පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, July 30, 2016

ෂර්ලොක් හොම්ස් අලුතින් ලියැවෙයි




ෂර්ලොක් හොම්ස් අලුතින් ලියැවෙයි’ යනුවෙන් සඳහන් කිරීමෙන්ම බොහෝ දෙනෙක් තුළ බොහෝ අදහස් පහළ වන්නට හේතුවක් වනවාට සැකයක නැත. එයට හේතුව එම කතා නැවත ලියා අප රටේ පාඨක සහෘදයාට පිළිගැන්වීමේ අර්ථයක් නැතැයි බොහෝ දෙනෙකුට සිතිය හැකි නිසාය. සර් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත ෂර්ලොක් හොම්ස් නවකතා හතර මෙන්ම කෙටි කතා 56 ද මේ වන විට සිංහලයට පරිවර්තනය කෙරී හමාරය. එහි මුල් කතාවලට අමතරව අප රටේම නිර්මාණය වුණු ෂර්ලොක් හොම්ස් කතා පවා මේ වන විට ඔබ කියවා තිබෙන්නට පුළුවන. එවැනි තත්වයක් තුළ මේ කතා නැවත ලිවීමේ අරුත පිළිබඳ යමෙක් ප්‍රශ්න කරනු ඇත. 


සැබැවින්ම මේ සඳහා ආරාධනා කරමින් ගුණසේන සමාගම පවසන ලද්දේ සාක්කුවේ දමාගෙන යා හැකි තරමට කුඩා ප්‍රමාණයෙන්, සංක්ෂිප්ත කොට, අඩු මිලකට අළෙවි කළ හැකි පරිදි මෙම කතා නැවත ලියන ලෙසය. මෙහිදී එක් කෙටි කතාවක් වෙනුවෙන් එක් පොතක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ. විනාඩි කිහිපයක් ඇතුළත එක් රහස් පරීක්ෂණ කතාවක් කියා අවසන් කළ හැකි බැවින් ‛පොතක් කියවනවා’ යන්න පවසද්දී මුහුණ ඇඹුල් වන අයට මෙය හොඳ පණිවිඩයක් වනු ඇතැයි මට සිතේ. පොතෙහි පිටු ගණන උඵරිම වශයෙන් පිටු 30කට පමණ සීමා කෙරේ. සාමාන්‍ය කමිස සාක්කුවක දමාගෙන යා හැකි ප්‍රමාණයට පොතක් සකස්කොට තිබේ. 

මුල් නිර්මාණයෙහ් ඇති ගුප්ත රසය, පුද්ගලයන්, සුවිශේෂී සිදුවීම් ආදී සියලු දේ තබාගනිමින් අතේ ගෙන යා හැකි ප්‍රමාණයෙන්, සංක්ෂිප්තව පර්වර්තනයක් කිරීම අන් අයට කෙසේ වෙතත් මට නම් දුෂ්කර කටයුත්තකි. මේ දුෂ්කර බව නිසාම 2016 සැප්තැම්බරයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මෙම කෙටි කතා 56 ඉදිරිපත් කරන්නට මට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ වෙනුවට ඉදිරිපත් කරන්නට හැකි වන්නේ පොත් 20ක් පමණි. මේ වසර අවසානයට ළඟාවද්දී ඉතිරි පොත් සියල්ල ඉදිරිපත් කිරීම අරමුණ වේ. 






ගුණසේන සමාගම මෙහි දැනට ප්‍රකාශයට පත්ව ඇති පොත් 5 ද ඇතුළුව තවත් පොත් රැසක් 2016 අගෝස්තු 5 වැනි සිකුරාදා දොරට වැඩීමට නියමිත්ය. කොළඹ අලුත්කඩේ උසාවියට සමීප පැරණි ‛දවස’ ගොඩනැගිල්ලේ පිහිටි ඇම්.ඩී. ගුණසේන ශ්‍රවණාගාරයේ දී එදින සවස 3.00 ට පැවැත්වෙන මෙම උත්සවයට මෙම බ්ලොගය කියවන්නට පැමිණෙන, පොතට පතට ලැදි සහෘදයන්ට මෙසේ විවෘතව ආරාධනා කරනු කැමැත්තමෙි. අලුතින්, කෙටියෙන් ලියැවුණු ෂර්ලොක් හොම්ස් කියවා බලා මෙම අවස්ථාවට පැමිණෙන ඔබගේ අදහස් දැනගැනීමට ද කැමැත්තෙමි. 

                    සියලු පාඨක සහෘදයෝ පැමිණෙත්වා! 

Tuesday, July 26, 2016

දුරකතනයේ අංක නාමාවලිය නැති වුණොත්? - If you lost your contacts?




විවිධ අවස්ථාවලදී අපට ලැබෙන දුරකතන අංක අපගේ ජංගම දුරකතනයේ ගබඩා කොට තැබීම අප සියලු දෙනාගේම වාගේ  පුරුද්දක්. නමුත් කලකට පෙර, විශේෂයෙන් අප රටේ ජංගම දුරකතන ප්‍රචලිත වන්නට පෙර සෑම කෙනෙක්ම සිදු කළේ අත්‍යවශ්‍ය දුරකතන අංක දුරකතන අංක නාමාවලියක’ (Telephone Index) ලියා තැබීමයි. එවැනි නාමාවලි වෙළෙඳ පොලෙන් ඉතා පහසුවෙන් ලබාගන්නටත් පුළුවන්. ජංගම දුරකතන කෙතරම් ප්‍රචලිත වුව ද අද ද ඒවා ඕනෑ තරම් දකින්නට ලැබෙනවා. නූතන ජංගම දුරකතනවල සීමාවක් රහිතව දුරකතන අංක ගබඩා කොට තැබීමේ පහසුව තිබීමත්, අවශ්‍ය දුරකතන අංකයක් සෙවීමේදී අදාල පුද්ගල නාමයේ මුල් අකුරු කිහිපය අකුරු කිරීමෙන් පමණක් ක්ෂණිකව එම අංකය අපට ලබාදීමටත් ඇති  හැකියාව නිසාත් බොහෝ දෙනෙක් මේ වන විට දුරකතන අංක නාමාවලි සහමුළින්ම අමතක කොට දමා ජංගම දුරකතනවලම ඒවා ගබඩා කොට තබන්නට පුරුදුව සිටිනවා.  කෙසේ නමුත් මෙහි ඇත්තේ අප නොසිතන ආකාරයේ අවදානමක්. මෙම අවදානම ගැන කිව හැක්කේ එවැනි තත්වයකට මුහුණ දුන් අයකු පමණයි. එක් උදාහරණයක් මෙසේ සඳහන් කළ හැකියි. 

නිමල් (අනවර්ත නමක්) සිය මිතුරන් පිරිසක් සමඟ එක්ව විනෝද චාරිකාවක් සංවිධානය කළා. දින තුනක විනෝද චාරිකාවක් වූ මෙහිදී අප රටේ බොහෝ ස්ථාන දැකබලා ගැනීම ඔවුන්ගේ අරමුණ වුණා.. මෙහිදී ගමන් කළ යුතු ස්ථාන, නවාතැන් ගන්නා ස්ථාන, ආහාර පාන ලබාගන්නා ස්ථාන, යම් යම් ප්‍රදේශවලදී උදව් ලබාගත යුතු පුද්ගලයන් ආදී සියලු දේ සම්බන්ධ කොට ගැනීම සඳහා අවශ්‍ය දුරකතන අංක සියල්ල ඔහු ගබඩා කොට ගත්තේ සිය ජංගමද දුරකතනයේයි. කලකට පෙර බොහෝ දෙනෙක් සිය සිම් කඩේ පතේ දුරකතන අංක ගබඩා කොට ගත්ත ද වර්තමානයේ සියලු දෙනා අතරම පාහේ ජනප්‍රිය ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනවල මේවා ගබඩා කොට තබන්නේ ජංගම දුරකතනයේමයි. එම දුරකතන නිෂ්පාදනය කොට ඇත්තේ සිම් කඩේ පතෙහි නොව දුරකතනය තුළ දුරකතන අංක ගබඩා කළ හැකි අන්දමටයි. එබැවින් නිමල්ට ද මෙම ක්‍රමය හැර අනුගමනය කළ හැකි වෙනත් ක්‍රමයක් තිබුණේ නැහැ. ඔවුන් විනෝද චාරිකිව පිටත් වූ අතර යන අතර මග බෝපත් ඇල්ලට නැරඹමට ද ගියා. බෝපත් ඇල්ල නරඹමින් සිටින අතරේ නිමල්ගේ ජංගම දුරකතනය හදිසියේම වාගේ අතින් ගිලිහී ජලයට වැටුණා. එතැන තරමක් ගැඹුරු තැනක් වූ අතර දුරකතනය සොයා ගන්නට විනාඩි කිහිපයක් ගත වුණා. දුරකතනය ජලයෙන් පිටතට ගන්නා විට එය තුළට ජලය ගොස් තිබුණු අතර නිමල් වහා එහි බැටරිය ගළවා දුරකතනය ක්‍රියා විරහිත කළා. ප්‍රශ්න ඇතිවන්නට පටන් ගත්තේ එයින් පසුවයි. තෙමුණු ජංගම දුරකතනයක් ක්ෂණිකය යථා තත්වයට පත් කරන්නට හැකියාවක් නැහැ. එවැනි අත්දැකීමකට මුහුණ දුන් ඕනෑම කෙනෙක් ඒ බව දන්නවා.  සියල්ලටම පෙර එහි ගැළවිය හැකි  සියලු කොටස් ගළවා වියැළෙන්නට හැරිය යුතුයි. එය ජලයට පතිත වන විට ක්‍රියාකරී තත්වයේ පැවති නිසා ජලය සමඟ විද්‍යුතය ක්‍රියා කොට එය තුළ ඇති ඇතැම් පරිපථ අක්‍රියාකාරී වන්නටත් ඉඩ තිබෙනවා.  ඒ සියල්ල සීරුවෙන් පරීක්ෂා කළ යුතුයි. මේ සඳහා සැළකිය යුතු කාලයත් ගත වෙනවා. බොහෝ විට අවම වශයෙන් දිනකට වඩා ගත වෙනවා. නමුත් විනෝද චාරිකාවක සිටින ඔවුනට ජංගම දුරකතනයක් වෙනුවෙන් ඒ තරම් කාලයක් ගත කරන්නට හැකියාවක් නැහැ. කෙසේ වුවත් අවසානයේ නිමල් සිදු කළේ තමාගේ මතකයේ ඇති ජංගම දුරකතන ඔස්සේ සිය හිතවතුන්ට ඇමතුම් ගනිමින් තමන්ට අවශ්‍ය පුද්ගලයන්ගේ දුරකතන අංක ලබාගැනීමයි. මේ සඳහා සැළකිය යුතු කාලයක් ගතවුණු අතර විනෝද චාරිකාව සිතූ පරිදි නිමකරගන්නට ද හැකියාවක් ලැබුණේ නැහැ.  හේතුව වූයේ ඇතැම් ස්ථාන  කරා යන්නට යම් යම් පුද්ගලයන්ගේ උදව් ලබාගත යුතු විය යුතු වීමත්, ඔවුන්ගේ දුරකකන අංක ලබාගත නොහැකි වීමත් නිසයි. 

මේ ගැටලුවට මුහුණ දුන්නේ සහ අනාතයේදී මුහුණ දෙන්නේ නිමල් පමණක් නොවෙයි. මේ සියල්ලට මුල අප සහමුළින්ම ජංගම දුරකතනය පමණක් විශ්වාස කිරීමයි. තාක්ෂණික මෙවලම් අපගේ ජීවිත වඩාත් පහසු කරවනවා මෙන්ම ඒවා හදිසියේ අඩපණ වී නිසා අපගේ ජීවිත ද අඩපණ වෙනවා. කෙසේ නමුත් අප කලකට පෙර පුරුදුව සිටියා සේ අපට අවශ්‍ය සියලු දුරකන අංක දුරකතක අංක නාමාවලියක සටහන් කොට ගන්නා පුරුද්දක් අද ද තිබුණේ නම් නිමල් මේ තරමට දුෂ්කර තත්වයකට පත් නොවන්නට බොහෝ විට ඉඩ තිබුණා. 

අපට මෙම සිදුවීමෙන් පාඩම් කිහිපයක් මෙන්ම වැදගත් කරුණු කිහිපයකුත් ද ඉස්මතු කරගන්නට පුළුවන්. එකක් නම් මෙවැනි විනෝද චාරිකාවක් වැනි අවස්ථාවකදී අපට අවශ්‍ය වන දුරකතන අංක ජංගම දුරකතනයේ පමණක් නොව දුරකතන අංක නාමාවලියක හෝ අඩුම තරමේ කඩදාසියක හෝ සටහන් කොට රැගෙන යාමයි. එවිට යම් විදියකින් ජංගම දුරකතනය ආපදාවකට ලක්වූවත් ගැටලුවකින් තොරව අවශ්‍ය පුද්ගලයන් සම්බන්ධ කොට ගත හැකි නිසයි. 

තවත් කරුණක් වන්නේ මෙවැනි ආපදා තත්වයකට පත්වූ පසු ජංගම දුරකතනයේ අංක ආපසු ලබාගත හැකි ද යන්නයි. ජංගම දුරකතනයකට ජලය ගිය අවස්ථාවක එය වහා ක්‍රියාවිරහිත කොට දුරකතන අලුත්වැඩියා කරන ස්ථානයකට භාර දුන්නේ නම් බොහෝ විට එය යථා තත්වයට පත් කරගැනීමේ හැකියාවක් තිබෙනවා. මිනිත්තු කිහිපයකට වැඩි කාලයක් පුරා වුව ජලය ගිය දුරකතන යථා තත්වයට පත්කරගත් අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. එබැවින් ඒ පිළිබඳව දැඩි බියක් ඇතිකර ගත යුතු නැහැ. නමුත් ජලයට වැටෙන සියලු දුරකන යථා තත්වයට පත්කර ගත හැකිය කියා මෙයින් කියැවෙන්නේ ද නැහැ. ඇතැමුන් තෙමුණු දුරකතනය නැවත ක්‍රියාත්මක කරන්නට උත්සාහ ගන්නා අවස්ථා දැකිය හැකියි. එවිට අනිවාර්යයෙන්ම දුරකතනය සාදාකාලකවම නිහඬ වන්නටත් ඉඩ තිබෙනවා.  වෙනත් ආකාරයේ ආපදාවක්, එනම් ඉහළක සිට බිම පතිත වීම වැනි දෙයක් නිසා ද ජංගම දුරකතනයක් ආපදාවකට ලක්විය හැකියි. එවැනි අවස්ථාවලදී ද ජංගම දුරකතනයේ ඇති සියලු දුරකතන අංක සදාකාලිකවම අහිමි වන්නට ඉඩ තිබෙනවා. මෙවැනි දේ සිදුවන්නට ඇති ඉඩ බහුල බැවින් ජංගම දුරකතන භාවිත කරන පුද්ගලයන් සිය දුරකතන අංක ආරක්ෂා කරගත හැකි ක්‍රමයක් අනුගමනය කළ යුතු අතර ජංගම  දුරකතනයක් ඕනෑම මොහොතක ආපදාවකට  ලක්විය හැකි බැවින් එම ආරක්ෂණ ක්‍රමය නිතර අනුගමනය කිරීම ද කළ යුතුයි. 


වර්තමානයේ වැඩි දෙනෙක් අත පවතින ඇන්ඩ්‍රොයිඩ්, මයික්‍රොසොෆ්ට් සහ ඇපල් ස්මාර්ට් දුරකතනවල දුරකතන නාමාවලිය වෙනත් තැනකට පිටපත් කොට ආරක්ෂා කරගත හැකි ක්‍රම බොහෝ තිබෙනවා. ගූගල් ප්ලේ (Google Play) වෙබ් අඩවියට ගොස් contact backup ලෙස සෙවීමක් කළ හොත් මෙහි පින්තූරයේ පෙන්නුම් කරන ආකාරයට මෙන් බොහෝ යෙදුම් දකින්නට පුළුවන්.  නමුත් ඇතැමුන් මේ බව දන්නේ නැහැ. ඒ වගේම, දැන සිටිය ද ඒ පිළිබඳ උනන්දුවක් දක්වන්නේ නැහැ. මේ සඳහා දුරකතනයට බාගත (Download) කරගත හැකි යෙදුම් ගණනාවක්ම ඇති අතර ඒවායින් ඔබගේ දුරකතන නාමාවලියේ පිටපතක් ගෙන වෙනත් ආරක්ෂිත ස්ථානයක තැන්පත් කොට තිබිය හැකියි. මෙම යෙදුම්වලට අමතරව ඇන්ඩ්‍රොයිඩ් දුරකතන හිමියන් සඳහා My Phone explorer නම් ඉතා ජනප්‍රිය යෙදුමක් පවතින අතර අතර එය මගින් පරිණකයට දුරකතනය සම්බන්ධ කොට දුරකතන නාමාවලිය පමණක් නොව පණිවිඩ, ලැබුණු ඇමතුම් තොරතුරු ආදියස පහසුවෙන් පිටපත් කොට තැබිය හැකියි. බොහෝ දෙනෙක් සිය ජංගම දුරකතන නාමාවලිය පිටපත් කරගැනීම සඳහා මෙය භාවිත කරනවා. 

Myphone Explorer


දුරකතන අංක නාමාවලිය සුරක්ෂිත කරගැනීම සඳහා අනුගමනය කළ හැකි තවත් සාර්ථක ක්‍රමයක් වන්නේ ගූගල් ගිණුමක් සාදා ගැනීමයි. ඇන්ඩ්‍රොයිඩ් දුරකතන හිමි සියලු දෙනාටම විවිධ යෙදුම් බාගත කරගැනීම සඳහා ගූගල් ගිණුමක් අවශ්‍යම වේ. මේ නිසා ඇන්ඩ්‍රොයිඩ් දුරකතන හිමි විවිධ යෙදුම් බාගත කරන්නන්ට ගූගල් ගිණුමක් තිබෙනව.ෙ මෙසේ ගූගල් ගිණුමක් ඇති සෑම දුරකතනයකම ඇති දුරකතන නාමාවලිය ස්වයංක්‍රීයව ගූගල් ගිණුමේ දුරකතන නාමාවලියට පිටපත් වන බව ඇතැම් විට ඔබ නොදන්නවා විය හැකියි. ඔබටත් ගූගල් ගිණුමක් සහ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනවක් ඇත්නම් එයට සම්බන්ධ වී ඔබගේ දුරකතනයේ දුරකතන නාමාවලිය එයට පිටපත් වී ඇත්දැයි පිරික්සා බැලිය හැකියි. 



ඇන්ඩ්‍රොයිඩ් දුරකතනවලට අමතරව ඇපල් දුරකතන සඳහා ඇප් ස්ටෝර්  (App Store) අඩවියෙන් ද, මයික්‍රොසාෆ්ට් වින්ඩෝස්  දුරකතන සඳහා මයික්‍රොසාෆ්ට්  ස්ටෝර් (Microsoft store) අඩවියෙන් ද බාගත හැකි යෙදුම් ගණනාවක්ම තිබෙනවා. 

කෙසේ නමුත් විශේෂයෙන් මතක තබා ගත යුතු දෙය වන්නේ දුරකතනයක් කොයි මොහෙතක හෝ මෙවැනි ආපදාවකට ලක්වේදැයි නොදන්නා බැවින් පුරුද්දක් වශයෙන් සතියකට වරක්වක් දුරකතන නාමාවලියේ පිටපතක් ගෙන වඩාත් සුරකෂිත ස්ථානයක තැන්පත් කොට තැබීමයි. එවිට දුරකතන නාමාවලිය නැති වේ යැයි බයක් ඇති කරගන්නට අවශ්‍ය නැහැ.

Wednesday, July 20, 2016

අයිසිස් ත්‍රස්ත ග්‍රහණයෙන් ජීවිතය ගළවා ගත් නාදියාගේ කතාව - A Yezidi Woman Who Escaped ISIS Slavery


අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ලිංගික වහළියක ලෙස දස වද විඳි කාන්තාවක ඔවුන්ගෙන් පළා විත් සිය ජීවිතය ගළවාගන්නට සමත් වූ පුවත ලෝකය පුරාම කතාබහට ලක්විය. ඇය හමුවූ ලෝක ප්‍රකට ටයිම් සඟරාවේ ලේඛිකාවක වන චාර්ලට් ඇල්ටර් ඇය පිළිබඳව ටයිම් සඟරාවෙන් මෙසේ පවසයි. 

විසි එක් හැවිරිදි නාදියා මුරාද් බාසී ටහා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ආරක්ෂ මණ්ඩලය ඉදිරියේ සාක්ෂි දෙමින් පවසා සිටියේ උතුරු ඉරාකයේ වෙසෙන තමා ද අයත්වන යෙසිදි ජනවර්ගය අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ වද හිංසාවන්ට නිතර ලක්වන බවය. 230,000ක් පමණ ජනගහනයක් වෙසෙන යෙසිදි ජනවර්ගය අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ඉළක්කයක් බවට පත්වන්නට හේතු වූයේ ඔවුන් කිසිවකු ඉස්ලාම් ආගම අදහන්නේ නැති බැවින් ඔවුන් ‛කෆීර්’ හෙවත් ‛විශ්වාස නොකරන්නන්’ බවට පත්ව ඇති බැවිනි. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට අවශ්‍ය මෙම ජනවර්ගය සමුල ඝාතනය කිරීමය.  2014 වසරේදී  යෙසිදි කාන්තාවන් 5,200ක් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන යනු ලැබිණි. එයින් 3,400ක් පමණ තවමත් ඔවුන්ගේ ග්‍රහණයේ පසුවන්නේ යැයි විශ්වාස කෙරේ. මෙම ජන වර්ගයට අයත් ප්‍රජා නායකයන් පවසන්නේ මෙසේ සිරගතව සිටින බහුතරයක් කාන්තාවන් වන අතර පිරිමින් සටන් කරන්නට යොදාගනු ලබන බවත් එය ප්‍රතික්ෂේප කරන්නන්ට මරණ දඬුවම ලැබෙන බවත්ය.  මේ ආකාරයට දහස් ගණනක් ඝාතනයට ලක්ව තිබේ. යෙසිදිවරුන් ලක්ෂ හතරකට වැඩි සංඛ්‍යාවකට සිය නිවෙස් අතහැර යන ලෙස අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් බලකරනු ලැබ ඇත. 

ඉස්ලාම් දහමේ ඉගැන්වන පරිදි  වහළියන් ලෙස මුස්ලිම් නොවන කාන්තාවන් තබාගැනීම නිතරම පාහේ සිදුවන්නකි. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් විශ්වාස කරන්නේ එක් කාන්තවක මුස්ලිමුන් 10 දෙනෙක් අතින්  දූෂණය වූ විට ඇය ඉබේම මුස්ලිම් කාන්තාවක බවට පත්වන බවය. ඉස්ලාම් ආගමේ දැක්වෙන පරිදි එවැනි කාන්තාවන් මිලට ගැනීම, අළෙවිය සටන්කරුවන් අතර හුවමාරු කරගැනීම සිදු කළ හැකි වේ. 

නිව්යෝර්ක් නුවර සිටින නාදියා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටිනුයේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතුව පවතින යෙසිදි ජන වර්ග ඔවුන්ගෙන් ගළවා ගන්නා ලෙසය. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මිදී පළා ආ කාන්තාවන්ට සරණ වීමේ සඳහා ඇමරිකා එක්සත් ජනපදය තුළ පිහිටුවා ගත් ලාබ නොලන ආයතනයක් වන ‛යසාදා’ හි සහායෙන් ඇය සිය කතාව ලෝකය හමුවේ තබන්නීය. 

නාදියා සිය මව, සොහොයුරන් සහ සොයුරියන් සමඟ ජීවත් වූයේ උතුරු ඉරාකයට සමීප කොචා නගරයේය. ඒ 2014 පසුගිය ජූලි මාසයේය. ඇය සිසුවියක වූ අතර ඇයගේ ජනප්‍රියතම විෂයය වූයේ ඉතිහාසයය. ඇයට අවශ්‍ය කළේ ගුරුවරියක වීමටය. “මම ගත කළේ සාමකාමී ළමා කාලයක්. මම අයි.එස්.අයි.එස්. එක ගැනවත්, ඔවුන් කරන්න යන්නේ මොනවාද කියාවත් දැන සිටියේ නැහැ.” නාදියා පවසන්නීය. 

නමුත් වැඩි දිනක් යන්නට පෙර රූපවාහිනියෙන් ඇය අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ තරම දුටුවාය. 2014  අගෝස්තු මාසයේ එක් දිනක ඇය සිය සොයුරිය සමඟ යමින් සිටියදී ඇය ඉදිරියේ යම් පිරිසක් සිටිනු ඇය දුටුවාය. ඔවුන් රූපවාහිනියෙන් තමා දුටු අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ පෙනුමට සෑම අතින්ම සමාන බැව් ඇයට දැනුණි. ඔවුන් වැඩි කලක් නොගොස් තමා කරා පැමිණෙන බැව් ඇය මොහොතකට හෝ සිතුවේ නැත. 

2014 අගොස්තු 15 වැනිදා අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් පැවසූයේ නගරයේ කෙළවරේ ඇති පාසලකට සියලු දෙනාටම යන ලෙසය. එය දිවා ආහාර වේලාව විය. පාසල කරා ගමන් කරන අතරේ අතර මග සෑම අතම අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සිටිනු ඇය දුටුවාය. ඇතැමුන් මුහුණ වසාගෙන සිටි අතර ඇතැමුන් එසේ සිටියේ නැත. ඔවුහු එකිනෙකට වෙනස් භාෂාවන් කතා කළහ. 

අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීහු පැමිණ කාන්තාවන් හා පිරිමින්ව වෙන් කළහ. නාදියා සමග තවත් කන්තාවන් පිරිසක් එම ගොඩනැගිල්ලේ දෙවැනි මහළට රැගෙන යනු ලැබිණි. පසුව අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීහු පැයක් ඇතුළත නාදියාගේ සොයුරන් ඇතුළුව පිරිමි 312 දෙනෙක් ඝාතනය කළහ. නාදියා මේ සියලල්  සිය දෑසින්ම දුටුවාය. ලිංගික වහළියන් ලෙස අළෙවි කරන්නට නොහැකි තරම් වයසක සිටි මහළු කාන්තාවන් ද ඔවුහු මෙසේ ඝාතනය කළහ. 

නාදියා වැනි තරුණියන් ඝාතනයට ලක් නොවූ අතර ඔවුන්ව මොසුල් නගරයට රැගෙන යනු ලැබිණි. ඔවුහු අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ අතවරවලට ලක්වන්නට පෙර එහි දින තුනක් ගත කළහ. “අපව එහිදී  අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට දුන්නා.” නාදියා පැවසූවාය. ඇය තමා කෙරෙහි ඇති අාකර්ෂණීය බව නැති කරගැනීම සඳහා කොණ්ඩය ද කපා දැමුවාය. එසේ කිරීමෙන් ඔවුන්ගෙන් ගැළවී යා හැකැයි ඇය සිතුවාය. තවත් අය සිය මුහුණට බැටරි ඇසිඩ් වත්කර ගත්හ. නමුත් මේ කිසිවක් සාර්ථක වූ බවක් පෙනුනේ නැත. 

පැහැර ගැනීමට ලක්වූ නාදියාගේ සොයුරිය එක් කාන්තාවක් සිය මැණික්කටුව අසළින් අත කපා ගන්නා ආකාරය දැක තිබුණු බව නාදියා පැවසූවාය. ඇතැම් කාන්තාවෝ පාළම්වලින් පැන සිය ජීවිතය නසා ගත්හ. ඔවුන් සිටි ගොඩනැගිලේ සෑම තැනම තිබුණේ ලේ පැල්ලම්ය. කාන්තාවන් දෙදෙනෙකු එතැනදීම සිය දිවි නසාගත් ගත්හ. 

නාදියා කිසි විටෙක සිය ජීවිතය නසාගන්නට සිතුවේ නැත. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් ඇයට එසේ කරනු ඇතැයි ඇය සිතුවාය. මොසුල්වලදී සෑම කාන්තාවක්ම උදෑසන ඇඟ සේදිය යුතු විය. පසුව ඔවුන්ව ෂාරියා අධිකරණයකට රැගෙන ගොස් ඡායාරූප ගත කරන බව නාදියා පැවසූවාය. පසුව ඔවුන්ගේ ඡායාරූප අධිකරණයේ බිත්තියේ ප්‍රදර්ශණය කරනු ලබන අතර එයට යටින් එම කාන්තාවන් අයත් හමුදා නිලධාරියාගේ දුරකන අංකය ද සඳහන් කරනු ලබයි. එවිට අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට තමන් කැමැති කාන්තාව ඉල්ලා සිටින්නට හැකිය. 

මෙසේ කාලය ගත වෙද්දී නාදියාගේ වාරය ද පැමිණියේය. ඇය අනෙකුත් කාන්තාවන් සමග ඔවුන්ගේ කාමරයට වී බිම බලාගෙන සිටියාය. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදියකු පැමිණියේය. 

රෝසපාට හැට්ටය ඇඳල ඉන්න ගෑනි මට හොඳයි’ 

යනුවෙන් පැවසූ බව නාදියා පවසන්නීය. 

මම ඔළුව උස්සලා බලන කොට දැක්කේ යෝධ හැඩි දැඩි පිරිමියෙක්. මම යටිගිරියෙන් කෑ ගැහුවා.” 

දිගු කොණ්ඩයක් සහ රැවුළක් තිබූ ඔහු හැඩි දැඩි යෝධයෙක් බැව් නාදියා මෙනෙහි කරන්නීය. ඇය සිය ඥාති සොයුරියන් සමඟ එකිනෙකාගේ දෑත් අල්ලාගෙන  සිටියාය. ඔහුගෙන් ඇය ගළවා ගන්නට ඔවහු හැකි සෑම උත්සාහයක්ම කළහ. 

අප  එකිනෙකා අල්ලාගෙන සිට අතරේ  ඔවුන් අපට පොලුවලින් පහර දුන්නා. ඔහු මාව ඇදගෙන පහළ මාළයට ගියා. මේ විදිහට අරන් යන හැම දෙනාගේම නම් ඔවුන් එතැන ලියා ගන්නවා.” 

ඇය පවසයි. 

මේ යෝධ මිනිසා සමඟ පොර බදද්දී ඇය කුඩා සිරුරක් ඇති වෙනත් පුද්ගලයකු දුටුවාය. ඔහු ද අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදියකු වූ අතර ඔහු පැමිණ සිටියේ ද යෙසිදි කාන්තාවක් රැගෙන යාමටය. ඔහු සිරුරින් කුඩා අයකු වූ බැවින් ඔහු සමග යාමට කැමති වීම යම් සහනයක් වනු ඇතැයි නාදියාට සිතිණි. 

මම එකපාරටම ඔහුගේ කකුල් දෙක ළඟ වැටිලා කිව්වා, “මාව මේ යෝධයාගෙන් බේරගෙන ඔබ ළඟට ගන්න. මම ඔබ කියන ඕනෑම දෙයක් කරන්නම්කියලා. පස්සේ ඔහු මාව තෝරා ගත්තා.” 

නාදියා පවසයි. 

නාදියාගේ නව හිමිකරු උස් සිහින් සිරුරැත්තකු විය. විරූපී මුහුණක් තිබූ ඔහුගේ දත් මුවින් පිටතට පැමිණ තිබූ බැව් නාදිය පවසන්නීය. ඔහුගේ මුහුණේ පැවැතියේ සිනහවක් හෝ වේදනාවක්දැයි තමන් නොදැන සිටි බව ද ඇය පැවසූවාය. 

ඔහු නාදියාව ඔහුගේ පෞද්ගලික නවාතැනකට රැගෙන ගියේය. එය දොරවල් දෙකකින් යුක්ත කාමරයක් විය. ඔහු පිටතට යන සෑම අවස්ථාවකම එම දොරවල් දෙක අගුලු ලෑමට අමතක කළේ නැත. ඔහු දිනකට පස් වතාවක් යාඥා කළ බව නාදියා පවසන්නීය.  ඔහුට බිරිඳක් සහ සාරා නමින් දියණියක් ද සිටි මුත් නාදියා කිසි දිනෙක ඔවුන් හමු වී නැත. දිනක් ඔහු මොසුල් නගරයේ සිටි සිය දෙමාපියන් හමුවට ඇය රැගෙන ගියේය.  

ඔවුන් එදා මට ලස්සනට ඇඳ පැළඳගෙන ඉන්න කියලා බල කළා. හේතුවක් නොදන්නවා වුණත් මම එහෙම කළා. ඒ අඳුරු රාත්‍රියේ ඔහු ගැහැනියකට කළ හැකි සියලු දෙයම මට සිදු කළා.” 

ඇය සක්ෂි දෙමින් පවසා සිටියාය. 

එයින් පසුව මේ මිනිසාගෙන් ඇයට විඳින්නට සිදුවූ දූෂණ වද හිංසා නිමක් නොමැති විය. ඇය මේ සියල්ල ඉවසා දරා සිටින්නට නොහැකි තැන එතැනින් පළා යාමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත. 

එදා රෑ ඔහු මට හොඳටම පහර දුන්නා. මා නිරුවත් කරලා ඒ කාමරයට තවත් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් හය දෙනෙක් අරන් ආවා. මට සිහිසුන්වන තුරුම ඔවුන් මගේ සිරුරින් තෘප්තිමත් වුණා.” 

නාදියා එසේ පවසන්නීය. 

ඔවුන් කළ අපරාධය පිළිබඳ අංශු මාත්‍රයක තරම් හෝ පසුතැවීමක් වනු තමන් නොදුටු බව නාදියා පවසයි. ඒ සිටින්නේ තමාගේ බිරිඳදැයි අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ අසනු විට ඔවුන් පවසා තිබුණේ, 

මේ මගේ ගෑනි නෙවෙයි. මේ මගේ ලිංගික වහළියයි” 

යනුවෙනි. ඔවුන් එසේ කියා සිය සතුට පළකරනු වස් අහසට වෙඩි තැබූහ. 

ඇයව අල්ලා ගත් එක් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදියකුට සිය කාමරයේ දොර අගුළුලන්නට අමතක වූ අවස්ථාවක් බලා 2014 නොවැම්බර් මාසයේදි ඇය එතැනින් පළා යන්නට සමත් වූවාය. ඇයට සරණාගත කඳවුරක් කරා යාමට හැකියාව ලැබිණි. සරණාගතයන් ජර්මනියට රැගෙන යන වැඩසටහනකට ඇය තෝරා ගැනුණි. ඇය දැනට සිටිනුයේ ස්ටගාර්ට් නගරයේය. නමුත් එය ඇගේ නිවහන නොවේ. ඇගේ පවුලේ බොහෝ දෙනෙක් තවමත් අයි.එස්අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ වද කඳවුරුවල දුක් විඳින බැව් ඇය දනී. 

මම සියලු දෙනා දාලා ආවා. මගේ පවුලේ හැමෝම තවම ඔවුන්ගේ කඳවුරේ ඇත්තේ.” 

ඇය පවසන්නීය. 

ඇගේ පැතුම කෙදිනකක හෝ සිය පවුලේ පිරිස සමග යළි එක්වන්නට වුවත් ඒ සිහිනය සැබෑ වේදැයි කිසිවකුට හෝ අනාවැකි පැවසිය නොහැකිය. 




Tuesday, July 19, 2016

ඇන්ඩ්‍රොයිඩ් නවතම සංස්කරණය - නුගා (Android N - Nougat)



ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයන් කරළියට එන්නේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙලට බව අප කවුරුත් දන්නා දෙයක්. ඉංග්‍රීසි A සහ B සඳහා නම් නැති වුණත් එතැන් පටන් සියලු සංස්කරණයන් සඳහා නම් තිබෙනවා. ේවා විශේෂත්වය වන්නේ සියල්ලම රසකැවිලිවල නම්වලින් යුක්ත වීමයි. 

C - කප්කේක් - Cupcake (1.5)

D - ඩෝනට් - Donut (1.6)
 
E - එක්ලෙයාර් - Éclair (2.0 – 2.1)
F - ෆ්‍රයෝ - Froyo (2.2 – 2.2.3)
G - ජින්ජර්බ්‍රෙඩ් - Gingerbread (2.3 – 2.3.7)
H - හනිකොම්බ් - Honeycomb (3.0 – 3.2.6)
I - අයිස්ක්‍රීම් සැන්ඩ්විච් - Ice-cream Sandwich (4.0 – 4.0.4)
J - ජෙලිබීන් - Jellybean (4.1 – 4.3.1)
K - කිට්කැට් - Kitkat (4.4 – 4.4.4)
L - ලොලි පොප් - Lollipop (5.0 – 5.1.1)
M  - මාර්ෂ්මෙලෝ - Marshmallow (6.0 – 6.0.1)


ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ අලුත්මථ එසේත් නැත්නම් 7 වැනි සංස්කරණය ඉංග්‍රීසි හෝඩියේ N අක්ෂරයෙන් පටන් ගන්නා රසවත් කෑමක් වන නුගා’ (Nougat) ලෙස නම් කොට තිබෙනවා.  



මේ සංස්කරණයේදී අලුත් අංග බොහොමයක් ද එකතු වන බවයි දැනගන්නට ලැබෙන්නේ. ඔවුන් ඇලෝ’ (Allo) නමින් පණිවිඩ යැවීමේ යෙදුමක් ද ඩුවෝ’ (Duo) නමින් වීඩියෝ ඇමතුම් ගැනීමේ යෙදුමක් ද ඉදිරිපත් කරන්නට අදහස් කර තිබෙනවා. ගැලැක්සි නෝට් 6, ගැලැක්සි එස් 7 සහ ගැලැක්සි එක 7 එජ් යන දුරකතන සඳහා මෙහි යාවත්කාලීනයන් මුළින්ම ලබාගන්නට හැකිවනු ඇති බවයි දැනගන්නට ලැබී තිබෙන්නේ.  ඒ වගේම ගැලැක්සි 8 සහ ගැලැක්ස් 8 එජ් යන දුරකතන නුගා සංස්කරණය ඇතුළත් කොටම වෙළෙඳපලට නිකුත් කරන බව දැනගන්නට ලැබී තිබෙනවා. එමෙන්ම එල්.ජී. මෝටරෝලා, හුවාවේ, සෝනි සහ එච්.ටී.සී. යන දුරකතන සඳහා ද මෙම සංස්කරණය භාවිත කරන්නට සූදානමින් සිටින බව පැවසිය යුතුයි. මේ සියල්ල සඳහා ලබන වසරේ මුල් කාර්තුව වන තෙක් බලා සිටින්නට සිදු වෙනවා.

වැඩිදුර කියැවීම් - ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ කතාව


Sunday, July 17, 2016

බ්‍රිතාන්‍ය නව අගමැතිනිය මාරි යකඩියක් වෙයිද? - Wll New British Prime Minister become an iron Lady?


මහා බ්‍රිතාන්‍යය නව නායකත්වයක් යටත්ට පත් ව තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ වර්තමාන අගමැති තනතුරට පත්ව සිටින්නේ කාන්තාවක වීමය. අවසන් වරට මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරියක සිටියේ අදින් වසර විසි හයකට පෙරය. ඒ 1979 - 1990 අතර සමයේ මහා බ්‍රිතාන්‍යය පාලනය කළ. යකඩ ගැහැනියනමින් විරුදාවලි ලත් මාග්‍රට් තැචර්ය. ඉන් පසු නැවත අගමැතිවරියක මහා බ්‍රිතාන්‍යයට හිමි වන්නේ මේ 2016 වසරේදීය. ඒ  කෘතහස්ත දේශපාලඥවරියක වන තෙරේසා මාරි මේ’ (Theresa Mary May) ය. ඇය පත්වන්නේ ද හිටපු අග්‍රමාත්‍ය ඩේවිඩ් කැමරන්ගේ දේශපාලන පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයෙනි. බැංකු ක්ෂේත්‍රයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ තෙරේසා දේශාපාලනයට සම්බන්ධ වී විවිධ තනතුරුවලට පත් වූවාය. මහා බ්‍රිතාන්‍යයේ වැඩිම කාලයක් ස්වදේශ කටයුතු ලේකම්වරියක ලෙස සේවය කොට ඇත්තේ ද ඇය ය. මෙසේ වගකිව යුතු තනතුරු දරමින් කෙමෙන් අග්‍රාමාත්‍ය තනතුර දක්වා වූ දිගු ගමන දැන් සම්පූර්ණ වී තිබේ. මාග්‍රට් තැචර්ගෙන් අනතුරුව කොන්සර්වේටිව් පක්ෂයෙන් බිහිවුණු ප්‍රබලතම කාන්තාව ද තේරේසා මේ ය. 

1956 වසරේ ඔක්තෝබර් 1 වැනිදා සසෙක්ස් ප්‍රාන්තයේ ඊස්ට්බෝර්න් හි උපත ලද තෙරේසා සිය මව්පියන්ගේ එකම දරුවාය. ඇගේ පියා එංගලන්ත සභාවේ පූජකවරයෙකි. ඔක්ස්ෆර්ඩ්ෂයර් ප්‍රාථමික පාසලෙන් අධ්‍යාපනය ආරම්භ කළ තෙරේසා ඔක්ස්ෆර්ඩ් සරසවියේ භූගෝල විද්‍යාව පිළිබඳ දෙවැනි පංතියේ සාමාර්ථයක් සහිත ශාස්ත්‍රවේදී උපාධිධාරිනියකි. බැංකුකරුවකු වූ පිලිප් මේ සමග විවාහ වී වසර 36ක් ගතවී ඇති අතර ඔවුනට දරුවන් නොමැත. 
 
විවාහ වූ අලුත
 
වර්තමානයේදී සිය සැමියා සමග

තෙරේසා මේ මහ බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරිය බවට පත් වන්නේ මහජනයා විසින් ඡන්දය ලබාදෙන මැතිවරණයකින් නොවේ. කොන්සර්වේටිව් පක්ෂයේ කැබිනට් ඇමතිවරුන් අතර පවත්වනු ලැබූ ඡන්ද විමසීමක ප්‍රතිඵලයක් ලෙසය. යුරෝපීය සංගමයෙන් මහා බ්‍රිතාන්‍යය ඉවත් විය යුතුද නැද්ද යන්න සඳහා පැවැත්වූ ජනමත විචාරණයේදී බහුතරයක් පවසා සිටියේ ඉවත් විය යුතු බවය. හිටපු අගමැති ඩේවිඩ් කැමරන් පවසා සිටියේ යුරෝපීය සංගමයෙන් ඉවත්වන්නට වැඩි දෙනෙක කැමැති වුවහොත් තමා අග්‍රාමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වන බවය. අවසානයේ ජනමත විචාරණයෙන් ලැබුණේ් මහා බ්‍රිතාන්‍යය යුරෝපීය සංගමයෙන් ඉවත් විය යුතුය  යන ප්‍රතිඵලයය. නීත්‍යානුකූලව කොන්සර්වේටිව් පක්ෂයට මහා බ්‍රිතාන්‍යයේ බලයේ රැදී සිටීමට තව කාලය ඉතිරිව ඇති බැවින් හිටපු කැබිනට් මණ්ඩයේ ඇමැතිවරුන් අතර පැවැත්වූ ඡන්ද විමසීමකින් තෙරේසා මේ ජයග්‍රහණය කළාය. ඇය මහා බ්‍රිතාන්‍යයේ අග්‍රමාත්‍ය තනතුරට පත්වන්නේ එපරිද්දෙනි. 

කෙසේ වෙතත් මහා බ්‍රිතානයේ අගමැති තනතුරට තෙරේසා මේ පත්වීම ගැන පොදු ජනතාවගේ එතරම් සතුටක් නොමැති බැව් පෙනෙන්නට තිබේ. ඒ ඇය මුල් කාලයේ සිට දැක්වූ විවිධ අදහස් හේතු කොට කොගෙනය. 

ඇය යම් අයුරකින් අග්‍රමාත්‍ය තනතරට පත්වුවහොත් මහා බ්‍රිතාන්‍යයේ කාන්තාවන් අමාරුවේ වැටෙනතත්වයක් උද්ගත වන ඇතැමන්ගේ අදහස විය. එසේ වන්නට හේතුව වූයේ ඇය පෙර අවස්ථා කිහිපයකස්ම කාන්තා අයිතීන් කෙරෙහි යම් යම් විවේචනාත්මක අදහස් පළ කළ බැවිනි 


මහා බ්‍රිතාන්‍යය තුළ මුස්ලිම් අනත්වාදය හිස ඔසවමින් පවතින බව මෑතක සිය එරට ජනතාව පවසයි. මේ නිසාම එහ සිටින මුසුලිම් ජාතිකයන් පිළිබඳ බහුතර බ්‍රිතාන්‍ය වැසියන්ගේ පැහැදීමක් නැත. අනෙක යුරෝපයේ බොහෝ රටවලටද මුස්ලිම් අන්තවාදී තර්ජන දැඩිව පවතී. නමුත් තෙරේසා මේ පවසන්නේ මෙතෙක් කල් එරට පැවති එක නීතියක්යන සම්ප්‍රදාය අතහැර ෂාරියා නීතිය මහා බ්‍රිතාන්‍යය තුළ පිහිටුවීම පිළිබඳ සළකා බලන බවය. 

එරට සාංක්‍රමණික නීතිය සංශෝධනය කරන්නට ද ඇය අදහස් කොටගෙන සිටින අතර එයින් පහර වදින්නේ එරට විවිධ කටයුතු සඳහා ජීවත්වන විදෙස් පුද්ගලයන්ටය. විශේෂයෙන් යුරෝපීයයන් නොවන්නවුන්ට එය්න් දැඩි බලපෑමක් එල්ල විය හැකිය. ඇය පවසන්නේ විදසේ රටවලින් පැමිණ බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන පිරිස් නිසා එරටට අධික විදේශ විනිමයක් ලැබුණ ද ඔවුන් මහා බ්‍රිතාන්‍යයේම නතර වී රැකියාකරන්නට පටන් ගැනීම තම රටට විශාල බරක් බවය. 

විදේශිකයන් හා විවාහ වී සිටින බ්‍රිතාන්‍ය වැසියන්ට ද තෙරේසි මේ අනතුරු හඟවයි. ඇය පවසන්නේ යුරෝපීය නොවන පුද්ගලයෙක් සමග යම් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් විවාහ වී සිටින්නේ නම් එම විදෙස් සැමියාට හෝ බිරිඳට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා නොදෙන බවය. මෙය බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වුවත් ඇය එය ක්‍රියාත්මක කරන්නට සැරසනෙ බව පෙනෙන්නට තිබේ. එමෙන්ම බ්‍රිතාන්‍යයේ ජීවත්වන්නට කැමැත්ත පළ කරන විදේශිකයන්ට ද පුරවැසිභාවය ලබාගැනීම ඉදිරියේදී දුෂ්කර කටයුත්තක් වනු ඇත. මෙහිදී සිදුවන්නේ දහස් ගණන් බ්‍රිතාන්‍ය ජාතිකයන්ට එරටින් පිටව යන්නට සිදුවීමය. ඒ තෙරේසා මේ ගේ නීතය හමුවේ සිය පවුල් කඩා බිඳ දමා ගැනීමට ඔවුන්ට අවශ්‍ය නැති බැවිනි. 

තෙරේසා මේ ගේ අභිප්‍රාය වනවා ඇත්තේ මහා බ්‍රිතාන්‍යය තුළ තවත් මාග්‍රට් තැචර් කෙනෙකු බවට පත්වීම විය හැකිය. කෙසේ නමුත් මාග්‍රට් තැචර්ටට හිමි වූ තරම් ජනප්‍රසාදයක් තෙරේසා මේ ට හිමිව නැති බැව් පෙනෙන්නට තිබේ. දේශපාලන විචාරකයක් පවසන්නේ ඇය මාග්‍රට් තැචර් කෙනෙකු නොව ජර්මන් චාන්සල්ර් ඇන්ජෙලා මර්කෙල් කෙනෙක් බවට පත්වන්නට වැඩි හැකියාවක් ඇති බවය. කෙසේ නමුත් තෙරේසා තවම මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරිය වූවා පමණකි. සියල්ලටම තව කාලය තිබේ.