බිහිසුණු ත්‍රස්තවාදී කණ්ඩයාමක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කාන්තා අංශයේ නායිකාව වූ ‛තමලිනී’ හෙවත් ‛සුබ්‍රමනියම් සිවාගමි’ පසුගිය ඔක්තෝබර් 18 වැනිදා උදෑසන මිය ගියාය. ඒ අගන්‍යාශයේ ඇති වූ පිළිකා තත්වයක් නිසාවෙනි. ඇගේ දේහය කිලිනොච්චියේ පරන්තන් හි පිහිටි සිය නිවස කරා රැගෙන ගිය අතර වෙනම රාජ්‍යයක සිහිනය දකින දෙමළ සන්ධානය ඇතුලු උතුරේ දේශපාලන නායකයෝ ද දෙමළ ජනතාව රැසක් ද ඇයට ගෞරව දක්වන්නට පැමිණ සිටියහ. පිළිකා රෝගී තත්වය උත්සන්න වීමෙන් අනතුරුව පසුගිය ඔක්තෝබර් 15 වැනිදා ඇය මහරගම පිළිකා රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර එහිදී විකිරණ ප්‍රතිකාර ද ලබාදෙනු ලැබිණි. ඒකීය ශ්‍රී ලංකාව දෙකඩ කොට උතුරේ වෙනම රාජ්‍යයක් පිහිටුවන්නට ඇයගේ නායක වෙලුපිල්ලේ ප්‍රභාකරන් ගෙන ගිය සටනට කාන්තා දායකත්වය ලබාදුන් ඇගේ බලාපොරොත්තුව වන්නට ඇත්තේ සිය ජීවිත කාලය තුල දිනක් හෝ ඔවුන්ගේ රාජ්‍යයක ජීවත්වන්නට වාසනාවක් ලැබේ යැයි කියා විය හැකිය. ඇයට ජාතිවාදයේ විෂ පෙවූ ඇගේ ජ්‍යෙෂ්ඨ නායකයන් නිසා ඇගේ සිත තුළ දකුණේ සිංහල ජනතාව පිළිබඳ වෛරී සිතක් පහළව තිබුණාට කිසිඳු සැකයක් නැත. කෙසේ නමුත් මහා රාජ්‍යයක සිහිනු දුටු ඇයට අවසානයේ හිමි වූයේ සතර රියනක් පමණි. මිය ගියේ නායිකාවක ලෙස නොව පිළිකා රෝගියකු ලෙසය. අවසන් සුසුම් හෙළන්නට වූයේ ඔවුන් මැවූ සිහින රාජ්‍යයයේ නොව ඒකීය ශ්‍රී ලංකාවක් තුළ මහරගම පිළිකා රෝහලේය. දෛවය සරදම් කරන්නේ තරාතිරම් බලානොවේ යැයි පැවසනේනේ මේ නිසාය. කෙසේ වෙතත් ත්‍රස්තවාදී ක්‍රියාකාරිත්වය පැවති සමයේ එල්.ටී.ටී.ඊ. නායකයන් අතර ඇගේ නම නිතරම පාහේ කියැවිණි. උතුරේ දෙමලුන් අතර සේම දකුණේ සිංහලයන් අතර ද ඇය සුප්‍රකට චරිතයක් විය. ඒ සාමාන්‍ය දැරියක ලෙසින් ඉපිද මිනිසුන් දහස් ගණනක් මරු තුරුළට යැවූ ත්‍රස්තවාදී නායිකාවක බවට පත් ඇගේ ජීවන ගමන් මග පිළිබඳ කෙටියෙන් කතා කරන්නට අප සිතුවේ එබැවිනි.
1972 අප්‍රේල් 22 වැනි දින ඇය උපත ලැබුවාය. ඇයට සහෝදරයකු සහ සහෝදරයින් දෙදෙනකු විය. ඒ සමය දෙමළ ත්‍රස්තවාදය පැතිරී ගිය වටපිටාවක නොවේ. නමුත් උතුරේ ජාතිවාදී මතවාද අළු යට ගිනි පුපුරු මෙන් තිබිණි. සිංහල ජනතාව කෙරෙහි ඇගේ සිත තුළ වෛරී සිතක් ඇති කරවන්නට දෙමළ නායකයන් අවස්ථාවක් කරගත්තේ 1983 වසරේ කලු ජූලියයි. ඒ වන විට ඇය 11 වැනි වියෙහි පසු වූවාය. ඇය ඒ වන විට පරන්තන් හින්දු පාසලේ අධ්‍යාපනය ලබමින් සිටියාය. ඒ සමය වන විටත් පාසලේ අධ්‍යාපනික කටයුතුවලදී මෙන්ම විෂය බාහිර කටයුතුවලදී ද සියලු දෙයට ඉදිරිපත් වී නායකත්වය ගනිමින් කටයුතු කරනු දක්නට හැකිවිය.
කලු ජූලියෙන් පසු උතුරේ සිංහලයන්ට එරෙහි ජාතිවාදී වෛරී සිතිවිලි පතුරුවා හරින්නට දෙමළ ජාතිවාදී නායකයෝ කටයුතු කළහ. එම කටයුතුවලට සහභාගී වන්නට තමිලිනීට ද අවස්ථාව ලැබිණි. ඇය ඔවුන්ගේ දේශනවලට නිරතුරු සහභාගී වූවාය. සාමාන්‍ය පෙළ විභාගය සමත්වීමෙන් පසු ඇය කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන්නට තීරණය කළාය. නමුත් ඒ වන විටත් ඇගේ සිතට කාවද්දන ලද සිංහලයාට එරෙහි හැඟීම් නිසා අධ්‍යාපනයට වඩා අවශ්‍යව තිබුණේ සිය දේශපාලන නායකයන් ඔවුන් ඉදිරියේ මවා පෙන්වන ලද වෙනම රාජ්‍ය සිහිනය සැබෑ කරගන්නටය. ඒ නිසාම ඇය 1991 මැයි 27 වැනිදා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී කණ්ඩායම සමඟ එක්වන්නට තීරණය කළාය. සිංහලයන් කෙරෙහි වෛරී සිතින් යුක්ත ඇය වැනිම දෙමළ ජාතික තරුණ තරුණියක් රැසක්ම මේ කාලයේ එල්.ටී.ටී.ඊ. හෙවත් කොටි සංවිධානයට එක් වූහ. ඉන්පසු වෙලුපිල්ලේ ප්‍රභාකරන් නම් ත්‍රස්තවාදී නායකයා සහ ඔහුගේ සහායකයෝ සිංහලයන්ට එරෙහි ම්ලෙච්ඡ යුද්ධය තමිලිනීට සහ ඇය වැනිම දෙමළ තරුණ තරුණියන්ට පුහුණු කරවන්නට පටන් ගත්තේය. ඇය කුඩා සමයේ දුටු අනාගතය පිළිබඳ සුබ සිහින වෛරය සහ සිහින රාජ්‍යයක් ඉදිරියේ විනාශ කර දැමුවාය.
කොටි සංවිධානය තුළ ඇයට ඉදිරියට යන්නට අවස්ථාවක් සළසා ගත්තේ පුනරීන් හමුදා කඳවුරට එල්ල කරන ලද ප්‍රහාරයත් සමගිනි. මෙම ප්‍රහාරය සඳහා තමිලිනී ඇතුළු කොටි කාන්තාවන් රැසක් ද සහභාගී වූහ. 1993 නොවැම්බර් 11 වැනිදා කලු කොටි හෙවත් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් පෙරටු කරගනිමින් තමිලිීනී ඇතුළු කොටි කාන්තාවෝ පුනරීන් කඳවුර විනාශ කර දැමූහ. කොටි සංවිධානයේ අවධානය ඇය වෙත නතුකරගන්නට ඇය මෙහිදී පෙන්වූ නායකත්වය ඉවහල් විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඇය කොටි සංවිධානයේ කාන්තා අංශයේ නායකත්වයට පත්වීමෙනි. ඇයට කොටි සංවිධානය විසින් කර්නල් තනතුරක් පිරිනමනු ලැබිණි. ඇය ඒ සමයේ කාන්තාවන් වෙනුවෙන් පුවත්පතක් ද ප්‍රකාශයට පත් කළාය. පසුකාලයේ සිදු කළ කොටි සංවිධානයේ ත්‍රස්තවාදී ක්‍රියා රැසක් සඳහාම ඇය සිය නොමසුරු දායකත්වය ලබාදුන්නාය. ඇය කොටි සංවිධානය තුළ කිසිවකු සමඟ හෝ කිසිදු ආකාරයක හෝ ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත් වූ බවට තොරතුරු ලැබෙන්නේ නැත.
සිය ත්‍රස්තවාදි ක්‍රියා ඔස්සේ සිංහලුන්ට නිතර මර බිය දැන්වූව ද යම්කිසි දිනක තමාට ද එම මර බිය දැනෙනු ඇතැයි ඇය කිසිදා නොසිතන්නට ඇත. නමුත් ඇගේ සිහින රාජ්‍යය තුළ සැනසිල්ලේ ජීවත්වන්නට දෛවය ඇයට ඉඩ දුන්නේ නැත. ඇය ජීවත් වූ කොටි සංවිධානයේ මළගම ළංවෙමින් පවතින බව ඇය කිසිදාක සිතන්නට නැතිව ඇත. මාවිල්ආරු සොරොව්වේ ජල ප්‍රශ්නයත් සමග ඇවිලුණු යුද ගිනිදැල් කොටි සංවිධානය දවා පුළුස්සා විනාශ කරනු ඇතැයි ඇය හෝ ඇගේ නායකයන් සිතන්නට නැත. කෙසේ වෙතත් පෙර අවස්ථාවලට වඩා සංවිධානත්මකව පිරිස් බලය සහිතව හමුදාවන් සිය ප්‍රහාර දැඩි කරද්දී අනුනට දුන් මර බිය ඇයට ද දැනේනනට විය.
කොටි නායකයන් එකා පිට එකා මිය යද්දී සිය ජීවිතය බේරාගැනීම යහපත් යැයි නන්දිකඩාල් කලපුව අසල බිම් කඩෙහි සිරවී සිටියදී ඇයට සිතෙන්නට ඇත. ඉතිරිව සිටි කොටි නායකයන්ගේ ද අණ නොතකා සාමාන්‍ය ජනතාව සමඟ හමුදාවට යටත්වීමේ අරමුණින් පැමිණෙන්නට ඇය සිත එකඟ කරගත්තේ මේ නිසා විය හැකිය. සිය නායකයන් ඇය ඉදිරියේ මවා පෙන්වූ රාජ්‍යය සිහිනයක් බැව් ඇය ඒ වන විටත් තේරුම් ගෙන සිටින්නට ඇත. එතෙක් කල් ඇය ජීවත් කරවූ වෛරයේ ගිනි මැදින් සාමාන්‍ය මිනිසකුට දැනෙන කුසගින්න ඇය වෙළාගිනිමින් පැවතිණි. සාමාන්‍ය ජනතාව සමග සැඟවී පැමිණි ඇය වව්නියාව අවතැන් කඳවුරේ සිටියදී 2009 මැයි 27 වැනිදා හමුදා ඇස ඇයව හඳුනාගත්තේය. හමුදා බුද්ධි අංශ ඇය පිළිබඳ බොහෝ කරුණු දැන සිටි බැවින් නොදන්නා තවත් බොහෝ කරුනු දැනගනු වස් ඇය බොහෝ ප්‍රශ්නකිරීම්වලට ලක්කරනු ලැබිණි.
වව්නියාව අවතැන් කඳවුරේ වසරක පමණ කාලයක් පුනරුත්ථාපනය වූ ඇය යළි සාමාන්‍ය ජීවිතයට යොමුවන්නට තීරණය කරන ලද්දේ අතීතයේ සිදුකළ ත්‍රස්තවාදී ක්‍රියාවලට යළි කිසිදා යොමු වන්නේ නැතැයි ආරක්ෂක හමුදාවන් ඉදිරියේ කළ සපථවීමෙකින් ද අනතුරුවය. පරන්තන් හි සිය නිවසට ඇය කැඳවා යනු පිණිස ඇගේ සොයුරියක් ද ඇය පුනරුත්ථාපන කඳවුරෙන් නික්ම යද්දී පැමිණ සිටියාය. කොටි සංවිධානයේ සිටි සමයේ වැරෙන් යටපත් කොටගෙන සිටි ආදර සිතිවිලි නැවත ඉස්මතු වීම නිසාදෝ ඇය නුදුරේම විවාහ වී සාමාන්‍ය ජීවිතයක් ගත කරන බව ද එදින පවසා සිටියාය. ඒ 2013 ජූනි 27 වැනිදාය.
ඇය පැවසූ සේම විවාහ දිවියට ද සැපත් වූවාය. නමුත් ඇගේ සාමාන්‍ය ජීවිතයට දෛවය වැඩි දිනක් ඉඩදුන්නේ නැත. ඒ ඇගේ අගන්‍යාශය පුරා පැතිරුණු පිළිකා රෝගය නිසාය. එසමයේ ඇයට සත්කාර කරන ලද්දේ කොටි සංවිධානය සමඟ ත්‍රස්තවාදී ක්‍රියා සිදුකරන්නට එපා යැයි අවවාද කළ ඇගේ මව විසිනි. කෙසේ වෙතත් වෙනම රාජ්‍ය සිහිනය සේම සිය රෝගී තත්වය ද ජයගන්නට ඇය අසමත් වූවාය. ලොවේ සියලු දෙනා මුහුණ දෙන පොදු ධර්මතාවයට මුහුණ දෙමින් ඇය ද රියන් සතරකට හිමිකම් ලැබුවාය. බොහෝ සිහින පසුපස යමින් විනාශකාරී ක්‍රියාවන් සිදුකරන සියලු දෙනාට අවසානයේ අත්වන්නේ මේ ඉරණම බව වටහා ගන්නට කදිම ආදර්ශයක් අවසානයේ ඇය අප හමුවේ තබා ඇත.