පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, September 25, 2013

ඕස්ට්‍රේලියාවේදී සම්මානයට පාත්‍ර වූ ලාංකික කතුවරිය, මිචෙල් ඩි ක්‍රෙස්ටර් - Mitchelle De Krester, the Novelist awarded in Australia



සැප්තැම්බරය යනු අප රටේ සාහිත්‍යකරුවන්ගේ මහා මංගල්‍යය යැයි පැවසුව ද එහි වරදක් නැත. මන්ද  සාහිත්‍යය වෙනුවෙන් සම්මානලාභීන් බිහිවන්නේ මේ මාසයේදී වීම නිසා ය. සතියකට අධික කාලයක් තිස්සේ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන වාර්ෂික පොත් මංගල්‍යය නැරඹීමට පැමිණෙන පොත පතට ආදරය කරනා ලක්ෂ සංඛ්‍යාත පිරිස දකිනා විට සිතෙහි සතුටක් ඇතිවන්නේ නිතැනිනි. නමුත් මේ පවසන්නට යන්නේ මේ සාහිත්‍යය මංගල්‍යය පිළිබඳ කතාවක් නොවේ. නමුත් මෙය සාහිත්‍යයට සම්බන්ධය. නමුත් අප රටේ නොවේ. මේ සාහිත්‍යය මංගල්‍යය ඕස්ට්‍රේලියාවේ පවත්වනු ලැබූවකි. වර්ෂ 1957 දී ආරම්භ කෙරුණු  ‛මයිල්ස් ෆ්‍රැන්ක්ලින් සාහිත්‍ය සම්මානය’ (The Miles Franklin Literary Award) නම් වූ මෙය සාහිත්‍යය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ දී පිදෙන ඉහළතම සම්මානය ලෙස සැළකේ. මෙම සම්මානය වෙනුවෙන් පිරිනැමෙන් මුදල් තිළිණය  ඕස්ට්‍රේලියානු ඩොලර් 60,000 (රුපියල් ලක්ෂ 74කට අධික මුදලකි) කි. මෙවර එම සම්මානය හිමි වූයේ ‛ක්වෙස්චන්ස් ඔෆ් ට්‍රැවල්’ (Questions of Travel) නමැති නවකතාවට ය. මෙය අපට වැදගත්වන්නේ ඇයි? එය අපට වැදගත්වන්නේ අන්කිසිවක් නිසා නොව  2013 වසරේ මේ සම්මානය දිනාගනු ලැබූවේ අප රට ඉපදී, 1972 වසරේදී ඕස්ට්‍රේලියාට සංක්‍රමණය වූ කාන්තාවක වීම නිසාය. මිචෙල් ඩි ක්‍රෙස්ටර් නම් වූ මේ අසහාය ලේඛිකාව පිළිබඳ කතාකිරීමට මේ සාහිත්‍යය මාසය තරම් සුදුසු වෙනත් සමයක් නැත. 



1957 නොවැම්බර් 11 වැනිදා ශ්‍රී ලංකාවේදී උපත ලද මිචෙල් ඩි ක්‍රෙස්ටර් 1972 දී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන විට වන විට ඇය 14 හැවිරිදි වියෙහි පසු වූවා ය. කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබාගත් ඇය ද්වීතික අධ්‍යාපනය ලබාගත්තේ මෙල්බෝන් නුවරදී හා පැරීසියේ දී ය. ඩච්-බර්ගර් කාන්තාවක වන ඇගේ පියා වූ ඕ. එල්. ක්‍රෙස්ටර් මහාධිකරණ විනිසුරුවරයකු විය. මිචෙල් අට හැවිරිදි වියෙහි පසුවත්දී, ඇගේ මව වූ පෙගී ක්‍රෙස්ටර් හැව්ලොක් පාරෙහි තිබූ ඔවුන්ගේ විශාල, පැරණි මන්දිරයේදී අවතාරයක් දුටු බැව් පැවසේ. මිචෙල් එම සමයේදී මෙම අවතාර සිදුවීම නිර්මාණාත්මක ලෙස සිය යෙහෙළියන් සමඟ පවසන්නට හුරුපුරුදුව සිටියා ය. ඇගේ නිර්මාණකරයේ ආරම්භය මෙම හොල්මන් කතා කීම වියහැකි බැව් ඇතැමෙක් පවසති. 1970 දී සිංහල හා දෙමළ භාෂාවන්ට ප්‍රමුඛත්වය දීමේ අරමුණින් රජය ඉංග්‍රීසි පාසල් වසාදමන්නට තීරණය කළේය. ඉංග්‍රීසි බසින් කටයුතු කරන්නට පුරුදුව සිටි මිචෙල්ගේ පවුලට මෙය බලාපොරොත්තු කඩවීමක් වූ බැව් ඇය සඳහන් කරන්නී ය. මේ හේතුවෙන් ඇගේ වැඩිමහලු සොයුරු සොයුරියෝ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන්නට තීරණය කළහ.



 ඒ වනවිටත් මිචෙල්ගේ අනෙක් සොයුරු සොයුරියන් පස්දනොම විවාහපත් ව සිටියහ. ඕස්ට්‍රේලියානු ජාතික කවියකු වන ක්‍රිස් ඇන්ඩෲස් සමඟ විවාහ වී සිටිනා මිචෙල් සිඩ්නි, සංක්‍රමණිකයන් බෙහොමයක් දෙනෙක් ජීවත්වන සිඩ්නි නුවර ඩල්විච් හිල් හි දැනට පදිංචිව සිටින්නී ය. 
‛ලෝන්ලි ප්ලැනට්’ නම් සංචාරක මගපෙන්වන සමාගමක ප්‍රකාශන සංස්කාරවරියක ලෙස සේවය කළ ඇය 1999 දී සිය ප්‍රථම නවකතාව වූ ‛ද රෝස් ග්‍රෝවර්’ (The Rose Grower) නිර්මාණය කළා ය.


 2003 වසරේදී ඇය සිය දෙවැනි නවකතාව වූ ‛ද හැමිල්ටන් කේස්’ (The Hamilton Case) සම්පාදනය කළ අතර එයට තස්මේනියානු පැසිෆික් සම්මානය, එක්සත් රාජධානියෙන් පිදෙන ‛එන්කෝර් සම්මානය’ සහ අග්නිදිග ආසියානු හා පැසිෆික් රටවල් සඳහා පිදෙන පොදු රාජ්‍ය මණ්ඩලීය සාහිත්‍ය සම්මානය හිමි විය. 


සිය තෙවැනි නවකතාව වූ ‛ද ලොස්ට් ඩෝග්’ ( The Lost Dog)  නිර්මාණය කළේ 2007 වසරේදී ය. එය 2008 වසරේ බුක්ර් සම්මානය සඳහා නිර්දේශ වූ ග්‍රන්ථ 13 අතරින් එකක් වීම සුවිශේෂ ය.


 වර්ෂ 1989 සිට 1992 දක්වා ඇය ඕස්ට්‍රේලියානු කාන්තා ග්‍රන්ථ විචාරක සංගමයේ ආරම්භක සංස්කාරවරියක ලෙස කටයුතු කළා ය. ඇගේ සිව්වැනි නවකතාව වූ ‛ක්වෙස්චන්ස් ඔෆ් ට්‍රැවල්’ කෘතිය 2013 වසරේ මයිල්ස් ෆ්‍රූන්ක්ලින් සම්මානය පමණක් නොව ඕස්ට්‍රේලියානු සාහිත්‍ය සංගමයේ රන් පදක්කම සහ ප්‍රබන්ධ වෙනුවෙන් පිදෙන 2013 වසරේ අග්‍රාමාත්‍ය සාහිත්‍ය සම්මානය ද දිනා ගත්තාය. 

ඇය සිය නිර්මාණයන් සඳහා ශ්‍රී ලංකාව පදනම් කරගන්නා බැව් පෙනේ. ‛ද හැමිල්ටන් කේස්’ මෙන්ම මෙවර ඇය සම්මානය දිනාගත් ‛ක්වෙස්චන්ස් ඔෆ් ට්‍රැවල්’ නවකතාව ද ඊට නිදසුන් වේ. ‛ක්වෙස්චන්ස් ඔෆ් ට්‍රැවල්’ නවකතාවේ ප්‍රධාන චරිත දෙක වන ලෝරා සහ රවී අතුරින් ‛රවී’ යනු ශ්‍රී ලාංකික චරිතයකි. සරණාගතයකු වන රවී යනු රැකියාවක් සොයා නීති විරෝධී ක්‍රම ඔස්සේ ඕස්ට්‍රේලියාවට ඇතුළුවන්නට උත්සාහකරනා දහසක් මිනිසුන් අතුරින් එක් අයෙකි. මිනිස්සු විවිධ හේතූන් නිසා සංචාරයේ යෙදෙති. ඇතැමෙක් විනෝදය උදෙසා සංචාරය කරති. ඇතැමෙක් ව්‍යාපාරික කටයුතු සඳහා ද, ඇතැමෙක් ඥාතීන් බැහැදැකීම සඳහා ද සංචාරයේ යෙදෙති. නමුත් මේ නවකතාවේ රවී යනු එවැනි අරමුණක් වෙනුවෙන් සංචාරය යෙදෙන්නෙක් නොවේ. ඔහු එසේ කරන්නේ ජීවත්වන්නට වෙනත් මඟක් නොමැති බැවිනි. ඔහු සරණාගයකු ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළුවී එහි යම්කිසි රැකියාවක් සොයාගැනීමේ සිහිනය දකිනා තරුණයෙකි. 

අග්‍රාමාත්‍ය සම්මාන උළෙලේදී ඇයද ඇතුළුව නිර්මාණකරුවන් සය දෙනෙකු සම්මානයට පාත්‍ර විය. මෙහි මැදින් සිටින්නී මිචෙල් ය. 

මෙම නවකතාව 2013 වසරේ අග්‍රාමාත්‍ය සම්මානය ද හිමිකර ගත්ත ද එම අවස්ථාවට සහභාගීවන්නට ඕස්ට්‍රේලියානු අගමැතිවරයා  බ්‍රිස්බේන් නුවර සිටියේ නැත. එයට හේතුව වශයෙන් සැළකෙන්නේ ඇය මෙම නවකතාවෙන් අගමැතිවරයා සරණාගතයින් වෙනුවෙන් පනවා ඇති ප්‍රතිපත්තීන් දැඩිලෙස විවේචනය කොට ඇති නිසා බැව් සැළකේ. 
මිචෙල් මෙසේ පවසන්නී ය. 

“මගේ නවකතාව හොවාර්ඩ් අගමැතිවරයාගේ සමය පසුබිම්කොටගෙන ලියැවී තිබෙනවා. හොවාර්ඩ් අගමැතිවරයාගේ රජය සරණාගතයින්ට සැළකූ පහත් අන්දම පිළිබඳ කෝපයත්, දුකත් මේ නවකතාවෙන් පිළිබිඹුවෙනවා. වර්තමාන අගමැතිවරයා ද එයට වඩා වෙනසක් නැහැ. මම ඔහුගේ ප්‍රතිපත්තීන්වලට ද දැඩිව පහර ගසන්නට මෙයින් උත්සාහ ගත්තා. ඔහුගේ ප්‍රතිපත්තීන් වැරදි බව ඔහුගේ හෘදසාක්ෂිය දන්නා බව මට සැකයක් නැහැ” 

කෙසේ මුත් ඕස්ට්‍රේලියාවේ නවකතාවලට සම්මාන ලබාදීමේ දී විනිශ්චය මණ්ඩලය අපක්ෂපාතීව කටයුතුකරනා බැව් මෙම සිද්ධියෙන්ම පැහැදිලි වේ. අප රටේ නම් රජයේ ප්‍රතිපත්තිවලට පහර දෙමින් කරන ලද මොනයම් හෝ නිර්මාණයකට රජායේ අනුග්‍රහයෙන්ම සම්මානයක් ලබාදීම කිසිදු දිනෙක සිදු නොවන්නකි. නමුත් අගමැතිවරයාගේ නමින් පැවැත්වෙන සම්මානයක් සඳහා අගමැතිවරයාගේ ප්‍රතිපත්තීන් විවේචනය කළ නවකතාවක් තෝරාගැනීම සුවිශේෂී කරුණකි. 

- රැජින 2013-09-27



දිරියෙන් ජීවිතය ජයගන්නා ‘දිරිය දියණි‘ - Diriya Diyani alias The Great Merchant


කොරියානු ටෙලි නාට්‍යවලට ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා තුළ කෙතරම් ඇල්මක් ඇතිදැයි පෙනෙන්නේ රූපවාහිනි ආයතන විසින් අප රටේ විකාශනය කරන්නට එවැනි ඒවාම වැඩි වශයෙන් තෝරාගන්නා විටදී ය. මුළින්ම අප හමුවට ‛සුජාත දියණි’ පැමිණි අතර පසුව ‛අභීත දියණි’ පැමිණියා ය. දැන් තවත් දියණියක අපගේ ආලින්දය සරසවන්නට පැමිණ තිබේ. ඒ ‛දිරිය දියණි’යයි. මුල්ම දියණියන් දෙදෙනාගෙන් පසුව ජාතික රූපවාහිනිය  ‛මායාවරුන්ගේ ලෝකය’ නමින් චීන ටෙලි නාට්‍යයක් විකාශනය කළ ද එයට වඩා ‛දිරිය දියණි’ කෙරෙහි ප්‍රේක්ෂක ආදරය ඉහළ බැව් පෙනෙන්ට තිබේ. ඒ නිසාම ඔවුහු මේ පිළිබඳ තොරතුරු සොයන්නට ද උනන්දුවෙන් පසුවෙති. මේ සටහන තැබෙන්නේ එසේ උනන්දුවන සියලු දෙනා වෙනුවෙනි. 

‛දිරිය දියණී’ නමින් විකානය වෙමින් පවතින්නේ The Great Merchant  මින් ඉංග්‍රීසි බසින් හැඳින්වෙන කොරියානු ටෙලි නාට්‍යයයි. එහි කොරියානු නම වන්නේ ‛ගියොසාන්ග් ගිම් මැන්ඩියොක්’ යන්නයි. 2010 වසරේදී මුළින්ම කොරියාවේ විකාශනය වූ මෙය ද ඓතිහාසික පුරාවෘතයක් වටා ගෙතුණකි. 2010 මාර්තු 6 වැනිදා සිට එම වසරේම ජුනි 13 වැනිදා දක්වා සෙනසුරාදා සහ ඉරිදා දිනවල විකාශනය කෙරුණු මෙහි කොටස් 30කින් සමන්විත විය. නමුත් ජාතික රූපවාහිනිය මෙය කොටස් 50කට කඩා විකාශනය කරන්නට සැළසුම්කොට ඇති බැව් දැනගන්නට ලැබිණි. 

ක්‍රි.ව. 1730 - 1812 අතර සමයේ කොරියාවේ ජීවත් වූ කිම් මැන්-ඩියොක් ගේ ජීවිත කතාව මේ සඳහා පදනම් වී තිබේ. කොරියාවේ ජේජු දූපතේ දී කිම් උපන්නේ කාත් කවුරුවත් නොමැති දැරියක ලෙසිනි. කොරියාවේ කේසියොන්ග් නමින් හැඳින්වෙන වෛශ්‍යාවන් කොට්ඨාශයක් වෙසෙන නිවසක ඇය හැදී වැඩෙයි. කේසියොන්ග් නමැති වෛශ්‍යාවන් යනු කොරියාවේ රජවරු සහ අනෙකුත් පාලක පංතියේ කම්සැප පිනවීම සඳහා සේවයේ නියුක්ත වූ කාන්තාවන් පිරිසකි. මෙය රජයේ අනුග්‍රහයෙන් වෘත්තියක් ලෙස පවත්වාගන යනු ලැබූවකි. අද ද මේ නමින් ව්‍යෛාවන් කොරියාවේ සිටිනා නමුත් එය ඉතිහාසයේ සිටි කේසියොන්ග් කාන්තාවන් නම් නොවේ. ඔවුන්ගේ හුදෙක් සංචාරකයන් පිනවීම සඳහා සිය වෘත්තිය වෙනුවෙන් යටකී ඓතිහාසික නාමය අළෙවි කරමින් පසුවන කාන්තාවක් පිරිසක් පමණි. 

වයස අවුරුදු 12 දී කිම් ද රජයේ කේසියොන්ග් තනතුරක් ලබාගන්නී ය. තමා සතුව ඇති ව්‍යාපාරික හා වෙළෙඳ දැනුම පිළිබඳ ඉවක් තිබූ ඇය මෙම දූපතේ සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් බවට පත්වෙයි. 
වර්ෂ 1795 දී ජේජු දූපත දරුණු දුර්භික්ෂයකට මුහුණ දෙයි. ඒ ජියොන්ග්ජෝ රජුගේ 19 වැනි වසරයි. මේ අවස්ථාවේ දී දුර්භික්ෂයෙන් විපතට පත් මිලියන ගණනකගේ ජීවිත රැකගැනීම සඳහා කිම් තමා සතු ධනයෙන් 99%ක්ම වියදම් කරයි. ඇය වියදම් කළ මුදගේ වර්තමාන වටිනාකම වොන් බිලියන 70ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. වෛශ්‍යාවකගේ ජීවිතයක් ගතකරමින් ජීවිතයේ ඉහළ තැනකට පැමිණ මිලියන ගණනකගේ ජීවිත ගළවාගත් ඇය කොරියානු විදවතුන්ගේ හා දාර්ශනිකයන්ගේ ඉමහත් ගෞරවාදාරයට ලක් වූ චරිතයක් බවට පත් විය. ජේජු දූපත යනු එම සමයේ දී අනාථයන් හැදෙන වැඩෙන ස්ථානයක් ලෙස ප්‍රකටව පැවතිණි. 

මෙහි කතා සාරාංශය කෙටියෙන් මෙසේ වෙයි. 

කිම් උපත ලබන්නේ ජේජු දූපතේ සේවය කරනා හැනියෝ නම් කාන්තා කිමිදුම්කාරියක වූ ‛යි එයුන් හොන්ග්’ ට ය. මෙම දූපතට පැමිණි රජයේ නිලධරයකු සමඟ ඇතිවන හාදකමක් ප්‍රතිඵලයක් ලෙසින් ඇය උපත ලබයි. ඉපදෙන විට ඇයට නම තැබෙන්නේ ‛යි හොන්ග්’ ලෙසිනි. කිම් ගේ මව කිසිවිටෙක තමා සමඟ හාද වූ රජයේ නිලධරාගේ නම හෙළිකරන්නේ නැත. එයට හේතුව ඔහු මේ කළ ක්‍රියාව වෙනුවෙන් රජයේ දඬුවම් හිමිවනු ඇතැයි දැනුණු බිය නිසාය. කිම් ඉපදීමත් සමඟම වාගේ ඇගේ මව මිය යයි. ඇය මිය යන්කේ කිම් අතෙහි බටනලාවක් රඳවමිනි. ඒ යම් දිනෙක ඇයට සිය පියා සොයාගන්නට ඇයට දුන් රහස්  සංකේතයකි. 

අනාථවන කිම් හදාවඩා ගැනෙන වෛශ්‍යාව ඇය විසින් හඳුන්වනු ලබන්නේ ‛හැල්-මී’ වශයෙනි. එහි අරුත වන්නේ ‛මිත්තණිය’ වැන්නකි. ඇය තමාගේ පුහුණු මධ්‍යස්ථානයේ සිටිනා මෙවැනි බොහෝ දරුවනට අනාගත ජීවිතය ජයගන්නට විවිධ දක්ෂතා පුහුණු කරවයි. මෙම පුහුණු මධ්‍යස්ථානයේ ගතවී යන සමයේ කිම් හට ‛ජුන්ග් ඩෝ-වූන්ග්’ නම් කොරියානු දේශපාලන බලවතකුගේ පුතකු වන ‛ජුන්ග් හොන්ග් සූ’ හමුවෙයි. 

හදිසියේම මිත්තණියගේ ජීවිතයට කරදරකාරී කාලයක් උදාවෙයි. කිම් ට හා මිත්තණියට වෙන්ව වාසය කරන්නට සිදුවන මුත් ඔවුන් යම් අවස්ථාවක හමුවන්නට සපථ කරගනියි. කෙසේ නමුත් ඔවුන් ජේජු දූපතේ ව්‍යාපාරික තරුණයකු වූ ‛කැන්ග් යූ-ජි’ සමඟ පවත්වන සම්බන්ධතාවයක ප්‍රතිපළයක් ලෙස ඔවුන් දෙදෙනාට සිරගතවන්නට සිදුවෙයි. 

මෙසේ ගෙවී යන කරදරකාරී සත්වසරකට පසුව හැල්-මී, කිම් සොයා පැමිණ ඇය රජයේ වෛශ්‍යාවන්ගේ ලැයිස්තුවෙන් ඉවත්කරගැනීමට වෙහෙසෙයි. මේ අතරතුරේ හැල්-මී ට කිම් ගේ සැබෑ මව හමුවන අතර, ඔවුන් අතර සිදුවන යම් සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස කිම් ගේ සැබෑ මව මිය යයි. කිම් ගේ පියා ජේජු දූපතට පැමිණෙන්නේ මීට ආසන්න කාලයක ය. ඔහු තමාට දියණියක් උපන් බව එහිදී දැන ඇය සොයා යයි. නමුත් ඇය තම දියණිය බැව් ප්‍රසිද්ධියට පත්කරන්නට නොහැකි බැවින්  ඔහු ඇයට සිය උපත පිළිබඳ නීත්‍යානුකුළ ලියවිල්ලක් සකස්කොට භාර දෙයි. එහි ඇගේ නම් සඳහන් වන්නේ ‛කිම් මැන්-ඩියොක්’ ලෙසිනි. 

ඇගේ ජීවිතයට වාසනාව උදාවන්නට පටන් ගැනෙන්නේ ඉන් අනතුරුව ය. ඇය ව්‍යාපාරික වශයෙන්  ඉතා දියුණු තත්වයට පත් වෙයි. ජේජු දූපතේ දුර්භික්ෂයෙන් ජීවිත මිලියන ගණනක් ගළවාගැන්මට ගෞරව කිරීමක් ලෙස ‛ජියොන්ග්ජෝ’ රජු ඇයට නම්බු නාම ප්‍රදානය කරයි. 

මෙහි කිම්ගේ චරිතයට පණ පොවන්නේ ‛ලී මි-යිවොන්’ නම් කොරියානු නිළියයි. දැනට 41 වැනි වියෙහි පසුවන ඇය සම්මාන රැසක් හිමිකරගත් දක්ෂ සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියකි. කිම් ජින් සුක් හා කැන්ග් ඩා- යන්ග් විසින් රචනා රන ලද මෙහි තිරපිටපත අධ්‍යක්ෂණය කොට ඇත්තේ කැන්ග් බ්‍යුන්ග්-ටේක් හා කිම් සුන්ග්-යූන් විසිනි. 

වෛශ්‍යාවක ලෙසින් ජීවිතය ආරම්භ කෙරුණ ද උත්සාහයෙන් ජීවිතය ජයගෙන තමා සතු සියලු වස්තුව මිනිසුන් වෙනුවෙන් පරිත්‍යාග කළ කාන්තාවක ලෙසින් කිම් ගේ චරිතය කොරියාව තුළ ඉතිහාස ගතවී තිබේ. ජීවිතය ජයගන්නට වෙහෙස වන මිනිසුන් හා ගැහැණුන් වෙනුවෙන් මෙය අත්වැලක් වනු ඇතැයි මෙහි නිර්මාපකයෝ විශ්වාස කරති. 

- රැජින 2013-09-27



Wednesday, September 11, 2013

මුහුණ සුදුකරන ක්‍රීම්වල අහිතකර පැත්ත - Bad Effects of Whitening Creams


කාන්තාවන් යනු උපතින්ම රූමත්බවට කැමැත්තක් දක්වන පිරිසකි. ඒ නිසාම ඔවුහු සිය රූ සපුව වර්ධණය කරගැනීම සඳහා කළහැකි සියලු දේ කරති. සිය පෙනුම පිළිබඳ සැළකිලිමත්වන්නා වූ කාන්තාවන් බොහෝ දෙනෙකුට ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ සිය සමේ පැහැයයි. සියලු දෙනාම පාහේ පිළිගන්නා දෙයක් වන්නේ රූමත්වන්නට නම් තමාගේ සමේ වර්ණය ද සිත්කලු විය යුතු බවයි. සිත්කලු පැහැය ලෙස බොහෝ දෙනෙකු සිතන්නේ සුදු පැහැය යි. කලු සම ඇත්තවුන් කෙරෙහි ඇති අවධානයට වඩා සුදු සම ඇත්තවුන් කෙරෙහි ඇති අවධානය වැඩි බව අපට පෙනෙන්නට ඇති දෙයකි. මෙයට හේතුව සුදු යනු රූමත් බවේ ලක්ෂණයත් බවත් කලු යනු අවලස්සන බවේ ලක්ෂණයක් බවත්   සමාජයේ මුල්බැසගෙන ඇති පිළිගැනීමයි. රූමත් කලු තරුණියන් කොතෙකුත් සිටිය ද සුදු තරුණියක්  හමුවේ ඔවුහු පරාජයට පත්වන තරමට මේ පිළිගැනීම ප්‍රබල වේ. ‛කලු කෙල්ලන් හැඩයි’ යනුවෙන් පත්තර පිටු පිරවූව ද මෙය ඒත්තු ගන්නවන්නට අති දුෂ්කර වී තිබේ. මේ නිසාම කලු සම ඇති තරුණියෝ සිය සමෙහි වර්ණය සුදු පැහැ කරගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරති. මේ අතුරින් ජනප්‍රියතම හා ලාභදායීම ක්‍රමය වන්නේ සුදු පැහැය ලබාදෙන ක්‍රීම් වර්ගයන් ය. මේවා ‛ෆෙයාර්නස්’, ‛බ්ලීචින්’ හෝ ‛ස්කින් ලයිටින්’ වැනි නම්වලින් හැඳින්වේ. සිංහලෙන් මේවා පොදුවේ හඳුන්වනු ලබන්නේ ‛සම පැහැපත් කරන්නා වූ ක්‍රීම්’ වශයෙනි. මෙයට ‛පැහැපත්’ යන වදන යෙදීම වැරදි වුව ද සම සුදුපැහැ කරගැනීම පසුපස හැල්මේ දුවන්නා වූ තරුණියන්ට වචනවල තේරුමෙන් ඇති වැඩක් නැත. මෙම ක්‍රීම් වර්ග භාවිතයෙන් සමෙහි වර්ණය සුදු පැහැයට හැරෙන්නට පුළුවන් වුව ද එයට වඩා භයානක සත්‍යයක් මේවා පිටුපස සැඟවී ඇති බව සඳහන් කළ යුතුය. අප කතා කරන්නට සැරසෙන්නේ ඒ පිළිබඳවය. 

අප ජීවත්වන ආසියානු කලාපයේ වැසියන්ගේ සම වඩාත් සංයුක්ත ස්වභාවයකින් යුක්ත වේ. එයට හේතුව අප සමෙහි සුදු පැහැ සමක් ඇති පුද්ගලයනට වඩා වැඩි මෙලනින් සංයුතියකින් පැවතීමය. වැඩි වශයෙන් සූර්යාලෝකයට නිරාවරණය වන බැවින් ආසියානුවන්ගේ සමට මෙලනින් අත්‍යවශ්‍ය සාධකයකි. නමුත් මේ සමෙහි වර්ණයට අකැමති බැවින් සම හැකිතාක් සුදු පැහැගන්වන්නට උත්සාහ කිරීමේදී භාවිත කරන්නා වූ විවිධ ෆෙයාර්නස් ක්‍රීම් නිසා මෙම ස්වභාවික මෙලනින් සංයුතිය අඩු වී යයි. එමපණක් නොව මෙම ක්‍රීම්වල අඩංගු විවිධ රසායන ද්‍රව්‍ය අප සම මත විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙයි. සම සුදු පැහැ කිරීම සඳහා වෙළෙඳ පලේ මිලට ගැනීමට ඇති ක්‍රීම් වර්ග බොහොමයක පහත සඳහන් රසායන ද්‍රව්‍ය අඩංගු වේ. 

හයිඩ්‍රෝක්‍යුනන් (Hydroquinon
මේවා සම සුදු පැහැකරගැනීම සදහා පමණක් නොව දළ සේයාපට කර්මානතයේදී ද යොදා ගැනේ. එමෙන්ම විවිධ රූපලාවන්‍ය ද්‍රව්‍යවල, හිසකේ ඩයි ආදියේ ද අඩංගු වේ. නමුත් භයානකකම වන්නේ මෙය මෙය පිළිකා කාරකයක් වීමය. එමෙන්ම ස්වසන රෝගවලට ද හේතුවකි. මෙය බොහෝ බටහිර රටවල තහනම් කරනු ලැබූව ද ආසියානු කලාපයේ නම් තවමත් භාවිත කරනු පෙනේ. 

රසදිය 
සම සුදු පැහැ කරගැනීම සදහා ඇති බොහෝ ක්‍රීම් වර්ගවල රසදිය දක්නට ලැබේ. බොහෝ විට ඒ සඳහා යොදාගනු ලබන්නේ රසදිය ක්ලෝරයිඩ් සහ ඇමොනියාකරණය කළ රසදිය වේ. මේ සියල්ල පිළිකාකාරක වේ. මෙහි විෂ බව කොතෙක් ද යත් ස්නායු හා වකුගඩු ආබාධ පවා ඇතිවන්නට ඇති ඉඩකඩ වැඩි ය.  මානසික අසමබරතාවය මෙන්ම මේවා කාලයක් භාවිත කළ කාන්තාවන්ට උපදින දරුවන්ගේ උපතේදී ආබාධ තත්වයන් ඇති කරන්නට ද හේතු වේ. 

ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ලය (Alpha Hydroxy Acids
මේවා බොහෝ විට දැකිය හැක්කේ මුහුණේ සම සුදු කරගැනීම සඳහා විශේෂයෙන් නිෂ්පාදය කොට ඇති ක්‍රීම්වර්ගවලය. විශේෂඥ උපදෙස්වලින් තොරව භාවිත කිරීම භයානක ය. නිතර භාවිතයට ද සුදුසු නොවේ. 

ආර්සනික් (Arsenic
මෙය අපට නිතර ඇසෙන වදනකි. මෙය අධික විෂෙන් යුක්ත වුව ද ඇතැම් ක්‍රීම්වර්ග සදහා මෙය භාවිතකරනු  දැකිය හැකි වේ. 

හයිඩ්‍රොක්‍යුනන් හෝ රසදිය හිරු එළිය හමුවේ සම මතුපිට ක්‍රියා කිරීමේ දී සිදුවන්නේ මේවා ප්‍රති-ඔක්සිකරණයකට ලක්කිරීම වන අතර අවසානයේ සිදුවන්නේ කල්ගතවත්ම සමෙහි ලප හට ගැනීම හා අකාලයේ සම වියපත්වීමය. එමෙන්ම සමෙහි ඇති ස්වභාවික ආරක්ෂක ස්ථරය ද තුරන්ව යයි. ස්වභාවික මෙලනින් තුරන්ව යාමේ ප්‍රතිඵලය වන්නේ කල්ගතවත්ම සමෙහි පිළිකා හටගැනීම ය. එමෙන්ම හයිඩ්‍රොක්‍යුනන් හේතුවෙන් සමෙහි ඇති කොලැජන් ස්ථරය ඝනබවින් වැඩි වී සම්බන්ධක පටක හානියට පත්වෙයි. ප්‍රතිඵලය වන්නේ පැල්ලම් සහිත සමක් ඇතිවීමය. 

රසදිය නිතර සම සමඟ ක්‍රියාත්මකවීමේදී වන්නේ ස්වභාවික පැහැය තුරන්ව යාම මෙන්ම නැවෙන ස්ථානවල ඇති සමෙහි කලු ලප ඇතිවීමය. දීර්ඝ කාලීන වශයෙන් අක්මාවේ හා වකුගඩුවල ක්‍රියාකාරීත්වය අකර්මන්‍යවීමය. සම සුදු පැහැගන්වන යම් නිෂ්පාදනයක් භාවිත කිරීමෙන් පසු ඔබ හිරු එළියෙන් ආරක්ෂා වූයේ නැත්නම් අවසානයේ සිදුවන්නේ සමෙහි මෙලනින් ද නැති බැවින් පැවතියාට ද වඩා සමෙහි වර්ණය කලු වීමය.  ඇතැම්විට ඔබ සම සුදු පැහැ කරගැනීම සදහා භාවිත කරන්නේ බටහිර රටවල නිෂ්පාදන වන්නට පුළුවන. මන්ද මේ සඳහන් කළ රසායන ද්‍රව්‍ය බොහොමයක් ඒ රටවල තහනමට ලක්වී තිබීමය. නමුත් ඒ රටවල්වලින් කරනා විශේෂ අවවාදය වන්නේ මේවා අඩංගු රූපලාවන්‍ය ද්‍රව්‍ය එම වෙළෙඳපළට ඇතුළුවීම වළක්වාලන්නට හැකියාවක් නැති බව ය. එබැවින් මේවා භාවිත කිරීමට පෙර එහි අඩංගු ද්‍රව්‍ය මොනවාදැයි  හොඳින් කියවා බැලිය යුතුවේ. විශේෂයෙන් අන්තර්ජාලය හරහා මෙවැනි ද්‍රව්‍ය මිලදී ගැනීමේදී වඩාත් සැළකිළිමත් විය යුතු වේ. 

සම සුදුපැහැකරගැනීම සඳහා නිෂ්පාදනය කොට ඇති ඇතැම් ද්‍රව්‍යවල අඩංගු රසායනිකයන් නිසා ඇතැම්විට මතුවන්නේ අප බලාපොරොත්තුවන අන්දමේ රෝග පමණක් නොවේ. එක් අවස්ථාවක වෛද්‍යවරයෙකු හමුවන්නට පැමිණි රෝගියකු පැවසූයේ තමාගේ බර සීග්‍ර ලෙස වර්ධණය වෙමින් පවතින බවය. අවසනයේ මෙයට හේතුව වූයේ සම සුදුපැහැකරගැනීම සඳහා ඇති ක්‍රීම් වර්ගයක අඩංගු රසායනිකයක් බව සොයාගත්තේ බොහෝ පරීක්ෂණ කිරීමෙන් අනතුරුවය. අප රටෙහි තරුණියක් අතර ජනප්‍රිය මෙවැනි ක්‍රීම් වර්ග බොහොමයක් නිපදවන්නේ ඉන්දියාවේය. නමුත් ඉන්දියාවේ හා පාකිස්ථානයේ නිෂ්පාදනය කරන්නා වූ සම සුදුපැහැ කිරීමේ ක්‍රීම්වල විෂ රසායනික සංයුතිය අධික බැව් පර්යේෂණවලින් සනාථ වී තිබේ. 
මෙවැනි ක්‍රීම් වර්ග භාවිතයෙන් ලබාගන්නා සුදු පැහැය ද ජීවිත කාලය පුරාම එකසේ පවතින්නක් නොවේ. එය කෙටිකාලීනය. අවසානයේ ඔබට ඉතිරිවන්නේ අඩපණ වූ සමකි. එය ඔබට උපතින් ලැබුණු සම තරම් සෞඛ්‍ය සම්පන්න වන්නේ නැත. ඇතැම්විට ඔබ රෝග කිසිවකට ලක්නොවී සිටිය හැක. නමුත් නිසැක ලෙසම සඳහන් කළ හැක්කේ මේ ක්‍රීම් වර්ගවලින් ඔබේ සමට අයහපතක් විනා යහපතක් නම් කිසිදා සිදුවන්නේ නැති බවය. එබැවින් උපතින් කලු කෙල්ලක් ව ඉපිද එසේම ජීවත්වීම ක්ෂණික සුදු කෙල්ලක් වනවාට වඩා අගනේය. 

- රැජින පුවත්පත 2013-09-13