පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, February 24, 2015

මෛත්‍රීත් මහින්දත් දෙන්නාම වැන්ද කෝවිල තිරුපති - Story of Lord Venkateswara temple in Tirumala



තිරුපති කෝවිල කියන්නේ ඉන්දියාවේ පිහිටා තිබෙන සුප්‍රකට, ඓතිහාසික වටිනාකමක් ඇති හින්දු සිද්ධස්ථානයක්. මෙහි බොහෝ හාස්කම් ඇති ස්ථානයක් ලෙස හින්දු බැතිමතුන් විශ්වාස කරනවා. මේ ගැන අප බොහෝ කාලයක් සිට යම් යම් කරුණු දැන සිටියත් පසුගිය ජනාධිපතිවරණය සමයේ වැඩිදෙනෙක් මේ ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ හිටපු ජනාධිපති මහන්ද රාජපක්ෂ මහතා සිය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනු වස් පූජා පවත්වා බාරහාරවීමට මෙම කෝවිලට ගොස් තිබූ නිසයි. ඔහු එහි පූජාවන්ට සහභාගී වී සිටින ආකාරය පිළිබඳව විවිධ ඡායාරූප අන්තර්ජාලයේ පළව තිබුණා. ජනාධිපතිවරණය නිමවීමත්, එයින් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමත් නිසා මේ  පිළිබඳ මතකය ටිකෙන් ටික ගිළිහිලා ගියා. නමුත් නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දීය සංචාරය අතරතුරේ තිරුපති වන්දනාවේ යන බැව් ප්‍රවෘත්තිවලින් පැවසුණු නිසා නැවතත් ඒ පිළිබඳ උනන්දුවක් ඇති වී තිබෙන බවක් පෙනෙනවා. 

තිරුමාල කන්ද

මෙය තිරුපති යනුවෙන් හැඳින්වූවත් නියම නම වන්නේ ‛තිරුමාල ශ්‍රී වෙන්කතේෂ්වර කෝවිල’ යන්නයි. එය ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි, චිට්ටූර් දිස්ත්‍රික්කයේ තිරුපති නම් කඳුකර නගරය ආසන්නයේ පිහිටා තිබෙනවා. තිරුපති නගරයට ආසන්නව ඇති නිසා එය වැඩි දෙනෙක් හඳුන්වන්නේ ‛තිරුපති කෝවිල’ නමින්. තිරුපති කෝවිල පිහිටා තිබෙන්නේ ‛තිරුමාල’ කඳු වැටිය මුදුනේ යි. තිරුමාල කන්ද මුහුදු මට්ටමේ සිට මීටර් 853ක පමණ උන්නතාංශයකින් පිහිටා තිබෙනවා. එම ප්‍රදේශය වර්ග කිලෝමීටර් 27කින් පමණ යුක්තයි. මෙම කන්ද මුදුන් හතකින් සමන්විතයි. හින්දු විශ්වාසයට අනුව එය සියලු සර්පයන්ට අධිපති රජු වන අදීෂගේ හිස් හත යැයි පැවසනෙවා. මෙම මුඳුන් හත සේසාද්‍රි, නීලාද්‍රි, ගරුඩාද්‍රි, අන්ජානාද්‍රි, වෘෂභාද්‍රි, නාරායනාද්‍රි සහ වෙන්කතාද්‍රි යනුවෙන් හඳුන්වනු ලබනවා. ක්‍රි.ව. 300 දී පමණ ඉදිකළේ යැයි සැළකෙන මෙම කෝවිල පිහිටා තිබෙන්නේ මේ අතරින් වෙන්කතාද්‍රි හෙවත් වෙන්කත් කන්දේ මුඳුන මතයි. මෙම කෝවිලට අධිගෘහිත හින්දු දෙවියා වන්නේ වෙන්කතේෂවරයි. ඔහු විෂ්ණු දෙවියන්ගේ එක් වේසයක් යැයි විශ්වාස කෙරෙනවා. බලාජි, ගෝවින්ද හා ශ්‍රීනිවාස යන නම්වලින් ද වෙන්කතේෂ්වර හඳුන්වනු ලබනවා. මෙම කෝවිල කෙළවර වන්නේ පූජනීය විලක් වූ ශ්‍රී ස්වාමි පුෂ්කර්නි හි එක් ඉවුරකින්. දකුණු ඉන්දීය ගෘහනිර්මාණ ශිල්පයට අනුව ඉදිකොට ඇති මෙහි දක්නට ඇති අක්ෂර සියල්ල ඇත්තේ දෙමළ බසින්. 

වෙන්කතේෂවර පිළිමය


තිරුපති කෝවිලේ පවතින්නේ යැයි පැවසෙන හාස්කම්වලට අමතරව මෙය ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ලෝකයේ ඇති ධනවත්ම කෝවිල ලෙසයි. ලෝකයේ වැඩි දෙනෙක් සංචාරය කළ ස්ථානයක් වන නිසා මෙය අධික ලෙස විවිධ ප්‍රදානයන් ලැබෙනවා. මෙය කරා දිනකට වන්දනා කණ්ඩායම් වශයෙන් 50,000 - 100,000 දක්වා පැමිණෙනවා. වාර්ෂිකව පැමිණෙන වන්දනාකරුවන්ගේ සංඛ්‍යාව මිලියන 30 - 40 පමණ වෙනවා. වාර්ෂිකව පැවැත්වෙන බ්‍රහ්මෝත්සවම් පූජාව වැනි උත්සව සමයන්හිදී මෙයට දිනකට පැමිණෙන වන්දනා කණ්ඩායම් සංඛ්‍යාව ලක්ෂ 5ක් දක්වා ඉහළ යන බවයි පැවසෙන්නේ. මේ නිසා මොවුන්ගෙන් පූජා පිණිස ලැබෙන මුදල්, වෙනත් වටිනා භාණ්ඩ නිසා ලොව ඇති ධනවත්ම සිද්ධස්ථානය මෙය බවට පත්වීමේ පුදුමයක් නැහැ. 
මෙම දේවස්ථානය පිළිබඳ ප්‍රවාද කිහිපයක්ම පවතිනවා. එයින් එක් විශ්වාසයකට අනුව මෙහි පවතින වෙන්කතේෂ්වර පිළිමය පෘථිවිය බිහිවුණු කලියුගය මුළුල්ලේම මෙහි පැවතී තිබෙනවා. 



ලොව පුරා පැතිර පවතින විශ්වාසයන්ට අනුව මේ දේවාලයට බාරහාර වීමෙන් සියලු බලාපොරොත්තු ඉටුවන බවයි පැවසෙන්නේ. අප රටේ හිටපු රාජ්‍ය නායකයා නැවත ජනපතිවීමේ පැතුම නිසැකවම ඉටුවේ යැයි බලාපොරොත්තුවෙන් මෙයට බාරහාර වී පුද පූජා පවත්වන්නට ඇත්තේ ඒ නිසා විය යුතුයි. නමුත් මෙවර එවැන්නක් සිදුවූයේ නැහැ. 



හාස්කම්වලට අමතරව මෙය පිළිබඳ තවත් එක් රසවත් කතාවක් ද පවතිනවා. එය තිරුපති ප්‍රදේශයේ කවුරුත් දන්නා දෙයක්. මේ කතාව උරුළෑවන්ට සම්බන්ධයි. මෙම දේවාලයට සම්බන්ධව ඇති 12 වැනි සියවසට අයත් ලේඛනවලත් මෙම සතා ගැන සඳහන්ව තිබෙනවා. උරුළෑවා කියන්නේ අධික දුර්ගන්ධයක් ඇති සතෙක් වුවත්, මෙයින් හමුවන ඓතිහාසික ලේඛනවලට අනුව උගෙන් ලබාගත් ස්‍රාවයකින් පිළියෙල කරගත් තෙල් වර්ගයක් මිශ්‍ර කළ ජලයෙන් එකල සිටි රජවරු ස්නානය කරන්නට පුරුදුව සිටි බව පැවසෙනවා. මෙම තෙල් වර්ගය හඳුන්වනු ලබන්නේ ‛පුනුගු’ නමින්. රජවරු මෙසේ ස්නානය කරන්නේ සුවඳවත්ව සිටීමට බවයි පැවසෙන්නේ. මෙම තෙල් 14 වැනි සියවස පමණ වන විට ඉතා මිල අධික සුවඳ විලවුන් වර්ගයක් බවට පත්ව තිබුණා. මෑත ඉතිහාසයේදී මෙම තෙල් වර්ගය භාවිත කළේ එහි සෑම සිකුරාදා දිනකම පැවැත්වෙන වෙන්කතේෂවර පූජාවේදී එම දෙවිඳුන්ගේ පිළිමයේ ආලේප කිරීම සඳහායි. නමුත් උරුළෑවා වඳවීගෙන යන සත්වයෙක් ලෙස ලැයිස්තු ගතකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම චාරිත්‍රයට බාධා පැමිනුණා. 




තිරුපති කෝවිල හයිද්‍රාබාද් සිට කිලෝමීටර් 579 ක්, චෙන්නායි සිට කිලෝමීටර් 86ක් සහ  බැංගලෝර්වල සිට කිලෝමීටර් 181ක්  දුරින් පිහිටා තිබෙනවා. අපේ රටේ සිට බොහෝ දෙනෙක් ඉන්දියාවට ගමන් කිරීමේදී තෝරාගන්නේ චෙන්නායි ගුවන් තොටුපල නිසාත්, එතැන් සිට කිලෝමීටර් 86ක් තරම් අඩු දුරක මෙය පිහිටා තිබීමත් නිසාත් මෙය නරඹා වැඳුම් පිදුම් කරගෙන එන්නට ඉතාම පහසුයි. තිරුපති කෝවිල නිසාම එහි ජාත්‍යන්තර මට්ටමේ ගුවන් තොටුපොළක් ද තිබෙනවා. එය පිහිටා ඇත්තේ තිරුපති නගරයේ සිට කිලෝමීටර් 14ක් දුරින්. ඔබ සැහැල්ලු බඩු බාහිරාදිය රැගෙන යනවා නම් පමණක් චෙන්නායි ගුවන් තොටුපල හරහා තිරුපති කරා ඉතා කෙටි වේලාවකින් ළඟාවන්න පුළුවන්. බඩුබාහිරාදිය වැඩිපුර අරන් යනවා නම් ඔබ යායුතු වන්නේ හයිද්‍රාබාද් ගුවන්තොටුපළටයි. 

එමෙන්ම චෙන්නයි සිට තිරුපති දක්වා දුම්රියෙන් මෙන්ම මහා මාර්ගය ඔස්සේ ද ගමන් කළ හැකියි. චෙන්නායි සිට පැය 3කින් පමණ ළඟා විය හැකි වුණත් හයිද්‍රාබාද් හරහා යනවා නම් පැය 10 -12 ක පමණ ගත විය හැකියි. 

මීට අමතරව තිරුපති කරා වන්දනා ගමන් සංවිධානය කරන විවිධ ආයතන බොහෝ ගණනක් චෙන්නායි ඇතුළුව ඉහත කී අනෙක් ප්‍රධාන නගර දෙකේ පවතිනවා. ඒවායෙන් ද ප්‍රයෝජන ගත හැකියි. නමුත් චෙන්නායි සිට ගුවනින් ගමන්කිරීම සඳහා කිසිදු මාර්ගෝපදේශකයකු අවශ්‍ය නැති බවයි කිව යුත්තේ. 



තිරුපති නගරය කරා ගමන් කරන බැතිමතුන්ට සහ සංචාරකයන්ට නවාතැන් සැපයීම සඳහා විවිධ මට්ටමෙන් ස්ථාන බොහොමයක් පවතිනවා. මෙම කෝවිල් භාරකාර මණ්ඩලය මගින් ඉදිකළ නවාතැන් ඉතාමත් අඩුමිලට ලබාගන්නට පුලුවන්. සාමාන්‍ය පහසුකම් සපයන කුඩා ප්‍රමාණයේ නවාතැනක් අපේ රටේ මුදලින් නම් රුපියල් 250 - 550 ත් අතර මිලකට ලබාගන්නට පුළුවන්. වායුසමීකරණය කළ කුඩා නවාතැන් අපේ රටේ මුදලින් රුපියල් 1280 - 1600 අතර මිලකට ලබාගන්නට පුලුවන්. මේ සඳහන් කළේ එක් දිනකට මිල ගණන්. මීට අමතරව තරු පංතියේ හෝටල් ද පවතිනවා. ෆෝර්චූන් සිලෙක්ට් ග්‍රූන්ඩ් රිජ්, ආර්.ආර්. හවුස්, ෆෝර්චූන් කෙන්සස් හොටෙල් ආදිය මේ අතර පවතින අතර එක් රාත්‍රියක් සඳහා ඒවායේ මිල ගණන් අපේ රටේ මුදලින් රුපියල් 2000 - 6000 අතර පවතිනවා. 

ඔබ තිරුපති කරා ගමන් කරන්නේ නම් මීට අමතරව දැනගත යුතු කරුණු කිහිපයක්ම තිබෙනවා. ඒ එම ප්‍රදේශයේදී ඔබ හැසිරිය යුතු අන්දමයි. මෙය දහස් ගණන් වන්දනාකරුවන් පැමිණෙන ස්ථානයක් බව මුළින්ම මතකයේ තබා ගත යුතුයි. සිද්ධස්ථානයට ගැළපෙන ඇඳුම් ඇඳිය යුතුයි. මත්පැන් පානය නොකළ යුතු අතර මස් පමණක් නොව මාළු හා බිත්තර මෙම ප්‍රදේශයේදී පරිභෝජනයෙන් වැළකිය යුතුයි. කෙල ගැසීම හෝ අන්‍යන්ට කරදර වන ලෙස හැසිරීම නිසා ඔබ එහි නොසිටිය යුතු අයෙක් බවට බලධාරීන්ට පෙනී යන්නට පුළුවන්. කෝවිල තුළට ඇතුළුවීමේදී ජංගම දුරකතන හා කැමරා රැගෙන යාම තහනම්. කාන්තාවන් සාම්ප්‍රදායික ඉන්දීය සාරියකින් සැරසිය යුතුයි. එසේ නොමැති නම් සම්පූර්ණ සිරුර වැසෙන සේ පමණක් නොව ගෙල වැසෙන සේ සුදු රෙද්දක් ද ඔතා ගත යුතුයි. මේවා කෝවිලට ඇතුළුවන ස්ථානයෙන් අපේ රටේ මුදලින් නම් රුපියල් 180කට පමණ ලබාගන්නට පුළුවන්. 

මෙම ප්‍රදේශයේ ස්වභාවිකත ජලය කිවුල් ස්වභාවයෙන් යුක්ත බැවින් බෝතල් කළ ජලය පානය කිරීම වඩාත් සුදුසුයි. 

අවසන් වශයෙන් කිව යුත්තේ ඔබගේ ආගමික විශ්වාසය කුමක් වුවත් ඔබ සංචාරයේ යෙදෙන ආගමික ස්ථානයේ සම්ප්‍රායයන්ට ගරුකරන්නට මතක තබාගත යුතු බවයි. 

අතිරේක කියැවීම්
ජනපතිවරයා ඉදිරියේ තිරුපති අගුල් වැටෙයි

6 comments:

  1. කෝවිල වෙනුවට දේවාලය කියන වචනය යොදන එක වඩා හොඳයි

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.
      මම හිතන විදිහයට නම් හින්දු දේවස්ථාන සියල්ල සාමාන්‍යයෙන් හදුන්වන්නේ කෝවිල නමින්. විකිපීඩියාවේ මෙවැන්නක් සදහන් වෙනවා.
      Koil or Kovil, "King's House" is the Tamil term for a distinct style of Hindu temple with Dravidian architecture.
      නමුත් දේවාල යන්නට ඇත්තේ In Hinduism, Devala was one of the great rishis or sages. He is acknowledged to be a great authority like Narada and Vyasa and is mentioned by Arjuna in Bhagavad Gita යනුවෙන්. අපේ රටේ පවා දේවාල යනුවෙන් හදුන්වන්නේ මා දන්නා තරමින් ප්‍රාදේශීය දෙවිවරුන් වැඩවසන්නේ යැයි සිතන සිද්ධස්ථානවලටයි. කෙසේ නමුත් මේ ගැන වැඩි විස්තර සෙවිය යුතුයි.

      Delete
  2. වැදගත් විස්තර ටිකක්....
    කිසිම ආගමක් දර්ශනයක් ගැන ප්‍රශ්නයක් මට කවමදාවත් නැතත් මම ඒව අදහන අයට ඒවාට ගරු කලත් මම කවදාවත් දේවාල කෝවිල් වලට යන්න කැමති කෙනෙක් නෙවයි
    ඒත් ඒහා බැදුන ප්‍රවාද ජනශ්‍රැති කියවන්න කැමතී
    ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ඔබ සමග මම එකග වෙනවා. ඒ කියන්නේ මටත් කිසිම ආගමක්, දර්ශනයක් ගැන ප්‍රශ්න නැහැ. ඒත් ඒවා නරඹන්න යන්න කැමැත්තක් තියෙනවා. පුද පූජා පවතවන්න නොවෙයි. විස්තර දැක බලාගන්න.

      Delete
  3. බොහොම ස්තූතියි නිරන්ජන් මේ තොරතුරු බෙදා ගත්තට. මේ කෝවිලත් කතරගම වගේ එහෙන් ගියා මෙහෙන් එලියට දැම්මලු වෙන්නෙ, සාමාන්‍ය වන්දනාකරුවන්ව. එක අතකට එහෙම නොකර කොහෙද එන පිරිස් තරමට!

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං එහෙම තමයි වෙන්නේ. රාජ්‍ය නායක සැළකිලි හැමෝටම නැහැ. අනෙක මෙතැනට එන සෙනගේ හැටියට වෙන කරන්න දෙයකුත් නැහැ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න