පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, February 14, 2019

දුරකතනයට අලුත් බැටරියක් ගන්නට පෙර මේ ගැනත් හිතන්න - Before you buy a new battery for your Android



අද කාලේ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනයක් නැති කෙනෙක් නැති තරම්. මේවායෙන් කරගන්නට පුළුවන් වැඩ බොහොමයි. ලෝකෙම අත උඩ තියාගෙන ඉන්නවා වගෙයි දැනෙන්නේ. කොහොම වුනත් ස්මාර්ට් දුරකතන බොහොමයක, විශේෂයෙන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඇති දුරකතනවල  තියෙන ගැටලුව තමයි ඉක්මනින් බැටරි බැස යාම. සාමාන්‍යයෙන් ස්මාර්ට් දුරකතනයක් තියෙන කෙනෙකුගෙන් අහන ප්‍රශ්නයක් තමයි,

කොයි තරම් කාලයක් බැටරිය අල්ලලා හිටිනවාද?”

කියන එක. වැඩි දෙනෙක් දෙන උත්තරය තමයි දවසක් වගේ තමයිකියන එක. මොකද මේවායෙන් කරන වැඩවල හැටියට ඉක්මනින් බැටරි බැස යාම ගැන විවාදයක් නැහැ. කොහොම වුනත් දුරකතනය ක්‍රියාත්මක කරලා පැය කිහිපයක් ඇතුළත් 50%ක් විතර කිසිම හේතුවක් නැතිව බැටරි බැස යනවා නම් එතන ගැටලුවක් තියෙනවා. ඒ වෙලාවට බොහෝ දෙනෙක් හිතන්නේ අලුත් බැටරියක් ගන්න එක ගැනයි. නමුත් අලුත් බැටරියක් ගන්න කලින් සොයා බලන්න ඕන කාරණයක් තියෙනවා. ඒ ගැන තමයි  මේ කතා කරන්න යන්නේ.

ජංගම දුරකතනයක බැටරි ඉක්මනින් බැස යනවා නම් ඒකට බැටරියේ තත්වය වගේම ජංගම දුරකතනයේ මෙහෙයුම් පද්ධතියේ ඇති වන ගැටලුත් හේතු වෙනවා. මෙහෙයුම් පද්ධතියේ ගැටලුවක් නිසා බැටරි බැස යනවා ද කියා බලන්න ජංගම දුරකතන ගැන විශේෂඥයෙක්ම විය යුතු නැහැ. ඔබ කළ යුත්තේ ජංගම දුරකතනයේ Settings  ඔස්සේ ගොස් බැටරියේ තත්වය පරීක්ෂා කිරීමයි. එවිට අපට පහත ආකාරයෙන් එය පෙන්නුම් කරනවා. ඉහළින්ම බැටරියේ ඉතිරිව ඇති ප්‍රතිශතය සහ බැටරිය පවතින උපරිම කාලය පෙන්වනවා.  ඉන් පසුව ප්‍රස්තාරයක් මගින් ද බැටරියේ තත්වය පෙන්නුම් කරනවා.



ඊට පහළින් ඇති කොටසේ තමයි බැටරිය ගැන අපට පැහැදිලි අදහසක් ලබාදෙන විස්තර තිබෙන්නේ. එහි බොහෝ විට උඩින්ම ඇත්තේ Android System කියන එක. ඇන්ඩ්‍රොයිඩ් සිස්ටම්කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය. මේ පද්ධතිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනවා නම් ඒ සඳහා 10%කට වඩා බැටරිය භාවිත වෙන්නේ නැහැ. 5%ක් පමණ භාවිත වෙනවා වඩාත්ම හොඳයි. යම් විදියකින් මේ ප්‍රමාණය 20% ක් හෝ ඊට වැඩි නම් බැටරිය ඉතා ඉක්මනින් බැස යනවා. ඇතැම් අවස්ථාවල එය 30 -  40 % දක්වා පවතිනවා දැක ගන්නට පුළුවන්.

ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය සඳහා මේ තරම් බැටරි ප්‍රමාණයක් භාවිත වන්නේ දුරකතනයේ තිරය වැසී නිද්‍රාගත අවස්ථාවේ පවතින විටත් මේ පද්ධතිය මගින් අනවශ්‍ය පරිදි බැටරිය භාවිත කිරීමයි. මේ ගැන තොරතුරු දැනගැනීමට නම් මෙහි ඇති ප්‍රස්තාර කොටස ස්පර්ශ කල යුතුයි. එවිට පහත ආකාරයේ තිරයක් පෙන්නුම් කරනවා. එතැන Awake  කියන තීරුව එක දිගට කොල හෝ නිල් පැහැයෙන් දිස්වනවා නම් එයින් අදහස් කරන්නේ දුරකතන නිද්‍රාගත අවස්ථාවේ දී ද ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය අනවශ්‍ය පරිදි බැටරිය භාවිත කොට ඇති බවයි.

Awake තීරුව නිල් හෝ කොල පැහැයෙන් යුක්ත නැත


Awake තීරුව නිල් පැහැයෙන් යුක්තයි



ඔබේ දුරකතනයේ මෙවැනි තත්වයක් පවතිනවා නම් ඉතා ඉක්මනින් බැටරිය බැස යාම වළක්වන්නට බැහැ. මෙවැනි අවස්ථාවක අලුත් බැටරියක් මිල දී ගත්තත් තත්වය වෙනස් වෙන්නේ නැහැ. එවිට බොහෝ දෙනෙක් සිතන්නේ අලුත් බැටරිය හොඳ තත්වයේ එකක් නොවන නිසා බැටරි බැස යන බවයි. නමුත් සැබැවින්ම ගැටලුව ඇත්තේ බැටරියේ නොව ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ.

මේ සඳහා කළ යුත්තේ කුමක්ද?

ඇත්තටම මෙය ගොඩින් බේරා ගැනීම ටිකක් සංකීර්ණ කාර්යයක්. බොහෝ විට මේ සඳහා හේතු විය හැක්කේ ඔබ ස්ථාපනය කොට ඇති කුමක් හෝ ඇප් එකක් සඳහා අධික ලෙස බැටරිය වැය වීමයි. යම් ඇප් එකක් ස්ථාපනය කළාට පසු මෙවැනි තත්වයක් ඇති වූවා කියා ඔබට මතකයක් ඇත්නම්, එය ඉවත් කිරීමෙන් මේ තත්වය සමනය කරගන්නට හැකියාව තිබෙනවා. නමුත් එවැන්නක් මතකයේ නැත්නම් කළ යුත්තේ ජංගම දුරකතනය Reset කිරීමයි. Reset කරන්නට පෙර ඔබේ ඇමතුම් නාමාවලිය, පණිවිඩ සහ අනෙකුත් දෑවල උපස්ථයක් හෙවත් Backup එකක් අරගත යුතු වෙනවා. එසේ කිරීමෙන් පසු Settings වල Backup and Reset ඔස්සේ ගොස් Factory Data Reset හි  ඇති Reset Device මගින් මේ කාර්යය ඉටු කරගන්නට පුළුවන්.





මේ ක්‍රියාවලියට අනුගමනය කළ යුතු කාර්යය දුරකතනයෙන් දුරකතනයට යම් යම් වෙනස් කම් තිබිය හැකියි. ඔබේ දුරකතන මාදිලිය සඳහන් කර Reset කරන ආකාරය අන්තර්ජාලයෙන් පහසුවෙන් සොයා ගන්නට පුළුවන්. මෙසේ කිරීමෙන් ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය නිසා බැටරි වේගයෙන් බැස යාමේ ගැටලුව නිරාකරණය කරගන්නට ඔබට පහසුවෙන්ම හැකියාව ලැබෙනවා.

Wednesday, February 6, 2019

ලෝකයේ සංචාරයට තහනම් තැන් - Places can never Visit from around the World

අපේ රට කොයි තරම් කුඩා වුනත් අපට ජීවිත කාලේටම දැක බලා ගන්න බැරි තැන් ඕනෑ තරම් තියෙනවා. ලෝකයක් විදියට ගත්තොත් අපට ඒ වගේ තැන් ගැන හිතාගන්නවත් බෑ. අතේ මිටේ මුදල් හදල් තියෙන අය වෙනත් රටවලට ගිහින් මේ වගේ විවිධ ස්ථාන දැක බලා ගන්නවා. ඒ කතාව එහෙම වුනත්, කොයි තරම් මුදලක් තිබුණත් දැක බලා ගන්න බැරි ස්ථානත් තියෙනවා. මේවා විවිධ රටවල රජයයන් විසින් මහජනයා සඳහා තහනම් කරනු ලැබූ ස්ථාන. ඒවාට යන්නට හැකියාව තියෙන්නේ ඒ රජයයන් විසින් තෝරා ගත් කිහිප දෙනෙකුට විශේෂතම හේතු කාරණා සඳහා පමණයි. ඒ නිසා අපට ඒවා අන්තර්ජාලයෙන් පමණයි දැක බලා ගත හැකි වෙන්නේ. මේ කියන්න යන්නේ දැක බලා ගන්නට තරම් වටිනාකමක් තිබුණත්, මහජනතාවට තහනම් කළ එවැනි ස්ථාන කිහිපයක් ගැනයි.

බ්‍රසීලයේ සර්ප දුපත



Ilha da Queimada Grande  හෙවත් බ්‍රසීලයේ සර්ප දූපතකියන්නේ බ්‍රසීල වෙරළ තීරයට කිට්ටුවෙන් සැතපුම් 20 ක් පමණ දිගට ඇදී යන හෙක්ටයාර 43 ක පමණ විශාලත්වයකින් යුත් මුහුදෙන් වටවුණු භූමි භාගයක්. මේ දූපතේ තමයි ලෝකයේ අධිකතම විෂ තියෙනවා යැයි සැලකෙන රන් ලෑන්ස්හෙඩ් පොළඟාජීවත් වෙන්නේ. මේ පොළඟාගේ විෂට මස් දියවී යන බව පැවසෙනවා. දැනට ගණන් බලා ඇති පරිදි මේ දූපතේ මේ වර්ගයේ සර්පයන් 4000ක් පමණ සිටිනවා. තවත් පිරිසක් කියන්නේ සෑම වර්ග මීටර් පහකටම එක් සර්පයා බැගින් ඉන්නා බවයි. කුමක් වුවත් බ්‍රසීල රජය මේ දූපතට කිසිදු පුද්ගලයකුට ගොඩ බසින්නට අවසර දෙන්නේ නැහැ. නමුත් සෑම වසර කිහිපයකටම වරක් විද්‍යාඥයන් අතලොස්සකට පමණක් සිය පර්යේෂණ කටයුතු සඳහා මේ දූපතට ගොඩ බසින්නට රජයෙන් අවසරයක් නිකුත් කරනවා.

Serpentes Ilhoas em Alcatrazes e Queimada Grande - Parte 3 from Ama Brasil on Vimeo.

ප්‍රංශයේ ලැස්කෝ ගුහා සංකීර්ණය



වයඹදිග ප්‍රංශයේ පිහිටා ඇති ලැස්කෝ ගුහා සංකීර්ණය ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ පේලියෝලිතික ලෙන් සිතුවම් සඳහායි.  දැනට සොයා ගෙන ඇති එවැනි හොඳම සිතුවම් තිබෙන්නේ මේ ගුහා සංකීර්ණයේයි. මේ පින්තූරයේ දැක්වෙන සුප්‍රකට ලෙන් සිත්තම අදින් වසර 17,000 පෙර අඳිනු ලැබුවක් බව පැවසෙනවා. පොසිල කැණීම් මගින් අනුමාන කරන ලද දැවැන්ත සතුන් දැනට වසර ගණනාවකට පෙර සැබවින්ම ජීවත්ව සිටි බවට සාධක මේ සිතුවම් නිසා තහවුරු වෙනවා. මෙය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවටද ඇතුළත්ව තිබෙනවා. කෙසේ නමුත් දිලීර වර්ගයක් මෙය තුළ පැතිර යාම නිසා  2008 වසරේ සිට මෙය මහජනතාව සඳහා සම්පූර්ණයෙන්ම වසා දැමුවා. මෙම සිතුවම් අධ්‍යයනය සඳහා වසර කිහිපයකට වරක් විද්‍යාඥයන් කිහිප දෙනෙකුට පමණක් මෙයට ඇතුළුවන්නට අවසරය ලැබෙනවා.

Lascaux Cave Paintings - Virtual Tour from Vimeo Videos on Vimeo.

ඉතාලියේ පොවෙග්ලියා



පොවෙග්ලියාකියන්නේ උතුරු ඉතාලි කලපුවේ වැනීසිය සහ ලිඩෝ අතර පිහිටි කුඩා දූපතක නමක්. ඉතිහාසය මුළුලේලම මෙය ප්‍රයෝජනයට ගැනුණේ තොටුපලක් සහ මුර කපොල්ලක් ලෙසයි. එක්දහස් තුන්සිය ගණන්වල යුරෝපය පුරා බුබොනික්නමින් මහා වසංගතයක් පැතිර ගියා. මෙය කළු උණනමින් ද ප්‍රසිද්ධියට පත්ව තිබුණා. මේ රෝගය වැළඳුණු පුද්ගලයන් ඉතාලියට ගොඩබැසීම වැළැක්වීම සඳහා පරීක්ෂා කෙරුණේ මේ  තොටුපලේ. එයින් පසුව පසුගිය සියවස ආරම්භ වෙද්දී මෙය උන්මත්තකාගරයක් ලෙස යොදා ගැනුණා. 1968 වසරේ දී මේ උන්මත්තකාගාරය වසා දමා දූපත අතහැර දැමුණා. ඉන්පසු මෙය ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූයේ හොල්මන් අවතාර ඇති ස්ථානයක් ලෙසයි. මේ දූපතේ සිටි වසංගතය වැළඳීමෙන්, යුද්ධයෙන් මිය ගිය පුද්ගලයන්, උන්මත්තකාගාරයේ සිටි මිනීමරු වෛද්‍යවරුන් ආදීන්ගේ මළ ගිය ආත්ම සැරිසරන බව ඉතාලි වැසියන් පවසනවා. මේ නිසා මෙයට කිසිවකුට ගොඩ බැසීමට ඉතාලි රජය අවසර දෙන්නේ නැහැ. මෙය 99 අවුරුදු බද්දක් යටතේ සංවර්ධනය කරන්නට 2014 වසරේ දී ඉතාලි රජය ප්‍රසිද්ධියේ යෝජනාවක් ගෙනාවා. නමුත් තවමත් කිසිවෙකුත් එය පිළිගෙන නැහැ.



bbc world on poveglia 4 all from lemon on Vimeo.


වතිකානු රහස් ලේඛණාගාරය



වතිකානු රහස් ලේඛණාගාරය ඉතාලියේ වතිකානු නගරයේ පොළොව යටයි පිහිටා තිබෙන්නේ. මෙහි ආගමික, ඓතිහාසික සහ රාජ්‍ය ලියකියවිලි ගණනාවක් තැන්පත් කොට තිබෙනවා. ඒ වගේම අට වැනි සියවස තරම් පැරණි කාලයට අයත් ලියකියවිලි ද පවතිනවා. ලෝක ප්‍රකට සිතුවම් ශිල්පියකු වූ මයිකල් ආන්ජලෝ විසින් ලියන ලද ලියුම්, සිය මරණ දණ්ඩනය ලැබෙන තුරු බලා සිටි ස්කොට් හි මේරි රැජින විසින් ලියන ලද ලියුම්, විවාහය නිෂ්ප්‍රභා කරමින් අටවැනි හෙන්රි රජු විසින් කරන ලද ඉල්ලීම ඇතුළත් ලියුම් ආදිය ද මෙහි තිබෙනවා. මේවායේ අයිතිය පාප් වහන්සේ යටතේ පවතිනවා. මේවා මාර්ගයක් දිගේ එක් පේළියට තැබුවොත් සම්පූර්ණ දිග සැතපුම් 52ක් පමණ වන බවයි පැවසෙන්නේ. මේ ලේඛණාගාරයට කුමන හේතුවක් යටතේවත් කිසිදු බාහිර පුද්ගලයකුට ඇතුළු වන්නට අවසරයක් නැහැ. මෙහි වැඩකටයුතු කරන්නේ කුඩා කාර්ය මණ්ඩලයක් පමණයි. ඉමහත් පරිශ්‍රමයක් දරා, බොහෝ ආයතනවලින් අවසර ලබා ගෙන වුවත් යම් කිසි පර්යේෂණ කටයුත්තක් සඳහා අවසරයක් ලබාදෙන්නේ රජය විසින් ද අනුමත කරන ලද ඉහළම ගණයේ විද්වතුන් කිහිප දෙනෙකුට පමණයි.





ජපානයේ ඉසේ මහා දේවාලය



ජපානයේ උජි-ටාචි නගරයේ පිහිටා ඇති මෙය හිරු දෙවියන් සඳහා කැප වූ ෂින්තෝදේවස්ථානයක් වශයෙන් ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. නරඹන්නන්ට පැමිණිය හැක්කේ මෙහි ප්‍රධාන දොරටුව අසලට පමණයි. ඔවුන් එතැන සිට පූජාවන් පැවැත්විය යුතු වෙනවා. ඉන් ඔබ්බට යන්නට අවසරයක් නැහැ. මෙහි ඉතිහාසය තුන්වැනි සියවස දක්වා දිව යන බවයි පැවසෙන්නේ. මෙය වටා ඇති ගොඩනැගිලි සෑම වසර විස්සකට වරක්ම ගළවා අලුත් ඒවා සවි කරනු ලබනවා. අවසන් වරට අලුත්වැඩියා කරන ලද්දේ 2013 වසරේ දියි. එවැන්නක් කරන්නට හේතුව ෂින්තෝ ධර්මයට අනුව මරණය සහ එයින් නැගී සිටීමේ විශ්වාසයක් පවතින නිසයි. මෙය තුළ ප්‍රධාන දේවාල දෙකක් පවතින අතර ඉන් එකක් තුළ පූජනීය කැඩපතක් තිබෙන බව ජපන් වැසියන් පවසනවා. නමුත් එය දුටු කිසිවෙක් හෝ නැහැ. යාටා නෝ කගාමිනමින් හඳුන්වනු ලබන එය අයත් වන්නේ ජපන් රජ පවුලටයි. පිටත සිට බැලූවත් කිසිවක් පෙනෙන්නේ නැහැ. මෙය පාලනය කරනු ලබන පූජකයන් අනිවාර්යයෙන්ම ජපන් රජ පවුලේ ඥාතියකු විය යුතු අතර ඇතුළු වන්නට අවසර ඇත්තේ රජ පවුලට පමණයි.




චීනයේ කින් ෂි හුවාන්ග් සොහොන



මෙය චීනයේ පළමු අධිරාජයා වූ කින් ෂි හුවාන්ග්ගේ සොහොනයි. ඔහු ක්‍රිස්තු පූර්ව 210 දී මිය ගිය අතර මධ්‍යම චීනයේ කන්දක් පාමුළ ඔහු භූමදානය කරනු ලැබුවා. මේ සොහොන සාමාන්‍ය එකක් නොව පොළොව යට පිහිටි ගුහා පද්ධතියක් ලෙස පවතිනවා. මේ අධිරාජයගේ මරණින් මතු ජීවිතයට අවශ්‍ය කරන සියලු දේ මේ ගුහා පද්ධතියේ තැන්පත් කොට තිබෙනවා. ඔහුට අයත් හමුදාව, පවුලේ සාමාජිකයන්  සහ කාර්ය මණ්ඩලය මැටිවලින් අඹා මෙහි ප්‍රතිමා ලෙස තැන්පත් කොට තිබෙනු දැකිය හැකියි. ඔහුගේ මේ හමුදාව ලොව පුරා ප්‍රසිද්ධියට පත් ව ඇත්තේ ටෙරකෝටාහමුදාව නමින්. 1974 වසරේ දී මෙය මුලින්ම සොයා ගනු ලැබූ අවස්ථාවේ දී මෙතැන තිබී ප්‍රතිමා 2000කටත් වඩා සොයා ගනු ලැබුවා. මේ කිසිදු ප්‍රතිමාවක් එක හා සමානත්වයක් පෙන්වන්නේ නැහැ. සෑම එකකම කුමක් හෝ වෙනසක් තිබෙනවා. විශේෂඥයන් පවසන්නේ මෙහි ප්‍රතිමා 8000 කටත් වඩා තිබූ බවයි. තවත් ප්‍රතිමා පොළොව යට තැන්පත්ව තිබෙන බව දන්නා මුත් පැරණි සොහොන් ගැබ්වලට කරන ගෞරවයක් වශයෙන් චීන රජය තවදුරටත් මෙහි කැණීම් සඳහා අවසර ලබා දෙන්නේ නැහැ. සංචාරකයන් සඳහා මේ ටෙරකෝටා හමුදාව නරඹන්නට අවසර ඇතත්, අධිරාජයාගේ සොහොන නරඹන්නට කිසිවකුට හෝ රජයෙන් අවසර දෙන්නේ නැහැ.




නෝර්වේ හි ස්වාල්බාර්ඩ් ලෝක බීජ සුරක්ෂිතාගාරය




උත්තර ධ්‍රුවයේ සිට සැතපුම් 800 ක් දුරින් පිහිටි නෝර්වේ රාජ්‍යයට අයත් ස්පිට්ස්බර්ගන්නම් දූපතේ පිහිටා ඇති මෙය 2008 වසරේ දී නිල වශයෙන් විවෘත කරනු ලැබුවා. ලොව වටා සෑම රටකින් සොයා ගන්නා ලද එකිනෙකට වෙනස් බීජ වර්ග 4000 කට අයත් නියැදි 840,000 ක් පමණ මෙහි තැන්පත් කොට තිබෙනවා. ලෝකයේ කුමක් හෝ විනාශකාරී සිදුවීමකින් යම් කිසි බීජ විශේෂයක් වඳවී ගියහොත්, නැවත එය බෝ කරගැනීම සඳහා අවස්ථාවක් හිමි කරගැනීම මේ බීජ සුරක්ෂිතාගාරයේ අරමුණයි. ඕනෑම අවස්ථාවක ඕනෑම රජයකට හෝ වෙනත් පිළිගත් සංවිධානයකට මෙහි බීජ තැන්පත් කරන්නට හැකියාව තිබෙනවා. මෙය පවතින්නේ දැඩි ආරක්ෂාවක් යටතේ. මෙයට ඇතුළු විය හැක්කේ මෙහි සේවය කරන අතලොස්සක් තරම් වූ සේවකයන්ට පමණයි. 



The Svalbard Global Seed Vault from Camillo Meinhart on Vimeo.