පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, September 29, 2020

රටරටවල ජාතික සතුන් සහ පක්ෂීන් - National Animals and the Birds of the World's Countries

image courtesy: Wikipedia


ලෝකයේ ජාතික සතුන් සහ පක්ෂීන් පිළිබඳ තොරතුරු පාසල් යන දූ පුතුන්ට ඉතා වැදගත්. ඔවුන්ගේ විෂය නිර්දේශයට පමණක් නොව සාමාන්‍ය දැනීමට ද මේ තොරතුරුවලින් ලැබෙන්නේ මහත් ප්‍රයෝජනයක්. මෙවැනි පෝස්ට් එකක් බ්ලොග් අවකාශයට දමන්නට සිතක් පහළ වුණේ ඒ හේතුවයි. ඉදිරියේ දී මේ ලැයිස්තුවට තව තවත් පක්ෂීන් සහ සතුන් එකතු වේවි.


කැන්ගරුවා

image courtesy: Wikipedia


කැන්ගරුවා ඕස්ට්‍රේලියාවේ ජාතික සත්ත්වයා වේ. කැන්ගරුවාට පසුපසට ගමන් කළ නොහැකි බැවින් සිය ජාතියේ ඉදිරියට ගමන කිරීම සංකේතවත් කිරීම සඳහා ඕස්ට්‍රේලියාව විසින් මේ සත්ත්වයා තෝරා ගෙන තිබේ. කැන්ගරුවා ඕස්ට්‍රේලියාවට සහ නවගිනියාවට ආවේණික කැන්ගරුවාගේ ඇති විශේෂ ලක්ෂණයක් වන්නේ ගැහැනු සතුන් උදර ප්‍රදේශයේ වූ පැසක දමා පැටවුන් ඇතිදැඩි කිරීම ය. මීටර් 2.8 පමණ දිගකින් යුක්ත, කිලෝග්‍රෑම් 47 ක පමණ බරකින් යුක්ත කැන්ගරුවා වසර 6 සිට 20ක් පමණ කාලයක් ජීවත් වේ.

 

මොනරා

image courtesy: Wikipedia


මොනරා ඉන්දියාවේ ජාතික පක්ෂියා වේ. 1963 වසරේ දී මොනරා එරට ජාතික පක්ෂියා ලෙස තෝරා ගනු ලැබිණි. වර්ණ ගණනාවකින් යුක්ත වීම සහ අලංකාර පෙඳය මේ පක්ෂියාගේ ඇති විශේෂත්වය වේ. විවිධ පලතුරු වර්ග මෙන්ම සර්පයන්, කටුස්සන් සහ මීයන් වැනි සතුන් ද මොනරාගේ ආහාර වේ. හොටයේ සිට පෙඳය දක්වා සෙ.මී. 100 - 115 අතර දිගකින් යුක්ත මොනරා සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 2.75 - 4 අතර බරකින් යුක්ත වේ. මොනරාගේ ආයු කාලය වසර 10 - 25 අතර වේ.

 

බයිසන් ගවයා 

image courtesy: Wikipedia


බයිසන් ගවයා ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සත්ත්වයා වේ. විශේෂයෙන් සම්පාදනය කරනු ලැබූ පනතක් එරට කොන්ග්‍රස් මණ්ඩලයෙන් සම්මත කර ගැනීමෙන් 2016 අප්‍රේල් 28 වැනි දින බයිසන් ගවයා එරට ජාතික සත්ත්වයා ලෙස තෝරා ගනු ලැබිණි. වෙනස් ආකාරයෙන් ශරීර හැඩයකින් යුක්ත බයිසන් ගවයකු උසින් අඩි 5 -6 අතර වන අතර බරින් කිලෝග්‍රෑම් 460 - 990 ක් පමණ වේ. බයිසන් ගවයකුගේ ආයු කාලය වසර 20ක් පමණ වේ.

 

හිස මුඩු රාජාලියා

image courtesy: Wikipedia



හිස මුඩු රාජාලියා (Bald Eagle) ඇමරිකාවේ ජාතික පක්ෂියා වේ. 1782 ජුනි 20 වැනිදා එරට කොන්ග්‍රස් මණ්ඩලය මගින්  හිස මුඩු රාජාලියා සිය ජාතික පක්ෂියා ලෙස තෝරා ගනු ලැබිණි. මේ පක්ෂියාගේ ප්‍රධාන ආහාරය මත්ස්‍යයන් වේ. පක්ෂීන් අතරින් විශාලතම කැදැලි ගොඩ නගන්නේ මොවුන් ය. වැඩුණු පක්ෂියකු දිගින් සෙ.මී. 90 පමණ වන අතර පියාපත් දිග හළ විට මුළු පළල මීටර් 2ක් පමණ වේ. බරින් කිලෝග්‍රෑම් 3 - 6.3 ත් අතර වේ. හිස මුඩු රාජාලියකු වසර 20ක් පමණ ජීවත් වේ.

 

කොටියා

image courtesy: Wikipedia


කොටියා ඉන්දියාවේ ජාතික සත්ත්වයා වේ. ජාතික සත්ත්වයා නිසාම ඉන්දියාව තුළ මේ සත්ත්වයා හඳුන්වනු ලබන්නේ රාජකීය බෙංගාලි කොටියායන විශේෂිත නමිනි. 1972 අප්‍රේල් මාසයේ දී කොටියා එරට ජාතික සත්ත්වයා ලෙස තෝරා ගනු ලැබිණි. බෙංගාලි කොටියා ඉන්දියානු උප මහාද්වීපයට ආවේණික ය. ඉන්දියාව තුළ දැනට ජීවත් වන්නේ 2500කටත් වඩා අඩු සංඛ්‍යාවක් පමණකි. මීටර් 2.7 - 3.1 ක් දිගින් යුක්ත සහ බරින් කිලෝග්‍රෑම් 220 ක් පමණ වන බෙංගාලි කොටියකු වසර 8 -10 අතර කාලයක් ජීවත් වේ. 

 

ෂුකාර්

image courtesy: Wikipedia


ෂුකාර් ඉරාකයේ සහ පකිස්ථානයේ ජාතික පක්ෂියා වේ. නළල තලයේ සිට දෑස් හරහා දෙපසට ගමන් කොට ගෙලෙන් පහළදී යලි හමුවන කලු පැහැති පිහාටු තීරුව මේ පක්ෂියාගේ දැකිය හැකි විශේෂ ලක්ෂණයකි. චුකාර් සෙ.මී. 32 - 35 අතර දිගකින් යුක්තය. බරින් ග්‍රෑම් 500 ක් පමණ වේ. එකවර ඍජුව ඉහළට ඉගිළ යමේ හැකියාව සහ මාරාන්තික වෙඩි වැදීමකින් පසුව පවා සෑහෙන දුරක් ඉගිළ යාමේ විශේෂ හැකියාවක් මේ පක්ෂියාට හිමිය. ඇට වර්ග, පලතුරු සහ කෘමීන් ආහාරයට ගන්නා ෂුකාර් 40 කින් පමණ සමන්විත රංචු වශයෙන් ජීවත් වෙයි.

 

කොරවක්කා

image courtesy: Wikipedia


කොරවක්කා (White-breasted waterhen) මාලදිවයිනේ ජාතික පක්ෂියා වේ. 1999 ජූලි 11 වැනිදා සිට මාලදිවයින තුළ ආරක්ෂා කළ යුතු රැක ගත යුතු පක්ෂියකු බවට නීතියෙන් සම්මත වී තිබේ. මුහුණ, පපුව සහ උදර ප්‍රදේශය සුදු පැහැයෙන් ද අනෙක් කොටස් කලු පැහැයෙන් ද යුක්ත ය. කෘමීන්, ගෙම්බන්, පණුවන් වැනි සතුන් ද, ගෙඩි, ඇට සහ කොළ වර්ග ද ආහාර ලෙස ගන්නා කොරවක්කා, කුඹුරු, වගුරු බිම් ආශ්‍රිතව බහුලව දක්නට ලැබේ. සෙ.මී. 28 - 33 අතර දිගින් යුක්ත කොරවක්කා බරින් ග්‍රෑම් 203 - 328 ත් අතර වේ.

 

ග්‍රේ ජේ

image courtesy: Wikipedia


ග්‍රේ ජේ කැනඩාවේ ජාතික පක්ෂියා වේ. 2016 වර්ෂයේ පවත්වන ඡන්ද විමසීමක ප්‍රතිඵලය වූයේ ජාතික පක්ෂියකු නොසිටි කැනඩාව තුළ ග්‍රේ ජේ ජාතික පක්ෂියා බවට පත්වීමය. වෙනත් පක්ෂීන්ගේ නාද, විශේෂයෙන් තමාව ගොදුරු කරගන්නට පැමිණෙන සතුන්ගේ හඬ අනුකරණයට ග්‍රේ ජේ ට ඇත්තේ පුදුමාකාර හැකියාවකි. සෙ.මී. 25 - 33 අතර දිගකින් යුක්ත ග්‍රේ ජේ බරින් ග්‍රෑම් 65 - 70 අතර වේ. ස්වභාවික පරිසරයේ දී වසර අටක පමණ කාලයක් ජීවත් වන ග්‍රේ ජේ මිනිසා විසින් ඇතිදැඩි කරන විට වසර 17 ක පමණ කාලයක් ජිවත් වන බවට වාර්තා වී ඇත.

 

රතු ඔටුනු කොකා

image courtesy: Wikipedia


රතු ඔටුනු කොකා චීනයේ ජාතික පක්ෂියා ය. 2004 වසරේ දී චීන වෙබ් අඩවි විසි ගණනක් විසින් මිලියන 5 කට ආසන්න පුරවැසියන් පිරිසක් සම්බන්ධ කර ගනිමින් පවත්වන ලද සමීක්ෂණයක දී වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් රතු ඔටුනු කොකා චීනයේ ජාතික පක්ෂියා බවට පත්විය. චීන ජනප්‍රවාද බොහොමයක මේ පක්ෂියා පිළිබඳ සඳහන් වේ. මේ පක්ෂියාගේ හිස මුදුන රත් පැහැයෙන් යුක්ත වීම නිසා මේ නම යෙදී තිබේ. ලොව විශාලතම කොක් වර්ගය මොවුන් යැයි සැලකෙන අතර දිග සෙ.මී. 150 - 158 ක් පමණ වේ. උස සෙ.මී. 101.2 - 150 ත් අතර වේ. මේ පක්ෂියා කි.ග්‍රෑ. 8ක් පමණ වේ. ලෝකයේ ආයු කාලය වැඩිම පක්ෂියා රතු ඔටුනු කොකා වන අතර සාමාන්‍යයෙන් වසර 30 - 40 ක් පමණ ජීවත් වේ. වසර 75 ක් ජිවත් වූ කොකෙකු පිළිබඳව ද වාර්තාවන්හි සඳහන්ව තිබේ.

 

අලු වෘකයා

image courtesy: Wikipedia


අලු වෘකයා ඉතාලියේ ජාතක සත්ත්වයා වේ. එරට ජාතික සත්ත්වයා පිළිබඳ යම් යම් මතභේද පවතින අතර නිල නොවන ජාතික සත්ත්වයා ලෙස දැනට පිළිගැනෙන්නේ අලු වෘකයා ය. ඇතැම් ස්ථානවල ඉතාලි වෘකයාලෙස ද හඳුන්වනු ලබයි. ජනප්‍රවාදයකට අනුව රෝම නුවර සිට සොයා ගත් රොමුයුලස් සහ රීමස් යන සහෝදරයන් දෙදෙනා හදාවඩා ගෙන ඇත්තේ වෘක ධේනුවක් විසින් වන අතර එය සිහිපත් කිරීම සඳහා ප්‍රතිමාවක් ද ඉදිකොට තිබේ. ජාතික සත්ත්වයා බවට පත් වන්නට වෘකයාට අවස්ථාව ලැබුණේ මේ කාරණය නිසා බැව් සැලකේ. මිනිස් අස්ථියක් බිඳී යන තරමට සපා කෑමේ හැකියාවක් ඇති අලු වෘකයාට පැයට කි.මී. 45 ක පමණ වේගයකින් දිවිය හැකිය. වැඩුණු අලු වෘකයකු මීටර් 1.2 - 2 අතර දිගකින් යුක්ත වන බරින් කි.ග්‍රෑ. 30 - 80 අතර වේ. අලු වාකයා වසර 6 - 8 අතර කාලයක් ජීවත් වේ.

 

ටුරාකෝ

image courtesy: Wikipedia


ටුරාකෝ ස්විට්සර්ලන්තයේ ජාතික පක්ෂියා වේ. ටුරාකෝ එරට කඳු ආශ්‍රිතව ජීවත්වන වර්ණවත් පක්ෂියෙකි. කොල මෙන්ම නිල් පැහැති ටුරාකෝ පක්ෂීන් ද දැකිය හැකි වේ. මේ පක්ෂියාගේ හිසේ ඉහළට කිරුළක් සේ විහිද ගිය පිහාටු විශේෂ ලක්ෂණයකි. සෙ.මී. 40 - 75 ත් අතර දිගකින් යුක්ත වන ටුරාකෝ ඉගිලීමට දුර්වල පක්ෂියකු ලෙස සැලකේ. නමුත් ගස්වල අතු හොඳින් ග්‍රහණය කර ගැනීමට හැකිවන පරිදි ශක්තිමත් පා ඇඟිලි පිහිටා තිබේ. බරින් ග්‍රෑම් 450 ක් පමණ වේ. සංක්‍රමණික පක්ෂියකු නොවන ටුරාකෝ රංචු වශයෙන් ජීවත් වන්නට කැමැත්තක් දක්වයි. සාමාන්‍ය ජීවිත කාලය වසර 5 - 9 අතර වුව ද අල්ලාගෙන ඇති දැඩි කරල ලද ටුරාකෝ පක්ෂියකු වසර 30 ක් පමණ ජීවත් වූ සිදුවීමක් ද වාර්තා වී තිබේ.

 

යුරේෂියානු ගෝනා

image courtesy: Wikipedia


යුරේෂියානු ගෝනා (Eurasian Elk) ස්වීඩනයේ ජාතික සත්ත්වයා වේ. අඩි හතක් පමණ උසකින් යුතු ගෝනා බරින් කිලෝග්‍රෑම් 800 ක් හෝ ඊට මඳක් වැඩි ය. වෘකයා සහ වලසා හැර ස්වාභාවික සතුරන් නොමැති යුරේෂියානු ගෝනා සම්පූර්ණයෙන්ම ශාක භක්ෂක ය. දිනකට කිලෝග්‍රෑම් 30 ක පමණ ආහාර ලබා ගනී. ස්වීඩනයේ යුරේෂියානු ගෝනුන් අධිකව ජීවත් වන නිසා වසරේ එක් කාලයක දී මොවුන්ව දඩයම් කිරීම සඳහා අවස්ථාව සලසා දෙනු ලබයි.  පැයට කිලෝමීටර් 55 ක පමණ වේගයකින් දිව යා හැකිය. නොනැවතී කිලෝමීටර් 15ක් පමණ පිහින යාමේ අපූරු හැකියාවක් ද යුරේෂියානු ගෝනාට හිමි ය. නාස් පුඩු පමණක් ජලයේ මතුපිටින් සිටින සේ තබා පිහිනා යන්නට ද මේ සත්ත්වයාට හැකි ය. වසර 15 ක පමණ ජීවිත කාලයක් යුරේෂියානු ගෝනාට හිමි ය.   

 

ග්‍රීන් ෆෙසන්ට්

image courtesy: Wikipedia


ග්‍රීන් ෆෙසන්ට් ජපානයේ ජාතික පක්ෂියා වේ. 1947 වර්ෂයේ දී ජාතික පක්ෂියා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සිදුව තිබේ. ග්‍රීන් ෆෙසන්ට් සම්බන්ධ  ජනප්‍රවාද, මිත්‍යා කතා, කාව්‍ය නිර්මාණ සහ සිතුවම් ජපානය තුළ බොහොමයක්ම වේ.  වෛවර්ණ පක්ෂියකු වන ග්‍රීන් ෆෙසන්ට් පිරිමි සතාගේ හිස මුඳුනේ කොළ පැහැ පිහාටු කිරුළක් දැකිය හැකිය. දිගින් සෙ.මී. 78 - 89 වන ග්‍රීන් ෆෙසන්ට් බරින් කිලෝ ග්‍රෑම් 800 - 900 අතර වේ. ජපානයට ඒක දේශික පක්ෂියෙකි.

 

මර්ඛර්

image courtesy: Wikipedia


මර්ඛර් පාකිස්ථානයේ ජාතික සත්ත්වයා වේ. දුෂ්කර කඳුකර ජීවිතයට ඇති මනා හැඩගැසීම සහ පකිස්ථානය පුරා පහසුවෙන් දැක ගත හැකි වීම යන කාරණා නිසා මර්ඛර් එරට ජාතික සත්ත්වයා බවට තෝරා ගෙන තිබේ. මර්ඛර් එළු විශේෂයකි. වර්ධන වේගය ඉතා පහළ මට්ටමක පවතින බැවින් මර්ඛර් රතු දත්ත පොතට ද ඇතුළත් කොට තිබේ. සෙ.මී. 65 - 115 ක උසකින් යුක්ත මර්ඛර් දිගින් සෙ.මී. 132 - 186 අතර වේ. බර කිලෝ ග්‍රෑම් 32 - 110 අතර වේ. මර්ඛර්ගේ මුවෙහි ඇති සෙම කොටස්වලින් සර්ප විෂ උරා ගැනීමේ විශේෂ බලයක් ඇති බව පාකිස්ථානු ගැමියෝ විශ්වාස කරති.

 

කොයි

image courtesy: Wikipedia


කොයි යනු ජපානයේ ජාතික මත්ස්‍යා වේ. කොයියනු කාර්ප්යන මත්ස්‍ය වර්ගය හැඳින්වීම සඳහා භාවිත වන ජපන් වදනයි. ජීවිතයට වාසනාව රැගෙන එන්නේය යන විශ්වාසය ජපන් ජාතිකයන් අතර අනාදිමත් කාලයක තිස්සේ පැවතීම නිසා කොයි එරට ජාතික මත්ස්‍යා බවට තෝරා ගෙන තිබේ. වැඩුණු කොයි මත්ස්‍යයකු අඩි දෙකක පමණ දිගකින් යුක්ත වේ. කොයි මත්ස්‍යාගේ සිරුරේ දිගට අනුව බර ද වෙනස් වේ. සාමාන්‍යයෙන් කොයි මත්ස්‍යයකු කිලෝ ග්‍රෑම් 4 - 5 අතර බරකින් යුක්තය.

 

දඬුලේනා

image courtesy: Wikipedia


දඬුලේනා ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා වේ. දඬුලේනා ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබුනත් මධ්‍යම සහ ඌව පළාත්වල උස් බිම් ආශ්‍රිතව බහුලව දක්ට ලැබේ. වෙනත් රටවල ද දක්නට ලැබෙන දඬුලේනා සිය වාසභූමි අහිමි වීම නිසා වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී ඇති සත්ත්වයකු ලෙස රතු දත්ත පොතට ද ඇතුළත් කොට තිබේ. සෙ.මී. 50 - 90 අතර දිගකින් යුක්ත දඬුලේනා ග්‍රෑම් 875 - 1,500 අතර බරකින් යුක්ත වේ. ඉව දැනීම සහ ශ්‍රවණ හැකියාව දුර්වල මේ සතුන්ගේ පෙනීම ඉතා තියුණු ය. පලතුරු, ඇට වර්ග, කෘමි සතුන් සහ කුරුලු බිත්තර ආහාරයට ගනී. 

 

ෆෙනෙක් නරියා

image courtesy: Wikipedia


ෆෙනෙක් නරියාඇල්ජීරියාවේ ජාතික සත්ත්වයා වේ. සහරා කාන්තාරයට ආවේණික වූ ෆෙනෙක් නරියාගේ ඇති කැපී පෙනෙන ලක්ෂණය වන්නේ විශාල කන් පිහිටා තිබීමය. නාසය ද උල් හැඩයෙන් යුක්ත වේ. සුනඛ පවුලේ කුඩාතමයින් ද මොවුන් ය. සිරුරේ ඇති අධික දාහය බැහැර කිරීම සඳහා මෙන්ම සිය ගොදුරු සිටින ඉසව් සොයා ගැනීමට ද මොවුන්ගේ විශාල කන් ඉවහල් වේ. කෘමීන්, කුරුල්ලන්, කුඩා ක්ෂීරපායි සතුන්, පැළෑටි සහ බිත්තර ආහාරයට ගන්නා ෆෙනෙක් නරියා දිගින් සෙ.මී. 24 -41 අතර වේ. බරින් ග්‍රෑම් 0.68 - කිලෝග්‍රෑම් 1.59 අතර වේ. වසර 12-16 අතර කාලයක ආයු කාලයක් මොවුන්ට හිමි ය.

 

අටු වැහිලිහිණියා

image courtesy: Wikipedia


අටු වැහිලිහිණියා’ (Barn Swallow) ඔස්ට්‍රියාවේ ජාතික පක්ෂියා වේ. ලෝකයේ බහුල වශයෙන්ම පැතිර සිටින ලිහිණි වර්ගය මොවුන්ය. මිනිස් ජනාවාශ ආශ්‍රිතව ජීවත්වන්නට රිසි මොවුනගේ ප්‍රධාන ආහාරය කෘමීන් ය. දවසින් වැඩි කාලයක් ඉගිළෙමින් කාලය ගත කරයි. වැඩුණු අටු වැහිලිහිණියකු දිගින් සෙ.මී. 17 - 19 අතර දිගකින් යුක්ත වන අතර බරින් ග්‍රෑම් 16 - 22 අතර වේ. මඩ එකතු කොට කැදලි සාදා ගන්නා අටු වැහිලිහිණියා මැටි රැගෙන ඒම සඳහා දහස් වාරයක් පමණ පියාඹන බැව් සොයා ගෙන තිබේ. වසර 1 - 5 අතර කාලයක් අටු වැහිලිහිණියකු ජීවත් වේ.

 

මව්ෆ්ලන්

image courtesy: Wikipedia


මව්ෆ්ලන් සයිප්‍රස්හි ජාතික සත්ත්වයා වේ. සයිප්‍රස් කඳුකර එළුවා සහ ඇග්‍රිනෝ යන නම ද මොවුන් හැඳින්වීම සඳහා භාවිත වේ. සයිප්‍රසයේ ජීවත්වන විශාලතම ක්ෂීරපායි සත්ත්වයා වන්නේ මව්ෆ්ලන් ය. මොවුන්ගේ ගැහැනු සහ පිරිමි සතුන් වෙන් වූ රංචු වශයෙන් ජීවත් වේ. වැඩුණු සතකු උසින් සෙ.මී. 90 ක් පමණ වන අතර දිගින් සෙ.මී. 122 - 152 අතර වේ. අං යුවල දිගින් සෙ.මී. 55 - 60 අතර වේ. වැඩුණු පිරිමි සතකු බරින් කිලෝග්‍රෑම් 50 කි. ගැහැනු සතකු කිලෝග්‍රෑම් 35 කි. වසර 10-12 අතර කාලයක් ජීවත් වේ. වද වී යාමේ තර්ජනය අභියස සිටින මොවුන් රතු දත්ත නාමාවලියට ද ඇතුළත් කොට තිබේ.

 

හූපර් හංසයා

image courtesy: Wikipedia


හූපර් හංසයා ෆින්ලන්තයේ ජාතික පක්ෂියා වේ. ෆින්ලන්ත සංස්කෘතිය සහ ජනකතා තුළ බෙහෙවින් සඳහන් වන පක්ෂියෙකි. විසිවැනි සියවසේ ආරම්භයේ සිට ඉතා වේගවත්ව පිරිහී ගිය මේ පක්ෂි ගහනය 1950 දශකය වෙද්දී යුවල 20 ක් දක්වා අඩු විය. කෙසේ නමුත් සිය සංස්කෘතිය තුළ ඔවුන්ට හිමි වටිනාකම නිසාම සංරක්ෂණයට ගත් පියවර ඔස්සේ මේ වන විට 6000 ක් පමණ දක්වා මොවුන්ගේ ගහනය වර්ධනය වී තිබේ. ෆින්ලන්ත යුරෝ 1 කාසියේ ද මේ හංසයාගේ රුව දැකිය හැකිය. සෙ.මී. 140-165 ක දිගින් යුක්ත මේ හංසයා බරින් කිලෝග්‍රෑම් 7.4 - 14 අතර වේ. 

 

ඩොල්ෆින්

image courtesy: Wikipedia


ඩොල්ෆින් ග්‍රීසියේ ජාතික සත්ත්වයා වේ. බුද්ධිමත් බවින් ලොව දෙවැනි තැනෙහි පසුවන මේ මත්ස්‍යා මිනිස් වර්ගය කෙරෙහි දක්වන ලැදි බව හේතුවෙන් ජාතික සංකේතයක් බවට පත් කරගන්නට ග්‍රීසිය තීරණය කරන ලදී. බොහෝ ග්‍රීක මිත්‍යා කතාවල මොවුන් පිළිබඳ සඳහන් වන අතර ඩොල්ෆින්යන වදන බිඳී ඇත්තේ ද delphinos යන ග්‍රීක වදනිනි. අඩි 6 - 9 අතර දිගකින් යුක්ත වන ඩොල්ෆින් බරින් කිලෝග්‍රෑම් 80 - 150 අතර වේ. කුඩා මත්ස්‍යයන් ආහාරයට ගන්නා මොවුන්ට දිනකට කිලෝග්‍රෑම් 8 - 10 අතර ආහාර වේලක් අවශ්‍ය වේ. ඩොල්පින් කරදියෙහි සහ මිරිදියෙහි ජීවත් වන්නන් ලෙස කොටස් දෙකකින් යුක්ත වේ.

 

හිම වලසා

image courtesy: Wikipedia


හිම වලසා ග්‍රීන්ලන්තයේ ජාතික සත්ත්වයා වේ. දෙපයින් සිට ගත් හිම වලසාගේ රූපය එරට රාජ්‍ය ලාංඡනය ලෙස යොදා ගැනෙන අතර එය 1989 මැයි 1 වැනිදා සිට භාවිතයේ පවතී. ආක්ටික් සාගරයෙන් වට වූ ආක්ටික් කවය තුළ මොවුහු බහුලව ජීවත් වෙති. වැඩුණු හිම වලසකු කිලෝග්‍රෑම් 350 - 700 කින් අතර යුක්ත වන අතර දිගින් මීටර් 2.4 - 3 අතර යුක්ත වේ. හිම වලසුන් සීල් මත්ස්‍යයන් ආහාර ගැනීමට කැමැත්තක් දක්වන අතර කිලෝග්‍රෑම් 55 ක පමණ සීල් මත්ස්‍යයකු ඔවුනට දින 8 කට පමණ සෑහේ. හිම වලසකුගේ උපරිම ආයු කාලය වසර 30 ක් පමණ වේ.

 

හෝට්සින්

image courtesy: Wikipedia


හෝට්සින් ගයනාවේ ජාතික පක්ෂියා වේ. හෝට්සින් පක්ෂියාගේ ඇති විශේෂත්වය වන්නේ සිය පියාපත් යුගල ද ඉදිරි බාහු ලෙස භාවිත කළ හැකි ආකාරයට වර්ධනය වී තිබීමය. මේ නිසා වේගයෙන් ගස් නැගීමට මොවුන්ට විශේෂ හැකියාවක් ඇති අතර වෙනත් කිසිදු පක්ෂියකුට එම හැකියාව නොමැත. සෙ.මී. 65 ක පමණ දිගකින් යුක්ත හෝට්සින් බරින් කිලෝග්‍රෑම් 1 කට අඩු ය. මාංසල පත්‍ර ආහාරයට ගැනීමට මොවුහු විශේෂ ලැදි කමක් දක්වති. මේ පක්ෂියකු සාමාන්‍යයෙන් වසර 15 ක් පමණ ජීවත් වේ.

 

උතුරු කිරලා

image courtesy: Wikipedia


උතුරු කිරලා කිරලා අයර්ලන්තයේ ජාතික පක්ෂියා වේ. 1990 වසරේ දී අයර්ලන්ත වන සත්ත්ව සංරක්ෂණ ආයතනය මගින් කිරලා එරට ජාතික පක්ෂියා ලෙස නම් කරනු ලැබිණි. අප දැක පුරුදු කිරලාට වඩා වෙනස් ස්වභාවයක් ගන්නා මේ පක්ෂියා ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන්නේ Northern Lapwing නමිනි. දැඩි සංක්‍රමණික පක්ෂියකු වන මේ කිරල වර්ගය චීනය, ඉන්දියාව, අප්‍රිකාව තරම් දුරින් පිහිටි රටවල සිට අයර්ලන්තය කරා පැමිණෙනු දැකිය හැකි ය. දිගින් සෙ.මී. 28-33 ක් සහ බරින් ග්‍රෑම් 120 - 330 අතර යුක්ත වන මේ පක්ෂියා ආහාර වශයෙන් ගනු ලබන්නේ පණුවන් ය. මොවුහු වසර 5 ක් පමණ ජීවත් වෙති.

 

හූපූ

image courtesy: Wikipedia


හූපූ ඊශ්‍රායලයේ ජාතික පක්ෂියා වේ. වසර දහස් ගණනක් තිස්සේ එරට තුළ මේ පක්ෂියා හඳුන්වනු ලබන්නේ එරෙට්ස්නමිනි. බයිබලයේ ද මේ පක්ෂියා පිළිබඳ සඳහන්ව ඇති බව පැවසේ. හූපූ ජාතික පක්ෂියා ලෙස තෝරා ගනු ලැබුවේ ඡන්ද විමසීමක් මගිනි. සෙ.මී. 25-29 අතර දිගකින් යුක්ත වන මේ පක්ෂියා බරින් ග්‍රෑම් 67 ක් පමණ වේ. ආහාර ලෙස කෘමීන්, මකුළුවන්, ගෙම්බන්, ගස්වල ඇට සහ බීජ වර්ග ආහාරයට ගනී. මොවුන්ගේ ආයු කාලය වසර 10 ක් පමණ වේ.

 

ෆෝල්කන්

image courtesy: Wikipedia


ෆෝල්කන් කුවේට් හි ජාතික පක්ෂියා වේ. 1962 දී නිර්මාණය කෙරුණු එරට රාජ්‍ය ලාංඡනයේ රන්වන් ෆෝල්කන් පක්ෂියකු ජාතික ධජය දරා සිටින ආකාරය දැක්වේ. මිනිසා මෙන් 2.6 තියුණු පෙනීමේ ශක්තියක් ඇති මේ පක්ෂියාට ඉහළ අහසේ සිට  පැයට කිලෝමීටර 320 ක වේගයෙන් ගොදුරක් කරා ළඟා විය හැකි බව පැවසේ. දිගින් සෙ.මී. 34 - 58 ක් අතර වන ෆෝල්කන් පක්ෂියා බරින් ග්‍රෑම් 700 සිට කිලෝග්‍රෑම් 1.5 අතර වේ. වෙරළාශ්‍රිත පක්ෂීන්, තාරාවුන්, පරෙවියන් ආදී පක්ෂීන් ෆෝල්කන්ගේ ආහාර වේ. මේ පක්ෂියකු වසර 15 - 20 අතර කාලයක් ජීවත් වේ.

 

මුදු වලිග ලෙමූර්

image courtesy: Wikipedia


මුදු වලිග ලෙමූර්’ (Ring-tailed Lemur) මැඩගස්කරයේ ජාතික සත්ත්වයා වේ. මේ නම යෙදී ඇත්තේ මොවුනගේ වලිගයේ මුදු ආකාරයේ කලු පැහැ ලෝම වැවී තිබීම නිසා ය. දකුණු මැඩගස්කරයේ පමණක් දක්නට හැකි මේ සත්ත්වයා ලොව වෙනත් රටක දක්නට ලැබෙන්නේ නැත. වාසස්ථාන විනාශ වී යාම නිසා වදවී යාමට මුහුණ පා සිටින සත්ත්ව විශේෂයක් වේ. දිගින් සෙ.මී. 39-46 අතර වන මුදු වලිග ලෙමූර් බරින් කිලෝග්‍රෑම් 2.2 ක් පමණ වේ. බහුල වශයෙන් පලතුරු ආහාරයට ගන්නා මොවුහු වසර 16-19 අතර කාලයක් ජීවත් වෙති.

 

රයිනෝසිරස් කෑදැත්තා

image courtesy: Wikipedia


රයිනෝසිරස් කෑදැත්තා මැලේසියාවේ ජාතික පක්ෂියා වේ. හිස මුදුනින් අඟක ස්වභාවයක් දක්නට ඇති බැවින් රයිනෝසිරස්යන විශේෂණය යෙදී තිබේ.  දිගු හොටයක් දරා සිටිය යුතු බැවින් මොවුන්ගේ ගෙල ඉතා ශක්තිමත් බව පැවසේ. වැසි වනාන්තර විනාශ වීම, මස් පිණිස සහ මොවුන්ගේ අලංකාර හිස ලබාගැනීම සඳහා දඩයම් කිරීම වැනි ක්‍රියාවන් නිසා මේ පක්ෂියා දැඩි අනතුරකට මුහුණ පා සිටී. ප්‍රධාන වශයෙන්ම පලතුරු ආහාරයට ගන්නා රයිනෝසිරස් කෑදැත්තා දිගින් සෙ.මී. 80-90 අතර වන අතර බරින් කිලෝග්‍රෑම් 2.4 - 2.9 අතර යුක්ත වේ. වසර 35 ක පමණ කාලයක් මොවුන් ජීවත් වන බව පැවසේ.

 

රැජියානා බර්ඩ් ඔෆ් පැරඩයිස්

image courtesy: Wikipedia


රැජියානා බර්ඞ් ඔෆ් පැරඩයිස්පැපුවා නවගිනියාවේ ජාතික පක්ෂියා වේ. 1971 වසරේ දී එරට රජය විසින් මෙම නම් කිරීම කරනු ලැබිණි. මේ පක්ෂයාගේ රුව එරට ජාතික කොඩියේ ද ඇතුළත් ය. එරට ජාතික රග්බි කණ්ඩායමේ අනවර්ත නාමය ද මේ පක්ෂියාගේ නමින් යෙදී තිබේ. මේ පක්ෂියා රතට හුරු දුඹුරු පැහැයකින් යුක්ත ය. සෙ.මී. 34 ක පමණ දිගින් යුක්ත මේ පක්ෂියා බරින් අවුන්ස 7 - 12 අතර යුක්ත ය. පලතුරු, කෘමීන්, මකුළුවන් වැනි සතුන් ආහාර ලෙස ගන්නා මොවුහු වසර 19-20 අතර කාලයක් ජීවත් වෙති.

 

කොක් ඔෆ් ද රොක්

image courtesy: Wikipedia


කොක් ඔෆ් ද රොක් (Cock-of-the-rock) පේරු රාජ්‍යයේ ජාතික පක්ෂියා වේ. 1941 දෙසැම්බර් 11 වැනිදා කොක් ඔෆ් ද රොක් එරට ජාතික පක්ෂියා ලෙස නම කරනු ලැබිණි. පේරු වැසියෝ මේ පක්ෂියා ටුන්කිනමින් ද හඳුන්වති. මීටර් 485 - 2440 අතර උස් බිම්වල දී මේ පක්ෂියා ව දැක ගත හැකි වේ. මේ පක්ෂීන්ගේ පිරිමි සතුන් රංචු වශයෙන් එකතු වී සිදු කරන නර්තනය දැක බලා ගැනීමට සංචාරකයෝ ඉමහත් කැමැත්තක් දක්වති. මොවුන් ආහාරය ලෙස ගන්නේ පලතුරු ය. දිගින් සෙ.මී. 32ක් පමණ වන අතර බරින් ග්‍රෑම් 265ක් පමණ වේ. මේ පක්ෂීහු වසර 7ක් පමණ ජීවත් වෙති.

 

කැලෑ බළලා

image courtesy: Wikipedia


කැලෑ බළලා (Lynx) රුමේනියාවේ ජාතික සත්ත්වයා වේ. මධ්‍යම ප්‍රමාණයේ බළලකුගේ විශාලත්වයෙන් යුක්තය. පෙනුමින් බළලකුගෙන් වෙනස් වන්නේ මොවුන්ගේ දෙකන් කෙළවරෙහි ඇති කලු දිගු රෝම නිසා ය. තනිව හැසිරෙමින් දඩයම් කරන්නට කැමැත්තක් දක්වන මොවුන් සම්පූර්ණයෙන්ම මාංශ භක්ෂක ය. සාවුන් ප්‍රධාන ආහාරය වේ. සෙ.මී. 80 - 130 අතර දිගකින් යුක්ත වන මේ කැලෑ බළල් විශේෂය බරින් කිලෝග්‍රෑම් 18 - 29 අතර වේ. උස සෙ.මී 70 ක් පමණ වේ. වසර 17 ක පමණ ආයු කාලයක් මොවුනට හිමිය.

 

ස්ප්‍රිංබොක්

image courtesy: Wikipedia


ස්ප්‍රිංබොක් දකුණු අප්‍රිකාවේ ජාතික සත්ත්වයා වේ. අප්‍රිකානු බසින් ස්ප්‍රිංයනු පැනීම යන අර්ථය දනවන්නක් වන අතර බොක්යනු මුවායන් අර්ථ දනවන්නකි. එබැවින් මෙහි අර්ථය පනින මුවාවැන්නකි. ක්ෂණිකව මීටර් 4ක් පමණ ඉහළ පැනීමේ විශේෂ හැකියාවක් ස්ප්‍රිංබොක් ට තිබේ. සෙ.මී. 71-86 ත් අතර උසකින් යුක්ත වන මේ මුව වර්ගය බරින් කිලෝග්‍රෑම් 27 - 42 අතර වේ. අං යුවල සෙ.මී. 35- 50 අතර දිගකින් යුක්තය. විශේෂ ජීවිත තර්ජනයක් නොමැති බැවින් වේගයෙන් වර්ධනය වන මුව වර්ගයක් ලෙස ද ප්‍රකටය. තණකොල ප්‍රධාන ආහාරය වනු ස්ප්‍රිංබොක් වසර 7 - 9 අතර කාලයක් ජීවත් වේ.

 

ජිරාෆ්

image courtesy: Wikipedia


ජිරාෆ් ටැන්සානියාවේ ජාතික සත්ත්වයා වේ. එරට නීතියෙන්ම ආරක්ෂිත සත්ත්වයෙක් ලෙස නම් කොට ඇති ජිරාෆ් මරා දැමීම සිර දඬුවම් ලැබිය හැකි වරදක් වේ. ජිරාෆ්ගෙන් දිගු ගෙල ටැන්සානියාවුන්ට බොහෝ දේ සංකේතවත් වේ. අතීතය සහ අනාගතය දැකිය හැකි වීම, ජීවිතයේ නම්‍යශීලී ස්වභාවය ආදිය ඒ අතර වේ. පසුගිය දශක කිහිපය තුළ මොවුන්ගේ ගහනය 52%කින් අඩු වීම නිසා වදවී යාමේ සත්ත්වයකු ලෙස නම් කොට තිබේ. මීටර් 4.6 - 6.1 අතර උසකින් සහ කිලෝග්‍රෑම් 800 ක බරකින් යුක්ත වන ජිරාෆ් ශාක භක්ෂකය. වසර 26ක් පමණ ජීවත් වේ.

 

රෙඩ් බිල්ඞ් ස්ට්‍රීමර්ටේල්

image courtesy: Wikipedia


රෙඩ් බිල්ඞ් ස්ට්‍රීමර්ටේල්’ (Red-billed streamertail) ජැමෙයිකාවේ ජාතික පක්ෂියා වේ. සිංහල බසින් රතු හොට දද පෙඳයාවැනි නමකින් මේ පක්ෂියාව හැඳින්විය හැකිය. මේ පක්ෂියා ජැමෙයිකාවට ආවේණික ය. මේ පක්ෂයාගේ පෙඳය කතුරක හැඩයෙන් යුක්ත බැවින් කතුරු පෙඳ පැණි කුරුල්ලායන නමින් ද හඳුන්වනු ලබයි. පෙඳයත් සහිතව මේ පක්ෂියාගේ දිග සෙ.මී. 25 ක් පමණ වන අතර බර ග්‍රෑම් 200 ක් පමණ වේ. වනාන්තර සහ උද්‍යාන ආශ්‍රිතව බහුලව දැකිය හැකි මොවුහු මල්පැණි, කෘමීන් සහ පණුවන් ආහාර ලෙස ගනිති. වසරක පමණ ආයු කාලයක් මොවුනට හිමි ය.

 

සීබ්‍රා

image courtesy: Wikipedia


සීබ්‍රා බොට්ස්වානා රාජ්‍යයේ ජාතික සත්ත්වයා වේ. පලිහක් දෙපස සිටින සීබ්‍රාවන් දෙදෙනෙකු එරට රාජ්‍ය ලාංඡනයේ දැක්වෙන අතර මෙය 1966 ජනවාරි 25 වැනි දින සම්මත කර ගන්නා ලද්දකි. මේ සත්ත්වයාගේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණය වන්නේ සිරුර හරහා වැටී ඇති කලු පැහැ ලෝම තීරු ය. තැනිතලාවන්හි ජීවත් වන බැවින් තැනිතලා සීබ්‍රා යන නමින් ද මොවුන් හඳුන්වනු ලබයි. සීබ්‍රා උසින් සෙ.මී. 127-140 ක් පමණ වන අතර දිගින් සෙ.මී. 217-246 ක් පමණ වේ. බර කිලෝග්‍රෑම් 220 - 232 ක් පමණ වේ. සාමානයෙන් සීබ්‍රාවකු වසර 25 ක් පමණ ජීවත් වේ.

 

අරාබියානු ඔරික්ස්

image courtesy: Wikipedia


අරාබියානු ඔරික්ස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික සත්ත්වයා වේ. සුදු පැහැයෙන් යුක්ත බැවින් සුදු ඔරික්ස්යන නමින් ද මේ සත්ත්වයා හඳුන්වනු ලබයි. අරාබි අර්ධද්වීපයට ආවේණික මේ සත්ත්වයා ඇන්ටිලොප් වර්ගයට අයත් ය. අරාබියානු ඔරික්ස් වද වී යාම් ආසන්නයටම පැමිණ යළි ගහනය වර්ධනය වූ සත්ත්වයෙකි. සම්පූර්ණයෙන්ම ශාක භක්ෂකයකු වන අරාබියානු ඔරික්ස් උසින් මීටරයක් පමණ වේ. බරින් කිලෝග්‍රෑම් 70 ක් පමණ වේ. සෙ.මී. 50 - 75 පමණ දිගින් යුක්ත අං යුවල කලු පැහැ මුදු ආකාරයෙන් සැකසී තිබේ. මොවුහු වසර 20 ක් පමණ ජිවත් වෙති.

 

ටකින්

image courtesy: Wikipedia


ටකින්  භූතානයේ ජාතික සත්ත්වයා වේ. කුර සහිත සතුන්ගේ විශාලතමයා මොවුන් යැයි සැලකේ. එරට ජීවත් වූ ලාමාවරයකු විසින් මවන ලද්දේ යැයි පවතින ජනප්‍රවාදය නිසා 2005 නොවැම්බර් 25 වැනිදා ටකින් එරට ජාතික සත්ත්වයා ලෙස තෝරා ගන්නා ලදී. මුහුදු මට්ටමේ සිට මීටර් 1000 - 4000 අතර උසින් යුත් කඳුකර ප්‍රදේශයන්හි ඇති වනාන්තරවල මොවුන් ජීවත් වන අතර භූතානයේ මේ සතුන් වෙනුවෙන්ම වූ විශේෂිත අභයභූමියක් ද පවතී. උසින් සෙ.මී. 97 - 140 ක් පමණ වන ටකින් බරින් කිලෝග්‍රෑම් 300 - 350 ක් පමණ වේ. මොවුහු වසර 20 ක් පමණ ජීවත් වෙති.

මැග්පයි රොබින්

image courtesy: Wikipedia


මැග්පයි රොබින් යනු බංග්ලාදේශයේ ජාතික පක්ෂියා වේ. පොල්කිච්චා යනුවෙන් අප රටේ හඳුන්වන්නේ ද මේ පක්ෂියාම ය. ඩොයෙල්යනුවෙන් එරට දී හඳුන්වන මේ පක්ෂයාගේ නමින් ධකා නගරයේ චතුරශ්‍රයක් ද නම් කොට තිබේ. එරට මුදල් නෝට්ටුවක ද මේ පක්ෂියා රුව ඇතුළත් ය. කෘමීන්, පලතුරු, ඇට සහ ගෙඩි වර්ග ආහාරයට ගන්නා මැග්පයි රොබින් සාමාන්‍යයෙන් දිගින් සෙ.මී. 19 - 23 අතර වන අතර බරින් ග්‍රෑම් 31 - 42 අතර වේ. පැයට කිලෝමීටර් 32ක වේගයෙන් පියඹා යා හැකි මේ පක්ෂියා සාමාන්‍යයෙන් වසර 8 - 15 අතර කාලයක් ජීවත් වේ.

 යෝධ පැන්ඩා

image courtesy: Wikipedia


යෝධ පැන්ඩා චීනයේ ජාතික සත්ත්වයා වේ. සිය ආහාරයෙන් 99%ක් සපුරා ගන්නේ උණ පත්‍රවලින් බැවින් දකුණු මධ්‍යම චීනයේ උණ ශාක සහිත වනාන්තර එළිකිරීම නිසා පැන්ඩා ගහණය ද වදවී යාමේ තර්ජනයකට මුහුණ දී තිබේ. ප්‍රධාන ආහාරය උණ නිසා උණ ගස් තදින් ග්‍රහණය කරගැනීම සඳහා පැන්ඩාවන්ගේ කකුලේ ඇඟිලි හයක් පිහිටා තිබේ. වැඩුණු පැන්ඩා සත්ත්වයෙක් මීටර් 1.2 - 1.9 ක දිගින් යුක්ත අතර බරින් කිලෝග්‍රෑම් 160 ක් පමණ වේ. මකරා චීනයට දැඩි සම්බන්ධතාවක් ඇති සතත්වයකු වුවත්, එය මනඃකල්පතයක් බැවින් පැන්ඩා සිය ජාතික සතත්වය බවට පත් කරගන්නට චීනය තීරණය කළ පැවසේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ‘සොබා දහම සඳහා වූ ලෝක ව්‍යාප්ත අරමුදලේ’ (උඋත්‍) ලාංඡනය ලෙස යොදා ගෙන ඇත්තේ ද පැන්ඩාගේ රූපයයි. පැන්ඩා වසර 20ක් පමණ ජීවත් වේ.


රොබින් පක්ෂියා

image courtesy: Wikipedia


රොබින් මහා බ්‍රිතාන්‍යයේ ජාතික පක්ෂියා වේ. කෘමීන් ආහාරයට ගන්නා ශරීරයෙන් කුඩා පක්ෂියෙකු වන රොබින් දිගින් සෙ.මී. 12.5 - 14.0 පමණ වේ. මේ පක්ෂියා ගැහැනු පිරිමි භේදයකින් තොරව ස්වරූපයෙන් සහ වර්ණයෙන් එක හා සමාන බවකින් යුක්තය. රොබින්ගේ ඇති ආකර්ෂණීය ලක්ෂණයක් වන්නේ පපු ප්‍රදේශය පුරා පැතිර ඇති තැඹිලි පැහැයයි. සිරුරේ අනෙක් කොටස් අලුපැහැයට හුරු ය. 1960 වසරේ දී මහා බ්‍රිතාන්‍යයේ ‘ද ටයිම්ස්’ පුවත්පත මගින් සිදුකරන ලද ඡන්ද විමසීමකින් රොබින් එරට නිල නොවන ජාතික පක්ෂාය ලෙස තෝරා ගැනුණි. පසුව 2015 වසරේ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ලද ඡන්ද විමසීමකින් පසුව නැවතත් රොබින් එරට ජාතික පක්ෂියා ලෙස තහවුරු කර ගැනුණි. රොබින් වසර දෙකක පමණ ආයු කාලයක් ඇති පක්ෂියෙකු වේ. 


එමු

image courtesy: Wikipedia


එමු ඕස්ට්‍රේලියාවේ ජාතික පක්ෂියා වේ. එමු පක්ෂියාට පසුපසට ගමන්කිරීමට නොහැකිය. එබැවින් සිය ජාතියේ ඉදිරි ගමන නිරූපණය කිරීමට වඩාත් සුදුස්සා එවැන්නෙකු බැවින් එමු එරට ජාතික පක්ෂියා ලෙස තෝරා ගැනුණි. එමු ඕස්ට්‍රේලියාවට ආවේණික පක්ෂියෙකි. පාද සහ බෙල්ල ද සමගින් මීටර් 1.9ක පමණ උසකින් යුක්ත එමුට පියාසර කිරීමේ හැකියාවක් නැතත් පැයට කිලෝ මීටර් 50 ක පමණ වේගයකින් දිව යාමේ අපූරු හැකියාවක් තිබේ. ශාඛ සහ කෘමීන් ආහාරයට ගන්නා එමුට ආහාර නොගෙන සති ගණනක් ජීවත් විය හැකිය. නිතර ජලය පානය කිරීමේ අවශ්‍යතාවක් නොමැති පක්ෂියකු වන එමු එකවර විශාල ජල ප්‍රමාණයක් පානය කරයි. එමුගේ ජීවිත කාලය අවුරුදු 10 - 20 අතර වේ. 


වලි කුකුළා

image courtesy: Wikipedia



ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වන වළිකුකුලා ඉතා අලංකාර අප රටට ආවේණික පක්ෂියෙකි. මේ පක්ෂියාට ‘වළිකුකුළා’ යැයි පවසනු ලැබුව ද නිවැරදි නාමය වන්නේ ‘වළ කුකුළා‘ හෙවත් ‘කැලෑ කුකුළා’ වේ. ඉංග්‍රීසි බසින් jungle fowl ලෙස ද, දෙමළි බසින් ‘කාට්ටු කෝලි’ නමින් ද හඳුන්වයි. වළිකුකුළා ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා ලෙස තෝරා ගෙන ඇත්තේ 1986 පෙබරවාරි 26 වැනිදා පාර්ලිමේන්තුවේ කැබිනට් අනුමැතියකින් අනතුරුවය. 

 

මෙය PDF ගොනුවක් ලෙස බාගත කරගන්න මෙතැන ක්ලික් කරන්න.

 

 

   

 

 

 

4 comments:

  1. Hoatzin ගෙ ලදරු අවදියේ තමයි ගස් නගින්න පුලුවන් විදිහට claws තියෙන්නෙ. පිහාටු හරියට ආවාම ඒවා ක්‍රමයෙන් නැතිවෙනවා මන් හිතන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒක නම් මම දැන ෙගන හිටිෙය් නෑ. ටිකක් ෙහායා බලන්න ඕන.

      Delete
  2. මාරම ප්‍රයෝජනයක්,
    ඇත්තටම ගොඩක් වැදගත් ලිපියක් මේක .
    ගොඩක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රයෝනවත් වීම ගැන ස්තුතියි

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න