පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, December 28, 2014

කොළඹ - මහනුවර පාරේ කතාව - History of Colombo - Mahanuwara (Kandy) Road

1860 දී පමණ ගනු ලැබූ කොළඹ - මහනුවර පාරේ ඡායාරූපයක්
කොළඹ සිට මහනුවර දක්වා අධිවේගී මාර්ගයක් ඉදිකරන්නටත් සැළසුම්කොට තිබෙන මේ කාලයේ බොහෝ දෙනෙක්  කොළඹ - මහනුවර මහාමාර්ගය ඉදිකිරීම පිටුපස තියෙන අතීත කතාව ගැන දන්නේ නැති බවට සැකයක් නැහැ. ඒ නිසාත්, ඒ අතීත කතාව ගැන විස්තරයක් සොයාගන්නට පුළුවන් වුණු නිසාත්, ඒ ගැන ලියන්න කල්පනා කළා. 

කොළඹ නුවර පාරේ අතීත කතාව පටන් ගන්නේ අප රට යටත්කොටගෙන සිටි ඉංග්‍රීසින්ගේ පාලන සමයෙන්. කොළඹ හා මහනුවර නගර සම්බන්ධ කරමින් පාරවල් දෙකක් තනන්නට ඉංග්‍රීසින්ට අවශ්‍ය වුණා. ඉන් එකක් හතරකෝරළය මැදින් අඹේපුස්ස හරහා ද, අනෙක් පාර කඩුගන්නාව හරහා ද වැටෙන අයුරින් ඔවුන් සැළසුම් කළා.

කඩුගන්නාව

 මෙයින් මුළින් සඳහන කළ පාරේ සියලු වැඩකටයුතු සැළසුම් කළේ ප්‍රේසර් කියන ඉංග්‍රීසි නිලධාරියායි. කඩුගන්නාව හරා වැටෙන සේ සැළසුම් කළ පාරේ සියලු වැඩකටයුතු කළේ විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන් කියන ඉංග්‍රීසි නිලධාරියායි. ඔහු ඉංග්‍රීසි හමුදාවේ කපිතාන්වරයෙක් විදිහට ද සේවය කළා. කොහොම වුණත් කඩුගන්නාව හරහා වූ පාරේ වැඩ අවසන් කරන්නට කලින් ඩෝසන් මිය ගියා. නමුත් ඔහු කළ සේවය ඉංග්‍රීසින් ඉතාමත් අගය කළ නිසා ඔහු සිහිවන්නට කඩුගන්නාවේ ස්මාරකයක් ඉදිකරන්නට ද ඉංග්‍රීසි පාලකයක් තීරණය කළා. අද මහනුවරට ගමන් කරන විට දකින ඩෝසන් කුලුණ තමයි මේ ස්මාරකය. 

ඩෝසන් කුලුණ

කොළඹ හා මහනුවර පාරකින් සම්බන්ධ කරගැනීමට ඉංග්‍රීසින්ට බොහෝ කාලයක් සිට අවශ්‍ය වුණා. එයට හේතුව ඔවුනට නිතරම, හැකි තරම් ඉක්මණින් කොළඹ සිට මහනුවරට ගමන් කිරීම සඳහා බොහෝ අවශ්‍යතාවයන් පැන නැගුණු නිසයි. ඉංග්‍රීසි පාලන සමයේ මහනුවර නගරය හා අවට විටින් විට සිංහලයන් කැරළි ගැසූ බව සඳහන්. මේවා ඉතා ඉක්මණින් මැඩපවත්වන්නට නම් කොළඹ සිට පහසුවෙන් ඉංග්‍රීසි හමුදාවන්ට මහනුවරට ළඟාවන්නට හැකියාව තිබිය යුතු වුණා. පාරවල් නොමැති නිසා ඉංග්‍රීසි හමුදාවන්ට මහනුවරට ළඟාවන්නට සිදුවුණේ වනාන්තර මැදින්. මේ වනාන්තර ඉංග්‍රීසිට විරුද්ධව කැරළි ගැසූ සිංහලයන්ට දෑස් පියාගෙන පවා ගමන් කළ හැකි ස්ථාන වූවත්, ඉංග්‍රීසින්ට එසේ වුණේ නැහැ. ඇතැම් ඉංග්‍රීසි හමුදාවන්ට මෙම වනාන්තර මැදින් උපද්‍රවයක් නොවී මහනුවරට ළඟාවන්නට හැකියාවක් ලැබුණේ නැති අවස්ථාවන් ඕනෑ තරම් තිබුණා. මේ වනාන්තර මැද දී සිංහලයන්ගේ උගුල්වලට හසුව මිය යන ඉංග්‍රීසි හමුදාවන්ගේ සංඛ්‍යාව සැළකිය යුතු තරම් ප්‍රමාණයක් වුණා. ඇතැම් ඉංග්‍රීසි ජාතිකයන් කැලෑ උණ වැළඳුණා. කොළඹ හා මහනුවර අතර ක්‍රමවත් පාරක් නොමැති වීම මහනුවර රජධානියේ ආරක්ෂාවට බොහෝ කාලයක් තිස්සේ උපකාරී වුණු බවත්, මෙම වනාන්තර උඩරට රාජධානියේ ස්වභාවික ආරක්ෂක පළිහක් ලෙස පැවති බවත් බොහෝ අතීත කතාවල කියැවෙන්නේ මේ නිසයි. වර්ෂ 1817 දී බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා සහ ඔහුගේ බිරිඳ කොළඹ සිට මහනුවරට ගමන් කොට ඇත්තේ අති දුෂ්කර මාර්ගයක් ඔස්සේ බව සඳහන් වෙනවා. ඒ මාර්ගය වැටී තිබී ඇත්තේ කොළඹ - අවිස්සාවේල්ල - අරන්දර - හෙට්ටිමුල්ල - බලන දුර්ගය හරහා බව පැවසෙනවා. ඔවුන් ගමන් කොට ඇත්තේ ද මිනිසුන් විසින් ඔසවාගෙන ගිය පල්ලැක්කියකින්. ඒ කියන්නේ දෝලාවකට සමාන දෙයක්. තවත් ඉංග්‍රීසින් පිරිසක් අසු පිටින් ද, තවත් පිරිසක් පුටුවල හිඳුවා පුටුව පිටින්ම ඔසවාගෙන ගිය බවත් අතීත කතාවල දැක්වෙනවා. 

ඒ නිසා මෙවැනි පාරක් අවශ්‍යතාවය ඉංග්‍රීසින්ට දැඩිව දැනෙන්නට වුණා. ඒ නිසා 1820 වසරේ ශ්‍රී ලංකාව පාලනය ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වූ රොබට් විල්මට් හෝර්ටන්ගේ අණ යටතේ මේ පාරවල් ඉදිකිරීම ආරම්භ කෙරුණා. 

ඉංග්‍රීසි පාලන සමයේ සාමාන්‍ය මිනිසුන්ගෙන් ලබාගන්නා සේවය සඳහා කුළී ගෙවීමක් සිදුවුණේ නැහැ. එයට හේතුව ඒ කාලයේ පොදු වැඩ සඳහා කුළි නොගෙවා වැඩගැනීමට ඔවුනට බලය තිබුණු නිසයි. ඒ නිසා කොළඹ - මහනුවර පාර ඉදිකිරීමට ඉංග්‍රීසින්ට වැඩ කුළී සඳහා කිසිම වියදමක් දරන්නට සිදුවුණේ නැහැ. මේ නිසා ඔවුනට වැඩි කාලයක් ගත නොකර මේ පාරවල් විවෘත කරන්නට හැකියාව ලැබුණා.  වර්ෂ 1824 වනවිට මේ පාරවල් දෙකේම වැඩ අවසන් කරන්නට හැකි වූ බව පැවසෙනවා. 

කොළඹ - මහනුවර පාර ඉදිකිරීමේදී පාළම් ගැටලු පැනනැගුණා. කැලණි ගඟ හරහා පාරු පාළමක් ඉදිකෙරුණේ මේ නිසයි. මැවනැල්ලේදී ද පාලමක් ඉදිකරන්නට සිදුවුණා. පේරාදෙණියේදී මහවැලි ගඟ හරහා වැටුණු අඩි 205ක් පමණ දිග පාළමක් ඉදිකරන්නට සිදුවුණා. එම පාළම ඉදිකරන ලද්දේ සම්පූර්ණයෙන්ම බුරුත ලීයෙන්. අනෙක ඒ සඳහා කිසිම යකඩ ඇණයක් යොදා නොගත් බවත් පැවසෙනවා. එම කටයුතු සිදු කරන ලද්දේ ප්‍රේසර් විසින්. මෙම පාලමේ සැළැස්ම ඒ කාලයේ බොහෝ ප්‍රසිද්ධ වූ නිසා විදෙස් රටවල කෞතුකාගාරවල මෙහි සැළැස්ම ප්‍රදර්ශනයට තැබූ බව දැනගන්නට ලැබෙනවා.

6 comments:

  1. සුද්දා කොරපුවා...................... අගෙයි ලිපියනම් .... ගොඩක් දැනුමක් ලැබුවා................

    ReplyDelete
    Replies
    1. සුද්දා කරපුවා නම් තමයි. ඒත් පරණ දේවල ගැන අනෙක් අයව දැනුවත්කිරීම වටිනවා නේ.

      Delete
  2. සුද්දා නාවා නම් ලංකාව කොහොම වේද?

    ReplyDelete
    Replies
    1. සුද්දා පැමිණීමෙන් අපට වාසි වගේම අවාසිත් සිදු වුණා. මම හිතන්නේ වාසිවලට වඩා අවාසි වැඩි ඇති. අපේ බොහෝ දේවල් විනාශ වුණා. ඒත් මේ වගේ යහපත් දේවල් ද අපට ලැබුණා. මේ ගැන විශ්ලේෂණාත්මකව විග්‍රහ කළ යුතුයි. වාක්‍ය දෙක තුනකින් අදහසක් දක්වන්නට බැහැ.

      Delete
  3. නිරංජන් අය්ය මමත් කාලෙකට කලිං හෙව්ව ඉස්සර කෑගල්ල පැත්තෙ එහෙම විසේසයෙන් ටවුමෙ පොටෝ
    ඒත් හොයාගන්ට බැරිවුණා
    ඔයා මේව හොයාගත්තු තැන වෙන පොටෝ නැද්ද්

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ සයිට් එකට ගිහින් බලන්න. ලංකාවේ පරණ ඡායාරූප සෑහෙන්න මෙතන තියෙනවා.
      http://lankapura.com/

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න