පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, February 27, 2016

හෙණ්ඩුවට බයේ නටන අලි



මේ දවස්වල අලි ගැන කතා කරන නිසා මටත් අලි ගැන කතා කරන්න හිතුණා. 

දැනට වසර කීපයකට කලින් සත්තු වත්තට ගිය වෙලාවක අලි නැටුම් බලන්න අවස්ථාවක් ලැබුණා. සත්තු වත්තට කීප වතාවක් ගිහින් තිබුණත් අලි නැටුමක් බලන්න ලැබුණේ එදා.  අලි නැටුම් බැලුවට පස්සේ බලපු මෝඩකම කියලා හිතුනේ මේ ඇත්ගොව්වෝ අලින්ව බය කරලා ඔවුන්ව ‛නටවන’ හැටි දකින කොටයි. ඒ නිසාම එයින් ටිකක් වීඩියෝ කළා. මේ ඇත්ගොව්වෝ අලි නටවන්න ඔවුන්ට හෙණ්ඩුවෙන් අනිමින් කොයි තරම් වදයක් දෙනවද කියලා ඕනම කෙනෙකුට තේරෙනවා. අලින්ව බලාගත්තත්, අලින්ට ආදරයක් නැත්තෙම ඇත් ගොව්වෝ කියලා හිතෙන්නේ මේ වෙලාවට. ඇත්තටම වැඩි විස්තරයක් කියන්න අවශ්‍ය නැහැ. මේ වීඩියෝ එක දකින කොට අලි මේ විදිහට ‛නටන්නේ’ ඇත්ගොව්වට ඇති බය නිසාම බව පේනවා. ඒත් අපේ රටේ වැඩි දෙනෙකුට තවමත් සත්ව හිංසාව කියන එක ගැන අවබෝධයක් නැති නිසා විසිල් ගසමින් මේවා බලලා ගෙදර යනවා. ඒත් අලි නැටුම් බලන්නේ නැහැ කියන මතයට මිනිස්සුන්ට එන්න පුළුවන් වුණු දවසක මේ අලිත් ටිකක් හරි නිදහසේ ඉඳීවි. ඒ වෙනුවෙන් සත්ව අවිහිංසාවාදීන්ට තව බොහෝ දේ කරන්න වේවි.

Thursday, February 25, 2016

ගණිකාවද? වෛශ්‍යාවද? ලිංගික සේවිකාවද?


අප රටේ පුවත්පතක පළ වූ එක් දැන්වීමකින් පැවසුනේ යම්කිසි වයෝවෘධ පුද්ගලයකු සිටී නම් ඔහුගේ/ ඇයගේ වැඩකටයුතු නොපිරිහෙලා ඉටු කරදෙන්නට සමත් සාත්තු සේවක සේවිකාවන් තම ආයතනය විසින් සපයන බවය. ඔවුහු සැබවින්ම ඒ ආකාරයෙන් සාත්තු සේවක සේවිකාවන් සැපයීම සිදු කරති. තම සේවය ලබා දී දින කිහිපයක් ගතවන විට ගනුදෙනුකරුවන් සමඟ පෙර නොපැවති තත්වයේ හිතවත්කමක් ගොඩ නගා ගන්නා මෙම ආයතනය ඉන් පසු විමසා සිටින්නේ සාත්තු සේවය පමණක් නොව ලිංගික සේවය සඳහා ද තම ආයතනයේ සේවිකාවන් සිටින බැවින් අවශ්‍ය නම් එම පහසුකම ද සැළසිය හැකි බවය. සමාජයට පෙනෙන සේ එක් මුහුණකින් සැරසී සිට ලිංගික සේවය සළසන මෙවැනි ආයතන අප රටේ තවත් කොතෙකුත් ඇති මුත් මේවා නීතියේ රැහැනට හසු වන්නේ ඉඳ හිටය. එසේ හසුවුණ ද නීතියේ රැැහැනට කොටු වන්නේ මෙසේ ලිංගික සේවය සළසන ලද කාන්තාව මිස මෙම ජාවාරම පසුපස සිටින සැබෑ පුද්ගලයා නොවේ. එබැවින් මෙම ව්‍යාපාරය මෙසේ නිරුපද්‍රිතව සිදුකෙරෙමින් පවතී. 


ලිංගික සේවයසහ ලිංගික ශ්‍රමිකයන්හෝ ලිංගික සේවකයන්යන වදන ඇතැමෙකුට නුහුරු වුව ද මෙය ගණිකා වෘත්තියසහ ගණිකාවලෙසින් සඳහන් කළ හොත් තවදුරටත් එය කිසිසේත් නුහුරු දෙයක් නොවනු ඇත. මෙම රජය පත්වී වැඩි දිනක් ගත වන්නට පෙර මාධ්‍ය හමුවේ පෙනී සිටී මහේෂ්වරී නම් කාන්තාව පවසා සිටියේ අප රටෙහි ලිංගික සේවය නීත්‍යානුකූල කළ යුතු බවත්, එවිට තම රැකියාව කිසිදු බාධාවකින් තොරව කරගෙන යා හැකි බවත්ය. මෙම මාධ්‍ය හමුව පවත්වා තිබුණේ ඇය ඇතුලුව ලිංගික සේවිකාවන් විසින් පිහිටුවා ගත් ලිංගික සේවිකාවන්ගේ හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය’ (CSWR - Centre for Sex Worker’s Rights) මගිනි. 


ලිංගික සේවය, ලිංගික සේවිකාවන් යනු ලෝකයේ පැරණිතම රැකියාව වශයෙන් කවුරුත් අවිවාදයෙන් පිළිගනිති. කෙතරම් නීති රීති පැවතිය ද මිනිසුන්ගේ ආශාවන් නීතියෙන් මැඩළිය නොහැකි නිසා එදා සිට අද දක්වාත් මිනිස් වර්ගයා පවතින තුරු ද ලිංගික සේවිකාවන් (ලිංගික සේවකයන් ද මෙම කුලකයේ සිටින බව සැළකිය යුතුය)  සිය සේවය අඛණ්ඩව පවත්වාගෙන යනු ඇත. අප රටේ සමාජ, සංස්කෘතික රාමුව තුළ බොහෝ දෙනෙක් එළිපිට කතා කරන්නට අකැමැති වුවත් ලිංගික සේවිකාවන් වර්තමානයේ අප රටේ අස්සක් මුල්ලක් නෑරම විහිදී පැතිරී සිටිති. ඇතැමුන් හිරු බැස යද්දී මහ මග සිට ගණුදෙනුකරුවන් ඩැහැ ගන්නට බලා සිටින අතර, එයට වඩා පොෂ්ආකාරයෙන් සිය සේවය සපයන්නන් සුඛෝභෝගී මන්දිරවල සිට මෙය සිදු කරති. මහමග සිටින්නියන්ගේ මිල අඩුවන අතර මෙහි සඳහන් කළ අනෙක් ලිංගික සේවිකාවන් අධික මිලක් අය කරති. ඔවුන්ගේ සේවය බොහෝ විට ලබා ගත හැක්කේ ඇතැම් විට තරු පංතියේ හෝටල්වලිනි. අනෙක ඔවුන් මහ මග දක්නට නොමැති බැවින් වෙනත් ස්ථානයදී සාමාන්‍ය අයකු දුටු විට ඇය ලිංගික සේවිකාවක් යැයි කිසිසේත් හඳුනාගන්නට හැකියාවක් ද නැත. කෙසේ නමුත් කොළඹ පිටකොටුව, ගුණසිංහ පුර, බම්බලපිටිය, කොල්ලුපිටිය, මරදාන වැනි ස්ථානවල සිටින ලිංගික සේවිකාවන්ට එසේ සිය අනන්‍යාතාවය එසේ සඟවා ගනිමින් සේවය සැළසීමේ හැකියාවක් නැත. ඔවුන් කොතැනක දුටුව ද ඒ නිසැකවම ලිංගික සේවිකාවක් බව කවුරුත් ක්ෂණිකව හඳුනා ගනිති. 


ලිංගික සේවය යනු කිසිවකු සිය කැමැත්තෙන් තෝරාගන්නා රැකියාවක් නොවේ. මෑතකදී තිරගත වූ එක් දෙමළ සිනමා පටයක් ලිංගික සේවිකාවක් පවසන්නේ තම කැමැත්ත නොවිමසා දෙමාපියන් විසින් තමාව අඩු වයසින් එක් පුද්ගලයකුට විවාහ කර දුන් බවත් දරුවකු ලැබුණු පසු ඔහු තමාව අතැර ගිය බැවින් මෙම රැකියාව හැර තෝරා ගන්නට අන් විකල්පයක් නොතිබුණු බවත්ය. සියලු ලිංගික සේවිකාවන්ගේ කතාව මෙයට සමානය. ඔවුන් මෙම රැකියාව තෝරාගන්නේ ජීවත්වීම සඳහා වෙනත් කිසිඳු විකල්ප මාර්ගයක් නොමැති වූ විටය. එසේ නොමැතිව කිසිඳු තරුණියක් සිය අනාගත වෘත්තිය ලෙස මෙය තෝරාගන්නට කිසිදා සිහින මවන්නේ නැත. කිසිඳු දෙමාපියකු හෝ ගුරුවරයකු තම දූ දරුවන් හෝ ගෝල බාලයන් මෙවැනි රැකියාවකට යොමු කරන්නට කිසි විටෙකත් සිහින දකින්නේ නැත. 


ලිංගික සේවය නීති ගත කොට ඇති කිසිදු රටක මෙහි යෙදී සිටින්නන් අධීක්ෂණය කරන්නට කිසිදු ආයතනයක් පිහිටුවා නැත.  අප රටේ එවැන්නක් පිළිබඳ කතා කිරීමේ ද අර්ථයක් නැත. දැනට සොයාගෙන ඇති දත්තවලට අනුව අප රටේ ලිංගික සේවිකාවෝ පනස් දහසක් පමණ සිටිති. මොවුන් සමාජයේම කොටසක් බැවින්, සමාජයට යම් බලපෑමක් කරන බැවින් ඔවුන් පිළිබඳ යම් අවධානයක් යොමු කරන්නට කාලය එළැඹ ඇති බව පෙනේ. මෙයින් පැවසෙන්නේ ඔවුන්ගේ අභිවෘද්ධිය සැළසීමක් පිළිබඳව නොව මොවුන් ඔස්සේ විවිධ රෝග සම්ප්‍රේෂණය වීම, ජාවාරම් කටයුතු  ආදිය සිදුවන බැවින් ඒවා පිළිබඳ වඩාත් සැළකිල්ලක් දැක්විය යුතු බවය. ලිංගික සේවය නීති ගතකිරීම හෝ නොකිරීම පාලකයාගේ කාර්යයක් වන අතර සාමාන්‍ය ජනතාව ඒ පිළිබඳ සිතිය යුතු නැත. මන්ද අවශ්‍යතාවය ඇති පුද්ගලයාට මෙය නීත්‍යානුකූල වුවත්, නීති විරෝධී වුවත් කිසිදු බාධාවකින් තොරව එය ඉටු කරගැනීමට මාර්ග ඕනෑ තරම් ඇති බැවිනි. 


පසුගිය යුද සමයේ උතුර නැගෙනහිර පළාත්වල සිට අවතැන්ව, දරුවන් සමඟ තනිවූ සැමියා අහිමි කාන්තාවන් බොහොමයක ද වර්තමානය වන විට ලිංගික සේවිකාවෙන්ගේ කුලකයට ඇතුලත්ව සිටිති. ඔවුන් තුළ සමාජය කෙරෙහි යම් වෛරයක් ද පවතින්නේ යැයි කිවහොත් එහි වරදක් නැත. එසේ හෙයින් මොවුන්ගෙන් ඇතැමෙකු තුළ සමාජයෙන් පළිගැනීමේ අදහස ද තිබෙන්නට හැකි බැවින් ඔවුන් ඒ වෙනුවෙන් සිය වෘත්තිය යොදවන්නට ද ඉඩ තිබේ. 


අප නරක ගැහැනුන් ලෙස සමාජය විසින් ලේබල් අළවා හමාරයි. නමුත් පිරිමි වගේ අපට සල්ලි වෙනුවෙන් මිනීමරන්නවත් හොරකම් කරන්නවත් බැහැ. අපට කරන්න පුළුවන් එකම දේ ඇඟ විකුණන එක විතරයි. අපි ඒක කරන්නේ අපේ දරුවෝ වෙනුවෙන්. අපි වෙනුවෙන්.
 

ලිංගික සේවයේ යෙදෙන්නන් සියලු දෙනාගේම පොදු අදහස එලෙසින් කැටිකොට දැක්විය හැකිය. 


ලිංගික සේවය නීත්‍යානුකූල කිරීම කෙරෙහි බොහෝ කාලයක සිට කතා බහට ලක් කෙරෙන්නකි. ස්ත්‍රී දූෂණ කිහිපයක් සිදුවූ විට ඇතැම් සමාජ ක්‍රියාකාරීහු හඬ නඟන්නේ ලිංගික සේවය නීතිගත කොට තිබුණේ නම් සිය ලිංගික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා එය අවශ්‍ය පුද්ගලයන් අදාළ ස්ථාන කරා යනු ඇති නිසා ස්ත්‍රී දූෂණ අවම කරගත හැකි බවය. නමුත් ස්ත්‍රියක් දූෂණය කිරීමෙන් ලිංගික සතුට බලාපොරොත්තු වන්නාට අවශ්‍ය එය දූෂණයක් ඔස්සේම ඉටුකරගැනීමටය. ලිංගික සේවයේ යෙදෙන්නියකගෙන් ඔහුට එය අපේක්ෂා කළ නොහැකිය. එසේ හෙයින් ලිංගික සේවය නීති ගත කළ පමණින් ස්ත්‍රී දූෂණ අවම වේ යැයි සිතීමේ තාර්කික බවක් නැත. ඉන්දියාවේ ලිංගික සේවය නීති ගත කොට තිබුණ ද ස්ත්‍රී දූෂණ ද අඩුවක් නැත. අනෙක මෙය නීති ගත කළ පමණින් ලිංගික සේවිකාවන්ට සමාජයේ ඇති පිළිගැනීමේ වෙනසක් සිදුවන්නේ ද නැත. නීති ගත කළ පමණින් ඇය සමාජය ඉදිරියේ ගෞරවනීය තැනැත්තියක වන්නේ ද නැත. මේ කිසිවක් කළ ද නොකළ ද ලිංගික සේවය කිසිඳු සමාජයකින් තුරන් වන්නේ ද නැත. සමාජ සාරධර්ම රැසක් මැද හැලහැප්පෙමින් මෙම ගැටලුව විසඳුමක් නොමැතිව තවත් බොහෝ කලක් පවතිනු ඇත. අපට කළ හැක්කේ විටින් විට මෙවැනි අදහසක් පළකිරීම පමණි.

Thursday, February 18, 2016

අලුත් ලෝකයට අලුත් ගැජට් 8 කොටස - New Gadgets for New World Part 8

යතුරු පැදි කියන්නේ අද කාලේ බොහෝ දෙනෙකුට පහසුවෙන් මිලදී ගත හැකි පවුලේ වාහනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. බොහෝ දෙනෙක් සතුව යතුරු පැදි පවතින නිසා එය වඩාත් ජනප්‍රිය වාහනයක් ලෙසත් සඳහන් කළ හැකියි. යතුරු පැදි පරිහරණය වඩාත් පහසු කරවන්නට උදව්වන විවිධ අලුත් ගැජට් වර්ග දැන් ලෝකයට හඳුන්වා දී තිබෙනවා. නමුත් බොහෝ දෙනෙක් ඒවා ගැන දන්නේ නැහැ. ඒ නිසා අලුත් ගැජට් තුළින් අද අපි යතුරු පැදි සඳහා වූ අලුත් ගැජට් වර්ග ගැන ටිකක් කතා කරමු.

සුපිරි ගණයේ හෙල්මට් එකක්



ස්කලි ඒ ආර් -1’ (Skully AR-1 Helmet) සුපිරි ගණයේ හෙල්මට් එකක් කිව්වොත් එහි වරදක් නැහැ. මේ වසර මුළදී මෙය හඳුන්වා දෙන අවස්ථාවේදී මෙම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සඳහන් කළ පරිදි පෘථිවියේ දැනට නිපදවා ඇති වඩාත් සංකීර්ණතම පාරිභෝගික භාණ්ඩය මෙය විය හැකියි. මෙහි පිටුපසින් අංශක 180ක දර්ශන පථයක් හසුකරගත හැකි (වයිඩ් ඈන්ගල්) කැමරාවක් සවිකොට තිබෙනවා. ඔබට පිටුපසින් සිදුවන සියලු දෙයම මෙම කැමරාව මගින් හසුකරගන්නවා. එම දර්ශන සියල්ල හෙල්මටයේ වයිසරය, එ කියන්නේ ඉදිරිපස ඇති විදුරුවේ පහළ කොටස මත දිස්වෙනවා. ඒ වගේම යතුරු පැදියේ වේගය, රෝදය කරකැවෙන වේගය (RPM) ආදියත් පෙන්නුම් කරනවා. යතුරු පැදිකරුවාගේ හිසෙහි වැඩි ආරක්ෂාවක් සඳහා කාබන් කෙඳි ආවරණයක් ද ඇතුළත් කොට තිබෙනවා. දැනට මෙහි මිල ඇමරිකානු ඩොලර් 1,500 (රු. 214,500ක් පමණ) වෙනවා.




යතුරු පැදි සන්නිවේදන උපකරණයක්



ඔබත් මිතුරන් කිහිප දෙනෙකුත් යතුරු පැදිවලින් ගමන් බිමන් යද්දි අදහස් හුවමාරු කරගන්න ගියාම සෑහෙන ගැටලුවක්ට මුහුණ දෙන්න වෙනවා. යන ගමන් දුරකතන ඇමතුම් ගන්නත් අමාරුයි. නතර කරන්නම වෙනවා. නමුත් දැන් මේ ගැටලුවට අලුත් විසඳුමක් තිබෙනවා. ඒ තමයි සීනා එස්.එම්එච් - 10ඩී - 11බ්ලූටූත් ඉන්ටර්කොම් පද්ධතිය’ (Sena SMH-10D-11 Bluetooth Headset and Intercom Set). මේවා තමන්ගේ කණ්ඩායමේ සියලු දෙනාම අතර පවතිනවා නම් යතුරු පැදියේ ගමන් කරන ගමන් කිසිම අපහසුවක් නැතිව අදහස් හුවමාරු කරගන්න පුළුවන්. මෙය මීටර් 900ක් දක්වා දුරකට පණිවිඩ සම්ප්‍රේෂණය කරන නිසා ළගින් ගමන් කිරීම අවශ්‍ය වන්නේත් නැහැ. ඒ වගේම ඔබගේ දුරකතනයේ ඇති ගීතවලට මෙය ඔස්සේ සවන් දෙන්නට පුළුවන් වගේම දුරකතන ඇමතුම්වලට පිළිතුරු දෙන්නටත් පුළුවන්. ඒවගේම මෙහි ඇති තවත් පහසුකමක් වන්නේ මාර්ගය පිළිබඳ විස්තර ඇතුළත් යෙදුමක් ඔබ ජංගම දුරකතනයේ ස්ථාපනය කොට ඇත්නම් එම ගමන් විස්තර ද මෙය ඔස්සේම අසන්නට හැකිවීමයි. ඇමසන් වෙබ් අඩවිය ඔස්සේ මෙය දැනට ඇමරිකානු ඩොලර් 252.50කට (රු.36,000) මිලට ගන්න පුළුවන්.




යතුරු පැදියේ යන ගමන් දුරකතනය චාර්ජ් කරගන්න




තමන්ගේ ජංගම දුරකතනයේ බැටරිය අඩුවෙලා කියලා හුඟක් දෙනෙක් දැනගන්නේ උදේ වැඩට යන්න ලෑස්ති වුණාම. ඉතින් ගෙදරින් පිටවෙන්න ටිකක්ට කලින් චාර්ජ්වෙන්න දැම්මත් එය මුළු දවසක් සඳහාම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ ගැටලුවට විසඳුමක් හොයපු ඇතැම් යතුරු පැදි නිෂ්පාදනකරුවන් තම නිෂ්පාදනවල යූඑස්බී චාර්ජින් පෝර්ට් එකක් ස්ථාපනය කළා. එහෙම නැති යතුරු පැදිවලට නම් වෝල්ට් 12න් චාර්ජ් කරගන්න පුළුවන් කොටසක් සවිකරගතු යුතු වෙනවා. නමුත් මේ සියල්ලටම වඩා පහසු උපකරණයක් දැන් ඇවිත් තිබෙනවා. මෙය හඳුන්වන්නේ ෂූ ෆෝන් චාර්ජින් බෙල්ට්’ (Xoo Phone-Charging Belt) නමින්. මෙය සැබවින්ම ඔබේ ඉණට බඳින පටියක්. ඔබ දැනට භාවිත කරන පටිය වෙනුවට මෙය යොදාගන්න පුළුවන්. ඔබේ සාක්කුවේ දුරකතනය දමාගෙනම චාර්ජ් කරගන්නත් පුළුවන්. කුඩා ප්‍රමාණයේ සිට එක්ස් එල් (XL ) ප්‍රමාණය දක්වා මේවා මිලට ගන්නට තිබෙනවා. මෙම පටියේ මයික්‍රෝ යූඑස්බී පෝර්ට් එකක් තිබෙනවා. ඔබේ දුරකතනයේ චාර්ජ්කිරීම සඳහා ඇති කේබල් එක එතැනට සවි කළ හැකියි. මෙය දැනට ඇමරිකානු ඩොලර් 249කට (රු. 35,600කට) මිලට ගන්නට පුළුවන්.





යතුරු පැදියේ යන ගමන් දුරකතන ඇමතුම් ගැන දැනගන්න





ජංගම දුරකතනය සාක්කුවේ දමාගෙන ගියත්, එය කම්පනය වන ආකාරයට සකසා තිබුණත් ඇතැම් විට දුරකතන ඇමතුමක් එන බව දැනෙන්නේ නැහැ. දීර්ඝවෙලාවක ගමනක් නම් ඇමතුම දකින්නේ සෑහෙන වෙලාවකට පස්සේ. ඉන්පස්සේ දීර්ඝ වෙලාවක් දොස් අහන්න අවස්ථාව උදාකරගන්නත් පුළුවන්. කෙසේ නමුත් දුරකතනයට ඇමතුමක් එනවිට එය පෙන්වන්නට යම් උපකරණයක් ඇත්නම් එය බොහෝ ප්‍රයෝජනයි. මේ පවසන්නට සූදානම් වන උපරණයත් එවැන්නක්. ඉකිකි’ (iQiKi ) නමින් හඳුනාවා දී ඇති මෙය ඔබගේ යතුරු පැදියේ සවිකරගත හැකි මෙම උපකරණයේ ඇති එල්ඊඩී බල්බය දල්වා ඔබට ඇමතුමක් පැමිණෙන බව දන්වා සිටිනවා. ඒ වගේම දුරකතනයේ ඇති මෙයට සම්බන්ධ යෙදුම, එහෙමත් නැත්නම් ඇප් එක මගින් මෙම දැල්වෙන බල්බයේ ස්වභාවය වෙනස් කරන්නට පුළුවන්. ඔබට වඩාත් වැදගත් අංක එම ඇප් එකට ඇතුලත් කිරීම මගින්, එම අංකවලින් පැමිණෙන ඇමතුම් වෙනස් වර්ණයකින්, වෙනස් ස්වභාවයකින් පෙන්නුම් කළ හැකියි. දුරකතන ඇමතුම් වගේම කෙටි පණිවිඩ, සමාජ ජාල පණිවිඩ මෙමගින් දන්වා සිටිනවා. බල්බයේ දීප්තිය අධික නිසා දවල් කාලයේ වුවත් පැහැදිලිවම මෙම දැල්වීම් පෙනෙනවා. දැනට ඇමරිකානු ඩොලර් 35කට (රු. 5000) මිලට ගන්නට පුළුවන්.




යතුරු පැදියේ චේන් සීරුමාරු ගැජට් එක





යතුරු පැදියේ චේන් එක ටික දවසක් යනකොට ඇදිලා කේස් එකේ වදින්න පටන් ගන්නවා. එතකොට හැමෝම කරන්න වැඩපළකට ගිහින් ඒක සීරුමාරු කරගන්න එක. නමුත් මේ හැමතැනම මේක කරන්නේ අතේ හුරුවට. කිසිම තැනක නිශ්චිත මිම්මක් නැහැ. නිශ්චිත මිම්මක් සහිතව ක්‍රමානුකූලව චේන් එක් සීරුමාරු කරගත හැකි උපකරණයත් වෙළෙඳපළට එන්නේ මෙන්න මේ අඩුපාඩුව සපුරාලන්නයි. මෙම ගැජට් එක හඳුන්වන්නේ ටෘ ටෙන්ෂන්’ (Tru-Tension) නමින්. මෙම උපකරණයත් සමග පැරණි ක්‍රමයට ආයුබෝවන් කියන්න පුළුවන්. යතුරු පැදියට අවශ්‍ය සහ සුදුසු මට්ටමට චේන් එක ඇදී ඇති මට්ටම මෙයින් සකසන්නට පුළුවන්. එමගින් චේන් එකට සම්බන්ධ සියලු උපකරණවල කල්පැවත්ම වැඩි වෙනවා. මෙය ස්ටර්ලිං පවුම් 24.99ක් (රු. 5,430ක්) වෙනවා.



Saturday, February 13, 2016

මිස් කෝල් එකක් දීපන් මචං !


දිනක් මගේ දුරකතනයට මිස් කෝල්එකක් ආවේය. මිස් කෝල් දෙන්නේ කවුදැයි සොයා බලන්නට උපන් ගෙයිම කම්මැලිකමක් ඇති බැවින් දුරකතනය දෙස නොබලා මගේ වැඩක්පලක් කරගන්නට පටන් ගතිමි. වැඩි වේලාවක් යන්නට මත්තෙන් යළිත් එම අංකයෙන්ම මිස් කෝල් එකක් ආවේය. මේ ආකාරයෙන් කිහිප වරක්ම මිස් කෝල් පැමිණි බැවින් මේ කවුදැයි සොයා බලන්නට මම දුරකතන ඇමතුමක් ගතිමි. අනෙක් පැත්තේ දුරකතනයෙන් යමෙක් කතා කළේය.

ආ මචං මේ මම බං 

යැයි පවසමින් යමෙක් කතා කළ අතර ඔහු මගේ මිතුරකු විය.

හුඟ දවසකින් කතා කළෙත් නැති නිසා බං මං මේ විස්තර ටිකක් දැන ගන්නත් එක්ක මිස් කෝල් එකක් දුන්නේ. ඉතිං කොහොම ජීවිතේ?” 

කියමින් ඔහු දිගු සංවාදයකට මුළ පිරුවේය.

මිස් කෝල්එකක් දී මේ ආකාරයෙන් විස්තර කතා බහ කරන්නට හුරුපුරුදු වූ අය අද බොහෝ සිටිති. තමන්ගේ දුරකතන බිල ඉතිරි කරගන්නට බොහෝ දෙනෙක් මෙම ක්‍රමය අනුගමනය කරති. ස්ථාවර දුරකතන ඔස්සේ කතා බහ කිරීමේ පහුසුකම ඇති කාර්යාලයක වෙසෙන පුද්ගලයන් නම් සිය මිතුරන්ගෙන් ලබන්නේම මිස් කෝල් ය. මිස් කෝල් එකක් ලැබුණු සැනින් ඔහු කරන්නේ සිය ආයතනයේ ස්ථාවර දුරකතනය ඔස්සේ එකී අංකයට කතා කිරීමය. එවිට දෙදෙනාගේම දුරකතන බිල ඉතිරිවන අතර ආයතනයේ බිල ඉහළ යයි. එය ගෙවන්නේ රජය හෝ ආයතනයේ අයිතිකරු නිසා ඇමතුම ගන්නාට ගැටලුවක් නැත. ස්ථාවර දුරකතන පහසුකම් සහිත ආයතනවල සේවය කරන්නන් නිතරම පවසන්නේ,

මට මිස් කෝල් එකක් දීපන්. මම එහෙන් ගන්නම් කියාය.

නිවාඩු දිනයක තමන් සේවයට නොපැමිණෙන බව දන්වන්නට ද ඇතැම් අය මෙම මිස් කෝල් ක්‍රමය භාවිත කරති. මෙහිදී කරන්නේ දුරකතන ඔපරේටර්වරයාගේ හෝ වරියගේ ජංගම දුරකතනයට මිස් කෝල් එකක් දීමය. මෙය බොහෝ විට කලින් කතා බහ කරගෙන සිදු කරන දෙයකි. එවිට ඔපරේටර් ආදාළ අංකයට ආයතනයේ ස්ථාවර දුරකතනයෙන් අමතුමක් ගෙන එම ඇමතුම අදාළ අංශයට යොමු කරයි. මේවා ලාබදායී වැඩය.

සිය එකම විනෝදාංශය ලෙස අසමජ්ජාතිවැඩ කරන මිතුරන් කරන්නේ රාත්‍රි කාලයේදී මිස් කෝල් දීමය. තද නින්දේ පසුවන්නකු අවදි කරවන්නට මිස් කෝල් කිහිපයක් දී සිය ජංගම දුරකතනය ද ක්‍රියා විරහිත කොට නිදාගන්නට ඔවුහු පුරුදුව හිඳිති.  එවිට පසුවදාට ලුණු ඇඹුල් ඇතිව කතන්දර අසාගැනීමට අවස්ථාව අදාළ පුද්ගලයන්ට අවස්ථාව හිමි වුවත් එය වුන්ගේ විනෝදාංශය නිසා එසේ බැණීමෙන් පලක් වන්නේ නැත. ඔවුන්ගේ මේ අසමජ්ජාතිවිනෝදාංශය නතර වන්නේ ද නැත. රාත්‍රියේ මෙසේ මිස් කෝල් දුන් අවස්ථාවක අප හිතවතකු සිහිනෙන් සර්පයකු දකිමින් සිට ඇති අතර දුරකතනයේ කම්පනය වීම දැනී ඇත්තේ සර්පයා තමාගේ ඇඳ මත සිටින ආකාරයකිනි. ඔහු යටිගිරියෙන් කෑ ගසමින් අවදිවී ඇති අතර පවුලේ සියලු දෙනා ඉදිරියේ ඉමහත් ලජ්ජාවකට පත්ව ඇත. පසුදා ඔහුට මිස් කෝල් දුන් මිතුරාගේ දෙමාපියන් සිහි කරනු කාටත් අසන්නට අවස්ථාව උදා විය.

මිස් කෝල් පිළිබඳ මෙවැනි බොහෝ කරුණු හා අත්දැකීම් බොහෝ දෙනෙකුට තිබෙන්නට පුළුවන. අප පහසුවට මිස් කෝල්’ (Miss Call) කිව්වත් මෙහි නියම යෙදුම විය යුත්තේ මිස්ඩ් කෝල්’ (Missed Call) ය. එනම් මග හැරුණු ඇමතුම්යන්නය. නමුත් අප සුපුරුදු පරිදි භාවිතයේ පහසුව පිණිසත්, කවුරුත් භාවිත කරන නිසාත්  මේ ලිපියේ ඉදිරියටත් මිස් කෝල්යනුවෙන්ම යොදාගෙන කතා බහ කරමු.

මිස් කෝල්ක්‍රමය ඇතැම් මිතුරන් සන්නිවේදන උපක්‍රමයක් ලෙස ද භාවිත කරති. මෙය කලින් නියම කරගෙන සිටිය යුත්තකි. උදේ දුම්රිය පැමිණෙන වේලාවට මිස් කෝල් දෙකක් එකවර දුන්නේ නම් එයින් හැඟවෙන්නේ තමා එදින පමා වී පැමිණෙන බව වැනි පණිවිඩයක් එයින් හැඟවිය හැකිය. මේ ආකාරයෙන් කලින් නියම කරගත් පණිවිඩ මිස් කෝල් එකකින් ලබා දිය හැකිය.

ඇතැම් පුද්ගලයන්, බොහෝ විට තරුණයන් තමන්ට සිතෙන අංකයකට මිස් කෝල් දෙයි. පසුව අනෙක් පැත්තෙන් ඇමතුමක් ලබා ගත් විට එය පිරිමි හඬක් නම් වැරදීමක්යනුවෙන් පවසයි. ගැහැනු හඬක් නම් කුමක් හෝ ක්‍රමයකින් කතා බහට අල්ලාගන්නට උත්සාහ කරයි. අනෙක් පැත්තේ ප්‍රතිචාර මත ඇමතුම දිගු වීම හෝ කෙටි වීම සිදු විය හැකිය. අනෙක් පැත්තෙන් ප්‍රතිචාර යහපත් නම් මෙම මිස් කෝල් එකේ අවසන් ප්‍රතිඵලය මේ දෙදෙනා අතර යම් සම්බන්ධයක් වීමය. මෙහි ගැටලුව වන්නේ මේ ආකාරයෙන් මිස් කෝල් ඔස්සේ ගැහැනුන් හා හාද වීම එක්තරා ආකාරයක ජාවාරමක් බවට පත්ව ඇති බැවිනි. පුවත් පතක් ගෙන බැලුවහොත් මිස් කෝල් මගින් හාද වී තරුණියන්ව දූෂණය කළ අවස්ථා මෙන්ම ඔවුන්ගේ වටිනා දෑ පැහැර ගත් අවස්ථාවන් පිළිබඳ පුවත් ඕනෑ තරම් දැකිය හැකිය. මේ නිසා මිස් කෝල් එකකට අමතුමක් ගන්නා විට මේ බව මතක තබාගෙන පරිස්සමි විය යුතුය.

මේ සම්බන්ධ පුවත් (පුවත් 1, පුවත් 2, පුවත් 3)

ජංගම දුරකතනය ක්‍රියා විරහිත කොට ඇති අවස්ථාවක යමෙක් ඇමතුමක් ගත හොත් එය දැන ගැනීමට මුල් කාලයේ පහසුකමක් නොතිබුණු අතර පසුව ජංගම දුරකතන සමාගම් මිස්ඩ් කෝල් ඇලර්ට්’ (Missed Call Alert ) පහසුකම ලබා දෙන ලදී. එවිට දුරකතනය ක්‍රියාත්මක කළ විට කෙටි පණිවිඩයක් මගින් එම අංකයට ලැබුණු මිස් කෝල්පිළිබඳ විස්තරයක් ලැබේ.

මිස් කෝල් ගැන ගීත මෙන්ම සිනමා පට ද නිර්මාණය වී තිබේ. එයින් One Missed Call සිනමා පටය නරඹන්නට අවස්ථාව ලද අතර එය හොල්මන් වර්ගයේ (Horror) එකකි.









මිස් කෝල් ලබාදීම නිසා අප බොහෝ දෙනා නොසිතන තාක්ෂණික ගැටලුවක් ද ඇති වේ. ඒ ජංගම දුරකතන ජාල පද්ධතියේ ඇතිවන තදබදයයි. සාමාන්‍යයෙන් එක් සංඥා කුලුණක් ඔස්සේ එක්වර හුවමාරු කළ හැකි නිශ්චිත ඇමතුම් සංඛ්‍යාවක් තිබේ. එක් කුලුණකින් හුවමාරු කළ හැකි උපරිම ගණන අපි පහසුවට දහයක් යැයි සිතමු (මෙයට වඩා බොහෝ ප්‍රමාණයක් හුවමාරු කළ හැකි බව සළකන්න). එවිට දස දෙනෙක් එක අවස්ථාවක මිස් කෝල් දෙන්නේ නම් එම කුලුණ හරහා ගමන් කළ හැකි උපරිම සංඛ්‍යාවට එය ළගා වෙයි. මේ අවස්ථාවේදී වෙනත් පුද්ගලයකු (11 වැනියා) සැබෑ ඇමතුමක් ලබාගන්නට උත්සාහ කරන්නේ නම් පෙර කී දස දෙනොගෙන් එක් අයකු සිය මිස් කෝල් දීම නතර කරන තුරු බලා සිටින්නට සිදු වේ. මෙය හඳුන්වන්නේ ජාල පද්ධතියේ සිදුවන තදබදය’ (Network Traffic) නමිනි. සැබෑ තත්වයේදී දුරකතන සංඥා කුලුණක් මිස් කෝල් නිසා සම්පූර්ණයෙන්ම අවහිර වන්නට ඇති ඉඩ ඉතා සීමිත වූවත් සැළකිය යුතු ප්‍රමාණයකින් තදබදයක් ඇති විය හැකිය.

දකුණු ආසියානු රටවල මේ ආකාරයට මිස් කෝල්ලබාදීමේ පුරුද්ද ඉතා ඉහළින් පවතින බැව් හෙළිවී තිබේ. අප රටෙන් සංඛ්‍යා ලේඛන සොයා ගත නොහැකි වුවත් බංග්ලාදේශයේ ජංගම දුරකතන ජාල පද්ධතියේ තදබදයෙන් 70%ක්ට වඩා හේතු වන්නේ මිස් කෝල්බව සොයාගෙන තිබේ. ඉන්දියාවේ ජංගම දුරකතන මෙහෙයුම්කරුවන්ගේ සංගමය’ (The Cellular Operators Association of India - COAI) මිස් කෝල් මගින් ආදායමක් ලබාගත හැකි ද යන්න පිළිබඳ සොයා බලමින් සිටින බව ද දැනගන්නට ලැබී තිබේ. ඉන්දියාවේ මිස් කෝල් නිසා ජංගම දුරකතන සමාගම්වලට ලැබිය හැකි ආදායමින් 30%ක් පමණ අහිමි වන බව ද  පැවසේ.

කෙසේ නමුත් ඇතැම් රටවල නම් මිස් කෝල්’  යනු සන්නිවේදන සංඥාවක් ලෙස භාවිත වේ. උදාහරණයක් ලෙස භූතානයේ කිරි ගොවීන් අතර පවතින සම්මතයකට අනුව යම් පාරිභෝගිකයෙකුගෙන් ලැබෙන මිස් කෝල්සංඛ්‍යාවෙන් අදහස් වන්නේ ඔහුට කෙතරම් කිරි ලීටර් සංඛ්‍යාවක් අවශ්‍ය ද යන්නය. ඉන්දියාවේ ඇතැම් ආයතනවලට ලබාදෙන ඇණවුම් සම්පූර්ණ නම් ඔවුන් පාරිභෝගිකයාට මිස් කෝල්එකක් ලබා දේ.

බංග්ලාදේශයේ ජංගම දුරකතන භාවිත කරන්නන් ෆේස්බුක් හරහා සංවිධානය වෙමින් අන්තර්ජාල ගාස්තු අඩු කරන ලෙස ජංගම දුරකතන සමාගම්වලට එරෙහිව උද්ඝෝෂණයක් කළේ මිස් කෝල්හරහාය. 2013 ජනවාරි 27 වැනිදා එකවර දුරකතන භාවිත කරන්නන් දෙලක්ෂ පනස් දහසක් පමණ දෙනෙක් මිස් කෝල් හුවමාරු කරගනිමින් ජාල පද්ධතියේ තදබදයක් ඇති කොට ජංගම දුරකතන සමාගම්වලට සිය විරෝධය පළ කළහ.


මේ අනුව මිස් කෝල්  දෙස අපට විවිධාකාරයෙන් බැලිය  හැකි අතර එහි විවිධ වාසි මෙන්ම අවාසි  ද ඇති බව පෙනේ. අන්‍යයන්ට කරදරයක් නොවන ලෙස මෙම පහසුකම පවත්වාගෙන යා හැකි නම් එයින් සියලු දෙනාටම ලද හැකි  ප්‍රයෝජනය අතිමහත්ය.

Wednesday, February 10, 2016

තේවලට ලුණු දැමීම හෙවත් නිදහස් උළෙලට දන්නෝ බුදුන් ගැයීම


අප රටේ 68 වැනි නිදහස් සමරුව නිමිත්තෙන් ගාලු මුවදොර පිටියේ රාත්‍රියේ පවත්වන ලද සංගීත ප්‍රසංගයේදී ක්‍රිෂානි විජේසිංහ නම් ගායිකාව විසින් ගායනා කරල ලද දන්නෝ බුදුන්ගේ ගීතය පිළිබඳ මේ වන දැැවැන්ත මට්ටමේ සමාජ කතිකතාවක් නිර්මාණය වී තිබේ. ඇය මේ සමඟම දරු නැළවිලි ගීයක් ද ගායනා කළ මුත් වැඩි වශයෙන් කතා බහට ලක්වන්නේ මුළින් සඳහන් කළ ගීතය පිළිබඳවය. මේ පිළිබඳ මේ සා අදහස් පළවන්නට හේතුව වී ඇත්තේ මෙකී ගායිකාව විසින් එය බටහිර ඔපෙරා ශෛලියකින් ගායනා කළ බැවිනි.

දන්නෝ බුදුන්ගේ ගීතයේ ඉතිහාසය




1903 වර්ෂයේදී ජෝන් ද සිල්වා සූරීන් විසින් නිර්මාණය කරන ලද සිරිසඟබෝනාට්‍යය සඳහා මුල්වරට ගැයුණු මෙම ගීතය පිළිබඳව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිය ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතයපොතෙහි මෙසේ දක්වා තිබේ.

“1903 දී ජෝන් ද සිල්වා රචනා කළ , සිරිසඟබෝ නාටකයෙහි දන්නෝ බුදුන්ගේ ගීය සඳහා විශ්වනාත් ලවුජී නමැති ඉන්දියානු සංගීතඥයා සම්පාදිත තනුව , බටහිර තනුවක් බවටද මතයක් පවතී . . . . . කෙසේ වෙතත් විශ්වනාත් ලවුජී සම්පාදනය කර ඇති සිය ගණනකට අධික ගී තනුවලට වඩා දන්නෝ බුදුන් ගේතනුව වෙනස් බවත්, එහි බටහිර නැඹුරුවක් ඇති බවත් විචාරකයෝ පවසති. ශ්‍රී ලංකාවේ බැප්ටිස්ට් දේවස්ථානවල ද දන්නෝ බුදුන්ගේ තනුව අනුව ගැයෙන ගීතිකාවක් ඇත


දන්නෝ බුදුන්ගේ තනුව අනුව ගැයෙන ගීතිකාව

මෙහි මුල් ගායනය ඩබ්ලිව්. ඒ. පෙරේරා, එබ්ලිව්.ඒ. අප්පුසිඤ්ඤෝ සහ ඩබ්ලිව්.ඩී.එස්. ජේමිස් යන අයගේ නම් සොයා ගත හැකිය.

සිරි සඟබෝනාට්‍යයට අනුව සංඝතිස්ස, සංඝබෝධි හා ගෝටාභය යන කුමාරවරු සිට අනුරාධපුරය නගරයට එන අවස්ථාවකදී ඔහු දකින දෑ මෙම ගීතයෙන් කියැවෙයි. බුදු දහමින් පෝෂිත වූ අනුරාධපුර නගරය (පුර වර්ණාව) ගැන එයින් කියැවේ. දැවැන්ත සමාජ කතිකාවක් ඇති වී තිබෙන්නේ මෙම් ගීත 68 වැනි නිදහස් සමරුව වෙනුවෙන් පැවැත්වූ සංගීත ප්‍රසංගයේදී ගායනා කිරීම පිළිබඳ නොව එය ඉටහිර ඔපෙරා ශෛලියකින් ගායනා කිරීමය. ඔපෙරා යනු දහසය වැනි සියවසේදී ඉතාලියේ බිහිවූ බටහිර සම්භාව්‍ය සංගීත ශෛලියකි.

නිදහස් උළෙලේ මෙම ගායනයට පෙර ඔපෙරා ශෛලියේ ගීත අසා තිබුණත් එය තවමත් අප රටේ සංගීත රසිකයාට ආගන්තුකය. අනෙක නිදහස් සමරුවක් පැවැත්වෙන අවස්ථාවකදී යම් කිසි රටක් ලෝකයට දිය යුත්තේ සිය සංස්කෘතියේ යම් වටිනාකමක් ඇති දේ තිබේ ද ඒවාය. අනෙක දන්නෝ බුදුන්ගේගීතය ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් ගායනා කිරීමෙන් පසු, එය වඩාත් සම්භාවනාවට පත් ව ගෞරවනීය ගීතයක් බවට පත් විය.


අර්ථයෙන් ගත් කල බුදු බැති ගීතයක් නොවූව ද භාවිතයේදී එය එම තත්වයේ ලා සැළකීමට අප රටේ බොහෝ දෙනෙක් පුරුදුව සිටිති. එවන් ගීතයක් ක්‍රිෂානි විජේසිංහ විසින් මෙය ඔපෙරා ශෛලියකින් ගායනා කිරීම පිළිබඳ බොහෝ දෙනෙකු බරතල විවේචන එල්ල කරන්නට පටන් ගෙන තිබේ. ඇතැම් මාධ්‍ය, සමාජ ජාල වෙබ් අඩවි ආදිය ඇයට එරෙහිව මෙන්ම ඇයට පක්ෂපාත අදහස් දක්වන්නන්න ද දකින්නට හැකිය.

ක්‍රිෂානි විජේසිංහ යනු කවුද?



ක්‍රිෂානි විජේසිංහ යනු අප රටෙන් බිහිවූ විශිෂ්ටතම ඔපෙරා ගායිකාව ලෙස සැළකේ. කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඇය ඔපෙරා සංගීතයේ විශිෂ්ටතම ස්ථානය වූ රෝයල් ඔපෙරා හවුස්හිදී මෙන්ම බ්‍රිතාන්‍ය මහ රැජින ඉදිරියේ තනිව ගායනයක් ඉදිරිපත් කරන්නට වරම් ලද ප්‍රථම ආසියානු කාන්තාව ලෙස ද සැළකේ. අප රටේ ජාතික ඔරු පැදීමේ ශූරතාවය ඇය තෙවරක් දිනාගෙන ඇත. එමෙන්ම ඇය එංගලන්තයේදී නීති උපාධියක් ද හදාරා තිබේ. මේ කෙටි විස්තරය කියැවීමෙන් පවා පෙනෙන්නේ ඇය අප රටට කීර්තියක් ලබාදුන් කාන්තාවක බවය. ඇයගේ සංගීත ඥානය හෝ ගායන හැකියාව පිළිබඳ ද කිසිවකුට ප්‍රශ්න කළ නොහැකිය. කෙසේ වෙතත් මැදිහත්  විචාරකයන් මේ පිළිබඳ අදහස් දක්වමින් පවසන්නේ ඇගේ ගායන හැකියාව පිළිබඳ කිසිදු ගැටලුවක් නැතත් නිදහස් සමරු සංගීත ප්‍රසංගයේදී එවැනි ශෛලියකින් එම ගීතය ඉදිරිපත්කිරීම උචිත නොවන බවය.

අප රටෙහි බොහෝ කාලයක පටන්ම ඔපෙරා සංගීතය ආශ්‍රිතව යම් යම් නිර්මාණ බිහිව තිබුණ ද ඒවා එතරම් ඉස්මතුවී පැමිණියේ නැත මේ පිළිබඳ සිංහල ජන සමාජයේ කතා බහක් ඇතිවූයේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසින් සිංහල බසින් ඔපෙරා නිර්මාණය කරන්නට පටන් ගැනීමත් සමඟය.  ඔපෙරා ගී ගැයෙන්නේ සංගීත භාණ්ඩ සමූහයකින් සමන්විත (Orchestra) සංගීත සංධ්වනියක් (Symphony) සමගිනි. මෙම සංධ්වනි සංකල්පය සිංහල ජන සමාජයේ කතා බහට වැඩි වශයෙන් ලක්වූයේ කේමදාමයන් නිසාය. ඔපෙරා, සංධ්වනි ආදිය සමඟ ඔහු සිය ගෝල බාලයන්ට ස්වර හැසිරවීමේදී අනුගමනය කළ යුතු, අපේ රටේ සාම්ප්‍රදායික උත්තර භාරතීය සංගීත ශිල්පීන් අනුගමනය නොකරන ක්‍රමවේදයක් පවා හඳුන්වා දෙන්නට පියවර ගත්තේය. මේවා තුළ බහුලව ඇත්තේ ඔපෙරා ගායන ශෛලිය සඳහා උපයෝගී කොට ගැනෙන ක්‍රමවේදයන් ය. එදා ඔපෙරා ශෛලිය මුල්වරට සිංහල සංගීත රසිකයාට හඳුන්වා දුන් සමයේ ද කේමදාසයන්ට ද බොහෝ ගල්මුල් එල්ල වූ බව අතීතය දෙස විපරමම් කොට බලන්නකුට දැකිය හැකිය.

ක්‍රිෂානි විජේසිංහ ද පේමසිරි කේමදාසයනගේ ශිෂ්‍යාවකව සිට එංගලන්තය කරා ගොස් ඔපෙරා ශෛලිය හැදැරූ බව  දැනගන්නට ද ලැබී තිබේ. කෙසේ වෙතත් ගැටලුව වී ඇත්තේ ඇයගේ ගායන ශෛලිය අපගේ ජන විඥානය හා පෑහීමක් කරගැනීමට ඇති නොහැකියාවය.

සංගීතවේදයට අනුව සංගීතය යනු විශ්ව භාෂාවක් බව සාමාන්‍ය මතයයි. පණ්ඩිත් අමරදේවයන් වරෙක පවසා සිටියේ සංගීතයේ ඇත්තේ භාෂාවකට වඩා විශ්ව වින්දනයක් බවයි. කෙසේ නමුත් මේ විශ්ව වින්දනය පවා විවිධ ජන සංස්කෘතීන් අනුව වෙනස් වෙයි. මුළින්ම ජන සංගීතයක් ලෙස උපදින ශෛලීන් විවිධ ගුණාංග එක්කරගනිමින් පසුකාලීනව සම්භාවය සංගීතයක් බවට පත් වෙයි. මේ පසුපස යම් රටක ආර්ථික, සමාජමය, ආගමික මෙන්ම දේශගුණික සාධක ද දක්නට තිබේ. විශේෂයෙන් බටහිර සීත රටවල ගායන ශෛලීන්වල උච්ච ස්වර වැඩි වශයෙන් දක්නට ලැබේ. නමුත් නිවර්ත දේශගුණයක් ඇති අප වැනි රටවල එවැනි ශෛලීන් එතරම් දක්නට නැත.

දන්නෝ බුදුන්ගේගීතය ඔපෙරා ශෛලියකින් ගායනාකිරීම පිළිබඳ ධනාත්මක අදහස් දක්වන්නන් බොහෝ දෙනෙකු පවසන්නේ මෙහි සංගීතය විශ්වනාත් ලව්ජි විසින් සිදුකොට තිබුණත් එය බටහිර තනුවක් බවය. එනම් මෙය 1880 වසරේදී වැග්නර් නම් ජර්මානු සම්භාව්‍ය සංගීතඥයා විසින් නිර්මාණය කරන ලද තනුවක් බව කියැවේ.  එය සත්‍ය බව පෙනෙන්නේ ලව්ජිගේ සෙසු සංගීත නිරමාණවලට වඩා මෙහි වෙනස් බවක් දක්නට ලැබීමත් 1903 වසරේ ජෝන් ද සිල්වා සූරීන් මෙම නාට්‍යය රචනාකිරීමට පෙර සිටම දේවස්ථානවල මෙම තනුව අනුව ගැයුණු ගීතිකාවන් භාවිතයේ තිබුණු බවට සාධක තිබීමත් නිසාය. 




අනෙක 1920 හෝ ඊට මඳක් පෙර සමයක හියුබට් රාජපක්ෂ නමැති ගායකයා විසින් දන්නෝ බුදුන්ගේ ගීතය බටහිර ශෛලියකින් ගායනා කොට තිබේ. මේ සියලු දේ සත්‍ය වුව ද වර්තමානය වන විට මෙම තනුව හොඳින්ම ශ්‍රී ලාංකීකරණය වී තිබේ. කතෝලක දේවස්ථානවල භාවිතයට ගැනෙන ගීතිකා (Hymns) මුල් සමයේ බටහිර ශෛලීන්වලින් පැවතිය ද ඔවුන් ද කෙමෙන් සිය ගීතිකා දේ්ශීයකරණය ලක්කරමින් පවතී. මේ වන විට දේශීය ශෛලීන්ගෙන් ගැයෙන ගීතිකා බටහිර ශෛලියට ගැයුණු ඇතැම් ගීතිකාවලට වඩා ජනප්‍රියත්වයට පත්ව තිබේ. ඇතැම් ගීතිකාවල බටහිර සුවඳ දකින්නට ලැබුණ ද ඒවා මේවන විට සහමුළින්ම දේශීයකරණට ලක්ව හමාරය. උදාහරණයක් ලෙස සයිලන්ට් නයිට්නමැති ගීතිකාව ලතා වල්පොල මහත්මිය විසින් ශාන්ත වූලෙසින් ගායනා කරන සිංහල ගීතිකාව සඳහන් කළ හැකිය. කෙසේ නමුත් මේවා නැවත බටහිර ශෛලියකින් ගායනා කළහොත්, එහි මුල බටහිර තනුවක් වුව ද අප රටේ රසිකයා එය පිළිගැනීමය යම් මැළි බවක් දක්වනු නිසැකය.

දන්නෝ බුදුන්ගේගීතය ඔපෙරා ශෛලියකින් ගැයීම පිළිබඳ සඳහන් කළ යුත්තේ ද එයමය. මෙහිදී ක්‍රිෂානි විජේසිංහගේ ගායනා හැකියාව හෝ ඔපෙරා ගායන ශෛලිය පිළිබඳව හෝ ගැටලුවක් නැත. අපට එය කෙටි උදාහරණයකින් මෙසේ සඳහන් කළ හැකිය.

අප සීනි මෙන්ම ලුණු ද ආහාරයට ගනිමු. සීනි තේවලට මිශ්‍ර කරන අතර ලුණු කිරි හොදි (වෙනත් ඕනෑම වෑංජනයක්) සමඟ මිශ්‍ර කරනෙමු. නමුත් අප කිරි හොද්දට සීනි හැඳි කිහිපයක් මිශ්‍ර කළහොත් වන්නේ කිරි හොද්ද නීරස වීමය. සීනි දැමිය යුත්තේ තේවලටය. එමෙන්ම ලුණු හැන්දක් තේ සමඟ මිශ්‍ර කළ හොත් සිදුවන්නේ තේ එක නීරස වීමය. එය දැමිය යුත්තේ කිරි හොද්දටය. මෙතැන ඇත්තේ අප සීනිත් ලුණුත් ආහාරයට ගත්ත ද එය ආහාරයට ගත යුත්තේ කුමන අවස්ථාවේ කුමන ඒවා සමඟ ද යන්න පිළිබඳව අවබෝධය තිබිය යුතු බවය. එබැවින් මෙහි ඇත්තේ සීනිවල හෝ ලුණුවල හොඳ හෝ නරක පිළිබඳ ගැටලුවක් නොව ඒවා තැනට සුදුසු පරිදි භාවිත කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ ගැටලුවකි. මෙය පිළිබඳ දේශපාලන වශයෙන් අර්ථ දක්වන්නන් පවසන්නේ මෙය පිටුපස ඇත්තේ අප රට අධිරාජ්‍යවාදීනට නැඹුරු කරවීමේ කුමන්ත්‍රණයක් බවයි. සැබවින්ම මෙහි එවැන්නක් නැතත් මේ සියලු චෝදනා එල්ලවීමට හේතු වී ඇත්තේ උසස් වුවත්, සම්භාව්‍ය වුවත්, යමක් නුසුදුසු අවස්ථාවක, නොගැළපෙන පිරිසකට ඉදිරිපත්කිරීමේ පලවිපාකයය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ නිදහස් උළෙලේ අභිමානවත්බව පිළිබඳ විවිධ පුදගලයන්ට ප්‍රශ්න කරන්නට අවස්ථාව ලැබීමත්, අප රටට කීර්තියක් ගෙන දුන් දක්ෂ ඔපෙරා ගායිකාවක් සමාජය ඉදිරියේ නින්දාවට හා අපහාසසයට ලක්වීමත්ය.