පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, March 26, 2019

දියමන්ති ගැන කයි කතන්දර - Diamond Story



රටේ ප්‍රශ්න සහ අපේ ප්‍රශ්න අමතක වෙන තරමට අපට එදිනෙදා කතා කරන්න දේවල් හැමදාම තියෙනවා. ඒ කතා කරන දේවල් අතර ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන එක් දෙයක් තමයි මෑතකදී සිදුවුණු මහා දියමන්ති මංකොල්ලය. පැරණි සිංහල චිත්‍රපට නරඹා තිබෙනවා නම් දියමන්ති මංකොල්ලයක් ගැන නිර්මාණය වුණු දියමන්තියචිත්‍රපටයත් මේ වෙලාවේ බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්න පුළුවන්. ඒ වගේම ලෝක ප්‍රකට හොලිවුඩ් සිනමා නළුවකු වන ලියොනාඩෝ ඩිකැප්‍රියෝ රංගනයෙන් දායක වූ බ්ලඩ් ඩයමන්ඩ්චිත්‍රපටයත් මතකයට නැගෙන්න පුළුවන්.




Blood Diamond Movie Trailer from Kayla Mckay on Vimeo.


දැනට කතාබහට ලක් වී සිටින පාතාල ලෝකයේ අංක එකේ මැරයකු වන මාකඳුරේ මධුෂ් ද සම්බන්ධව සිටින මේ දියමන්තිය ලක්ෂ 700 ක් පමණ වටිනා බව කියැවෙනවා. තවත් ප්‍රවෘත්තියකින් කියැවෙන්නේ මෙයට අපේ රටේ මිලක් නියම කරන්න බැරි තරම් මිල අධික බවයි. මේ හැම කතාවකින්ම අපට දැනෙන දේ තමයි මේ දියමන්ති කියන පාෂාණ වර්ගය  මිල අධික බව. මිල අධික නිසාම දියමන්තියක් පසුපස මහා අපරාධ රැසක්ම තියෙන්න පුළුවන්. කලින් සඳහන් කළ බ්ලඩ් ඩයමන්ඩ්චිත්‍රපටයේ පෙන්වන්නේ ආභරණ සාප්පුවක අප ඉතා අලංකාර ලෙස දකින දියමන්තියක්, එතැනට පැමිණෙද්දී, ඒ දියමන්තිය වටා කොයි තරම් ලේ ප්‍රමාණයක් ගෑවී තියෙනවා ද කියන එකයි.  

ඇත්තටම මේ තරමට වටිනා දියමන්ති කියන්නේ මොනවද? අපි දියමන්ති ගැන ලොකු ලොකු දේවල් කතා කළාට මේ මූලික දේ සමහර විට නොදන්නවා වෙන්න පුළුවන්.  

දියමන්තියක් කියන්නේ අපි කවුරුත් දන්නා විදියට මැණික් පවුලට අයත් පාෂාණ වර්ගයක්. නමුත් අනෙක් සියලු මැණික් වර්ගවලට වඩා දියමන්ති කියන්නේ වෙනස් විදියේ පාෂාණයක්. අපි ඒ ගැන පසුව කතා කරමු. දියමන්ති කියන්නේ ඝන කාබන්වලින් පමණක්ම නිර්මාණය වුණු පාෂාණයක්. මෙය ස්ඵටික ආකාරයෙන් නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම දියමන්ති අධික ශක්තියක් සහිත පාෂාණයක්. මේවා බිඳ දමන්න ලොකු බලයක් අවශ්‍ය වෙනවා. තාපය අධික ලෙස දරාගන්නට ඇති හැකියාව නිසා කර්මාන්ත ක්ෂේත්‍රයේ විවිධ වැඩකටයුතු සඳහා ද දියමන්ති යොදා ගන්නවා. අද අපි දකින දියමන්තිවල වයස අවුරුදු බිලියන 1 - 3.5 ක් පමණ වෙනවා. මොකද දියමන්තියක් නිර්මාණය වෙන්න ඒ තරම් කාලයක් ගත වෙන නිසයි. මේවා සෑදෙන්නේ ද පොළොව මතුපිට සිට කිලෝමීටර් 150 - 250 ක් තරම් ගැඹුරේ.  

අනෙක් මැණික්වලට වඩා දියමන්ති වෙනස් ඇයි?

හැම දියමන්තියක්ම මැණිකක්. නමුත් හැම මැණිකක්ම දියමන්තියක් නෙවෙයි. දියමන්ති සෑදී තිබෙන්නේ තනිකරම කාබන් කියන මූලද්‍රව්‍යයෙන් පමණයි. නමුත් අනෙක් සෑම මැණික් වර්ගයක්ම නිර්මාණය වන්නට මූල ද්‍රව්‍යය දෙකකට වැඩි සංඛ්‍යාවක් දායක වී තිබෙනවා. ඊට අමතරව ශක්තිමත් බවින් සහ කල් පැවැත්මෙන් දියමන්ති අනෙක් මැණික්වලට වඩා බොහෝ ඉදිරියෙන් ඉන්නවා.  

දියමන්ති මේ තරම් වටින්නේ ඇයි?

මේ දිනවල කතා කරන ජනප්‍රියම දියමන්තිය ලක්ෂ 700 ක් හෝ ඊටත් වඩා වටිනා බව අපි දන්නවා. ඒක සාමාන්‍ය ජීවිත ගත කරන අපට හිතා ගන්නත් අමාරු මිලක්. ඈත අතීතයේදීත්  දියමන්තිවලට ඉතා ඉහළ වටිනාකමක් තිබුණා. ඒවා පොළොවේ ඉතා ගැඹුරින් හමු වන නිසා පහසුවෙන් යමෙකුට දියමන්තියක් හිමි කර ගැනීමේ හැකියාවක් තිබුණෙත් නැහැ. කොහොම වුනත් 1800 ගණන්වලදී බ්‍රිතාන්‍ය ජාතික ආකරකරුවන් දකුණු අප්‍රිකාවේ දියමන්ති ආකර කර්මාන්තය පටන් ගත්තා. ඔවුන් ඒ කාලයේ හැටියට තිබුණු ඉහළම තාක්ෂණය යොදා ගත් අතර ප්‍රතිඵලය වුණේ හිතපු නැති විදියට දියමන්ති මතුවන්නට පටන් ගැනීමයි. අවසානයේ දියමන්තිවලින් වෙළෙඳ පළ පිරී, ඒවායේ වටිනාකම ශීඝ්‍ර ලෙස පහළ බහින්නට පටන් ගත්තා. ඕනෑම කෙනෙකුට සෑහෙන තරමේ දියමන්තියක් මිලට ගන්නට හැකියාව ඇතිවෙන්නට පටන් ගත්තා. එන පොට හොඳ නැති බව දැන ගත්තු සිසිල් ජෝන් රෝඩ්ස් කියන බ්‍රිතාන්‍ය ජාතික ආකර හිමියා ඩි බියර්ස්නමින් දියමන්ති ආකර සමාගමක් ආරම්භ කරලා, ඒ කාලයේ දකුණු අප්‍රිකාවේ තිබුණු සෑම දියමන්ති ආකරයක්ම මිලට ගන්නට පටන් ගත්තා. මේ වැඩේට ඔහුට අවුරුදු 18ක්ම ගත වුණා. ඉන් පසු කළේ  වෙළෙඳපලට දියමන්ති ඇතුළු වීම දැඩි ලෙස පාලනය කිරීමයි. ඔවුන් නැවත දියමන්ති දුර්ලභ මැණිකක් බවට පත් කළා. ඔවුන් වෙළෙඳපලට දියමන්ති නිකුත් කළේ ඒවාට ඇති වාර්ෂික ඉල්ලුමටත් වඩා අඩු ප්‍රමාණයකින්. ඊට අමතරව ඒ කාලයේ හිටිය ලෝක ප්‍රකට නිළියන්ට, ජනප්‍රිය කාන්තාවන්ට දියමන්ති නොමිලේ ලබා දුන්නා. ඔවුන් ඒවායෙන් ආභරණ සාදවා පළඳින විට, දියමන්තිවලට ඇති ඉල්ලුම තවත් වැඩි වෙන්නට පටන් ගත්තා. ප්‍රතිඵලය වුණේ දියමන්තියක් දැක්කොත් හොරකම් කරගෙන දුවන්න හිතෙන තරමට ඒවාට ඇති ඉල්ලුම සහ වටිනාකම අධික ලෙස ඉහළ යාමයි. අදත් දියමන්ති ආකර හිමියන් කරන්නේ මේ දෙයයි. ඈත අතීතයේ තරම් අද කාලයේ දියමන්ති සොයා ගන්න දුෂ්කර නැතත්, කෘත්‍රීමව මේවා සීමා කිරීම නිසා අදටත් දියමන්ති ලෝකයේ වටිනාකම මැණිකක් බවට පත් වී තිබෙනවා. දියමන්ති සමග සසඳන විට නිල් මැණික්, රතු මැණික් ආදිය සොයා ගන්න බොහෝ දුෂ්කරයි. නමුත් මිනිස්සු දුවන්නේ දියමන්ති පසු පසයි.

වටිනාම දියමන්ති

හෝප් දියමන්තිය


ලෝකයේ වටිනාම දියමන්ති කිහිපයක්ම තියෙනවා. එයින් මුල් තැනට වැටෙන්නේ හෝප්කියන දියමන්තියයි. මෙය නිලට හුරු දියමන්තියක්. දැනට තක්සේරු කොට තිබෙන ආකාරයට එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 250කටත් වඩා අධිකයි. අපේ රටේ මුදලින් නම් රුපියල් මිලියන 44,637ක් පමණ වෙනවා. මෙය කැරට් 45.52 කින් යුක්තයි. සියවස් 4ක පමණ ඉතිහාසයක් ඇති මෙය අයත්ව තිබුණේ ඉන්දියාවටයි. 1791 දී එය සොරකම් කරනු ලැබුවා. මෙය බොහෝ පුද්ගලයන්ගේ අතින් අතට ගොස් අවසානයේ 1958 වසරේ දී වොෂිංටන් කෞතුකාගාරයේ තැන්පත් කරනු ලැබුවා. ලෝකයේ තවත් මිල අධිකම දියමන්තියක් තමයි පින්ක් ස්ටාර්කියන්නේ. මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 71.2 (රුපියල් මිලියන් 12,712ක් පමණ) වෙනවා. මෙය හමු වෙද්දී කැරට් 132.5ක බරකින් යුක්ත වුවත්, කපා ඔප දැමීමෙන් පසු කැරට් 59.6ක් දක්වා අඩු වුණා. මීට අමතරව ඇමරිකානු ඩොලර් මිලියන 57.5 ක වටිනාකමකින් යුක්ත ඕපන්හයිමර් දියමන්තිය’, ඇමරිකානු ඩොලර් මිලියන 55ක වටිනාකමකින් යුක්ත එල්ඉන්කම්පැරබල්දියමන්තිය ඇතුළු තවත් කිහිපයක්ම මේ ලැයිස්තුවේ තිබෙනවා.

පින්ක් ස්ටාර් දියමන්තිය




ඕපන්හයිමර් දියමන්තිය


ඇතැම් විට දියමන්තියක වටිනාකම නියම වෙන්නේ එහි කැරට් ප්‍රමාණය අනුවම නොවෙන්න පුළුවන්. එහි ඇති පැහැය, වෙනත් කාරණා නිසා ඇති වන ඉල්ලුම, එයට යොදා ඇති නමෙහි ඇති ජනප්‍රියත්වය, එය පෙර භාවිත කළ පුද්ගලයන්ගේ තරාතිරම ආදී බොහෝ කාරණා එහි වටිනාකම වෙනස් කරන්නට හේතු විය හැකි බව කිව හැකියි.

ලෝක ප්‍රකට දියමන්ති මංකොල්ල

අපට අද මේ කතාව පටන් ගන්න හේතු වුණේ දියමන්තියක් මංකොල්ල කෑමේ සිදුවීමක්. ලෝකයේ සිදුවුණු එකම දියමන්ති මංකොල්ලය මෙය නොවන බව හැමෝම දන්නවා. නමුත් ඒ මංකොල්ලකෑම් ගැන නම් වැඩි දෙනෙක් නොදන්නවාට සැකයක් නැහැ. දැනට ලෝකයේ සිදුවුණු දැවැන්තම දියමන්ති මංකොල්ලය හැටියට විකිපීඩියාව සඳහන් කරන්නේ බෙල්ජියමේ ඇන්ට්වර්ප් දියමන්ති මධ්‍යස්ථානයේ සිදුවීමයි. මෙය සිදුවුණේ 2003 වසරේ දි. මෙහිදී ඇමරිකානු ඩොලර් මිලියන 100 කට වැඩි දියමන්ති ඇතුළු තවත් වටිනා දේවල් මංකොල්ල කනු ලැබුවා. මෙහි දියමන්ති ආරක්ෂිතව තැන්පත් කොට තිබුණේ ප්‍රධාන මහලට, මහල් දෙකක් යටින්. ඒ වන විට ලෝකයේ තිබුණු සෑම ආකාරයකම නවීන තාක්ෂණික ආරක්ෂණ පද්ධති මෙහි සුරක්ෂිතතාව උදෙසා යොදා තිබුණා. මීට අමතරව මේ ගොඩනැගිල්ල සඳහාම වෙන් වූ ආරක්ෂක බලකායක් ද සිටියා. කෙසේ නමුත් මේ තරම් ආරක්ෂාවක් යටතේ තිබූ දියමන්ති ලියොනාඩෝ නොටර්බාර්ටොලෝගේ නායකත්වයෙන් යුක්ත පස් දෙනෙකු විසින් මංකොල්ල කනු ලැබුවා. ඔහු මේ මංකොල්ලය සැලසුම් කොට තිබුණේ වසර ගණනාවක සිටයි. ඔහු මේ ගොඩනැගිල්ලේම වෙනත් කාර්යාලයක් වසර ගණනාවක් තිස්සේ කුලියට ලබා ගෙන තිබුණේ සියලු සැලසුම් පහසු කර ගැනීම සඳහායි. මීට අමතරව 2002 වසරේ නෙදර්ලන්තයේ හේග් නගරයේ පැවති දියමන්ති ප්‍රදර්ශනයක දී සිදු වූ ඇමරිකානු ඩොලර් මිලියන 12 මංකොල්ලය, 2008 ඉතාලියේ මිලාන් හිදී සිදු වූ ඇමරිකානු ඩොලර් මිලියන 32ක දියමන්ති මංකොල්ලය, 2002 පෙබරවාරි මාසයේ බෙල්ජියමේ බ්‍රසල්ස් ගුවන් තොටුපලේදී සිදු වූ ඇමරිකානු ඩොලර් මිලියන 50 දියමන්ති මංකොල්ලය ඇතුළුව තවත් බොහෝ මංකොල්ලයන් ගැන මෙහිදී සඳහන් කරන්නට පුළුවන්.

ලෝකයේ සුප්‍රකට දියමන්ති

ද ග්‍රේට් ස්ටාර් ඔෆ් ඇෆ්‍රිකා



ද ග්‍රේට් ස්ටාර් ඔෆ් ඇෆ්‍රිකාකියන්නේ ලෝකයේ ඉතා සුප්‍රකට දියමන්තිවලින් එකක්. කැරට් 530.2 කින් යුක්ත මෙය මුහුණත් 17 කින් යුක්තව පෙයාර්ස් ගෙඩියක හැඩයට කපා ඔප දමා තිබෙනවා. මෙය බ්‍රිතාන්‍ය රජ පවුලට අයිති දියමන්තියක්. 1905 දී දකුණු අප්‍රිකාවේ ට්‍රාන්ස්වාල්වලදී හමු වී තිබෙනවා. මෙය කපා ඔප දැමීමට පෙර මෙයට වඩා විශාල මැණිකක්ව තිබී ඇති අතර එයින් ලොකු මැණික් 9 කුත් කුඩා මැණික් 96කුත් වන පරිදි බෙදා වෙන් කළත් මේ වන විට ඉතිරිව ඇත්තේ මෙය පමණයි. අනෙක්වාට සිදු වූ දෙයක් කිසිවෙකු දන්නේ නැහැ. ද ඔරියොෆ්කියන්නේ ලෝකයේ තවත් ජනප්‍රිය දියමන්තියක්. මෙය කැරට් 300 කින් යුක්තයි. ලා නිල් සහ කොල පැහැයකින් යුක්ත මෙය හමු වී ඇත්තේ ඉන්දියාවෙන්. ඉන්දියාවේ ඈත ප්‍රදේශයක වූ කෝවිලක විෂ්ණු දෙවිඳුන්ගේ දෑස්වල ගිල්වා තිබුණු දියමන්ති දෙකින් මෙය එකක් ලෙස මෙය සැලකෙනවා. මෙය සොරකම් කළ තැනැත්තා දියමන්ති දෙකම සොරකම් කරන්නට බියක් දක්වා තිබෙන බව කියැවෙනවා. මෙය දැනට තිබෙන්නේ රුසියාවේ මොස්කව්වල දියමන්ති භාණ්ඩාගාරයේ යි. සවිස්තරව කරුණු සඳහන් කරන්නට තරම් ඉඩකඩක් නැතත් ද සෙන්ටිනර්’, ද රීජන්ට්’, ‛කොහිනූර්’, ‛ද අයිඩල්ස් අයිආදී වශයෙන් වූ ලෝක ප්‍රකට දියමන්ති රැසක්ම ඉතිහාසයෙන් සොයා ගන්නට පුළුවන්.

සාප ලත් දියමන්ති

කොහිනූර් දියමන්තිය


දියමන්ති පසුපස ඇති කතා බොහෝ විට සුබදායක නොවන නිසා ඒවා සාප වැදීම (නවීන විද්‍යාත්මකව සාප යනුවෙන් යමක් පිළිගැනෙන්නේ නැති නමුත් යම් යම් ගුප්ත සිදුවීම් නිසා ඒවා පවතින බව මිනිසුන් අදටත් පිළිගන්නවා) අමුතු දෙයක් නෙවෙයි. සාප වැදීම අතරින් ප්‍රමුඛ ස්ථානයක තිබෙන්නේ ද හෝප්කියන දියමන්තිය බව බොහෝ තැන්වල සඳහන් වෙනවා. කැරට් 45.52කින් යුක්ත මෙහි ඉතිහාසය ඉතා දිගුවනවා සේම බොහෝ සිදුවීම් ද මේ සමග බැඳී තිබෙනවා. මෙයට හිමිකම් කියූවන් බොහෝ දුක් කරදරවලට මුහුණ පා තිබෙනවා. දහසය වන ලුවී රජුට සහ මාරි ඇන්ටෝනියෝ බිසවට ද මෙය අයත්ව තිබුණත් ඔවුන් දෙදෙනාම හිස ගසා දැමීමට ලක් වුණා. මෙය අවසන් වරට අයත්ව තිබුණේ ඇමරිකානු ජාතික සමාජ සේවකයකු වූ එවලින් මැක්ලීන්ටයි. ඔහුගේ දියණිය අධි මාත්‍රවකින් මත්ද්‍රව්‍ය ගැනීම නිසාත්, ඔහුගේ පුතා රිය අනතුරක් නිසාත් අකාලයේ මිය ගියා. අවසානයේ මෙය ඇමරිකාවේ ස්මිත්සෝනියන් දියමන්ති භාරයට එක් වුණා. සාප ලත් තවත් දියමන්තියක් තමයි කොහිනූර්කියන්නේ. කැරට් 109 කින් යුක්ත මෙහි ඉතිහාසය අවුරුදු 5000 ක් පමණ වන බව පැවසෙනවා. මෙය පසුපස ඇත්තේ රුධිරය වැගිරීම් බොහොමයක් බව සඳහන් කළ හැකියි. මෙය මුලින්ම හමුවුණේ ඉන්දියාවෙන්. ඉතිහාසය පුරා ලෝකයේ විවිධ ජාතීන් වරින් වර මෙයට හිමිකම පා තිබෙනවා. කෙසේ නමුත් මෙහි සාපය වදින්නේ පිරිමින්ට බව ඉතිහාසයම තහවුරු කොට තිබෙනවා. එක් බ්‍රිතාන්‍ය සෙබළෙක් සීක් ජාතිකයෙකුගෙන් මෙය සොරකම් කොට බ්‍රිතාන්‍ය රජ පවුලට ලබා දී තිබෙනවා. දැනට එය මව් රැජිනගේ ඔටුන්නේ දකින්නට ලැබෙනවා. මෙහි නියම අයිතිය ඇත්තේ තමාට බව පවසමින් ඇෆ්ගනිස්ථානය, ඉරානය සහ ඉන්දියාව අදටත් මෙය හිමි කර ගැනීමේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල යෙදී සිටිනවා. මීට අමතරව දිල්ලි සැෆයර්’, ‛සැන්සි’, රීජන්ට්ආදිය සාප ලත් දියමන්ති ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටිනවා.






Tuesday, March 19, 2019

සිටුවර යාචකයෝ - The Rich Beggars



කොළඹ ගම්පහ අතර දුම්රිය මාර්ග ගමන් සීමාව තුළ වසර 25 ක් තිස්සේ සිඟා කෑ අන්ධ පුද්ගලයෙක් දුම්රිය ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගත් පුවතක් පසුගිය දිනෙක පුවත්පත් කිහිපයක දක්නට ලැබුණා. ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ පොදු ප්‍රවාහන සේවාවන් තුළ සිඟමන් යැදීම තහනම් දෙයක් වූ නිසයි. නමුත් ඔහු අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂණයේ දී අපූරු තොරතුරක් හෙළි වුණා.  65 හැවිරිදි මේ පුද්ගලයා එකී කාලය තුළ සිඟා කෑමෙන් උපයා ගත් ආදායමින් නිවාස දෙකක් ඉදිකොට ඇති අතර, කුලියට දීමට සඳහා තවත් නිවසක් ගොඩනගමින් සිටින බවත්, දියණියන් දෙදෙනාම දෑවැද්ද සහිතව විවාහ කොට දී ඇති බවත්, ඔවුන් දෙදෙනාටම වාහන දෙකක් ද හිමි බවත්, සහ බැංකුවේ ලක්ෂ පහක මුදලක් තැන්පත් කොට තිබෙන බවත් මෙහිදී දැනගන්නට ලැබුණා. සිය පියා දුම්රිය ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගත් පුවත සැළවූ අවස්ථාවේ දී එක් දියණියක් පැමිණ තිබුණේ සිය මෝටර් රථයෙන් බවත් එම පුවතේ සඳහන්ව තිබුණා. මෙයට කලකට පෙර පිටකොටුවේ සිඟා කමින් සිටිය දී මියගිය සිඟන්නකුගේ බඩුබාහිරාදිය පරීක්ෂාවේ දී හෙළි ව තිබුණේ ඔහු සතුව රුපියල් විසි පන්දහසක මුදලක් තිබුණු බවයි. මේ සියලු පුවත්වලින් දැන ගන්නට ලැබෙන්නේ සෑම සිඟන්නෙක්ම පාහේ අප සිතා සිටින තරම්, තවත් ආකාරයකින් සඳහන් කළොත් අප තරම්වත් අගහිඟකම්වලින් පෙළෙන්නේ නැති බවයි. මෙවැනි සිටුව සිඟන්නන් පිළිබඳ වාර්තා වන්නේ අප රටින් පමණක් නොවෙයි. ලෝකයේ වෙනත් රටවල ද මෙවැනි සිටුවර හිඟන්නන්පිළිබඳ තොරතුරු දැනගන්නට ලැබෙනවා. මේ කතා කරන්නට යන්නේ එවැනි සිටුවර හිඟන්නන් කිහිප දෙනෙක් ගැනයි.

භාරත් ජායින් - ඉන්දියාව



භාරත් ජායින් කියන්නේ ඉන්දියාවෙන් හමුවන සිටුවර යාචකයෙක්. 49 හැවිරිදි ඔහු සිඟමන් ජීවිතය ආරම්භ කොට තිබුණේ මුම්බායි ප්‍රදේශයෙන්. සිය දරුවන් හදා වඩා ගැනීම පිණිස වෙනත් මගක් නොතිබුණු ඔහු සිඟමන සිය වෘත්තිය ලෙස තෝරා ගත්තා. දිනකට පැය 8 - 10 ක් පමණ සිඟා කෑමේ යෙදෙන ඔහුගේ දිනක ආදායම් ඉන්දියානු රුපියල් 6,000ක් පමණ වෙනවා. මෙය අපේ රටේ මුදලින් නම් රුපියල් 15,000 කට මදක් වැඩියි. ඉන්දියාවේ ඉතා වැදගත් පවුල් ජීවත්වන පාරෙල් නම් ප්‍රදේශයේ එකිනෙක යාබද  මහල් නිවාස දෙකක් ද ඔහු සතුයි. මේවායේ වටිනාකම ඩොලර් සිය දහස් ගණනක් වෙනවා. මේ නිවාසවලට අමතරව ඔහුට භන්දුප් නම් ප්‍රදේශයේ සාප්පු ගොඩනැගිල්ලක් ද අයිතියි. එය කුළියට දීමෙන් ඔහු මාසිකව ඉන්දියානු රුපියල් 20,000ක් පමණ උපයා ගන්නවා.  

ක්‍රිෂ්ණ කුමාර්



ක්‍රිෂ්ණ කුමාර් කියන සිටුවර යාචකයා ගැන වාර්තා වෙන්නෙත් ඉන්දියාවෙන්. මුම්බායි හි චාර්නි කියන පාරේ සිඟා කෑමේ යෙදෙන ඔහු තරුණ යාචකයෙක්. මුම්බායිහි හොඳම ප්‍රදේශයක් වන නල්ලාසොපාරා හි හොඳම තත්වයේ මහල් නිවාසයක් හිමි ඔහුගේ දිනක ආදායම ඉන්දියානු රුපියල් 1500ක් පමණ වන බවයි දැනගන්නට ලැබෙන්නේ. මෙය අපේ රටේ මුදලින් නම් රුපියල් 3,800 ක් පමණ වෙනවා. කෙසේ වෙතත් ඔහු කරන්නේ ආදායම ඉපැයීම පමණක් බවත්, මුදල් පාලන කටයුතු කරන්නේ ඔහුගේ සොයුරා බවත් දැනගන්නට ලැබෙනවා.

ටෙඩ් විලියම්ස් -ඇමරිකා එක්දත් ජනපදය



ටෙඩ් විලියම්ස් කියන්නේ ඇමරිකාවේ හිටපු නිවේදකයෙක්. බීමත් කම නිසා ඔහු මහමගට වැටුණා. ඔහුගේ නෑ හිත මිතුරන්ගෙන් ද ඔහුට කිසිදු හව්හරණයක් ලැබුණේ නෑ. හරියකට අඳින්නට ඇඳුමක් හෝ ජීවත් වන්නට නිවසක් හෝ නොමැති නිසා ඔහු සිඟමන් යදින්නට පටන් ගත්තා. සිඟා කන අතරේ ඔහු දැන්වීම් පුවරුවක් ද අතේ තබාගෙන සිටිනු දක්නට ලැබුණා. තමා කලින් ගුවන් විදුලි සේවයක නිවේදකයකුව සිටි බවත්, තමාට දෙවියන් විසින් ලබා දුන් හඬක් තිබෙන බවත් ඔහු මේ පුවරුවේ සඳහන් කොට තිබුණා. මෙසේ සිටින අතරේ ඔහුට සිය හඬ යූටියුබ් නාලිකාවක් ඔස්සේ ප්‍රචාරය කරන්නට අවස්ථාව ලැබුණා. ඒ එක්කම ඔහුගේ වාසනාව පෑදුණා. ගුවන් විදුලි නාලිකාවලින් ඔහුට ඇරයුම් ලැබෙන්නට පටන් ගත් අතර ඔහුගෙ අතමිට සරුවෙන්නට පටන් ගත්තා. කෙසේ වෙතත් ඔහු තවමත් ජීවත්වන්නේ මහමග යාචකයන් අතරේ යාචකයෙක් විදියටයි. ඔහු යාචක සුබසාධනය වෙනුවෙන් සෑහෙන වැඩ කොටසක් කරන්නට බලාපොරොත්තු වන බව පවසනවා.

සයිමන් රයිට් - එක්සත් රාජධානිය  



සයිමන් රයිට් කියන ධනවත් යාචකයා ගැන අසන්නට ලැබෙන්නේ එක්සත් රාජධානියෙන්. සිය සුනඛයා ද කැටිව දිනපතා මහමගට පැමිණෙන ඔහු උදේ 9 ට පමණ පැමිණ පැය 8ක් පමණ සිඟමන් යැද යලි නිවසට ගමන් කරනවා. ඔහු මේ ආකාරයට වාර්ෂිකව පවුම් 50,000 ක් පමණ උපයා ගන්නා බවයි දැනගන්නට ලැබෙන්නේ. මේ මුදල් අපේ රටේ වටිනාකමින් රුපියල් එක්කෝටි දහසය ලක්ෂයක් පමණ වෙනවා. මෙසේ සිඟා කමින් සිටිය දී කලකට පෙර එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඔහුව නීතිය හමුවට ඉදිරිපත් කළා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝගයක් ලබා දෙමින් පවසා සිටියේ  ලන්ඩන් අවට වසර දෙකක් යන තුරු සිඟා කෑම තහනම් කරන බවයි. කෙසේ නමුත් එම නියෝගය ලැබී පැය කිහිපයක් ඇතුළත ඔහු යළි සිඟා කනු දක්නට ලැබුණා. ඔහුට ලන්ඩනයේ සුඛෝපභෝගී මහල් නිවාසයක් හිමියි. ඔහුගේ මව අද ද ජීවත්ව සිටින අතර ඇය පවසා සිටින්නේ තමා කෙතරම් හොඳින් ඔහුව හදා වඩා ගත්තත් අවසානයේ ඔහු හිඟමනට වැටුණු බවයි. කෙසේ නමුත් ඔහු ධනවත් හිඟන්නෙක්.

ඊෂා - සෞදි අරාබිය  



තෙල්වලින් නැහැවුණු ආර්ථිකයක් තිබුණත් සවුදි අරාබියේ ද සිඟන්නන් සිටිනවා. ඒ අතරින් අති විශේෂ සිඟන්නියක් තමයි ඊෂාකියන්නේ. කාලයක් තිස්සේ සවුදි අරාබියේ ජෙඩා නගරයේ සිඟා කමින් සිටි ඇයව බලධාරීන්ට හමුවෙද්දී ඇය මිය ගොස් සිටියා. ඒ වන විට ඇය අවුරුදු සියයක් ජීවත්ව සිට තිබෙනවා. ඇගේ බඩුබාහිරාදිය තුළින් හමුවුණේ පුදුමාකාර දේවල් ටිකක්. ඒවා අතර රන් කාසි, ආභරණ සහ ඇමරිකානු ඩොලර් 1,066,580 ක වටිනාකමකින් යුක්ත ඉඩකඩම් ලියවිලි ද තිබුණා. මේ සියල්ලේ වටිනාකම සවුදි රියාල් මිලියනයක් පමණ වන බවයි බලධාරීන් පවසන්නේ. ඊෂා සමග කලක් සිඟා කෑ තවත් සිඟන්නකු වූ අහ්මඩ් අල් සයීඩි පවසන්නේ තමා දන්නා දා කාලයෙ පටන් ඊෂා ට කිසිදු හිතමිතුරකු හෝ ඥාතියෙකු නොසිටි බවයි.


Monday, March 18, 2019

අතීත ලෝකයේ අභිරහස් නිර්මාණ - Ancient Mysterious Inventions

ලෝකයේ දවසින් දවස අලුතින් පුදුමාකාර සොයා ගැනීම් සිදු වෙනවා. ඒවා නිර්මාණය කළ ආකාරයත්, ක්‍රියා කරන ආකාරයත් එහි නිර්මාපකයන් විසින් විස්තර කරනවා. ඒ නිසා පුදුමාකාර වුවත්, ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ දන්නා නිසා ඒවා  අප ඉදිරියේ අභිරහසක් ලෙස ඉතිරි වෙන්නේ නෑ. නමුත් පුදුමාකාර මෙන්ම අප ඉදිරියේ අභිරහසක් ඉතිරි කරමින් සිදු වූ නිර්මාණයන්  ලෝකයේ ඕනෑ තරම් තිබෙනවා. විශේෂත්වය වන්නේ මේවා වර්තමානයේ නොව අදින් වසර දහස් සිය දහස් ගණනකට පෙරාතුව කළ නිර්මාණ වීමයි. මේවායේ ක්‍රියාකාරීත්වය පුදුම සහගතයි. නමුත් එසේ ක්‍රියාත්මක වන ආකාරය අදටත් අභිරහසක්. මේ කියන්න හදන්නේ ඒ වගේ දේවල් කිහිපයක් ගැනයි.

අභිරහස් ග්‍රීක ගින්න


හත් වැනි සියවසේ දී පමණ ආරම්භ වූ නැගෙනහිර රෝම අධිරාජ්‍යය විසින් යුද්ධවලදී භාවිතයට ගත් අභිරහස් ආයුධයක් ලෙස මෙය ඉතිහාස ගත වී තිබෙනවා. මේ ආයුධය තුළ එක්වර ගින්නක් ඇති කොට එය සතුරා දෙසට විදිය හැකි පරිද්දෙන් සකස් කොට තිබුණු බව පැවසෙනවා. මේ ගින්න මගින් ක්ෂණිකව සම පිළිස්සී ගිය අතර ජලයෙන් විද නිවා දැමීමේ හැකියාවක් තිබුණේ ද නැහැ. මොවුන් මේ අවිය භාවිත කොට තිබුණේ විශේෂයෙන් මුදු සටන්වලදී. බොහෝ අනතුරුවලින් සිය අධිරාජ්‍යය ගළවා දෙන්නට මේ ගින්න සමත් වූ බව පැවසෙනවා. කෙසේ නමුත් මෙයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සහ එම අමුද්‍රව්‍ය එක් කොට ගින්න නිර්මාණය කර ගන්නා ආකාරය කිසිදු ඉතිහාස පොතක සඳහන් වී නැහැ. ඉතිහාසඥයන් පවසන්නේ මෙය පවුලේ රහසක්ලෙස පැවතී එම පවුලේ අවසානයත් සමග ඉතිහාසයෙන් ද මෙය මැකී යන්නට ඇති බවයි. ඕස්ට්‍රේලියානු රූපවාහිනී වැඩසටහනක් වූ මිත්බස්ටර්ස්මගින් තරගයක් පවත්වනු ලැබුවා. එහි අරමුණ මෙවැනි පැරණි සංකල්ප යළි ක්‍රියාත්මක කොට පෙන්වීමයි. මේ අනුව එක් පිරිසක් විසින් ග්‍රීක ගින්න ප්‍රතිනිර්මාණය කොට තිබුණා. මේ සඳහා ඔවුන් භාවිතයට ගෙන තිබුණේ බොර තෙල් සහ පිරිසිදු දුම්මල. ඔවුන් මිනිත්තු කිහිපයක කාලයක් තුළ එක් නැවක් මේ ගින්නේ ගිනිබත් කළා. කෙසේ නමුත් පැරණි රෝම අධිරාජ්‍යය විසින් මේ සඳහා භාවිත කළේ මේ අමුද්‍රව්‍යම ද කියා තවමත් සොයා ගෙන නැහැ.




ලොවෙන් සැඟවුණු ඩැමස්කස් ලෝහ



ඩැමස්කස් කියන්නේ සිරියාවේ අගනුවර. නමුත් මේ කතාව ඇසෙන්නේ ඈත අතීතයෙන්. ශ්‍රී ලංකාවෙන් සහ ඉන්දියාවෙන් ආනයනය කරන ලද ලෝහ යම් යම් වෙනස්කම්වලට බඳුන් කොට ඩැමස්කස්වලදී විශේෂිත ලෝහයක් නිපදවනු ලැබුවා. මේ ලෝහයේ මතුපිට පෙනෙන්නේ ජලය ආකාරයෙන්. ඔවුන් මේ ලෝහය භාවිත කොට තිබුණේ කඩු ආදී අවි නිෂ්පාදනය කිරීම සඳහායි. මෙයින් නිපදවන ලද කඩුවල තලය ඉදිරියට හා පසුපසට කිසිදු ගැටලුවකින් තොරව නවන්නට හැකියාව තිබුණා. තලයට එයින් කිසිදු හානියක් සිදුවූයේ ද නැහැ. එමෙන්ම මෙහි ඇති තියුණු බව පිළිබඳ ඉතිහාසය මුළුල්ලේම බොහෝ තැන්වල ලියැවී තිබෙනවා. මේවා කෙතරම් තියුණ ද කීවොත් පා වී යන රෙදිකඩක් පවා දෙකඩ වන සේ පහසුවෙන් කපන්නට මෙයට හැකියාව තිබූ බව පැවසෙනවා. කෙසේ මුත් මෙම ලෝහ නිෂ්පාදනය කරන ලද්දේ  කුමනාකාරයෙන් කියා කිසිවකු දන්නේ නැහැ. මෑතකදී මෙම ලෝහය නිපදවන්නට කිහිප දෙනෙක්ම උත්සාහ කළත් ඒ කිසිවක් සාර්ථක වූයේ නැහැ.


The Sound Of Damascus (by John Neeman Tools) from Northmen on Vimeo.


ලෝකයේ නොපවතින බසකින් ලියූ වොයිනිච් ලියවිල්ල



අපට තේරෙන්නේ නැති යමක් දුටු විට කියන්නේ අණ්ඩර දෙමළකියායි. එසේ වුවත් ඒවා ද තේරුම් ගන්නට ක්‍රම තිබෙනවා. නමුත් මේ කියන්න යන වොයිනිච් ලියවිල්ල නම් කෙසේවත් කියවා ගන්නට හැකියාවක් නැහැ. හේතුව මෙය ලියැවී ඇති භාෂාව මේ ලෝකයේ කොතැනකින් හෝ සොයා ගන්නට නොහැකි වීමයි. සම්පූර්ණයෙන්ම අතින් ලියා ඇති මෙහි දිය කිඳුරියන්ගේ රූප, විවිධ මල්, ශාකවල රූප බොහෝ ගණනක් දක්නට ලැබෙනවා. 15 වැනි සියවසේ දී පමණ මධ්‍යම යුරෝපයේ දී මෙය ලියැවී ඇති බව සොයා ගෙන තිබෙන මෙම අභිරහස් ලියවිල්ල වර්ෂ 1912 දී පෝලන්ත-ඇමරිකානු මිශ්‍ර සම්භවයක් ඇති විල්ෆ්‍රිඩ් එම්. වොයිනිච් විසින් මිලට ගෙන තිබෙනවා. ලෝකයේ මිනිසුන් කුමක් හෝ දෙයක් පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා මේ ලියවිල්ල ලියා ඇති මුත්, මෙය තවමත් තේරුම් ගන්නට නොහැකි වී ඇති නිසා ඒ අරමුණ අසාර්ථක වී තිබෙනවා.


ප.ලි.

මෙම ලිපිය ලියන මොහොතේ දී නොදැන සිටියත්, බ්ලොග් මිතුරකු වන Pra Jay විසින් දැමූ කොමෙන්ටුවකින් මේ අභිරහස විසඳී ඇති බව දැනගන්නට ලැබුණා. ඔබගේ දැන ගැන්ම පිණිස ඒ පිළිබඳ විස්තරයට අදාළ සබැඳිය මෙසේ සඳහන් කරන්නට කැමතියි. 





ඇන්ටිකිතේරා හෙවත් ඉපැරණි ග්‍රීක පරිගණකය



පරිගණකයක් කියන්නේ අපට යම් යම් තොරතුරු ලබා දෙන උපකරණයක්. ඇන්ටිකිතේරා කියන්නේත් එවැනි උපකරණයක්. ගියර තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන මෙයින් සඳෙහි කලා පිහිටීම, සූර්ය සහ චන්ද්‍ර දින දර්ශනය ඇතුළුව තවත් අභ්‍යවකාශ තොරතුරු රැසක් ගැන තොරතුරු ලබා දෙන බව පැවසෙනවා. වර්ෂ 1901 දී මුහුදේ දී තිබී හමු වී ඇති මෙය සාදා ඇත්තේ ක්‍රිස්තූ පූර්ව දෙවැනි සියවසේ දී පමණ බව සොයා ගෙන තිබෙනවා. මෙය නිෂ්පාදනය කොට වසර දහසකට පසුවත් මෙතරම් සංකීර්ණ උපකරණයක් නිපදවා නොමැති නිසා මෙහි නිර්මාපකයන් කුමන අරමුණක් සඳහා මෙය යොදා ගත්තේ දැයි දැනගන්නට මෙතෙක් හැකියාවක් ලැබී නැහැ.





සැන්ග් හෙන්ගේ භූ කම්පනමානය



මේ පින්තූරයේ තියෙන්නේ මෙයින් පැවසෙන සැබෑම භූ කම්පන මානය නොව එහි අනුරුවක්. මෙහි මුල් නිර්මාණය සොයා ගන්නට නොමැති අතර මෙය නිෂ්පාදනය කොට ඇත්තේ මෙයට සම්බන්ධ රූප සටහන් ඇසුරින්. චීනයේ ලියනාඩෝ ඩාවින්සි ලෙස විරුදාවලි ලත් සැන්ග් හෙන්ග් විසින් ක්‍රිස්තු වර්ෂ වර්ෂ 132 දී පමණ නිර්මාණය කරන ලද මෙයින් සැතපුම් හාරසියයක් පමණ දුරින් සිදුවන භූ කම්පන පවා දැනගත හැකි යැයි ඉතිහාස පොත පතෙහි සඳහන් වෙනවා. එපමණක් නොව එය සිදුවන්නේ කුමන දිශාවේ ද යන්නත් මෙයින් සොයා ගත හැකි වූ බවයි පැවසෙන්නේ. මෙය ක්‍රියාත්මක වී තිබෙන්නේ මේ ආකාරයෙන්. මේ උපකරණය වටා ප්‍රධාන දිශා පෙන්වන මකරුන් සිටිනවා. යම් දිශාවක භූ කම්පනයක් සිදු වූ විට එම දිශාවට අදාළ මකරාගේ කටේ සිට යට සිටින ගෙම්බාගේ මුවට ලෝහ ගුලියක් වැටෙනවා. භූ කම්පනයක් සිදුවන බවත් එය සිදුවන්නේ කුමන පැත්තේ ද යන්නත් එවිට සොයා ගන්නට පුළුවන්. කෙසේ නමුත් රූප සටහන් ඇසුරින් මේ උපකරණය නිපදවන්නට කිහිප වතාවක් උත්සාහ කළත්, මෙහි කියැවෙන ක්‍රියාකාරීත්වය නම් එයින් ලබාගන්නට නොහැකි වී තිබෙනවා.







දිල්ලියේ මල නොබැඳෙන කුළුණ


ඉන්දියාවේ දිල්ලි නගරයේ ඇති මල නොබැඳෙන කුළුණ ලෝකයේ ඉතා සුප්‍රකට, එමෙන්ම අභිරහස් වස්තුවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. අශෝක් කුළුණනමින් ද ප්‍රකට, වසර 1600 ක පමණ ඉතිහාසයක් ඇති මෙය කිසිදු ආකාරයකින් මල බැඳීමකට ලක්වන්නේ නැහැ. අඩි 23 යි අඟල් 8ක් උස අඟල් 16ක විශ්කම්භයක් සහිත මෙය ගොඩ නගා ඇත්තේ චන්ද්‍රනම් රජු බව සඳහන්. මේ කුළුණේ විශේෂත්වය නිසා මෙය පුරා විද්‍යාඥයන්ගේ සහ භෞතික විද්‍යාඥයන්ගේ අවධානයට ලක් ව තිබෙනවා. විද්‍යාඥයන් පවසන්නේ මෙය දිල්ලි කාලගුණයට ගැළපෙන සේ විශේෂයෙන් සකස් කොට ඇති බවයි.   විවිධ ලෝහ වර්ග එකිනෙක මිශ්‍ර කිරීමෙන් මල බැඳීම වළක්වා ඇති බව පැවසෙනවා. කෙසේ නමුත් මේ ආකාරයට ලෝහ මිශ්‍ර කොට පසුකාලීනව නිර්මාණය කර ගන්නා ලද ලෝහ කලක් යද්දී මල බැඳී තිබෙනවා. මේ නිසා මේ කුළුණේ තවමත් සොයා ගත නොහැකි අභිරහසක් පවතින බවයි කිව හැක්කේ.





ෆයිස්ටොස් තැටිය




ෆයිස්ටොස් තැටිය නමින් ප්‍රකට මෙය 1908 දී ක්‍රීටයේ තිබී සොයා ගනු ලැබුවා. සෙ.මී. 15 ක විශ්කම්භයකින් යුක්ත මෙය මැටිවලින් තනා පුළුස්සා සකස් කොට තිබෙනවා. මෙහි විවිධ සංකේත, සර්පිලාකාර ආකාරයෙන්  මුද්‍රා තබා ඇති බවක් තමයි දක්නට ලැබෙන්නේ. මෙය තනන ලද ස්ථානය හෝ කුමන අරමුණකින් මෙය නිර්මාණය කළේ ද යන්න පිළිබඳ තවමත් පුරා විද්‍යාඥයන් අතර මතභේද පවතිනවා. වෙනත් අයුරකින් පැවසුවහොත් මෙය තවමත් පවතින්නේ පුරා විද්‍යා අභිරහසක් ලෙසයි. ක්‍රිස්තු පූර්ව 1700 දී පමණ මෙය නිර්මාණය කරන ලද බවයි පුරා විද්‍යාඥයන් පවසන්නේ. ඇතැම් පුරා විද්‍යාඥයන් සඳහන් කරන්නේ මෙය සංගීත ස්වර ලිපියක් විය හැකි බවයි. එමෙන්ම තවත් විද්‍යාඥයන් පිරිසක් පවසන්නේ මෙය ඉපැරණි යතුරු ලියනයක් වන්නට හැකියාව පවතින බවයි. කෙසේ නමුත් මෙහි අභිරහස තවමත් විසඳී නැහැ.