පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, July 31, 2014

ගුවන් අනතුරින් මිය ගිය නිළිය ශ්‍රී ලාංකිකමද? - Is Shuba Jay Really a Sri Lankan?



පසුගිය ජූලි මාසයේ 17 වැනිදා යුක්රේනයට ඉහළ අහසේදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව විනාශයට පත් මැලේසියානු මගී ගුවන් යානය පිළිබඳ මතකය තවමත් අපේ මතකයෙන් බැහැරට ගොස් නැහැ. දිගින් දිගටම සිදු වූ ගුවන් අනතුරු නිසා ලෝකයේ බොහෝ දෙනෙක් තවමත් මේ පිළිබඳව කතා කරනවා. ශ්‍රී ලංකාවට අයත් කිසිදු මගියෙක් එහි ගමන් නොකළ බැව් මේ අනතුර සිදුවූ වහාම ප්‍රවෘත්තිවලින් කියැවුණා. නමුත් අනතුරු සිදුවී දින කිහිපයකින් අප රටේ සිංහල හා ඉංග්‍රීසි ප්‍රවෘත්ති වෙබ් අඩවිවල පළවූයේ මැලේසියාවේ ජීවත්වන ශ්‍රී ලාංකික නිළියක් ද මෙම අනතුරින් මිය ගොස් ඇති බවයි. මේ ප්‍රවෘත්තිය අප රටට වැදගත් වන බැවින් අප ද ඒ පිළිබඳ මදක් විපරම් කර බැලීමට තීරණය කළා.

ප්‍රවෘත්ති වෙබ් අඩවිවලට අනුව ඇගේ නම් සුභාෂිණී ජෙයරත්නම්වූ අතර ඇය මැලේසියාවේ හා සිය රසිකයන් අතර ජනප්‍රියත්වයට පත්ව සිටියේ ෂුබා ජේසහ ෂුබා ජයානමින්. 1976 ජූලි 15 වැනිදා උපත ලබා ඇති ඇය මැලේසියාවේ රූපවාහිනි, ටෙලි නාට්‍ය හා විවිධ වැඩසටහන් තුළින් ප්‍රේක්ෂක ජනාදරයට පත් කාන්තාවක්.

සුප්‍රකට මැලේසියානු පුවත්පතක් වන New Straits Times හි පිටපත් රචිකාවක් ලෙස සේවය කළ ඇය පසුව පුවත්පත් දැන්වීම් ක්ෂේත්‍රයට පිවිසුණා. ඇය මෙහිදී මැලේසියාව පිළිබඳ විවිධ තේමාවන් යටතේ කෙටි චිත්‍රපට නිෂ්පාදනය කළා. පසුව ඇය සහ ඇගේ පියා එහි එක් රූපවාහිනි නාලිකාවක වූ රියැලිටි වැඩසටහන්වලට සහභාගී වන්නට පටන් ගත්තා. මෙ විදිහට තමයි ඇය රංගනයට සම්බන්ධ වුණේ. Spanar Jaya, Gadis 3 සහ Sugumana Sumaigal වැනි රූපවාහිනි වැඩසටහන්වලින් ඇය මැලේසියාවේ සැළකිය යුතු මට්ටමේ ජනප්‍රසාදයක් හිමිකරගන්නට සමත් වුණා. එමෙන්ම Relationship Status (2012) and Tokak (2013) වැනි චිත්‍රපටවලින් ද, Fourplay, Charley's Auntie සහ Hungry for Hope වැනි වේදිකා නාට්‍යවලින් ද ඇය සිය රංගන දක්ෂතාවයන් පෙන්නුම් කළා.  බොහෝ නිළියන් සිය දරුවාට මව්කිරි ලබාදීම පිළිබඳ වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් ඇය සිය දරුවා උපන් අවස්ථාවේ මව්කිරි දීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. ෂුබා කියන්නේ මැලේසියාවේ ප්‍රකට කාන්තාවන් 40 දෙනා අතර ඉන්න තැනැත්තියක් බවත් සඳහන් කළ යුතුයි.

ඇය නිවාඩුවක් ගත කිරීම සඳහා වියට්නාමයට ගොස් සිටි අතරතුරේ පෝල් ගොයස් නම් නෙදර්ලන්ත ජාතිකයා හමු වෙනවා. මේ හමුවීම මිතුදමක් වී අවසානයේ විවාහයකින් කෙළවර වෙනවා. වෛද්‍ය උපදෙස්වලින් තොරව දරුවන් ඉපදීම කියන ක්‍රමයට’ කැමැත්තක් දැක් වූ ඇය, සිය දරුවා බිහිකරන්නේද ඒ විදිහයටයි. ඒ දරුවා තමයි කයෙලා’.


කයෙලා සිය දෙමාපියන්ට පෙන්වන්නට ඕනෑ බව ගොයෙස් පවසන නිසා ඔවුන් තිදෙනාම නෙදර්ලන්තය බලා පියාසර කරනවා. ඔවුන් එහි ගොස් යළි සිය රට බලා පැමිණෙන්නට ගොඩවන්නේ මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 17 යානයටයි. 2014 ජූලි 17 වැනිදා යුක්රේනයට ඉහළ අහසේ දී මෙය ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වෙනවා. සුභාෂිණී, ඇගේ සැමියා ගොයෙස්, කයෙලා ඇතුළුව මේ යානයේ ගමන් කළ සියලු දෙනාම මෙම අනතුරින් මිය යනවා.

මෙය සිදුවී දින කිහිපයකින් ශ්‍රී ලාංකික නිළියක් ද මේ අනතුරින් මිය ගිය බවට ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති වෙබ් අඩවිවල පළවුණා. එබැවින් ඇය පිළිබඳ වැඩිදුර සොයා බලන්නට අන්තර්ජාලයට පිවිසුණු විට මුළින්ම හමුවන විශ්වසනීය අඩවිය වුණේ ඇගේ නමින් පවතින http://www.shubajay.com/ වෙබ් අඩවියයි. එහි ඇයගේ උපන් ස්ථානය පිළිබද කිසිවක් සදහන් වන්නේ නැහැ. ඊළගට අවධානය යොමුකළ අනෙක් විශ්වසනීයතම වෙබ් අඩවිය වූයේ විකිපීඩියාවයි. එහි http://en.wikipedia.org/wiki/Shuba_Jay යන යොමුව ඔස්සේ ඇය පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා. ඔබ මෙහි දුටුවේ එයින් ලබාගත් තොරතුරුයි. අවාසනාවට විකිපීඩියා පිටුවේ  ඇය උපන් රට සඳහන් කොට නැහැ. මේ නිසා වෙනත් යොමු ඔස්සේ සෙවීම් කළත් ඇය උපන්නේ ශ්‍රී ලංකාවේ බවක් සොයා ගන්නට ලැබුණේ නැහැ. ශ්‍රී ලාංකික ප්‍රවෘත්ති වෙබ් අඩවිවල මෙන්ම පුවත්පත්වලට අයත් වෙබ් අඩවිවලද ඇය ශ්‍රී ලංකාවේ සිට මැලේසියාවට සංක්‍රමණය වූ කාන්තාවක් බව සඳහන් වුණා. නමුත් කිසිදු නිල හෝ නිල නොවන විදේශී ප්‍රවෘත්ති වෙබ් අඩවිවල ඇය ශ්‍රී ලාංකික බැව් සඳහන් වන්නේ නැහැ. එම ප්‍රවෘත්ති එකක හෝ ශ්‍රී ලංකායන වදන හෝ සඳහන් වන්නේ  නැහැ.



මැලේසියාවේ ජ්‍යෝතිෂ්‍ය සම්බන්ධ http://www.astro.com නම් වෙබ් අඩවියේ දත්ත බැංකුවේ ෂුබා පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා. http://www.astro.com/astro-databank/Jay,_Shuba නම් යොමුවෙන් එය වෙත පිවිසෙන්නට පුලුවන්. එයට පිවිසුණු විට පෙනෙන්නට තිබෙන්නේ ඇය මැලේසියාවේ ක්වාලාලම්පූර්වල ඉපදී ඇති බවයි. මෙම වෙබ් අඩවිය හැරුණු විට ඇය උපන් ස්ථානයක් දක්වන එක් වෙබ් අඩවියක් හෝ මෙම සෙවීම්වලට හසු වූයේ නැහැ. ඇය ශ්‍රී ලාංකික ජන්මයක් සහිත තැනැත්තියක් නම් එවැනි වෙබ් අඩවියක් මෙම සෙවීම්වලදී හමු නොවී තිබිය නොහැකියි. මෙම ප්‍රවෘත්තිය සෙවූ ආකාරයේ වරදක් නිසා ඇය ශ්‍රී ලාංකික යන තොරතුර අපට නොලැබී ගියා ද, එසේත් නැත්නම් සැබවින්ම ඇය ශ්‍රී ලාංකික තැනැත්තියක් යැයි කිසිදු වෙබ් අඩවියට සඳහන් වී නැති ද යන කාරණය සළකා බලන්නට සිදුවෙනවා. අපගේ සෙවීම්වල අඩුපාඩුවක් නොමැති නම්, ඇය ශ්‍රී ලාංකික නිළියක් හෝ ශ්‍රී ලංකාවට කුමනාකාරයක හෝ සම්බන්ධයක් ඇති තැනැත්තියක බව ප්‍රවෘත්ති අඩවිවල සඳහන් වූයේ කෙසේදැයි යන ගැටලුව අප ඉදිරියේ ඉතිරිවෙනවා. 

Wednesday, July 30, 2014

ෆුල් හවුස් නාට්‍යයේ හැන් ජියෙන් - Han Ji-eun of Full House Korean Drama



ෆුල් හවුස්කිව්ව සැනින් ඔබට මතක් වෙන්නේ වෙන මොනම දෙයක්වත් නෙවෙයි මේ දවස්වල ඉතාමත් ජනප්‍රිය, සිංහල හඬ කවපු කොරියානු ටෙලි නාට්‍යයක්. සෙනසුරාදා සහ ඉරිදා දිනවල සවස 6.00 සිට 7.00 දක්වා පුරා පැයක කාලයක් මෙය ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශනය වෙනවා. දැනට වසර කිහිපයතට පෙර මෙම නාට්‍යය සිංහල උප සිරැසි සහිතව ස්වාධීන රූපවාහිනියේම විකාශනය වුණා. ඒ වන විට අපේ රටේ කොරියානු ටෙලිනාට්‍ය අද තරම් ජනප්‍රිය නැහැ. නමුත් මෙය ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනාදරයට පත් වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මෙය නැවත සිංහල දෙබස් සහිතව විකාශනය වීම ආරම්භ වී තිබෙන්නේ.



කොරියානු බසින් හැංගුල්නමින් හඳුන්වන මෙය 2004 වසරේ ජූලි 14 වැනිදා සිට එම වසරේම සැප්තැම්බර් 4 වැනිදා දක්වා කොටස් 16කින් යුක්තව කේ.බී.එස්2 කියන නාලිකාව ඔස්සේ විකාශනය වුණා.  ආදරය සහ විනෝදය පිරුණු ෆුල් හවුස්කියන්නේ වොන් සූ-යොංවිසින් මේ නමින්ම ලියන ලද නවකතාවක්. එම නව කතාව ඇසුරින් රූපවාහිනියට ලිව්වේ මිං හ්‍යෝ-ජුන්ග්’. අධ්‍යක්ෂණය කළේ ප්යෝ මින්-සූ’.

ලී බ්‍යුන්ග් හුන් සමග

මේ කතාව ගැන කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. හැන් ජි-යෙන්කියන්නේ ආධුනික ලේඛිකාවක්. ඇය ජීවත්වෙන්නේ ඇගේ පියා ගොඩනගපු ෆුල් හවුස්කියන නිවසේ. හැන් ජි-යෙන් එයාගේ යාලුවෝ දෙන්නෙක් නිසා ලොකු කරදරයක පැටළිලා අන්තිමේ ගෙයත් අහිමි කරගන්නවා. එයාට අහිමි වන නිසව මිලදී ගන්නේ ම් කතාවේ හැටියට කොරියාවේ ඉතා ජනප්‍රිය නළුවකු වන ලී යංග්-ජේ’. කොහොම වුණත් තමන්ගේ පියා හදපු නිවස නිකම්ම අතහැරලා දාන්න හැන් ජි-යෙන්කැමති වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම කතාවක් තමයි තියෙන්නේ. දැන් කතාවේ සෑහෙන කොටස් ප්‍රමාණයක් විකාශනය වෙලා නිසා ඒ ගැන විස්තර කියන්න ඕන නැහැ කියලයි හිතෙන්නේ.

කලින් කිව්වා වගේ මේ නාට්‍යය සිනහව, විනෝදය සහ ආදරය පිරුණු එකක්. මේ සඳහා මෙහි ප්‍රධාන චරිත දෙක සෑහෙන දායකත්වයක් දෙනවා. ඒ කියන්නේ හැන් ජියෙන්සහ ලී යංග්-ජේ’. කොහොම වුණත් මෙහි හැන් ජි-යෙන්කියන්නේ අසරණ චරිතයක්. ඒ නිසා ප්‍රෙක්ෂකයන්ගේ වැඩි දෙනෙක් අතර ඇයට ලැබී ඇති අවධානය වැඩියි. ඒ නිසා හැන් ජි-යෙන් ගැන කතා ටිකක් කතා කළොත් හොඳයි කියලා හිතුවා.

හ්‍යුන් බින් සමග

හැන් ජි-යෙන් ගැන කතා කරනවා කිව්වට ඇත්තටම අපි කතා කරන්නේ ඇගේ චරිතය නිරූපණය කරන සොං හ්යේ ක්යෝගැනයි. 1981 නොවැම්බර් 22 වැනිදා උපන් සොං ඕටම් මයි හාර්ට්’, ‛ඕල් ඉන්’, ‛ෆුල් හවුස්සහ දැට් වින්ටර්, ද වින්ඩ් බ්ලෝස්කියන නාට්‍ය හරහා කොරියාවේ අතිශය ජනප්‍රිය නිළියක් බවට පත් වුණා.

සොං ඉපදෙන වෙලාවේ කොයි තරම් දුර්වල තත්වයක් හිටිය ද කිව්වොත් ඇගේ අම්මයි තාත්තයි විශ්වාස කළේ නැහැ ඇය ජීවත් වෙයි කියලා. ඒ නිසා ඔවුන් ඇයගේ උප්පැන්නය ලියාපදිංචි කරන්නවත් උනන්දු වෙලා නැහැ. නමුත් ඇය ටිකෙන් ටික සුව අතට හැරෙමින් සිටින බව දැනුණු නිසා අම්මයි තාත්තයි ඇගේ උප්පැන්නය ලියාපදිංචි කළා. නමුත් එහි තියෙන්නේ ඇගේ ඇත්ත උපන් දිනය නෙවෙයි. ඇගේ උපන් දිනය විදියට උප්පැන්න සහතිකයේ තියෙන්නේ 1982 පෙබරවාරි 26.

සොං පුංචි කාලේම ඇගේ අම්මයි තාත්තයි වෙන්වුණා. ඇයව හදා වඩා ගත්තේ අම්මා. ඊට පස්සේ ඔවුන් පදිංචි වෙලා හිටිය ඩැගුටෝ වල ඉඳන් සෝල්වල තියෙන ගැංග්නම් දිස්ත්‍රික්කයට ගියා. පුංචි කාලේ ඉඳන්ම දුක් කරදර විඳිමින් ඇයව හදාවඩා ගත්ත අම්මට ඇය දක්වන්නේ ලොකු ආදරයක් කියලා ආරංචියි.

1996 වසරෙදි, ඒ කියන්නේ සොං ට අවුරුදු 14 දි ඇය මෝස්තර නිරූපණ තරගයකින් ජයග්‍රහණය කළා. මෙහි ප්‍රතිඵලයක් විදියට තමයි ඇයට ෆර්ස්ට් ලව්කියන ටෙලි නාට්‍යයේ සුළු චරිතයක් කරන්න අවස්ථාව ලැබුණේ. ඉන්පසු ඇය දිගින් දිගටම විවිධ ටෙලි නාට්‍යවල රඟපෑවා. මේ විදිහට 2000 වසරේදී ඕටම් ඉන් මයි හාර්ට්නාට්‍යයේ රඟපෑවට පස්සේ ඇය කොරියාවේ විතරක් නෙවෙයි මුළු ආසියාවේම ජනප්‍රිය නිළියක් බවට පත් වුණා. ඉන්පස්සේ ඕල් ඉන්නාට්‍යයේ රඟපාමින් ෆුල් හවුස්දක්වා පැමිණෙන විට ඇය ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නැග අවසන්. පසුව ඇය සිය මුල්ම චිත්‍රපටය වූ මයි ගර්ල් ඇන්ඩ් අයිහි රඟපෑවා. නමුත් එයට ඇයට එතරම් හොඳ ප්‍රතිචාර ලැබුණේ නැහැ. ඇගේ රඟපෑම එතරම් සාර්ථක නැති බවට විචාරක ප්‍රතිචාරයන් ද ලැබුණා. ඒ නිසා කලකිරුණු ඇය රංගනයෙන් ඈත් වෙලා සැන් ෆැන්සිස්කෝවලට ගිහින් ඉංග්‍රීසි ඉගෙනගත්තා. ඇය මේ විදිහට අවුරුදු 2ක් හිටියා.

මට ඒක හොඳ විවේකයක්. මම මා ගැනම හිතා බලන්න ඒ කාලය යොදාගත්තා ඇය ඒ කාලය ගැන එසේ පවසනවා.

පුංචි සන්දියේ . . .


2007 වසරේදී ඇය නැවත කොරියාවට පැමිණෙනවා. නැවුම් ආකාරයකින් සිය රංගනය ආරම්භ කරන ඇය යළිත් සාර්ථක ගමනක් යන්න පටන් ගන්නවා. ඇය කොරියානු චිත්‍රපට පමණක් නොව චීන, හොලිවුඩ් වැනි චිත්‍රපට සඳහා ද තෝරාගනු ලබනවා. 2011 වසරේදී ඇය එෆිජිනම් සුප්‍රකට ප්‍රංශ සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කරනවා. එම සමාගම සමඟ ගිවිසුමකට එළැඹි මුල්ම ආසියානු නිළිය ඇයයි.

සොං මේ වන විට ටෙලිනාට්‍ය 14ක පමණද, චිත්‍රපට 7ක පමණ ද රඟපා තිබෙනවා. සම්මාන 19ක් පමණ දිනාගෙන ද තිබෙනවා.

සොං කියන්නේ කොහොමත් මිටි නිළියක්. ඇය මුල්ම ටෙලි නාට්‍යයේ රඟපානකොට මේ මිටි බව ගැන ඇය බොහෝ කණගාටු වුණා. ඒ නිසා ඇය උස් අඩි පාවහන් පළඳින්නත් පටන් ගත්තා. ඒත් ඇය දැන් ඒ ගැන වැඩිය නොසිතන බව තමයි පැවසන්නේ. ගෙවී ගිය කාලය ඇතුළත ඇය සෙ.මී. 161 සිට සෙ.මී. 161.4ක් දක්වා උස් ගිහින් කියා ඇයම පවසනවා.

අපි සොං ගේ වෘත්තීය ජීවිතය ගැන කතා කළා. දැන් පෞද්ගලික ජීවිතේ ගැනත් ටිකක් කතා කරමු. 2003 වසරේදි ඇය ලී බ්‍යුන්ග්-හුන් කියන නළුවත් එක්ක ආදර සම්බන්ධයක් පටන් ගත්තා. ඒ ඕල් ඉන්චිත්‍රපටය රූපගත කරන අතරවාරයේ. නමුත් මෙය 2004 දි බිඳ වැටුණා. ඔවුන්ගේ ආදර සම්බන්ධතාවයට වඩා කොරියාවේ ප්‍රසිද්ධ වුණේ එය බිඳ වැටීම ගැන ප්‍රවෘත්තියටයි. ඒ වගේම බොහෝ කටකතා ද පැතිරයන්නට පටන් ගත්තා.

මේ සිදුවීමෙන් පසුසේ මම ඉගෙන ගත්තා සමාජ ජීවිතය සහ පෞද්ගලික ජීවිතය වෙන්වන සීමාවක් තබාගත යුතුයි කියලා.

සොං එසේ පවසනවා. වර්ල්ඩ්ස් විතින්චිත්‍රපටය රූපගත කරන කාලයේ දි ඇය සමඟ රඟපෑ හ්‍යුන් බින් සමඟ ආදර සම්බන්ධයක් පටන් ගත්තා. ඒ 2009 දි. නමුත් කලින් වතාවේ වගේ ඇය ඔහුත් එක්ක ප්‍රසිද්ධියේ ගැවසීමෙන් වැළකී සිටින්න වගබලාගත්තා. නමුත් 2011 වසරෙදි ඇයගේ මේ ආදර සම්බන්ධතාවයටත් කණකොකා හැඬුවා. ආදර සම්බන්ධතා දෙකක්ම බිඳවැටීමෙන් පසු ඒවා ගැන ඇයට මොන වගේ දැනෙන්වද කියලා එක් මාධ්‍යවේදියෙක් දිනක් ඇසුවා.

ඇය මේ විදිහට උත්තර දුන්නා.

මේක මට විතරක් සිදුවුණු දෙයක් නොවෙයි. ඉතිං මම විතරක් මේ ගැන විශේෂයෙන් අදහස් දක්වන්න ඕන නැහැ කියලයි මම හිතන්නේ. නමුත් එකක් කියන්න ඕන. මේ ආදර සම්බන්ධතා දෙකේ බිඳවැටීම මට සෑහෙන්න නරක විදිහට බලපෑවා. මට දැන් අවුරුදු 30කටත් වැඩියි. මේ වගේ වයසක කෙනෙක් ආදර සම්බන්ධතා දෙකක් පැවැත්වුවා කියන එකේ විශේෂත්වය මොකක්ද? ඒක ඇයි මේ තරම් ඕපදූපවලට කාරණයක් වෙන්නේ? ඇයි මේවාට මාව විතරක්ම අල්ල ගන්නේ? දැන් ඔක්කොම වෙලා ඉවරයි. කාලය ගතවෙලා ගිහින්. මට දැන් කියන්න තියෙන්නේ මේ කරන රැකියාවෙන් මම ගොඩක් සතුටු වෙනවා. මට ඉදිරියට කරන්න තව ගොඩක් වැඩ තියෙනවා.

Tuesday, July 29, 2014

ලිංගිකව දුබල නම් යුගදිවියත් කොට උඩලු - Negative Sex Feelings and Marriage


ලෝක සෞඛ්‍ය සංවිධානය විවිධ රටවල කාන්තාවන් අළලා කළ පර්යේෂණ කිහිපයකින්ම හෙළි වී තිබෙන එක් සුවිශේෂී දෙයක් මෑතකදී වෙබ් අඩවි කිහිපයකම පළවී තිබිණි. එයින් කියැවුණේ යුග දිවියේ ගැටළු ඇතිවීමට කාන්තාවන් තුළ ඇතිවන යම් යම් ලිංගික දුබලතාවයන්ගේ සෘජු බලපෑමක් ඇතිබවය. නමුත් කාන්තාවන් මේ පිළිබඳව සඟවාගෙන සිටීම නිසාම ලිංගිකත්වය කෙරෙහි ඇති ඇල්ම අඩුවී යන බවත් එහි සඳහන්ව තිබිණි. බොහෝ කාන්තාවන් ජීවිතයේ විවිධ වයස් කාණ්ඩවලදී ලිංගික අබලදුබලතාවයන්ට ලක්වීම සාමාන්‍යයෙන් දක්නට ලැබේ. මෙවැනි බොහෝ ඒවා වළක්වා ගැනීමට නම් ඒවා පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමු කළ යුතුය. 

ඇමරිකා එක්සත් ජනපදයේ ලිංගික උපදේශ සංගමයට අනුව කාන්තාවන්ට වැළඳෙන ලිංගික අබලදුබලාතාවයන්ගෙන් සියයට පනහක්ම වයස්ගතවන විට ඇතිවන සාමාන්‍ය තත්වයන්ය. 

මෙම අබලදුබලතාවයන් යනුවෙන් හැඳින්වෙන්නේ   ලිංගික කටයුතු කෙරෙහි ඇති කැමැත්ත අඩුවීම, ලිංගික ප්‍රබෝධනය අඩුවීම, සුරතාන්තය හා ලිංගික කාර්යයේදී වේදනාව ඇතිවීම ආදියයි. ලිංගික අබලදුබලතාවයන් පිටුපස ඇති හේතු කාරණාවන් ශාරීරික මෙන්ම මානසික් ඒවාද විය හැකිය. මේවාට කාන්තාව පමණක් නොව ඇතැම්විට පුරුෂයාද වගකිව යුතු බව පෙනේ. 

ලිංගික කටයුතු කෙරෙහි කැමැත්ත අඩුවීම 

ලිංගිකත්වය කෙරෙහි ඇති අශාව අඩුවීම ගර්භනී අවධිය, මානසික ආතතිය වැනි  ජීවිතයේ විවිධ අවස්ථාවලදී, කාන්තාවන් තුළ ඇතිවනු දක්නට ලැබේ. 

එමෙන්ම මේ ශාරීරික හා මානසික තත්වයන්ද මෙයට හේතු වේ. එනම් දියවැඩියාව, මානසික ව්‍යාකූලතාවය, අන්තර් සම්බන්ධතා පිළිබඳ ගැටළු, හෝරමෝන අසමබරතාවයන්, අධික ලෙස මත්පැන්වලට ඇබ්බැහි වීම, වෙහෙස හා ජීවිතයේ මුල් සමයේ ලද අමිහිරි ලිංගික අත්දැකීම් ආදිය මෙයට හේතු විය හැකිය. 

එමෙන්ම කාන්තාවන්ගේ ස්වභාවික ටෙස්ටස්ටෙරෝන් මට්ටම අඩුවීමද මෙයට තවත් හේතුවකි. ටෙස්ටස්ටෙරෝන් නිපදවෙන්නේ ඩිම්බකෝෂවල හා ඇඩ්‍රිනල් ග්‍රන්ථියේය. මේවා ඉවත් කිරීම හෝ ඒවා ක්‍රමවත්ව ක්‍රියාත්මක නොවීම නිසා  ද ලිංගික කටයුතු කෙරෙහි ඇතිවන කැමැත්ත අඩුවී යාම සිදුවිය හැකිය. 

සුරතාන්තය පිළිබඳ ගැටළු 

මෙය මූලිකව කොටස් දෙකකි. 

මූලික හේතුව - කාන්තාව කිසිදා සුරතාන්තය අත්විඳ නැති අවස්ථාවකදී 

ද්වීතියික හේතුව - අතීතයේ සුරතාන්තය අත්විඳි නමුත්, දැන් එය අත්නොවිඳීම 

ඇතැම් කාන්තාවෝ සුරතාන්තයක් නොලබාම ලිංගික සුවය අත්විඳිති. නමුත් සුරතාන්තය අත්විඳින්නට ඇති නොහැකියාව ඇතැම් කාන්තාවන් තුළත්, ඔවුනගේ සහකරුවා තුළත් ගැටළුවක් ඇතිකළ හැකිය. 

කාන්තාවන්ට සුරතාන්තයට පත්වන්නට නොහැකිවීමට හේතු ගණනාවක් තිබිය හැකිය. මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ ලිංගික කරුණු පිළිබඳ ඇති නොදැනුවත්කමය. එයට අමතරව සෑහෙන තරම් ලිංගක ප්‍රබෝධනයකින් යුක්ත නොවීම, දෙදෙනා අතර ඇති සමීපත්වය පිළිබඳ ගැටළු, මානසික්තව අර්බුද හා පෙර අවස්ථාවකදී ලද අමිහිරි ලිංගික අත්දැකීම් ද මෙයට හේතු විය හැකිය. ඒ වගේම භගමනියට ඇති රුධිර සැපයුම වැඩිකිරීමෙන් සුරතාන්තය කෙරෙහි බලපෑමක් එල්ළ කළ හැකිදැයි සොයාබැලීමට ඇමෙරිකානු වෛද්‍ය පර්යේෂණ ආයතනයක් මගින් මේ දිනවල පර්යේෂණයක්ද පවත්වාගෙන යයි. 

ලිංගික මානසිකත්ව ප්‍රතිකාර තුළින්ද කාන්තාවන්ගේ සුරතාන්ත ගැටළුවට විසඳුමක් සෙවීමට හැකියාව තිබේ. 

වේදනාව 

ලිංගික කාර්යේදී වේදනාව ඇතිවීම කාන්තාවන් මුහුණ පාන්නාවූ තවත් ගැටළුවකි. මෙය බොහෝ විට සිදුවන්නේ ඔසප් ක්‍රියාවලිය නතරවී ඊස්ට්‍රජන් මට්ටම පහළ යාමත් සමගය. එවිට සිදුවන්නේ යෝනි මාර්ගය වියැළුනු තත්වයකට පත්වීමය. මෙය ලිංගික කටයුතු කෙරෙහි ඇති කැමැත්ත අඩුවීමට ද හේතුවකි. නමුත් මෙම තත්වය සමනය කර ගැනීම සඳහා ක්‍රීම් වර්ග දැන් වෙළෙඳපළේ සුලභය. 

යෝනි මාර්ගය වටා වූ මාංශ පේශි දැඩි තත්වයේ පැවතීම ද ලිංගික කාර්යයයේදී වේදනාව ඇතිවීමට තවත් හේතුවකි. ලිංගික ප්‍රබෝධයක් ඇතිවූ විට මෙම මාංශ පේශී ඉහිල් විය යුතු මුත් විවිධ හේතු නිසා එය එසේ වන්නේ නැත. එවිට ලිංගික එක්වීමකදී දැඩි වේදනාවක් ඇතිවේ. වැරදි ලිංගික අත්දැකීම්, කුඩා සමයේදී විඳි අමිහිරි ලිංගික අත්දැකීම්, දෙදෙනා අතර ඇති සමීපත්වයේ ගැටළු, ගර්භනීභාවයට කෙරෙහි ඇතිවන බිය, යෝනි මාර්ගය අවට ඇති වෙනත් වේදනාවන් මෙයට හේතු විය හැකිය. 

මෙම තත්වය නිවැරදි ලිංගකික අධ්‍යාපනයන් තුළින් වළක්වා ගත හැකිය. ලිංගික උපදේශන හා යෝනි මාර්ගය හුරු කිරීමේ උපකරණ භාවිත කිරීමද බටහිර රටවල සිදුවේ. මෙහිදී සිදුවන්නේ සිලින්ඩරයක් වැනි කුඩා උපකරණයක් යොනි මාර්ගයට ඇතුළු කිරීමය. මුළින්ම කුඩා උපකරණයක් ඇතුළු කොට පසුව කෙමෙන් කෙමෙන් විශාල උපකරණවලට යෝනි මාර්ගය පුහුණු කරනු ලැබේ. පසුව මාංශ පේශි මෙවැනි තත්වයට පුහුණුවීම ඉබේම සිදුවෙයි. 

කාන්තාවන් තුළ ඇතිවන මෙවැනි ලිංගික ගැටළු ඉතිහාසය මුළුල්ලේම දක්නට තිබිණි. නිවැරදි ලිංගික අධ්‍යාපනය හා උපදේශන මගින් මේවා පහසුවෙන් විසඳා ගත හැකිය 

Sunday, July 27, 2014

හාර්ඩ් ඩිස්ක් එක විනාශයි! - Data Loss Problem


මගේ පරිගණකයේ හාර්ඩ් ඩිස්ක් එක හෙවත් දෘඩ තැටිය මෑත දිනකදී හදිසියේ ක්‍රියා විරහිත විය. වටිනා දත්ත බොහොමයක් අහිමි විය. දත්ත ආපසු ගන්නට භාවිත කරන මෘදුකාංගවලින් ද පිහිටක් ලබාගන්නට නොහැකි විය. මෙයට පෙර කිහිප අවස්ථාවකම පෙන් ඩ්‍රයිව්, ඩීවීඩී සහ සීඩීවල තිබූ දත්ත විනාශ වී ගියේය. මේ ලිපිය ලියන්නට සිත් වූයේ එබැවිනි. 

පරිගණක තාක්ෂණයත් සමඟ කුළුපග වන්නට පෙර අප එය පිළිබද සිතා සිටි ආකාරයත් දැන් අප එය දකින ආකාරයත් හාත්පසින්ම වෙනස්ය. ගුරුවරු අපට පරිගණකය පිළිබඳ ඉගැන්වූයේ විශ්වකර්මයකු ලෙස අප ඉදිරියේ මවා පාමිනි. සැබවින්ම පරිගණකය විශ්වකර්මයකු බව සැබෑය. නමුත් ඒ තරමටම එය අපගේ අපේක්ෂා භංගත්වයන්ට ද හේතු වේ. පරිගණක භාවිතය සුලභවීමත් සමඟ අප සතු බොහෝ සතු බොහෝ දත්ත, ඡායාරූප, වීඩියෝ, ලිපි ලේඛන වැනි දෑ පරිගණකයෙහි ගබඩාකොට තබන්නට පුරුදු වූයෙමු. නමුත් පරිගණකවල සුරක්ෂිතභාවය පිළිබඳ සොයා බැලීමේදී සාමාන්‍ය පරිගණක පරිශීලකයන් මහත් අවදානම් සහිත තත්වයන්ට මුහුණ දෙන බැව් එදිනෙදා අත්දැකීම්වලින්ද, අන්තර්ජාලයෙහි විවිධ පුද්ගලයන් සඳහන් කොට ඇති ගැටලු පිරික්සීමෙන් ද පෙනී යයි. බොහෝ දෙනෙකු මුහුණ දෙන විශාගතම ගැටලුව වන්නේ දත්ත විනාශවී යාමයි. මෙහි ඊළඟ ගැටලුව වන්නේ මෙසේ විනාශවන දත්ත ආපසු ලබාගැනීමට ඇති නොහැකියාව හෝ දුෂ්කරතාවය ය. අනෙක ඒ සඳහා ඇතැම් අවස්ථාවලදී අධික මුදලක් වැයකරන්නටද සිදු වේ. මේ සියලු හේතු නිසා ලෝකයේ බොහෝ පරිගණක පරිශීලකයන් අතර මතුව ඇති ගැටලුව වන්නේ පරිගණක තුළ දත්ත තැන්පත්කිරීම කෙතරම් ආරක්ෂිත ද යන්නය. 

දත්ත තැන්පත් කොට තිබීම සඳහා විවිධ මාධ්‍යයන් භාවිතයට ගැනේ. මේවා නිෂ්පාදන උදෙසා භාවිත කොට ඇත්තේ  උසස් තාක්ෂණයකි. ඒ පිළිබඳ සිතා බැලීමේදී මේවා අතිශය විශ්වසනීය යැයි එකවර සිතෙන්නට පුලුවන. නමුත් ලොව පුරා පරිගණක පරිශීලකයන් මුහුණ දෙන පොදු ගැටලුව වන දත්ත විනාශවීම පිළිබඳ සළකා බැලීමේදී දත්ත ගබඩාකිරීම සඳහා යොදා ගන්නා මේ කිසිදු මාධ්‍යයක් විශ්වසනීය නොමැති බැව් පෙනී යයි. 

කලකට පෙර දළ සේයා පට සහිත කැමරා පැවතිය ද අද සියලු දෙනාම පාහේ භාවිත කරන්නේ ඩිජිටල් කැමරාය. මේවායෙන් අසීමාන්තිකව ඡායාරූප ලබාගත හැකි අතර එසේ ගනු ලබන සියලුම ඡායාරූප තැන්පත් කර තබන්නේ පරිගණක දෘඩ තැටි (Hard Disk), ප්ලෑෂ් මතක (Memory, Pen drive), සංයුක්ත තැටි (Compact Disk) වැනි මාධ්‍යවලය. නමුත් හිටි හැටියේ කුමක් හෝ හේතුවක් නිසා මෙසේ තැන්පත් කොට ඇති ඡායාරූප විනාශ වී යන්නට ඇති හැකියාව වැඩි බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ.  පැරණි කැමරාවලින් ලබාගන්නා ඡායරූප අනිවාර්යයෙන්ම මුද්‍රණය කළයුතු බැවින් ඒවා පරම්පරා ගණනක් සුරක්ෂිතව තබා ගත හැකිය. නමුත් ඩිජිටල් ආකාරයෙන් පරිගණක දෘඩ තැටිවල හෝ වෙනත් දත්ත ගබඩා මාධ්‍යවල තැන්පත් කරන ඡායාරූප ඇතැම් අවස්ථාවලදී එක් පරම්පරාවක් සඳහා හෝ රැකගත නොහැකිවන ගැටලුවකට වර්තමානයේ බොහෝ දෙනෙක් මුහුණ පා සිටියි. 

දත්ත තැන්පත්කිරීමට විවිධ මාධ්‍ය භාවිතයට ගැනෙයි. මූලික වශයෙන් පරිගණක දෘඩ තැටිය හෙවත් හාර්ඩ් ඩිස්කය, ෆ්ලෑෂ් මතක චිප, සංයුක්ත තැටි හෝ ඩී.වී.ඩී. තැටි, පටි සහ අන්තර්ජාලයේ ඇති දත්ත ගබඩා මේ අතර විශේෂය.  

දෘඩ තැටි 

මුල් සමයේ අඩු ධාරිතවයකින් පැවතිය ද අද ටෙරා බයිට් එකක ධාරිතාවය සහිත දෘඩ තැටි සාමාන්‍ය පරිශිීලනයට පැමිණ තිබේ. දෘඩ තැටියක් යනු ඩිජිටල් වශයෙන් නිර්වචනය කරනවාට වඩා යාන්ත්‍රික වශයෙන් නිර්වචනය කළ හැකි දත්ත ගබඩා මාධ්‍යකි. මෙහි දත්ත ගබඩා කෙරෙන්නේ තැටියක වන අතර එම තැටිය අධික වේගයෙන් භ්‍රමණය වෙයි. එහි තව පරිපථ ගණනාවක් ද දක්නට තිබේ. පොදුවේ පරිගණකවල දත්ත ගබඩා කිරීමට සහ මෙහෙයුම් පද්ධතිය ඇතුළු අනෙකුත් යෙදුම් ක්‍රියාත්මක කිරීම සඳහා දෘඩ තැටි යොදා ගැනෙන මුත්, මේ සංකීර්ණ යාන්ත්‍රික ක්‍රියාවලිය කුමන මොහොතක අඩපණ වේදැයි කිසිවකුට කිව නොහැකිය. සාමාන්‍යයෙන් දෘඩ තැටි නිෂ්පාදකයන් මේවායේ ආයු කාලය වසර 2 - 8 වශයෙන් දක්වා තිබේ. නොසැළකිල්ලෙන් භාවිත කළ හොත් ඉතා ඉක්මණින් අඩපණ විය හැකි දෘඩ තැටි ඉතා සැළකිල්ලෙන් භාවිත කළ හොත් වසර 8ක් දක්වා  පවත්වා ගැත හැකිය. දෘඩ තැටියක් විනාශවන්නට පෙර අප වෙත එවනු ලබන පණිවිඩ පිළිබඳ සැළකිලිමත් වුවහොත් මේවායේ ඇති දත්ත විනාශවන්නට පෙර නව දෘඩ තැටියකට හෝ වෙනත් ගබඩා මාධ්‍යකට ඒවා මාරු කරගත හැකිය. එසේ නොකළ හොත් දත්ත විනාශවී යාම වළක්වාගත නොහැකිය. 


දෘඩ තැටි සහ එහි දත්ත විනාශවන්නට වයිරස් ප්‍රහාරයන් ද හේතු වේ. මේ නිසා බොහෝ දෙනෙක් සිය වටිනා දත්ත පරිගණකයෙන් බාහිරව සවි කළ දෘඩතැටිවල තැන්පත් කිරීම ද සුලභව දක්ට ලැබේ. යම් හෙයකින් ප්‍රධාන දෘඩ තැටියේ ඇති දත්ත විනාශ වුවහොත් මෙම බාහිර තැටියේ එම දත්ත ඇති බැවින් යම් සැහැල්ලුවකින් කටයුතු කරන්නට පුලුවන. නමුත්, වෙනත් තාක්ෂණික ගැටලුවක් නිසා මෙම බාහිර දෘඩතැටි ද විනාශ නොවේ යැයි සහතිකයක් දීමට ඒවායේ නිෂ්පාදකයන්ට පවා හැකියාවක් නැත. 

සංයුක්ත තැටි හෝ ඩී.වී.ඩී. තැටි 



දෘඩ තැටියක් යම් හෙයකින් අඩපණ වුවහොත් යන සැකය නිසා බොහෝ දෙනෙකු ඉහත සඳහන් කළ මාධ්‍යවල දත්ත ගබඩා කරයි. සාමාන්‍යයෙන් සංයුක්ත තැටියක මෙගා බයිට් 700 ක පමණ දත්ත ගබඩා කළ හැකි අතර තනි ස්ථරය සහිත ඩී.වී.ඩී. තැටිවල ගිගා බයිට් 4.7ක දත්ත ද, ද්විත්ව ස්ථරය සහිත ඩී.වී.ඩී. තැටි වල ගිගා බයිට් 8.5 ක දත්ත ද ගබඩා කළ හැකිය. සාමාන්‍ය පාරිභෝගිකයාට ලබාගත හැකි බ්ලූරේ වර්ගයේ ඩී.වී.ඩී. වල ගිගාබයිට් 25ක් දක්වා දත්ත තැන්පත් කළ හැකිය. ගිගා බයිට් 200 දක්වා දත්ත තැන්පත් කළ හැකි බ්ලූ රේ ඩී.වී.ඩී. තැටිද වෙළෙඳ පළෙහි පවතී. වෙළෙඳ පොළේ විවිධ වර්ගවලට අයත්, විවිධ මිල ගණන් යටතේ වූ මෙම තැටි වර්ග පවතින අතර වෙළෙඳ නාමය අනුව මේවායේ ගුණත්වය ද වෙනස් වේ. 


කෙසේ නමුත් බොහෝ දෙනෙකු මුහුණ දෙන ගැටලුව වන්නේ ඉහළ ගුණත්වයකින් යුක්ත යැයි සඳහන් මෙවැනි තැටි, දත්ත ගබඩා කිරීම සඳහා යොදා ගත්ත ද විවිධ හේතු නිසා මේවා පරිගණකවලින් ප්‍රතික්ෂේප කරන තත්වයට පත්වීමය. එනම් මෙම තැටි පරිගණකයේ ධාවකයට ඇතුළු කළ විට ඇතැම් අවස්ථාවලදී ඒවා කියවා එහි ඇති දත්ත  ලබාදෙන්නට පරිගණකය අපොහොසත් වේ. ඇතැම් අවස්ථාවල මේ තැටි නොකියවාම තැටිය ධාවකය මගින් ප්‍රතික්ෂේප කරයි. කෙසේ මුත් ලියකියවිලි හැරුණු විට ඡායාරූප, වීඩියෝ වැනි අධික ධාරිතාවයන්ගෙන් යුක්ත දත්ත තැන්පත් කොට තැබීමට මෙම තැටි වර්ග ප්‍රායෝගිකය යොදාගැනීම දුෂ්කරය. සෑහෙන තරම් වියදමක් දරා එසේ දත්ත ගබඩා කළ ද පෙරකී ආකාරයෙන් ඒවා පරිගණකයෙන් ප්‍රතික්ෂේප කරන තත්වයට පත්වුහොත් දැරූ වෙහෙසෙහි ප්‍රතිපළයක් ද නැත. අනෙක කලකට පෙර ඉතා ජනප්‍රියව පැවති නම්‍ය තැටිති හෙවත් ෆ්ලොපි ඩිස්ක මෙන්ම මෙම තැටි ද කෙමෙන් පරිගණක පරිශීලකයන්ගේ ඈත්ව යන බැව් පෙනේ. වර්තමානයේ වෙළෙඳ පළේ දක්නට ඇති ඇතැම් නෝට් බුක් වර්ගයේ පරිගණකවල තැටි ධාවක දක්නට නැත. මෙම නැඹුරුව ඉදිරියේදී අනෙකුත් පරිගණකවලට ද ව්‍යාප්ත වුවහොත් එය ද ගැටලුවක් වනු ඇත. 


ෆ්ලෑෂ් මතක 

වර්තමානයේ ඉතා ජනප්‍රියතම දත්ත ගබඩා හා හුවමාරු මාධ්‍යය වන්නේ මෙයයි. මේවා විවිධ ධාරිතාවයන්ගෙන් ලබාගැනීමට හැකියාව තිබේ. නිෂ්පාදකයන් පවසන්නේ වසර 10 ක් දක්වා මේවායේ දත්ත සුරක්ෂිතව ගබඩාකොට තැබිය හැකි බවය. නමුත් ඇතැම් අවස්ථාවලදී ඉහළ කීර්තිනාමයක් සහිත ෆ්ලෑෂ් මතකයන් ද වසරක් ගතවෙන්නට පෙරම භාවිත නොකළ හැකි තත්වයට පත්වන බැව් පෙනෙන්නට තිබේ. 

අන්තර්ජාල දත්ත ගබඩා 

නිෂ්පාදකයන් කුමක් පැවසුවද, තාක්ෂණය දියුණු වී යැයි පැවසුන ද පරිගණක පරිශීලකයන්ගේ දත්ත විනාශවී යාමේ අවදානම පහව ගොස් නොමැත. මේ නිසා දත්ත සුරක්ෂිත ලෙස ගබඩා කිරීම සඳහා බොහෝ දෙනෙක් මෑතක සිට භාවිත කරන්නේ අන්තර්ජාලයේ මේ සඳහා වෙන්කොට ඇති වෙබ් අඩවියන්ය. මේවා සයිබර් අවකාශයේ ඇති වළාකුළු ගබඩාවැනි අරුතක් ඇති Cloud storage නමින් හඳුන්වනු ලබයි. දත්ත ගබඩා කිරීම සඳහා දැවැන්ත ධාරිතාවයන් සහිත මෙම ඇතැම් අඩවිවලින් ගිගා බයිට් 50 වැනි ඉඩක් නොමිලේම වුව ද ලබාගත හැකිය. ඩ්‍රොප් බොක්ස්, ගූගල් ඩ්‍රයිව්, මයික්‍රොසොෆ්ට් වන් ඩ්‍රයිව්, ඒඩ්‍රයිව්, අයික්ලවුඩ් වැනි විවිධ නම්වලින් මෙවැනි අවබ් අඩවි දක්නට ලැබේ. යමෙකුට විශාල දත්ත සම්භාරයක් ගබඩාකරන්නට අවශ්‍ය නම් මුදල් ගෙවා මෙම පහසුකම ලබාගත යුතු අතර දත්ත විනාශවීමේ අවදානම ද සෙසු ගබඩා මාධ්‍යවලට වඩා අඩුය. මෙම අඩවිවල දත්ත ගබඩා කරන ආකාරයට අනුව එක් තැනක දත්ත විනාශ වුව ද ඒවා තවත් තැනක ඉබේ ගබඩාවන ආකාරයේ ආරක්ෂණ ක්‍රමවේදවලින් සමන්විත වේ. මේ සඳහා අවශ්‍ය වන්නේ මුදල් හා අධිවේගී අන්තර්ජාල පහසුකම් පමණි. තම කාර්යාලය, නිවස ස්වභාවික විපතකින් හෝ සතුරු කරදරයකින් විනාශ වුවත් මෙසේ තැන්පත් කරන දත්ත විනාශවන්නට ඇති ඉඩකඩ අනෙකුත් මාධ්‍යවලට වඩා ඉතා අවමය. 

කෙසේ වුවත් විවිධ දුෂ්කරතාවයන් මැද පරිගණකයක් මිලදී ගෙන වැඩකටයුතු කරගෙන යන සාමාන්‍ය පරිශීලකයාට මෙවැනි පහසුකමක් ලබාගැනීම දුෂ්කරය. එබැවින් සාමාන්‍ය පරිගණක පරීශීලකයාගේ දත්ත විනාශවී යැමේ අවදානම තවම පහම ගොස් නැත. එය පහව ගොස් විශ්වාසයෙන් යුක්තව දත්ත ගබඩාකිරීමට සුදුසු මාධ්‍ය පැමිණෙන දිනය පිළිබඳව කිසිවකුට අදහසක් ද නැත.