පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, May 30, 2013

How to geta agrencard lottery to USA - ඇමරිකාවේ ස්ථිර පදිංචියට යන්න ග්‍රීන්කාර්ඩ් ලොතරැයිය



ඇමරිකාවේ ස්ථිර පදිංචියට යාමට අප රටේ බොහෝ දෙනෙක් සිහින මවති දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබාදී, උසස් ජීවන තත්වයක් සහිතව ජීවත්වන්නට හැකිවෙතැයි සිතන නිසා මෙම සිහිනය සැබෑ කරගන්නට ඔවුහු උත්සාහ කරති. මේ සඳහා බොහෝ දෙනෙක් ග්‍රීන්කාර්ඩ් ලොතරැයිවල පිහිට පතන්නට පෙළඹෙති. එය සාර්ථක වුවහොත් කිසිඳු වියදමකින් තොරවම ඇමරිකාවේ පදිංචියට යාමට පුළුවන. සෑම වසරක් පාසාම මෙම ග්‍රීන්කාර්ඩ් ලොතරැයි මගින් ඇමරිකාවට ලෝකයේ විවිධරටවලින් මිනිසුන් සංක්‍රමණය වෙති. මේ පිළිබඳ අප වසරකට පමණ පෙර ද ඔබ දැනුවත් කළ බැව් ඔබට මතක ඇතිවාට සැක නැත. නමුත් මේ පිළිබඳ නවතම තොරතුරු බොහෝ දෙනෙක් බලාපොරොත්තුවන බැව් පෙනෙන්නට තිබූ බැවින් ඒ පිළිබඳ මේ වසරේදීද ඔබව දැනුවත් කරන්නට අපි අදහස් කළෙමු. 

සැබැවින්ම ග්‍රීන්කාර්ඩ් යනු කුමක්ද? 

මෙයින් කියවෙන්නේ ඇමරිකාවේ ස්ථිර පදිංචියක් සමග එහි ස්ථිර රැකියාවක් ද කරන්නට ලැබෙන අවස්ථාවක් යන්නය. ඇමරිකානුවන් නොවන සියලු ජාතීන්ට මෙම ස්ථිර පදිංචිය පිරිනැමීමේදී ඔවුනට සුවිශේෂී වූ හැඳුනුම්පතක් නිකුත්කරයි. මෙය නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ ‛ඇමරිකා එක්සත් ජනපද ස්ථිර නේවාසික වීසා බලපත්‍රය’ යනුවෙනි. මෙම බලපත්‍රය හැඳුනුම් පත්‍රයය ආකාරයෙන් පවතින අතර  කොල පැහැයෙන් යුක්තය. එබැවින් මෙය පොදුවේ ‛ග්‍රීන්කාර්ඩ්’ යනුවෙන් හඳුන්වනු ලබයි. ග්‍රීන්කාර්ඩ් යටතේ ඇමරිකානු පුරවැසිභාවය ලබාගත් පුද්ගගයකුට ද සාමාන්‍ය පුරවැසියකුටගේම අයිතිවාසිකම් හිමිවේ. නමුත් ඔහු සිය පුරවැසිභාවය පවත්වාගෙන යාම සඳහා අනුගමනය කළයුතු ක්‍රියාපටිපාටියක් තිබෙන අතර, ඒවා කඩවුවහොත් අදාළ පුද්ගලයාගේ පුරවැසිභාවට අහෝසි කරන්නට ඇමරිකානු රජයට බලය තිබේ. 

ග්‍රීන්කාර්ඩ් ලොතරැයිය යනු කුමක්ද? 

මෙයින් කියවෙන්නේද අප ග්‍රීන්කාර්ඩ් පිළිබඳ සඳහන් කළ දෙයම වන අතර වෙනස වන්නේ මෙය ලොතරැයි ක්‍රමයට නිකුත් කිරීමයි. සෑම වසරකම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ලොතරැයි ආකාරයෙන් 50,000කට පුරවැසිභාවය ප්‍රදානය කෙරේ. මෙය ඇමරිකානු සංක්‍රමණ හා පුරවැසි පණතේ 203 වැනි වගන්තිය යටතේ නීත්‍යානුකූලව ක්‍රියාත්මකවන වැඩසටහනකි. යම් පුද්ගලයකු මෙම ලොතරැයියේ ජයග්‍රාහකයකු වූයේ නම් සිය පවුලටම ඇමරිකාවේ පුරවැසිභාවය හිමිකරගත හැකිය. 

ග්‍රීන්කාර්ඩ් ලොතරැයිය සඳහා ලෝකයේ සියලුම රටවල් සුදුසුකම් ලබන්නේ නැත. නමුත් ශ්‍රී ලංකාව මෙහි ආරම්භයේ සිටම සුදුසුකම් ලබන ලැයිස්තුව යටතේ පැවතිණි. 

ග්‍රීන්කාර්ඩ් ලොතරැයිය සඳහා අයදුම් කළ හැකි පුද්ගලයන් 

මෙයට අයදුම්කරනා සෑම පුද්ගලයෙක්ම මේ සඳහා සුදුසුකම් ලබන රටක නීත්‍යානුකූල පුරවැසියකු විය යුතුය. ඔහුට උසස් අධ්‍යාපනයක් හෝ ඒ හා සමාන සුදුසුකම්ක් හෝ තිබිය යුතුය. ඔහු පසුගිය වසර පහ ඇතුළත කාලය තුළ යම්කිසි රැකියාවක් සම්බන්ධව වසර දෙකක සේවා පළපුරුද්ද ඇති අයකුද විය යුතුය. 

යම්කිසි පුද්ගගයකුට මෙම සුදුසුකම් නොමැතිනම් ඔහුට ග්‍රීන්කාර්ඩ් ලොතරැයිය සඳහා අයදුම්කළ නොහැකිය. 
ඔබ ඉංග්‍රීසි බස කතාකරන්නට නොදැනීම මෙයට අයදුම්කිරීමට බාධාවක් නොවේ. මේ සඳහා ඔබට ඇමරිකාවේ ඥාතියකු සිටිය යුතු ද නැත. 

ග්‍රීන්කාර්ඩ් ලොතරැයියේ ජයග්‍රාහකයකුවීමට තිබිය යුතු අධ්‍යාපනික සුදුසුකම් හා සේවා පළපුරුද්ද 

ඇමරිකා එක්සත් ජනපද නීතියට අනුව ග්‍රීන්කාර්ඩ් ලොතරැයිය සඳහා අයදුම්කරනා සෑම අයකුම උසස් අධ්‍යාපනය හෝ පසුගිය වසර පහ ඇතුළත ලබාගත් ඊට සමාන සුදුසුකමකින් යුක්ත විය යුතුය. ඔබ මෙම ලොතරැයිය ජයග්‍රහණය කිරීමෙන් පසු මුහුණ දෙ සම්මුඛ පරීක්ෂණයේදී මෙම සුදුසුකම් ලිඛිතව ඉදිරිපත්කළ යුතු වේ. 

මෙයට එක්වරක් අයදුම්කිරීමෙන් අනතුරුව ජයග්‍රහණය නොකළහොත් නැවත සෑම වසරකම මේ සඳහා නව අයදුම්පත්  ඉදිරිපත් කළ යුතුද? 
ඇමරිකා එක්සත් ජනපද නීතියට අනුව සෑම වසරකම නැවත නැවත අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය. සෑම ලොතරැයියක්ම වාර්ෂිකව වෙනස්වන අතර එබැවින් නව අයදුම්පතක් අත්‍යවශ්‍ය වේ. 

සෑම වසරකම මේ සඳහා කෙතරම් වාර සංඛ්‍යාවක් අයදුම්පත් යොමුකළ හැකිද? එක් අයදුම්පතකට වඩා යොමුකළ හැකිද? 

ඔබ වෙනුවෙන්, ඔබගේ සහකාරිය සහ අවුරුදු 21කට වඩා අඩු ඔබගේ දරුවන් වෙනුවෙන් ඔබට වෙන වෙනම අයදුම්පත් යොමුකළ හැකිය. ඔබත් ඔබගේ සහකාරියක් යන දෙනොම මේ සඳහා සුදුසුකම් ලබන රටවල ලැයිස්තුවේ පසුවීම ලොතරැයි දිනුමක් ලැබීමේ අවස්ථාව දෙගුණවන්නට හේතුවක් වේ. ඔබ මෙහි ජයග්‍රාහකයකු වූයේ නම් ඔබගේ ගුවන් ගමන් සඳහා මුළු පවුලටම වැයවන මුදල, මාස 6ක් ගතවනතුරු නිවාස කුළී ඇමරිකානු රජය මගින් දරනු ලැබේ.

මේ සඳහා යම්කිසි වයස් සීමාවක් තිබේද? 

අවම වයස් සීමාවක් මේ සඳහා පනවා නැත. 

ග්‍රීන්කාර්ඩ් ලොතරැයියේ ක්‍රියාවලිය කුමක්ද?

ඇමරිකානු ජාතික වීසා මධ්‍යස්ථානය මගින් සියලු අයදුම්පත් කොටස් 6කට වෙන්කරනු ලබයි. අයදුම්පත් භාරගන්නා අවසන් දිනයෙන් පසු ග්‍රීන්කාර්ඩ් ලොතරැයි පරිගණකය මගින් අහඹු ලෙස අයදුම්කරුවන්ව තෝරාගැනේ. අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරේ.

ජයග්‍රහණය කළ බැව් දැනුම් දෙන්නේ කෙසේද? 

ඔබගේ අයදුම්පතෙහි සඳහන් ලිපිනයට දැනුම් දෙනු ලබයි. එසේ දැනුම් දෙන්නේ ජයග්‍රහණය කළ පුද්ගලයන්ට පමණි. මෙම දැනුම් දීම් සෑම වසරකම අප්‍රේල් සහ ජූනි මාස ඇතුළත සිදුකෙරේ. ඉන් ඉදිරියට අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටීන් පිළිබඳ විස්තර මේ සමග දැනුම් දේ. නොතේරුණු පුද්ගලයන්ට ඒ පිළිබඳ දැනුම්දීමක් සිදු නොකෙරේ. 

මෙම දිනුම් ඇදීම සිදුකරන්නේ කොහිද? 

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්හැම්ප්ෂයර් ප්‍රාන්තයේ පොර්ට්ස්මවුත් හි ඇති ජාතික වීසා මධ්‍යස්ථානයේදීය 

ඔබ ද ග්‍රීන්කාර්ඩ් ලොතරැයිය සඳහා අයදුම් කරන්නට බලාපොරොත්තුවන්නේ නම් ඒ සඳහා අයදුම්පත් ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ලබාගන්නට පුළුවන. එසේත් නැත්නම්  http://www.usgcls.com යන වෙබ් ලිපිනයට පිවිසමෙන් ඔබට අන්තර්ජාලය ඔස්සේම සේ සඳහා ලියපදිංචි වන්නට පුළුවන. ඊට අමතරව මේ පිළිබඳ සියලු තොරතුරු එයින් ලබගෙන්නට පුළුවන. මෙය ඇමරිකානු ග්‍රීන්කාර්ඩ් ලොතරැයිය සදහා ඇති නිල වෙබ් අඩවියයි. 

ග්‍රීන්කාර්ඩ් - යවත්කාලීන ලිපිය 2013-06-06

ඇමරිකා එක්සත් ජනපදයේ ස්ථිර පදංචියට යාම සඳහා වාර්ෂිකව නිකුත්කරනු ලබන ග්‍රීන්කාර්ඩ් හෙවත් විවිධත්ව වීසා ලොතරැයිය පිළිබඳ ලිපියෙන් පසු මේ පිළිබඳ බොහෝ දෙනා මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසන්නට විය. මේ අවස්ථාවේදී ඇමරිකානු තානාපති කාර්යාලයේ සහාය ලබාගන්නට සිදුවිය. අප එයින් ලබාගත් තොරතුරුවලට අනුව ඔවුන් මේ වන විට ග්‍රීන්කාර්ඩ් ලොතරැයිය සම්බන්ධ නීති හා රෙගුලාසිවල විවිධ වෙනස්කම් සිදුකොට ඇති අතර මේ වෙනුවෙන් වෙනම නිල වෙබ් අඩවියක් ද දියත්කරන්නට සූදානමින් සිටිනා බැව් දැනගන්නට ලැබිණි. අප ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු ඔබගේ දැනගැන්ම පිණිස මේ සතියේ  ඉදිරිපත් කරන්නට තීරණය කළෙමු. 

නව අධ්‍යාපනික සුදුසුකම් 


අධ්‍යාපනික සුදුසුකම් පෙරට වඩා වෙනස්කොට තිබේ. ඇමරිකානු සංක්‍රමණ රෙගුලිසාවලට අනුව මෙම ලොතරැයිය සඳහා සුදුසුකම් ලබන්නට නම් අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් අවම වශයෙන් විෂයයන් තුනක් (3) සාර්ථකව සමත්විය යුතුවේ. ඔබට මේ සුදුසුකම් නැතිනම් ඔබගේ සේවා පළපුරුද්ද මත මෙයට සුදුසුකම් ලැබීමට අවකාශය සළසාගත හැකිය. මේ අනුව පසුගිය වසර පහ (5) තුළ ඇතුළත ලබාගත් වසර දෙකක (2) ක සේවා පළපුරුද්ද සනාථ කළ යුතුවේ.
ඔබ සේවා පළපුරුද්ද ලබාගත් රැකියාව ඇමරිකාවේදී ලබාගැනීමට නම් සරසවි උපාධි සුදුසුකම සැපිරිය යුතු එකක් බව සැළකිය යුතුය.  සේවා පළපුරුද්ද මත මෙම ලොතරැයිය සඳහා සුදුසුකම් ලබන්නට හැකියාව ඇත්තේ සුළු පිරිසකට පමණි. එබැවින් අයදුම්පත් යොමුකරන්නට පෙර ඔබ සතුව මෙම සුදුසුකම් තිබේදැයි සනාථකරගත යුතුය. 


රැවටිලිකාර ඊමේල් සහ ලිපිවලට හසුවන්නට එපා 


ග්‍රීන්කාර්ඩ් ලොතරැයිය නමින් පිහිටවූ වංචා සහගත වෙබ් අඩවි බොහොමයක් ඇති බව ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි. එවැනි වෙබ් අඩවි, ඒවායෙන් ලැබෙන් ඊමෙල් හෝ වෙනත් ලිපිවලට හසුනොවී නිවැරදි මගපෙන්වීමක් යටතේ මෙම ලොතරැයියට අයදුම් කරන්නැයි තානාපති කාර්යාලය ඉල්ලා සිටී. මෙම ඇතැම් වෙබ් අඩවි ඔබගෙන් වංචා සහගත ලෙස මුදල් ලබාගැනීමට ද ඉඩ තිබේ. ග්‍රීන්කාර්ඩ් ලොතරැයියට ඔබ ඉල්ලුම් කරන්නට අපේක්ෂා කරන්නේ නම් පහත සඳහන් තොරතුරු ඔබගේ විශේෂ අවධානයට යොමුවිය යුතුය. 


ග්‍රීන්කාර්ඩ් ලොතරැයිය මඟින් සෑම රටකම සිටින අයදුම්කරුවන්ට ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීම සඳහා අයදුම් කළ නොහැක. ඇමරිකානු රජය විසින් මෙයට අයදුම් කළ හැකි රටවල් නම්කොට තිබේ. කෙසේ නමුත් 2014 වසර වෙනුවෙන් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලය දැන් අවසන්වී තිබේ. 2015 වෙනුවෙන් අයදුම්පත් ඉදිරිපත්කිරීම සඳහා ඔබ නිතර අවධානයෙන් සිටිය යුතුය. දැනට ඔබ මේ සඳහා විස්තර ලබාගන්නේ නම්

http://srilanka.usembassy.gov/visas/diversity-visa-lottery-program.html යන වෙබ් අඩවියට පිවීසිය හැකිය. නමුත් නොබෝ දිනකින්ම මේ වෙනුවෙන්ම වෙබ් අඩවියක් දියත් කරන්නට නියමිතය. එබැවින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යායේ වෙබ් අඩවියට
^http://srilanka.usembassy.gov) නිතර පිවිස බැලීමෙන් ඔබට මේ පිළිබඳ තොරතුරු ලබාගැනීමට හැකිවනු ඇත.

ඔබ මේ වනවිට 2014 වසර සඳහා අයදුම්පත් යොමුකළ අයෙක් නම්

https://www.dvlottery.state.gov/ නම් වෙබ් අඩවියට පිවීසීමෙන් ඔබ ඒ සඳහා සුදුසුකම් ලැබ ඇතිදැයි සොයා බැලිය හැකිය. 2013 මැයි 1 දා සිට මෙම ප්‍රතිඵල ලබාගැනීමේ ඉඩපහසුකම සළසා තිබේ. මීට අමතරව ඔබ මේ සඳහා තේරී ඇතිබව පෙරදී මෙන් තැපැල් මගින් ඔබගේ නිවසට දන්වන්නේ නැත.  අනෙක මෙම ප්‍රතිඵල සියලු දෙනාටම බලාගත හැකි ආකාරයට දක්වන්නේ ද නැත. ඔබ අයදුම්පත යොමුකරනා අවස්ථාවේදීම ඔබට යම්කිසි රහස් අංකයක් ලබාදෙන අතර ඉහත වෙබ් ලිපිනයට පිවීසීමේදී ඔබගෙන් එම රහස් අංකය විමසා සිටියි. එය ඇතුල්කිරීමෙන් පසු ඔබ මේ සඳහා තේරී ඇතිදැයි පරීක්ෂාකරගත හැක.
 


Monday, May 27, 2013

Personal Life of King Sukjong - සුක්ජොන්ග් රජුගේ පෞද්ගලික තොතරතුරු ටිකක් දැනගනිමු




මේ දිනවල රූපවාහිනි නාලිකාවල විකාශනනය වන ටෙලිනාට්‍ය අතුරින් කොරියානු ටෙලි නාට්‍යයක් වන ‛අභීත දියණී’ සඳහා ප්‍රේක්ෂකයන් තුළ පවතින්නේ දැඩි කැමැත්තක්. සමහරවිට එයට එතරම් කැමැත්තක් දක්වන්නේ එය ඓතිහාසික ආදර කතාවක් නිසා වන්නටත් පුළුවන්. අභීත දියණි නාට්‍යයේ ප්‍රධාන චරිත සහිත පුවත්පත් කවර, ටියුෂන් පංතිවල නිබන්ධන, ස්ටිකර් වැනි දේවල් නිතර දකින්නට ලැබෙනවා. එය කෙතරම් ජනප්‍රියද කියා එවැනි දේවල්වලින් හොඳින්ම පැහැදිලි වෙනවා. මේ නිසා තමයි අපි එහි ප්‍රධාන චරිතයක් වන ‛දොංග් යි’ ගැන මීට පෙර කතා කළේ. අද අපි කතා කරන්නට යන්නේ දොංග් යි ට පෙම්බැඳි රජතුමා වන ‛සුක්ජොන්ග්’ ගැන කතා කරන්නයි. ඇත්තම කිව්වොත් රජතුමා ගැන නෙවෙයි. රජතුමාගේ චරිතයට පණ දෙන ඒ අපූරු රංගන ශිල්පියා ගැන කතාකරන්නයි. 

සුක්ජොන්ග් රජුගේ චරිතය නිරූපණය කරන්නේ ජනප්‍රිය කොරියානු නළුවකුවන ජි ජින-හී. 1971 ජුනි 24 වැනිදා දකුණු කොරියාවේ උපත ලද ජි ජින්-හී වෘත්තියෙන් නළුවෙක්. උසින් සෙ.මී. 178ක් වනවා. බර කිලෝ ග්‍රූම් 71යි. කටක ලග්නය හිමි ඔහුගේ රුධිර ඝනය වන්නේ බී පොසිටිව්.
ඔහු විවාහකයෙක්. ඇතැම් ජනප්‍රිය නළුවන් තමන්ගේ ජනප්‍රියබව අඩුයේ යැයි සැක්යෙන් විවාහක බව සඟවන්නට උත්සාහ කළත් ඔහු පවසන්නේ තමාට එවැන්නක් කිරීම අවශ්‍ය නැති බවයි. ඔහු විවාහ වී ඇති බව ප්‍රසිද්ධියට කරුණක් වුණත්, එය ඔහුගේ ජනප්‍රියත්වයට නම් කිසිම බැලපෑමක් වෙලා නැහැ. ඔහු විවාහ වුණේ 2004 වසරේදී. ඒ ලී සු යොන් එක්ක. 


කොරියාවේ ම්යුන්ග් සරසවියෙන් සැළසුම්කරණය පිළිබඳ හදාරා ඇති ඔහු මුළින්ම සේවය කළේ සැළසුම් ශිල්පියකු ලෙසටයි. පසුව, ඡායාරූප ශිල්පියකු ලෙස ද වැඩකටයුතු කළා.  රංගන ශිල්පියකු බවට පත්වූයේ ඉන් පසුවයි. 


 ‛මිස් මිලියන් ඩොලර් ක්වෙස්ට්’, ‛ලව් ලෙටර්’, ‛ස්ප්‍රින්ග් ඩේස්’, ඓතිහාසික ටෙලිනාට්‍ය වූ ‛ඩා ජැන්ග් ගියුම්’ හෙවත් අප දන්නා පරිදි ‛සුජාත දියණි’, හා ‛ඩොන්ග් යි’ හෙවත් අප දන්නා පරිදි ‛අභීත දියණී’ යන රූපවාහිනි මාළා නාටකවල රඟපෑමෙන් කොරියාවේ පමණක් නොව තවත රටවල් ගණනාවක අතිශය ජනප්‍රියත්වයට පත්වුණා. 


විශේෂයෙන් අවසානයට සඳහන් කළ, අප රටේ ද විකාශනය වූ ‛සුජාත දියණී’ හා දැනට විකාශනය වෙමින් පවතින ‛අභීත දියණී’ යන නාට්‍ය ඔහුව  ජනප්‍රියත්වයේ ඉහළටම ගෙන යන්නට හේතුවක් වුණා.
ජි ජින්-හී ‛සුජාත දියණි’ හි පෙනී සිටියේ ‛මින් ජුන්ග්-හෝ’ ගේ චරිතය සඳහායි. එහි මින් යනු කඩවසම් පෙනුමක් ඇති බුද්ධිමත් පුද්ගලයෙක්. විද්වතකු මෙන්ම සටන් ශිල්පය හොඳින් හැදෑරූ අයෙක්. ඔහු රජු යටතේ විනිශ්චයකරුවකු ලෙසටත්  සේවය කළා. ඔහුගේ ජීවිතයට අනතුරක් සිදුවන්නට ගිය අවස්ථාවක ඔහු නොදැනීම ජීවිතය ගළවාගන්නේ ජැන්ග් ගියුම් හෙවත් චංගුමී විසින්. ඔවුන් අතර ආදරයක් ගොඩනැගෙන්නේ ඉන් පසුවයි. 


මේ දිනවල විකාශනය වෙමින් පවතින ‛අභීත දියණි’ ටෙලි නාට්‍යයේ ජි ජින්-හී පෙනී සිටින්නේ තවත් ඓතිහාසික චරිතයක් වූ සුක්ජොන්ග් රජු ලෙසටයි. රජවාසලේ සේවිකාවක වූ ඩොන්ග් යි සමග ඔහු ආදර සබඳතාවයක් ගොඩ නගා ගන්නවා. 


මෙම ටෙලිනාට්‍යවල චරිතවලට පෙනී සිටීමෙන් අනතුරුව ඔහුට කොරියාවෙන් වාගේම අන් රටවලින් ද ලැබී ඇති ප්‍රෙක්ෂක ප්‍රතිචාර අති විශාලයි. විශේෂයෙන් කාන්තාවන් අතර ඔහු අතිශය ජනප්‍රිය මෙන්ම ආදරණීය චරිතයක්. ඔහු වෙනුවෙන් වූ අන්තර්ජාල ෆේස්බුක් රසික පිටුවට ගොඩවැදීමෙන් පමණක්ම ඔහුගේ ජනප්‍රියත්වය පිළිබඳ තක්සේරුවක් ලබාගත හැකියි. 


කොරියානු ටෙලිනාට්‍ය එතරම් ජනප්‍රියත්වය නොමැති ඕස්ට්‍රේලියාවේ රූපගත කිරීමකට ජි ජින්-හී සහභාගී වූ අවස්ථාවේ දී එහි තරුණියන්ගේ දැවැන්ත ප්‍රතිචාරයක් ඔහුට ලැබුණු බැව් එක් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කොට තිබුණා. ඔහු පවසන්නේ ඓතිහාසික ටෙලිනාට්‍යවල ඔහු පෙනී සිටිනු දකින්නට බොහෝ රසික රසිකාවියන් බෙහෙවින් කැමැත්තක් දක්වන බවයි. ‛ඩා ජැන්ග් ගියුම්’ හෙවත් ‛සුජාත දියණි’ හි රඟපෑම වෙනුවෙන් ඔහු චීනයේ ද අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.  ඒ වාගේම චීනයේ සී.ඊ.ටී.වී. යන වින්දනාත්මක් නාළිකාව මගින් ඔහුට 2010 වසරේ ‛ආසියානු තාරකාව’ යන සම්මානය ද පුදකරනු ලැබුවා. මීට අමතරව ආසියානු රටවල මෙන්ම යුරෝපීට රටවලද ඔහු බොහෝ දෙනෙකුගේ, විශේෂයෙන් යුවතියන්ගේ ආදරනීය චරිතයක් බවට පත්ව හමාරයි. 


ටෙලිනාට්‍යවලට අමතරව ඔහු මේ වන විට චිත්‍රපට ද 12ක පමණ චරිත නිරූපණය කොට තිබෙනවා. ඔහු මෙතෙක් රංගනයෙන් දායක වූ ටෙලනාට්‍ය සංඛ්‍යාව 17ක් පමණ වනවා. විවිධ රූපවාහිනි වැඩසටහන් මෙහෙයවන්නකු ලෙස ද ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර දිනා ඇති ඔහු ඩොන්ග් යි, එහෙමත් නැත්නම් ‛අභීත දියණී’ හි රඟපෑම වෙනුවෙන් විශිෂ්ටතා සම්මානයක් දිනාගෙන තිබෙනවා. ඊට අමතරව තවත් සම්මාන කිහිපයක්ම මේ වනවිට දිනාගෙන තිබෙනවා.

Saturday, May 25, 2013

Cha Chun Soo in Dong Yi - අභීත දියණි හි චෙන් සෝ


කොරියානු ටෙලි නාට්‍යයක් වන ‛දොංග් යි’ හෙවත් ‛අභීත දියණී’ මේ වන විට අප රටේ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති බැව් රහසක් නොවේ. කොරියානු නාට්‍ය ජනප්‍රිය වීමේ වාසනාව මෙයට ද යහමින් ලැබී ඇති බැව් පෙනේ. නාට්‍යයක් හෝ චිත්‍රපටයක් ජනප්‍රියත්වයට පත්වෙමින් පවතින විට එහි පෙනී සිටින නළු නිළියන් පිළිබඳ විස්තර සොයා බලන්නට ප්‍රේක්ෂකයන් තුළ ඇතිවන්නේ ද නොමද කැමැත්තකි. ඒ නිසාම අප විටින් විට මෙහි ප්‍රධාන  චරිත පිළිබඳ අලුත්ම තොරතුරු ඉදිරිපත් කළෙමු. නාට්‍යය කෙරෙහි ප්‍රේක්ෂකයන් තව තවත් ආකර්ෂණය වන විට ඔවුහු මෙහි සෙසු චරිත පිළිබඳව සොයා බලන්නට ද කැමැත්තකින් පසුවන බැව් පෙනේ. ප්‍රධාන චරිත නොවූවද නාට්‍යය ඉදිරියට ගෙන යන්නට මෙවැනි චරිතවලින් ලැබෙන පිටිවහල විශාල නිසා ප්‍රෙක්ෂකයෝ එවැනි චරිතවලට ද කැමැත්තකින් පසුවෙති. එබැවින් අද අපි ඉදිරිපත් කරන්නට සැරසෙන්නේ ද ප්‍රේක්ෂක ආදරය දිනාගත් සෙසු චරිතයක් පිළිබඳව හා ඔහු සමග අන්තර්ජාලය ඔස්සේ කරන ලද කෙටි පිළිසඳරකි.
‛අභීත දියණි’ ඔබගේ ද ජනප්‍රිය ටෙලිනාට්‍යක් නම් එහි ඔබ දකින චා චුන්-සූ චරිතය ඔබට මතක ඇතිවාට සැකයක් නැත. මේ චරිතය නිරූපණය කරන්නේ ‛බේ සූ බින්’ ය. ඔහු කොරියාවේ මෙන්ම චීනයේ හා ජපානයේ ද එකසේ ජනප්‍රිය තරුවකි. සියල්ලට පෙර අපි මුළින්ම මේ චරිතයේ ඓතිහාසික පසුබිම පිළිබඳව මඳක් කතාකරමු.
‛අභීත දියණි’ ටෙලි නාට්‍යයයේ බේ සූ බින් නිරූපනය කරනා චා චුන්-සූ යනු ගුමාගී නම් රහස් අසිපත් සංවිධානයක නායකයෙකි. දහවල් කාලයේ දී රජවාසලේ නිල මළසිරුරු පරීක්ෂතවරයා වන ඔහු රාත්‍රී කාලයේදී සිදුකරනු ලබන්නේ දූෂණ වංචා සිදුකරනා රාජය නිලධාරීන්ට මරණය පත්කොට සමාජය පවිත්‍රකිරීමය. ඔහු කුලයෙන් ඉතා පහත් තත්වයක සිටිය ද කඩු ශිල්පය අතින් පරතෙරටම ගිය අයෙකි. මෙම ගුමාගී නම් රහස් සංවිධානය ආරම්භ කරනු ලබන්නේ දොංග් යි හේ පියා වන අතර, ඔහු චා චුන්-සූ ව දැඩිව විශ්වාස කළ බැවින්, ඔහු ලාබාල වුවත් එම සංවිධානයේ නායකත්වයට පත්කරයි. ඔහු දොංග් යි ගේ සොයුරාගේ සමීතම මිතුරකු ද විය. දොංග් යි ගේ පියා සහ සොයුරා මරණයට පත්වන අවස්ථාවේ දී දොංග් යි ගේ ආරක්ෂාව භාර දෙන්නේ චා චුන්සූ ටය. ඔහු එය නොපිරිහෙළා ඉටුකරන අතර කිසිදා ඉටුකරගත නොහැකි වුව ද ඔහු දොංග් යි ට ආදරය කරන්නට ද පටන්ගනී. ඔහු සිය මුළු ජීවිත කාලය මුළුල්ලේම ඇයට ආදරය කරයි.
අභීත දියණියහි මෙම රහස් සටන්කරුවාගේ චරිතය ඔබ හමුවට ගෙන එන බේ සූ-බින් 1976 දෙසැම්බර් 9 වැනිදා ධනු ලග්නයෙන් උපත ලද්දෙකි. වෘත්තියෙන් නළුවෙකි. ප්‍රෙක්ෂකයන් ඔහුව සනී බේ යන ආදර නාමයෙන් ද හඳුන්වනු ලබයි. ඔහු තමා රංගනයෙන් දායක වූ ‛බ්‍රිලියන්ට් ලෙගසි’, ‛ටෙම්ප්ටේෂන් ඔෆ් ඒන්ජල්’, සහ ‛ඩොන්ග් යි’ හෙවත් අප දන්නා පරිදි ‛අභීත දියණි’ හි චරිත නිරූපනය කිරීමෙන් ජනප්‍රිය නළුවෙක් බවට පත්විය. ඔහු ටෙලිනාට්‍යවලට අමතරව ‛ද වේ-මන් ඔෆ් ද වයිට් පෝර්සිලේන්’, ‛ට්වෙන්ට් සික්ස් යියර්ස්’ සහ ‛මායි රටීමා’ යන සිනමාපටවලට ද රංගනයෙන් දායකවී තිබේ.
ටෙලිනාට්‍යය හා චිත්‍රපට හැරුණු විට ඔහු වේදිකා නාට්‍යවලද පෙනී සිට ඇති අතර සම්මාන ද කිහිපයක්ම ලබාගැනීමට සමත්විය.

බේ සූ-බින්  සමග අන්තර්ජාලය ඔස්සේ අපි කතා කළෙමු.

ඔබ මෙතෙක් කරන ලද සියල්ලම  පාහේ ඉතා ඥානවන්ත හා බුද්ධිය හොඳින් මෙහෙයවන පුද්ගලයන් පිළිබඳ චරිතයි. ශ්‍රී ලංකාවේ දැනට විකාශන වන දොන්ග් යි (අභීත දියණී) හි ඔබ නිරූපනය කරන්නේ දක්ෂ කඩු ශිල්පියකුගේ චරිතයක්. අනෙක් නාට්‍ය අප දැක නැතත් ඒවායේ තොරතුරු අන්තර්ජාලයෙන් දැක තිබෙනවා. ඔබ් මේවා හිතාමතාම තෝරාගත් ඒවාද?
නැහැ කොහෙත්ම නැහැ. මේ සියලු චරිත මට ලැබුණු ඒවායි. ඇත්තම කිව්වොත් මට දැන් මේ එකම විදියේ චරිතවල රඟපෑම එපාවෙලා තියෙන්නේ.
අන්තර්ජාලයේ විවිධ තැන්වල පළවී තිබුණු තොරතුරු අනුව ඔබට ගෙවුණු වසර සෑහෙන කාර්යබහුල කාලයක්. ඒ කියන්නේ ඔබ එක දිගට රංගන කටයුතුවල නිරතවී ඇති බවයි. ඔබ ඉවක්බවක් නැතිව හැම චරිතයම භාරගන්නා බවයි තැනින් තැනින් ආරංචි වන්නේ. මේ ගැන ඔබ පවසන්නේ කුමක්ද?
මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නට නම් අපට ලැබෙන හැම චරිතයම වාගේ රඟ පෑ යුතුයි. සොයා බලන්නට අවශ්‍යකරන්නේ ඒවා අයහපත් ඒවා ද කියාය. චරිතයේ ගැටළුවක් නැත්නම් රඟපෑමේ ද ගැටළුවක් නැහැ. ඇත්තේනම් පසුගිය වසර මට බොහෝ අත්දැකීම් ලබාදුන් වසරක්. මට උපරිම වශයෙන්  කළ හැක්කේ කුමක්ද යන්න අවබෝධ කරගන්නට මට අවශ්‍යයි. ඒ වෙනුවෙන් මම හැකිතාක් චරිත නිරූපනය කළ යුතුයි. හැම චරිතයක්ම එකිනෙකට වෙනස්. රසිකයින් ඒවාට ඇලුම්කරන්නේ එක් එක් මට්ටමින්. ඒත ඇත්තම කියනවා නම් මට සතුට ලැබෙන විදියේ චරිතයක් තවමත් ලැබී නැහැ.
ඉවක්බවක් නැතිව චරිත තෝරාගැනීමෙන් ඔබ මේ ක්ෂේත්‍රය තුළ අතරමංවේ යැයි සිතෙන්නේ නැද්ද?
මම හිතන්නේ ඇයි මම මේ වෘත්තියේම යෙදී ඉන්නේ කියලයි. ඒ වෙනුවෙන් මම කළ යුත්තේ කුමක්ද කියලත් මම හිතුවා. ඉතිං මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්න නම් හැකිතාක් රඟපෑම හැර වෙන දෙයක් ඉතිරිවෙලා නැහැ. ඇත්තටම මට ඕන මේ රැල්ලත් එක්ක ඉදිරියට යන්න මිසක් එයට එරෙහිවන්නට නොවෙයි.
ඔබ චරිත තෝරාගැනීමේදී යම්කිසි මිණුම් දණ්ඩක් අනුගමනය කරනවාද?
මම හිතන්නේ මෙච්චරයි. මම ඒ චරිතය කළොත් ඒක කොහොම එකක් වෙයි ද කියලා විතරයි. මම මගේ චරිතය අවබෝධකර ගන්නට උත්සාහ ගන්නවා. මම මෙතෙක් රඟපෑ කැමතිම චරිතය විදියට දකින්නේ ‛බ්‍රිලියන්ට් ලෙගසි’ හි ජෙන්-සේ ගේ චරිතයයි.
ඔබ මිනිසුන් අතර ගැවසෙන්න කැමතිද? ඔබ කැමත් අනෙක් දේවල් මොනවද?
මම කැමති තනිව ඉන්නත් කැමතියි. ඒත් මිනිසුන් අතර සිටීමෙන් මම ලොකු සතුටක් ලබනවා. මිතුරන් ඇතිකරගන්නටත් මගේ ලොකු කැමැතතක් තියෙනවා. සංගීතයටත් මම ඉතා කැමතියි.

ඉතිහාස කතාවට අනුව දොංග් යි ගේ ආරක්ෂාව ඇගේ පියා සහ සොහොයුරා භාර දෙන්නේ චා චුන්-සූ ටය. ඔහු පසුකාලයේ දොංග් යි ට ආදරය කරන්නට පටන්ගනී. නමුත් එය සපලවන ආදරයක් නොවේ. එයට හේතුව සුක්ජොන්ග් රජු දොංග් යිට ආදරය කොට ඇය සිය අන්තඃපුරයට එක්කරගන්නා බැවිනි. නමුත් හැන් බේ සුන් බී සිය ජීවිත තාලය පුරාම දොංග් යි ට ආදරය කරයි. මෑතකදී එක් සඟරාවක් වෙනුවෙන් ‛ලව් ඇක්චුවලි’ නමින් කළ ඡායාරූප පෙළ සඳහා පෙම්වතුන් ලෙස චා චුන්-සූ ට පණ දුන් බේ සූ බින් සහ දොංග් යි ට පණ දුන් හැන් හ්යෝ ජූ පෙනී සිටියහ. මාධ්‍ය මගින් මෙය හඳුන්වාදුන්නේ ඉතිහාසය පුරා එක්වන්නට නොහැකි වූ පෙම්වතුන් එක්කළ අවස්ථාවක් ලෙසිනි.
දොංග් යි ගේ කතාව, එසේත් නැත්නම් අභීත දියණි ජපානයේද අතිශය ජනාදරයට පත්වූ ටෙලි නාට්‍යයකි. එය එතරම් ජනප්‍රිය වන්නට හේතු වූයේ ජපානය තුළ මෙම ටෙලි නාට්‍යය පිළිබඳ ප්‍රචාරණ වැඩසටහන් බෙහෝමයක් දියක් කෙරුණු නිසාය. මෙම ප්‍රචාරණ වැඩසටහන් සියල්ලට පෙම්වතුන් යුවලක් ලෙසින් එක්ව සිටියේ බේ සූ බින් සහ දොංග් යි ලෙස පෙනී සිටිනා හැන් හ්යෝ ජූ ය. ඔවුන් නිතර නිතර යුවලක් ලෙස සිටිනා බැව් මාධ්‍ය මගින් හා දූෂමාන ආරංචි පතුරුවන වෙබ් අඩවිවගද කිහිපවරක් පළවී තිබිණි.
වසර 8ක් පුරා තමන් ආදරය කළ පෙම්වතිය තමා අතහැර ගිය බවයි ඔහු එක් අවස්ථාවකදී මාධ්‍යයකට පවසා තිබිණි. තමාට වසර දෙකක් පමණ ලාබාල වියෙහි ඇය පසුවන බව පමණක් ප්‍රකාශ කළ ඔහු ඇයගේ නම හෙළිකිරීමෙන් වැළකී සිටියේය. එහෙත් ඇය ව්‍යාපාරික කාන්තාවක බව පමණක් ඔහු පවසා තිබිණි. තමාගේ වෘත්තිය අතිශය කාර්යබහුල් නිසා සිය පෙම්වතිය හමුවන්නට යාම නිතර අතපසුවීම ඔහුත් ඇයත් අතර දුරස්බවක් ඇති කරන්නට හේතු වූ බව ඔහු පවසයි. අනෙක් අතට ඇගේ ව්‍යාපාරික වැඩකටයුතු නිසා ඇයද කාර්ය බහුල තත්වයක පසුවූ බව ඔහු මාධ්‍යයට පවසා තිබිණි.    අවසානයේ සිදුවූයේ ආදරය අහිමිවීම පමණක් යැයි ඔහු ප්‍රකාශ කර සිටියේය. ඔහු තවමත් ඒ පිළිබඳ පසුවන්නේ දැඩි සෝකයකින් බවත් පවසා තිබිණි.
මෑතකදී රඟපෑ ‛ෂයිනින්ග් ඉන්හෙරිටනස්’ නම් රූපවාහිනි මාළා නාටකය නිසා බේ සූ බින් අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති බැව් පෙනේ. එබැවින් ඔහු පිළිබඳ මාධ්‍ය නිතර ඇස ගසාගෙන සිටී. මේ නිසාම ඔහු පිළිබඳ රසවත් පුවතක් මාධ්‍යවලට හසුවිය.
ඔහු දිනක් සිය මිතුරන් කිහිප දෙනෙකු සමඟ මුහුදු වෙරළට පැමිණි අවස්ථාවක බීමතින් සිටි කාන්තාවක් පැමිණ ඔහුව සිපගෙන තිබේ. සිපගන්නා අතරේ ඇය පවසා ඇත්තේ ‛ෂයිනින් ඉන්හෙරිටන්ස්’ කියාය.  මේ සිදුවීමෙන් ඔහු අපහසුතාවයකට පත්වුවත් පසුව ඔහු පැවසූයේ මත්පැන් පානය කොට සිහිය තරමක් විකල්ව ගිය අයෙකුට පවා තමාව හඳුනාගැනීමට හැකිවීම ගැන තමා ඉතාමත් සතුටට පත්වන බවයි.
ඔහුගේ රංගන කෞශල්‍යය වෙනුවෙන් ඔහු කොරියාවේදී මෙන් වෙනත් රටවල ද පැවැත්වූ සම්මාන උළෙලවලදී ඔහු සම්මාන කිහිපයක්ම දිනාගන්නට ද සමත්විය.






Sunday, May 19, 2013

Han Hyo-joo as Dong Yi - අභීත දියණි හි දොංග් යි ගේ චරිතය නිරෑපණය කරනා හැන් හ්යෝ-ජූ


අපේ රටට විදෙස් රටවලින් ලැබෙන ටෙලිනාට්‍යවලට ප්‍රේක්ෂතයන්ගෙන් තියෙන්නේ ලොකු ඉල්ලුමක්.  මලු කාලේ ඔෂින් ජනප්‍රිය වුණා. ඊට පස්සේ ‛සුජාත දියණි’ ජනප්‍රිය වුණා. ඒ විදියට මේ දවස්වල ප්‍රේක්ෂකයන්ගේ ආදරයක් දිනාගනිම්න විකාශනය වන විදෙස් ටෙලි නාට්‍යයක් තමයි ‛අභීත දියණි’. කොරියාන් ඓතිහාසික කතාවක් මුල්කරගෙන තමයි මේ ටෙලිනාට්‍යය නිර්මාණය කරල තියෙන්නේ .

මේ ටෙලි නාට්‍යය අපේ රටේ දි ‛අභීත දියණි’ විදියට හැඳුන්වුවත් කොරියාවෙදි මෙය හඳුන්වන්නේ ‛දොං යි’ නමින්. දොං යි කියන්නේ මේ කතාවේ කතා නායිකාව. ඓතිහාසික කතාවෙත් ඇය සුරූපි තරුණියක්. ඒ නිසාම මේ ටෙලිනාට්‍යය සඳහා තෝරාගෙන තියෙන්නේ සුරූපි තරුණියක්. ඇය නමින් ‛හැන් හ්යෝ - ජු’. 1987 පෙබරවාරි 22 වැනි දින දකුණු කොරියාවේ චියොන්ග්ජු හි තමයි ඇය උපත ගැබුවේ.  මීන ලග්නය හිමි ඇය සෙ.මී. 172ක් උසින් ද කිලෝ ග්‍රූම් 48 ක බරින්ද යුක්ත වෙනවා.  රුධිර ගණය ‛ඒ’. ඇයට බාල සොයුරෙක් ද ඉන්නවා.  ඇගේ මව මුලින්ම  ප්‍රාථමික පාසල් ගුරුවරියක් විදියට සේවය කළා. පසුව පාසල් පරීක්ෂවරියක බවට පත් වුණා.  ඇගේ පියා සේවය කරන්නේ හමුදාවේ. කුඩා කාලයේ පටන්ම හැන් හ්යෝ -ජූ ක්‍රීඩාවලට දක්ෂතා පෙන්නුම් කළා. පසුකාලයේ දී ඇය උසස් අධ්‍යාපනය සඳහා සෝල් නුවර පිහිටි බුල්ගොක් පාසලට ඇතුළු වුණා.  ඉන් පසුව ඇයට ඩොන්ගුක් සරසවියට ඇතුළුවන්නට අවස්ථාව ලැබුණා. විශ්ව විද්‍යාලයේ ඉන්න අතරේ ඇයට වේදිකාව ගැන කැමැත්තක් ඇතිවන්නට පටන් ගත්තා.

දන්නා හඳුනන හැම දෙනෙක්ම කියන්නේ හැන් හ්යෝ - ජූ යන් ඉතා සන්සුන් තැනැත්තියක් කියලයි. ඇය ඉක්මණින් තරහ ගන්නේ නැති තරුණියක් විදියටත් ප්‍රසිද්ධයි.
2003 දී ‛බින්ග් -  ගෙවුරෝ’ නමින් පවත්වන ලද රූ රැජිණනන් තෝරන තරගයකින් පළමු තැන දිනාගන්නට හැන් හ්යෝ -ජූ සමත් වුණා. බින්ග් - ගෙවුරෝ කියන්නේ කොරියානු ආහාර සමාගමක්. සිනමා සහ ටෙලි නාට්‍යවල විවිධ චරිත ඇයට කලා ලොවෙහි අවධානය යොමු වූයේ මෙයින් පසුවයි. ඉන් අනතුරුව ඇයට Nonstop 5 යන රූපවාහිනි නාට්‍යයේ  හා My Boss  සහMy Teacher  යන සිනමා නිර්මාණවල ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායකවන්නට අවස්ථාවක් හිමිවුණා. ඒත්  ඇගේ කුළුඳුල් නිර්මාණය  නම් කිසිවකුගේ සැළකිල්ලකට ලක්වුණේ නැහැ. කොහොම වුණත්  2006 දී ඇයට Spring Waltz  සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නට ආරාධනා ලැබුණා. රඟපෑම ගැන ඈ තුළ එතරම් පළුපුරුද්දක් නොවූ නිසා මෙහි රංගන කටයුතුවලදී හැන් හුයෝ - ජූ දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන්නට වූවාය.

වර්ෂ 2006දීම ඇයට එරට දක්ෂ සිනමා අධ්‍යක්ෂවරයකු වූ ලී යූන් කිගේ Ad Lib Night  ප්‍රධාන චරිතය සඳහා ආරාධනා ලැබුණා. අත්දැකීම් අඩුවුණත් ඇය එහි වඩාත් දක්ෂ ලෙස රංගන කටයුතුවල යෙදුණා.  ඇගේ රඟපෑම ගැන සිනමා විචාරකයන්ද ප්‍රශංසා කළා. මෙහි අවසන් ප්‍රතිපළය වුණේ 26 වැනි කොරියානු සිනමා විචාරක සම්මාන උළෙලේදී සහ 20 වැනි සිංගප්පූරු ජාත්‍යන්තර සිනමා උළෙලේදී ඇය හොඳම නිළිය වශයෙන් අභිෂේක ලැබීමයි.

ඇය වාණිජමය වශයෙන් සාර්ථක්තවයට පත්වන්නට වූයේ රංගන ශිල්පියකු මෙන්ම අධ්‍යක්ෂවරයකු ද වූ ලී සියොන්ග් - කි ගේ Brilliant Legacy  රූපවාහිනි මාළා නාටකය රඟපෑමෙන් පසුවයි.  පසුවය. ඇය එහි රඟපෑමෙන් පසුව කෙතරම් ජනප්‍රිය වූ ලක්වූවාදැයි කිවහොත් හැ‛න්  හ්යෝ - ජූ කොරියාවේ වඩාත් ජනප්‍රියතම තරුණ රංගන ශිල්පිනිය බවටත් පත්වුණා. ඇගේ නම  ලෙස කාගේත් මුවග රැව් දෙන නමක් බවට පත් වුණා. මෙම ජනප්‍රියත්වත් සමගම ඇය පසුපස මාධ්‍ය, ඕපාදූප සඟරා ලුහුබඳින්නට පටන් ගත්තා.

ඇය දැනට ටෙලි නිර්මාණ 8කට දායක වී ඇති අතර ඒ අතුරින් වඩාත්ම ජනප්‍රියත්වයක් හිමි කරගත්තේ දොංග් යි හෙවත් සිංහලෙන් අප දන්නා අභීත දියණි යයි. හැන් හ්යෝ - ජූ මේවන විට සිනමා නිර්මාණ ද 8කට පමණ දායක වී තිබෙනවා. ඇය විනෝදාංශ විදියට කරන්නේ චිත්‍රපට නැරඹීම, පොත් කියවීම සහ කුඩා දරුවන්ට කතන්දර කියා දීමයි.
හැන් හ්යෝ - ජූ ජපන් ප්‍රේක්ෂකයින් අතර  ද අතිශය ජනප්‍රිය ශිල්පිනියක්. මේ නිසාම ඇයට ජපන් භාෂාව ද ඉගෙන ගන්නට සිදුවුණා. ඇය රංගනයෙන් දායක වූ Postman to Heaven හා Ad Lib Night  ජපානය පසුබිම්කරගනිමින් ලියැවුණු කතා.

කොරියාවේ ප්‍රද්ර්ශනය වූ My Back Page  වාචික උප සිරැසි මෙහෙය වූ සහා දායක වූ ඇය එමඟින් දෘෂ්‍යාබාධිත කොරියානුවන් ට ජපන් චිත්‍රපටයක් රස විඳීම සඳහා අවස්ථාව සළසා දුන්නා.

ටෙලි නාට්‍ය හා සිනමා නිර්මාණවලට දායක වීමෙන් ඇය දැනට විවිධ මට්ටමේ සම්මාන රැසක්ම දිනාගන්නට සමත් වී තිබෙනවා.

Thursday, May 16, 2013

How to find matching spectacle - මුහුණට ගැළපෙන උපැසු යුවලක් තෝරා ගනිමු



උපැස් යුවලක් යමෙකු පළඳින්නේ සිය පෙනීමේ දුර්වලතාවයන් මග හරවා ගැනීම සඳහාය. උපැස් නිර්මාණය කරන ලද්දේ ද එම අරමුණිනි. අද ද එම අරමුණ වෙනස්ව නැත. නමුත් අතීතයේ සිට වර්තමානය දක්වා උපැස් නිර්මාණය කිරීමේ කාර්යය දෙස බැලීමේදී එහි සිදුවූ පරිණාමය අපට පැහැදිලිව පෙනෙන්නට තිබේ. එනම්  උපැස් යුවලකින් සිය දෑස්වල පෙනීම පමණක් නොව මුහුණේ පෙනුම ද වැඩි දියුණු කරගැනීමට භාවිත කරන බවයි. අතීතයේ උපැස් යුවලකින් මුහුණට ඇතැම් විට අලංකාරයක් ගෙන දුන්නේ නැත. අතැම් අවස්ථාවලදී උපැස් පැළඳීමෙන් මුහුණේ පෙනුම විකෘති වූ අවස්ථාවන් ද තිබිණි. නමුත් වර්තමානය වන විට උපැස් නිර්මාණකරුවන් එම ගැටළු සියල්ල සාර්ථකව බිඳ දමා ඇති බැව් පෙනේ. එය කෙතරම් ද යත් වර්තමානයේ උපැස් යුවලක් නිර්මාණය කිරීමේ දී එහි රාමුව සඳහා සැළකිය යුතු තරම් මුදලක් ගෙවන්නට සිදුවේ. රාමුවේ අලංකාරය වැඩිවත්ම එහි වටිනාකම ද ඉහළ යයි. ඇතැම්විට උපැස් යුවලේ අත්‍යවශ්‍යම අංගය වන කාචවලට ඒ තරම් මුදලක් වැය නොවිය හැකිය. තත්වය මෙසේ නම් මෙසේ සැළකිය යුතු තරම් මුදලක් වැය කර නිර්මාණය කරගන්නා උපැස් යුවලක රාමුව අප මුහුණට ගැළපෙන පරිදි සකස් කරගැනීමට අප වගබලා ගතයුතුය. නොඑසේ නම් එය අපගේ මුදල් අපතේ යැවීමක් විය හැකිය. ඒ සඳහා ඔබට යම්කිසි මගපෙන්වීමක් ලබාදීම මෙහි අරමුණ වූයේ එබැවිනි. 

උපැස් යුවලක් සඳහා රාමුවක් නිර්මාණය කරගැනීමේදී පහත සඳහන් මූලික කරුණු සිහියේ තබාගත යුතුය. 


1. රාමුවේ ඉහළ කෙළවර ඔබගේ ඇහිබැමිවලටට වඩා ඉහළට නොයා යුතුය.
2. රාමුවේ යට කෙළවර ඔබගේ මුහුණේ ස්පර්ශ නොවිය යුතුය. ඔබ සිනාසෙන විට රාමුවේ යට කෙළවර මුහුණේ සුපර්ශ වී ඔබට අපහසුතාවයක් නොදැනෙන බවට ඔබ වගබලාගත යුතුය.
3. මුහුණේ කම්මුල්වල පළලට වඩා රාමුවේ පළල වැඩි නොවිය යුතුය.
රාමුවක් නිර්මාණය කරගැනීමේදී පිළිපැදිය යුතු මූලික කරුණ මේවා වන අතර ඊට අමතරව සැළකිල්ලට ගතයුත්ු තවත් විශේෂ කරුණක් ද තිබේ. ඒ ඔබගේ මුහුණේ හැඩයයි. රාමුවක් පිළියෙල කරගැනීමේදී එය ඔබගේ මුහුණේ හැඩයට ද ගැළපෙන්නක්වීම ද අත්‍යවශ්‍යම කරුණකි. ඔබ ඒ පිළිබඳ සැළකිල්ලක් නොදැක්වීමෙන් සිදුවන්නේ මුහුණේ පෙනුම විකෘතිතාවයකට පත්වීමයි. 


සාමාන්‍යයෙන් මුහුණේ හැඩය වර්ග හතකට බෙදා තිබේ. ඒවා නම් දියමන්ති (diamond), හදවත් ( heart), පිරමීඩ (pyramid), ඕවාලාකාර (oval), සෘජුකෝණාශ්‍රාකාර (rectangular), වටකුරු ( round) හෝ හතරැස් (square) වශයෙනි.


ඔබගේ මුහුණේ හැඩයට නිවැරදි ලෙසටම ගැළපෙන රාමුවක් තෝරාගැනීමේදී ඔබ අනුගමනය කළ යුතු කරුණ තුනක් තිබේ. 


1. රාමුවේ හැඩය මුහුණේ හැඩය හා ගැළපිය යුතුය.
2. රාමුවේ ප්‍රමාණය මුහුණේ හැඩය සමග සමානුපාතිකව ගැළපිය යුතුය.
3. රාමුව මගින් ඔබගේ මුහුණේ කැපී පෙනෙන ලක්ෂණ ඇත්නම්, ඒවා තවත් තියුණු ලෙස ගෙනහැර දැක්විය යුතුය. උදාහරණයක් ගතහොත් ඔබගේ දෑස් දුඹුරු පැහැ නම්, රාමුව ද දුඹුරු පැහැයට සමීප විය යුතුය.  


උපැස් යුවලක පෙනුම වඩාත් අලංකාර කර ගැනීම සඳහා ද අනුගමනය කළ යුතු කරුණු කිහිපයකි. 


1. රාමුව ඔබගේ මුහුණේ හැඩය, ලක්ෂණ හා වර්ණය සමග සෑම අතින්ම ගැළපිය යුතුය.
2. රාමුව මුහුණට හොඳින් සවිවී තිබිය යුතුය.
3. ඒවා ඔබගේ ජීවන ශෛලිය හා හොඳින් ගැළපිය යුතුය.
4. ඇතැම් වෛද්‍ය උපදෙස් ගැළපෙන්නේ ඇතැම් රාමු සඳහා පමණි. එබැවින් එය පිළිබඳවත් සැළකිලිමත් විය යුතුය.
5. රාමු නිර්මාණය කරන්නට විවිධ ද්‍රව්‍ය යොදාගැනේ. එබැවින් ඔබගේ මුහුණට ගැළපෙන ද්‍රව්‍ය තෝරාගැනීමට ඔබ වගබලා ගතයුතුය.
අපි දැන් මුහුණේ හැඩයට ගැළපෙන රාමුව කෙසේ විය යුතුදැයි සොයි බලමු.

  
1. ඕවාලාකාර හැඩය


මෙහිදී ඇත්තේ වටකුරු නළලක් හා නිකටකි. මුහුණ පළලට වඩා දිගින් යුක්තය. නළල හකුවලට වඩා පළලින් යුක්තය. මුහුණු හැඩ මෙය හොඳම හැඩයක් බැව් සාමාන්‍ය පිළිගැනීමයි. මන්ද මෙහි වඩාත් සමබර ලක්ෂණ පවතින නිසාය. ඕවාලාකර බව සමබරව තබාගන්නට නම් රාමුවේ පළල ඔබගේ මුහුණේ පළලින් වැඩිම ස්ථානය හා සමවීම හෝ එයට වඩා තරමක් පළලවීම හෝ සිදුවිය යුතුය. 



2. සෘජුකෝණාශ්‍ර හැඩය 



නළල පුළුල්ය. කම්මුල් සෘජුව, දිගට පිහිටා තිබේ. නහය ඇතැම්විට දිගින් යුක්තය. නිකට ද හතරැස් හැඩයෙන් යුක් වේ. මෙවැනි දිගටි මුහුණක් සඳහා ගැළපෙන්නේ තරමක් උසින් යුක්ත රාමුවකි. එවිට මුහුණ කෙටි ස්වභාවයකින් පෙන්නුම් කරයි. මෙවැනි මුහුණක නහය ද දිගින් යුක්තවිය හැකි නිසා රාමු දෙක සම්බන්ධ කරනා කොටස තරමක් පහළට වන්නට යෙදිය යුතුය. එවිට නහයේ දිගු බව අඩුවේ. 


3. හදවත් හැඩය 




නළල පුළුල්ය. මුහුණ පහළ අතට පටු වෙමින් අවසානයේ පටු වටකුරු නිකටකින් කෙළවර වේ. මෙවැනි මුහුණක ඉහළ කොටසේ ඇති පුළුල් බව අඩුකොට පෙනෙන ස්වභාවයේ රාමවුක් නිර්මාණය කරගැනීමෙන් මුහුණට අලංකාරයක් ගෙන දෙයි. මේ සඳහා රාමුවේ පහළ කොටසේ පුළුල් බවින් වැඩිවන සේ නිර්මාණය කළ යුතුය. රාමුව ලා පැහැයෙන් යුක්ත විය යුතුය. රාමු රහිත උපැස් යුවලක් ද මෙවැනි මුහුණකට ගැළපේ. 


4. හතරැස් මුහුණ 




නළල පුළුල්ය. හකු දිගින් යුක්තවන අතර නිකට  ද හතගර් ස්වභාවයෙන් යුක්තය. මුහුණේ පළල හා උස එක ස්වභාවයකින් යුක්තවේ. මෙවැනි මුහුණක් සඳහා අවශ්‍ය වන්නේ මුහුණ දිගටි ස්වභාවයක් පෙන්නුම් කරන්නා වූ රාමුවකි. එබැවින් රාමුව පළලින් හැකි තාක් අඩුකළ යුතුය. 


5. දියමන්ති හැඩය  




නළල පටුය. කම්මුල්වල ඇති අස්ථි පළලින් යුක්තය. නිකට පටුය. මෙය තරමක් කලාතුරකින් දකින්නට ලැබෙන මුහුණු හැඩයකි. මෙවැනි මුහුණකට අවශ්‍යවන්නේ ඇස් හොඳින් පෙන්නුම් කරනා මෙන්ම පුළුල් කම්මුල් අස්ථි, පටු ස්වභාවයෙන් පෙන්නුම් කරන්නා වූ රාමුවකි. මේ සඳහා රාමුවේ ඇහි බැම දෙසට වන්නට ඇති කොටස තරමක් ඝනකමින් වැඩිවන සේ නිර්මාණය කළ යුතුය. 


6. වටකුරු හැඩය



මෙවැනි මුහුණක කම්මුල් පිරිපුන්ය. නිකට වටකුරුය. පළල හා උස සමානුපාතිකව සමානබවින් යුක්ත වේ.  මෙවැනි මුහුණක පෙනුම වැඩිවන්නේ එය දිගින් වැඩි ස්වභාවයකින් පෙනෙන විටය. මේ සඳහා පහළට පටුවන සේ තනන ලද රාමුවක් වඩා හොඳින් ගැළපේ. රාමු දෙක සම්බන්ධ කරනා කොටස හැකිතාක් සිහින්ව නොපෙනෙන තරමට තිබිය යුතුය. රාමුව පළලින් වැඩිවන සේ නිර්මාණය කිරීම ද මෙවැනි මුහුණකට ගැළපේ. 


7. පිරමීඩ හැඩය 



 

නළල පටුය. නිකට ප්‍රදේශයට යත්ම මුහුණේ හැඩය පුළුල් වේ. මෙවැනි මුහුණකට අලංකාරයක් එක්වන්නේ මුහුණේ ඉහළ කොටස් පුළුල්ව පෙනෙන විටය. අධික වර්ණ සහිත උපැස් රාමුවලින් මෙම ප්‍රතිඵලය ලබාගත හැකිය.

History has closed door to Dong Yi - සැබෑ දොන්ග් යී බිසවගේ තතු ඉතිහාසයෙන් සඟවා තබලා



අභීත දියණි’ය මේ දිනවල ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් ටෙලි නාට්‍යයක් ලෙස ශීඝ්‍රයෙන් ඉදිරියට එමින් පවතී. මෙය බොහෝ දෙනෙක් ඉතා කැමැත්තෙන් නරඹන ටෙලි නාට්‍යය වුවද ඇතැමුන් අසන්නේ සැබැවින්ම මෙම චරිත කොරියානු ඉතිහාසයේ මෙලෙසම ජීවත්ව තිබේද යන්නය. එහිදී එය සත්‍ය පුරාවෘත්තයක් ඇසුරින් නිපදවූ එකක් බව හා එහි කතානායක සුක්ජොන්ග් රජුගේත් දොන්ග් යී බිසවගේත් සොහොන් ස්මාරක අද පවා දක්නට ඇතැයි අප කීවොත් ඔබට එය විශ්වාස කළ හැකිද ? විශේෂයෙන් සුක්ජොන්ග් වැනි රජවරුන් පිළිබඳව කොරියානු ඉතිහාස ‍පොත්වල බොහෝ තොරතුරු ලියැවී තිබේ. නමුත් දොන්ග් යී වැනි රජුගේ අන්තඃපුර බිසෝවරුන් පිළිබඳ මෙසේ ඉතිහාසයේ ලියැවී තිබේද ? ලියැවී ඇත්නම් ඒවා කෙතරම් දුරට සත්‍යය ද මේ සත්‍ය ඉතිහාස කරුණු ටෙලි නාට්‍යය සමග කෙතරම් සැසඳේද වැනි කරුණු බොහෝ දෙනෙකුට ගැටලුවක් වී තිබේ. විශේෂයෙන් මෙම ටෙලි නාට්‍යයේ අප දකින ප්‍රධාන චරිතය වූ දොන්ග් යි පිළිබඳ සැබෑ ඓතිහාසික තොරතුරු මොනවාදැයි බොහෝ අය විමසති. 

ඓතිහාසික ප්‍රවෘත්තිය අනුව දොන්ග් යී මුලින්ම රජ මැදුරට පැමිණෙන්නේ ජලය ගෙන එන සේවිකාවක ලෙසිනි. ඇය සේවය කරන්නේ ඉන්හියොන් බිසවටය. එක් දිනක් ඇය ඉන්හියොන් බිසවගේ කුටියේ සිට ඇයට නිරෝගී සුව පතමින් ප්‍රාර්ථනාවක් කරන හඬ එතැනින් ගමන් කරමින් සිටිනා සුක්ජොන්ග් රජුට හදිසියේම වාගේ ඇසෙයි. දොන්ග් යී ගේ මෙම කරුණාවන්ත, දයාවන්ත බව පිළිබඳ රජුගේ සිත පැහැදෙයි.
වර්ෂ 1693, එනම් සුක්ජොන්ග් රජුගේ රාජ්‍ය කාලයෙන් දහනව වැනි වසරේ සිව්වැනි චන්ද්‍ර මාසයේදී ඇය සුක්ජොන්ග් රජුගේ අන්තඃපුරයට එක් වෙයි. ඒ අන්තඃපුර බිසෝවරු අතරින් සුක්-වොන් නමින් හැඳින්වෙන සිව්වැනි ස්ථානයට පත්කරමිනි. වර්ෂ 1694, එනම් සුක්ජොන්ග් රජුගේ විසි වැනි රාජ්‍ය වර්ෂයේදී දොන්ග් යී සු-යි යන ස්ථානයට උසස්වීමක් ලබයි. සු-යි යනු අන්තඃපුර බිසෝවරු අතරින් දෙවැනි තැනය. ඒ පසුකාලයේ යිඔන්ග්ජෝ ලෙසින් රජවන යිවොනින්ග් කුමරු ඉපදීමෙන් පසුවය.

වර්ෂ 1695 දී ඇයව නැවත ග්වි-ඉන් තත්ත්වයට උසස් කරනු ලබයි. මෙනමින් හැඳින්වෙන්නේ අන්තඃපුර බිසෝවරුන් අතරින් පළමු ශ්‍රේණියේ දෙවැනි ස්ථානයයි. 1699 දී ඇය බින් තත්ත්වයට උසස් කරනු ලබයි. එනම් අන්තඃපුර බිසෝවරුන් අතරින් පළමු ශ්‍රේණියේ පළමු ස්ථානයයි. මෙහිදී ඇයට ‘සුක්’ යන ගෞරව නාමයද පුද කරයි. අර්ථය ‘පිවිතුරු’ යන්නය. ඇය 1718 වසරේ, එනම් සුක්ජොන්ග් රජුගේ රාජ්‍ය වර්ෂයෙන් 44 වැනි වසරේ තෙවැනි චන්ද්‍ර මාසයේ නවවැනි දින මෙලොව හැර යයි. මරණින් පසු ඇයට හ්වැග්යිඔන්ග් ආර්යාව යන නාමය පුදකරනු ලබයි.

මේ සඳහන් කළේ දොන්ග් යී පිළිබඳ කොරියානු ඉතිහාසයෙන් හමුවන තොරතුරුවලින් හෙළිවන ඇගේ ජීවිත කතාවයි. මීට අමතරව තවත් බොහෝ දෙනකු විමසන දෙයක් වන්නේ අභීත දියණිය හි අප දකින ආකාරයේ දීර්ඝ කාලීන ආදර කතාවක් දොන්ග් යී හා සුක්ජොන්ග් රජු අතර පැවැතියේද යන්නය. කොරියානු රජ වංශය හා ඉතිහාසය පිළිබඳ සොයා බැලීමේදී කිව හැක්කේ සැබැවින්ම එවැන්නක් පැහැදිලිව හෙළිකරගත හැකි මූලාශ්‍ර කිසිවක් හමුනොවන බවය. ඊට හේතුව ඉතිහාස ‍පොත්පත්වල දොන්ග් යී පිළිබඳ හමුවන්නේ ඉතාමත් අල්ප තොරතුරු වීමය. ඇය පිළිබඳව ඓතිහාසිකව පැවැසිය හැක්කේ අප ඉහතින් සඳහන් කළ තොරතුරු පමණි. ඇගේ පුතු වන යිඔන්ග්ජෝ රජු වසර පනස් දෙකක් කොරියාව පාලනය කළ  බවත් ඉතිහාසයේ සඳහන්ය. වැඩිම කලක් එහි පාලනය ගෙනගිය රජු වන්නේ ද ඔහුය.
දොන්ග් යී පිළිබඳ ද ඉතිහාස ‍පොතපතෙහි වැඩි විස්තරයක් සඳහන් නොවන්නට එකම හේතුවනම් ඇය කම්කරු පවුලකින් රජමැදුරට පැමිණි යුවතියක නිසාය. අනෙක කොරියානු රාජවංශයේ දොන්ග් යී ජීවත් වූ ජොසියොන් යුගයේ වැඩි වශයෙන් ලියන්නට උත්සාහ දරා ඇත්තේ රජවරු පිළිබඳ පමණක් බැව් පෙනේ. නමුත් යම් අවස්ථාවක අන්තඃපුර බිසවක් පැමිණියේ ඉහළ සමාජ පන්තියකින් නම් ඔවුන් පිළිබඳ සියලු විස්තර ඉතිහාස ‍පොත පතෙහි සඳහන්කොට තිබිම ද සැළකිය යුතු කරුණකි. කෙසේ මුත් දොන්ග් යී පැමිණියේ කම්කරු පවුලකින් බැවින් ඇයගේ තොරතුරු වාර්තා නොකිරීම වර්තමානයට සිදු වූ අසාධාරණයකි. ඇයගේ පසුබිම පිළිබඳ ලිවීම හිතාමතාම අතහැර දමා ඇති බැව් පැහැදිලිය. සුක්ජොන්ග් රජුගේ අනෙක් අන්තඃපුර බිසෝවරුන්ට වඩා දොන්ග් යි පිළිබඳ විස්තර ලියැවී ඇත්තේද කෙටියෙනි. අනෙක දොන්ග් යී යනු ඇයගේ සැබෑ නම නොවන බැව් ද සොයාගෙන තිබේ. එහෙත් ඇගේ සැබෑ නම කුමක්ද යන්න පිළිබඳව ද කිසිදු තැනක සඳහනක් නොමැත. ඇය හඳුන්වා ඇත්තේ සුක්බින් නමිනි. එය ඇයගේ බිසෝ තනතුරේ නමයි. ඒ කෙසේ හෝ සුක්ජොන්ග් රජුගේ සේම අන්තඃපුර බිසෝවරුන්ගේ සොහොන් කොත් ද අදත් නිරුපද්‍රිතව තිබේ. දොන්ග් යී ගේ දේහය ද එහි ඇතැයි විශ්වාස කෙරේ. 
එබැවින් කිවහැකි දෙය වන්නේ අභීත දියණිය නාට්‍යය යනු සත්‍ය ඓතිහාසික පසුබිමක් තුළින් බිහි වූ ප්‍රබන්ධයක් පමණක් බවය. එම නාට්‍යයේ ඔබ දකින දෙය සැබැවින්ම ඉතිහාසයේ සිදු වූ දෙයම ද යන්න තහවුරු කරගන්නට කිසිදු සාධකයක් නොමැත. නමුදු ඒ සම්බන්ධ ජනප්‍රවාදගත කතා තිර නාටකය සඳහා ඉවහල් කර ගන්නට ඇත. ඇතැම්විට රජු සහ දොන්ග් යී අතර ආදරයක් පවතින්නට ද ඇත. 
නමුත් නාට්‍යයේ එන ඇතැම් ජවනිකා සත්‍ය වශයෙන් පිළිගැනීමට කිසිදු සාක්ෂියක් නැත. උදාහරණයක් ගතහොත් රජු යැන්ග්බැන් නමින් වෙස්වළාගෙන දොන්ග් යි සමග පිටතට ගොස් කමින් බොමින් තානායමක කාලය ගතකිරීම සඳහන් කළ හැකිය. මෙය ටෙලි නාට්‍ය රස ගැන්වීම පිණිස කතා රචකයා යොදන උපාය විය හැක. මේ සමයේ පැවැති දැඩි කොන්ෆියුසියානු නීති පද්ධතිය තුළ ගැහැනු පිරිමි අතර සම්බන්ධතා දැඩි විනයක් සහිතව පවත්වාගෙන යා යුතු විය. මෙම නාට්‍යයේ දැක්වෙන ආකාරයට නිදහසේ එලෙස කාලය ගතකිරීම සඳහා එම නීති පද්ධතිය තුළ ඉඩක් නොමැති විය. නමුත් දොන්ග් යී ගේ පුතු වන යිඔන්ග්ජෝ මෙලෙස රහසේ වෙස්වළාගෙන පිටතට ගොස් සාමාන්‍ය මිනිසුන් ජීවත් වූ ආකාරය දැකබලා පැමිණි බවට කරුණු ඉතිහාසයෙන් හමුවේ. සුක්ජොන්ග් රජු ද මෙසේ කළ බව දැක්වෙන දර්ශන අභීත දියණිය සඳහා ඇතුළු කරන්නට අදහස ගන්නට ඇත්තේ මෙයින් බැව් පෙනේ. යිඔන්ග්ජෝ රජු මෙසේ කරන්නට ඇත්තේ ඇතැම්විට සිය මව කම්කරු පන්තියට අයත් කාන්තාවක් නිසා වන්නට පුළුවන. යිඔන්ග්ජෝ රජු ඉහළ හා පහළ සමාජ පන්ති අතර නිදහසේ විවාහ කටයුතු සිදුකරන්නට හැකිවන සේ නීතිරීති වෙනස් කළ බැව් ද පෙනෙන්නට තිබේ. මේ අනුව බලන කල කොරියානු ඉතිහාසය තුළ දොන්ග් යී ජීවත් වුවද ඒ අභීත දියණිය තුළින් ඔබ අප දකින දොන්ග් යී හුදු සත්‍යයක් හෝ හුදු කල්පිතයක් නොවන චරිතයක් බව කිව යුතුය.