පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, January 31, 2015

සඳ මෝරන කාලෙට පිස්සු තද වෙනවද? - Relationship between Full Moon and Mental Illness


උදම් හෙවත් වඩදිය හො බාදිය යනුවෙන් හඳුන්වනු ලබන්නේ චන්ද්‍රයාගේ ඇතිවන ගුරුත්ව බලය හේතුකොට ගෙන පෘථිවියේ සාගරවල ජල මට්ටමේ සිදුවන ඉහළ හා පහළ යාම යි. ජල මට්ටම ඉහළ යාම වඩදිය වශයෙන් ද, පහළ යාම බාදිය වශයෙන් ද හඳුන්වනු ලබයි. 
 
වඩදිය ඇතිවන අවස්ථාවේදී පෘථිවියේ චන්ද්‍රයාට මුහුණ දී ඇති කොටසේ සාගර ජලය චන්ද්‍රයා වෙත ඇදීමක් සිදුවේ. එවැන්නක් සිදුවන්නේ පෘථිවි අභ්‍යන්තරයේ ඇති ගුරුත්වයට වඩා චන්ද්‍රයාගේ ගුරුත්වය වැඩි වශයෙන් සාගරයට දැනෙන බැවිනි. මෙහි ප්‍රතිපලයක් ලෙස වඩදිය ඇති වේ. චන්ද්‍රයාට පිටුපා ඇති කොටසේ ද වඩදිය ඇති වේ. එය සිදුවන්නේ වෙනත් ආකාරයකටය. චන්ද්‍රයාගේ බලපෑම නිසා පෘථිවි කේන්ද්‍රය චන්ද්‍රයා දෙසට ඇදී යයි. එය සාගරය පෘථිවිය දෙසට ඇදී පවතින ගුරුත්වයට වඩා වැඩි ය. එවිට සිදුවන්නේ පෘථිවිය සාගරය දෙසට වඩා චන්ද්‍රයා දෙසට ඇදී යාමයි. මේ ආකාරයට චන්ද්‍රයාට පිටුපා ඇති පැත්තේ ද වඩදිය ඇති වේ. 

මිනිස් සිරුරේ ද 75%ක් පමණම පවතින්නේ ජලය බැවින් චන්ද්‍රයාගේ මෙම ගුරුත්ව බලය සිරුරට ද බලපාන්නේදැයි බොහෝ දෙනා තුළ ගැටළුවක් පවතී. කෙසේ නමුත් චන්ද්‍රයාගේ ගුරුත්ව බලය මෙසේ පෘථිවිය මතට කරන බලපෑම මිනිස් සිරුර මත ද මේ ආකාරයෙන්ම සිදුවන්නේ නැත. සිරුර මත ඇතිකරන චන්ද්‍ර ගුරුත්වය ගණනය කිරීමවලට පවා හසුවන්නේ නැති තරම්ය. මෙම ගුරුත්වයට සාගර ජලය හසුවන්නේ එය මහා පරිමාණයෙන් පෘථිවිය වටා ව්‍යාප්තව පවතින බැවිනි. ඇමරිකා එක්සත් ජනපදයේ ඇති පංච මහා විල්, මහා සාගරය තරම් පැතිර නොපවතින නිසා එය මත චන්ද්‍ර ගුරුත්වය බලපැවැත්වීම නිසා වඩදිය ඇතිවන්නේ අඟල් දෙකක් තරම් ප්‍රමාණයක් පමණි. එබැවින් පංච මහා විල් වර්ගකොට ඇත්තේ වඩදිය බාදිය ඇති නොවන ස්ථානයක් ලෙසිනි. නමුත් චන්ද්‍ර බලපෑම ඒවා මත ඇති නොවේ යැයි එයින් කියැවෙන්නේ නැත. 

ගුරුත්ව බලය, දුරට සාපෙක්ෂව වෙනස් වෙයි. නමුත් යම් පමණකට හෝ පවතී. විශ්වයේ පවතින ඕනෑම දෙයක් කුමක් හෝ දෙයක් කෙරෙහි ගුරුත්ව බලයකින් බැඳී පවතීයනුවෙන් නියමයක් තිබේ. පර්යේෂකයන් විසින් ගණනය කොට ඇති පරිදි මවක විසින් දරුවකු වඩාගෙන සිටින විට දරුවා මත මව විසින් ඇති කරන ගුරුත්ව බලපෑම චන්ද්‍රයා මගින් දරුවා කෙරෙහි ඇති කරන ගුරුත්ව බලපෑමට වඩා මිලියන 12 ගුණයකින් වැඩි ය. මෙයට හේතුව වන්නේ මව, චන්ද්‍රයාට වඩා දරුවා වෙත ඇති සමීපතාවය නිසාය. 

පූර්ණ චන්ද්‍රයාගේ බලපෑම නිසා මිනිස් ජීවිතවලට යම් වෙනසක් සිදුවන්නේ දැයි සොයා බැලීම පිණිස පර්යේෂණ බොහොමයක් සිදු කොට තිබේ. නමුත් මෙය ඔප්පු කරන්නට තරම් සාධක සොයාගන්නට කිසිදු පර්යේෂණයකට හැකි වී නැත. 

2005 වසරේදී මායෝ ක්ලිනික්නම් පර්යේෂණ ආයතනය ඔවුන් විසින් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල Psychiatric Services නම් වෛද්‍ය සඟරාවේ පළකොට තිබිණි. පූර්ණ චන්ද්‍රයාගේ බලපෑම මානසික රෝගීන් කෙරෙහි දැඩිව පවතින බවට අප ජනසමාජයේද විශ්වාසයක් පවතී. ඔවුනට අවශ්‍ය කළේ එය සත්‍යය ද යන්න සොයා බැලිමය. පූර්ණ චන්ද්‍රයා ඇති දිනෙක,  වඩදිය බාදිය දැඩිව සිදුවන සවස 6ත් උදේ 6ත් අතර මානසික රෝගී චිකිත්සාගාරයක් වෙත වාර්තා කරන රෝගීන්ගේ සංඛ්‍යාව සාමාන්‍ය දිනයක වාර්තා කරන රෝගීන් සංඛ්‍යාව හා සසඳා බලනු ලැබිණි. මෙය වසර ගණනාවක් පුරා සිදු කෙරිණි. නමුත් එවැනි දිනයක් හා සාමාන්‍ය දිනයක් අතර ඇති වූ සංඛ්‍යාත්මක වෙනසක් සොයාගන්නට ඔවුනට හැකි වූයේ නැත. 

මීට අමතරව උදම් ඇතිවන රාත්‍රීන්වලදී වෛද්‍යවරු වැඩි වශයෙන් රෝගීන් පරීක්ෂාකිරීම සඳහා රෝහල්වලට පැමිණෙන්නේ දැයි සොයා බලන්නට ද එක් පර්යේෂණයක් සිදුකෙරිණි. එමෙන්ම එවැනි රාත්‍රීන්වලදී ශල්‍යකර්ම කිරීමේදී වැඩි අවදානම් සහගත තත්වයන් ඇතිවන්නේදැයි සොයා බැලිණි. නමුත් ඒ කිසිවකින් හෝ එවැනි සැළකිය යුතු තත්වයන් සොයාගත නොහැකි විය. 

මෙයින් පෙනෙන්නේ මිනිස් ජීවිත කෙරෙහි සඳ බලපෑම් කරන්නේ යැයි අප විශ්වාස කරන්නේ හුදෙක් අපේ පෙර පරම්පරාව එවැන්නක් අපගේ මනසට ඇතුලුකොට ඇති නිසා මිස භෞතිකව එවැන්නක් සිදුවන නිසා නොවේ.


මස් කනවද එළවළු කනවද? - Carnivorous or Vegetarian?




මාංශමය ආහාර හා ශාකමය ආහාර පරිභෝජනය පිළිබඳ අද වන විට ලොව පුරා ඇත්තේ විවිධ මතයන් ය. ඇතැමෙක් ආගමික පදනම මත හිඳිමින් මාංශ ආහාරයෙන් වැළකී සිටිති. තවත් අය ආගමික පදනමට වඩා අවිහිංසක සතුන්ගේ ජීවිත හානිය පිළිබඳ සිතා එයින් වැළකෙති. තවකකු මිනිසා සේම අන් සියලු සතුන්ට ද මිහිමත නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය සලකමින් මාංශ ආහාරයෙන් වැළකී සිටින අතර තවත් පිරිසක් සෞඛ්‍යමය තත්ත්වයන් පිළිබඳ සලකා බලමින් මාංශයෙන් වැළකී ශාකමය ආහාර කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වමින් සිටිති.  කෙසේ මුත් විවිධ වෛද්‍ය පර්යේෂණවලින් ද ශාකමය ආහාරවල ඇති සෞඛ්‍ය සම්පන්න බව පිළිබඳ විවිධ කාරණා හෙළිවෙමින් පවතී. මේ පිළිබඳ ඉතාමත් මෑතකදී ඇමෙරිකානු වෛද්‍ය සංගමය පර්යේෂණයක් පවත්වා තිබිණි. Dietary Patterns and Mortality නම් වූ ඔවුන්ගේ මෙම පර්යේෂණයේ අපේක්ෂාව වූයේ ශාකමය ආහාර පරිභෝජනය සහ මිනිසුන්ගේ මරණ සංඛ්‍යාව අතර සම්බන්ධයක් ඇත්දැයි සොයා බැලීමය. මෙහි මරණ සංඛ්‍යාව යනුවෙන් හඳුන්වනු ලබන්නේ පුද්ගලයන් 1000කට මිනිසුන් කී දෙනෙක් මරණයට පත්වන්නේදැයි යන්න අනුපාතිකව සොයා බැලීමය. කෙටියෙන් පවසතොත් මරණ අනුපාතයයි. ශාකමය ආහාර ගැනීමේදී මිනිසුන් මරණයට පත්වීමේ අනුපාතය අඩු බව තහවුරු කිරීම සඳහා මෙම පර්යේෂණය දියත් කරනු ලැබිණි. මේ සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ වෛද්‍ය පර්යේෂකයන් ගණනාවකගේම සහභාගිත්වය හිමි වී තිබිණ.


මෙම පර්යේෂණය සඳහා 73,308 දෙනකු සහභාගී කරවාගනු ලැබූ අතර 2002 දී ආරම්භ කරන ලද මෙය 2007 දී අවසන් කෙරිණි. නමුත් මේ සඳහා ගත කළ කාලය වසර 5.79ක් ලෙස ඔවුන් සඳහන් කොට තිබිණි. මේ සහභාගී වූවන් අතර ආහාර පරිභෝජන රටා පහක් දක්නට ලැබිණි. ඒවා නම් මෙසේය.


1. ශාකමය ආහාර පරිභෝජනය නොකරන

2. අර්ධ වශයෙන් ශාකමය ආහාර පරිභෝජනය කරන

3. ශාකමය ආහාර සමග මත්ස්‍ය හා මුහුදු ආහාර පරිභෝජනය කරන

4. ශාකමය - කිරි හා බිත්තර සහිත ආහාර පරිභෝජනය කරන

5. සම්පූර්ණයෙන්ම ශාකමය ආහාර පමණක් පරිභෝජනය කරන 


පර්යේෂණය අවසන් වන විට මෙයට සහභාගි වූ 73,308 දෙනාගෙන් 2570ක් මියගොස් තිබිණි. මේ අනුව සාමාන්‍ය මරණ අනුපාතය වසරකට පුද්ගලයන් 1000කට  6.05ක් විය. ශාකමය ආහාර පරිභෝජනය නොකරන පුද්ගලයන්ට සාපේක්ෂව ශාකමය ආහාර පරිභෝජනය කරන පුද්ගලයන්ගේ මරණ අනුපාතය වසරකට  1000කට  0.88ක් විය. ශාකමය ආහාර පමණක් ගන්නා පුද්ගලයන්ගේ මරණ අනුපාතය වසරකය 1000කට  0.85ක් විය. ශාකමය කිරි හා බිත්තර සහිත ආහාර පරිභෝජනය කරන පුද්ගලයන්ගේ මරණ අනුපාතය වසරකට  1000කට  0.91ක් විය. ශාකමය ආහාර සමග මත්ස්‍ය හා මුහුදු ආහාර පරිභෝජනය කරන පුද්ගලයන්ගේ මරණ අනුපාතය වසරකට  1000කට  0.81ක් විය. ශාකමය ආහාර නොගන්නා පුද්ගලයන්ට සාපේක්ෂව අර්ධ වශයෙන් ශාකමය ආහාර ගන්නා පුද්ගලය්නගේ මරණ අනුපාතය වසරකට 1000කට  0.92ක් විය.


මෙම පර්යේෂණය සඳහා විවිධ ආහාර වර්ග 200කට අධික සංඛ්‍යාවක් සැලකිල්ලට ගෙන තිබිණි. මෙයට සහභාගී වූ පුද්ගලයන් 73,308 දෙනාගෙන් 55,548 (75.7%) ක් ශාකමය ආහාර පමණක් පරිභෝජනය කරන්නන් විය. 21,177 (28.8%) ශාකමය - කිරි හා බිත්තර සහිත ආහාර පරිභෝජනය කරන්නන් විය. 7,194 (9.81%) ක් ශාකමය ආහාර සමග මත්ස්‍ය හා මුහුදු ආහාර පරිභෝජනය කරන්නන් විය. 4,031 (5.49%) ක් අර්ධ වශයෙන් ශාකමය ආහාර පරිභෝජනය කරන්නන් වූ අතර 35,359 ක් හෙවත් මුළු සහභාගි වූවන්ගෙන් 48.23.5% ක් ශාකමය ආහාර පරිභෝජනය නොකරන්නවුන් විය.


මෙහිදී හෙළි වූ තවත් කරුණක් වූයේ ශාකමය ආහාර පරිභෝජනය කරන්නන්ගේ බහුතරයක් වයසින් වැඩි පුද්ගලයන් වූ බවය. ඔවුහු උසස් අධ්‍යාපනයකට හිමිකම් තිබූ අය වූහ. බොහෝ දෙනකු විවාහකයන් වූ අතර දුම්වැටි හෝ මත් වතුර පානය නොකරන්නන් විය. වැඩි වශයෙන් ව්‍යායාමවල නිරත වූ ඔවුහු සිහින් සිරුරු ඇත්තෝ ද වූහ. ශාකමය ආහාර සමග මත්ස්‍ය හා මුහුදු ආහාර පරිභෝජනය කරන්නන්ගේ බහුතරයක් කළු ජාතිකයෝ වූහ.


මෙම පර්යේෂණයේ නිගමනය වූයේ සියලුම ආකාරයේ මරණ අනුපාතිකවලින් අඩුම සංඛ්‍යාව ශාකමය ආහාර පරිභෝජනය කරන්නන් අතර පවතින බවය. ඇතැම් මරණ අනුපාතික තත්ත්වයන් අඩුකරන්නටද ශාකමය ආහාර පරිභෝජනය හේතුවන බැව් තහවුරු විය. 


මෙයට පෙර කරන ලද පර්යේෂණවලින් ද මරණ අනුපාතිකය සහ ආහාර පරිභෝජන රටා අතර පැහැදිලි සම්බන්ධතාවයක් ඇති බැව් තහවුරු වී තිබිණි. ධාන්‍ය, පලතුරු, කිරි ආහාර වර්ග, කෙඳි සහිත ආහාර ආදිය පරිභෝජනය කිරීම තුළින් මරණ සංඛ්‍යාව (එහි ප්‍රතිඵලයක් ලෙස මරණ අනුපාතිකය) අඩුවන බැව් නිරීක්ෂණය විය. නමුත් රතු මස්, සකසන ලද මස්, බිත්තර ආදිය වැඩි වශයෙන් පරිභෝජනයට ගැනීම නිසා මරණ සංඛ්‍යාව වැඩිවන්නට හේතුවන බව පැවසේ.


මෙහි ප්‍රතිඵලවලට අනුව ශාකමය ආහාර පරිභෝජනය කරන්නන්ගේ මරණ  අනුපාතය එසේ නොවන පුද්ගලයන්ට වඩා බෙහෙවින් අඩුය. එමෙන්ම ශාකමය ආහාර සමග මත්ස්‍ය හා මුහුදු ආහාර පරිභෝජනය කරන්නන්ගේ හා ශාකමය - කිරි හා බිත්තර සහිත ආහාර පරිභෝජනය කරන්නන්ගේ මරණ අනුපාතය ශාකමය ආහාර නොගන්නා පුද්ගලයන්ට වඩා අඩු බැව් ද තහවුරු විය. ශාකමය ආහාර පරිභෝජනය කරන්නන් තුළ හෘදයාබාධ හා පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවය ද ඉතා අඩු බැව් මෙහිදී හෙළි විය. ශාකමය ආහාරවල වැඩි වශයෙන් කෙඳි අඩංගුවීම සෞඛ්‍ය සම්පන්න තත්ත්වයකට මහඟු අත්වැලක් සපයා ඇති බැව් මෙයින් පැහැදිලි වී තිබේ. එමෙන්ම දියවැඩියා රෝගය සහිත පුද්ගලයන්ගේ රෝගී තත්ත්වය අඩුකිරීමට ශාකමය ආහාර පරිභෝජනය හේතු වී ඇති බැව් මෙම පර්යේෂණය මගින් හෙළිවූ තවත් දෙයක් විය.


ශාකමය ආහාර පමණක් පරිභෝජනය කිරීම පිළිබඳ විවිධ මතවාද තිබුණද මෙම පර්යේෂණයෙන් හෙළි වූ කරුණුවලින් පැවැසිය හැක්කේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ශාකමය ආහාර මගින් මහඟු පිටිවහලක් ලබාදෙන බව ය.




Thursday, January 29, 2015

ඇපල් එක්ක වස ත් කන්න - Eat apples with Listeria monocytogenes



ඇමරිකා එක්සත් ජනපදයෙන් මෙරටට ආපනයනය කරන ලද ඇපල් වර්ගයක එක්තරා බැක්ටීරියාවක් අඩංගු බව පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ අසන්නට ලැබිණි. එයින් පසුව ජනවාරි 25 වැනිදා කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය නිලධාරීන් පිටකොටුවේ පදික වෙළෙඳුන් විසින් අළෙවි කරනු ලබන ඇපල් පරීක්ෂා කරනු ප්‍රවෘත්ති ඔස්සේ දැකගත හැකි විය. ඔවුන් මෙවැනි පරීක්ෂණයකට පැමිණ සිටියේ මෙම බැක්ටීරියාව අඩංගු ඇපල් පිටකොටුවේ අළෙවි කෙරෙමින් පවතින බවට ලද තොරතුරක් නිසාය. එහිදී මෙම බැක්ටීරියාව අඩංගු යැයි සැක කෙරෙන ඇපල් පිටකොටුවේ බොහෝ ස්ථානවල අළෙවි කෙරෙමින් පැවතුණු බව දකින්නට හැකි විය. එම අවස්ථාවේ ඇපල් වෙළෙඳුන් සේම පාරිභෝගිකයන් ද පවසා සිටියේ එවැනි බැක්ටීරියාවක් සහිත ඇපල් වර්ගයක් පවතින බව ඔවුන් නොදැන සිටි බවය. වෙළෙඳුන් පවසන දේ පිළිබඳව විශ්වාස කළ නොහැකි වුව ද පාරිභෝගිකයන් පවසන දෙය අසත්‍යයක් විය නොහැකිය. එසේ හෙයින් බොහෝ දෙනෙකුගේ දැනගැන්ම පිණිස අපි මේ පිළිබඳ තොරතුරු ඔබ හමුවේ තබන්නට තීරණය කළෙමු.

මේ පිළිබඳව පළවූ බොහෝ පුවත්වල සඳහන්ව තිබුණේ සෑම ඇපල් වර්ගයකම මෙය අඩංගු නොවන බවත් ඇමරිකාවෙන් ආනයනය කරන ලද රතු පාට දිලිසෙන පොත්තක් සහිත ඇපල්වල මෙය අඩංගු විය හැකි යැයි සැක කෙරෙන බවත්ය. මෙම ඇපල්වල USA යනුවෙන් ලේබලයක් අළවා ඇති බවත් පැවසේ. මෙම අහිතකර බැක්ටීරියාව ශරීර ගත වූ පසු උණ, උදරාබාධ, වමනය, මස්පිඩු වේදනාව වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකි බවත්, යම් හෙයකින් එවැනි සැකයක් පවතී නම් ඒ සඳහා ද ප්‍රතිකාර පවතින බැවින් බිය විය යුතු නැති බවත් වෛද්‍ය පරිපාලන විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා පවසයි.

කෙසේ නමුත් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා අන්තර්ජාලය පිරික්සූ විට හමුවන්නේ එයට වඩා තරමක් අවදානම් සහිත තොරතුරු ය.

ඇපල්වල පවතින්නේ යැයි පැවසෙන්නේ ලිස්ටීරියා මොනෝසයිටජන්ස්’ (Listeria monocytogenes) නම් බැක්ටීරියාවය. ලිස්ටරියෝසිස්’ (listeriosis ) නම් ආසාදන තත්වය ඇති කරන්නට මෙම බැක්ටීරියාව හේතුවන බව සොයාගෙන තිබේ. ඔක්සිජන් ඇතිව හෝ නැතිව නොනැසී පැවතීමේ හැකියාව ඇති මෙම බැක්ටීරියාවට රෝගියාගේ සෛල තුළ ප්‍රජනනයවීමේ හැකියාව පවතී. ආහාර විෂවීම් බොහොමයකට හේතුවන බැක්ටීරියාව මෙය වන අතර සායනික ආසාදානවලින් 20% - 30% අතර ප්‍රමාණයකට වගකිව යුතුවන්නේ ද මෙයයි. මෙය ආසාදනය වීමේ අවසන් ප්‍රතිඵලය ලෙස මරණය වුව ද අත්විය හැකි බව පැවසේ. ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර නිසා ඇතිවන රෝගී තත්වයන් 1,600 ක් අතරින් මරණ 260කට වගකිව යුතු යැයි පැවසෙන්නේ මේ බැක්ටීරියාව ය. මෙහි මාරාන්තික බව සැල්මොනෙල්ලාසහ ක්ලොස්ට්‍රිඩියුම් බොට්‍යුලිනම්යන බැක්ටීරියාවන්ටත් වඩා ඉහළ බැව් පැවසේ.

ලිස්ටීරියා මොනෝසයිටජන් බැක්ටීරියාව 


මෙම බැක්ටීරියාව අඩංගු යැයි සැක කෙරෙන කිසිදු ආහාරයත් ළදරුවන්ට, ගර්භනී කාන්තාවන්ට හා වියපත් පුද්ගලයන්ට ලබාදීමෙන් වැළකිය යුතු බව පැවසේ. විශේෂයෙන් මෙම බැක්ටීරියාව බිළිඳුන්ට ආසාදනය වුවහොත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙනින්ජයිටිස් පවා ඇතිවිය හැකිය.

ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය (CDC) පවසන්නේ එහි Bidart Brothers නම් සමාගම මගින් අපනයනු කරනු ලබන ඇපල්වල මෙම බැකිටීරියාව අඩංගු විය හැකි බවය.  කැලිෆෝනියා ප්‍රාන්තයට අයත් සමාගමක් වන මෙයින් අළෙවි කරනු ලබන ඇපල් පිළිබඳ සැළිකිලිමත් විය යුතු බව ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පරිපාලනයාතනය මගින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.  මෙම ඇපල් ආහාරයට ගැනීම නිසා රෝගී තත්වයට පත් වූවන් පිළිබඳ ජනපද 11 කින් වාර්තා වන අතර 2015 ජනවාරි 10 වැනිදා වන විට 32 ක් මෙයින් ආසානය වී සිටි අතර එයින් 7 දෙනෙක් මරණයට පත් ව තිබේ.


මෙසේ හෙයින් මෙම බැක්ටීරියාව සහිත ඇපල් අනුභවය නිසා ඇතිවන රෝගී තත්වයන් සුළුකොට තැකිය නොහැකි බැව් පැහැදිලිය. මෙම බැක්ටීරියාව අඩංගු වුව ද නොවුව ද අප රටට ආනායනය කරනු ලබන ඇපල්වල විවිධ ගැටලු පවතින බව වරින් වර අසන්නට දකින්නට ලැබී තිබේ. අනෙක ආහාර විශේෂඥයන් හා වෛද්‍යවරු පවා පවසන්නේ අප රටේ දේශීය පලතුරක ඇති පෝෂණ ගුණයක් ඇපල් ගෙඩියක අඩංගු නොවන බව ය. එබැවින් සැකසහිත පලතුරු වර්ගවලින් මිදී පිරිසිදු දේශීය පලතුරු වරග්වලට යොමුවීම දුෂ්කර කාර්යයක් නොවේ. එය ඔබේත්, ඔබේ දරුවාගේත්, අනාගත පරපුරේත් යහපතටම හේතුවක් වනු නිසැකය.



Wednesday, January 28, 2015

වශී බෝලය හෙවත් වජ්‍රයේ කතාව - Vajra, the Charming Device




හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාත්, ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතාත් පහුගිය කාලේ දේශපාලන රැස්වීම් අමතන විට අතේ යම්කිසි අමුතු උපකරණයක් තබාගෙන සිටි අයුරු බොහෝ දෙනෙක් දකින්නට ඇති.  බොහෝ දෙනෙක් මෙය හැඳන්වූයේ මහජනතාව වශී කරගන්න, ඔවුන්ව ආකර්ෂණය කරගන්න හැකියාවක් ලැබෙන බලගතු යන්තරයක් කියලා තමයි. අනුර කුමාර දිසානායක මහත්තයත් මේ ගැන පහුගිය කාලේ කිව්වා. එක් එක් අය මොනවා කීවත් ඒක ගැන අපිම හොයා බලා විස්තරයක් දැනගන්න එක හැම අතින්ම හොඳයි කියලා හිතුණා. එහෙම හොයන කොට තමයි මේ විස්තරේ හොයාගන්න ලැබුණේ. 



මේ අතේ තියාගෙන ඉන්න අමුතු උපකරණයට කියන්නේ වජ්‍රකියලා. වජ්‍ර කියන්නේ සංස්කෘත භාෂාවේ වචනයක්. එහි අකුණවගේම දියමන්තිකියන තේරුම් දෙකම තියෙනවා. තේරුම් දෙකක් තිබුණත් ඒ දෙකෙන්ම අපට එක පාරටම තේරුම් ගන්න බැරි කතාවකුත් කියනවා. අකුණකියන එක සැළකිල්ලට ගත්තොත් එයින් කියැවෙන්නේ කිසිම දෙයකට නවත්වන්න බැරි බලවේගයක් කියන එක. අහුවෙන ඕන දෙයක් විනාශ කරගෙන යන්න අකුණට පුළුවන්. දියමන්ති කියන්නේ ලෝකයේ තියෙන ශක්තිමත්ම පාෂාණය. කිසිම දෙයකින් විනාශ වෙන්නේ නැහැ කියලයි සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට වජ්‍රකියන්නේ කිසිම බලවේගයකින් නවත්වන්න බැරි වස්තුවක සහ කිසිම වස්තුවකට නවත්වන්න බැරි බලවේගයක එකතුවක්. එහෙමත් නැත්නම් එවැනි අපූරු බලයක් සහිත ආයුධයක් හෝ ආයුධයක් සංකේතවත් කරන යම්කිසි වස්තුවක්. භෞතික විද්‍යාවට අනුව නම් ලෝකයේ එවැනි බලවේග දෙකක් එකවර  පවතින්නට ඉඩක් නැහැ. ඒත් වජ්‍ර කියන්නේ භෞතික විද්‍යාවට වඩා එහාට ගිය දෙයක් කියන එක මේ ලිපිය ඉදිරියට කියගෙන යනකොට වැටහෙයි. 




වජ්‍රය මුගුරක් ලෙසින් ද විස්තර කෙරෙනවා. මේ මුගුරේ හිස අනිවාර්යයෙන්ම නාරටි ආකාරයේ කොටස්වලින් යුක්ත වන බව දැක්වෙනවා. මේ නාරටි කෙළවර වන්නේ ගෝලාකර මුදුනකින්. එසේත් නැත්නම් මේවා මුදුනින් එක් නොවී උල් ආකාරයෙන් පවතින්නටත් පුළුවන්. බුදුදහම, ජයින ආගම සහ හින්දු දහමේ ආධ්‍යාත්මය දැඩි බව සහ ආධ්‍යාත්මික බලය සංකේත්වත් කරන්නටත් මෙය යොදාගැනෙනවා. වජ්‍රය සංකේතයක් ලෙස භාවිත කිරීම ඉන්දියාවේ සිට ආසියාවේ අනෙකුත් කලාපවලට පැතිර ගොස් තිබෙනවා. 




පැරණි තොරතුරු 


වජ්‍රය ගැන මුළින්ම සඳහන් වෙන්නේ ඍග්වේදයේ. ඍග් වේදය කියන්නේ සිව් වේදයන්ගෙන් එකක්. එහි මෙය විස්තර කෙරෙන්නේ ඍග්වේදයේ එන දේව මණ්ඩලයේ ප්‍රධානියා වන ඉන්ද්‍ර දෙවිඳුන්ගේ ආයුධය හැටියටයි. ඔහු මෙයින් පව්කාරයන්ව සහ අඥානයින්ව මරා දැමූ බව සඳහන් වෙනවා. ඍග්වේදයේ සඳහන් වන්නේ දිව්‍යමය මෙවලම් නිෂ්පාදනය කරන ත්වත්සාර්විසින් මෙය නිර්මාණය කොට ඇති බවයි. එමෙන්ම සර්පයකුගේ වේශයෙන් සිටි ව්රිතානම් අසුරයා මරා දැමීමට ඉන්ද්‍ර දෙවියන් මෙය නිතර අතේ තබාගත් බවයි කියැවෙන්නේ. මේ නිසා ඍග්වේදයේ සඳහන් ඉන්ද්‍ර දෙවියන් වජ්‍රභ්‍රීත්’ (වජ්‍රය දරන්නා), ‛වජ්‍රිවාත් හෙවත් වජ්‍රින්’ (වජ්‍රයෙන් සන්නද්ධව), ‛වජ්‍ර දක්ෂිණ’ (වජ්‍රය දකුණතින් ගත්) සහ වජ්‍රබාහුහෙවත් වජ්‍රාෂ්ට්‍ර’ (සිය අතෙහි වජ්‍රය දරා සිටීම) යන සමාන පදවලින් හඳුන්වනු ලබනවා. ඉන්ද්‍ර දෙවියන් සම්බන්ධ කතාව පසුකාලයේදී තරමක් වෙනස් වී පුරාණසාහිත්‍යයේ සහ බෞද්ධ සාහිත්‍යයේ ද කොටස් බවට පත් ව තිබෙනවා. පස්වැනි සියවසේ ජීවත් වූ බුද්ධඝෝෂ හිමියන් වජ්‍රපානිනම් බෝධිසත්වයන් වහන්සේ යනු ඉන්ද්‍ර දෙවියන්ම බැව් සඳහන් කොට තිබෙනවා. 


වජ්‍රයාන බුදු දහම 


බුදු දහමේ ශාඛා තුනක් පවතිනවා. ඒ තමයි හීනයානය හෙවත් අපේ රටේ ඇති ථේරවාදය, මහායානය හා වජ්‍රයානය. වජ්‍රයාන යන්නෙහි අර්ථය වන්නේ අකුණක් ආකාරයෙන්යන්නයි. බුදුන් වහන්සේ නිර්වාණය අවබෝධකර ගැනීම අකුණක් තරම් ක්ෂණිකව සිදුවූ බව අඟවන්නට මෙය යොදගෙැනෙනවා. එමෙන්ම බුදු දහම දියමන්ති තරම් ශක්තිමත්, කිසිවකට විනාශ කළ නොහැකි යන අර්ථයත් මෙහි තිබෙනවා. 

වශී බෝලය හෙවත් වජ්‍රය ගැන පින්තූර සොයද්දී මේකත් හම්බ වුණා. මේක හදපු එකක් නොවෙයි නම් අප කවුරුත් කතා නොකළාට මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා ද මෙය භාවිත කරන බවයි කිව හැක්කේ.



සංකේතවත් කිරීම 


සාමාන්‍යයෙන් වජ්‍රය කොටස් කිහිපයකින් යුක්ත වෙනවා. එහි මැද ඇති ගෝලය වැනි කොටසින් සුන්‍යාතහෙවත් විශ්වයේ ආදිකල්පික ස්වභාවය නිරූපණය වෙනවා. සියලු දෙයටම වඩා ඉහළින් පවතින ඒකාත්මික බවයි එයින් පැවසෙන්නේ.  මෙම ගෝලයෙන් පෙති අටක නෙළුම් මල් දෙකක් මතුවෙනවා. එක් මලකින් බුදු දහමේ දැක්වෙන සංසාරයත්, අනෙක් මලින් නිර්වාණයත් දැක්වෙනවා. මෙයට අමතරව පුරුෂ ලිංගය ද වජ්‍රය මගින් සංකේතවත් වනවා. 


එමෙන්ම ඇතැම් ස්ථානවල මකරා නම් කල්පිත සත්වයා ද මෙයින් නිරූපණය කෙරෙනවා. 

ඉන්ද්‍ර දෙවියන් වජ්‍රය දරා සිටින අයුරු



භාවිතය 


ඉන්ද්‍ර දෙවියන් විසින් අසුරයකු මරා දමන්නට යොදාගන්නට ඇතියි කියන වජ්‍රය නම් නිසැකවම විශාලත්වයෙන් වැඩි එකක් වුණත්, වර්තමානයේ භාවිතයට ඇති වජ්‍ර ඒ තරම් විශාල නැහැ. එහි ප්‍රමාණය ගැන විශේෂයෙන් සඳහන් නොකළ යුතු වන්නේ බොහෝ දෙනෙක් එය රූපවාහිනියේ දැක ඇති නිසයි. සාමාන්‍යයෙන් මෙය පිත්තලවලින් තනනු ලබනවා. නමුත් මුදල් යහමින් ඇත්නම් රන්, රිදී වැනි ලෝහවලින් ද තනනු ලබන අවස්ථා තිබෙනවා. මෙය දකුණු අතේ මහපටඟිල්ලට හා දබරගිල්ලට මැදිවන සේ තබාගත යුතු වෙනවා. අන්තර්ජාලය ඔස්සේ මෙම වජ්‍ර අළෙවි කරන එක් අඩවියක දැක්වෙන පරිදි මෙහි වටිනාකම සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් 99.95 පමණ වනවා. රුපියල්වලින් නම් 13,180ක් පමණ. නමුත් මෙය තනනු ලබන ලෝහයට අනුව මෙම ගණන් වෙනස් විය හැකියි. 

ලෝකයේ ඇති ප්‍රබලතම බලවේග දෙකෙහි එකතුව මෙයින් සංකේතවත් වන බැවින් මෙය දරාගෙන සිටින්නාට සතුරන් ජයගෙන ජයග්‍රහණය කරා ගමන් කළ හැකි බව දැක්වෙනවා. නමුත් එයට එවැනි බලයක් තිබුණේද යන්න පිළිබඳ අප නැවත සිතා බැලිය යුත්තේ පසුගිය ජනාධිපතිවරණයෙන් වජ්‍රයපරාජයට පත් වූ නිසයි.