පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, August 14, 2018

අපේ ලෝකේ මෙහෙම තැනුත් තියෙනවා - Weirdest Places of Earth

අපි ජීවත් වන ලෝකය ගෝලාකාරයි වගේම පුදුමාකාරයි කියලා කවුරු හරි කියලා තියෙනවා. කවුරු කිව්වත් ඒ කතාව ඇත්ත. ලෝකය පුදුමාකාරයි. මේ ගෝලාකාර ලෝකයේ පුදුමාකාර තැන් අනන්තවත් තිබෙනවා. වර්ග කිලෝමීටර් 65610 තරම් කුඩා අපේ රටේ තියෙන තැන් ටික අඩුවක් නෑර දැක බලාගන්න වෙලාවක් නැති අපට මේ ජීවිත කාලයට තියා සංසාරයේදීවත්  මේ ලෝකයේ තියෙන අරුම පුදුම තැන් දැක බලා ගන්න නම් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද ලෝකයේ ප්‍රමාණය විතරක් වර්ග කිලෝ මීටර් මිලියන 510.1 ක් වන නිසා. කොහොම වුනත් අන්තර්ජාලයේ පිහිටෙන් අපට මේ අතරින් ස්වල්පයක් හරි දැක බලා ගන්න හැකියාව තිබෙනවා. අන්තර්ජාල පහසුකම් තිබුණත් බොහෝ දෙනෙක් මේවා සොය බලන්නට උත්සාහ ගන්නේ නැහැ. මේ හැමදෙනාම ගැන හිතලා තමයි මේ වගේ විස්තරයක් ලියා තබන්න හිතුවේ.

කැනඩාවේ පැල්ලම් වැටුණු විල





කැන්ඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා කියන ප්‍රාන්තයේ සිමිල්කමීන් නිම්නයේ තමයි මේ පැල්ලම් වැටුණු විල පිහිටා තියෙන්නේ. මේ පළාතේ ජීවත් වන ස්වදේශීය ජන කොට්ටාශයක් වන ඔකනගන්හෙවත් සිල්ක්ස්ජනතාව අනාදිමත් කාලයක සිට මේ විල දේවත්වයේ ලා වැඳුම් පිදුම් කරනවා. මේ විලේ බොහෝ ලවණ වර්ග ඉතා විශාල ප්‍රමාණයන්ගෙන් තැන්පත්ව තිබෙනවා. මේවා අතර මැග්නීසියම් සල්ෆේට්, කැල්සියම් සහ සෝඩියම් සල්ෆේට් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඊට අමතරව රිදී සහ ටයිටේනියම් ද සැලකිය යුතු ප්‍රමාණයකින් මෙහි තැන්පත්ව තිබෙනවා. ගිම්හාන කාලයේ දී මේ විලේ ඇති ජලය බොහෝ ප්‍රමාණයක් වාෂ්ප වී යනවා. මෙසේ වාෂ්ප වූවාට පසු මෙහි තැන්පත්ව ඇති ලවණ නිධි විවිධ වර්ණයන්ගෙන් මතුවී පෙනෙන්නට පටන් ගන්නවා. ඒවා පෙනෙන්නේ විල මත ඇති වුණු ලප ආකාරයෙන්.  හොඳින් වියළී ගිය පසු මේ ලවණ නිධි අතර එහි මෙහි ඇවිද යන්නටත් හැකියාව තිබෙනවා. කෙසේ නමුත් කැනේඩියානු රජය අවවාද කරන්නේ ගෝත්‍රික ජනතාව වෙසෙන මේ ප්‍රදේශය දුර සිට නරඹනු විනා සමීපයට නොයන ලෙසයි.




ඕස්ට්‍රේලියාවේ රෝස පාට විල






සාමාන්‍යයෙන් ජලයට පැහැයක් නැතත් බටහිර ඕස්ට්‍රේලියාවේ වෙරළෙන් ඔබ්බෙහි පිහිටි විශාලතම කොදෙව්ව වන රිචර්චේවල පිහිටි මේ හිලියර් කියන විලේ ජලය තනිකරම රෝස පාටයි. දිගින් මීටර් 600 ක සහ පළලින් මීටර් 250 ක් පමණ වන මේ විලෙහි ජලයෙහි ඇති රෝස පාට කිසිදු හේතුවක් නිසා වෙනස් වන්නේ නැහැ. මේ ජලය නියැඳියක් ගෙන වෙනත් බඳුනකට දැමුව ද පැහැය එසේම පවතිනවා. අතීතයේ මේ විල ලුණු නිෂ්පාදනය සඳහා යොදා ගෙන තිබෙනවා. එයට හේතුව මෙය මුහුදේ සිට ඉතාමත් ආසන්නයෙන් පිහිටා තිබීමයි. වර්තමානයේ මෙහි එවැනි කාර්යයක් සිදු නොවූවත්, මෙම ජලයේ ඇති ලුණු සාන්ද්‍රණය ඉතා අධිකයි. මේ අධික ලුණු සාන්ද්‍රණයට ආකර්ෂණය වී ඇති ඩුනලියෙල්ලා සෙලිනා සහ රෝස වර්ණය සහිත හේලෝ නම් බැක්ටීරියාව අධිකව පවතින නිසා විලෙහි ජලය රෝස පැහැයෙන් දිස් වන විද්‍යාඥයන් පවසනවා.





යේමනයේ සොකොට්‍රා දූපත




අප්‍රිකානු මහද්වීපයේ යේමනයට අයත් දූපතක් තමයි සොකොට්‍රා කියන්නේ. අදින් වසර මිලියන හයකට පමණ පෙරාතුව නිර්මාණය වී ඇති මේ දූපත බැලූ බැල්මට විද්‍යා ප්‍රබන්ධ කතාවක නිරූපණය වන වටපිටාවක් පෙන්නුම් කරනවා. මේ දූපතේ ජෛව විවිධත්වය අතිශයින් විස්මයජනකයි. මෙහි ඇති ශාක  ලෝකයේ වෙනත් කිසිදු රටක දකින්නට ලැබෙන්නේ නැහැ. අරාබි මුහුදුකරයේ  ජෛව විවිධත්වයේ මාණික්‍යයයන විරුදාවලිය මෙයට ලැබී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් පිරිසක් මේ දූපතේ ශාක පිළිබඳ පර්යේෂණයක් සිදු කළා. ඔවුන්ගේ සොයා ගත්තේ මේ දූපතට පමණක් ආවේණික ශාක වර්ග 700 ක් පමණ පවතින බවයි. මේ ශාක අතරින් දූපතේ බහුලව දක්නට ඇති, පුදුමාකාර පෙනුමක් ඇති ඉපැරණි මකර ලේශාඛය සහ බෝතලයක් හැඩැති බෝතල් ශාඛයද විශේෂයෙන් සඳහන් කළ හැකියි.




පිලිපීනයේ චොක්ලට් කඳු





පිලිපීනයේ බෝහෝදූපතේ පිහිටි පුදුමාකාර කඳු වර්ගයක් ගැන තමයි මේ කියන්නේ. වර්ග කිලෝමීටර් 50 ක පමණ ප්‍රදේශයක් පුරා පොල් කට්ටක් මුනින් අතට නවා ඇති ආකාරයෙන් පොළොවෙන් මතු වී ඇති මෙවැනි කඳු 1200 කට වඩා පිහිටා තිබෙනවා. මේවා මත කොල පැහැ තෘණ වර්ගයක් පවතින අතර වියළි කාලයේ දී මේ තෘණ වියළී දුඹුරු පැහැයට හැරෙන නිසා දුර සිට බලන විට පෙනෙන්නේ චොක්ලට් බෝල ආකාරයෙන්. චොක්ලට් කඳුකියන නම මේවාට භාවිත වන්නේ ඒ නිසයි. මේවා නරඹන්නට සංචාරකයන් විශාල සංඛ්‍යාවක් ඇදී එන අතර මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් බවට ද පත්ව තිබෙනවා. අදින් වසර ගණනාවකට පෙර පොළොවෙන් ඉහළ නැගුණු හුණුගල් විශේෂයක් මතට වර්ෂාව ඇද හැලීම නිසා කාලයක් තිස්සේ ඛාදනය වී මේ හැඩය ලැබී ඇති බව භූ විද්‍යාඥයන් පවසනවා.




චීනයේ ටියන්සි කඳු



ඇවටර් චිත්‍රපටයේ නිර්මාණය කළ පාවෙන කඳු




ඔබ ඇවටර්චිත්‍රපටය නැරඹූ අයෙක් නම් එහි දක්නට ඇති පාවෙන කඳු පිළිබඳ මතක තිබෙනවාට සැකයක් නැහැ. චිත්‍රපටය සඳහා මෙවැනි අපූරු ආකාරයේ කඳු ඇතුළත් කරන්නට අධ්‍යක්ෂවරයාට අදහසක් පහළ වී ඇත්තේ චීනයේ හූනාන් පළාතේ පිහිටි ටියන්සි (මෙහි අර්ථය දෙව් ලොව පුත්‍රයායන්නයි) කඳු දැකීමෙන් පසුවයි. මේවා සම්පූර්ණයෙන්ම හුණුගල්වලින් නිර්මාණය වී ඇති බව භූ විද්‍යාඥයන් පවසනවා. පොළොවෙන් ඉතා ඉහළට සිහින්ව එසැවී ඇති මේ කඳු මුඳුන්වල ගස් වැවී තිබෙනවා. මේවා වැඩි වශයෙන් මීදුමෙන් වැසී පවතිනවා. දුරට පෙනෙන්නේ මුඳුන පමණයි. එවිට දිස් වන්නේ වළාකුළුවලට උඩින් පාවෙමින් පවතින කඳු මුඳුන් ලෙසයි. ඇවටර්චිත්‍රපටයේ ද මේ ආකාරයටම වළාකුළුවලට උඩින් කඳු පාවෙමින් පවතින දර්ශන දැකගන්නට පුලුවන්. මේ කඳු නැරඹීම සඳහා කේබල් කාර් සේවාවක් චීන රජය විසින් පවත්වාගෙන යනවා.






ජපානයේ බළල් දූපත





බළලකුගේ හැඩයෙන් නිර්මාණය කරන ලද නිවාඩු නිකේතන



ජපානයේ තෂිරෝජිමා කියන වෙරළේ සිට කෙටි බෝට්ටු ගමනකින් ළඟා විය හැකි මෙම දූපතේ අධික ලෙස බළලුන් දක්නට ලැබෙනවා. මේ නම පටබැඳී ඇත්තේ මේ හේතුව නිසයි. අතීතයේ මේ දූපතේ සේද නිෂ්පාදනය පැවැති අතර සේද පණුවන්ගේ ස්වභාවික සතුරන් අතර මීයා ප්‍රධාන තැනක් ගන්නවා. මෙම මී තර්ජනයෙන් ගැලවෙන්නට මෙම දූපතට බළලුන් සෑහෙන සංඛ්‍යාවක් රැගෙන එනු ලැබුවා. කාලයක් යද්දී මෙහි සිටින බළලුන් දැක මසුන් අල්ලන්නට යන ධීවරයන්ට අධික ලෙස මසුන් හසුවන බවට විශ්වාසයක් ඇති වන්නට පටන් ගැනුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සෑම ධීවරයෙක්ම මසුන් අල්ලන්නට යන්නට වූයේ දූපත අසලින්. අවසානයේ සිදුවූයේ බළලුන් වෙනුවෙන් දේවාලයක් ද ඉදිකිරීමයි. ඊට අමතරව බළලුන්ගේ හැඩයෙන් තනන ලද සංචාරක නිකේතන ද මෙහි දකින්නට ලැබෙනවා. කෙසේ නමුත් කිසිදු හේතුවක් මත හෝ සුනඛයන් මෙම දූපතට රැගෙන ඒම සපුරා තහනම් කොට තිබෙනවා.




නවසීලන්තයේ රෑබදුලු ගුහා






ඔබ රෑබදුල්ලාකියන දළඹු වර්ගය දැක තිබෙනවාට සැකයක් නැහැ. රෑබදුල්ලා කියන්නේ සිරුරෙන් ආලෝකයන් නිකුත් කරන දළඹු වර්ගයක්. මේ දළඹුවා ඉංග්‍රීසි බසින් හඳුන්වන ග්ලෝවර්ම්කියන නම තමයි මේ ගුහාවලට යොදා තිබෙන්නේ. මේ ගුහා තුළ මන්දාකිණියක් මැදින් ඇවිද යන්නා සේ හැඟීම ඇති කරවන අපූරු ආලෝකයක් දක්නට ලැබෙනවා. ග්ලෝවර්ම්යනුවෙන් සඳහන් වුවත්, සැබවින්ම මෙහි ආලෝකය නිකුත් කරන්නේ දළඹුවන් විශේෂයක් නොව එක්තරා ආකාරයක කෘමි සතුන් විශේෂයක්. මොවුන් දක්නට ලැබෙන්නේ නවසීලන්තයේ පමණයි. නවසීලන්තයේ ස්වදේශික ජනතාව වන මඔරි ග්‍රෝත්‍රිකයන් සියවස් ගණනාවක සිට මේ ගුහාව පිළිබඳ දැන සිටියත්, ඉංග්‍රීසි ජාතිකයන් මේවා සොයා ගත්තේ 1884 දි යි. භූ විදාඥයන් පවසන පරිදි මේ ගුහා සංකීර්ණය වසර මිලියන 30ක් පමණ පැරණියි.




චීනයේ දේදුණු  කඳු





ඔබ චිත්‍ර කලාව ප්‍රගුණ කොට ඇත්නම් ඇබ්ස්ට්‍රැක්හෙවත් සිංහල බසින් අමූර්තකියන චිත්‍ර කලාව ගැන අසා ඇති. මෙහිදී සිදු කෙරෙන්නේ වර්ණ ගණනාවක් විවිධ හැඩතලවලින් නිර්මාණය කොට යම් අදහසක් ඉදිරිපත් කිරීමයි. මේවා චිත්‍ර ශිල්පියකු විසින් ඇඳිය යුතු වුනත්, ස්වභාවිකවම නිර්මාණය වුණු අමූර්ත චිත්‍රයක් චීනයේ ෂැංග්යේ ජාතික විද්‍යා උද්‍යානයෙන් හමු වෙනවා. මෙහි ඇති කඳු දුර සිට බැලූ විට පෙනෙන්නේ අමූර්ත චිත්‍රයක් ලෙසයි. වර්ණවත් නිසා දේදුනු කඳු ලෙසින් ද හඳුන්වනු ලබනවා. මේ කඳු විවිධ වර්ණයන්ගෙන් අලංකාර වී තිබෙන්නේ අදින් වසර මිලියන 24 කට පමණ පෙර ඇති වූ වැලිගල් සහ විවිධ ලවණ වර්ග මේ කඳුවල අන්තර්ගත වන නිසයි. සුළඟ සහ වර්ෂාව නිසා මේ කඳු ඛාදනය වී විවිධ හැඩතල ද නිර්මාණය වී තිබෙනවා.





ඇමරිකාවේ පිශාච නිම්නය






බැලූ බැල්මට අඟහරු ග්‍රහයාගේ මතුපිට මෙන් රක්ත පැහැයකින් යුක්ත ගොබ්ලින් වැලි ස්ටේට් පාර්ක්කියන උද්‍යානය ගැන තමයි මේ කියන්න හදන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ ඌටා ප්‍රාන්තයට අයත් කිසිදු මිනිස් ජනාවාශයක් නැති මේ නිම්නයේ ඇති වැලිගල් වසර මිලියන ගණනක් තිස්සේ වැස්සට සහ සුළඟට ඛාදනය වී විවිධකාර හැඩතල නිර්මාණය වී තිබෙනවා. මේ බොහොමයක් බැලූ බැල්මට පෙනෙන්නේ වාමනයන්, පිශාචයන් ලෙසයි. ඒ නිසා තමයි මෙය ගොබ්ලින් කියන නමින් හඳුන්වනු ලබන්නේ.





පහත වීඩියෝ එකෙන් ඉහත කතා කළ සියල්ලම සවිස්තරව බලන්න පුළුවන්.

Tuesday, August 7, 2018

මොලේ කොලොප්පම් කරන තරග - Strange Competition of the World

ජීවිතයම තරගයක් කියලා කියනවා. ජීවන අරගලය කියන්නෙත් ඒකට. ඊට අමතරව තවත් තරග තියෙනවා. ක්‍රීඩා තරග, ගීත තරග, නවකතා තරග කියන්නේ ඒ වගේ ඒවාට. ඒ අපි දන්නා තරග. නොදන්න, ඒ වගේම ඉතා හොර රහසේ ක්‍රියාත්මක වෙන තරගත් තියෙනවා. බලු පොර, කුකුළු පොර කියන්නේ ඒ වගේ තරග. ප්‍රසිද්ධ මාධ්‍යයක කියන්න බැරි විදියේ තරගත් තියෙනවා. ඒවා අන්තර්ජාලය පැත්තේ ගියා නම් හොයාගන්න පුළුවන්. මේ කිසිම තරගයකට අයිති නොවන, ඒත් ප්‍රසිද්ධියේ කතා කරන්නට ගැටලුවක් නැති තරගත් තියෙනවා. කොහොම වුනත් මේවා බැලූ බැල්මටම ටිකක් අසාමාන්‍ය ගතියක් තියෙනවා. සමහර ඒවා ටිකක් විකාරයි. ඒවා පවත්වන මිනිස්සුන්ට පිස්සු නැත්නම් ෂෝක් කියලත් හිතෙනවා. අන්න ඒ වගේ තරග ටිකක් ගැන කතා කළොත් මොහොතකට අසාමාන්‍ය වෙලා ආයෙත් සාමාන්‍ය වෙන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.

ඉන්න හිටින්නවත් බැරි තැන්වල සිට රෙදි මැදීමේ තරගය



රෙදි මදිනවා කියන්නේ සීරුවට කරන්න ඕන වැඩක්. ඇතැම් අයට එක ඇඳුමක් ලස්සනට මදින්න විනාඩි 15 - 20 ක්, සමහර විට ඊටත් වඩා ගත වෙනවා. එහෙම තත්වයක් තියෙද්දි හරියකට හිටගන්නවත් බැරි තැනක ඉඳන් රෙදි මදින්න කිව්වොත්, ඒක ටිකක් අමාරු වැඩක් වෙනවා. අමාරු නිසාම ඒක තරගයක් බවට පත් වෙලා තියෙනවා. එක්සත් රාජධානියේ ලයිසෙස්ටර් ප්‍රාන්තයේ 1997 වර්ෂයේ පටන් මේ වගේ තරගයක් පවත්වන්නට පටන් අරන් තියෙනවා. මේ තරගය තරමක් අවදානම්. එයට හේතුව තමයි මෙයට සහභාගී වෙන අය භයානක කඳු මුදුන්වල, භයානක කඳු බෑවුම්වල, අවදානම් සහිත දෙබොක්කාවල, අයිස් කුට්ටිවල වගේම දිය යටත් රෙදි මදින්න සූදානම් පිට සිටිය යුතු නිසයි. තරගයේ සංවිධායක මණ්ඩලය මේ ගැන පවසන්නේ මෙහෙම දෙයක්. මේක අවදානම සහ කුල්මත් බව පිරුණු එළිමහන් තරගයක්. අවසන් ප්‍රතිඵලය විය යුත්තේ හොඳින් මදින ලද කමිසයක්. ඉතාමත් දුෂ්කර තැනක සිට කමිසයක් ඇතුළු තවත් රෙදි කිහිපයක් මෙහිදී මැදිය යුතු වෙනවා.මෙය 1997 වර්ෂයේ පටන් ගත්තත්, විකිපීඩීයා විශ්වකෝෂය පවසන ආකාරයට මුල්ම ජාත්‍යන්තර තරගය පවත්වා තිබෙන්නේ 2002 වසරේ ජර්මනියේ මියුනික් නුවරයි. මේ සඳහා කණ්ඩායම් 12 සහභාගී වී ඇති අතර එයින් 3 ක්ම ඉදිරිපත් කොට තිබුණේ එක්සත් රාජධානියෙන්. දැනට නිත්‍ය වශයෙන් මේ තරගය සඳහා ඔස්ට්‍රියාව, ඕස්ට්‍රේලියාව, චිලිය, ක්‍රොඒෂියාව, එක්සත් රාජධානිය සහ ජර්මනිය සහභාගී වෙනවා.






අවලස්සනම සුනඛයා තේරීමේ තරගය




සුනඛයන්ට සාමාන්‍ය බුද්ධියක් තියෙන බව පිළිගත් දෙයක් වුනත්, මිනිස්සු එකතු වෙලා තමන් අතර ඉන්න අවලස්සනම සාමාජිකයන් තෝරන තරග පවත්වනවා කියා තේරුම් ගන්න පුළුවන් නම් මේ වගේ තරගයකට විරෝධය පළ කරන්නත් ඉඩ තියෙනවා. කොහොම වුනත් ලෝකයේ එහෙම තරගයක් පැවැත්වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පෙටලූමා නගරයේ දී වාර්ෂිකව පවත්වනු ලබන මෙය ආරම්භ වී ඇත්තේ 1970 දශකයේ දී බව පැවසෙනවා. මේ තරගයෙන් ජයග්‍රහණය කරන අවලස්සනම සුනඛයාගේ හිමිකරුවාට ඇමරිකානු ඩොලර් 1500 ක් (අපේ රටේ මුදලින් නම් රුපියල් 238,000 පමණ) සහ කුසලානයක් හිමි වෙනවා. මේ සඳහා සැලකිය යුතු අන්දමේ මාධ්‍ය ආවරණයක් ද සැපයෙන අතර සුනඛ හිමියන් ඇතුළුව තවත් සෑහෙන පිරිසකගේ සහභාගිත්වය ද ලැබෙනවා. මේ වසරේ මේ තරගයෙන් ජයග්‍රහණය කළේ ඇමරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ අනෝකා සිට පැමිණි පුද්ගලයකුට අයත් 9 හැවිරිදි බුල්ඩෝග් වර්ගයේ සුනඛයෙක්. සුනඛයාගේ නම සා සා’. ‛සා සාගේ හිමිකරුවා මෙගාන් බ්‍රේනාර්ඩ්. මේ සුනඛයා අවලස්සන යැයි පිළිගැනීමට එකම හේතුව වී තිබුණේ ඉතා දිග දිවක් තිබීමයි. එය බිම ගෑවෙන තරමට දිගු කරන්නට හැකියාව තිබෙන බැව් පැවසෙනවා. කෙසේ වෙතත් මේ තරගයෙන් සති දෙකකට පසුව සා සාමිය ගියා.



පණුවන් ආකර්ෂණය කර ගැනීමේ තරගය





මේ තරගය ගැන අසද්දී නම් බොහෝ දෙනෙකුගේ ඇඟ හිරි වැටෙන්න ඇති කියලා හිතෙනවා. ඒ පණුවෝ ගැන අපේ හිතේ තිබෙන එක්තරා ආකාරයක පිළිකුල් සහගත ආකල්පය නිසයි. මේ වගේ තරගයක් පැවැත්වීමේ අරමුණත් එයම වෙන්න පුළුවන්. මෙම තරගයට ඉදිරිපත් වන තරගකරුවන් කළ යුත්තේ, තමාට ලබා දෙන භූමියේ, ලබා දෙන කාල සීමාව තුළ පණුවන් විශාල සංඛ්‍යාවක් එකතු කර ගැනීමයි. පොළොව යට සිටින පණුවන් පිටතට ගැනීම සඳහා බොහෝ විට සිදු කරන්නේ පොලොව කම්පනය කිරීමයි. මේ සඳහා පැත්තක් මීටර් 3ක් වූ සමචතුරස්‍රාකාර බිම් කොටසක් ලැබෙනවා. මේ තරගය ආරම්භ වූයේ 1980 වර්ෂයේ දී එක්සත් රාජධානියේ චෙෂයර් ප්‍රාන්තයේ විලස්ටන් නගරයේ වූ ප්‍රාන්තයේ වූ ප්‍රාථමික පාසලක යි. මේ වන විට වාර්ෂිකව පවත්වනු ලබන මෙහි ආරම්භකයා මෙන්ම නීති රීති සම්පාදකයා වන්නේ මෙම පාසලේ විදුහල්පතිවරයා වන ජෝන් බේලි. දැනට වැඩිම පණුවන් සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගැනීමේ වාර්තාව හිමි ඇත්තේ 2009 ජුනි 29 වැනිදා පැවැත්වූ තරගයේ ජයග්‍රාහකයා වූ 10 හැවිරිදි සොෆී ස්මිත් ටයි. ඇය පණුවන් 567 දෙනෙක් තමා කරා ආකර්ෂණය කරගන්නට සමත් වුණා. තරගයෙන් පසුව මේ සෑම පණුවෙක්ම යලිත් ආරක්ෂිත ස්ථානයකට මුදා හැරිය යුතු වෙනවා.




මහපටඟිල්ලෙන් පොර බැදීමේ තරගය





මෙය 1974 වසරේ දී එක්සත් රාජධානියේ ස්ටැෆර්ඩ්ෂයර් හිදී බීමතින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු විසින් ආරම්භ කරන ලද්දක් බව පැවසෙනවා. බමන මතින් සිටීමේ ප්‍රතිඵලයක් ලෙස ලෝකයට බිහි වුවත්, දැන් එය ලෝක මට්ටමේ තරගාවලියක් බවට පත් ව තිබෙනවා. මෙය අත්වලින් සිදු කෙරෙන පොර බැදීමට බොහෝ සමාන කමක් දක්වනවා. තරගයට සහභාගී වන තරගකරුවන් දෙදෙනාගේ පාවහන් සහ මේස් ගළවා ඉවත් කරන්නේ තරගය ආරම්භ කරන මොහොතේ දී වන අතර, එක් තරගකරුවෙක් අනෙකාගේ පාවහන් සහ මේස් ඉවත් කිරීම සිදු කළ යුතු වෙනවා. ඉන් පසුව මහපටඟිලි එකිනෙක පටලවා අනෙක් තරගකරුවාගේ පාදය පොළොවේ ස්පර්ශ කිරීම සිදු කළ යුතුයි. තත්පර තුනක කාලයක් මෙසේ ස්පර්ශ කොට තබාගෙන සිටි යුතුයි. වට තුනක් වශයෙන් පැවැත්වෙන තරගයේ දී 3 - 2 වශයෙන් ජයග්‍රහණය කළ යුතු වෙනවා. මුලින්ම දකුණු කකුල ද, පසුව වම් කකුල ද, නැවත දකුණු කකුල ද වශයෙන් යොදා ගත යුතු වෙනවා.




බිරිඳ කරේ තබාගෙන දිවීමේ තරගය





බිරිඳ කරේ තබාගෙන දුවනවා කියන වැඩේ ලේසි පාසු දෙයක් නම් නෙවෙයි. ඒ නිසාම වෙන්න ඇති මෙහෙම තරගයක් සූදානම් කරන්න ඇත්තේ. මේ තරගය ලෝකයේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ යුකොන්කන්ටෝනමින්. එය ෆින්ලන්ත වචනයක්. එවැනි නමකින් මෙය හඳුන්වන්නේ මෙහි ආරම්භය සිදු වී ඇත්තේ ෆින්ලන්තයේ නිසයි. මේ ක්‍රීඩාව ඇති වූ ආකාරය ගැන ෆින්ලන්තය පුරා ජන කතා පවතිනවා. ඉන් එකක් තමය 1800 ගණන්වල කැලෑවක සිටි සොරෙක්, අසල පිහිටි ගමකට ආ විගස ඒ ගමේ සිටින ගැහැනුන්ව කරේ තබාගෙන පැහැර ගෙන ගිය බවයි. අනෙක් කතාව නම් අතීතයේ සිටි ෆින්ලන්ත තරුණයන් වෙනත් ගම්වලට බලහත්කාරයෙන් ඇතුළු වී ඒවායේ සිටින ගැහැනුන්ව බලෙන් කරේ තබාගෙන පැහැර ගෙන ඒමයි. මෙය බැලූ බැල්මට හාස්‍යජනක තරගයක් වුවත්, තරගකරුවන් නම් මෙය ඉතා බරපතළ දෙයක් ලෙස සලකා තරග වදින බව පෙනෙනවා. බිරිඳ කරේ තබාගෙන දුවනවා කියා පැවසුවත්, සාමාන්‍යයෙන් සිදුවන්නේ මේ සඳහා ඉදිරිපත් වන කණ්ඩායමේ කාන්තාවක්ව කරේ තබාගෙන දිව යාමයි. නොයෙක් ඉරියව්වලින් බිරිඳව කරේ තබාගෙන දිව යා යුතු වෙනවා. මුලින්ම ෆින්ලන්තයට පමණක් ආවේණික තරගයක් ලෙස මෙය පැවැත්වුනත් 1922 වර්ෂයේ සිට මෙහි ලෝක ශූරතා තරගය පැවැත්වෙන්නට පටන් ගත්තා. මේ සඳහා අනුගමනය කළ යුතු නීතිරීති මාලාවක්ම තිබෙනවා. මීටර් 253.5ක දුරක් යාම, ගොඩ බිම බාධක දෙකක් සහ මීටර් එකක් ගැඹුරු ජලයේ බාධක දෙකක් පසු කර යාම, කාන්තාව අවුරුදු 17 කට වඩා වැඩි වීම, කාන්තාවගේ බර කිලෝග්‍රෑම් 49කට වඩා වැඩි වීම (එයට වඩා අඩු නම් නියමිත බර ලැබෙන සේ වැලි මලු එල්ලයි) ආදී වශයෙන් බොහොමයක් තිබෙනවා. 2018 ලෝක ශූරතාවේ ජයග්‍රාහකයන් වී ඇත්තේ ලිතුවේනියාවේ සිට පැමිණි වයිටෝටස් කර්ක්ලියාස්කාස් සහ නෙරින්ගා කර්ක්ලියාස්කීනේ. ඔවුන්ට මේ දුර ගමන් කිරීම සඳහා තත්පර 65ක් ගත වී තිබුණා. මෙහි ජයග්‍රාහකයන්ට බිරිඳගේ බරට සමාන වන සේ බීර තිළිණ කෙරෙනවා.




සැර මිරිස් කෑමේ තරගය



අප අතර ඉන්න ඇතැම් අය බත් සමග කොච්චි කෑමට ගන්නා පුරුද්දක් තිබෙනවා. එයට හේතුව ඔවුන්ගේ දිවට අධික සැරක් දැනෙනවාට ඔවුන් තුළ ඇති කැමැත්තයි. මේ වගේ අයට ගැළපෙනම තරගයක් තමයි සැර මිරිස් කෑමේ තරගයකියා කියන්නේ. මෙය ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනාවේ දී වාර්ෂිකව පැවැත්වෙනවා. මෙය වට 5 කින් සමන්විත වන අතර ටිකෙන් ටිකේ සැර අධික වන ස්වභාවයේ මිරිස් කෑමට ගත යුතු වෙනවා. මිරිස්වල සැර බලන්නේ ජාත්‍යන්තරව පිළිගත් ස්කොවිල් සැර පරිමාණයපදනම් කරගෙනයි. ස්කොවිල් කියන්නේ මිරිස්වල සැර මැනීම සඳහා සම්මත කරගත් පරිමාණයක්. වර්ෂ 1912 දී ඇමරිකානු ඖෂධවේදියකු වූ විල්බර් ස්කොවිල් විසින් මේ පරිමාණය සොය ගනු ලැබුවා. මේ පරිමාණයට අනුව අප කෑමට දමන අමු මිරිස් කරලක සැර ප්‍රමාණය ඒකක 250 ක් පමණ වෙනවා. කෙසේ නමුත් පළමු වටය ආරම්භයේ දී ලබා දෙන මිරිස්වල සැර මෙම ඒකක 500 - 2500 ත් අතර පවතිනවා. අවසාන වටයේ දී ඒකක 100,000 - 300,000 අතර සැර ප්‍රමාණයක පවතින මිරිස් කෑමට ගත යුතු වෙනවා. මෙහි තවත් ජාත්‍යන්තර තරගයක් චීනයේ දී ද පැවැත්වෙනවා. මෙයට ලැබෙන තිළිණය එතරම් වටිනාකමක් නැතත්, මේ සඳහා බොහෝ දෙනෙක් ඉදිරිපත් වන බව නම් පෙනෙනවා.




මුහුණ විකෘති කර ගැනීමේ තරගය




ඈන් වුඩ්ස්

ඒඩ්‍රියන් සිවෙලොන්ගි


මෙය එක්සත් රාජධානියේ ආරම්භ කරන ලද තරගයක් ලෙස පවසන්නට පුළුවන්. තුන්වැනි හෙන්රි රජු එංගලන්තයේ රජ වූ සමයට අයත්, 1267 වර්ෂයෙදී මෙය මුලින්ම ආරම්භ වී තිබෙනවා. සිය මුහුණ හැකිතාක් විකෘති කරගන්නට සමත් වන පුද්ගලයාට මේ තරගයේ ජයග්‍රහණය හිමි වෙනවා. සෑම වසරකම සැප්තැම්බර් මාසයේ දී මේ තරගය පැවැත්වෙන අතර පසුගිය වසරේ මෙහි ජයග්‍රාහකයා වූයේ ඒඩ්‍රියන් සිවෙලොන්ගි. දැනට ලෝකයේ සිටින හොඳ මුහුණ විකෘති කරන්නා වශයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ බෙලා ලුගොසි යි. මේ තරගය 15 වතාවක් ජයග්‍රහණය කරන ලද තරගකරුවෙක් ගැන ද වාර්තා ලැබෙනවා. ඒ ටොමී මැටින්සන්. ඈන් වුඩ්ස් මෙම තරගයට සහභාගී වී 28 වතාවක් ජයග්‍රහණය කොට තිබෙනවා.