පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, July 30, 2014

ෆුල් හවුස් නාට්‍යයේ හැන් ජියෙන් - Han Ji-eun of Full House Korean Drama



ෆුල් හවුස්කිව්ව සැනින් ඔබට මතක් වෙන්නේ වෙන මොනම දෙයක්වත් නෙවෙයි මේ දවස්වල ඉතාමත් ජනප්‍රිය, සිංහල හඬ කවපු කොරියානු ටෙලි නාට්‍යයක්. සෙනසුරාදා සහ ඉරිදා දිනවල සවස 6.00 සිට 7.00 දක්වා පුරා පැයක කාලයක් මෙය ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශනය වෙනවා. දැනට වසර කිහිපයතට පෙර මෙම නාට්‍යය සිංහල උප සිරැසි සහිතව ස්වාධීන රූපවාහිනියේම විකාශනය වුණා. ඒ වන විට අපේ රටේ කොරියානු ටෙලිනාට්‍ය අද තරම් ජනප්‍රිය නැහැ. නමුත් මෙය ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනාදරයට පත් වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මෙය නැවත සිංහල දෙබස් සහිතව විකාශනය වීම ආරම්භ වී තිබෙන්නේ.



කොරියානු බසින් හැංගුල්නමින් හඳුන්වන මෙය 2004 වසරේ ජූලි 14 වැනිදා සිට එම වසරේම සැප්තැම්බර් 4 වැනිදා දක්වා කොටස් 16කින් යුක්තව කේ.බී.එස්2 කියන නාලිකාව ඔස්සේ විකාශනය වුණා.  ආදරය සහ විනෝදය පිරුණු ෆුල් හවුස්කියන්නේ වොන් සූ-යොංවිසින් මේ නමින්ම ලියන ලද නවකතාවක්. එම නව කතාව ඇසුරින් රූපවාහිනියට ලිව්වේ මිං හ්‍යෝ-ජුන්ග්’. අධ්‍යක්ෂණය කළේ ප්යෝ මින්-සූ’.

ලී බ්‍යුන්ග් හුන් සමග

මේ කතාව ගැන කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. හැන් ජි-යෙන්කියන්නේ ආධුනික ලේඛිකාවක්. ඇය ජීවත්වෙන්නේ ඇගේ පියා ගොඩනගපු ෆුල් හවුස්කියන නිවසේ. හැන් ජි-යෙන් එයාගේ යාලුවෝ දෙන්නෙක් නිසා ලොකු කරදරයක පැටළිලා අන්තිමේ ගෙයත් අහිමි කරගන්නවා. එයාට අහිමි වන නිසව මිලදී ගන්නේ ම් කතාවේ හැටියට කොරියාවේ ඉතා ජනප්‍රිය නළුවකු වන ලී යංග්-ජේ’. කොහොම වුණත් තමන්ගේ පියා හදපු නිවස නිකම්ම අතහැරලා දාන්න හැන් ජි-යෙන්කැමති වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම කතාවක් තමයි තියෙන්නේ. දැන් කතාවේ සෑහෙන කොටස් ප්‍රමාණයක් විකාශනය වෙලා නිසා ඒ ගැන විස්තර කියන්න ඕන නැහැ කියලයි හිතෙන්නේ.

කලින් කිව්වා වගේ මේ නාට්‍යය සිනහව, විනෝදය සහ ආදරය පිරුණු එකක්. මේ සඳහා මෙහි ප්‍රධාන චරිත දෙක සෑහෙන දායකත්වයක් දෙනවා. ඒ කියන්නේ හැන් ජියෙන්සහ ලී යංග්-ජේ’. කොහොම වුණත් මෙහි හැන් ජි-යෙන්කියන්නේ අසරණ චරිතයක්. ඒ නිසා ප්‍රෙක්ෂකයන්ගේ වැඩි දෙනෙක් අතර ඇයට ලැබී ඇති අවධානය වැඩියි. ඒ නිසා හැන් ජි-යෙන් ගැන කතා ටිකක් කතා කළොත් හොඳයි කියලා හිතුවා.

හ්‍යුන් බින් සමග

හැන් ජි-යෙන් ගැන කතා කරනවා කිව්වට ඇත්තටම අපි කතා කරන්නේ ඇගේ චරිතය නිරූපණය කරන සොං හ්යේ ක්යෝගැනයි. 1981 නොවැම්බර් 22 වැනිදා උපන් සොං ඕටම් මයි හාර්ට්’, ‛ඕල් ඉන්’, ‛ෆුල් හවුස්සහ දැට් වින්ටර්, ද වින්ඩ් බ්ලෝස්කියන නාට්‍ය හරහා කොරියාවේ අතිශය ජනප්‍රිය නිළියක් බවට පත් වුණා.

සොං ඉපදෙන වෙලාවේ කොයි තරම් දුර්වල තත්වයක් හිටිය ද කිව්වොත් ඇගේ අම්මයි තාත්තයි විශ්වාස කළේ නැහැ ඇය ජීවත් වෙයි කියලා. ඒ නිසා ඔවුන් ඇයගේ උප්පැන්නය ලියාපදිංචි කරන්නවත් උනන්දු වෙලා නැහැ. නමුත් ඇය ටිකෙන් ටික සුව අතට හැරෙමින් සිටින බව දැනුණු නිසා අම්මයි තාත්තයි ඇගේ උප්පැන්නය ලියාපදිංචි කළා. නමුත් එහි තියෙන්නේ ඇගේ ඇත්ත උපන් දිනය නෙවෙයි. ඇගේ උපන් දිනය විදියට උප්පැන්න සහතිකයේ තියෙන්නේ 1982 පෙබරවාරි 26.

සොං පුංචි කාලේම ඇගේ අම්මයි තාත්තයි වෙන්වුණා. ඇයව හදා වඩා ගත්තේ අම්මා. ඊට පස්සේ ඔවුන් පදිංචි වෙලා හිටිය ඩැගුටෝ වල ඉඳන් සෝල්වල තියෙන ගැංග්නම් දිස්ත්‍රික්කයට ගියා. පුංචි කාලේ ඉඳන්ම දුක් කරදර විඳිමින් ඇයව හදාවඩා ගත්ත අම්මට ඇය දක්වන්නේ ලොකු ආදරයක් කියලා ආරංචියි.

1996 වසරෙදි, ඒ කියන්නේ සොං ට අවුරුදු 14 දි ඇය මෝස්තර නිරූපණ තරගයකින් ජයග්‍රහණය කළා. මෙහි ප්‍රතිඵලයක් විදියට තමයි ඇයට ෆර්ස්ට් ලව්කියන ටෙලි නාට්‍යයේ සුළු චරිතයක් කරන්න අවස්ථාව ලැබුණේ. ඉන්පසු ඇය දිගින් දිගටම විවිධ ටෙලි නාට්‍යවල රඟපෑවා. මේ විදිහට 2000 වසරේදී ඕටම් ඉන් මයි හාර්ට්නාට්‍යයේ රඟපෑවට පස්සේ ඇය කොරියාවේ විතරක් නෙවෙයි මුළු ආසියාවේම ජනප්‍රිය නිළියක් බවට පත් වුණා. ඉන්පස්සේ ඕල් ඉන්නාට්‍යයේ රඟපාමින් ෆුල් හවුස්දක්වා පැමිණෙන විට ඇය ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නැග අවසන්. පසුව ඇය සිය මුල්ම චිත්‍රපටය වූ මයි ගර්ල් ඇන්ඩ් අයිහි රඟපෑවා. නමුත් එයට ඇයට එතරම් හොඳ ප්‍රතිචාර ලැබුණේ නැහැ. ඇගේ රඟපෑම එතරම් සාර්ථක නැති බවට විචාරක ප්‍රතිචාරයන් ද ලැබුණා. ඒ නිසා කලකිරුණු ඇය රංගනයෙන් ඈත් වෙලා සැන් ෆැන්සිස්කෝවලට ගිහින් ඉංග්‍රීසි ඉගෙනගත්තා. ඇය මේ විදිහට අවුරුදු 2ක් හිටියා.

මට ඒක හොඳ විවේකයක්. මම මා ගැනම හිතා බලන්න ඒ කාලය යොදාගත්තා ඇය ඒ කාලය ගැන එසේ පවසනවා.

පුංචි සන්දියේ . . .


2007 වසරේදී ඇය නැවත කොරියාවට පැමිණෙනවා. නැවුම් ආකාරයකින් සිය රංගනය ආරම්භ කරන ඇය යළිත් සාර්ථක ගමනක් යන්න පටන් ගන්නවා. ඇය කොරියානු චිත්‍රපට පමණක් නොව චීන, හොලිවුඩ් වැනි චිත්‍රපට සඳහා ද තෝරාගනු ලබනවා. 2011 වසරේදී ඇය එෆිජිනම් සුප්‍රකට ප්‍රංශ සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කරනවා. එම සමාගම සමඟ ගිවිසුමකට එළැඹි මුල්ම ආසියානු නිළිය ඇයයි.

සොං මේ වන විට ටෙලිනාට්‍ය 14ක පමණද, චිත්‍රපට 7ක පමණ ද රඟපා තිබෙනවා. සම්මාන 19ක් පමණ දිනාගෙන ද තිබෙනවා.

සොං කියන්නේ කොහොමත් මිටි නිළියක්. ඇය මුල්ම ටෙලි නාට්‍යයේ රඟපානකොට මේ මිටි බව ගැන ඇය බොහෝ කණගාටු වුණා. ඒ නිසා ඇය උස් අඩි පාවහන් පළඳින්නත් පටන් ගත්තා. ඒත් ඇය දැන් ඒ ගැන වැඩිය නොසිතන බව තමයි පැවසන්නේ. ගෙවී ගිය කාලය ඇතුළත ඇය සෙ.මී. 161 සිට සෙ.මී. 161.4ක් දක්වා උස් ගිහින් කියා ඇයම පවසනවා.

අපි සොං ගේ වෘත්තීය ජීවිතය ගැන කතා කළා. දැන් පෞද්ගලික ජීවිතේ ගැනත් ටිකක් කතා කරමු. 2003 වසරේදි ඇය ලී බ්‍යුන්ග්-හුන් කියන නළුවත් එක්ක ආදර සම්බන්ධයක් පටන් ගත්තා. ඒ ඕල් ඉන්චිත්‍රපටය රූපගත කරන අතරවාරයේ. නමුත් මෙය 2004 දි බිඳ වැටුණා. ඔවුන්ගේ ආදර සම්බන්ධතාවයට වඩා කොරියාවේ ප්‍රසිද්ධ වුණේ එය බිඳ වැටීම ගැන ප්‍රවෘත්තියටයි. ඒ වගේම බොහෝ කටකතා ද පැතිරයන්නට පටන් ගත්තා.

මේ සිදුවීමෙන් පසුසේ මම ඉගෙන ගත්තා සමාජ ජීවිතය සහ පෞද්ගලික ජීවිතය වෙන්වන සීමාවක් තබාගත යුතුයි කියලා.

සොං එසේ පවසනවා. වර්ල්ඩ්ස් විතින්චිත්‍රපටය රූපගත කරන කාලයේ දි ඇය සමඟ රඟපෑ හ්‍යුන් බින් සමඟ ආදර සම්බන්ධයක් පටන් ගත්තා. ඒ 2009 දි. නමුත් කලින් වතාවේ වගේ ඇය ඔහුත් එක්ක ප්‍රසිද්ධියේ ගැවසීමෙන් වැළකී සිටින්න වගබලාගත්තා. නමුත් 2011 වසරෙදි ඇයගේ මේ ආදර සම්බන්ධතාවයටත් කණකොකා හැඬුවා. ආදර සම්බන්ධතා දෙකක්ම බිඳවැටීමෙන් පසු ඒවා ගැන ඇයට මොන වගේ දැනෙන්වද කියලා එක් මාධ්‍යවේදියෙක් දිනක් ඇසුවා.

ඇය මේ විදිහට උත්තර දුන්නා.

මේක මට විතරක් සිදුවුණු දෙයක් නොවෙයි. ඉතිං මම විතරක් මේ ගැන විශේෂයෙන් අදහස් දක්වන්න ඕන නැහැ කියලයි මම හිතන්නේ. නමුත් එකක් කියන්න ඕන. මේ ආදර සම්බන්ධතා දෙකේ බිඳවැටීම මට සෑහෙන්න නරක විදිහට බලපෑවා. මට දැන් අවුරුදු 30කටත් වැඩියි. මේ වගේ වයසක කෙනෙක් ආදර සම්බන්ධතා දෙකක් පැවැත්වුවා කියන එකේ විශේෂත්වය මොකක්ද? ඒක ඇයි මේ තරම් ඕපදූපවලට කාරණයක් වෙන්නේ? ඇයි මේවාට මාව විතරක්ම අල්ල ගන්නේ? දැන් ඔක්කොම වෙලා ඉවරයි. කාලය ගතවෙලා ගිහින්. මට දැන් කියන්න තියෙන්නේ මේ කරන රැකියාවෙන් මම ගොඩක් සතුටු වෙනවා. මට ඉදිරියට කරන්න තව ගොඩක් වැඩ තියෙනවා.

2 comments:

  1. 👍👍👍 ඇත්තටම හොඳයි

    ReplyDelete
  2. හරිම හොඳයි ස්තූතියි මම සොන්ග්ට ගොඩක් කැමතියි

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න