පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, July 5, 2016

මුලතිව්වල ඇති කන්නගී අම්මාන් දේවාලය ගැන දන්නවාද? - Kannaki Amman Kovil at Mullativu


ප්‍රධාන ජාතීන් වර්ග තුනක් වෙසෙන අප රටේ බොහෝ දෙනෙක් වන්දනා ගමන් බිමන් යද්දී ආගමික භේද නොසළකන බව පැහැදිලිවම පෙනෙන්නට ඇති දෙයකි. සිරිපා වන්දනාව, කතරගම දෙවොළ, හින්දු කෝවිල් ආදිය ආගම් භේදයකින් තොරව වන්දනා මාන කොට දෙවිවරුන්ගේ ආශීර්වාද ලබා ගන්නා ආකාරය කොතෙකුත් දැකිය හැකිය. දකුණේ ජනතාව උතුරට ද උතුරේ ජනතාව දකුණට ද මෙසේ වන්දනාමාන සඳහා පැමිණෙති. දශක තුනක පමණ කාලයක් තිස්සේ අප රට පැවැති යුද්ධය හේතු කොට ගෙන උතුර දකුණ අතර මෙසේ සම්බන්ධයක් ඇතිවීමට බාධා තිබුණ ද දැන් එවැනි තත්වයක් නැත. මහනුවර දළදා පෙරහර නරඹන්නට උතුරෙන් ජනතාව පැමිණෙති. එම පෙරහර ආරම්භයේදී හින්දු දෙවිරුන් පැසසීම සිදු කෙරේ. ඔවුන් අතර කන්නගී, විෂ්ණු. කතරගම ආදී දෙවිවරු සිටිති. මේ සියලු දෙවිවරු බෞද්ධයන්ගේ වැඳුම් පිදුම්වලට ලබයි. මෙහි සඳහන් කළ දෙවිවරු අතරින් කන්නගීයන නාමය ඇතැම් විට බෞද්ධයන්ට තරමක් නුහුරු වන්නට ඉඩ ඇති මුත් මෙනමින් පෙනී සිටින දෙවඟන කිසිවකුට නුහුරු නැත. මෙනමින් පෙනී සිටින්නේ පත්තිනි මාතාදෙවඟනය. පත්තිනි ඇදහීම අප රටෙහි අනාදිමත් කාලයක සිට පැවැතුනි. 


පත්තිනි දෙවඟන කතා බහ කිරීමේදී සිංහල ජනතාව වැඩි වශයෙන් කතා බහ කරනුයේ නවගමුවේ පිහිටා ඇති පත්තිනි දෙවොල පිළිබඳවය. නමුත් අප රට වෙසෙන දෙමළ ජනතාව අතර පමණක් නොව දකුණු ඉන්දියානු දෙමළ ජනතාව අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති තවත් පත්තිනි දෙවොලක් පවතින අතර වර්තමාන සිංහලයන් බොහොමයක් ඇතැම් විට එය නොදන්නා අතර දන්නා අය සිටිය ද එය මතකයෙන් බොහෝ දුරස්ව ඇතැයි සිතිය හැකිය. මේ පිළිබඳ නොදැනීමට හා මතකයෙන් දුරස්වන්නට හේතුවූ ප්‍රධානතම කාරණය වන්නේ අප රටේ දශක තුනක් පුරා පැවැති කුරිරු යුද්ධයයි. 




දකුණේ ජනතාව ද මුලතිව් දිස්ත්‍රීක්කයේ නන්දිකඩාල් කලපුවේ බටහිර දෙසට වන්නට ඇති වට්ටපලයි හි පිහිටි කන්නගී අම්මාන් දෙවොල කරා වන්දනා ගමන් යන්නට යුද තත්වය දරුණු වන්නට පෙර සමයේ පුරුදුව සිටිය ද යුද්ධයත් සමඟ එම පුරුද්ද ඔවුන්ගෙ ඈත් විය. නමුත් දැන් යළිත් එහි වාර්ෂික උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන බැවින් දකුණේ ජනතාවට එය වන්දනා මාන කොට ආශීර්වාද ලබාගැනීමේ කිසිදු බාධාවක් නැති බව එම දෙවොලේ භාරකාර මණ්ඩලය පවසයි. සෑම වර්ෂයකය මැයි - ජූනි අතර එහි වාර්ෂික උත්සවය පවත්වනු ලබයි. 





අප රටෙහි සංස්කෘතිය පිළිබඳ පුළුල් හැදෑරීමක් සිදු කළ, යටත් විජිත යුගයේ  අප රට විසූ බ්‍රිතාන්‍ය ජාතික සිවිල් සේවකකයකු වූ හියු නෙවිල් (Hugh Nevill) විසින් රචනා කරන ලද Ethnology නම් කෘතියෙහි පළමු වෙලුමේ 124 වැන පිටුවෙහි මේ දෙවොළ පිළිබඳ සටහනක් තිබේ. එහි දැක්වෙනුයේ මුලතිව් අසල පිහිටි වට්ටාපල්ලි’ (වට්ටප්පලෛ) නම් ප්‍රදේශයේ කන්නගී අම්මාන්දෙවඟන වෙනුවෙන් ඉදිවුණු දෙවොලක් පවතින බවය. වට්ටපලෛ යනු නන්දිකඩාල කලපුවේ බටහිර වෙරළ තීරයයි. කන්නගී අම්මාන් යනු පත්තනි දෙවියන් දෙමළ බසින් හඳුන්වනු ලබන නාමය වේ. කෙසේ නමුත් නවගමුවේ ඇති පත්තිනි දෙවොලේ වැඩ සිටින පත්තිනි දෙවඟන පිළිබඳ කතාබහ කිරීමේදී සඳහන් කළ යුතු විශේෂ කාරණයක් තිබේ. ඒ  ඇය මතු බුදුවන්නට පෙරුම් පුරන්නියක බව බෞද්ධයන් විසින් විශ්වාස කරන බවය. එයට හේතුව වන්නට ඇත්තේ එහි සිරිත් විරිත් බෞද්ධ සංකල්පවලට අනුව හැඩගැසී ඇති බැවින් විය හැකිය. කෙසේ නමුත් වට්ප්පලෛ හි පිහිටි සුප්‍රකට කන්නගී අම්මාන් දෙවොලේ වැඩ වෙසෙන කන්නගී අම්මාන් දෙවිවඟන සමබන්ධයෙන් එවැනි කතා නොමැත. 


පැරණි ජනප්‍රවාදයවලට අනුව ශිව දෙවියන්ගේ භාර්යාවක් ලෙස මදුරාසියේ සිට පැමිණි කන්නගී ස්ථාන දහයක විවේක ගෙන තිබේ. ගූගල් සිතියමේ කන්නගී අම්මාන්යනුවෙන් සටහන් කළ විට නැගෙනහිර වෙරෙළ තීරය පුරා කන්නගී අම්මාන වෙනුවෙන් ඉදිකරන ලද දෙවොල ගණනාවක් දක්නට ලැබේ. මේ ඇය එසේ විවේක ගත් ස්ථාන වන්නට පුළුවන. මේ ස්ථාන අතරින් දසවැනි ස්ථානය පත්තම් - පලෛයනුවෙන් නම් කෙරිණි. පත්තම්යනු දහය වන අතර පලෛයනු නවාතැන වේ. කාලයත් සමඟ මෙම වදන වට්ටප්පලෛයනුවෙන් කටවහරට පැමිණි බව දෙමළ ජනතාව විශ්ාවස කරති. කෙසේ නමුත් කන්නගී අම්මාන් සහ පත්තිනි අතර පුරාවෘතය එකමය. විකිපීඩියාවේ  කන්නගි අම්මාන් යන්න සිංහලයෙන් සඳහන් කොට ඇත්තේ පත්තිනි  නමිනි. 



වසර තිහක පමණ කාලයක් පැවැති යද්ධය නිසා මෙම දෙවොලේ සංස්කෘති අංග යටපත්ව පැවැතිය ද යුද්ධය නිමාවීමත් සමඟ එය යළි වර්ධණය යවන්නට පටන් ගෙන තිබේ. අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන එම උත්සවය පිළිබඳ පුවත් දකුණු ඉන්දියානු මාධ්‍යවල පවා පලවීමෙන් දෙමළ ජනතාව අතර ඒ පිළිබඳ ඇති උනන්දුව හා ප්‍රසිද්ධ බව අමුතුවෙන පැවසිය යුතු නැත. යුද්ධය පැවැති සමයේ දෙමළ ජනතාව යම් මට්ටමකින් මෙහි උත්සව පැවැත්වුව ද සිංහල ජනතාවට ඒවාට සහභාගී වී  ආශීර්වාද ලබාගන්නට අවස්ථාවක් ලැබුණේ නැත. නමුත් වර්මානයේ පැවැත්වෙන් මෙම අති උත්කර්ෂවත් උත්සවයට සහභාගී වන්නට සියලු ශ්‍රී ලාංකිකයන්ට හැකියාව ලැබී තිබේ. 


කන්නගී දේව ඇදහිල්ල තමිල්නාඩුවේ හා කේරළයේ ඉතා ප්‍රචලිත වන අතර අප රටේ ද දෙමළ ජනතාව අතර එය ප්‍රචලිතව පැවතිය ද එහි ඇත්තේ සහමුළුන්ම ශ්‍රී ලාංකික සම්ප්‍රදායක් බව පෙනේ. පත්තිනි දෙවියන් පිළිබද සුප්‍රකට සීලප්පදිකාරම්කෘතියෙහි සඳහන් වන නමුත් අප රටේ සිංහලයන් අතර අදහනු ලබන පත්තිනි දෙවඟනගේ කතාව යම් යම් ස්ථානවල වෙනස් කම් සහිත දකින්නට ලැබේ. මෙහි කලින් තැනෙක සදහන් කළා සේ සිංහලුන් අතර පත්තිනි දෙවඟන ප්‍රචලිතව ඇත්තේ මත බුදුවන බෝධිසත්ව චරිතයක් ලෙසිනි. ඇතැම් ස්ථානවල සඳහන්ව ඇත්තේ බුදුන් වහන්සේ විසින් ශ්‍රී ලංකාව ආරක්ෂා කරන දෙවඟනක් ලෙස පත්තිනි දෙවඟන පත්කළ බවය. 



කන්නගී අම්මාන් දෙවොලේ භාරකාර මණ්ඩලය පවසන්නේ දැන් වසර කිහිපයක සිටම මෙහි වාර්ෂික උත්සවය පවතින කාලයට මෙන්ම වෙනත් කාලවලට ද මෙය කරා දකුණේ ජනතාව වන්දනා නඩ වශයෙන් පැමිණෙන බවය. මෙහි වාර්ෂික උත්සවය වයිකාසි විසාකම්යනුවෙන් හඳුන්වනු ලබන අතර එම සමයේ පැමිණෙන බැතිමත්හු සක්කාරි පොංගල්පිස කන්නගි අම්මාන් මාතාවට පුද කරති. එම භූමියේම සිට පොංගල් පිළියෙල කොට අනුභව කොට තාවකාලික කූඩාරම්වල නිදා ගනිමින් කාලය ගෙවති. ඔවුන් පිටත්ව යන්නේ පසුවදාය. බැතිමත්හු කාවඩි, තූක්කු කාවඩි, පාල් කුඩම් සහ කටුපූරා චට්ටි යන වතාවත් මගින් කන්නගී අම්මාන් මාතාවට සිය භක්තිය පළකරති. උතුරේ ජනතාව පමණක් නොව දකුණින් සහ නැගෙනහිරින් යන ජනතාව ද තූක්කු කාවඩිවලට සහභාගී වෙති. පරවා කාවඩි යන නමින්ද හැඳින්වෙන මෙහිදී බැතිමතුන්  සිදු කරන්නේ කොකුවල එල්ලී සිය භක්තිය පුදකිරීමය. විශේෂම සිදුවීම වන්නේ කන්නගී අම්මාන් දෙවොලේ දී කාන්තාවන් ද තූක්කු කාවඩිවලට සභාගී වීමය. සිරිපා වන්දනාව, කතරගම දෙවොළ වැනි ජාතී ආගම් භේදයකින් තොරව වන්දනා කළ හැකි, වන්දනාවේ යන සෑම ශ්‍රී ලාංකික බැතිමතකු විසින් නරඹා ආශීර්වාද ලබාගත යුතු ස්ථානයක් ලෙස කන්නගී අම්මාන් පුද බිම සඳහන් කළ හැකිය. 



8 comments:

  1. හොඳ තොරතුරක්. ඇදහීමක් කරේ නැතත් සංස්කෘතික අංගයක් විදියට නරඹන්න වටිනවා. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. සංස්කෘතික අංගයක් ලෙස මෙවැනි දෑ සියලු දෙනාගේම ගෞරවයට පාත්‍රවීම ලොකු දෙයක්.

      Delete
  2. යුද්දෙන් පස්සේ එකවරක් මෙතනට ගියා. ඒ දවස්වල අලුත්වැඩියා කටයුතු සිදුවෙමින් පැවතුනා. මේ විදිහට දකින්නට ලැබීම ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. අප එකිනෙකාගේ ආගම් හා ඇදහීම් කුමක් වුවත් මේ සියල්ලෙන්ම වර්ධණය වන්නේ මිනිසුන්ගේ අධ්‍යාත්මයයි. එය වර්ධණය කරනා ඕනෑම ස්ථානයකට අපි ගෞරව කළ යුතුයි.

      Delete
  3. බදු හාමුදුරුවෝ අයිති සිංහලයන්ට විතරයි. නමුත් පත්තිනි දේවිය අයිති දෙමලාට විතරක් නෙමෙයි ඒ නිසා සිංහලයන් අනිවාර්යයෙන්ම මෙයට යා යුතුයි. නමුත් අපි ආගමික චාරිත්‍ර කලයුත්තේ අපේ ක්‍රමයට. අපිට දෙමළාගෙන් ඉගෙනගන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්, පත්තිනි ඇදහීම සම්බන්ධව සිංහලයාට ආවේණික වෙනම චාරිත්‍ර වාරිත්‍ර තිබෙනවාග

      Delete
  4. කාන්තාවන්ගෙ යහපත් හැසිරීම් සම්බන්ධ දෙවඟනක් විදිහටත් පත්තිනි මාතාව නම්දරනවා නේද..? කොහොම උනත් පොංගල් බත් ටිකක් කාලා ඒ චාරිත්‍ර බලන්න යන්න නම් ආසයි..

    ReplyDelete
    Replies
    1. ඔව් එක් ඇත්ත. උතුරු පැත්තේ විනෝද චාරිකාවක් යොදා ගත්තොත් මේ කෝවිල නරඹලා පොංගල් බත් ටිකක් කාලා දෙවියන්ගේ ආශීර්වාදයත් අරන් එන්න පුළුවන්.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න