පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, July 31, 2013

රාජකීය දරු උපත, විලියම් සහ කැතරින් - Unknown Facts about the birth of Royal Baby


පසුගිය 23 වැනිදා එංගලන්ත රජ කිරුළේ අලුත්ම උරුමකරුවා ලොවට බිහි විය. ඒ මහ එලිසබෙත් මහ රැජිනගේ මුණුබුරා වූ විලියම් කුමරුගේ සහ ඔහුගේ බිරිඳ වූ කැතරින් කුමරියගේ කුළුඳුල් දරුවා ලෙසිනි. මේ පිළිබඳ එලිසබෙත් රැජිනගේ ප්‍රතිචාර කෙසේවේදැයි දැනගන්නට සියලු දෙනා බලා සිටියහ.  මන්ද මේ අලුත උපන් කේම්බ්‍රිජ් හි ජෝර්ජ් කුමරු, එසේත් නැත්නම් ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවිස් කුමරු යනු සියවසකටත් අධික කාලයකට පමණ පසුව එංගලන්ත රජ කිරුළට සෘජුව උරුම කියනා මී මුණුබුරකු හා මහ රැජිනක හමුවන ප්‍රථම අවස්ථාව මෙය වූ බැවිනි. වර්ෂ 1894 න් පසුව මෙවැනි හමුවීමක් සිදුව නැත. සැබැවින්ම ජෝර්ජ් කුමරුගේ උපත නිසා 87 හැවිරිදි එලිසබෙත් මහ රැජින මහත් උද්දාමයකට පත්ව සිටිනා බැව් පෙනෙන්ට තිබිණි. ඇය සිය මී මුණුබරාගේ සුව දුක් විමසා බැලීම සඳහා පසුගිය 24 වැනි බදාදා කෙන්සිංටන් මාළිගය බලා ගියාය. මෙය මාධ්‍යවල පුළුල් අවධානයට ලක්විය. සිය සැමියා වූ පිලිප් කුමරු සැත්කමකට බඳුන් වී විවේක ගනිමින් පසුවන බැවින් රැජින මේ ගමනට සහභාගී වූයේ තනිවමය. 


එංගලන්ත මහ රැජිනගේ මුණුබුරකු වූ කේම්බ්‍රිජ් හි ආදිපාදවර විලියම් කුමරු හා කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය කැතරින් කුමරියට කුළුඳුල් දරුවා ලැබීමේ පුවත වාර්තා කරන්නට බොහෝ මාධ්‍ය කල් තියාම සූදානම් වී සිටියහ. කැතරින් කුමරිය අන් කරුණක් සඳහා  රෝහලකට ගිය ද මාධ්‍ය ඇය පසුපස හඹා යන්නට තරම් මේ අවධානය දැඩිව තිබිණි. කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය වූ කැතරින් කුමරිය ජූලි 22 වැනිදා සාන්ත මේරි රෝහලට ඇතුළු කෙරිණි. අවසානයේ මාධ්‍යයට පුවත් ලබාදෙමින් පසුගිය ජූලි 22 වැනිදා බ්‍රිතාන්‍ය ගිම්හාන වේලාවෙන් ප.ව. 4.24ට (ජාත්‍යන්තර වේලාවෙන් ප.ව. 3.24) එංගලන්ත රජ කිරුළේ අලුත්ම උරුමකරුවා ලන්ඩනයේ සාන්ත මේරි රෝහලේ ලින්ඩෝ වින්ග් හිදී මෙලොව එලිය දුටුවේය. කැතරින් කුමරියට අවශ්‍ය වූයේ සිය පුත් කුමරු ස්වභාවික ලෙස උපත ලබනු දකින්නටය. එය එසේම සිදු විය. මෙහි ‛ලින්ඩෝ වින්’ යනු රාජකීයයන්ගේ හා ප්‍රභූවරුන්ගේ දරු උපත් සඳහා වෙන්වී ඇති අංශය වෙයි. ඩයනා කුමරිය විලියම් කුමරු හා හැරී කුමරු ප්‍රසූත කළේ ද මෙම රෝහලේ මෙම අංශයේම ය. 


මේ උපත සාම්ප්‍රදායික ලෙස බකින්හැම් මාලිගයේ පිටත රාජකීය ලාංඡනය සහිත දැන්වීමක් මගින් රටවැසියා හට දැනුම් දෙනු ලැබිණි. 
ඉපැරණි සම්ප්‍රදායයන් පිළිබඳ ගෞරවයෙන් ඒවා අනුගමනය කරන්නන් වශයෙන් ලෝකයේ ප්‍රකට සිටින්නේ ආසියානුවන් වුවත්, බටහිර රටක් වූ එංගලන්තවාසීන් ද අදට ත් ඉපැරණි සම්ප්‍රදායයන් බොහොමයක් තවමත් මහත් ගෞරවයෙන් යුක්තව පිළිපදින බැව් පෙනෙන්නේ මෙවැනි අවස්ථාවලදීය. ලෝකයේ සම්මත මිණුම් ක්‍රමය ලෙසට ‛මෙට්‍රික්’ පිළිගැනුන ද එංගලන්තය එයට වඩා මුල් තැන දෙන්නේ තමන් ලොවට හඳුන්වා දුන් ‛ඉම්පීරියල්’ ක්‍රමය බැව් පෙනෙන්නේ ජෝර්ජ් කුමරු උපන් අවස්ථාවේ බර රාත්තල් 8 යි අවුන්ස 6 (කිලෝ ග්‍රෑම් 3.8) ක් ලෙස සඳහන් කළ බැවිනි. එමෙන්ම එංගලන්තයේ කිරුළට උරුම කියන්නකු උපන් විට අතීතයේ සිටම කාල තුවක්කු වෙඩි මුර පැවැත්වීම ඔවුනගේ සම්ප්‍රදායයකි. එම සම්ප්‍රදායයට ගරු කරමින් ලන්ඩන් කුළුනේ සිට කාලතුවක්කු වෙඩි මුර 62ක් ද ග්‍රීන් පාර්ක් හි සිට වෙඩි මුර 41 ක් ද පැවැත්විණි. එමෙන්ම එංගලන්ත කොඩිය සෑම රජයේ ගොඩනැගිල්ලකම  ඔසවා තැබිණි. එමෙන්ම උපත සමරා රන් කාසියක් ද නිකුත් කෙරුණු අතර එය රන්කාසියකින් සැමරූ ප්‍රථම රාජකීය උපත විය. එසේ සමරන්නට හේතුව වූයේ බ්‍රිතාන්‍ය කිරුළට සෘජු උරුමයක් ඇති තිදෙනකුම ජීවතුන් අතර සිටීම නිසාය. 

විලියම් - කැතරින් රාජකීය යුවලගේ මේ කුළුඳුල් දරුවා මෙලොව උපන් විගස මුළු ලෝකයාම බලා සිටියේ ඔහුට කුමන නමක් ලබාදේ ද යන්නය. ජූලි 25 වැනිදා ප.ව. 6.20ට ඔවුහු සිය පුත් කුමරාගේ නම නිල වශයෙන් ලෝකය හමුවේ තැබූහ. ඒ ඔබ දැනටමත් දන්නා පරිදි ‛ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවිස්’ යන්නය. ඔහුව හඳුන්වන රාජකීය නාමය වන්නේ ‛රාජකීය මහෝත්තම ජෝර්ජ් කුමරු’ වශයෙනි. නම නිල වශයෙන් දැනුම් දුන් පසු සියලු දෙනාම පැවසූයේ විලියම් කුමරු හා කැතරින් කුමරිය සම්ප්‍රදායයනට ගරුකොට නම් තබා ඇති  බවය. මෙම නම් පිටුපස යම් යම් කතාන්දර ද අසන්නට ලැබේ. 

ජෝර්ජ් 

මේවන විට ‛ජෝර්ජ්’ නමින් බ්‍රිතාන්‍ය නරපතියන් 6 දෙනෙකු සිට ඇත. අවසන් වරට සිටි 6 වැනි ජෝර්ජ් යනු එලිසබෙත් මහ රැජිනගේ පියාණන්ය. එමෙන්ම මීට පෙර ද ජෝර්ජ් යන නම සහිත කේම්බ්‍රිජ් හි කුමරුකු සිට ඇත. එමෙන්ම ජෝර්ජ් යනු මේ බිළිඳු කුමරුගේ සීයා වූ චාර්ල්ස් ගේ නම්වලින් එකක් ද වන්නේය. මෙම නමෙහි අර්ථය වශයෙන් දැක්වෙන්නේ ‛ගොවියා’ හෙවත් ‛භූමියේ සේවකයා’ යන්නය. 2011 වසරේදී එන්ගලන්තයේ හා වේල්සයේ අලුත උපන් බිළිඳුන්ට තැබූ නම් අතරින් 12 වැනි ස්ථානයට ජනප්‍රියතම නම වූයේ ජෝර්ජ් යන්නයි. මෙන්ම සතරවැනි සියවසේදී සාන්ත ජෝර්ජ් නමින් රණශූරයකු ජීවත්ව සිට ඇත. ඔහු බිහිසුණු මකරකුගෙන් අසරණ තරුණියක් ගළවාගත් බැව් පැවසේ. 

ඇලෙක්සැන්ඩර් 

බිළිඳු කුමරාගේ දෙවැනි නම වන්නේ ‛ඇලෙක්සැන්ඩර්’ ය. එය ජනප්‍රිය ස්කොට්ලන්ත නමකි. තුන්වැනි ඇලෙක්සැන්ඩර් යනු මෙහි ශ්‍රේෂ්ඨ නරපතියකු ලෙස සැළකේ. එමෙන්ම මෙම වසරේදී (2013) නෙදර්ලන්තයේ බියට්‍රික්ස් රැජින සිහසුන අතහැරීමෙන් පසුව රජබවට පැමිණියේද ඇයගේ පුතු වූ ‛විලෙම්- ඇලෙක්සැන්ඩර්’ ය. 

ලුවිස් 

‛ලුවිස්’ යන්න රාජකීය පවුලේ ජනප්‍රිය මෙන්ම ගෞරවාන්විත නමකි. එය චාල්ස් කුමරුගේ ප්‍රියතම මාමා වූ, අයර්ලන්ත ගරිල්ලන් විසිනා ඝාතනය කරනු ලැබූ මවුන්ට් බැටන් සාමිවරයාගේ නමේ කොටසකි. මවුන්ට් බැටන් සාමිවරයා හා විලියම් කුමරුගේ පියා ඉතා සමීපව ඇසුරු කළ දෙදෙනෙකි. එමෙන්ම එය විලියම් කුමරුගේ නමේ කොටසක් ද වන්නේය. 

අලුත් උපන් කුමරුගේ නම දින කිහිපයකින් ප්‍රසිද්ධ කළ ද ඔහුගේ පියා වූ විලියම් ගේ නම මහජනතාව හමුවට පත්වන්නට සතියක පමණ කාලයක් ගතවිය. නමුත් විලියම්ගේ පියා වූ චාර්ල්ස් කුමරුගේ නම ප්‍රසිද්ධවන්නට මාසයක් පමණ ගත විය. 

මේ වසර මුළදී එක් වෙබ් අඩවියක විලියම් - කැතරින් යුවලගේ අනාගත දරුවා පිළිබඳ අංක විද්‍යාත්මක විවරණයක් ඇතුළත්කොට තිබිණි. එහි සඳහන් වූයේ ජූලි මස මුල් භාගයේ උපන්නේ නම් ඔහු කටක ලග්න හිමියකු වන බවත්, නායකයකු බවට පත්නොවන බවය. නමුත් ජූලි අගභාගයේ උපන්නේ නම් ඔහු සිංහ ලග්න හිමියකු වන බවත්, එය සහජ නායකත්වයක ලක්ෂණයක් ද වනු ඇති බවත්ය. ජෝර්ජ් කුමරු උපන්නේ ජූලි අගභාගයේ ය. එසේ නම් ඔහු නිසැක ලෙසම නායකයකු වනු ඇත. ජෝර්ජ් කුමරු උපත ලද පසුව ද ඔහුගේ නම අංක විද්‍යාත්මකව විග්‍රහ කරනු ලැබූ අතර එහිදී ඔහුට හිමි අංකය වූයේ 1 ය. එහි අර්ථය වන්නේ ද නායකත්වයයයි. 

විලියම් කුමරු සහ කැතරින් කුමරිය නවීන ලෝකය සමඟ ඉදිරියට ගමන් කරන්නට කැමැත්තෙක් පසුවන බැවින් ඇතැම් පැරණි චාරිත්‍ර වාරිත්‍ර බැහැර කරන්නට ඔවුන් පෙළඹුන ද,  මේ ඉපදී සිටින්නේ අනාගත රජකු බැවින් ඇතැම් සම්ප්‍රදායයන් බැහැර කරන්නට ඔවුනට හැකියාවක් නැත. 
සාමාන්‍යයෙන් මීට දශක කිහිපයකට පෙර රාජකීය උපතක් සිදුවූයේ මාලිගාවේම වුවද දැන් එය රෝහල්වල සිදු වේ. එමෙනම් දරු උපතක් සිදුවන විට පියා ඒ අසලින්ම සිටීමේ සම්ප්‍රදායයක් ද පවතී. එබැවින් විලියම් කුමරු ද එය කැමැත්තෙන්ම අනුගමනය කළේය. විලියම් ඉපදෙන විට චාර්ල්ස් කුමරු ද ඩයනා කුමරිය අසළින්ම සිටියේය. නමුත් චාර්ල්ස් කුමරු ඉපදෙන විට නම් ඔහුගේ පියා වූ පිලිප් කුමරු සිටියේ ස්කොෂ් ක්‍රීඩා කරමින් බව පැවසේ. 


කේම්බ්‍රිජ් හි ජෝර්ජ් කුමරු ඉපදෙන්නට පෙර රජ කිරුළේ සමීපතම උරුමකරුවන් අතරින් තෙවැනි තැන පසුවූයේ හැරී කුමරුය. නමුත් ජෝර්ජ් කුමරුගේ ඉපදීමත් සමඟ හැරී කුමරු කිරුළේ උරුමයෙන් සිව්වැනි තැනට පත්විය. රාජ උරුමය යනු සුළුවෙන් තැකිය හැක්කක් නොවේ. තමා රාජ උරුමයෙන් තවත් ඈත්කරමින් උපන් තම බෑණනුවන් පිළිබඳ හැරී කුමරු අදහසක් දක්වන තෙක් මාධ්‍යය පුල පුලා බලා සිටියේය. තම මාමා වූ හැරී කුමරු දුටු මුහුදේ ජෝර්ජ් කුමරු මහ හඬින් හැඬූ බැව් කියැවේ. ඒ 24 වැනි බදාදා හැරී කුමරු සිය බෑණනුවන් බැලීමට ගිය අවස්ථාවේදීය. හැරී කුමරු විනෝදකාමියෙකු ලෙස ප්‍රකටය. ඔහු එහිදී පවසා සිටියේ, “පවුලට අලුත් සාමාජිකයකු එක්වීම ගැන මට හරිම සතුටක් දැනෙනවා. හැබැයි මම ළමයි බලාගන්න නම් ලොකු ගාණක් අය කරනවා කියලා අපේ අයියට කියන්න ඕන.” එසේ කියමින් ඔහු මහ හඬින් සිනහ විය. “මගේ මේ පුංචි බෑණගේ ජීවිතේ විනෝදයෙන් පුරවන්න මම හැමදේම කරනවා. එයාගේ සියලු අතුරු අන්තරාවන් දුරු කරන්න මම හැමදේම කරනවා. ඉතුරු වැඩ ටික අම්මටයි තාත්තටයි බාරයි.” ඔහු එසේද පවසා සිටියේය. 

දරු උපතින් පසුව විලියම් කුමරු සහ කැතරින් කුමරිය සිය පුතු සමග කැතරින්ගේ නිවසේ දින කිහිපයක් නතර වන්නට ගියහ. එහි ජීවිතය කැතරින් හට සුවපහසු එකක් වනු ඇතැයි විලියම් කුමරු පවසා සිටියේය. 

බොලිවුඩ් සුරූපිනියන්ගේ රුව රැක ගන්නා රහස් - Beauty Secretes of Bollywood Actresses

රුව වඩවා ගන්නටත්, රුව රැකගන්නටත් කාන්තාවන් දක්වන්නේ පුදුමාකාර කැමැත්තකි. මේ සඳහා ඔවුහු රූපලාවන්‍ය ශිල්පීන්ගේ උපදෙස්, රුව වඩවාගැනීම පිළිබඳව ඇති පුවත්පත් ලිපි, රූපවාහිනි වැඩසටහන් ආදිය කෙරෙහි විශේෂ සැළකිල්ලක් දක්වති. ඊට අමතරව රූමත් යැයි සම්මත කාන්තාවන්, සිය රුව රැකගන්නට අනුගමනය කරනා උපක්‍රමයන් ආදිය පිළිබඳව ද සොයා බලති. කාන්තා ඔබගේ මේ උනන්දුව වෙනුවෙන් උදව්වක් කරන්නට සිතුණු බැවින් රුව වඩවාගැනීම හා රුව රැකගැනීම පිළිබඳ යමක් ඔබට පවසන්නට සිතුණි. මේ සඳහා කරුණු සොයා ගියේ ඉන්දියාවේ බොලිවුඩ් පුරයටයි. එහි සිටින්නේ ලෝකයේ අංක එකේ වැජඹෙන සුරූපි නිළියන් බැව් ඔබට රහසක් නොවේ. මේ සුරූපිනියන් සිය රුව රැකගැනීමට අනුගමනය කරන්නේ කුමනාකාරයේ උපක්‍රමදැයි දැනගන්නට ලැබිණි. ඒ සියලු තතු ඔබට පවසන්නේ ඔබ ඒවා දැනගන්නට කැමැත්තෙන් සිටිනා බැව් අප දන්නා නිසාය. 



අපට මුළින්ම හමුවන්නේ ශ්‍රී ලංකාවට අයත් වුවත් බොලිවුඩ් පුරවරයේ වැජඹෙන සුරූපී නිළියක වූ ජැකලීන් ෆර්නැන්ඩස් ය. 1985 අගෝස්තු 11 වැනිදා උපන් ඇය 2006 වසරේදී ශ්‍රී  ලංකා රූ රැජින බවටද පත්වූවාය. ජැකලීන් වැඩිවශයෙන්ම උනන්දුවක් දක්වන්නේ සම පිරිසිදු කිරීම ( cleansing ), සිරුරේ හැඩය හා වර්ණය පවත්වාගෙන යාම හා සමෙහි තෙතමනය ආරක්ෂා කරගැනීම පිළිබඳවය. ඇය සම පිරිසිදු කිරීමේදී කපු පුළුන් බෝලයක් යොදාගනී. ඇය පවසන්නේ කපු පුළුන්වලින් සම පිරිසිදු කිරීමෙන් පසු කිසිදු ලකුණක් ඉතිරි නොවන බවය. ජැකලීන් දිනකට අඩුම තරමේ පස්වතාවක් හෝ මුහුණ සෝදයි. ඇය එළිමහනට බසින්නේ නම් සූර්ය තාපයට සම ඔරොත්තු දෙන අන්දමේ ක්‍රීම් වර්ගයක් (sunscream)ඇඟ ගල්වා ගන්නට අමතක කරන්නේ නැත. අනෙක ඇය භාවිත කරන්නා වූ රූපලාවන්‍ය ද්‍රව්‍යවල වර්ගය නිතර වෙනස් කරන්නේ ද නැත. අනෙක ජැකලීන් සියලුවිටම චර්ම විශේෂඥයින්ගේ උපදෙස්වලට පිටින් යන්නේ ද නැත. කොල පැහැ එළවළු සහ නැවුම් පළතුරුවලට, විශේෂයෙන් දොඩම් හා ගස්ලබුවලට දැඩි කැමැත්කත් දක්වන්නීය. 


රූපලාවන්‍ය රහස් සොයා යද්දී ඊළඟට හමුවන්නේ 1973 නොවැම්බර් 1 වැනිදා උපන් හින්දි සිනමාවේ අතිශය ජනප්‍රිය නිළියකවන අයිශ්වර්යා රායි ය. 1994 ලෝක රූ රැජින බවට පත්වීමත් සමඟ ඇය සිය රූමත්බව පිළිබඳ ලොව පුරා එකසේ ජනප්‍රියත්වයක් හිමි කරගත්තාය. කෙසේ නමුත් ඇය ද සිය රූමත් බවේ රහස් ලෝකයා හමුවේ හෙළිකරන්නට තරම් නිර්ලෝභී වූවාය. 

ඇය සිය සිරුර විජලනයවීමෙන් වළක්වාගන් පිණිස දිනකට අවම තරමේ ජලය වීදුරු 8ක්වත් පානය කරන්නීය. ඇය පවසන්නේ සිරුරේ ඇති ජල මට්ටම ප්‍රශස්ථ මට්ටමක රඳවාගැනීමෙන් ඇතිකරගත හැකි නැවුම් පෙනුම අන් කිසිවකින් හෝ හිමිකරගත නොහැකි බවය. අනෙක ඇය හැකිතාක් රසායනික ද්‍රව්‍ය අඩංගු රූපලාවන්‍ය ද්‍රව්‍යවලින් වැළකී සිටී. හැකිතාක් දුරට මුදල් දී මිලදී ගත යුතු නැති, ස්වභාවික ද්‍රව්‍යවලට ඇය වැඩි නැඹුරුවක් දක්වන බව ද පෙනෙන්නට තිබේ. ඇය සිය සම පිරිසිදු කිරීමට ( cleanse ) යොදා ගන්නේ ධාන්‍ය වර්ග අඹරාගත් කුඩු ය. සමෙහි තෙතමනය රඳවා ගැනීම සඳහා යොදා ගන්නේ කිරි සහ යෝගට් මිශ්‍රණයකි. ඇගේ අලංකාර කෙස් කළඹ පිළිබඳව ද බොහෝ දෙනෙක් උනන්දුවෙන් කතාබහ කරති. ඇය කිසිවිටෙක රසායනික අඩංගු රූපලාවන්‍ය ද්‍රව්‍ය යොදා නොගන්නා අතර හිසකෙස් වර්ණ ගැන්වීමට කිසිවිටෙකත් උනන්දු වන්නේ ද නැති බව පවසයි. ඇය පවසන්නේ නිරවුල් මනසක් පවත්වාගෙන යාම ද නිරෝගීමත් බව අති කරන්නට දැඩි සේ බලපානා බවයි. නිරෝගී සිරුරක් හිමිවන විට නිරායාසයෙන්ම රූමත්බව ද හිමිවන බව ඇගේ අදහසයි. ඇය සිය මනස නිරවුල්ව තබාගැනීම සඳහා යෝග ව්‍යයාමවලට යොමුවී සිටින්නීය. 


කැත්රිනා කායිෆ් යනු බොලිවුඩ් සිනමාවේ තවත් ජනප්‍රිය තරුවකි. 1984 ජූලි 16 වැනිදා හොංකොංවලදී උපන් ඇයගේ පියා කාශ්මීර ජාතිකයෙක් වන අතර මව බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. බොහෝ දෙනෙකු පවසන්නේ ඇයට ඇත්තේ අහිංසක මුහුණක් බවය. 2005 වසරේදී ඉන්දියාවේ ලක්මී සමාගම පැවැත්වූ ‛හොඳම මුහුණු’ තරගයෙන් ජයග්‍රහණය කළේ ද ඇය යි. 

ඇය පවසන්නේ තමා දවස ආරම්භ කරන්නේ ජලය වීදුරු 4ක් පානය කිරීමෙන් පසු බවයි. පිහිනීම, අශ්වයින් පිට යාම, දිවීම වැනි ව්‍යයාම සිය රූමත්බවේ මූලික රහස බැව් ඇය පවසන්නීය. ව්‍යයාම කිරීමෙන් රුධිර සංසරණය හොඳින් සිදුවන අතර එය සමෙහි නිරෝගීබවට රුකුළක් බව ඇය පවසයි. අවශ්‍ය අවස්ථාවක හැර වේශනිරූපණයට යොමුනොවන ඇය, එවැන්නක් කිරීමෙන් පසුව කල්නොයවාම සියල්ල සෝදා හරින්නට හුරුපුරුදුව සිටී. 


1980 සැප්තම්බර් 21 වැනිදා උපන් කරීනා කපූර් ගේ රූපලාවන්‍ය රහස් පිළිබඳවද අපට දැනගන්නට ලැබිණි. සිනමාවට සම්බන්ධ පවුලක තැනැත්තියක බැවින් ඇයට සියලු දෙනාගේම අවධානය යොමුවන්නට පටන් ගැනුනේ ඇය ඉතා කුඩා සමයේ සිටමය. ඇයගේ රුව රැකගැනීමේ රහස කුමක්දැයි රසිකයින් ඇගෙන් විමසන සෑම විටම ඇය පවසන්නේ සියල්ල පසුපස ඇත්තේ එළවළු හා පළතුරු බවයි. 

“මම නිතර යෝග ව්‍යයායමවල නිරත වෙනවා. ඊට අමතරව මම ආහාරයට ගන්නේ එළවළු හා පළතුරු පමණයි. මම මස්වර්ග කිසිවක් ආහාරයට ගන්නේ නැහැ. මම එළවළු පමණක් ආහාරයට ගැනීම ගැන මටම ආඩම්බරයක් දැනෙනවා. අනෙක මස් ආහාරයට ගන්නන්ට මම විරුද්ධයි. ඒක මගේ ප්‍රතිපත්තිය. 2007 වසරේදී අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලද ‛රූමත්ම නිර්මාංශ ආහාරගන්නා කාන්තාව’ තේරීමේ තරගයෙන් ද ඇය මුල්තැනට ආවාය. එළවළු ආහාරවලට අමතරව ඇය ජලය වැඩි වශයෙන් පානය කරන්නට දැඩි කැමැත්තක් දක්වයි. සමට දිදුලන සුළුබවක් ලැබෙන්නට නම් ජලය පානය කිරීම හැර වෙනත් පහසු ක්‍රමයක් නැති බව ඇය පවසයි. 


අප අවසාන වශයෙන් කතාකරන්නේ බිපාසා බාසු පිළිබඳවය. 1979 ජනවාරි 7 වැනිදා උපන් ඇය තෙළිඟු සිනමාවේ ද ජනප්‍රිය නිළියකි. ඇය ආසියාවේ අනුරාගීතම කාන්තාව ලෙස ද වරෙක ප්‍රසිද්ධව සිටියාය. ඇය සිය රූමත්බවේ රහස් හෙළි කරමින් පවසන්නේ දිනකට ජලවීදුරු 10ක්වත් පානය කරනා බවය. ඇය එළිමහනට යන්නා වූ සියලු විටම සූර්ය තාපයට ඔරොත්තු දෙන්න හැකි ‛සන්ස්ක්‍රීම්’ වර්ගයක් භාවිත කරයි. දිනකට සය වරක් පමණ නිශ්චිත කාල අන්තරයකදී කුඩා ආහාරවේල් පමණක් ගනී. දිනකට අවම වශයෙන් පැයක් බැගින් සතියකට දින හතරක් ව්‍යයාමවල නිරත වෙයි. දිනකට පැය 7-8 අතර කාලයක් නිදාගනී. ඇය මිලදී ගන්නේ ගුණත්වයෙන් වැඩි රූපලාවන්‍ය ද්‍රව්‍ය පමණි. හැකි සෑම විටම රූපලාවන්‍ය දව්‍යවලින් වැළකී සිටී. සම නිරතුරු පිරිසුදුව තබා ගනී.  ඇය නින්දට පෙර ඇස් වඩා ආමන්ඩ් තෙල් ආලේප කරගනී. 

බොලිවුඩ් සිනමාවේ සියළුම නිළියන් පිළිබදව අපට මෙහිදී කතාකරන්නට ඉඩකඩ නැතත්, මොවුන් හෙළිකළ තොරතුරුවලට අනුව අපට පෙනෙන්නේ බොහෝ දෙනෙක් වැඩි වශයෙන් ජලය පානයට යොමුවී සිටිනා බවය. එමෙන්ම එළවළු හා පළතුරු ආහාරයට ගැනීම, ව්‍යයාම, නිරවුල් මනස, විවේකය ආදිය රුව රැකගැනීම මහඟු රුකුළක් ලබාදෙන බවයි. බොලිවුඩ් නිළියන් උසස් තත්වයේ රූපලාවන්‍ය ද්‍රව්‍ය පරිහරණය කළ ද, ඒ සියල්ලටම වඩා වැදගත් යැයි ඔවුන් පවසන්නේ ස්භාවික ක්‍රමයන්ය. ඔබගේ අවධානය යොමුවිය යුත්තේ එයටය. 

Thursday, July 18, 2013

මායාවරුන්ගේ ලෝකයේ ප්‍රධාන නිළි ගිලියන් චුන්ග් - Gillian Chung of Mayawarunge Lokaya - Holy Pearl


‛අභීත දියණි’ සියලු ප්‍රේක්ෂකයින්ට සමුදීමෙන්  දැන් පුංචි තිරයට පැමිණ සිටින්නේ ‛මායාවරුන්ගේ ලෝකය’ යි. කාලය ඔස්සේ අතීතයට ප්‍රේක්ෂකයා රැගෙන යන්නා වූ අද්භූත සිදුවීම් මාළාවකින් සමන්විත මෙය චීනයේ නිෂ්පාදිත ටෙලිනාට්‍යයකි. ඉතිහාස විෂයය හදාරන්නාවූ ශිෂ්‍යාවක් වූ ‛ඩින්ග් යාඕ’ වටා මෙහි ප්‍රධාන චරිතය ගෙතී තිබේ. තමාට මුහුණ දෙන්න සිදුවන අද්භූත සිදුවීමකින් පසුව වසර 3500 ක අතීත ලෝකයකට කාලය ඔස්සේ ගමන් කරනා ඇය ඒ ලෝකයේ අපූරු සිදුවීම් රැසකට මුහුණ දෙයි. ‛මායාවරුන්ගේ ලෝකය’ නාට්‍යයේ මෙම චරිතයට පණපොවන්නේ ‛ගිලියන් චුන්ග් නමැති හොංකොං ජාතික නිළියයි. 1981 ජනවාරි 21 වැනිදා  උපන් ඇය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ නිළියක හා ගායිකාවක ලෙසනි. ඇය චීනයේ හා හොංකොං හි අතිශය ජනප්‍රිය ‛කැන්ටොපොප්’ කණ්ඩායමේ සාමාජිකාවක් ද වන්නීය. 

හොංකොං හි උපන් ඇයගේ මුල් නම වූයේ ‛චුන්ග් ඩික්-සාන්’ ය. මෙහි ‛ඩික්’ යන අක්ෂරය ගැහැණියකට ප්‍රබල බවින් වැඩි යැයි විශ්වාසයක් පැවතුණු බැවින්, එය පසුව වෙනස් කෙරිණි. ඇය දෙහැවිරිදි වියෙහිදී ඇයට ‛චුන්ග් කා-ලායි’ යනුවෙන් නම තැබිණි. 

ඇයට වසරක් සපිරෙද්දී ඇගේ පියා ජීවිතයෙන් සමුගත්තේය. එබැවින් ඇගේ මුල් කාලය ගතවූයේ මව සමග පමණකි. චුන්ග් උසස් අධ්‍යාපනය ලබද්දී ඇගේ වම නැවත විවාහයක් කරගත්තාය. කොව්ලන් ටෲ ලයිට් මධ්‍ය පාසලෙන් උසස් අධ්‍යාපනය ලැබූ චුන්ග්, ඕස්ට්‍රේලියාවේ මෙල්බෝන් නුවර විලියම් ඇන්ග්ලිස් අධ්‍යාපන ආයතනට බැඳුනාය. ඇයට ‛ගිලියන්’ නම් ඉංග්‍රීසි නාමය ලැබුණේ එහි අධ්‍යාපනය හදාරන සමයේදී ය. 

වසර 2000 දී ඇය හොංකොං හි මෝස්තර නිරූපණ ආයතනයක් සමඟ එක්ව එහි අර්ධකාලීන රැකියාවක නියුත්ක වූවාය. ඇයට එම වසරේදීම හොංකොංහි සිනමා හා ටෙලි නාට්‍ය නිෂ්පාදන සමාගමක් වූ  ‛එම්පරර් එන්ටර්ටේන්මන්ට් සමූහ ව්‍යපාරය’ මගින් රැකියාවක් සඳහා ඇරයුම් කළ අතර ඇය එය පිළිගත්තාය. කොන්ත්‍රාත් පදනම මත වැඩකටයුතු කරන කලාකාරියක ලෙසින් එම සමාගම සමඟ අත්වැල් බැඳගත් ඇය සිය ප්‍රථම රංගනයට පෙර පුහුණු පාඨමාළාවකට සහභාගී වූවාය. දෛවඥයින්ගේ උපදෙස් ලබාගැනීමෙන් පසුව ඇගේ කලමණාකරු පවසා සිටියේ කලාකාරියක ලෙස ඇයට වඩාත් ගැළපෙන්නේ ‛චුන්ග් යෑන්-ටුන්ග්’ යන නම බවයි. මෙම නම නිසා ඇය ව්‍යාපාරික වශයෙන් ඉහළ තැනකට රැගෙන යන බැව් දෛවඥයින් විසින් පවසා තිබිණි. සංගීත කණ්ඩායමක් ආරම්භ කිරීම සඳහා මෙම සමාගම 2001 මැයි 18 වැනිදා ඇය සමඟ ගිවිසුමකට එළැඹිණි. ඇය සමඟ එයට ‛චෝරි’ නමින් තවත් ගායිකාවක ද එක්වූවාය. ඔවුන්ගේ ප්‍රථම ඇල්බමයය ඉන් මාස තුනකට පසුව නිකුත් කෙරිණි. 

චුන්ග් නිළියක් ලෙසින් සිය ප්‍රථම ප්‍රධාන චරිතය සඳහ පෙනී සිටියේ ‛යූ මෑන්’ චිත්‍රපටය සඳහා 2000 වසරේදී ය. එයින්ම ඇගේ රංගන හැකියාවන් පිළිබඳ අවබෝධයක් ක්ෂේත්‍රයේ සියලු දෙනාටම දැනුණු නිසාදෝ ඉන් අනතුරුව ඇයට දිගින් දිගටම රඟපෑම් සඳහා ඇරයුම් ලැබෙන්නට විය. 2004 වසරේදී ‛බියොන්ඩ් අවර් කෙන්’ චිත්‍රපටයෙහි  ඇගේ රංගනය සඳහා විචාරක පැසසුම් ද ලැබිණි. ‛ගැම් ශි ගින්ග්’ සම්මාන උළෙල සඳහා ඇගේ නම ද හොඳම නිළියන් අතරට යෝජනාවන්නට ද මෙම රඟපෑම ඉවහල් විය. එම චිත්‍රපටිය හොංකොං හි ඉහළතම ආදායම් වාර්තා තැබූ ඒවා අතරට ද එක්විය. 

වර්ෂ 2006 දී චුන්ග් මැලේසියාවේ සංචාරයක් අතරතුරදී ඇය කාමරයක් තුළ ඇඳුම් මාරු කරනා ආකාරය සොරෙන් ඡායාරූපගතකොට ‛ඊසි ෆයින්ඩර්’ නම් සඟරාවක පළකොට තිබුණි. මෙය හෙළා දකිමින් සුප්‍රකට නළුවකු වූ ජැකී චෑන් ද ඉදිරියට ආවේය. මේ පිළිබඳ පැවති නඩුවිභාගයේ අවසානයේ එම සඟරාවේ හිමිකරු චුන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය. සඟරාවේ හිමිකරු විසින්  එම ඡායාරූපවල නෙගටිව් පට ද ඇයට භාරදෙනු ලැබිණි. 

2008 ජනවාරි මාසයේ දී හොංකොං නළුවකු වූ එඩිසන් චෙන්ග් ගේ අනුරාගී ඡායාරුප ගණනාවක් අන්තර්ජාලයේ දක්නට හැකිවිය. එහි හොංකොංහි තවත් නිළියන්ගේ ඡායරෙූප ද දක්නට හැකිවිය. මෙම ක්‍රියාවට චුන්ග් සම්බන්ධ යැයි චෝදනා එල්ළවිණි. ඇයට මෙතෙක් තිබූ හොඳ නම ද ඇයට අහිමිවල ලකුණු පහළ විය. පසුව ඇය සියලු දෙනාගෙන්ම සමාව අයැද සිටියාය. ඇයට ලැබෙන්නට නියමිතව තිබූ සියලුම අවස්ථා ඇයට අහිමි විය. 2008 වසරේ ගිම්හාන ඔලිම්පික් තරගයේ ආරම්භක උත්සව අවස්ථාවට සහභාගී වීම ද ඇයට තහනම් කෙරිණි. 

මේ සියලු අපකීර්තිමත් සුදුවීම්වලින් පසුව වසරක් පමණ ගතවන තුරු ඇය ප්‍රසිද්ධ ජීවිතයට පැමිණියේ නැත. ඇය පසුව පවසා තිබුණේ තමාට සියදිවි නසාගන්න පවා ද සිතුණු බවය. ඇය තමා වටා සිටි සියලු දෙනාගෙන්ම තමා අතින් සිදුවූ වරද පිළිබඳ සමාව අයැද සිටියාය. 
2009 සැප්තැම්බර් 13 වැනිදා  ඇය හාර්බින් ලෝක හිම සංගීත උළෙලේ දී තමා මීට පෙර රූගත කළ වීඩියෝ පටයක් ඉදිරිපත් කරමින් යළි කරළියට පය තැබුවාය. මිනිත්තු 8යි තත්පර 43ක ධාවන කාලයක් පැවති මෙහි ඇයගේ රංගනය මුළුමනිනුම නිහඬ වූවක් විය. පැවතියේ සංගීතය පමණි. සිනහවේ සිට කඳුළ දක්වා සිය ජීවිතය ගමන් කළ අයුරු ඇය එයින් නිරූපණය කළාය. 

මෙසේ හැළහැප්පීම් මධ්‍යයේ ඇය පැමිණි ගමනේ එක් සන්ධිස්ථානයක් වන්නේ ‛හෝලි පර්ල්’ හෙවත් ‛මායාවරුන්ගේ ලෝකය’ යි. ඇයට මෙම රංගනය වෙනුවෙන් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිණි. 
මේවන විට ඇය සිනමා නිර්මාණ 34 කට අධික සංඛ්‍යාවක් වෙනුවෙන් දායක වී ඇති අතර රූපවාහිනි නාට්‍ය 15කට පමණ දායක වී තිබේ. 


Wednesday, July 17, 2013

පොතක් කියවමු - අයිසැක් නිව්ටන් - Isacc Newton

පොත වඩාත් පැහැදිලිව කියවන්නට මෙතැන ක්ලික් කරන්න

පොත තිරයේ දිස්වීම ඔබගේ අන්තර්ජාල වේගය අඩුනම් තරමක් ප්‍රමාදවන්නට හැකිබැව් සළකන්න.

Friday, July 12, 2013

අභීත දියණි පසු රූගත කළ කතා - Abheetha Diyani Post Shoot stories


‛මායාවරුන්ගේ ලෝකය’ ඉඩ දෙමින් ‛අභීත දියණිය’ පුංචි තිරයට සමුදුනි. එය ඔබගේ ජනප්‍රියතම ටෙලිනාට්‍යය වූවාට සැක නැත. ඒ නිසාම අපි ඔබ වෙනුවෙන් අභීත දියණි පිළිබඳ පිළිබඳ කොටියෙන් යමක් සඳහන් කොට එයට සමුදෙන්නට තිරණය කළෙමු. 

ඓතිහාසික පසුබමිමක් සහිත මෙම ටෙලි නාට්‍යය නිෂ්පාදනය කිරීම සෙසු ඒවාට වඩා අසීරු කටයුත්තක් වූ බැව් මෙහි නිෂ්පාදක කණ්ඩායම පවසයි. මෙම රූපතකිරීම පිළිබඳ විදෙස් රටවල් පවා දැනුවත්ව සිටි බැවින් එක් අවස්ථාවක විදෙස් ජනමාධ්‍යවේදීන් පිරිසක් මෙය රූපගත කරනි ස්ථානයට පැමිණ මෙහි පිරිස සමඟ ඡායාරූපයකට ද පෙනී සිටියහ. 
මෙහි නිෂ්පාදන කණ්ඩායමේ පිරිස, විශේෂයෙන් නළු නිළියන් පැවසූයේ තමාට එකවර සාමාන්‍ය ජීවිතයට පැමිණෙන්නට ද දුෂ්කරත්වයක් දැනුණු බවයි. එබැවින් ඔවුන් මෙම නාට්‍යයේ නිෂ්පාදනය අවසන් වූ වහාම ඔවුහු සාදයක් සූදානම් කළහ. 

මෙම නාට්‍යය අවසන්වනතුරුම නොකඩවා මේ වෙනුවන් සියලු දෙනාම කැපී සිටි බැවින් බොහෝ දෙනෙකු පවසා තිබුණේ ඔවුන් තරමක විවේකයක් ගන්නා බවය. ඇතැම් අය පැවසූයේ පවුලේ පිරිස සමඟ විනෝද චාරිකාවකට සහභගී වන බවයි. 
එපමණක් නොව ටෙලි නාට්‍යයේ සියලු දෙනා එක්ව සමූහ ඡායාරූපයකට ද පෙනී සිටින්නට අමතක නොකළහ. 

රැජින 2013-07-12


Thursday, July 11, 2013

වර්තමානයෙන් අතීතයට ගිය තරුණියක ගැන කියන මායාවරුන්ගේ ලෝකය - Mayawarunge Lokaya on Rupavahini


 අභීත දියණිය ටෙලි නාට්‍යයෙන් අනතුරුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් සිංහල හඬ කවා විකාශනය කරන්නේ මායාවරුන්ගේ ලෝකයහෙවත් හෝලි පර්ල් (Holy Pearl) නම් කතාවයි. ජපන් ටෙලි නාට්‍යයක් වූ ඔෂින් ජනප්‍රියවීමත් සමග රූපවාහිනී සංස්ථාව තවත් ජපන් ටෙලි නාට්‍යයක් සිංහලයට හඬ කවනු වෙනුවට කළේ ඩා චැන්ග් ගියුම්යන කොරියානු ටෙලි නාට්‍යය සුජාත දියණියනමින් සිංහල හඬ කවා විකාශනය කිරීමය. එයට ලැබුණු අධික ප්‍රතිචාර හේතුවෙන් ඔවුහු තවත් කොරියානු ටෙලි නාට්‍යයක් වූ දොංග් යිසිංහලයට හඬකවා අභීත දියණියනමින් විකාශනය කළහ. එයට ද ලැබුණු අසීමිත ප්‍රතිචාර නිසා බොහෝ දෙනකු සිතුවේ මින් පසුව ද තවත් කොරියානු ටෙලි නාට්‍යයක් විකාශනය කරනු ඇති බව ය. මන්ද කොරියානු නිර්මාණ මෑත කාලයේ අප රටේ බෙහෙවින්  ජනප්‍රිය වීම නිසාය. අනෙක එය බෞද්ධ රටක් වීමත් අප රටේ සෑහෙන පිරිසක් කොරියාවේ රැකියාවල නිරතවීමත් නිසා කොරියානු සංස්කෘතිය සෑහෙන දුරකට අප අතර ජනප්‍රිය වෙමින් පවතී. කොරියන් බස ඉගෙනීම පිළිබඳ විශේෂ උනන්දුවක් ද අප බොහෝදෙනකු තුළ තිබේ.   නමුත් රූපවාහිනී සංස්ථාව කිසිවකු නොසිතු පරිදි මෙවර තෝරා ගත්තේ මෙම කලාපයේම තවත් බෞද්ධ රටක් වූ චීනය නිෂ්පාදනය කළ ටෙලි නාට්‍යයකි. හෝලි පර්ල් හෙවත් මායාවරුන්ගේ ලෝකයයනු එයයි.


මෙය අප මතෛක් නැරඹූ ජපන් හෝ කොරියානු ටෙලි නාට්‍යවලට වඩා අමුතුම ආරක් ගත් එකක් බැව් පෙනේ. 2011 වසරේදී චීනයේ මුලින්ම විකාශනය කරන ලද මෙය වර්තමානයෙන් අතීතයට ගමන් කරන තරුණියක් වටා ගෙතුණු කතාවකි. එබැවින් මෙය අත්භූත සිදුවීම්වලින් සමන්විත විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන වූ ටෙලි නාට්‍යයකි. මෙය ජපන් කාටූන් සඟරාවක පළවූ. රුමිකෝ තකාෂි විසින් නිර්මාණය කරන ලද ඉනු යාෂානම් කතා මාලාවේ නිල නොවන පරිවර්තනයක් ලෙස ද හැඳින්වේ. ඔෂින්, සුජාත දියණි, අභීත දියණිය යන ටෙලි නාට්‍යයන් හි තේමාවන් යථාර්ථවාදී වන අතරේ මායාවරුන්ගේ ලෝකය එක්තරා  අන්දමකින් අද්භූතවාදී තේමාවක් වටා ගෙතුණු ටෙලි නාට්‍යයකි. 


කතාවේ සාරාංශය මෙලෙසිනි

වසර ගණනාවකට පෙර චීනයේ ෂියෑන් යූනමින් දෙවඟනක් මිනිස් වෙසක් ගෙන සාමාන්‍ය ජනතාව ආරක්ෂා කරමින් ඔවුන් අතරම ජීවත් වූවාය. ඒ නිසාම ජනතාව ඇයට බොහෝ සෙයින් ආදරය කරන්නට පටන් ගත්හ. රජතුමා ද ඇයට බොහෝ සෙයින් ආදරය කළේය. ඇයට ටෙංග්ෂේනමින් සොයුරියක් සිටියේය. ඇයද මෝ-යින්නමින් සාමාන්‍ය ජනතාව අතර ජීවත් වූ දෙවඟනකි. නමුත් සිය සොයුරිය වූ ෂියෑන් යූ කෙරෙහි මිනිසුන් දැක්වූ ආදරය පිළිබඳ ඇය පසු වූයේ තදබල ඊර්ෂ්‍යාවකිනි. ඒ නිසා ඇය සිය සොයුරිය මරා දැමීම සඳහා සැලසුමක් දියත් කළාය. මේ සඳහා ඇය උදව් උපකාර ඉල්ලන්නේ යක්ෂ නායකයකු වූ ෂි යූ මින්ග්ගෙනි. මෙම ක්‍රියාව නිසා දේව - මිනිස් හා යක්ෂ ලෝක අතර තිබූ සමබරතාවයට හානියක් සිදුවෙයි. මන්ද යක්ෂයකු හා දෙවඟනක් අතර ඇතිවූ සම්මුතිය නිසාවෙනි.
ඒ එහි අතීත කතාවයි. නමුත් මේ කතාව දිවෙන්නේ වර්තමානයේ සිටය. වර්තමානයේ මෙහි කතා නායිකාව වන්නේ ඩින්ග් යාඕය. ඇය චීන සුප්‍රකට පුරා විද්‍යාඥයකුගේ දියණියකි. ඔහු සිය දියණියගේ ආරක්ෂාව තකා නිතර ළඟ තබාගන්නා ලෙස පවසා මැටිවලින් තැනූ කුඩා පිළිමයක් තිළිණ කරයි. මෙයද කෞතුක  වස්තුවකි.
ඩින්ග් යාඕ යනු ෂියෑන් යූගේ නැවත ඉපදීමක් බැව් කිසිවෙක් දන්නේ නැත. ඇය ද සිය පියා මෙන්ම ඉපැරණි දෙයට ඇලුම් කරන ඉතිහාසය හදාරන   සාමාන්‍ය තරුණියකි. ඇය සිය පියාගේ වැඩ කටයුතුවලට උදව් කරමින් සිටිද්දී ඔහුගේ පුරා වස්තු අතර තිබි ඉපැරණි නවග්‍රහ චක්‍රයක් හමුවෙයි. මෙම නවග්‍රහ චක්‍රය  සතුව තිබූ කුඩා මැටි පිළිමය සමග යම්කිසි ප්‍රතික්‍රියාවක් සිදුවී මෙය අහම්බෙන් මෙන් ක්‍රියාත්මක වන්නට පටන් ගනී. ප්‍රතිඵලය වන්නේ ඇය වසර 3500ක් කාලය ඔස්සේ අතීතයට ගමන් කිරීමය. ඇගේ ගමන නතර වන්නේ ගල් ගුහාවකිනි. අතීතයට ගමන් කළ පසු ඇගේ නම වන්නේ නෑන් යූය.

ඇය තහනම් ප්‍රදේශයක සිටි බව කියමින් රාජ පුරුෂයින් ඇය අල්ලා මරණ දඬුවම දෙන්නට සියල්ල සූදානම් කරයි. නමුත් මේ අවස්ථාවේදී රජු එතැනට පැමිණෙයි. ඇගේ පෙනුම ෂියෑන් යූට අතිශය සමානකමක් දක්වන නිසා රජු සිතන්නේ මේ ඇයම බවයි. එබැවින් ඇය මරණ දඬුවමින් ගලවා මාලිගයට කැටිව යයි. මාලිගයට ගිය පසු රජු ඇයට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරයි. ඇය එම යෝජනවාට අකමැති බැවින් මාලිගයෙන් පලා ගොස් ඇය මුලින්ම සිටි සොහොන් ගැබේ සැඟවෙයි. මෙම ගල් ගුහාවේ ෂියෑන් යූ විසින් සිරගත කොට නින්දකට පත්කරන ලද අර්ධ මිනිස් - අර්ධ යක්ෂයකු වූ වෙන් ටියෑන්සිටිනා බැව් ඇය දන්නේ නැත. ඩින්ග් යාඕ අතින් අත්වැරදීමකින් ඔහුගේ නින්ද බිඳෙයි. තමා ඉදිරියේ සිටින්නේ ෂියෑන් යූ බැව් මුලින්ම වරදවා වටහා ගන්නා ඔහු, ඇය කළ ක්‍රියාව පිළිබඳ කෝපයට පත්වී ඇයව මරා දමන්නට සැරසෙයි. නමුත් පසුව ඔහු සත්‍යය අවබෝධ කරගනියි. මේ අතරේ ඩින්ග් යාඕ රැගෙන යන්නා වූ මැටි බඳුන් අතරට අද්භූත ලෙස යක්ෂයන් අරක් ගත් මල් බඳුනක් පැමිණෙයි. මෙය රජ මාලිගයේ තිබූ මල් බඳුනක් බව ඇයට මතක වෙයි. එසැනින්ම ඇය මෙම බඳුන වීසි කරයි. එවිට මල් බඳුන බිඳී ගොස් ශුද්ධ වූ මුතු ඇට දොළසක් බවට පත්වී එතැනින් අතුරුදහන් වෙයි. ශුද්ධ වූ මුතු ඇට සියල්ල එක් කොට මෙමබඳුන යළි තිබූ තත්වයට පත් නොකළහොත් මහා විනාශයක් සිදුවන බැව් දැනගන්නා ඇය වෙන් ටියාන් ගේද උදව් ඇතිව එය සිදු කරන්නට සැලසුම් කරයි. මිනිස් - දේව - යක්ෂ ලෝක තුන අතර සමබරතාවය ඇති කරන්නට නම් ඇය මෙය කළ යුතුම බැව් ඇය වටහා ගනියි.

ඇයට සිය අරමුණ කරා පහසුවෙන් ළඟාවන්නට හැකි වේද ? ඔබත් මාත් ඉදිරියේ ඇත්තේ එයයි. මෙයට පිළිතුර සොයන්නට නම් ඔබ මායාවරුන්ගේ ලෝකයනැරඹිය යුතු ය.

මෙහි ප්‍රධාන චරිතය වූ ඩින්ග් යාඕ ගේ චරිතයට පණ දෙන්නේ ජනප්‍රිය චීන නිළියක වන ගිලියන් චුන්ග්ය. අධ්‍යක්ෂණය කායි ජින්ග් ෂෙන්ග්ය. නිෂ්පාදනය ෂවු ලීය. ගිලියන් සමග පර්බා රග්යාල්’, පැට්‍රික් ටෑම්සහ ගුඕ ෂෙන් නියන ශිල්පීහු ද ප්‍රධාන චරිතවලට එන ‍පොවති.

මෙය චීනයේ විකාශනය වූයේ කොටස් 36 කිනි.


සුපුරුදු ආදර කතාවලට වඩා වෙනස් තේමාවක් ඔස්සේ දිව යන මෙය ද පෙර ටෙලි නාට්‍යයන් සේම ඉක්මනින්ම ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගනු ඇතැයි සිතිය හැක. ඇතැම් විට මෙයට නව ප්‍රේක්ෂක පිරිසක් එකතු වන්නට ඉඩ තිබේ. ඒ අද්භූත රසය ප්‍රිය කරන රසිකයන් ය.


රැජින 2013-07-12


Saturday, July 6, 2013

Cobra Pond at Mihintale - මිහින්තලේ නාග පොකුණ





‛නාග සොන්ඩි’ ලෙස වංශ කතාවන්හි හැඳින්වෙන මෙම පොකුණ මිහින්තලා ආරාම සංකීර්ණයේ ජල අවශ්‍යතා සැපරීම සඳහා තිබූ ප්‍රධාන පොකුණ වෙයි. මෙය නාග පොකුණ ලෙස හඳුන්වනු ලබන්නේ මෙහි ගලක කොටා ඇති පෙන සතක් සහිත නාග රූපය නිසා විය හැකිය. 

මෙම පොකුණේ ජලය, එයට සම්බන්ධ නල මාර්ග ඔස්සේ පහතින් වූ සිංහ පොකුණටත් දාන ගෙයටත් ජලය සැපයූ බවට සාධක සොයාගෙන තිබේ. ආදි සිංහලයාගේ ජල කළමණාකරණ ශක්තිය පිළිබිඹු කරනු ලබන විශිෂ්ඨ අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකිය. 



Thursday, July 4, 2013

Poisoning to Queen Ok-jeong - අභීත දියණිය ටෙලි නාට්‍යයේ ඔක්ජොන්ග් බිසවට වස දී මරා දැමීම ඉතිහාසගත සිද්ධියක්ද?


අභීත දියණිය ඔබගේ ද ජනප්‍රියතම ටෙලි නාට්‍යය නම් මෑතකදී සිදුවුණු උද්වේගකර සිදුවීමක් තවමත් ඔබේ මතකයෙන් ඈත් වී නොතිබිය යුතුය. ඒ හුයි ජෑන්ග්-බින්හෙවත් කවුරුත් දන්නා පරිදි ඔක්ජොන්ග්බිසව මරණයට පත්කිරීමය. ඇය මිය යන්නේ වස පානය කිරීමට සැලැස්වීමෙනි. ඒ ටෙලි නාට්‍යයේ දැක්වෙන කතාවයි. සැබෑ ඉතිහාසයේදීත් ඇය මෙසේ මරණයට
පත්වූවාද ? මෙය ඓතිහාසික පුවතක් මුල්කොට ගනිමින් නිර්මාණය වූවක් බැවින් බොහෝ දෙනෙක් මෙවැනි දේ පිළිබඳව ද නිතර විමසා සිටිති. ඇයගේ ඉතිහාස තතු පිළිබඳවත් ඇගේ මරණය පිළිබඳ වූ ඓතිහාසික තොරතුරු පිළිබඳවත් කතා කරන්නට අප සිතුවේ එබැවිනි. 

ඓතිහාසික තොරතුරුවලට අනුව ඇගේ නම අප කවුරුත් දන්නා පරිදි ඔක්ජොන්ග් වුවත් ඇයට රජ බිසවක් ලෙසින් ලබා දී තිබුණේ ජැන්ග් හුයි-බින් යන නාමයයි. 1659 නොවැම්බර් 3 වැනිදා ඇයගේ උපන් දිනය ලෙස ඉතිහාසයේ සඳහන්ව තිබේ.

ජෑන්ග් හියොන්ග් හා පැප්යොන්ග් යුන් රාජ වංශයේ යුන් ආර්යාව යන යුවළගේ දියණිය ලෙස ඉපදෙන ඇයට නම තැබෙන්නේ ජැන් ඔක්-ජොන්ග්ලෙසයි. ජෝසියන් රාජවංශයේ අතිශය රූමත්ම කාන්තාව ඇය ලෙස කොරියානු ඉතිහාසයේ විශේෂයෙන් සඳහන් කොට තිබේ. දුටුවන් මන්මත් කරවීමට තරම් රූමත් පෙනුමක් ඇය සතුව තිබූ බව ඉතා පැහැදිලිය.

සුක්ජොන්ග් රජුගේ ඥාති සොයුරකු වන දොංග්ප්යොන්ග් කුමරුගේ නිර්දේශය මත ඇය ඉන්ජෝ නම් කොරියානු රජුගේ දෙවැනි බිසව වූ ඩොවාගර් ජැන්ග්හියොල්ගේ පරිචාරිකාවක බවට පත්විය. එක් අවස්ථාවකදී ඇයව දකින සුක්ජොන්ග් රජු ඇය සිය අන්තඃපුරයේ සුක්-වොන් තනතුරට පත් කරයි. මේ නමින් හැඳින්වෙන්නේ අන්තඃපුරයේ පහළම ස්ථානයයි. වර්ෂ 1688 දී ඇය සෝ-යුතත්ත්වයට උසස් කෙරෙයි. එය අන්තඃපුර කාන්තාවන්ගේ තෙවැනි ස්ථානයයි. ඇයට මේ නමට හුයියන ගෞරව නාමයද එක්කෙරයි. එහි අරුත් රූමත්යන්නට සමානය. ඇයට මේ සියල්ල හිමිවන්නේ අනාගතයේදී ග්යොන්ග්ජොන්ග්නමින් රජවන පුතු ඇය බිහිකිරීමත් සමගිනි. ඇයට සොන්ග්සු කුමරු නමින් තවත් පුතකු සිටිය බැව් කියවෙතත් ඉතිහාසයේ එය පිළිබඳ පැහැදිලි සඳහනක් නැත. වර්ෂ 1688 දී ඉන්හියොන් බිසව සුක්ජොන්ග් රජුගේ අග බිසෝ තනතුරින් නෙරපා හැරීමත් සමග ජැන්ග් හුයි-බින් බිසෝ තනතුරට පත්වන අතර ඇගේ පුතු ඔටුන්න හිමි කුමරු බවට නම් කරයි. මෙම සිදුවීම් දාමය මීට අතිශය සමාන අයුරකින් අභීත දියණිය ටෙලි නාට්‍යයේ දිග හැරෙනු ඇත.

නමුත් වර්ෂ 1694දී ඉන්හියොන් යළිත් අග බිසෝ තනතුරේ පිහිටුවනු ලබන අතර ජැන්ග් හුයි-බින් යළිත් පහළට දමනු ලබයි. වර්ෂ 1701 දී ඉන්හියොන් බිසව හඳුනා නොගත් රෝගයකින් මරණයට පත්වෙයි. පසුව සොයාගනු ලබන්නේ ජැන් හුයි-බින් පූජකවරියක් සමග එක්වී ඉන්හියොන් බිසව මිය යන සේ පූජාවක් පැවැත්වූ බවය. මෙයට ජැන්ග් හුයි-බින්ගේ සොහොයුරු ජෑන්ග් ජීජේ සහ ඔවුන්ගේ මෑණියන් ද සම්බන්ධ වෙයි. මේ හේතුව නිසා ඔවුන් අත්අඩංගුවට ගනු ලබන අතර 1701 නොවැම්බර් 9 වැනිදා ඔක්ජොන්ග් බිසව වස
ශරීර ගතකොට මරණයට පත්කරනු ලබයි. ඇය ඒ වන විට 42 හැවිරිදි වියෙහි පසු විය. කෙසේ වුවද ඇගේ පුතු ඔටුන්න හිමි කුමරු බැවින් ඇයට මරණින් පසු ඔස්කාන් ආර්යාවයන ගෞරව නාමය ලබාදෙයි. එම නාමයෙන් හැඟවෙන්නේ ඇය රාජමාලිගාවේ ප්‍රධානතම අන්තඃපුර කාන්තාව ලෙස සිටි බවය.

මේ සඳහන් කළේ ඔක්ජොන්ග් බිසව පිළිබඳ ඉතිහාසයේ සඳහන් කතාවය. ඇතැම් විට ඔබ නරඹන ටෙලි නාට්‍යයේ කතාව මීට වඩා වෙනස් වන්නට පුළුවන.

මෙම සිදුවීමෙන් හැඟවෙන දෙයක් වන්නේ පැරණි කොරියාවේ වස දීමෙන් ලබාදෙන මරණ දඬුවම ප්‍රකටව තිබුණු බවය. ලෝකයේ මරණ දඬුවම් ලබාදෙන නොයෙක් ක්‍රම පිළිබඳ සොයා බලන විට විකිපීඩියා වබේ අඩවියේ මෙය ද විශේෂයෙන් සඳහන් කොට තිබේ. එහි වස දීමෙන් මරණයට පත්කිරීම පිළිබඳ සඳහන් කොට ඇත්තේ ද කොරියාව පමණි. නමුත් මෙහිදී සිදුවන්නේ යැයි පැවැසෙන්නේ අධික වස වර්ගයක් ශරීරයට එන්නත් කිරීමකි.

එය එසේ වුවත් මාරක එන්නත් කිරීම මගින් මරණයට පත්කිරීම පිළිබඳ තොරතුරු ඉපැරණි චීනයෙන් ද වාර්තා වේ.
මීට අමතරව ලෝකයේ වෙනත් බොහෝ රටවලින් ද වස දීම මරණ දඬුවමක් ලෙස ක්‍රියාත්මක වූ අවස්ථා ඉතිහාසය මුළුල්‍ලේ දක්නට ලැබේ. සොක්‍රටීස්  මරණයට පත්කරන ලද්දේ ද වස දීමෙන් බැව් ඉතිහාසයේ සඳහන්ය. විෂ සහිත වායු ශරීර ගතකිරීමෙන් මරණයට පත්කිරීම ද මේ ගණයටම වැටේ.

 ‍පෝලන්ත බිසවක වූ බෝනා ස්ෆෝර්සා හට ඇගේ සමීප නිලධරයකු විසින් වසදීමෙන් මරණයට පත්කිරීමේ සිදුවීම 


වස ශරීර ගතකිරීමෙන් මරණයට පත්කිරීම පැරණි ලෝකයේ කෙතරම් සුප්‍රකටව පැවැතියේද කිවහොත් ‍පෝලන්ත බිසවක වූ බෝනා ස්ෆෝර්සා හට ඇගේ සමීප නිලධරයකු විසින් වසදීමෙන් මරණයට පත්කිරීමේ සිදුවීම ලෝක ප්‍රකට සිතුවමකට ද නැගී තිබේ.