පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, August 25, 2017

ධනුෂ්ගේ අලුත්ම චිත්‍රපටිය ‛වේලයිල්ලා පට්ටධාරි 2’ (Velaiilla Pattadhari 2) හෙවත් වී. අයි. පී. 2


කුමක් හෝ හේතුවක් නිසා විශේෂත්වයක් ඇති දෙමළ චිත්‍රපටයක් මරදානේ සිනේ සිටියේ පෙන්වනවා නම් එදාට ඒ හරියේ උදේ පාන්දර හතේ විතර ඉඳන් සෙනග. ඇතැම් අවස්ථාවල දී පාරේ වාහන තදබදයක් ඇතිවෙන්නත් මේ වගේ චිත්‍රපටියක් බලපානවා. අගෝස්තු මාසේ 24 වැනිදාත් එවැනි දවසක්. එයට හේතුව දකුණු ඉන්දියාවේ සුප්‍රකට රංගන ශිල්පියකු වන ධනුෂ්ගේ වේලයිල්ලා පට්ටධාරි 2’ හෙවත් වී. අයි. පී. 2 චිත්‍රපටය අපේ රටේ ප්‍රදර්ශනය කිරීම එදින ආරම්භ කළ නිසයි. සාමාන්‍යයෙන් සුපිරි රංගන ශිල්පියකුගේ දෙමළ චිත්‍රපටයක් අපේ රටේ තිරගත වෙනවා නම් ප්‍රේක්ෂකයන්ගේ හැසිරීම මේ විදිය තමයි. මේ චිත්‍රපටයේ ඇති විශේෂත්වය වන්නේ මෙහි බොලිවුඩ් සිනමාවේ සුප්‍රකට රංගන ශිල්පිනියක වන කාජල් ද ප්‍රධාන චරිතයකට පණ පෙවීමයි. මේ නිසාම අද මේ ගැන කතා කරන එක වඩා හොඳයි කියා හිතුවා.



වේලයිල්ලා පට්ටධාරිකියන්නේ රැකියාවක් නොමැති උපාධිධාරියාකියන තේරුම ඇති වැකියක්. කොහොම වුනත් මේ චිත්‍රපටය තිරගත වෙන්නටත් පෙර සිටම ප්‍රසිද්ධි වෙලා .තිබුණේ වී. අයි. පී. 2’ නමින්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සෞන්දර්යා රජිනිකාන්ත්. නමින් මේ කවුද කියලා යම් අවබෝධයක් ලබාගන්න පුළුවන්. ඇය සුපිරි දකුණු ඉන්දියානු රංගන ශිල්පියකු වන රජිනිකාන්ත්ගේ දියණියක්. ධනුෂ්ගේ නෑනා. ඒ නිසා මේක ටිකක් පවුලේ චිත්‍රපටයක් වගේ කිව්වත් වැරදි නෑ. කොහොම වුනත් වර්ගීකරණයට අනුව නම් මෙය හාස්‍යය සපිරි පවුලේ කාටත් රසවිඳිය හැකි කතාවක් බවයි කිව හැක්කේ.



මේ චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය කරන්නට නියමිතව තිබුණේ පසුගිය ජූලි 28. එදාට තමයි ධනුෂ්ගේ උපන් දිනය යෙදී තිබුණේ. කොහොම වුනත් අවසානයේ මෙය ලොව පුරා ප්‍රදර්ශනය කෙරුණේ අගෝස්තු 11 වැනිදා යි.

අපි මේ චිත්‍රපටයේ කතාව ගැන ටිකක් හොයා බලමු.

මෙහි ධනුෂ් පණ පොවන්නේ රගුවාන් කියන චරිතයටයි. ඔහු අනීති කියන ඉදිකිරීමේ සමාගමෙන් වසරේ හොඳම ඉංජිනේරුවා කියන සම්මානය දිනා ගන්නවා. එහි ඒ තරම් කැපී පෙනෙන තනතුරක නොසිටි ඔහුට විධායක තනතුරක් දක්වා උසස් වීමක් ලැබෙනවා. ඔහුගේ බිරිඳ තමයි ෂලිනි. අමාලා පෝල් තමයි මේ චරිතය සඳහා දායක වන්නේ. ඇය තමයි ගෙදර හැම දේම වගේම රගුවාන්වත් පාලනය කරන්නේ. ඇය කියන දෙයින් පිට කිසිම දෙයක් කරන්න රගුවාන්ට අවසරය නැහැ.


මේ අතරේ තවත් දැවැන්ත ඉදිකිරීම් සමාගමක සභාපතිනිය වන වසූධරා (මේ චරිතය සඳහා පණ දෙන්නේ කාජල්) රගුවාන්ට තමන්ගේ ආයතනයේ සේවය කරන්නැයි ආරාධනා කරනවා. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කරනවා. මේ වැඩේ වසූධාරාට හිතට අමාරුයි.  ඇය මෙය අතහරින්නේ නැහැ. රගුවාන්ගේ පස්සෙන් දිගින් දිගටම පන්නනවා. රගුවාන්ට තමන්ගේ රැකියාව කරගන්න බැරි ආකාරයකට ඔහුට විවිධ උගුල් අටනවා.

මෙන්න මේ වගේ කතාවක් තමයි තියෙන්නේ. මේක දැන් අපේ රටේ ප්‍රදර්ශනය කරන නිසා කැමති කෙනෙක් ඉන්නවා නම් අන්තර්ජාලයෙන් පිටපතක් බාගත කරගන්න කලින් පුළුල් තිරයේම මෙය නරඹා රස විඳින්න පුලුවන්.




මිනිත්තු 129ක්, ඒ කියන්නේ පැය දෙකයි මිනිත්තු 9ක ධාවන කාලයක් සහිත මෙය දෙමළ වගේම හින්දි සහ තෙලුගු බසින් ද දෙබස් කවා ප්‍රදර්ශනය කරනවා. අනෙක් භාෂා දෙකටත් තමන්ගේ චරිතය වෙනුවෙන් දෙබස් කවන්නේ ධනුෂ්ම තමයි. මේ සඳහා ඉන්දියානු රුපියල් කෝටි 8ක් වියදම් වී ඇති අතර මේ වන විටත් ඉන්දියාවේ බොක්ස් ඔෆිස් වාර්තා බිද හෙළන ආදායමක් ලබා තිබෙනවා. 


Saturday, August 19, 2017

'පඩයක්' තරම්වත් ගණන් නොගන්නා පඩ ගෙඩි සහ පඩ වැල් (දැල් බටු)- Pada gedi alias Passiflora foetida

පඩ ගෙඩි


ප්‍රසිද්ධියේ කියන්න ටිකක් මොකක්ද වගේ වුනත් පඩ ගෙඩි සහ පඩ වැල් කියන්නේ කැලෑ බදට වෙන්න වැවෙන වැල් වර්ගයක්. කොහොම වුනත් මේ පින්තූර ටික නම් මම ගත්තේ අපේ ගෙවල් ළඟ වත්තක වැවුණු පඩ වැලකින්. මෙහි උද්භිද විද්‍යාත්මක නම Passiflora foetida. ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ Wild water melon නමින්. කැලෑවල්වලදී පිපාසය නිවන පලතුරක් බව ඒ නමින්ම හඳුනා ගන්නට පුළුවන්. මේ ප්‍රසිද්ධ නමට අමතරව wild maracuja, bush passion fruit, marya-marya,  stinking passionflower, love-in-a-mist සහ running pop කියන නම්වලිනුත් මෙය හඳුන්වන බව සඳහන් කළේ නැත්නම් ඒක අඩුවක්. මේවාට 'දැල් බටු' කියා කියන බවත් මේ බ්ලොග් එකට කොමෙන්ටුවක් දාපු jay-c z කියලා තිබුණා. හොයලා බැලුවාම ඒක ඇත්ත. ඒ නිසා මම ඒ නමත් මෙතනට එකතු කරලා පෝස්ටුව යාවත්කාලීන කළා.


පඩ වැල්

මෙය අප කවුරුත් දන්න හඳුනන පැෂන් පවුලට අයිති වැල් වර්ගයක්. ඒක පැහැදිලි වෙන්නේ පඩ ගෙඩි සහ පැෂන් ෆෘට්වල කුලය නිසයි. මේ දෙකේම කුලය වෙන්නේ Passifloraceae. එවැනි විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නොකළත් මේ පඩ ගෙඩියක් කපා බැලූ විට පැෂන් ෆෘට් සහ පඩ ගෙඩි එකම කුලයේ බව හොඳින් පැහැදිලි වෙනවා. නමුත් ප්‍රමාණයෙන් නම් අසමානයි. පඩ ගෙඩියක් සාමාන්‍යයෙන් පිංපොං බෝලයක ප්‍රමාණයකින් යුක්තයි. නමුත් පැෂන් එයට වඩා  විශාලයි. ඒ වගේම පඩ මල් සහ පැෂන් ෆෘට් මල් පෙනුමින් එක සමානයි. 




පඩ ගෙඩි වැලේ පවතින්නේ දැලක් වැනි අපූරු ස්වාභාවික වියමනකට මැදි වෙලා. කොහොම වුනත් වැඩි දෙනෙක් නොදන්නා නිසාත් පඩ ගෙඩි ගැන වැඩි විස්තරයක් වැඩි දෙනෙක් කතා කරලා තියෙනවා දැකලා නැති නිසාත් මේ ගැන ටිකක කතා කරන එක හොඳයි කියලා හිතුවා.



කැලෑ බදට වෙන්න වැවෙන නිසාත්, අද කාලේ කෑමට අප විසින්ම නියම කර ගත් වෙනත් පලතුරු වර්ග බොහෝ තිබෙන නිසාත් ඉදුණු පඩ ගෙඩි කියන්නේ රසවත් වගේම ගුණවත් පලතුරක් කියන එක බොහෝ දෙනෙක් අමතක කරලා. ඉදිරි පරම්පරාවන්ට මේ වැලක් තබා නමක් හෝ අමතක වී යන්න තියෙන ඉඩකඩ බොහෝ වැඩියි. නිවාස ගොඩනැගීම සඳහා ගෙවතු සකස් කිරීමේ දී මෙවැනි 'වල් පැලෑටි' කපා දමා විනාශ කරන්නේ මෙහි ඇති ගුණාත්මක බව පිළිබඳ කිසිදු වැටහීමක් නැති නිසයි.

Ayurvedic Medicinal Plants of Sri Lanka  කියන ආයතනයේ වෙබ් අඩවියට අනුව මෙය අප රටට ආවේණික ශාකයක් වුනත් විකිපිඩීයාවේ කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනත් දෙයක්. එහි සඳහන් වන අන්දමට මෙය නිරිත දිග ඇමරිකාව (දකුණු ටෙක්සාස් සහ ඇරිසෝනා), මෙක්සිකෝව, කැරිබියන් දූපත්, මධ්‍යම ඇමරිකාව, සහ දකුණු ඇමරිකාව කියන ප්‍රදේශවලට ආවේණික ශාකයක්. පසුකාලීනව මෙය දකුණු ආසියාවට සහ හවායි වැනි ප්‍රදේශ ඇතුළුව ලොව පුරා බොහෝ රටවලට ව්‍යාප්ත කොට තිබෙනවා.


මෙහි ගෙඩි මෙන්ම ලපටි කොලත් ආහාරයට ගනු ලබනවා. කෙසේ නමුත් ඊසාන දිග බ්‍රසීලයේ ගොවීන් කළ පර්යේෂණයකින් පසුව නිවේදනය කළේ මෙහි පත්‍ර විෂ සහිත බවයි. විශේෂයෙන් වියලි කාලවලදී මෙහි පත්‍ර ආහාරයට ගැනීමෙන් ශරීරයට අධික ලෙස සයිනයිඩ් එකතුවන බව ඔවුන් සඳහන් කොට තිබෙනවා. කෙසේ නමුත් ගෙඩි පලතුරක් ලෙස ආහාරයට ගැනීමේ කිසිදු අහිතකර තත්වයක් නැහැ. නින්ද නොයාමේ රෝගයට පිළියමක් ලෙස වියට්නාමයේ මෙහි කොල වියලා ඖෂධයක් ලෙස භාවිත කරනවා.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මෙහි පත්‍ර සහ මුල් ඖෂධීය වටිනාකමකින් යුක්තයි. පෙණහැල්ලේ රෝගාබාධ, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග, උදර රෝග, ඉදිමුම්, රක්තවාතය, ඔසප්වීමේ අක්‍රමවත්භාවයන්, අපස්මාරය, වලිප්පුව, පක්ෂාඝාතය යන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධයක් ලෙස මෙය භාවිත කෙරෙනවා. එමෙන්ම ස්වාභාවික ගබ්සාවන්ට මුහුණ දෙන කාන්තාවන්ගේ එම තත්වය සමනය කිරීම, වේදනාව සමනය තිරීම, උණ ස්වභාවය පහත දැමීම ආදිය සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙසත් මෙය ප්‍රකටයි.


නම දුටු පමණින් පඩයක් තරම්වත් ගණන් නොගත්තත්, අප බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවී පවතින මේ පලතුර මෙන්ම ඖෂධය ඉදිරියේ දී අපගෙන් තව තවත් ඈත්ව යනවා නිසැකයි. ඔබ දැනුවත් නම් අප අවට ඇති, අප විසින් 'පඩයක්' තරමින් වත් ගණන් නොගන්නා තවත් ඖෂධීය පැළෑටි බොහෝ සොයා ගන්නට පුළුවන්. අනාගත ලෝකයට නිරෝගී මිනිසකු ලෙස පිවිසෙන්නට නම් සොබා දහම හඳුනා ගෙන එය ආරක්ෂා කරමින් එහි ජීව ගුණය අප තුළ තැන්පත් කර ගත යුතුයි. නමුත් සිදු වන්නේ එයමද?  

මේ ලිපියත් කියවන්න

වනේ වන පල වැල ගැන දන්නවාද?