පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, November 29, 2013

කුඩා කාමරයක පෙනුම විශාල කරගන්නේ කොහොමද? - How to make bigger look to a small room or house?

අද තරම් ඉඩකඩම් මිල අධික නොවූ අතීතයේ නිවෙසක් ගොඩනගන විට එය සැළකිය යුතු තරම් විශාල ලෙස ගොඩනගන්නට බොහෝ දෙනෙකු උත්සාහගත් බැව් පෙනේ. සාලය, ඉස්තෝප්පුව, කෑම කාමරය හා නිදන කාමර සෑහෙන ඉඩපහසුකම්වලින් සමන්විතවන සේ ගොඩනගනු ලැබිණි. නමුත් වර්තමානය වන විට ඉඩකඩම් මිල අධික බැවින් බොහෝ දෙනෙකුට මිලදී ගැනීමට සිදුව ඇත්තේ කුඩා ඉඩමක් පමණි. ඒ කුඩා ඉඩමෙහි පවා නිවසක් ගොඩනගාගන්නේ ද මහත් දුෂ්කර කටයුත්තක නියැළෙමිනි. එබැවින් අතීතයේ මෙන් සැළකිය යුතු තරම් විශාල ලෙස ඉදිකිරීම් කරන්නට බොහෝ දෙනෙකුට හැකියාවක් නැත. මෙසේ ගොඩ නගාගත් නිවසට හිතවතකු හෝ වෙනත් අමුත්තකු හෝ පැමිණි විට, “අයියෝ මේ කාමර එහෙම හරි පොඩියි නේද? හැරෙන්නවත් ඉඩක් නැහැනේ” වැනි දෙයක් පැවසුවහොත් එය නිසැක ලෙසම ඔබගේ සිත්තැවුලට හේතුවක් වනු ඇත. නමුත් ඔබට වැටහෙන පරිදි ඔබගේ නිවස සැළසුම් කරන්නට ඇත්තේ හැකි උපරිම ආකාරයෙන් දැකුම්කලු නිවසක් හිමිවන පරිදි වන්නට පුළුවන. කෙසේ මුත් ඔබ මෙවැනි ගැටලු පිළිබඳ සිතමින් කල්ගත කළ යුතු වන්නේ නැත. නිවෙස්වල අභ්‍යන්තරව සිදුකෙරෙනා යම් යම් සැළසුම් මගින් ඔබට මෙම ගැටලුවෙන් මිදෙන්නට පුළුවන. අද අප කතා කරන්නට සැරසෙන්නේ ද ඒ පිළිබඳවය. 
මේ සඳහා යොදාගැනෙන්නේ ‛අභ්‍යන්තර සැළසුම්’ (Interior Design)  යනුවෙන් හැඳින්වෙන ශිල්පීය ක්‍රමයයි. ඔබට මෙහි සඳහන් පියවර ඔබගේ දැනුම ද උපයෝගී කොටගෙන අනුගමනය කළහොත් වඩාත් යහපත් ප්‍රතිඵල අත්කරගන්නට හැකිවනු නොඅනුමානය. සැබවින්ම මෙහිදී කෙරෙන්නේ ඇස රැවටීමකට ලක්වන සේ සියලු දේ පිළියෙල කිරීමය. එවිට සැබවින්ම පවතින ඉඩකඩට වඩා වැඩි ප්‍රමාණයක් අප ඉදිරියේ ඇතැයි සිතේ. වර්ණ ගැළපුම, ගෘහභාණ්ඩ සැළසුම, ආලෝකය මේ අතර විශේෂ තැනක් ගනී. 

1. ළා වර්ණය හා නිවැරදි වර්ණ සංකලනය 


කුඩා ඉඩක් විශාල කර දැක්වීම සදහා භාවිත කළ හැකි හොඳම වර්ණයන් වන්නේ ක්‍රීම් හා අයිස් නිල් පැහැයයි. තද වර්ණයන්ට වඩා ළා වර්ණයන් භාවිතයෙන් ඕනෑම කුඩා ඉඩක් විශාල කොට දැක්විය හැකිය. බිත්තවල ළා පැහැය ආලේප කිරීමෙන් එයින් පරාවර්තනය වන ආලෝකය වැඩිය. ස්වභාවික ආලෝකය මෙසේ පතිතවන්නට සැළසීමෙන් කාමරය සෑහෙන ඉඩපහසුකම් ඇති තැනක් ලෙස පෙන්නුම් කරයි. තද පැහැය භාවිතය මගින් සිදුවන්නේ අලෝකය උරා ගැනීමය. එවිට කාමරය කුඩා ලෙස දිස්වේ. වඩාත් යහපත් ප්‍රතිඵල සඳහා නිල් සහ කොළ වර්ණයන්ගේ ළා සහ මෘදු නිෂාපාදනයන් භාවිත කරන්න. දීප්තිමත් කුටි වඩාත් විශාල ලෙස දිස්වන අතර ඇසට ද ප්‍රිය උපදවයි. ඔබගේ කුටියෙහි බිත්තවලින් ඉල්පී ඇති කොටස් ඇත්නම් ඒවා බිත්තවලට ද වඩා ළා පැහැ වර්ණයකින් පින්තාරු කරන්න. එවිට කුටායෙහි බිත්ති වඩාත් පසුපසින් පිහිටා ඇති බවක් දිස් වේ. එවිට එහි විශාල පෙනුම තවත් වර්ධණය වේ. 

2. ස්වභාවික ආලෝකය 


ස්වභාවික ආලෝකය කාමරයක් තුළට පතිත වන්නට සැළැස්වීමෙන් එහි පෙනුම කෙතරම් විශාලව පෙනේදැයි ඔබටම අවබෝධ කරගන්නට හැකිය. ඔබගේ කුටියට ස්වභාවික ආලෝකය ලබාගන්නට ඇති හැකියාව අඩු නම් ඒ වෙනුවට නිර්මාණශීලී ආලෝක ක්‍රම භාවිත කරන්නට පුළුවන. මෙවැනි කුඩා දෙයකින් වුවත් කෙතරම් දැවැන්ත ප්‍රතිපළයක් ගත හැකි දැයි ඔබ විශ්මයට පත්වනු නිසැකය. ඔබගේ කුටියෙහි ඇත්තේ කුඩා කවුළු නම් ඒවා වෙනුවට තරමක් විශාල ඒවා යොදන්න. එසේ කිරීමෙන් පෙරට වඩා ස්වභාවික ආලෝකය කුටිය තුළට පතිත වනු ඇත. එවිට කුටිය පෙරට වඩා එළිමහන සමඟ සම්බන්ධ වේ. එමෙන්ම කවුළුවලට දමා ඇති තිර රෙදි හැකිතාක් දෙපසට කොට ආලෝකය හැකි තරම් කුටිය තුළට පතිතවීමට සළස්වන්න. කවුළුවෙන් පෙනෙන දර්ශනය එතරම් දැකුම්කළ නැතිනම් කවුළුව අසළ මල් බඳුන්, පෝච්චිවල සිටුවන ලද පැළෑටි වැනි දෑ පෙනෙන සේ තබන්න. පහන් කණුවක් එළිමහනෙහි සවිකිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිපළ ලබාගන්නට පුළුවන. 

3. සංවිධිතබව 


කුඩා ඉඩක් ඇති ස්ථානයක් අපිළිවෙලට තිබීමෙන් ඉඩකඩ මද බවක් දිස්වේ. අනවශ්‍ය සියලු දෑ නොපෙනෙන සේ තබා, අවශ්‍ය දෑ ඉතාමත් පිළිවෙළකට තබාගන්න. එවිට ඉඩ මදබව දිස්වන්නේ නැත. ඔබගේ කුටියේ බිත්තිවල බොහෝ පින්තූර එල්ලීමෙන් වළකින්න. කුඩා පින්තූර කිහිපයකට වඩා එක් විශාල පිංතූරයක් වැඩි මෙහෙයක්ඉටු කරනු ඇත. එය තෙල් හෝ දියසායම් සිතුවමක් නම් වඩාත් සුදුසු වේ. පින්තූර බොහෝ තිබීමෙන් එතුළට පැමිණෙන පුද්ගලයාගේ අවධානය ඔබමොබ දිව යයි. එවිට ඒ තැනැත්තාගේ සිතේ සන්සුන්බව බිඳී යාමෙන් ඔබේ කුටිය තුළ කලබලකාරීබව ඇති තැනකැයි හැඟෙන්නට පුළුවන. කුඩා කුටියක් අලංකාර කිරීම්දී යම්කිසි එක් ස්ථානයක් පමණක් කේන්ද්‍රවන සේ සියල්ල පිළියෙල කරන්න. එවිට ඕනෑම අයෙකුගේ නෙත ඇදෙන්නේ එම ස්ථානයට පමණි. කෑම කාමරයක් නම් කේන්ද්‍රගත ස්ථානය විය යුත්තේ කෑම මේසයයි. නිදන කාමරයක් නම් යහන යි. එම කුටියෙහි අනෙකුත් සියලු දේ සකස්කළ යුත්තේ එම කේන්ද්‍රගත ස්ථානයෙන් අවධානය ඉවතට නොයන පරිදිය. බිම හැකිතාක් හිස්ව තබන්න. ඉඩකඩ වැඩිපුර ඇතිබව පෙන්වීමට මෙය අත්‍යවශයම දෙයකි. 

4. කැඩපත් තැබීම 


ඔබගේ කුටියේ නිවැරදි ආකාරයට කැඩපත් තැබීමෙන් ද එහි ඉඩකඩ වැඩි පෙනුමක් ඇතිකළ හැකිය. එමගින් ඇති කෙරෙන්නේ දෘෂ්‍ය මායාවක් වැනි දෙයක් වුවද එය ඔබගේ අරමුණ ඉටුකරදෙයි. එමෙන්ම කැඩපත් මගින් ස්වභාවික මෙන්ම කෘත්‍රීම ආලෝකය පරාවර්තනය වීම ද සිදුවේ. ඒවා මගින් කුටියේ සියලු අත ආලෝකය පතුරුවා හරින බැවින් එහි ඉඩකඩ වැඩි බව වඩාත් හොඳින් දිස් වේ. කුටියෙන් එළිමහනේ ඇති දෑ පරාවර්තනය කොට පෙන්වීම සඳහා කැඩපතක් තැබීම ද ප්‍රතිඵලදායක වේ. 

5. සිත් ඇදගන්නා සුළු ලෙස ගෘහ භාණ්ඩ පිළියෙලකරීම 


ගෘහභාණ්ඩ සඳහා වැඩි ඉඩකඩක් වෙන්වෙයි. එය මගහැරගැනීම සඳහා මෙම පියවර අනුගමනය කල හැකිය. 
- කාර්යයන් කිහිපයක් කරගතහැකි ආකාරයේ ගෘහභාණ්ඩ භාවිත කරන්න. එමෙන්ම හැකිළිය හැකි ගෘහභාණ්ඩ ද ප්‍රයෝජනවත් වේ. 
-විශාල ගෘහභාණ්ඩ ඇත්නම් ඒවා බිත්තිය අද්දරටම වන සේ තබන්න. එවිට ඉඩකඩ ඉතිරිවෙයි. ඒවා කුටිය මැදින් තැබීමෙන් ඉඩකඩ ඇහිරී යයි. 
- කුටියට ගැළපෙන ප්‍රමාණයේ ගෘහභාණ්ඩ පමණක් මිලට ගන්න. අනවශ්‍ය තරම් විශාල වූ විට සිදුවන්නේ කුටියෙහි ඉඩ ඇහිරී යාමයි. එමෙන්ම බිත්ති හා ගෘහභාණ්ඩ එකම පැහැයෙන් යුක්තවීමද වැදගත්ය. එවිට ගෘහභාණ්ඩ වෙනුවෙන් වෙන්වී ඇති ඉඩ එතරම් පෙනෙන්නේ නැත. 
- ගාහභාණ්ඩ උසින් වැඩි නම් ඒවායේ මුදුන සහ සීලිම අතර ඉඩකඩ අඩුවෙන් පෙනෙන්නට පුළුවන. එවිට ඉඩකඩ ඇහිරී ඇති පෙනුමක් දිස්වන්නට ඉඩතිබේ. ඒ පිළිබඳව සැළකිලිමත් විය යුතුය. 



ඔබේ දරුවා සහ පෙර පාසල - Your Child and Pre School

පෙර පාසල් යන ඔබේ දරුවා යන්නේ සැබෑ මොන්ටිසෝරියකට නොවේ


වර්තමානයේ දරුවකු පාසලකට ඇතුලත් කරගන්නවා හා සමාන වෙහෙසක් ළදරු පාසලකට ඇතුළත් කිරීමේදී ද යොදන්නට දෙමාපියන්ට සිදුව තිබේ. ඒවා දැන් ඒ  තරමටම වැදගත්ය. දැනට වසර ගණනාවකට පෙර, පෙර පාසල් හඳුන්වනු ලැබුයේ ‛මොන්ටිසෝරි’ යන නමිනි. නමුත් වර්තමානයේ මේවා හඳුන්වනු ලබන්නේ ‛මුල් ළමා විය සංවර්ධණ මධ්‍යස්ථාන’ නමිනි. ක්‍රමවත් ලෙස පවත්වාගෙන යන මෙවැනි මධ්‍යස්ථාන ඔස්සේ නවීන ළමා අධ්‍යාපන ක්‍රවේදයන්ට අනුව වයස අවුරුදු 5 ට අඩු දැරුවන් උදෙසා අධ්‍යපානය ලබාදීම සිදුකරයි. මෙවැනි ඇතැම් මධ්‍යස්ථානවල පාසලේ පළමු වසර තුළ උගන්වනු ලබන කරුණු ද උගන්වනු ලබන බැව් පෙනේ. නමුත් එය එසේ සිදු නොවිය යුතුය. මෙවැනි වයස් කාණ්ඩවල සිටිනා දරුවන් සඳහා පිළිගත් අධ්‍යාපන ක්‍රමයක් ද තිබේ. නමුත් වර්තමාන අධ්‍යාපන තරගයට හා මුදල් සෙවීම අරමුණු කරගත් මෙවැනි ඇතැම් ස්ථාන දෙමාපියන්ගෙන් ‛හොඳ නම’ අසාගැනීමට ඇති කැමැත්ත නිසා කුඩා දරුවන්ට දිය යුතු අධ්‍යපානය මගහැර, ඒ වෙනුවට තරගකාරී අධ්‍යාපනයට අවශ්‍ය මූලික අඩිතාලම දමන්නට උත්සාහ කරනු පෙනේ. නමුත් මෙවැනි පාසල් ලොවට හඳුන්වා දෙන්නට මූලිකත්වය  දුන් ‛මාරියෝ මොන්ටිසෝරි’ සඳහන් කරන්නේද මෙවැනි අධ්‍යාපන ක්‍රමයක් පිළිබඳව නම් නොවේ. 

මාරියෝ මොන්ටිසෝරි යනු කවරෙක්ද? 

මාරියා මොන්ටිසෝරි

ඔබ ද මොන්ටිසෝරි ගොස් ඇතිවාට සැක නැත. නමුත් මේ නම කෙසේ ඇතිවූවාදැයි ඔබ නිකමට හෝ නොසිතන්නට ඇත. මේ සියල්ලට මුල් වූයේ මාරියෝ මොන්ටිසෝරි නමැති කාන්තාවයි. වර්ෂ 1870 අගෝස්තු 31 වැනිදා උපන් ‛මාරියෝ ටෙක්ලා ආර්ටිමීසියා මොන්ටිසෝරි’ යනු ඉතාලි ජාතික වෛද්‍යවරියකි. ඇය ලොව පුරා අතිශය ජනප්‍රියත්වය පත් වූයේ තමා විසින් ලොවට හඳුන්වා දුන් ළදරු අධ්‍යාපන ක්‍රමය නිසාය. ‛මොන්ටිසෝරි’ නම් වූ එම නම අප රටේ දැනට භාවිතයට නොගැනුන ද ලෝකයේ වෙනත් රටවල තවමත් භාවිතයට ගැනෙන බැව් පෙනේ. 
ඇය මුළින්ම සිය ළදරු අධ්‍යපාන ක්‍රමය අත්හදා බලා තිබුණේ මානසික ආබාධවලින් යුක්ත දරුවන් සඳහාය. සිය ක්‍රමවේදයන්ට අනුව අධ්‍යාපනය ලබාදීමෙන් පසු එම දරුවන් ඉතා දක්ෂ ලෙස අධ්‍යාපන කටයුතුවල යෙදන්නට වූ නිසා වර්ෂ 1907 දී ඇය රෝම නගරයේ මුඩුක්කු කලාපයක් ආශ්‍රිත ළදරු පාසලක අධ්‍යක්ෂවරිය බවට පත්කෙරිණි. එහි අරමුණ වූයේ වීදි දරුවන් වීදිවලින් මුදාගෙනවුත් ඔවුනට යහපත් ජීවිතයක් ලබාදීමය. එහි වයස අවුරුදු 3 - 6 දක්වා දරුවෝ වූහ. ඇය තමා මානසික ආබාධවලින් යුක්ත දරුවන් වෙනුවෙන් යොදාගත් ක්‍රමවේදයම මෙහිදී යොදාගත් අතර එය සාර්ථක විය. ඇය මෙහිදී සිදු කළේ දරුවන්ට පොත්පත්වල ඇති දේ දරුවන්ට ඉගැන්වීම නොවේ. ඇය සෑම දරුවකුටම තමා කැමති වැඩකටයුතු නිදහසේ කරගෙන යන්නට ඉඩදීමය. ඇය දරුවන්ගේ ක්‍රියාකාරකම් දෙස දැඩි අවධානයෙන් යුක්තව සිටියාය. ඔවුන් සිය වැඩකටයුතු සඳහා යොදාගන්නේ කුමනාකාර ද්‍රව්‍ය දැයි සාවධානයෙන් බලා සිටියාය. ඉන්පසු දරුවන් යොදාගත් ඇතැම් ද්‍රව්‍ය ඔවුනගේ යහවර්ධණයට බාධා කරන බැව් දුටු ඇය ඒවා ඉවත්කොට යහවර්ධණයට ඉවහල්වන ද්‍රව්‍ය පමණක් දරුවන් අතට දුන්නාය. 

මාරියෝ මොන්ටිසෝරි අපේක්ෂා කළ අධ්‍යාපනය වූයේ දරුවකු මනුෂ්‍යත්වයෙන් යුක්ත පරිපුර්ණ වැඩිහිටියකු බවට පත්කරන්නට අවශ්‍ය ක්‍රමවේදයක් සැකසීමයි. එකල පැවති සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය මෙන්ම අද ඇතැම් මුල් ළමාවිය සංවර්ධණ මධ්‍යස්ථානවල ඇත්තේ යම්කිසි දැනුම් කොටසක් දරුවන් වෙත පෙවීමේ උත්සාහයකි. නමුත් මොන්ටිසෝරි ගේ ඉගැන්වීමේ ක්‍රමවේදයන්ට අනුව වැඩිහිටියකු බවට පත්වන දරුවා සමස්ථ සමාජයටම වැඩදායක පුරවැසියකු බවට පත්වන්නේය යන සහතිකය ඇය ලබාදුන්නාය. 

අනෙක අප බොහෝ දෙනෙකු සිතන්නේ මොන්ටිසෝරි අධ්‍යාපනය යනුවෙන් හඳුන්වනු ලබන්නේ දරුවා පාසලට ඇතුළත් කිරීමට වසරකට හෝ දෙකකට පෙර ඇතුළත් කළ යුතු ස්ථානයක්ය යනුවෙනි. පෙර පාසලකට දරුවකු ඇතුළත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ පාසල් අධ්‍යාපනය සඳහා පෙහුරුවක් ලබාදීම වුවත් වර්තමානයේ එය වඩාත් වැදගත් වී ඇත්තේ පාසලකට දරුවකු ඇතුළත් කිරීමෙදී පෙර පාසල් සහතිකය ඉල්ලා සිටිනා නිසාවෙනි. නමුත් පෙර පාසල් අධ්‍යාපනයේ නියමු කාන්තාව වන මාරියෝ මොන්ටිසෝරි, පෙර පාසල පිළිබඳ දක්වන අදහස මේ සියල්ලටම වඩා වෙනස්ය. ඇයට අනුව මොන්ටිසෝරි අධ්‍යාපනය ආරම්භ වන්නේ දරුවාගේ සහජ දක්ෂතාවයන් මොනවාදැයි දෙමාපියන්ට අවබෝධවන අවස්ථාවේදීය. 

දරුවකුගෙ ජීවිතයේ මුල්ම අවස්ථාවේ පටන්ම ඔහුගේ/ඇයගේ මනසෙහි සහ සිතෙහි දැඩි නිර්මාණාත්මක ශක්තියක් පවතී. මොන්ටිසෝරි අධ්‍යාපනය ලබා දිය යුත්තේ දරුවාගේ මෙම හැකියාව ඔස්සේ ඔහු යහපත් ලෙස අනාගතයට යොමුකරවීම සඳහාය. දරුවා තමා අවට ඇති දෑ නිරීක්ෂණයෙන් ලබාගන්නා දැනුම සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්වන්නට පුළුවන. කෙසේ මුත් දරුවා තුළ ලෝකය පිළිබඳ අවබෝධයක් ඇතිවන්නේ මෙම නිරීක්ෂණයන් තුළිනි. එබැවින් මොන්ටිසෝරි අධ්‍යාපනය යනු දරුවා පෙර පාසලකට ඇතුළත් කිරීමෙන් ලබාදෙන අධ්‍යාපනයට වඩා වෙනස් දෙයක් බැව් ඔබට අවබෝධ වන්නට ඇත. දරුවා ඉපදීමෙන් පසු එළිමහනට රැගෙන ගොස් අවට ලෝකය පිළිබඳ අවබෝධය ලබාදීම ද මාරියෝ මොන්ටිසෝරි පවසන පරිදි මොන්ටිසෝරි අධ්‍යාපනයටම අයත් වේ. 

මොන්ටිසෝරි අධ්‍යාපනය තුළින් දරුවාගේ අධිෂ්ඨානය වර්ධණය කිරීමට ද හේතු වේ. යම් යම් සරල තීරණ ගැනීමට හැකියාව ලබාගැනීම තුළින් ඔහුගේ කැමති අකැමැති දේ පිළිබඳ අවබෝධයක් කුඩා කල සිටම ලබාගන්නට හැකියාව ලැබෙයි. එමෙන්ම ස්වයං හික්මීම, මානසික ඒකාග්‍රතාවය, ස්වාධීනබව, ප්‍රයෝජනවත් ක්‍රියාවන් සඳහා ඇති උනන්දුව වර්ධණය, දයාව, කරුණාව ආදිය ද කුඩා කල සිට දෙමාපිය රැකවරණයේදී ලැබෙන අධ්‍යාපනයෙන් හිමිකර දිය යුතුය. 

මේ සියල්ලෙන් පෙනෙන්නේ පෙර පාසල් අධ්‍යාපනය හෝ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හෝ මොන්ටිසෝරි හෝ වෙනයම් නමකින් හඳුන්වන අධ්‍යාපන ක්‍රමය යනු පාසලට ඇතුළත්වන්නට වසර දෙකකට පෙර ලබන අධ්‍යාපනය පමණක් නොවන බවය. එය දරුවා උපන් මොහොතේ සිට ඔහුගේ පෞරුෂ වර්ධණය සඳහා ලැබිය යුත්තකි. නමුත් වර්තමානයේ බොහෝ පෙර පාසල්වල සිදු නොවන්නේ ද මෙයම ය. එබැවින් දරුවාට නිසි පරිදි ‛මොන්ටිසෝරි’ අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම පැවරෙන්නේ අන්කිසිවකුට නොව දෙමාපියන් වන ඔබටමය. 


Thursday, November 21, 2013

ඔටුන්න හිමි බිළිඳු ජෝර්ජ් කුමරු වෙනුවෙන් සැදුණු බෝනික්කෝ - Dolls made similar to Prince George



බ්‍රිතාන්‍යයේ විලියම් හා කේට් කුමරියගේ පුතු, අනාගතයේ මහා බ්‍රිතාන්‍යයේ කිරුළ හිමිවන බිළිඳු ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවී කුමරු යනු වර්තමානයේ ලෝකයේ අතිශය ජනාදරයට පත්ව ඇති චරිතයකි. මෑත කාලයේ ලෝකයේ වැඩිපුරම කතාබහට ලක්වූ බිළිඳා වන්නට ඇත්තේ ද ජෝර්ජ් කුමරුමය. විශේෂයෙන් බ්‍රිතාන්‍ය වැසියන් මෙම බිළිඳු කුමරා කෙරෙහි දක්වන්නේ අසීමිත ආදරයකි. බොහෝ දෙනා පවසන පරිදි ඔවුනට මේ බිළිඳු කුමරා සිය දෑතින් තුරුළට ගන්නට තරම් ඕනෑකමක් තිබේ. නමුත් එය ඔවුනට සිහිනයක් පමණි. 




කෙසේ වුවද බ්‍රිතාන්‍ය වැසියන්ගේ මෙම උන්මාදය තෙරුම් ගත් ‛සාෆ් ක්‍රියේෂන්ස්’ (Zapf Creation) නම් ජර්මානු කෙළිබඩු නිෂ්පාදන සමාගමක කදිම නිර්මාණයක් වෙළෙඳපළට ඉදිරිපත්කොට තිබේ. ඒ ජෝර්ජ් කුමරාගේ ජීවමාන ප්‍රමාණයේ වූ අපූරු බෝනික්කෙකි. එහි නම ද ‛ජෝර්ජ්’ මය. බිළඳු ඇඳුමෙහි My  name is baby George  (මගේ නම ජෝර්ජ් බබා) යනුවෙන් මසා තිබෙන අතර බ්‍රිතාන්‍ය ධජය ද දක්නට ලැබේ. බෝනික්කා සමඟ කිරි බෝතලයක් ද හිමිවේ. සෑම අතින්ම සැබෑ ජෝර්ජ් කුමරු නිරූපණය වුව ද මෙම සමාගම පවසන්නේ  මෙම නිෂ්පාදනය සඳහා ඔහුගේ ආභාෂයක් නොගත් බවය. ඔහු පවසන්නේ මෙවැනි බෝනික්කන් මාළාවක් තම සමාගම මගින් නිෂ්පාදනය කොට ඇති අතර එය ‛බේබි ඇනාබෙල්’ නම් බෝනික්කාගේ සහෝදරයකු ලෙස පමණක් ඉදිරිපත් කළ බවය. මෙය බ්‍රිතාන්‍ය පවුම් 47.99 ක් වන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 10,068.55 කි. කෙසේ මුත් මෙයින් පෙනෙන්නේ මේ දිනවල ජෝර්ජ් යන නම යුරෝපයේ අතිශය ජනප්‍රියත්වයකට පත්ව ඇති බැවින් එම සමාගම මෙයින් ප්‍රයෝජන ගන්නට ඇති බවකි. මෙම බෝනික්කා නව තාක්ෂණය සහිතව නිර්මාණය කොට ඇති අතර ඔහු හඬන්නේ නම් නැළිවිලි ගීයක් ගැයීමෙන් හැඬීම නවතාලිය හැකිය. නැළවිළි ගීයක් ගයන විට සැබෑ දරුවකු සේම විවිධ හඬ නගන අතර මුහුණේ ඉරියව් ද ඒ අනුව වෙනස් වේ. කෙසේ මුත් රාජකීය පවුල කිසිඳු වෙළෙඳ කටයුත්තකට සම්බන්ධ කරගැනීමට නීතිමය අවසරයක් නැති බව චැම්බ්රලේන් සාමිවරයාගේ කාර්යාලයේ ආරංචි මාර්ග පවසයි. රාජකීය පවුගේ සියලුම කටයුතු සංවිධානය කරනු ලබන්නේ මම කාර්යාලයෙනි. ඇතැම් විට ඉදිරියේදී මෙම බොනික්කා සම්බන්ධව නීතිමය පියවරක් ගැනෙන්නට ඉඩ ඇති බව පැවසේ. 




මීට අමතරව ජෝර්ජ් කුමරු වෙනුවෙන්ම නිර්මාණය කරන ලද පෝසිලේන් බෝනික්කකු පිළිබඳ පුවතක් ඇමරිකාවෙන් අසන්නට ලැබේ. ඇමරිකාවේ ඉලිනොයිස් ජනපදයේ පිහිටි ‛ඇෂ්ටන් ඩ්‍රේක්-ගැලරීස්’ (Ashton-Drake Galleries) සමාගම වෙනුවෙන් ඉතාලි ජාතික සම්මානලාභී මූර්ති ශිල්පිනියක වන ‛ෆියොරෙන්සා බියැන්කෙරි’ විසින් නිර්මාණය කරන ලද මෙය අඟල් 20ක් දිගය. ජෝර්ජ් කුමරුගේ ජීවමාන ප්‍රමාණයට ආසන්නය. බිළිඳු කුමරු බෞතීස්මය සඳහා ඇඳ සිටි ඇඳුම සැබෑ සැටින් රෙද්දකින් මසා අන්දවා ඇති අතර ඉතා සියුම් ලෙස එහි සියලු ලක්ෂණ මෙහි නිරූපණය කොට තිබේ. සියල්ල අතින්ම සිතුවම් කොට ඇත. ජෝර්ජ් කුමරුගේ සෑම ලක්ෂණයක්ම දක්නට ලැබීම සුවිශේෂීය. බෝනික්කා වෙනුවෙන් ඇති මෘදු කොට්ටයේ ඔහුගේ නම හා උපන් දිනය ද සඳහන් කොට තිබේ. ඇමරිකන් ඩෝලර් 149.99 ක් වන මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 19,666.69ක් වේ. කෙසේ මුත් මේ පිළිබඳව මෙතෙක් චැම්බර්ලේන් කාර්යාලය පළ කළ අදහසක් පිළිබඳව අසන්නට නැත. 

ශ්‍රී ලාංකික කාන්තාවකට ගුවනේදී දරු උපතක් - Sri Lankan Woman Gives Birth on Board


ඕනෑම පුද්ගලයකුගේ උප්පැන්න සහතිකයේ සඳහන් වන එක් කරුණක් වන්නේ උපන් ස්ථානයයි. වර්තමානයේ නම් එය බොහෝ විට දරුවා උපන් රෝහල අයත් ප්‍රදේශය වන්නේය. දැනට කලකට පෙර ඇතැම් පවුල්වල දරුවන් නිවසේදීම උපන් නිසා එහි සඳහන්වන්නේ නිවස අයත් ප්‍රදේශයය. නමුත් ඇතැම් අවස්ථාවලදී  දරුවන්ට නිවෙස්වල හෝ රෝහල්වල උපදින්නට අවස්ථාව ලැබෙන්නේ නැත. යම් හෙයකින් ගර්භනී කාන්තාවක් නෞකාවක ගමන් කරමින් සිටියේ නම්, ඇයට මස සයුර මැද දරු ප්‍රසූතියක් සිදුවන්නට පුළුවන. ගුවන් යානයක ගමන් කරමින් සිටියදී වුව එවන්නක් සිදුවන්නට පුළුවන. නෞකා මෙන්ම ගුවන් ගමන් ඉතිහාසයේ මෙවැනි සිදුවීම බොහෝ අසන්නට ලැබේ. මේ පවසන්නට යන්නේ ද මෑතකදීම සිදුවූ එවැනි සිදුවීමකි. මේ පිළිබඳ විශේෂයෙන් සඳහන් කරන්නේ මේ සිදුවීමට ශ්‍රී ලාංකික කාන්තාවක මුහුණ දුන් බැවිනි. 

පසුගිය ඔක්තෝබර් 31 වැනිදා පෙරවරුවේ සාජාවලින් ගුවන්ගත වූ ‛එයාර් ඇරබියා’ ගුවන් සේවයට අයත් යානයක් කොළඹ බලා පැමිණෙමින් තිබිණි. සාමාන්‍යයෙන් මෙම නගර දෙක අතර ගුවන් ගමනකට පැය 4 1/2 ක පමණ කාලයක් ගතවේ. මෙම යානය ගුවන් ගතවී වැඩි වේලාවක් ගතවූයේ නැත. දරාගන්නට නොහැකි තරම් කොන්ද කැකුමකින් තමා පීඩා විඳිතැයි එහි සිටි තරුණ කාන්තාවක් ගුවන් සේවිකාවකට දන්වා සිටියාය. එවිට ගුවන් සේවිකාවන් මෙම තරුණිය සුවපහසු ලෙස හිඳුවා ඇගේ කොන්දට වේදනා නාශක දියරයක් ඉසිනු ලැබිණි. මෙම සිදුවීම දෙස අවධානයෙන් සිටි පිරිස අතර එක් ශ්‍රී ලාංකික මගියකු ද විය. ඔහු එහි ගුවන් සේවිකාවකට පවසා සිටියේ මෙම තරුණිය දරු ප්‍රසූතියකට ආසන්න දිනවකවානුවක සිටින්නේදැයි අසන ලෙසය. එසේ ඇසීමෙන් පසු තරුණිය ප්‍රකාශ කොට සිටියේ පසුගිය මාසය වන විට ඇගේ ගැබට මාස අටක් සම්පූර්ණ වන බවය. එවිට පෙරකී මගියා පවසා සිටියේ තරුණිය විළිරුදිවකින් පෙළෙමින් සිටිනා බවත් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ය. මෙම අවස්ථාවේදී ගුවන් සේවිකාවක් මගීන් අමතා පවසා සිටියේ තරුණියක විළිරුදාවකින් පසුවන බැවින් වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුම ඇති අය වෙත් නම් මේ සඳහා සහාය දක්වන ලෙසය. මෙහිදී ගුවන් මගීහු තිදෙනෙකු මේ සඳහා ඉදිරිපත් වූහ. ඔවුහු පැමිණ තරුණිය පරීක්ෂාකිරීමෙන් පසු ඇය විළිරුදාවකින් පෙළෙනා බැව් තහවුරු කළහ.    මේ වන විට යානය මහසයුරට ඉහළ අහසේ පියාසර කරමින් තිබුණු අතර එහි ඊළඟ නැවතුම් පළ වූයේ ඉන්දියාවේ නවදිල්ලියයි. එයට ළඟාවන්නට ගුවන් යානයට පැය 2 1/2ක් පමණ කාලයක් ගතවේ. නමුත් යානය ආපසු හරවන්නේ නම් පැය දෙකක් ඇතුළත ඕමාන කරා ළඟාවන්නට හැකියාවක් ද තිබිණි. මෙහිදී ගුවන් නියමුවන් තීරණය කළේ ගුවන් ගමන වෙනස්කොට ආපසු හරවා ඕමාන් කරා යාම වඩාත් සුදුසු බවය. එවිට ඔවුනගේ ගමනාන්තය වූයේ ඕමාන් හි අම්මාන් නුවර ගුවන් තොටුපළයි. නියමුවන් මුළින්ම සිදුකළේ ඉතා ඉහළින් පියාසර කරමින් තිබූ යානය සැළකිය යුතු මට්ටමකට පහළට ගැනීමය. මේ අතරේ තරුණයට කෘත්‍රීම ස්වසනය පවා ලබාදෙන්නට කටයුතු කෙරෙමින් තිබිණි. කෙසේ මුත් ගුවන් යානය අම්මාන් ගුවන් තොටුපළට ගොඩබසින්නට මිනිත්තු 10කට පමණ පෙර මෙම තරුණිය ගුවන් යානය තුළදීම පිරිමි දරුවකු ප්‍රසූත කළාය. ගුවන් නියමුවන් තම යානය තුළ වූ තත්වය අම්මාන් නුවර ගුවන් තොටුපළේ නිලධරයන්ව දැනුවත් කොට තිබුණෙන් යානය ගොඩබසිනා විටම ගිළන් රථ ඇතුළු සියලු වෛද්‍ය පහසුකම් සූදානම්කොට තිබිණි. යානය ගෙඩබැස්වූ සැනින් මව සහ දරුවා රෝහල් ගතකරනු ලැබිණි. 

ගුවන් ගමන් ඉතිහාසය දෙස බැලීමේදී අප රටට අයත් ගුවන් යානාවල මෙතෙක් සිදුව ඇති දරු ප්‍රසූති සංඛ්‍යාව 4ක් වෙතැයි ගණන් බලා තිබේ. ගුවන් යානයක දරු ප්‍රසූතියක් සිදුවීම තරමක දුලභ සිදුවීමකි. කෙසේමුත් ගුවන් යානා සංඛ්‍යාවට හා ගුවන් ගමන් වාර සඛ්‍යාවට සාපේක්ෂව සළකා බැලුවහොත් අප රටේ යානාවල සිදුව ඇති දරු ප්‍රසූති සංඛ්‍යාව වැඩි යැයි පැවසේ. අප රට කාන්තාවන් ගුවන් යානා තුළ දරුප්‍රසතියන්ට මෙසේ වැඩි වශයෙන් මුහුණ දෙන්නට හේතු වශයෙන් සැළකෙන්නේ මැදපෙරදිග සේවයට යාමෙන් එහිදී ගැබ්ගෙන අනතුරුව ආපසු පැමිණෙන්නේ දරු ප්‍රසූතියට ආසන්න දිනවකවානුවල වීම යැයි පැවසේ. 
සාමාන්‍යයෙන් විළිරුදාව ඇතිවන්නට ආසන්නව පවතින කාන්තාවන්ට ගුවනේ ගමන් කරන්නට අදාළ ගුවන් සමාගම් අවසර දෙන්නේ නැත. එසේ නම් මෙවැනි සිදුවීම වාර්තාවන්නට හේතුව කුමක්ද යන ගැටලුව ඇතිවේ. දැනට බොහෝ ස්ථානවලින් වාර්තා වී ඇති පරිදි මෙවැනි බොහෝ බිළිඳුන් ඉපදී ඇත්තේ අඩුවයසිනි. 

2011 වසරේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයක් තුළ දරුවකු උපන් අවස්ථාවක්
2011 වසරේ ගුවනේ දී උපන් බිළිඳා 

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව මෙසේ ගුවනේදී ඉපදෙන දරුවකුට අදාළ ගුවන් යානය ලියාපදිංචි කොට ඇති රටේ පුරවැසිභාවය ඉල්ලා සිටින්නට අයිතිය තිබේ. ඉන්පසු මෙම ගුවන්යානය දරුප්‍රසූතියේ වැඩකටයුතු සම්පූර්ණකරගැනීම සඳහා වෙනත් රටකට ගොඩබස්වන ලද්දේ නම් ඒ රටේ පුරවැසිකම ඉල්ලා සිටින්නට ද අයිතිය තිබේ. මෙම ගුවන් යානය සවුදි අරාබියේ ලියාපදිංචි කොට ඇත අතර දරුප්‍රසූතියේ ඉදිරි වැඩකටයුතු සඳහා එය ගොඩබස්වන ලද්දේ ඕමානයට ය. බිළිඳා අයතිවන්නේ ශ්‍රී ලංකාවටය. බිළිඳා ශ්‍රී ලාංකික බැවින් ඔහුට අප රටෙහි පුරවැසිකම අනිවාර්යයෙන්ම ලැබෙන අතර ඉහත කී රටවල් දෙකින් එකක පුරවැසිකම ද හිමිවන්නේය. එසේ හෙයින් මෙසේ උපන් දරුවනට රටවල් දෙකක පුරවැසිකම අනිවාර්යයෙන්ම හිමි වේ.  මෙම දරුප්‍රසූතියට ලක්වූ කාන්තාවගේ අනන්‍යතාවය ගුවන් සමාගම විසින් හෙළිකොට නැත. 


විදෙස් රටක ගුවනේ උපන් දරුවකුගේ උප්පැන්න සහතිකයේ උපන් ස්ථානය සඳහන්ව ඇති අයුරු 
ගුවන් යානයක දරු ප්‍රසූතියක් සිදුවීම සුබ ලකුණකැයි පොදුවේ ගුවන් සමාගම්වල විශ්වාසයයි. මෙම විශ්වාසය නිසාම ඉහත සඳහන් කළ තරුණිය දරු ප්‍රසූතිය සිදුකරත්ම යානයේ කාර්ය මණ්ඩල අත්පොඩි තළමින් ප්‍රීති ඝෝෂා කළ බැව් පැවසේ. මේ නිසාම මෙසේ ඉපදෙන දරුවන්ට අදාළ ගුවන් සමාගම විසින් සැළකිය යුතු මට්ටමේ වරප්‍රසාද බොහොමයක් ලබාදෙන බැව් ද සැළකේ. මෙවැනි දරුවකු පිළිබඳ සඳහන් කළ හැකි තවත් සුවිශේෂීතම කරුණක් වන්නේ ඔහුගේ උප්පැන්න සහතිකයයි. එහි උපන් ස්ථානය යන්නෙහි සෑමවිටම සඳහන් කරනුයේ ‛ගුවන’ යන්නයි. එය මෙවැනි දරුවන් සුවිශේෂී තත්වයක් උදාකරන්නට ද හේතු වෙයි. 

අප ගුවනේ දරුවන් ඉපදීම පිළිබඳ කතා කළද, එක්තරා ජර්මානු සමාගමක් කළ සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ගුවනේ වැඩි වශයෙන් සිදුව ඇත්තේ මරණ බවය. ඔවුන් 2002 සහ 2007 අතර සමයේ ගුවනේ සිදුවූ හදිසි වෛද්‍ය අවශ්‍යතා සිදුවීම් 189ක් පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් පසු පැවසූයේ එම කාලය අතරතුර දුටු බිළිඳු උපත් සංඛ්‍යාව දෙකක් පමණක් බවත්, නමුත් මරණ සංඛ්‍යාව 52ක් බවය. 

Wednesday, November 20, 2013

CHOGM 2013 තේමා ගීතයේ කතාව - Story of the theme song of CHOGM 2013


මහා කරුණා උතුරනා 
ගල් කුළෙන් මෙත් වැගිරෙනා 
ලොවක් හමුවෙයි අපේ ලක් දේසේ 
සත්කාරයට නම් දැරූ 
ඇතුන්ටත් පාවඩ එලු 
දේශයයි මේ මහා සත්කාරේ 

මහා කරුණා සිනා ගඟුලෙන් 
පොදක් බොනු මැනවී 
සේද මාවතෙ මුතු ඇටය වෙත 
ඔබත් එනු මැනවී // 

ගව් දහස් දුර සොයා මෙහි ඇදෙනා 
සියොතුනුත් මේ දැයේ සුව දනිතී 
අසා සිටියොත් උන්ගෙ ගී නාදේ 
දේශයම කෙම්බිමක් බව ගයතී 

රැයේ ඉඳිකටු පානේ ගෙතවෙන්නේ 
අපේ හදෙහී සොඳුරු ගෙත්තම වේ 
දෝතියයි පිරුවටෙයි පත්කඩයයි 
එකම හුයකින් වියූ බව දැනවේ 

මහා කරුණා සිනා ගඟුලෙන් 
පොදක් බොනු මැනවී 
සේද මාවතෙ මුතු ඇටය වෙත 
ඔබත් එනු මැනවී // 

(දෙමළ බසින් ගැයෙන කොටස) 

මහවේද මහ නැව් තොටත් සැදිලා 
ගම්දොරත් මහ පුරවරත් නැගිලා 
කවි ගීත මහ වන්නම් ද බැඳිලා 
පෙර මගට මල් පියවිලිත් ඉසිලා 

මහා කරුණා සිනා ගඟුලෙන් 
පොදක් බොනු මැනවී 
සේද මාවතෙ මුතු ඇටය වෙත 
ඔබත් එනු මැනවී // 

ලොවක් හමුවේ අපේ ලක් දේසේ . . . 


මේ ගීතය කුමක් අරඹයා ලියැවුණක්දැයි විස්තර කිරීමෙහි අර්ථයක් නැති තරමටම මෙය ජනහද පතුලේ සනිටුහන් වී හමාරය. මේ දිනවල අප රටේ ජනප්‍රියතම ගීත අතරට එක්වරම පැමිණි මේ 2013 වසරේ අප රටෙහි පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩල නායක හමුව හෙවත් අප කවුරුත් හොඳින් දන්නා පරිදි CHOGM වෙනුවෙන් නිර්මාණය වුණු තේමා ගීතයයි. මෙහි පදවැල ඔස්සේ සිත සැරිසරද්දී හැඟෙනුයේ මිනිත්තු කිහිපයක් තුළ අප රට වටා පියඹා ගියා වැනි හැඟීමකි. අප රට, අප ජනතාව,  සංස්කෘතිය පිළිබඳ සෞන්දර්යාත්මක කැටිකොට දැක්වීමක් මේ ගීතය මුළුල්ලේ ගැබ් වී තිබේ. අපට අප ගැන අභිමානයක් හැඟෙන පරිදි ලියැවුණු මේ ගීතයේ නිර්මාණ ශිල්පියා ජනපති මාධ්‍ය අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මහින්ද ඉලේපෙරුම මහතාය. 

ගේය පද රචක මහින්ද ඉලේපෙරුම

අනාදිමත් කාලයක් තිස්සේ අප රට ප්‍රකටව පැවතියේ ආගන්තුක සත්කාරයකට. අමුත්තකු හමුවන විට පවා අප පුරුදුව සිටියේ සිනාමුසු මහුණින් යුක්තව, දෑත් එක්කොට ඔහුට ‛ආයුබෝවන්’ යැයි පවසා දීර්ඝායුෂ පැතීමය. අපගේ ආගන්තුක සත්කාරය එතරමටම උසස්ය. මේ ගීතය ඔස්සේ දිවයන්නේ අපගේ ඒ උතුම් සිරිතයි. මහින්ද ඉලේපෙරුම නම් වූ මේ ගේය පදරචකයා අපගේ ඒ ආගන්තුක සත්කාරයේ උසස් බව කෙතරම්දැයි දක්වන්නට යොදා ඇත්තේ ‛ඇතුන්ටත් පාවඩ එලූ’ නම් අපූරු යෙදුමකි. ධාතුන් වහන්සේ පිටෙහි බැඳගත් පසු හස්ති රාජයකු පාවඩ නොමැතිව සිය පය බිම නොතබන බැව් අපි අසා ඇත්තෙමු. තිරිසන් සතකු වුව ද හස්තියකුට ධාතූන් වහන්සේ වඩමවා යන්නට පාවඩ එළන්නට තරම් සිංහලයා ආගන්තුක සත්කාරයට ලැදි පිරිසකි. 

ගේය පද රචකයා අප රටෙහි ආගන්තුක සත්කාරය කෙතරම්දැයි දක්වන්නට  ලොව වටා විවිධ දේශයන්ගෙන් අප රටට ඇදී එන සංචාරක පක්ෂීන් පිළිබඳව ද සඳහන් කරයි. අන් බොහෝ රටවල මෙන් අප රටෙහි විනෝදයට පක්ෂීන් දඩයම් කරන්නන් සුලභ නැත. අප රටට ඔවුන්ව ද සාදරයෙන් පිළිගනී. එබැවින් පක්ෂීන්ට අප රටම කෙම්බිමකි. පක්ෂීන් ගයමින් පවසන්නේ ඒ පණිවිඩයයි. 

සිනහවෙන් පිරුණු මේ ආගන්තුක සත්කාරය බිඳක් විඳගන්නට ගේය පද රචකයා ලොවටම ඇරයුම් කරයි. දශක තුනක් තිස්සේ පැවති ත්‍රස්තවාදයෙන් මිදුණු අප රට ජනතාව දැන් සාමයේ සුව විඳිති. ඒ සුවය විඳගන්නට ඉඩදෙන්නැයි ඔහු ලෝකයාගෙන් ඉල්ලයි. 

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේ මාධ්‍ය හා ප්‍රචාරක අනු කමිටුවේ සභාපති, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශ ලේකම් චරිත හේරත් මහතාගේ ඉල්ලීමකට අනුව මහින්ද ඉලේපෙරුමයන් මෙම ගීතය රචනා කොට තිබේ. සිතෙහි දේශාභිමානී හැඟීම් ඔපවත්වන අයුරුන් තනුව හා සංගීතය රචනා කොට ඇත්තේ රුවන් වල්පොලයන් ය. 

දෙමළ ජනතාව නියෝජනය කරමින් මෙයට දෙමළ බසින් ද කොටසක් එක්කොට තිබීම සුවිශේෂීය. අමරසිරි පීරිස්, සමිතා එරන්දතී මුදුන්කොටුව ඇතුළු ගායක ගායිකාවන් බොහෝ දෙනෙක් ගායනයෙන් දායක වී තිබේ. 

ගීතයේ අරුත වඩාත් තීව්‍ර කරන්නට සමත් මෙහි රූප රචනය ද විශිෂ්ඨය. මෙය අන්තර්ජාලයේ යූටියුබ් වීඩියෝ අඩවියෙහි ඉහළ ප්‍රතිචාර මධ්‍යයේ දිනෙන් දින ජනප්‍රියත්වයට පත්වෙමින් පවතී. අප රටේ ආගන්තුක සත්කාරයෙන් පිරිපුන් අභිමානනීය බව අනාගත දරු පරපුරට උරුමකර දෙන්නට තරම් මෙහි පදරචනය ප්‍රබලය. 
මේ අපූර්ව ගීතය පොදු රාජ්‍ය මණ්ඩල නායක හමුවෙන් ඔබ්බට අකාලික වටිනාකමකින් යුක්ත ගීතයක් වන බවට සළකුණු මේ වනවිට පහළවී තිබේ. 



CHOGM තේමා ගීතය නරඹන්න

Monday, November 18, 2013

චෝගම් - මෙවර ලාංඡනයේ අර්ථය - Meaning of the CHOGM Logo 2013



මම දූලා පුතාලගෙන් ඇහුවොත් ‛පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක හමුව’ කියන්නේ මොකක්ද කියලා සමහර දෙනෙක් නම් ටිකක් කල්පනා කරයි. ඒත් ‛චෝගම්’ කියන්නේ මොකක්ද කියල ඇහුවොත් විස්තර කරන්න දන්නේ නැති වුණත්, “ආ අපි ඒ ගැන අහලා තියෙනවා’ කියලා කියාවි. මේ නොවැම්බර් 15 - 17 අතර කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී තමයි මේ හමුව පැවැත්වෙන්නේ. දැන් අපි කතා කරන්න යන්නේ මේ ‛චෝගම්’ කියන්නේ මෙකක්ද කියන එකයි. 

‛චෝගම්’ කියන්නේ ඉංග්‍රීසි වචන කිහිපයක මුල් අකුරු එකතු කරලා හදා ගත්ත වචනයක්. ඒ තමයි Commonwealth Heads Of Government Meeting කියන එක. මේ වචනවල සිංහල තේරුම තමයි ‛පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක හමුව’ කියන්නේ. මේ වචනවල ලොකු අකුරු ටික විතරක් ගත්තාම CHOGM කියන වචනය හැදෙනවා. 

‛චෝගම්’ ගැන කතා කරන දූලා පුතාලට හොඳින්ම මතක තියෙන දෙයක් තමයි අර පාරවල සවි කරලා තියෙන හුළඟට කරකැවෙන පාට පාට කඩදාසි මල. ඒක තමයි 2013 අවුරුද්දේ චෝගම් සංකේතය. මේ මලෙන් පෙන්නුම් කරන්නේ අපේ රටේ ජාතික පුෂ්පය. ඒ කියන්නේ නිල මහනෙල් මල. ඒත් මේ සංකේතය නිල් පාට නැහැනේ. නිල් මහනෙල් මලක් නම් නිල් පාට වෙන්න ඕන නේ. දැන් එහෙම හිතෙන්න පුළුවන්. මේ සංකේතයේ පාට ගොඩක් තියෙනවා. ඒකෙන් කියවෙන්නේ එකිනෙකට වෙනස් රටවල් ගණනාවක් මේ සමුළුවේ ඉන්නවා කියන එකයි. මල් පෙති වගේ එකට සමගියෙන් ඉන්නවා කියන එකයි. මේ මල්පෙත් වගෙ සමගියෙන් ඉන්න රටවල් ලෝකය වටේම ඉන්නවා. ඒක පෙන්වන්න තමයි ම් මල් පෙති ලෝක ගෝලයක් වටේ කැරකෙන විදියට හදලා තියෙන්නේ. 

දූලා පුතාලා දන්නව අපේ රට අවුරුදු ගණනාවක්ම ඉංග්‍රීසින්ට යටත් වෙලා තිබුණු බව. අපට නිදහස ලැබුණේ 1948 අවුරුද්දේ. අපි වගේම ලෝකයේ තවත් රටවල් ගණනාවක්ම මේ විදියට ඉංග්‍රීසි ජාතීන්ට යටත් වෙලා හිටියා. ඒ රටවල් ඉංග්‍රීසින්ට යටත් වෙලා හිටපු කාලේ ‛යටත් විජිත සමුළුව’ කියලා දෙයක් පැවැත්වුවා. මුළින්ම පැවැත්වුයේ 1887 අවුරුද්දේ. ඉංග්‍රීසින්ට යටත් වෙලා තිබුණු රටවල් ටිකෙන් ටික නිදහස ලබාගන්න පටන් ගත්තා. හැම රටක්ම නිදහස් වුණාට පස්සේ ඒ රටවල නායකයෝ එකතු වෙලා අලුත් සමුළුවක් ඇති කරගත්තා. අන්න ඒ සමුළුව තමයි අද අපි ‛චෝගම්’ එහෙමත් නැත්නම් ‛පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක හමුව’ කියලා කියන්නේ. මේ සමුළුව මුළින්ම පැවැත්වූයේ 1971 අවුරුද්දේ සිංගප්පූරුවේ.



Saturday, November 9, 2013

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක හමුව - CHOGM - Commonwealth Heads of Government Meeting


පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක හමුව පැවැත්වීමට තව වැඩි දවසක් නැත. ඔබ මේවනවිටත් මෙම සමුළුව පිළිබඳ බොහෝ තොරතුරු දන්නවා වන්නට පුළුවන. කෙසේ වුවද මෙම තොරතුරු  ද එක්කරගැනීම තුළින් ඔබගේ දැනුම තව තවත් වැඩිදියුණු වනු ඇත. මෙහි අරමුණ වන්නේ පොදු රාජ්‍ය මණ්ඩල නායක හමුව ආරම්භ වූ 1971 වසරේ සිට මේ දක්වා සියලු සමුළු පිළිබඳ සාරංශයක් ඔබ වෙත ඉදිරිපත් කිරීමයි. 

1971 සමුළුව 

මෙය මුල්ම රාජ්‍ය නායක හමුව වේ. 1971 ජනවාරි 14 - 1971 ජනවාරි 22 අතර කාලයේ සිංගප්පූරුවේ පවත්වනු ලැබිණි. එවකට එහි සිටි අගමැතිවරය වූයේ ලී ක්වාන් යූ ය. මෙයට දෙවැනි එලිසබෙත් මහරැජින සහභාගී වූයේ නැත. ඇය සහභාගී නොවූ ප්‍රථම සමුළුව ද මෙය වේ. 

1973 සමුළුව 

දෙවැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1973 අගෝස්තු 2 - 1973 අගෝස්තු 10 අතර සමයේ කැනඩාවේ ඔටාවා නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි සිටි අගමැතිවරයා වූයේ පියරේ ටෲඩෝ ය. 

1975 සමුළුව 

තෙවැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1975 අප්‍රේල් 29 - 1975 මැයි 6 අතර සමයේ ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවරදී පැවැතිවිණි. එවකට එහි අගමැතිවරයා වූයේ මයිකල් මෑන්ලි ය. 

1977 සමුළුව 

සිව්වැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1977 ජුනි 8 - 1977 ජුනි 15  අතර සමයේ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි අගමැතිවරයා වූයේ ජෙම්ස් කැලගාන් ය. මෙයට උගන්ඩා ජනපති ඉඩි අමින් සහභගී නොවූ අතර සීෂෙල්ස් දූපත්වල ජනපති ජෙම්ස් මැන්චම් මෙම සමයේ බලයෙන් පහකොට සිටි බැවින එරට නියෝජනය කරන්නට කිසිවකු සහභාගී වූයේ ද නැත. 

1979 සමුළුව 

පස්වැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1979 අගෝස්තු 1 - 1979 අගෝස්තු 7 අතර සමයේ සැම්බියාවේ ලුසාකා නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි ජනපතිවරයා වූයේ කෙනත් කවුන්ඩා ය.

1981 සමුළුව 

සවැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1981 සැප්තැම්බර් 30 - 1981 ඔක්තෝබර් 7 අතර සමයේ ඕස්ට්‍රේලියොවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බෝර්න් නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි අගමැතිවරයා වූයේ මැල්කම් ෆ්‍රේස්ර් ය. 

1983 සමුළුව 

සත්වැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1983 නොවැම්බර් 23 - 1983 නොවැම්බර් 29 අතර සමයේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි අගමැතිවරිය වූයේ ඉන්දිරා ගාන්ධි ය. 

1985 සමුළුව 
අටවැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1985 ඔක්තෝබර් 16 - 1985 ඔක්තෝබර් 22 අතර සමයේ බහමාස් දූපත්වල නසාවූ නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි අගමැතිවරයා වූයේ ලින්ඩෙන් පින්ඩින්ග් ය. 

1986 සමුළුව 

සාමාන්‍යයෙන් වසර දෙකකට වරක් රාජ්‍ය නායක සමුළුව පැවත්වුණ ද 1985 න් පසු 1986 දී ද සමුළුවක් පැවැත්විණි. දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය හේතුකොටගෙන එයට එරෙහිව වෙළඳ සම්බාධක පැනවීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා පැවැත්වූ විශේෂ සමුළුවක් ලෙස මෙය හැඳින්විය හැකිය. නවවැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1986 අගෝස්තු 3 - 1986 අගෝස්තු 5 අතර සමයේ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි අගමැතිවරිය වූයේ මාග්‍රට් තැචර් ය. 

1987 සමුළුව 

දසවැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1987 ඔක්තෝබර් 13 - 1987 ඔක්තෝබර් 17 වැනි දින අතර සමයේ කැනඩාවේ වැන්කූවර් නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි අගමැතිවරයා වූයේ බ්‍රයන් මල්රෝනි ය. 

1989 සමුළුව 

එකොලොස්වැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1989 ඔක්තෝබර් 18 - 1989 ඔක්තෝබර් 24 අතර සමයේ මැලේසියාවේ ක්වාලාලාම්පූර්වලදී පවත්වනු ලැබිණි. එවකට එහි අගමැතිවරයා වූයේ මහාතීර් මොහොමඩ් ය. 

1991 සමුළුව 

දොළොස්වැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1991 ඔක්තෝබර් 16 - 1991 ඔක්තෝබර් 21 අතර සමයේ සිම්බාබ්වේ හි හරාරේ නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි ජනපතිවරයා වූයේ රොබට් මුබාගේ ය. 

1993 සමුළුව 

දහතුන්වැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1993 ඔක්තෝබර් 21  - 1993 ඔක්තෝබර් 25 අතර සමයේ සයිප්‍රස් හි ලිමාසොල් නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි ජනපතිවරයා වූයේ ජෝර්ජ් වෙසිලියු ය. 

1995 සමුළුව 

දහහතරවැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1995 නොවැම්බර් 10 - 1995 නොවැම්බර් 13 අතර සමයේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි අගමැතිවරයා වූයේ ජිම් බොල්ගර් ය. 

1997 සමුළුව 

පහළොස්වැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1997 ඔක්තෝබර් 24 - 1997 ඔක්තෝබර් 27 අතර සමයේ එක්සත් රාජධානියේ එඩින්බර්ග් නුවරදී පවත්වනු ලැබිණි.. එවකට එහි අගමැතිවරයා වූයේ ටෝනි බ්ලෙයාර් ය. මෙය මෙතෙක් පැවැති දැවැන්තම සමුළුව ලෙස සළකනු ලබයි. 

1999 සමුළුව 

දහසයවැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1999 නොවැම්බර් 12 - 1999 නොවැම්බර් 14 අතර සමයේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි ජනපතිවරයා වූයේ තාබෝ ම්බෙකි ය. මෙතෙක් වැඩිම රාජ්‍ය නායකයන් සංඛ්‍යාවක් සහභාගී වූ සමුළුව ලෙස මෙය සළකනු ලබයි. 

2002 

දහහත්වැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 2002 මාර්තු 2 - 2002 මාර්තු 5 අතර සමයේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කූලම් හිදී පවත්වනු ලැබිණි. එවකට එහි අගමැතිවරයා වූයේ ජෝන් හොවාර්ඩ් ය. මෙම සමුළුව නියමිත ලෙස පවත්වන්නට යෙදී තිබුණේ 2001 ඔක්තෝබර් 6 වැනිදා වුව ද 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයට එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුකොට ගෙන දින මෙය පැවැත්වීමට දින 9 කට පෙර කල්දමනු ලැබිණි.  


2003 සමුළුව 

දහඅටවැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 2003 දෙසැම්බර් 5 - 2003 දෙසැම්බර් 8 අතර සමයේ නයිජීරියාවේ අබුජා නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි ජනපතිවරයා වූයේ ඔලුසෙගුන් ඔබ්සන්ජෝ ය. 

2005 සමුළුව 

දහනවවැනි රජ්‍ය නායක සමුළුවන වූ මෙය 2005 නොවැම්බර් 25 - 2005 නොවැම්බර් 27 අතර සමයේ මෝල්ටාවේ වැලෙට්ටා නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි අගමැතිවරයා වූයේ ලෝරන්ස් ගොන්සි ය. මෙතෙක් රාජ්‍ය නායක හමුවක් පවත්වනු ලැබූ කුඩාම රාජ්‍යය වන්නේ මෝල්ටාව ය. 

2007 සමුළුව 

විසිවැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 2007 නොවැම්බර් 23 - 2007 නොවැම්බර් 25 අතර සමයේ උගන්ඩාවේ කම්පාලා නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි ජනපතිවරයා වූයේ යොවේරි මුසෙවෙනි ය. 

2009 සමුළුව 

විසිඑක්වැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 2009 නොවැම්බර් 27 - 2009 නොවැම්බර් 29 අතර සමයේ ට්‍රිනිඩෑඩ් හා ටොබෑගෝ රාජ්‍යයේ පොර්ට් ඔෆ් ස්පේන් හිදී පවත්වනු ලැබිණි. එවකට එහි අගමැතිවරයා වූයේ පැට්‍රික් මෑනින්ග් ය. 

2011 සමුළුව 

විසිදෙවැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 2011 ඔක්තෝබර් 28 - 2011 ඔක්තෝබර් 28 අතර සමයේ බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි අගමැතිවරිය වූයේ ජුලියා ගිලාර්ඩ් ය. 

2013 සමුළුව 

විසිතුන්වැනි රාජ්‍ය නායක සමුළුව වන මෙය 2013 නොවැම්බර් 15 - 2013 නොවැම්බර් 17 අතර සමයේ ශ්‍රී ලංකාවේ කොළඹදී පවත්වනු ලබන අතර ශ්‍රී ලංකා රාජ්‍ය නායක ජනපති මහින්ද රාජපක්ෂ මෙහි මුලසනු හොබවනු ලබයි. වසර 40ක කාලයක් තුළ මුල්ව වරට දෙවැනි එලිසබෙත් රැජින මෙයට සහභාගී වන්නේ නැත. 87 හැවිරිදි වියෙහි පසුවන ඇයට වෛද්‍ය උපදෙස් මත විදෙස් සංචාරවලට සහභාගී නොවන්නැයි උපදෙස් ලැබී තිබේ. ඇය වෙනුවට චාර්ල්ස් කුමරු සහභාගී වනු ඇත. 


පොදු රාජ්‍ය මණ්ඩලය පිළිබඳ නොදත් කතා 

1. මේවන විට පොදු රාජ්‍ය මණ්ඩලයේ සම්පූර්ණ සාමාජික රටවල් සංඛ්‍යාව 54 කි. එය ලෝක ජනගහණයෙන් හතරෙන් පංගුවක් පමණ වේ. පොදු රාජ්‍ය මණ්ඩලයේ ආරම්භය සිදුවූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙනි. පොදු රාජ්‍ය මණ්ඩලයේ බොහෝ රටවල් ඉතිහාසයේ බ්‍රිතාන්‍යයේ යටත් විජිතයන් ලෙස පැවති ඒවාය. 

2. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 54ක් අතුරින් 16කම රැජින වන්නේ බ්‍රිතාන්‍ය මහ රැජිනය. නමත් මේ සියල්ල සම්පූර්ණයෙන්ම ස්වාධීන රාජ්‍යයන්ය. එක්සත් රාජධානය හැරුණු විට රැජින නියෝජනය කරනු ලබන්නේ  ඒ ඒ රටවල් අග්‍රාණ්ඩුකාරවරයා විසිනි. 

3. පොදු රාජ්‍ය මණ්ඩල දිනය යෙදී ඇත්තේ සෑම වසරකම මාර්තු මස දෙවැනි සඳුදා ය. එම දිනය තෝරාගෙන ඇත්තේ සියලු පොදු රාජ්‍ය මණ්ඩල රටවල පාසල් දරුවන් නිසැකවම පාසල් එන දිනයක් මේ සඳහා තෝරාගත යුතු බැවිනි. වෙනත් නිවාඩුවක් නොමැති නම් මේ දිනයේ පාසල් දරුවන් නිසැකවම පාසලට පැමිණෙන්නේය. 

4.  පොදු රාජ්‍ය මණ්ඩල දිනය බ්‍රිතාන්‍යයයේ ලන්ඩන් නුවර සැමරෙන්නේ සියලු ආගම්වල සහභාගිත්වයෙන් වන අතර රැජින මෙහි මූලිකස්ථානය ගනු ලබයි. ඇය සමඟ එහි මහ ලේකම් සහ ලන්ඩනයේ පොදු රාජ්‍ය මණ්ඩල මහකොමසාරිස්වරයා ද මෙයට සහභාගී වේ. 

5. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල සංවර්ධණ වැඩකටයුතු පිළිබඳ එහා මහ ලේකම්වරයාගෙන් හා මහලේකම් කාර්යාලයෙන් රැජින නිරතුරු තොරතුරු විමසනු ලබයි. මහ රැජින පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නායකයන් සමඟ එම වැඩකටයුතු පිළිබඳ නිරන්තර සාකච්ඡා ද පවත්වන්නීය. 

6. තම සංවිධානයට අදාළ පොදු ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 54 රාජ්‍ය නායකයෝ සෑම වසර දෙකකටම වරක් හමුවෙති. මෙය හඳුන්වනු ලබන්නේ ‛පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව’ හෙවත් CHOGM (Commonwealth Heads of Government Meetings)  යනුවෙනි. මුල්ම පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පවත්වනු ලැබුවේ 1971 ජනවාරි මාසයේදී සිංගප්පූරුවේදීය. 

8. බ්‍රිතාන්‍ය මහරැජින විසින් සහභාගී වූ මුල්ම පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවන පවත්වනු ලැබුයේ 1973 දී කැනඩාවේ ඔටාවා නුවරදීය. ඒ ඇය එරට කළ රාජකීය සංචාරයේ එක් අංගයක් වශයෙනි. ඉන් අනතුරුව පවත්වනු ලැබූ සෑම සමුළුවකටම ඇය සහභාගී වී තිබේ. 

9. පසුකාලයේදී ‛පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙළ’ ලෙස නම්කළ මුල්සමයේදී ‛බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ක්‍රීඩා’ ලෙස හඳුන්වනු ලැබූ ක්‍රීඩා උත්සවය මුළින්ම පවත්වනු ලැබුයේ 1930 වසරේ අගෝස්තු මාසයේදී කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ හැමිල්ටන් නගරයේය. මෙය අවසන්වරට පවත්වනු ලැබුයේ 2010 ඉන්දියාවේ නවදිල්ලියේය. 

10. පොදු රාජ්‍ය මණ්ඩල සංචාරයන් සදහා පැමිණෙන රැජින සඳහා විවිධාකැරයේ තිළිණ ලැබේ. මේවා අතර ශිෂ්‍යත්වල සිට වෙනත් ආධාර, ගස්වැල්, පැළෑටි, ආහාර සහ සතුන් ද වේ. දැනට ලැබුණු තිළිණ අතර බිටිෂ් කොලොම්බියාවලින් ලද මූර්ති, ෆිජිවලන් ලද තල්මසකුගේ දතක්, අසාන්ති රාජ්‍යයෙන් ලද කැටයම් කරන ලද දැව ඔටුන්නක්, මැන්ඩෙලිගෙන් ලද සේද උතුරු සළුවක් ආදි ය වේ. 

Thursday, November 7, 2013

සුදු වෑන් කතා සහ ලීනා මනිමේකලායි - White Van Stories and Leena Manimekalai


අප ලෝකයේ අන් රටවල් පිළිබඳ දක්වන උනන්දුවට වඩා වැඩි උනන්දුවක් ලෝකයේ අන් රටවලට අප පිළිබඳව දක්වන බව පෙනේ. ඒ උනන්දුව අප රටේ යහපැවැත්ම, සංවර්ධණය වැනි දේ සඳහා නම් එය අගය කළ යුත්තක් වේ. නමුත් එයින් අප රටට සිදුවන්නේ අනර්ථයක් නම් ඒ උනන්දුවෙන් පලක් නැත. වසර 30ක් පමණ පැවති ත්‍රස්තවාදී ගැටලුව නිමකිරීමෙන් පසු ලෝකයේ බොහෝ රටවල් උනන්දු වූයේ යුද්ධයෙන් දිනූ රටට උදව් කරන්නට නොව මානව හිමිකම් ඉදිරියට දමා ආර්ථික සම්බාධක සම්බාධක ඔස්සේ අපට පහර ගසන්නටය. ජාත්‍යන්තර මාධ්‍ය පවා මෙම ක්‍රියාදාමයට හවුල් විය. මහා බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව වෙනුවෙන් නිපදවුණු අප රටට එරෙහි චිත්‍රපට පවා මේ සඳහා යොදා ගැනුණි. දකුණු ඉන්දීය ජනතාව අප රටේ දෙමළ ජනතාව පිළිබඳ ඇති අපූරු ආදරය නිසා ඔවුහු අපර ටට එරෙහිව විවිධ උද්ඝෝෂණය කරමින් ජාත්‍යන්තර මතය අවුස්සන්නට ක්‍රියා කළහ. මේ සියල්ලෙන් හැඟී යන කරුණ වන්නේ වසර 30 ක යුද්ධයෙන් බැට කෑවේ දෙමළ ජනතාව පමණක් බවය. මානව හිමිකම් කැඩුනේ ඔවුන්ගේ පමණක් බවය. සිංහල ජනතාව දකුණට වී සතුටින් ගී කියමින් සිටි බවය. කුමක් හෝ හේතුවකට දෙමළ ජනතාව අතරින් නැගී සිට ජාත්‍යන්තරයේ ඕනෑ එපාකම් ඉටුකරමින් සිටි ත්‍රස්තවාදී නායකයාගේ වැඩකටයුතු නිසා සිංහල ජනතාවගේ මානව හිමිකම් කැඩුණු අයුරු පිළිබඳ කතා කරන්නට ජත්‍යන්තරයේ  කිසිවකු ඉදිරිපත් නොවූ තරම්ය. මෑතකදී මෙම ප්‍රවණතාවයේ අලුත්ම ජවනිකාව එළැදැක්වී තිබේ. ඒ දකුණු ඉන්දියාවෙනි. 


දකුණු ඉන්දියාවේ වෙසෙන කිවිඳියක, සිනමාකාරිනියක, නිළියක හා කාන්තා ක්‍රියාකාරිනියක යැයි පැවසෙන ‛ලීනා මනිමේකලායි’ අප රටට එරෙහිව සිනමා පටයක් නිර්මාණය කොට තිබේ. ‛වයිට් වෑන් ස්ටෝරිස්’ (White Van Stories) හෙවත් ‛සුදු වෑන් කතා’ නම් වූ මෙය අප රටේ සිදුවූයේ යැයි පැවසෙන සුදු වෑන්වලින් මිනිසුන් පැහැරගෙන යාම් පදනම්කොටගෙන තනනු ලැබූවක් වේ. මෙයට පෙර ද ඇය ‛සෙන්දගල්’ (මළ මුහුද - The Dead Sea) නමින් චිත්‍රපටයක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අත්අඩංගුවට පත්වන දකුණු ඉන්දීය දෙමළ ජනතාවගේ ඉරණම පෙන්වන්නට උත්සාහයක නියැලුණාය. 
ඇය අනෙකුත් ක්‍රියාකාරකම් මගින් ද අප රටට එරෙහිව බොහෝ කටයුතුවල නිරතව සිටී. 

සැබැවින්ම මේ ලීනා මනිමේකලායි යනු කවරෙක්ද? 

තමිල්නාඩුවේ උපත ලබා ඇති ඇගේ උපන් දිනයක් පිළිබඳ අන්තර්ජාලයෙන් සොයාගන්නට නැත. පියා රගුපති නම් වූ මහාචාර්යවරයකු වන අතර ඇය කුඩා වියේදීම පියා මියගොස් තිබේ. කුඩා කල සිටම ඇය හදාවඩාගෙන ඇත්තේ සිය මව වූ රාමා විසිනි. උසස් අධ්‍යාපනය සඳහා කාම්රාජ් සරසවියට ඇතුළුවූ ඇය එහිදී ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබාගෙන තිබේ. 

ඇය මේවන විට වාර්තා චිත්‍රපට 9ක් ද වෘතාන්ත චිත්‍රපට එකක්ද නිර්මාණය කොට ඇති අතර ඒවා බොහොමයකට සම්මාන ද හිමිව තිබේ. කාව්‍ය සංග්‍රහ තුනක් ද මේවන විට එළිදක්වා ඇත. ඇය වීදි නාට්‍ය ශිල්පිනියක ලෙසින් ද ඉන්දියාවේ ප්‍රකටව සිටින්නීය. ‛කනවුපත්තරයි’ නම් වූ සිය ප්‍රකාශන ආයතනය ඔස්සේ ඇය ලෝක සිනමාව හා සාහිත්‍ය පිළිබඳ පොත්  25ක් ප්‍රකාශයට පත්කොට තිබේ. ඇගේ  ‛ටුවරින් ටෝකිස්’ නම් රූපවාහිනි නිෂ්පාදන ආයතනය දකුණු ඉන්දියාවේ සෑහෙන නමක් දිනාගෙන තිබේ. ඇය ‛තිරායි’ නම් විකල්ප සිනමා සඟරාවක්ද ප්‍රකාශයට පත්කරයි. 

ඇයට සම්මාන ලබා දී ඇති සංවිධාන හා ආයතන පිළිබඳ සළකා බැලීමේදී පෙනී යන්නේ, ඒවා අතුරින් බොහොමයක් රාජ්‍ය නොවන සංවිධාන, ජනවාර්ගික අර්බුද පිළිබඳ සොයා බලන ආයතන, සුළු ජාතික අයිතිවාසිකම් ආරක්ෂාකිරීමේ සංවිධාන වැනි ඒවා වේ. අප රටේ සුළු ජාතිකයින්ට දැඩි ආදරයක් දක්වන යුරෝපයේ බොහෝ ආයතන ද ඇයගේ නිර්මාණ සඳහා සම්මාන ලබාදී තිබේ. 

‛ද හින්දු’ පුවත්පත ඇය හඳුන්වා දී තිබුණේ ‛සත්‍ය තරුණිය’ නමිනි. එයින් කියැවෙන්නේ ඇගේ සියලු නිර්මාණවලින් යථාර්ථය නිරූපණය වන බවය. මේ ‛සත්‍ය තරුණිය’ අප රටට එරෙහිව කළ ඇගේ නවතම නිර්මාණ වන ‛සුදු වෑන් කතාව’ මේ වන විට ඕස්ට්‍රේලියාව, යුරෝපය යන මහාද්වීපවල විකාශනය සඳහා දැනටමත් තෝරාගෙන තිබේ. චැනල් 4 ආයතනය ද මේ අතර සිටී. ඔවුනගේ අරමුණ අප රටේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක හමුවට සමගාමීව මෙය විකාශනය කොට අප රට කෙරෙහි ජාත්‍යන්තරයෙන් දැඩි බලපෑමක් එල්ල කිරීමය. ශ්‍රී ලංකාව නැවතත් මානව හිමිකම් කඩකිරීමේ චෝදනාව දෙසට තල්ලු කරන්නට මෙය හේතුවක් වනු ඇතැයි පැවසේ. 

ඇය සාහිත්‍යවේදිනියක මුවාවෙන් මෑතකදී අප රටට පැමිණ උතුරේ බොහෝ ස්ථානවල සංචාරය කොට ඇති පැවසෙන අතර පැමිණ ඇත්තේ උතුරේ පැවැත්වෙන් සාහිත්‍ය උත්සවයකට සහභාගීවන බව පවසමිනි. මේ සඳහා සිංහල ජාතිකයකු ද උදව් උපකරාකොට ඇති බවවාර්තාවේ. ඇය එම උත්සවයට සහභාගී වූ බව ජාත්‍යන්තර පුවත්වල පළවූව ද, වෙනත් ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ ඇය එවැන්නකට සහභාගී වී නැති බවය.  මෙයට පෙර ‛සෙන්දගල්’ නමින් අප රටට එරෙහි චිත්‍රපටයක් නිර්මාණ කළ ඇය බුද්ධි අංශවලින් ද සැඟවී රටට ඇතුළු වී යළි ආරක්ෂිතව තමිල්නාඩුව බලා පිටව ගියේ කෙසේදැයි බොහෝ දෙනෙකු ප්‍රශ්න කරති. උතුරේ පවතින නව දේශපාලන වාතාවරණය මත ඉදිරියේදී මෙවැන් සිදුවීම් වැඩිවනු මිස අඩුනොවනු ඇත. ඇගේ නිර්මාණ ජාත්‍යන්තර මට්ටමින් උසස් තත්වයක පවතිනවා වන්නට පුළුවන. අප රටේ නිර්මාණය කෙරෙන ඇතැම් සිනමා නිර්මාණවලට ජාත්‍යන්තර සම්මාන ලබාදෙන්නේ ඒවායේ කතා සාරයේ ඇති උසස් තත්වය නිසාම පමණක් නොවේ, ඒවා අප රටේ සභ්‍යත්වයට, සදාචාරයට හානි ගෙන දෙන දර්ශන පෙන්වන බැවිනි. ‛සුදු වෑන් කතා’ චිත්‍රපටයද එසේමය. එය ජාත්‍යන්තරයට අවංක ප්‍රකාශනයක් වන්නට පුළුවන. සුදු වෑන්වලින් පැමිණ මිනිසුන් පැහැරගෙන ගොස් මරාදැමීම අනුමත කළ නොහැක. ඇය පවසන්නේ මෙම චිත්‍රපටයෙන් අප රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු දෙනා මෙසේ පැහැරගෙන යාම් සිය නිර්මාණයෙන් පෙන්නුම්කරන බවය. නමුත් අවසානයේ ඇය සිය නිර්මාණවලින් පවසන්නේ සියලු අසාධරණය සිදුව ඇත්තේ දෙමළ ජාතිකයන්ට බවය. ඇය වරෙක පවසා තිබුණේ දෙමළ ජනතාවට ශ්‍රී ලංාකවෙන් කොටසක් සිය නිජබිම වශයෙන් වෙන්කරගන්නට අවස්ථාවක් නොලැබී ඇති බවය. නමුත් දෙමළ ජනතාවට මෙතරම් ආදරය කරන ඇය තමිල්නාඩුවේ දෙමළ ඊළමක් බිහිකරගත යුතු යැයි සිය නිර්මාණවලින් පවසන්නේ නැත. අප රටට වඩා අනේක ගැටලුවලින් දුක් විඳින ජනතාවක් තමිල්නාඩුවේ ඇතත්, ඇය ඒ ගැටලු ලෝකයාට පවසන්නට නිර්මාණ කරන්නේ නැත. ඉන්දියාවේ බොහොමයකට තවමත් වැසිකිලි පහසුකම් නැත. ඔවුන් ඒ සදහා තෝරාගෙන ඇත්තේ දුම්රිය මාර්ගයන්ය. බොහෝ දෙනා මුඩුක්කුවල දිවිගෙවති. ගණිකා ව්‍යාපාරය එහි තදින්ම තිබේ. නමුත් ඇයට සිය නිර්මාණ සඳහා තමන්ගේ රටේ පවතින මෙවැනි අනෙක් ගැටලු පෙනී නැත. තමන්ගේ තුවාලය පාර ගන්නවාට වඩා අනුන්ගේ තුවාලය පෑරීමේ න්‍යාය ඇය මෙහිදී අනුගමනය කොට තිබේ. 

කෙසේ හෝ ලෝකයා ඇය පවසන ‛සුදු වෑන් කතාව’ නරඹනු ඇත. අප රටට එරෙහිව ඉන්පසු හඬ නගනු ඇත. එක් ජනකොටසකගේ අයිතිවාසිකම් ලෝකයාට පෙන්වන්නට යාමෙන් තවත් බොහෝ දෙනෙකුගේ අයිතිවාසිකම් අහිමිවන බව ඇගේ නිර්මාණශීලී මනසට පෙනෙන්නේ නැත. මේ සියල්ලටම ගැටලුව එයයි