මේ දවස්වල
බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වෙන මාතෘකාවක් වෙලා තියෙන්නේ ක්‍රිකට්. බස් එකේ, දුම්රියේ කොහේදි වුනත්
කීප දෙනෙක් එකතු වුණු වෙලාවට ක්‍රිකට් කතා නිතර ඇහෙනවා. මේ හැම කතාවක්ම වගේ ක්‍රිකට් ගැන එදිනෙදා ප්‍රවෘත්තිවලින්
ඇසෙන දකින දේවල්. කොහොම වුනත් අපට වැඩිය අසන්නට නොලැබෙන අමුතු අමුතු කතා ක්‍රිකට්
ක්‍රීඩාව තුළින් ඇසෙනවා. බොහෝ දෙනෙක් මේවා දැනගන්නට කැමැත්තෙන් හිටියත් මේවා වැඩිය
දැනගන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අද ඒ වගේ කතා ටිකක් ගැන ‛කතා’ කරන එක වඩා හොඳයි කියලා හිතුවා.
1. ස්ථාන 10ටම වැටුණු ක්‍රීඩකයෝ
ක්‍රිකට් ක්‍රීඩාවේ
දි පන්දුවට පහර දෙන්න ක්‍රීඩකයන් පෙළගස්වන අනුපිළිවෙළක් තියෙනවා. හොඳින්, වේගයෙන් ලකුණු රැස් කළ
හැකි අය පිතිකරු ලැයිස්තුවේ මුළින්මත්, පන්දු යැවීමට පමණක් දක්ෂයන් පිතිකරු ලැයිස්තුවේ අවසාන
භාගයටත් දමනවා. සාමාන්‍යයෙන් පිති හරඹයට දක්ෂ ක්‍රීඩකයන් බොහෝ විට පිතිකරු
ලැයිස්තුවේ පසුපසට යන්නේ නැහැ. නමුත් ආරම්භක පිතිකරුවාගේ සිට අවසන් පිතිකරුවා කියන
ස්ථාන සියල්ලේම ක්‍රීඩා කළ ක්‍රීඩකයන් ද සිටිනවා. දැනට එසේ සිටියා යැයි පැවසෙන ක්‍රිඩකයන්
4 දෙනෙක්
හඳුනාගෙන තිබෙනවා. ඔවුන් වන්නේ දකුණු අප්‍රිකාවේ ලාන්ස් ක්ලූස්නර්, පාකිස්ථානයේ අබ්දුර්
රසාක් සහ ෂොයිබ් මලික්, ශ්‍රී ලංකාවේ
හෂාන් තිලකරත්නයි.
2. එකම දිනයේ
ඉනිම් හතරක්
ටෙස්ට් තරගයක්
කියන්නේ වේගයෙන් ලකුණු රැස් කරනවාට වඩා තරමක් ඉවසිල්ලෙන් ලකුණු රැස්කරන අවස්ථාවක්.
සියලුම ක්‍රීඩකයන් ඉතා ඉවසීමෙන් ක්‍රීඩා කරන ආකාරය තමයි මේ වගේ තරගයකින් වඩාත්ම
දිස්වන්නේ. අනෙක එක් දිනයකින් ටෙස්ට් තරගයක් අවසන් වන්නේ ද නැහැ. නමුත් එසේ එක්
දිනයකින් ඉනිම් හතරම අවසන් වුණු තරග ද ක්‍රිකට් ඉතිහාසයෙන් හමු වෙනවා. ඇත්තටම
එවැනි අවස්ථා දෙකක් හමු වෙනවා. ඉන් පළමු වැන්න පැවැත්වුණේ 2000 වසරේ දී ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ
දී. එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැති ටෙස්ට් තරගයේ දී ඉනිම් හතරම
එකම දිනයේ දීම අවසන් වුණා. ඉන් පසු 2011 දී ද මෙවැන්නක්ම සිද්ධ වුණා. ඒ කේප් ටවුන් හි දි
පැවැත්වුණු දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුණු ටෙස්ට් තරගයේ දී.
3. උපන් දිනයත්
ලකුණුත් එක සමාන වීම
ලෝකයේ අහඹු
අරුම පුදුම සිදුවීම් ගැන ඕනෑ තරම් අසන්නට දකින්නට පුළුවන්. නමුත් මේවා සිදුවන්නේ
කොහොමද කියන එක ගැන තවමත් නිවැරදි විග්‍රහයක් නැහැ. මේ කියන්න යන්නෙත් එහෙම
කතාවක්. ඇලෙක් ස්ටුවර්ට් කියන්නේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කළ විකට්
රකින්නෙක් සහ පිතිකරුවෙක්. ඔහු උපන්නේ 1963 අප්‍රේල් 8 වැනිදා. සිංහලෙන් දින ලියන කොට අපි ඒ
විදියට ලිව්වත් ඉංග්‍රීසියෙන් දින ලියන්නේ 8 අප්‍රේල් (8 අප්‍රේල් 63), 1963 කියලා. ඒ විදියට ලියන
දිනය සාමාන්‍ය සංඛ්‍යාවක් විදියට ලිව්වොත් අපට ලැබෙන්නේ 8463. ඇලෙක් ස්ටුවර්ට්
තමන්ගේ ක්‍රිකට් ක්‍රීඩා තරග සියල්ලේ දී ම තරග 133 කට සහභාගී වෙමින්, 39.54 ක සාමාන්‍යයක් රඳවා
ගනිමින්, ශතක 15ක් සහ අර්ධ ශතක 45ක් ලබාගනිමින් රැස්
කරගන්නා ද මුළු ලකුණු ප්‍රමාණය වන්නේ ද 8,463 යි. පුදුමයි ද නැද්ද?
4. මිනීමැරුමක්
වෙනුවෙන් එල්ලා මරණ ලද ක්‍රිකට් ක්‍රීඩකයා
අපරාධ,
වංචා දූෂණවලට ලක්වුණු
ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන ලොව පුරාම අසන්නට ලැබෙනවා. නමුත් මිනීමරුමක් නිසා මරණ
දඬුවමකට ලක්වුණූ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගැන අසන්නට ලැබෙන්නේ ක්‍රිකට් ඉතිහාසයේ එකම
එක අවස්ථාවකදී පමණයි. ඒ බටහිර ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටි ලෙස්ලි හිල්ටන්. ඔහු ටෙස්ට් තරග 6 කදී විකට් 16කට හිමි කම් කියා
තිබෙනවා. නමුත් සිය බිරිඳ මරා දැමීමේ චෝදනාවට ලක් වුණු නිසා ඔහු 1955 මැයි 17 වැනිදා ජැමෙයිකාවේ දී
එල්ලා මරා දමනු ලැබුවා.
5. උපන් දිනයේ දී
ත්‍රිත්ව විකට්
ත්‍රිත්ව
විකට් කියලා කිව්වට වඩාත්ම වටින්නේ එක පිට එක විකට් තුනක් දවා ගන්නා ‛හැට් - ට්‍රික්’
අවස්ථාවයි. හැට්-ට්‍රික්
ලබාගත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නම් ලැයිස්තුවක් තිබුණත් තමන්ගේ උපන් දිනයේ දී එවැනි
හපන්කමක් කළ අය ගැන ලැයිස්තු ලියන්න බැහැ. හේතුව ක්‍රිකට් ඉතිහාසයෙන්ම එවැනි අය
හමුවෙන්නේ එකම එක අවස්ථාවකදී පමණක් වීමයි. ඔහු තමයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට්
කණ්ඩායමේ පීටර් සිඩ්ල්. ඔහුගේ උපන් දිනය වැටී තිබෙන්නේ නොවැම්බර් 25 වැනිදාවකයි. 2010 නොවැම්බර් 25 වැනිදා එංගලන්තයට
එරෙහිව බ්‍රිස්බේන් හි පැවැත් වූ ටෙස්ට් තරගයේ දී ඔහු ‛හැට්-ට්‍රික්’ එකක් ලබා ගත්තා.
6. පළමු
පන්දුවෙන්ම හයේ පහරක්
පළමු
පන්දුවෙන්ම හයේ පහරක් ගහන්න ලැබෙනවා කියන්නේ හොඳ ආරම්භයක්. නමුත් ටෙස්ට් තරගයකදී
පළමු පන්දුවෙන්ම එවැනි හපන්කමක් කරන්න ලැබෙනවා කියන්නේ හිතන තරම් පහසු දෙයක්
නෙවෙයි. නමුත් ක්‍රිකට් ඉතිහාසයේ එවැනි එක් අවස්ථාවක් හමුවෙනවා. මේ හපන්කම කළේ
බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිස් ගේල්. ඔහු 2012 වසරේ බංග්ලාදේශයේ මනිපූර් හි බංග්ලාදේශයට
එරෙහිව පවත්වන ලද ටෙස්ට් තරගයේ දී මේ හපන්කම කළා. ඔහුට පන්දුව එවනු ලැබුවේ එවකට
නවක බංග්ලාදේශ ක්‍රීඩක සොහාග් ගාසි විසින්.
7. මහේලගෙන්
පමණයි
ලෝක කුසලාන
අර්ධ අවසාන සහ අවසාන තරගයක දී ශතකයක් රැස්කරගන්නට හැකියාව ලැබුණු එකම ක්‍රිකට් ක්‍රීඩකයා
වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කළ මහේල ජයවර්ධන පමණයි. ඔහු 2007 ලෝක කුසලාන තරගයේ දී
නවසීලන්තයට එරෙහිව පන්දු 109 කදී ලකුණු 115ක් රැස් කළා. ඉන් පසු 2011 වසරේ ලෝක කුසලාන
තරගයේ දී ඉන්දියාවට එරෙහිව පන්දු 88 ක දී ලකුණු 103ක් රැස් කළා. ආඩම්බර ද නැද්ද?
8. දිනය, වෙලාව සහ ලකුණු එකම
ඉලක්කමක් වීම
මේකත් ක්‍රිකට්
ක්‍රීඩා ඉතිහාසයෙන් හමුවන අරුම පුදුම සිදුවීමක්. සිද්ධිය වුණේ 2011 නොවැම්බර් 11 වැනිදා දකුණු අප්‍රිකාවේ
කේප් ටවුන් හි පැවැත් වූ දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති පළමු ටෙස්ට්
තරගයේ දියි. එදින පෙරවරු 11.11 වෙද්දී දකුණු අප්‍රිකානු
පිලට තරගය ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 111ක් අවශ්‍යව තිබුණා. එදා දිනයත් සමග මේ
සියල්ල එකට ලිව්වොත් මෙහෙමයි. (20)11 - 11- 11, පෙරවරු 11.11, අවශ්‍ය ලකුණු 111. පුදුමයි නේද?
9. ෂේන් වෝන්ට
වඩා විකට් දවා ගත් ජයසූරිය
ශ්‍රී ලංකා ක්‍රිකට්
කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩක සනත් ජයසූරිය
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ෂේන් වෝන්ට වඩා එක් දින තරග විකට් ලබාගෙන
තිබෙනවා කියා කීවොත් බොහෝ දෙනෙක් එකවර පිළිගන්නට මැලි වෙනවා. නමුත් ඒක තමයි ඇත්ත.
සනත් එක් දින තරග 445 ක දී විකට් 323ක් ලබා ගෙන ඇති අතර
ෂේන් වෝන් ලබා ගෙන ඇත්තේ එක්දින තරග 194 ක දී විකට් 293ක් පමණයි.
10. නොදැවී සිටීමේ
වාසනාව
ක්‍රිකට්
තරගයක් අවසන් වෙද්දි දැවී නොගිය පිතිකරුවෙක් ලෙස ලකුණු පුවරුවේ නම සඳහන් වීම
එක්තරා ආකාරයක ගෞරවයක් විදියට හඳුන්වන්නට පුළුවන්. මෙය ගෞරවයක් නම්, ඒ ගෞරවය වැඩිම වාර
ගණනක් ලබන්නට වාසනාව හිමි වෙලා තියෙන්නේ බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන්
ක්‍රීඩා කළ වේග පන්දු යවන්නකු වූ කර්ට්නි වොල්ෂ්. ඔහු ටෙස්ට් තරග 132ක් සඳහා ක්‍රීඩා කොට
තිබෙනවා. ඉනිම 185 කදී ඔහු රැස්
කොට ඇති ලකුණු ප්‍රමාණය 936ක් වුනත්,
61ක් වතාවක් දැවී නොගිය
පිතිකරුවෙක් ලෙස ලකුණු පුවරුවේ නම සඳහන් වුණා. ඔහු නොදැවී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව
වන්නේ 1988 දෙසැම්බර් 24 වැනිදා ඕස්ට්‍රේලියාවේ
මෙල්බෝන් ක්‍රීඩාංගනයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත් වූ ක්‍රිකට් තරගයේ දී ලබා ගත්
ලකුණු 30 යි.