කුඩා කාලයේ සිටම අප රටේ ප්‍රධාන
ආහාරය බත් යැයි පැවසුන ද මේ වන විට නිල නොලත් ප්‍රධාන ආහාරය බවට පත්ව තිබෙන්නේ
පාන්ය. අදින් වසර 30ක් ආපස්සට ගොස් බලන විට ද පාන් යනු අප ජන සමාජය තුළ සැලකිය යුතු
කාර්යභාරයක් ඉටුකළ ආහාරයක් බව පෙනේ. එයට හේතුව එම වසරේ ජනපති තරගයට ඉදිරිපත්ව සිට, අප රටේ ප්‍රථම විධායක ජනපතිනිය බවට පත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක
කුමාරතුංග ද සිය ඡන්ද පොරොන්දුවලින් එකක්
ලෙස ඉදිරිපත් කොට තිබුණේ පාන් ගෙඩියක් රුපියල් 3.50 දක්වා අඩු කරන බවය. ඒ වන විට
පාන් ගෙඩිය පැවැතියේ රුපියල් 5.50 කටය.
ශ්‍රී ලංකාවට පාන් හඳුන්වා දුන්නේ 16 වැනි සියවසේ දී පෘතුගිසීන් විසින් යැයි පැවසෙන අතර ඔවුන් පාන් කමින්
වයින් පානය කරන ආකාරය අප රටේ ස්වදේශිකයන් වාර්තා කොට තිබුණේ යැයි සඳහන් වන්නේ, ‘තිරුවාණා ගල් අනුභව කරමින් ලේ බොන පිරිසක්’ වශයෙනි. දෙවැනි ලෝක යුද්ධය
සමයේ දී අප රටේ සහල් නිෂ්පාදනය අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව අතර කෙමෙන් පාන්
ජනප්‍රිය වන්නට පටන් ගැනුණි. පසුකාලයේ දී ‘දුප්පතාගේ හිතවතා’ බවට පාන් පත් විය.
කෙසේ නමුත් සාපේක්ෂව මෑත කාලයේ දී අප රටේ ජනතාව අතර පාන් පරිභෝජනය ඉතා ශීඝ්‍ර
ලෙසින් වර්ධනය වී ඇති බවට වාර්තාවලින් හෙළිව තිබේ. ‘චූන් පාන්’ ව්‍යාපාරය මේ
කෙරෙහි ඉතා ප්‍රබල ලෙස බලපා ඇති බව පෙනේ. කලකට පෙර පාන් ගෙඩියක් මිලදී ගැනීම සඳහා
බේකරියකට හෝ වෙළෙඳ සලකට යාමට සිදුවූව ද, චූන් පාන් වාහනය මගින් නිවස අසලටම පාන් ගෙනැවිත් දෙන්නට පටන් ගැනීමත් සමග
වෙනදා පාන් නොකෑ අය ද පාන් කන්නට පෙළඹුනු බව පැහැදිලිය. මේ චූන් පාන් හඬ ඇසෙද්දී
ඉබේම පාන් කෑමේ කැමැත්තක් ඇති වීමේ ප්‍රවණතාවක් ඇති වී තිබේ. පාන් පරිභෝජනය මේ සා
වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව අතර තරබාරු බව, දියවැඩියාව ආදී විවිධ රෝග ද බහුල වෙමින් පවතින බව වෛද්‍යවරු පෙන්වා දී
තිබේ.
පෝෂණය පිරි ආහාර සඳහා මාධ්‍යයක් ලෙස පාන් භාවිතය
පාන් යනු අප රටේ ප්‍රධාන ආහාරය යැයි
නිල වශයෙන් පිළිගැනුණේ නැති වුව ද, බටහිර රටවල්
බොහොමයක ප්‍රධාන ආහාරය වන්නේ පාන්ය. එම රටවල ද තරබාරු සිරුරුවලින් යුක්ත සහ
දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන් ඕනෑතරම් දකින්නට සිටිය ද පාන් පරිභෝජනය නිසාම එවැනි
තත්ත්වයකට පත් වූයේ යැයි පැවසෙන්නේ නැත. එසේ නම් අප රටේ සෞඛ්‍ය ගැටලු ඇති කරන්නට
හේතුවන මුත් පාන්වලින් බටහිර රටවල ජනතාවට සෞඛ්‍ය ගැටලු ඇති නොකරන්නේ මන්ද යන
ගැටලුව නිතැතින්ම මතුවේ.
අප පරිප්පු හොද්දක්, අල හොද්දක් හෝ වෙනයම් වෑංජනයක් සමග පාන් භාගයක් හෝ ගෙඩියක් කෑමට ගත්ත ද
බටහිර ජාතිකයන්ගේ පාන් පරිභෝජනය එයට හාත්පසින්ම වෙනස්ය. ඔවුන්ගේ ප්‍රධාන ආහාරය
පාන් වුව ද, ඔවුන් එය යොදා ගන්නේ වඩාත් පෝෂ්‍යදායී ආහාර රැසක් ශරීරයට ලබා දෙන්නා වූ
මාධ්‍යයක් වශයෙනි. ඔවුහු පාන් සමග එළවළු, පලතුරු, මස්, මාළු ආදී තවත් බොහෝ දේ ආහාරයට ගනිති. පාන් ප්‍රධාන ආහාරය වුවද, ඇතැම්විට ශරීරයට ලැබෙන්නේ පාන්වලින් ලැබෙන පෝෂණයට වඩා වෙනත් පෝෂක කොටස්ය.
ඊට අමතරව පාන් නිසා ඔවුන්ගේ සෞඛ්‍යය දුර්වල නොවන්නට තවත් හේතු ගණනාවක්ම බලපායි.
බටහිර රටවල පාන් පරිභෝජනය කරන විවිධ ආකාර
අප රටේ පාන් නිෂ්පාදනය සඳහා බහුල
වශයෙන් යොදා ගන්නේ සම්පූර්ණයෙන්ම පිරිපහදු කළ තිරිඟු පිටි වුව ද බටහිර රටවල
නිවුඩ්ඩ සහිත පාන්පිටිවලින් සාදන ලද පාන් මිල දී ගැනීමේ හැකියාව තිබේ. එය අප
නිවුඩ්ඩ සහිත සහල් පරිභෝජනය කරනවා හා සමානය. මේ පිටි, අධික සැකසුම් ක්‍රියාවලියකට බඳුන් වී නැති බැවින් තිරිඟු පිටිවල තිබිය
යුතු සියලු පෝෂක කොටස් එහි අඩංගුය. සීනි සාන්ද්‍රනය ද, අප රටේ මිලට ගන්නට ඇති පිටිවලට වඩා බෙහෙවින් අඩුය.
අනෙක බටහිර ජාතීන් අතර ව්‍යායාම
කිරීම ද අපට වඩා බෙහෙවින් දකින්නට ලැබේ. එබැවින් යම් ආහාරයකින් ලැබෙන කැලරි, මේදය ආදිය අවම කරගන්නට ඒවා උපකාරී වේ. අපේ රටේ බොහෝ දෙනෙක් අතර ව්‍යායාම
පුරුද්ද දකින්නට ලැබෙන්නේ නැත. දැඩි ලෙස පිරිපහදු කළ පිටිවලින් තනන ලද පාන් බහුල
වශයෙන් පරිභෝජනය කොට ව්‍යායාම නොකර සිටීමේ ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය ගැටලු ඇති වීම
කිසිසේත්ම වළක්වා ගත හැක්කක් නොවේ.
අනෙක බොහෝ බටහිර රටවල සිය නිවසේදීම
පාන් පිළියෙල කරගනු දකින්නට ලැබේ. එවිට ඒ සඳහා ගනු ලබන පිටි වර්ගය, එයට එක් කරනු ලබන ලුණු ප්‍රමාණය, එයට එක් කළ හැකි අතිරේක පෝෂක කොටස් ප්‍රමාණය තීරණය කරන්නට හැකියාව ඔවුන්ට
ලැබේ. එය සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් ලබා ගැනීමට උපකාරී වේ.
අපේ රටේ ජනතාව පාන් පරිභෝජනය කරන
ආකාරය සහ පාන් ප්‍රධාන ආහාරයක් වූ බටහිර රටවල්වල ජනතාව පාන් පරිභෝජනය කරන ආකාරය
අතර ප්‍රධාන වෙනසක් පවතින බැව් ඔබට පැහැදිලි වන්නට ඇත. අප පාන් නිසා බොහෝ ලෙඩ
රෝගවලට ගොදුරු වන්නේත්,
බටහිර ජාතීන් එසේ නොවන්නේත් මන්දැයි
දැන් පැහැදිලිය. එබැවින් චූන් පාන් රථයෙන් අප දෙපා මුලටම පාන් රැගෙන ආවත් වඩාත්
කල්පනාකාරීව, සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත්වෙමින් පාන් පරිභෝජනය කළ හැකි නම් නීරෝගීවත්ව
සිටිමින් පාන් රස විඳගන්නට අප සියලු දෙනාටම හැකියාව ඇති බව සිහිකටයුතුය.