පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, October 31, 2020

තරබාරුබව සහ ලෙඩදුක් නසන හුමාල ස්නානය - - Steam Bath or Sauna Bath

 

විදෙස් රටවල ඇති හුමාල ස්නාන කුටි 

ස්නානය හෙවත් නෑම  අපට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. ස්නානය පිළිබඳ කතා කිරීමේදී විවිධ ස්නාන වර්ග තිබේ. ඇතැම් අය ඇල් දිය ද ඇතැම් අය උණු දිය ද ස්නානය කරති. විදෙස් රටවලින් අප රටට පැමිණෙන සංචාරකයෝ හිරු එළිය ස්නානය ප්‍රියකරති. මේ අතර තවත් සුවිශේෂී ස්නාන වර්ගයක් වන්නේ ‛හුමාල ස්නානය’ යි. මෙය ඉංග්‍රීසි sauna යනුවෙන් හඳුන්වනු ලබයි. මේ සඳහා කුඩා කුටියක් යොදාගැනෙන අතර වියළි හෝ තෙත් ස්වභාවයෙන් හුමාල ස්නානය සිදුකරගත හැකි වේ. මෙම කුටියට පිවිසෙන තැනැත්තා සිය ඇඳුම් උනා සිටගෙන හෝ හිඳගෙන සිටින අතර කුටියේ උෂ්ණත්වය සෙල්ෂියස් අංශක 70 - 100 (ෆැරන්හයිට් 158 - 212) අතර උෂ්ණත්වයක් ඇතිකරනු ලබයි. මෙහිදී සිරුරට අනවශ්‍ය මේද ආදී කොටස් දහඩිය මගින් නිකුත්වී  සිරුර ඉහිල්වෙතැයි කියනු ලැබේ. 

හුමාල ස්නානය කොටස් දෙකකි. 

1. සාම්ප්‍රදායික හුමාල ස්නානය 
2. අධෝරක්ත හුමාල ස්නානය 

සාම්ප්‍රදායික ක්‍රමයේදී වාතය උණුසුම් කෙරෙන අතර අධෝරක්ත ක්‍රමයේදී වස්තූන් උණුසුම්කිරීම සිදුවේ. අධෝරක්ත ක්‍රමයේදී අවට උණුසුම්කිරීම සඳහා ගල්අඟුරු, සක්‍රිය කාබන් තන්තු, සහ වෙනත් ද්‍රව්‍ය යොදාගැනේ. 

ඉතිහාසය 

හුමාල ස්නානය මුළින්ම සොයාගැනුනේ යැයි සැළකෙන්නේ ඉපැරණි ෆින්ලන්තයේ ජීවත් වූ ආදී ස්කැන්ඩිනේවියානුවන් විසිනි. මෙය ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන sauna යන වදන යොදාගෙන ඇත්තේ සාම්ප්‍රදායික ෆින්ලන්ත ස්නානය හා ස්නානය කරන මැඳුරු හැඳින්වීම සඳහාය. ඉපැණිම හුමාල ස්නාන කුටි හමුවන්නේ ෆින්ලන්තයෙන් යැයි කියනු ලැබේ. ෆින්ලන්ත වැසියන් සිසිර සෘතුව ගතකිරීම සඳහා පොලොවේ බෑවුම්වල සාරන ලද වලවල් මේ සඳහා යොදාගන්නා ලදී. හුමාල ස්නාන කුටියක් තුළ උඳුනක් හෝ එවැනි ස්ථානයක් තිබේ. එයින් සිදුවන්නේ කුටිය අධික උෂ්ණත්වයකට පත්වන තුරු රත්කිරීමය. ඉන්පසු එහි ඇති ගල් උඩට ජලය විසිකරනු ලබයි. එවිට හුමාලය ඇතිවන අතර උණුසුම තවත් වැඩි වී ඇතැයි එවිට එයට ඇතුළුවන තැනැත්තාට හැඟේ. එවිට එය තුළ සිටින්නන් හට ඇඳුම් උනා දමන්නට හැකිය. මෙසේ නිර්මාණය කරනලද මුල්ම ෆින්ලන්ත හුමාල ස්නාන කුටි වර්තමානයේ හඳුන්වනු ලබන්නේ ‛සවුසවුනා’( savusaunas) යන නමිනි. ඉතා විශාල දර ප්‍රමාණයක් මෙහිදී දවාලනු ලබන අතර ඒ සඳහා පැය 6 - 8 ක් අතර කාලයක් ගත කරයි. එවිට එහි උෂ්ණත්වය පැය 12ක පමණ කාලයක් රැඳී පවතී. ෆින්ලන්තයේ තවමත් මෙවැනි හුමාල කුටි ඇතැම් ස්ථානවල දක්නට ලැබේ. 

ෆින්ලන්ත වැසියෝ හුමාල ස්නානය සිය මනස පිරිසිදු කරගන්නට ද යොදා ගනිති. ඔවුන් විශ්වාස කරන්නේ මෙයින් සිය ආත්මය ද පිරිසිදුවන බවයි. ඔවුහු මියගිය තැනැත්තකු පවා භූමදානයට පෙර  හුමාල ස්නානයකට ලක්කරති. ෆින්ලන්ත වැසියන් සිය නිවෙස්වල පිහිටි හුමාල කුටිවල පවුලේ සියලුදෙනාම එක්ව හුමාල ස්නානයේ යෙදෙති. ඇතැම් ෆින්ලන්ත කාන්තාවෝ හුමාල කුටිවල දරු ප්‍රසූතියට ද කැමැත්තක් දක්වති. කෙසේමුත් වර්තමානයේ ලොව පුරා ප්‍රචලිතව පවතින හුමාල ස්නානය ෆින්ලන්ත සංස්කෘතියට සමීපබවක් දක්වන්නේ නැත. මෙය ලොව පුරා හරිත සංචාරක ව්‍යාපාරයේ මුල්තැනකට ගත් සත්කාර ක්‍රමයක් බවට පත්වී ඇත. ශ්‍රී ලංකාවේ ද දෙස් විදෙස් සංචාරකයන් සඳහා චිකිත්සාවක් සහ සත්කාරක ක්‍රමයක් ලෙස මෙම හුමාල ස්නානය භාවිත කෙරේ. 

හුමාල ස්නානයේ ඉතිහාසය පිළිබඳ බටහිර පසුබිම මෙසේ වුවත් බෞද්ධ පතපොත පරිශීලනයේදී සොයාගත හැකි වන්නේ මෙය බුදුන් වහන්සේ පවා අනුමත කළ චිකිත්සාවක් බව ය. මේ පසුපස එක්තරා රසවත් කතා පුවතක් ද තිබේ. 

විශාලා මහනුවර වැඩිසිටි භික්ෂූන් වහන්සේ ප්‍රණීත ආහාරපාන වැළඳීමේ ප්‍රතිඵලයක් ලෙස ස්ථූලවන්නට පටන් ගැනුණි. එහි ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේලා රෝගී බවට ද පත්වූහ. බුදුන් වහන්සේට ප්‍රතිකාර කළ ‛ජීවක කෞමාර භච්ඡ’ නම් වෛද්‍යවරයා මේ තත්වය පිළිබඳ බුදුන් වහන්සේට දන්වා ඉල්ලා සිටියේ භික්ෂූන් වහන්සේලාගේ ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට නම් ‛ජන්ථාඝර’ සහ ‛චඤ්ඛමණ’ භාවිත කරන්නට උන්වහන්සේලාට අනුදැන වදාළන ලෙස ය. ඒ අනුව බුදුන් වහන්සේ භික්ෂූන්ට ජන්ථාඝරය හා චඤ්ඛමනය කැප වශයෙන් දේශනා කරන ලදී. ජන්ථාඝරය යන්න සිංහලෙන් හඳුන්වනු ලබන්නේ  ‛උණුපැන් හල’ නමිනි. චඤ්ඛමණය යනු ‛සක්මන’ ය. මේ පිළිබඳ කල්පනා කළ බුදුන් වහන්සේ භික්ෂූන්ගේ නිරෝගී සුව පතා මේවා භාවිතය උන්වහන්සේලාට අනුමත කරන්නට ඇත. එම සමයේ බුදු සසුනේ පැවිදි වූ ඇතැම් භික්ෂූන් වහන්සේලා අතර ගිහි සමයේ ඉතා සැපවත් ජීවිත ගත කළ පුද්ගලයෝ ද සිටියහ. එමෙන්ම ගිහි ජීවිතයේදී ගත වෙහෙසා වැඩකටයුතු කළ පුද්ලයන් ද සිටියහ. නමුත් පැවිදිවීමෙන් පසු උන් වහන්සේලාට කය වෙහෙසා වැඩකටයුතු කරන්නට හැකියාවන් හෝ අවස්ථාවක් හෝ ලැබුණේ නැත. භික්ෂූන් වහන්සේලා රාත්‍රී ආහාර ගැනීම පවා නොකළ යුතු දෙයකැයි යැයි බුදුන් වහන්සේ අනුදැන වදාළේ ද මෙසේ වෙහෙස වන්නට අවස්ථාවක් නොතිබූ නිසා විය හැක. එවැන් පාලනයක් පැවතිය ද ඇතැම් භික්ෂූන් වහන්සේලා ස්ථුල තත්වයට පත්වී විවිධ රෝගාබාධයන්ට ලක්වීම ජීවක වෛද්‍යතුමාගේ අවධානයට ලක්වීම අරුමයක් නොවේ.  මෙහිදී අපට පැහැදිලිවම පෙනෙන දෙයක් වන්නේ මෙය භික්ෂූන් වහන්සේලා පමණක් නොව බුද්ධ කාලයේ සිටි ධනවතුන් සහ ප්‍රභූවරුන් තමන්ගේ ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා ජන්ථාඝරය හෙවත් උණුපැන්හල භාවිත කළ බවයි. ජීවක කෞමාර භච්ඡ වෛද්‍යවරයා සිදුකළේ මෙය භික්ෂු සමාජයට හඳුන්වා දී ඒ සඳහා බුදුන් වහන්සේගෙන් අවසරය ලබාගැනීම පමණය. උණුපැන් හලේදී සිදුව ඇත්තේ ද හුමාල ස්නානයමය. 
 ශ්‍රී ලංකාවෙන් හමු වූ පැරණි ජන්ථාඝරයක නටබුන් 

ජන්ථාඝර භාවිත කිරීම පිළිබඳ චුල්ල වග්ගයේ විනය කොටසේ ‛ජන්ථාඝර වත්ත’ යනුවෙන් කොටසක් ද වෙයි. ජන්ථාඝරයක් තුළ භික්ෂූන් වහන්සේ හැසිරිය යුතු අන්දම පවා මෙහි සඳහන් වී තිබේ. ජන්ථාඝර භාවිතය පිළිබඳ විනය නීතියක් පවා බුදුන් වහන්සේට පැනවීමට සිදුවුණේ එක්තරා සිද්ධියක් මුල්කරගෙනය. බුදුන් වහන්සේ ජීවමාන සමයේ භික්ෂූන් වහන්සේලා උණුපැන්හලට ගොස් දොර වසාගත්තාට පසු ඡබ්භග්ගිය, එසේත් නැත්නම් හිතුවක්කාර භික්ෂණ් වහන්සේලා සය නමක් පැමිණ ඒ ජන්ථාඝරයේ දොර වසා දොර ළඟ සිට ගින්දර වැඩි කළහ. එහිදී එය තුළ උෂ්ණත්වය වැඩි වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එතුඝ වැඩ සිටි වයෝවෘධ භික්ෂූන් වහන්සේලා ජන්ථාගාරය තුළ ක්ලාන්ත වී වැටුණි. ජන්ථාඝරයක හැසිරිය යුතු අන්දම පිළිබඳ විනය නීතී පවා පනවන්නට සිදුවී ඇත්තේ මේ නිසාය. 

මිහිඳු මහරහතන් වහන්සේ අප රටට බුදු දහම ගෙන ඒමත් සමඟ මෙම සම්ප්‍රදාය අප රටට ද ලැබිණි. අප රටේ සිටි භික්ෂූන් වහන්සේලා මෙම ජන්ථාඝරවල ස්නානය කිරීමේදී ශරීරයේ විවිධ චූර්ණ වර්ග හෙවත් මැටිවර්ග ආලේප කරගත් බව ඉතිහාස පතපොතෙහි සඳහන් වේ.  අපේ රටේ කළ පුරා විද්‍යා කැණීම්වල දී හෙළිවී ඇති තවත් සුවිශේෂී කරුණක් වන්නේ අතීතයේ භික්ෂූන් වහන්සේලා වැඩසිටි හැම විහාරස්ථානයකම පාහේ උණුපැන්හලක් ද තිබුණු බවය. අනුරාධපුර යුගයට අයත් මහා විහාරය, පබ්බත විහාරය,  පියන්ගල් විහාර වැනි විවිධ සම්ප්‍රදායන්ට අයත් විහාරවල ජන්ථාඝරයක් හෙවත් උණුපැන්හලක් තිබූ බව තහවුරු වේ. මේවා අතුරින් අද වඩාත් හොඳින්ම සුරක්ෂිතව පවතින ජන්ථාඝරය හමුවන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අරන්කැලේ සහ අනුරාධපුරයේ අභයගිරි විහාරයේ ය. මේවා ආශ්‍රිත උණුපැන්හල් කිහිපයක්ම සොයාගෙත තිබේ. ඒවායේ සම්පූර්ණ හැඩතල ද මේ වන විට හඳුනාගෙන තිබේ. එම ජන්ථාඝරවල භාවිත කළ අඟුරු වැනි ද්‍රව්‍ය පවා සොයාගෙන තිබේ. ජන්ථාඝරයක් භාවිත කිරීමෙන් පසු එහා අඟුරු මුළුමණින්ම ඉවත් කළ යුතු බවට විනය නීතියක් ඇත. නමුත් මෙම ඇතැම් ජන්ථාඝරවල අඟුරු තවමත් රැඳී තිබීමෙන් පැහැදිලිවන්නේ කිසියම් හදිසි ආපදා තත්වයක් මත භික්ෂූන් ඒවායෙන් ඉවත් වූ බවය. ඒ අනුව හුමාල ස්නානයෙන් නිරෝගී සුවය ලැබෙන බව බුද්ධ කාලයේ සිට දැන සිටි දෙයක් බවත්, එය බුදුන් වහන්සේ පවා අනුදැන වදාළ බවත් මේ සියල්ලෙන් පැහැදිලි වේ. 

හුමාල ස්නානය නිසා ඇතැම් පුද්ගලයින් තුළ විවිධ සුළු අතුරු ආබාධයන් ඇතිවුව ද, බහුතරයකට එසේ වන්නේ නැත. මෙය ඕනෑම නිරෝගී අයකුට දරා ගත හැකි අත්දැකීමකි. මෙය ස්ත්‍රීන්ගේ සරුභාවය කෙරෙහි ද බලපාන්නේ යැයි ඇතැම් අය පැවසුව ද එහි සත්‍යතාවයක් නැත. නිරෝගී කාන්තාවක හුමාල කුටියකදී දරු ප්‍රසූතියකට කැමැත්තේ නම්, සාමාන්‍ය ප්‍රසූතියකදී ඇතිවිය හැකි බොහෝ ගැටලු ඇති නොවන බැව් ද සොයාගෙන තිබේ. පුරුද්දක් වශයෙන් හුමාල ස්නානය කරන්නන් බොහෝ ලෙඩ රෝගවලින් ද ආරක්ෂාවන බැව් ද සොයාගෙන තිබේ. විශේෂයෙන් හෘද රෝගවලට මෙය බොහෝ යහපත් යැයි අනාවරණය වී තිබේ. සන්ධි රෝග සඳහා ද මෙය සුදුසු ය. හුමාල ස්නානය නිසා සම වියළි තත්වයට පත්වන්නේ යැයි ඇතැමුන් තුළ පවතින විශ්වාසයෙහි සත්‍යතාවක් නැත. කෙසේ හෝ බුද්ධ කාලයේ සිට පැවති මෙම හුමාල ස්නානය චිකිත්සාවක් ලෙස හෝ සත්කාරයක් ලෙස මෙරට සාමාන්‍ය ජනතාවට පත්නොවීම විමතියට කරුණකි. 



Friday, October 30, 2020

තරබාරුව හිසරදයක් වූ ඔබටයි

 




වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකුට ඇති ප්‍රධාන පෙළේ ගැටළුවක් වන්නේ තරබාරු බවයි. මෙය කාන්තාවන්ට මෙනම පිරිමින්ට ද එකසේ බලපානා ගැටළුවක් වුවද මනා හැඩයක් සහිත සිහින් සිරුරකට සහජ කැමැත්තක් ඇති කාන්තාවන් මෙම තරබාරු ගැටළුව පිළිබඳ දක්වන්නේ දැඩි කනස්සල්ලකි. කාන්තා පුවත්පත්, රූපවාහිනි කාන්තා වැඩසටහන් ආදියේ නිතර දක්නට ඇති සිරුර සිහින් කරගැනීමේ ක්‍රම මොවුහු නිරතුරු අත්හදා බලති. විවිධ වෛද්‍යවරු හමුවන්නට යති. ව්‍යයාම කළ හැකි ස්ථානවලට ගොස් ඒවායේ උපදෙස් පිළිපදිති. නමුත් බොහෝ දෙනෙකුට තමන් රිසි හැඩයෙන් යුක්ත සිහින් සිරුර හිමිවන්නේ නැත. මෙයට බොහෝ විට හේතුවන්නේ සිහින් සිරුරකට මග කියනා මූලික කරුණු බොහෝ දෙනෙක් විසින් අමතක කිරීම හෝ නොසළකා හැරීමය. ප්‍රායෝගිකව, පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි එවැනි කරුණු කිහිපයක් පිළිබඳ අද අප කතා කරන්නට සිතුවේ එබැවිනි. 

බොහෝ දෙනෙකු විවිධ ඖෂධ වර්ග මගින් සිරුර සිහින් කරගැනීමට උත්සාහ දරතත්, එය සෞඛ්‍ය සම්පන්න නොවන බැව් මුළින්ම පැවසිය යුතුය. එබැවින් ස්වභාවික ක්‍රම අනුගමනය කිරීම සෞඛ්‍ය සම්පන්නවනවා සේම අනාගතයේ වැළිඳිය හැකි ලෙඩරෝගවලින්ද වැළකෙන්නට හේතුවක් ද වන්නේය. මේ පවසන්නට සූදානම් වන්නේ ඔබට පහසුවෙන් අනුගමනය කළ හැකි පියවර කිහිපයකි. මේවා නිවැරදිව, දිනපතා අනුගමනය කිරීමෙන් ඔබටම මෙහි ප්‍රතිඵල අත්විඳිය හැකිය. 

1. දිනකට කුඩා ආහාරවේල් පහක් අරගන්න 
උදෑසන ආහාරය සමග දිනකට ඔබ ගන්නා ආහාර වේල් සංඛ්‍යාව පහකට සීමාකරගන්න. බොහෝ දෙනෙක් උදෑසන ආහාරය පිළිබඳ වැඩි සැළකිල්ලක් දක්වන්නේ නැත. නමුත් උදෑසන ආහාර නොගැනීම හේතුවෙන් ඔබට තරමක් දිවා කාලය වනවිට දැඩි කුසගින්නක් ඇතිවීම ස්වභාවිකය. මන්ද පසුගිය රාත්‍රියේ සිටම හරිහැටි ආහාරයක් කුසට නොලැබුණු නිසාය. දිනය ආරම්භ කන්නට නම් හොඳ ආහාරයක් අවශ්‍යය. උදෑසන ආහාරය නොගැනීම නිසා දිවා කාලය වන විට ඇතිවන අධික කුගින්න සමනය කිරීමට බොහෝ දෙනා පමණ ඉක්මවා ආහාර ගන්නා බව පෙනෙන්නට තිබේ. මෙසේ පමණ ඉක්මවා ආහාර ගැනීම තරබාරුවට මූලික් පියවර තැබීමකි. එබැවින් එසේ නොකර දිනකට කුඩා ආහාර වේල් පහක් ලබාගත යුතුය. එය සිරුරේ පරිවෘත්තීය ක්‍රියා නිසි අයුරින් සිදුවීමට හේතුවක් වනවා සේම සිරුර සිහින් කරගැනීමට මුල් පියවර තැබීමක් ද වන්නේය. 

2. වැඩියෙන් ජලය පානය කරන්න 
බොහෝ දෙනෙක් පිපාසය ඇති අවස්ථාවකදීද එය කුගින්න යැයි වටහාගෙන ආහාර ගැනීමට පෙළෙඹෙන බැව් පෙනෙන්නට තිබේ. ජලය වැඩි වැඩියෙන් පානය කරනා විට සිරුරය අනවශ්‍ය දෑ බැහැර කිරීමට ද වැඩි වැඩියෙන් අවස්ථාව හිමිවේ. මෙය ද සිරුර සිහින්වීමට අවශ්‍ය දෙයකි. දිනකට අඩුම තරමේ ජලය බෝතල් අටක් (8) වත් පානය කළ යුතුයැයි පැවසේ. ඔබ වැඩි වැඩියෙන් වෙහෙසවන අවස්ථාවක වැඩි වැඩියෙන් ජලය පානය කළ යුතුය. එවිට දහදිය දැමීම ද යහමින් සිදුවේ. 

3. පළතුරු වැඩි වශයෙන් ආහාරයට එකතු කරගන්න 
පළතුරු වැඩි වශයෙන් ආහාරයට ගන්න. එමෙන්ම ඔබ නිවසින් බැහැර යනවිට බෑගයේ කුමක් හෝ පළතුරක් දමාගෙන යාමට මතක තබාගන්න. ඔබට යම්කිසි අවස්ථාවක කුසගින්නක් දැනුනහොත්, සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලබාගැනීමට අවස්ථාවක් ද නොමැතිනම් කළ යුතු හොඳම දෙය මෙම පළතුර ආහාරයට ගැනීමය. එය සිරුර තරබාරුවට හේතුවක් නොවන අතර සෑහෙන වේලාවක් ගතවන තුරු කුසගින්න ද නිවා දමනු ඇත. යම් ලෙසකින් ඔබ ඒ වෙනුවට වෙනත් ආහාරයක් ලබාගත්තේ නම් එය නිසැකවම සිරුර තරබාරුවට හේතුවන බර ආහාරයක් වන්නට  ඉඩ තිබේ.  

4. සෙමින් ආහාර ගන්න 
හදිසි කාර්යයටකට යාමට ඇත්තා සේ ආහාර අනුභව කිරීමේ පුරුද්දෙන් ඈත්වන්න. එමෙන්ම, “තව පොඩ්ඩක් කෑවා නම් හරි” යැයි සිතෙන විට ආහාර ගැනීම නවත්වන්න. කුස සම්පූර්ණයෙන්ම පිරී ඇති බැව් මොලයට තේරුම් ගැනීමට අඩුම වශයෙන් මිනිත්තු 20ක්වත් ගතවේ. එබැවින් කුස හොඳින්ම පිරුණු බව ඔබට දැනෙන විට, තවත් මිනිත්තු 20කට පසුව මොලය එය තේරුම් ගන්නේ පමණට වඩා ආහාර ලබාගෙන ඇති අවස්ථාවක් ලෙසය. 

5. ආහාර ගන්නා ප්‍රමාණය පිළිබඳ සැළිකිලිමත්වන්න 
අධික ලෙස ආහාර ගැනීම සිරුරේ බර වැඩිවීමට නිසැක ලෙසම හේතුවේ. එය ඔබ දන්නා දෙයකි. ඔබ ගන්නා ආහාර ප්‍රමාණය පිළිබඳ සැළකිල්ලක් නොදක්වන්නේ නම් සිදුවන්නේ සිරුර සිහින්වනු වෙනුවට එය තවත් තරබාරු තත්වයට පත්වීමය.  ස්වභාවිකවම සිහින් සිරුරක් ඇති අයගේ ආහාර ගැනීමේ රටාව පිළිබඳ මඳක් විමසිලිමත්වන්න.  ඔවුන් බොහෝ දෙනෙක් ආහාර ලබාගන්නේ කුඩා ප්‍රමාණයන්ගෙන් බැව් ඔබට පෙනෙනු ඇත. 

6. අධික ලෙස කැලරි සිරුරට එක්කරගැනීමෙන් වළකින්න 
වර්තමානයේ ශක්තිජනක පාන වර්ග ගැනීම විලාසිතාවක් බවට පත්ව ඇති බැව් පෙනේ. මේවායේ අධික ලෙස කැලරි අඩුංගුවේ. එමෙන්ම සෝඩා හෝ වෙනත් පැණි බීම වර්ගවලද අධික ලෙස කැලරි ප්‍රමාණයක් අඩංගුය. අධික ලෙස කැලරි සහිත අඩංගු පානවර්ග ලබාගත්ත ද ඒවා දහනය කරන්නට තරම් සිරුරට ව්‍යායමයක් ලැබෙන්නේ නැත. එය සිරුර තරබාරුවට හේතුවකි. එබැවින් එවැනි පාන වර්ග අතහැර අඩු කැලරි හෝ කැලරි කිසිවක් අඩංගු වී නොමැති පාන වර්ග පමණක් පානය කරන්නට හුරුවන්න. එය ද සිරුරේ සිහින් බව ඇතිකරගැනීමට පිටිවහළක් වනු ඇත. 

ඔබට මෙම පියවරයන් නියමාකාරයෙන් අනුගමනය කරන්න. හැකි සෑම අවස්ථාවක සිරුරට ව්‍යයාමද ලබාදෙන්න. එවිට මනා හැඩයෙන් යුක්ත සිහින් සිරුරක් හිමි කරගන්නට ඔබට දැඩි වෙහෙසක් දරන්නට සිදුවන්නේ නැත.

Tuesday, October 27, 2020

පොම්පියෝ කියන්නේ කවුද?



මේ දිනවල අපට නිතර ඇසෙන්නට වූ නමක් තමයි ‘පොම්පියෝ’ කියන්නේ. එයට හේතුව වුණේ ඔහු පැය කිහිපයකට අපේ රටේ සංචාරයකට පැමිණීමත්, ඒ පැමිණීම පසුපස කුමක් හෝ කුමන්ත්‍රණයක් පවතින බව නන් දෙසින් ඇසෙන්නට වීමත් නිසයි. ඇත්තටම මේ පොම්පියෝ කියන්නේ කවුද?


මයිකල් රිචඞ් පොම්පියෝ කියන්නේ ඇමරිකානු දේශපාලඥයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, ව්‍යාපාරිකයෙක් සහ නීතිඥයෙක් හැටියට හඳුන්වා දෙන්නට පුළුවන්. 2018 අප්‍රේල් මාසයේ සිට අද දක්වා ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ 70 වැනි රාජ්‍ය ලේකම් ලෙස කටයුතු කරනවා. හිටපු හමුදා නිලධාරියකු වන ඔහු 2017 අප්‍රේල් මාසයේ සිට 2018 අප්‍රේල් මාසය දක්වා ඇමරිකානු ඔත්තු සේවය වන සී.අයි.ඒ. ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා. ඔහු දක්ෂ බුද්ධි නිලධාරියකු ලෙස ද ප්‍රකටයි. 


කෙසේ නමුත් ඇමරිකාව තුළ නම් ඔහු ප්‍රකටව  ඇත්තේ අසාර්ථක රාජ්‍ය නිලධාරියකු ලෙසයි. විශේෂයෙන් කොවිඞ් 19 වසංගතය ඇතිවීමත් සමග ලෝකයේ සෙසු රටවල් සමග සහයෝගීව කටයුතු කොට ඇමරිකාව තුළ මෙය ව්‍යාප්ත වීම වළක්වා ගන්නවා වෙනුවට රටවල් සමග අමනාප වීම් සිදු කළ බව ඇමරිකානුවන්ම චෝදනා කරනවා. චීනයේ වුහාන් හි රසායනාගාරයක් තුළ කොව්ඩි 19 වෛරසය කෘත්‍රිමව නිපදවූ බවට වූ පුවත නිර්මාණය කරන ලද්දේ ඔහු විසින් බව ඇමරිකානු ජනමාධ්‍යම පවසා සිටිනවා. 


වොෂිංටන් පෝස්ට් පුවත්පත පවසා සිටියේ ඇමරිකානු ඉතිහාසයේ සිටි අසාර්ථකම, අදක්ෂම, නරකම රාජ්‍ය ලේකම්වරයා මොහු බවයි. කොව්ඩි 19 ට එරෙහි සටනේ දී ඔහු ඒ සඳහා ක්‍රියාකාරී ලෙස සහයෝගය පළ නොකළ බවයි පැවසෙන්නේ.  ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලෙස ඔහුට පැවරී තිබුණු බලය ඔහු භාවිත කළේ මන්ද බුද්ධික ස්වභාවයෙන්. ඔහු එහි දී කළේ වෛරසය සමග සටන් කරනවා වෙනුවට ලෝකයේ රටවල් සමග මතවාදී යුද්ධයක් ආරම්භ කිරීම පමණයි. 


කොවිඞ් වසංගතය නිසා දැඩි වෛද්‍ය අවශ්‍යතාවයක පැවති ඉරානයට උපකාර කරන ලෙස බොහෝ දෙනෙක් ඇමරිකාවෙන් ඉල්ලා සිටිය ද එය ඉටු නොවුණේ පොම්පියෝ නිසා බව පැවසෙනවා. ඉරානයට උපකාර කරනවා වෙනුවට ඔහු කළේ එරටට එරෙහි සම්බාධක තවතවත් දැඩි කිරීම පමණයි. 


දැඩි ට්‍රම්ප් හිතවාදියකු වූ පොම්පියෝ,  අපේ රට තුළ කොවිඞ් නැවත හිස ඔසවන කාලයක පැය කිහිපයකට පමණක් පැමිණීම පිළිබඳ විවිධ පාර්ශ්ව එල්ල කරන චෝදනාවල සත්‍යයක් නැතිවා විය නොහැකියි. 


ඇමරිකානු ජනතාව ගැන හෝ නොසිතන, අසාර්ථක රාජ්‍ය නායකයකු වන ඔහු ට්‍රම්ප් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පසුබට නොවන පුද්ගලයකු ලෙස ද ප්‍රකටයි. එසේ හෙයින් ඔහුගේ ශ්‍රි ලංකා ගමන ට්‍රම්ප් වෙනුවෙන් කරනා ‘පිම්පි’ කාර්යයක් වන්නට ඇති ඉඩකඩ ද බොහොමයි.


 


Sunday, October 25, 2020

සීසර්ව ඇත්තටම මැරුවේ කවුද? - Who Really Killed Julius Caesar?

ජුලියස් සීසර්


20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී එය සම්මත කර ගන්නට විපක්ෂයේ පිරිසක් ද ඡන්දය පාවිච්චි කළ බව කිරි ගහට ඇන්නා සේ දන්නා කවුරුත් කාරණයක්. මේ ඡන්දය දුන් අයගෙන් ඩයනා ගමගේ කියන විපක්ෂ මන්ත්‍රීවරිය තමා විපක්ෂයේ සිට වුවත් ආණ්ඩු පක්ෂය ගෙනා මේ සංශෝධනයට පක්ෂව ඡන්දය පාවිච්චි කළ කාරණය සාධාරණීකරණය කරන්නට ඉතිහාසයෙන් කතාවකුත් පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළා. ඇය ඒ කතාව පටන් ගත්තේ මෙන්න මේ විදියටයි.





“ඇන්ටෝනියෝ රෝමයේ සීසර්ව මරපු වෙලාවේ . . . .”


අපේ කතාව කරගෙන යන්න අපට මේ වචන ටික හොඳටම ඇති.


මේ කතාව අහපු වෙලාවේ එකපාරට දැනුණේ නැතිවට ඉතිහාස කතාව මතක් කරන කොටයි උඩගිහින් බිම වැටුණේ. මම දැනගෙන හිටිය කතාවේ සීසර්ගේ මරණය සිද්ධ වුණේ මෙහෙම නෙවෙයි නේ කියලා මතක් වෙලා හීන් දාඩිය දැම්මා. කෝකටත් මේ ගැන හොයා බලන එක හොඳයි කියලා හිතුණා. විකිපීඩියාවේ සීසර්ගේ මරණය ගැන සඳහන් වෙන කතාව සරලව මෙන්න මෙහෙමයි.


සීසර්ගේ ඝාතනය වින්සෙන්සෝ කැමුච්චිනි විසින් මෙසේ සිතුවමට නගා තිබෙනවා


“රෝම ඒකාධිපතියා වූ සීසර්, රෝම දින දසුනේ 74 වැනි දිනය හෙවත් අප දන්නා දින දර්ශනයට අනුව මාර්තු 15 වැනිදාවක සෙනෙට් සභික පිරිසක් විසින් ඝාතනය කරනු ලැබුවා. ඒ ක්‍රි.පූ. 44 දී රෝමයේ පොම්පේ නගරයේ සුප්‍රකට රඟමඬළේ පැවැති සෙනෙට් රැස්වීමක දී. සීසර් කෙමෙන් කෙමෙන් තමන්ගේ බලය වැඩිකරගනිමින් ඒකාධිපති තත්ත්වයකට පත් වේ යැයි සෙනෙට් සභිකයන්ට ඇති වූ බිය මේ ඝාතනයට හේතු වූ බව පැවසෙනවා. මේ කුමන්ත්‍රණයට සෙනෙට් සභිකයන් 60 දෙනෙකුවත් සම්බන්ධ වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. මේ කුමන්ත්‍රණයේ මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ මාර්කස් බෲටස්, ගායිස් කැසියස් ලොන්ගිනස් සහ ඩෙසිමස් ජූනියස් බෲටස් ඇල්බිනස් යන අයයි. මේ අතුරින් සීසර්ට අවසන් පිහි පහර එල්ල කරමින් ඔහුගේ ඝාතකයා ලෙස ලෝක ඉතිහාසයට එක් වී සිටින්නේ මාර්කස් බෲටස්.”


සීසර්ගේ ඝාතක බෲටස්


මේ කතාවට අනුව නම් සීසර් මරා දමන්නේ ඇන්ටෝනියේ නම් පුද්ගලයකු නොවේ. නමුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හැන්සාර්ඞ් වාර්තාවට අනුව මින් මත්තට සීසර්ගේ ඝාතකයා ලෙස බෲටස් හැරුණු විට ඇන්ටෝනියෝ නමැත්තෙක් ද සිටින බව විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා.


එතකොට ඇන්ටෝනියෝ කියන්නේ කවුද?


මාර්ක් ඇන්ටනී

ජූලියස් සීසර්ගේ චරිතයත් සමග සම්බන්ධ වෙන ‘ඇන්ටෝනියෝ’ කියන්නේ ‘මාර්කස් ඇන්ටෝනියෝස්’ නම් චරිතය යි. ඔහු වඩාත් ප්‍රකටව ඇත්තේ ‘මාර්ක් ඇන්ටනී’ හෝ ‘ඇන්ටනී’ නමින්. අප රටේ ඔහුගේ නම සිංහලට පරිවර්තනය වී ඇත්තේ ‘අන්තෝනියෝ’ නමින්.


මාර්ක් ඇන්ටනී ද මේ ඝාතනයේ සිටියාද?


ඔගස්ටස් සීසර්



ඩයනා ගමගේ මන්ත්‍රීතුමියට අනුව සීසර් ඝාතනය කරනු ලැබුවේ ‘අන්තෝනියෝ’ වූවාට ඉතිහාස කතාවේ මාර්ක් ඇන්ටනී කියන්නේ සීසර්ගේ ඝාතනයෙන් පස්සේ රෝමය නැවත ගොඩ නගන්නට  පැමිණි, සීසර්ගේ උරුමකරු වන ඔගස්ටස් සීසර්ට සහය දුන් දේශපාලඥයෙක් සහ ජෙනරාල් කෙනෙක් විදියටයි සඳහන් වී තිබෙන්නේ. 


ඔන්න ඕක තමයි ඉතිහාස කතාව.


හැබැයි ඩයනා ගමගේ මන්ත්‍රීතුමියගේ කතාව මාර්ක් ඇන්ටනී ට දැන ගන්න ලැබුණොත් කවුරු ඝාතනය වෙයිද කියන එක නම් කොවිඩි අපේ රටේ සමාජගත වෙන දවස ගැන රජය නිවේදනය කරන දවස වගේම අවිනිශ්චිත දෙයක් කියා අවසන් වශයෙන් කිව යුතුයි. 


Thursday, October 22, 2020

සිතුල්පව්ව රාජමහා විහාරය




තිස්සමහාරාමය - ‍යෝධකණ්ඩිය මාර්ග‍යේ යාල ව‍නෝද්‍යානයට සැතපුම් 18ක් පමණ ගමන් කිරී‍මෙන් සිතුල්පව්ව විහාරයට ප්‍ර‍වේශ විය හැකි ය. තිස්සමහාරාම ප්‍රාදේශීය ‍ලේකම් ‍කොට්ඨාසයට අයත් වේ.

සිතුල්පව්ව චෛත්‍යය




මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමන සිහිවීම සඳහා ආගමික උත්සව පැවැත්වෙන ප‍්‍රධාන ස්ථානය අනුරාධපුරයයි. දෙවන ස්ථානය වශයෙන් සැළකිය හැක්කේ සිතුල් පව්වයි. හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ මාගම්පත්තුවේ පිහිටා ඇති මේ පුද බිම චිත්තපබ්බතචිතලපවනයන නම් වලින්ද හැඳින්වේ. පර්වතය මත ඉදි කළ චෛත්‍යයකි. මේ පුදබිම තනවා ඇත්තේ රුහුණු රට රජ පැමිණ රට කරවූ කාවන්තිස්ස රජතුමාය. මේ ස්ථානයේ දාන ශාලා ධර්ම ශාලා , උපෝසථ ශාලා, ගිමන්හල් සක්මන් මළු ආදිය කරවු එතුමා දොළොස් දහසක් මහ රහතන් වහන්සේලා වැඩමවාගෙන සත්දිනක් උත්සව පවත්වා සිතුල්පව්ව සඟ සතු කර පූජා කළ බවද කියැවේ.

සිතුල් පව්ව, මහ සිතුල් පව්ව සහ කුඩා සිතුල්පව්ව යනුවෙන් කොටස් දෙකකි. මෙහි අතීතයේ මහ රහතන් වහන්සේට සෙවණ දුන් ගුහා සිය ගණනක් හමුවී ඇත.

 රාජ්‍ය වර්ෂ පූර්ව 161 දී (බු.ව. 383) අනුරාධපුර රාජධානියේ රජ පැමිණ වසර තුනක් රට කරවූ ගාමිණී අභය (දුටුගැමුණු) රාජ්‍ය වර්ෂ පූර්ව 137 දී (බු.ව. 407 ) එම රාජධානියේ රජ පැමිණ වසර දහ අටක් රට කරවූ සද්ධාතිස්ස රාජ්‍යවර්ෂ 65 දී (බු.ව.608) එම රාජධානියේ රජ පැමිණි වසර හතළිස් හතරක් රට කරවූ වසභ රාජ්‍ය වර්ෂ 109 දී (බු.ව. 652 ) එම රාජධානියේ රජ පැමිණ වසර තුනක් රට කරවූ වංකනාසික තිස්ස , රාජ්‍ය වර්ෂ 134 දී (බු.ව 677) එම රාජධානියේ රජ පැමිණ වසර හයක් රට කරවූ මහල්ලක නාග (මහළුනා ) රාජ්‍ය වර්ෂ 140 දී (මු.ව. 683 ) එම රාජධානියේ රජ පැමිණ වසර විසිහතරක් රට කරවූ දෙවන භාතියතිස්ස රාජ්‍ය වර්ෂ 164 දී (බු.ව. 707 ) එම රාජධානියේ රජ පැමිණ වසර විසි අටක් රට කරවූ කණිට්ඨතිස්ස (කණිටුතිස්) ආදී රජවරු සිතුල්පව්වට පැමිණි වැඳපුදා ගෙන ඇත. වසභ රජතුමා සිතුල්පව්ව පුදබිමේ කරවූ පිරිවාර චෛත්‍ය තුනක නටබුන් ආරක්‍ෂා කර ඇත. එතුමා කරවූ ගල් කැටියක්ද මෙහි ඇත. හතරැස් අඩි හතරක පමණ භූමියක පිහිටි මේ ගල් කුළ ඉහළට විහිදී යන නිසාගල්කූඩය යනුවෙන් නම් කර ඇත.

කුඩ ගල හෙවත් ගල් කුඩය

 රාජ්‍ය වර්ෂ 134 දී (බු.ව. 677) අනුරාධපුර රාජධානියේ රජ පැමිණ වසර හයක් රට කරවූ මහල්ලක නාග (මහළුනා) රජතුමා මෙම පුද බිමේ ප‍්‍රාසාදයක් කරවා ඇත. රාජ්‍ය වර්ෂ 827 දී (බු.ව. 1370 ) බෙරමිණි පාය ) රාජධානියේ රජ පැමිණ වසර දාසයක් රට කරවූ (3 - 4 ) දප්පුල රජතුමා මෙම පුදබිමට ගොන්න විට්ඨිනම් ගමක් පූජා කර ඇත.


පැරණි සිරිපතුලක්


 දොළොස් දහසක් මහ රහතන් වහන්සේ වැඩ සිටි මෙම ඓතිහාසික සිතුල්පව්ව රජ මහා විහාරය අද අලි , කොටි, වලසුන්ගෙන් ගහණ මහ වනයක් මැද පිහිටා ඇති විහාරයක් බවට පත් වී තිබේ. මෙහි පිහිටීම සැලැස්ම සහ නිර්මාණය පුරාවිද්‍යාඥයින්ගේ දැඩි අවධානයට යොමු වූ තිබේ.

 ගාමිණී අභය (දුටුගැමුණු) රජතුමාගේ දස මහා යෝධයන්ගෙන් පළමුවැනියා වූ නන්දිමිත‍්‍ර සහ හත්වැනි යෝධයා වූ වේළුසුමන යන යෝධයන් දෙදෙනා විසින් කරවා පූජා කරන ලද ලෙන් දෙකක් මෙහි ඇත. දුටුගැමුණු රජතුමාගේ තමත් යෝධයකු වූ ඵස්සදේව යෝධයා, සිතුල්පව්ව ගමේ වැසියෙකි.


 භාණක මලියදේව නම් හිමිපාණන් වහන්සේ නමක් සිතුල්පව්ව විහාරයට වැඩම කොට ජජක්ක සූත‍්‍රය දෙසීමෙන් පසු, වයස සැට වසරක් සපිරි තෙරුන් වහන්සේ සැට නමක් රහත් ඵලය ලබා ඇත.

 මෙම පුදබිමේ පුරාවිද්‍යාත්මක අතින් වැදගත් වටිනාකමක් ඇති පැරණි , ස්ථූප ලෙන් විහාර බෝධි සත්ව පිළිම ආදිය දක්නට ලැබේ. ප‍්‍රජා ශාලාවක නටබුන් ද වේ. මෙහි ඇති චිත‍්‍ර සීගිරි සිතුවම් වලට වඩා පැරණි යැයි පුරාවිද්‍යාඥයෝ පවසති.

 රාජ්‍ය වර්ෂ පූර්ව 104 දී (බු.ව. 440 ) අනුරාධපුර රාජධානියේ රජ පැමිණි වට්ට ගාමිණී අභය (වළගම්බා) රජතුමා රාජ්‍ය වර්ෂ පූර්ව 88 (බු. ව. 455) එම රාජධානියේම දෙවන වරටත් රජ පැමිණි වසර දොළහක් රට කරවීය. එම රාජ්‍ය සමයේ ඇති වූ වැමිණිටියා සාගතය නිසා මෙහි වැඩ සිටි දොළොස් දහසක් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු සිතුල්පව්ව පුදබිම පරිහානියට පත්වන්නට විය.

පැරණි විහාරයට ඉහළින් වූ පර්වතයෙහි ඇද තිබූ සිතුවම්වලින් ශේෂවී ඇති කොටස්


ඉන්පසු කරුණු සොයා දැනගත් ගාල්ලේ යටිගල මහා විහාරාධිපතිව වැඩ වාසය කළ පූජ්‍ය කළහේ ශීී‍්‍ර රතනජෝති හිමිපාණන් වහන්සේ ඝන වනයට පිවිසි මෙම පුද බිම වර්ෂ 1927 දී එවකට පැවැති මහා බි‍්‍රතාන්‍ය රජයෙන් අවසර ගෙන වැඩි දියුණු කිරීම ආරම්භ කළහ.

පැරණි සංඝාවාසයක්


Tuesday, October 20, 2020

The Secret - 3 වන කොටස - කැමැත්ත කරා කැමැත්ත ආකර්ෂණය වෙයි

 

ජෝන් ආසරෆ්

                ආකර්ෂණ ධර්මතාව දෙස මා බලන ඉතාමත් සරලතම ආකාරය මෙයයි. මා දකින්නේ මා කාන්දමක් ලෙස නම්, කාන්දමට තවත් කාන්දමක් ආකර්ෂණය වන බවයි.

විශ්වයේ සිටින වඩාත් ප්‍රබලතම කාන්දම ඔබයි. ලොව අන් කිසිදු දෙයකටත් වඩා ප්‍රබල වූ කාන්දම් බලයක් ඔබ සතුයි. මේ අසීමාන්තික වූ කාන්දම් බලය නිකුත් වෙන්නේ ඔබේ සිතුවිලි තුළින්.

-----

බොබ් ඩොයිල්

                කතුවරයෙක්. ආකර්ෂණ ධර්මතාවය පිළිබඳ විශේෂඥයෙක්.

                මූලිකවම ගතහොත්, ආකර්ෂණ ධර්මතාවයෙන් පැවසෙන්නේ කැමැත්ත කරා කැමැත්ත ආකර්ෂණය වන බවයි. නමුත් අප සැබවින්ම ඒ පිළිබඳ නොසිතන තරම්.

-----

ඔබ කැමැති සිතිවිලි ඔබට ආකර්ෂණය වන බව එයින් කියැවෙනවා. ඔබේ ජීවිතයට සම්බන්ධ ආකර්ෂණ ධර්මතාවයන් පිළිබඳ මේ නිදසුන් බලන්න. ඔබ අකැමති යමක් පිළිබඳ සිතන්නට ඔබ කවරදාක හෝ පෙළඹී තිබෙනවාද? එවැන්නක් ගැන සිතීම පවා කෙතරම් අකැමැති දෙයක්ද? එයට හේතුව ආකර්ෂණ ධර්මතාව මගින් ඔබ වඩාත් කැමති සිතිවිලි ඔබ කරා රැගෙන එන නිසයි. ඔබ අකැමැති සිතිවිලි  ඔබේ සිතට ගළා ගෙන එද්දී මිනිත්තු කිහිපයක් තුළ සියල්ල අයහපත් අතට හැරෙනවා ඔබට දැනේවි. තවදුරටත් ඒ පිළිබඳ සිතුවොත් වන්නේ සියලු දෙයම අවුල් සහගත තත්වයකට පත්වීම පමණයි.

ඔබ කැමති ගීතයකට සවන් දෙන විට ඔබ කැමැති සිතිවිලි ආකර්ෂණය වනවා ඔබට දැනේවි.  ඔබට ඒ ගීතය සිතින් ඉවත් කරගන්නට නොහැකි යැයි ද සිතේවි. ඒ ගීතය නැවත නැවත ඔබේ සිත තුල නැවත නැවත ඇසෙයි. ඔබට නොදැනුනත් සිදුවන්නේ ඒ ගීතය කෙරෙහි ඔබේ සම්පූර්ණම අවධානය යොමු වීමයි. එවිට ඒ ගීතයට සම්බන්ධව ඔබ කැමති සිතිවිලි වඩ වඩාත් ඔබ කරා ආකර්ෂණය වන්නට පටන් ගනියි. ආකර්ෂණ ධර්මතාව ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයටයි. එහිදී ඒ ගීතය පිළිබඳ ඔබේ සිතේ කැමැත්ත ඇති වන සිතිවිලිවලින් ඔබේ සිත පිරී යයි.

-----

 ජෝන් ආසරෆ්

මිනිසුන් ලෙස අපගේ කාර්යය වන්නේ අපට අවශ්‍ය කුමන සිතිවිලි ද යන්න පැහැදිලිව අවබෝධ කර ගැනීමයි. අපට අවශ්‍ය කුමක්ද යන්න සහමුලින්ම අපගේ සිත් තුළ පැහැදිලිව    තැන්පත් කර ගැනීමයි. එමෙන්ම එතැන් සිට විශ්වයේ පවතින බලගතුම ධර්මතාව වන ආකර්ෂණ ධර්මතාව ඔබට සමීප කර ගැනීමට උත්සාහ කිරීමයි. ඔබ වැඩි වශයෙන් සිතන්නේ කුමනකාර පුද්ගලයකු වන්නට ද, ඔබ ඒ පුද්ගලයා බවට ඔබ පත් වෙනවා මෙන්ම       ඔබ වඩාත් සිතන ලද දෙය කෙරෙහි ඔබ ආකර්ෂණය ද වෙයි.

-----

ඔබගේ වර්තමාන ජීවිතය යනු ඔබේ අතීත සිතිවිලිවල පිළිබිඹුවක් ලෙස සඳහන් කළ හැකියි.  සියලු ශ්‍රේෂ්ඨ මෙන්ම ශ්‍රේෂ්ඨ යැයි ඔබ නොසිතන දෑ ද එහි ඇතුළත් වෙනවා. ඔබ වඩාත්ම සිතන දේවල්වලට ඔබ ආකර්ෂණය වන බැවින්,  ජීවිතයේ සෑම කාරණයකට ම අදාළ ප්‍රධාන පෙලේ සිතිවිලි මොනවාදැයි හඳුනා ගැනීම ඔබට වඩා පහසු වෙනවා. එයට හේතුව ඔබ අත්දැකීම් ලබා ගෙන ඇත්තේ ඒවා පිළිබඳව නිසයි. ජීවිතය තුළ තේරුම් ගැනීමට අපහසුව තිබුණු රහස මෙයයි. එය අවබෝධ කර ගත්තොත් ජීවිතයේ සෑම දෙයක්ම වෙනස් කිරීමේ හැකියාව ද ඔබට ලැබෙනවා.

-----

බොබ් ප්‍රොක්ටර්

ඔබ යමක් සිතින් දකින්නේ නම්, ඔබට එය දෑතින් අල්ලා ගන්නටත් හැකියි.

ඔබට අවශ්‍ය කුමක් දැයි ඔබට සිතින් දැකිය හැකි නම්, එය ඔබේ ප්‍රධානතම සිතිවිල්ල බවට පත් කර ගත හැකි නම්, ඔබ එය ඔබේ ජීවිතයට ළං කරගන්නට අපහසු වන්නේ නැහැ.

-----

මයික් ඩූලි

කතුවරයකු සේම ජාත්‍යන්තර දේශකයෙක්.

මේ ධර්මතාව සිතිවිලි ජීවමාන වේයනුවෙන් සරල වචන තුනකින් විස්තර කළ හැකියි.

-----

වඩාත් ප්‍රබල ධර්මතාව වන මෙය තුළින් ඔබේ සිතිවිලි ඔබේ ජීවිතයේ අංග බවට පත් වෙනවා. සිතිවිලි ජීවමාන වෙනවා. මෙය ඔබටම නිතර පවසා ගැනීමෙන් එය ඔබේ සිතෙහි තැන්පත් වන්නට ඉඩ හරින්න. ඔබේ ප්‍රධාන සිතිවිල්ල එය බවට පත් වන්නට ඉඩ හරින්න. එවිට ඔබේ සිතිවිලි ජීවමාන වෙනවා. 

-----

ජෝන් ආසරෆ්

බොහෝ දෙනෙකු වටහා නොගන්නා දෙයක් වන්නේ සිතිවිලිවලට සංඛ්‍යාතයක් ඇතැයි          යන්නයි. අපට             සිතිවිලි මැනිය හැකියි. ඔබ ඒ සිතිවිල්ල පිළිබඳ නැවත නැවත සිතන්නේ නම්, ඔබට සිහිනයක් වී ඇති මෝටර් රථය සිතින් දකින්නේ නම්, ඔබට අවශ්‍ය මුදල්, ඔබේම ව්‍යාපාරික ස්ථානයක්, ඔබේ ජීවන සහකරු හෝ සහකාරිය කුමනකාර විය යුතුද යන්න පිළිබඳ නිතර සිතන්නේ නම්, ඔබේ සිතිවිලිවලින් නිරන්තරයෙන් එක්තරා සංඛ්‍යාතයක් නිකුත් වන්නට පටන් ගන්නවා.

 -----

ආචාර්ය ජෝ විටාලි

සිතිවිලිවලින් චුම්බක සංඥාවක් නිකුත් වන අතර ඒවා සමාන්තරව ඔබ කරාම නැවත පැමිණෙයි.

-----

මෙහිදී චුම්බකය හෙවත් කාන්දම වන්නේ ඔබේ සිතේ ඇති වන ප්‍රමුඛතම සිතිවිල්ලයි. ප්‍රමුඛ සිතිවිල්ල යනුවෙන් හැඳින්වෙන්නේ නිතරම පාහේ  සිතේ පවතින සිතිවිල්ලයි. එමෙන්ම, අප මෙතෙක් කතා කළ ධර්මතාව වන්නේ කැමැත්ත කරා කැමැත්ත ආකර්ෂණය වේය යන්නයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ සිතේ ඇති වූ ප්‍රමුඛතම සිතිවිල්ල කරා ඒ හා සමාන තවත් සිතිවිල්ලක් ඉබේම ආකර්ෂණය වෙනවා.

                - චාල්ස් හානෙල් (1866 - 1949)

-----

සිතිවිලි කාන්දම් බලයෙන් යුක්ත වන අතර ඒවාට සංඛ්‍යාතයක් තිබෙනවා. මේ සිතිවිලි විශ්වයට යවන්නට ඔබ සිතුවහොත්, ඒවා තමාට සමාන සංඛ්‍යාතයෙන් යුක්ත සියලු දෑ තමා කරා ආකර්ෂණය කර ගන්නවා. බැහැරට යවන ලද සියලු දේ යළි පිටත් කළ තැනටම ආපසු පැමිණෙනවා. ඒවා පිටත් කළ තැන වන්නේ ඔබම යි.

අපට එය තවත් සරලව මෙසේ තේරුම් ගත හැකියි. රූපවාහිනී විකාශනාගාරයකින් සිය විකාශන කටයුතු සිදුකරනුයේ විවිධ සංඛ්‍යාතයන් ඔස්සේයි. එම සංඛ්‍යාත ඔබේ රූපවාහිනී යන්ත්‍රය තුළ දී නැවත රූප සහ ශබ්ද බවට පත් වෙනවා. එය සිදුවන්නේ කෙසේ දැයි අප බොහෝ දෙනෙකු දන්නේ නැහැ. නමුත් සෑම නාලිකාවකටම සංඛ්‍යාතයක් ඇති බවත්, අප එම සංඛ්‍යාතයට රූපවාහිනී යන්ත්‍රය සුසර කළ විට අපගේ රූපවාහිනී තිරය මත රූප දර්ශනය වන බවත් අපි දන්නවා. අප සංඛ්‍යාතය තෝරා ගන්නේ නාලිකාව වෙනස් කිරීමෙන් වන අතර එවිට එම නාලිකාව ඔස්සේ විකාශනය වන රූපය අපට දර්ශනය වෙනවා. අපගේ රූපවාහිනියෙන් වෙනත් රූපයක් නැරඹීමට අවශ්‍ය නම්, අප නාලිකාව වෙනස් කොට නව සංඛ්‍යාතයකට සුසර කර ගත යුතු වෙනවා.

ඔබ ද විකාශන කුළුණක්. ඔබ මෙලොව ඇති සෑම රූපවාහිනි කුළුණකටම වඩා බලවත්. මේ විශ්වයේ පවතින ප්‍රබලතම විකාශන කුළුණ ඔබයි. ඔබේ විකාශනය ඔස්සේ ඔබේ ජීවිතය නිර්මාණය කෙරෙන අතර එමගින් ලෝකය නිර්මාණය වෙනවා. ඔබ විකාශනය කරන සංඛ්‍යාතය ගම් දනව්, නගර, රටවල් සිසාරා පැතිර යනවා. එය මුළු මහත් විශ්වය පුරාම පැතිර යනවා. ඔබ ඒ විකාශනය සිදු කරන්නේ ඔබගේ සිතිවිලි ඔස්සේයි.

ඔබගේ සිතිවිලිවලින් සම්ප්‍රේෂණය වන රූප ඔබගේ සාලයේ ඇති රූපවාහිනිය මත පිළිබිඹු වන ඒවා නොවේ. ඒවා ඔබගේ ජීවිතය පෙන්වන රූපයි. ඔබගේ සිතිවිලි සංඛ්‍යාත මවනවා. ඒවා එම සංඛ්‍යාතයෙහි ඇති කැමැති දේ කෙරෙහි ආකර්ෂණය වෙනවා. අනතුරුව ඔබේ ජීවිතයේ රූප සටහන් සිතිවිලි මගින් ඒවා නැවත ඔබ වෙත විකාශනය කෙරෙනවා. ඔබේ ජීවිතයේ යමක් වෙනස් කර ගැනීමට අවශ්‍ය නම් ඔබේ සිතිවිලි වෙනස් කොට නාලිකාව සහ සංඛ්‍යාතය වෙනස් කළ යුතු වෙනවා.

-----

බොබ් ප්‍රොක්ටර්

ඔබට අතමිට යහමින් ඇති ජීවිතයක් හිමි බව සිතින් දකින්න. එවිට ඔබ එයට ආකර්ෂණය වේවි.

ඔබ ධනය, සතුට සහිත පරිපූර්ණ ජීවිතයක් ගෙවන්නෙකු යැයි සිතුවහොත්, ඔබ ඔබේ ජීවිතය ප්‍රබල සහ මනා සිහියෙන් යුක්තව ආකර්ෂණ ධර්මතාව ඔස්සේ ඉදිරියට රැගෙන යන්නට හැකියාව ලැබෙනවා එය පහසුයි. නමුත් ගැටලුව වන්නේ එවැනි ජීවිතයක් ලබාගැනීම සඳහා ප්‍රබල ලෙස සිහින මවන්නට අපට ඇති නොහැකියාවයි.

අයහපත වෙනුවට යහපත ආකර්ෂණය කරගන්න

තමාට අවශ්‍ය දෙය තමාට අහිමිවන්නට එකම හේතුව වන්නේ ඔබ ඔබට අවශ්‍ය දෙයට වඩා ඔබට අවශ්‍ය නොවන දේ පිළිබඳ වැඩිපුර සිතීමයි. ඔබ කතා කරනා විට ඔබේ සිතිවිලිවලට සහ   වචනවලට සවන් දෙන්න. ආකර්ෂණ ධර්මතාව සීමාරහිත වන අතර කිසිදා වරදින්නේ ද නැහැ.

බොහෝ දෙනෙක් වරද්දා ගන්නා දෙය වන්නේ අනේ අපට ඕවා ඕන නෑ. එච්චර ලොකු ජීවිතයක් ඕන නෑ. එච්චර ලොකු ගෙවල් අපට මොකටදවැනි සිතිවිලි යි.

මිනිසුන් තමාට අවශ්‍ය නැතයන දේ පිළිබඳ වැඩි වශයෙන් සිතද්දී, කතා කරද්දී, ක්‍රියා කරද්දී සහ අවධානය යොමු කරද්දී ඔවුන්ට ඇත්තටම ඒ දේවල් ලැබෙන්නේ නැහැ.  දැන් ඔබ ඒ සිතිවිල්ල වෙනස් කර ගත යුතු කාලය ඇවිත්. 

-----

බොබ් ඩොයිල්      

ඔබ හොඳ හෝ නරක ලෙස, අවශ්‍ය හෝ අනවශ්‍ය ලෙස යමක් ප්‍රත්‍යක්ෂ කරගැනීම ආකර්ෂණ ධර්මතාවයට අදාළ වන්නක් නොවෙයි. එය ප්‍රතිචාර දක්වන්නේ ඔබගේ සිතිවිලිවලටයි. එබැවින් ඔබ ණය කන්දක් පිළිබඳ කල්පනා කිරීමේදී, ඒ පිළිබඳ කරදරයෙන් සිතීමේ දී, ඔබ විශ්වයට මුදා හරින්නේ එම සංඥාවයි. මට තියෙන ණය කන්දරාව ගැන හිතෙන කොට හැම දේම එපා වෙනවා.මෙසේ පැවසීමෙන් ඔබ ඒ බර ඔබටම පටවා ගන්නවා.  එය ඔබේ ජීවිතයේ කුමන මට්ටමක දී වුවත් ඔබට දැනෙන්නට පටන් ගන්නවා. මෙසේ සිතද්දී  ඔබ වැඩි වැඩියෙන් ලබා ගන්නට යන්නේ ඒ බරයි.

ආකර්ෂණ ධර්මතාව යනු සොබා දහමේ නීතියයි. එය එක් එක් පුද්ගලයාට එක් එක් ආකාරයෙන් බලපානා දෙයක් නොවෙයි. ඔබ සිතන්නේ කුමක් පිළිබඳ වුවත්, ආකර්ෂණ ධර්මතාව නිතැනින්ම එය ඔබට ලබා දෙයි.

-----

ලිසා නිකොල්ස්

කතුවරියක්. පුද්ගල පෞරුෂය බල සම්පන්න කිරීමේ විශේෂඥවරියක්.

ආකර්ෂණ ධර්මතාව සැබවින්ම ඔබට අවශ්‍ය පරිදි වෙනස් කර ගත හැකියි. ඔබට අවශ්‍ය දෙය පිළිබඳ ඔබ සිතද්දී, ඔබේ සියලු අවධානයන් යොදා ඒ කෙරෙහි යොමු වෙද්දී, ආකර්ෂණ ධර්මතාව සෑම විටම ඔබට අවශ්‍ය දෙය ලබා දෙනවා. එපා’, ‘නැතහෝ නැහැවැනි ඍණාත්මක වචන ආකර්ෂණ ධර්මතාව සමග පරිහරණය කිරීම නොකළ යුතුයි. ඔබ ඍණාත්මක වචන කතා කරද්දී, ඔබට ලැබෙන්නේ ඍණාත්මක දේවල්.

-----

බොබ් ප්‍රොක්ටර්                

ඔබ විශ්වාස කළ ද, නොකළ ද, තේරුම් ගත්ත ද, නොගත්ත ද ආකර්ෂණ ධර්මතාව සෑම විටම ක්‍රියාකාරීයි.

ආකර්ෂණ ධර්මතාව යනු බොහෝ ආගම්වල දැක්වෙන මැවුම්කාර ධර්මතාවයයි. ක්වොන්ටම් භෞතික විද්‍යාඥයන් පවසන්නේ සමස්ත විශ්වයම සිතිවිලිලකින් උපන් බවයි ඔබේ ජීවිතය ඔබ නිර්මාණය කළේ එක් තනි සිතිවිල්ලකින් සහ ආකර්ෂණ ධර්මතාවයෙන් වන අතර, සෑම පුද්ගලයකුම කරන්නේ එයමයි. ඔබ එය පිළිබඳ දැන සිටි පමණින් එය ක්‍රියාත්මක වන්නේ නැහැ. ඔබ මේ ශ්‍රේෂ්ඨ ධර්මතාව පිළිබඳ, ඔබේ ජීවිතය ජීවත්වන වන බව අවබෝධ කරගන්නා විට,  ඔබ ඇදහිය නොහැකි තරම් බලසම්පන්න පුද්ගලයකු යැයි ඔබට හැඟෙනු නිසැකයි.  

-----                

ලිසා නිකොල්ස්                

ඔබ සිතන ස්වභාවය ප්‍රබල වන තරමට ආකර්ෂණ ධර්මතාව ක්‍රියාකාරී වනවා. ඔබේ සිතිවිලි ගලා යන ඕනෑම මොහොතක ආකර්ෂණ ධර්මතාව ක්‍රියාත්මක වෙනවා. ඔබ අතීතය පිළිබඳ සිතද්දී ආකර්ෂණ ධර්මතාවය ක්‍රියාත්මක වෙනවා. ඔබ වර්තමානය හෝ අනාගතය පිළිබඳ සිතද්දී ආකර්ෂණ ධර්මතාව ක්‍රියාත්මක වෙනවා. එය අඛණ්ඩව ඉදිරියට ඇදී යන ක්‍රියාවලියක්.

-----

අප තේරුම් ගත්ත ද, නොගත්ත ද, වැඩි කාලයක් අප ගත කරනුයේ කල්පනා කරන්නටයි. සිතන්නටයි.  ඔබ යමක් පවසයි ද, අසයි ද, ඔබ කරන්නේ කල්පනා කිරීමයි. ඔබ පුවත්පතක් කියවූව ද, රූපවාහිනිය නැරඹුව ද, ඔබ කරන්නේ කල්පනා කිරීමයි. අතීතය පිළිබඳ මතක් කිරීමේ දී ඔබ කරන්නේ කල්පනා කිරීමයි. ඔබ අනාගතය පිළිබඳ යමක් සිතද්දී ඔබ කරන්නේ කල්පනා කිරීමයි. රිය පදවන විට ද ඔබ කරන්නේ කල්පනා කිරීමයි. ඔබ උදෑසන සූදානම් වෙද්දී ඔබ කරන්නේ කල්පනා කිරීමයි. අප බොහෝ දෙනෙක් කල්පනා නොකරන්නේ අප නින්දට වැටුණු විට පමණයි. කෙසේ නමුත් අප නින්දට වැටෙද්දී අවසන් වරට කල්පනා කරමින් සිටි යමක් ඔස්සේ ආකර්ෂණ ධර්මතාව ක්‍රියාත්මක වෙනවා. නින්දට පෙර ඔබ කල්පනා කරන දෙය යහපත් සිතිවිල්ලක් බවට පත් කරගත යුත්තේ ඒ නිසයි.


The Secret - 2 වන කොටස