ධරාවි මුඩුක්කු නිවාස |
හින්දි සිනමාව යනු ඉන්දියාව හෝ දකුණු ආසියාව පමණක් නොව මුළු ලොවද දිග්විජය කළ දැවැන්ත කර්මාන්තයකි. සුරකුමරුන් කුමරියන් බඳු නළු නිළියන් අප දෑස් ඉදිරියේ පෙන්වවමින් ප්‍රේක්ෂකයා සිහින ලොවක ජීවත් කරවන්නට මෙම සිනමා නිර්මාණවලින් බොහොමයකට හැක්කේ අපූරු හැකියාවකි. හින්දි සිනමාවෙන් මවන සිහින ලෝකයට පෙම් බැඳි බොහෝ දෙනෙක් එවැනි ලොවක ජීවත්වන්නට නිරතුරු සිහින මවන බැව් නම් නොරහසකි. අතීතයේත් එය එසේමය. වර්තමානයේත් එසේමය. ඉන්දීය සිනමා කර්මාන්තයේ නිරතවූවන්ගෙන් බහුතරයක් සිය වාසස්ථානය බවට පත්කරගෙන ඇත්තේ මුම්බායි නගරයයි. ඔවුන් පිළිබඳ අප සතිඅන්ත පුවත්පත්වලින් කියවන්නා වූ විවිධ විස්තරවලින් සිතේ අලංකාර වූ සිහින ලොවක් මවා ගන්නෙමු. හින්දි සිනමාවේත් ඔවුන්ගේ ජීවිතවලත් ඇත්තේ කෙතරම් මිහිරි ජීවිතයක්දැයි සිතේ. බොහෝ නළුනිළියන් සිනමා කර්මාන්තයට පිවිසුන ආකාරය පිළිබඳ කතා කිරීමේදී පවසන්නේ මුළින්ම පැමිණියේ තමා මුම්බායි කරා පැමිණි බවය. එවැනි විස්තර දැනගන්නා විට මුම්බායි නගරයේ ජීවත්වන්නට යමෙකුට කැමැත්තක් ඇතිවූයේ නම් එහි අරුමයක් ද නැත. සිනමාව තුළින් මෙවැනි සුන්දර ලොවක් මවන්නට හින්දි සිනමාවට ඇති අපූරු හැකියාව නිසා මෙම සිනමා නිර්මාණකරුවන් ‛සිහින වෙළෙන්දන්’ යනුවෙන් ද හඳුන්වන්නට පටන් ගැනුණි.
සැබැවින්ම අපට
පෙන්වන මේ ලෝකය මෙතරම් සුන්දරද?
සැබැවින්ම එසේ
නොවේ. යථාර්ථය එය නොවේ. එය යථාර්ථය නොවන්නක් බැව් ලෝකයා හමුවේ හෙළිදරව් වන්නට
මුම්බායි සිනමාවෙන්ම තල්ලුවක් ලැබිණි. ඒ ඔස්කාර් සම්මාන ලද ‛ස්ලම් ඩෝග් මිලියනර්’ සිනමා
නිර්මාණය ලොව පුරා ප්‍රදර්ශනයවීමත් සමඟිනි. මෙම සිනමා නිර්මාණය සඳහා පසුබිම්කොට
ගෙන තිබුණේ මුම්බායි හි ඇති ‛ධරාවි’ නම් මුඩුක්කු ජනාවාශයන් ය. මෙය ප්‍රකටව ඇත්තේ ලෝකයේ
විශාලතම මුඩුක්කු ජනාවාසය ලෙසිනි. එය පිහිටා ඇත්තේ හින්දි සිනමා සිහින අප ඉදිරියේ
මවා පෙන්වන්නන් බොහොමයක් වෙසෙනා මුම්බායි නගර මධ්‍යයේමවීම සුවිශේෂී කරුණකි. මෙහි මිලියනයකට අධික පිරිසක් ජීවත්වෙති.
ස්ලම් ඩෝග් මිලියනර් චිත්‍රපටයෙන් . . . |
මෙම සිනමා
පටයට අමතරව පුලිට්සර් සම්මානලාභිනියක වූ කැතරින් බූ විසින් ලියන ලද, ලොව පුරා ඉමහත් ආදායම් වාර්තා තබමින් අළෙවි වූ ‛බිහයින්ඩ් ද බියුටිෆුල් ෆෝර්එවර්ස්’ නම් කෘතිය ද ඉන්දියාවේ
මුඩුක්කුවාසීන්ගේ ජීවිතය ලොව හමුවේ හෙළිදරව්වන්නට හේතුවක් විය.
බිහයින්ඩ් ද බියුටිෆුල් ෆෝර්එවර්ස් |
සෑම
ඉන්දියානුවන් හය දෙනෙකුගෙන්ම එක් අයෙක් මුඩුක්කුවල ජීවත්වන බවට ගණන් බලා තිබේ.
එයින් බොහොමයක් දැනට වසර ගණනාවකට පෙර මෙහි පැමිණි අයගෙන් පැවැතෙන දෙවැනි පරම්පරාව
වේ. ධරාවි ජනාවාශය මුළින්ම ආරම්භ කෙරුණේ ධීවර ගම්මානයක් ලෙසිනි. නමුත් අද එය එසේ
නොවේ. නගරයක් තුළ පවතින තවත් නගරයක් වන
මෙහි අද දක්නට ඇත්තේ කුණු කසල කඳු සහිත කෙළවරක් නැති කුඩා පාරවල්, සැමතැනම විසිරුණු මළ මුත්‍ර හා පැල්පත් ය. මෙහි
ජීවත්වන්නන් හට මූලික සෞඛ්‍ය පහසුකම් කිසිවක් නැත. වර්ෂාව ඇද හැළෙන සමයකදී මෙම
මුඩුක්කු ජනාවාශවලට එබී බැලුවහොත් දකිනිනට හැක්කේ ජලයෙන් යටවුණු නිවාස පමණක් නොව
මිහිපිට නරකාදිය යැයි පැවසීමෙහි ද වරදක් නැත. ඔවුන් විසින්ම පරිසරයට එක්කළ කුණු
කසල හා මළ මුත්‍ර වැසි ජලයත් සමඟ මුසුවී යළිත් ඔවුන් වෙතම පැමිණෙයි. ඔවුන්ට
ඒවායෙන් ගැළවී යන්නට හැකියාවක් නැත. ගැළවී යන්නට තැනක් ද නැත.
ඒවායේ
වෙසෙන්නන්ගේ බහුතරයක් මුදල් සොයන්නේ නීතිවිරෝධී උපක්‍රම මගිනි. මුම්බායි යනු ලෝකයේ
ඉහළතම නිවාස කුළිය සහිත නගරයක් වුවද,
කුමක් හෝ
රැකියාවක් සොයා මුම්බායි කරා පැමිණෙන ඕනෑම අයෙකුට අඩුම මිල ගණන් යටතේ නවාතැනක්
දීමට මෙම මුඩුක්කු ජනාවාශය සැදී පැහැදී සිටී. එහි ගෙවල් කුළිය ඇමරිකත් ඩොලර් 4ක්
(අප රටේ මුදලින් රුපියල් 520ක්) පමණකි. (මේ ලිපිය ලියන මොහොතේ මෙම මුදල වුවත් ඇතැම් විට ඔබ මෙය කියවන අවස්ථාව වන විට ගාස්තු වෙනස් වී තිබිය හැකිය)
මුම්බායි නගරය
යනු ලෝකයේ ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇති, ඉහළ ආදායම් ලබන විවිධ පරිගණක සමාගම් බොහොමයක් පවතින
නගරයක් වුවද, මෙම මුඩුක්කුවාසීන්ගේ
ජීවිත ඇත්තේ ඉමහත් ඛේදනීය තත්වයකි. විශේෂයෙන් කාන්තාවන්ගේ හා දරුවන්ගේ තත්වය අතිශය
පහළ මට්ටමක් පවතී. එහි කාන්තාවන්ගේ ජීවිතවලට එබී බැලුවහොත් එය කුමනාකාරදැයි අවබෝධ
කරගන්නට පුළුවන.
ලිංගික භාණ්ඩ ලෙස අළෙවි වන මුම්බායි තරුණියෝ |
35 හැවිරිදි
හසීනා යනු මෙම මුඩුක්කු නිවාසවල ජීවත්වන දසදහස් ගණනක් වූ අසරණ කාන්තාවන්ගෙන් එක
තැනැත්තියකි. කිසිඳු අධ්‍යාපනයක් නොලබා ඇති ඇය, කුඩා කාලයේදීම
ලිංගික සේවය සඳහා අළෙවිකරනු ලැබුණු කාන්තාවකි. ඇයගේ දරුවා පාසල් යන වියෙහි
පසුවුවත් පාසල් යාම ප්‍රතික්ෂේප කරයි. ඔහුට පාසල් යන්නට පෙරැත්ත කළ එක් අවස්ථාවක
ගිනිතබාගන්නට උත්සාහ කළ බැව් ඇය පවසයි. ඔහු හුරුපුරුදු වී ඇත්තේ මුඩුක්කු
ජීවිතයෙන් මුදල් සොයාගැනීමේ හොර ජාවාරම්වල නිරත වන්නටය. සියලු දෙනා අතින්ම තමා
රැවටුණු බැව් ඇය පවසන්නීය. වයස 14දී විවාහවන්නට සිදුවුණු ඇය ලිංගික අවශ්‍යතාවයන වෙනුවෙන්
බොහෝ දෙනෙකුට අළෙවි වූවාය.
“අපට සිදුවන අසාධාරණකම්
ගැන පොලීසියට පැමිණිලි කරන්නට ගියත් ඔවුන් අප පන්නාගන්නවා. එහෙමත් නැත්නම් අපට
ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකරන්න සිද්ධවෙනවා. ඒත් බොහෝ වෙලාවට සිදුවන්නේ අපට වැරදිකළ
අයගෙන් පොලීසිය අල්ලස් ගෙන ඔවුන්ගේ පැත්ත ගන්න එකයි.”
හසීනා
පවසන්නීය.
ඉන්දියානු
මුඩුක්කු හා පැල්පත්වාසී කාන්තාවන් බොහොමයකගේ ජීවිත මෙවැනිය. උසස් ජීවිතයක්
ගතකරන්නා වූ කිසිවකු සොයගන්නට නොහැක. ඇතැම් කාන්තාවන්ගේ තත්වය ඇතැම්විට මෙයට ද වඩා
පහත් තත්වයක පවතී.
සනීපාරක්ෂාව ද
පවතින්නේ ඉතාම පහත් අඩියකය. ඔවුනට පිරිසිදු වාතාශ්‍රය යනු සිහිනයක් පමණි. ලෙඩ රෝග
වැළඳුන ද බොහෝ විට නිසි ප්‍රතිකාරයක් ලැබෙන්නේ කලාතුරකිනි. ඇතැම් ලෙඩරෝග ඉන්දියානු මුඩුක්කුවලටම ආවේණික වූ
ඒවාය. මේ නිසාම ලෝකයේ නරකතම සෞඛ්‍ය සම්පන්න රටවල් අතරින් දෙවැනි තැනට පත්වන්නට
ඉන්දියාවට සිදුව තිබේ. දරුවන්ගේ මරණ අනුපාතය ද ඉතා ඉහළ අගයක පවතී. පරපෝෂිත ජීවීන්
නිසා ඇතිවන ලොඩරෝග බෙහොමයක් මෙම මුඩුක්කු පැල්පත්වල ජීවත්වන දරුවන් අතර පවතින බැව්
අධ්‍යයන මගින් තහවුරු වී තිබේ.
ඉන්දියාව මුළු
ලොවටම සිහින අලෙවිකරන මුම්බායි නගරය තුළ තවමත් ලොව බොහෝ දෙනකු අතරත් සැඟව පවතින
අවාසනාවන්ත ලෝකය මෙයයි. නමුත් හින්දි සිනමා පටයක් නරඹන විට අපට මේ කිසිවක් සිතට
නැගෙන්නේ නැත. එසේ නගා ගැනීමෙන් ද වළකින්න. එසේ හැඟුණහොත් ඒවායේ රසය හීන වීමට වුව
බැරි නැත.
The Other side of mumbai.honda wistharayak.
ReplyDeleteඔබේ අදහසට බොහොමත්ම ස්තූතියි.
Deleteලොවට නොපෙනෙන පැතිකඩක්. වටිනා ලිපියක්
ReplyDeleteඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.
Deleteලංකාවේ මුඩුක්කු මේවාට සාපේක්ෂව තරු 5 හෝටල්
ReplyDeleteඒ කතාව නම් සහතික ඇත්ත. කටේ මසුරන් දාන්න වටිනවා.
Deleteඅපේ උංට නං කෝම හරි බොරු සොබ්බෙට හරි තට්ටු නිවාස කියල ගහල දෙනව නෙව...
ReplyDeleteඔය ජාතියෙ මුඩුක්කු වලට නමක් භාවිතා වෙනව නේද නිරංජන් අය්ය...
දැං ලොකුවට පැතිරුණ නගර වලට මෙගැලොපොලිස් කියනව නෙව ඒ වගේ ලොකු මුඩුක්කු වලටත් නමක් තියෙනව නේද...
මට මතක නෑ...
පුලුවං නං හොයල ඒ නමත්ඇඩ් කරන්න විස්තර හොයන කෙනෙක්ට වැදගත් වෙයි
මම හිතන්නේ Slum කියන වචනය තමයි මේකට පාවිච්චි කරනවා ඇත්තේ. කෝකටත් මම ඒ ගැන හොයාලා බලන්නම්.
Delete