පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, May 31, 2018

මිනිසුන්ගේ දිවි ගලවා ගත් සත්තු - Animals who saved humans

මිනිසුන් මිනිසුන් අතර එකිනෙකාට පිහිට වීමේ අවස්ථා අප ඕනෑ තරම් දැක තිබෙනවා. ඒ වගේම මිනිසුන් සතුන්ට වගේම සතුන් මිනිසුන්ට පිහිට වූ අවස්ථාවන් ද අපට අසන්නට ලැබෙනවා. කොහොම වුනත් මිනිසුන්ට පිහිට වූ සතුන් ගැන තොරතුරු අපට ලැබෙන්නේ ටිකක් අඩුවෙන්. බොහෝ විට අපට අසන්නට ලැබෙන්නේ මිනිසාට හිතවත් සතෙක් වන සුනඛයාගෙන් ලැබුණු උදව් පමණයි. නමුත් අප නොසිතන ආකාරයේ සතුන් මිනිසුන්ට පිහිට වී ඔවුන්ගේ ජීවිත ගළවා ගත් අවස්ථා තිබෙනවා. මේ කියන්න යන්නේ එවැනි සිදුවීම්වලින් කිහිපයක්.

ලුලූ නම් ඌරා



ජෝන් අල්ට්මාන් කියන්නේ කාන්තාවක්. ඇය දිනක් පපුවේ වේදනාවකින් එක පාරටම බිම ඇද වැටුණා. පසුව සොයා ගත් පරිදි ඇය හෘදයාබාධයකටයි ලක් වෙලා තිබුණේ. මේ වගේ වෙලාවකට වෛද්‍ය ආධාරයක් නැතිව සෑහෙන වෙලාවක් ඉන්න වුනොත් ඇගේ ජීවිතයට හානියක් විමේ දැඩි අවදානමක් තිබෙනවා. කොහොම වුනත් සුරතලයට ඇති දැඩි කරන  ලුලූකියන ඌරා හැරෙන්න ගෙදර කිසිම කෙනෙක් හිටියේ නෑ. තමන්ගේ ස්වාමි දුව වේදනාවෙන් බිම ඇද වැටිලා ඉන්න ආකාරය ලුලූ දැක්කා. ඌ නිවසින් පිටතට ඇවිත් වාහන ගමන් කරමින් තිබුණු පාරේ නිදා ගත්තා. ඒ බොහෝ විට පාරේ වාහනවල යන අයගේ අවධානය තමන් වෙත යොමු කරවාගෙන, ඒ ඔස්සේ තමන්ගේ ස්වාමි දුවට උදව්වක් ඉල්ලා ගන්න විය හැකියි. නමුත් ඇත්තටම ලුලූට එහෙම හිතන්න හැකියාවක් තිබුණා ද කියා අනෙක් අතට සිතෙන්නටත් පුළුවන්. ලුලූගේ උත්සාහය අපතේ ගියේ නෑ. එක් පුද්ගලයෙක් ලුලූ ළඟට ආවා. ඉන් පස්සේ නැගී සිටි ලුලූ නිවස දිහාට යන්න පටන් ගත්තා. අර පුද්ගලයා ද ඒ පසුපස ගමන් කළා. ජෝන් අල්ට්මාන් බිම වැතිරී සිටින ආකාරය දුටු ඔහු තවත් පමා නොවී සෞඛ්‍ය ආධාර ලබාදෙන ආයතනයකටත් කතා කළා. අවසානයේ ඇගේ ජීවිතය ගළවාගන්නට හැකියාව ලැබුණා. නමුත් ලුලූ නොසිටින්නට අද ඇය ජීවතුන් අතර නැහැ.




ජම්බෝ නම් ගෝරිල්ලා





ජම්බෝ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ජර්සි සත්වෝද්‍යානයේ සිටින රිදී පිටක් සහිත ගෝරිල්ලෙක්. දවසක් ජම්බෝ ඇතුළු ගෝරිල්ලන් රංචුවක් ඉන්න කූඩුවට පොඩි දරුවෙක් වැටුණා. ගෝරිල්ලන් කියන්නේ දරුණු විය හැකි සතුන් වර්ගයක් නිසා එතැන සිටි මිනිසුන් විලාප දෙන්න පටන් ගත්තා. නමුත් එයින් පසුව සිදුවුණේ සිතාගන්නට බැරි දෙයක්. ජම්බෝ සෙමින් දරුවා ළඟට පැමිණියා. කුඩා දරුවකු නලවන ආකාරයට මේ ගෝරිල්ලා දරුවාගේ පිටට සෙමින් තට්ටු කළා. මේ කූඩුවේ තවත් ගෝරිල්ලන්  ආක්‍රමණශීලී ලෙස හැසිරෙන්නට පටන් නිසා ජම්බෝ දරුවා ළඟින් මදක් හෝ සෙලවුණේ නැහැ. මේ කලබගෑනිය මැද දරුවා හඬන්නට පටන් ගත්තා. ජම්බෝ තමන්ගේ කූඩුවේ හිටිය අනෙක් අයව පැත්තකට පන්නා දමලා, දරුවා ගළවා ගැනීමට පැමිණි සත්වෝද්‍යානයේ සේවකයන්ට ඔවුන්ගේ කාර්යය කරන්නට ඉඩකඩ සාදා දුන්නා. මේ විදියට ජම්බෝ ද ජීවිත බේරා ගත් සතුන් අතරට පැමිණෙන්නට වාසනාව උදා කරගත්තා.  






ටොබී නම් සුනඛයා




ටොබී කියන්නේ රන් පැහැති ලෝම තියෙන රිට්‍රීවර් වර්ගයට අයිති සුනඛයෙක්. යම් යම් දේවල්වලට පුහුණු කිරීමෙන් සුනඛයන්ගේ මිනිසුන්ට බොහෝ ප්‍රයෝජන තිබුණත්, ප්‍රථමාධාර ලබා දීම වැනි දේවල් සඳහා සුනඛයන්ව පුහුණු කරවන්නේ නැහැ. එයට හේතුව අවස්ථාවේ හැටියට අවශ්‍ය වන්නේ කුමන විදියේ ප්‍රථමාධාරයක් ද කියා ඔවුන්ට එකවර තීරණය කරන්නට හැකියාවක් නැති නිසයි. කෙසේ නමුත් ටොබීගේ ස්වාමි දුව වන 45 හැවිරිදි වියෙහි පසු වූ ඩෙබී පාක්ස්ට්ගේ ජීවිතේ බේරාගන්නට ලැබුණේ අවස්ථාවෝචිතව ලබා දුන් ප්‍රථමාධාරය නිසයි. ඒ කතාව මෙන්න මේකයි. ඇය දිනක් ඇපල් ගෙඩියක් කමින් සිටිය දී එකපාරටම එක කෑල්ලක් උගුරේ සිරවුණා. එකවර හුස්ම ගැනීමට නොහැකි වූ ඇය බිම ඇදවැටුණා. මේ අවස්ථාවේ දී ලබා දිය යුතු එක් විශේෂිත වූ ප්‍රථමාධාරයක් තිබෙනවා. එහිදී සිදුවන්නේ යම් කිසිවකුගේ දෑතින් අදාල රෝගියාගේ පපුව වැරෙන් තද කිරීමයි. එයින් පමණයි ස්වාසනාලයේ යමක් සිරවූ කෙනෙකුගේ ජීවිතය බේරා ගන්නට පුළුවන් වෙන්නේ. ටොබී දෙපාරක් හිතුවේ නැහැ, දැනුවත් හෝ නොදැනුවත්ව ඌ තම ස්වාමි දුවගේ පපුව සිය ඉදිරි දෑත්වලින් සිය ස්වාමි දුවගේ පපුවට වැරෙන් ගසන්නට වුණා. එහි ප්‍රතිඵලය වුණේ ස්වාස නාලයේ සිරවුණු ඇපල් කැබැල්ල පිටතට පැමිණීමයි.

දැරියකගේ ජීවිතය ගළවා ගත් සිංහ රංචුව




මේ කතාව ආරංචි වෙන්නේ 2012 වසරේ දී අප්‍රිකානු මහද්වීපයට අයත් ඉතියෝපියාවෙන්. මේ සිදුවීම ලෝකයේ අතිශය ප්‍රකට දෙයක්. අන්තර්ජාලය පිරික්සීමෙන් එය තහවුරු කරගන්නට පුළුවන්. ඉතියෝපියාවේ විවාහයට වයස් සීමාවක් නැහැ. කුඩා දැරියක වුනත් විවාහ කරගන්නට පුළුවන් කම තිබෙනවා. එක් ඉතියෝපියානු දැරියක්, විවාහ යෝජනාවකට අකැමති වූ නිසා ඔහු තවත් සය දෙනෙකු සමග පැමිණ මේ දැරියව පැහැර ගත්තා. පැහැර ගෙන සතුන් අතින් මිය යන සේ මහ කැලෑවේ අතරමං කොට දමා පැමිණියා. මේ පිළිබඳ ආරංචි වූ පොලිසිය ද දැරිය සොයමින් කැල පීරන්නට පටන් ගත්තා. අවසානයේ සතියකට පසු පොලිසියට ඇයව හමුවුණා. පොලිසිය පැවසූ අන්දමට ඇය සිටියේ හොඳින් වැඩුණු දරුණු සැවනා වර්ගයේ සිංහයන් තිදෙනෙකුට මැදිව. ඔවුන් සිටියේ යම් දෙයක් ආරක්ෂා කරද්දී සිංහයන් සිටින ඉරියව්වෙන් බවයි පැවසෙන්නේ. වෙනත් ලෙසකින් කීවොත් ඔවුන් මේ දැරියව ආරක්ෂා කරමින් හිඳ තිබෙන බවයි එයින් අදහස් වන්නේ. පොලිසිය පැමිණ ඇත්තේ දැරිය බේරාගන්නට බව ඉවෙන් මෙන් දැනුණු නිසාවත්දෝ මේ සිංහයන් සෙමින් එතැනින් ඉවත් ගොස් තිබෙනවා. අවසානයේ කැලෑවේ වෙනත් සතුන්ගේ ගොදුරක්ව මිය යන්නට සිටි දැරිය මේ විදියට සිංහයන්ගේ උදව්වෙන් ජීවිතය ගළවා ගත්තා.




මැන්ඩි නම් එළුවා

නොයෙල් ඔස්බොන්


හොඳ පළපුරුදු ගොවියකු වූ නොයෙල් ඔස්බෝන්ට එදා දවසත් වෙනදා වගේම උදා වුණා. ඒ දවසේ විශේෂත්වයක් ඔහුට දැනුණේ නැහැ. ඔහු තමන්ගේ සුපුරුදු වැඩකටයුතුවල නිරත වෙමින් සිටිය දී හදිසියේ පෝර වලකට වැටිලා උකුල් අස්ථිය බිඳී ගියා. ඔහුට එතැනින් නැගිටින්නට තියා සෙලවෙන්නට වත් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔහු කෑ ගැසුවත්, ඒ හඬ ඇසෙන මානයේ කිසිවකු හෝ සිටියේ නැහැ. ඔහුගේ එළු රංචුවේ සිටි මැන්ඩි කියන එළුවා මේ වලට සෙමින් බැහැලා ඔහු ළඟට වෙලා දවස් පහක් සිටියා. රාත්‍රියේ දී ඔහුව උණුසුම්ව තබන්නට අවශ්‍ය යැයි මැන්ඩිට දැනුණු නිසා හෝ කුමක් හෝ හේතුවක් නිසා ඌ, නොයෙල්ගේ සිරුරට තදින් තුරුලු වී සිටියා. තමන්ගේ කිරි බුරුල්ලේ වූ කිරිවලින් නොයෙල්ගේ කුසගිනි නිවාගන්නට ඉඩ හැරියා. අවසානයේ ඔහුව සොයා පිරිසක් එනතුරුම ජීවිතය බේරාගෙන තිබුණේ මේ මැන්ඩි නිසයි.

විලියම් නම් ගිරවා

පෙත්තා බත් කෑවාකියා පවසන්නට දැන සිටියත්, ජීවිතයක් බේරාගන්නට උදව් කරපු ගිරව් ඉන්නවා නම් ඒ ඉතා කලාතුරකින්. මේ කියන්න යන කතාවේ ඉන්න විලියම් කියන ගිරවා ද එහෙම සතෙක්. විලියම්ට ගෙදර කට්ටිය ආදරේට කිව්වේ විලීකියලා. මේ පවුලේ ඉන්න අවුරුදු දෙකක් පමණ වයස පුංචි හැනාගේ ජීවිතය ගළවා ගත්තේ විලීකියලයි පවුලේ අය කියන්නේ. හැනාව බලාගන්න කෙනා මෙන්න මේ විදියටයි තමාගේ අත්දැකීම විස්තර කළේ.

මම නාන කාමරයේ ඉන්න කොට විලී කවදාවත් නැති විදියට කෑගහන්න පටන් ගත්තා. හයියෙන් අත්තටු ගහන සද්දෙත් ඇහුණා. විලී එහෙම හැසිරෙනවා මීට කලින් දැකලා තිබුණේ නැහැ. ඉන් පස්සේ විලී mommy baby කියලා හයියෙන් කෑගැහුවා.  මම ඉක්මනට නාන කාමරයෙන් එලියට දිව්වා. ඒ යද්දියි දැක්කේ හැනා උගුරේ යමක් හිර කරගෙන හුස්ම හිරවෙලා ඉන්න හැටි. හැනාගේ මූණ නිල්පාට වෙලා තිබුණා. ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර දීලා හැනාගේ ජීවිතෙ බේරා ගත්තා. විලී නොසිටියා නම් මේ අනතුර ගැන දැනගන්නට වෙන්නේ නැහැ.

නින් නොන්ග් නම් අලියා


ඇම්බර් කුඩා කාලයේ සමග නින් නොන්ග්

ඇම්බර් ඔවෙන්

මේ සිද්ධිය ගැන දැනගන්නට ලැබෙන්නේ 2004 වසරේ දී සිදුවූ සුනාමියෙන්. සුනාමිය එන වෙලාවේ තායිලන්තයේ පූකට් වෙරළ තීරයේ අට හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ඇම්බර් ඔවෙන් හිටියා. ඇය සිටියේ අවුරුදු හතරක් පමණ වූ අලි පැටවකුගේ පිටේ නැගලා වෙරළේ ඇවිදිමින්. සුනාමි රැල්ල වේගයෙන් ඇදී ආවා. ඒ අවස්ථාවේ දී ඇම්බර්ව පිටේ තියා ගත්තු නින් නොන්ග් උස් බිමක් කරා දිව ගියා. නමුත් රැල්ලේ කොටසකට ඔවුන් හසු වුණා. ඒ අවස්ථාවේ දී ඇම්බර්ව ජල පහරට ඇදී යාමෙන් වළක්වා ගන්නට නින් නොන්ග් ඇයව තම සිරුරට සිර කරගෙන හිටියා. මේ විදියට ඇම්බර් තමාගේ ජීවිතය සුනාමියෙන් ගළවා ගත්තා. මේ වන විට ඇම්බර් 22 හැවිරිදි තරුණියක්. 


මේ කතාව ගැන දැනගන්නට ලැබුණු  මයිකල් මෝපර්ගෝ නම් ඉංග්‍රීසි ජාතික කතුවරයා War Horse  නමින් පොතක් ලිව්වා. ඒ පොතේ මේ කතාව ඇතුළත් වෙනවා.


Thursday, May 24, 2018

ජනකවි නාදයකින් උපන් සරසවි විරහ ගීතය - සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ


සරසවිය, ආදරය සහ විරහව අතර ඇත්තේ අවියෝජනීය වූ සබඳතාවකි. මේ නිසාම සරසවිය ඇසුරු කොට ගෙන රචනා වූ ආදර සහ විරහ ගී අපමණය. වර්තමානයේ එවැනි ගී අලුතින් ලියැවෙන බව නොපෙනුන ද අතීතයේ එසේ රවනා වූ බොහෝ ඒවා අප මතකයේ තිබේ. එයින් වඩාත් ජනප්‍රිය මෙන්ම හැඟීම් දැඩිව උද්දීපනය කරන්නා වූ එක් ගීතයක් ලෙස සිරිසමන් විජේතුංගයන් විසින් රචිත, ආචාර්ය දයාරත්න රණතුංගයන් විසින් සංගීතවත් කොට ඔහු විසින්ම සිය හඬින් ජීවය දුන් ‘සරසවියේදි හෙට විතරයි‘ ගීතය සඳහන් කළ හැකිය.

සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ

දොඹ සූරන මහ වැස්සේ තනි කුඩයේ
අපි තනිවී දොඩමලු වූ හැටි දෙනියේ
කොමල පපා මුකුළු හිනා පෑ දෙතොලේ
මතකද මහවැලි දෑලේ සපු සෙවනේ

කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ
එදා ලපලු හෙවනේ සරතැස නිවුණේ
අපේ මියුරු සීන පිරුණු රජ දානේ
මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ

කෝල බැලුම් හෙලා රඟන පරෙවියනේ
මාල බැඳුණු ගෙල කුමරිගේ හඳපානේ
හීනෙන් දැකුමට විතරයි උරුම උනේ
හන්තානේ කුමරියෙ නාඩන් ලසඳේ

පේරාදෙණිය සරසවියේ බැඳි ප්‍රේමයකින් ඉතිරි වූ විරහව මේ ගීතයෙන් මැනවින් පිළිබිඹු කරයි.

දිනක් දයාරත්න රණතුංගයන් එක් සංගීත වැඩසටහනක දී පැවසූ පරිදි ඔහු මේ ගීය සඳහා තනුව සකස් කොට ඇත්තේ පැරණි ජන ගි තනුවක ඇසුරු කොටගෙනය.  එම ගීතය ජන ගි අතර ජනප්‍රියව ඇත්තේ ‘නාරිලතා වන්නම‘ හෙවත් ‘නාරිලතා සිංදුව‘ වශයෙනි. එම ජන ගීයට අනුව නිර්මාණය වුණු නර්තනයන් දෙකක් අන්තර්ජාලයේ පවතින නිසා එහි තනුව පහසුවෙන් රස විඳින්නට ඔබට ද හැකිය.





ජාතක කතාවන්හි සඳහන් වන හිමාලය අඩවියෙහි පිපෙන ස්ත්‍රියකගේ රුව වැනි වූ නාරිලතාමල් ජනකවියා දුටු ආකාරය මේ ජන ගීයෙන් කියැවෙයි.



සිරිදරු මල් උයනේ අතරු ලතරු බඹරු ලතාවයි
හිමගිරි කුළු අරණේ නිතර නිතර කිඳුරු ලතාවයි

සරසවියේදි හෙට විතරයි ගීතයේ රචකයා මේ ජන ගීය අනුසාරයෙන් මේ ගීය ලියන්නට ඇතැයි සිතිය නොහැකි මුත්, ජන ගීයේ පදවැල් සහ ගීතයේ පදවැල් ගලා යන ආකාරයේ යම් සමානත්වයක් දැකිය නොහැක්කේ ද නොවේ. ඒ කෙසේ වෙතත්, සංගීතඥයා ජන ගීයේ නාදය තුළින් දුටු විරහ රසය මැනවින් මේ ගීතය හා මුසු කොට ගෙන ඇති බව නම් පෙනේ. පේරාදෙණිය සරසවියට පා නොතැබුවෙක් පවා මේ ගීතය අසන විරාමය තුළ සරසවි ප්‍රේමයේ විරහව මොනවට අත්විඳින බව නම් නොඅනුමානය.


මේ කෙටි විස්තරයක් මෙසේ ලියා තබන්නට මා අදහස් කළේ අන් කිසිවක් නිසා නොව වර්තමානයේ මෙවැනි ගී නිර්මාණ අපට අසන්නට නොලැබෙන නිසාත්, මෙවන් නිර්මාණ අසන්නට ලැබුණු අතීතයක් අපට තිබුණත් එවැනි අනාගතයක් කිසිදාක අපට නොලැබෙන නිසාත්ය.

Wednesday, May 23, 2018

ගූගල් කැමරාව දැකපු අද්භූත දේවල් - Mysterious things captured by Google Camera

ගූගල් සිතියම ගැන මේ වන විට නොදන්නා කෙනෙක් නොමැති තරම්. කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා මේ ගැන දන්නවා වගේම එය භාවිතටත් ගන්නවා. ගමන් බිමන් යද්දි, නොදන්නා තැනක් සොයා ගන්නට අවශ්‍ය වෙද්දි ගූගල් සිතියම නැතිවම බැරි දෙයක් බවට පත් වෙලා තිබෙනවා. ගූගල් සිතියමත් එක්කම බැඳුණු තවත් දෙයක් තමයි ගූගල් ස්ට්‍රීට් වීව්’ (Google Street View)  කියන්නේ. ගූගල් සිතියමෙන් අපට පෙන්වන්නේ චන්ද්‍රිකා මගින් ගත් ඡායාරූප. නමුත් ස්ට්‍රීට් වීව් එකෙන් පෙන්වන්නේ මාර්ගයක ගමන් ගනිද්දී අප දකින ආකාරයේ දසුනක්. ගූගල් සමාගම ලොවට දායාද කළ මේ පහසුකම් දෙක අද වන විට ලෝකය පුරා පුදුමාකාර ලෙස ජනප්‍රිය වෙලා තියෙනවා. කොහොම වුනත් ගූගල් සිතියමටත්, ගූගල් ස්ට්‍රීට් වීව් එකටත් හසු වුණු අමුතු දර්ශන බොහොමයක් ගැන අපූරු තොරතුරු අන්තර්ජාලයේ තිබෙනවා. මේවා ඇතැම් විට පුදුමාකාරයි. ඇතැම් විට බිය දනවන සුළුයි. ඇතැම් ඒවා මොනවාද කියා තේරුම් ගන්නටත් අපහසුයි. මේ වගේ දේවල් කිහිපයක් ගැන ටිකක් කතා කරන එක හොඳයි කියලා සිතුණේ මේ නිසයි.

මිනිස් දෙතොල



ගූගල් සිතියමට හසු වුණු මේ අපූරු දසුන තියෙන්නේ සුඩානයේ. මේ චන්ද්‍රිකා ඡායාරූපයෙන් පෙනෙන්නේ රක්ත පැහැයෙන් යුක්ත, දැවැන්ත මිනිස් දෙතොලක්. කඳු වැටිවලින් නිර්මාණය වුණු මේ දසුන තිබෙන්නේ සුඩානයේ ඝරාබ්, ඩාර්ෆූර් කියන ප්‍රදේශයේ. බැලූ බැල්මට පෙනෙන්නේ අවට ඇති සියලු දේ ගිල දමනා යෝධ දෙතොලක් ලෙසයි.



සුන්බුන් නෞකාව



මේ සුන්බුන් නෞකාව දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපය අරන් තිබෙන්නේ සුඩානයට අයත් මුහුදු තීරයෙන්. 2003 වසරේ දී අනතුරට පත්ව ඇති මෙම නෞකාව එස්.එස්. ජාසිම් නමින් හැඳින්වෙනවා. 80.54 ක් දිග අඩි 13ක් පළල මෙය   බොලීවියානු මගී සහ භාණ්ඩ නෞකාවක්. මෙය වෙරළට කිට්ටුවෙන් යාත්‍රා කරද්දී වින්ගෙට් කොරල් පරය අසල දී මෙසේ අනතුරට පත් ව තිබෙනවා. කෙසේ නමුත් මේ ප්‍රදේශයට සාමාන්‍යයෙන් මිනිසුන්ට ළඟා විය නොහැකි ප්‍රදේශයක් ලෙසටයි වාර්තා වී තිබෙන්නේ. අපහසුවෙන් හෝ මේ කරා ළඟා වුනත්, මේ අවට මහා දරුණු ගෝත්‍රිකයන් ජීවත් වනවා යැයි පැවසෙනවා



මේසා හුවර්ෆානිටා



මේසා හුවර්ෆානිටා තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝ ප්‍රදේශයේ. මෙම චන්ද්‍රිකා ඡායාරූපයෙන් දැක්වෙන්නේ පොළොවේ කොටන ලද දියමන්ති සංකේත දෙකක් වටා වූ වෘත්ත දෙකක්. මේ වෘත්ත දෙක එකිනෙක කැපී යන ආකාරයෙන් පිහිටුවා තිබෙනවා. දැනට දැනගන්නට ලැබී තිබෙන තොරතුරුවලට අනුව මෙම සංකේතය සම්බන්ධතාවක් දක්වන්නේ චර්ච් ඔෆ් සයන්ටොලොජිනම් ආගමික සංවිධානයටයි. මෙහි ඔවුන්ගේ රහස් ආරක්ෂක නිවාස ඇතැයි පැවසෙනවා. බයිබලයේ එළිදරව් පොතේ සඳහන් වන ලෝකාවසානයේ අවසන් මහා යුද්ධය වන ආමගෙඩොන්අවස්ථාවේ දී ලෝකයෙන් පිටතට ගොස් පුනරාගමනය කරද්දී, මග පෙන්වීමක් ලෙස මෙම සංකේත යොදා ඇති බව චර්ච් ඔෆ් සයන්ටොලොජි සංවිධාන පවසනවා.


අමුතු ත්‍රිකෝණය



මේ අමුතු ත්‍රිකෝණය දකින්නට ලැබෙන්නේ ඕස්ට්‍රේලියාවේ. මහා තිරිඟු යායක් මැද පිහිටි මේ ත්‍රිකෝණයේ දීප්තිමත් ආලෝක ලප කිහිපයක් දකින්නට පුළුවන්. පිටසක්වළ යානා ගැන අධික විශ්වාසයක් අති සියලු දෙනා මේ පිළිබඳ අදහස් දක්වමින් පවසන්නේ නිසැකවම මෙය තිරිඟු යායට උඩින් පියාසර කළ පිටසක්වළ යානාවක් බවයි. තවත් පිරිසක් පවසන්නේ මෙය සුළං බලයෙන් විදුලිය නිපදවන පද්ධතියක් විය හැකි බවයි. කොටස් තුනක් ලෙස ලෙස ඉදි කොට ඇති මෙය වයර්වලින් එකිනෙක සම්බන්ධ කොට ඇති නිසා ඉහළ සිට බලද්දී ත්‍රිකෝණයක හැඩයෙන් යුක්තව පෙනෙන බවයි ඔවුන් පවසන්නේ.


පස් කොන් තරුව



මේ පස් කොන් තරුව ගූගල් සිතියමට ලැබී ඇත්තේ කසක්ස්තානයෙන්. මම තරුව වටා වූ වෘත්තයේ විශ්කම්භය ආසන්න වශයෙන් අඩි 1,200 ක් පමණ විය හැකි බව පැවසෙනවා. කසක්ස්තානයේ ඉහළ ටොබොල් ජලාශයේ දකුණු ඉවුරේ මෙම පස් කොන් තරුව පිහිටා තිබෙනවා. බොහෝ දෙනෙක් මුලදී පැවසූවේ මෙය යම් ආගමික නිකායකට අයත් සංකේතයක් බවයි. නමුත් විස්තර සෙවීමේ දී දැනගන්නට ලැබුණේ මෙය හුදෙක්ම උද්‍යානයක සැලැස්මක් පමණක් බවයි.


සැන්ඩි දූපත



සැන්ඩි දූපත ලෙස නම් කොට ඇති මෙය ගූගල් සිතියමේ සටහන් වී තිබූ අතර තොරතුරු සොයා බැලීමේ දී දැනගන්නට ලැබුණේ මෙය මෑත කාලයේ මුහුදෙන් මතු වුණු දූපතක් බවයි. ගිනිකොන දිග පැසිෆික් සාගරයෙන් මතු වූයේ යැයි සැලකුණු මේ පිළිබඳ සොයා බලන්නට විද්‍යාඥයන් පිරිසක් ගිය ද, එවැනි දූපතක් සොයා ගැනීමට හැකි වූවේ නැහැ. පසුව මේ පිළිබඳ විස්තර කෙරුණේ එක්කෝ මෙය මිනිස් වරදක් හෝ මුහුදෙන් හදිසියේ මතු වන යමහල් පාෂාණ හෝ විය හැකි බවයි.


වයසක බෝනික්කෝ



මේ වයසක බෝනික්කන් හමුවන්නේ ජපානයේ ෂිකුකු දූපතේ පිහිටි කුඩා ගම්මානයක් වන නගෝරෝවලින්. නගෝරෝ ගම්මානය හඳුන්වන්නේ පඹයන්ගේ ගම්මානයනමින්.  ඒ මෙහි පුදුමාකාර ලෙස බෝනික්කන් සාදන නිසයි. සැබෑ ජීවමාන ප්‍රමාණයේ සාදන බෝනික්කන්ටත් මේ ගම්මානය ප්‍රසිද්ධයි. කෙසේ නමුත් ගූගල් ස්ට්‍රීට් වීව්වලට හසු වූ මෙම බෝනික්කන් සාදා තිබුණේ වයසක ගැහැණියක්. මේ බෝනික්කන් සම්බන්ධව තවත් අද්භූත කතාවක් ද තිබෙනවා. ඒ මේ බෝනික්කන් කිසිදා එකම තැන නොපවතින බවයි. එනම් යම් කිසි බෝනික්කු යම් තැනක තැබුව ද, පසුව බලද්දී එය ඇත්තේ වෙනත් තැනකයි. මේ  බෝනික්කන් සාදන මහළු කාන්තාව නම් පවසන්නේ තමි කිසි දිනෙක මේවායේ ස්ථාන වෙනස් නොකරන බවයි.

අපායට යන පාර




ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ නිව් බෝල්ටිමෝර් හි වීදි ඔස්සේ ගූගල් ස්ට්‍රීට් වීව් මගින් ගමන් කරද්දී මේ අපායට යන පාර බලාගන්නට පුළුවන්. ඔබ කිසිවකු හෝ Silent Hill  නමැති වීඩියෝ ක්‍රීඩාව සෙල්ලම් කොට හෝ දැක හෝ ඇත් නම්, මේ එහි දර්ශනයක් නොවේදැය බැලූ බැල්මට පෙනේවි. කෙසේ නමුත් පසුව දැනගන්නට ලැබුණේ මෙය එක්තරා තාක්ෂණික දෝෂයක් නිසා ඡායාරූපයේ සිදු වූ විකෘති වීමක් බවයි. 


2018 මැයි 6 ලක්බිම රිද්ම

Tuesday, May 8, 2018

සම්මාන නැති වෙන්නේ ලංකාවේ විතරද? - Misplaced or Lost Awards


ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාට ඉන්දියාවෙන් පිරිනැමුණු යාවජීව ප්‍රණාම සම්මානයඔහුගේ නිසල දේහය අසල තිබිය දී අතුරුදහන් වුණු පුවතත්, පසුව 177 දරණ මාර්ග අංකය හිමි කොල්ලුපිටිය - කඩුවෙල බස් රථයක තිබී එය නැවත හමු වූ පුවතත් මේ වන විට සියලු දෙනාම පාහේ දැන සිටිනවාට සැකයක් නැහැ. මේ ආකාරයට සම්මාන ගැන කතා කරන අතරේ හොරු අතරට එක් වූ පුදුමාකාර සම්මාන හොරුන් ගැනත් කතා කිරීමත් වටිනවා. සම්මාන හොරුන් සිටින්නේ හෝ නොදන්නා හේතුවක් නිසා සම්මාන අතුරුදහන් වන්නේ ලංකාවේ විතරක්දැයි සොයා බලන විට සොයා ගන්නට ලැබුණේ පිටරටවලත් මේවා සිදුවන බවයි.  කොටින්ම ලෝකයේ ඉහළම ආර්ථිකයක් හිමි ඇමරිකාවේ ද සම්මාන නැති වෙන බවයි. මේ කාලයේ තරම් මේක කියවන්නට වෙන සුදුසු කාලයක් නැති නිසා අපි ඒ ගැන විස්තර ටිකක් කියවා බලමු.

පරිස්සමට අම්මාට දුන්නු සම්මානය



ඇන්ජලිනා ජොලි කියන්නේ ලෝකයේ සුප්‍රකට නිළියක්. 1999 වසරේ තිරගත වූ, ඇය රංගනයෙන් දායක වුණු Girl, Interrupted  චිත්‍රපටය වෙනුවෙන් ඇය එම වසරේ දී ම හොඳම සහාය නිළිය වශයෙන් ඇකඩමි සම්මානය දිනා ගත්තා. ඇය එය සිය මව වූ මර්ෂලීන් බර්ට්‍රන් හට තිළිණ කළා. මේ සම්මානය පෙට්ටික බහා ඇයගේ මව 2007 වසරේ දී මිය යන තෙක්ම ඇයගේ බඩුබාහිරාදිය අතරේ තිබුණු බව ඇන්ජලිනා පවසනවා. ඇයගේ මරණයෙන් පසුව ඇන්ජලීනා මෙය සෙව්වත් හමු වූයේ නැහැ. මේ වන විටවත් එයට සිදුවුණු දෙයක් කිසි කෙනෙකු දන්නේත් නැහැ.

කුණු කුඩයකින් මතුවුණු සම්මානය




වූපි ගෝල්ඩ්බර්ග් කියන්නේ සම්මාන බොහොමයකට හිමිකම් කියන්නට තරම් වාසනාවන්ත වූ හොලිවුඩ් රංගන ශිල්පිනියක් සහ ගායන ශිල්පිනියක්. බොහෝ කතාබහට ලක් වූ ගෝස්ට්චිත්‍රපටය ඔබ නරඹා ඇත්නම් එහි මියගියවුන් සමග කතා බහ කරන, යකැදුරුකම් කරන චරිතය මතක ඇති. වූපි මේ චරිතය වෙනුවෙන් හොඳම සහාය නිළියට හිමි ඇකඩමි සම්මානය දිනා ගත්තා. 2002 වසරේ දී ඇය මේ සම්මානය හොඳින් ඔප මට්ටම් කරවා ගැනීමේ අරමුණින් නැවත ඇකඩමි සම්මාන ප්‍රදානය කරන ආයතනයට භාර දුන්නා. ඔවුන් මෙය, චිකාගෝ නගරයේ සම්මාන නිෂ්පාදනය කරන ආර්.එස්. ඔවෙන්ස් සමාගමට යැව්වා. කෙසේ නමුත් එම සමාගමට ලැබී තිබුණේ හිස් පෙට්ටියක්. ඔවුන් එය විවෘත කොට බලන විට එහි සම්මානයක් තිබුණේ නැහැ. මේ පෙට්ටිය අතරමගක දී කවුරුන් හෝ විවෘත කොට සම්මානය සොරා ගෙන ඇති බවයි කවුරුත් පැවසූයේ. කෙසේ නමුත් පසුව මෙය කැලිෆෝර්නියාවේ, ඔන්ටාරියෝ ගුවන් තොටුපළේ කුණු කූඩයකින් මතු වුණා.

අලුත් සම්මාන සල්ලිවලට ගැනීම




ඔලිම්පියා කියන්නේ ග්‍රීක - ඇමරිකානු සම්භවයක් සහිත අති දක්ෂ නිළියක්. ප්‍රේමාන්විත ප්‍රහසන චිත්‍රපටයක් වූ මූන්ස්ට්‍රක්චිත්‍රපටයට රංගනයෙන් දායක වීම වශයෙන් ඇයට 1987 වසරේ දී හොඳම නිළියට හිමි ඇකඩමි සම්මානය හිමි වුණා. එයින් වසර දෙකකට පසු, එනම් 1989 දී එම සම්මානය ඇගේ නිවසින් සොරකම් කොට තිබුණා. සම්මානය සොයා ගැනීමට ඇය කළ හැකි සියලු දේ කළත් කිසිවක් සාර්ථක වූණේ නැහැ. මේ සම්මානය ඇයට බොහෝ වටිනා නිසා ඇකඩමි ආයතනයට කතා කළ ඇය මේ වෙනුවෙන් සම්මාන පිටපතක්ලබා ගත හැකි දැයි විමසා සිටියා. ඔවුන් පැවසූයේ එය නොමිලයේ ලබා දිය නොහැකි බවත්, ඒ සඳහා ඩොලර් 78ක් ඉල්ලා සිටියා. එය වර්තමාන ඩොලර් අනුපාතිකයට අනුව ගත්තොත් අපේ රටේ මුදලින් රුපියල් 12,000ක් පමණ වෙනවා. එය අසාධාරණ මුදලක් යැයි නොසිතූ ඇය එයට කැමති වී සම්මානය සල්ලිවලට ගත්තා.

බහිරවයා ගිල දැමූ සම්මාන දෙක




මාලන් බ්‍රැන්ඩෝ  කියන්නේ නම ඇසූ පමණින් සිනමා රසිකයන් කවුරුත් දන්නා හඳුනන රංගන ශිල්පියෙක් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ජුලියස් සීසර්’, ‛ගෝඩ් ෆාදර්ආදිය ඔහුගේ සුප්‍රකට චිත්‍රපට අතර විශේෂයෙන් සඳහන් කළ හැකියි. ඔහු රංගනයෙන් දායක වූ ඔන් ද වෝටර්ෆ්‍රන්ට්චිත්‍රපටය වෙනුවෙන් ඔහුට 1954 වසරේ දී ඇකඩමි සම්මානය හිමි වුණා. ඔහු එය සිය සම්මාන එකතුව අතර තැන්පත් කොට තිබුණත්, දිනක් එය සොයන විට දක්නට ලැබුණේ එය එතැන නොමැති බවයි. ඔහු සිය දිනපොතේ ඒ ගැන මෙසේ සඳහන් කොට තිබෙනවා. වෝටර්ෆ්‍රන්ට් චිත්‍රපටය වෙනුවෙන් මට ලැබුණු සම්මානයට මොකක් වුණා දැයි මම දන්නේ නැහැ. කාලය ගෙවී යද්දී එය කොතැනකදී හෝ නැති වෙලා.ඔහුට 1973 වසරේ දී ගෝඩ් ෆාදර්චිත්‍රපටය වෙනුවෙන් ද හොඳම නළුවා වෙනුවෙන් ඇකඩමි සම්මානයක් හිමි වුණා. ඔහුට එම අවස්ථාව වර්ජනය කළ නිසා එම සම්මානය ගැනීමේ කාර්යය ඔහු පැවරුණේ සචින් ලිට්ල්ෆෙදර් කියන රංගන ශිල්පිනියටයි. ඔහු ඒ සම්මානය පිළිබඳ සිය දිනපොතේ තබා තිබෙන්නේ මෙවැනි සටහනක්. ඇය මේ සම්මානය මට එවන්න ඇති. ඒත් ඒක කොහේද කියලා මම දන්නේ නෑ.මේ අනුව මාලන් බ්‍රැන්ඩෝට ලැබුණු සම්මාන දෙකම ආගිය අතක් නැහැ.

අවුරුද්දකින් නැතිවුණු සම්මානය




ජෙෆ් ලියොන් බ්‍රිජස් කියන්නේ ඇමරිකානු රංගන ශිල්පියෙක්, ගායකයෙක් සහ චිත්‍රපට නිෂ්පාදකයෙක්. ඔහුගේ පවුලම රංගනයට සම්බන්ධයි. 2009 වසරේ දී ක්‍රේසි හාර්ට්කියන චිත්‍රපටය වෙනුවෙන් ඔහුට හොඳම නළුවාට හිමි ඇකඩමි සම්මානය හිමි වුණා. ඔහු එහි ඉදිරිපත් කළේ බීමත් ගායකයකුගේ චරිතයක්. කෙසේ නමුත් එය ඔහු ළඟ තිබුණේ අවුරුද්දක කාලයක් පමණයි. ඔහුගේ නම ඊළඟ වසරේ ඇකඩමි සම්මානයක් වෙනුවෙන් යෝජනා වෙද්දී මේ සම්මානය ඔහුගේ නිවසේ තිබුණේ නැහැ. කෙසේ නමුත් එම වසරේ ඔහුට සම්මානය හිමි වුණේ නැහැ. ඒ වසරේ සම්මානය හිමි කරගත්තේ ද කිංග්ස් ස්පීච්වෙනුවෙන් කොලින් ෆර්ත්

වැසිකිළියේ නැතිවුණු සම්මානේ




කොලින් ෆර්ත් කියන්නේ ඉංග්‍රීසි ජාතික රංගන ශිල්පියෙක්. ඔහු ගැන ඉහත විස්තරයේ ද කියවුණා. ඔහුට 2010 වසරේ දී ද කිංග්ස් ස්පීච්චිත්‍රපටයේ හයවැනි ජෝර්ජ් රජුගේ චරිතය නිරූපණය කිරීම වෙනුවෙනුයි මේ සම්මානය හිමි වුණේ. මෙය සත්‍ය කතාවක්. මේ සම්මානය හිමි වූ රාත්‍රියේ කොලින් ෆර්ත් එය වැසිකිළියක  අමතක කොට දමා ගොස් තිබුණා. බොහෝ දෙනා සරදමට මෙන් පවසන්නේ ජෙෆ් බ්‍රිජස්ට එවර සම්මානය දිනාගන්නට නොහැකි වීම නිසා ඔහු කළ සාපයක ප්‍රතිඵලයක් වශයෙන් මෙවැන්නක් සිදු වූ බවයි. ඒ සම්මානය ඔහුට හිමි විය යුත්තක් බව ජෙෆ් බ්‍රිජස් නම් පවසා තිබුණා. මේ සම්මානය වැසිකිළි පිරිසුදු කරන්නකු රැගෙන යනු ආරංචි වූ ඔහු පසපස හඹා ගොස් ඔහුගේ අතින් යලිත් සම්මානය ලබා ගන්නට කොලින් ෆර්ත් වාසනාවන්ත වුණා. මෙය ලජ්ජාවට කාරණයක් නිසා පසුව කොලින් ෆර්ත් පැවසූයේ එවැන්නක් සිදු නොව බවයි. නමුත් ඇත්තටම එවැන්නක් සිදු වුණා.  

ගං වතුරේ සැඟවුණු සම්මානය




මැට් ඩේමන් කියන්නේ ඇමරිකානු ජාතික රංගන ශිල්පියෙක්, නිෂ්පාදකයෙක් සහ තිර රචකයෙක්. ඔහු 1998 වසරේ දී ගුඩ් විල් හන්ටින්කියන චිත්‍රපටයේ තිර රචනය වෙනුවෙන් ඇකඩමි සම්මානය දිනා ගත්තා. ඔහු එය නිවසට රැගෙන ගිය බව මතක නමුත් දැන් එය ඇත්තේ කොහිදැයි ඔහුට මතක නැහැ. ඔහු නිවස පෙරළා සම්මානය සෙව්වත් සොයා ගන්නට හැකි වී  ද නැහැ. කෙසේ නමුත් 2007 වසරේ දී ඔහු මෙවැනි ප්‍රකාශයක් කළා. මම හිතන්නේ මේක නැති වෙන්න ඇත්තේ නිව්යෝර්ක්වල අපි හිටපු නිවසේ දියි. අපි ගෙදර නැති වෙලාවක ගලපු ගංවතුරකින් ගේ යට වුණා. එයින් පස්සේ මම ඒ සම්මානය දැක්කේ නැහැ.



අවුරුදු හතළිහකට පසුව හමු වූ සම්මානය




මාග්‍රට් ඕ'බ්‍රයන් කියන්නේ ඇමරිකානු ජාතික චිත්‍රපට, රූපවාහිනී, ගුවන් විදුලි සහ වේදිකා නාට්‍ය ශිල්පිනියක්. ඇය 1944 වසරේ දී හොඳම ළමා නිළියට හිමි බාලක ඇකඩමි සම්මානයදිනා ගත්තා. මෙය අවුරුදු 8 ට අඩු ළමා රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් වෙනුවෙන් ඇකඩමි ආයතනය විසින් ප්‍රදානය කරනු ලබන විශේෂ, ගෞරවනීය සම්මානයක්. ඇය මේ සම්මානය දිනා ගත්තේ සමස්තයක් ලෙස එම වසරේ රංගනයේ යෙදුණු හොඳම ළමා නිළිය ලෙසයි. කෙසේ නමුත් එයින් වසර දහයකට පසු මේ සම්මානය ගැන සොයා බැලූ විට මතක් වී ඇත්තේ එය ඔප දැමීම සඳහා යම් කිසි තැනකට භාර දුන් නමුත් ආපසු ලබා ගන්නට අමතක වූ බවයි. එය නිවසේ මෙහෙකාරියක් හරහා එම ආයතනයට භාර දී තිබුණේ ඇගේ මව විසින්. කෙසේ නමුත් සම්මානය ගැන මතක් වෙද්දී මව මිය ගොස් සිටි නිසා ඔවුන් එම මෙහෙකාරිය අමතන්නට උත්සාහ කළත්, එම දුරකතන අංක ඒ වන විට ක්‍රියාත්මක තත්වයේ තිබුණේ නැහැ. අවසානයේ ඇයට සිදු වූයේ ඇකඩමි ආයතනයෙන් ඒ වෙනුවට සම්මාන පිටපතක් ලබා ගැනීම පමණයි. කොහොම වුනත් කතාව එතැනින් අවසන් වූයේ නැහැ.

1995 වසරේ දී එක්තරා යුවළක් පරණ භාණ්ඩ අළෙවි කරන වෙළෙඳ සල්වල සැරිසරමින් සිටිය දී එහි අළෙවියට තිබූ ඇකඩමි සම්මානයක් දැක තිබෙනවා. ඔවුන් එය මිලට ගෙන ඇකඩමි ආයතනයට ගොස් එහි සුළමුළ විමසද්දී සොයා ගන්නට ලැබුණේ එය මාග්‍රට් ගේ නැතිවුණු සම්මානය බවයි. ඔවුන් එය නැවත මාග්‍රට් හට භාර දුන්නා. ආයේ නම් මේක මොනම හේතුවකටවත් මම ඔපදමන්න නම් භාර දෙන්නේ නැහැ.මාග්‍රට් එහිදී පැවසුවා.

මිකී මවුස් සම්මානය




බින් ක්‍රොස්බි කියන්නේ ඇමරිකානු ජාතික රංගන ශිල්පියෙක් සහ ගායකයෙක්. ඔහුට 1944 වසරේ දී  ගොයිං මයි වේචිත්‍රපටය වෙනුවෙන් ඇකඩමි සම්මානය දිනා ගත්තා. එය ඔහු ඉගෙනුම ලැබූ ගොන්සාගා විශ්ව විද්‍යාලයේ  වසර ගණනාවක් තිස්සේ ප්‍රදර්ශනයට තබා තිබුණා. නමුත් 1972 වසරේ එක් දිනක එම සම්මානය එතැන තිබුණේ නැහැ. සම්මානය වෙනුවට එතන දක්නට ලැබුණේ කුඩා මිකී මවුස් අනුරුවක්. සතියකට පසු එම සම්මානය විශ්ව විද්‍යාලයේම දේවස්ථානයේ තිබී හමු වුණා. එයට කිසිදු හානියක් සිදු වී තිබුණේ ද නැහැ. මට ඕන වුණේ මිනිස්සුන්ව හිනා ගස්සවන්න.එක්තරා නිර්නාමික පුද්ගලයකු මේ සම්මානය නැති වීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයේ පුවත්පතට පසුව දන්වා එවා තිබුණා.

ගඟට දුන්නු සම්මානය




හැටී මැක්ඩැනියල් වඩාත්ම ප්‍රකටව සිටියේ වේදිකා නාට්‍ය ශිල්පිනියක ලෙස වුවත් ඇය 1939 වසරේ දී, ලෝක ප්‍රකට ගෝන් විත් ද වින්ඩ්කියන චිත්‍රපටය වෙනුවෙන් මැමීනම් චරිතය නිරූපණය කළා. ඇයට ඒ වෙනුවෙන් එම වසරේ හොඳම සහාය නිළියට හිමි ඇකඩමි සම්මානය ද හිමි වුණා. ඇය එම සම්මානය තමා අධ්‍යාපනය ලැබූ හොවාර්ඩ් සරසවියට පරිත්‍යාග කළ අතර වසර ගණනාවක් තිස්සේ එය එහි ලලිත කලා ගොඩනැගිලි සංකීර්ණයේ ප්‍රදර්ශනයට තබා තිබුණා. 1960 දශකයේ එක්තරා දිනෙක හදිසියේ දැනගන්නට ලැබුණේ එය එම ස්ථානයෙන් අතුරුදහන් වී ඇති බවයි. එයට කුමක් වූවාද කියා කිසිවකුට හෝ සිතාගන්නට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් පැතිරී ගිය එක් කටකතාවක් වූයේ ඇය නිරූපණය කළ එක් චරිතයකට විරෝධය පෑම සඳහා කවුරුන් විසින් හෝ මෙය පොටොමැක් නම් ගංගාවට විසි කොට ඇති බවයි.

මේසම්මාන නැති වීම් සහ සොරකම් කිරීම්වලින් තෝරා ගත් කිහිපයක් පමණක් වන අතර ලෝකයේ තවත් බොහෝ රටවල් බොහෝ සම්මානවලට මේ ඉරණම අත්ව තිබෙනවා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සිදුවීම අප අත්දුටු පළමු සිදුවීම වන නමුත් එය අවසන් සිදුවීම නම් නොවන්නට බොහෝ විට ඉඩ තිබෙනවා.