පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, January 27, 2016

ජීවිතයේ මුල්ම විප්‍රයෝග අත්දැකීම - Separation Anxiety Disorder - SAD


ඔබ මුළින්ම පාසල් ගිය දිනය මතකද? ජීවිතයේ මුල්ම වරට අම්මාගෙන් තාත්තාගෙන් වෙන්ව තනිව ඉන්නට පංති කාමරයට යන්නට සැරසුණු ඒ අවස්ථාව මතකයට නගා ගන්න. ඔබේ පුතා හෝ දියණිය මුළින්ම පාසල් හෝ ළදරු පාසල් ගිය දිනය මතක් කරගන්න. ඒ සියලු අවස්ථාවකදීම ඔබත්, ඔබේ දරුවාත් ජීවිතයේ මුල්ම වරට වෙන්ව යන අවස්ථාවේදී දෑස් කඳුළින් පිරී යන්නට ඇති. ඇතැම් විට මහ හඬින් හඬන්නට ඇති. සාමාන්‍යයෙන් මුල්ම වරට වෙන්ව යාමකදී දරුවකු තුළ එවැනි හැඟීමක් ඇතිවීම ස්වභාවික දෙයක්. දරුවකුගේ වර්ධන අවධිය තුළ එවැනි හැසිරීමක් දකින්නට ලැබීම ගැන කලබලයට පත්විය යුතු නැහැ. දරුවා ජීවිතයේ ලබාගන්නා අත්දැකීම් සමඟින් නොබෝ දිනකින්ම මෙම තත්වයට හුරු වී ගැටලුව නිරාකරණය වෙනවා. නමුත් මේ තත්වය කාලය සමඟ යම් ආකාරයකින් අවසන් වන්නේ නැත්නම් එතැන ඇත්තේ ගැටලුවක්. වෙන්වීම දරාගන්නට නොහැකි මානසිකත්වයක් දරුවා තුළ දිගින් දිගටම පවතින්නේ නම් ඔහු/ඇය බොහෝ විට විප්‍රයෝග කාංසා ආබාධය(Separation Anxiety Disorder - SAD) නමැති තත්වයෙන් පීඩා විඳිනවා වන්නට පුළුවන්. එවැනි තත්වයක් පවතින්නේ යැයි ඔබට සැක නම් ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුයි. එසේ වුවත් ඒ සඳහා ඔබට පෞද්ගලිකව කළ හැකි බොහෝ දේවල් ද තිබෙනවා.

දෙමාපියන්ගෙන් මුල්ම වරට වෙන්ව යාමේදී දරුවා තුළ ඇතිවන කාංසා තත්වය ස්වභාවික දෙයක් මෙන්ම දරුවාගේ වර්ධනීය අවධියේදී දකින්නට ලැබෙන සාමාන්‍ය දෙයක් වුවත්, එය ආබාධයක් බවට පත්වීම වර්ධනීය අවධියේ ලක්ෂණයක් ලෙස සැළකිය නොහැකියි. එය බොහෝ විට බරපතල මානසික තත්වයක් දක්වා වර්ධනය විය හැකියි. සෞඛ්‍ය සම්පන්න විප්‍රයෝග කාංසාව සහ විප්‍රයෝග කාංසා ආබාධය යන තත්වයන් දෙකෙහිදීම දකින්නට ලැබෙන ලක්ෂණ බොහෝ දුරට සමානයි. මේ නිසා බොහෝ දෙමාපියන් සිතන්නේ කාලයත් සමග සියලු දෙය විසඳෙනු ඇති බවයි. කෙසේ නමුත් මෙය හරිහැටි හඳුනා නොගතහොත් සිදුවන්නේ දරුවාට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ඇති අවස්ථාව පමා වීමයි.

සෞඛ්‍ය සම්පන්න විප්‍රයෝග කාංසාතත්වය සහ විප්‍රයෝග කාංසා ආබාධයඅතර ඇති ප්‍රධාන වෙනස් කම් කිහිපයක් දෙස අපි අවධානය යොමු කරමු.

මෙයින් ප්‍රධානතම මානසික තත්වයක් වන්නේ දරුවා තුළ ඇති අධික බිය තත්වයයි. මෙම බිය තත්වය නිසා ඔහු සාමාන්‍ය ක්‍රියාකාරකම්වලින් වැළකී සිටින්නට උත්සාහ ගන්නවා. දෙමාපියන්ගේ වෙන්ව යාමට සිදුවෙතැයි ඔවුන් තුළ අනියත බියක් පවතිනවා. ඒ නිසා ඔවුන් මිතුරන් සමග ක්‍රීඩා කරන්නට, පාසල් යන්නට සිදුවන විට කුමක් හෝ රෝගී තත්වයක් ගැන පැමිණිලි කරන්නට පුරුදුව සිටිනවා.  මෙය ආරම්භ වන්නේ සාමාන්‍ය මට්ටමින් වුවත්, එය මුල් අවස්ථාවේදීම එය හඳුනානොගතහොත් සිදුවන්නේ දරුවා තුළ ඇති මානසික ආබාධය කාලයක් සමඟ බරපතල තත්වයට පත්වීමයි.

දරුව තුළ යම් අනාරක්ෂිත හැඟීමක් පහළවීම නිසාත් විප්‍රයෝග කාංසා ආබාධ තත්වයක් ඇතිවිය හැකියි. දරුවාගේ ලෝකයේ සමබරතාවය බිඳෙන යමක් සිදුවීම මෙම අනාරක්ෂිත හැඟීමට හේතුවක් වන්නට පුළුවන්. දරුවාගේ සාමාන්‍යය දින චර්යාවට තර්ජනයක් වන දෙයක් සිදුවීම ද මේ අතරට වැටිය හැකියි.  දරුවාගේ මෙම තත්වය ඔබ වඩා හොඳින් අවබෝධ කරගත යුතුයි. පහත සඳහන් කාරණා දෙස අවධානය යොමු කරන්න.

            වටපිටාව වෙනස්වීම - නව නිවසක්, පාසලක් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට ඇතුළුකිරීම වැනි දරුවාගේ සාමාන්‍ය වටපිටාවේ සිදුවන වෙනස්කම්.

            ආතතිය -  පාසල වෙනස්වීම, සුරතල් සතුන් ඇතුළුව ආදරය කළ පුද්ගලයන් අහිමිවීම

            දරුවා අධික ලෙස ආරක්ෂා කිරීම - තම දරුවාට අනතුරක් සිදුවේ යැයි කියා ඇතැම් විට ඔබ දරුවාව අධික ලෙස ආරක්ෂා කරන්නට පෙළැඹී සිටිනවා විය හැකියි. එය සැබවින්ම දෙමාපියන් තුළ ඇතිවන කාංසා තත්වයක්. දෙමාපියන්ගේ එම මානසික තත්වය දරුවා කෙරෙහි අනිසි ලෙස බලපෑම් කළ හැකියි.

අප මුළින් සඳහන් කළා සේ දරුවා තුළ විප්‍රයෝග කාංසා ආබාධමය තත්වයක් ඇතිවී තිබෙන්නේ යැයි සැක පහළ කරන්නේ නම් ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු වෙනවා. කෙසේ නමුත් දෙමාපියන් හැටියට ඔබට ද කළ හැකි යම් යම් දේ තිබෙනවා. මුළින්ම දරුවාට නිවසේ වටපිටාව වඩාත් සුරක්ෂිත යැයි හැඟෙන තත්වයක් නිර්මාණය කළ යුතුයි. එවිට දරුවා තුළ ආරක්ෂාකාරී බව නිතැතින්ම ඇතිවෙනවා. ඒ වගේම දරුවා දැනට සිටින පාසල වෙනස් කිරීම ද මෙම තත්වය වෙනස්කිරීමට හේතු විය හැකියි. නමුත් දරුවාගේ මෙම කාංසා ආබාධමය තත්වය ඇතිවන්නට පාසල ද හේතුවක් යැයි නිගමනය කළ හැකි කරුණු ඉස්මතු වන්නේ නම් පමණක් මෙය කළ යුතුයි. ඔබගේ උත්සාහ තුළින් දරුවාගේ මානසික තත්වය සහමුළිනම් වෙනස් නොවන්නට හැකි මුත් කලින් පැවති තත්වය සමහන් කරන්නටත් වෛද්‍ය ප්‍රතිකාරවල ප්‍රතිපල වඩාත් ඉක්මණින් ලැබීමටත් මෙය හේතු විය හැකියි.

වෙන්වීමේදී දරුවා තුළ ඇතිවන මානසික ව්‍යාකූලත්වය සමනය කිරීමට පහත සඳහන් පියවර ඔබට අනුගමනය කළ හැකියි. එවිට ඇතැම් විට එය ආබාධයක් දක්වා වර්ධනය වීමට ඇති ඉඩකඩ අවම කරගන්නටත් පුළුවන්.

            වෙන්ව යාම හුරුකරවන්න -  දරුවා මුළින්ම ඔබගේ ළඟම ඥාතියකු හෝ හිතවතකු අසල කෙටි කාල පරාසයක් තුළ තනි කරන්න. ඔබට ඉතා සමීප අසල්වැසි නිවසක් මේ සඳහා බොහෝ සුදුසුයි.

            නිදාගැනීමෙන් හෝ ආහාරගැනීමෙන් අනතුරුව සුළු සුළු වෙන්කිරීම සිදුකරන්න. දරුවන්ට කුසගිනි දැනෙන විට හෝ නිදිමත ඇතිවූ විට ඔවුන් තුළ විප්‍රයෝග මානසික තත්වයක් ඇතිවිය හැකියි. එම නිසා කලින් සඳහන් කළ පරිදි කෙටි වෙන්වීමක් සිදු කළ යුත්තේ කෙටි නින්දකින් හෝ කුසගිනි නිවීමෙන් පසුවයි.

            සමුදීමට හුරුකරවන්න. සමුදීමට නිතර හුරුකරවීම තුළින් එය දරුවාට සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා. එය ඔබට ගැළපෙන පරිදි පුරුදු කළ හැකියි. ඇතැම් දෙමාපියන් බායියනුවෙන් පවසනවා. ඇතැමුන් සිය ආගමට අනුව බුදු සරණයිහෝ දෙවි පිහිටයි’, ‛ජේසු පිහිටයිවැනි ආකාරවලින් පවසන්නට පුරුදුව සිටිනවා. විශේෂයෙන් දරුවා කාමරයේ සිටින විට ජනෙලය ළඟට ගොස් අත වනා මෙවැන්නක් පැවසීමට පුරුදුවීම වඩාත් සුදුසුයි.

            සියලු විට දරුවාට හිතකර වටපිටාවක් නිර්මාණය කරන්න. අලුත් වටපිටාවකට මාරු වූයේ නම් එය දරුවාට සාමාන්‍ය තත්වයක් බවට පත්කරන්න. දරුවා වෙනත් අයකු අසල කෙටි වේලාවකට හෝ තබන්නේ නම්, ඔබේ නිවසේ දරුවාට හුරුපුරුදු සෙල්ලම් බඩු කිහිපයක් ඔහු සමග තබායන්න. එවිට දරුවාට සමීපතම පරිසරය තුළ ඇති ඇති හුරුපුරුදු බව වෙනස් වන්නේ නැහැ.

            දරුවා ඔබගේ දෙමාපියන් සමඟ, දරුවන් බලාගන්නා සමඟ හෝ දිවාසුරැකුම් මධ්‍යස්ථනයේ තබා යන්නේ නම් ඔබ එතැනින් පිටත්වන බවත්  නැවත පැමිණෙන බවත් කෙටියෙන් ඍජුව පවසන්න.

කෙසේ නමුත් දරුවා තුළ ඇති මෙම විප්‍රයෝග කාංසා තත්වය ආබාධයක් දක්වා වර්ධනය වී ඇත්නම් ඔබට මෙම ප්‍රතිකර්මවලින් පමණක්ම සෑහීමකට පත්වන්නට හැකියාවක් නැහැ. ඔබ ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළ යුතුයි. නොපමාව අවශ්‍ය පියවර ගැනීමෙන් සෞඛ්‍ය සම්පන්න දරුවකු ලෙස සමාජයට තුළ වැඩෙන්නට ඔහුට ඇති ඉඩකඩ තහවුරු කළ හැකියි.

Friday, January 22, 2016

අලුත් ලෝකයට අලුත් ගැජට් 6 කොටස - New Gadgets for New World Part 6

ඕන ඇණයක් ගළවන්න අඬුවක්




ගෙදරදි ඇණ, මුරිච්චි ගළවන්න ගියාම ඒවායේ ප්‍රමාණයට ගැළපෙන ඉස්කුරුප්පු නියන්, අඬු, යතුරු වගේ දේවල් හොයාගන්න ඕන. සමහර වෙලාවට මේ මොනවත්ම හරියන්නේ නැති අවස්ථාත් තියෙනවා. ඒ වගේම කවුරු හරි කාර්මිකයෙක් වගේ කෙනෙකුට නම් මේවා තවත් තැනකට අරන් යන්න ගියාම ආයුධ පෙට්ටියක්ම අරන් යන්න වෙනවා. මේ බොහෝ කරදරවලට විසඳුමක් විදිහට දැන් අලුත්ම උපාංගයක් වෙළෙඳපලට ඇවිත් තියෙනවා. මෙය නිෂ්පාදනය කරලා තියෙන්නේ අමුතුම තාක්ෂණයකටයි. විවිධ ඇණ, මුරිච්චිවලට ගැළපෙන විදිහට මෙහි වෙන වෙනම සිදුරු නැහැ. මෙහි ඇත්තේ ඉතා තද පීඩනයක් යටතේ අසුරන ලද වානේ කම්බි මිටියක්. ඔබට ගළවන්න අවශ්‍ය කරන ඇණය, මුරිච්චියේ හිසට මෙය තද කළ පමණින් එහි හැඩයට මේ වානේ කම්බි සීරු මාරු වෙනවා. ඉන් පසුව එය පහසුවෙන්ම ගළවන්නට පුළුවන්. විදුලි බලයක් අවශ්‍ය නැහැ. සාක්කුවේ දමාගෙන යන්න තරම් හුරුබුහුටි විදිහට නිමවා තිබෙනවා. ඒ වගේම ඇණ සවි කරණ යන්ත්‍රවලට ද මෙය පහසුවෙන් සවිකරන්න පුළුවන්. දැනට මිල ඇමරිකානු ඩොලර් 9.89ක් (රු.1418ක්) පමණ වෙනවා



ඉලෙක්ට්‍රොනික් කැටයක්



මැටිවලින් හදපු කැට බොහෝ නිවෙස්වල තියෙනවා. මේවායෙන් පුංචි දරුවන්ට පුංචි කාලේ සිටම ඉතිරිකිරීම ගැන අවබෝධයක් ලැබෙනවා. දැන් නව තාක්ෂණයත් සමඟ අලුත්ම විදිහේ කැටයක් වෙළෙඳ පළට ඇවිත් තිබෙනවා. මේක ඉලෙක්ට්‍රොනික් කැටයක්.  හැඩය හුරතල් ඌරකු වගෙයි. මේ කැටයට පුළුවන් තමන් තුළ තිබෙන කාසි ප්‍රමාණය සහ ඒවායේ වටිනාකම ගණනය කරන්න. ඒ වගේම ඔබේ ස්මාර්ට් දුරකතනය හරහා ඔබ සමඟ කතා කරන්නටත් මේ කැටයට පුළුවන්. ඔබ එයට කැටයක් දමන සෑම අවස්ථාවකදීම එයින් මිහිරි හඬක් නැගෙන අතර ආලෝකයක් ද විහිදෙනවා. මේ වන තුරු එයට දමන ලද කාසි ප්‍රමාණය ඔබේ ස්මාර්ට් දුරකතනය ඔස්සේ බලාගන්න පුළුවන්. ඒ වගේම කවුරු හරි මේ කැටය හොරෙන් කඩන්න හැදුවොත්, කැටය එකපාරටම අනතුරු හඟවන හඬක් නිකුත් කරනවා. මෙහි දැනට මිල ඇමරිකානු ඩොලර් 70ක් (රු.10,000) වෙනවා.

සිංදු අහන ගමන් නාමු






සිංදු අහන ගමන් නාන එකවත් නාන ගමන් සිංදු අහන එකවත් ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. ගෙදර සිංදු අහන්න තියෙන මොනව හෝ උපාංගයක් නාන කාමරය ළඟින් තියලා මේ වැඩේ කරගන්න පුළුවන්. නමුත් මේ කියන්න යන්නේ එයට වඩා වෙනස් ක්‍රමයක් ගැනයි. මෙහිදී සිදුවන්නේ වතුර මලෙන්, ඒ කියන්නේ ෂවර්එකෙන්ම සිංදු අහන්නට පුළුවන් වීමයි. ඔබේ ස්මාර්ට් දුරකතනයේ බ්ලූටූත් ක්‍රියාත්මක කරලා ගීත වාදනය කරන්නයි තියෙන්නේ. මේ වතුර මල බ්ලූටූත් තාක්ෂයෙන් යුක්ත නිසා ජංගම දුරකතනයේ ගීත වතුර මලේ ඇති ස්පීකරයෙන් ඇසෙන්නට පටන් ගන්නවා. මේ වතුර මලේ නැවත ආරෝපණය කළ හැකි ලිතියම් බැටරියක් තිබෙනවා. අය ආරෝපණය කළාට පසු පැය 10ක් ගීත අහන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි දිය නාමින් ඉන්න අතරේ දුරකතන ඇමතුමක් ආවොත් වතුර මල හරහාම දුරකතනයෙන් කතා කරන්නත් පුළුවන්. දැනට මිල වෙන්නේ ඇමරිකානු ඩොලර් 99 (රු. 14,200) යි.


පෙර ලිපිය

Tuesday, January 19, 2016

‘කන්ග්‍රැජුලේෂන්ස්‘ ගීතයේ කතාව - Story of the 'Congradulations', a popular Song


විවාහ මංගල්‍යය අවස්ථාවලදී වගේම විවාහ සංවත්සර අවස්ථාවලදී වාදනය වන එක් ජනප්‍රිය ගීතයක් තමයි කන්ග්‍රැජුලේෂන් - ඇන්ඩ් සෙලිබ්‍රේෂන්ගීතය. මනාල යුවල උත්සව සභාවට පිවිසෙනවාත් සමඟ මේ ගීතය ඇසෙද්දි අපූරු උත්සවශ්‍රීයක් සිතට දැනෙනවා. බොහෝ කාලයක සිට මේ ගීතය අසා තිබුණත් බොහෝ දෙනෙක් මේ ගැන වැඩි විස්තරයක් නොදන්නා බව නම් විශ්වාසයි. මේ විස්තරය කියවා බැලුවාට පසු ඔබ සහභාගීවන මංගල උත්සවයකදි මේ ගීතය ඇසුනොත් වෙනදාටත් වඩා හොඳින්, අලුත් ආකාරයකින් එය රස විඳින්න පුළුවන් වෙයි. ඒ වගේම අනෙක් අය මේ ගීතය ගැන නොදන්නා ඔබ දන්නා විස්තර ටිකක් කතා කරන්නත් පුළුවන් වේවි.

ගීතය පටන් ගන්නේ මෙන්න මෙහෙමයි.

Congratulations - And celebrations
When I tell everyone that you're in love With me
Congratulations - And jubilations

I want the world to know I'm happy as can be.



මේ ගීතය ගායනා කරන්නේ ක්ලිෆ් රිචඩ් කියන ඉංග්‍රීසි ජාතික ගායකයායි.  බිල් මාර්ටින් සහ ෆිල් කෝල්ටර් කියන දෙදෙනා විසින් මේ ගීතය රචනා කරන ලද්දේ 1968 අප්‍රේල් 6 වැනිදා යුරෝපා මහාද්වීපයේ රටවල් අතර පවත්වන්නට නියමිතව පැවති යුරෝවිෂන්නම්  ගී තරගාවලියට ඇතුළත්වීම සඳහායි. එහිදී මේ ගීතය ක්ලිෆ් රිචර්ඩ් විසින් ඉදිරිපත් කරනු ලබන්නට  නියමිතව පැවතුණා.

ෆිල් කෝල්ටර් මුළින්ම මේ ගීතය ලියන්න පටන් ගත්තේ I Think I Love You ලෙසිනුයි. නමුත් ඒ චවනවල ගැළපීම ගැන විශ්වාසයක් නොතිබුණු නිසා මේ වැඩේට බිල් මාර්ටින් ද එක් කරගත්තා. ඔවුන් දෙදෙනාම Puppet on a String කියන සංගීත කණ්ඩායමේ සාමාජිකයන්. බිල් මාර්ටින් මෙය Congratulations ලෙසින් වෙනස් කළා. මෙය එක්සත් රාජධානිය තුළ පුදුම තරම් වේගයෙන් ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ගමන් කළා. එය තනි ගායකයකු විසින් ගායනා කරනු ලැබූ අංක එකේ ගීතය බවටත් පත් වුණා. තරගය පැවැත්වෙන දිනය වන විට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනු ඇතැයි සිතෙන තරමටම මෙය ජනප්‍රිය වෙලා තිබුණා. ඒ නිසා බ්‍රිතාන්‍ය පුවත්පත් සිය පාඨකයන්ගෙන් ඇසුවේ දෙවැනි ස්ථානය ලබා ගන්නා ගීතය කුමක් විය හැකිද?” කියායි.


ඡන්දය ලබාදෙන අවස්ථාවේදී මෙය බොහෝ ඉදිරියෙන් තිබුණා. කෙසේ නමුත් අවසාන මොහොතේ ජර්මනිය (ජර්මනිය ලෝක යුද්දවලින් පසුව බ්‍රිතාන්‍යයත් එක්ක පොඩි කොස්සක් තිබුණා) ස්පාඤ්ඤයට ලකුණු 6ක් දුන්නා. මේ නිසා යුරෝවිෂන් ගී තරගාවලියේදී එය එකම එක ලකුණකින් ස්පාඤ්ඤයේ La, la, la කියන ගීතයට පරාද වුණා. කෙසේ නමුත් යුරෝපය පුරා ජනප්‍රිය වුණේ Congratulations මිසක් La, la, la ගීතය නම් නෙවෙයි. මේ ගීතය යුරෝපය පුරා තවමත් එකසේ ජනප්‍රියයි. කොයි තරම් ජනප්‍රිය ද කීවොත් යුරෝවිෂන් තරගාවලියට වසර 50ක් පිරීම නිමිත්තෙන් පවත්වනු ලැබූ උත්සවය නම් කළේ ද Congratulations නමින්. මෙය දෙවැනි මහා ලෝක යුද්ධය අවසන් වී බොහෝ කාලයකට පසුව රචනා කරන ලද ගීතයක් වුවත් යුරෝපයේ ජයග්‍රාහී දිනයසැමරීමේ 50 වැනි සංවත්සරය පැවති 1995 වසරේදී ක්ලිෆ් රිචර්ඩ් මෙම ගීතය ගායනා කළා.




මේ ගීතය ගායනා කරමින් ජනතාව අතරට එය රැගෙන ආ ක්ලිෆ් රිචඩ් ගැනත් ටිකක් කතා කළේ නැත්නම් ඒක ඔහුට කරන අසාධරණයක්. නයිට් පදවියකින් පුදනු ලැබ ඇති නිසා සර්කියන නම්බු නාමය ඇති ක්ලිෆ් රිච්ඩ් උපන්නේ 1940 ඔක්තෝබර් 14 වැනිදා ඉන්දියාවේ ලක්නව්වල. ඔහු බ්‍රිතාන්‍ය පොප් ගායකයෙක්, සංගීතඥයෙක්, සංදර්ශකයෙක්, නළුවෙක් සහ පරහිතකාමියෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා. ලොව පුරා ඔහුගේ ගී තැටි මිලියන 250කට වඩා අළෙවි වී තිබෙනවා. බ්‍රිතාන්‍ය ගීත දර්ශක ඉතිහාසයේ එල්විස් ප්‍රෙස්ලි සහ බීට්ල්ස් සංගීත කණ්ඩායම හැරුණු විට වැඩිම ගී තැටි අළෙවියකට හිමිකම් කියන්නේ ක්ලිෆ් රිච්ඩ්. දැනට 75 හැවිරිදි වියේ පසුවන ඔහු තවමත් ගීත ගායනා කරනවා.

ක්ලිෆ් රිච්ඩ්ගේ පියා මිය යන විට ක්ලිෆ් හිටියේ ලාබාල වයසේ. ඔහුට සිය පියාගේ මරණය තදින් බලපෑ බව කියැවෙනවා. මගේ තාත්තා මිය ගියේ බොහෝ අඩු වයසින්. මගේ ජීවිතේ හොඳම කාලෙදි ඔහු මා ළඟ හිටියේ නැහැ. තාත්තා අසනීපෙන් ඉන්න කාලේ අපි හුඟක් සමීප වුණා.රිච්ඩ් සිය මතකය අවදි කරමින් එසේ පවසනවා.

රිච්ඩ් මුළු ජීවිත කාලයම ගත් කළේ තනිකඩ ජීවිතයක්. ඔහුගේ ප්‍රථම පෙම්වතිය ඩේලියා වික්ස්. ඇය ඕස්ට්‍රේලියානු ජාතික නර්තන ශිල්පිනියක්. ඇය පිළිකාවකින් මිය ගියා. ඔහු ඇගේ මරණයෙන් මහත් කම්පාවකට පත්වූ බව හෙළිවූයේ ඒ සම්බන්ධව ඔහු ලියන ලද ලිපියක් 2010 වසරේදී ප්‍රසිද්ධියට පත්කිරීමෙන් පසුවයි. ඔහු එහි මෙසේ ලියා තිබුණා.

ඩේලියාගේ මරණයෙන් පසු මම කිසිම තරුණියක් සමග බරපතල සම්බන්ධකම් පවත්වන්නේ නැහැ කියා සිතා ගත්තා. මට හැමදෙයම එපා වුණා. පොප් ගායකයෙක් වූ මගෙ වෘත්තිය අතහැරලා දමන්න හිතුණා. ඒත් මගේ අම්මත් සහෝදරියනුත් සම්පූර්ණයෙන්ම යැපුනේ මගෙන්. ඒ නිසා මට මුදල් උපයන්න සිදු වුණා.


Congratulations ගීතය ගැනත් එය ගයන ගායන ශිල්පියා ගැනත් කෙටියෙන් කියන්න තියෙන්නේ මේ විස්තරය තමයි. බොහෝ දෙනෙක් සතුටුවන ගීතය ගායනා කළ ශිල්පියාගේ ජීවිතය කොයි කරම් දුක්බර ද කියාත් ඔබට සිතෙන්නට පුළුවන්. කෙසේ නමුත් මේ ගීතය නැවත අසන අවස්ථාවක ඔබට ඒ දෙස අලුත් ඇසකින් බලන්නට මේ තොරතුරු මග විවර කර දේවි.


ගීතයේ පද රචනය

Congratulations and celebrations
When I tell everyone that you're in love
with me
Congratulations
and jubilations
I want the world to know I'm happy as can be.

Who could believe that I could be happy and
contented
I used to think that happiness hadn't been
invented
But that was in the bad old days before I met you
When I let you
walk into my heart

Congratulations...
I was afraid that maybe you thought you
were above me
That I was only fooling myself to think you
loved me
But then tonight you said you couldn't live
without me
That round about me
You wanted to stay

Congratulations...

Congratulations and jubilations
I want the world to know I'm happy as can be
I want the world to know
I'm happy as can be

Wednesday, January 13, 2016

මුදලට රාගය නිවන ඉන්දියාවේ රතුපහන් වීදි - Red Light Streets in India


ඉන්දියාවේ සංචාරය කරන යමෙකුට හදිසියේ හෝ හිතා මතා හෝ එහ රතු පහන් වීදියක ඇවිද යන්නට සිදුවුවහොත් බොහෝ බොලිවුඩ් සෙලෝලොයිඩ් සිනමා පටවලින්  හා ඉන්දීය ටෙලි නාට්‍යවලින් අප දකින ඉන්දියානු ප්‍රතිරූපය වෙනස්වන බවට සැකයක් නැත. යමෙක් දැනුවත්ව හෝ නොදැනුවත්ව රතු පහන් වීදියකට හෙවත් Red Light Street එකකට පිවිසිය හොත් තමා ගිළගැනීමට දෑස් අයා බලා සිටින ගැහැනුන් දැක ඇතැම් විට බියේ දිවයන්නට ද සිතුන ද එහි අරුමයක් නැත. අසුවුවහොත් තමාගේ රීරි මාංශය පවා සූරා කනු ඇතැයි යන සැකය ඔවුන්ගේ ගැඹුරු දෙනෙත්වල ගැබ්ව තිබේ. කෙසේ නමුත් මේ රතු පහන් වීදි ආලෝකයෙන් පෙනෙන ලෝකයේ සැබෑ ස්වභාවය තේරුම්ගන්නට බොහෝ දෙනෙක් උත්සහ දරන්නේ නැත. 


ඉන්දියාවේ ප්‍රධාන වශයෙන් රතු පහන් වීදි අටක් පමණ තිබේ. කල්කටාවේ සොන්ගාචි, මුම්බායි හි කාමාති පුර, පූනේ හි බුද්වාර් පෙත්, අලහබාද් හි මීර්ගුන්ජ් ආදී වශයෙනි. මෙහි ලැයිස්තුව තව දිගය. මේවා අතුරින් මුම්බායි හි කාමාතිපුරයට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. ඒ රාගය මුදලට විකිණෙන එය ආසියාවේ ඇති දෙවැනි විශාලතම ප්‍රදේශය වශයෙන් ප්‍රකටව ඇති බැවිනි. දෙවැනි විශාලතම ප්‍රදේශය වුව ද එය ඉන්දියාවේ  සෙසු රතු පහන් වීදිවලට වඩා ලොව පුරා ප්‍රකට වී තිබේ. 



බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති බොහෝ රටවලට ලැබුණු හොඳ සහ නරක දායාදවලින් එකක් ලෙස ඉන්දියාවේ මෙම කාමාතිපුර හැඳින්විය හැකිය. බ්‍රිතාන්‍ය සෙබලුන්ගේ මනදොල සැපිරීම සඳහා යටත් විජිත යුගයේදී මෙම නගරය පිහිටුවනු ලැබිණි. ඒ 1795 දීය. එකල ඉන්දියාවෙන් පමණක් නොව ජපානයෙන් පවා තරුණියන් මෙය කරා ගෙන එනු ලැබිණි. මෙම නගරවල සිටින මුදලට රාගය විකුණන ගැහැනුන් වෙනත් ආර්ථික කටයුතු සඳහා යෙදවීමට රජය ගත් තීරණය හේතුවෙන් බොහෝ දෙනෙක් එයින් ඉවත් වුව ද සහමුළින්ම එසේ සිදුවී නැත. අනෙක රජය කිසිඳු අවස්ථාවකදී ඉන්දියාවෙන් ගණිකා වෘත්තිය අහෝසි කර දමන්නට පියවර ගත්තේ ද නැත. 


දෙතිස්වියෙහි පසුවන නිජිලාගේ කතාව අපි මඳක් අසමු. 


මම ආවේ නේපාලේ ඉඳන්. අපේ රටේ කියමනක් තියෙනවා ආදරය කරන අය දිව්‍ය ලෝකේ යනවා කියලා. ඒත් ආදරය නිසා මට එන්න ලැබුනේ අපායක් වගේ තියෙන කාමාතිපුරයට. මම ආදරය කළ කෙනාව විශ්වාස කරලා ඔහුත් එකක නිවසින් පැනලා ආවා. ඔහු මාව මේ කුණුකානුවට විකුණලා පැනලා ගියා. ඇත්තටම ඔහු මාව රවට්ටලා ගණිකාවක් බවට පත්කළා.” 


ගුඩ්ඩිබටහිර බෙංගාලය තරම් දුරක සිට මුම්බායි කරා පැමිණෙද්දී ඇය යන්තම් 11 වැනි වියෙහි පසුවූවාය. එක් පුද්ගලයකු ඇගේ දෙමාපියන්ට පවසා තිබුණේ නිවසක සේවය සඳහා ඇය ගෙන යන බවකි. නමුත් ඒ පුද්ගලයා ඇයව රැගෙන පැමිණියේ රතු පහන් වීදියටය. ගනුදෙනුකරුවකු ඇය දූෂණය කළ අතර මාස තුනක් රෝහල් ගතව සිටින්නට සිදුවිය. දැනට කාමාතිපුර රාගය විකුණන විසිදහසක් පමණ වන සෙසු ගැහැනුන්ගේ කතාව නිජිලාගේ සහ ගුඩ්ඩි කතාවට වඩා වෙනස් වන්නේ නැත. 




එදා බ්‍රිතාන්‍ය සෙබලුන්ගේ මනදොල සපුරාගන්නට බිහි වූ මෙම රතුපහන් වීදිවල ඇති ගණිකා නිවාසවල තත්වය එදාට වඩා වැඩි වෙනසකට පත්ව නැති බැව් හොඳින්ම පෙනේ. තවමත් ඇත්තේ බ්‍රිතාන්‍යයන් ඉදිකළ ගොඩනැගිලිමය. සනීපාරක්ෂාවක් නැති තරම්ය. මෙහි කාන්තාවන්ට වෙනත් රැකියා ලබාදෙන්නට යම් යම් ක්‍රියාමාර්ග ගෙන තිබුණ ද විවිධ හේතූන් නිසා මෙම නරකාදියට වැටෙන ගැහැනුන්ට ජීවත්වන්නට මෙය හැර අන් මගක් නැති බැව් පෙනේ. 


වර්තමානයේ කාමාතිපුර රතු පහන් වීදියේ වෙසෙන වැඩිහිටි ගැහැනියක් ඉන්දියානු රුපියල් 500 කට (ශ්‍රී ලංකා රුපියල් දහසකට මඳක් වැඩිය) රාගය විකුණයි. නමුත් අවුරුදු 12 - 16 අතර දැරියන් සඳහා ඉන්දියානු රුපියල් 2,000ක් (ශ්‍රී ලංකා රුපියල් 4,300ක් පමණ) ගෙවන්නට ගනුදෙනුකරුවන් කැමතිය. ගණිකා වෙන්දේසිවලදී කන්‍යාවන් අධික මිලකට අළෙවි වෙයි. 


කාමාතිපුර රතු පහන් වීදයේ ජිවත්වන සියලුම ගැහැනුන් මේ අපායටමවී මිය යන්නට සිතන්නේ නැත. ලතා එවැන්නියකි. කර්නාටක ප්‍රාන්තයේ සිටි ඇය  අවුරුදු 16 දී සිය පෙම්වතා විසින් රවටාගෙන විත් මෙම වීදියට අතහැර දමනු ලැබූ තැනැත්තියකි. කෙසේ නමුත් මුම්බායි හි ටීන් චැලෙන්ජ්සංවිධානය පිහිට වීම නිසා වසර එකොළහකට පසු ඇයට නැවත සිය පවුලේ පිරිස සමඟ එක්වන්නට වාසනාව හිමි විය. ඇය දැන් පුණ්‍යායතනයක් මගින් පවත්වාගෙන යනු ලබන පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ජිවත් වෙයි. 




මුල් කාලයේ මේ ආකාරයට දැරියන්ව, තරුණියන්ව රවටා ගණිකා වෘත්තිය සඳහා යොදවන්නවුන්ට එරෙහිව දැඩි නීති ඉන්දියාවේ නොතිබුණ ද 2013 වසරේදී ඒ සම්බන්ධ නීති වඩාත් පුළුල් කොට එවැනි වැරදි සඳහා ද දැඩි දඩුවම් නියමකිරීමේ ප්‍රතිපාදන සළසනු ලැබ තිබේ. 


කාමාතිපුර වීදිවල ඉන්න නම් අපි අපට තියෙන හොඳම ඇඳුම් අඳින්න ඕන. හිතේ මොන තරම් ගින්දරක් තිබුණත් අපි හිනාවෙලා එතැනින් යන ගනුදෙනුකරුවන්ට අත වනනවා. මේ නරකාදි රස්සාව කරන අපිට පුළුවන් විදිහට පිහිට වෙන නොයෙක් සංවිධාන තියෙනවා. ඔවුන්ගෙන් තමයි මමත් ඒඩ්ස්, එච්.අයි.වී. වගේ දේවල් ගැන දැනගත්තේ. එයින් පස්සේ ආරක්ෂිත කොපුවක් පළඳින්න අකැමති ගනුදෙනුකරුවන් එක්ක යන එක මම නවත්තලා දැම්මා. නීති ගැන මට දැනුමක් නැහැ. නමුත් පුංචි දැරියන්ව මේ නරකාදියට ගෙනත් දාන එවුනට නම් නීති තියෙන්න ඕන. ඒක මහා අපරාදයක්. මේ නරකාදියට ඒ සප්පයන් වැටෙන්න ඕන නැහැ.
 

ඒ කාමාතිපුර රතු පහන් වීදියක ගැහැනියකගේ ආත්මගත වැළපිල්ල යැයි කීව ද එහි වරදක් නැත. මහා සංස්කෘතියක්ට හිමි කම් පාන ඉන්දියාව මෙම අක්‍රමවත් ගණිකා ව්‍යාපාරය සම්බන්ධව ගනු ලබන පැහැදිලි ක්‍රියාමාර්ග පෙනෙන්නේ නැත. අප රටේ ද ඇතැම් අවස්ථාවලදී ඇසෙන්නේ ස්ත්‍රී දූෂණ අඩුකිරීම සඳහා ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවය. නමුත් ඉන්දියාවේ ගණිකා වෘත්තිය නිීති ගත කොට තිබුණ ද එහි ස්ත්‍රී දූෂණවල ද අඩුවක් පෙනෙන්නේ ද නැත. කාමාතිපුර රතු පහන් වීදිවල රාගය විකුණන ගැහැනුන්ගේ දුක් අඳෝනා අසන්නකු කිසිදු රටක ගණිකා වෘත්තිය නීති ගත කරනවාට පක්ෂව කතා කරන්නේ නැත. කෙසේ වුව ද ලෝකයේ පැරණිතම වෘත්තිය වර්මාන ලෝකයේ නරකාදියක් ලෙස ලෝකාවසානය වනතුරුම මෙසේ රතු පහන් වීදිවල ආලෝකයෙන් බැබලෙමින් පවතිනු ඇති බව නම් කිව හැකිය.


අලුත් ලෝකයට අලුත් ගැජට් 5 කොටස - New Gadgets for New World Part 5

 නව ලෝකයට අලුත් විදිහේ පාපැදියක්



පාපැදි කිව්ව ගමන් අපට හිතට එන රූපයට වඩා වෙනස් ආකාරයේ ඒවා අද වන විට ඕනෑ තරම් නිර්මාණය වී තිබෙනවා. ඇතැම් ඒවා සාමාන්‍ය යතුරු පැදියකටත් වඩා උසස් තත්වයක පවතිනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ අමුතුම පාපැදියක් ගැනයි. මේක තවම නිෂ්පාදනය වී නැහැ. නමුත් ලබන වසරේදී මිලට ගන්න පුළුවන් කියලයි කියන්නේ. අලුත්ම තාක්ෂණයක් සමග එන නිසා මුළින්ම 100ක් වැනි අඩු සංඛ්‍යාවක් තමයි නිෂ්පාදනය කරන්නේ. දැන් බලමු මේ විදිහට කියන්න තරම් මේ පාපැදියේ තියෙන්නේ මොනවද කියලා.

මේ පාපැදියේ බ්ලූටූත් තාක්ෂණය තියෙනවා. ඒ තාක්ෂණයත් සහ හැඬලය එක්ව ක්‍රියාකරමින් අප පාපැදිය නැවැත්විය යුත්තේ කුමන වෙලාවකද, හැරවිය යුත්තේ කුමන වෙලාවකද කියා දැනුම් දෙන්න මේ පාපැදියට පුළුවන්.

මෙහි රාමුව ත්‍රිමාන මුද්‍රණයක් සහිතව ටයිටේනියම් ලෝහයෙන් තනා තිබෙනවා. My Bike නම් ස්මාර්ට් දුරකතන යෙදුම සහිත ජංගම දුරකතනය සමඟ බ්ලූටූත් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වන්නට මෙය හැකියාව තිබෙනවා. විදුලි පහන් අලුතින් දැමීම, තිරංගවල ඇති අඩුපාඩු ආදිය ගැන දැනුම් දෙන්නට මේ යෙදුමට පුළුවන්. ඒ වගේම Discover My City නම් තවත් ස්මාර්ට් ජංගම දුරකතන යෙදුමක් සමගත් මේ පාපැදිය සම්බන්ධ වෙනවා. එහි ඇත්තේ සිතියම්. දැනට එහි අඩංගු කොට ඇත්තේ මෙම පාපැදිය නිර්මාණය කළ පෝර්ට්ලන්ඩ් නම් නගරයේ සිතියම පමණයි. මෙය සාර්ථක වුණොත් ඉදරියේදී තව තවත් සිතියම් මෙයට එක් කරාවි. ආහාර පාන තියෙන තැන්, සාප්පු තියෙන තැන් ආදිය  මේ යෙදුම මගින් පාපැදිකරුට නිවැරදිව දැනගන්නට පුළුවන්.

දැන් ඔබට සිතෙන්න පුළුවන් මේ විස්තර ස්මාර්ට් දුරකතනයෙන් බලා බලා යනවට වඩා වෙන වැඩක් නැද්ද කියලා. අනෙක අනතුරක් වුණත් සිදුවෙන්න පුළුවන් කියලත් හිතේවි. ඒක මෙය නිර්මාණය කළ අයටත් සිතුණා. ඒ නිසා ඔවුන් එයට විසඳුමක් සෙව්වා. එහිදී සිදුවෙන්නේ හරවන්න අවශ්‍ය නම් හැඬලයේ ඇති බසරයක් (ශබ්දය නලන උපකරණයක්) ශබ්ද වීමයි. අවශ්‍ය ස්ථානය කරා ළඟාවන විට එය වැඩි වේගයකින් නාද වෙනවා. මෙහි පිහිටුවා ඇති සංවේදකවලට පුළුවන් පරිසරයේ පවතින තත්වයට අනුව විදුලි පහන්වල ආලෝකය අඩුවැඩි කරන්න. කුඩා ඉලෙක්ට්‍රොනික් බොත්තමක් එබූ පමණින් ගියර මාරු කරන්නනත් පුළුවන්.


කාර් එකේදීම ලැප්ටොප් චාර්ජ් කරගනිමු



ජංගම දුරකතනයක් ආරෝපණය කරගන්නට පුළුවන් වුණත්, ඔබගේ මෝටර් රථය තුළ ලැප්ටොප් එකක් ආරෝපණය කරගන්නට ඇති හැකියව අඩුයි. ඇතැම් විට අලුත්ම මෝටර් රථවල තියෙනවා වෙන්න පුළුවන්. මෙ අඩුපාඩුව සපුරාලගන්නට පවර් කප්නමින් අලුත් ගැජට් එකක් නිෂ්පාදනය කොට තිබෙනවා. මෙය කෝප්පයක් හැඩයෙන් යුක්ත නිසාත්, මෝටර් රථයේ කෝප්පයක් තබන්නට සකස්කොට ඇති ඉඩකඩට සරිලන අයුරින් යුක්ත නිසාත් මෙයට මේ නම යෙදී තිබෙනවා. මෙය මෝටර් රථයේ දුම්වැටි ලයිටරය සවිකරන ස්ථානයට සම්බන්ධ කළ විට පවර් කප් එක ඔස්සේ නිවසේදී මෙන් වෝල්ට් 230ක් හෝ 110ක් (නොයෙක් රටවල භාවිතවන විදුලි වෝල්ටීයතාවය අනුව මෙය වෙනස් වෙනවා) ලබාගන්නට පුළුවන්. මේ ඔස්සේ සාමන්‍ය විදුලි බලයෙන් ක්‍රියාත්මක වන භාණ්ඩ බොහොමයක් ප්‍රයෝජනයට ගනන්න පුළුවන්. මිල දැනට ඇමරිකානු ඩොලර් 89 (රු. 12,740ක් පමණ) වෙනවා.

කාමරයට ඩිජිටල් කවුළුවක්




උදේ පාන්දර නින්දෙන් අවදිවෙන කොට කවුළුවෙන් ලස්සන වටපිටාවක් පෙනෙන්න තියෙනවා නම් කොයිතරම්ද? ඒත් නගරබදව, කුඩා නිවෙස්වල ජීවත්වෙන බොහෝ දෙනෙකුට එහෙම වාසනාවක් නැහැ. ලස්සන වටපිටාවක් දකින්න නගරයෙන් ඈත ජීවත්වෙන්නත් බැහැ. පින්තූරයක් එල්ල ගත්තට එයින් සැබෑ හැඟීමක් දැනෙන්නෙනත් නැහැ. මේ සියලු අඩුපාඩු සපුරාලන්නට දැන් ඩිජිටල් කවුළුවක් නිෂ්පාදනය වී තිබෙනවා. මෙය ද පින්තූරයක් සේ බිත්තියේ එල්ලාගන්නට පුළුවන්. නමුත් එය සජීවි දර්ශනයක් අප ඉදිරියේ මවනවා. ඔබ දකින්නේ මුහුද නම් එහි රැල්ල නැගෙන ආකාරය, මුහුදු ළිහිණින් පියාසලමින් හඬ නගන ආකාරය, ගස්වැල් සුළඟට වැනෙන ආකාරය දකින්න පුළුවන්. මෙහි එවැනි සජීවි දර්ශන 80ක් පමණ අඩංගු වෙනවා. මිල දැනට ඇමරිකානු ඩොලර් 499 (රු. 72,000ක් විතර) වෙනවා.