පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, March 28, 2017

අලුත් ලෝකයට අලුත් ගැජට් 16 කොටස - New Gadgets for New World Part 16

වැඩ ගොඩක් එක වතුර බෝතලයක්




එක උපකරණයකින් වැඩ ගොඩක් කරගන්න තියෙන පුළුවන් කම තියෙනවා නම් ඒක සෑහෙන්න ප්‍රයෝජනවත්. මේ Wottle කියන වතුර බෝතලයත් එහෙම එකක්. මේක මූලික වශයෙන්ම වතුර බෝතලයක්. ඒ විතරක් නෙවෙයි ඔබගේ දෑත් උණුසුම් තත්වයට පත්කරන්නට හැකි පහසුකමක් වගේම ඔබේ ජංගම දුරකතනයේ බැටරිය බැස ගිය අවස්ථාවක එය ආරෝපණය කර ගැනීම සඳහා අතිරේක බල සැපයුමක් (power bank) ලෙස ද ප්‍රයෝජනයට ගැනීමේ පහසුකමත් මෙහි තිබෙනවා. මේ බෝතලයට සෑහෙන වෙලාවක් ජලය උණුසුම්ව තබාගන්න පුළුවන්. ඔබේ දෑත්වලට සිතල දැනෙන අවස්ථාවක් ආවොත්, (උදා : සීතල ප්‍රදේශයක සිටින අවස්ථාවකදී) මෙහි බලගැන්වුම් ස්වීචය තත්පර දෙකක් තදකරගෙන සිටීමෙන් දෑත් උණුසුම් කරගැනීමේ පහසුකම ලබාගන්න පුළුවන්. ජලරෝධක ලෙස සකසා ඇති බැවින් අපහසුවකින් තොරව මෙහි ඇති අතිරේක බල සැපයුම ඕනෑම අවස්ථාවකදී භාවිත කරන්න පුළුවන්. 


පුංචි දරුවෝ හීනෙන් බය වෙනවාට - ලලී






වැඩිහිටියොත් හීනෙන් බය වෙන කතා අපි ඕන තරම් අහලා තියෙනවා. එහෙම නම් පුංචි දරුවෝ හීනෙන් බයවෙන එක ගැන අහන්නත් දෙයක්ද? පුංචි දරුවන්ව මේ තත්වයෙන් වළක්වාගන්න තමයි ලලී’ (Lully ) ඉන්නේ. මේ පින්තූරයේ දකින ලලීව පරිස්සමින් ඔබේ දරුවාගේ මෙට්ටයට යටින් තියන්න. ඉන් පස්සේ මේක ඔබේ ස්මාර්ට් දුරකතනයක් එක්ක සම්බන්ධ කරන්න ඕන. මේ සඳහා අවශ්‍ය කරන යෙදුම ජංගමද දුරකතනයේ ස්ථාපනය කරද්දි දරුවාගේගේ හැසිරීම් රටාව ගැන විස්තර ටිකකට උත්තර දෙන්න ඔබට වෙනවා. ඒවාට දෙන පිළිතුරුවල නිවැරදි භාවයේ හැටියට එය ඔබේ දරුවාගේ හැසිරීම් ස්වභාවය ගැන මූලික අවබෝධයක් ලබාගන්නවා. ඔබේ දරුවාට සුවපහසු නින්දක් ඇතිවන ආකාරයට මෙයින් සියුම් කම්පනයක් ඇති කරනවා. එය මවක් තම දරුවා නින්ද යන යනතුරු සෙමින් තට්ටු කරනා ස්වභාවයකට බොහෝ සමානයි. ඔබ මෙම යෙදුම අසන ලද ප්‍රශ්නවලට දුන් පිළිතුරුවලට අනුව දරුවා නින්දෙන් බියවන අවස්ථා මග හරිමින් ඔහුට සුව නින්දක් ලබා දෙන්නට අවශ්‍ය කරන ක්‍රියාකාරීත්වය මෙයින් සපයනවා. සති තුනකදී දරුවාගේ සම්පූර්ණ හැසිරීම අවබෝධ කරගන්නට මෙයට පුළුවන්. නින්දෙන් බිය වන අවස්ථා දහයෙන් නවයක්ම වළක්වන්නට මෙයට හැකි බව පැවසෙනවා. 

දුගඳ නසන නව ගැජටය





ඔබේ නිවසේ හෝ කාර්යාලයේ දුර්ගන්ධය හමන තැන් කොතෙකුත් තිබෙනවා. කුණුකූඩය, පාවහන් තබන තැන, ගබඩා කාමරය මෙයට උදාහරණ විදිහට සඳහන් කරන්න පුළුවන්. විවිධ අය මේ වගේ තැන්වල ඇති දුර්ගන්ධය නසන්න විවිධ උපක්‍රම භාවිත කරනවා. මේ සදහා විවිධ රසායනික ද්‍රව්‍යයත් අවශ්‍ය වෙන්න පුළුවන්.  නමුත් අලුතින්ම නිර්මාණය කොට ඇති VentiFresh නම් උපකරණය මේ අවශ්‍යතාවය වඩාත් හොඳින් ඉටුකර දෙන්නට සමත් වෙන බව කිය හැකියි. මෙය නඩත්තු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. වරින් වර මාරු කළ යුතු කොටස් නැහැ. ඔබ කළ යුත්තේ විදුලියට සම්බන්ධ කිරීම පමණයි. ඇමරිකාවේ නාසා ආයතනය අභ්‍යවකාශ යානාවල ජලය පිරිසුදු කිරීමට යොදාගන්නා තාක්ෂණය මේ සඳහා භාවිත කළ බවයි නිෂ්පාදකයින් පවසන්නේ. මෙයට අවශ්‍ය නම් යූඑස්බී මගින් බලය සපයන්නටත් හැකියාව තිබෙනවා. බලය සැපයූ අවස්ථාවේ සිට ඒ අවට ඇති සියලු දුර්ගන්ධය වහා නසා දමන්නට මෙයට ඇත්තේ අපූරු හැකියාවක්.  


චුම්බක බලයෙන් ආලෛා්කය





ඔබට හදිසි ආලෝක අවශ්‍යතාවයක් ඇති වෙන්නේ කුමන අවස්ථාවකදී දැයි කියනන බැහැ. හිටි අඩියේ රාත්‍රියේ විදුලිය ඇණහිටීමක් වෙන්න පුළුවන්. මහ රෑ ගමන්ක් බිමනක් ගොස් එද්දී ඔබේ වාහනය ආපදාවකට ලක්වී ආලෝක අවශ්‍යතාවයක් ඇති වෙන්න පුළුවන්. මේ සෑම අවස්ථාවකදීම ඔබේ ජංගමද දුරකතනයෙන් ද ආලෝකය ලබාගන්නට නොහැකි තරමට එහි බැටරිය බැස ගොස් තියෙන්නත් පුළුවන්. දැන් මොකද කරන්නේ? එවැනි අවස්ථාවකදී තමයි Qto-X Magnetic Light කියන උපකරණය ඔබට වැදගත් වෙන්නේ. මෙහි වෙනම ස්විචයක් නැහැ. ඇත්තේ චුම්බක බලයෙන් ක්‍රියාත්මක ස්විචයක්. ඔබ අසල ඇති ලෝහ කොටසකට මෙය සම්බන්ධ කළ පමණින් සුදු පැහැ සෞම්‍ය ආලෝක ධාරාවක් විහිදෙන්න පටන් ගන්නවා. මෙහි අඩංගු 10180 ලිතියම් අයන් බැටරියට කිසිදු අපහසුතාවයකින් තොරව පැය කිහිපයක්ම ඔබ වෙනුවෙන් ආලෝකය සැපයීමේ හැකියාව පවතිනවා. කල්පවත්නා, සැහැල්ලු සහ දුහුවිල්ලට මෙන්ම ජලයට ඔරොත්තු දෙන ආකාරයෙන් නිර්මාණය කොට ඇති බැවින් එහි පැවැත්ම ගැන වැඩිදුර සිතන්නට අවශ්‍ය වෙන්නේ ද නැහැ.  




ස්මාර්ට් දුරකතනයේ බලයෙන් දුවන ලැප්ටොප් එක






මේ අමුතු විදිහේ ලැප්ටොප් එක හඳුන්වන්නේ XFINITUM නමින්. මෙහි ක්‍රියාකාරී බලය ලැබෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් හෝ ඇපල් දුරකතනයෙන්. කොහොමද මේක වෙන්නේ? අපි ඒ ගැන ටිකක් හොයා බලමු. මේක සාමාන්‍ය ලැප්ටොප් එකක් වගේම තමයි. බැටරියක්, මතක ගබඩාවක්වගේ හැමදෙයක්ම තියෙනවා. එකම වෙනස මෙහි සකසනයක් (Processor) නැති එකයි. සාමාන්‍යයෙන් ඕනෑම පරිගණකයකට, ස්මාර්ට් දුර්කතනයකට සකසනයක් නැතිව ක්‍රියාත්මක වෙන්න බැහැ. සකසනය තමයි මේවායේ මොලය ලෙස ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මේ ලැප්ටොප් එකට සකසනයක් නැති නැති නිසා මෙයට මොලයක්නැහැ කියා කියන්න පුළුවන්. මේ මොලයලබාගන්නේ ඔබේ ස්මාර්ට් දුරකතනයේ සකසනයෙන්. මුළින්ම මේ ලැප්ටොප් එක සඳහා නිර්මාණය කොට ඇති XFINITUM ඇප් එක (XFINITUM app ච ) ඔබේ ස්මාර්ට් දුරකතනයට ස්ථාපනය කරගන්න ඕන. ඉන් පස්සේ ස්මාර්ට් දුරකතනය සහ ලැප්ටොප් එක ජෝඩු’, එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න විදිහට පෙයර්’ (pair) කරන්න ඕන. ජෝඩු කළාට පස්සේ ඔන්න දැන් ලැප්ටොප් එක වැඩ. දැන් ඔබට එය සාමාන්‍ය ලැප්ටොප් එකක් විදිහට භාවිත කරන්න පුළුවන්. මෙහි ටෙරා බයිට් එකක මතක ධාරිතාවයක් වගේම පැය 73ක් දක්වා පවතින බැටරි බලයකින් ද යුක්තයි. 



පෙර ලිපිය

Sunday, March 19, 2017

සිරියානු දරුවන්ගේ ඛේදවාචකය



යළි කිසිදා දෑස් නෑරෙන සේ මුහුදු වෙරළක සදාකාලික නින්දකට වැටුණු සුරතල් සිඟිත්තාගේ මේ ඡායාරූපය බොහෝ දෙනෙකුගේ මතකයෙන් ගිළිහී නොගොස් ඇතැයි සිතේ. මේ සිරියානු බල අරගලයේ වේදනාබර මතකයන්ගෙන් එකක් පමණි. බලලෝභය නිසා අහිංසක මල් කැකුළු තැළී පොඩි වී යන රටක් ඇත්නම් ඒ අන් කිසි රටක් නොව මැදපෙරදිග කලාපයේ පවතින මුස්ලිම් රටක් වන සිරියාවය. පසුගිය වසර හය මුළුල්ලේ සිරියානු දරුවෝ බෝම්බ ප්‍රහාරයන්ට ගොදුරු වූහ. වෙඩිතැබීමවලට ගොදුරු වූහ. කුසගින්නේ මිය ගියහ. තම ආදරණීයයන් තම දෑස් ඉදිරිපිටදීම මරා දැමෙනු, හිංසා පීඩාවන්ට ලක්වන අයුරු ඔවුහු දුටුවහ. අනාගත සිහින දහසක් හිතේ දරා අකුරු කරන්නට ගිය පාසල් සියල්ල දුහුවිලි ගොඩක් බවට පත් විය. ඔවුනගේ පවුල් සී සී කඩ විසිරුණි. 



මේ සියලු දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දුන් සිරියානු දරුවන් තුළ ඉතා බරපතළ මානසික රෝගාබාධයන් මතුව තිබේ. ඒ බොහෝ ඒවා ඔවුන්ගේ ජීවිතය පවතින තුරුම තුරන්ව නොයනු ඇත. මේ බලලෝභී අර්බුදයට මැදි වූ ඇතැම් සිරියානු දරුවන් තව දුරටත් ජීවතුන් අතර නැත. ඇතැම්හු ආබාධිත වූහ. ඇතැම්හු කතා කරගන්නට පවා නොහැකි තත්වයට පත් වූහ. සුරතල් වියෙහි පසුවන මේ සිත්වලට දරාගත නොහැකි තරම් භීෂණයක් අත් දැක ඇති නිසාම බොහෝ දරුවන්ට නින්දක් පවා ලබන්නට මානසික තත්වයක් නැත. නින්දකට වැටුනහොත් යළිත් කිසිදා අවදිවන්නට නොහැකි වනු ඇතැයි බොහෝ දරුවෝ බියෙන් පසුවෙති. 


සිරියානු ජනපති බෂාර් අල්-අසාද්ට පක්ෂපාතී සහ විරුද්ධ හමුදා අතර දැන් වසර හයකට ආසන්න කාල්යක් තිස්සේ දරුණු ගැටුම් පවතී. මෙය මේ වන විට අන්තවාදී මුස්ලිම් කල්ලි අතර බල අරගලයක් බවට පත්ව හමාරය. මේ වන විට දෙලක්ෂ පනස් දහසක් පමණ දෙනෙක් මෙයින් ජීවිතක්ෂයට පත්ව තිබේ. කෙසේ නමුත් සිරියානු අර්බුදයෙහි වඩාත් ඛේදජනකම කාරණය වන්නේ දහස් ගණනක් දරුවන් මේ අර්බුදය නිසා පීඩාවට පත්ව තිබීමය. 



පසුගිය කාලය ගෙන බැලුවහොත් 2016 වසර යනු සිරියානු දරුවන් දරුණු ලෙසම යුද්ධයෙන් බැට කෑ වසර යැයි සදහන් කළ හැකිය. සිරියාවේ දරුවන්ගෙන් මිලියන 1.75 ක් පාසල් යන්නේ නැත. දරුවන්ට ලැබිය යුතු ආදරය සහ රැකවරණය නොමැති සිරියානු දරුවෝ මිලියන 8.4ක් අවතැන්ව පසුවෙමින් ආරක්ෂිත ස්ථාන සොයමින් යති. ඔවුන්ගෙන් ඇතැමෙක් සිරියාව තුළ ද, ඇතැමෙක් වෙනත් රටවල ද ජීවත් වෙති. ලෝකයේ අවතැන් වූවන් වැඩිම ප්‍රමාණයක් සිටින රට බවට ඇත්තේ සිරියාවය. 



 

 අපි කෑම කාලා නිදාගන්න ලෑස්ති වුණා විතරයි ඩෝං ගාලා සද්දයක් ඇවිත් පැත්තම දෙදරලා ගියා. අපි කාමරේට වෙලා පාර දිහා බලාගෙන හිටියේ. එක පාරට ප්ලේන් එකකින් දාපු බෝම්බය අපට වැදුණා. පුපුරන සද්දේ ඇහෙන කොට අපි මූණට මූණ බලාගෙන හිටියේ. මම තාත්තේකියලා කෑ ගැහුවා. ඒත් කවුරුවත් ආවේ නෑ. අන්තිමේදී අපිව බේරගන්න කවුරුහරි එනකල්ම එහෙමම හිටියා. අපේ අම්මයි තාත්තයි දෙන්නම මැරුණා.


මේ අවතැන් වූ දරු කිහිප දෙනෙකුගේ අත්දැකීමකි. මෙවැනි ඛේදජනක කතා තව දහස් ගණනක් තිබෙන්නට පුළුවන. 


2016 වසරේ අවම වශයෙන් දරුවෝ 652 ක් මරණයට පත් වූහ. එය 2015 වසරට වඩා 20%ක් වර්ධණයකි. දරුවන් 850දෙනෙක් ළමා සොල්දාදුවන් ලෙස සටන් බිමට යවා තිබේ. වෙඩි වැදීම්, බෝම්බ් ආදියට සිදුවන ගොදුරුවීම්වලට අමතරව පහසුවෙන් වළකාගත හැකි රෝගාබාධවලින් බොහෝ දරුවෝ මිය යති. වෛද්‍ය පහසුකම් ලැබීමට ඇති දුෂ්කරතාවය මෙයට ඇති ප්‍රධානතම හේතුවය. බොහෝ රෝහල් බෝම්බ ප්‍රහාරවලට ලක්ව විනාශ වී හමාරය. 




මේ වන විට මානූෂීය රැකවරණය අවශ්‍ය දරුවන්ගේ සංඛ්‍යාව මිලියන 6 කට ආසන්නය. එය 2012 වසරට වඩා දොළොස් ගුණයක වර්ධණයකි. මිලින 2.3ක අධික ප්‍රමාණයක් තුර්කිය, ලෙබනනය, ජෝර්දානය, ඊජිප්තුව සහ ඉරාකය යන රටවල සරණාගතච කඳවුරුවල දුක්බර ජීවිත ගත කරති.


බොහෝ සිරියානු දැරියන් බාල වයස්කාර විවාහවලට බලයෙන්ම යොමු කරනු සුලබ සිදුවීමකි. ළමා වහල් මෙහෙය  නතුවන දරුවෝ ද බොහෝ ය. බොහෝ දරුවන්ට යුද්ධය යනු ඛේදනීය අත්දැකීමකි. ඔවුන් සිහින මවන්නේ  යුද්ධයක් නොමැති සිරියාවක් බිහිවන තුරුය. එහෙත් ඒ සිහිනය සැබෑ වන දිනයක් පිළිබඳ සිතාගත නොහැකිය.

Sunday, March 12, 2017

සමලිංගික හුටපටයක් නිසා රුසියාව Beauty and the Beast තහනම් කරයි


සුප්‍රකට වෝල්ට් ඩිසිනි සමාගම මගින් නිෂ්පාදනය කොට මේ මාර්තු මාසයේ 16 වැනිදා තිරගත කිරීමට නියමිත බියුටි ඇන්ඩ් ද බීස්ට්’ (Beauty and the Beast) නම් නවතම සංගීතමය සිනමා පටය රුසියාව තුළ තහනම් කිරීමේ සූදානමක් පැවතීම පිළිබඳ පුවත මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යය ඔස්සේ ආන්දෝලනාත්මක කතා බහකට ලක්වෙමින් පවතී. මෙයට හේතුව වශයෙන් සඳහන් කරන්නේ රුසියාවේ සමලිංගික නීතියට පටහැනි දර්ශන මෙහි අන්තර්ගතවීම යන්නය. 


බියුටි ඇන්ඩ් ද බීස්ට්යනු ලොව පුරා ළමා පරපුර මෙන්ම වැඩිහිටි පරපුරද එකසේ රස විඳි සුප්‍රකට සුරංගනා කතාවකි. මෙය සුරංගනා කතාවක් ලෙස ඒ ආකාරයෙන්ම නිර්මාණය වූ පොත් සහ සිනමා නිර්මාණ බොහොමයකි. එමෙන්ම මෙය පාදක කරගනිමින් බිහි වූ නිර්මාණයන් ද එමටය. වෝල්ට් ඩිස්නි සමාගම වෙනුවෙන් මෙය යළි නිර්මාණය කරන්නට දායක වී ඇත්තේ එහ අධ්‍යක්ෂ බිල් කොන්ඩන්ය. තිර රචනය ස්ටීවන් ච්බොස්ක්ගෙනි. එමා වොට්සන්, ඩෑන් ස්ටීවන්, ලූක් එවන්ස්, කෙවින් ක්ලයින් ඇතුළු ලෝක ප්‍රකට නළු නිළියන් රැසක් පෙනී සිටින මෙහි නිෂ්පාපදන පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 160කි. මෙහි පූර්ව දර්ශනයක් පසුගිය පෙබරවාරි 23 වැනිදා ලන්ඩනයේ දී දැක ගත හැකි විය. ඉන්පසු වෝල්ට් ඩිස්නි සමාගම මෙය ලොව පුරා ප්‍රදර්ශනය කරන්නට සූදානම් වෙද්දී රුසියාවෙන් ඉහත සඳහන් කළ විරෝධය මතු ව ආවේය. 


රුසියානු නීති සම්පාදකයකු වන විටාලි මිලිනොව් විසින් එරට සංස්කෘතික අමාත්‍ය ව්ලැදිමීර් මෙඩින්ස්කි වෙත ලිපියක් යොමු කරමින් පවසා තිබුණේ ඉදිරියේ ප්‍රදර්ශනය වීමට නියමිත මෙම චිත්‍රපටයේ සමලිංගික දර්ශනයක් ඇතුළත්ව ඇති බැවින් ඒ පිළිබඳ සොයා බලා ප්‍රදර්ශනය කිරීම අවලංගු කොට දමන ලෙස බව එරට ආර්.අයි.ඒ. නොවොස්ති පුවත් සේවය වාර්තා කොට තිබිණි. 


බාල වයස්කරුවන්ට සමලිංගිකත්වය පිළිබඳ තොරතුරු දැනගන්නට සැළැස්වීම රුසියාව තුළ 2013 වසරේ සිට නීතියෙන් තහනම්ය. රුසියානු ජනධිපති ව්ලැදිමීර් පුටින් විසින් අත්සන් තබන ලද මෙම නීතියට එරට මෙන්ම සෙසු බටහිර ලෝකයේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ සහ ලොව පුරා සමලිංගිකයන්ගේ දැඩි කෝපයට හේතු වී ඇත. මෙම නීතියෙන් ප්‍රකාශ කොට ඇත්තේ සමලිංගිකත්වය යනු සාම්ප්‍රදායික නොව ලිංගික සබඳතාවයක්ලෙසිනි. 


ළමා කතා කියන වෙස් මුහුණ දාගෙන චිත්‍රපට නිෂ්පාදකයෝ කරන්නේ මොනවද කියන එක ගැන සමාජයට මේ තත්වය යටතේ නිහඬව බලා ඉන්න බැහැ.මිලිනොව් පැවසීය. 


මෙම චිත්‍රපටයේ පිටපතක් ලද වහාම සංස්කෘතික අමාත්‍යංශය මේ පිළිබඳ නීතිමය පියවරක් ගනු ඇති බව මෙඩින්ස්කි බීබීසී පුවත් සේවයට පැවසූවේය. 



ඩිස්නි සමාගම තම සිනමා නිර්මාණයකට එක් කළ සමලිංගික අර්ථයක් කුළුගැන්වෙන ප්‍රථම අවස්ථාව මේ යැයි පැවසේ. මෙහි සමලිංගික චරිතය වන ලීෆෞ ලෙස පෙනී සිටින්නේ ජොෂ් ගාර්ඩ් නම් රංගන ශිල්පියාය. ප්‍රසිද්ධ දර්ශනයක මෙම රංගන ශිල්පියා සමලිංගික හැඟීම් ජනිත කරවමින් රංගනයේ යෙදෙයි. තත්පර කිහිපයක පමණ දර්ශනයක් වන මෙහි පිරිමින් දෙදෙනෙකු අතර ප්‍රේමාන්විත හැඟීම් හුවමාරු වන බව දක්නට ලැබේ. 


රුසියාවේ පමණක් නොව ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ සිනමා ශාලාවක පරිපාලනය ද මෙම දර්ශනය සහිතව මෙය ප්‍රදර්ශනය කිරීම ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වේ. 


රුසියාවේ පාසල් දරුවන්ට සිසිර ඍතුව සඳහා නිවාඩු ලබාදීමත් සමඟම මෙම චිත්‍රපටය එරට ප්‍රදර්ශනය කරන්නට සැලසුම් කොට තිබීම පිළිබඳ එරට දෙමාපියන් ද මහත් කනස්සල්ලට පත් සිටින බැව් වාර්තා වේ. එවැනි බොහෝ දෙමාපියන්ගෙන් මෙයට විරෝධය පළකොට ලිපි ද ලැබී ඇති බව ඔහු සඳහන් කරයි. 


රජයේ ප්‍රධාන වගකීම වන්නේ පිළිකුල් සහගත දෙයින් පිරුණු ලෝකයෙන් තම දරු පරපුර සහ තරුණ පරපුර ආරක්ෂා කරගැනීමයි. දරුවන්ගේ පිවිතරු බව රැකගෙන ඔවුන්ව අහිතකර දෙයින් වළකාලිය යුතුයි. ඒ නිසා කුමන ආකාරයෙන් වේශයකින් පැමිණියත් මේ සංගීතමය චිත්‍රපටය රුසියාව තුළ ප්‍රදර්ශනය කිරීම තහනම් කළ යුතුයි.” 


යනුවෙන් මිලිනොව් සිය අදහස් ඉදිරිපත් කරමින් පැවසීය. 


ලෝකයේ සිදුවන විවිධාකාර විනාශකාරී සිදුවීම් පිළිබඳ ලෝකය දැනුම්වත්කරමින් ඒවා නවතාලන්නට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සංවිධානයක් සහ වෙබ් අඩවියක් වන චේන්ජ්.ඕආර්ජී’ (www.change.org) ද අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් ඉදිරිපත් කරමින් උදක්ම මෙම සමලිංගික දර්ශනය ඉවත්කොට මෙය තිරගත කරන ලෙස පවසා සිටියත් දැන් එම පෙත්සම ඉවත්කොට ගෙන තිබේ.


මෙය තිරගත වන්නට තව වැඩි දිනක් නැත. ඩිස්නි සමාගම මේ සම්බන්ධව කුමන තීරණයක් ගනු ඇති දැයි කිව නොහැකිය. අපට සිදුව ඇත්තේ කුමක් සිදුවේදැයි බලා සිටීම පමණි.



Thursday, March 9, 2017

කෙල්ලන් කසාද බැඳගත් වයසක මිනිස්සු - Famous Men Who Married Much Younger Women

මෙය මඟුල් සක්වළක් යැයි පවසන්නේ කට කහනවාට නොවේය යන්න තහවුරු කරන්නට ඕනෑ තරම් කාරණා සොයා ගන්නට තිබේ. යන්තම් වචනයක් ලිස්සා ගියත් මොන මඟුලක් ද?” කියා අසන්නේත් මඟුල්අපට ඉතා සමීප කටයුත්තක් නිසා විය හැකිය. මේ නිසා මඟුල් කන්නට කාලයක්, වේලාවක්, තරාතිරමක්. වයසක් හෝ වෙනත් බාධාවක් අවශ්‍ය නැත. සාලිය කුමාරයා අශෝකමාලාවන් කරකාර බැඳගත්තේත් එඩ්වර්ඩ් රජුට රජ කිරුළ අහිමි වූයෙත් මේ මඟුල්නිසාය. මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි දෙවනත් කරමින් අප රටේ මඟුල් ගැන කතා කරනු පෙනේ. අනුන්ගේ මඟුල්වලින් අපට වැඩක් නැති වුවත්, කවුරුත් කතා කරන්නේ මේ මඟුල් ගැන නිසාත්, ලෝකයේ සිදුවන මඟුල් ගැන නිතර සොයන පුරුද්දක් ඇති නිසා මෙවැනි මඟුල් සිදුවී ඇත්තේ අප රටේ පමණක් ද කියාත් සොයා බැලීම ගැනත් යමෙක් උරණ වෙනවා නම් එය හරි මඟුලක්නේයැයි අසන්නට සිතේ. ලෝකයේ බොහෝ සුප්‍රකට පුද්ගලයෝ මරු එනු දැක දැකත් මඟුල් කරගන්නවා පෙනේ. මේ නිසා සෑම මඟුලක්ම පිළිබඳව නොව පිරිමින් වයසට ගොස් නහින දෙහින කාලයටපැමිණෙද්දී මඟුල් කර ගැනීමට සිතීම පිළිබඳ ගැන කතා කරන්නට මේ හොඳම කාලය යැයි සිතේ. ඔබ දැන් කියවන්න සැරසෙන්නේ එවැනි මඟුල් ගැනය.

ඩොනල්ඩ් ට්‍රම්ප්


මඟුල් කර ගැනීම් පිළිබඳ කතා කිරීමේදී මුලින්ම මතකයට එන්නේ මෑතකදී පත්වූ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්වය.  ඔහු කාන්තාවන් කෙරෙහි දක්වන අමුතුම ආකාරයේ අභිරුචිය ලෝකයම දන්නා කාරණයකි. එක් මඟුලකින් සෑහීමකට පත්වන්නට නොහැකි වූ ඔහු විවාහයන් තුනක්ම කරගත්තේය. අවසන් වරට ඔහු විවාහ වූයේ 2005 වසරේදීය. ඒ වන විට ඔහු 59 වැනි වියෙහි පසු විය. ඔහුගේ ප්‍රියම්බිකාව බවට පත්වූ මෙලනියා ක්නාවුස් ඒ වන විට පසුවූයේ 35 වැනි වියෙහිය. විවාහයෙන් පසු ක්නාවුස්යන වාසගම ට්‍රම්ප්බවට පත්කරගත් ඇය තවමත් ඒ වාසගමින්ම ට්‍රම්ස් සමගම දිවි ගෙවයි.

රූපට් මර්ඩොක්


රූපට් මර්ඩොක් යනු ඔස්ට්‍රේලියාවේ මාධ්‍ය දැවැන්තයෙකි. ඔහු විවාහ වී වසර 32කට පසුව බිරිඳ වූ ඇනා එපා වුණු තත්වයකට පැමිණි නිසා ඇයගෙන් දික්කසාද වූවේය. ඒ වන විට ඔහුට දරුවන් තිදෙනෙකු ද විය. මුදල් හදල්වලින් අඩුවක් නොමැති පුද්ගලයෙක් වූ බැවින් මේ මොන මඟුලක්දැයි සිතමින් ඔහු සිය හිටපුබිරිඳ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.7 වත්කම් පවරා ඇගේ ජීවන බර අඩුකරන්නට ද කටයුතු යෙදුවේය. ඒ වන විට ඔහු 68 වියෙහි පසුවූයේය. ගතවූයේ දින දාහතක් පමණි. ඔහුට යළිත් මඟුලක් කරගන්නට සිතී චීන සම්භවයක් ඇති වෙන්ඩි ඩෙන්ග් කැන්දන් ආවේය. ඇය ඔහුගේ රූපවාහිනි ආයතනයේ උප සභාපතිනිය ලෙස සිටි තැනැත්තියයි. ඇය ඔහුට වඩා වයසින් අවුරුදු 38ක් ලාබාල තැනැත්තියක වූවාය. ඇනාටද මේවා බලා සිටින්නටම බැරි තැන විලියම් මෑන් කියා ව්‍යාපාරිකයකු සමග විවාහ වූවාය. කෙසේ නමුත් මර්ඩොක්ගේ මඟුල 2013 දී කඩා වැටුණු අතර අමාරුවෙන් අවුරුදු තුනක් මඟුල් නටන්නේ නැතිව සිට යළිත් ජෙරී හෝල් කියන නිළිය හා මෝස්තර නිරූපිකාව කසාද බැඳ ගත්තේය. ඔහු තවමත් සිටින්නේ ඇය සමඟය.

ෆ්‍රෙඩ් ඇස්ටෙයාර්


ෆ්‍රෙඩ් යනු ලෝකයේ සිටි හොඳම නළුවෙකි. ඔහු පළමු කසාදයෙන් හෙම්බත් වී දෙවැනි කසාදයක් කරගනිද්දී ඔහු 81 වැනි වියෙහි පසුවූයේය. නමුත් වයසට ගිහින් මඟුල් නටනවා යැයි කිසිවෙකු කීවේ නැත. ඔහුගේ දෙවැනි බිරිඳ වූ රොබින් ස්මිත් ඔහුට වඩා අවුරුදු 45කින් ලාබාල වූවාය. කෙසේ නමුත් ඔහුගේ මරණය දක්වාම ඔහුගේ බිරිඳ වුයේ ඇයයි.

පැබ්ලෝ පිකාසෝ


පැබ්ලෝ පිකාසෝ (ඔහු ගැන මෙතැනින් කියවන්න) යනු චිත්‍ර අඳින තරමටම මඟුල් නටන්නට ද ප්‍රසිද්ධ වූ පුද්ගලයකු විය. ඔහු චිත්‍ර අඳිනවාට වඩා වේගයකින් ප්‍රේම සබඳතා ඇති කරගත්තේ යැයි ඔහුගේ ජීවිත කතාව දෙස බැලීමේදී පෙනෙයි. කෙසේ මුත් ඔහුගේ ජීවිතයේ තිබුණේ කසාද දෙකකි. පළමු බිරිඳගෙන් වෙන් වූ පසු ඔහු දෙවැනි විවාහයක් කරගනිද්දී 79 වැනි වියෙහි පසු වූවේය. ඔහු කසාද බැඳගත් දෙවැනි බිරිඳ වූ ජැකලින් රෝක් ඔහුට වඩා අවුරුදු 52ක් පමණ වයසින් ලාබාල තැනැත්තියක වූවාය. කෙසේ වෙතත් පිකාසෝගේ මරණය දක්වාම ඇය සෙවණැල්ලක් සේ ඔහු ළඟින්ම සිටි බව පැවසේ.

ක්ලින්ට් ඊස්ට්වුඩ්


ගොපලු චිත්‍රපට පිළිබඳ උනන්දුවන්නෙක් නම් ක්ලින්ට් ඊස්ටවුඩ් ගැන නොදැන සිටින්නට ඉඩක් නැත. ඔහු ලෝක ප්‍රකට නළුවකු සේම අධ්‍යක්ෂවරයකු ද වෙයි. චිත්‍රපටවලදී අශ්වයන්ගේ පිට ගොස් ගොනුන්ට තොණ්ඩු දාන්නා වේගයෙන්  ඔහු ගැහැනුන්ව ආකර්ෂණය කරගත් බව ඔහුගේ පැටිකිරිය පිරික්සීමෙන් පෙනෙයි. කෙසේ මුත් ඔහුගේ ජීවිතයේ තිබුණේ කසාද දෙකකි. පළමු බිරිඳගෙන් දික්කසාද වීමෙන් පසු ඔහු ඔහු 1996 දී දෙවැනි විවාහය කරගත්තේය. ඒ වන විට ක්ලින්ට් 66 වැනි වියෙහි පසු වූයේය. ඔහුගේ දෙවැනි බිරිද වූ ඩිනා රූස්  ඔහුට වඩා අවුරුදු 35ක් ලාබාල තැනැත්තියක වූවාය. නමුත් ඒ කසාදය 2014 දී කෙළවර විය. කෙසේ නමුත් ඔහු නැවතත් මඟුලක් කර නොගනු ඇතැයි සිතිය නොහැකිය.  

වුඩි ඇලන්


ඇමරිකානු විකට නළුවකු, සිනමා නිර්මාණකරුවකු, තිර රචකයකු සේම සංගීතඥයකු ද වන වුඩි ඇලන් සිය තෙවැනි විවාහය ගැන සිතද්දී පසුවූයේ 56 වැනි වියෙහිය. ඔහු සමඟ මඟුල්කෑම සඳහා කැමති වූ සුන් යේ පෙවින් ඒ වන විට පසුවූයේ 19 වැනි වියෙහිය. පෙවින් යනු ඔහුගේ ව්‍යාපාර හවුල්කාරියක වූ මියා ෆැරෝ විසින් හදා වඩා ගත් දියණියක වූ අතර වුඩි ඇලන් සහ පෙවින් අතර දැන හැඳුනුම්කම වසර දහයකටත් වැඩි යැයි පැවසේ. ඔවුන් දෙදෙනා 1997 දී විවාහ වූ අතර ඒ වන විට වුඩිට ප්‍රජනන ශක්තියක් නොවූයෙන් ඔවුහු වෙනත් දරුවන් හදා වඩා ගන්නට තීරණය කළහ. ඒ අනුව ඔවුන් විසින් හදා වඩා ගන්නා ලද දරුවන් සංඛ්‍යාව දෙදෙනෙකි. පෙවින් තවමත් වුඩිගේ දයාබර බිරින්දෑය.

සිල්වෙස්ටර් ස්ටැලොන්


කොමාන්ඩෝයන ක්‍රියාදාම චිත්‍රපට ඔස්සේ සිනමා ලෝකය හොල්ලන ලද නළුවකු වූ සිල්වෙස්ටර් ස්ටැලෝන්ට ද එක් විවාහයකින් සෑහෙන්නට නොහැකි විය. මේ නිසා ඔහු විවාහ තුනක්ම කරගත්තේය. තෙවැනි විවාහය කරනිද්දී ඔහු 51 වැනි වියෙහි පසූ වූ අතර ඔහුගේ දයාබර බිරිඳ බවට පත් වූ ජෙනිෆර් ෆ්ලේවින් 27 වැනි වියෙහි පසු වූවාය. ඔවුන් අතර වයස් පරතරය අවුරුදු 24ක් වූ අතර ඇය තවමත් ඔහුගේ ප්‍රිය බිරිඳම වන්නීය.

රොබට් ඩුවාල්


රොබට් ඩුවාල් සම්මානලාභී ඇමරිකානු නළුවකු සේම සිනමා නිර්මාණකරුවකු වේ. සම්මාන තරමටම විවාහයන් අවශ්‍ය වූ නිසාදෝ ඔහුට එක් විවාහයක් මදි වූ අතර විවාහයන් හතරක්ම කරගත්තේය. හතරවැන්න කරගනිද්දී ඔහු 74 වැනි වියෙහි පසුවූවේය. ඔහු සමඟ විවාහ වූ ලුසියානා පෙඩ්‍රාසා පසූවූයේ 33 වැනි වියෙහිය. කෙසේ නමුත් ඇය තවමත් ඔහුගේ බිරිඳය.


මෙසේ සඳහන් කළ ලෝක ප්‍රකට පුද්ගලයන්ට අමතරව තවත් බොහෝ පුද්ගලයෝ තමාට වඩා ලාබාල තරුණියන් විවාහ කරගෙන සතුටින් ජීවත්වන බව පෙනේ. එබැවින් විවාහයක සතුට හෝ වේදනාව රඳා පවතින්නේ වයස හෝ වෙනත් සාධකයක් මත නොව ඔවුනොවුන් අවබෝධ කරගන්නා ආකාරය අනුව බව පැහැදිලිය.