රන්ගිරි දඹුලු
විහාරයේ ගල් කඩ වෙහෙර හෙවත් ගල් කුඩු වෙහෙර පිළිබඳ කතාව අසා තිබුණේ කුඩා කාලයේ දී
වැඩිහිටියකුගෙනි. මෙය මතකයේ තබාගෙන දඹුලු විහාරය වඳින්නට ගිය විටෙක මේ වෙහෙර
දෑසින් දැක ගතිමි. පසු කාලයේ බ්ලොග් ලියන්නට පටන් ගත් විට මේ පිළිබඳ සටහනක් තබන්නට
සිතුවත්, මේ කරුණ තහවුරු කරමින් ලියැවුණු තොරතුරු කිසිවක් අන්තර්ජාලයේ සොයා ගන්නට
නොහැකි වූ නිසා එය ලීවේ නැත. නොලියන්නට හේතුව වූයේ මා දැනගත් තොරතුර නිවැරදිම එකක්
යැයි සැක හැර දැනගන්නට මගක් නොවූ නිසාය. කෙසේ වෙතත් මෑත දිනකදී මට පැරණි පොතක් හමු
විය. ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් ප්‍රකාශනය කරනු ලැබූ එහි නම ‘නුවර යක්කු’ ය. එහි කතුවරයා වන්නේ එච්. ඇස්. ඇස්. නිශ්ශංක ය. එහි රන්ගිරි දඹුලු විහාරය පිළිබඳ ලියැවුණු සටහනෙහි මා මෙතෙක් කලක් සැක හැර දැන ගනු වස්
සෙවූ තොරතුර අඩංගු විය. එබැවින් මම එහි ඇති ආකාරයෙන් ම එය මෙහි සටහන් කරමි.
“පිරිනිවන්
බුදු පිළිමය
ජන ප්‍රවාද
අනුව බලන කල වළගම්බා රජ විහාර කර්මාන්තය කැරවූයේ මෙසේය. පළමුව කටාරම් කොටවා ලෙන්
සකස් කරවා, පිරිනිවන් බුදු පිළිමයක් සකස් කරන ලෙස අණ කළේය. ඒ අනුව තැනුණු පිළිමයට
රජ නොපැහිදිණි. ඉහි වූ වැරදි ඉවත් කොට නැවත සකස් කරන ලදී. ඒ පිළිමය විස්කම් දෙවිඳු
විසින් සකස් කරන ලදැයි ජන ප්‍රවාදයක් ද ඇත. පිළිමය හොඳ නැති නිසා රජ දුක් වූ
බැවින් ශක්‍රයා ගේ පඬු අඹුල් අසුන ද උණු වීම නිසා ශක්‍රයාගෙන් ලත් අණ පරිදි
විස්කම් දෙවි මහල්ලකු වෙසින් පැමිණ බලෙන් මෙන් විහාර ගෙට රිංගා ගෙන පසු දා
එළිවන්නට පෙර පිළිමය සකස් කොට ඉවර කළ බවය ඒ කතාවෙන් පැහැදිලි වන්නේ. විස්කම්
පැටලවූයේ මෙහි මෙහි අගය වැඩි කරන්නට යැයි සිතිය හැකි ය.
දෙව් රජ ලෙන
නම් පළමුවන ගුහාව තුළ ඇති ඒ පිරිනිවන් පිළිමය තැනිමේ දී වැටුණු ගල් කුඩු පස් පෑල
පල්ලහ යොදා විහාරය තුළ ඇති කුඩා වෙහෙර කරවන ලදැයි කියති.”
මෙහි විස්කම් දෙවි යනුවෙන් සඳහන් වන්නේ විශ්වකර්ම දිව්‍ය
පුත්‍රයා ය.
වැඩිහිටියා මට කිවූ තොරතුරට අනුව වළගම්බා රජුට පිළිමය
පිළිබඳ නොපාහැදෙන්නට හේතු වූයේ බුදුන් වහන්සේගේ උදර කොටස මිය ගිය අයකුගේ මෙන් නොවූ
නිසා ය. මිය ගිය අයකුගේ කුස පහළට ඇදී අප්‍රාණික ආකාරයෙන් තිබිය යුතුය. රජුගේ මේ
අදහස දැන ගත් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා මහ රෑ පැමිණ රජුගේ හිතේ ඇඳුණු පිළිමය කරවූ
බවයි වැඩිහිටියා මා සමග පැවසූයේ. පසුදා විහාරය විවෘත කරන්නට රජු පැමිණියත් එය තුළ
ගල් කැබලි පිරී තිබූ නිසා, විවෘත කිරීම දුෂ්කර විය. පසුව ශක්තිමත් මිනිසුන් යොදා
දොර විවෘත කළ විට රජුගේ සිතෙහි මැවුණු පිළිමය එහි විය. මේ ගල් කැබලි කලින් පිළිමයේ
තිබූ ඒවා නිසා ඒවා ඉවත දැමීම බුදුන් වහන්සේට කරන අගෞරවයක් වශයෙන් සැලකූ රජු ඒ ගල්
කැබලි එකතු කොට කුඩා වෙහෙරක් ඉදි කරන ලෙස අණ කළේය. කැඩුණු ගල් කැබලි එක් කොට සාදන
ලද නිසා එය ‘ගල් කුඩු වෙහෙර හෙවත් ගල් කඩ වෙහෙර යන නමින් හැඳින්වූ බව කියැවේ.
ඒ මා ඇසූ කතාවය.
කෙසේ නමුත් සුළු සුලු වෙනස් කම් සහිතව හෝ මේ ජනප්‍රවාදය
තවත් තැනකින් තහවුරු කර ගත හැකි වූ නිසා එය මෙසේ බ්ලොග් අවකාශයට මුදා හළෙමි.
එතකොට ඒ චෛත්‍යය ද ඔය ගුහාව ඇතුළෙ තියෙන්නෙ?
ReplyDeleteඔව්. පොඩි චෛත්‍යයක්.
DeleteThank you
ReplyDeleteහොඳයි, රහයි!
ReplyDeleteමං අහලා තියෙන විදියට ඒ පිරිනිවන් මංචකයේ සැතපෙන බුදු පිළිමයලු අංග සම්පූර්ණ පිළිමය. මුලින්ම ඒකේ වැරදි කිහිපයක් තිබුණාලු. 1. සිරස්පත තිබීම. 2. ඌර්ණ රෝම ධාතුව තිබීම 3. කුස පිරුණු ලෙසින් තිබීම 4. වම් පාදය ඍජුව තිබීම 5. සිරිපතුල් දෙක එක කෙලින්ම තිබීම.
ඔය කිව්වේ මට මතක විදියටයි. වැරදි තියෙන්න පුළුවන්.
විස්කම් දෙවිඳු ඇවිත් ඒ හැම වැරද්දක්ම නිවැරදිව සැකසුවාම එකතු වුණු ගල්කුඩු කන්ද නිසා පහුවදා උදේ විහාරයේ දොරත් අරගන්න බැරි වුණාලු.
ෂා අලුත් විස්තර ටිකක්. ඒක මම දැනගෙන හිටියේ නෑ. ඇත්තටම ඔබට ස්තුතියි මේ ගැන දැනුවත් කළාට.
Delete