පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, December 31, 2014

අමුතු අමුතු අවුරුදු සැමරුම් - Strange New Year Traditions from around the World


වසරක් ගෙවී නව වසරක් උදා වී තිබේ. අප රටේ මෙන්ම ලෝකය පුරා ද ජනතාව නව වසර සමරන්නට පටන්ගෙන ඇත. ලොවම උත්සව සිරියකින් පිරී තිබේ. අප රටේ නම් බොහෝ විට නව වසර සැමරෙන්නේ ආගමික් වතාවත් සමඟිනි. ඊට අමතරව සංගීත සංදර්ශන පැවැත්වීම ද මෑතක සිට අපේ රටේ ප්‍රචලිත වී තිබේ. නමුත් මේ කිසිවක අසාමාන්‍ය බවක්   පෙනේනට නැත. නමුත් ලෝකයේ ඇතැම් රටවල වසරක් ගෙවී නව වසරක් උදාවන විට එය සමරන්නේ අපූරු සිරිත් විරිත්වලිනි. අප දැන් සූදානම් වන්නේ ද ලොව පුරා විවිධ රටවලින් හමුවන එවැනි සිරිත්විරිත් පිළිබඳව ඔබව දැනුවත් කරන්නටය.


මළවුන්ට හඩ ගසා නව වසර සමරන චිලිය 





චිලියේ නව වසර සඳහා දේව මෙහෙය පවා පැවැත්වෙන්නේ සොහොන් පිටියකදීය.  සිය පවුලේ සාමාජිකයකු වියෝ වී ඇත්නම්, ඔහු හෝ ඇය භුමදානය කළ සොහොන අසලට ගොස් දේව මෙහෙයට සවන් දෙයි. ඔවුන් මෙයින් බලාපොරොත්තවන්නේ සිය පවුලේ සාමාජිකයා ද නව වසර සැමරීම සදහා එක්කර ගැනීමය. ෆින්ලන්තයේ හා දකුණු ඇමරිකානු රටවලත් මෙම සිරිත දක්නට ලැබේ. 


අවුරුද්ද උදාවන තුරු මිදි කන ස්පාඤ්ඤය 





ස්පාඤ්ඤ වැසියන් නව වසර පිළිගන්නේ අපූරු ආකාරයකටය. මැඩ්රිඩ් අගනුවර ප්ලාසා ඩි එස්පානාඑළිමහන් චතුරශ්‍රයට එක්වන ඔවුහු නව වසර උදාවන්නට තත්පර 12ක් තිබියදී තත්පරයට එක බැගින් මිදි ගෙඩි දොළහක් කෑමට පුරුදුව සිටිති. ඔවුන් මෙයින් බලාපොරොත්තු වන්නේ එළැඹෙන මාස 12 සුබදායක වේවා යන්නය. 


නව වසරේ ආහාර වේල් 12ක් ගන්නා එස්තෝනියාව

 



එස්තෝනියාවේ වැසියෝ නව අවුරුදු උදාවත් සමඟ කෑම වර්ග 12ක් පිළියෙළ කරති. යම් අයෙකුට මේ කෑම වේල් 12 ද ඉතිරි නැතිව කෑමට හැකි වුවහොත් එළැඹෙන වසරේ සෑම දිනකම ඔහුට හෝ ඇයට ආහාර පානවලින් හිඟයක් නැති බැව් ඔවුහු විශ්වාස කරති. එමෙන්ම එම පුද්ගලයාට සත් දෙනෙකුගෙ ශක්තිය ලැබෙන බව ද  පැවසේ.



නව වසර වෙනුවෙන් රවුම් හදන පිලිපීනය 





රවුම එසේත් නැත්නම් වෘත්තය යනු අපගේ ලෝකය ගමන් කරනා මාර්ගයයි. අපේ ලෝකයේ හැඩයයි. අනාදිමත් කාලයක සිටම මිනිස්සු වෘතය යනු ශුද්ධ වූ සංකේතයක් ලෙස සළකන්නට පුරුදුව සිටියහ. පිලිපීනයේ දී වෘත්තයට පූජනීය තත්වය ලැබෙන්නේ නව අවුරුදු උදාවේදීය.  ඔවුන් නව වසරේ අඳින ඇඳුමේ ඇත්තේ රවුම් හැඩය ඇති මෝස්තරය. ආහාරයට ගන්නේ මිදි වැනි රවුම් හැඩයේ පළතුරුය. නිවෙස වටා ගමන් කරනා අතරේ වළඳකට රවුම් කාසියක් දමා වටේට ගමන් කරවීම සිදු කරයි. මෙසේ කිරීමෙන් නිවසට සෞභාග්‍යය උදාවන බව ඔවුන්ගේ විශ්වාසයයි. 


අතීතය පුළුස්සා දමන ඉක්වදෝරය 





ඉක්වදෝර් වැසියෝ නව වසර එළැඹෙන්නට පෙර තමන් ගත කළ වසරේ සිදුකළ වැරදි කඩදාසියක ලියති. අනතුරුව එය පුළුස්සා දමති. එමෙන්ම පත්තර කඩදාසිවලින් තනන ලද පඹයකු පුළුස්සා දැමීමද සිදුකරනු ලබයි. ඔවුන් මෙයින් බලාපොරොත්තුවන්නේ පසුගිය වසරේ නරක දේ පළවා හැරීමය. මෙම සම්ප්‍රදාය වර්තමානය වන විට දේශපාලඥයින්ගේ රුව සහිත පඹයන් පුළුස්සා දැමීම තෙක් වර්ධණය වී තිබේ. 

(මේ අවුරුද්දේ අපටත් මේක කරන්න පුලුවන් වෙයි)


බෙලාරුස්වලින් ඇසෙන කුකුල් කතාව




බෙලාරුස්වල අවිවාහක තරුණ තරුණියෝ නව වසරේ මුල්ම පැය කිහිපය ගතකරනුයේ පසුගිය වසරේ ඔවුනොවුනගේ ආදර සබඳතා පිළිබඳ මෙනෙහි කරන්නටත් අනාගත ආදර සබඳතා පිළිබඳ සිහින මවන්නටත්ය. තරුණියෝ මෙහිදී අපූරු ක්‍රිඩාවකට ද සහභාගී වෙති. සෑම අවිවාහක තරුණියක් ඉිදිරයේම ඉරිඟු ධාන්‍ය පිරවූ පිඟානක් තබනු ලබයි. ඉන්පසු කුකුළකු එතැනට රැගෙන එයි. මෙහිදී කුකුළා මුළින්ම ධාන්‍ය අනුභව කළ පිඟාන හිමි තරුණිය එහි සියලු තරුණියන් අතුරින් මුළින්ම විවාහපත්වන බව ඔවුහු විශ්වාස කරති. විවාහක කාන්තාවන් සිය අවිවාහක මිතුරියන් වෙනුවෙන් තවත් ක්‍රිඩාවක් කරති. විවාහක කාන්තාවෝ සිය නිවසේ පාන්, මුදු වැනි විවිධ දෑ කිහිපයක් දෙයක් සඟවයි. අවිවාහක මිතුරුයක් මේ සැඟවූ දෑ අතරින් පාන් කැබැල්ලක් සොයා ගත්තේ නම් ඇය ධනවත් තරුණයකු හා විවාහ වන බවත්, මුද්දක් සොයාගත හොත් ඇය කඩවසම් තරුණයකු හා විවාහවන බවත් විශ්වාස කෙරේ. 


මිතුරකු වෙනුවෙන් දීසියක් කඩන ඩෙන්මාර්කය 





ඔබගේ නිවසේදී දීසියක් බිම වැටී බිඳී ගියහොත් සිදුකරන්නේ එය කසල ගොඩට දැමීම වුවත් ඩෙන්මාර්කයේ අලුත් අවුරුදු උදවෙ සමඟ එවැන්නක් සිදුවුවහොත් ඔබට ඒ වසරේ අලුත් යහළුවන් හමුවන බව පැවසේ. ඩෙන්මාර්ක් වැසියෝ වසර පුරා එකතු කරන දීසිනව වසර එළැඹීමත් සමඟ කඩා දමති. නිවාස ඉදිරිපිට මෙසේ බිඳින ලද දීසි ගොඩ වැඩිවන තරමට ඒ වසරේ එම පුද්ගලයාට මිතුරු මිතුරුයනි හිමිවන බව විශ්වාස කෙරේ. 


පාට පාට යට ඇඳුම් ඇඳ නව වසර පිළිගන්නා මධ්‍යම හා දකුණු ඇමරිකාව 




නව වසරේ අඳිනා යට ඇඳම මගින් උදාවන වසරේ තමාට ලැබෙන මුදල් හා ආදරය තීරණය කෙරෙන බැව් එම රටවල වැසියෝ විශ්වාස කරති. බොලීවියානු වැසියෝ තද කහපැහැ යට ඇඳුම් අඳිනා අතර ඔවුහු එයින් එළැඹෙන වසරේ වාසනාව  වැඩිවේ යැයි බලාපොරොත්තු වෙති. මෙක්සිකානුවෝ මේ සඳහා අඳින්නේ තද රතු යට අඳුම්ය. 


නව වසර උදාවන දිනය ආදරයෙන් පුරවන්නට කැමති ස්කොට්ලන්තය





ස්කොට්ලන්ත වැසියන් නව අවුරුදු උදාවන දිනය හඳුන්වන්නේ හොග්මානියනුවෙන්. එහි අරුත වන්නේ මහා ආදර දිනයයන්නයි. නව අවුරුදු දිනයේ මැදියම් රාත්‍රියේ ස්කොට්ලන්ත වැසියෝ ගිනි දැල්වූ පොලු වනමින් නගරය පුරා සැරිසරති. ඔවුන් එයින් බලාපොරොත්තුවන්නේ නව වසර පවිත්‍ර කිරීමයි. එමෙන්ම නව වසරේ මුළින්ම නිවසට පැමිණෙන පුද්ගලයා අනුව ඉදිරි වසර කුමනකාර වේදැයි අනුමාන කරන්නට ද ඔවුහු පුරුදුව සිටිති. 

ඔබ සැමට සුබ නව වසරක් වේවා!












Sunday, December 28, 2014

කොළඹ - මහනුවර පාරේ කතාව - History of Colombo - Mahanuwara (Kandy) Road

1860 දී පමණ ගනු ලැබූ කොළඹ - මහනුවර පාරේ ඡායාරූපයක්
කොළඹ සිට මහනුවර දක්වා අධිවේගී මාර්ගයක් ඉදිකරන්නටත් සැළසුම්කොට තිබෙන මේ කාලයේ බොහෝ දෙනෙක්  කොළඹ - මහනුවර මහාමාර්ගය ඉදිකිරීම පිටුපස තියෙන අතීත කතාව ගැන දන්නේ නැති බවට සැකයක් නැහැ. ඒ නිසාත්, ඒ අතීත කතාව ගැන විස්තරයක් සොයාගන්නට පුළුවන් වුණු නිසාත්, ඒ ගැන ලියන්න කල්පනා කළා. 

කොළඹ නුවර පාරේ අතීත කතාව පටන් ගන්නේ අප රට යටත්කොටගෙන සිටි ඉංග්‍රීසින්ගේ පාලන සමයෙන්. කොළඹ හා මහනුවර නගර සම්බන්ධ කරමින් පාරවල් දෙකක් තනන්නට ඉංග්‍රීසින්ට අවශ්‍ය වුණා. ඉන් එකක් හතරකෝරළය මැදින් අඹේපුස්ස හරහා ද, අනෙක් පාර කඩුගන්නාව හරහා ද වැටෙන අයුරින් ඔවුන් සැළසුම් කළා.

කඩුගන්නාව

 මෙයින් මුළින් සඳහන කළ පාරේ සියලු වැඩකටයුතු සැළසුම් කළේ ප්‍රේසර් කියන ඉංග්‍රීසි නිලධාරියායි. කඩුගන්නාව හරා වැටෙන සේ සැළසුම් කළ පාරේ සියලු වැඩකටයුතු කළේ විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන් කියන ඉංග්‍රීසි නිලධාරියායි. ඔහු ඉංග්‍රීසි හමුදාවේ කපිතාන්වරයෙක් විදිහට ද සේවය කළා. කොහොම වුණත් කඩුගන්නාව හරහා වූ පාරේ වැඩ අවසන් කරන්නට කලින් ඩෝසන් මිය ගියා. නමුත් ඔහු කළ සේවය ඉංග්‍රීසින් ඉතාමත් අගය කළ නිසා ඔහු සිහිවන්නට කඩුගන්නාවේ ස්මාරකයක් ඉදිකරන්නට ද ඉංග්‍රීසි පාලකයක් තීරණය කළා. අද මහනුවරට ගමන් කරන විට දකින ඩෝසන් කුලුණ තමයි මේ ස්මාරකය. 

ඩෝසන් කුලුණ

කොළඹ හා මහනුවර පාරකින් සම්බන්ධ කරගැනීමට ඉංග්‍රීසින්ට බොහෝ කාලයක් සිට අවශ්‍ය වුණා. එයට හේතුව ඔවුනට නිතරම, හැකි තරම් ඉක්මණින් කොළඹ සිට මහනුවරට ගමන් කිරීම සඳහා බොහෝ අවශ්‍යතාවයන් පැන නැගුණු නිසයි. ඉංග්‍රීසි පාලන සමයේ මහනුවර නගරය හා අවට විටින් විට සිංහලයන් කැරළි ගැසූ බව සඳහන්. මේවා ඉතා ඉක්මණින් මැඩපවත්වන්නට නම් කොළඹ සිට පහසුවෙන් ඉංග්‍රීසි හමුදාවන්ට මහනුවරට ළඟාවන්නට හැකියාව තිබිය යුතු වුණා. පාරවල් නොමැති නිසා ඉංග්‍රීසි හමුදාවන්ට මහනුවරට ළඟාවන්නට සිදුවුණේ වනාන්තර මැදින්. මේ වනාන්තර ඉංග්‍රීසිට විරුද්ධව කැරළි ගැසූ සිංහලයන්ට දෑස් පියාගෙන පවා ගමන් කළ හැකි ස්ථාන වූවත්, ඉංග්‍රීසින්ට එසේ වුණේ නැහැ. ඇතැම් ඉංග්‍රීසි හමුදාවන්ට මෙම වනාන්තර මැදින් උපද්‍රවයක් නොවී මහනුවරට ළඟාවන්නට හැකියාවක් ලැබුණේ නැති අවස්ථාවන් ඕනෑ තරම් තිබුණා. මේ වනාන්තර මැද දී සිංහලයන්ගේ උගුල්වලට හසුව මිය යන ඉංග්‍රීසි හමුදාවන්ගේ සංඛ්‍යාව සැළකිය යුතු තරම් ප්‍රමාණයක් වුණා. ඇතැම් ඉංග්‍රීසි ජාතිකයන් කැලෑ උණ වැළඳුණා. කොළඹ හා මහනුවර අතර ක්‍රමවත් පාරක් නොමැති වීම මහනුවර රජධානියේ ආරක්ෂාවට බොහෝ කාලයක් තිස්සේ උපකාරී වුණු බවත්, මෙම වනාන්තර උඩරට රාජධානියේ ස්වභාවික ආරක්ෂක පළිහක් ලෙස පැවති බවත් බොහෝ අතීත කතාවල කියැවෙන්නේ මේ නිසයි. වර්ෂ 1817 දී බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා සහ ඔහුගේ බිරිඳ කොළඹ සිට මහනුවරට ගමන් කොට ඇත්තේ අති දුෂ්කර මාර්ගයක් ඔස්සේ බව සඳහන් වෙනවා. ඒ මාර්ගය වැටී තිබී ඇත්තේ කොළඹ - අවිස්සාවේල්ල - අරන්දර - හෙට්ටිමුල්ල - බලන දුර්ගය හරහා බව පැවසෙනවා. ඔවුන් ගමන් කොට ඇත්තේ ද මිනිසුන් විසින් ඔසවාගෙන ගිය පල්ලැක්කියකින්. ඒ කියන්නේ දෝලාවකට සමාන දෙයක්. තවත් ඉංග්‍රීසින් පිරිසක් අසු පිටින් ද, තවත් පිරිසක් පුටුවල හිඳුවා පුටුව පිටින්ම ඔසවාගෙන ගිය බවත් අතීත කතාවල දැක්වෙනවා. 

ඒ නිසා මෙවැනි පාරක් අවශ්‍යතාවය ඉංග්‍රීසින්ට දැඩිව දැනෙන්නට වුණා. ඒ නිසා 1820 වසරේ ශ්‍රී ලංකාව පාලනය ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වූ රොබට් විල්මට් හෝර්ටන්ගේ අණ යටතේ මේ පාරවල් ඉදිකිරීම ආරම්භ කෙරුණා. 

ඉංග්‍රීසි පාලන සමයේ සාමාන්‍ය මිනිසුන්ගෙන් ලබාගන්නා සේවය සඳහා කුළී ගෙවීමක් සිදුවුණේ නැහැ. එයට හේතුව ඒ කාලයේ පොදු වැඩ සඳහා කුළි නොගෙවා වැඩගැනීමට ඔවුනට බලය තිබුණු නිසයි. ඒ නිසා කොළඹ - මහනුවර පාර ඉදිකිරීමට ඉංග්‍රීසින්ට වැඩ කුළී සඳහා කිසිම වියදමක් දරන්නට සිදුවුණේ නැහැ. මේ නිසා ඔවුනට වැඩි කාලයක් ගත නොකර මේ පාරවල් විවෘත කරන්නට හැකියාව ලැබුණා.  වර්ෂ 1824 වනවිට මේ පාරවල් දෙකේම වැඩ අවසන් කරන්නට හැකි වූ බව පැවසෙනවා. 

කොළඹ - මහනුවර පාර ඉදිකිරීමේදී පාළම් ගැටලු පැනනැගුණා. කැලණි ගඟ හරහා පාරු පාළමක් ඉදිකෙරුණේ මේ නිසයි. මැවනැල්ලේදී ද පාලමක් ඉදිකරන්නට සිදුවුණා. පේරාදෙණියේදී මහවැලි ගඟ හරහා වැටුණු අඩි 205ක් පමණ දිග පාළමක් ඉදිකරන්නට සිදුවුණා. එම පාළම ඉදිකරන ලද්දේ සම්පූර්ණයෙන්ම බුරුත ලීයෙන්. අනෙක ඒ සඳහා කිසිම යකඩ ඇණයක් යොදා නොගත් බවත් පැවසෙනවා. එම කටයුතු සිදු කරන ලද්දේ ප්‍රේසර් විසින්. මෙම පාලමේ සැළැස්ම ඒ කාලයේ බොහෝ ප්‍රසිද්ධ වූ නිසා විදෙස් රටවල කෞතුකාගාරවල මෙහි සැළැස්ම ප්‍රදර්ශනයට තැබූ බව දැනගන්නට ලැබෙනවා.

Friday, December 26, 2014

ජේසු චරිතයෙන් හැදුණු චිත්‍රපට ටිකක් - A Few Movies Made on Jesus Christ



සිනමාව බිහි වුණු දා ජේසු චරිතය පිළිබඳ සිනමා නිර්මාණයන් කරන්නට බොහෝ දෙනෙක් උත්සාහ ගත් බව පෙනෙන්නට තිබෙනවා. මුල් කාලයේ නම් මේ සඳහා විවිධ විරෝධතාවයන් ඇති වුණත් පසුව ඒවා ටිකෙන් ටික නැති වී ගියා. මේ වන විට ඇතැම් නිර්මාණවලට හැරුණාම සෙසු ඒවාට කිතුනු ජනතාවගෙන් විරෝධයක් එල්ලවන්නේ නැහැ. ඒවා ද සාමාන්‍ය සිනමා නිර්මාණ බවට පමණක් පත් වෙලා. නමුත් මේවා අතුරින් විශේෂයෙන් සඳහන් කළ යුතු ඒවා කිහිපයක් තියෙනවා.

බයිබලය ඇසුරු කරගෙන කරන ලද සිනමා නිර්මාණ බොහොමයක් තිබුණත් ඒ සියල්ලම ජේසු චරිතය වන්නේ නැහැ. බයිබලයේ අලුත් ගිවිසුමෙන් කරන ලද නිර්මාණවලට පමණයි ජේසු චරිතය ඇතුළත් වන්නේ. සොයාගන්නට හැකිවුණු තොරතුරුවලට අනුව ලෝකයේ ජේසු චරිතය රැගත් ලෝකයේ මුල්ම සිනමා නිර්මාණය වන්නේ ඇලිස් ගයිගේ The Birth, Life and Death of Christ  නම් චිත්‍රපටයයි.  1906 දී නිර්මාණය කරන ලද මෙය මිනිත්තු 33ක ධාවන කාලයක් සහිත ප්‍රංශ චිත්‍රපටයක්.

ජේසු චරිතය ඇසුරින් කරන නිර්මාණයකින් ජේසුස් වහන්සේගේ චරිතයට යම් හානියක් සිදුවුවහොත් නිසැක ලෙසම ඒ චරිතය නිරූපණය කරන නළුවා අකාලයේ මිය යන බවට කතා පැතිර පවතිනවා. ඇතැම් අය පවසන්නේ කුමනාකාරයෙන් ජේසු චරිතය නිරූපණය කළත් අකාලයේ මිය යන්නට සිදුවන බවයි. එවැනි සිදුවීම් කිහිපයක් පෙනෙන්නට තිබුණත්, එය තහවුරු කළ හැකි පැහැදිලි සාධක නැහැ. බොහෝ දෙනෙක් පවසන්නේ අප රටේ සිටි ජනප්‍රියතම රංගන ශිල්පියකු වූ විජය කුමාරතුංගයන්ගේ අකල් මරණයට හේතුව ද ඔහු ජේසු චරිතය රඟපෑම බවයි.

Passion of the Christ 

ජේසු චරිතය නිරූපණය වන සිනමා නිර්මාණ පිළිබඳ එක්තරා වෙබ් අඩවියක් කර තිබ සමීක්ෂණයකින් මුල් තැනට පැමිණ තිබුණේ The Passion of the Christ  චිත්‍රපටයයි. ජේසු චරිතය නිරූපණය වුණු අනෙක් බොහෝ සිනමා නිර්මාණවලට වඩා මෙය වෙනස්. අනෙක බොහෝ චිත්‍රපටවලින් ජේසු බිළිඳාගේ උපතේ සිටම කතාව දිග හැරුණත් මෙයින් කියැවෙන්නේ ජේසුස් වන්සේගේ චරිතයේ අවසන් පැය කිහිපයක කාලය ගැන පමණයි. ලෝක ප්‍රකට රංගන ශිල්පියකු වන මෙල් ගිබ්සන් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙහි ජේසු චරිතය නිරූපණය කරන්නේ ජිම් කැවියසෙල්. ඔහු මෙය ඉතා තාත්වික අන්දමින් නිරූපණය කර තිබු නිසාම මෙය ලෝකයේ ඉහළ ආදායම් ලැබූ සිනමා නිර්මාණයක් බවට ද පත් වුණා. නමුත් කැවියසෙල් දැන් පවසන්නේ මේ චිත්‍රපටයට දායක වීම නිසා සිය රංගන ජීවිතය විනාශ වූ බවයි. මෙම චිත්‍රපටයේ රඟපෑමෙන් පසුව ඔහුට වෙනත් චිත්‍රපට සඳහා වූ ඇරයුම් නැත්තටම නැතිවී ගිය බව ඔහු පවසනවා. අනෙක මෙම චිත්‍රපටය තමන්ට කළ අපහාසයක් බව යුදෙව් ජාතිකයන් පවසනවා.

ජිම් කැවියසෙල්


මෑත කාලයේ ජේසු චරිතය ආශ්‍රිත බොහෝ සිනමා නිර්මාණ බිහි වුණත්  1977 දී නිෂ්පාදනය වූ Jesus of Nazareth, 1999 නිෂ්පාදනය වුණු Jesus, 1961 නිෂ්පාදනය වුණු King of Kings, 1965 නිෂ්පාදනය වුණු The Greatest Story Ever Told ආදිය තවමත් සැළකෙන්නේ අග්‍රගණ්‍ය සිනමා කෘති ලෙසටයි.

ඒ වාගේම ජේසුස් වහන්සේගේ චරිතය අළලා කළ අතිශය අසාර්ථක සිනමා නිර්මාණ ගැනත් දැනගන්නට ලැබෙනවා. 1953 දී නිෂ්පාදනය වුණු THE ROBE, 2001 දී නිෂ්පාදනය වුණු JESUS CHRIST VAMPIRE HUNTER, 2007 වසරේ නිෂ්පාදනය වුණු ZOMBIE JESUS! මේ අතුරින් කිහිපයක්. මේවායෙන් ජේසුස් වහන්සේගේ චරිතය ඉහළට ඔසවා තබනවා වෙනුවට සිදුවූයේ අගෞරවයක් පමණක් බව බොහෝ දෙනෙකු පවසනවා.

ජේසුස් වහන්සේගේ දිගු කොණ්ඩය සෑම සිනමා නිර්මාණයකදීම දක්නට ලැබෙන දෙයක්. නමුත් එතුමාට දිගු කොණ්ඩයක් තිබුණු බවට බයිබලයෙන් සාධක හමුවන්නේ නැති බව විද්වතුන් පවසනවා. යුදෙව් ජාතික පිරිමින් පවා කොණ්ඩය දිගට වැවූ බවක් සොයාගන්නට නැහැ. නමුත් ජේසුස් වහන්සේ යැයි පැවසූ පමණින් ඕනෑම කෙනෙකුගේ සිතේ මැවෙන්නේ දිගු කොණ්ඩයක් සහිත චරිතයක්. බයිබල්යේ කොරින්ති පළමු පොතේ 11-14 පදයේ දැක්වෙන්නේ එකල පිරිමියකුට  දිගු කොණ්ඩයක් පැවතීම ලජ්ජාවට කාරණයක් විය යුතු බවයි. නමුත් සිනමා නිර්මාණවලට ජේසුස් වහන්සේ  දිගු කොණ්ඩයක් සහිතව නිරූපණය කිරීම කෙසේ සිදු කළේද යන්න ගැන පැහැදිලි අදහසක්නැහැ.

ජේසුසු වහන්සේගේ චරිතය අළලා ලෝකයේ දැනට නිෂ්පාදනය තොට ඇති සමස්ත සිනමා නිර්මාණ පිළිබඳ මෙසේ ලිපියකින් ලියා අවසන් කරන්නට නොහැකි වුවත්, එවැනි කරුණු සොයා ගෙන අයට මේ කරුණු ටික වුණත් මගපෙන්වීමක් කරනු ඇතැයි අප සිතනවා. මේ නත්තල් සමයේ ඔබට එවැනි විශේෂ කරුණු සහිත ලිපියක් ලියන්නට අදහස් කළේ ඒ නිසයි.


Thursday, December 25, 2014

ප්‍රිසන් බ්‍රේක් ක්‍රියාදාම ටෙලි නාට්‍යය - Prison Break Action TV Series


ප්‍රිසන් බ්‍රේක්’ (Prison Break)  කියන්නේ මේ දිනවල සඳුදා සිට සෙනසුරාදා දක්වා ජාතික රූපවාහිනිය ඔස්සේ රාත්‍රී 9ට විකාශනය වන ක්‍රියාදාමවලින් පිරුණු කතාවක්. කුතුහලය සහ ක්‍රියාදාමවලට කැමති ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් දැනටමත් මෙය නරඹන්නට එකතුවී සිටිනවා. ඒ නිසාම අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවා. 

ප්‍රිසන් බ්‍රේක්කියන්නේ ක්‍රියාදාමවලින් පිරුණු ඇමරිකානු   ටෙලි නාට්‍යයක්. කතා මාලා 4කින් යුක්තව 2005 - 2009 යන කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ ෆොක්ස් නම් නාලිකාව ඔස්සේ ඉතා සාර්ථකව විකාශනය වුණා. කතාවේ නිර්මාණය පෝල් ෂූරින් විසින් කර තිබෙනවා. 



සහෝදරයන් දෙදෙනෙකු වටා කතාව ගළා යනවා. මෙයින් එක් සහෝදරයකු නොකළ වරදකට මරණ දඬුවම නියම වී සිරගතව සිටින කෙනෙක්. අනෙක් සහෝදරයා කුමක් හෝ සැළසුමක් ක්‍රියාත්මක කරලා තමන්ගේ සහෝදරයා සිර ගෙයින් නිදහස් කරගෙන ඔහුට ඇති වී තිබෙන අපකීර්තිය නැති කරන්නට උත්සාහ ගන්නවා. සුප්‍රකට චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් වන ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස්සමාගම සමග එක්ව පෝල් ෂූරින්ග්, මැට් ඔල්ම්ස්ටඩ්, කෙවින් හූක්ස්, මාරිටි ඇඩෙල්ස්ටෙයින්, ඩෝන් පරාවුස්, නීල් එච්. මොරිට්ස් සහ බ්‍රෙට් රැට්නර් යන කණ්ඩායම විසින් මෙය නිෂ්පාදනය කොට තිබෙනවා. සංගීතය රාමින් ජාවඩි විසින් නිර්මාණය කොට තිබෙන අතර 2006 වසරේදී ප්‍රයිම් ටයිම් එමිසම්මානය සඳහා මෙය සුදුසුකම් ද ලැබුවා. 

මෙම කතා මාලාම මුළින්ම නිෂ්පාදනය කරන්නට සැළසුම් කොට තිබුණේ ෆොක්ස් සමාගම මගින් වුවත්, ලාබ ලැබීමට නොහැකි වේ යැයි තිබූ අවදානම නිසා ඔවුන් මෙය අතහැර දැමුවා. පසුව වෙනත් නිෂ්පාදන කණ්ඩායමක් මෙය නිෂ්පාදනය කොට සාර්ථක ප්‍රතිඵල ලැබූ පසු ෆොක්ස් සමාගම ඔවුනට මූල්‍ය අනුග්‍රහමය ලබාදෙන්නට කැමැත්ත පළ කළා. 


මෙම කතා මාළා හතරම සඳහා එක සමාන දායකත්වය සළසන නිශ්චිත රංගන ශිල්පීන් කණ්ඩාමක් සිටිනවා. ඊට අමතරව ආරාධිත නළු නිළියන් විටින් විට අවශ්‍යතාවය අනුව යොදා ගැනෙනවා. ඩොමිනික් පර්සෙල් (ලින්කන් බරෝස් ලෙස) කතා මාළා 1 - 4 දක්වා ද, වෙන්ට්වර්ත් මිලර් (මයිකල් ස්කොෆීල්ඩ් ලෙස) කතා මාළා 1 - 4 දක්වා  ද ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායකත්වය ලබාදුන්නා. ඊට අමතරව රොබින් ටනී, මාර්ෂල් අල්මාන්, අමෝරි නොලස්කෝ, රොබර්ටෝ නෙපර් ඇතුළු ශිල්පීන් බොහෝමයක් මෙයට දායකත්වය ලබා දී තිබෙනවා. 

මෙහි පළමු කතා මාළාවෙන් කියැවෙන්නේ ලින්කන් බරෝස් සිරගෙයින් මුදාගන්නා කතාවයි. මෙහිදී 8 දෙනෙක් සිරෙන් නිදහස් වෙනවා. දෙවැනි කතා මාළාවෙන් සිරෙන් නිදහස් වී ගෙවී යන පළමු පැය 8 ගැන කියැවෙනවා. සිරෙන් නිදහස් වූ පිරිස පැනමාවේ ගත කරන කාලය පිළිබඳව තුන්වැනි කතා මාළාවන් පෙන්වනවා. සිව්වැනි හා අවසන් කතා මාළාවෙන් මේ පිරිස අතර සිටි එක් අයකුගේ දරුවා හා  බිරිඳ පැහැරගැනීමකට ලක්වීමත්, ඔවුන්ව බේරාගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳවත් කියැවෙනවා. 

ප්‍රිසන් බ්‍රේක්මුල් කතා මාළා 3 ම රූපගත කෙරුණේ හොලිවුඩයෙන් පිටතපිහිටි දර්ශන තලවලයි. ඒ අතරින් චිකාගෝවල පිහිටි බන්ධනාගාරයක් මේ සඳහා වැඩි වශයෙන් යෙදාගත්තා. නමුත් 2002 වසරේදී එය වසා දැමුණු නිසා 4 වැනි කතා මාළාව සම්පූර්ණයෙන්ම රූපගත කෙරුනේ ඉලිනොයිස් ප්‍රාන්තයේ ඇති ජොයිලට්බන්ධනාගාරයේ. මෙහි ලින්කන් සිටි සිර මැදිරිය ගැන ද විශේෂයෙන් සඳහන් කළ යුතුයි. 1972 - 1975 අතර කාලයේ  මිනීමැරුම් ගණනාවක් එක දිගට සිදු කළ ඝාතකයකු (serial killer) වූ ජෝන් වේනී ගේසි රඳවා තිබුණේ ද මේ සිරමැදිරියේමයි. මෙහි නිෂ්පාදන කණ්ඩාමේ එක් සාමාජිකයකු මෙම සිරමැදිරියට ඇතුළුවීම ප්‍රතික්ෂේප කළා. ඒ මෙහි එම ඝාතකයාගේ ආත්මය හොල්මන් කරන බවට පැතිර තිබූ විශ්වාසය නිසයි. 

4 වැනි කතා මාළාවට පසුබිම් වී තිබුණේ පැනමාව වුණත්, ඒ සියල්ල රූපගත කොට තිබුණේ ෆ්ලොරිඩාවේ පැනස්කෝලා ප්‍රදේශයේයි. 

ප්‍රිසන් බ්‍රේක් කතා මාළාවේ මයිකල් ස්කොෆීල්ඩ්ගේ සිරුරේ කොටා ඇති පච්චා මෝස්තර ගැන බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයකට ලක් වූ දෙයක්. මෙම පච්චා මෝස්තර අතරේ තමයි සිරෙන් පැන යාම පිළිබඳ සියලු තොරතුරු සටහන් වී තිබෙන්නේ. මෙම පච්චා මෝස්තර තුන්වැනි කතා මාළාව දක්වා පෙනෙන්නට තිබෙන අතර 4 වැනි කතා මාළාවේදී එය පෙනෙන්නට නැහැ. හේතුව කතාවේ හැටියට එය ඉවත් කරන නිසයි. ඇත්තටම මෙහිදී මෙම නළුවා කරන්නේ පච්චා මෝස්තර සහිත සියුම් සිවියක් වැනි ටී ෂර්ට් එකක් ඇඳගෙන සිටීමයි. 

මෙහි මුල් කතා මාළා දෙක ප්‍රේක්ෂකයන් මිලියන 9කට අධික පිරිසක් නරඹා ඇති අතර 3 වැනි කතා මාළාව මිලියන 8ක් ද, 4 වැනි කතා මාළාව මිලියන 6ක් ද නරඹා තිබෙනවා. සම්පූර්ණ කතා මාළා 4 මිනිත්තු 45කින් යුක්ත කොටස් 81කින් යුක්තයි.  මෙහි එක් කොටසක් රූපගත කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1.4 - 2 ත් අතර මුදලක් වැයවී තිබෙන බවයි පැවසෙන්නේ. අන්තර්ජාල චිත්‍රපට දත්තමූල වෙබ් අඩවිය’ (Internet Movie Database) හෙවත් IMDB හි මෙම රූපවාහිනි කතා මාළාව සඳහා ලැබී ඇති අගැයුම් ලකුණු ප්‍රමාණය 8.6ක් වනවා. එවැනි ලකුණු ප්‍රමාණයකින් කියැාවන්නේ මෙය අතිශය ජනප්‍රිය කතා මාළාවක් බවයි.

Tuesday, December 23, 2014

ගූගල් පරිවර්තකයෙන් සිංහල උපසිරැසි හදමු - Sinhala Subtitles from Google Translator



ගූගල් පරිවර්තකය දැන් සිංහලෙන් වැඩ පටන් අරන් කියන කතාව හැමෝම දන්නවා. මම මේ කියන්න යන දේ තව කවුරු හරි කරලා බලන්නත් ඇති. ඒත් එහෙම එකක් මම තවම දැක්කේ නැති නිසා සියලු දෙනාගේ දැනගැන්ම පිණිස මට මේක ලියන්නක හිතුණා.

ගූගල් පරිවර්තකයේ සිංහල පරිවර්තන තවම කොහොමත් සාර්ථක නැති බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. මේ ගැන මම ලියපු කෙටි බ්ලොග් සටහන (අවශ්‍ය නම් ඒ ගැන මෙතැනින් කියවන්න) බැලුවාම ඕන කෙනෙකුට පැහැදිලි වෙනවා. එහෙම ඕනත් නැහැ. ගූගල් පරිවර්තක පිටුව විවෘත කරගෙන සිංහල වාක්‍ය කිහිපයක් ඉංග්‍රීසියටත්, ඉංග්‍රීසි වාක්‍ය කිහිපයක් සිංහලටත් පරිවර්තනය කරලා බලන්න. එතකොට තේරුම්ගන්න පුලුවන්. තව ටික කාලයක් යනකොට මේ අඩුපාඩු නිවැරදි වෙයි කියලා හිතෙනවා. හරි දැන් මාතෘකාවට එමු.

ඉංග්‍රීසි බසින් හෝ වෙනත් බසකින් ඇති සිනමා නිර්මාණයක් අපේ බසින් රසවිඳින්න තියෙන බාධාව තමයි භාෂා ප්‍රශ්නය. රූපවාහිනි නාලිකාවල මේ සඳහා උපසිරැසි ලබාදෙන්නේ ඒ නිසයි. ඊට අමතරව අන්තර්ජාලයේ බයිස්කෝප් සහ සූම් යන අඩවිවලිනුත් උපසිරැසි ගොනු ලබාදෙනවා. උපසිරැසියක් හදනවා කියන එක පහසු වැඩක් නෙවෙයි. මම එකක් හදන්න ලෑස්තිවුණු ගමන්ම වැඩේ එපා වුණා. ඒ නිසා මේවා නොමිලයේ අපට ලබාදෙන ඒ අඩවිවලට අපි ස්තූතිවන්ත වෙන්න ඕන.

කොහොම වුණත් මේ අඩවිවලින් හැම චිත්‍රපටයකම උපසිරැසි ලබාදෙන්නේ නැහැ. මම බලන්න කැමති, ඒත් මේ අඩවිවල නැනි සිනමා නිර්මාණ අන්තර්ජාලයෙන් ඉංග්‍රීසි හෝ වෙනත් බසක උපසිරැසි සහිතව බාගත කිරීමේ පහසුකම තිබෙනවා. ගූගල් පරිවර්තකය සිංහලෙන් වැඩ ආරම්භ කළාට පස්සේ මම පොඩි උත්සාහයක් කළා වෙනත් බසකින් ඇති උපසිරැසියක් සිංහලට පරිවර්තනය කරන්න පුලුවන්ද කියලා. ගූගල් පරිවර්තකයේ වැඩ අසාර්ථක වුණත් මගේ වැඩේ නම් සාර්ථක වුණා. කරලා බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කරන්න පුලුවන්. කරන්නේ මෙන්න මෙහෙමයි.

මුළින්ම ඉංග්‍රීසි හෝ වෙනත් බසකින් ඇති චිත්‍රපටයට ගැළපෙන උපසිරැසියක් හොයාගන්න. බොහෝ වෙලාවට චිත්‍රපටයක් ටොරන්ට් එකකින් බාගත කරගන්න කොට එවැනි උපසිරැසියක් ඒ සමගම ලැබෙනවා. ඒක නෝට් පෑඩ් එකින් විවෘත කරලා වර්ඩ් ගොනුවකට පිටපත් කරගන්න. එවිට මෙන්න මේ වගේ තමයි පෙනෙන්නේ.

1
00:00:41,584 --> 00:00:44,999
SPECIAL FORCES

2
00:01:12,584 --> 00:01:13,624
Four minutes!

3
00:03:11,500 --> 00:03:14,499
DRAGAN MILEVIC
war criminal

4
00:03:22,375 --> 00:03:24,416
Code 3.
Priest's in the church.

5
00:06:18,334 --> 00:06:24,041
AFGHANISTAN
Kabul

මම පේළි 5ක් විතරයි ගත්තේ. දැන් මේක ගූගල් පරිවර්තකයට දාලා සිංහලයට පරිවර්තනය කරගන්න. එවිට අපට මෙන්න මෙහෙම ප්‍රතිඵලයක් ලැබෙනවා.  

1
00: 00: 41.584 -> 00: 00: 44.999
විශේෂ හමුදා

2
00: 01: 12.584 -> 00: 01: 13,624 ක නැවත පදිංචි කරන ලදී
විනාඩි හතර!

3
00: 03: 11,500 -> 00: 03: 14.499
DRAGAN MILEVIC
, යුද අපරාධ

4
00: 03: 22.375 -> 00: 03: 24.416
සංග්රහයේ 3.
පූජකයාගේ සභාව තුළ.

5
00: 06: 18.334 -> 00: 06: 24.041
ඇෆ්ගනිස්ථානය
කාබුල්

නමුත් මේ විදිහට පරිවර්තනය වෙලා අපට ලැබෙන පේලිවල උපසිරැසියක් නිවැරදිව ක්‍රියාත්මක වෙන්න තිබිය යුතු අංග කිහිපයක් අඩුවෙන් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ නිවැරදි ගුණාංග සහිත උපසිරැසි පේළියක්.

4
00:03:22,375 --> 00:03:24,416
Code 3.
Priest's in the church.

මේකම ගූගල් පරිවර්තකයෙන් ලැබෙන්නේ මේ විදිහට.  

4
00: 03: 22.375 -> 00: 03: 24.416
සංග්රහයේ 3.
පූජකයාගේ සභාව තුළ.

කාලය සඳහන් වෙන් පේළියේ තමයි මේ වෙනස සිදුවෙන්නේ. නිවැරදි විදිහට කාලය තිබිය යුත්තේ 

00:03:22,375 --> 00:03:24,416 

විදිහටයි. පරිවර්තකයෙන් මෙය ලැබෙන විට 

00:03:22  

පසුව කොමාව වෙනුවට ලැබෙන්නේ තිතක්. ඒ වගේම --> මේ සළකුණ අපට ලැබෙන්නේ -> මෙන්න මේ විදිහට. මේවා මේ විදිහට තිබුණොත් උපසිරැසි ක්‍රියාත්මක වන්නේ නැහැ. අපි මෙතැන ගත්තේ උපසිරැසියෙන් පේළි 5ක් විතරක් වුණත් මේ සඳහා ගත්ත උපසිරැසි ගොනුවේ පේළි 597ක් තිබෙනවා. මේවා අතින් හදන එක සාර්ථක නැහැ. දැන් අපට ප්‍රයෝජනයට ගන්න වෙන්නේ වර්ඩ්වල ඇති Find & Replace විධානයයි. Ctrl+F කියන යතුරු එකවර තදකළ විට ඒ විධානය මෙන්න මේ විදිහට එනවා. දැන් අපි -> වෙනුවට --> සළකුණත්, තිත වෙනුවට කොමාවත් Replace කර ගනිමු. 





දැන් මේ ගොනුවේ පේළි මෙන්න මේ විදිහට දිස්වෙන්න ඕන.


1
00: 00: 41,584 --> 00: 00: 44,999
විශේෂ හමුදා
2
00: 01: 12,584 --> 00: 01: 13,624 ක නැවත පදිංචි කරන ලදී
විනාඩි හතර!
3
00: 03: 11,500 --> 00: 03: 14,499
DRAGAN MILEVIC
, යුද අපරාධ
4
00: 03: 22,375 --> 00: 03: 24,416
සංග්රහයේ 3,
පූජකයාගේ සභාව තුළ,
5
00: 06: 18,334 --> 00: 06: 24,041
ඇෆ්ගනිස්ථානය
කාබුල්

මේක පැහැදිලි මදි වගේ දැනෙන නිසා මේක කරන විදිහේ වීඩියෝවක් දාන්නත් බලාපරෛාත්තු වෙනවා. 

මේක හදාගෙන ඉවර වුනාට පස්සේ මෙය අපි මුළින්ම ගත්තු ඉංග්‍රීසි උපසිරැසි ගොනුවේ ඉංග්‍රීසි බසින් ඇති කොටස ඉවත් කොට මෙය එතැනට පිටපත් කොට ගොනුව සුරක්ෂිත කරගන්න. දැන් චිත්‍රපටය සමග මෙය උපසිරැසි ක්‍රියාත්මක වීඩියෝ ප්ලේයර් එකක ධාවනය කොට බලන්න. පරිවර්තකයේ ගැටලු බොහෝ තිබුණත් තව වැඩි කලක් නොගොස් මේ අඩුපාඩු අවම වූ විට මේ ආකාරයෙන් උපසිරැසි ගොනු නිර්මාණය කරගන්න කාටත් බොහෝ පහසුවක් වේවි.