පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, November 18, 2013

චෝගම් - මෙවර ලාංඡනයේ අර්ථය - Meaning of the CHOGM Logo 2013



මම දූලා පුතාලගෙන් ඇහුවොත් ‛පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක හමුව’ කියන්නේ මොකක්ද කියලා සමහර දෙනෙක් නම් ටිකක් කල්පනා කරයි. ඒත් ‛චෝගම්’ කියන්නේ මොකක්ද කියල ඇහුවොත් විස්තර කරන්න දන්නේ නැති වුණත්, “ආ අපි ඒ ගැන අහලා තියෙනවා’ කියලා කියාවි. මේ නොවැම්බර් 15 - 17 අතර කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී තමයි මේ හමුව පැවැත්වෙන්නේ. දැන් අපි කතා කරන්න යන්නේ මේ ‛චෝගම්’ කියන්නේ මෙකක්ද කියන එකයි. 

‛චෝගම්’ කියන්නේ ඉංග්‍රීසි වචන කිහිපයක මුල් අකුරු එකතු කරලා හදා ගත්ත වචනයක්. ඒ තමයි Commonwealth Heads Of Government Meeting කියන එක. මේ වචනවල සිංහල තේරුම තමයි ‛පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක හමුව’ කියන්නේ. මේ වචනවල ලොකු අකුරු ටික විතරක් ගත්තාම CHOGM කියන වචනය හැදෙනවා. 

‛චෝගම්’ ගැන කතා කරන දූලා පුතාලට හොඳින්ම මතක තියෙන දෙයක් තමයි අර පාරවල සවි කරලා තියෙන හුළඟට කරකැවෙන පාට පාට කඩදාසි මල. ඒක තමයි 2013 අවුරුද්දේ චෝගම් සංකේතය. මේ මලෙන් පෙන්නුම් කරන්නේ අපේ රටේ ජාතික පුෂ්පය. ඒ කියන්නේ නිල මහනෙල් මල. ඒත් මේ සංකේතය නිල් පාට නැහැනේ. නිල් මහනෙල් මලක් නම් නිල් පාට වෙන්න ඕන නේ. දැන් එහෙම හිතෙන්න පුළුවන්. මේ සංකේතයේ පාට ගොඩක් තියෙනවා. ඒකෙන් කියවෙන්නේ එකිනෙකට වෙනස් රටවල් ගණනාවක් මේ සමුළුවේ ඉන්නවා කියන එකයි. මල් පෙති වගේ එකට සමගියෙන් ඉන්නවා කියන එකයි. මේ මල්පෙත් වගෙ සමගියෙන් ඉන්න රටවල් ලෝකය වටේම ඉන්නවා. ඒක පෙන්වන්න තමයි ම් මල් පෙති ලෝක ගෝලයක් වටේ කැරකෙන විදියට හදලා තියෙන්නේ. 

දූලා පුතාලා දන්නව අපේ රට අවුරුදු ගණනාවක්ම ඉංග්‍රීසින්ට යටත් වෙලා තිබුණු බව. අපට නිදහස ලැබුණේ 1948 අවුරුද්දේ. අපි වගේම ලෝකයේ තවත් රටවල් ගණනාවක්ම මේ විදියට ඉංග්‍රීසි ජාතීන්ට යටත් වෙලා හිටියා. ඒ රටවල් ඉංග්‍රීසින්ට යටත් වෙලා හිටපු කාලේ ‛යටත් විජිත සමුළුව’ කියලා දෙයක් පැවැත්වුවා. මුළින්ම පැවැත්වුයේ 1887 අවුරුද්දේ. ඉංග්‍රීසින්ට යටත් වෙලා තිබුණු රටවල් ටිකෙන් ටික නිදහස ලබාගන්න පටන් ගත්තා. හැම රටක්ම නිදහස් වුණාට පස්සේ ඒ රටවල නායකයෝ එකතු වෙලා අලුත් සමුළුවක් ඇති කරගත්තා. අන්න ඒ සමුළුව තමයි අද අපි ‛චෝගම්’ එහෙමත් නැත්නම් ‛පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක හමුව’ කියලා කියන්නේ. මේ සමුළුව මුළින්ම පැවැත්වූයේ 1971 අවුරුද්දේ සිංගප්පූරුවේ.



No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න