පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, October 1, 2016

ශීතකරණ දෝෂයක් පහසුවෙන් නිවැරදි කර ගනිමු - 01


ඔබේ නිවසේ තියෙන ශීතරකණවල බොහෝ විට ඇතිවන දෝෂයක් තමයි උඩින් තියෙන ෆ්‍රීසර් කොටසේ සිසිල තිබුණත් පහළ තියෙන කොටස සිසිල් නොවී තිබීම. පහළ කොටසේ ඇති ආහාර ද්‍රව්‍ය නරක්වී දුගඳ හමන්නට පටන් ගන්න විට තමයි බොහෝ  දෙනෙක් දැන ගන්නේ ශීතකරණයේ යම්කිසි දෝෂයක් තිබෙන බව. එවිට අනිවාර්යයෙන්ම ශීතකරණ අලුත්වැඩියා කරන ශිල්පියෙකුට කතා කරනවා.  ශීතකරණ ගැන කිසිදු දැනුමක් නොමැති වුවත් ඔබට මේ දෝෂය නිරාකරණය කරගන්න පුළුවන්. මේ දෝෂය ඇති කරන්නට හේතුවන උපකරණයේ පින්තූරයක් තමයි මේ උඩින්ම තියෙන්නේ.


මේ පින්තූරයේ තියෙන්නේ මොකක්ද? සමහර අය දන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම නොදන්න අයත් ඉන්නවා. මේක තමයි ඩිෆ්‍රොස්ට් ටයිමර් (Defrost Timer) එක කියන්නේ. මේක සම්බන්ධ මොනවටද? මේක සම්බන්ධ ඔබ අප කාගෙත් නිවෙස්වල තියෙන ශීතකරණයට. මේ ගැන කතා කරන එකේ වැදගත්කම මොකක්ද කියලා හිතෙන්න පුළුවන්. අපි ඒ ගැන කතා කරමු.



මුල් කාලේ ආපු ශීතකරණවල තිබුණු ලොකුම ගැටලුව තමයි අයිස් බැඳෙන එක. මේ ගැන හිතලා බලපු ශීතකරණ නිෂ්පාදකයෝ මෙයට විසඳුමක් විදිහට අයිස් නොබැඳෙන ශීතකරණ නිෂ්පාදනය කළා. ඇත්තටම ගත්තොත් මොන ශීතකරණයෙත් අයිස් බැඳෙනවා. නමුත් මොවුන් සොයා ගත්ත තාක්ෂණය තමයි මේ විදිහට බැඳෙන අයිස් දිය කරලා හරින එක. ඒ සඳහා ඔවුන් ශීතකරණයට හීටරයක්, එහෙමත් නැත්නම් ශීතකරණයේ අයිස් දියකරන්න තාපජනක උපකරණයක් සවි කළා. පැය 6 - 7 කට වරක් මේ හීටරය ක්‍රියාත්මක කරලා ශීතකරණයේ බැඳුණු අයිස් දියකර හරින්න ඕන. පැය 6 -7 කට වරක් හීටරය ක්‍රියාත්මක කරවන එක තමයි ඔබ දකින මේ ඩිෆ්‍රොස්ට් ටයිමර් එකෙන් කරන්නේ. 


ශීතකරණය සිසිල ඇති කරන කොටස තියෙන්නේ එහි උඩ තියෙන ෆ්‍රීසර් කොටසේ. එහි ඇතිවන සිසිල පංකාවක් ඔස්සේ පහල කොටසට යැවීම සිදු කරනවා. බොහෝ විට කාලයක් යද්දි ඩිෆ්‍රොස්ට් ටයිමර් එකේ දෝෂ මතුවෙනවා. එවිට එය පැය 6-7කට වරක් ක්‍රියාත්මක වීම ඇනහිටිනවා.  එය ක්‍රියාකරන්නේ නැත්නම් ශීතකරණයේ බැඳෙන අයිස් දියවන්නේ නැහැ. එවිට ඉහළ ෆ්‍රීසර් කොටසේ ඇතිවන සිසිල පහළට ගමන් කරන කොටසේ ද අයිස් බැඳී ඇති නිසා පහළ කොටස සිසිල් වන්නේ නැහැ. 

ඇතැම් අවස්ථාවල මෙම පංකාව ක්‍රියාත්මක නොවන නිසාත් පහළට සිසිල ගමන් කරන්නේ නැති වෙන්න පුළුවන්. පැය 6-7කට වරක් ඩිෆ්‍රොස්ට් ටයිමර් එක ක්‍රියාත්මක් වුවත් පහළ කොටස සිසිල් නොවනවා නම් එය පංකාව ක්‍රියාත්මක නොවීමේ දෝෂයක් නිසා ඇති වූ තත්වයක් විය හැකියි. 




ඩිෆ්‍රොස්ට් ටයිමර් එකේ දෝෂයක් නම් ශීතකරණ අලුත්වැඩියා කරන්නන් බොහෝ විට කරන්නේ මෙම ඩිෆ්‍රොස්ට් ටයිමර් එක ගළවා එය පිරිසිදු කොට ඇතැම් විට පොල් තෙල් වැනි යමක් දමා නැවත සවිකිරීමයි. නමුත් මෙය සාර්ථක පිළියමක් නොවන බව බොහෝ විට පෙනෙන්නට තිබෙන්නේ වැඩි දිනක් යන්නට පෙර ඩිෆ්‍රොස්ට් ටයිමර් එක නැවත දෝෂ පෙන්වන්නට පටන් ගන්නා නිසයි. අනෙක ශීතකරණ අලුත්වැඩියා කරන්නන් මේ පරණ ඩිෆ්‍රොස්ට් ටයිමර් එක පිරිසුදු කොට සවි කරන්නට රුපියල් 1000ක් හෝ ඊට මදක් වැඩි මුදලක් අයකරනවා. 


කෙසේ නමුත් ඩිෆ්‍රොස්ට් ටයිමර් එකක් අලුතින් මිලදී ගෙන සවි කරන්නට ඔබට වැයවන්නේ රු. 750 - 800 ක් වැනි මුදලක් පමණයි. කොළඹ කොම්පඤ්ඤ වීදියේ නවලෝක රෝහල අවට ශීතකරණ අමතර කොටස් අළෙවි කරන වෙළෙඳසැල්වල මේ ඩිෆ්‍රොස්ට් ටයිමර් මිලදී ගන්නට තිබෙනවා. ඔබට තියෙන්නේ ශීතකරණය විදුලියෙන් විසන්ධි කොට මෙය ගළවා ගෙන ගොස් රැගෙන ගොස් ඔබගේ ඩිෆ්‍රොස්ට් ටයිමර් එකේ මාදිලියේ එකක් රැගෙන විත් සවිකර ගැනීම පමණයි.

LG වර්ගයේ ශීතකරණවල බොහෝ විට ඩිෆ්‍රොස්ට් ටයිමර් එක සවිකොට ඇත්තේ මෙතැනයි.  ඇතැම් ශීතකරණවල මෙය වෙනත් ස්ථානවල ද සවිකොට තිබෙනවා.




ඩිෆ්‍රොස්ට් ටයිමර් එක තිබෙන්නේ එක තිබෙන්නේ ශීතකරණයේ පිටුපස පහළට වන්නටයි. එහි කුඩා ගෑස් ටැංකියක් වැන්නක් තිබෙනවා. එය කොම්ප්‍රෙෂර් එක නමින් හඳුන්වනවා. එයට කිට්ටුවෙන් මෙම ඩිෆ්‍රොස්ට් ටයිමර් එක තිබෙනවා ඔබට සොයා ගන්නට පුළුවන්. එහි ඇති ඇණ ගළවා එයට සවිකොට ඇති වයර්වලින් පහසුවෙන් මෙය ගළවා වෙන්කොට ගන්නට පුළුවන්. 


සාමාන්‍යයෙන් ශීතකරණ අලුත්වැඩියා කරන්නන් පරණ ඩිෆ්‍රොස්ට් ටයිමර් එකම සවි කරන නිසාත්, එය අනිවාර්යයෙන්ම නැවත දෝෂ මතු කරන නිසා ඔවුන්ට කිහිප වතාවක් පැමිණ මෙය අලුත්වැඩියා කරමින් රුපියල් 2000 - 3000 ඔබගෙන් අය කරගන්නට පුළුවන්. ඔවුන් අලුත් ඩිෆ්‍රොස්ට් ටයිමර් එකක් සවිකරන්නේ බැරිම තැනකදී පමණයි. එවැනි තත්වයන්ට පත්ව පාඩු විඳගත් පුද්ගලයන් බොහෝ විට හමු වී ඇති නිසා මෙය මේ ආකාරයන් ලියා ඔබ දැනුවත් කරන්නට සිතුවා.


ඔබට ඩිෆ්‍රොස්ට් ටයිමර් ගැන හෝ ශීතකරණ ගැන හෝ කිසිදු දැනුමක් නැතත් මෙය පහසුවෙන්ම ගළවා සවිකරගන්නට පුළුවන්.



මේ සම්බන්ධව ලියපු අනෙක් ලිපි

35 comments:

  1. නොදන්නා දෙයක් ඉගෙන ගත්තා. ස්තූතියි

    ReplyDelete
  2. තවත් පින්තූර එකතු කර මේ උපකරණය තිබෙන තැන පෙන්වා දුන්නා නම් වඩාත් හොඳයි. ගලවන සවි කරන හැටිත් පින්තූර කීපයක් දැම්මානම් ශීතකරණයේ වර්ගය හෝ මෝස්තරය කුමක් වුනත් බොහෝදෙනෙකුට හොඳ අවබෝධයක් ලැබෙනවා.

    මෙන්න මෙතන තියනවා එය කරන ආකාරය පෙන්වන වීඩියෝ ක්ලිප් ගොඩක්.

    එයින් සුදුසු එකක් තෝරා මේ ලිපියට ඇතුලත් කරන්න පුලුවන්නම් බොහොම හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ දැනුවත් කිරීම අගය කරනවා. ඔන්න මම අලුතින් පින්තූරයක් සහ වීඩියෝ එකක් ද එකතු කළා.

      Delete
  3. කදිම පෝස්ටුවක්. නොදැන හිටි දෙයක් තමයි මේ අලුතෙන් දැන ගත්තේ. ඒ වගේම ඉතාම වැදගත් තොරතුරු තියෙන බ්ලොගයක්. නියමයි. දිගටම ලිපි ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා.... ජයෙන් ජය..

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි

      Delete
  4. සෑහෙන්න වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි

      Delete
  5. මාර වැදගත්, අල්ලපු ගෙදරට වැඩේ සිද්ධවෙලා දැනටම දෙවාතාවකට 3000 විතර පූජා කරලා, හෙටම වැඩා වගේ හදලා දෙන්න පුළුවන්, එත් ඒයාල කල්තියාගන්න බැරි නිසා අහල පහල හැමෝටම බෙදන අයිස්ක්‍රීම් හේම නැති වේවි, හිතල බලන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. මෙහෙමෙයි, අයිස් ක්‍රීම්, පුඩිං වගේ කෑම ඉවර වෙනකල්ම ඉඳලා වැඩ පෙන්නුවා නම් හරි.

      Delete
  6. ශීතකරණ සඳහා ආරක්ෂක සහ විදුලිය පාලන උපකරණයක් ලංකාවේම නිපදවනවා. එමගින් සේවයන් දෙකක් සිදුවෙනවා.

    1. අධි වොල්ටීයතාවයෙන් ශීතකරණය ආරක්ෂා කරගැනීම.

    2. ශීතකරණය ක්‍රියාත්මකව තබන වෙලාව පාලනය කිරීමෙන් විදුලිය ඉතිරිකර දීම.

    මෙම උපකරණය මා මිලදී ගත්තේ ආර්පිකෝ ප්‍රදර්ශනාගාරයකින්. රු 3850/- (2012 වර්ෂයේ මිල) මෙහි තිබෙනවා විවිධ වැඩසටහන් කීපයක්. ඔබට පුළුවන් ශීතකරණය කොපමණ වෙලාවක් ක්‍රියාත්මකව තබනවාද, කොපමණ වෙලාවක් ක්‍රියාවිරහිතව තබනවාද යන්න ඒ වැඩසටහන් වලින් තෝරාගන්න. මා දැනට මගේ නිවසේ ශීතකරණය සකසා තිබෙන්නේ, විනාඩි 30 ක් ක්‍රියාත්මකව තැබීම සහ විනාඩි 30 ක් ක්‍රියාවිරහිතව තැබීම යන වැඩසටහනයි. එවිට පැය 24ක් තුළ සෑහෙන විදුලියක් ඉතිරි වෙනවා.

    ඊට වඩා වැඩි වෙලාවක් ක්‍රියාවිරහිතව තබන වැඩසටහන් ද එම උපකරණයේ තිබෙනවා. ඔබේ ශීතකරණයේ කොපමණ දේ ගබඩාකර තිබෙනවාද, දිනකට කී වතාවක් ශීතකරණයේ දොර අරිනවාද යන්න මත තමයි, සුදුසු වැඩසටහනක් තෝරාගතයුත්තේ.

    වැඩි විස්තර මෙතනින් බලන්න

    ReplyDelete
    Replies
    1. කිලර්වොට් කියන මේ උපකරණය ගැන මම ද අසා තිබෙනවා. ඒ වගේම මමත් එයින් එකක් මිලදී ගන්නට සිතුවා. නමුත් පොඩි ගැටලුවක් ආ නිසා මා එය මිලදී ගත්තේ නැහැ. සාමාන්‍යයෙන් නවීන ශීතකරණවල උෂ්ණත්වය පාලනය කරන උපකරණයක් (Thermostat) තිබෙනවා. ශීතකරණය එයට අවශ්‍ය සිසිල ඇති කරගත්තාට පසුව එහි විදුලි බලය විසන්ධිකිරීම තමයි මෙයින් සිදුකරන්නේ. මේ ක්‍රියාවලිය ශීතකරණ පද්ධතියට එකතු කොට ඇත්තේ ශීතකරණයේ ක්‍රියාවලියට බාධාවක් නොවී විදුලිය ඉතිරි කිරීම සඳහායි. පසුගිය කාලයක අප ප්‍රදේශයේ විදුලි බිල් ලකුණු කරන්නට පැමිණි පුද්ගලයා සෑම නිවසකට පවසමින් ගියේ ශීතකරණය රාත්‍රී කාලයට නිවා දමා විදුලි බලය ඉතිරි කරගන්නා ලෙසයි. නමුත් ශීතකරණය නිෂ්පාදනය කොට ඇත්තේ අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු උපකරණයක් ලෙසයි. මෙලෙස අපට අවශ්‍ය පරිදි එය නිවාදැමීම නිසා එහි අඛණ්ඩ ක්‍රියාකාරීත්වයට බාධාවක් සිදුවෙනවා. එය ශීතරකණයට අහිතකර වන්නට පුළුවන්.
      කිලර්වොට් නිෂ්පාදකයන් පවසන්නේ අපට කැමති ආකාරයකට විදුලිය නිවා දැමීම සහ ශීතකරණය පණගැන්වීම සඳහා වැඩසටහන සකස් කරගත හැකි බවයි. එය ඇත්තක් වුණත් මෙහිදී සිදුවන්නේ ශීතකරණ නිෂ්පාදකයන් එහි උපරිම සහ සෞඛ්‍ය සම්පන්න ක්‍රියාවලිය සඳහා සකස් කොට ඇති වැඩපිළිවෙලට බාධාවක් සිදුවීමයි. අපට කැමති ආකාරයෙන් ශීතකරණයේ විදුලි බලය විසන්ධි කරන විට එහි උෂ්ණත්ව පාලකයේ ක්‍රියාකාරීත්වයට බාධාවක් සිදු වෙනවා. අපි මෙම වැඩසටහන සකස් කරන්නේ පැය භාගයකට වරක් ශීතකරණය පණ ගැන්වීම සහ නිවා දැමීම කියා සිතන්න. මෙම උපකරණය නිසා ශීතකරණය නිවා දැමීමේදී එයට අවශ්‍ය කරන සිසිල එය තුළ ඇති වී නොමැති වන්නට පුළුවන්. ඊළඟ පැය භාගයේදී ශීතකරණය උත්සාහ කරන්නේ එයට අවශ්‍ය සිසිල උත්පාදනය කර ගැනීමටයි. එවිට අප ඉතිරි කළ විදුලියට වඩා වැඩි විදුලියක් ඒ සඳහා වැය විය හැකියි. ඉන් පසුව ශීතකරණයේ උෂ්ණත්වය පාලකයෙන් එය නිවා දැමීමට පෙර ඊළඟ පැය භාගයේදී අර උපකරණයෙන් එය නිවා දමනවා. මේක මට දැනෙන්නේ මහා මාර්ගයේ කලර් ලයිට් හොඳින් ක්‍රියාත්මක වෙද්දී පොලීසියෙන් පැමිණ තමන්ට අවශ්‍ය පරිදි වාහන හසුරුවන ආකාරයටයි. එවිට බොහෝ රියැදුරන් පවසන කතාව තමයි පොලීසිය ඇවිත් වැඩේ අවුල් කරනවා කියන එක. මේ කිලර්වොට් එකේ ක්‍රියාකාරීත්වය ශීතකරණයට මොන ආකාරයෙන් බලපානවා ද කියා තවත් සොයා බැලීම හොඳ කියා තමයි මා සිතන්නේ.
      අනෙක මේ මගින් විදුලි බලය ඉතිරි වුනත්, එයින් ශීතකරණයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට කරනු ලබන බාධාව නිසා පසුකාලීනව පැන නැගිය හැකි දෝෂ නිවාරණයට අප ඉතිරි කරගත් මුදලට වඩා වැඩි මුදලක් වැය වන්නටත් ඉඩ තිබෙනවා. මා මේ අනුමාන කරන කරුණු වැරදි වන්නටත් පුළුවන්. නමුත් මේ පිළිබඳ තවත් සොයාබැලීම සුදුසුයි කියායි මම සිතන්නේ.

      Delete
    2. ඇත්තටම මේ ගැන කරුණු සොයාබලා තවත් මේ සංවාදය ඉදිරියට ගෙනයන එක හොඳයි.

      මම මේ උපකරණය සවිකළේ 2012 දී. අද වනතුරු අපේ ගෙදර ශීතකරනයේ කිසිම ප්‍රශ්නයක් ඇතිවී නැහැ. මගේ මිත්‍රයෙක් ඔහුගේ නිවසේ වායුසමීකරණ යන්ත්‍රයකට කිලර්වොට් උපකරණයක් සවි කළා. ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා.

      කෙසේ වෙතත් මේ ගැන විශේෂඥ දැනුමක් තියන කෙනෙක් අදහස් දක්වනවානම් බොහොම වටිනවා.

      Delete
    3. කියන්න අමතක වුණා. අපේ ගෙදර ශීතකරණය එක් දිනකට විවෘත කරන්නේ උපරිම වශයෙන් හතර වරක් පමණ.

      Delete
    4. විශේෂඥ දැනුමක් තියෙන කෙනෙක් අදහස් දක්වනවා නම් හොඳයි තමයි. අපට තියෙන්නෙත් සාමාන්‍ය දැනුමක් විතරයි නේ. එතකොට සැකයක් නැතිව කාටත් එවැනි උපකරණ භාවිත කරන්න පුළුවන්.

      Delete
  7. ඔය ඔන් ඕෆ් කතාව පල රහිත වැඩක් ශීතකරන යේ උශ්නත්ව පාලකය අවශ්‍ය ප්‍රමානයට අඩුකරල තියන්න ,

    ReplyDelete
    Replies
    1. මමත් කියන්නේ ඒකම තමයි.

      Delete
    2. හැමවිටම කරන්න බැහැ. අයිස්ක්‍රීම්, මස් මාළු තිබෙනවිට, උෂ්ණත්ව පාලකය අඩු කරන්න බැහැ.

      Delete
    3. ඔව් බඩු ගොඩක්, විශේෂයෙන් ඉක්මණින් නරක්විය හැකි දේවල් තියෙද්දි උෂ්ණත්වය පහළ තත්වයේ පවත්වාගෙන යන්න අමාරුයි.

      Delete
  8. ඔය ඔන් ඕෆ් කතාව පල රහිත වැඩක් ශීතකරන යේ උශ්නත්ව පාලකය අවශ්‍ය ප්‍රමානයට අඩුකරල තියන්න ,

    ReplyDelete
    Replies
    1. මමත් කියන්නේ ඒකම තමයි.

      Delete
  9. හපොයි මතක් කරන්න එපා ශිතකරණ අලුත්වැඩියා කෙරිලි ගැන නම්...පහුගිය ටිකේ අපි කාපු කට්ට මතක් වෙනකොට බඩ පපුව පිච්චිලා යනවා..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. අනෙක් අයත් ඒ වගේ කරදරවලින් බේරගන්න එක් හොඳ වැඩක් නිසයි මේක දැම්මේ.

      Delete
  10. විදුලිය ඉතිරි කර ගන්නට විතරක් නෙවෙයි,සමහරු වහින වෙලාවට විදුලිකොටන,ගොරවනකොටත් ශතකරණය ඕෆ් කරනවනෙ.ඇත්තටම මේ වැඩේ හොඳද නැද්ද කියලා දැන ගන්න ඕන.පහුගිය දවස් වල විදුබල මණ්ඩලයත් ජනතාවට කිවුවනෙ විදුලි බිල අඩු කරගන්න නම් ශිතකරණය දවසට පැය ගනනක් ඕෆ් කරන්න කියලා.

    ReplyDelete
  11. විදුලිය ඉතිරි කර ගන්නට විතරක් නෙවෙයි,සමහරු වහින වෙලාවට විදුලිකොටන,ගොරවනකොටත් ශතකරණය ඕෆ් කරනවනෙ.ඇත්තටම මේ වැඩේ හොඳද නැද්ද කියලා දැන ගන්න ඕන.පහුගිය දවස් වල විදුබල මණ්ඩලයත් ජනතාවට කිවුවනෙ විදුලි බිල අඩු කරගන්න නම් ශිතකරණය දවසට පැය ගනනක් ඕෆ් කරන්න කියලා.

    ReplyDelete
    Replies
    1. විදුලි කොටනකොට වුණත් ශීතකරණය නිවා දැමීම සුදුසු නැහැ. නමුත් බොහෝ දෙනෙක් එවැනි අවස්ථාවලදී ශීතකරණය ක්‍රියාත්මක කර තබන්න බයයි. එවැනි තත්වයකදී තමයි සර්ජ් ප්‍රොටෙක්ටර් (Surge Protector) කියන උපකරණයක් හරහා ශීතකරණයට විදුලිය සැපයීම ප්‍රයෝජනවත් වෙන්නේ.විදුලි බල මණ්ඩලය නම් හිතන්නේ ශීතකරණය ගැන නෙවෙයි. විදුලිය ඉතිරි කරගැනීම ගැන විතරයි.

      Delete
  12. කදිමයි .ආදි ශීතකරණ අලුත්වැඩියාව පිළිබද හා අමතර උපාංග ගන්න තෙනක් ගැනත් කියන්න පුලුවන්ද ,ජයවේව

    ReplyDelete
    Replies
    1. ශීතකරණ අමතර කොටස් ගන්න පුළුවන් සාප්පු තියෙන්නේ කොළඹ නවලෝක රෝහල අවටයි.

      Delete
  13. වටෙන් වතුර ලීක් වෙනවා වටෙන්ම දාඩිය දානවා වගේ ඒකට මෙ⁣ාකද කරන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. මෙය ශීතකරණ අලුත්වැඩියා කරන ශිල්පියෙකුට පෙන්වීම තමයි වඩාත් සුදුසු දේ. විවිධ හේතූන් මේ සඳහා තිබිය හැකියි.

      Delete
  14. ඔබේ ශීතකරනය දොර දෙකේ එකක් නම්, එය කාර්මිකයෙක් ලවා පරීක්ෂා කරවා ගන්න,මොකද එය ස්වයංකරීයව අයිස් දිය කරීමට හැකිවන ලෙස නිපදවා අැති නිසා,එම දිය වන අයිස් පිටවීමට නොහැකි වන ලෙස අතුලත යම් සිරවීමක් වෙලා අැත්නම්,එම දිය වු අයිස් වෙනත් හිඩැස් අැති තැන්වලින් පිටතට ගලා යනවා,එවැනි තත්වයක් දිගටම පැවතීම තුල,ශීතකරනය මල කෑමට පවා ලක් විය හැකියි.අැතුලත සිසිලස නියම ලෙසට නොමැති වීම තුල අාහාර පවා නරක් වන තත්වයක් අැති වේ.0776364551

    ReplyDelete
  15. ශීතකරණය නතර නොවී එක දිගටම ක්‍රියා කිරීමේ දෝෂය ගැනත් යමක් පැහැදිලි කරන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යෙයන් ශීතකරණයක් අවශ්‍ය පරිදි සිසිල් වූ පසු එය ඕෆ් තත්තවයට පත්වෙනවා. එසේ වන්නේ එහි ඇති උෂ්ණත්වය පාලනය කරන පද්ධතිය නිසයි. නොනැවතී එක දිගට ක්‍රියාත්මක වනවා නම් මේ උෂ්ණත්වය පාලනය කරන පද්ධතියේ දෝෂයක් විය හැකියි. හොඳම දේ කාර්මිකයකුගේ සහාය ලබාගැනීමයි.

      Delete
  16. අපේ ශීතකරනයේ කූල් වෙලා නතර වෙන්නෙ නෑ..මේ මාසෙ විදුලි බිල වෙනත් මාස වලට වඩා ගොඩාක් වැඩිවෙලා ආවා.ඒයින් තමා ශීතකරනයේ ගැටලුවක් බව දැනගත්තෙ.ක්‍රියා විරහිත කරාම මීටරේ කැරකෙන්නෙ අඩුවෙන් බවත් නිරීක්ෂණය කලා.ශීතකරනයේ කුමන කොටස අක්‍රිය උනාමද මේ ගැටලුව එන්නෙ

    ReplyDelete
    Replies
    1. මෙයට බොහෝ විට හේතුව defrost timer එකේ දෝෂයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගෑස්කට් ලීක් වීමක් වෙන්නත් පුළුවන්. ගෑස්කට් කිව්වේ දොරවල්වල බීඩින් පරණ නම් දොරවල් සීල් වෙන්නේ නෑ. එවිට කූල් එක කාන්දු වෙනවා. ශීතකරණය තුළ අවශ්‍ය කරන කූල් එක නැති නිසා එය එක දිගට ක්‍රියාත්මක වෙනවා. මේ වගේ තවත් හේතු තියෙන්න පුළුවන්. වඩා හොඳ කාර්මිකයකුු ලවා පරීක්ෂා කර ගැනීමයි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න