත් ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මේ නිසා සෞඛ්‍යයට අහිතකර තත්වයක් ඇති වූයේ යැයි දැනගන්නට ලැබෙන්නේ නැහැ. කෙසේ නමුත් පොල් තෙල් භාවිතය සෞඛ්‍යයට අහිතකර බවට මතයක් කලකට පෙර කෙමෙන් කෙමෙන් සමාජ ගත වන්නට පටන් ගැනුණා.

පොල් තෙල් සෞඛ්‍යයට අහිතකර යැයි මුළින්ම  පවසන්නට පටන් ගත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. ඔවුන් පොල් තෙල් හඳුන්වා දුන්නේ කෘවල් ඔයිල්’(Cruel Oil) ලෙසින්. ඒ වගේම මිනිසා මරා දමන්නට තරම් හේතුවන තෙල් වර්ගයක් ලෙස ඔවුන් මෙය හඳුන්වන්නට පටන් ගත්තා. ඇමරිකා එක්සත් ජනපදය පැවසූ පෙර කී අදහසට එරෙහිව ලෝකයේ බොහෝ රටවලින් විවිධ අදහස් මතුවන්නට පටන් ගත්තා. පසුව පොල් තෙල්වලට පක්ෂපාතී සංවිධාන බිහිවන්නටත් පටන් ගත්තා. ඉන් පසු කෙමෙන් පොල්තෙල්වලට එරෙහි සංවිධාන හා ව්‍යාපාර පසුබසින්නට පටන් ගත්තා. කෙසේ වෙතත් පොල් තෙල් සෞඛ්‍යයට අහිතකරය යන මතය වර්තමානයේ පවා බොහෝ දෙනෙක් අතර පවතිනවා. අන්තර්ජාලය පවා පරීක්ෂාකිරීමේදී පොල් තෙල් පරිභෝජනයට පක්ෂපාත මෙන්ම එරෙහිවද බොහෝ අදහස් ඇති බව පෙනෙන්නට තිබෙනවා. පොල්තෙල් පරිභෝජනය කළ පමණින් හෘද රෝග වැළඳෙන්නට, කොලෙස්ටරෝල් ඇතිවන්නට ඉඩකඩ ඇති බවට පුවත් බොහෝ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා.

පොල් තෙල් කෙරෙහි ඇති වුණු මෙම අහේතුක බිය අතරතුරේ කෙමෙන් අප රටේ වෙළෙඳ පොළට සූරියකාන්ත, සෝයා ආදී වෙනත් තෙල් වර්ග ඇතුළු වන්නට පටන් ගත්තා. වෛද්‍යවරුන්ද පොල් තෙල් අහිතකර බවත් වඩාත් සුදුසු එළවළු තෙල් බවත් පවසන්නට වූ නිසා බොහෝ පාරිභෝගිකයන් පොල් තෙල් අතහැර එළවළු තෙල්වලට යොමු වුණා. මෙසේ වර්ධණය වෙමින් පැවති පොල් තෙල් කෙරෙහි ඇති බිය දුරු කරන්නට පෙරමුණ ගත් එක් සුවිශේෂී පුද්ගලයෙක් සිටිනවා. ඒ ජ්‍යෙෂ්ඨ හෘද රෝග විශේෂඥයකු වන වෛද්‍ය ඩී.පී. අතුකෝරල මහතායි. වෙනත් තෙල් වර්ග නිපදවන විදෙස් බහු ජාතික සමාගම්වල තර්ජන ගර්ජන හමුවේ පොල් තෙල් වල සැබෑ තත්වය අපේ රටේ පාරිභෝගිකයාට අවබෝධ කරදීමට ඔහු තනිවම දැවැන්ත සටනක් කරගෙන ගියා. ඔහුගේ මේ සටනේ ප්‍රතිඵලයක් ලෙස අප රටේ බහුතරයකගේ සිත් තුළ පොල් තෙල් කෙරෙහි තිබූ බිය පහව ගියත් ඇතැමුන් තවමත් මේ දෙස බලන්නේ සැකමුසු බැල්මකින්. ඒ නිසා එවැනි බොහෝ දෙනෙක් පොල් තෙල් අතහැර තවමත් එළවළු තෙල් භාවිත කරන බව පෙනෙනවා. මේ නිසා මේ සටහනෙන් පොල් තෙල් පිළිබඳවත්, එළවළු තෙල් පිළිබඳ සත්‍ය තොරතුරුත් සවිස්තරව ඔබ වෙත ඉදිරිපත් කරන්නට අප බලාපොරොත්තු වෙනවා.

පොල් තෙල් හා බැඳුණු සිංහල සංස්කෘතිය

සිංහලයාගේ සංස්කෘතිය හා පොල් අතර ඇත්තේ දැඩි බැඳීමක්.  අනාදිමත් කාලයක සිට ආහාර රසවත් කිරීමට අප යොදා ගත්තේ පොල් තෙල්. ආගමික කටයුතු සඳහා මෙන්ම හිස ගැල්වීම සඳහා ද අප බොහෝ දෙනෙක් යොදා ගන්නේ පොල් තෙල්. අනෙකුත් තෙල් මෙන් නොව පොල් තෙල්වලට රෝම කූප හරහා සම විනිවිද ගමන් කිරිමේ හැකියාව ඇති බැවින් දේශීය වෛද්‍ය කර්මයන්වලදී සැකසෙන ඖෂධීය තෙල් සඳහා පොල් තෙල් මිශ්‍ර කරනු ලබන බව ඇතැම් අය දන්නේ ද නැහැ. එමෙන්ම කඩියන්, කුහුඹුවන්, මදුරුවන් ඇතැම් විට මී මැස්සන් වැනි සතුන්ගේ සපා කෑම්වලට සහ දෂ්ටනයන්ට ලක් වූ විට ක්ෂණිකව ආලේප කරන්නේ පොල්තෙල්. එයට හේතුව මෙහි විෂ නැසීමේ යම් ගුණයක් ද පවතින නිසයි. කොස්, දෙල්  වැනි ගෙඩි වර්ග කැපූ විට අතේ තැවරෙන කොහොල්ලා ඉවත්කිරීම සඳහා ද පොල් තෙල් භාවිත කරනවා. පොහෝ දිනවල විහාරස්ථානයේ පහන් දැල්වීම පිණිස තෙල් සම්මාදමේ යාම කලකට පෙර නිතර දකින්නට ලැබුණු දෙයක්. මේ ආකාරයෙන් බලන විට අපගේ සංස්කෘතිය හා පොල් තෙල් අතර ඇත්තේ දීර්ඝ, නොබිඳනු සම්බන්ධයක් බව කිව හැකියි.

පොල් තෙල් වර්ග

පොල් තෙල් වර්ග කොට ඇත්තේ මේවා සකස් කරගන්නා ආකාරය අනුවයි. අනාදිමත් කාලයක සිට අපේ රටේ පොල් තෙල් ක්‍රම කිහිපයකට සකස් කරගනු ලැබුවා.

1. අත් තෙල්
2. සෙක්කු තෙල්
3. මෝල්වලින් සකස් කරන තෙල්

අත් තෙල්

අත් තෙල් බොහෝ විට සකස් කෙරෙන්නේ නිවෙස් මට්ටමින්. පොල් ගා එයින් පොල් කිරි ලබාගෙන ඒ පොල් කිරි ලිපේ තබා රත් කරනවා. එවිට කිරි තට්ටුව මිදී තෙල් තට්ටටුව වෙනම ඉවත් වෙනවා. පසුව මෙසේ වෙන් වන තෙල් තට්ටුව පිරිසිදු රෙදි කඩකින් පෙරා බෝතල්වලට අසුරා ගන්නවා. මෙසේ සකස් කරගන්නා තෙල් ආහාර පිසීම වැනි කටයුතු සඳහා ඉතා සුදුසු වුණත් බොහෝ විට මෙයින් වැඩි කොටසක් භාවිත කරන ලද්දේ හිසේ ගැල්වීම සඳහායි. ඒ වගේම වෙනත් ඖෂධීය තෙල් වර්ග සමඟ මිශ්‍ර කිරීමට ද මෙසේ නිවසේ සකස් කරගනු ලබන තෙල් භාවිත කෙරුණා. මෙම තෙල් ප්‍රසන්න සුවඳකින් යුක්ත වන අතර හිසේ ගල්වන්නේ බොහෝ විට විවිධ ඖෂධ වර්ග මිශ්‍රකිරීම කිරීමෙන් පසුවයි.

සෙක්කු තෙල්

සෙක්කුව

අතීතයේ ගැමි නිවෙස්වල සෙක්කුව නම් උපකරණයක් තිබුණා. වංගෙඩියක් සේ හැඩයක් ඇති, වංගෙඩියක් සේම මැදින් සාරා ඇති ගලක් සහිත මෙම උපකරණය ක්‍රියාත්මක වූයේ එහි බඳින ලද ගොනෙකුගේ ආධාරයෙන්. පොල් මද කපා අව්වේ වියළා සකස් කරගත් කොප්පරා මෙම උපකරණයට දැමීමේදී කොප්පරා ඇඹරී එයින් පොල් තෙල් නිපදවෙනවා. බොහෝ විට මෙම කොප්පරා සකස් කෙරුනේ නිවෙස් මට්ටමින්. එසේ සකස් කරගන්නා කොප්පරා සෙක්කුව ඇති නිවෙසට ගෙන ගොස් තෙල් සිඳ ගැනීම අතීතයේ ඉතා ජනප්‍රිය ක්‍රමයක් බවට පත්ව තිබුණා.

මෝල්වලින් සකස් කරන තෙල්

සාමාන්‍ය පොල් තෙල් මෝලක්

අප රටේ සෙක්කු ක්‍රමයෙන් පසු ක්‍රම ක්‍රමයෙන් මෝල්වලින් තෙල් සිඳගැනීම ආරම්භ වුණා. කොප්පරා ලබා ගැනීමට ඇති හැකියාව මත මේවා විවිධ පරිමාණයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව සුළු, මධ්‍යම හා මහා පරිමාණයෙන් මේවා ක්‍රියාත්මක වනවා. කුමන පරිමාණයෙන් ක්‍රියාත්මක වුවත් භාවිත කෙරෙන්නේ එකම ක්‍රමවේදයක්.

මෙහිදී මූලිකව සිදු කෙරුණේ පෙර සඳහන් කළ සෙක්කු ක්‍රමයේදී මෙන් කොප්පරා සකස් කරගැනීමයි. මෝල්වලින් එකවර අධික තෙල් ප්‍රමාණයක් සකස් කරගත හැකි නිසා කොප්පරා මහා පරිමාණයෙන් සකස් කෙරුණා. සෙක්කුවලට වඩා හොඳින් කොප්පරා ඇඹරීම සිදුවන නිසා වැඩි තෙල් ප්‍රමාණයක් මෙහිදී ලබාගැනීමේ හැකියාව තිබෙනවා. අනෙක වරක් කොප්පරා ඇඹරීමෙන් පසු ඉතිරිවන පුන්නක්කු තවත් දෙවරක් අඹරා තෙල් ලබාගැනීම ද සිදු වෙනවා.

පොල් තෙල් තවත් ආකාරයක වර්ග කිරීමක්

ඉහත සඳහන් කළ වර්ග කිරීමට අමතරව අමතරව තවත් ආකාරයකින් ද පොල් වර්ග කෙරෙනවා. ඒ ජාත්‍යන්තරව වර්ග කෙරෙන ආකාරය අනුවයි. මූලික වශයෙන් පොල් තෙල් වර්ග 6ක් ලෝකයේ පවතිනවා.

1. පිරිසිදු පොල් තෙල් (pure coconut oil)

මෙය සාමාන්‍යයෙන් කොප්පරාවලින් සකස් කරගන්නා ලද පොල් තෙල්. පිරිපහදු කිරීමක් සිදුවන්නේ නැහැ. වැඩි දෙනෙක් භාවිත කරන්නේ මේවායි.

2. පිරිපහදු කරන ලද පොල් තෙල් (refined coconut oil)


සාමාන්‍ය කොප්පරාවලින් ලබාගන්නා පොල් තෙල් වඩාත් ඉහළ තත්වයන් යටතේ, රසායනික ක්‍රම මගින් පිරිපහදු කොට, සුවඳවත් කරන ලද තෙල් මේ නමින් හැඳින්වෙනවා. මෙහි තෙල්වලට අමතරව වෙනත් කිසිදු ක්ෂුද්‍ර කොප්පරා කොටස් කිසිවක් දකින්නට ලැබෙන්නේ නැහැ. වෙළෙඳ පළේ, සුපිරි වෙළෙඳ සල්වල පිරිසිදු පොල් තෙල් යනුවෙන් අළෙවියට ඇත්තේ බොහෝ විට මේවායි.

3. ඓන්ද්‍රීය පොල් තෙල් (organic coconut oil)


ස්වභාවික පොහොර පමණක් යොදා වගාකරන ලද පොල් ගස්වලින් ලබාගන්නා පොල් ගෙඩි යොදා නිපදවනු ලබන තෙල් මේ නමින් හැඳින්වෙනවා. මෙයද ලෝකයේ ඉහළ පිළිගැනීමකට ලක් වූ පොල් තෙල් වර්ගයක්

4. නැවුම්/නොඉඳුල් පොල් තෙල් (virgin coconut oil)

මේ පිළිබඳව වෙනමම විස්තර කෙරෙන නිසා මෙතැන විස්තර කතා කෙරෙන්නේ නැහැ.

5. ඓන්ද්‍රීය නැවුම්/නොඉඳුල් පොල් තෙල් (organic virgin coconut oil)


ස්වභාවික පොහොර පමණක් යොදා වගාකරන ලද පොල් ගස්වලින් ලබාගන්නා පොල් ගෙඩි මගින් නිපදවනු ලබන නැවුම් පොල් තෙල් මේ නමින් හැඳින්වෙනවා.

6. අති නැවුම්/නොඉඳුල් පොල් තෙල් (extra virgin coconut oil)


නැවුම් පොත් තෙල් තවත් පිරිසිදු කරමින් තනන පොල් තෙල් මේ නමින් හැඳින්වෙන නමුත් තවමත් මේ පිළිබඳ වැඩි විස්තරයක් දැනගන්නට ලැබෙන්නේ නැහැ.

පොල් තෙල් ගුණත්වයෙන් අඩු යැයි මත පළවීම

මුල් කාලයේ තෙල් මෝල්වලින් ඉතා ක්‍රමාණුකූලව හොඳින් පැසුණු පොල් පමණක් තෝරා තෙල් නිෂ්පාදනය කළත්, තෙල් ඉල්ලුම වැඩිවීමත් සමඟ මෙම ප්‍රමිතිය ඔවුන්ගෙන් ගිළිහී යන්නට පටන් ගත්තා. කොප්පරා මාසයක් පමණ වියළා ගත යුතු වුණත් ඔවුන් සතියක් හෝ දෙකක් පමණක් වියළා සකස් කරගත් කොප්පරාවලින් තෙල් සිඳින්නට පටන් ගත් බව පෙනෙනවා. ඒ වගේම හොඳින් පැසුණු පොල් පමණක් නොව කළටි තත්වයේ හා ප්‍රතික්ෂේප කළ යුතු මට්ටමේ පවා පැවති පොල්වලින් කොප්පරා සැකසීම නිසා නිපදවෙන පොල් තෙල්වල ගුණත්වය අඩුවන්නට පටන් ගැනුණා. හොඳින් වියළීමක් සිදුනොවුණු නිසා මෙහි සෑහෙන ජල සාන්ද්‍රණයක් ද ඉතිරි වුණා. එහි ප්‍රතිඵලය වූයේ පොල් තෙල් ඉක්මණින් මුඩු බවට පත් වීමයි. ඒ වගේම නියමිත ප්‍රමිතීන් අනුගමනය නොකර ඉක්මණින් අළෙවි කරගැනීමේ අරමුණින් මේවා නිපදවීම නිසා මේවායෙන් සකස් කරගන්නා ආහාර මගින් යම් යම් ලෙඩ රෝග වැළඳෙන්නටත් පටන් ගත්තා. පොල් තෙල්වලට එරෙහි විවිධ ව්‍යාපාර ඇතිවන්නට මෙවැනි  කාරණා ද හේතු වූ බව පෙනෙන්නට තිබෙනවා. එසේ නොමැතිව මෙයට වැඩි වශයෙන් හේතු වූයේ පොල් තෙල්වල ඇති අඩුපාඩුවක් නිසා නොවන බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඉතා හොඳින්, ක්‍රමවත්ව සකස් කෙරුණු පොල් තෙල් පරිභෝජනයෙන් මෙවැනි කිසිදු අහිතකර තත්වයක් ඇති වූයේ නැහැ. ඇති වන්නේ ද නැහැ. නමුත් ගැටලුව වූයේ වැඩි වශයෙන් නිපදවන බාල වර්ගයේ පොල් තෙල් අඩු මිලට අළෙවි කිරීම නිසා හොඳින් නිපදවන පොල් තෙල්වලට හොඳ වෙළෙඳ පළක් සොයා ගැනීම දුෂ්කර වීමයි. වෙනත් තෙල් වර්ග දේශීය වෙළෙඳ පළට පැමිණීමටත්, පොල් තෙල්වලට වඩා ඒවා හිතකර මෙන්ම සෞඛ්‍යාරක්ෂිත යැයි මත පළවීමටත් මෙම තත්වය ප්‍රධාන හේතුවක් බවට පත් වුණා.

පාම් තෙල්



අක්‍රමවත් පොල් තෙල් නිෂ්පාදනය අවස්ථාවක් කරගනිමින් අප රටට හඳුන්වාදුන් ප්‍රධාන තෙල් වර්ගයක් ලෙස පාම් තෙල් (Palm Oil) හෙවත් 'කටු පොල්තෙල්' සඳහන් කළ හැකියි. මෙය හඳුන්වා දුන්නේ පොල් තෙල්වලට වඩා මිල අඩු, ඒ වගේම පොල් තෙල්වලට සෑම අතින්ම සමාන තෙල් වර්ගයක් ලෙසිනුයි. මුල් සමයේ අපේ රටේ පාම් ගස් වගාවක් තිබුණේ නැහැ. ඒ නිසා මුළින්ම මේවා ආවේ ඉන්දුනීසියාව මැලේසියාව වැනි රටවලින්. පොල් ගසත් පොම් ගසත් තාල වර්ලයට අයත් ශාක වුණත් මේ ශාක දෙකෙන් ලබාගන්නා තෙල්වල රසායනික සංයුතිය වෙනස්. ඒ නිසා පාම් තෙල්වල කතාවත් එයට වඩා වෙනස්.

පාම් තෙල් නිෂ්පාදනය

පාම් ගෙඩි

පොල් තෙල් නිෂ්පාදනය කරන්නේ පොල් ගෙඩියේ මදයෙන් වුණත්, පාම් තෙල් බහුල වශයෙන් ලබාගන්නේ පාම් ගෙඩියේ පොත්තෙන්. එය වඩාත් පැහැදිලි කරනවා නම් පොල් ලෙල්ලෙන් තෙල් ලබාගන්නවා වැනි දෙයක්. පොල් ලෙල්ලේ තෙල් අඩංගු නොවුණත් පාම් ගෙඩියේ ලෙල්ලේ තෙල් අඩංගු වෙනවා. පාම් ගෙඩියක් සාමාන්‍යයෙන් රට පුවක් ගෙඩියක තරම් කුඩයි. පොල් ගෙඩි සේ විශාල නැහැ. නමුත් එක් වල්ලක අති විශාල ගෙඩි ප්‍රමාණයක් පවතිනවා. බොහෝ විට පුවක් වල්ලක් හා සමානයි.

පාම් මදය (Palm Kernel)

පාම් මදය

පාම් ගෙඩියේ මැද ඉතා කුඩා මද කොටසක් තිබෙනවා. එයින්ද තෙල් නිෂ්පාදනය කරනවා. ඒවා පාම් මද තෙල් (Palm Kernel Oil) වශයෙන් හැඳින්වෙනවා. මේ පාම් මදයෙන් ලබා ගන්නා තෙල් හා පොල් තෙල් ගුණත්වයෙන් අතිශයින් සමානකම්වලින් යුකත්යි. නමුත් පාම් මදයෙන් නිෂ්පාදනය කරන තෙල් අධික මිලෙන් යුක්ත වෙනවා. නමුත් වෙළෙඳ පළේ අළෙවියට ඇත්තේ පාම් ගෙඩියේ ලෙල්ලෙන් ලබා ගන්නා තෙල් පමණයි. මේවා සහ පොල් තෙල් අතර බොහෝ වෙනස්කම් පවතිනවා. විශේෂයෙන් ශරීරයට හිතකර යැයි බටහිර රටවල් විසින් පවසන  එළවළු තෙල් යැයි පැවසෙන තෙල්වල අඩංගු නොවන ලෝරික් අම්ලය ඇත්තේ පොල් තෙල්වල හා පාම් තෙල්වල පමණයි. එයින්ද පාම් ගෙඩියේ ලෙල්ලෙන් සකස් කරගන්නා වෙළෙඳ පළේ බහුල වශයෙන් අළෙවියට තබා ඇති පාම් තෙල්වල ඇති ලෝරික් අම්ලය 0.2%ක් පමණයි. නමුත් පොල් තෙල්වල මෙය 48.9%ක් පවතිනවා. ලෝරික් අම්ලයේ වැදගත්කම මේ සටහනේ අන් තැනක විස්තර කෙරෙනවා.

පාම් තෙල් සෞඛ්‍යයට අහිතකරයි

පොල් තෙල්වලට වඩා පාම් තෙල් සෞඛ්‍ය සම්පන්න බවින් අඩු බව විවිධ පර්යේෂණ මගින් ඔප්පු වී තිබෙනවා. එයට හේතුව පාම් තෙල් මගින් යමක් බැදීමේදී සිදුවන ඔක්සිකරණ ක්‍රියාවලිය අහිතකර බව පැවසෙන නිසයි. පොල් තෙල් එවැනි අහිතකර ක්‍රියාවකට ලක්වන්නේ නැහැ.

පොල් තෙල් පාම් තෙල් මිශ්‍ර කිරීම

පාම් තෙල්වල ඇති සෞඛ්‍ය සම්පන්න බව අඩුවීම නිසාත්, ඒ බව පාරිභෝගිකයන් අතර ප්‍රචලිත වීම නිසාත් මේවා මිලදී ගැනීම කෙමෙන් අඩුවන්නට පටන් ගැනුණා. ඒ නිසා බොහෝ පාම් තෙල් මෙන්ම පොල් තෙල් ව්‍යාපාරිකයන් පොත් තෙල්වලට පාම් තෙල් යම් අනුපාතයකින් දමා මිශ්‍ර කොට පොල් තෙල් ලෙස වෙළෙඳ පළේ අළෙවි කිරීම ආරම්භ කළා. අපේ රටේ හොඳ පොල් තෙල් මිලදී ගැනීමට නොහැකිවීමට මෙය ද එක් ප්‍රධාන හේතුවක්.

පාම් තෙල් හා පොල් තෙල්

හොඳ පොල් තෙල් යනුවෙන් අළෙවියට තබා තිබුණද මේ බොහෝ ඒවාට යම් යම් ප්‍රමාණවලින් පාම් තෙල් මිශ්‍ර කොට ඇති බව සඳහන් කළ යුතුයි. නමුත් හොඳ පොල් තෙල් මිලදීගැනීමට හැකියාවක් නැති බව මෙයින් කියැවෙන්නේ නැහැ.  මේවා සාමාන්‍ය පාරිභෝගිකයාට පාම් තෙල් ද නැතිනම් පොල් තෙල් ද කියා පහසුවෙන්, එකවර හදුනාගැනීමට හැකියාවක් නැහැ. රසායනික පරීක්ෂාවක් කිරීමෙන් පමණක් මේවා හඳුනාගත හැකියි. ඊට අමතරව ගෘහනියන් අතර පාම් තෙල් හෝ පාම් තෙල් මිශ්‍ර තෙල් හඳුනාගැනීමට ක්‍රමයක් ප්‍රචලිත වී තිබෙනවා. පාම් තෙල් හෝ ඒවා මිශ්‍ර තෙල්වලින් යමක් බදිනවා නම් පෙණ මතුවීම මෙම ලක්ෂණයයි. නමුත් පොල් තෙල්වලින් මෙසේ පෙණ නගින්නේ නැහැ. ඒ වගේම හොඳ පොල් තෙල්වලින් කට්ලට්, රෝල් වැනි දෙයක් බැදීමේදී එයින් හොඳ පැහැයක්, සුවඳක් සහ රසයක් දැනෙනවා. නමුත් පාම් තෙල්වලින් මේ ගුණාංග බලාපොරොත්තු විය නොහැකියි.

කෑමවල තෙල් සාන්ද්‍රණය

හොඳ පොල් තෙල්වලින් යමක් බැද ගත්තොත් එහි තෙල් රැඳෙන ගතිය බොහෝ දුරට අඩුයි. සාමාන්‍යයෙන් වෙළෙඳ පළේ අළෙවියට ඇති කට්ල්ට්, රෝල් වැනි කෑම වර්ගයක් අතට ගත් විට එහි අධික තෙල් ප්‍රමාණයක් තිබෙන බව බැලූ බැල්මටම පෙනෙනවා. බොහෝ විට මෙවැනි අවස්ථාවක අප බොහෝ දෙනෙක් සිදු කරන්නේ කඩදාසියක් ගෙන එම තෙල් පොඟවා ඉවත්කිරීමයි. මෙයට එක් හේතුවක් වන්නේ පාම් තෙල් මිශ්‍ර තෙල් භාවිතයෙන්  මේවා බැද තිබීමයි. මේවා තැනීමට යොදා ගන්නා අමු ද්‍රව්‍යවල ඇති අඩුපාඩු නිසාද මෙසේ තෙල් සංයුතියක් ඉතිරිවීම සිදුවිය හැකි වුණත් පාම් තෙල් මිශ්‍ර තෙල් නිසා මෙම තත්වය අධිකව සිදු වෙනවා. නමුත් හොඳ පොල් තෙල්වල මෙවැනි දෙයක් දක්නට නැහැ.

එළවළු තෙල්

පොල් තෙල්වලට එරෙහි ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස එළවළු තෙල් වෙළෙඳ පළට හඳුන්වා දෙනු ලැබුවා. බොහෝ දෙනෙක් පොල් තෙල් කෙරෙහි අවඥා සහතව බලා එළවළු තෙල් සාදරයෙන් පිළිගත්තා. සැබවින්ම එළවළු තෙල් කියන්නේ මොනවදා කියා සොයා බැලීම ප්‍රයෝජනවත් වෙනවා.

ඇත්ත වශයෙන්ම එළවළු තෙල් කියන්නේ මොනවාද? මුළින්ම කිව යුත්තේ එළවළු තෙල් කියා දෙයක් නොමැති බවයි. එළවළු තෙල් කියා හැඳින්වුවත්, සැබවින්ම මේවායේ නියම නම විය යුත්තේ ශාක තෙල්කියායි. හේතුව අද වෙළෙඳ පළේ එළවළු තෙල් ලෙස අළෙවියට තබා ඇති තෙල් වර්ග වන සෝයා, සූරියකාන්ත, රටකජු, කෝර්න්, කැනෝලා, ඔලිව් ආදී සියලු දේ නිපදවා ඇත්තේ ශාක කොටස්වලින් වීමයි. එසේ බලන විට පොල් තෙල් ද ශාක තෙල් වර්ගයක්. මේ නිසා මේ එළවළු තෙල් යන නමකින් මේවා හඳුන්වා දී ඇත්තේ පාරිභෝගිකයන් නොමග යැවීමට බව සඳහන් කළ යුතුයි. පොල් තෙල් ඇතුළු මේ සියල්ල ශාක තෙල් පමණයි.

තෙල් වර්ග හා ආහාර පිස ගැනීමේ පුරුදු

පාම් තෙල්වලින් බැදීමේදී අධික ලෙස පෙණ මතු වෙයි

පොල් තෙල් අහිතකර බවත් එළවළු යැයි ප්‍රචලිත තෙල් හිතකර බවටත් අපට කියා දෙන්නේ බටහිර රටවල්වලින්. ඔවුන් පවසන්නේ ඇත්තක් ද බොරුවක් ද කියා සෙවීමක් නැතිව අප ඒ සියල්ල හිස් මුදුනින් පිළිගන්නවා. නමුත් ඇතැම් දේවල්, විශේෂයෙන් ආහාර වර්ග ඇතැම් විට රටින් රටට, දේශගුණික තත්වයන්ට වෙනස් ආකාරයෙන් ක්‍රියාකරනවා. පොල් තෙල් ගැන සඳහන් කළ යුත්තේ ද එයමයි.

වර්තමානයේ බහුලව ප්‍රචලිතව පවතින මතයක් වන්නේ බහු අසංතෘප්ත තෙල් සෞඛ්‍ය සම්පන්න බවයි. නමුත් එය සියලු විටම එසේ වන්නේ නැහැ. පෙර සඳහන් කළා සේ මේ මතය අපට පැමිණෙන්නේ ද බටහිරින්. බටහිර රටවල බහුල වශයෙන් පරිභෝජනය කෙරෙන්නේ බහු අසංතෘප්ත තෙල්. නමුත් ඔවුන් අප රටේ මෙන් ආහාර දැඩි ලෙස ආහාර  පිසින්නේ නැහැ. ඔවුන් අඩු උෂ්ණත්වයක් යටතේ ආහාර පිසගැනීමට පුරුදුව සිටිනවා. නමුත් අප සාමාන්‍යයෙන් ආහාර දැඩි උෂ්ණත්වය යටතේ වැඩි වේලාවක් පිසගැනීමට හුරුපුරුදුව සිටින අතර එවැනි තත්වයකදී පාම් තෙල් සහ කවුරුත් එළවළු යැයි හඳුන්වන බහු අසංතෘප්ත තෙල් අස්ථාවර භාවයකට ලක් වෙනවා. එමෙන්ම පාම් තෙල් සහ එළවළු තෙල් වර්ගවලින් එහිදී පෙරොක්සයිඩ් නිපදවී ඒවා ආහාරයට එක්වීම සිදුවෙනවා. එය මිනිසාගේ සෞඛ්‍යයට හිතකර තත්වයක් නොවෙයි. අප වැඩි දෙනෙක් වඩේ, රෝල්ස් වැනි ඇතැම් ආහාර වර්ග ගැඹුරු තෙල් බැද ගන්නට හුරු පුරුදුව සිටිනවා. ඒ වගේම ආහාර තෙම්පරාදු කිරීමේදී තරමක් වැඩි කාලයක් මේ සඳහා ගත්කරන්නට අපගේ ඇතැම් ගෘහනියන් පුරුදුව සිටිනවා. අනෙකුත් තෙල් වර්ග අධික ලෙස රත්වීමේදී ඒවායේ ප්‍රති ඔක්සිකාරක විනාශ වී යන නමුත් පොල්තෙල් අධික ලෙස රත් කළ ද මෙම ප්‍රති ඔක්සිකාරකවලට හානියක් සිදු නොවන බව ද දැනට සිදුවී ඇති පර්යේෂණවලින් හෙළිවී තිබෙනවා.  මේ නිසා ආහාර පිස ගැනීමේ පුරුදු පැත්තෙන් සළකා බැලුවත් අපට වඩාත් සුදුසු වන්නේ පොල් තෙල් බව කිව හැකියි.

කොලෙස්ටරොල් සහ පොල් තෙල්

පාරිභෝගිකයන් පොල් තෙල් අතහැර වෙනත් තෙල්වලට යොමු වන්නට ප්‍රධාන හේතුවක් වුයේ පොල්තෙල්වල කොලෙස්ටරෝල් අඩංගු වන බවට විවිධ මාධ්‍ය ඔස්සේ බහුල වශයෙන් ප්‍රචාරණය වීම නිසයි. හෘද රෝග ආදියට බොහෝ දෙනෙක් ගොදුරුව සිටීමත්, මේ සඳහා කොලෙස්ටරෝල් හේතුවීමත් නිසා බොහෝ දෙනෙකුගේ සිත් තුළ පොල් තෙල් පිළිබඳ අනියත බියක් හට ගැනුණා. වෛද්‍යවරු ද මෙම අදහස තහවුරු කරන කරුණු විටින් විට ඉදිරිපත් කරන්නට පටන් ගත්තා. නමුත් එළවළු තෙල්වල කොලෙස්ටරෝල් අඩංගු නැති බවට (Cholesterol Free) ප්‍රචාරය වීමත් සමග වැඩි දෙනෙක් ඉතා කැමැත්තෙන් එළවළු තෙල් භාවිතයට හුරුවන්නට පෙළඹුණා. පොල් තෙල් භාවිතය ඉතිරි වූයේ එළවළු තෙල් මිලදී ගැනීමට තරම් වත්කමක් නැති ජනතාව අතරයි.

පොල් තෙල්වල කොලසේටරෝල් අඩංගුද?

කොලෙස්ටරෝල් කියන සංඝටකය ගෙන සළකා බැලුවොත් එය ශරීරයට යම්කිසි මට්ටමකින් අවශ්‍ය දෙයක්. නමුත් මෙය අපට කිසිදු ආහාරයක් ඔස්සේ ලැබෙන දෙයක් නොවෙයි. කිසිම ආහාරයක කොලෙස්ටරෝල් අඩංගු වන්නේ නැහැ. ඒ නිසා එළවළු තෙල්වල කොලෙස්ටරෝල් අඩංගු නැත’ (Cholesterol Free) යන ලේබලය ඇළවීමේ වරදක් නැහැ. ඒ වගේම කිසිම පොල් තෙල් වර්ගයක හෝ කොලෙස්ටරෝල් අඩංගු වන්නේ ද නැහැ. ඒ නිසා පොල් තෙල් ද කොලෙස්ටරෝල් අඩංගු නැතකියන ලේබලය යටතේ අළෙවි කළ හැකියි. නමුත් පොල් තෙල් වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරන්නට කිසිවකුත් නොසිටි නිසා පොල් තෙල්වල කොලෙස්ටරෝල් අඩංගු නැතැයි කියන සත්‍යය ජනතාව අතරට පැමිණියේ නැහැ.

කොලෙස්රෝල් පිළිබඳ යමක් මෙහිදී සඳහන් කළ යුතු වෙනවා. කොලෙස්ටරෝල් වර්ග දෙකක් පවතිනවා

1. අඩු ඝනත්ව ලිපිඩ කොලෙස්ටරෝල් (LDL Cholesterol)
2. වැඩි ඝනත්ව ලිපිඩ කොලෙස්ටරෝල් (HDL Cholesterol)

අප කොලෙස්ටරෝල් මට්ටම පිළිබඳ වාර්තාවක් වෛද්‍ය රසායානාගාරයකින් ඉල්ලා සිටියහොත් එම වාර්තාව ලබාදෙන්නේ ඉහත ආකාරයෙන් කොලෙස්ටරෝග් වර්ග දෙක සහ එම දෙකේ එකතුව සඳහන් කරමින්. මෙයින් අඩු ඝනත්ව ලිපිඩ කොලෙස්ටරෝල් නරක කොලෙස්ටරෝල්’ (Bad Cholesterol) කියා ද හඳුන්වනවා. එයට හේතුව එමගින් සිරුරේ කොලෙස්ටරෝල් නිපදවීමත් එසේ නිපදවන කොලෙසටරෝල් රුධිරය සමග මිශ්‍ර වීමත් නිසයි. එම කොලෙස්ටරෝල් අපගේ රුධිර නාලවල තැන්පත් වීම නිසා හෘද රෝග ඇති කරනවා.

වැඩි ඝනත්ව ලිපිඩ කොලෙස්ටරෝල් යහපත් කොලෙස්ටරොල්’ (Good Cholesterol) යනුවෙන් ද හඳුන්වනු ලබනවා. මෙය මගින් රුධිරයේ ඇති කොලෙස්ටරෝල් අවශෝෂණය කොට එය නැවත අක්මාව කරා රැගෙන යාම සිදු කරනවා. මෙම කොලෙස්ටරෝල් නිසා හෘද රෝග සහ ආඝාත තත්වයන් අඩුවන බවයි පැවසෙන්නේ.

අප විසින් ලබා ගන්නා කොලෙස්ටරෝල් වාර්තාවේ අඩු ඝනත්ව කොලෙස්ටරෝල් වැඩි බව දැක්වෙනවා නම් එයනි කියැවෙනනේ අපගේ රුධිරගත කොලෙස්ටරා්ල් ප්‍රමාණය වැඩි බවයි. කොලෙස්ටරෝල් සිරුරේ වර්ධණය වන්නට ප්‍රධාන වශයෙන්ම හේතුවන්නේ අප සිරුරට ලබාගන්නා මේදය හෙවත් තෙල්. මේ තෙල්වල කොටස් දෙකක් තිබෙනවා.

1. සංතෘප්ත මේද අම්ල
2. අසංතාප්ත මේද අම්ල

පොල්තෙල් වල අඩුංගු යැයි සැළකෙන්නේ සංතෘප්ත මේද අම්ලයයි. එය 92%ක් පමණ තිබෙනවා. ඒවගේම ඒවා කෙටි දාම මේද අම්ලලෙසින් හඳුන්වනවා. ඕනෑම ද්‍රව්‍යයක් සෑදී ඇත්තේ විවිධ මූලද්‍රව්‍යවලින්. ඒවා රසායනිකව එකිනෙක බැඳී තිබෙනවා. මෙසේ රසායනික්ව බැඳුණු ඇතැම් ඒවා දිගයි. ඇතැම් ඒවා කෙටියි. ආහාරයක් නම් දිග දාම අම්ලවලට වඩා කෙටි දාම අම්ල ජීර්ණයට පහසුයි. එය උදාහරණයක් ලෙස සඳහන් කළොත් අප ආහාරයක් හොඳින් විකා කෑමට ගත් විට එය පහසුවෙන් ජීර්ණය වෙනවා. එයට හේතුව ඒ ආහාරය කුඩා කොටස්වලට කැඩෙන නිසා. නමුත් විකීමකින් තොරව ආහාරයට ගත්තොත් ජීර්ණය වන්නට ප්‍රමාද වෙනවා. කෙටි දාම අම්ල ද මේ ආකාරයෙන් කුඩා නිසා ඉක්මණින් ජීර්ණය වෙනවා. ජීර්ණය වන ආහාර ශක්තිය ලෙස ශරීරයේ තැන්පත් වෙනවා.  දිග දාම අම්ල ඇතැම් විට ජීර්ණය නොවන්නටත් ඉඩ තිබෙනවා. මේවා ජීර්ණය නොවුණොත් ඒව රුධිරයට එකතු විය හැකියි. පොල් තෙල්වල කෙටි දාම අම්ල පවතින නිසා ඒවා අපේ ආහාරය සමග ලබා ගත් විට පහසුවෙන් ජීර්ණය වෙනවා. ජීර්ණය වීමෙන් පසු තැන්පත්වීමට තියෙන හැකියාව බොහෝ අඩු වෙනවා. එවිට කොලෙස්ටරෝල් වැනි දෙයක් වර්ධණය වන්නට ඇති හැකියාව ද අඩු වෙනවා. මේ නිසා සංතෘප්ත මේද අම්ල නිසා කොලෙස්ටරෝල් වර්ධණය වන බව සාමාන්‍යයෙන් පිළිගැනුනත්, පොල් තෙල්වල කෙටි දාම අම්ල පවතින නිසා කොලෙස්ටරෝල් වර්ධණයට එරෙහි ක්‍රියාවලියක් සිදුවන බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

නැවුම්/නොඉඳුල් පොල් තෙල් (Virgin Coconut Oil)



පොල් තෙල් නිෂ්පාදනයේ අලුත්ම ප්‍රවණතාවය මෙම නැවුම් පොල් තෙල්නිෂ්පාදනය කියා සඳහන් කළ හැකියි. ලෝකයේ සෙසු රටවල ද නැවුම් පොල් තෙල් නිෂ්පාදනය වුව ද මෙම ක්‍රමය මුළින්ම සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ අප රටේ, ලුණුවිල පිහිටා ඇති පොල් පර්යේෂණායතනයටයි.

සුදු යකඩවලින් නිෂ්පාදනය කරන ලද නැවුම් පොල් තෙල් යන්ත්‍රයක්

සාම්ප්‍රදායිකව පොල් තෙල් නිෂ්පාදනය කරන ක්‍රමවලට වඩා වෙනස් වඩාත් දියුණු ක්‍රම ඔස්සේ අතිශය පිරිසිදු ලෙස නිෂ්පාදනය කරගනු ලබන පොල් තෙල් මෙනමින් හැඳින්වෙනවා. මෙහිදී පොල්තෙල්වලට ආවේණික පෝෂණ ගුණය කිසිවක් විනාශ නොවන අතර සෞඛ්‍යයට කිසිදු අහිතකර තත්වයක් නැති බව ද තහවුරු කොට තිබෙනවා. පොල් මදයේ ඇති ස්වභාවික තෙල්, ගුණ හානි කරගැනීමකින් තොරව ලබාගැනීම මෙහිදී සිදු වෙනවා. මෙහිදී කොප්පරා භාවිතයක් නැහැ. ව්‍යාපාරයක් ලෙස පොල් තෙල් නිෂ්පාදනය කරන විට පොල් තෝරාගැනීමක් නොකිරීම ප්‍රායෝගිකව සිදුවන දෙයක්. ඇතැම් නිෂ්පාදකයන්, තෙල් නිෂ්පාදනය සඳහා නුසුදුසු, ප්‍රතික්ෂේප කරන මට්ටෙම් පවතින පොල් පවා භාවිත කරන බව දැනගන්නට ලැබෙනවා. සාමාන්‍ය පොල් තෙල්වල ගුණත්වය අඩුවෙන්නට හේතු වී ඇත්තේ මෙයයි. නමුත් නැවුම් පොල් තෙල් සඳහා යොදා ගන්නේ හොඳින් පැසුණු පොල් පමණයි. මේවා කඩා සති තුනක් පමණ ගබඩා කොට තබනවා. ඉන් පසු ලෙලි ගසා කටු ගළවා ගන්නා පොල් මද කොටසේ කුරුට්ට ඉවත් කෙරෙනවා. මෙහි පොල් වතුර ඉවත් කොට සිසිල් ජලයෙන් සෝදනවා. මේවා සේදීම සඳහා යොදාගන්නේ ක්ලෝරීන් හෝ වෙනත් කිසිදු රසායනික ද්‍රව්‍ය මිශ්‍ර නොමැති ජලයයි. ඒ වගේම මේවා නැවුම් පොල් තෙල් බැවින් කිසිදු රසායනික ද්‍රව්‍යයක් මිශ්‍ර කෙරෙන්නේ ද නැහැ. ඒ වගේම මෙහි ඇති කිසිදු දෙයක් ඉවත් කෙරෙන්නේ ද නැහැ.



පොල් පර්යේෂණ ආයතනයේ රසායනාගාර මට්ටමින් නැවුම් පොල් තෙල් නිපදවන ආකාරය

මෙම මද කපාගන්නේ සුදු යකඩවලින් නිෂ්පාදනය කරන ලද යන්ත්‍රයකින්. ඉන්පසු මේවා වියලන යන්ත්‍රයකින් වියළා ගන්නවා. මෙම යන්ත්‍රයද නිෂ්පාදනය කරනු ලබන්නේ සුදු යකඩ. මෙහිදී උෂ්ණත්වය සෙ. 55 - 60 වඩා වැඩිවන්නට ඉඩ හරින්නේ නැහැ. මෙයට වඩා උෂ්ණත්වය ඉහළ යාමට ඉඩ නොදෙන්නේ මෙහි ඇති පෝෂණ කොටස් විනාශ විය හැකි නිසයි. පොල් තෙල් නිෂ්පාදනයේදී යන්ත්‍රය ද රත්වෙන්නේ ඉතාම අවම වශයෙන්. එවිට පොල් තෙල්වල පෝෂණ තත්වය එලෙසින්ම ආරක්ෂා කරගත හැකියි. සාමාන්‍යයෙන් අප දකින පොල් තෙල් කහ පැහැයට හුරු වුණත් මෙසේ නිෂ්පාදනය කරගනු ලබන තෙල් අවර්ණයි. ජලයේ පැහැයෙන් යුකත්යි. මෙයට හේතුව මෙම පොල් මදවල කුරුට්ට ඉවත් කිරීම සහ පොල් මද රත් වීමට ලක්නොවීමත් නිසයි. නැවුම් පොල් තෙල් තවමත් අප රටේ වෙළෙඳ පළේ මිලදී ගැනීමට ඇත්තේ ඉතා අඩුවෙන්. එයට හේතුව අප රටේ නැවුම් පොල් තෙල් නිෂ්පාදකයින් සිය නිෂ්පාදන සියල්ලම අපනයන කරනු ලබන නිසයි. විදෙස් රටවල් මේවායෙන් සුවඳ විළවුන්, ඖෂධ ආදිය නිපදවන්නට යොදා ගන්නවා.

නැවුම්/නොඉඳුල් පොල් තෙල් බටර්


යුරෝපය වැනි රටවල් මෙම නැවුම් පොල් තෙල් පානය කරන බව ද සඳහන් කළ යුතුයි. අපේ රටේ පවතින උෂ්ණත්වය නිසා පොල් තෙල් ද්‍රව මට්ටමේ පැවතුනත් යුරෝපයේ වැනි සීත දේශගුණයක් ඇති රටවල පොල්තෙල් පවතින්නේ මිදුණු තත්වයක. ඒ නිසා ඔවුන් තෙල් ස්වභාවයෙන් භාවිත කරනවා නම් උණු ජලයේ පොල් තෙල් බඳුන තබා රත්කොට ද්‍රව තත්වයට පත්කර ගන්නවා. එසේත් නැත්නම් මේවා ඝන තත්වයෙන් බටර් මෙන් පාන් හෝ වෙනත් ආහාර වර්ගයක .තවරා ලුණු ගම්මිරිස් සලාද කොළ ආදිය දමා ආහාරයට ගැනිීමද සිදු කරනවා. ඔවුන් එවැනි ආකාරයකින් පොල් තෙල් භාවිත කරන නිසා යුරෝපීය රටවලට මේවා යවනු ලබන්නේ ජෑම් බෝතල් වැනි පුළුල් විවරයක් සහිත බෝතල්වලයි.

පොල් තෙල් සහ මව් කිරි

පොල් තෙල්වල වැඩි වශයෙන් අඩංගු ද්‍රව්‍යය වන්නේ ලෝරික් අම්ලයයි. පොල් තෙල්වලට වැඩි වටිනාකමක් ලැබී ඇත්තේ ද මේ ලෝරික් අම්ලය නිසයි. එසේ වී ඇත්තේ මව්කිරිවලද වැඩි වශයෙන්ම ලෝරික් අම්ලය අඩංගු නිසයි. ආහාර පිණිස දැනට ලෝකයේ නිෂ්පාදනය කොට ඇති තෙල් වර්ගලවලින් ලෝරික් අම්ලය අඩංගු වන්නේ පොල් තෙල් වල හා පාම් මදයෙන් ලබා ගන්නා තෙල්වල පමණයි. නමුත් පාම් ගෙඩි මදයෙන් ලබාගන්නා පොල් තෙල් අධික මිලකින් යුක්ත වන නිසා කිරි දෙන මවකට සිය කිරිවල ඇති ලෝරික් අම්ලය වැඩි කරගැනීමට නම් පහසුවෙන්ම ශරීරයට එක් කරගත යුත්තේ පොල් තෙල් සහ පොල්වලින් නිපදවනු ලබන අනෙකුත් ආහාර වර්ගයි. පොල් තෙල් වල ලෝරික් අම්ලය 48.9%ක් අඩංගුයි. නමුත් පාම් මදයෙන් ලබා ගන්නා තෙල් හැරුණු විට වෙළෙඳ පළේ එළවළු තෙල් යැයි ප්‍රකට කිසිදු තෙල් වර්ගයක් ලෝරික් අම්ලය අඩංගු වන්නේ නැහැ.   American Journal of Clinical Nutrition නම් වෛද්‍ය ජර්නලයේ ද සඳහන් වූයේ මෙය චිකිත්සකව තහවුරු කොට ඇති දෙයක් බවයි. මේද අම්ලයක් වන ලෝරික් අම්ලය මව් කිරිවල වැඩි වශයෙන් අඩංගු වීමෙන් ලැබෙන ප්‍රතිඵල බොහොමයි. බිළිඳාගේ ප්‍රතිශක්තිය වර්ධණය, දරුවාගේ ආහාර ජීර්ණය වර්ධණය, බිළිඳාගේ සමෙහි රෝග මර්දනය, ආදිය මේ වාසි අතර විශේෂයෙන් කැපී පෙනෙනවා.  මව් කිරිවලට සමාන කිරි වර්ගයක් මෙතෙක් නිපදවන්නට හැකියාවක් ලැබී නැහැත නමුත් දැනට කෙරීගෙන යන ඇතැම් පර්යේෂණවලින් කිව හැක්කේ පොල්තෙල්වල අඩංගු ලෝරික් අම්ලය යම් ප්‍රතිශතයකින් එළකිරිවලට මිශ්‍ර කිරීමෙන් මව්කිරිවලට වඩාත් සමාන කමක් ඇති කිරි වර්ගයක් නිපදවා ගත හැකි බවයි. නමුත් තවමත් මෙය පවතින්නේ පර්යේෂණ මට්ටමක පමණයි.

නැවුම්/නොඉඳුල් පොල් තෙල් පානය


මෙම ලෝරික් අම්ලය වැඩිහිටියන්ට ද සුදුසු නිසාත්, විදෙස් රටවල වැසියන් මේ පිළිබඳ අවබෝධයකින් පසුවීම නිසාත්, එම රටවල බොහෝ දෙනෙක් නැවුම් පොල් තෙල් පානය කරන්නට පුැරුදුව සිටිනවා. පානය කිරීම යනුවෙන් සඳහන් කරන්නේ විශාල ප්‍රමාණයෙන් නොව තේ හැන්දක් මේස හැන්දක් වැනි ප්‍රමාණයක් පමණයි. එමෙන්ම මෝර ගුලි තරම් ප්‍රමාණයේ කරල්වලට නැවුම් පොල් තෙල් අඩංගු කොට ඖෂධයක් ආකාරයෙන් ද එම රටවල නැවුම් පොල් තෙල් සකස් කොට තිබෙනවා.


පොල් තෙල් අගුණ නම්, අපට ගුණ අගුණ පිළිබඳ කියා දෙන්නේ බටහිර රටවල් නම්, එම රටවල ජනතාව මෙසේ පොල් තෙල් පානය කරන්නේ ඇයිද යන්න පිළිබඳ සියලු දෙනාම නැවත සිතා බැලිය යුතු-යි.

ඇල්ෂයිමර් රෝගය සහ පොල් තෙල්

වයස්ගත්වන විට අමතක වන සුළු බව වර්ධණය වීම හඳුන්වනු ලබන්නේ ඇල්ෂයිමර් රෝගය වශයෙනුයි. මෙයට තවම නියමිත ප්‍රතිකාරයක් සොයාගෙන නැතැ බවයි දැනගන්නට ලැබෙන්නේ. කෙසේ නමුත් නැවුම් සාමාන්‍ය පොල් තෙල් හෝ විශේෂයෙන් පොල් තෙල් භාවිතයෙන් මෙමම රෝගය සෑහෙන දුරකට පාලනය කර ගත හැකි බව පර්යේෂණ වලින් තහවුරු වී තිබෙනවා.

නැවුම්/නොඉඳුල් පොල් තෙල්වල වෙනත් ප්‍රයෝජන

රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය, ඖෂධීය තෙල් නිෂ්පාදනය, පිළිකා සෛල නැසීමේ විශේෂ හැකියාවක් නැවුම් පොල් තෙල්වල පවතිනවා, ඒඩ්ස් රෝගය සඳහා නිපදවනු ලබන ඖෂධ සඳහා නැවුම් පොල් තෙල් එකතු කරනවා. ඇතැම් ඖෂධ වර්ග මේදයේ දියකර හැරිය යුතු වෙනවා. මේ කාර්යය හොඳින් කරගත හැක්කේ විශේෂයෙන් නැවුම් පොල් තෙල්වලින් බවයි කියැවෙනනේ. මොයිස්චරයිසර් ක්‍රීම් වර්ග නිපදවීම සඳහා ද පොල් තෙල් භාවිතයට ගන්නවා. එයට හේතුව සියලු තෙල් වර්ග අතුරින් රෝම කූප අතරින් ගමන් කොට සම තුළට කාවැදීමේ හැකියාවක් ඇත්තේ පොල් තෙල්වලට පමණක් නිසයි. දේශීයව නිපදවන සියලු ඖෂධීය තෙල් වර්ගවලට ද පොල් තෙල් මිශ්‍ර කරන බව පැවසනෙවා. එයට හේතුව  වන්නේ ද අනෙක් තෙල් වර්ගවලට වඩා මෙයට රෝම කූප අතරින් ගමන් කිරීමේ හැකියාව නිසයි.

පොල් තෙල් හෝ විශේෂයෙන් නැවුම් පොල් තෙල් හිස ගැල්වීමෙන් හිස කෙස් සුදුවීම, අකලට කෙස් වැටීම, කෙස් අග පැලීම  ආදිය සැළකිය යුතු මට්ටමකින් අඩුකරගත හැකි බව පැවසෙනවා.

පොල් තෙල් භාවිතයේ වාසි

පොල් තෙල් භාවිතයේ පොදුවේ පිළිගත් වාසි බොහොමයක් තිබෙනවා. හිසකේවල ආරක්ෂාව, ආතතියෙන් සහනය, කොලෙස්ටරෝල් මට්ටම පාලනය, බර අඩු වීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධණය, ක්‍රමවත් ආහාර ජීර්ණය හා පරිවෘත්තීය ක්‍රියා ක්‍රමවත් වීම මේ අතුරින් කිහිපයක්. එමෙන්ම වකුගඩු රෝග, හෘද රෝග, අධික රුධිර පීඩනය, දියවැඩියාව, එච්.අයි.වී. ආසාදනය සහ පිළිකා ආදියෙන් සහනයක් ලැබීමත් සඳහන් කළ හැකියි. දත් හා අස්ථිවල ශක්තිය වර්ධණය වීමද තවත් එක් වාසියක්. පොල්තෙල්වලින් මෙවැනි වාසි ලැබෙන්නේ එහි ලෝරික්, කැප්රික් සහ කැප්රිලික් අම්ල පැවතීමත්, එම අම්ලවල ඇති ප්‍රති ක්ෂුද්‍රජීවී, ප්‍රතිඔක්සිකාරක, ප්‍රතිදිලීර, ජීවානුහරණ සහ සුවකිරීමේ ගුණාංග නිසයි.

ලෝරික් අම්ලය සහ අපගේ සෞඛ්‍යය

සිරුරට ලැබෙන ලෝරික් අම්ලය සිරුර තුළදී මොනෝලෝරින් බවට පත්වෙනවා. එය වයිරස්, බැක්ටීරියා නිසා ඇතිවන හර්පීස්, ඉන්ෆ්ලුවෙන්සාව, සයිටෝමෙගලෝවයිරස් සහ එච්.අයි.වී. වැනි වෛරස් ආදියට පවා එරෙහිව ක්‍රියාත්මකවන්නට තරම් හැකියාවක් පවතිනවා.

පොල් තෙල්වල ඇති මෙම විවිධාකර සෞඛ්‍ය ගුණාංග නිසා එය නවීන වෛද්‍ය විද්‍යාවේ සහ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ විවිධ ඖෂධ වර්ග නිපදවන්නට භාවිත කෙරෙනවා.

හිස කෙස් සෞඛ්‍යය


හිස කෙස් සඳහා ඇති ස්වභාවික පෝෂණ ද්‍රව්‍යය වන්නේ පොල් තෙල්. හිස කෙස් සෞඛ්‍ය සම්පන්න ලෙස වර්ධණය වන්නටත්, හිස කෙස්වල දිදුලන ස්වභාවය ඇති කරන්නටත් පොල් තෙල් හේතු වෙනවා. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ ආසියානු රටවල අනාදිමත් කාලයක සිට හිස කෙස්වල සෞඛ්‍යය සඳහා පොල් තෙල් භාවිත කෙරුනේ මේ නිසයි. අබල දුබල හා කැඩීගිය හිස කෙස් නැවත වර්ධණයටත් පොල් තෙල් හේතු වෙනවා. පොල් තෙල් භාවිතයෙන් හිසකෙස් නිතර සම්බාහනය කිරීමෙන් ඉස් හොරි දුරුවන බව පර්යේෂණවලින් පවා හෙළිවී තිබෙනවා.

 හෘද රෝග

පොල් තෙල් නිසා කොලෙස්ටරෝල් ඇති වෙන බවට පැතිර ගිය වැරදි අදහස නිසා බොහෝ දෙනෙකු සිතුවේ පොල් තෙල් නිසා හෘද රෝග ඇතිවීම සහ වැඩිවීම සිදුවන බවයි. එයට හේතුව මෙහි සංතෘප්ත මේදය සෑහෙන ප්‍රමාණයක් පැවතීමයි. නමුත් සැබෑව නම් පොල් තෙල් හෘදයට හිතකරය යන්නයි. එහි ලෝරික් අම්ලය ආසන්න වශයෙන් 50%ක පමණ තිබෙනවා. ඉහළ කොලෙස්ටරෝල් මට්ටම සහ අධික රුධිර පීඩනය වැනි විවිධ හෘද රෝග මර්දනය කරන්නට මෙම අම්ලයට ඇත්තේ විශේෂ හැකියාවක්.

පොල් තෙල්වලට විරුද්ධව අදහස් දක්වන්නන් විශේෂයෙන් පවසන්නේ පොල්තෙල් වල සංතෘප්ත මේද අම්ල අඩංගු නිසා එය සෞඛයට අහිතකර බව වුවත්, පොල් තෙල්වල ඇති සංතෘප්ත මේද අම්ල අනෙකුත් ශාක තෙල් (එළවලු තෙල් ද ඇතුළුව) වල ඇති සංතෘප්ත මේද අම්ල මෙන් ශරීරයට අහිතකර නැති බවයි පැවසෙන්නේ. පොල් තෙල් නිසා අඩු ඝනත්ව ලිපිඩ මට්ටම වැඩි වන්නේ නැහැ. රුධිර නාලවලට සිදුවිය හැකි හානි වළක්වන්නට මේවාට හැකියාව තිබෙනවා. ඒ නිසා පොල් තෙල භාවිතය හෘද රෝගවලට අගුණයක් නැහැ.

සම රැකගැනීම


පොල් තෙල් කියන්නේ සම සම්බාහනය කරන්නට දැනට ඇති උසස්ම තෙල් වර්ගයයි. වියළි සම ඇතුළුව ඕනෑම සමක තෙතමනය ඇති කොට එය පවත්වාගැනීමට පොල් තෙල් රුකුළක් වෙනවා. ලවණ අඩංගු තෙල්වලින් ලැබෙන ගුණය පොල් තෙල්වලින් ලැබෙන අතර ලවණ අඩංගු තෙල්වලින් ඇතිවන අහිතකර ප්‍රතිඵල මෙයින් ලැබෙන්නේද නැහැ. සම රැළි වැටීම හා එල්ලා වැටීමට වැළැක්වීම සඳහා පොල් තෙල්වලින් ලැබෙන්නේ මහඟු පිටිවහලක්. විවිධ චර්ම රෝග සඳහා ද පොල් තෙල් භාවිත කෙරෙනවා.  මේ නිසා සබන්, ලෝෂන් වර්ග නිපදවීමේදී පොල් තෙල් භාවිත කෙරෙනවා.

බර අඩු කිරීම

සිරුරේ බර අඩු කරන්නට පොල් තෙල්වලින් ලැබෙන්නේ මහඟු රුකුලක්. පොල් තෙල්වල අඩංගු කෙටි දාම මේද අම්ල නිසා සිරුරේ ඇති බර අඩු කරන්නට එය හේතු වෙනවා. ඉතා පහසුවෙන් ජීර්ණය වන පොල් තෙල් තයිරොයිඩ් හා අන්තරාසර්ග පද්ධතියේ ක්‍රියාකාරීතවය වර්ධණය කරන්නට හේතු වෙනවා. සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවන් වේගවත් කරන අතර අගන්‍යාසයේ ඇති පීඩන තත්වය අවම කරනවා. මේ නිසා වැඩි ශක්තිය දහනය වී සිරුරේ ඇති තරබාරු බව අවම කරන්නට හේතු වෙනවා. මේ නිසා ශ්‍රී ලංකාව වැනි පොල් තෙල් භාවිතය වැඩි නිවර්තන කලාපයේ රටවල වෙසෙන්නන් අතර තරබාරු බව සැළකිය යුතු මට්ටමින් අඩු බව සඳහන් කළ යුතුයි.

ප්‍රතිශක්තිය

පොල් තෙල් ප්‍රතිශක්ති පද්ධතිය සඳහා ද ඉතාමත් සුදුසුයි. එහි අඩංගු ප්‍රතික්ෂුද්‍රජීවී ලිපිඩ (antimicrobial lipids), ලෝරික් අම්ලය, කැප්රික් අම්ලය, කැප්රිලික් අම්ලය ආදියේ ප්‍රතිදිලීර සහ ජීවානුහරණ ගුණය ඇති නිසා පොල්තෙල්වලින් ප්‍රතිශක්තීකරණ පද්ධතිය තවත් ශක්තිමත් වෙනවා.

ආහාර ජීර්ණය

පිස ගන්නා ආහාර සමග ශරීර ගතවන පොල් තෙල් නිසා ජීර්ණ ක්‍රියාවලිය වර්ධණය වී අමාශ ගත රෝග බොහොමයක් සුවවන බව සොයා ගෙන තිබෙනවා. පොල් තෙල්වල අඩංගු සංතෘප්ත මේද අම්ලයේ අඩංගු ප්‍රතික්ෂුද්‍ර බැක්ටීරියාවන් නිසා ආමාශයේ ඇති බොහෝ බැක්ටීරියා, දිලීර ආදිය විනාශ වී යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ආහාර ජීර්ණය වඩාත් හොඳින් සිදු වෙනවා. එමෙන්ම විටමින්, ඛණිජ සහ ඇමයිනෝ අම්ල අවශෝෂණය කරගැනීම සඳහා ද පොල් තෙල් සහාය වෙනවා.

පොල් තෙල් මිලදී ගැනීම

පොල් තෙල් වර්ග බොහොමයක් වෙළෙඳ පළේ ඇති නිසාත්, ඒවායෙන් ලබාගත හැකි ප්‍රයෝජන විවිධ නිසාත් පොල් තෙල් මිලට ගැනීමේදී තමන්ගේ අවශ්‍යතාවය කුමක්ද  යන්න පිළිබඳ මුළින්ම සිතා බැලිය යුතුයි. මෙහි ඒ පිළිබඳව කෙටියෙන් සඳහන් කරන්නට බලාපොරොත්තු වෙනවා.

ආහාර පිසීම - පිරිපහදු කරන ලද පොල් තෙල්
ශරීරයේ බර අඩු කරගැනීම - නැවුම්/නොඉඳුල් පොල් තෙල්
යහපත් සෞඛ්‍යය - නැවුම්/නොඉඳුල් පොල් තෙල්, ඓන්ද්‍රීය පොල් තෙල්
සම්බාහන කටයුතු - පිරිසිදු පොල් තෙල්, පිරිපහදු කරන ලද පොල් තෙල්
හිසකෙස් සඳහා - පිරිසිදු පොල් තෙල්, පිරිපහදු කරන ලද පොල් තෙල්
ප්‍රතිකාර කටයුතු - නැවුම්/නොඉඳුල් පොල් තෙල්, නැවුම්/නොඉඳුල් ඓන්ද්‍රීය පොල් තෙල්

මිල ගණන්

සාමාන්‍යයෙන් වෙළෙඳ පළේ බොහෝ දෙනෙක් භාවිත කරන සාමාන්‍ය පොල් තෙල් බෝතල් භාගයක්,එසේත් නැත්නම් මිලි ලීටර් 500ක ප්‍රමාණයක් රුපියල් 90 - 100 අතර වෙනවා.

ඒ වගේම සුපිරි වෙළෙඳ සලවල අළෙවියට ඇති පිරිපහදු කරන ලද පොල් තෙල් මිලි ලීටර් 500ක් රු. 230ක් පමණ වෙනවා.

පොල් තෙල්වලට ආදේශක ලෙස ඇති පාම් තෙල් මිලි ලීටර් 500ක් රු. 215ක් පමණ වෙනවා.

සූරියකාන්ත තෙල් මිලි ලීටර් 500ක් රු. 430ක් ද, කෝන් තෙල් මිලි ලීටර් 500 රු. 370 ක් පමණ වෙනවා.

සාමාන්‍යයෙන් වෙළෙඳ පළේ නමක් සදහන් නොකර එළවළු තෙල්යනුවෙන් පමණක් සඳහනක් ඇත්නම් එය අනිවාර්යයෙන්ම පාම් තෙල් බව මතක තබා ගත යුතුයි. ඇතැම් එළවළු තෙල්වල පමණක් පාම් ඔලෙයින්’ (Palm Olein) යනුවෙන් සඳහන් වුවත් ඇතැම් ඒවායේ එසේ සඳහන් වෙන්නේ නැහැ. සූරියකාන්ත, කෝන් ආදී ලෙසින් නම් සඳහන් කොට ඇත්නම් ඒවා අදාළ ද්‍රව්‍යයන්ගෙන් සාදන ලද ඒවායි. කෙසේ නමුත් සුරියකාන්ත, කෝන්, කැනෝලා, ඔලිව් ආදී සියල්ල වැටෙන්නේ එළවළු තෙල්යනුවෙන් ප්‍රචලිත කාණ්ඩයටයි. මෙම තෙල් සමඟ සැසඳීමේදී පොල් තෙල්වල ඇති වාසිදායක, සෞඛ්‍යයට හිතකර තත්වයන් අපි කතා බහ කළා. එබැවින් අපේ රටට වඩාත් ගැළපෙන තෙල් වර්ගය වන්නේ පොල්තෙල් බව ඔබට වැටහෙන්නට ඇති. කෙසේ නමුත් පොල් තෙල්වලට එරෙහිව බහුජාතික තෙල් නිෂ්පාදන සමාගම් මගින් ගෙන යන ප්‍රචාරයන් හමුවේ තවමත් බොහෝ දෙනෙකු අතරමං වී සිටින බැව් පෙනෙන්නට තිබෙනවා. ඒ සියලු දෙනා තුළ පොල් තෙල් පිළිබඳව ඇතිවී තිබූ මිත්‍යා අදහස් දුරුකරන්නට මෙම තොරතුරු ප්‍රමාණවත් වන්නට ඇතැයි අපේ බලාපොරොත්තුවයි.

තොරතුරු සැපයීම


1. ආචාර්ය ජයන්ත ගුණතිලක මහතා  - අධ්‍යක්ෂ
පොල් පර්යේෂණ ආයතනය - ලුණුවිල




2. අනිල් ධර්මසේන මහතා  - පර්යේෂණාත්මක නිලධාරී
පොල් පර්යේෂණ ආයතනය - ලුණුවිල



3. නිල්මිණී ජයලත් - ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනී
පොල් පර්යේෂණ ආයතනය - ලුණුවිල




නන් අයුරින් උපකාර
මලිත් ගිහාන් මහතා
පොල් පර්යේෂණ ආයතනය - ලුණුවිල