පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, July 5, 2014

ගල් බබෙක් ඉපුදුනු වගයි - Woman Delivers ‘Stone Baby’ After 60 Year Pregnancy

හුවෑන්ග් යිජින්

මේක 2008 අවුරුද්දෙ චීනයෙන් අහන්න ලැබුණේ අරුම පුදුම ප්‍රවෘත්තියක්. 92 හැවිරිදි හුවෑන්ග් යිජින් කියන කාන්තාවට දරුවකු ලැබුණා. ඒක ටිකක් පුදුමයක් තමයි. ඒත් ඊටත් වඩා පුදුම දේ තමයි මේ ලැබුණු දරුවා ඉපදෙනකොටම ගලක් බවට පත්වෙලා හිටිය එක. වෛද්‍යවරු මේ ගැන හොයලා බැලුවා. එතකොට හොයා ගත්ත දේ තමයි මේ දරුවා පිළිසිඳගෙන තිබුණේ 1948දී වීම. ගලක් බවට පත්වුණු මේ බිළිඳා අර කාන්තාවගේ කුසේ අවුරුදු 60ක්ම ඉඳළා තියෙනවා. වෛද්‍යවරු මේ ගල් බිළිඳාව පිටතට ගත්තේ සිසේරියන් සැත්කමකින්. ඉපදුණු දරුවා ගලක් බවට පත්වෙලා හිටිය එකටත් වඩා ලොකුම පුදුමය තමයි, මේ වගේ දෙයක් එක්ක හුවෑන්ග් යිජින් කිසිම කරදරයක් නැතිව අවුරුදු 92ක්ම සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීම.

බිළිඳකු ගලක් වෙන්නේ කොහොමද?

රාජකීය වෛද්‍ය සඟරාවට අදහස් ප්‍රකාශ කරන  පිළිසිඳ ගැනීම පිළිබඳ ඇමෙරිකානු විශේෂඥයින් පිරිසක් පවසන්නේ මෙහෙම කතාවක්. සංසේචනය වූ බීජය, වර්ධණය වීම සඳහා ගර්භාෂය කරා පැමිණෙන්නට නොහැකි වුවහොත් එය මුත්‍රාශයෙන් පිටත ස්ථානයක වර්ධණය වන්නට පටන් ගන්නවා. ගර්භාෂයෙන්  පිටත මෙවැනි පිළිසිඳ ගැනීමක් සිදුවීම මවගේ ජීවිතයට අතිශය අනතුරුදායකයි. මෙවැනි තත්වයක් දුටු විගස වෛද්‍යවරුන් උපදෙස් දෙන්නේ මවගේ ජීවිතය ගළවාගැනීම සඳහා මෙවැනි කළල ඉවත් කළ යුතු බවයි.

නමුත් ඇතැම් අවස්ථාවලදී ගර්භණී තත්වයක් ඇතිවී තිබේද කියා පෙන්නුම් කරන්නේ නැහැ. කළලයට රුධිර සැපයුම අඩාළ වීම නිසා එය ශරීරය තුළම මිය යනවා. කළලය ඒ වනවිටත් සති කිහිපයක් පමණක් නිසා එහි පටක් දියවී ගොස් සම්පූර්ණයෙන් විනාශවී යනවා. නමුත් ඉතා කලාතුරකින් මේ තත්වය වෙනස්වන අවස්ථාත් තියෙනවා. මෙහිදී සිදුවන්නේ කළලය මියයාමට පෙර එය තවත් එක් අදියරක් දක්වා වර්ධණය වීමයි. මෙහිදී ශරීරයට අවශෝෂණය කරගන්නට තරම් කළලය විශාල වැඩි තත්වයකට පත්වෙනවා. එවිට සිදුවන්නේ මෙම කළලය කැල්සිකරණයට ලක්වීමයි. එනම් කළලය ගලක් බවට පත්වීමයි. මෙසේ සිදුවන්නේ කළලය නරක්වී සිදුවන ආසාදනයන්ගෙන් මව ආරක්ෂා කිරීමටයි. එහි ප්‍රතිඵලයක් ලෙස මවට සිය සාමාන්‍ය ජීවිතයට නැවත පත්වන්නට පුළුවන්. නමුත් යටිබඩ ඉදිරියට නෙරා ඇති ස්වභාවය නැතිවන්නේ නැහැ. ඉඳහිට අපහසුතා ඇතිවන්නටත් පුළුවන්. නමුත් මවගේ ශරීරයට හානියක් වන්නේ නැහැ.

පාෂාණ බිළිඳුන් පිළිබඳ තවත් වාර්තා

වෛද්‍යවරු පවසන්නේ මෙවැනි තත්වයක් ඇතිවන්නේ කළාතුරකින් බවයි. වෛද්‍ය ඉතිහාසයෙන් මෙතෙක් මෙවැනි වාර්තා හමුවී ඇත්තේ 290ක් පමණයි.  මෙවැන්නක් මුළින්ම වාර්තාවන්නේ 1582දි. ප්‍රංශයේ ජීවත්වූ කොලොම්බේ චත්රි සිය 68 වැනි වියේදී ගල්වූ බිළිදෙක් ලොවට බිහි කළා. බිළිඳා ඒ වනවිටත් සිය මවගේ කුසෙහි ගලක් ලෙස වසර 28ක් රැඳී පැවතුණා. මෙසේ ගල්වූ බිළිඳෙක් සිටිනබව දැනගත්තේ ඇගේ මරණයෙන් පසුවයි. සාමාන්‍යයෙන් මෙසේ ගල්වූ බිළිදෙකු කුසෙහි සිටිය හැකි යැයි සැළකෙන්නේ වසර 28ක් පමණ කාලයක් දක්වා පමණයි. නමුත් චීනයේ හුවෑංග් යිජුන්ගේ කුසෙහි ගල්වූ දරුවා වසර 60ක් ජීවත්වූ ජීවත්වූ නිසා මෙය ලෝක වාර්තාවක් ලෙස සැළකෙනවා. 

ගල්වූ බිළිදා 

හුවෑන්ග් යිජුන්ට මේ කරම් කාලයක් මේ ගලක් බවට පත්වූ බිළිඳා සමග ජීවත්වන්නට සිදුවූයේ එය ඉවත් කරගන්නට තරම් පහසුකම් නොතිබීමයි. තම කුසෙහි සිටි බිළිඳා මියගොස් සිටින බැව් ඇය 1948 වසරේදී වෛද්‍යවරුන්ගෙන් දැනගත්තත් එය ඉවත් කරගන්නට තරම් මුදල් ඇයට සොයා ගන්නට හැකිවූයේ නැහැ. අනෙක මේ ගල්වූ බිළිඳා නිසා ඇයට වෙනත් ශාරීරික ආබාධයක් ඇති නොවූ නිසා ඇය එය නොසළකා හරින්නට පටන් ගත්තා. 

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න