පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, February 3, 2015

නවග්‍රහයන්ගෙන් ආරක්ෂාව ලබාගත හැකි නවරත්න මුද්දෙහි කතාව - Story of Navarathna Ring



මැණික් කියන්නේ සෞභාග්‍යයේ සංකේතයක්. මැණික් පැළඳීම හෝ තමන් සන්තකයේ තබාගැනීම නිසා වාසනාව, සෞභාග්‍යය උදාවන බවට දුරාතීතයේ පටන්ම විශ්වාසයක් පවතිනවා. ආසියානු කලාපයට අයත් වන අපේ රටවල පමණක් නොව බටහිර රටවල ද රජවරු තමන්ගේ රජ කිරුළ මුදුනේ වටිනා මැණිකක් සවිකරගන්නට උනන්දු වූයේ ඒ නිසයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඔටුන්නේ මැණික් වර්ග බොහෝ ගණනක් ඇති බව කෞතුකාගාරයට ගිය අයෙකුට දකින්නට පුලුවන්. ඒ වගේම ඉන්දියාවෙන් සොයා ගත් කොහිනූර් දියමන්තිය එංගලන්ත මහ රැජිනගේ ඔටුන්නේ සවිකොට තිබෙනවා. මැණික් සෞභාග්‍යයේ සංකේතයක් වගේම මුදල් ඒකකයක් විදිහට ද පිළිගැනෙනවා. වර්තමානයට වඩා එය අතීතයේ සුලභව දකින්නට ලැබුණා. අපේ රටේ වටිනා මැණික්වලට විදෙස් රටවලින් වෙනත් භාණ්ඩ හුවමාරු කරගත් බව ඉතිහාස කතාවල දැක්වෙනවා. 

ජ්‍යොතිෂයේ කියැවෙන පරිදි ග්‍රහයන්ගේ සහ මැණික් වර්ග අතර සම්බන්ධතාවයක් පවතිනවා. එක් එක් ග්‍රහයාට ආවේණික වූ මැණික් වර්ගයක් පවතින අතර පෘථිවියට බැලුම් හෙළන ග්‍රහයන්ගේ ආකර්ෂණය ලබාගන්නට මේ මැණික්වලට හැකියාවක් පවතින බව අතීතයේ පටන්ම විශ්වාසයක් පවතිනවා. මිනිසුන් මැණික් වර්ග පැළඳීමේ පුරුද්ද ඇතිවන්නට ඇත්තේ මේ විශ්වාසය පදනම් කරගෙන විය යුතුයි. මේ මැණික් වර්ග සිරුරේ කුමන තැනක පැළඳගෙන සිටියත් ආකර්ෂණයේ නොවෙනස්ව ලැබෙන බවයි පැවසනේනේ. ජ්‍යොතිෂයේ දැක්වෙන පරිදි නව ග්‍රහයන් සඳහා මේ අනුව මැණික් වර්ග නවයක් පවතිනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල නවරත්න පළඳනා බොහෝ ජනප්‍රියව පවතින්නේ මේ නිසා විය හැකියි. ජ්‍යොතිෂයේ දැක්වෙන පරිදි මේ මැණික්වලින් සුබපල ලැබීමට නම් ඒවා සිරුරේ ස්පර්ශ වන පරිදි තිබිය යුතු වෙනවා. අපේ රටේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ බොහෝ වෙලාවට නවරත්න මුදු. නමුත් ඉන්දියාව, තායිලන්තය වගේ රටවල නවරත්නවලින් නිර්මාණය කළ මාල හා අත්පළඳනා ද ඇති බව පේනවා. මෙසේ මැණික් පැළඳීමෙන් මේ ග්‍රහයන්ගේ ආරක්ෂාව ලැබෙන බවයි ජ්‍යොතිෂයේ පැවසෙන්නේ. 

නවරත්න අත් පළඳනා

නවරත්න මාල


විද්‍යාත්මක පැත්තෙන් ගත්තොත් මැණික් පැළඳීමෙන් විශේෂ යහපතක් අත්වන බව තවමත් තහවුරු වී නැහැ. නමුත් යම්කිසි පුද්ගලයකුගේ මානසිකත්වය නගා සිටුවීම සඳහා මැණික් පැළඳීමෙන් යම් බලපෑමක් ලැබෙන බව මනෝ විද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා. යම්කිසි මැණික් වර්ගයක් පැළැඳ සිටින බවට ඇතිවන හැඟීම ඔස්සේ යම්කිසි පුද්ගලයකුගේ ආත්ම ශක්තිය වර්ධනය කරගැනීම වැනි බලපෑමක් ඇති කළ හැකියි. 

ජ්‍යොතිෂයේ ප්‍රධාන වශයෙන් ග්‍රහයන් නව දෙනෙක් ගැන කියැවෙන බව අපි කතා කළා.  මේ ග්‍රහයන් නව දෙනා වෙනුවෙන් වෙන්කොට ඇති මැණික් වර්ග තමයි නවරත්න කියා හඳුන්වන්නේ. මේවා ගැන වේද ජ්‍යොතිෂයේ පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා.  අපි මුළින්ම ඒ ඒ මැණික් වර්ග සහ ඒවා අයත්වන ග්‍රහයන් ගැන සොයා බලමු. 

1. පද්මරාග - රවි හෙවත් සූර්යයා
2. මුතු - සඳු
3. රතු කොරල් - කුජ හෙවත් අඟහරු
4. පච්ච/මරකත - බුධ
5. පුෂ්පරාග - ගුරු හෙවත් බ්‍රහස්පති
6. දියමන්ති - සිකුරු
7. නිල් - ශනි හෙවත් සෙනසුරු
8. ගෝමේද - රාහු
9. වෛරෝඩි - කේතු 

එක් මැණික් වර්ගයක් පළඳිනවාට වඩා නවරත්න පැළඳිමේ විශේෂ වාසියක් තිබෙනවා. එක් මැණික් වර්ගයක් පැළඳීමෙන් සිදුවන්නේ ඒ මැණිකට අදාළ ග්‍රහයාගේ බලපෑම් අඩුවැඩි කරගැනීමයි. නමුත් ඒ සියලු ග්‍රහයන්ගෙන් ලැබෙන පල සමබර කරගන්නට නවරත්න මුද්දෙන් උදව් ලැබෙන බව ජ්‍යොතිෂයේදී විශ්වාස කෙරෙනවා. අනෙක නවරත්න මුදු පැළඳීම සඳහා ජ්‍යොතීර්වේදියෙකුගේ විශේෂ නිර්දේශයක් අවශ්‍ය නොවන බවත් කියැවෙනවා. අපේ රටේ සාමාන්‍යයෙන් නවරත්න මුදු පමණක් පැළඳීම සිදුකරන අතර මෙම ආභරණ තැනිය යුත්තේ රන්වලින් හෝ රිදීවලින්. 

නවරත්න යනු මණික් වර්ග නවයක් වුවත් මෙම පළඳනා සදහා, විශේෂයෙන් නවරත්න මුදු සඳහා යොදා ගැනෙන්නේ බොහෝ විට මැණික් කැපීමේදී ඉවත දමන කොටස්වලින් කුඩා ප්‍රමාණයෙන් සකස් කරගන්නා මැණික්. මේ නිසා මේවාට විශාල මුදලක් වැයවන්නේ නැහැ. අපේ රටේ බොහෝ ස්වර්ණාභරණ අළෙවි සැල්වල විවිධ ප්‍රමාණයේ නවරත්න මුදු අළෙවිකරන්නට තබා ඇති ආකාරය දකින්නට පුලුවන්. මැණික්වලට ප්‍රසිද්ධ ඇහැලියගොඩ, කුරුවිට, රත්නපුර වැනි පළාත්වල මේවා විශේෂයෙන් දැකිය හැකියි. නමුත් නවරත්න මුද්දක් මිලදී ගැනීමේදී පරෙස්සම් විය යුතුයි. එයට හේතුව ව්‍යාපාරික වශයෙන් මේවා කරගෙන යන ඇතැම් පුද්ගලයන් මැණික් නොවන ගල්, වීදුරු හා සෙලෝලොයිඩ් මෙම මුදු සඳහා භාවිත කරන නිසයි. අනෙක මේ සඳහා භාවිත කරන මැණික්වල කිසිදු පලුද්දක් නොතිබිය යුතුයි. ඒවගේම නවරත්න මන්ත්‍ර මගින් ජීවම් කිරීමෙන් පසු මේවා පළඳින්නේ නම් එයින් ලැබිය හැකි සුබඵල අපමණ බවයි ජ්‍යොතිෂයේ දැක්වෙන්නේ. 

සාමාන්‍යයෙන් නවරත්න මුද්දක් සකස්කරගන්නා ජනප්‍රිය ආකාරය

බොහෝ දෙනෙක් නවරත්න මුදු නිර්මාණය කරන්නේ පැත්තකට ගල් තුන බැගින් පිහිටන අයුරින්. නමුත් ඉන්දියානු වේද ග්‍රන්ථවල දැක්වෙන්නේ වෙනත් ආකාරයකටයි. එයට අනුව රවි හෙවත් සූර්යයාට හිමි පද්මරාග මාණික්‍යය මැදින් තබා අනෙක් ඒවා එය වටා සිටින සේ පිළියෙල කළ යුතු බවයි. එයින් සංකේතවත් වන්නේ සූර්යයා ප්‍රමුඛ සෞරග්‍රහ මණ්ඩලයයි. අනෙක් මැණික් පිහිටුවන්නේ ද නිශ්චිත දිශාවකට අනූකුළවයි. මෙහි ඉහළින්ම ඇති රූප සටහනේ දැක්වෙන්නේ නිවැරදි ආකාරයට නවරත්න පිහිටුවා මුද්දක් සකස් කරගන්නා ආකාරයයි. කලින් තැනක සඳහන් කළා සේ  මේ මැණික් මුද්දට සවිකළ යුත්තේ මුද්ද පැළඳි පසු සමේ සප්ර්ශවන ආකාරයටයි. එසේ ස්පර්ශවන්නේ නැත්නම් මෙයින් බලාපොරොත්තුවන ප්‍රතිඵල ලබාගැනීමට හැකියාවක් නැති බවයි ජ්‍යොතිෂයේ සඳහන් වන්නේ.

12 comments:

  1. අප්පටසිරි මට සෙනසුරු අපල.දවසක් කිව්වා කේන්දර බලන තැනකින් නිල් පාට මැණිකක් සහිත මුද්දක් දාන්න කියලා.
    මගේ පෞද්ගලික මතය තමා මේ ග්‍රහවස්තූවල බලපෑම අපිට තියෙනවා කියලා.ඒත් ඒවා පරාජය කරන්න පුළුවන් ශක්තිය අපට තියෙනවා.ඒ නිසාම මං ඒවා වැඩිය ගණන් ගන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. කොහොමත් මේ පිටිපස්සේ වැඩිය යන්න හොද නෑ. ගිය අයට වුණු දේ දැන් දැක්කනේ.

      Delete
  2. රසවත් වැදගත් තොරතුරු රැසක් තිබුන ලිපියක්...පුද්ගලිකව මම වැඩි විශ්වාසයක් නොතිබුනත් කරුනු කාරන ගොඩක් ඉගන ගන්න ලැබුනා.....

    ReplyDelete
    Replies
    1. යම් යම් දේවල් විශ්වාස නොකළත් එ් ගැන දැනුවත්ව සිටීමෙන් වාසියක් මිසක් පාඩුවක් සිදුවන්නේ නැහැ.

      Delete
  3. ස්තුතියි... ගොඩක් වැදගත්.. අහම්බෙන් දකින්න ලැබුණේ....

    ReplyDelete
    Replies
    1. මෙයින් ප්‍රයෝනයක් වුණා නම් එය මාගේ සතුටයි.

      Delete
  4. මෙහි කියවෙන එක් කරුණක් නිරදි නොවේ.එනම් මෙම මුදු පැලදිම මගින් යහපතක් වන බවට විද්‍යාත්මකව තහවුරු කර නැහැ යන්න කියන කියමන.මෙය තහවුරු කිරීමට ලේසියි.ඔබ සිතන්න 7 ශ්‍රේණියේ දී විද්‍යාගාරය තුළ ප්‍රිස්ම මගින් සිදු කරන වර්ණාවලි පිළිබදව.එහිදී සුදු ආලෝක කිරණය වර්ණ 7 කට විභේදනය වෙනව.මෙම වර්ණාවලි 7ට අදාල සංඛ්‍යාත තිබෙනව.නමුත් අපිට එව එතරම් දැනෙන්නෙ නෑ.පියවි ඇසින් වර්ණාවලි දකින්නත් බෑ.ඒ සිද්ධාන්තය අනූව තමයි මැණික් ගල් සකස් කරන්නේ.ඒවා නිශ්චිත හැඩයකට සකස් කරනව.එහි අරමුණ නිවරදිව කිරණ අවශෝනයත් අහිතකර කිරණ පරාවර්තනය කිරීමත්.එමගින් ලේ ධාතුව පිරිසිදු වෙනව.ස්නායු පද්ධතිය සක්‍රිය වෙනව.එනිසා මැණික් පැලදීම විද්‍යාත්මකයි.

    ReplyDelete
    Replies
    1. නවරත්න මැණික් ගල් මුදු පැළඳීම ගැන නිශ්චිත අදහසක් ජ්‍යෝතිෂවේදීන් අතරත් නැහැ. අැතැමෙක් පවසනවා මෙය අසුභ දෙයක් කියා. විද්‍යාත්මකව ගත්තොක් සූර්යාගෙන් සහ සදෙන් අපට ලැබෙන ආලෝකය අනෙක් ග්‍රහයන්ගෙන් ලැබෙන්නේ නැහැ. රාහු ගත්තොත් ග්‍රහයෙක් නෙවෙයි. එතැනින් ආලෝකයක් එන්නේම නැහැ. ඇතැමෙක් පවසන්නේ මැණිග් ගලකින් ගුණයක් ලැබෙන්න නම් එහි තිබිය යුතු අවම බරක් තිබිය යුතු බවයි. නමුත් පහසු මිලට වෙළෙඳ පලේ මිලට ගැනීමට ඇති මැණික් මේ බරේ අහළකවත් නැහැ. අනෙක මේ සදහා යොදන ඇතැම් ගල් වර්ග ගුණත්වයේ තොරයි. උදාහරණයක් විදිහට ගත්තොත් ගොමේද සදහා ඇතැම් කපටි වෙළෙදුන් යොදන්නේ සර්කන් නමැති බාල ගල් වර්ගයක්. ඉතිං මෙවැනි මතභේදාත්මක කරුණු නිසා මෙහි විද්‍යාත්මක පැත්තක් ගැන කතා කිරීමේ අර්ථයක් නැති බවයි මට සිතෙන්නේ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. http://www.aureas.org/rams/rams13quantummechanics.pdf

      Delete
    4. ලංකාවෙ බොහෝ ජ්‍යෝතිෂවේදින් සා පෙළ වත් සමත් නෑ.සමත් අයගෙන්‍ෙ උ පෙළට භෞතික විද්‍යෙව හැදෑරූ අයද නැති තරම්ය.එනිසා ඔවුන්ගේ දැනුම ප්‍රමාණවත් නොමැත.මේ දෙක ඉගෙන ගත් අයට ඒ පිළිබද අවබෝධයක් ඇත. "quantum physics" and "cosmology".

      Delete
    5. එවැනි අධ්‍යාපනයක් ලැබූ අය ඇතැම් විට ජ්‍යෝතිෂය වැනි විෂයයන් කෙරෙහි අවධානයක් යොමු කරනවා අඩුයි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න