Sunday, September 14, 2025
Tuesday, July 22, 2025
Saturday, July 12, 2025
Friday, May 23, 2025
Monday, April 28, 2025
Tuesday, February 18, 2025
දිනෙන් දින වැඩි වන අපේ රටේ වායු දූෂණය - Air pollution in our country is steadily increasing with each passing day.
මේ දිනවල ශ්‍රී ලංකාවේ වායු දූෂණයේ යම් ඉහළ යාමක් පෙන්නුම් කරන බව පුවත් වාර්තා වී තිබේ. වාහනවල වායු විමෝචන භාරකාර අරමුදල සඳහන් කර සිටියේ පසුගිය කාලයට සාපේක්ෂව මේ දින කිහිපය තුළ වායු ගුණත්වය යම් අයහපත් තත්ත්වයකට පත්ව ඇති බවය. වායු ගුණත්ව දර්ශකයට (Air Quality Index - AQI) අනුව යහපත් මට්ටම ලෙස සැලකෙන්නේ 0 - 50 දක්වා වුව ද ලැබී ඇති වාර්තාවලට අනුව කොළඹ, යාපනය, වව්නියාව, මහනුවර, ගාල්ල, හම්බන්තොට සහ මොනරාගල ඇතුළු නගර 15 ක වායු ගුණත්ව දර්ශකයේ අගය 101 - 150 අතර තත්ත්වයක පැවතී තිබේ. මේ තත්ත්වය වායු දූෂණයේ සුළු මට්ටමක් වුව ද නොසලකා හැරිය යුතු තත්ත්වයක් නොවේ. පසුගිය දිනවල වායුගෝලයේ කැලඹීම සමග ඇතිවූ කුණාටු තත්ත්වය පහව ගිය ද මීදුම් ස්වභාවයක් තවමත් දක්නට ඇත්තේ සැබවින්ම කාලගුණය කැලඹීමේ තත්ත්වය තවමත් පවතින නිසා නොව මේ වායු දූෂණ තත්ත්වය නිසා බව පෙනෙන්නට තිබේ.
යම් කිසි ස්ථානයට වායු දූෂණ කෙතරම්දැයි මැන බලන දර්ශකය ‘වායු ගුණත්ව දර්ශකය’ (Air Quality Index - AQI) යනුවෙන් හඳුන්වනු ලබයි. මෙහි අගය 0 - 500 අතර පවතින අතර වඩාත් හිතකර, යහපත් වායු තත්ත්වයක් පවතින්නේ නම් 0 - 50 දක්වා විය යුතු වේ. 50 අගය පසු කරද්දී එම ස්ථානය වායු දූෂණයට ලක්වෙමින් පවතින බවට නිගමනය කෙරේ.
ශ්‍රී ලංකාවේ වායු දූෂණ තත්ත්වයක් ඇතිවීම කෙරෙහි ඍජුවම බලපාන්නේ අප රටෙහි ඇති රථ වාහනවලින් හෝ කර්මාන්ත ශාලා මගින් වායුගෝලයට මුදා හැරෙන විවිධකාර දුමාරයන් නිසා නොව ඉන්දියාවේ බලපෑම නිසා බව වායුගෝලීය ගුණත්වය සම්බන්ධ ආයතන බොහොමයක් පෙන්වා දී තිබේ. ඉන්දියාවේ වායු දූෂණය ශ්‍රී ලංකාව කෙරෙහි බලපෑම සාපේක්ෂව මෑත කාලයේ සිට වාර්තා වූවක් වන අතර විශේෂයෙන් මෙය ශ්‍රී ලංකාව කෙරෙහි බලපාන්නේ ඉන්දියාවට සීත ඍතුව එළඹෙන මේ සමයේදීය.
වායු ගුණත්ව දර්ශකයට අනුව 0 - 50 දක්වා යහපත් ලෙසින් ද, 50 - 100 දක්වා මධ්‍යස්ථ ලෙසින් ද, 100 - 150 දක්වා සංවේදීත්වයෙන් වැඩි පුද්ගලයන් සඳහා සෞඛ්‍ය සම්පන්න නොවන මට්ටම ලෙසින් ද, 150 - 200 දක්වා සියලු දෙනාටම සෞඛ්‍ය සම්පන්න නොවන මට්ටම ලෙසින් ද, 200 - 300 අතර නම් අතිශය සෞඛ්‍ය සම්පන්න නොවන මට්ටම ලෙසින් ද, 300 - 500 අතර අතිශය භයානක මට්ටම ලෙසින් ද වර්ග කොට තිබේ. මේ වර්ග කිරීම සිදු කොට ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගිනි. මේ දර්ශකයට අනුව මේ දිනවල ඉන්දියාවේ ප්‍රධාන නගර කිහිපයකම වායු ගුණත්වය ඇත්තේ අවදානම්කාරී තත්ත්වයකය. නවදිල්ලියේ මෙය 318 ක් ද, දකුණු ඉන්දියාවේ බොහෝ නගරවල 90 - 100 අතර පවතින බව ද වාර්තා වී තිබේ.
වායු දූෂණය මැනීමේ දී වාතය තුළ කෙතරම් අංශුමය ද්‍රව්‍ය (Particulate Matter) අඩංගු ද යන්නත් මැන බැලීමක් සිදු කරයි. එනම් රථවාහන, කර්මාන්ත ශාලා, පරිසරයේ ඇති විවිධ සියුම් අංශු ආදී දේවල්වලින් වාතය කෙතරම් පිරී ඇති ද යන්න මෙහිදී සොයා බැලෙන අතර මෙය PM2. 5 දර්ශකය ලෙස හඳුන්වනු ලබයි. PM යනු ‘අංශුමය ද්‍රව්‍ය’ (Particulate Matter) යන්නය. මෙය 12 μg/m3 මට්ටමට වඩා අඩු නම්, එය ස්වසනය සඳහා හොඳ මට්ටමක් යැයි පැවසේ. මෙය 35 μg/m3 මට්ටම වඩා වැඩි වූ විට අහිතකර තත්ත්වයට පත් වෙයි. මෙහි අගය 0 - 999 අතර පවතින අතර දිල්ලියෙන් මේ අගය වාර්තා වන්නේ 410 වශයෙනි. මේ අනුව බලන විට උතුරු ඉන්දීය නගරයක් වන දිල්ලි නගරයේ වායු දුෂණ තත්ත්වය ඉතා ඉහළ මට්ටමක පවතින බව පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය ඉන්දියාවට පමණක් නොව එයට තදාසන්න රටවලට ද දැඩි සේ බලපෑමක් එල්ල කරයි. ශ්‍රී ලංකාවේ වායු දූෂණයට හේතු වී ඇත්තේ මේ තත්ත්වයය.
ඔක්තෝබරයේ සිට දෙසැම්බරය දක්වා පවතින ඊශාන දිග මෝසම් තත්ත්වය නිසා උතුරු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දෙසට දැඩි සුළං ප්‍රවාහයක් ගලා එයි. මේ නිසා ශ්‍රී ලංකාවට දූෂිත වායුව සහිත සුළං වැඩි වශයෙන් හමා එන්නේ ආසන්නයේම පවතින දකුණු ඉන්දියාවෙන් නොව අධික වායු දූෂණයක් සහිත උතුරු ඉන්දියාවට අයත් දිල්ලි වැනි නගර හරහා බව පෙනේ. මේ තත්ත්වය මීට පෙර කොවිඩ් අර්බුදය පැවති සමයේ දී දකින්නට හැකි විය. එය වාර්තා වූයේ වසරේ මේ සමයේදීම වීම විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. එම සමයේ ප්‍රවාහනය සඳහා අතිශය දැඩි ලෙස සීමා පනවා තිබුණ බැවින් ශ්‍රී ලංකාව තුළ වාහනවලින් වායු විමෝචනයක් සිදු නොවුන ද නගර කිහිපයකින් වායු දූෂණයේ ඉහළ යාමක් පෙන්නුම් කෙරිණි. එයට හේතු වී තිබුණේ ද උතුරු ඉන්දියාවෙන් හමා ආ මෝසම් සුළං ය. මෙවර එය වාර්තා වන්නේ දෙවැනි වරටය. ඉන්දියාවේ පවතින අධික වායු දුෂණය සමග සලකා බලන කල මෙය මෙතැනින් නතර වන බවක් පෙනෙන්නට ද නැත.
මෙතෙක් කලක්
ශ්‍රී ලංකාව වායු දූෂණ තත්ත්වයන් පිළිබඳ සැලකිල්ලක් දැක්වූවේ නැති නමුත් එය දැන නො
සලකා හැරිය නොහැකි තත්ත්වයක් දක්වා පත්ව තිබේ. ඉදිරියේදී මේ තත්ත්වය තවත් වර්ධනය
වනු ඇති අතර කලාපීය වශයෙන් යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමෙන් මිසෙක මේ
තත්ත්වය පාලනය කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත. මේ සඳහා සෙසු දකුණු ඉන්දීය රාජ්‍යයන්ගේ
සහයෝගයෙන් ඉන්දියාවට මේ සම්බන්ධයෙන් බලපෑම් කළ යුතු අතර වායු දූෂණය සම්බන්ධ වඩාත්
දියුණු පුරෝකථන තාක්ෂණයකින් යුක්ත උපාංග ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කළ යුතු බව
විශේෂඥයෝ පෙන්වා දෙති. එවිට අඩුම තරමේ වායු දුෂණය නවතාලිය නොහැකි වුව ද එයට
සූදානම් වන්නට හෝ හැකියාවක් තිබේ. කෙසේ නමුත් අනාගතයේ දී ශ්‍රී ලංකාවට ඉන්දියාවේ
වායූ දූෂණ තත්ත්වයෙන් මිදෙන්නට හැකියාවක් නොමැති බව නම් පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය
තුළ ශ්‍රී ලංකාව වායූ දුෂණයේ තෝතැන්නක් වනු ඇති දැයි පරිසරවේදීන්, පාරිසරික විශේෂඥයින්
සැක පහළ කරන්නට පටන් ගෙන තිබේ.
Tuesday, November 26, 2024
අපි පාන් කන විදිය සහ පිටරටවුන් පාන් කන විදිය - Bread Eating Styles: Local vs. Foreign
![]() |
නිවුඩ්ඩ සහිත පාන් |
කුඩා කාලයේ සිටම අප රටේ ප්‍රධාන
ආහාරය බත් යැයි පැවසුන ද මේ වන විට නිල නොලත් ප්‍රධාන ආහාරය බවට පත්ව තිබෙන්නේ
පාන්ය. අදින් වසර 30ක් ආපස්සට ගොස් බලන විට ද පාන් යනු අප ජන සමාජය තුළ සැලකිය යුතු
කාර්යභාරයක් ඉටුකළ ආහාරයක් බව පෙනේ. එයට හේතුව එම වසරේ ජනපති තරගයට ඉදිරිපත්ව සිට, අප රටේ ප්‍රථම විධායක ජනපතිනිය බවට පත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක
කුමාරතුංග ද සිය ඡන්ද පොරොන්දුවලින් එකක්
ලෙස ඉදිරිපත් කොට තිබුණේ පාන් ගෙඩියක් රුපියල් 3.50 දක්වා අඩු කරන බවය. ඒ වන විට
පාන් ගෙඩිය පැවැතියේ රුපියල් 5.50 කටය.
ශ්‍රී ලංකාවට පාන් හඳුන්වා දුන්නේ 16 වැනි සියවසේ දී පෘතුගිසීන් විසින් යැයි පැවසෙන අතර ඔවුන් පාන් කමින්
වයින් පානය කරන ආකාරය අප රටේ ස්වදේශිකයන් වාර්තා කොට තිබුණේ යැයි සඳහන් වන්නේ, ‘තිරුවාණා ගල් අනුභව කරමින් ලේ බොන පිරිසක්’ වශයෙනි. දෙවැනි ලෝක යුද්ධය
සමයේ දී අප රටේ සහල් නිෂ්පාදනය අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව අතර කෙමෙන් පාන්
ජනප්‍රිය වන්නට පටන් ගැනුණි. පසුකාලයේ දී ‘දුප්පතාගේ හිතවතා’ බවට පාන් පත් විය.
කෙසේ නමුත් සාපේක්ෂව මෑත කාලයේ දී අප රටේ ජනතාව අතර පාන් පරිභෝජනය ඉතා ශීඝ්‍ර
ලෙසින් වර්ධනය වී ඇති බවට වාර්තාවලින් හෙළිව තිබේ. ‘චූන් පාන්’ ව්‍යාපාරය මේ
කෙරෙහි ඉතා ප්‍රබල ලෙස බලපා ඇති බව පෙනේ. කලකට පෙර පාන් ගෙඩියක් මිලදී ගැනීම සඳහා
බේකරියකට හෝ වෙළෙඳ සලකට යාමට සිදුවූව ද, චූන් පාන් වාහනය මගින් නිවස අසලටම පාන් ගෙනැවිත් දෙන්නට පටන් ගැනීමත් සමග
වෙනදා පාන් නොකෑ අය ද පාන් කන්නට පෙළඹුනු බව පැහැදිලිය. මේ චූන් පාන් හඬ ඇසෙද්දී
ඉබේම පාන් කෑමේ කැමැත්තක් ඇති වීමේ ප්‍රවණතාවක් ඇති වී තිබේ. පාන් පරිභෝජනය මේ සා
වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව අතර තරබාරු බව, දියවැඩියාව ආදී විවිධ රෝග ද බහුල වෙමින් පවතින බව වෛද්‍යවරු පෙන්වා දී
තිබේ.
![]() |
පෝෂණය පිරි ආහාර සඳහා මාධ්‍යයක් ලෙස පාන් භාවිතය |
පාන් යනු අප රටේ ප්‍රධාන ආහාරය යැයි
නිල වශයෙන් පිළිගැනුණේ නැති වුව ද, බටහිර රටවල්
බොහොමයක ප්‍රධාන ආහාරය වන්නේ පාන්ය. එම රටවල ද තරබාරු සිරුරුවලින් යුක්ත සහ
දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන් ඕනෑතරම් දකින්නට සිටිය ද පාන් පරිභෝජනය නිසාම එවැනි
තත්ත්වයකට පත් වූයේ යැයි පැවසෙන්නේ නැත. එසේ නම් අප රටේ සෞඛ්‍ය ගැටලු ඇති කරන්නට
හේතුවන මුත් පාන්වලින් බටහිර රටවල ජනතාවට සෞඛ්‍ය ගැටලු ඇති නොකරන්නේ මන්ද යන
ගැටලුව නිතැතින්ම මතුවේ.
අප පරිප්පු හොද්දක්, අල හොද්දක් හෝ වෙනයම් වෑංජනයක් සමග පාන් භාගයක් හෝ ගෙඩියක් කෑමට ගත්ත ද
බටහිර ජාතිකයන්ගේ පාන් පරිභෝජනය එයට හාත්පසින්ම වෙනස්ය. ඔවුන්ගේ ප්‍රධාන ආහාරය
පාන් වුව ද, ඔවුන් එය යොදා ගන්නේ වඩාත් පෝෂ්‍යදායී ආහාර රැසක් ශරීරයට ලබා දෙන්නා වූ
මාධ්‍යයක් වශයෙනි. ඔවුහු පාන් සමග එළවළු, පලතුරු, මස්, මාළු ආදී තවත් බොහෝ දේ ආහාරයට ගනිති. පාන් ප්‍රධාන ආහාරය වුවද, ඇතැම්විට ශරීරයට ලැබෙන්නේ පාන්වලින් ලැබෙන පෝෂණයට වඩා වෙනත් පෝෂක කොටස්ය.
ඊට අමතරව පාන් නිසා ඔවුන්ගේ සෞඛ්‍යය දුර්වල නොවන්නට තවත් හේතු ගණනාවක්ම බලපායි.
![]() |
බටහිර රටවල පාන් පරිභෝජනය කරන විවිධ ආකාර |
අප රටේ පාන් නිෂ්පාදනය සඳහා බහුල
වශයෙන් යොදා ගන්නේ සම්පූර්ණයෙන්ම පිරිපහදු කළ තිරිඟු පිටි වුව ද බටහිර රටවල
නිවුඩ්ඩ සහිත පාන්පිටිවලින් සාදන ලද පාන් මිල දී ගැනීමේ හැකියාව තිබේ. එය අප
නිවුඩ්ඩ සහිත සහල් පරිභෝජනය කරනවා හා සමානය. මේ පිටි, අධික සැකසුම් ක්‍රියාවලියකට බඳුන් වී නැති බැවින් තිරිඟු පිටිවල තිබිය
යුතු සියලු පෝෂක කොටස් එහි අඩංගුය. සීනි සාන්ද්‍රනය ද, අප රටේ මිලට ගන්නට ඇති පිටිවලට වඩා බෙහෙවින් අඩුය.
අනෙක බටහිර ජාතීන් අතර ව්‍යායාම
කිරීම ද අපට වඩා බෙහෙවින් දකින්නට ලැබේ. එබැවින් යම් ආහාරයකින් ලැබෙන කැලරි, මේදය ආදිය අවම කරගන්නට ඒවා උපකාරී වේ. අපේ රටේ බොහෝ දෙනෙක් අතර ව්‍යායාම
පුරුද්ද දකින්නට ලැබෙන්නේ නැත. දැඩි ලෙස පිරිපහදු කළ පිටිවලින් තනන ලද පාන් බහුල
වශයෙන් පරිභෝජනය කොට ව්‍යායාම නොකර සිටීමේ ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය ගැටලු ඇති වීම
කිසිසේත්ම වළක්වා ගත හැක්කක් නොවේ.
අනෙක බොහෝ බටහිර රටවල සිය නිවසේදීම
පාන් පිළියෙල කරගනු දකින්නට ලැබේ. එවිට ඒ සඳහා ගනු ලබන පිටි වර්ගය, එයට එක් කරනු ලබන ලුණු ප්‍රමාණය, එයට එක් කළ හැකි අතිරේක පෝෂක කොටස් ප්‍රමාණය තීරණය කරන්නට හැකියාව ඔවුන්ට
ලැබේ. එය සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් ලබා ගැනීමට උපකාරී වේ.
අපේ රටේ ජනතාව පාන් පරිභෝජනය කරන
ආකාරය සහ පාන් ප්‍රධාන ආහාරයක් වූ බටහිර රටවල්වල ජනතාව පාන් පරිභෝජනය කරන ආකාරය
අතර ප්‍රධාන වෙනසක් පවතින බැව් ඔබට පැහැදිලි වන්නට ඇත. අප පාන් නිසා බොහෝ ලෙඩ
රෝගවලට ගොදුරු වන්නේත්,
බටහිර ජාතීන් එසේ නොවන්නේත් මන්දැයි
දැන් පැහැදිලිය. එබැවින් චූන් පාන් රථයෙන් අප දෙපා මුලටම පාන් රැගෙන ආවත් වඩාත්
කල්පනාකාරීව, සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත්වෙමින් පාන් පරිභෝජනය කළ හැකි නම් නීරෝගීවත්ව
සිටිමින් පාන් රස විඳගන්නට අප සියලු දෙනාටම හැකියාව ඇති බව සිහිකටයුතුය.
Wednesday, August 16, 2023
ලෝක ඉතිහාසයෙන් සැඟව ගිය මහා දුර්භික්ෂයක සාක්ෂිය - Great Famine of 1876–1878 in India
එය ඉංග්‍රීසි
ජාතිකයන් ඉන්දියාව පාලනය කළ සමය විය. අතිශයින් කේඩෑරී වී ගිය මිනිසෙක් සිය පවුල
ආරක්ෂා කර ගනු වස් මෙසේ බලා සිටියි. එසේ ආරක්ෂා කරන්නට සිදුව තිබුණේ මිනිසෙක් තවත්
මිනිසෙකුගේ මාංශ කෑමට තරම් වූ වාතාවරණයක් ඇති වී තිබුණු බැවිනි.
මෙය බලාගෙන
සිටින්නට තරම් නෙතට සුවපහසුවක් දැනෙන ඡායාරූපයක් නොවේ. කෙසේ නමුත් ඉතිහාසයේ ලිය වී
ඇති, අප කියවා ඇති,
බටහිර ලෝකය මුහුණ දුන්
දරුණු දුර්භික්ෂවලටත් වඩා වැඩි යමක් ඉන්දියාවේ සිදු වූ බව බොහෝ දෙනෙක් දන්නේ නැත.
මේ 1876
- 1878 සමයේ ඉන්දියාව මුහුණ
දුන් අතිශය දරුණු දුර්භික්ෂය පිළිබිඹු කරන එක් ඡායාරූපයක් පමණි. මේ මහා දුර්භික්ෂයට ඇති වී
තිබුණේ සුදු ජාතිකයන් ඉතා අධික ලෙස තිරුඟු අපනයනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ස්වදේශිකයන්ට පරිභෝජනය කරන්නට තරම් කිසිවක්
ඉතිරි වූයේ නැත. ඒ සමගම පැමිණි නියඟය නිසා තත්ත්වය තව තවත් දරුණු අතට හැරුණි.
නිවැරදිම සංඛ්‍යාලේඛන සොයා ගන්නට නැතත් මේ දුර්භික්ෂය නිසා ඉන්දියානු ජාතිකයෝ
මිලියන 5 - 9 අතර පිරිසක්
ගියහ.
මේ සංඛ්‍යාලේඛන
ලෝක ඉතිහාසය තුළ කතා නොවෙන තරම් ය.
පෙනෙන අනාගතය
තුළ ආහාර ලැබේ කිසිදු සළකුණක් නොවූ බැවින් මේ මිනිසුන්ගේ දෑස්වල ගැබ්ව ඇත්තේ
බලාපොරොත්තු රහිත බවකි. තමාට හෝ සිය අඹුදරුවන්ට හෝ ජීවිතට රැකගන්නට කිසිදු පිහිටක්
නොලැබෙන බව ඔවුහු ඉඳුරාම දැන සිටිය හ. ඉදිරියේ වූයේ මරණය පමණි.
මේ ඡායාරූපය
හේතු කිහිපයක් නිසාම අප සිත් කම්පනය කරවයි. කෙතරම් කේඩෑරී විය ගොස් තිබුණ ද ඔවුහු
තවමත් ජීවතුන් අතර සිටින්නට උත්සාහ කරමින් සිටින බව පෙනෙයි. ඔවුන් මුහුණ දී
තිබෙන්නේ catabolysis
නම් තත්ත්වයට ය. එහිදි සිදුවන්නේ ශරීරය පෝෂණය කරවන්නට වෙනත් පෝෂණ මූලාශ්‍ර
නොමැති නිසා ශරීරයේම පටක බිඳ දමා ඒවායෙන් ශරීරය පෝෂණය වීම ය.
පවුලේ පියා
සිය ශරීරයේ අවසන් සවිය ද වැයකරමින් සිය පවුල ආරක්ෂා කරන්නට කල්පනා කරමින් සිටියි.
ඉන්දියාවේ දිළින්දන් කුසගින්නේ මිය ගිය වග අනාගතය හමුවේ සනාථ කරන්නට මේ ඡායාරූපය
කදිම සාක්ෂියක් ලෙස ශේෂවී පවතී.
Thursday, August 10, 2023
මොරිස් ගුඩ්මාන් නම් වූ ‘ආශ්චර්යවත් මිනිසා’ - Morris E. Goodman, The The Miracle Man
මගේ කතාව
ආරම්භ වන්නේ 1981 මාර්තු 10 වැනිදා දින ය. මේ
දිනය මගේ මුළුමහත් ජීවිතයම සැබවින්ම වෙනස් කළේය. එය මට කිසිදා අමතක නොවන දිනයකි.
මම ගුවන් අනතුරකට ලක් වීමි. මා රෝහල් ගත වූයේ සහමුලින්ම අංශභාග රෝගියකු ලෙසිනි.
මගේ ෂුෂුම්නාව බිඳී ගොස් තිබිණි. මගේ ගෙලෙහි පළමු හා දෙවැනි අස්ථි බිඳී ගොස්
තිබිණි. ආහාර පාන ගිලීමට මට තවදුරටත් හැකියාවක් තිබුණේ නැත. මගේ මහා ප්‍රාචීර
පේශීය විනාශ වී තිබිණි. මට හුස්ම ගැනීමට පවා හැකියාවක් තිබුණේ නැත. මට කළ හැකි වූ
එකම දෙය වූයේ ඇසි පිය හෙළීම පමණි. වෛද්‍යවරු පැවසූයේ මගේ ඉතිරි ජීවිත කාලය මස් ගොඩක්
සේ පමණක් ගෙවී යනු ඇති බවය. ඔවුන් මට මා ගැන පෙන්වූ පින්තූරය එය විය. නමුත් මට
ඔවුන් සිතනා දෙයින් පලක් වූයේ නැත. මා කල්පනා කළේ මට සිතුණු දේ ගැන පමණි. මා
නැවතත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන පුද්ගලයකුව, රෝහලෙන් පිටතට ඇවිද යන ආකාරය මම සිතින්
දැකීමි.
රෝහලේ දී මට
තිබූ එකම කාර්යය වූයේ මගේ සිත සමග ක්‍රියා කිරීමය. ඔබට ඔබේ සිත නිරවුල්ව ඇත් නම්,
මේ සියල්ල නැවත තිබූ
පරිදි එකලස් කළ හැකිය.
මා කෘත්‍රිම
ස්වසන යන්ත්‍රයකට සම්බන්ධ කෙරිණි. මාගේ මහා ප්‍රාචීර පේශිය ඉරී ගොස් තිබුණු බැවින්,
මට නැවතත් කිසිදා මගේ
උත්සාහයෙන් හුස්ම ගැනීමට හැකියාවක් නොලැබෙන බව වෛද්‍යවරු පැවසූහ. නමුත් මට
පිටුපසින් සිහිනයකින් මෙන් හඬක් ඇසිණි. “ගැඹුරින් හුස්ම ගන්න. ගැඹුරින් හුස්ම
ගන්න.” ඒ හඬ මට පැවසූවේය. අවසානයේ එම හඬින් මා පිරී ගියේය. මා දකින දෙයින් මා
මුදවාලන කිසිම දෙයක් කෙරෙහි මම අවධානය යොමු නොකළෙමි.
නත්තල් දිනය
දා රෝහලෙන් පිටව ඇවිද යන්නට මම ඉලක්කයක් සරි කර ගතිමි. මම එසේ කළෙමි. මම, මගේම දෙපයින් ඇවිද
ගියෙමි. එය සිදු විය නොහැක්කක් බැව් ඔවුහු පැවසූහ. මට එදින කිසිදා අමතක වන්නේ නැත.
මේ මොහොතේ
එතැන සිටින, වේදනා විඳින
මිනිසුන් වෙනුවෙන් මා පවසන්නේ, මා ජීවිතය
නැවත ගොඩ ගත්තේ නම්, ඔවුන්ට
ජිවිතයෙන් කළ හැකි දේ කුමක්දැයි පෙන්වා දෙන්නට අවශ්‍ය නම්, එය මට වචන කිහිපයකට
කෙටි කළ හැකිය. “මිනිසා තමා සිතන පුද්ගලයා බවටම පත් වේ.”
The Secret කෘතිය ඇසුරෙනි.
Tuesday, October 26, 2021
දරුවන් වෙනුවෙන් විස්මකර්ම ශල්‍යකර්ම කළ විස්මිත දොස්තර – බෙන් කාර්සන්
බෙන් කාර්සන් යනු ශල්‍යකර්ම ක්ෂේත්‍රය තුළ පෙරළිකාරයෙකි. ඉතා කලාතුරකින් සිදුකෙරෙන මොළයෙන් අඩක් ඉවත්කිරීමේ ශල්‍යකර්මය (hemispherectomy) සඳහා පුරෝගාමී වූයේ ද කාර්සන් ය. නමින් සඳහන් කරන්නා සේම මොළයෙන් අඩක් සම්පූර්ණයෙන්ම ඉවත් කරමින් ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවක් නොමැතිව සිටි දරුවන්ට ඔහු ජීවත්වීම සඳහා දෙවැනි වරමක් උදා කොට දුන්නේ ය.
එවැනි ජයග්‍රහණයන් ළඟා කරගැනීම බෙන් කාර්සන්ට අරුමයක් වූයේ නැත. ඔහු බාධක පෙරළන්නට පටන් ගත්තේ සිය ළමාවියේ සිටම ය.
තෙවැනි ශ්‍රේණියට පමණක් උගත් මවකගේ රැකවරණය මැද නගරයක දිළින්දෙක් ලෙස හැදී වැඩුණු බෙන් ට මගපෙන්වා දිරිදෙන්නට කිසිවෙක් සිටියේ නැත. පාසලේ දී ඔහු ලැබුවේ අඩු ලකුණු ය. අධික ලෙස කෝපගැන්වෙන ස්වභාවයකින් පීඩා විඳි ඔහු ඒ නිසාම නීතියෙන් දඬුවම් විඳීමේ අවදානමක් ද තිබිණි. ඔහු වටා වූ සියලු දෙනා පැවසූයේ කුමක් වුව ද, සිය ජීවිතයෙන් මෙහෙයක් කළ හැකි බව සිය පුතුට අවබෝධ කොට දෙන්නට සොන්යා කාර්සන් ට හැකි විය.
දෙවියන් කෙරෙහි තැබූ භක්තියත්, ස්වකීය හැකියාවන් කෙරෙහි තැබූ විශ්වාසයත් නිසා බෙන් පන්තියේ පහළම ස්ථානයේ සිට ඉහළම ස්ථානය කරා ගමන් කළේය. ඉන් ඔබ්බට ගමන් කරමින් යේල් විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් හිමි කරගත්තේ ය. මිචිගන් වෛද්‍ය විද්‍යාලයට ද ඔහු ඇතුළු වූයේ ය. අවසානයේ තිස්තුන් හැවිරිදි වියේ දී ඔහු මේරිලන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර් හි ජෝන්ස් හොප්කින්ස් වෛද්‍යාතනයට අයත් ළමා ස්නායුරෝග අංශයේ අධ්‍යක්ෂවරයා බවට ද පත් වූයේ ය. අද වන විට වෛද්‍ය කාර්සන් ගරු ආචාර්ය පදවි හතළිහකටත් වඩා හිමිකර ගෙන සිටී. ගෞරවයන් සහ සම්මාන වැළකම ඔහු හිමිකරුවා ය.
‘විස්මිත දොස්තර’ තූලින් ඔබ කියවන්නේ අනේක වූ බාධකවලට එරෙහිව ගොස් ඒවා ජයගනිමින්, අවදානම ගැනීමට බියක් නොහැඟෙන සිතිවිලි ගොන්නකින් සන්නද්ධ එක්තරා මිනිසකුගේ සාර්ථකත්වය පසුපස ඇති අපූර්ව වූ කතාව ය. ජීවිතය ආලෝකවත් කරවන මේ චරිත කතාව, ලොව පුරා පුවත් මැවූ ඇදහිය නොහැකි ශල්‍යකර්ම සියැසින් නොව මනැසින් අත්දකිනු හැකි පරිදි ඔබ ව ශල්‍යාගාරයට කැඳවාගෙන යයි. දයාවෙන් පිරුණු, දෙවියන් කෙරෙහි අසීමිත භක්තියක් ඇති, සරණක් නැත්තන්ට සරණක් වන්නට ජීවිතය කැප කළ මිනිසකුගේ සිතිවිලි තුළට ඔබ කැඳවාගෙන යයි. නිහතමානීබව, ක්ෂණික බුද්ධිය සහ යථාර්ථය කැටි වූ මේ කතාව ඔබේ හදවතේ සදා නිදන්ගත වනු නිසැක ය.
Monday, October 11, 2021
ඇගේ හිස්කබලේ කොටස් ආමාශයේ තැන්පත් කළා
හිස්කබලේ අස්ථි කැබලි ටිකක් පරිස්සමට ආමාශයේ තැන්පත් කරපු කතාවක් ගැන කිව්වොත් මේ මොන විකාරයක්ද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒත් එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා. මේ වීඩියෝ එක ඉවර වෙනකල් බැලුවොත් ඒ කතාව ගැන දැනගන්න පුළුවන්.
මේ සිද්ධිය වුණේ ජේමි හිල්ටන් ට. ඇය වරක් ඇමරිකා එක්සත් ජනපදයේ ඉඩාහෝ ප්‍රාන්තයේ රූ රැජින බවට ද පත් වුණා. 2012 ජූනි 6 වැනිදා ඇයත් ඇගේ සැමියාත් විනෝද ගමනක් ගියා. ඔවුන් එහිදී මාළු අල්ලන්නත් ගියා. බෑවුමක සිට මාළු අල්ලද්දී ජේමි එකවරම ඇය සිටි තැන සිට මීටර් 30 ක් පමණ ප්‍රපාතයකට ඇද වැටුණා.
ඇගේ සැමියා වහා එතැනට දිව ගොස් බලද්දි ඇයට සිහිය තිබුණේ නැහැ. හුස්ම ගන්නා බවක් පෙනුණේ ද නැහැ. ඔවුන් නගරයෙන් සෑහෙන දුරක සිටි නිසාත්, තත්ත්වය බරපතළ නිසාත් ඇයව රෝහලට රැගෙන ආවේ හෙලිකොප්ටරයකින්.
ඇගේ හිස්කබල දැඩිව හානි වී තිබුණා. මොළය ඉදිමී තිබූ නිසා එයට සිදුවිය හැකි හානිය වළක්වාගන්නට හිස්කබලෙන් හතරෙන් පංගුවක් පමණ ඉවත් කරන්නට සිදුවුණා. සුව වූ පසු මේ හිස්කබලේ කොටස් නැවත හිසට තබා මැසිය හැකි වුවත්, ඒ වනතෙක් මේවා පරෙස්සමට තබාගන්නේ කෙසේදැයි වෛද්‍යවරුන්ට ඇතිවුණේ ගැටලුවක්. ඒවා ඇගේ ආමාශයේ තැන්පත් කරන්නට ඔවුන් කල්පනා කළේ ඒ අවස්ථාවේදියි. දින 42ක් මේවා ආමාශයේ තැන්පත් කොට තිබුණා. ඇය කෙමෙන් සුව වූ පසු ඒවා නැවත හිසට තබා මසා, හිස්කබල යථා තත්වයට පත් කළා.
හිස්කබලේ කොටස් පරෙස්සමට ආමාශයේ තැන්පත් කළේ ඒ විදියටයි.
Tuesday, April 6, 2021
ගස් කැපුවත් වස කෑවත් මට කමක් නෑ - මේ කේතුමතී පුරයයි
ගස් කැපුවත් වස කෑවත් මට කමක් නෑ
තෙල් බිව්වත්
තෙල් නෑවත් මට කමක් නෑ
අපට ඡන්දෙ
වැටෙනව නම් කමක් නෑ
කමක් නෑ කමක්
නෑ
ගස් නැතිවට
අපට ප්‍රියේ
ඔක්සිජනුත්
හොඳට තියේ
චුට්ට චුට්ට
වසත් කැවේ
ගොක්කොළ අතු
නිතර මැවේ
ගස් කැපුවත් වස කෑවත් මට කමක් නෑ . . .
ඡන්ද දිනේ ළඟ
එනවා
උදෑසනම අපි
යනවා
කතිර ගසා වස
කනවා
අපි ගොනාට
ඇන්දෙනවා
ගස් කැපුවත් වස කෑවත් මට කමක් නෑ . . .
Wednesday, February 24, 2021
කොරෝනා රෝගයෙන් සුවපත් වුවත් දීර්ඝකාලීන බලපෑම් ඉතා දරුණු විය හැකියි - COVID-19 Long-term effects
වෙනත් වෛරස රෝග මෙන් නොව කොරෝනා වෛරසය වැළඳී සුව වූ පසු ද දීර්ඝකාලින වශයෙන් එහි බලපෑම්වලට මුහුණ දිය යුතු බව වෛද්‍ය විශේෂඥයන් පවසනවා. වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ මෙහි ලක්ෂණ මාස ගණනක් වුව ද පැවතිය හැකි බවයි. මේ වෛරසය නිසා පෙනහළු, හෘදය සහ මොලය හානියට පත් විය හැකි බැවින් මේ වෛරසයෙන් ආසානයට පත් වූ දීර්ඝකාලීන සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දිය හැකියි.
කොරෝනා වෛරසයෙන් ආසානය වූ බොහෝ රෝගීන් සති කිහිපයක් තුළ සම්පූර්ණයෙන්ම සුවපත් වෙනවා. නමුත් සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන ඇතැම් රෝගීන් සුවපත් වූ පසු ද වෙනත් රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි බව වෛද්‍යවරුන් පවසනවා.
මෙවැනි පුද්ගලයන් ඇතැම් අවස්ථාවල දී ‘දීර්ඝ වාහකයන්’ ලෙස හඳුන්වනු ලබන අතර මේ තත්වය ‘පශ්චාත් කොවිඩ්-19 සහලක්ෂණය’ හෝ ‘දීර්ඝ කොවිඩ් 19’ ලෙසින් ද හඳුන්වනු ලබනවා.
දිගින් දිගට කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ බොහෝ විට මහලු හෝ බරපතල සෞඛ්‍ය තත්වයන් පවතින පුද්ගලයන් බව වෛද්‍යවරුන් පවසනවා. නමුත් තරුණ වියේ සහ කිසිදු බරපතල රෝගී තත්වයන් නොපවතින පුද්ගලයන්ට ද සති හෝ මාස ගණනක් ගතවන තුරු නීරෝගී ස්වභාවයක් නොදැනෙන්නට ඉඩ තිබෙනවා. දීර්ඝකාලීන වශයෙන් පෙන්නුම් කරන රෝගී ලක්ෂණ මෙසේ සඳහන් කළ හැකියි.
■ තෙහෙට්ටුව
■ කෙටි ස්වසන තත්වය
■ කැස්ස
■ හන්දි අමාරුව
■ පපුව අමාරුව
ඊට අමතරව පහත රෝග ලක්ෂණ ද දීර්ඝකාලීනව පවතිනු දැකිය හැකියි.
■ මස්පිඩු වේදනාව හෝ හිස කැක්කුම
■ වේගවත් හෝ දැඩි හෘද ස්පන්දනය
■ ගඳ සුවඳ හෝ රස නොදැනීම
■ මතකය, චිත්ත ඒකාග්‍රතාව හෝ නින්ද පිළිබඳ ගැටලු
■ දද හෝ හිසකෙස් වැටීමේ ගැටලු
කොවිඩ් 19 නිසා හානියට පත් විය හැකි අවයව
කොවිඩ් 19 රෝගයෙන් මූලිකවම බලපෑම් කරන්නේ පෙනහලුවලට වුවත්, එයින් තවත් අවයවවලට හානි සිදුවිය හැකියි. මේ හානිය නිසා දීර්ඝකාලීන සෞඛ්‍ය අවදානම්වලට මුහුණ දෙන්නට සිදුවිය හැකියි. මෙයින් හානි සිදුවිය හැකි අනෙකුත් අවයව මෙසේ සඳහන් කළ හැකියි.
■ හෘදය - සාමාන්‍ය කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන ලද රෝගීන් සුවපත් වීමෙන් පසුව පවා හෘදයේ පරිලෝකන ඡායාරූප ගෙන බැලූ විට පෙනී ඇත්තේ හෘද මාංශ පේශීවලට දීර්ඝ කාලීන වශයෙන් පවතින හානි සිදුවී ඇති බවයි. අනාගතයේ දී හෘදය අකර්මණ්‍ය වීම හෝ හෘද සංකූලතා ඇති කරන්නට මේ තත්වය හේතු විය හැකියි.
■ පෙනහළු - කොවිඩ් 19 රෝගය සමග අත්වැල බැඳගෙන ඇති නිව්මෝනියා තත්වය නිසා පෙනහළුවල ඇති ගර්තවලට දීර්ඝකාලීන වශයෙන් හානි සිදුවිය හැකියි. මේ නිසා ඒවායේ ඇතිවන කැලැල් හේතුවෙන් දීර්ඝකාලීන ස්වසනාබාධ ඇති විය හැකියි.
■ මොලය - තරුණ පුද්ගලයන් තුළ පවා ආඝාත, අපස්මාරය සහ ගිලන්බාරේ සහලක්ෂණය (Guillain-Barre syndrome - තාවකාලික පක්ෂගාත තත්වය) ඇති විය හැකියි. කොවිඩ් 19 වැළඳීම නිසා පාකින්සන් සහ ඇල්ෂයිමර් රෝගය වැළඳීමේ අවදානම ද ඉහළ යා හැකියි.
රුධිරය කැටිගැසීම සහ රුධිර නාල ගැටලු
කොවිඩ් 19 නිසා රුධිරය කැටි ගැසීමේ තත්වයක් ඇති විය හැකියි. විශාල රුධිර කැටි නිසා හෘදයාබාධ සහ ආඝාත තත්ත්ව ඇති විය හැකියි. කොවිඩ් 19 නිසා ඇතිවන බොහෝ හෘද හානිවලට වගකිව යුත්තේ හෘද මාංශ පේශීවල ඇති කේශ නාලිකා කුඩා රුධිර කැටි නිසා අවහිර වීමයි.
රුධිර කැටි නිසා බලපෑම් සිදුවිය හැකි හැකි අනෙක් ශරීර අවයවයන් වන්නේ පෙනහළු, පාද, අක්මාව සහ වකගුඩු යි. කොවිඩ් 19 නිසා රුධිර නාල දුර්වල විය හැකි අතර ඒවායෙන් රුධිර කාන්දුවීම ද සිදු විය හැකි ය. මේ නිසා අක්මාව සහ වකුගඩු ආශ්‍රිතව දීර්ඝකාලීන අවදානම් සහිත ගැටලු ඇති විය හැකියි.
මනෝභාවය සහ තෙටේටුව පිළිබඳ ගැටලු
කොවිඩ් 19 බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් කරන ලද රෝගීන් රෝහල්වල දැඩි සත්කාර ඒකක තුළ යාන්ත්‍රික සහාය (හුස්ම ගැනීම සඳහා භාවිත කරන යන්ත්‍ර සමගින්) සමගින් ප්‍රතිකාර කළ යුතු වෙනවා. කෙසේ නමුත් එවැනි බරපතල තත්වයකින් පසුව ඔවුන් තුළ පශ්චාත් ප්‍රවේණී ආතති සහලක්ෂණය (post-traumatic stress syndrome), විෂාදය සහ කාංසා තත්වය ඇති විය හැකියි.
නව කොවිඩ් 19 වෙරසය නිසා ඇති විය හැකි අනෙකුත් දීර්ඝකාලීන බලපෑම් පිළිබඳ අනාවැකි පළ නොකළ හැකි නිසා විද්‍යාඥයන් මෙයට සමාන රෝග ලක්ෂණ ඇති ‘තියුණු ස්වසන සහලක්ෂණ රෝගය’ හෙවත් ‘සාර්ස්’ (SARS) හි දීර්ඝකාලීන බලපෑම් ඔස්සේ ඒ පිළිබඳ සොයා බලමින් සිටිනවා.
සාර්ස් රෝගයෙන් සුවපත් වූ බොහෝ දෙනෙක් ‘නිදන්ගත තෙහෙට්ටු සහලක්ෂණයට’ (chronic fatigue syndrome) ලක්වන බව සොයා ගෙන තිබෙනවා. මෙහිදී අධික තෙහෙට්ටු ස්වභාවයක් ඇතිවන අතර මානසික සහ ශාරීරික ක්‍රියාකාරකම්වලදී මෙය වඩාත් නරක අතට හැරීම පෙන්නුම් කරනවා. නමුත් විවේක ගත්ත ද මේ තත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන්නේ නැහැ. කොවිඩ් 19 වැළඳුණු පුද්ගලයන්ට ද මේ තත්වය පොදු විය හැකියි.
තවමත් සොයාගෙන නැති බොහෝ දීර්ඝකාලීන බලපෑම්
කාලයත් සමග මිනිසුන් කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බෙහෝ කාරණා තවමත් සොයාගෙන නැහැ. කෙසේ නමුත් මේ පිළිබඳ පර්යේෂණ පවත්වන විශේෂඥයන් වෛද්‍යවරුන්ට නිර්දේශ කරන්නේ කොවිඩ් 19 රෝගයෙන් සුවපත් වූවන්ගේ ශරීර අවයව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සමීපව නිරීක්ෂණය කරන ලෙසයි.
රෝගයෙන් සුවපත්වීමෙන් පසුව ඇතිවන කල්පවතින රෝගී තත්වයන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ලෝකයේ වෙනත් රටවල නම් විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථාන මේ වන විට ආරම්භ කොට තිබෙනවා. අප රටේ එවැනි තත්වයක් තිබෙනවාදැයි දැනගන්නට ලැබී නැහැ.
මතක තබා ගත යුතු වැදගත්ම දෙය නම් බොහෝ දෙනෙකු කොවිඩ් 19 රෝගයෙන් ඉතා ඉක්මනින් සුවපත් වන බවයි. නමුත් මෙයින් සිදුවන දීර්ඝකාලීන බලපෑම් වඩාත් දරුණු විය හැකි නිසා මුහුණු ආවරණ පැළඳීම, සෙනඟ ගැවසෙන ස්ථාන මඟහැරීම සහ දෑත් නිතර පිරිසුදු කිරීම වැනි සෞඛාරක්ෂිත පුරුදු අඛණ්ඩව පවත්වාගෙන යාම ඉතා වැදගත්.
(https://www.mayoclinic.org/ වෙබ් අඩවියේ පළ වූ COVID-19 (coronavirus): Long-term effects ලිපිය ඇසුරෙනි)
Sunday, February 21, 2021
නිරෝධයන මධ්‍යස්ථානයක දින දහයක් . . . - Ten days in a quarantine centre . . .
වසරක් පමණ කාලයක් කොවිඩ් වෛරසය මග හරිමින් සිටියත් අවසානයේ මට ද කොවිඩ්-19 ට යටවන්නට සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස දින 10 ක නිරෝධායන කාලයක් ගත කරන්නට සිදු විය. එන්නතක් පැමිණිය ද දිනෙන් දින කොවිඩ් රෝගීන් ඉහළ යන බැවින්, කොවිඩ් පොසිටිව් වී නිරෝධායන මධ්‍යස්ථානයකට යාමට කාට හෝ සිදුවුවහොත්, මා මේ පවසන්නට යන කරුණු ප්‍රයෝජනවත් විය හැකි නිසා ඒවා මෙසේ ලියා තබන්නට අදහස් කළෙමි.
නිරෝධයනය පිණිස මට යාමට සිදුවූයේ හලාවත බිංගිරියේ පිහිටි වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට ය. එය යුද හමුදාවෙන් පාලනය කෙරෙන නිරෝධයන මධ්‍යස්ථානයකි. මේ අධ්‍යාපන පීඨයේ සිසුන් සඳහා ඉදිකරන ලද නේවාසිකාගාර කොවිඩ් රෝගීන්ගේ නවාතැන් සඳහා වෙන් කොට තිබූ අතර හමුදාවෙන් ඉදිකරන ලද ගොඩනැගිලි 4 ක් ද එහි තිබේ. ඒවාට වඩා නේවාසිකාගාර සුවපහසු බවින් යුක්ත වූ අතර මට ලැබුණේ ඒවායේ පිහිටි කාමරයක් බැවින් ගෙවී ගිය දින 10 ක කාලය අපහසුවකින් තොරව ගෙවා දමන්නට හැකි විය.
![]() |
ඡායාරූපයේ දකුණු කෙළවරේ ඇත්තේ අප සිටි නේවාසිකාගාරයයි. මෙවැනි තවත් ගොඩනැගිලි 3ක් දකුණට වන්නට තිබේ. |
![]() |
ගූගල් සිතියමේ වම් පැත්තේ එක පෙළට ඇත්තේ නේවාසිකාගාර හතරයි. ක්‍රීඩා පිටියට වම් පැත්තෙන් නිල් පැහැ වහල සහිතව ඇත්තේ යුද හමුදාව විසින් ඉදිකරන ලද ගොඩනැගිලි හතරයි. |
කොවිඩ්-19 රෝගය සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති බැවින් විටමින් සී සහ ඩී අප වෙනුවෙන් ලබා දෙනු ලැබිණි. සුළු සෙම්ප්‍රතිශ්‍යා ගතියක් තිබෙන බව එහි වෛද්‍ය අංශය දැනුවත් කළ නිසා ඒ සඳහා ද පෙති වර්ග දෙකක් ලැබිණි. ආහාර පානවල කිසිදු අඩුපාඩුවක් තිබුණේ නැත. දිවා ආහාරය සමග අතුරුපසක් ද ලැබිණි. තේවලට අමතරව සවස කොත්තමල්ලි පානයක් ද ලැබිණි.
මධ්‍යස්ථානය තුළ සියලු කටයුතු සිදු කර ගත යුතු වන්නේ එහි රැඳී සිටිනවුන්ටමය. කෑම පාර්සල් නවාතැන කරා රැගෙන ඒම, පිරිසිදු කරගැනීම ආදිය අප විසින්ම සිදුකර ගැනුණි. ඒ වෙනුවෙන් කිසිවකු පැමිණෙන්නේ නැත. රෝගියකු නොවන බාහිර පුද්ගලයකුට ඇතුළට පැමිණෙන්නට අවසරයක් ද නැත. යුද හමුදාවේ ආරක්ෂාව මධ්‍යස්ථානය වටාම පවතී. මේ නිසා රෝගීන් කළ යුත්තේ නිරෝධායන නීතිරීති පිළිපදිමින් නිරෝධායන කාලය අවසන් කිරීම පමණි.
අප දැනුවත් වී ඇති ආකාරයට මේ වෛරසය උපරිම වශයෙන් සිරුරෙන් පිට වන්නේ ආසාදනය වී දින 7ක කාලයක් දක්වා පමණි. මේ නිසා පී සී ආර් පරීක්ෂණය සිදු කළ දිනයේ සිට දින 10 ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානයේ ගත කළ යුතු ය. තවත් දින 4ක කාලයක් නිවසේ නිරෝධායනය විය යුතු ය. සමාජයට අවදානම් රහිත පුද්ගලයකු ලෙස නිවසින් බැහැර කටයුතු සඳහා යාමට හැකි වන්නේ එම කාලය ගත කිරීමෙන් පසුව ය. බොහෝ අය සිතා සිටින්නේ නිරෝධායන මධ්‍යස්ථානයකින් පිට වන අයගේ සිරුරේ තවදුරටත් කොරෝනා වෛරසය නොපවතින බවය. නමුත් සත්‍යය වන්නේ මාස 3ක්, ඇතැම් විට මාස 6ක් ගත වන තුරු පවා සිරුර තුළ වෛරසය පැවතිය හැකි බවය. රෝගය වැළඳී මාස 3 කින් පසුව ද පී සී ආර් පරීක්ෂණයක් කළ හොත් බොහෝ විට පොසිටිව් වන්නට ඉඩ තිබේ. නමුත් වෛසරසය සිරුරෙන් පිටතට පැමිණෙන්නේ නැත. එබැවින් නිරෝධායන කාලය ගත කළ අයකුගෙන් කිසිදු අවස්ථාවක තවත් කෙනෙකුට වෛරසය සම්ප්‍රේෂණය වන්නේ නැත. නමුත් මාස 3ක් ඇතුළත හදිසියේ රෝහලකින් හෝ පී සී ආර් පරීක්ෂණයක් කළ යුතු යැයි දන්වා සිටියහොත්, එවන් තැනැත්තකු අනිවාර්යයෙන්ම පොසිටිව් විය හැකි නිසා, එවැනි අවස්ථාවක දී ඉදිරිපත් කිරීම සඳහා රෝග විනිශ්චය කාඩ් පතක් නිරෝධායන මධ්‍යස්ථානයකින් ලබා දේ.
ඔබට යම්කිසි අවස්ථාවක හෝ කොරෝනා වෛරසය වැළඳී නිරෝධායන මධ්‍යස්ථානයකට යාමට සිදුවුවහොත්, රැගෙන යා යුතු යැයි මට දැනුණු දෑ කිහිපයක් ද ලියා ලබන්නට අදහස් කළෙමි.
ඔබට උපරිම වශයෙන් දින 10 ක කාලයක් නිරෝධයන මධ්‍යස්ථානයක ගත කරන්නට සිදු වේ. පී සී ආර් වාර්තාව ඔබට ලැබෙන්නට පමා වුවහොත්, එම පමා වූ දින ගණන 10න් අඩු කළ පසු ඉතිරි වන දින ගණන නිරෝධායන මධ්‍යස්ථානයක ගත කරන්නට සිදු වේ. මේ දින ගණන ගත කරන්නට අවශ්‍ය කරන ඇඳුම් ඔබ රැගෙන යා යුතු ය. ඇඳුම් සෝදා ගැනීමට අප සිටි මධ්‍යස්ථානයේ ඕනෑවටත් වඩා පැවති අතර අනෙක් මධ්‍යස්ථානවල ද එසේ පවතී යැයි සිතමි. එබැවින් ඔබට ඇඳුම් සෝදා ගත හැකිය. ඒ සඳහා රෙදි කුඩු හෝ සබන් රැගෙන යා යුතු ය. රෙදි ක්ලිප් කිහිපයක් රැගෙන යාමට හැකි නම් වඩා හොඳය. එවිට සුළඟ නිසා රෙදි බිම වැටීම වළක්වා ගත හැකිය. කොට්ටයක්, ඇඳ ඇතිරිල්ලක් සහ පෙරවීමට රෙද්දක් රැගෙන යාම වඩා හොඳය. පිඟානක් සහ කෝප්පයක් අනිවාර්යය. මදුරු දැල් ඇති නිසා මදුරුවන්ගෙන් ගැලවී සිටිය හැකිය.
පොදුවේ වැසිකිලි භාවිත කළ යුතු නිසා ස්ප්‍රේ කළ හැකි ආකාරයට සකස් කළ ඩෙටෝල් බඳුනක් රැගෙන යාම ද අමතර ප්‍රයෝජනයක් විය හැකි ය.
නිරෝධයන මධ්‍යස්ථානයක දී මුහුණ පෑමට සිදුවන කටුකතම දේ නම් කාලය ගත කිරීමය. එහිදී හිතවතුන් ඇති කර ගැනීම මෙයට එක් විසඳුමක් වුව ද එය කාලය ගත කිරීම සඳහා ඇති එකම විසඳුම නොවේ. ස්මාර්ට් දුරකතනයක් ඇත්නම් හොඳ අන්තර්ජාල සැලැස්මක් සක්‍රිය කරගැනීම කාලය ගත කිරීම සඳහා හොඳ විසඳුමකි. නමුත් එයට අමතරව කාඩ් කුට්ටමක දායකත්වය වඩා සාර්ථක බව අත්දැකීමෙන් කිව හැක්කේ මා එහි ගත කළ කාලය තුළ ස්මාර්ට් දුරකතන හා කරට කර සිටිමින් කාලය ගත කිරීම සඳහා කාඩ් කුට්ටම දායකත්වයක් ලබා දුන් නිසා ය.
![]() |
කොවිඩ් මිතුරු සංගමය. වමේ සිට සමීර, සඳුන්, රන්දික, මම, නිහාල් සහ සංජීව (පහළ) |
අප සිටි නේවාසිකාගාරයේ කාමරයක් දෙදෙනෙකු වෙනුවෙන් වෙන් කොට තිබිණි. ඒවායේ දොර වසා තැබිය හැකි නිසා සොරසතුරු උපද්‍රවවලින් ගැලවී සිටින්නට හැකි වුවත්, යුද හමුදාවෙන් ඉදිකොට තිබූ තාවකාලික ශාලා තුළ නම් සොරකම් සිදුවූ බව අසන්නට ලැබිණි. එබැවින් ඔබගේ බඩුබාහිරාදිය ආරක්ෂා කරගැනීමේ අතිරේක වගකීම ඔබ කර මත පැටවේ. විවිධ තරාතිරමේ පුද්ගලයන් පැමිණෙන් බැවින් සියලු දෙනා එකසේ විශ්වාස කළ නොහැකි තත්වයක් තිබේ.
වර්තමානයේ වෛරසය පැතිරීම ඉතා වේගවත් බව පෙනෙන්නට තිබේ. නව ප්‍රභේදය ද පැමිණ ඇති බැවින් වෛරසයෙන් වැලකී සිටීමේ වගකීම ඔබ සතු වේ. කෙසේ වෙතත් ඔබ කිසිවකු හෝ මේ වෛරසයට නතු නොවේවා කියා අවසන් වශයෙන් ප්‍රාර්ථනා කරමි.
Sunday, November 15, 2020
කොවිඞ් - 19 ජලයෙන් සම්ප්‍රේෂණය විය හැකිද? - Covid-19 Can it be transmitted by water?
කොවිඩි 19 ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීම ගැන මේ දිනවල දැඩි කතා බහකට ලක් වෙනවා. විශාල භූමි ප්‍රමාණයක් හිමි ඒ නිසාම ජන ඝනත්වය අඩු රටවල මෙවැනි සිරුරු භූමදානය කළත්, එවැනි තත්වයක් නොමැති අප රටේ එසේ කිරීම සෞඛ්‍ය ගැටලු ඇති කරන්නට හේතු වන විශේෂඥයන් පවසනවා. නමුත් මෙවැනි අවදානමක් පිළිගන්නවාට වඩා සිය ආගමික වතාවත් ගැන සැලකිල්ලක් දක්වන අන්තගාමී කොටස්වල බලපෑම හමුවේ රජය ද දැන් ‘නැවෙන’ තකවයකට පත් ව ඇති බව පෙනෙනවා. මේ සම්බන්ධව අප රටේ විශේෂඥයන් දක්වන අදහසකට වඩා වෙනත් රටක විශේෂඥයන් දක්වන අදහසක් ඉදිරිපත්කිරීම වඩා සුදුසු යැයි සිතුණේ ඒ නිසයි. මේ විස්තරය මා උපුටා ගත්තේ https://www.news-medical.net වෙඞ් අඩවියේ පළ වී තිබුණු Dire warning on contamination of water and COVID-19 spread නම් ලිපියෙන්. ලිපිය ලියා තිබුණේ ලිජි තෝමස් වෛද්‍යවරියක විසින්. එහි සඳහන් තොරතුරු සැකෙවින් මෙසේ ඉදිරිපත් කළ හැකියි. මෙය පළ වී තිබුණේ පසුගිය ජූනි මාසයේ.
“මුළු ලොව පුරා කොවිඞ් 19 ව්‍යාප්ත වීමත් සමග, එය සම්ප්‍රේෂණය වීමේ ක්‍රම පිළිබඳ විද්‍යාඥයන් සොයා බලමින් සිටිනවා. එක්සත් රාජධානියේ සහ පෝලන්තයේ විද්‍යාඥයන් මෑතක දී නිකුත් කළ වාර්තාවකින් පෙන්නුම් කළේ එය ජලයේ දින 25 ක පමණ කාලයක් පැවතිය හැකි බවයි. මේ නිසා එක් එක් රටවල පවතින පාරිසරික තත්වයට අනුව කොවිඞ් 19 වෛරසය ජලය ඔස්සේ සම්ප්‍රේෂණය වීමේ යම් අවදානමක් තිබෙනවා.
මෙය මිරිදියේ වැඩි වශයෙන් දක්නට ලැබෙනව බවයි පැවසෙන්නේ. එය වෛරසය නැවත හිස ඔසවන්නට හේතුවක්.
මෙවැනි වාර්තාවක් ඉක්වfදා්රයෙන් ද ලැබෙනවා. එහි විද්‍යාඥයන් වාර්තා කරන්නේ එරට අගනුවර හරහා ගමන් ගන්නා ගංගාවන්ගේ ජලයෙන් කොවිඞ් 19 වෛරසය සොයා ගන්නට හැකි වූ බවයි. මේ නිසා සංවර්ධනය වෙමින් පවතින රටවල මේ වෛසරය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතිනවා.”
මේ ඒ ලිපියෙන් උපුටා ගත් සංක්ෂිප්තයක් පමණයි. මෙවැනි වාර්තා අන්තර්ජාලයේ වෛද්‍ය සහ විද්‍යාත්මක කරුණු අඩංගු වෙබ් අඩවිවලින් ඕනෑ තරම් සොයා ගන්නට පුළුවන්.
ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ කොවිඞ් - 19 මළ සිරුර භූමදානය කරන්නේ නම් ඒවා දැඩිව මුද්‍රා තබා පොලිතින්වල අසුරා භූමදානය කළ යුතු බවයි. කෙසේ නමුත් එවැනි ක්‍රමවේද සෑම විටම අනුගමනය කිරිමක් සිදුවේ ද යන්න පිළිබඳ සහතිකයක් දෙන්නට කිසිවෙකුටත් හැකියාවක් නැහැ. ඒ නිසා භූමදානය කරන මළ සිරුරවලින් මේ වෛරසය භූගත ජලයට එක් නොවේ යැයි සහතිකයක් දෙන්නට හැකියාවක් නැහැ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක වන මෙත්තිකා විතාන මහත්මිය සඳහන් කරන්නේ 1918 වසරේ ලොව පුරා ව්‍යාප්ත වූ ‘ස්පාඤ්ඤ උණ’ රෝගයෙන් මියගියවුන්ගේ සිරුරු මිහිදන් කළ ස්ථානවලින් ලබා ගත් ඩීඑන්ඒ නියැඳිවල එම වෛරසය තිබී මෑතකදී සොයා ගත් බවයි.
විශේෂඥයන්ගේ හා ලොව පුරා ලැබෙන වාර්තාවලින් පැවසිය හැක්කේ කොවිඩි 19 මළ සිරුරු භූමදානය තීරණය කරන්නේ නම්, එය කිසිසේත්ම නුවණක්කාර දෙයක් නම් නොවන බවයි.
Friday, November 13, 2020
ආණ්ඩුව බස්නාහිර පළාත වැසීමේ කුණුහරුපය
ආණ්ඩුව බස්නාහිර පළාත වැසීමට ගත් තීරණය කුණුහරුපයක් කියා මට සිතෙන්නේ ය. ඒ ගැන විස්තර කරනවා නම් මේ ආකාරය ය.
ආණ්ඩුව බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කියා ප්‍රවෘත්තිවලින් කිව්වේ ය. එසේ කියන්නට ඇත්තේ බස්නාහිර පළාතේ කොවිඞ් ඉහළ යාම නිසා, එහි සිටින කොවිඞ් ආසාදනය වූ අය වෙන පළාත්වලට ඇතුළු වී මහා අලකලංචියක් වේ යැයි ආණ්ඩුව සිතන නිසා යැයි මම සිතුවෙමි ය. කෙසේ නමුත් බස්නාහිරට ඇතුළුවන්නට පුළුවන් ද බැරි ද කියා පැහැදිලිව කිව්වේ නැති ය. ස්ටේෂන් එකෙන් ඇසූ විට ස්ටේෂන් මාස්ටර් මහතා පැවසුවේ “කෝච්චි යනවා ය. හවසට ආපහු එයිද කියා දන්නේ නැති ය” කියා ය. මේ නිසා වැඩට ගියොත් කොළඹටම වී සිටින්නට සිදු වේ යැයි බයක් දැනුණු නිසා වැඩට ගියේ නැත්තෙමි ය.
මා සිටින වෙන්නප්පුව පළාතේ සිට කොච්චිකඬේ පාළම පැන්න සැනින් පිවිසෙන්නේ බස්නාහිර පළාතට ය. ඊයේ උදේ කෝච්චි යනවා දැයි ඇහුම්කම් දීගෙන සිටියෙමි ය. උදේ කෝච්චි සියල්ලම කොළඹ බලා යනවා ඇසුණි ය. “එහෙනම් යන එවුන් පලයව්. තොපි කොළඹට වී ඉඳපියව්” කියා සිතින් සිතමින් වියරු ජොලියකින් පසුවුවෙමි ය. ජොලිය තිබුණේ හවස් වන තුරු විතර ය. කොළඹ ගිය කෝච්චි සියල්ල ආපහු ආවේ ය.
දැන ගන්නට ලැබුණු විස්තරය වූයේ කොළඹ සිට සෑම දෙනෙක්ම කිසි කරදරයක් නැතිවම පුත්තලම දක්වාම ගමන් කළ බව ය. මේ අතරේ බස්නාහිර සිටි කොව්ඩි අය ද ආවා ද නැද්ද තියා සොයන්නට කිසිවෙක් සිටියේ නැති බව ද දැනගන්නට ලැබුණේ ය.
අද උදේ ද ඊයේ වාගේම කෝච්චි ගියේ ය. අද හවස ද මේ විදියටම ගිය කෝච්චි කිසිදු කරදරයක් නොමැතිවම ආපසු එනවා නිසැක ය.
එසේ හෙයින් ආණ්ඩුව බස්නාහිර පළාතට ඇතුළුවීම කෙසේ වෙතත් පිටවීම තහනම් කළ කුණුහරුපය තවමත් තේරුම් ගැනීමට බැරි වී අඤ්ඤකොරොස් තත්වයකින් පසුවෙමි ය.