පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, February 11, 2018

බුල්ටෝ ගැන මිහිරි මතකය - Sweet Memory of Bulto Tof‍fees



දැනට වසර දෙකකට මඳ කාලයකට පෙර, නිවැරදිවම සඳහන් කළ හොත් 2016 අප්‍රේල් 7 වැනිදා  කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨ කලාගාරයේ සිබිල් වෙත්තසිංහයන්ගේ සිතුවම් ප්‍රදර්ශනයක් පැවැත්විණි. මෙයට අනුග්‍රහය දැක්වූ ආයතනයක් විසින් විවිධ රස කැවිලි පිරවූ බඳුන් කිහිපයක්  ගෙනැවිත් තිබිණි. මේ රස කැවිලි අතර බුල්ටෝ ද තිබිණි. කුඩා කාලයේ බුල්ටෝ කෑවාට පසු මා බුල්ටෝ රස විඳ තිබුණේ නැත. අනෙක මගේ දියණියවත් පුතාවත් කිසිදාක බුල්ටෝ රස විඳ නැති බව ද මම හොඳාකාරවම දැන සිටියෙමි. මන්ද අප පළාතේ කිසිදු තැනක බුල්ටෝ විකුණන්නට තබා තිබෙනු මා දැක නැති නිසා ය. මේ නිසා පවුලේ සියලු දෙනාටම රස විඳීමේ අදහසින් බුල්ටෝ කිහිපයක් මිලට ගැනීමේ අදහසින් ඒවායේ මිල ගණන් විමසූ විට දැනගන්නට ලැබුණේ ඒවා එම ආයතනය විසින් රැගෙන විත් තිබුණේ විකුණන්නට නොව එතැනට එන කුඩා දරුවන්ට නොමිලේ දීමට බව ය. මේ නිසා මම දුවටත් පුතාටත් පමණක් බුල්ටෝ දෙකක් ඉල්ලා ගතිමි.
 
අපේ ගමේ ‘යාය කඩේ’ නමින් කඩයක් තිබිණි. මා දැන් වාසය කරන්නේ ගමේ නොවුනත් යාය කඩේ වසා ඇති බව ගූගල් සිතියමේ ‘ස්ට්‍රීට් වීව්’ එකෙන් දුටුවෙමි. අප බුල්ටෝ කෑවේ යාය කඩයෙනි. ඒවා තෙල් කඩදාසිවල දවටා වීදුරු බෝතලවල තිබෙනු දකින එකල අපගේ  කටට කෙළ ඉනුවේ ඒ රසයට කැමැති නිසාය. කෙසේ නමුත් පසුකාලීනව විවිධ පැහැයෙන්, හැඩයෙන් යුතු ටොෆී වර්ග බොහොමයක් වෙළඳපළට පැමිණි නිසා බුල්ටෝ කෙමෙන් කෙමෙන් අපෙන් ඈත් විය. අද පරම්පරාවේ බොහෝ දෙනෙක් බුල්ටෝ ගැන දන්නේ නැති තරම් ය. 

අප කුඩා කාලයේ තිබුණේ ‘ගුණසිරි’ බුල්ටෝ ය. ඒ කාලයේ ඒ පිළිබඳ වෙළෙඳ දැන්වීම් පවා තිබිණි. මේවා ප්‍රමාණ දෙකකින් තිබුණු අතර ප්‍රමාණයෙන් ලොකු බුල්ටෝ අප ගම් පළාතේ හඳුන්වන ලද්දේ ‘අලි බුල්ටෝ’ නමිනි. මට මතක අන්දමට කුඩා ප්‍රමාණයේ බුල්ටෝ එකක් ශත 10ක් වූ අතර අලි බුල්ටෝ එකක් ශත 25ක් විය. ඉන් පසු මේවායේ මිල වැඩි වූ නමුත් මට මතක මේ මිල ගණන් දෙක පමණි. 

බුල්ටෝ සාදන්නේ කෙසේදැයි මා දැනගත්තේ අහම්බෙනි. මා ඒ දැන ගත් ක්‍රමය නිවැරදි බව දැන ගත්තේ බොහෝ කාලයකට පසුව බුල්ටෝ සෑදීමේ ක්‍රමය අන්තර්ජාලයෙන් දුටු විටය. පොල් වතුර රත් කළ විට සිදුවන්නේ කුමක්දැයි සොයා බැලීමට දිනක් සිතුණු බැවින් එසේ සිදු කොට බැලීමි. පොල් වතුර භාජනයක දමා ලිපට අල්ලා ගෙන සිටිද්දී මද වේලාවකින් පොල් වතුර උණු වී කලු පැහැයකට හැරිණි. එයින් කර වූ සුවඳක් සමග බුල්ටෝ සුවඳක් ද වහනය වූයෙන් මදක් දිව ගා බැලීමී. එයින් දැනුණේ බුල්ටෝ රසයකි. බුල්ටෝ සාදන්නේ පොල් වතුර උණු කිරීමෙන් යැයි මම සිතුවෙමි. එය නිවැරදි බව දැනගත්තේ ඉතාමත් මෑතකදී බුල්ටෝ සාදන ද්‍රව්‍ය වට්ටෝරුවේ පොල් වතුර ද අඩංගු වූ බව දැකීමෙනි.

බුල්ටෝ යන්න සිංහල වදනක් නොවන බව දැනෙන මුත් කුමන බසකින් ලැබුණේ දැයි සිතාගන්නට තරම් මගේ භාෂා දැනුම ප්‍රමාණවත් නැත. Bulto යනුවෙන් ස්පාඤ්ඤ වදනක් නම් තිබේ. නමුත් එහි එක් අර්ථයකවත් රස කැවිල්ලක් ගැන කියවෙන්නේ නැත. මේ නිසා බුල්ටෝ කුමන රටක වචනයක් දැයි දන්නේ නැත. 

කුමන රටක වුවත් බුල්ටෝ රස විඳ ඇති අය එහි රසය දනිති. අද ද ඇතැම් පලාත්වල මෙන්ම සුපිරි වෙළෙඳ සල්වල ද බුල්ටෝ ඇති මුත් අප පළාත වන වෙන්නප්පුව පැත්තේ තවමත් බුල්ටෝ විකුණන්නට තිබෙනු දැක නැත. කෙසේ නමුත් බුල්ටෝ ගැන මෙසේ මිහිරි මතකයක් එක් කරන්නට සිතුණේ බුල්ටෝ රසය ගැන හදිසියේ මතක් වීම නිසාමය.