පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, November 2, 2021

ඉඳගන්නා ඉරියව්වෙන් හෙලිවන ගතිගුණ

Body Language එහෙමත් නැත්නම් ශරීරයෙන් ඇඟවෙන භාෂාවට පුළුවන් වචනවලට වඩා වැඩි දෙයක් කරන්න. විවිධ අය ඇසුරු කරද්දි මේ ශාරීරික භාෂාව ඉතාමත් වැදගත් වෙනවා. සමහර වෙලාවට වචනවලින් කියවෙන්නේ නැති දේවල් ශරීරයේ අංග චලනවලින් වඩාත් හොඳින් කියවෙනවා. විවිධ පුද්ගලයන් ඉඳගන්න ඉරියව් කියන්නෙත් මේ වගේ ශරීරයෙන් ඇඟවෙන දෙයක්. ඒ ඉරියව්වලින් අපට කියන්න පුළුවන් ඒ පුද්ගලයා මොනවගේ කෙනෙක්ද කියන එක. 


පළමු ඉරියව්ව



මේ පෙනෙන ඉරියව්වෙන් ඉඳගන්න අය ඉතා නිර්මාණශීලී සහ ජනකාන්ත පුද්ගලයන්. ඔවුන් තීරණ ගන්නට වැඩි කාලයක් ගන්න අය නෙවෙයි. ඒ නිසා ඔවුන් ඉඳහිට කරදරවලටත් මුහුණපානවා. නමුත් ඔවුන්ගේ තියෙන ආකර්ෂණීය ස්වභාවය නිසා මේ කරදර මගහරින්න හැකියාව තියෙනවා. මේ පුද්ගලයන් ජීවිතය දිහා බලන්නේ හරියට උද්‍යෝගී, වීර වික්‍රමයන්ගෙන් පිරුණු දෙයක් විදියටයි. අලුත් අත්දැකීම් ලබාගන්නටත් මේ පුද්ගලයන් ඉතා කැමතියි. ඔවුන් හරිම ජනප්‍රියයි. බොහෝ මිතුරන් ඇතිකර ගත්තත් ඒ බොහෝ මිතුරු සබඳකම් වැඩි කාලයක් පවතින ඒවා නම් නෙවෙයි. 


දෙවැනි ඉරියව්ව



මේ ඉරියව්වෙන් ඉඳගන්න පුද්ගලයන් ඇත්තටම සිහිනවල ජීවත්වෙන අයයි. ඔවුන් ඕනෑවටත් වඩා හීන දකිමින් ඒවා ගැන කල්පනා කරමින් ඉන්නවා. නමුත් ඒ සිහින සැබෑ වන ඒවා නම් නෙවෙයි. ඉතා ඉක්මනින් කම්පනයට පත්වෙන මේ පුද්ගලයන් අනෙක් අය සමග ඉතා පහසුවෙන් සබඳතා ගොඩනගා ගන්නවා. නමුත් ඔවුන් කරදරේ වැටෙන්නේ මේ සබඳකම් නිසාම තමයි.  මේ පුද්ගලයන් අනෙක් අයට ඉතා හොඳින් සවන් දෙය අයයි. තමන්ගේ හැඟීම් ගැනත් ඉතා දැඩිව කල්පනා කරනවා. 


තුන්වැනි ඉරියව්ව



සිත එක තැනක රඳවාගනිමින් සන්සුන්ව සිටින්නට මේ අයට අපහසුයි. ඔවුන්ගේ සිත නිතර සසලවන ස්වභාවයක් තියෙනවා. තමන් කියන දෙයින් මොන වගේ ප්‍රතිඵලයක් ලැබෙයිද කියන එක ගැන හිතන්නේ නැතිව තමයි මේ අය කතා කරන්නේ. ඉක්මනින් කලකිරීමට පත් වෙන මේ අය යම් දෙයකට අවධානයක් යොමු කරන්නේ කෙටි කාලයකට පමණයි. කලබලකාරී උද්‍යෝගිමත් වටපිටාවක් තියෙන විට මේ අය වැඩිපුර කැපී පෙනෙන්න උත්සාහ කරනවා. ආදර සම්බන්ධතාවලදි ඉක්මනින් ඒවා එපාවෙන ස්වභාවයක් තියෙනවා. කලකිරීමක් ඇතිවුණු විට මේ අය දිරිමත් කරන්න කවුරුන් හෝ සිටිය යුතුමයි. 


හතරවැනි ඉරියව්ව



මේ අය ඉතා දක්ෂ අය විදියටයි පිළිගැනෙන්නේ. හැම දෙයක් ගැනම තාර්කිකව හිතනවා. ඔවුන්ගේ වැඩකටයුතු ඉතා පිළිවෙලයි. ඔවුන්ගේ ගේ දොර, වැඩකරන තැන ඉතා පිරිසිදුව, පිළිවෙලට තබාගෙන ඉන්න දැඩි කැමැත්තක් දක්වනවා. හිතේ තියෙන දේවල් එකවර පිටතට පෙන්වන්නේ නැහැ. නමුත් මේ අය ඉතා අවංකයි. අනුන්ගේ ඕපාදූප සොයන්නටවත් ඕපාදූප කියන්නටවත් කැමැති නැහැ. සෑම අවස්ථාවකදීම සන්සුන්ව සිටින්නට මේ අයට පුළුවන්. කිසිම අවස්ථාවක හිතේ සන්සුන්බව නැතිකර ගන්නේ නැහැ.


පස්වැනි ඉරියව්ව



මේ පුද්ගලයන් යම් නිශ්චිත ඉලක්කයක් කරා ගමන් කරන්නට ඉතා දක්ෂයි. තමන්ගේ රැකියාව ඉතා ඉහලින් අගය කරනවා. මේ අය තමන් වෙනුවෙන් යම් යම් ඉලක්ක ඇතිකරගන්නා අතර සුළු සුළු දේවල්වලින් සතුටට පත්වන්නේ නැහැ. විශේෂයෙන් ආදරය, සෞඛ්‍යය වැනි දේවල් සඳහා ද ඔවුන් ඉලක්ක ඇතිකර ගන්නවා. තමන්ගේ පෙනුම ඇතුළු සියලු දෙයකම පූර්ණත්වය මේ අය බලාපොරොත්තු වෙනවා. වැඩි වැඩියෙන් දේවල් බලාපොරොත්තු වෙන නිසා ඇතැම් අවස්ථාවල දී තමන් ළඟ තියෙන දේවලුත් අහිමි කරගන්නා අවස්ථා ද තියෙනවා.


Tuesday, October 26, 2021

දරුවන් වෙනුවෙන් විස්මකර්ම ශල්‍යකර්ම කළ විස්මිත දොස්තර – බෙන් කාර්සන්



බෙන් කාර්සන් යනු ශල්‍යකර්ම ක්ෂේත්‍රය තුළ පෙරළිකාරයෙකි. ඉතා කලාතුරකින් සිදුකෙරෙන මොළයෙන් අඩක් ඉවත්කිරීමේ ශල්‍යකර්මය (hemispherectomy) සඳහා පුරෝගාමී වූයේ ද කාර්සන් ය. නමින් සඳහන් කරන්නා සේම මොළයෙන් අඩක් සම්පූර්ණයෙන්ම ඉවත් කරමින් ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවක් නොමැතිව සිටි දරුවන්ට ඔහු ජීවත්වීම සඳහා දෙවැනි වරමක් උදා කොට දුන්නේ ය.

එවැනි ජයග්‍රහණයන් ළඟා කරගැනීම බෙන් කාර්සන්ට අරුමයක් වූයේ නැත. ඔහු බාධක පෙරළන්නට පටන් ගත්තේ සිය ළමාවියේ සිටම ය.


තෙවැනි ශ්‍රේණියට පමණක් උගත් මවකගේ රැකවරණය මැද නගරයක දිළින්දෙක් ලෙස හැදී වැඩුණු බෙන් ට මගපෙන්වා දිරිදෙන්නට කිසිවෙක් සිටියේ නැත. පාසලේ දී ඔහු ලැබුවේ අඩු ලකුණු ය. අධික ලෙස කෝපගැන්වෙන ස්වභාවයකින් පීඩා විඳි ඔහු ඒ නිසාම නීතියෙන් දඬුවම් විඳීමේ අවදානමක් ද තිබිණි. ඔහු වටා වූ සියලු දෙනා පැවසූයේ කුමක් වුව ද, සිය ජීවිතයෙන් මෙහෙයක් කළ හැකි බව සිය පුතුට අවබෝධ කොට දෙන්නට සොන්යා කාර්සන් ට හැකි විය.

දෙවියන් කෙරෙහි තැබූ භක්තියත්, ස්වකීය හැකියාවන් කෙරෙහි තැබූ විශ්වාසයත් නිසා බෙන් පන්තියේ පහළම ස්ථානයේ සිට ඉහළම ස්ථානය කරා ගමන් කළේය. ඉන් ඔබ්බට ගමන් කරමින් යේල් විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් හිමි කරගත්තේ ය. මිචිගන් වෛද්‍ය විද්‍යාලයට ද ඔහු ඇතුළු වූයේ ය. අවසානයේ තිස්තුන් හැවිරිදි වියේ දී ඔහු මේරිලන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර් හි ජෝන්ස් හොප්කින්ස් වෛද්‍යාතනයට අයත් ළමා ස්නායුරෝග අංශයේ අධ්‍යක්ෂවරයා බවට ද පත් වූයේ ය. අද වන විට වෛද්‍ය කාර්සන් ගරු ආචාර්ය පදවි හතළිහකටත් වඩා හිමිකර ගෙන සිටී. ගෞරවයන් සහ සම්මාන වැළකම ඔහු හිමිකරුවා ය.

‘විස්මිත දොස්තර’ තූලින් ඔබ කියවන්නේ අනේක වූ බාධකවලට එරෙහිව ගොස් ඒවා ජයගනිමින්, අවදානම ගැනීමට බියක් නොහැඟෙන සිතිවිලි ගොන්නකින් සන්නද්ධ එක්තරා මිනිසකුගේ සාර්ථකත්වය පසුපස ඇති අපූර්ව වූ කතාව ය. ජීවිතය ආලෝකවත් කරවන මේ චරිත කතාව, ලොව පුරා පුවත් මැවූ ඇදහිය නොහැකි ශල්‍යකර්ම සියැසින් නොව මනැසින් අත්දකිනු හැකි පරිදි ඔබ ව ශල්‍යාගාරයට කැඳවාගෙන යයි. දයාවෙන් පිරුණු, දෙවියන් කෙරෙහි අසීමිත භක්තියක් ඇති, සරණක් නැත්තන්ට සරණක් වන්නට ජීවිතය කැප කළ මිනිසකුගේ සිතිවිලි තුළට ඔබ කැඳවාගෙන යයි. නිහතමානීබව, ක්ෂණික බුද්ධිය සහ යථාර්ථය කැටි වූ මේ කතාව ඔබේ හදවතේ සදා නිදන්ගත වනු නිසැක ය.

මේ ලින්ක් එකට ගියොත් පොත මිලදී ගන්න පුළුවන්

Tuesday, October 19, 2021

අඬ අඬා කසාදෙට ලෑස්තිවෙන චීන ගෑනු

කසාදයක් බැඳගෙන තමන්ගේ සැමියාත් එක්ක තමන්ටම වෙන් වුණු ලෝකයක ජීවත් වෙන්න  යන්න තමයි හැම තරුණියක්ම වාගේ නිසි වයසට ආවාට පස්සේ සිහින මවන්නේ. ඒත් කසාදෙ දවසට මේ හැම දේම වෙනස් වෙනවා. එදාට අම්මාව, තාත්තාව, සමහර විට බල්ලාව පවා දාලා යන්න බෑ කිය කියා අඬා වැලපෙනවා. කොයි රටෙත් එහෙමයි. හැබැයි චීනේ ටුජියා කියන ජනතාව මේක තව ටිකක් ජයට කරනවා. ඔවුන් විවාහ මංගල්‍යයකට ලෑස්ති වෙද්දි ‛දාලා යන්න බෑ’ කියල අඬන ව්‍යාපාරයට වෙනම ලෑස්ති වෙනවා. ඒ මනාලියක් අඬන්නේ විවාහ දවසේ විතරක් නෙවෙයි. කසාදෙට මාසයක් තියා දවසට පැය ගානේ අඬන්න පටන් ගන්නවා. මුල් දවස් දහයෙන් පස්සේ මනාලියගේ ඇඬිල්ලට අම්මාත් එකතු වෙනවා. දවස් විස්සකට පස්සේ ආච්චි අම්මාත් එකතු වෙනවා. මාසය අන්තිම වෙද්දි මුළු පවුලේම කට්ටියම එකතු වෙලා එකම ඇඬිල්ලයි. මෙහෙම අඬන්න හේතුව විදියට ඔවුන් කියන්නේ මෙහෙම කතාවක්. හුඟක් ඉස්සර මේ ටුජියා තරුණියන්ට තමන් කැමති තරුණයෙක්ව කසාද බැඳගන්න අවසරයක් තිබුනේ නැතිලු. නොදන්නා කෙනෙක්ව කසාද බඳින්න වෙන නිසා හැම තරුණියක්ම කසාදෙ ළංවෙද්දි අඬන්න පටන් ගන්නවලු. හැබැයි දැන් නම් ඔවුන්ට තමන් කැමති තරුණයෙක්ව කසාද බැඳගන්න පුළුවන්. ඒත් මුතුන්මිත්තන්ගේ ලැබුණු පුරුද්ද අතාරින්න බැරි නිසා දැන් ඒ කාලෙට වඩා ජයට අඬන වැඩේ කරනවලු. එක එක ගැහැනු එක එක හඬවලින් අඬන එක ඇහෙන කොට එයින් විවාහයේ සතුට ප්‍රකාශ වන බව තමයි මේ ජනතාව විශ්වාස කරන්නේ. ඔන්න ඉතින් පුළුවන් නම් අපටත් පටන් ගන්න හොඳ වැඩක් තමයි මේක. 

Saturday, October 16, 2021

පළමු ලෝක යුද්ධයට හේතුව මෝටර් රථයක සාපයක්ද?

මේ තියෙන්නේ ග්‍රාෆ් ඇන් ස්ටිෆ්ට් මෝටර් රථයක්. මෙය දැන් තියෙන්නේ ඔස්ට්‍රියාවේ වියානා නගරයේ ඇති යුද කෞතුකාගාරයේ. මේ විදියට කටුගෙට යන්න මේ මෝටර් රථයට සිද්ධ වුණේ සාපයක් නිසයි. මේ සාපය නිසා මිලියන 13කට අධික පිරිසක් මියගිය බව කිව්වොත් ඔබට විශ්වාස කරන්න බැරි වෙයි. ඒත් ඒ තරමටම දරුණු සාපයක් මේ මෝටර් රථය සමග බැඳී තිබුණා. ඒ ගැන තමයි මේ කියන්න හදන්නේ.





මේ මෝටර් රථය 1914 වසරේ දී ඔස්ටි්‍රයා හමුදා නිලධාරියකුට අයිතිව තිබුණා. ඔස්ටි්‍රයාවේ ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ආදිපාදවරයාගේ ගමන් බිමන් සඳහා මේ රථය වෙන්කොට තිබුණේ ඔහු ද හමුදා නිලධාරියෙකු නිසයි. 1914 ජූනි 28 වැනිදා ආදිපාදවරයා මේ රථයෙන් ගමන් කරමින් සිටිය දි බොස්නියානු කැරළිකරුවකු බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. නමුත් එය සාර්ථක වුණේ නැහැ. පසුව එදිනම මේ කැරළිකරුවකු වෙඩි තබා ආදිපාදවරයාව ඝාතනය කළා. ඒ ඝාතනයත් සමග පළමු ලෝක යුද්ධය පටන් ගත්තා. මේ 1918 වසරේ අවසන් වෙද්දි මිලියන 13ක් මිය ගියා. ආදිපාදවරයාගේ ඝාතනය නොවන්නට යුද්ධයක් ඇතිවන්නට ඉඩක් තිබුණේ නැහැ. ආදිපාදවරයා මිය ගියේ මෝටර් රථයේ සාපයක් නිසා බව කවුරුවත් සිතුවේ නැහැ.


ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ආදිපාදවරයා සහ බිරිඳ


ආදිපාදවරයාගේ මරණයෙන් පසු ඔස්ටි්‍රයානු හමුදා ජෙනරල්වරයකු වූ පොටියෝරෙක් මේ වාහනය මිලට ගත්තා. ඔහු මේ මෝටර් රථය පදවාගෙන යද්දි එකපාරටම පිස්සු හැදුණා. එහෙම වුණේ කොහොමද කියලා කිසි කෙනෙකුට හිතාගන්න බැරි වුණා. පිස්සුව සනීප වුණාට පස්සේ ඔහු මෙහි ගමන් කරද්දි මෙය අනතුරු හතරකට මුහුණ දුන්නා. අවසානයේ ඔහුගේ අතක් ද අහිමි වුණා. ඉන්පසුව මෙය යුගෝස්ලාවියාවේ ආණ්ඩුකාරයෙකු මිලට ගත්තා. ඒ වෙනකොට මෙයට සාපයක් තියෙන බව දැනගත් ඔහු මෙය වෛද්‍යවරයකුට විකුණා දැම්මා. වෛද්‍යවරයා මේ රථයෙන් ගමන් කරද්දි අනතුරකට ලක්වෙලා මිය ගියා. ඉන්පසු හමුදා කපිතාන්වරයෙක් මෙය මිලට ගත්තා. පාරේ ගමන් කළ කෙනෙක් බේරන්නට ගොස් මෙය අනතුරකට ලක්වීමෙන් ඔහු මිය ගියා. 1926 වසරේදිත් මෙහි ගමන් කළ තවත් කීප දෙනෙක්ම මරණයට පත් වුණා. ඉන්පසු කිසිම කෙනෙක් මෙය මිලට ගත්තේ නැහැ. 



මේ මෝටර් රථයේ අංක තහඩුවත් පුදුමාකාරයි. එහි ඇත්තේ AIII 118 ලෙසයි. මෙය 11 11 18 ලෙස වෙන් කළ විට 1918 නොවැම්බර් 11 ලෙස තේරුම් ගන්න පුළුවන්. පළමු ලෝක යුද්ධය නිල වශයෙන් අවසන් වුණේ එදිනයි. A අකුරෙන් පැහැදිලි කරන ලද්දේ Armistice යන්නයි. එහි අදහස ‘සටන් විරාමය‘ යන්නයි.

පළමු ලෝක යුද්ධය ඇතිකරන සාපය සමග මේ මෝටර් රථය පැමිණ තිබුණේ අවසන් වන දිනයත් කලින්ම පෙන්නුම් කරමින්. නමුත් මේවා සොයා ගන්නා විට සියල්ල සිදුවී හමාරයි. 

පළමු ලෝක යුද්ධයටත් මේ මෝටර් රථයේ සාපය හේතු වූ බව තේරුම්ගත් පසු අවසානයේ මෙය යුද කෞතුකාගාරයට භාරදුන්නා. 


Monday, October 11, 2021

ඇගේ හිස්කබලේ කොටස් ආමාශයේ තැන්පත් කළා

හිස්කබලේ අස්ථි කැබලි ටිකක් පරිස්සමට ආමාශයේ තැන්පත් කරපු කතාවක් ගැන කිව්වොත් මේ මොන විකාරයක්ද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒත් එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා. මේ වීඩියෝ එක ඉවර වෙනකල් බැලුවොත් ඒ කතාව ගැන දැනගන්න පුළුවන්. 

මේ සිද්ධිය වුණේ ජේමි හිල්ටන් ට. ඇය වරක් ඇමරිකා එක්සත් ජනපදයේ ඉඩාහෝ ප්‍රාන්තයේ රූ රැජින බවට ද පත් වුණා. 2012 ජූනි 6 වැනිදා ඇයත් ඇගේ සැමියාත් විනෝද ගමනක් ගියා. ඔවුන් එහිදී මාළු අල්ලන්නත් ගියා. බෑවුමක සිට මාළු අල්ලද්දී ජේමි එකවරම ඇය සිටි තැන සිට මීටර් 30 ක් පමණ ප්‍රපාතයකට ඇද වැටුණා.

ඇගේ සැමියා වහා එතැනට දිව ගොස් බලද්දි ඇයට සිහිය තිබුණේ නැහැ. හුස්ම ගන්නා බවක් පෙනුණේ ද නැහැ.  ඔවුන් නගරයෙන් සෑහෙන දුරක සිටි නිසාත්, තත්ත්වය බරපතළ නිසාත් ඇයව රෝහලට රැගෙන ආවේ හෙලිකොප්ටරයකින්. 

ඇගේ හිස්කබල දැඩිව හානි වී තිබුණා. මොළය ඉදිමී තිබූ නිසා එයට සිදුවිය හැකි හානිය වළක්වාගන්නට හිස්කබලෙන් හතරෙන් පංගුවක් පමණ ඉවත් කරන්නට සිදුවුණා. සුව වූ පසු මේ හිස්කබලේ කොටස් නැවත හිසට තබා මැසිය හැකි වුවත්, ඒ වනතෙක් මේවා පරෙස්සමට තබාගන්නේ කෙසේදැයි වෛද්‍යවරුන්ට ඇතිවුණේ ගැටලුවක්. ඒවා ඇගේ ආමාශයේ තැන්පත් කරන්නට ඔවුන් කල්පනා කළේ ඒ අවස්ථාවේදියි. දින 42ක් මේවා ආමාශයේ තැන්පත් කොට තිබුණා. ඇය කෙමෙන් සුව වූ පසු ඒවා නැවත හිසට තබා මසා, හිස්කබල යථා තත්වයට පත් කළා. 

හිස්කබලේ කොටස් පරෙස්සමට ආමාශයේ තැන්පත් කළේ ඒ විදියටයි. 


පැන්ඩෝරා කියන්නේ කවුද? පැන්ඩෝරා පෙට්ටිය කියන්නේ මොකක්ද?

 මේ දවස්වල නිතර ඇහෙන වචනයක් තමයි පැන්ඩෝරා පත්‍රිකා කියන්නේ. ලොව පුරා විවිධ පුද්ගලයන් අයථා විදියට උපයාගත්තු ධනය ගැන මේ පත්‍රිකාවල තියෙනවා කියලා කියනවා. කොහොම මේ කතා කරන්න යන්නේ ඒ පත්‍රිකා ගැන නෙවෙයි. මේ පැන්ඩෝරා කියන්නේ මොකක්ද කියන එක ගැන.

අපට මේ ගැන හොයන්න පුරාණ ග්‍රීක දේව කතා ටිකක් අවුස්සා බලන්න වෙනවා.

ග්‍රීක දේව කතාවලට අනුව මේ ලෝකේ මුලින්ම ඉඳලා තියෙන්නේ ටයිටන්වරු. ඔවුන් ටයිටන්වරු වෙන්න කලින් දෙවිවරු. නොයෙක් වැරදි වැඩ නිසා දේවලොක්යෙන් පිටුවහල් කළ අය තමයි ටයිටන්වරු කියන්නේ. මේ ටයිටන්වරුයි දෙවියොයි අතර නිතර සටන් ඇති වුණා. ටයිටන්වරු කලින් දෙවිවරු නිසා දෙවියන් වගේම ප්‍රබලයි. හින්දු දේවකතාවල ඉන්න සුර සහ අසුරයන් වගේ කොටසක් තමයි ග්‍රීක දේවකතාවල ඉන්නා මේ ටයිටන්වරු සහ දෙවියෝ කියන්නේ.  

මේ ටයිටන්වරු අතර ප්‍රොමිතියස් සහ එපිමතියස් කියලා සහෝදරයන් දෙදෙනෙක් සිටියා. එපිමතියස් මේ ලෝකයේ සතුන් මැව්වා. මිනිසාව මැව්වේ ප්‍රොමිතියස්. ප්‍රොමිතියස් මිනිසාව මැටියෙන් හැදුවට පස්සේ ඇතීනා විසින් ජීවය ලබා දුන් බව කියනවා. තමන් විසින් මැවූ මිනිසාට ප්‍රොමිතියස් තමන්ගේ දෙවිවරුව්ටත් වඩා සෙනෙහසක් දැක්වුවා. ඒ නිසා ඔහු මිනිසාට ගින්දර ලබා දුන්නා. 

මිනිසාට ගින්දර ලබාදීමෙන් ඔහු බලවත් වන බව දුටු දෙවිවරු කලබල වුණා. ප්‍රොමිතියස්ටත් මිනිසාටත් දඬුවමක් දීමට ඔවුන් කල්පනා කළා. දෙවියන්ගෙත් දෙවියා වූ සියුස්ගේ අණින් හෙපස්ටස් විසින් ගැහැනිය මැව්වා. ඇය තමයි පැන්ඩෝරා. දේව ලෝකයේ සියලු දෙනාම පැන්ඩෝරාට තෑගි දුන්නා. මේ තෑගි අතර ලොකු බුජමක් තිබුණා. බුජම කිව්වේ ලෝහවලින් හදපු ලොකු හැලියක් වගේ භාජනයක්. මේ බුජම පිරිලා තිබුණේ ලෙඩරෝග සහ දුෂ්ට දේවල්වලින්. මේ ලෝකයට ආපු පැන්ඩෝරා ප්‍රොමිතියස්ගේ සොහොයුරා වූ එපිමතියස් සමග විවාහ වුණා. මිනිසාට ගින්දර දුන් වරදට ප්‍රොමිතියස්ව සිරගත කළා.

දෙවියන්ට ඕනෑ වුණේ එපිමතියස් ලවා මේ භාජනයේ පියන අරින්න වුනත්, අවසානයේ එය ඇරියේ පැන්ඩෝරා විසින්මයි. එය තුළ තිබූ සියලු ලෙඩරෝග සහ දුෂ්ට දේවල් මේ ලෝකයට ඇතුළු වෙන්න පටන් ගත්තා. මෙයින් බයවුණු පැන්ඩෝරා ඉක්මනින්ම එහි පියන වසා දැම්මත් ඒ වන විටත් සියලු නරක දේවල් පිටවෙලා ඉවරයි. එහි ඉතිරි වුණේ බලාපොරොත්තුව විතරයි කියලා කියනවා.

ඉතින් කෙලවරක් නැතිව භයානක දේවල් පිටකරන පෙට්ටි, භාජන ආදි සියල්ලම පසුකාලයේ පැන්ඩෝරා පෙට්ටිය කියලා හඳුන්වන්න පටන් ගත්තා. අයථා ලෙස උපයාගත්තු ධනය වැනි නරක දේවල් අඩංගු ලියකියවිලි පිටවීමක් සිදවුණු නිසා තමයි ඒවාට පැන්ඩෝරා පත්‍රිකා කියලා නම වැටුණේ.

මෙන්න මේක තමයි පැන්ඩෝරාගේ කතාව. 


Saturday, September 4, 2021

ලොව මුලින්ම මුද්‍රණය වූ පොත කුමක්ද?


ලෝකයේ මුලින්ම මුද්‍රණය කළේ මොකක් කියලද හිතෙන්නේ. මුද්‍රණ යන්ත්‍රයක් මුලින්ම හොයා ගත්තේ ජර්මනියේ ජොහැන්නස් ගුටෙන්බර්ග් නිසා මොකක් හරි ජර්මන් පොතක් තමයි මුලින්ම මුද්‍රණය කරන්න ඇත්තේ කියලා බොහෝ දෙනෙකුට සිතෙන්න පුළුවන්. නමුත් ඇත්ත කතාව ඒක නෙවෙයි. ලෝකයේ මුලින්ම මුද්‍රණය කළේ මොකක්ද කියන එක හොයා ගෙන යද්දි හමු වෙන්නේ වෙන මොනවත් දෙයක් නෙවෙයි බෞද්ධ සූත්‍රයක්. ඒ තමයි ‘වජ්‍ර සූත්‍රය’. ‘වජ්‍ර’ කියන්නේ දියමන්තිවලට කියන තවත් නමක්. දියමන්ති තමයි මේ ලෝකයේ තියෙන ඉතා ශක්තිමත්ම පාෂාණය. බුදුන් වහන්සේගේ ප්‍රඥාව දියමන්ති තරම් ප්‍රබල බව පෙන්වන්නට තමයි මේ සූත්‍රයට මේ නම යොදා තිබෙන්නේ. බුදුන් වහන්සේ විසින් සුභාති කියන භික්ෂූන් වහන්සේ සමග කරන ලද කතාබහක් වජ්‍ර සූත්‍රය ලෙස ලියැවුණු බව පැවසෙනවා. ඓතිහාසික ලියකියවිලි මගින් පෙන්නුම් කරන්නේ අසංග සහ වාසුබන්දු කියන භික්ෂූන් වහන්සේලා විසින් ක්‍රිස්තු වර්ෂ 2 - 5 අතර සමයේ වජ්‍ර සූත්‍රය ලියා තබන්නට ඇති බවයි. 



අසංග සහ වාසුබන්දු


වජ්‍ර සූත්‍රය අයිති වෙන්නේ මහායාන බුදු දහමටයි. මහායාන බුදු දහම තියෙන්නේ චීනය, ජපානය වැනි රටවලයි. අපේ රටේ තියෙන්නේ ථේරවාද බුදු දහම නිසා බොහෝ දෙනෙක්  වජ්‍ර සූත්‍රය ගැන අහලා නැති වෙන්න පුළුවන්. කොහොම වුනත් මහායාන බුදු දහමේ ඉතා වැදගත්, බලසම්පන්න සූත්‍රයක් ලෙසයි මෙය සැලකෙන්නේ. වචන 6000 කින් පමණ සමන්විත වජ්‍ර සූත්‍රය මුලින්ම ලියවී ඇත්තේ සංස්කෘත භාෂාවෙන්. ක්‍රිස්තු වර්ෂ 401 දී පමණ කුමාරජීව කියන භික්ෂූන් වහන්සේ විසින් මෙය චීන භාෂාවට පරිවර්තනය කෙරුණා. 

කුමාරජීව භික්ෂූන් වහන්සේ


අද වගේ දියුණු මුද්‍රණ තාක්ෂණයක් නැති ඒ තරම් ඈත අතීතයක වජ්‍ර සූත්‍රය මුද්‍රණය කළේ කොහොමද කියන එක ඔබට හිතාගන්න බැරිව ඇති. චීනයේ පන්සල්වල සිටි භික්ෂූන් වහන්සේලා කළේ වජ්‍ර සූත්‍රය කඩදාසි මත මුද්‍රණය කරන්නට පුළුවන් ආකාරයට ලීවලින් අච්චු හදපු එකයි. රබර්වලින් හදපු සීල් ඔබ දැකලා ඇති. ඒ සීල් එක තීන්තවල ඔබලා අරගෙන තමයි සීල් ගහන්නේ. ඉතින් ඒ සීල්වල ආකාරයට විශාලව හදපු අච්චුවල තීන්ත ආලේප කරලා ඒ මත කඩදාසි තබා තද කරලා, ඒ  කඩදාසි මත මුද්‍රණයකිරීම සිද්ධ වුණා. (අතීතයේ මුද්‍රණය කළ ආකාරය වීඩියෝවේ අඩංගු වෙනවා)


සේද මාවතේ උතුර සහ දකුණ සම්බන්ධ වන ස්ථානයේ, ඩුන්හුවාන්ග් ප්‍රදේශයට සමීපව කඳුකර ප්‍රපාතයක ගුහා 492 ක් තියෙනවා. මේවා හැඳින්වෙන්නේ ‘දහසක් බුදුන්ගේ ගුහා’ නමින්. 

දහසක් බුදුන්ගේ ගුහා


අද මේ කොටස අයිති වෙන්නේ වයඹදිග චීනයට. මේ ගුහා කිසිම කෙනෙකුට ඇතුළුවෙන්න නොහැකි විදියට මුද්‍රා තබා තිබුණා.  එයට හේතුව අතිශයින්ම වටිනා බෞද්ධ ලිපිලේඛන සංරක්ෂණය කළ බෞද්ධ මධ්‍යස්ථානයක් මේ ගුහාවල පිහිටුවා තිබූ නිසයි. කොහොම වුනත් වංග් යුආන්ලු කියන භික්ෂුව මේ මුද්‍රා තැබූ ගුහාවලට ඇතුළුවන රහසිගත fදාරක් සොයා ගත්තා. 

වංග් යුආන්ලු භික්ෂුව


මේ ගුහාවල තිබුණු දහස් ගණන් බෞද්ධ සූත්‍ර, සිතුවම් සහ තවත් ලියකියවිලි මේ භික්ෂුවට දකින්න ලැබුණා. වජ්‍ර සූත්‍රය තිබුණෙත් මෙතන. මේ භික්ෂුව ඉංග්‍රීසි ජාතික දේශගවේෂකයකු වූ සර් ඕරෙල් ස්ටෙයින්ට 1907 වසරේ දී වජ්‍ර සූත්‍රය ද ඇතුළුව වටිනා කෘති 40,000 ක් පමණ ඉතා සුළු මුදලකට විකුණා දැමුවා. 

සර් ඕරෙල් ස්ටෙයින්


එය ඉතා සුළු මුදලයක් යැයි බි්‍රතාන්‍ය කෞතුකාගාරයේ ලියවිලිම සඳහන්ව තිබෙනවා.  ඒවා අවසානයේ නතර වුණේ බි්‍රතාන්‍ය කෞතුකාගාරයේ. ‘ලොව මුලින්ම මුද්‍රණය කරන ලද ලියවිල්ල’ යනුවෙන් නම්කොට අඩි 16 කින් යුක්ත වජ්‍ර සූත්‍රය මෙහි ප්‍රදර්ශනයට තබා තිබෙනවා. 



Friday, July 23, 2021

ගැමුණු අයියේ, ඔබට සුබ ගමන්


ගැමුණු අයියා සදහටම අපෙන් සමුඅරන් බව මම දැනගත්තේ මගේ මිතුරකු වන නදුන් (නදුන් අමන්ද මනමේන්ද්‍රආරච්චි) ගෙන්. ඒ දැනගත්තු මොහොතේ මගේ හිත අවුරුදු ගණනාවක් ආපස්සට දුවගෙන ගියා. අවුරුදු ගණනාවක්, හරියටම කිව්වොත් අවුරුදු 29 ක්. 


මම ඔහුව අඳුනගත්තේ 1992 අවුරුද්දේ. සුමති පුවත්පත් ප්‍රධාන කර්තෘ බන්දුල පද්මකුමාර මහත්මයා අලුතින් පටන් ගන්න පත්තරේකට (ඒ අවුරුද්දේ අන්තිමට පටන් ගත්තු සමුදුර. ඒ ගැන මම දැනට කාලයකට කලින් ලියපු පෝස්ට් එකක් මෙතනින් බලන්න පුළුවන්) අලුත් අය ගන්නවා කියන ආරංචියට ගිය වෙලාවේ, මම සුමති එකේම නතර වුණා. 


සමුදුර පටන් ගන්න කල් මම ‘අරලිය’ පත්තරේට ලිව්වා. ඒක යොවුන් කාන්තා පත්තරයක්. එහි කර්තෘ වුණේ ප්‍රදීප්කුමාර බාලසූරිය. නිදහස් මාධ්‍යවේදීන් විදියට පත්තරේට ලියන අය නිතර ඇවිත් යනවා. මේ යන එන අය කෙනෙක් ප්‍රදීප් අයියාට ලිපි ගෙනැත් දෙනවා. ප්‍රථමාධාර ලිපි පෙළක් සහ විදෙස් කතාව අරන් එන උස මහත කෙනෙක් මම නිතර දැක්කා. ඒ තමයි ගැමුණු රත්නායක. වැඩි දවසක් යන්න කලින් ඔහු ‘ගැමුණු අයියා’ බවට පත් වුණා. පාසලෙන් ඉවත් වුණු අලුත පත්තරේ වැඩට ආපු මට පරිවර්තන කටයුතු ගැන මහ ලොකු දැනුමක් තිබුණේ නැහැ. කොහොම වුනත් මමත් අරලියට විදෙස් කතා ලියන්න පටන් ගත්තා. මට වඩා ජ්‍යෙෂ්ඨයකු ලියමින් සිටි විශේෂාංගයක් මැදට හාල්මැස්සෙක් වගේ මම පැන්නාම සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨයන්ට තරහ ගියත් ගැමුණු අයියා කළේ මගේ තියෙන අඩුපාඩු පෙන්නලා දෙමින් ඒවා නිවැරදි කරගන්න උදව් කරපු එක.


මෙහෙම ඉන්නකොට 1991 අවුරුද්දේ අග ‘සමුදුර’ පටන් ගත්තා. මම එහි ස්ථිර කාර්ය මණ්ඩලයට සම්බන්ධ වුණා. ගැමුණු අයියා ‘සමුදුරේ’ ද ස්ථිර ලේඛකයෙක් වුණා.


මෙහෙම කාලය ගෙවිලා ගිහින් 1994 දී ‘ලක්බිම’ පටන් ගත්තා. මම සරසවියට යන්න ඕනෑ නිසා ස්ථිර කාර්ය මණ්ඩලයෙන් ඉවත්වෙලා නිදහස් ලේඛකයෙක් විදියට පත්තරවලට ලියන්න පටන් ගත්තා. ගැමුණු අයියා ස්ථිර සාමාජිකයෙක් විදියට ‘ලක්බිමට’ සම්බන්ධ වුණා.


කාලයක් පත්තරවලට ලියන එකේ ඈත්වෙලා සිටි මම නැවත 2013 දි විතර නැවත ලියන්න පටන් ගත්තා. ඒ අතරේ තමයි දවසක් මට දුරකතන ඇමතුමක් ආවේ.


“මචං මම ගැමුණු. ලක්බිමේ රිද්ම එක කරන්නේ දැන් මම. මොනව හරි ලියපංකෝ මේකට.”


එහෙම තමයි කිව්වේ. ඊට පස්සේ මම රිද්මට ලියන්න පටන් ගත්තා. 


ගැමුණු අයියා ඊට පස්සේ ‘මව්බිම’ට ගියා. මම දිගටම ‘ලක්බිම’ට ලිව්වා. හිතවත්කම ඈත් නොවුනත් නිතර කෙරෙන කතාබහ අඩු වෙලා ගියා.


සෑහෙන කාලෙකින් ඔහු ගැන තොරතුරක් ආරංචි වුණේ නැහැ. නදුන් අද කියද්දි තමයි දැනගත්තේ ගැමුණු අයියා අවුරුද්දක් විතර පිළිකාවකින් දුක් වින්ද බව.


ජීවිතේ හැටි එහෙමයි.


හිතවත්තු වෙන්වෙනවා. 


ප්‍රියයයන්ගෙන් වෙන්වීම දුකක්. ඒත් එක වළක්වන්න බැහැ.


ඉතින් ගැමුණු අයියේ, ඔබට සුබ ගමන්.


Wednesday, June 9, 2021

නිවෙස් ඉදිරියේ "සොහොන් මල්" පිපීම කොරෝනා මරණ පිළිබඳ පෙර නිමිත්තක්ද?





සොහොන් පිටිවල සරුවට වැඩෙන මල් පඳුරක් ගණේමුල්ල ප්රදේශයේ අලුතින් ඉදිවන නිවසක් ඉදිරියේ හිටි හැටියේ ඉබේටම පැලවී මල් පීදෙන්නට පටන්ගැනීම ගෙහිමියන්ගේත් සමීප ඥාති හිතමිත්රාදීන්ගේත් දැඩි අවධානයට ලක්ව තිබිණ.ඒ එම මල් පිපී දින කිහිපයකට පසු එම ඉඩමේ තිබූ සෙසු නිවාස තුනෙන් දෙකක සය දෙනෙකුම කොවිඩ් ආසාදනයකට ලක් වීම නිසා ය.ඒ අනුව ඔවුන් වහා ප්රතිකාර සඳහා යොමු කරන ලදී. සොහොන් මල් නැතහොත් මූසල මල් වශයෙන් හැඳින්වෙන එම ශාක විශේෂය නිවසක් ඉදිරියේ ඉබේටම වැවෙන්නට පටන්ගැනීම සොහොන් ළකුණු පහළ වීමක් හෙවත් මරණයක පෙරනිමිත්තක් බැවින් එම රෝගීන් එම මාරාන්තික උවදුරින් මුදා ගනු පිණිස එම ගස් මුල් පිටින්ම ගලවා ගිනිතබා පුළුස්සා දමන ලෙස ඇතැමුන්ගෙන් ගෙහිමියන්ට උපදෙස් ලැබී තිබිණි. ඔවුන් පැවසූ අන්දමට එම ශාක විශේෂය එම ප්රදේශයේ සුසාන භූමි ආශ්රිතව බහුලව දක්නට ලැබෙන්නකි. මීට කලකට ඉහත ගණේමුල්ල, තිබ්බටුගොඩ පොදු සුසාන භූමිය මෙම මල් ගස්වලින් පිරී පැවති අයුරු මට ද මතක ය. එබැවින් එහි මල් පිපෙන කාලවල උදෑසනට එම සොහොන් පිටිය එකම මල් යායක් සේ දිස්විය. නමුත් අද වනවිට එම සොහොන් බිමට කඩාවැදී ඇති ගිනි තණ ( Panicum Maximum) නම් ආක්රමණික ශාකය නිසා ඒ සොඳුරු දසුන මුළුමනින්ම පාහේ අහිමිවී තිබේ.නමුදු සොහොන් බිමේ දොරටුව අද්දර එම ශාකය තවමත් දැකිය හැක. මීට අමතරව ගලහිටියාව, බුළුගහගොඩ, මාකිලංගමුව ආදී තදාසන්න පොදු සුසානභූමි ආශ්රිතව ද මෙම සෙහොන් මල් අඩු වැඩි වශයෙන් දක්නට ලැබේ. නමුත් මේවා ලොව බොහෝ රටවල සුසාන භූමි ආශ්රිතව දක්නට ලැබෙන  සොහොන් මල් නොවේ.ඒ දම් සහ සුදු පැහැයන්ගෙන් මල් පුබුදන පුෂ්පීය ශාඛයකි. මැඩගස්කරය නිජබිම කොටගත්  Catharanthus Roseus යනුවෙන් හැඳින්වෙන එය අද වනවිට වින්කා රෝසියා නමින් විසිතුරු මල් වගාකරුවන් අතරේ අතිශය ජනප්රිය වී තිබේ. විශේෂයෙන් වැල් වශයෙන් සකස්කොට ඇති ඒම ශාක විශේෂය එම රටවල ඉහළ මධ්යම පාන්තික නිවාසවල සඳළුතල අලංකාර කිරීම පිණිස ද යොදාගෙන ඇත. එම මිනී මල සඳහා වූ පොදුජන අකමැත්ත හා බිය එතැනින්ම අහවරය. නමුදු මෙවර මගේ අවධානයට ලක්වූ ‘සොහොන් මල’ එබඳු ජනප්රිය ශාක විශේෂයක් නොවේ. පැනමාවේ සිට දකුණු බ්රසීලය තෙක් දකුණු හා මධ්යම ඇමෙරිකාව නිජබිම කොටගත් මෙය ලොව පුරා වඩාත් ප්රකට වී ඇත්තේ සුදු බටර් බඳුන (White butter cup) යනුවෙනි. මෙම මලේ පෙතිවල ඇති සුදු පැහැය හා මධ්යයෙහි ඇති කහ පැහැය මුල්කොට එය සුදු පැහැති බටර් බඳුනක් සේ දිස්වීම ඊට හේතුවය. ටර්නෙරා සුබුලටා (Turnera Subulata) යනුවෙන් උද්භිද විද්යාත්මකව හැඳින්වෙන මෙම ශාකය එක්සත් ජනපදය, කැරිබියන් සහ ෆ්ලොරිඩා ෆැසිපික් දූපත්වල මෙන්ම මැලේසියාව, ඉන්දුනීසියාව ආදී රටවල ද  ව්යාප්තියක් පළ කරයි. එහෙත් අප රටේදී අතිශය ආගන්තුක බවක් පළකරන මෙම ‘සුදු බටර් බඳුන’ ශාකය පිළිබඳ තොරතුරක් ජාතික ශාකාගාරයෙන් වත් දැනගත නොහැක.ඒවායේ ව්යාප්තියක් පළ කරන ප්රදේශ තබා එම ශාකය හැඳින්වීම  සඳහා යොදන සිංහල නමක්වත් සොයාගත නොහැකි යැයි ජාතික ශාකාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.






මේ අතර ඇතැමෙකු කියා සිටියේ මෙය ‘ඉන්වාටියා’ යනුවෙන් හැඳින්වෙන බවකි. අප රටේ ඇතැම් ප්රදේශවල පමණක් දක්නට ලැබෙන මෙය මෙහිදී සොහොන් මලක් වශයෙන් හැඳින්වුවද ලොව කිසිම තැනක මෙය සොහොන් පිටි ආශ්රිතව වැවෙන හෝ වගා කෙරෙන බවට තොරතුරු නැත. මීටරයකට ආසන්න උසක් දක්වා වැඩී හිමිදිරියේ පිපෙන මෙහි මල් මධ්යාහ්නය උදාවීමටත් පෙර සිට හැකිළී යයි. අවමඟුල් කටයුතු කෙරෙන සවස් යාමවල මෙහි සුන්දරත්වය දැකිය නොහැකි බැවින් සොහොන් මල් ලෙස භාවිතයට නොගන්නා මෙය ප්රචලිතව ඇත්තේ උද්යාන මලක් ලෙසිනි.
නිවර්තන තෙත් සේම වියළි කලාපවලද කිසිදු පොහොරක් හෝ සාත්තුවක් නොමැතිව පඳුරු වශයෙන් සරුවට වැවෙන මෙම ශාකය කිනම් කලෙක, කුමන කරුණක් මුල්කොට කිනම් පාර්ශවයක් විසින් අප රටට ගෙනෙන ලද්දක් දැයි අවිනිශ්චිත ය. ගම්පහ දිස්ත්රික්කයේ සුසාන භූමි ආශ්රිතව නිරීක්ෂණය වුවද මෙම ශාකය පිළිබඳ විස්තරයක් කීර්තිමත් ශ්රී ලාංකේය උද්භිද විද්යාඥයෙකු වන හිටපු ජාතික උද්භිද උද්යාන අධ්යක්ෂ ජනරාල් හරිශ්චන්ද්ර පෙරමුණුගම මහතා විසින් සකස් කරන ලද ගම්පහ දිස්ත්රික්කයේ වෘක්ෂලතා ලේඛනයටවත් ඇතුළත්ව නැත. පරිසර අමාත්යංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මගින් නිකුත් කරන ලද ශ්රී ලංකාවේ ආක්රමණශීලී, ආගන්තුක ශාක විශේෂ ලේඛනයේ සඳහන් ශාක තිස් දෙකට පවා ඇතුළත් නොවීමෙන් මෙය අපගේ පරිසරයට, ආර්ථිකයට සහ සමාජයීය ජීවිතයට අනිසි බලපෑම් කරන ආක්රමණශීලී ශාකයක් නොවන බවද පෙනී යයි. එහෙත් මෙය ශ්රී ලංකාවේ සුසාන භූමි ආශ්රිතව වැඩි ව්යාප්තියක් පළකිරීමට හේතු නම් අවිනිශ්චිතය.






ශ්රී ලංකාවේ විසිතුරු ශාක අතරේ කිසිදු තැනක් නොමැති වුවද මීට දස වසරකට පමණ පෙර මෙම ශාකය රාජගිරිය, ශ්රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු පාරේ මාර්ගාලංකරණ ශාකයක් ලෙස වවා ඇති අන්දමද මා හට නිරීක්ෂණය වී තිබේ. එමෙන්ම එහි විස්මයට කරුණ නම් මෙම මල හැඳින්වීම පිණිස ඇතැම් රටවල
දේශපාලනඥයාගේ මල (Politician`s flower) යන නම ද යොදා තිබීමය. මීට අමතරව අවිස්සාවේල්ල, සීතාවක තෙත්බිම් කලාපීය උද්භිද උද්යානයේ ද ඉතා දැකුම්කළු මෙම සොහොන් මල් පාන්තියක් තනා ඇති අතර, පෙරවරුවේ සේයාරුවට නංවනු ලබන ‘ප්රී ෂූට්’ ඡායාරූපවල පෙනී සිටින විවාහාපේක්ෂිත මනාල මනාලියන්ට පසුබිමින් එම "සොහොන් මල්"වල සැබෑ සොඳුරු දසුන දස දහස් වරක් කැමරාගත වී ඇති බව නිසැක ය.

මෙවන් තත්ත්වයක් යටතේ ආතක්-පාතක් නොමැතිව ශ්රී ලංකාවට කඩාවැදුණු බවක් පළකළ මෙම ‘සුදු බටර් බඳුන’ නම් අහිංසක සැබැ සොඳුරු පුෂ්පීය ශාකය දශක හෝ සියවස් කිහිපයක් තුළ අප ජන සමාජයෙන් එල්ල වූ නොසලකා හැරීම් මත සොහොන් පිටි තුළට වැදී තම පණ රැකගත් බවක් මට හැඟෙයි. එමෙන්ම ගණේමුල්ලේ ඉදිවන නව නිවස ඉදිරිපිටම මෙම ශාකය පතිතකොට ඇත්තේ එම ඉඩමේ පදිංචි නිවැසියන්ට "සොහොන් ළකුණු"පෙන්වූ යක්ෂයක්, භූතයන් විසින් නොව මේ වන විට එම ගෙමිදුලට වැලි කියුබ් තිහ, හතළිහක් ගෙනවිත් හලන ලද වැලි ලොරිකරුවන් විසින් බව නිසැකය. මක්නිසාදයත් මෙය විසිකරන ලද කුඩා නටු කැබැල්ලකින් වුව පහසුවෙන් පැලවී සොඳුර මල් පුබුුදන අහිංසක ශාකයන් බැවිනි. මේ සියලු තත්ත්වයන් යටතේ එම සොහොන් මල් නමින් අවමන් ලබන සැබෑ සොඳුරු සුදු බටර් බඳුන කුසුමියන් නිරුපද්රිතව එම ගෙමිදුලේ පිපී හිනැහෙන අතරේ කොවිඩ් රෝගය වැළඳී වෛද්ය ප්රතිකාර වලට යොමු වූ එම සය දෙනාම සුවය ලබා යළි නිවෙස් වෙත පැමිණියහ.ඒ මරණයේ සංකේතයක් සේ බොහෝ දෙනා සිතා සිටින සුදු බටර් බඳුන ශාකය ජීවිතාරක්ෂාවේ සංකේතයක් බව ප්රායෝගිකවම සනාථ කරමිනි.

සම්පත් දායකත්වය - ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ





Wednesday, June 2, 2021

පූසෝ පිපිඤ්ඤාවලට මේ හැටි බය ඇයි? - Why are cats so scared of cucumbers?



කොල පාට පිපිඤ්ඤා ගෙඩියක් දුටු ගමන් බය වී උඩ පනින පූසන්ගේ වීඩියෝ ඔබ යූටියුබ් එකේ ඕනෑ තරම් දැකලා ඇති. මේ බලන වෙලාවට නිකමටවත් හිතුවේ නැද්ද පූසෝ පිපිඤ්ඤාවලට මේ තරම් බය ඇයි කියලා. අන්න ඒක ගැන තමයි මේ කියන්න යන්නේ.




මේකට හේතුව මොකක්ද කියන එක පැහැදිලා කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කොන් ස්ලොබොඩ්චිකොෆ්. ඔහු ජීව විද්‍යාඥයෙක් වගේම සතුන්ගේ හැසිරීම් සම්බන්ධ විශේෂඥයෙක්. ඔහු පවසන විදියට පූසො කියන්නේ උපතින්ම සර්පයන් ගැන අධි සංවේදීතාවක් තියෙන සතුන් විශේෂයක්. ඒ නිසාම සර්පයෙක් දෂ්ට කරයි කියලා ලොකු අවධානයකින් තමයි ඉන්නේ. මේ කොල පාට පිපිඤ්ඤා ගෙඩියක් ඔවුන්ට පේන්නේ එකපාරටම සර්පයෙක් වගෙයි. සර්පයෙක් ඉස්සරහට මුනගැහුනොත් පූසෙක් කරන්නේ ඌ දෂ්ට කරයි කියලා අඩි කීපයක් උඩ පනින එක. ඉතින් පිපිඤ්ඤා ගෙඩියක් දැකපු ගමන්ම ඌ කරන්නෙත් දෂ්ට කරයි කියන බයට උඩ පනින එකයි. 


කොහොම වුනත් හිතාමතා නිතරම පූසන්ව මෙහෙම බය කරන්න එපා කියලා මේ මහාචාර්යවරයා කියනවා. එහෙම කිරීමෙන් ඔවුන් මානසික පීඩනයකට ලක්වෙන බවත්, එය දීර්ඝ කාලීනව ඔවුන්ට බලපෑම් කරන බවත් ඔහු කියනවා.  


මේ විඩියෝ එකෙන් මේ ගැන සවිස්තරව දැනගන්න පුළුවන්.



Saturday, May 29, 2021

අහුපිණිඇල්ල අවට ගන්නා ඡායාරූප වල ඇති අද්භූත රූප මොනවාද?


 

මේ දිනවල ඇදහැලෙන නිරිත දිග මෝසම් සුළං වර්ෂාවෙන් නොමඳ පෝෂණය ලබන මහනුවර දිස්ත්‍රික්කයට අයත් උඩුවැල්ල ප්‍රදේශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක දෙසට ඇදහැලෙන අහුපිණිඇල්ල සොඳුරු බවින් අනූන සොබාදහමේ අසිරිමත් නිමැවුමකි. ඒ සුන්දරත්වය හැරුණුකොට එම දියඇල්ල තවත් කරුණක් නිසා ද ප්‍රසිද්ධියට පත්ව තිබේ. එනම් රාත්‍රී සේම ඇතැම් දිවා කාලයන්හිදී ද ඇල්ල අබියස දක්නට ලැබෙතැයි කියන අද්භූත කාන්තා රූපයක් නිසා ය.


‘‘ඔය කතාව අපිත් ඕනෑතරම් අහලා තියෙනවා. නමුත් මුලදී විශ්වාස කළේ ම නැහැ. ඒත් පස්සේ මෙන්න මෙහෙම දෙයක් නම් වුණා.’’

 මා හා එසේ පවසන ලද්දේ උඩුවැල්ලේ පදිංචි රෝහණ රංජන් අබේරත්න ය. ඔහු අහුපිණිඇල්ල පරිසරය සුරැකීමේ සංවිධානයේ සභාපතිවරයා ද වෙයි.

‘‘මමයි මගේ නෝනයි මීට ටික කාලෙකට ඉස්සර ඔය දියඇල්ල අයිනෙන් වැටිලා තියෙන නාත්තකන්ද පාරෙන් පහළට යමින් හිටියා. ඔය ඇල්ලේ පහල තියෙනවා මිනීකඳවල කියලා තැනක්. මට තරමක් ඉස්සරහින් යමින් හිටපු නෝනා ඒ හරියෙදි මගෙන් අහනවා, ‘කවුද අනේ අර ඉස්සරහින් යන ගෑනු කෙනා, කොණ්ඩෙත් කඩා දාගෙන’ කියලා. එතකොට මාත් ඉස්සරහ බැලුවා. පේනතෙක් මානෙක මිනිස් පුළුටක්වත් නැහැ. වටේටම මහ කැලේනේ. එතකොට මටත් තේරුණා කාරණේ. ඒ හින්දා මාත් කිව්වා ‘ඔය උඩහ පැත්තේ ගෙදරක ගෑනු කෙනෙක්නේ’ කියලා. කොහොම හරි ඊට ටික කාලෙකට පස්සේ එක රේඩියෝ චැනල් එකක ඔය අද්භූත දර්ශන ගැන ප්‍රෝගෑම් එකක් ගියා. මටත් සිද්ධ වුණා ඒකට මගේ අද්දැකීමක් කියන්න. ඉතින් මමත් ඒ වැඩසටහනට සජීවීව සම්බන්ධ වෙලා ඔය කතාව කියනවා අහගෙන හිටපු නෝනා අන්දුන්කුන්දුන් වුණා.

පස්සේ මෙයා හොඳටම බය වෙලා මගෙන් අහනවා ‘එතකොට මම ඒ දැකලා තියෙන්නේ ඔය කියන හොල්මනද?’ කියලා. මමත් එතකොට හිනාවෙලා ඇහුවා ‘ඒ කතාව දැන් අහලා ඔයා ඔය තරම් බය වුණ එකේ ඒ වෙලාවෙම කිව්වා නම් කොහොමට බයවේවිද?’ කියලා.’’

අබේරත්න මහතා කීයේ සිනාසෙමිනි.

අද්භූත කාන්තා රූපය පිළිබඳව එබඳු කතාබහක් සමාජය පුරා පැතිර යන අතරේ එම දියඇල්ල සමිපයේදී ගනු ලබන ඡායාරූපවල ද අද්භූත රූප දක්නට ලැබෙන බවට ආරංචි මැඇතක සිට පැතිර  ලද්දේ 2019 වසරේ ජූලි 14 දා කැලණිය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයෙකු එම දියඇල්ලට බිලිවීමත් සමගිනි. එම සිදුවීමෙන් කම්පාවට පත් ඔහුගේ මිතුරු මිතුරියන් ඇතුළු ඔහු පිළිබඳව දන්නා පිරිස් එම ඛේදවාචකය සිදුවූ ස්ථානය දැකගැනීමට පැමිණි අතර, ඔවුන් විසින් ගනු ලැබූ ඡායාරූප සමහරක ද අද්භූත රූප සටහන්ව තිබූ බව උඩුවැල්ලේ ගැමියෝ මා හා කීහ. ඒ එම සිද්ධියට මාස කිහිපයකට පසු පරිසරවේදියකු ද වන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය සුගත් විජයවර්ධන ද සමඟ මා අහුපිණිඇල්ල ප්‍රදේශයේ සංචාරයක යෙදෙන අතරේ ය.

1994 වසරේ මා ශ්‍රීපාද අඩවිය සම්බන්ධ ජනශ්‍රැති අධ්‍යයනයක යෙදෙන අතරේ එවකට අවාරයේ ශ්‍රීපාදස්ථානයේ මුරකාර භූමිකාව කළ ශ්‍රී පලාබද්දල පදිංචි තිස්ස කුමාර මහතාගෙන් මෙබඳු තොරතුරක් දැනගන්නට ලැබිණ.

‘‘මම සතියකට හමාරකට සැරයක් පහළට ඇවිත් කෑම උයාගන්න උවමනා හාල්, පොල්, පරිප්පු, තුනපහ වගේ කළමනා පොදියක් අරගෙන හිමේට යනකොට හිමේ මැද්දේදි පාරේ ඈතින් සුදුම සුදුපාට ඇඳුමක් ඇඳගත්තු කෙනෙක් ඉන්නවා පේනවා. මේ දර්ශනය මට වගේම අපේ අප්පුච්චිලාටත් ඉස්සර ඉඳලම පෙනිලා තියෙනවා. ඒ අය තමයි කිව්වේ එහෙම පේන්නේ හූනියම් දේවතාවන්වහන්සේ, උන්වහන්සේ එහෙම පෙනී ඉන්නේ අපිට ආරක්ෂාව සලසන්න. ඒ නිසා බය වෙන්න එපා කියලා. ඒ හින්දා මමත් බය නැතුව ඉස්සරහට යනවා. හූනියම් දේවතාවන්වහන්සේ මාව ඒ විදිහට ඇරලවන්නේ හැරමිටිපාන ළඟට විතරයි.එතන ඉඳන් මාව සමන් දෙවි හාමුදුරුවන්ට බාර වෙනවා.උන් වහන්සේ අර වගේ පෙනී නොහිටියට උන් වහන්සේගේ පිහිට මට හොඳට දැනෙනවා ඒ එක්කම මගේ ඇඟටත් අමුතුම සනීපයක් දැනිලා මහන්සිය නැතුව යනවා. ඒ හින්දා මම උඩමළුවට ගියාට පස්සේ සේරටම කලින් කරන්නේ පැයක් දෙකක් හොඳට නිදාගන්න එක.’’

තිස්ස කුමාර මහතා කීය.

මෙහිදී අබේරත්න මහතාගේ බිරිඳ සහ තිස්ස කුමාර මහතා දුටු දර්ශන අතර යම් සමානත්වයක් තිබේ. ඔවුන් දෙදෙනාම ඒ අද්භූත රූප දැක ඇත්තේ නිහඬ, නිසංසල වනගත පරිසර පද්ධතීන් තුළදීය. එමෙන්ම අනුරාධපුර, කුට්ටම්පොකුණ අද්දරින් හැරී යන ගල්පාලම පාර ආසන්නයේ පිහිටි පෙරිමියන්කුලමේ විජයාරාමය නමින් හඳුන්වන පැරණි ආරාමික වනපෙත තුළ ද දිවා කාලයේ අද්භූත අයුරින් භික්ෂූන් වහන්සේලාගේ රූ ප්‍රදර්ශනය වන බව මීට වසර පහකට පමණ පෙර ජනමාධ්‍යයන්හි පළ විය. මේ සියලු සිදුවීම්වලට පදනම් වී ඇත්තේ ඒ අත්දැකීම්වලට මුහුණදුන් පුද්ගලයන්ගේ හුදෙකලා බව සහ හාත්පස පරිසරයේ වූ නිහඬ, නිසංසල බව පදනම් කරගත් කිසියම් මනෝමය සාධකයක් බව පෙනේ. එදිනෙදා ජිවිතයේදී කලබලකාරී, නාගරික පරිසරයන් තුළ අප අත්දකින මනැසට වෙහෙසක් ගෙනදෙන තත්ත්වයන් නිහඬ, නිසංසල පරිසරයන් තුළදී අත්විඳීමට නොලැබේ. බාහිර අරමුණුවලින් තොර එවැනි තත්ත්වයන් තුළදී සිතටත්, ගතටත් අමුතුම සුවයක්, සහනදායී බවක් ලැබුණු බව එවන් ස්ථානවලට ගියවුන් පවසන්නේ එබැවිනි. එමෙන්ම යම් යම් පාළු අවකාශයන් තුළ වෙනයම් අරමුණකින් තොර කිසියම් නිශ්චිත දුරක් එක එල්ලේ බලාගෙන සිටීමේ දී හෝ ඉදිරියට යාමේදී ස්වභාවිකව හටගන්නා අර්ධ නිද්‍රාමය තත්ත්වයන් තුළ යටි සිත තුළින් මතුවන විවිධ පරිකල්පන, ව්‍යාජ භ්‍රාන්තීන් සේ දිස්වීමේ යම් හැකියාවක් පවතී. මිනිස් වාසයෙන් තොර පැරණි, පාළු මහා මන්දිරවල දිගු කොරිඩෝවන්හි ගමන්කිරීමේදී ද වරින් වර මෙවැනි අද්භූත රූප දර්ශනය වන බවට තොරතුරු තිබේ. නමුදු ඒ ආකාරයේ අද්භූත රූප අප රටේ දුලබ ය. ඒ එතරම් සුවිසල් පාළුවට ගිය පැරණි මන්දිර අප රටේ දක්නට නොලැබෙන බැවිනි.මෙහි දී තිස්ස කුමාර මහතා කී අන්දමට ශ්‍රී පාද මාර්ගයේ හැරමිටිපානෙන් ඔබ්බේ දී ඔහුට එම අද්භූත දර්ශනය නොපෙනෙනුයේ ඉන්පසු හාත්පස පරිසරය මුළුමනින්ම පාහේ විවෘත අවකාශයක් සේ පෙනෙන බැවිනි.

2019 ජූලි 14 වනදා සිදුවූ ඛේදවාචකයෙන් පසු සරසවි සිසුන් විසින් ගනු ලැබූ අහුපිණිඇල්ල ආශ්‍රිත ඡායාරූපවල දක්නට තිබූ බව පැවසෙන අද්භූත රූප එම ප්‍රදේශයේ තරුණයෙකු විසින් වට්ස්ඇප් මාර්ගයෙන් ගෙන්වාගෙන ඇතැයි දැනගන්නට ලැබුණු බැවින් වෛද්‍ය සුගත් සමග මම ඒ සම්බන්ධයෙන් ද විමසුමක් කළෙමි.

දැනට අප සමාජයේ බහුලව භාවිත කෙරෙන ජංගම දුරකතනවල ඇති කැමරා ද සහිත ක්ෂණික ස්වයංක්‍රීය  (

Instamatic

) කැමරා, තාක්ෂණික වශයෙන් ඉතා ප්‍රාථමික ය. ඒවායේ ලෙන්සය සහ ක්ෂණික ආලෝක ධාරා විහිදුවන ෆ්ලෑෂරය ඇත්තේ එකම ස්ථානයක ය. එබැවින්, එවන් කැමරාවකින් ෆ්ලෑෂරය දල්වා ඡායාරූපයක් ගැනීමේදී ලෙන්ස් එක ඉදිරියේ ඇති ඉතා සියුම් ධූලි හෝ ජලවාෂ්ප අංශුවක් වෙත එම ෆ්ලෑෂර් ආලෝකය පතිත වීමෙන් විවිධ පැහැයන්ගෙන් යුතු ගෝල ඡායාරූපයේ දක්නට පුළුවන. මේවා හැඳින්වෙනුයේ මණ්ඩල (Orbs) යනුවෙනි.




වරක් රාගම, බටුවත්ත ප්‍රදේශයේ නිවසක එළිමහන් සාදයකදී ගනු ලැබූ ඡායාරූප රැසක අහසින් පොළොවට පාත්වන උල්කාපාත බඳු එවැනි රූ සටහන් කීපයක් දක්නට ලැබිණි. ඒ රූ සටහන් හඳුනාගත නොහැකි සමහරුන් කියා සිටියේ එම එළිමහන් සාදය සඳහා පිළියෙළ කර තිබූ මස් මාංශ හා පුළුටු කෙරෙහි ලොබ බැඳගත් ප්‍රේතාදී අමනුෂ්‍යයන් අහසේ සිට එම අවළුපත් වෙත පතිතවනු ඒ ඡායාරූපවල සටහන්ව ඇති බවය. එහෙත්, එම එළිමහන් පරිසරය පරීක්ෂා කළ මට දක්නට ලැබුණේ එම ගෙමිදුලේ සාදය පැවැත් වූ තැනට ඉහළින් මල්වලින් පිරීගත් අතු පතර විහිදුණු වෙරළු ගසක් ඇති බව ය. සුළඟට ගස සෙලවීමේදී බිමට පතිත වන ලදුව එම කැමරාවල ෆ්ලෑෂ් එළියට හසුවී ඡායාරූපවලට නැංවුණු වෙරළු මල්වලට සමහරෙකු විසින් අමනුෂ්‍ය නාමයන් ආරෝපණය කර තිබුණි. එහෙත්, මෙම අද්භූත රූප එම සංයුක්ත කැමරාවලට වඩා දියුණු තාක්ෂණයකින් යුතු තත්කාච ප්‍රතීක කැමරා (Single lence reflex camara) වලින් ගනු ලබන ඡායාරුපවල දක්නට නොමැති බව ද කිව යුතු ය.


සම්පත් දායකත්වය - ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ

Tuesday, May 18, 2021

ජ්යොතිෂ්ය අපල ගැන විශ්වාසය උඩු යටිකුරු කළ අහුන්ගල්ලේ දුම්රිය-බස්රිය අනතුර



වර්තමාන කොවිඩ් වසංගතය මුල් කොට ජ්‍යොතිෂ්‍යය මඟින් අනාවැකි කීම වැනි ගුප්ත ශාස්ත්‍ර වේගවත් පසුබෑමකට ලක් ව ඇති බව පෙනෙයි.අනාගතය යනු නිශ්චිත සැලසුමකට අනුව උදාවන්නක් නම් හෝ ජ්‍යොතිෂ්‍යය ඇතුළු ගුප්ත ශාස්ත්‍ර මඟින් අපගේ හෙට දවස කල් ඇතිව කිව හැකි නම් මේ දිනවල කාර්ය බහුලම පිරිස විය යුත්තේ ජ්‍යොතීර්වේදීන්ය. එහෙත්, පොදුවේ ගත් කල අද වන විට ඔවුන් සියළු දෙනා සැඟව සිටින බවක් පෙනෙයි. යුදමය,වසංගත,ස්වාභාවික ආපදා හෝ වැඩි පිරිසක් මිය යන හදිසි අනතුරුවල දී මාරක අපල සහ රාජයෝග ඇත්තවුන් එක රොත්තට මිය පරලොව යාම සාමාන්‍ය තත්වයකි. ඒ සම්බන්ධයෙන් මීට වසර තිස් දෙකකට පෙර මා ලත් ආනුභාවික අත්දැකීමක් මෙලෙසිනි.

 

එක්දහස් නවසිය අසූ නවය වසරේ ජනවාරි දාහත්වනදා මුළු රටම කම්පා කරවන සුවිසල් රිය අනතුරක් සිදු විය. ඒ එදින පස්වරු දෙකට අම්බලන්ගොඩ සිට ඌරගස්මංහන්දිය දක්වා ගමන් ඇරඹූ අම්බලන්ගොඩ ඩිපෝවට අයත් අංක 23 ශ්‍රී 8293 දරන ලංගම බස් රථය එවක අනාරක්ෂිතව තිබූ අහුන්ගල්ල දුම්රිය හරස් මාර්ගයේදී ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ අංක 750 දරන මගී දුම්රියේ ගැටීමෙනි. ඒ අනතුරින් එම බස් රථයේ ගමන් ගත් හතළිස් දෙනෙකු ඛේදනීය ලෙස මියගිය අතර තිස් අට දෙනෙකුම පාසල් නිමාවී නිවෙස් බලා යමින් සිටි සිසු දරුවෝ වූහ. ඉතිරි දෙදෙනා මුස්ලිම් ජාතික ගුරු මාතාවක් සහ එම ප්‍රදේශයේ වැසියෙකි. මම එවක මැද පෙරදිග සේවා නියුක්තික ශ්‍රී ලාංකිකයන් සඳහා ශ්‍රී ලංකාවෙන් මුද්‍රණය කොට යවන "මැද පෙරදිග" පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ලෙස කටයුතු කළෙමි. එහි ප්‍රධාන කර්තෘ වූයේ ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර ය. එම අනතුර සිදුවී දින දෙක තුනක් ඉක්ම යන විට ඒ සම්බන්ධ බොහෝ තොරතුරු පුවත්පත් සහ රූපවාහිනී මගින් සන්නිවේදනය වී තිබිණ. එනිසාම සතියේ පුවත්පත් අලෙවිය ද ශීඝ්‍රයෙන්  ඉහළ ගියේ ය. මැද පෙරදිග සේවා නියුක්තියේ යෙදී සිටි ශ්‍රී ලාංකිකයන් ද  එම අනතුර පිළිබඳ බොහෝ තොරතුරු දැන කියාගෙන සිටි බවට කිසිදු සැකයක් නොවිණි. එබැවින් එම ඛේදවාචකය සම්බන්ධ බොහෝ දෙනෙකු නොසිතන පැතිකඩක් මුල්කොට මැද පෙරදිග’ පුවත්පත සඳහා විශේෂාංගයක් සම්පාදනය කිරීමට

මට අවශ්‍ය විය.

 

‘‘අහුන්ගල්ල ඛේදවාචකයෙන් මියගිය දරුවන්ගේ ඉරණම කේන්දර වල ලියැවී තිබුණේ කෙසේද?

 

එම විශේෂාංගය සඳහා මා යොදාගත් තේමාව එයයි. ඒ අනුව "මැද පෙරදිග" ඊළඟ කලාපය සඳහා අහුන්ගල්ලේ ඛේදවාචකය සම්බන්ධ වෙනත් විශේෂාංග ලිපි සැපයීම අරමුණු කරගත් මාධ්‍ය සගයන් දෙතුන් දෙනෙකු ද සමග මම අනතුරින් මියගිය දූ දරුවන්ගේ නිවෙස් සොයා ගියෙමි.

 



ඒ 1989 ජනවාරි 22 වන ඉරිදාය.

 

“අනේ අපේ දරුවට නම් එහෙම අපලයක් තිබුණේ නැහැ. සුළු සුළු අපල වගයක් තිබිලා පහුගිය කාලේ ඒවත් නිකම්ම මගඇරිලා ගියා.”

 

අනතුරින් මියගිය එක් දරුවෙකුගේ මවක් එසේ කීවා ය. ඒ අතර තවත්  දරුවකුගේ පියෙකු අප හා කීවේ තමන්ගේ පුතුට රාජ යෝගයක් තිබුණු බවත්  ඒ අනුව ජන නායකයෙකු හෝ ගිහි පඬි රුවනක් හෝ පැවිදි වුවහොත් මහා නායක හිමි නමක වන බව ඔහුගේ ජන්ම පත්‍රයේ සටහන්ව තිබූ බවයි. ඒ අතර තවත් දරුවෙකු ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ලබාදෙන බවට ජන්ම පත්‍රයේ සටහන්ව තිබූබව පවුලේ ඥාතීහු හඬා වැළපෙමින් මා හා කීහ. නමුත් තම දරුවන්ට මාරක අපලයක් තිබූ බව කියා සිටි දෙමාපියන් මට හමුවූයේ ඉතා

කලාතුරකිනි.

 

අනතුරින් මළ දරුවන්ගේ ජන්ම පත්‍ර වල සටහන්ව තිබූ මෙම විෂමතාවයන්’ එවක ජ්‍යොතිෂ්‍යය පිළිබද දැඩි විශ්වාසයකින් සිටි මගේ හිස මතට පතිත වූ දරුණු මෝල්ගස් පහරක් මෙන් විය. එබැවින් මගේ සිත තුළ ගොඩනැගුණු මානසික වියවුල සමනය කරගැනීමට මා ඊට පසුදිනම අනතුරින් මියගිය ඉතිරි දරුවන්ගේද නිවෙස් සොයා ගියෙමි.




අහුන්ගල්ල යනු මෙරට මෑතකාලීන ජ්‍යොතිෂ්‍යය පිළිබඳ තිඹිරි ගෙය බඳු ගම්වරයෙකි. ඒ මෙරට පංචාංග ලිත් කලාවේ පුරෝගාමියා වන දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමිගේ ද ගුරුවරයා අහුන්ගල්ලේ ගුරුතුමා නම් ජ්‍යොතිෂ්‍යය

විශාරදයකු වීම නිසා ය.  ඔහුගෙන් ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරෙන් ජ්‍යොතිෂ්‍යය උගත් ගිහි පැවිදි විශාල පිරිසක් පසුකාලීනව ද අහුන්ගල්ල කේන්ද්‍රගතව ජීවත් වූහ. එනිසාම අනතුරින් මියගිය දරුවන් ගේ මාපිය භාරකාරයින්ට ඒ වනවිට සිටි ජ්‍යොතිෂ්‍ය විශාරදයන්ගෙන් කේන්ද්‍ර පරීක්ෂා කිරීමේ පහසු අවස්ථාවක් උදා වී තිබිණ. එබැවින් එම සංවේගාත්මක, දුෂ්කර චාරිකාව නිමාවේ එක්කරගත් දත්තයන් මෙලෙස ගොනු කර ගැනීමට මට හැකි විය.

 

අනතුරින් මියගිය දරුවන් තිස්අට දෙනා අතුරින් ඔවුන්ගේ දෙමාපිය ප්‍රකාශ ඇසුරින් දෛවය සටහන් කරගත හැකි වූ දරුවන් තිස් හතරකි. සෙසු මාපියෝ විවිධ හේතු දක්වමින් ඒ සම්බන්ධ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළහ.සෙසු දරුවන් අතුරින් සමහරෙකු රාජ යෝග ඇතුළු විශිෂ්ඨ අනාගතයකට හිමිකම් කී අතර අනතුර සිදුවෙද්දී ජන්ම පත්‍රයේ කිසිදු අපලයක් සටහන්ව නොතිබූ දරුවන් සංඛ්‍යාව දහ අටකි.කේන්ද්‍රවල තිබූ සුළු සුළු අපල ගෙවී යාමෙන් පසු අනතුරින් මියගිය දරුවන් සංඛ්‍යාව හයකි. ඒ සමයේ පහසුවෙන් මගහරවා ගත හැකි සුළු අපල තිබූ බව කියූ දරුවන් හතරක් ද අනතුරින් මියගොස් තිබිණි. මාහට නිරීක්ෂණය වූ අන්දමට ජන්ම කේන්ද්‍ර වලට අනුව අනතුර සිදුවූ සමයේ බරපතළ අපල කාලයක් ගෙවමින් සිටි දරුවන් ගණන හතරකි.ඒ අතර එම අනතුරින් මියගිය දරුවන්ගේ ජන්ම පත්‍ර සැලකියයුතු කාලයකින් පරීක්ෂා නොකළ නිසා ඔවුන්ගේ දෛවය පිළිබඳව නිශ්චිතව යමක් කීමට අපහසු බව කියා සිටි මාපිය වැඩිහිටියන් දෙදෙනෙකි.ඉහත සමීක්ෂණය අනුව අහුන්ගල්ලේ දුම්රිය බස්රිය ගැටුමින් ඛේදනීය අකල් මරණවලට ලක්වූ දූ දරුවන්ගේ දෛවය සටහන්ව තිබූ ආකාරය අතිශයින් විපරීත ස්වභාවයක් ගෙන තිබූ බැවින් ඒ ගැන "මැද පෙරදිග’ පාඨකයන්ට ලිවීමට සිතූ ලිපියේ අරමුණ එය නොවන බැවින් එය ලිවීම මම හිතාමතාම මග හැරියෙමි.

 




එම අහුන්ගල්ල දුම්රිය බස්රථ අනතුරට අද වනවිට වසර තිස්දෙකක් ඉක්මගොස් ඇති නිසාත්, මගේ ගවේෂණාත්මක මාධ්‍ය ජීවිතයේ සමාරම්භක ගවේෂණය එය නිසාත්,ජ්‍යොතිෂ්‍යය වැනි ගුප්ත විශ්වාසයන්හි එල්බගෙන හිඳින වර්තමානයේ බොහෝ දෙනෙකුට අලුතින් සිතා බැලිය යුතු යමක් මේ ගවේෂණය තුළ ගැබ්ව ඇති නිසාත් මෙම සංසිද්ධිය ඔබ හමුවට ගෙන ඒමට  මට සිත් විය.එමෙන්ම තම බිඳ වැටුණු මානසිකත්වය රඳවා තබන "අඩ කොටයක්" ලෙස ජ්‍යොතිෂ්‍යය වැනි ගුප්ත විශ්වාස යොදාගන්නවුන් තුළ මින් ඇතිවන කම්පනය ද මා නොදන්නවා නොවේ.ඊට හේතුව මීට දශක තුනක් දක්වාම මාද එවැන්නකුව සිටි බැවිනි.



සම්පත් දායකත්වය - ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ


Friday, May 14, 2021

කොරෝනා වෛරසය චිනයේ ජීව අවියක්ද? - Is Corona Virus a biological weapon of China?



ලොව පුරා මිලියන 3 කට අධික ජනතාවක් මරණයට පත් කරන්නට හේතු වූ කොවිඩ්-19 වෛරසය මුලින්ම ඇති වුණේ කොහේද කියන එක ගැන තවම හරියටම කාටවත් හොයා ගන්න බැරි වෙලා තියෙනවා. මේ ළඟදි චීනයට අයත් රහස් ලියවිල්ලක් පිළිබඳ හෙළිදරව් වුණා. ඒ ලියවිල්ලේ තියෙන විදියට කොවිඩ් රෝගයට හේතුවන සාර්ස් නම් වෛරස් කාණ්ඩය ජීව අවියක් ලෙස භාවිත කරන්නට පුළුවන්ද කියන එක චීන බලධාරීන් 2015 දී සාකච්ඡා පවත්වා තිබෙන බව හෙළිවෙනවා.

 

ප්‍රවෘත්තිවලින් දැනගන්නට ලැබෙන විදියට මේ රහස් ලියවිල්ල ලැබිලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවටයි. මේ වෛරස ඇතිවුණේ කොහොමද කියලා හොයා බලන එක් කණ්ඩායමක් තමයි රාජ්‍ය දෙපාර්තමේන්තුව.

 

මේ ලියවිල්ලේ තියෙන්නේ මොනවද?

 

වාර්තාවලට අනුව චීන හමුදා සහ සෞඛ්‍ය නිලධාරීන් කොරෝනා වෛරසය ආයුධයක් විදියට යොදා ගැනීම පිළිබඳ සාකච්ඡා කරලා තියෙනවා.

 

මේ ලියවිල්ල ප්‍රසිද්ධියට පත් කළ The Weekend Australian කියන පුවත්පත කියන්නේ 3 වැනි ලෝක යුද්ධය සිද්ධ වෙන්නේ ජීව විද්‍යාත්මක ආයුධවලින් කියලයි.




 එම ලියවිල්ලෙන් හෙළිවන්නේ කොරෝනා වෛරසය ජීව විද්‍යාත්මක ආයුධවල නව යුගයක් උදාකරනු ඇති බවයි. මේ ජීව විද්‍යාත්මක අවියෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ සතුරු පාර්ශ්වයේ සෞඛ්‍ය පද්ධතිය බිඳ දැමීමයි.

 

චීන බලධාරීන් පුරසාරම් දොඩන්නේ මෙය සෙමින් මතුවෙන මානව වෛරසයක් ලෙස කෘත්‍රිම ලෙස නිර්මාණය කරන බවයි. මෙය නිර්මාණය කරන්නට පවරා ඇති අය අතර චීනයේ සෞඛ්‍ය අංශයට සම්බන්ධ ප්‍රධාන පෙළේ පුද්ගලයන් පිළිබඳව ද මේ ලියවිල්ලේ සඳහන් වෙනවා.

 

2015 වසරේ දී සම්පාදනය වූ මේ ලියවිල්ල පිළිබඳ ඕස්ටේ්‍රලියානු පුවත්පත් කලාවේදියකු සහ කතුවරයකු වන ෂැරී මාර්ක්සන් විසින් ලියන ලද What Really Happened in Wuhan? (වුහාන් හි සැබවින්ම සිදුවූයේ කුමක්ද?) කෘතියේ ද  සඳහන් වෙනවා.




 

මේ හමු වී ඇති රහස් ලියවිල්ල විශ්ලේෂණය කළ ප්‍රධාන පෙළේ අන්තර්ජාල ආරක්ෂණ විශේෂඥයකු පවසා සිටියේ මෙය ව්‍යාජ එකක් නොවන බවයි. කොවිඩ්-19 වෛරසය ඇති වූයේ කෙසේද යන්න පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් කරන්නට චීනය මෙතරම් අකැමැත්තක් දක්වන්නේ මන්ද යන්න මේ ලියවිල්ලෙන් හෙළිදරව් වන බව විශේෂඥයන් පවසනවා.

 

 

චීන රජය විසින් පවත්වාගෙන යනු ලබන Global Times පුවත්පත, The Weekend Australian පුවත්පතට චෝදනා කරන්නේ ඔවුන් ලොව පුරා අසත්‍ය තොරතුරු  පතුරුවන බවයි. කොවිඩ්-19 වෛරසය මුලින්ම මතුවූයේ 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී චීනයේ වුහාන් නගරයේ දි යි.

 

 

එය පැතිර යාම පටන් ගැනීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම රටවල් කිහිපයක් ද එය ඇති වුයේ කෙසේද යන්න සොයා බලන්නට පටන් ගත්තා. කොරෝනා වෛරසය ඇති වීම පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් කළ යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක් වූ එම රටවල් එක හඬින් කියා සිටියා.

 

වෛසරයට ඇත්තේ ස්වභාවික හේතුවක් බවත්, එය මුලින්ම සොයා ගනු ලැබුවේ වුහාන් හි සත්ව වෙළෙඳපළක දී බවත් යන කාරණය ඔවුන් පිළිගන්නට මැලිකමක් දැක්වූවා.