පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, October 31, 2013

උදරය නෙරා ඒම වළකන්න මේද දාහක උදරපටිවලට පුළුවන්ද? - Do the Belly Fat Burner Belts Effective?


උදරය ඉදිරියට නෙරා ඒම යනු ‍පොදුවේ ගැහැනු පිරිමි දෙපාර්ශ්වයම මුහුණ දෙන ගැටලුවකි. ඇතැම් අයගේ අඩු වයසින්ද, ඇතැම් අය තරමක් වයස් ගත වන විටද උදරය ඉදිරියට නෙරා එයි.අධික ලෙස ඉදිරියට නෙරා එන උදරය, පෙනුම කෙරෙහි තදින් බලපායි. එපමණක් නොව සෞඛ්‍ය අතින් ද එය කෙසේවත් යහපත් තත්ත්වයක් නොවේ. මෙයට බොහෝ හේතු තිබෙන්නට  පුළුවන. මූලික වශයෙන් මෙම හේතු සොයා ප්‍රතිකාර කිරීමෙන් උදරය ඉදිරියට නෙරා ඒම වළක්වා ගත හැකිය. ශරීරයේ අනෙකුත් ස්ථානවලට වඩා උදරයේ මේදය තැන්පත්වීම අධික ලෙස සිදුවේ. පුරුෂ පක්ෂය කෙසේ වෙතත් කාන්තාවක් නම් සිය උදරය ඉදිරියට නෙරා ඒම පිළිබඳ බොහෝ විට කනස්සල්ලෙන් පසුවන බව  පෙනෙන්නට තිබේ. මන්ද සුන්දර කාන්තා සිරුරකට සිහින්  උදරය වැදගත් වීමය. නමුත් ව්‍යායාමවලින් තොරව එක් තැනක සිටිමින් කළයුතු රැකියා හේතුවෙන් කාන්තාවන්ටද උදරය ඉදිරියට නෙරා ඒමේ ගැටලුවෙන් මිදීමට නොහැකි වී තිබේ.

මේදය නිසා උදරය නෙරා ඒම උදරයේ මේද ස්ථර ඇතිවීම හේතුවෙන් ඉදිරියට නෙරා එන්නේ නම් එයට ඇති සරලතම විසඳුම වන්නේ ව්‍යායාම කිරීමය. නමුත් වර්තමානයේ පවතින කාර්යබහුල ජීවිතවලට මේ සඳහා මිඩංගු කරන්නට තරම් කාලයක් නැති බව පෙනේ. මේදය කපා හැරිය හැකි පළඳනා වෙළෙඳ‍පොළට පැමිණෙන්නේ  මේ සඳහා විසඳුමක් වශයෙනි.  අප රටේද ඖෂධ වෙළෙඳසල්වල විවිධ වෙළෙඳ නාමයන්ගෙන් මෙවැනි පළඳනා කොතෙකුත් දක්නට ලැබේ. මේවා පිළිබඳ සමාජයේ පැතිර පවතින්නේ විවිධ අදහස්ය. උදර මේද දාහක පටියයනු කුමක්ද?  නමින් හැඳින්වෙන මේවා පැළඳීම  අහිතකරද? හිතකරද? මේවා ක්‍රියාත්මක වන්නේ කෙසේද? සැබවින්ම මේවායින් මේදය ඉවත්වනවාද? වැනි ගැටලු බොහෝ දෙනකු තුළ පවතී.

මේද දාහක උදර පටියයනු කුමක්ද?
මේද දාහක උදර පටිය යනු  ඔබගේ උදරය වටා පැළඳීමට හැකි සේ මනාව සකස් කරන ලද සරල ඉලෙක්ට්‍රොනික උපකරණයකි. එමගින් කෙටි ස්පන්දන ඇතිකරන අතර ඒවා නිසා උදරයෙහි මාංශපේශී හැකිලෙයි. ඒ නිසා බැලූ බැල්මට එසේ හැකිලීම නිසා උදරයේ මංශපේශී වඩාත් ශක්තිමත් වේ යැයි විශ්වාස කෙරේ. එමෙන්ම මෙම පටිය නිසා ඉන් ආවරණය වන  උදරය වටා ප්‍රදේශයේ උෂ්ණත්වයද ඉහළ යන අතර එමගින් එම ප්‍රදේශයේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කොට එහි ඇති මේදය දහනය වන බැව් කියැවේ. එමෙන්ම මෙම පටිය නිසා උදරය තද වී තිබිමත් මේදය දහනය කරන්නට උදව්වකි. මේද දාහක උදර පටියේ ප්‍රතිඵල මොනවාද?

මිනිස් සිරුර යනු පුදුමාකාර යන්ත්‍රයකි. සමස්ත සිරුරේම විනා සිරුරේ එක් විශේෂ ස්ථානයක පමණක් මේදය හෝ කැලරි දහනය කරන්නට හැකියාවක් නැත. මේදය යනු සමස්ත සිරුර මුළුල්‍ලේම  එකසේ පැතිර පවතින්නකි. ඒ සඳහා අපගේ ෙදෙනික හුරුපුරුදුද බලපායි. එනම් වෙහෙස වී වැඩකටයුතු කරන පුද්ගලයකුගේ සමස්ත සිරුරේම අවම වශයෙන්ද, සිරුර එතරම් වෙහෙස නොකරන පුද්ගලයකුගේ වැඩි වශයෙන්ද මේදය තැන්පත් වේ.

සිරුරේ එක් ස්ථානයක් පමණක් බර අඩු කළ හැකි ක්‍රමයක් පිළිබඳව විද්‍යාත්මකව සනාථ වී නැත. ඔබ  ඔබගේ සිරුරේ මේදය දහනය කරන්නට සිතන්නේ නම් එය සිරුරට ලැබෙන සමස්ත මේද සැපයුම කෙරෙහිම කළ යුතු දෙයකි. එය එක් තැනකට පමණක් සීමා කළ නොහැක. වෛද්‍ය පර්යේෂණවලට අනුව හෙළි වී ඇත්තේ සිරුරේ එක්
සුවීශේෂී ස්ථානයක පමණක් මේදය දහනය කරන්නට  හැකියාවක් නොමැති බවය. ඔබ මෙවැනි පටියක් භාවිත කරන අයකු නම් දැන් ඔබ දෙගෙඩියාවකට පත්වන්නට ඇත. සැබැවින්ම මේද දාහක උදර පටියකින් ප්‍රයෝජනයක් සිදුනොවන බැව් මෙයින් පැවැසෙන්නේ නැත. අනෙක මෙය භාවිත කරන්නන් කිහිප දෙනකු ගතහොත් ඔවුන්ගේ ප්‍රතිඵල විවිධ වන්නටද පුළුවන.

සිරුරේ ප්‍රධාන ස්ථානවල පිහිටි මාංශපේශී සිරුරේ ස්ථාවරත්වයට හා සමබරතාවයට හේතු වේ. මෙවැනි ස්ථානවල ඇති  මාංශ පේශී ශක්තිමත් කිරීමෙන් උදරය නෙරා ඒම වැළකෙනවා පමණක් නොව සමස්ත සිරුරම ශක්තිමත් වේ. එය පිටකොන්දේ ඇතිවන ආබාධ අවම කරන්නට හේතුවේ. මේද දාහයක උදර පටි විවිධ පුද්ගලයන් කෙරෙහි විවිධ අයුරින් ප්‍රතිඵල ගෙන දෙයි. ඔබට එයින් කිසිදු ප්‍රතිඵලයක් නොලැබි යන්නටද පුළුවන. නමුත් අඩුම තරමේ මෙය පැළඳ සිටීමෙන් ඔබගේ උදරය ප්‍රදේශයේ හා පිටකොන්දේ මාංශපේශී ස්ථාවරව පැවැතීම හෝ සිදුවේ.

මේද දාහක උදර පටිය පැළඳ සිටීම පමණක් ප්‍රමාණවත්ද?

සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් හා ක්‍රමවත් ව්‍යායාම පුරුදු ඇති කර නොගන්නේ නම් මෙම පටිය පැළඳීමෙන් ඒවා නිෂ්පාදකයන් පවසන ආකාරයේ විස්මිත ප්‍රතිඵල ලබාගන්නට හැකියාවක් නැත. කැලරි සීමාවන් සහිත සමබර ආහාර වේලක් ඔබ පුරුදු කරගත යුතුය. මේදය ඉවත් කර ගන්නට අවශ්‍යනම් අනිවාර්යයෙන්ම එය සිදුකළ යුතුය. සිරුරේ මේදයෙන් 50ක්ම ඇත්තේ සමට යටිනි. දිනකට මිනිත්තු 20 බැගින් සතියකට දින පහක් වශයෙන් හෘද ස්පන්දනය වැඩිකළ හැකි අන්දමේ ව්‍යායාම කරන්නේ නම් ඔබගේ සිරුරේ මේද තට්ටුව පහසුවෙන් ඉවත් කර ගන්නට පුළුවන. නමුත් මෙම පටිය  පැළඳීමෙන් පමණක් මෙවැනි ප්‍රතිඵලයක් ලබා ගන්නට හැකියාව ඇතැයි සිතන්නේ නම් එය මුලාවකි.

උදර මේද දාහක පටිය ආරක්ෂිතද?
බොහෝ පටි නිසි ක්‍රම වේදයන්ට අනුව සකස් කොට නොතිබිමත්, ඒවා මගින් උදරය අනවශ්‍ය අයුරින් තදවීමත් නිසා යම්කිසි හානිකර තත්ත්වයක් ඇතිවන්නට පුළුවන. නමුත් මේ නිසාම පටිය ලිහිල් කරගෙන සිටීමෙන්  ඔබ බලා‍පොරොත්තු වන ප්‍රතිඵල ලබා ගන්නටද හැකියාවක් නැත. මෙම පටිය මගින් සිරුර තුළට නිකුත් කරනා ඉලෙක්ටේ‍රානික ස්පන්දනද අහිතකර වන්නට පුළුවන. එබැවින් සැම අතින්ම නිසි ප්‍රමිතීන්ට අනුව සකස් කළ ජාත්‍යන්තර පිළිගත් ආයතනවල ප්‍රමිති ලාංඡන සහිත ඒවාම මිලදී ගැනීම වඩාත් සුදුසුය.

මේදය කපාහරින කෙටි ක්‍රම තිබේද?

උදර මේද දාහක පටි පිළිබඳ  වෙළෙඳ දැන්වීම්වලින් අපට පවසන සුරංගනා කතා විශ්වාස කිරීම නුවණට හුරු නැත. සමස්ත සිරුරේම මේද දහනය කොට හැඩැති, නිරෝගී සිරුරක් හිමි කරගන්නට නම් සිරුරට නිවැරැදි ආහාර මෙන්ම ව්‍යායාමද අත්‍යවශ්‍යය. ඒ සියල්ල සමගින් මෙවැනි පටියක් භාවිත කිරීමෙන් පමණක් ඔබට වඩාත් යහපත් ප්‍රතිඵල අත්විඳිය  හැකිවනු ඇත.


වසර එකසිය අනූනවයක ඇඳුමක අනුරුවක් අන්දවා සිදුකළ එංගලන්ත රාජකීය බිලිඳුගේ බෞතීස්ම උත්සවය - Baptism of the Royal Baby


එංගලන්තයේ කිරුළ හිමි කේම්බ්‍රිජ්හි ජෝර්ජ් කුමරු එසේත් නැත්නම් ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවි කුමරු පිළිබඳව ලෝකය පුරා යළිත් කතා කරන්නට පටන්ගෙන තිබේ. ඒ පසුගිය 23 වැනිදා මේ තෙමස් කුමරු එංගලන්තයේ සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවලට අනුව ක්‍රිස්තියානු කිරීමේ හෙවත් බෞතීස්ම උත්සවය යෙදී තිබිම නිසාය. දැන් මේ බිළිඳු ජෝර්ජ් කුමරු නිල වශයෙන්ම ඇන්ග්ලිකානුවෙක් හෙවත් එංගලන්ත සභාවට අයත් කෙනෙකි.

ශාන්ත ජේම්ස් මැඳුරේ රෝයල් චැපල් හිදී කැන්ටර්බරිහි අගරදගුරුවරයා වන අති ගෞරවනීය ජස්ටින් වෙල්බි පියතුමා විසින් මෙම අවස්ථාව ඉතා පෞද්ගලික මට්ටමින් පවත්වනු ලැබිණි. ‍‍‍ජ්‍යෙෂ්ඨ රාජකීයයන් පස් දෙනෙකුත්, මිඩෙල්ටන් පවුලෙන් (කේට්ගේ පවුල) සිව් දෙනෙකුත්, කැපකරු මාපියන් සත් දෙනෙක් හා ඔවුන්ගේ සහකරු සහකාරියන් සහ අමුත්තන් විසි දෙකක් පමණක් මේ සඳහා සහභාගි වී සිටිනු දක්නට ලැබිණ. සරල උත්සවයක් වුවද එය ඉතා අභිමානවත් අයුරින් පැවැති බව මාධ්‍ය වාර්තා කරයි. මේ සඳහා සහභාගි වූ පිරිස අතර කුමරුගේ මීමුත්තන්වූ එලිසබෙත් රැජින හා ෆිලිප් කුමරු, මුත්තණුවන්වූ චාර්ල්ස් කුමරු හා ඔහුගේ බිරිඳ කැමිලා පාකර්, හැරී කුමරුද, ජෝර්ජ් කුමරුගේ මව් පාර්ශ්වයේ මුත්තණුවන් යුවළ වන මයිකල් හා කැරොල් මිඩෙල්ටන්, කේට්ගේ සොයුරිය වන පිප්පා හා සොයුරා වන ජේම්ස් මිඩෙල්ටන් ආදීහු වූහ.
බෞතීස්මය වෙනුවෙන් භාවිත කළ බදුන

ජෝර්ජ් කුමරු ක්‍රිස්තියානි කිරීම සඳහා භාවිත කොට තිබුණේ ඉපැරණි රිදී කුසලානයකි. ඒ සඳහා ජලය ගෙනැවිත් තිබුණේ ජෝර්දාන් ගංගාවෙනි. එම අවස්ථාවේදී දෙව්මැදුර පුරා ගීතිකා ගැයිති. ජෝර්ජ් කුමරුට අන්දා තිබුණේ මීට වසර එකසිය අනූනවයකට පෙර වර්ෂ 1814 වික්ටෝරියා රැජිනගේ වැඩිමහලු දියණිය ක්‍රිස්තියානි කිරීම සඳහා මසන ලද ඇඳුමේම අනුරුවකි. සුදු සැටින් රෙද්දෙන් නිමවා තිබුණු එය ඔහුගේ මව වූ කේට් කුමරියගේ ඇඳුම සමග ගැළපෙන සේ පිළියෙළ කොට තිබිණි. මීට පෙර බොහෝ රාජකීය දරුවන් ක්‍රිස්තියානි කිරීමේදී එම ඓතිහාසික ඇඳුමම අන්දවන ලද අතර එහි කල්පැවැත්ම තහවුරු කරනු වස් සෝදා ඇත්තේද උල්පත් ජලයෙන් පමණි. නමුත් ජෝර්ජ් කුමරුගේ ක්‍රිස්තියානි කිරිමේ අවස්ථාව වන විට එය භාවිත කරන්නට නොහැකි තරමට දිරාපත්ව තිබිණි. ඔහු වෙනුවෙන් අලුතින් ඇඳුමක් මසන්නට සිදුවී ඇත්තේ එබැවිනි. කැමිලා හා පිප්පාගේ ඇඳුම්ද ක්‍රීම් පැහැයෙන් යුක්තවූ අතර රැජින තම නිල පැහැයෙන් සැරසී සිටියාය. ක්‍රිස්තියානි කිරීමේ අවස්ථාවෙන් අනතුරුව වේල්ස්හි කුමරු විසින් ක්ලැරන්ස් මැඳුරේදී සියලු දෙනා හට තේ පැන් සංග්‍රහයක් පිළියෙළකොට තිබිණි.

හරිම සතුටුදායක අවස්ථාවක්යනුවෙන් ලන්ඩනයේ බිෂොප්වරයා සමග එලිසබෙත් රැජින පැවසුවාය. මිනිත්තු හතළිස් පහකට සීමාවූ මෙම උත්සව අවස්ථාවේදී ජෝර්ජ් කුමරු වෙනුවෙන් කැපකරු මාපියවරුන් සත්දෙනකු නම් කරනු ලැබිණි.


හැරී කුමරු හෝ පිප්පා කුමරිය කැපකරු මාපියන් ලෙස නම් කොට නොතිබුණු අතර රාජකීය යුවළ විසින් නම් කළ සුවිශේෂි ගීතිකා දෙකක් ඔවුහු ගායනා කළහ. ජෝර්ජ් කුමරු උත්සවය අවස්ථාවේදී නොහඬා සිටීමත්, නිහඬව සිටීමත් විශේෂයෙන් කැපී පෙනුණු සිදුවීමක් විය.


ගුවන් යානය තුළ අනඟ සුව විඳ සිරබත් කෑ නාඳුනන පෙම් යුවළ - Sex in the Sky and Jailed in USA


සමාජයක හැදියාව, යහපත් ඉදිරි ගමන සඳහා චාරිත්‍ර වාරිත්‍ර,සදාචාරය, ලැජ්ජාව, බය වැනි සංකල්ප මානව ශිෂ්ටාචාරය කමෛන් පරිණාමය වීමේදී මිනිස් ශිෂ්ටාචාරයට එකතු විය. මේවා ලෝකයේ විවිධ රටවල් සිය සමාජයට බලපෑම් කරන විවිධ කරුණු මත සදාචාරාත්මක ලක්ෂණ අඩුවැඩි වශයෙන් භුක්ති විඳී, බටහිර සංස්කෘතියට සාපේක්ෂව පෙරදිග සංස්කෘතිය සදාචාරාත්මකව ඉහළ තැනක පවතින බව සාමාන්‍ය පිළිගැනීමකි්.  අප රට පිළිබඳ පැවැසිය හැක්කේ ද එයමය.

සංස්කෘතියට පටහැනි යම් යම් දේ සිදුවන විට  ඊට එරෙහිව හඬ නැගීමට බොහෝ දෙනා ඉදිරිපත් වෙති. නමුත් අතීතයත් සමග සසඳා බලන විට වර්තමානයේ බොහෝ සදාචාරාත්මක විරෝධී දෑ සිදුවන බව පෙනේ. ඇතැම් ඒවා කාලයත් සමග අපට හුරුපුරුදු වී ඇති බැව් දක්නට ලැබේ. රූපවාහිනිය අපට ලැබුණු මුල් කාලයේ කාන්තාවක නාන අඳුමින් සිටිනා රූපරාමුවක් පෙන්වීමේදී බොහෝ දෙනකු සසලව ගිය මුත් වර්තමානයේ අපට එවැනි  ඒවා බහුල වශයෙන් පෙනුණද කිසිවෙකුක් කිසිත්  නොකියතිි. සිප ගැනීමේ දර්ශනවලට මුල් කාලයේ විවිධ විරෝධයන් නැගුණු මුත් දැන් එවැන්නක් සිදු වන්නේ නැත. මෙම දරාගැනීමට හුරුවීමේ අවදානම පිළිබඳව සිතෙන්නේ ඉදිරියේදී සිපගැනීමටත් ඔබ්බට ගිය රූපරාමු නිතර රූපවාහිනියේ පෙන්වන්නට පටන් ගතහොත්. අනෙක මේවායෙන් ආභාෂය ලබාගත් පුද්ගලයන් අතීතයේ මෙන් නොව වර්තමානයේ ඇතැම් ක්‍රියාවන් ප්‍රසිද්ධියේ කරන්නට පටන්ගෙන් ඇති බැව් පෙනේ. අතීතයේ නව යුවළකගේ විවාහ මංගල්‍ය උත්සවයෙන් පසු කරන කිසිදු ක්‍රියාවක් ප්‍රසිද්ධියට පත් කරන්නේ නැත. නමුත් වර්තමානයේ එසේ නොවේ. ඇතැම් ඇල්බම් වල සිප වැළඳ ගන්නා දර්ශන පවා ඇතුළත් කොට තිබේ. ඇතැමුන් මධුසමය ආරම්භ කරන්නට පෙර අවස්ථා ආදි ද සිය මංගල ඇල්බමයට ඇතුළත් කොට තිබේ. ඉදිරියේදී මධුසමයේ දර්ශනද මේ ආකාරයට ඇල්බම්වලට ඇතුළත් නොවුවහොත් එහි පුදුමයක් නැත.

එමෙන්ම පෙම්වතුන් ප්‍රසිද්යේ සිප වැළඳ ගෙන සිටීමේ අවස්ථාද වාර්තමානයේ සුලභය. විවිධ උද්‍යානවල, ‍පොදු ප්‍රවාහන සේවයන් තුළ මෙවැනි දෑ ඕනෑතරම් දැකගන්ට පුළුවන. නමුත් මේවාට එරෙහිව කිසිවකු කිසිදු හඬක් නගන්නේ නැත. ඒ සමාජයට මෙවැනි ක්‍රියා වර්තමානය වනවිට හුරුපුරුදු දේ බවට පත්ව ඇති නිසාය. නමුත් අප සිතන්නේ අප රට ලෝකයේ අනෙකුත් බොහෝ රටවලට වඩා සදාචාරාත්මක බවින් ඉදිරියෙන් සිටින බවකි. අපට එසේ සිතුණත් සදාචාරය, ගුණධර්ම බොහෝ පිරිහී ඇතැයි සිතන ඇමෙරිකාව වැනි රටවලින් ඇතැම් විට දැනගන්නට ලැබෙන සිදුවීම්වලින් පෙනෙන්නේ එම රටවල තවමත් අප සිතනවාට වඩා ගුණධර්ම, සදාචාරය පිළිබඳ හඬක් නගනා මිනිසුන් සිටින බවකි. මේ කතාව ඇසීමෙන් පසු ඔබට එය පසක් වනු ඇත.

පසුගිය දිනෙක ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇලෙජියනට්ගුවන් සේවයට අයත් යානයක් ලාස් වේගාස් නගරය දක්වා ගමන් කරමින් තිබිණි. මෙහි ගමන් ගත් පිරිස අතර රූපලාවන්‍යාගාරයක හිමිකාරිනියක වූ 33 හැවිරිදි ජෙසිකා ස්ටේ‍රා්බල්ද මිදි වගාකරුවකු වූ ක්‍රිස්ටෝපර් මාර්ටින්ද වූහ. ඔවුන් දෙදෙනා මීට පෙර දැන හැඳුනුම්කම් ඇති දෙදෙනක් නොවූහ. ඔවුන් අසුන්ගෙන සිටියේ කවුළුවක් අද්දරට වන්නට පිහිටි ආසනයකට එක සමීපයේය.

මෙම ගුවන් ගමනේදීම දැන හඳුනාගත්  මෙම යුවළ ගුවන් ගමන ආරම්භකොට වැඩි වේලාවක් ගතවන්නට පෙර  ආරම්භ කළේ කිසිවකු නොසිතූ ක්‍රියාවලියකි. ඔවුහු මෙම ගුවන් යානය තුළදී ප්‍රසිද්ධියේ අඹුසැමියන් සේ හැසිරීමට පටන් ගත්හ. එය මොහොතකින් කෙතරම් දුරදිග ගියේදැයි කිවහොත් අසැබි චිත්‍රපටයක දර්ශනයක් සජීවී ලෙස නිරූපණය කරන්නක් බවට පත් විය. ඔවුන් කළ කී දෑ මාධ්‍යයකින් සඳහන් කරන්නට නොහැකි මුත් අන්තර්ජාලයේ නම් එය ඉතා හොඳින් විස්තර කොට තිබෙනු දැකිය හැකිය.

මෙය නවත්වන්නැයි මුලදී ගුවන්යානයේ මගීන් කිහිප දෙනෙකුම පැවැසුවද ඔවුන්  එය තුට්ටුවකටවත් ගණනකට ගත්තේ නැත. මගීන් සඳහන් කරන්නේ අදාළ ක්‍රියාව අවසන් වනතුරුම සිදුකළ බවකි. අනෙක මෙම ගුවන් ගමනේදී ඔවුන් එක්වරක් පමණක් නොව දෙවරක්ම එම ක්‍රියාවේ නිරත වී තිබේ. එහිදී ඔවුන් භුක්ති විඳ ඇත්තේ වල් බූරු නිදහස ඉක්ම වූ නිදහසකි.

අවසානයේ මෙම තිරිසන් ක්‍රියාව පිළිබඳව ගුවන් සේවය විසින් මෙය එෆ්.බි.අයි. නම් ඇමෙරිකානු අපරාධ විමර්ශන ආයතනයට පැමිණිලි කළ අතර ගුවන් යානය ගොඩ බැස් වූ වහාම මෙම යුවළ අත්අඩංගුවට ගනු ලැබිණි. එක් මගියෙකු සාක්ෂිදෙමින් පවසා සිටියේ තමා සිය ගැටවර වියෙහි පසු වූ  දරුවන් දෙදෙනා සමග මෙහි ගමන් කරමින් සිටි අතර මෙම ඇසැබි ක්‍රියාව දැකීමෙන් තමන් ඉමහත් අපහසුවට පත් වූ බවය.
මගේ දරුවන්ට ලිංගික පාඩමක් පෙන්වන්නට මට අවශ්‍ය නැහැයනුවෙන් එම මගියා පවසා තිබිණැයි එෆ්.බි.අයි. නියෝජිත ජේම්ස් මොලිකා පවසයි.

 ‍පොලීසිය මොවුන්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ස්ටේ‍රා්බල් පවසා තිබුණේ සාමාන්‍ය සිප වැළඳ ගැනීමක් මිස එවැනි ක්‍රියාවක් සිදු නොවූ බවයි. තමා මීට පෙර අනෙක් පුද්ලයා හඳුනාගෙන නොසිටි බවත්  ඔහුගේ දුරකතන අංකයක් හෝ තමා සතුව නැති බවත් ඇය පැවැසුවාය. කෙසේ මුත් ලාස් වේගාස් දිස්ත්‍රික් අධිකරණය ප්‍රසිද්ධියේ ලිංගික ක්‍රියාවක් සිදු කළේ යැයි නඩු පැවැරූ අතර නඩු තීන්දුව අනුව ඔවුනට දින 90ක සිරදඬුවමක්ද නියම කෙරිණි”.

මෙයට පෙර වර්ෂ  2011 මැයි මාසයේදී ලන්ඩනයේ සිට නිව්යෝර්ක් දක්වා ගමන් කර තිබූ ගුවන් යානයකද මෙවැනි ඇසැබි ක්‍රියාවක් සිදු වූ බවට එෆ්.බි.අයි. ආයතනයට පැමිණිල්ලක් ලැබි තිබේ.
අපට මෙම සිදුවීම්වලින් පෙනෙන්නේ සදාචාරාත්මක අතින් අපට වඩා පහළට වැටී ඇතැයි සිතා සිටි රටවල මෙවැනි සදාචාර විරෝධි ක්‍රියාවන්ට එරෙහිව ජනතාව හඬ නගමින් යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනව බවකි.

බටහිර රටවලට වඩා අප සදාචාරාත්මක යැයි සිතා සිටියද අප රටේ බොහෝ දෙනකු යම් සදාචාර විරෝධී ක්‍රියාවක් සිදු වූ විට  කිසිවක් කර කියා ගත නොහැකිව දුර්මුඛව සිටීම සාමාන්‍ය තත්ත්වයකි.


මෙවැනි දේ අප රටේ ‍පොදු ස්ථානවල ‍පොදු ප්‍රවාහන සේවයේ නිතර සිදුවුවද ඒවාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් අවස්ථා පිළිබඳ වාර්තා වන්නේ ඉතා අඩුවෙනි. මෙයට හේතුව ඇතැම් විට අපට නීතිය පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් නැතිවීම, එසේත් නැත්නම් මේවා සාමාන්‍ය සිදුවීම් සේ සලකා බැහැර කිරීමද යන්න සොයා බැලිය යුතුය. එසේ නොමැති වුවහොත් අපට අනාගතයේදී අප රටේ ‍පොදු ප්‍රවාහන සේවයේදී හෝ ‍පොදු ස්ථානවල දකින්නට සිදු වන්නේ ඇමෙරිකාවේ ගුවන් යානයක සිදු වූ ක්‍රියාවන්ට වඩා ඔබ්බට  ගිය ඒවා වන්නට පුළුවන. එහි අනිසි බලපෑම අප තිළිණ කරනුයේ අනාගත පරපුරටය. ඒ නිසා ප්‍රසිද්ධ ස්ථානවල සිදුවන මෙවන් අසභ්‍ය ක්‍රියා පිටු දැකීමට සියලු දෙමාපියන් එක්ව පියවර ගත යුතුය.


අද සමාජයට නැතුවම බැරි අතට අත දීම ගැන ඔබ මේවා දන්නවාද? - Facts about Proper Handshaking Methods



සමාජයේ බොහෝ පිරිසක් සමඟ ඇසුරුකිරීමේදී විවිධ ආචාරධර්ම පිළිබඳ නිතැතින්ම අවධානය යොමුකරන්නට අපට සිදුවේ. මේ ඇතැම් ඒවා අපගේ සාම්ප්‍රදායික ඒවා නොවන්නට පුළුවන. ඇතැම් ඒවා විදේශයන්ගෙන් අපට ලැබුණු ඒවා වන්නට ද  පුළුවන. නමුත් බැහැර කරන්නට නොහැකි තරමට ඒවා අපගේ සමාජයේ මුල්බැසගෙන තිබේ. අතට අතදීම එවන් එක් පුරුද්දකි. සිංහල ජන සමාජයේ යම්කිසි පුද්ගලයකු හමු වූ විට අප ආචාර සමාචාර දක්වන්නේ දෑත් එකතුකොට ‛ආයුබෝවන්’ කීමෙනි. නමුත් පොදුවේ අප බොහෝ දෙනෙක් අමුත්තකු හමු වූ විට, මිතුරකු බොහෝ කලකින් හමු වූ විට, සුබ පතන විට වැනි විවිධ අවස්ථාවලදී කරන්නේ අතට අත දීමය.  මෙහිදී අප සාමාන්‍යයෙන් අනෙකාගේ අත අල්වා සෙළවීම සිදුකළ ද අතට අතදීමේ දී පිළිපැදිය යුතු ආචාර ධර්මතා මෙන්ම අතට අතදීමේ විවිධ ක්‍රම ද දක්නට ලැබේ. මේවා පිළිබඳ දැනුවත්ම සිටීම සමාජය ඉදිරියේ කිසිදු චකිතයකින් තොරව හැසිරෙන්නට ඔබට අවස්ථාව උදාකර දෙයි. 

ඔබට යම් අමුත්තකු හමු වූ විට ඔහුට හෝ ඇයට අතට අතදීමේදී එය සිදුකරනා ක්‍රමය අනුව අනෙක් පුද්ගලයාගේ සිතෙහි ඔබ පිළිබඳ පූර්ව විනිශ්චයන් ඇතිකරගන්නට පුළුවන. මෙසේ ඇති කරගන්නා පූර්ව විනිශ්චය යහපත් එකක්විය යුතුය.  අපට සාමාන්‍යයෙන් පහත දක්වා ඇති අවස්ථාවලදී අතට අතදීමට සිදුවිය හැකිය. 
යමකු මුළින්ම මුණගැසුණු විට 
රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වූ විට 
බොහෝ කාලයකින් නොදුටු හිතවතකු මුණගැසුණු විට 
යම්කිසි උත්සව අවස්ථාවකදී සත්කාර කටයුතු කරන්නේ ඔබ නම්,   එහි පැමිණෙන අමුත්තන් පිළිගන්නා විට 
මිතුරකුට, ව්‍යාපාරික සඟයකුට සමුදීමේදී 
යම්කිසි පුද්ගලයකු ඔබ දෙයට අත දිගුකරනා ඕනෑම විටෙකදී 

අතට අතදීමේදී අප දැන සිටිය යුතු කරුණු. 

1. අතට අතදීම ආරම්භ කළයුතු අවස්ථාව 
අතට අත දීම ආරම්භ කළ යුත්තේ තනතුරින් හෝ වයසින් ඉහළ තැනැත්තාය. උදාහරණයක් ලෙස සම්මුඛ පරීක්ෂණයකදී නම් මුළින්ද අත දිගුකළ යුත්තේ එම පරීක්ෂණය මෙහෙයවන තැනැත්තාය. ඔබගේ අනාගත මාමාණ්ඩිය මුණ ගැසුණේ නම් අතට අත දීම ආරම්භ කළ යුත්තේ ඔහුය. 

අතට අතදීම ආරම්භ කිරීමේදී යම්කිසි වරදක් සිදුවූයේ නම් කිසිවිටෙක අත ආපසු ගැනීමෙන් වළකින්න. එය අනෙක් තැනැත්තාට රළු අත්දැකීමක් වන්නට පුළුවන. එවන් අවස්ථාවකදී සිනහසෙමින් අතට අතදී තමාව හඳුන්වාදීම සිදුකළ යුතු අතර සමාව අයැදීම සිදු නොකළ යුත්තකි.  

2. අතට අතදීමට පෙර අනෙක් පුද්ගලයාගේ දෑස් වෙත ඔබේ දෑස් යොමුකළ යුතුය. 

ඔබ සිටින්නේ හිඳගෙන නම් අත දිගුකිරීමට පෙර නැගී සිටිය යුතුය. මෙසේ දෙදෙනාම එකම මට්ටමකට පැමිණීමෙන් පෙන්නුම් කරන්නේ අනෙක් තැනැත්තා කෙරෙහි ඔබ දක්වන ගෞරවයයි. අනෙක් පුද්ගලයාගේ දෑස් දෙස බලා සුහදලෙස සිනහසීමෙන් පෙන්නුම් කරන්නේ ඔබ ඔහු/ඇය හමුවීම සතුටට හේතුවක් බවය. 

මෙවැනි අවස්ථාවකදී ඔබ කලබලයෙන් හෝ එතැනින් බැහැරයන්නට කලබලයෙන් සිටින බවක් පෙන්නුම්කිරීම නොකළ යුතුය. ඔබ සිටින්නේ ඇවිදිමින් නම්, ඇවිදීම නතරකොට අනෙක් පුද්ගලයාගේ දෑස් දෙස බලා අතට අතදෙන්න. එසේ නොමැති වුවහොත් එම අවස්ථාව අසුන්දරවන්නට ඉඩ තිබේ. 

3. අතට අතදීමට පෙර හෝ දෙන අවස්ථාවේදී සුබපැතීම සිදුකරන්න 

ඔබගේ අත්ල දහදියෙන් තෙත්වී ඇත්නම්, ඔබගේ කලිසමෙන්, සායෙන් හෝ සාරියෙන් එය පිසදමාගන්නා තුරු අතට අතදීම මදකට පමාකළ හැකිය. සුබපැතීම සිදුකළ යුත්තේ මෙසේ පමාවන මොහොතේය. සුබපැතීමේදී අනෙක් පුද්ගලයාගේ නම සුහද ලෙස පැවසීම වඩාත් උචිතය. උදාහරණයක් ලෙස මෙසේ පවසන්නට පුළුවන. “ඔබව හමුවීම සතුටක් සුභා”. මෙහිදී ඔබට සුදුසු යැයි සිතෙන සුබපැතුමක් ඉදිරිපත් කරන්නට පුළුවන. නමුත් පමණ ඉක්මවා යාමෙන් වළකින්න. 

ඔබට හමුවූයේ අමුත්තකු නම් ඔහුගේ් /ඇයගේ නම හොඳින් මතකයේ රඳවාගැනීම සඳහා සංවාදය අතරතුරේදී නම කිහිපවතාවක් පැවසීම සිදුකරන්න. එවිට ඔබට එම නම මතකයේ රඳවාගැනීමට පහසුවක් වනු ඇත. මෙය අනෙක් පුද්ගලයාගේ සිතේ ද සුහදශීලී ආකල්පයක් ඇතිකරන්නට හේතුවනු ඇත. මන්ද තම නම වෙනත් පුද්ගලයකු විසින් පවසනු ඇසීමට සියලු දෙනා කැමති නිසාය. 

4. අතට අතදීමේදී අත දැඩිව අල්වාගත යුතු මුත් වේදනාව දැනෙන සේ මිරිකීම සිදුනොකළ යුතුය. 

අත දුර්වල ලෙස ඇල්ලීමේදී අනෙක් පුද්ගලයාගේ සිතේ ඔබ පිළිබඳ ඇතිවන්නේ දුර්වලයකු වැනි ආකල්පයකි. නමුත් ඔබ අනෙක් පුද්ගලයාගේ අස්ථි බිඳීයන තරම් තදින් ඇල්ලිය යුතුබව මෙයින් පැවසනේනේ ද නැත. මෙහදී අත දැඩිව අල්වාගත යුතු මුත්, දැඩිව මිරිකිය යුතු නැත. අනෙක් පුද්ගලයා දුර්වල ලෙස ඔබගේ අත අල්වාගත්තේ නම්, ඔහුගේ/ඇයගේ අත තරමක් තදින් මිරිකන්න. එවිට අත තදින් අල්වාගත යුතු බැව් අනෙක් පුද්ගලයාගේ සිතෙහි හැඟීමක් ඇතිකළ හැක. 

5. අතට අතදීම පැවතිය යුතු කාලය 

බොහෝ දෙනෙක් කෙටි අතට අතදීමකට කැමතිය. සාමාන්‍යයෙන් මෙය තත්පර පහක් තරම් කෙටිකාලයක් බැව් සොයාගෙන තිබේ. එබැවින් අනෙක් පුද්ගලයාගේ ප්‍රතිචාර පිළිබඳ සැළකිලිමත්වීම සුදුසුය. විශේෂයෙන් අනෙක් පුද්ගලයා රැකියාවෙන්, තනතුරින් හෝ සමාජ තත්වයෙන් ඔබට වඩා උසස් නම් මෙය හොඳින් සිතේ තබාගත යුත්තක් වේ. 

අනෙක් පුද්ගලයා තත්පර පහකට වඩා ඔබගේ අත අල්වාගෙන සිටියේ නම් සුහදශීලී ලෙස අත ඉවතට ගන්න. ඉන්පසුව එක් එල්ලේ දෑස් දෙස බලා කතාකිරීම හා සුහදශීලී කතාබහ මගින් ඔහු/ඇය සමඟ සංවාදය යහපත් අයුරින් පවත්වාගෙන යන්නට උපකාරී වනු ඇත. 

6. ඔබගේ අනෙක් අත පිළිබඳ සැළකිලිමත් වන්න. 

වම් අත භාවිත කරන්නට විශේෂ හේතුවක් නැත්නම්, අතට අතදීමේදී බොහෝ දෙනෙක් භාවිත කරන්නේ දකුණු අතය. මෙම අවස්ථාවේදී ඔබගේ වම් අත අනෙක් පුද්ගලයාට පෙනෙන සේ ඇඟිළි දිගහැරී තිබිය යුතුය. ඔබගේ වම් අත සාක්කුවේ දමාගෙන සිටීමේ වළකින්න. එය අනෙක් පුද්ගලයාගේ සිතේ චකිතයක් ඇතිකරන්නට හේතුවක් වේ. සාමාන්‍යයෙන් අතට අතදීමේදී ඔබගේ වම් අත අනෙක් පුද්ගලයාගේ අත මත තැබීම නුවණට හුරු නැත. නමුත් අනෙක් පුද්ගලයා ඔබ දන්නා හඳුනන අයෙක් නම් අවස්ථාවට උචිත යැයි හැඟේ නම් පමණක් එසේ සිදුකළ හැකිය. 

7. අතට අත දී සෙළවිය යුතු පිළිවෙල 

අත සෙළවිය යුත්තේ ඉහළ - පහළ ආකාරයටය. එය ඉදිරියට - පසුපසට හෝ පැත්තෙන් පැත්තට හෝ වශයෙන් සිදුකිරීම සුදුසු නැත. එසේ කිරීමේ දී මෙම අවස්ථාවේ ඇති සුහදතාවය ගිලීහීයන්නට ඉඩතිබේ. 

අතට අතදීමේ ආචාර ධර්ම සේම දැන සිටිය යුතුවා සේම දැනට ප්‍රචලිතව පවතින අතට අතදීමේ විවිධ විලාශයන් පිළිබඳ දැනසිටීම ද විශේෂ වාසියක් වන්නට පුළුවන. මෙහිදී ඔබට මෙවැනි විලාශයක් 10ක් හඳුන්වාදෙන අතර සමාජයේ පවතින්නේ මේවා පමණක් නොවන බව මතක තබාගත යුතුය. විවිධ නම්වලින් පවතින තවත් බොහෝ විලාශයන් පවතී. මෙවා මගින් අනෙක් පුද්ගලයා පිළිබඳ යම් අදහසක් ලබාගැනීමට ද ඔබට අවස්ථාව ලැබේ. 

1.  දහදිය අත්ලෙන් අතට අතදීම 


ඇතැම්විට අතට අතදීමේදී අනෙක් පුද්ගලයාගේ මානසික වාතාවරණයට අනුව අත්ල දහදියෙන් තෙත්වී තිබෙන්නට පුළුවන. නමුත් ඔබ එය පිළිබඳ අවබෝධයෙන් වඩාත් සුහදශීලී ලෙස කතාබහ කිරීමෙන් අනෙක් පුද්ගලයාගේ සිතෙහි ඇති මානසිකත්වය වෙනස්කරන්නට හැකිය. ඔබගේ අත්ල දහදියෙන් තෙත්වූයේ නම් අතට අතදීමට පෙර අත්ල ලේන්සුවෙන් හෝ (කාලය මද බව හැඟේ නම්) කලිසමෙන් හෝ සායෙන් පිස දමා අතට අතදෙන්නට පුළුවන) 

2. ලිහිල් අතට අතදීම 

මෙය Dead Fish  යනුවෙන් ද හඳුන්වනු ලබයි. මත්ස්‍යයකු මියගිය විට උගේ සිරුර ඉබේ කඩා වැටේ. අනෙක් පුද්ගලයා ද අත්ලේ අස්ථි පවා නොමැති අයුරින් ඉතා ලිහිල්ව අතදීම සිදුකරනු පෙනේ. මෙසේ අතට අත දෙන්නේ සෘණාත්මක ආකල්ප ඇති සමාජශීලී නොවන පුද්ගලයන් ය. නමුත් තදබල අතට අතදීමක් නිසා අමිහිරි අත්දැකීම ලද පුද්ගලයන් ද මෙසේ සිදුකරනා බැව් සොයාගෙන තිබේ. 

3. ක්ෂණික අතට අතදීම 
Brush Off යනුවෙන් ද හඳුන්වනු ලබන මෙහිදී අනෙක් පුද්ගලයා ඉතා ඉක්මණින් අතට අත දී ඉවතට ගනියි. අනුන්ගේ අදහස්වලට වඩා තමාගේ අදහස් උසස් යැයි මෙසේ කරනා බොහෝ දෙනෙක් සිතයි. 

4. ප්‍රබල අතට අතදීම 
මෙහිදී අනෙක් පුද්ගලයා ඔබ ඔහු/ඇය දෙසට අදිනා බැව් හැඟෙනු ඇත. මෙහෙදී ඔබ තේරුම්ගත යුත්තේ අනක් පුද්ගලයා සෑමවිටම යම් තැනක ප්‍රධානියාවන්නට උත්සාහ කරන්නකු බවය. 

5. දේශපාලන අතට අත දීම 
මෙහිදී අනෙක් පුද්ගලයා අතට අත දෙන අතරේ අනෙක් අතින් ඔබගේ වම් අත හෝ උරහිස තදින් ඇල්ලීම සිදුකරයි. අනෙක් පුද්ගලයා ඔබගේ මිතුරකු නොවේ නම් මුළින්ම මෙසේ යම්කිසි අමුත්තකු සිදුකරන්නේ නම් එහිදී පැවසනේනේ බොරු සුහදශීලී බවකි. එයට දේශපාලන අතට අතදී යැයි පැවසෙන්නේ එබැවිනි. මෙවැනි පුද්ගලයින් වැටෙන්නේ සටකපට ගණයටය. 

6. ඇඟිළිවලින් අතට අතදීම 


Finger Vice යනුවෙන් හැඳින්වෙන මෙහිදී අනෙක් පුද්ගලයා අතටඅත දීමේදී සම්පූර්ණ අත නොව ඇඟිළි පමණක් භාවිත කරයි. මෙවැනි පුද්ගලයන් අවිශ්වාස සහගතය. එමෙන්ම ඔවුන් අනෙක සෙසු පුද්ගලයන් දුරින් තබා ගැනීමට උත්සාහකරයි. 


7. අස්ථි බිඳෙන අතට අතදීම 


Bone Crusher යනුවෙන් හැඳින්වෙන මෙහිදී වේදනාව දැනෙන අයුරින් අත මිරිකීම සිදුකරයි. තමා කෙතරම් ශක්තිවන්තයෙක්දැයි පෙන්වීමට බොහෝ දෙනෙක් මෙම විලාශය යොදාගනිති. ඔබ ද ශක්තිමත් බැව් හැඟෙන්නට ඉඩහැරීමෙන් ඔවුන් ද ඔබ කෙරෙහි ධනාත්මක ආකල්ප ඇතිකරගනී. 

8. පොකිරිස්සා ශෛලිය 


මෙය හඳුන්වනු ලබන්නේ Lobster Claw  නමිනි. මෙසේ අතට අත දෙනු ලබන්නා පොකිරිස්සාගේ අඬුවක් සේ සිය මහපටගිල්ල හෝ සියලු ඇඟිළි අනෙක් පුද්ගලයාගේ අත්ලේ ස්පර්ශ කරයි. මෙවැනි පුද්ගලයින් අනෙක් පුද්ගලයින් සමඟ සම්බන්ධතා ඇතිකරගැනීමට වැඩි කැමැත්තක් නැත. නමුත් මොවුන් ඉතා විශ්වාසවන්ත පුද්ගලයින් ය. 

9. මල්ලවපොර ශෛලිය 
මෙහිදී අතට අත දීමෙන් පසු අත කරකවා අනෙක් පුද්ගලයාගේ අත යටිපැත්තට හරවයි. එය Hand Wrestler  නමින් හඳුන්වන්නේ එබැවිනි. මෙය ආක්‍රමණශීලීබවේ ලක්ෂණයකි. මෙවැනි පුද්ගලයින් සියලු දෙනා ඉවතහෙළා ඉහළටම යන්නට උත්සාහකරයි. 


10. කෝප්ප ශෛලිය 
මෙහිදී අනෙක් පුද්ගලයාගේ අත්ල කෝප්පයක හැඩයකින් පවතී. එයට Teacup යනුවෙන් හඳුන්වනු ලබයි. මෙවැනි පුද්ගලයින් යමක් සඟවාගෙන සිටී. ඇතැම්විට ලජ්ජාව වැනි හැඟීමක් ද ඔවුන් තුළ තිබෙන්නට පුළුවන. මෙවැනි පුද්ගලයින් සමඟ වැඩකටයුතුකිරීමේදී යම් යම් තොරතුරු සඟවාගෙන සිටීදැයි විමසිලිමත්විය යුතුය. 




Friday, October 25, 2013

ඔබේ නිවහනටත් ස්වභාවික ආලෝකයේ අසිරිය ලබාදෙන්න - How to get Natural Light for your Home

බොහෝ දෙනෙක් නිවාස සැළසුම්කිරීමේදී ආලෝකය ලැබෙනා ආකාරය පිළිබඳ වැඩි සැළකිල්ලකට නොගන්නා දෙයක් බව ඇතැම්විට පෙනෙන්ට තිබේ. එසේ පවසන්නේ ඇතැම් නවීන නිවෙස්වල පවා අඳුරු ස්ථාන පෙනෙන්නට ඇති බැවිනි. මෙවැනි නිවාසවල දහවල් කාලයේදීද අඳුර දුරුකිරීම සඳහා විදුලි පහන් දල්වන්නට සිදුවන බව පෙනේ. කෙසේ නමුත් විවිධ පර්යේෂණ මගින් හෙළිවී ඇත්තේ යම් නිවසකට කාමරයකට ස්වභාවික ආලෝකය යහමින් ලැබෙන්නේ නම් එහි වාසය කරන පුද්ගලයන්ගේ මානසික තත්වය හා ආකල්ප වඩ වඩාත් දියුණුවට පත්වන බවය. සිසුවෙකු පාඩම් කරන්නේ ස්වභාවික ආලෝකයෙන් නම් ඔහුට ධාරණය කරගත හැකි ප්‍රමාණය වැඩිය. එය ව්‍යාපාරික ස්ථානයක් නම් අළෙවිය වැඩි ය. අනෙක් නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ ස්වභාවික ආලෝකය ලැබෙන සේ සකස්කොට ඇත්නම් එමගින් විදුලිබලය ඉතිරිවන අතර, විදුලි පහන් නිසා දෙනෙත්වල ඇතිවන ආතතිය ද අඩුවී යයි. එබැවින් නිවසක් සැළසුම්කිරීමේදී ස්වභාවික ආලෝකය හැකිතාක් නිවස තුළට ලැබෙනවාද යන්න පිළිබඳ ඔබ විශේෂයෙන් සොයා බැලිය යුතුය. ස්වභාවික් ආලෝකය වැඩි වැඩියෙන් නිවසට ලබාගැනීම සදහා මෙහි දක්වන කරුණු ඔබට ඉවහල්වනු ඇතැයි අපි විශ්වාස කරමු.

 1. 

පවතින ජනෙල් කවුළුවලින් ලැබෙනා ආලෝකය වැඩිකිරීම සදහා තිර රෙදි විවෘතකොට තබන්න. කවුළුව ඉදිරිපට හෝ ඒ අසළ කිසිදු ගෘහ භාණ්ඩයක්, විශේෂයෙන් තද පැහැයෙන් යුක්ත ඒවා, තැබීමෙන් වළකින්න. 

 2. 

නිවෙස හෝ කාමරය තුළට පතිතවන ස්වභාවික ආලෝකය මුළු ප්‍රදේශය පුරාම හොඳින් පැතිරීම සඳහා බිත්තවල ලා පැහැ තීන්ත ආලේප කරන්න. මේ සදහා වඩාත් හොඳින් ගැළපෙන්නේ සුදු පැහැයයි. මෙහිදී අලෝකය හොඳින් පරාවර්තනය වන නිසා ආලෝකය හොඳින් පැතිර යයි. ජනෙල් කවුළුවේ රාමුව වටා ද සුදු පැහැය ආලේපකිරීමෙන් මෙය තවත් වැඩිකරගත හැකිය. 

 3. 

කාමරයේ කැඩපත් පවතී නම් ඒවා ආලෝකය පරාවර්තයවන ආකාරයට නිසි පරිදි ස්ථානගත කරන්න. කැඩපතක් ස්ථිර ලෙස ස්ථානගත කරන්නට පෙර එය විවිධ ස්ථානවල තබමින්, වඩාත් හොඳින් ආලෝකය පතිතවන්නේ කෙසේදැයි ඔබටම සොයිබැලිය හැකිය. කැඩපත් සේ දිලිසෙන අයුරින් තැනූ පිඟන ගඩොල් බිත්තවලට සවිකරන්නට ඔබ කැමැති නම්, එමගින් වැඩි ආලා්කයන් පරාවර්තනය කරගතහැකි ය. 

 4. 

විදුරු සවිකළ දොරක් භාවිත කරන්න. මෙම ක්‍රමය අත්හදාබැලීමේදී ඔබ ආරක්ෂාව පිළිබඳව ද විශේෂයෙන් සැළිකිලිමත් විය යුතුය. හේතුව විදුරු යනු සොරසතුරන්ට පහසුවෙන් බිඳ දැමිය හැකි දෙයක් වන නිසාය. නමුත් විදුරු සවිකළ දොරේ ආරක්ෂාවට යකඩ රාමුවක් සවිකරන්නට හැකි නම්, එය වඩාත් ආරක්ෂිත වේ. මෙසේ සවිකරනා වීදුරුව පූර්ණ වශයෙන් විනවිද පෙනෙන්නක් නොව ආලෝකය පමණක් පතිතවන සේ විවිධ රටාවන්ගේ තැනඋ එකක් වීම වඩාත් සුදුසු වේ. 

 5. 

පුළුල් ජනෙල් කවුළු සවිකිරීම මගින් ද නිවස හෝ කාමරයට වැඩි ආලෝකයක් ලබාගන්නට පුළුවන. නමුත් ආලෝකය සමඟ තාපය ගළා ඒම වැළැක්වෙන අයුරින් ජනෙල් කවුළුව ස්ථානගත කිරීම වඩාත් යෝග්‍ය වේ. තාපය ගළා ඒමෙන් නිවසේ හෝ කාමරයේ උෂ්ණත්වය ඉහළ යනු ඇත. නිවසට සාපෙක්ෂව හිරු පායන වේලාව, හිරුගේ ගමන් රටාව ආදිය අධ්‍යයන කිරීමෙන් වඩාත් සුදුසු ස්ථානයක් ඔබට තෝරාගන්නට හැකිවනු ඇත. 

 6. 

ඔබේ ගෙවත්තේ අලංකාර ස්ථාන හොඳින් පෙනෙන කාමරයක් හෝ වෙනත් ස්ථානයක් නිවසේ ඇත්නම්, එවැනි ස්ථානයකට තල්ලුකළ හැකි තල්ලුකළ හැකි දොරවල් සවිකරන්න. එවිට අවශ්‍ය ඕනෑම මෙහොතකදී මෙම දොරවල් දෙපසට තල්ලුකොට ආලෝකය හොදින් නිවස තුළට ලබාගන්නට පුළුවන. ඒ සමඟම නෙතට ප්‍රි උපදවන දසුනක් දකින්නට ද පුළුවන. 

 7. 

 නිවසට ස්වභාවික ආලෝකය කිසිම අයුරකින් පතිත නොවන ස්ථාන ඇත්නම්, එවැනි ස්ථාන සදහා වහළයේ විදුරු උලුකැටයක් සවිකරන්න. සීලිම් සවිකොට ඇත්නම් මෙම වීදුරු උළුකැටයෙන් පතිතවන ආලෝකය සීලිම ඔස්සේ තනන ලද දැව රාමුවක් ඔස්සේ නිවස තුළට ලබාගන්නට පුළුවන. එමෙන්ම ‛ස්කයිලයිට්’ යනුවෙන් වෙළෙඳපළේ මිලදී ගැනීමට ඇති උපාංගය සවිකරන්නට පුළුවන. මෙය තරමක් මිල අධික වුවත්, නිවස තුළට ස්වභාවික ආලෝකය යහමින් ලබාගැනීමට උපකාරීවනු ඇත.

Tuesday, October 15, 2013

අන්තර්ජාලයෙන් සල්ලි හොයන හැටි - How to Earn Money from Internet



ද පවතින ආර්ථික ගැටළු පිළිබඳ සිතීමේදී රැකියා එකක් නොව කිහිපයකින්වත් ගොඩ එන්නට ඒවා මද බව සිතේ. එබැවින් බොහෝ දෙනෙක් ප්‍රධාන රැකියාවට අමතරව වෙනත් ආදායම් මාර්ගවලට යොමුවන්නට හුරුපුරුදුව සිටිති. නමුත් ඒවායෙන් ද ලැබෙන්නා වූ ආදායම ප්‍රමාණවත් නොවන බව පෙනේ. අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපැයීමේ ක්‍රමවල බොහෝ දෙනෙක් පෙළඹී ඇත්තේ මෙහි ප්‍රතිඵලයක් ලෙසිනි. 

how to earn money from internet වැනි පද යොදා ගනිමින් ගූගල් වෙබ් අඩවියෙන් සෙවුමක් කළ විට ලැබෙන ප්‍රතිඵල දහස් ගණන ද ඉක්මවා යයි. මෙසේ ලැබෙන් ඇතැම් වෙබ් අඩවි නොමිලයේ ද, ඇතැම් ඒවා මුදල් අයකරමින් ද අන්තර්ජාලය ඔස්සේ මුදල් සොයා ගන්නා අන්දම අපට උගන්වනු ලබයි. මීට අමතරව අප රට තුළ ඇතැම් නගර තුළ අනත්ර්ජාලය ඔස්සේ මුදල් සොයාගන්නා ආකාරය පිළිබඳ දැනුම බෙදා දෙන පාඨමාළා ද පැවැත්වෙන බව පෙනෙන්නට තිබේ. මේවා මුදල් අයකරමින් පැවැත්වෙන පාඨමාළාවන් වේ. කෙසේ මුත් ඉවසිල්ලෙන් යුක්තව අන්තර්ජාලය පිරික්සා කළ හොත් කිසිවකුට හෝ මුදල් නොගෙවා අන්තර්ජාලය ඔස්සේ මුදල් සොයාගන්නා ක්‍රම අපට සොයාගත හැකිය. මේවා ආරම්භයේ දී අප සිතනා තරම් මුදල් උපයාගන්නට අවස්ථාව ලබා නොදෙන මුත් ඉවසීමෙන් කාලයක් වැඩකටයුතු කිරීමෙන් අමතර ආදායමක් උපයා ගන්නට පුළුවන. 

රැකියාවක් නොකර නිවසේ සිටින කාන්තාවන්ට මෙවැනි කාර්යයකට අතගැසීම තුළින් පවුලේ ආදායමට සැළකිය යුතු දායකත්වයක් ලබාගත හැකි බැව් කිවහැකිය. මේ සඳහා පරිගණකයක් හා අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය වේ. වර්තමානයේ රැහැන් රහිතව ඩොන්ගල් භාවිතයෙන් පහසුවෙන් අන්තර්ජාල පහසුකම් ලබා ගතහැකි බැවින්, අදාළ ආයතන සමඟ කතාබහකොට ඔබට පහසු අන්දමේ අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබාගන්නට පුළුවන. අප වෙනත් රටවල වෙබ් අඩවි ඔස්සේ මුදල් උපයන්නේ නම් අපට මුදල් ගැබෙන ක්‍රමයක් ද සකසාගත යුතුය. බෙහෝ වෙබ් අඩවිවලින් ගෙවීම්කරනු ලබන්නේ ‛පේපැල්’ (PayPal) නම් ක්‍රමය ඔස්සේ වුවත් අප රටේ බැංකු මගින් තවමත් මෙම ක්‍රමයට පහසුකම් සළසන්නේ නැත. අපට වෙනත් රටක් හරහා මෙම PayPal ගිණුමක් තනාගන්නට හැකිවුවත්, අන්තර්ජාලය පිළිබඳ වැඩි අවබෝධයක් නැති අයෙකුට එය තරමක අසීරු කාර්යයක් විය හැකිය. එබැවින් අප රටේ බැංකු මගින් පහසුකම් සපයන ජාත්‍යන්තර වශයෙන් මුදල් සම්ප්‍රේෂණය කළ හැකි ක්‍රමයක් මෙහිදී සඳහන් කළ හැකිය. එය හඳුන්වනු ලබන්නේ Payoneer නමිනි. මෙහි මූලස්ථානය ඇත්තේ ඇමරිකා  එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරය. www.payoneer.com  න වෙබ් අඩවියේ ගොස් ලියාපදිංචි වීමෙන් පසු Payoneer මාස්ටර් කාඩ්පතක් සඳහා අයැදුම් කළ හැකිය. මෙය සති දෙකක ඇතුළත තැපැල් මගින්  නිවසට ලැබේ. විදෙස් රටවල වෙබ් අඩවි හරහා ඔබ මුදල් ඉපැයීමේ ක්‍රම සොයා යද්දී Payoneer  මගින් පමණක් ගෙවීම් සිදුකරන්නා වූ වෙබ් අඩවි පමණක් තෝරාගැනීමෙන් ගැටළුවලට මුහුණ දෙන්නට සිදු නොවේ. මෙම කාඩ්පතට අදාළ අංකය අදාළ වෙබ් අඩවියට ලබාදුන් පසු එ අංකයට මුදල් බැරකරනු ලබන අතර අන්තර්ජාලය ඔස්සේම එසේ මුදල් බැරවූ බව ඔබට දන්වනු ලබයි. එවිට ඕනෑම ටෙලර් යන්ත්‍රයක් ඔස්සේ මෙම මුදල අප රටේ මුදල් ඒකකවලින් ලබාගන්නට පුළුවන. 

ඉහත සඳහන් ආකාරයට how to earn money from internet  හෝ ඊට සමාන ආකාරයේ පද යොදා ගූගල් ඔස්සේ සෙවුමක් කළ විට අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයාගන්නට දේශීය මෙන්ම විදේශීය වශයෙනුත් පවතින වෙබ් අඩවි රැසක් හමුවේ.  මේවා අතරින් ඇතැම් ඒවායේ ඇත්තේ වෙළෙඳ දැන්වීම් නැරඹීම පමණි. ඒවා නැරඹූ බව අදාළ වෙබ් අඩවියට දැන්වීම සඳහා අප ඒවා මත මවුසයෙන් ක්ලික් කළ යුතු වේ. එවිට ඒ සෑම ක්ලික් කිරීමක් සඳහාම අපේ ගිණුමට මුදලක් බැරවේ. නමුත් මෙසේ බැරවන්නේ ඉතා සුළු මුදලක් පමණි. earn money by clicking යනුවෙන් ගූගල් හරහා සෙවීමෙන් මෙවැනි වෙබ් අඩවි දහස් ගණනක් සොයාගත හැකිය. නමුත් ඔබ තෝරාගත යුත්තේ අපේ රට තුළින් මුදල් ලබාගැනීමේ පහසුකම සපයන වෙබ් අඩවි පමණකි. නැතහොත් සිදුවන්නේ ඔබගේ කාලය, මුදල හා වෙහෙස මහන්සිය අපතේ යාම පමණි. 

ඔබ චිත්‍ර අඳින්නට දක්ෂකම් දක්වන්නෙක් නම් අන්තර්ජාලය හරහා සෑහෙන මුදලක් උපයාගන්නට හැකියාව තිබේ. විශේෂයෙන් පරිගණකය ඔස්සේ චිත්‍ර අඳින්නට හැකිනම් මෙය වඩාත් පහසුය. එවැනි අය සදහා ගැළපෙන්නේ http://fiverr.com/  යන වෙබ් අඩවියයි. මෙය Payoneer ෙවීම් ලබාගතහැකි වෙබ් අඩවියක් වන නිසා මුදල් ලබාගනීම පිළිබඳ ගැටළුවක් ද ඇති නොවේ. සැබවින්ම මෙම වෙබ් අඩවිය ඔස්සේ මුදල් උපයන්නට හැක්කේ චිත්‍ර අඳින්නන්ට පමණක් නොව සංගීතය, වීඩියෝ නිර්මාණ, පරිවර්තන, පිටපත් රචනා ආදිය කරන්නවුන්ට ද අවස්ථාව හිමිවේ. නමුත් චිත්‍ර මේ සියල්ල අතුරින් චිත්‍ර අඳින්නන්ගේ වැඩකටයුතුවලට මෙය පහසු බැව් පෙනෙන්නට තිබේ. මෙම වෙබ් අඩවියෙන් කෙරෙන්නේ සේවය අවශ්‍ය පුද්ගලයන් හා සේවය ලබාදෙන පුද්ගලයන් එකිනෙක හඳුන්වාදීමයි. ඒ සඳහා කිසිදු ගාස්තුවක් අයවන්නේ නැත. යම් පුද්ගලයකුගේ සේවය ලබාගෙන වංචාකිරීමක් මෙහිදී සිදුවන්නේ නැත. 

ක්ලික් කිරීම ඔස්සේ මුදල් ඉපැයීම සඳහා අවස්ථාව සලසා දෙන බොහෝ වෙබ් අඩවි අතරින් ඔබට හඳුන්වාදිය හැකි තවත් එකක් වන්නේ http://www.bidvertiser.com  ය. මෙහි ඇති වෙළෙඳ දැන්වීම් ක්ලික් කිරීමෙන් යම්කිසි මුදලක් ඔබගේ ගිණුමට එකතු වේ. මෙම ක්ලික් කිරීමට අමතරව අය පිළිබඳ ඇති සංවාදයට එක්වන්නට ඔබට හැකි නම් උපයන්නට හැකි ප්‍රමාණය තවත් ඉහළ යයි. 

http://www.cafepress.com යනු http://fiverr.com  වැනිම තවත් අඩවියකි. මෙහිදී ද චිත්‍ර ශිල්පීන්ට වැඩි ඉඩක් හිමිවන අතර ඔබ නිර්මාණය කරන විවිධ මෝසතර ඔවුනට ලබාදීම මගින් සැළකිය යුතු මුදලක් උපයන්නට පුළුවන. 

දත්ත ඇතුළත් කිරීම, ලිපි යතුරු ලියන කිරීම ඔස්සේ මුදල් ඉපැයීමට අවස්ථිවා ලබාදෙන වෙබ් අඩවි ද අන්තර්ජාලයෙන් සොයාගන්න පුළුවන. earn money from internet by data entry  යනුවෙන් යතුරු ලියනය කිරමෙන් මෙවැනි වෙබ් අඩවි සොයාගන්නට හැකිය. 

මුදල් ගෙවා ලියාපදිංචි වීමෙන් පසු මුදල් ඉපැයීමේ අවස්ථාව ලබාදෙන වෙබ් අඩවි ද බොහෝ ගණනක් පවතී. මේවායෙන් ලැබෙන ආදායම ඉහළය. නමුත් මේවාට යොමු වීමට පෙර නොමිලයේ අවස්ථාව ලබාදෙන වෙබ් අඩවි අත්හදා බැලීම වඩාත් සුබදායක වේ. 

මීට අමතරව අන්තර්ජාලය හරහා මුදල් ඉපැයීමට  දේශීය වශයෙන් ද උපදෙස් දෙන්නා වූ වෙබ් අඩවි බොහොමයක් පවතී. සැළකිල්ලෙන් යුක්තව මේවා තෝරා බේරා ගැනීම තුළින් ඔබට ද නිවසේ සිටම මුදල් උපයන්නට පුළුවන. කලක් මේවායේ නිරතවීමෙන් ඔබට තව තවත් අවස්ථා උදාකරගන්නට පුළුවන. 

Thursday, October 10, 2013

අංක විද්‍යාව පවසන ඔබගේ විවාහ ජීවිතය - Numerology and Your Marriage


අංක විද්‍යාව යනු පෙරදිග මෙන්ම අපරදිග රටවලත් එකසේ අනුගමනය කරන්නා වූ සුවිශේෂී විද්‍යාවකි. යම්කිසි පුද්ගලයකුගේ නම, යම් ස්ථානයක නමක් වැනි දෙයක් අංකමය අගයක් බවට පරිවර්තනය කොට, ඒ ඇසුරින් යම් යම් පලාපල ප්‍රකාශකිරීම මෙහිදී සිදුවේ. මෙහි ඇති වැදගත්ම දෙය වන්නේ ඕනෑම අයෙකුට මෙම විද්‍යාව පහසුවෙන් අනුගමනය කරන්නට හැකිවීමයි. අප කතාබහ කරන්නට යන්නේ ද එවැන්නක් පිළිබඳවය. එනම් විවාහය පිළිබඳ අංක විද්‍යාවෙන් දැනගතහැක්කේ කුමන්ද යන්න පිළිබදවය. විවාහකයින් මෙන්ම විවාහවන්නට බලාපොරොත්තුවෙන් පසුවන්නන් සිය විවාහ දිවිය පිළිබඳ අනාවැකි දැනගැනීමට දක්වන්නේ ඉමහත් කැමැත්තකි. මේ කැමැත්ත සපුරාගැනීම සඳහා අංක විද්‍යාව යොදාගන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණයි. 

අංක විද්‍යාවට අනුව කාන්තාවකගේ හා පුරුෂයකුගේ අංක අතර ගැළපීමක් සිදුවන්නේ නම් එතැන විවාහයක් සිදු වේ. අංක අතර ගැළපීමක් සිදුනොවන්නේ නම් එය විවාහයක් සඳහා සුදුසු නැති බැව් පැවසේ. අපි මුළින්ම නමක් අංක බවට හරවාගන්නේ කෙසේදැයි සොයා බලමු. ඒ සඳහා අපට පහත දැක්වෙන වගුව අවශ්‍ය වේ. 

1
2
3
4
5
6
7
8
9
A
B
C
D
E
F
G
H
I
J
K
L
M
N
O
P
Q
R
S
T
U
V
W
X
Y
Z

 
 මෙහි 1 - 9 දක්වා අංකත්, එම අංකවලට අදාළව ඇති ඉංග්‍රීසි අක්ෂරත් දක්නට ලැබේ. අපි දැන් නමක් අංකයක් බවට හරවාගන්නා ආකාරය උදාහරණයකින් විමසා බලමු. උදාහරණයක් ලෙස අපි ‛කාන්ති’ යන නම සළකාබලමු. මුළින්ම ‛කාන්ති’ යන්න ඉංග්‍රීසි බසින ලියාගනිමු. 

K   A   N  T   H    I

2    1    5   2    8   9

දැන් අපි මේ අංක සියල්ල එකතු කරමු 

2 + 1 + 5 + 2 + 8 + 9  =  27

අංක 27 අපට යළි කුඩා කළ හැකිය. 

2 + 7 = 9


එවිට ‛කාන්ති’ යන නම සඳහා ලැබෙන්නේ අංක 9 යි. අංක විද්‍යාවට අනුව නමක් සඳහා අවසානයට ලැබිය යුත්තේ තනි අංකයකි. 


නමක් අංකයක් බවට හරවාගන්නා ආකාරය දැන් අපි දැනගතිමු. 

ඔබ විවාහක අයකු නම් හෝ විවාහවන්නට බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් ඔබ දෙදෙනාගේම නම් සඳහා වෙන් වශයෙන් වූ අංක සොයා ගන්න. ඉන්පසුව මෙහි දැක්වෙන ආකාරයට අනුව විවාහ දිවිය පිළබඳ යම් අදහසක් ඔබට ලබාගන්නට පුළුවන. 

අංක විද්‍යාවට අනුව දෙදෙනාගේම අංකය 1 නම්, ඔවුන්ගේ සබඳතාවය තුළ යම්කිසි තරගකාරීබවක් දක්නට ඇතැයි පවැසේ. ඔවුනට ඇත්තේ ද එක හා සමාන හැඟීම් ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස පවුලේ යම් යම් අර්බුද ඇතිවන්නට පුළුවන. එක් අයෙකුට පිහිටියේ අධික ලෙස කෝපගැන්වෙන පුරුද්දක් නම් අනෙකාට ද එය නොඅඩුව පිහිටයි. එවිට මතභේදාත්මක අවස්ථාවක් උද්ගතවූ විට තත්වය භයානක වන්නට පුළුවන. 

යම් අයුරකින් කාන්තාවගේ අංකය 2 නම් තත්වය මෙයට වඩා වෙනස් වේ. පුරුෂයාගේ අංකය 1 වී කාන්තාවගේ අංකය 3 වී නම්, එය ඉතා සුභදායක වේ.  ඔවුනගේ විවාහය ආදරය හා සෙනෙහස රජයන්නක් වන්නේය. කාන්තාවගේ අංකය 4 වී නම් එම යුවල අතර අහේතුව අඬදබර ඇතිවන්නට පුළුවන. එවිට නිවසේ සාමකාමී වටපිටාව අඩු වේ. කාන්තාවගේ අංකය 5 වී නම් විවාහ ජීවිතය ප්‍රීතිමත් හා සාමකාමී වේ. 

යම්කිසි තරුණියකගේ අංකය 5 හෝ 7 නම් ඇයට ගැළපෙන්නේ අංක 1 හිමි තරුණයෙකි. එවිට ඔවුනගේ ජීවිතය ප්‍රීතිමත් එකක් වනු ඇත. කෙසේමුත් තරුණියගේ අංකය 6 හෝ 8 වී, ඇය අංක 1 හිමි තරුණයකු හා විවාහ වූයේ නම්, විවාහ ජීවිතය ප්‍රසන්නශීලී නොවනු ඇත. මනාළයාගේ අංකය 2 වී මනාළියගේ අංකය 1 හෝ 7 වූයේ නම්, විවාහ ජීවිතයේ කරදර ඇතිවන්නට පුළුවන. තරුණයාගේ අංකය 2 වී, ඔහු අංක 2 හැර වෙනත් ඕනෑම අංකයක් හිමි තරුණියක හා විවාහ වූයේ නම් විවාහ ජීවිතය සතුට උතුරායන්නක් වනු නොඅනුමානය. 

කෙසේමුත් සතුට හා දුක යනු ඕනෑම අයෙකුගේ ජීවිතයට වරින්වර පැමිණෙන්නකි. යම්කිසි තරුණයකුගේ අංකය 3 වී, ඔහු අංක 3, 4 හෝ 5 හිමි තරුණියක හා විවාහ වූයේ නම්, අංක විද්‍යාවට අනුව ඔවුනගේ විවාහ ජීවිතය ප්‍රසන්නශීලි එකක් වනු නිසැකය. තරුණයාගේ අංකය 3 වී තරුණියගේ අංකය 7 වී නම් ඔවුනගේ ජීවිතයට දුක හා සතුට එක හා සමානව ලැබේ. තරුණියගේ අංකය 3 නොවූයේ නම් ඇයට අංක 3 හිමි තරුණයකු හා විවාහ වන්නට ලැබුණේ නම් ඔවුනගේ ජීවිතය ද කිරියෙන් පැණියෙන් උතුරන්නක් වන්නේ ය. 

පුරුෂයාගේ අංකය 4 වී කාන්තාවගේ අංකය 2, 4 හෝ 5 වී නම් ඔවුනගේ ගෘහ ජීවිතය වාසනාවන්ත වන්නේ ය. පුරුෂයාගේ අංකය 4 වී කාන්තාවගේ අංකය 6 හෝ 8 වී නම් ඔවුන් සිය විවාහ ජීවිතය තුළදී දුෂ්කරතාවයන්ට මුහුණ නොදෙනු ඇත. පුරුෂයාගේ අංකය 5 නම්, ඔහු විවාහ විය යුත්තේ අංක 1, 2, 5, 6 හෝ 8 හිමි කාන්තාවක් සමඟිනි.  ඔබ අංක 4 හෝ 7 සහිත තරුණියක් නම් ඔබට සාමාන්‍ය විවාහ ජීවිතයක් හිමිවනු ඇත. ඔබ වෙනත් අංකයකට අයිති වූයේ නම්, විවාහ ජීවිතයේ ගැටළුවලට මුහුණ දෙන්නට සිදුවන නොඅනුමානය. අංක 6 හිමි තරුණයෙක් වෙත්නම් ඔහු විවාහ විය යුත්තේ අංක 1 හෝ 6 හිමි තරුණියක සමගිනි. තරුණියගේ අංකය 2 හෝ 4 නම්, එවිට ඇයට යහපත් විවාහ දිවියක් නොලැබෙන්නට ඉඩකඩ තිබේ. 

පුරුෂයාගේ අංකය 7 වී කාන්තාවගේ අංකය 1, 3 හෝ 6 නම්, දෙදෙනා අතර ආදරයෙන් පිරුණු විවාහයක් හිමිවන්නේය. කාන්තාවගේ අංකය 5, 8 හෝ 9 නම්, ඇයට විවාහ ජීවිතයේ යම් යම් ගැටළු ඇති වුව ද, සමස්ථයක් ලෙස ඇයට සාමාන්‍ය විවාහයක් හිමි වේ. ඇයට වෙනත් අංකයකට අයිති වූයේ නම් ඇගේ විවාහ ජීවිතය සැපවත් එකක් නොවනු ඇත. යම්කිසි පුරුෂයකුගේ අංකය 8 නම්, ඔහුට අංක 5,6 හෝ 7 හිමි කාන්තාවක හා විවාහවීමෙන් ප්‍රීතිමත් විවාහ දිවියක් හිමිවන්නේය. ඔහු අංක 2 හෝ 3 හිමි කාන්තාවක හා විවාහ වූයේ නම්, විවාහ ජීවිතය සාමාන්‍ය තත්වයකින් පවතිනු ඇත. ඔහු මේ අංක හැර වෙනත් අංක හිමි කාන්තාවක හා විවාහ වූයේ නම්, විවාහ ජීවිතය තවත් පහළට වැටෙනු නිසැකය. අංක 9 හිමි පුරුෂයකුට විවාහවන්නට සුදුසු කාන්තාවන් අයත් වන්නේ අංක 1, 2, 3, 6 හෝ 9  යන අංකවලටය. අංක 5 හෝ 7 හිමි කාන්තාවක හා විවාහ වූයේ නම් විවාහය සාමාන්‍ය තත්වයක පවතිනු ඇත අංක 4 හෝ 8 හිමි කාන්තාවන් ඔහුට ගැළපෙන්නේම නැත. 

කෙසේ මුත් මෙය පොරොන්දම් ගැළපීමක් ලෙස වරදවා වටහා නොගතයුතුය. මේවායේ සත්‍ය අසත්‍යබව කෙතරම්ද යන්න පිළිබඳ අපට කිසිවක් පැවසිය නොහැකිය. නමුත්, මෙසේ කෙරෙන අංක විශ්ලේෂණයෙන් හෙළිවන තොරතුරුවල යම් සත්‍යතාවක් අතැයි ඔබට සිතෙන්නේ නම්, එවිට ඔබගේ වැරදි හා අඩුපාඩු නිවැරදිකරගෙන ඔබගේ සහකරු හෝ සහකාරිය සමඟ සතුටින් ජීවක්වන්නට පුළුවන. මෙවැනි විද්‍යාවන්ගේ අරමුණවන්නේ එයයි. 


-රැජින 2013-10-11