පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, July 16, 2014

අරෙ බාබා හොලිවුඩ් නහී - බොලිවුඩ් බොලිවුඩ්! - බොලිවුඩ් සිනමාව සියවස සමරයි - Bollywood Cinema Celebrated a Century



ලෝකයේ විවිධ සිනමා නිර්මාණ රස විඳින අප බොහෝ දෙනෙක් ඒ සියල්ල අභිබවා කැමැත්තක් දක්වන්නේ හින්දි සිනමාවට යැයි පැවසුවහොත් එහි අතිශෝක්තියක් නොමැත. දේශීය සිනමාවක් බිහිවන්නට පෙර සිටම අප රට ප්‍රේක්ෂකයෝ හින්දි සිනමාවට ආදරය කළහ. අපගේ මුල්කාලීන සිනමා නිර්මාණවලට සෘජු ආභාෂය ලබා ගත්තේ ද බොහෝ විට හින්දි සිනමාවෙන් වූ අතර ඒවායේ නිෂ්පාදන කටයුතුවලට ද බොලිවුඩ් සිනමා කර්මාන්තයෙන් සහයෝගය ලබාගත් අවස්ථා එමටය. බොම්බාය කේන්ද්‍රකොට  බිහි වූ මෙම සිනමාව වර්තමානය වන විට බොලිවුඩ් සිනමාවනමින් අන්තර්ජාතික සිනමා ලෝකය ද දිග්විජය කොට හමාරය. ගෙවුණු 2013 වසරේ මේ අපූරු සිනමා කර්මාන්තය සිය සියවස සම්පූර්ණ කළේය. එවන් බොලිවුඩ් සිනමාවේ කතාව ගැන කියවීම බොහෝ සේ අගනේ යැයි සිතේ. බොලිවුඩ් සිනමාව පිළිබඳ පරිපූර්ණ ලෙස පවසන්නට මෙහි ඉඩක් නොමැති වුවද ඒ පිළිබඳ හැකිතාක් තොරතුරු මෙහි ඇතුළත් කරන්නට උත්සාහ කොට තිබේ. මේ එම උත්සාහයේ ප්‍රතිඵලයයි.

හින්දි බසින් නිර්මාණය වන්නාවූ සිනමා නිර්මාණ සහිත කර්මාන්තය හඳුන්වන අනවර්ත නම වන්නේ බොලිවුඩ්ය’ යි. එය ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට අයත්  අතීතයේ බොම්බාය නම්වූ වර්තමාන මුම්බායි නගරය කේන්ද්‍රකොට ගනිමින් ක්‍රියාත්මක වෙයි. ඇතැමෙක් සමස්ථ ඉන්දීය සිනමාවම බොලිවුඩ් නමින් හැඳින්වුවද එය නිවැරදි නොවේ. බොලිවුඩ් යනු සමස්ථ ඉන්දීය සිනමාවේ එක කොටසක් පමණි. නමුත් මුළු ලොව මුළුල්ලේම ඉමහත් ප්‍රසාදයක් දිනාගන්නට සමත්ව ඇත්තේ මෙම බොලිවුඩ් සිනමාවයි. එමෙන්ම බොලිවුඩ් යනු ලෝක සිනමා කර්මාන්තයේ  ඉතා සුවිශාල පංගුකාරයෙක් ද වන්නේය.

බොලිවුඩ් යන නමෙහි ඉතිහාසය

මෙය තැනී ඇත්තේ මුම්බායි හි අතීත නාමය වූ බොම්බාය යන වදන හා ඇමරිකානු සිනමා කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය වූ හොලිවුඩ් යන වචන දෙක එක්කොට ගැනීමෙනි. නමුත් හොලිවුඩ් යනු සැබැවින්ම නගරයකි. නමුත් බොලිවුඩ් යනුවෙන් ස්ථානයක් නැත. ඇතැමෙක් මෙය හොලිවුඩ් සිනමාවේ දිළිඳු ඥාති සොහොයුරකු ලෙස හඳුන්වන්නට තැත් කළ ද බොලිවුඩ් යන්න ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට ද ඇතුළත් වී හමාරය.

කෙසේ නමුත් හොලිවුඩ් හි ආභාෂය ලබමින් නම් දමාගැනීමේ මුළටම පැමිණෙන්නේ ඉන්දියාවේ බොලිවුඩ් සිනමාව නොවේ. මුළින්ම එවැනි නමක් සහිතව සිනමා කර්මාන්තයේ බැබලෙන්නේ බටහිර බෙංගාල සිනමාවයි. ඔවුන් සිය කර්මාන්තය හඳුන්වන්නේ ටොලිවුඩ්නමිනි. එයට එම නම තැබෙන්නේ එය කල්කටාවේ ටොලිගුන්ගේප්‍රදේශය කේන්ද්‍රකොට ගනිමින් ව්‍යාප්තව පැවතීමය. මෙම නගරයේ නමත් ඇමරිකානු සිනමා කර්මාන්තයේ නමුත් සම්බන්ධ කරගනිමින් තනාගත් ටොලිවුඩ් සිනමාවට එම නම මුළින්ම යොදාගනු ලැබුයේ කල්කටාවේ පැවති යොවුන් සඟරාවක් විසිනි. ඉන්පසුව මෙම නම එයට ස්ථිරසාර ලෙසම පැළපදියම් විය. කෙසේ මුත් වර්තමානයේ ටොලිවුඩ් යන නම භාවිතා කෙරෙන්නේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි තෙළිගු සිනමා කර්මාන්තයයි.

ලෝකයේ සිනමා දැවැන්තයා ලෙස ඇමරිකාවට ගෞරව දක්වමින් මෙම බොල්වුඩ් යන යෙදුම හින්දි සිනමාව හඳුන්වන්නට යොදාගන්නේ 1970 දශකයේ සිටය. මෙම නම බිහි කිරීම පසුපස කිහිප දෙනෙකු සිටිය ද ඔවුන් අතරින් දෙනෙකුගේ නම් වඩාත් ඉස්මතුව පෙනේ. ඒ, ගීත රචකයකු, සිනමා නිර්මාණකරුවකු හා විද්වතකු වූ අමිත් ඛන්නා සහ පුවත්පත් කලාවේදියකු වූ බෙවින්දා කොලාකෝය.

ඉතිහාසය

රාජා හරිස්චන්ද්‍ර චිත්‍රපටයෙන් - මුල්ම බොලිවුඩ් නිර්මාණය 1913 

ඉන්දියාවේ බිහිවන මුල්ම හින්දි චිත්‍රපටය වන්නේ 1913 වසරේදී දදාෂෙබ් ඵල්කේ  විසින් නිර්මාණය කළ රාජා හරිස්චන්ද්‍රය. 1930 වසර වන විට හින්දි සිනමා කර්මාන්තයේ දියුණුව කෙතරම් වූයේද යත් එය වසරකට චිත්‍රපට 200ක් පමණ ආසන්න වශයෙන් නිෂ්පාදනය කෙරිණි. මුල්ම ඉන්දීය කතානාද චිත්‍රපටය වූ අර්දේෂිර් ඉරානිගේ අලාම් අරාවාණිජමය වශයෙන් ඉහළ සාර්ථකත්වයක් ලබාගත්තේය.

අලාම් අරා චිත්‍රපටයෙන් 

 ඉන්දියාව තුළ කතානාද චිත්‍රපටවලට හා රමණීය ගීත සඳහා අතිශය ඉහළ ඉල්ලමුක් පවතින බැව් සියලු දෙනා අවබෝධ කොට ගත්හ. මෙහි ප්‍රතිඵලයක් ලෙස බොලිවුඩ් ඇතුළු සියලු ඉන්දීය සිනමාකරුවන් ගීත ඇතුළත් කතානාද චිත්‍රපට නිර්මාණය කරන්නට පටන් ගත්හ.

දදාෂෙබ් ඵල්කේ 

1930 හා 1940 දශක ඉන්දීය සිනමා කර්මාන්තය කෙරෙහි එතරම් ශුභදායී වූයේ නැත. වෙළෙඳ පරිහානිය, දෙවැනි ලෝක යුද්ධය, ඉන්දියානු නිදහස් අරගලය, බෙදුම්වාදී ප්‍රචණ්ඩ ක්‍රියා ආදී දේ හින්දි සිනමා කර්මාන්තය අහිතකර ලෙස බලපෑවේය. මෙහිදී බොහෝ සිනමාකරුවෝ ක්ෂේත්‍රයේ තවදුරටත් රැඳී නොසිට ඉන් ඉවත්වූහ. නමුත් ඇතැම්හු යුද්ධයට මැදිවුණු සිය දේශයේ සමාජ ආර්ථික අර්බුද අළලා නිර්මාණ සිදු කළහ. ඇතැම්හු සිය දේශයේ නිදහස උදෙසා ස්වකීය නිර්මාණ ඉදිරිපත් කළහ.

කිසාන් කන්‍යා චිත්‍රපටයෙන් - මුල්ම වර්ණ චිත්‍රපටය 


1937 වසරේදී මුල්ම වර්ණ හින්දි චිත්‍රපටය බිහිවිය. කිසාන් කන්‍යානම් වූ එය අර්දේෂිර් ඉරානිගේ නිර්මාණයකි. ඔහු දේශාභිමානී සිනමා නිර්මාණ ඉදිරිපත් කළද 1950 දශකය වනතුරු එවැනි නිර්මාණ සඳහා ඉල්ලුමක් පැවතියේ නැත. වැඩි වශයෙන් ජනප්‍රිය වූයේ ප්‍රේමනීය, බොළඳ සංගීතමය චිත්‍රපටයන්ය.

ස්වර්ණමය යුගය

ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීමෙන් පසුව එළැඹි 1940 දශකයේ අගභාගයේ සිට 1960 දශකය දක්වි වූ කාලය බොහෝ ඉන්දීය සිනමා ඉතිහාසඥයින් විසින් හඳුන්වනු ලබන්නේ ස්වර්ණමය යුගයවශයෙනි.  බොලිවුඩ් සිනමාවේ කීර්තිමත් නිර්මාණ බොහෝමයක් නිෂ්පාදනය වූයේ මෙම සමයේදීය. උදාහරණ ලෙස ගුරු දත්ගේ ප්‍යාසා’ (1957) සහ කාගස් කේ ෆූල්’ (1957), රාජ් කපූර්ගේ ආවාරා’ (1951) සහ ශ්‍රී 420’ (1955) දැක්විය හැකිය. 

ශ්‍රී 420 


ආවාරා චිත්‍රපටය සඳහා මුද්‍රණය වූ පෝස්ටරය 

මෙම නිර්මාණවලින් ඉන්දියානු නාගරික වැඩකරන පංතියේ සමාජ හා ආර්ථික තේමාවන් ඉදිරිපත් කරනු ලැබිණි. ආවාරාතුළින් නගරය යනු බියකරු සිහිනයක් සේම සුන්දර සිහිනයක් ලෙස විග්‍රහ කරනු ලැබුණු අතර ප්‍යාසාතුළින් නගරයේ ඇති පුහු අලංකාරය විදහා දැක්විණි.   හින්දි සිනමාවෙන් බිහිවූ බොහෝ වීර කාව්‍යයන් ද නිර්මාණය වූයේ මෙම සමයේදීය. මෙහෙබූබ් ඛාන්ගේ මදර් ඉන්ඩියා’(1957) මේ අතුරින් ඉදිරියෙන් සිටී. එය හොඳම විදේශ භාෂා චිත්‍රපටය සඳහා වූ ඇකඩමි සම්මානය සඳහා ද නිර්දේශ විය. 

මදර් ඉන්ඩියා 

ඊට අමතරව කේ. අසිෆ්ගේ  මූගල්  ඊ - අසාම්’ (1960), බිමල් රෝයි අධ්‍යක්ෂණය කළ, රිත්වික් ඝටක් තිරපිටපත ලියන ලද මධුමතීකැපී පෙනේ. මධුමතී සිනමාපටයේ විශේෂත්වය වූයේ පුනරුත්පත්තිය පිළිබඳ බටහිර ජනතාව අතර එතෙක් නොපැවති ආකල්පයක් ඇතිකරන්නට තරම් එය ප්‍රබල වීමය. 

මධුමතී 


එම සමයේ සිටි අනෙකුත් කීර්තිමත් සිනමා නිර්මාණකරුවන් අතර කමල් අම්රෝහි සහ විජේ භාත් සඳහන් කළ හැකිය. එම යුගයේ සාර්ථකත්වයට පත්වූ රංගන ශිල්පීන් අතර දේව් ආනන්ද්, දිලිප් කුමාර්, රාජ් කපූර් සහ ගුරු දත් ද, රංගනි ශිල්පිනියන් අතර නාර්ගිස්, වෛජයන්තිමාලා, මීනා කුමාරි, නූටාන්, මධුබාලා, වහීදා රෙහිමාන් සහ මාලා සිංහ සඳහන් කළ හැකිය.

දේව් ආනන්ද් 


නූතන හින්දි සිනමාව

1960 දශකයේ අගභාගයේ සහ 1960 දශකයේ මුල් භාගයේදී රාජේෂ් ඛන්නා, ධර්මේන්ද්‍ර, සන්ජීව් කුමාර් සහ ශෂී කපුර් වැනි රංගන ශිල්පීන් මෙනම ෂර්මිලා ථාගෝර්, මුම්ටාස් සහ ආශා පරේඛ් වැනි රංගන ශිල්පිනියන් පෙනී සිටි ප්‍රේමනීය හා ක්‍රියාදාම චිත්‍රපට අතිශයින් ජනප්‍රියත්වයට පත්විය. අධික ලෙස කෝපයට පත්වන පෙම්වතාගේ චරිතය හින්දි සිනමාවට හඳුන්වාදුන් සුපිරි නළු අමිතාබ් බච්චාන් මෙන්ම එම අඩිපාරේ යමින් ජනප්‍රියත්වට පත්වූ මිතුන් චක්‍රබෝර්ති සහ අනිල් කපූර් ප්‍රේක්ෂකයින් අතර අදටත් ජනප්‍රිය ව පවතී. හේමා මාලිනී, ජයා බච්චන් සහ රේඛා ද මේ යුගයටම අයත්ය.

1980 දශකයේ අගභාගයේ සහ 1990 දශකයේ මුල් භාගයේ වැඩි වශයෙන් ජනප්‍රියත්වට පත්වූයේ පවුල් කේන්ද්‍රකොටගත් ප්‍රේමනීය සිනමා නිර්මාණයන්ය. මේවා අතර ක්‍යාමත් සේ ක්‍යාමත් තක්’(1988), ‛මේන් ප්‍යාර් කියා’ (1989), ‛හම් ආප්කේ හේන් කවුන්’(1994) සහ දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ’(1995) සඳහන් කළ හැකිය. 

ක්‍යාමත් සේ ක්‍යාමත් කත් චිත්‍රපටායේ ආමීර් සහ ජුහී 


දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ චිත්‍රපටයේ ෂාරුක් සහ කාජොල් 

මෙම නිර්මාණයන් සමග බොල්වුඩ් සිනමාවට නව මුහුණු ගණනාවක් එක්විය. ඔවුන් අතර සන්ජේ දත්, ආමීර් ඛාන්, සල්මාන් ඛාන්, ෂාරුක් ඛාන්, ශ්‍රීදේවි, මධුරි ඩික්සිත්, ජුහි චව්ලා සහ කාජොල් සඳහන් කළ හැකිය. මේ සමයේදී ප්‍රහසන සිනමා නිර්මාණ ද අතිශය ජනාදරයට පත්විය. ගෝවින්ද, රවීනා ටැන්ඩොන් සහ කරිස්මා කපූර් මෙම වර්ගයේ නිර්මාණවල පෙනී සිටියහ. ක්‍රියාදාම නළුවකු වූ අක්ෂේ කුමාර් ද ප්‍රහසන සිනමාපටවල පෙනී සිටිනු දක්නට ලැබිණි.

2000 දශකය වනවිට ලොව පුරා හින්දි සිනමා නිර්මාණ සීඝ්‍රලෙස ජනප්‍රියත්වට පත්වනු පෙනෙන්නට තිබිණි. නව තාක්ෂණය, නවතම කතා තේමාවන්, ඉහළ ගුණත්වය මෙයට සෘජු ලෙස බලපෑවේය. මෙම සමයේ යාෂ් රාජ් ෆිල්ම්ස්, ධර්ම ප්‍රඩක්ෂන් වැනි සමාගම් වැඩිවශයෙන් චිත්‍රපට නිෂිපානය කරන්නට වූ අතර ඒවා විදේශ වෙළෙඳපලට ද යොමු කෙරිණි. ලගාන්’(2001), ‛දේව්දාස්’(2002), ‛කොයි මිල් ගයා’(2003), ‛කල් හෝ නා හෝ’(2003), ‛වීර් - සාරා’(2004) වැනි මෙහි සඳහන් කළ නොහැකි තරම් වූ අතිශය ප්‍රේක්ෂක ජනාදරයට පත්වූ නිර්මාණ බිහි විය. රිතික් රෝෂන්, අභිෂේක් බච්චාන්, අයිෂ්වර්යා රායි, ප්‍රීටි සින්ටා, රානි මුක්රජි, කරීනා කපූර්, ප්‍රියංකා චොප්රා හා විද්‍යා බාලන් වැනි නළු නිළියන් බොලිවුඩ් සිනමාවේ කැපී පෙනෙන්නට වූහ. මෙම සමයේ නිෂ්පාදනය වූ ලගාන්, 74 වැනි ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදේශ භාෂා චිත්‍රපටය සඳහා නිර්දේශ විය.

සංගීතය
ඒ.ආර්. රහ්මාන් 

බොලිවුඩ් සිනමා නිර්මාණ සඳහා සම්පාදනය කෙරුණු බොහෝ සංගීත නිර්මාණ ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වීම ද විශේෂයෙන් සඳහන් කළයුතු දෙයකි. 1982 නිෂ්පානය වූ ඩිස්කෝ ඩාන්සර්හි ගීත මෙසේ ලොව පුරා ජනප්‍රියත්වයට පත්වූ එක් අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය. අනිල් බිස්වාස් (1914-2003), වසන්ත් දේසායි (1914-1974), නවුෂාඩ් අලි (1919-2006), ඝුලාම් හේඩර් (1908 -1953), ඛයියාම් (උපත -1927), එස්.ඩී. බර්මාන් (1901-1975), මදන් මෝහන් (1923-1975), ඕ.පී. නයියාර් (උපත 1926), ආර්.ඩී. බර්මාන් (1934-1994), ඒ.ආර්. රහ්මාන් (උපත 1966) බොලිවුඩ් සිනමා කර්මාන්තයේ නම රඳවාගත් සංගීතඥයින් අතර කැපී පෙනේ.

මුදල් ආයෝජනය

රා.වන් චිත්‍රපටය 

මුදල් ආයෝජනය කිරීම අතින්ද බොලිව්ඩ් චිත්‍රපට ඉදිරියෙන්ම සිටී. ඔවුන් සිය නිර්මාණ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන් 20ක් (රුපියල් කෝටි 250ක පමණ) තරම් වියදම් කරන්නට මැළිවන්නේ නැත. මෑතකදී බිහිවූ විද්‍යා ප්‍රබන්ධ කතාවක් වූ රා.වන්සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 27ක් (රුපියල් කෝටි 270ක් පමණ) වැය වූ අතර මෙතෙක් බොලිවුඩයේ නිර්මාණය වියදම් අධිකතම නිර්මාණය එය ලෙස සැළකේ.

බොලිඩුඩ් සිනමාවට සිය වසක් සපිරෙන මෙම වසරේ ඒ පිළිබඳ මෙසේ කෙටියෙන් කතාකිරීම නොසෑහීමකට කරුණකි. මෙහි ඇතැම්විට පරිපුර්ණ කරුණු අඩංගු නොවන්නට ද පුළුවන. නමුත් මේ උත්සාහයේ අපතේ නොයන්නක් බැව් නම් ඉඳුරාම විශ්වාසය. 

1 comment:

  1. ලියනවා වේගෙ වැඩියි. පිලිතුරු සැපයීමටත් එවා සාකච්ඡා කිරීමටත් කාලයක් දෙන්න. - lankabloggers.com

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න