පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, November 30, 2014

සුමින්දගේ චක්කරං කොටුව සහ ලංකා පොකුණ ගැන මට හිතෙන දේවල් - Lanka Pokuna and Chakkaran Kotuwa, Poems by Suminda Gunarathna


සුමින්ද කියන්නේ ඇහැලියගොඩ කණිෂ්ටෙට යන කාලේ ඉඳන්ම දැනගෙන හිටිය, ඇහැලියගොඩ මැදි මහ විදුහලේ සාමාන්‍ය පෙළ පංතිවලදි ළඟ යාලුවෙක් වුණු තවමත් යාලුවෙක් විදිහට ඉන්න යාලුවෙක්.  පුනරුක්ති දෝෂයක් හරි වෙන මොකක් හරි අවුලක් හරි මේ වාක්‍යයේ තියෙනවා. එහෙම වුණත් ඒක වෙනස් කරන්න ඕන නැහැ. සුමින්ද කියලා මම මේ කියන්නේ සුමින්ද කේ. (කිත්සිරි) ගුණරත්න ගැන. සුමින්ද ඉස්සර ඉඳන්ම කවි ලිව්වා. දැනුත් කවි ලියනවා. පළවෙනි කවි පොත ‛චක්කරං කොටුව’ කියලා ප්‍රකාශයට පත් කරපු උත්සවේ තිබුණේ ඇහැලියගොඩ මහජන පුස්තකාලේ වගේ තමයි මතක. ඒකට එන්න කියලා මටත් කිව්වා. ඒත් මට ඒකට යන්න වුණේ නැහැ. මට කවි ලියන්න බැරි වුණත් කවි විඳින්න පුලුවන්.  ඉතිං මම ඒ පොත ඒ කාලෙම ගත්තා. පස්සේ දවසක මම ඒක යාලුවෙකුට දුන්නා. ඒත් මට ඒක ආපිට ලැබුණේ නැහැ. ඉතිං මෙහෙම ඉන්න කොට සුමින්දගේ අලුත්ම කවි පොත, ‛ලංකා පොකුණ’ ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ මට මතක විදිහට කොළඹ ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේදී අපේ අතට දුන්නා. මම එදා ‛ලංකා පොකුණ’ එක්ක ‛චක්කරං කොටුව’ ත් ගත්තා. මේ පොත් දෙක මෙහෙම ගෙදර තියෙන අතරේ සුමින්ද ළඟදි දවසක කතා කරලා කිව්වා ‛ලංකා පොකුණ’ දෙවැනි වතාවටත් ප්‍රකාශයට පත් කළා, ඒ උත්සවයත් අර කලින් තැනම තියෙනවා එන්න කියලා. ආරියවංශ රණවීර, ඩබ්ලිව්. ඒ. අබේසිංහ, නන්දන වීරසිංහ වගේ තවත් බොහෝ සුප්‍රකට කවීන් මෙතැනට ඇවිත් හිටියා. නොදන්න හුඟක් දේවල් දැනගන්න ලැබෙනවා මේ වගේ තැන්වලට ගියාම. 

මට කවි විචාර ලියන්න දැනුමක් නැහැ. ඒත් තමන්ගේ හිතවතෙක් කවි ලියන කොට ඒක ගැන කාට හරි කියන්න තියෙනවා නම් හොඳයි. ඉතිං මට හිතුණා මගේ බ්ලොග් එකේ සුමින්දගේ කවි ගැන මොනව හරි ලියන්න. මේවා විචාර නෙවෙයි. මගේ යාලුවෙක්ගේ හෘද සංවේදී නිර්මාණ ගැන මට හිතෙන දේවල් ලිවීමක්. 





‛චක්කරං කොටුව’ මුළින්ම මා ළඟ තිබුණු පොතේ පිටකවරේ තිබුණේ පොඩි දරුවෙක් ඇඳපු චිත්‍රයක්. සුමින්ද නාට්‍යවලට සම්බන්ධව වැඩ කළ නිසා වේදිකාවේ තිරය ඇරෙන වැහෙන එක් සංකේතවත් කරන්න ඒ පොතේ මුලටත් අගටත් කලු පාට පිටු දෙකක් දාලා තිබුණා. හැබැයි අලුත් ‛චක්කරං කොටුව’ පෙනුම වෙනස්. කොහොම වුණත් ඒ පොතේ කවි සෑහෙන ගණනකට මම කැමතියි. පිරිනැමීම වුණත් අලුත් විදිහක්. ඒක මෙන්න මෙහෙමයි 





පිදුම

“වැඩක් කරනකොට
ලකයක් ඇතුව කරපං”
තාත්තා මට කිව්වා

“අනේ ... පුතේ ...
පරෙස්සමින්”
අම්මා කියනවා ඇහුණා ...

මම උපන්නේ, ඉස්කෝලේ ගියේ, හැදුනේ වැඩුනේ ඇහැලියගොඩ වුණත් දැන් ඉන්නේ ගමේ නෙවෙයි. සුමින්ද කවි ලියන කොට ස්ථාන නාම, ග්‍රාම නාම හැම එකක්ම වගේ අරන් තියෙන්නේ ගමෙන්මයි. ඉතිං ඒ කවිත් එක්ක මට අතීතයට යන්න පුලුවන්. අතීත කාමයට අකැමති කවුද? මිනිස්සු ගම හොයාගෙන යනවා කියලා යන්නෙත් අතීතයට තියෙන කැමැත්තට නේ. ‛චක්කරං කොටුවේ’ ‛පාවර’ කියන කවියේ එක තැනක මෙහෙම තියෙනවා. 



‛කිරි මුට්ටිය ඇඟ පුරාම ඉහිරවගෙන 

ගඟ පහළින් ආපු කොක්කු 

අඹන්ඔළුවේ කන්දේ හැපිලා නොපෙනී යද්දි 

කුඩ රෙදි මහ තටු විදන් 

සට . . සට . . සට . . 
වවුල් නැටුම් හඬ ඇහෙද්දි 
තෙතබරියං රට්ටම් දැක 
හෝ හපුට්ටෝ ඉංජෙක්සන් කටු විදිද්දි 
තාත්තාගේ හඬ ඇහුණා . . .’ 

ඔන්න මම ඒ කවියත් එක්ක අතීතයට ගියා. අඹන්ඔළුව පන්සල මතක් වෙනවා. පරණ පන්සලක් වගේ තමයි මතක. පරණ උමගක් තියෙන්නේ ඒ පන්සලේ ද මංදා. ඒක නම් මට හරියට මතක නැහැ. ඒ එක්කම හෝ හපුට්ටෝ. ඒ නම මම දැන් ඉන්න බොරලැස්ස පැත්තට ආගන්තුකයි. ‛රට්ටම’ කියලා දවසක් කියපු වෙලාවක අපේ නෝනා කිව්වා “රට්ටම නෙවෙයි අනේ තට්ටම තට්ටම” කියලා. ඒත් මේ කවියේ ‛රට්ටම’ කියලා තියෙන නිසා මම දන්නවා මම කියපු වචනෙත් වරදක් නැහැ කියලා. 


‛ඔබයි මමයි’ කවිය නම් සිංදුවකට හොඳයි කියලා මට හිතෙනවා. මම දන්නේ නැහැ ඒක සිංදුවක් වෙලාද කියලා. සුමින්දට ඒ ගැන අදහසක් පහළ වුණේ නැත්ද මංදා. මම ඒ කවිය මෙහෙම දාන්නම්. 



‛නටුවෙන් ගිලිහුණු මලක් වගේ 

කටුවෙන් රිදවුණු අතක් වගේ 

සුසුමින් පාවුණු සිතක් වගේ 

කඳුළින් නෑවුණු නෙතක් වගේ 

මම ආවා . . . 
මම ආවා . . . 
සංසාරේ මම ආවා 

නටුවෙන් ගිලිහුණු මල දෝතට ගෙන 
කටුවෙන් රිදවුණු අත සුවපත් කර 
 සුසුමින් පාවුණු සිත තුරුලට ගෙන 
කඳුළින් නෑවුණු නෙත කඳුළැලි පිස 
ඔබ ආවා . . . 
ඔබ ආවා . . . 
සංසාරේ ඔබ ආවා’ 

ඇහැලියගොඩ අපේ ගේ ඉස්සරහ ඉස්සර රබර් වත්තක් තිබුණා. දන්දෙනියේ සමූපකාරයට අපි යන්න පුරුදුවෙලා හිටියේ මේ රබර් වත්ත මැදින්. රබර් වත්තේ හැම තැනම එක එක අතට පොඩි අඩිපාරවල් තිබුණා. ගමේ මිනිස්සු එකම තැනින් හැමදාම යනකොට මේ විදහට අඩි පාරවල් හැදිලා තියෙනවා කියලා දවසක් අම්ම කිව්වා. මට ඒ කතාව මතක වෙනවා සුමින්දගේ ‛පිරිසිදු ආතාගේ කතන්දරයක්’ කියන කවියෙන්. ඒ කවිය මෙහෙමයි 



‛වරෙං මගේ මුනුපුරේ 

කතාවක් කියඤ්ඤං . . . 



එකෝමත් එක කාලේ 

මේ ලෝකේ . . . 
පාරවල් තිබුණේ නෑ . . . 

එකතු වී සේරෝම 
එකම අතකට යද්දි . . . 
මතු වුණා නොවැ 
මහ පොලොවෙන් පාරවල්’ 

ඉතිං මේ රබර් වත්ත ඉස්සර තිබුණු අපේ ගෙදරට සුමින්ද ඇවිත් එක එක් දේවල් මාත් එක්ක කතා කරන්න පුරුදු වෙලා හිටියා. හැබැයි ඉතිං මම කළේ අහගෙන ඉන්න එක. මොකද ඒ කියන දේවල්වලට හරි හරියට කියන්න දේවල් මා ළඟ නොතිබුණු නිසා.

සාමාන්‍ය පෙල පංතියේදි අපට ඉස්කෝලේ විද්‍යාව ඉගැන්නුවේ පේමරත්න කියලා අපේ ගෙවල් ළඟ හිටි සර් කෙනෙක්. මේ සර් අපට ‛ප්‍රජනනය’ පාඩම කරන්න පටන් ගත්තේ, 


කිසිම කෙනෙක් අනවශ්‍ය ප්‍රශ්න එහෙම අහනවා නෙවෙයි ඔන්න” 


කියලයි. ඉතිං අපි ඇහුවෙම සර්ට අනවශ්‍ය, ඒත් අපට අවශ්‍ය ප්‍රශ්නම තමයි. හැබැයි සුමින්ද අපට වඩා මේ පාඩම ඉගෙන ගනිද්දි සුන්දර අත්දැකීමක් ලබන්න ඇති කියලා හිතෙනවා. මොකද සුමින්දගේ ‛ප්‍රජනන’ කවියෙ හැටියට මේ පාඩම කරලා තියෙන්නේ අලුත විවාහ වුණු ගුරුතුමියක්. 






සුමින්දගේ තව කවි පොත් තියෙනවා. ඒ ‛ඇහැළී’ සහ ‛නා රජ සහ වේ රජ’. හැබැයි මට ඒවා කියවන්න ලැබිලා නෑ. ඒ නිසා මම ‛ලංකා පොකුණ’ ගැන මොනව හරි ලියන්න හිතුවා. මොකද මේ ලියවිල්ල දිග වැඩි වුණොත් කවුරුවත් කියවන එකක් නැති වෙයි කියලා හිතෙන නිසා.


‛ලංකා පොකුණ’ පොතේ කවි ‛චක්කරං කොටුවේ’ කවිවලට වඩා වෙනස් වගේ දැනෙනවා. මොකද ‛චක්කරං කොටුව’ ලියන කාලේ සුමින්ද තනිකඩ. ඒත් ‛ලංකා පොකුණ’ ට එනකොට ඔහු විවාහ වෙලා. අලුත් ජීවිත අත්දැකීම් මේ පොතට එකුවෙලා නිසා මට මෙහෙම හිතෙනවා වෙන්නත් පුලුවන්. ‛නළු වෙසින්’ කවිය මේ අලුත් ජීවිත අත්දැකීම එක්ක ලියැවුණු එකක් කියලා කිව්වොත් මම හිතන්නේ මම හරි. ඒක දිග වැඩි නිසා ටයිප් කරන්න කම්මැලි. පස්සේ දවසක් ස්කෑන් කරලා දාන්නම්. ‛ශිෂ්ටාචාරයේ වාටිය’ කවියටත් මම කැමතියි. ඒ ගැන බොහෝ දෙනක් විචාරය කරපු ආන්දෝලනාත්මක කවියක්. අර ඉස්කෝලෙක ගෑනු දරුවකුගේ ගවුමේ වැටිය ලිහා දමාපු නිසා ඒ දැරිවිගේ මන්ත්‍රී තාත්තා ගුරුතුමියව දණගස්සපු අසම්ජ්ජාති වැඩේ තමයි කවියෙන් කියන්නේ. 


‛ලංකා පොකුණ’ කවිය කියවන කොට මට එක පාරට මතක් ජපුර සරසවියේ මෙඩිකල් සෙන්ටර් එක පැත්තේ කැලේට යට වෙලා තිබුණු ලංකාව හැඩේ පොකුණ. ඒත් ඒක වැරදියි කියලා හිතුනේ ‛ලංකා පොකුණ’ දෙවැනි කියවීම දා ඩබ්ලිව්. ඒ. අබේසිංහ මහත්තයා නිසා. පේරාදෙනිය මල් වත්තෙත් ලංකා පොකුණක් තියෙනවා කියලා මතක වුණේ එදා තමයි. 


ලංකා පොකුණේ ‛ගිනිකූරකට’ කියන කවිය මට හිතට ඇල්ලුව කවිවලින් එකක්. 


බුදුන් දෙවියන්
පිණිස කැපවූ
කවර පහනක්
දැල්වුව ද ඔබ
ඉටි, සඳුන්, තෙල්
සුවඳකට පෙර
දැනෙන්නේ මට
වෙඩි බෙහෙත් ගඳ

‛අල්ලාහුවක්බර්’ කවියත් මාව අතීතතයට අරන් යන්නේ වෙන මොනවත් නිසා නෙවෙයි ඒ කාලේ ඇහැලියගොඩ ටවුමේ පල්ලියෙන් මේ සද්දේ එනකොටත් අපි කියන්නේ, “අන්න පල්ලිය කෑ ගහනවා” කියලා. ඒ කාලේ මේ හඬ ගැන අපි අමුතු විදිහට නොසිතුවත් මුස්ලිම් සමාජයේම ඉන්න ඇතැම් අයගේ අන්තවාදී කියලා හිතෙන ක්‍රියා නිසා සිංහල සමාජයත් මුස්ලිම් සමාජයත් දැන් ඉන්නේ ටිකක් ඈත්වෙලා. ඒක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඒත් ඒක දැන් ලොකේ පුරාම පැතිරිලා යන භයානක තත්වයක්. 


අලුත් ඉංග්‍රීසි වචනයක් හම්බ වුණාම ඉස්සර නම් මම මා ළඟ තිබුණු මලලසේකර ශබ්දකෝෂයේ ඒ වචනය නැත්නම්, ගැළපෙන තැනක ඒ වචනය මම අතින්ම ලියා ගන්නවා. ‛ප්‍රතිමාරය’ කවිය මට මේ වගේ අලුත් වචනයක් හොයලා දුන්නා. හැබැයි ඒක ශබ්දකෝෂයේ තියෙනවා. ඒ තමයි 
Die-back  කියන එක. විශාල ගසක් ඉහළ සිට පහළට මියයාම තමයි ‛ප්‍රතිමාරය’ කියන්නේ. ඒක මට අලුත් වචනයක්. 

අපේ අම්මගේ ගම කුරුවිට නිසා එහේ ගියාම කුරු ගඟේ නානවා. ‛සියඹලාගස්දලුව’ කියන තැන තමයි අපි නාන්න පුරුදු වෙලා හිටියේ. ‛තාම කුරු ගඟ ගලනවා’ කවිය කියන්නේ වෙන කතාවක් වුණත් මට ඒ කාලේ මේ එක්ක මතක් වුණා. 


ඉතිං දැන් නම් මේක දිග වැඩි වුණා. තව කවි තියෙනවා. හැම කවියම මෙතැන දාන්නත් බැහැ නේ. මේක කියවන ඔබ කවිවලට කැමති නම් සුමින්දගේ පොත් අරන් කියවන්න. මේ සුමින්දගේ කවි ගැන විචාරයක් කියලා හිතන්න එපා. විචාරය වාගේ ලොකු වැඩක් කරන්න මට සාහිත්‍ය දැනුමක් නැහැ. මේක පුංචි කාලේ ඉඳන් දැන අඳුනගෙන හිටි යාළුවෙක්ගේ හොඳ වැඩක්, හපන් වැඩක් ගැන මට ඇතිවුණු සතුට නිසා ලියැවුණු දෙයක්. මේක පත්තරයක නම් කවදාවත් පළකරන්නේ නැහැ. ඒත් මේ මගේ බ්ලොග් එක නිසා මේක පළකරන්නේ මමමයි. ඉතිං, යාළුවා ඔබේ කවි ජීවිතයට සුබ පතනවා. ආයේ කවි පොතක් ලිව්වොත් අමතක නොකර මටත් මතක් කරපං මචං!



 

Saturday, November 29, 2014

නිදාගෙන වාහන පැදවීම හෙවත් මහා මාර්ග මෝහනය/ශ්වේත රේඛා උණ රෝගය - Highway hypnosis/white line fever


මහා මාර්ගයේ ගමන් කරද්දී මෝහනයකට ලක් වෙන බව ඔබ අසා තිබෙනවාද? මෙය  අධිවේගී මාර්ගයක හෝ අධික  දුරක් එක එල්ලේ වාහනයක් පදවාගෙන යාමේදී රියැදුරන්ට වැළඳෙන මානසික තත්වයකි. මෙවැන්නක් අප රටේ රියැදුරන් පත්වන්නට තරම් මෙහි එක එල්ලේ ඇදී යන මාර්ග නැති තරම්ය. නමුත් ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, චීනය වැනි විශාල රටවල රටවල අධික දුරක් ඇදී යන මහා මාර්ග බොහෝ පවතින බැවින්, එවැනි මාර්ගවග ගමන් ගන්නා රියැදුරන් බොහෝ විට මෙම තත්වයට පත් වේ. 


මෙය හැඳින්වෙන්නේ ශ්වේත රේඛා උණ රෝගය’ (white line fever) හෙවත්  මහාමාර්ග මෝහනය’ (Highway hypnosis) නමිනි. අඛණ්ඩව දිගු දුරක් ගමන් කරද්දී රියැදුරන් ඉබේම නිද්‍රා තත්වයකට පත් වෙයි. නමුත් ඔවුන්ට බොහෝ විට කිසිදු අනතුරකට පත් නොවී වාහනය පදවාගෙන යන්නට හැකියාව ලැබේ. නමුත් ඔවුන්ට පියවි සිහිය ලැබෙන විට මේ සා දුරක් එසේ ගමන් කළේ යැයි ඔවුනට මතකයක් ඇත්තේ නැත. මෙය සවිඥානිකව එසේ කළේ යැයි මතකයක් නොමැතිව අපේක්ෂිත ආකාරයෙන්, බාහිර සිදුවීම්වලට ප්‍රතිචාර දක්වමින් අධික දුරක් ට්‍රක් රථයක් හෝ වෙනත් මෝටර් වාහනයක් පදවාගෙන යාමට හැකියාවක් ලැබෙන මානසික තත්වයක්යනුවෙන් හඳුන්වනු ලබයි. මෙම තත්වයේදී නිවැරදි හා සුරක්ෂිතව වාහනය පදවාගෙන යාමට අවශ්‍ය කරන තොරතුරු ඔහුට නොදැනීම ඔහුගේ මනසට ලැබෙන මුත් අවධානය පූර්ණ වශයෙන් යොමුව ඇත්තේ වෙනත් දෙයක් කෙරෙහිය. ඇතැම්විට එය නින්ද විය හැකිය. එය අපට තාක්ෂණික ලෙස මෙසේ හැඳින්විය හැකිය. 


මෙම තත්වයේදී රියැදුරාගේ සවිඥානික මනස සුරක්ෂිතව වාහනය පදවාගෙන යාමට අවශ්‍ය තොරතුරු රැසක් උපයෝගී කරගනු ලබමින් පැවතුන ද ඔහුගේ අවධානය පූර්ණ වශයෙන්ම යොමුව ඇත්තේ වෙනත් දෙයක් කෙරෙහිය.  සවිඥානික හා අවිඥානික මනස් එකිනෙකට වෙනස් දෑ කෙරෙහි අවධානය යොමුකරන්නා වූ සාපේක්ෂ වශයෙන් පොදු අත්දැකීමක් විද්‍යාමාන වන එක් අවස්ථාවක ලෙස මහමාර්ග මෝහනය සඳහන් කළ හැකිය.’ 


මහාමාර්ග මෝහනයයන සංකල්පය මුළින්ම විස්තර කෙරුණේ 1921 වර්ෂයේ පුවත්පතක පල වූ ලිපියක ය. එහිදී මෙය විස්තර කෙරුණේ එක් නිශ්චිත අරමුණක්, එල්ළයක් කෙරෙහි අවධානය යොමුකරමින් ආවේශයකින් මෙන් වාහනය පදවාගෙන යන මානසික තත්වයක් ලෙසිනි. වර්ෂ 1929 දී මයිල්ස් (Miles ) නමැත්තා විසින් දෑස් විවරකොටගෙන නින්දට පත්වීම’ (Sleeping with the Eyes Open) මැයෙන් අධ්‍යයනයක් කරන ලද්දේ ද මේ පිළිබඳවමය. ඔහු එයින් ඉදිරිපත් කළ අදහස වූයේ රියැදුරන්ට දෑස් විවිරකොට නින්දට පත්වීමේ හැකියාවක් ඇති බවය. නොගිනිය හැකි තරම් වූ මෝටර් රථ අනතුරු සංඛ්‍යාවක් මෙම සංකල්පය ඔස්සේ විස්තර කිරීම 1950 දශකයේදී ඉතා ජනප්‍රියත්වයකට පත් ව තිබිණි. මහාමාර්ග මෝහනයයන වදන මේ සඳහා මුළින්ම භාවිත කරන ලද්දේ වර්ෂ 1963 දී ජී.ඩබ්ලිව්. විලියම්ස් විසිනි. මෝහනය යනු සම්ප්‍රජාණනය හෙවත් සිහිනුවණෙහි විපර්යාසයකට ලක් වූ මානසික තත්වයක් බවට අර්නස්ට් හිල්ගාර්ඩ් විසින් පළ කළ අදහස මත පදනම් ව න්‍යායයන් ගොඩනගමින් ඇතැම් න්‍යයාවාදීන් පෙන්වා දුන්නේ සවිඥානිකභාවය නිසා මෝහන විඝටනයක් ඇති වන බවය. මහාමාර්ග මෝහනය උදාහරණයක් ලෙස ගතහොත් එක් ධාරාවක සවිඥානික බව ඔස්සේ වාහනය පැදවීම ද, අනෙක් ධාරාවේ සවිඥානික බව ඔස්සේ වෙනත් කරුණු සම්බන්ධව ක්‍රියාකරීම ද සිදු වේ. මෙය තවත් සරලව මෙසේ විස්තර කළ හැකිය. මනසේ එක් පාර්ශ්වයක් වාහනය පැදවීම සම්බන්ධව අවධානය යොමු කරද්දී අනෙක් පාර්ශ්වය වෙනත් කරුණක් කෙරෙහි අවධානය යොමු කිරීමය. වාහන පදවාගෙන යාමට හේතුවන සංඝටන සවිඥානික බව නිසා විස්මෘති තත්වයක් වුව ඇති විය හැකිය. 




Thursday, November 27, 2014

පියයුරු නිසා කරදරේ වැටෙන ගැහැනු - Women who gets troubles because of their breasts



අපේ රටේ මිනිසුන්ගේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ කරන්නට එපා යැයි සාධක සහිතව පෙන්වා දෙන සැම දෙයක්ම අනතුර පෙනි පෙනී සිදුකිරීමය. මෙයට උදාහරණ ඕනෑ තරම් තිබේ. මේ කතාවට අදාළ වන සිදුවීම් වන්නේ තමාගේ බාහිර පෙනුම වෙනස් කරගැනීම සඳහා විශේෂඥ නොවන උපදෙස් ගැනීම නිසා ඇතිවන අතුරු ප්‍රතිඵලයන්ය. මේ සම්බන්ධව ද අපේ රටේ බොහෝ දෙනා බොහෝ පාඩම් උගෙන ඇති මුත්, ගණනකට නොගන්නා බැව් පෙනේ. මීගමුව ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයකදී එක් කාන්තාවක මිය යාම, රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරියක් පෙනුම වැඩිකරගැනීමට ගොස් මියයාම යන සිදුවීම් මෑත කාලයේ අසන්නට ලැබුණු තවමත් අමතකව නොගිය ඒවාය. නමුත් කිසිවකු මේවායෙන් පාඩම් ඉගෙන ගන්නා බවක් පෙනෙන්නේ නම් නැත. එයට හේතුව පසුගිය දිනෙක එක් කාන්තාවක් සිය පියයුරු කුඩාකර ගැනීම සඳහා මාලඹේ ප්‍රදේශයේ ප්ලාස්ටික් සැත්කම් මධ්‍යස්ථානයක් යැයි පැවසෙන ස්ථානයකට ගොස් සිදුකරගත් අකරතැබ්බයයි. ඇයගේ වාසනාවට රජයේ රෝහලක ප්‍රතිකාර කිරීමෙන් පසු ජීවිත හානියක් නොවී තත්වය බේරුම් කරගැනීමට හැකිවිය. නමුත් අප මෙහිදී කතා කරන්නට අදහස් කරන්නේ ඒ සම්බන්ධව නොවේ.

මෙවැනි සිදුවීමක් සිදුවුණු විගසම සෞඛ්‍ය බලධාරීන්, වෛද්‍ය බලධාරීන් සහ වෙනත් මෙකී නොකී සියලු බලධාරීන් වෙඩි වැදුණා සේ කලබල වී මෙවැනි දෑ මින් ඉදිරියට සිදුනොවන්නට පිළියම් කරනා බවට සපථ වුව ද දින කිහිපයක් ගතවන විට ඒ පිළිබඳව කිසිදු හාහූවක් නැති ගාණට සිටිති. ඇතැම්විට වැරැද්ද සිදුවූ රූපලාවන්‍ය මධ්‍යස්ථානය නැවත විවෘතකොට පුරුදු ව්‍යාපාරයම කරගෙන යන ආකාරය ද දැකිය හැකිය. එවිට ඊට සමාන ආයතනවලට බයවන්නට කිසිදු කාරණයක් නැත. අනෙක තවත් පෙනෙන්නට තිබෙන කාරණයක් වන්නේ මෙවැනි ආයතන හිමිකරුවන් බොහෝ දෙනෙක් පවත්නා නීති රීති කිසිවක් තුට්ටුවකට හෝ මායිම් නොකරනා බවය.

මෙම මාලඹේ සිදුවීම ගෙන බැලුවහොත් එම සැත්කම කරන වෛද්‍යවරයාට විරුද්ධව වෙනත් කාරණයක් සම්බන්ධව පොලිසියේ පැමිණිල්ලක් ද තිබේ. ඒ ඔහුගේ නිවසේ පසෙක නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකරන ලද අඩි විස්සක් පමණ උස තාප්පය කඩා වැටී වයෝවෘද්ධ යුවලක් මරණයට පත්වීම සම්බන්ධයෙනි. යම්කිසි පුද්ගලයෙක් නීති ගරුක නම් මෙවැනි දෑ සිදුවන්නට ඉඩක් නැත. මේ පිළිබඳ නීතිමය වශයෙන් පසුකාලීනව ගත් පියවර පිළිබඳ තොරතුරක් දැනගන්නට නොමැති මුත්, ඔහුට මෙම සිදුවීම නිසා සිය කටයුතු කරගෙන යාමට කිසිදු බාධාවක් වූ බව නම් පෙනෙන්නට නැත. අනෙක රිජ්වේ ආර්යා රෝහලේ් වෛද්‍යවරිය මිය ගිය අවස්ථාවේදී අප රටේ බලධාරීන් මෙවැනි ආයතනවලට එරෙහිව නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කළේ නම් නැවත අපට මෙවැනි සිදුවීම අසන්නට ලැබෙන්නේ නැත. නීතියත්, එය ක්‍රියාත්මක කරන්නට සිටින බලධාරීනුත් නිද්‍රාශීලිව සිටින විට, එය අවස්ථාවක් කොටගෙන බඩ පිණුම් ගසන්නට බොහෝ පිරිසක් සූදානම්ව සිටිති.

පියයුරු කුඩා කරගැනීම නිසා ජීවිත අවදානමට ලක්වූ කාන්තාවගේ දිවි බේරාගැනීමට ක්‍රියා කළ කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අංශයේ ප්‍රධානී විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා මහතා පවසන්නේ සුදුසුකම් නොමැති වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාරගැනීම නිසා ඇයට මෙවැනි අකරතැබ්බයකට මුහුණපාන්නට සිදුවූ බවය. කෙසේ නමුත් දැනගන්නට ලැබෙන තොරතුරුවලට අනුව මෙම සිදුවීමට සම්බන්ධ වෛද්‍යවරයා සුදුසුකම් නොමැති හොර වෛදවරයකු බවට සාධක නැත. නමුත් ඔහු විසින් කරන ලද යම්කිසි වංචනික කටයුත්තක් හේතුවෙන් 2008 වසරේදී වෛද්‍ය සභාවෙන් ඔහු ඉවත්කළ බව පැවසේ.

මෙම වෛද්‍යවරයාගේ සුදුසුකම් පිළිබඳව යමක් විමසා බැලීම ද වටී. කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අංශයේ ප්‍රධානී දුලිප් පෙරේරා මහතා පවසා සිටියේ මොහුට සැත්කම් කිරීමට කිසිදු සුදුසුකමක් නොමැති බවය. මෙම සිදුවීමට සම්බන්ධ වෛද්‍යවරයා කලකට පෙර වෛද්‍ය සභාවේ සිටියේය යන්නෙන් අදහස් කරන්නේ ඔහුගේ වංචනික ක්‍රියාව සිදුනොවන්නට අදටත් එහි සාමාජිකයෙකුව සිටින බවය. එහි සාමාජිකත්වය ලබාදෙන්නේ අවම වශයෙන් MBBS උපාධියක් සහිත අයෙකුටය. නමුත් අප රටේ ඇති නීතියට අනුව, කිසියම් පුද්ගලයෙක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීමට අවශ්‍ය මූලික සුදුසුකම වන එම්.බී.බී.එස් (Bachelor of Medicine, Bachelor of Surgery - MBBS) උපාධිය ඇත්නම් ඔහුට සැත්කම් කිරීමට සුදුසුකම මෙන්ම මූලික අයිතිය ද තිබේ. මන්ද වෛද්‍ය උපාධිය යනු සැබවින්ම උපාධි දෙකකින් සමන්විත වූවක් වන අතර එහි Bachelor of Surgery යන්නෙන් අදහස්වන්නේ ශල්‍යකර්ම කිරීම පිළිබඳ සුදුසුකම් තිබේය යන්නය. මේ නිසා ඔහුට  කිසියම් සැත්කම් කාර්යයකට සම්බන්ධවීමේ හැකියාව නීත්‍යානුකූලවම පවතී. නමුත් එවැනි අය සිදුකළ යුත්තේ කුමන සැත්කම්දැයි නීතියේ කොතැනක හෝ සඳහන්වන්නේ නැත. එබැවින් බැරෑරුම් නොවන්නේ යැයි සිතෙන සැත්කම් සිදුකීරීමට ඔවුන් ඉදිරිපත්වීම සාමාන්‍ය දෙයකි. සාමාන්‍ය වෛද්‍යවරයකු හමුවට යන රෝගියකුට යම් සැත්කම්ක් කිරීමට අවශ්‍ය නම් වෛද්‍යවරයා විසින් අදාළ රෝගියාව විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කරවනවා මිස ඒ සඳහා ඔහු ඉදිරිපත් වන්නේ නැත. සාමාන්‍යයෙන් සිදුවන්නේ එයයි. නමුත් එසේ කිරීමෙන් ඔහුට සැත්කමක් කිරීමට සුදුසුකම් නැති බව සඳහන් කිරීම වරදක් යැයි පෙනේ. මෙහිදී වෛද්‍ය උපාධියට අනුව ඇත්තේ සැත්කම කිරීමට අවශ්‍ය දැනුම මද වීම පමණි. අප රටේ නීතියට අනුව එවැනි අභියෝගයක් එල්ල කළ නොහැක.

එය එසේ වුව ද සාමාන්‍ය ජනතාවට මෙවැනි පුද්ගලයන් නිසා අමාරුවේ නොවැටී සිටින්නට සෑහෙන තරම් සිදුවීම් පසුගිය කාලය පුරා සිදුව තිබේ. නමුත් ඔවුන් ඒවායෙන් පාඩම් ඉගෙනගන්නා බවක් නම් නොපෙනේ. කුමක් හෝ හේතුවක් නිසා අධික මුදලක් වැය කරමින් රුව නංවාගැනීමට බොහෝ දෙනෙක් කටයුතු කරති. එවැන්නක් වැරදුණු විට සියල්ල සිදුවී හමාරය. අනෙක මෙවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය ද ක්‍රියාත්මක නොවන තරම්ය. නීතිය ඉදිරියේ සියලු දෙනා සමානය යැයි පැවසනේනේ පොතේ පමණි. ප්‍රායෝගිකව එවැන්නක් ඇති බව නොපෙනේ. එය ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන්නට බලධාරීන්ටද අවශ්‍යතාවයක් නැත. සාමාන්‍ය ජනතාව  පාඩම් ඉගෙන නොගන්නා නිසාත්, බලධාරීන්ගේ ඇල්මැරුණු ස්වභාවය නිසාත්  අනාගතයේදී මෙවැනි සිදුවීම් සිදු නොවේ යැයි කියා සිත හදාගන්නට ද ඉඩක් නැත.

Wednesday, November 26, 2014

ඩෙංගු ගැන ඔබ නොදත් කතා - Important Facts About Dengue



අප රටේ ඩෙංගු රෝගය සඳහා ප්‍රතිකාර කරන සුවිශේෂී අයුරින් ප්‍රතිකාර සිදුකරන ස්ථාන දෙකක් පවතී. ගොතටුව, අයි.ඩී.එච්. හි පිහිටි උණ රෝහල එකක් වන අතර, අනෙක වන්නේ මීගමුව මූලික රෝහලයි. මේ ස්ථාන දෙක ‛ඩෙංගු කලමනාකරණ මධ්‍යස්ථාන’ වශයෙන් ද හඳුන්වනු ලබයි. මීගමුව මූලික රෝහලේ මෙම අංශය භාරව සිටින වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා සහ ගොතටුව උණ රෝහලේ මෙම අංශය භාර වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා විවිධ අවස්ථාවලදී මාධ්‍ය ඔස්සේ ඩෙංගු රෝගය පිළිබඳ දැක්වූ අදහස් ඇසුරින් මෙම ලිපිය සකස්කොට තිබේ.

ඩෙංගු යනු මදුරුවාගෙන් ශරීර ගතවන වෛරසයක් හේතුවෙන් ඇතිවන ආසාදන තත්වයකි. නමුත් මේ අයුරින් වෛරසය ශරීර ගතවන වැඩි දෙනෙකුට සාමාන්‍ය උණ රෝගයක්  හෝ වැළදෙන්නේ නැත. නිදසුනක් ලෙස ගතහොත් පුද්ගලයන් දස දහසකට ඩෙංගු වෛරසය ශරීර ගතවුහොත් ඉන් නව දහසකටම කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිවම රෝගය සුව වී යයි. ඉතිරි දහසෙන් ද පන්සිය දෙනෙකුට පමණ පෙන්නුම් කරන්නේ සාමාන්‍ය උණ රෝගී තත්වයක් පමණි. ඇතැම් විට එසේ පෙන්නුම් කරන්නේ ද වෛරස් උණ රෝගයකට අදාළ රෝග ලක්ෂණ වන්නට පුලුවන. එය ඩෙංගු වශයෙන් හඳුනාගැනීමේ හැකියාවක් ද නැත. මෙවැනි රෝගීන්  ද දින 2 - 3 කින් පමණ ස්වභාවිකවම සුවපත් වේ. ඇඟ පත වේදනාව, හිස කැක්කුම වැනි ඩෙංගු රෝගයේ මූලික ලක්ෂණ පෙන්නුම් කරන්නේ ඉතිරි පන්සිය දෙනාගෙනි. එම පිරිසෙන්ද 75%ක් පමණ දින හතක් පමණ ගතවෙන විට සම්පූර්ණයෙන්ම සුවපත් වේ. 

නමුත් ඩෙංගු රෝගය වැළඳී තිබේදැයි සොයාබැලීම සඳහා කරනු ලබන පරීක්ෂණයෙන් සක්‍රිය ප්‍රතිඵල ලැබී දෙවැනි දිනය වන විට රුධිර පට්ටිකා සංඛ්‍යාව පහළ බසින ආකාරය රෝගීන්ගෙන් 95% ගෙන්ම දැකිය හැකිය. මේ කාලයේදී කුමන ප්‍රතිකාරය කළ ද රුධිර පට්ටිකා අඩුවී යයි. නමුත්  රෝගය වැළඳී දින 4 - 5 ක් ගතවින විට නැවත ස්වභාවිකවම රුධිර පට්ටිකා සංඛ්‍යාව වැඩිවන්නට පටන් ගනී. ඒ සඳහා විශේෂ ප්‍රතිකාර ලබාදීම අවශ්‍ය නොවේ. අවශ්‍යවන්නේ රෝගියා පිළිබඳ අධීක්ෂණය කිරීම පමණයි. ඩෙංගු කලමණාකරණය යනුවෙන් හඳුන්වනු ලබන්නේ මෙයයි. 

යම් යම් පුද්ගලයන් තමන් ඩෙංගු රෝගය සඳහා නිශ්චිත ඖෂධ සොයාගෙන ඇති බවට මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් දැනගන්නට ලැබෙයි. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාව තුළ මෙම රෝගය සඳහා නිශ්චිත ඖෂධයක් නියම කෙරෙන්නේ නැත. මෙහිදී සිදුවන්නේ රෝගියාගේ රෝග ලක්ෂණවල සිදුවන වෙනස්කම්වලට අනුව අවශ්‍ය පරිදි පිළියම් යොදමින් රෝග තත්වය අධීක්ෂණය කිරීම පමණි. ඩෙංගු රෝගියකු සම්බන්ධව ගනු ලබන එක් වෛද්‍ය වාර්තාවකින් පමණක් රෝගය පිළිබඳ විනිශ්චයක් ලබා දීමේ හැකියාවක් නොමැත.  යම් යම් පුද්ගලයන් තමන් සොයාගත්තේ යැයි පැවසෙන ඖෂධ රෝගීන්ට ලබාදෙන්නේ මෙවැනි එක් වෛද්‍ය වාර්තාවක් පමණක් පිරික්සීමෙන් අනතුරුවය. නමුත් ඩෙංගු රෝග ලක්ෂණ කෙටි කාලයක් ඇතුළත නිතර වෙනස් වන බැවින් මෙවැනි එක් වාර්තාවකින් පමණක් එය පිළිබඳ විනිශ්චයකට එළැඹීමේ හැකියාවක් නැත. මෙසේ චිකිත්සකව තහවුරු නොකරන ලද ප්‍රතිකාර ක්‍රම පසුපස ගොස් අකරතැබ්බයන්ට පත් වූ රෝගීහු සිය ගණනක් සිටිති.

ඩෙංගු රෝගය යනු  රුධිර පට්ටිකා අඩුවීම බව බොහෝ දෙනෙකු අතර පවතින තවත් වැරදි මතයකි. රුධිර පට්ටිකා සංඛ්‍යාව පහත වැටීම රෝග ගණනාවක් නිසා ඇතිවිය හැකිය. ඇතැම් අසාධ්‍ය ඩෙංගු රෝගීන්ගේ රුධිර පට්ටිකා ප්‍රමාණය පහත වැටී ඇත්තේ සාමාන්‍ය මට්ටමකින් වන මුත් එතරම් අසාධ්‍ය නොමැති ඩෙංගු රෝගීන්ගේ  රුධිර පට්ටිකා සංඛ්‍යාව අධික ලෙස පහළ වැටුණු නිතර දැකිය හැකිය. එබැවින් රුධිර පට්ටිකා අඩුවීම සහ රෝගයේ ඇති උත්සන්න බව අතර කිසිදු සම්බන්ධයක් නැත.  රුධිර පට්ටිකා මට්ටම යනු ඩෙංගු රෝගයේ ඇති එක් සාධකයක් පමණි. අනෙක එය තීරණාත්මක සාධකයක් නොවේ. නමුත් බොහෝ දෙනෙකු වරදවා වටහාගෙන සිටින්නේ ද මෙයයි. 

ඩෙංගු රෝගය යනු රුධිර පට්ටිකාවන් සංඛ්‍යාවෙහි පහළ බැසීම යයි විශ්වාසයෙන් පසුවන්නවුන් අසන එක් දෙයක් වන්නේ කෘත්‍රීමව රුධිර පට්ටිකා ලබාදීමෙන් හෝ රුධිර පට්ටිකා වර්ධනය කරනා ඖෂධයක් ලබාදීමෙන් හෝ රෝගය සුව කළ නොහැකි ද යන්නය. යම් යම් පුද්ගලයන් තමන් එසේ රුධිර පට්ටිකා වර්ධණය කරවනා ඖෂධ සොයාගෙන ඇති බවට අදහස් පළ කළ ද මෙහි බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් තිබේ. කුමන හෝ ඖෂධයක් ලබාදීමෙන් යම්කිසි රෝගියෙකුගේ රුධිර පට්ට්කා සංඛ්‍යාව කෘත්‍රිමව වැඩි කළහොත්  සිදුවන්නේ රෝගියාගේ අනෙක් රෝග ලක්ෂණ එසේම තිබියදී රුධිර පට්ටිකා සංඛ්‍යාව ඉහළ නැගීම පමණි. යම්කිසි ආකාරයකින් වෛද්‍යවරයා නොදැනුවත්ම, මෙවැනි යම්කිසි ඖෂධයක් රෝගියාට ලබාදීමෙන් රුධිර පට්ටිකා සංඛ්‍යාව වැඩි කළේ යැයි සිතුවහොත් එහිදී සිදුවන්නේ වෛද්‍යවරයා නොමග යාම පමණි. එවැනි අවස්ථාවක වෛද්‍යවරයා විසින් රෝගියා පරීක්ෂා කිරීමේදී රුධිර පට්ටිකා මට්ටම වැඩි වී ඇතැයි නිරීක්ෂණය කළහොත් රෝගී මට්ටම අඩුවෙමින් පවතින බවට නිගමනයක් ලබාදෙන්නට ඇති ඉඩකඩ වැඩිය. මන්ද සාමාන්‍ය තත්වයේදී යම්කිසි රෝගියකු හට ඩෙංගු රෝගය වැළඳී දින 4 -5 ක පමණ ගතවන විට ස්වභාවිකම යළිත් රුධිර පට්ටිකා මට්ටම ඉහළ යන්නට පටන් ගන්නා බැවිනි. නමුත් මේ සඳහා යම්කිසි ඖෂධයක් ලබාදුනහොත් සිදුවන්නේ පෙර කී පරිදි අනෙකුත් රෝග ලක්ෂණ එසේම තිබියදී රුධිර පට්ටිකාවන්ගේ මට්ටම ඉහළ යාම පමණි. බටහිර වෛද්‍ය විද්‍යාවේදී හැකියාව පැවතුන ද රුධිර පට්ටිකා මට්ටම වර්ධණය කරනා ඖෂධ ලබානොදෙන්නේ මේ හේතුව නිසාය. 

කෘත්‍රිමව මෙසේ පට්ටිකා මට්ටම ඉහළ දැමුමහොත් එහි අනිසි ප්‍රතිඵලවලට මුහුණ දෙන්නට ද සූදානම් විය යුතුය. එවැනි ඖෂධයක් නිසා ශරීරයේ ඇතිව සංකූලතාවයන්ගේ ප්‍රතිඵලයක් ලෙස අක්මාව, වකුගඩු, පෙනහැල්ල වැනි අවයව අවදානමකට ලක්වීමේ හැකියාවක් පවතී. අනවශ්‍ය ඖෂධ ලබාදීමෙන් වැළකිය යුතුවන්නේ එබැවිනි. අනෙක කෘත්‍රිමව පට්ටිකා මට්ටම ඉහළ දමාගතහොත් සිදුවන්නේ රෝගියා වෛද්‍යවරුන්ගේ නිරන්තර නිරීක්ෂණයෙන් තරමක් දුරස්ථ වීමය. රෝගියා නිරීක්ෂණයකට භාජනය නොවන නිසා මෙවැනි අවස්ථාවක දී වැඩි වූ රුධිර පට්ටිකා පිටතට කාන්දු වී රෝගියා කම්පන තත්වයකට පත්වීමේ හැකියාවක් ද පවතී.  ඔහුව නිරීක්ෂණයට බඳුන් නොවන නිසා රෝගියා එවැනි සංකූලතාවයකට පත්ව ඇතිදැයි සොයාගැනීම ද අතපසු විය හැකිය. එවැනි අවස්ථාවක රෝගියා මිය යාමට වුව ද ඉඩ තිබේ.

Sunday, November 23, 2014

“අපේ රටේ තරම් ග්‍රහයන්ට බය ජනතාවක් මුළු ලෝකයේම නැහැ” - There are no such a people who are so much scared of planets!



අපේ රටේ තරම් ග්‍රහයන්ට බය ජනතාවක් මුළු ලෝකයේම නැහැ” 

- මිරිසවැටිය විහාරාධිපති ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමියෝ කියති


වර්තමාන ශ්‍රී ලාංකීය ජන සමාජයේ පැන නැඟී ඇති සමාජ සංස්කෘතික ගැටලු අර්බුද සම්බන්ධයෙන් අභීතව හා විවෘතව අදහස් පළ කරමින් ඒ සඳහා ධර්මානුකූල විසඳුම් ඉදිරිපත් කරන යතිවරයාණන් වහන්සේ නමක ලෙස අනුරාධපුර මිරිසවැටිය රාජමහා විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමිපානෝ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව හිඳිති. එනිසා පසුගිය නොවැම්බර් දෙවැනිදාට යෙදුණු, ශ්‍රී ලාංකීය ජනතාව බියට පත්  කළ සෙනසුරු මාරුව සම්බන්ධයෙන් මැදහත් විචාරයක යෙදෙන මෙන් අපි උන් වහන්සේගෙන් ඉල්ලා සිටියෙමු.



ස්වාමීන් වහන්ස, පසුගිය නොවැම්බර් දෙවැනිදාට යෙදුණු සෙනසුරු මාරුව අපේ සමාජයේ විශාල ආන්දෝලනයකට තුඩුදුන්නා. නමුත් ඒ කරුණ මෙතෙක් මැදහත් විචාරයකට ලක් වී නැහැ. 


ඒකාන්ත වශයෙන්ම ඒක මැදහත් විචාරයකට ලක්විය යුතු කාරණයක්. මොකද ඉතිහාසෙ කිසිම දිනයක ග්‍රහ මාරු සම්බන්ධව ඇති නොවුණු භීතියක් දැන් දැන් මෙරට පොදු ජන විඥානයේ සනිටුහන් වෙලා තියෙනවා.  මේක සුළුවෙන් ගත යුතු කාරණයක් නෙවෙයි. පසුගිය දවසක ගාල්ලේ මනෝ වෛද්‍ය රුමී රූබන් මහත්තයා අපට දුරකතනයෙන් කතා කළ වෙලාවක කිව්වා පහුගිය නොවැම්බර් දෙවැනිදා ගාල්ල ප්‍රදේශයේ වෙසක් උත්සවයකදී වගේ පහන් දල්වලා තිබුණා කියලා. ඒකට හේතුව සෙනසුරුගේ අපලවලින් මිදීම සඳහා පහනක් දල්වන්න කියලා කවුරුහරි ජ්‍යොතීර්වේදියෙක් මාධ්‍ය මගින් කියා තිබීම වෙන්න පුලුවන්. 


සෙනසුරු මාරුවට මිනිසුන් මෙසේ බියවීම යුක්ති සහගත නොවේය කියාද ඔබ වහන්සේ සිතන්නේ


ජ්‍යොතිෂ්‍යය කියන්නේ පුරාණ වෛදික සාහිත්‍යයේ වේදාංගවලට අයිති විෂයක්. මෙය පුරාණ වේදයේ උපවේද ගණයටවත් අයිති වුණේ නැහැ. උපවේද කියන්නේ මිනිසාගේ ලෞකික සමෘද්ධිය පිළිබඳව වූ විද්‍යා ශාස්ත්‍ර.  පැරණි භාරතයේ ආයුර්වේදය, ධනුර්වේදය, ගාන්ධර්වවේදය හෙවත් සංගීත ශාස්ත්‍රය සහ ස්ථාපත්‍යවේදය හෙවත් ශිල්පවේදය යන සතර මිනිසාගේ ලෞකිකත්වය තහවුරු කෙරෙන උපවේද ගණයට අයත් වුණා. නමුත් අතීත ජ්‍යොතීර්වේදය අයිති වුණේ වේදය සඳහා යොදාගත හැකි උපකාරක අංග හෙවත් වේදාංග හැටියටයි. ශික්ෂා, කල්ප, ව්‍යාකරණ, නිරුක්ති, ඡන්දස්, සහ ජ්‍යොතිෂ්‍ය තමයි ඒ වේදාංග හය. ජ්‍යොතිෂයේ පදනම වැටිලා තියෙන්නේ තියෙන්නේ රවි, සඳු, කුජ, බුධ, ගුරු, ශනි, සිකුරු කියන භෞතික ග්‍රහයන් හත් දෙනාත්, ඒ වගේම රාහු, කේතු යන සංකල්පීය ග්‍රහයන් දෙදෙනාත්, පෘථිවිය වටා පරිභ්‍රමණය වනවාය කියන කල්පිත සිද්ධාන්තය මුල්කරගෙනයි. ඒ අනුව අපට සිතන්නට තියෙන්නේ ජ්‍යොතිෂ්‍යය පහළ වූ දා සිටම මේ ක්‍රියාවලිය පිළිබඳ සිද්ධාන්ත සකස් වී ඇති බවයි. නමුත් තාරුකා විද්‍යාවට අනුව වුවත් සෙනසුරු මාරුව වැනි ග්‍රහ මාරු අනාදිමත් කාලයක සිට, නොඑසේ නම් විශ්වය පහළ වූ දි සිටම සිදුවී තිබෙනවා. නමුත්  මේ ග්‍රහ මාරු ගැන අතීත සමාජය අද තරම් බියෙන් තැති ගත්තේ නැහැ. 


ස්වාමීන් වහන්ස, මොකක්ද ඒ වෙනස


සෞරග්‍රහ මණ්ඩලයේ එක් ග්‍රහයෙක්වත් කිසිම මොහොතක නිශ්වලව එක තැන රැඳෙන්නේ නැහැ. ඒ නිසා මේ ග්‍රහ මාරු කියන ඒවා ඉතා ස්වභාවික, ඒ වගේම නිරන්තරවම සිදුවන ක්‍රියාදාමයන්. අපි දැනට දශක දෙක තුනක් ආපස්සට ගිහින් බලමු. ඒ කාලේ ග්‍රහ මාරු ගැන ජනතාව අද වගේ බියෙන් තැති ගත්තදඒ කාලේ ජනතාව තැති ගත්තේ නැහැ. ඒ කාලේ ග්‍රහ මාරු කියන ඒවා ගැන කිසිම ජාතික පුවත්පතක ලොකුවට සඳහන් වෙලා තිබුණෙත් නැහැ. මොකද ඒ කාලේ ග්‍රහයෝ කියලා ජාතියක් හිටියේ නැද්ද? ඒ ග්‍රහයෝ එක තැන නැවතිලා හිටියද? නැහැ නේ. අද වගේම ග්‍රහයෝ හිටියා. ඕනෑ තරම් මාරු වුණා. නමුත් එදා ජනතාවට ඒක වැදගත් දෙයක් වුණේ නැහැ. නමුත් අද සිදුවෙන ග්‍රහ මාරු කියන සංකල්පය ජනතාවට ඉතා වැදගත් කාරණාවක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසාම ග්‍රහ මාරුවකට මාස ගණනකට පෙර සිට ජනමාධ්‍ය ඒ ග්‍රහමාරුව මුල්කොට ජනතාව බියවද්දන්න පටන් ගන්නවා. ග්‍රහමාරුව  සිද්ධවෙන දවසේ ලංකාවේ බොහෝ ජනමාධ්‍ය ආයතන තමන්ගේ දිනපතා වැඩසටහන් පවා වෙනස් කරලා ඒ ග්‍රහ මාරුව දිහා බලාගෙන ඉන්නවා. ඒකට හේතුව අද ග්‍රහයන් නිසා අපේ රටේ ජනතාව අනවශ්‍ය පීඩනයකට ලක්වීමයි. මේක ලක්වීමකටත් වැඩිය ලක් කිරීමක්කිව්වොත් තමයි හරි. අතීතයේ ජනතාව ග්‍රහයන් සම්බන්ධව මේ වගේ පීඩනයකින් ජීවත් වුණේ නැහැ. 


මෙයට හේතුව මොකක්ද ස්වාමීන් වහන්ස


මෙතන තියෙන්නේ ග්‍රහයන්ගේ වරදක් නෙවෙයි. මේකට හේතුව තමයි අපේ ශ්‍රී ලාංකීය ජනසමාජයේ ඇති ආකල්පමය පිරිහීම. වඩාත් අවධාරණයෙන් කියනවා නම් ශ්‍රී ලාංකික බෞද්ධ ජනසමාජයේ ආකල්ප තමයි මේ පරිහානියට ලක්ව තිබෙන්නේ. අපේ රටේ මුස්ලිම් ප්‍රජාවවත්, සිංහල ක්‍රිස්තියානි ප්‍රජාවවත් මේ ග්‍රහමාරු පිළිබඳ තැකීමක් කරන්නේ නැහැ. එනිසාම ඔවුන්ගේ ජීවිත අසාර්ථක වන්නෙත් නැහැ. නමුත් ශ්‍රී ලාංකික බෞද්ධ ජනසමාජයේ ග්‍රහයන්ට ඇති බය දවසින් දවසම වැඩි වෙනවා. ජනමාධ්‍ය ද මේ ඇති බය වැඩිකිරීමට ලොකු පිටිවහලක් ලබාදෙනවා. මේ අර්බුදය දඩමීමා කරගත් ජ්‍යොතිෂ්‍ය ජාවාරම්කාරයන් අසරණයන්ගේ මේ භීතිය පදනම් කරගෙන කෝටිපතියන් බවට පත් වී සිටිනවා. මම ඉතා පැහැදිලිවම කියනවා අපේ රටේ ජනතාව තරම් ග්‍රහයන්ට බය ජනතාවක් මේ මුළු ලෝකයේම නෑ කියලා. 


ස්වාමීන් වහන්ස අතීතයට සාපේක්ෂව වර්තමාන ජනතාව තුළ ඒ බය වැඩීවීමට හේතුව මොකක්ද


අතීතයේ අපේ රටේ මිනිස්සු එලොව මෙලොව කෙරෙහි සමතුලිත ලෙස සිතා තමන්ගේ ජීවිත තුලනය කරගන්නට පුරුදුව සිටියා. එනිසා අතීතයේ මිනිස්සු ගත කළේ ඉතා සැහැල්ලු, සැනසිලිදායී ජීවිත. ඔවුන් ජ්‍යොතිෂය වුණත් බරපතල ලෙස ගණන් ගත්තේ නැහැ. අතීත ගැමි සමාජයේ ජීවත් වූ සිංහල බෞද්ධ ගැමියා ඕනෑම දෙයක් සැහැල්ලුවෙන් භාරගන්නට පුරුදුවෙලා හිටියා. මෙහිදී මංගල සූත්‍රයේ එන ගාථාවක්  සඳහන් කළ  හැකියි. 


පුට්ඨස්ස ලෝක ධම්මෙහි

චිත්තං යස්ස න කම්පති

අසෝකං විරජං ඛේමං

ඒතං මංගල මුත්තමං’ 


ඒ කියන්නේ මේ ලෝක ධර්මතාවයන් පිළිබඳ කම්පනයකින් තොරව රහතන් වහන්සේලා වගේ ඉන්න පුලුවන් නම් ඒක මංගල කාරණයක් කියන එකයි. අතීත ජන සමාජයේ තිබුණු ඒ මංගල ස්වභාවය වර්තමාන ජනසමාජයේ අවමංගල්‍යයක් බවට පත්වෙලා. අද අපේ ජනතාව මෙලොව ගැන පමණක් සිතන  ලෝකායත පැවැත්ම’ (Secularization) මුල්කොට අගතියට පත්වෙලා.  කොටින්ම අද අපේ ජනතාව ජීවත් වෙන්නේ වේලිච්චි ගෙඩි තියෙන පොල් ගහක් යටින් යනකොට ඔලුවට කොයි මොහොතක හරි පොල් ගෙඩියක් කඩා වැටේදෝ වගේ බයකින්. ඒ වගේ තමයි අද සමාජයේ බොහෝ දෙනෙක් ග්‍රහ අපල ගැන හිතන්නෙත්. මේක පුද්ගල හා සමාජ සංවර්ධනයට ප්‍රබල බාධාවක්. 


බුදු දහමට අනුව මේ ග්‍රහ අපල ගැන කොහොමද සඳහන් වෙන්නේ


ලෝකයේ පවතින සියලුම ආගම් අතරින් පුද්ගලයාගේ ස්වාමිත්වයට උපරිම වටිනාකමක් හිමිකරදෙන බුදු දහමින් ග්‍රහයන්ගේ අපල වැනි විශ්වාස හුදෙක් මිථ්‍යාවන් සේ සැළකෙනවා. 


බුද්ධකාලයේත් ග්‍රහයන් පිළිබඳ විශ්වාසය තිබුණා නේද ස්වාමීන් වහන්ස


බුද්ධ කාලය වන විට ජ්‍යොතිෂ්‍යය මුල්කරගෙන නැකැත් ශාස්ත්‍රයක් තිබුණා. ඒක බුද්ධ දේශනාවේත් සඳහන් වෙනවා. ඛුද්දක නිකායේ  සුත්ත නිපාතයේ මහානිද්දේස පාලියේ බුදුහාමුරුවෝ මෙන්න මෙහෙම දේශනා කරලා තියෙනවා. 


නැකත් කියන්නෝ නැකත් දක්වනවා. නැකත් විසි අටක් තියෙනවා. ඒ ගෙට ගෙවදින්න, කිරුළු පළදින්න, ආවාහ විවාහ කරගන්න, බීජ වපුරන්න, පැළ සිටුවන්න, සංවාසයේ යෙදෙන්න ආදී වශයෙන්.” 


නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තෙරුවන් කෙරෙහි අචල විශ්වාසයක් දරන අය මේ නැකත් පිළිපදින්නේ නැහැ කියලා. ඒ වගේම එසේ නැකත් පිළිපදින්නවුන් බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ බාලයන්යනුවෙන්. 


ස්වාමීන් වහන්ස ජ්‍යොතිෂ්‍යයට අනුව පැවසෙන මිනිසාගේ දෛවය පිළිබඳ බුදුදහමේ සඳහන් වන්නේ කොහොමද


අපි තිරිසනුන්ට වඩා දියුණුයි, ශ්‍රේෂ්ඨයි, උතුම් කියලා කියනවානේ. නමුත් තිරිසනුන්ට වඩා අයහපත් අංගත් මිනිසුන් තුළ පිහිටලා තියෙනවා. භීතිය සම්බන්ධයෙන් ගත්තොත් තිරිසනුන්ට ඇත්තේ එක්තරා භීතියක් පමණයි. නමුත් මිනිසුන් වන අපට අපේ භීතිය විවිධාංගීකරණය වෙලා තියෙනවා. ඔය දෛවය කියන දේ අපේ සහජතාවයන් අතරට එක් වී තිබෙන්නෙත් ඒ අමතර භීතිය නිසයි. 


ස්වාමීන් වහන්ස, ඒ පිළිබඳව තව ටිකක් විස්තර කළොත්. 


මිනිසුන් වන අපට පාරිසරික භීතියට අමතරව අනාගත භීතියකුත් තිබෙනවා. තිරිසනුන්ට තිබෙන්නේ පාරිසරික භීතිය පමණයි. මස් කඩයට ඇදගෙන යන ගවයා මර බයෙන් දඟළන්නේ තමන් මුහුණ දෙන පාරිසරික අත්දැකීම අනුව මරණ සංඥාවක් හිතට දැනෙන නිසයි. එසේ නොමැතිව ඉදිරි වසරේ තමන්ට පිදුරු, පුන්නක්කු, තණකොල නැතිවෙයිදතමාට සහවාසයට වැස්සියක් නොලැබේද, වැනි කිසිම බියක් උන්ට නැහැ. නමුත් මිනිසුන් තුළ ආහාර, ඇඳුම් පැළඳුම්, වාසස්ථාන, ලිංගිකත්වය, රෝග පීඩා, වියපත්වීම, මරණය ආදිය පිළිබඳව වගේම මරණයෙන් මතු අනාගතය පිළිබඳවත් අනියත බියක් පවතිනවා. මේවා කෙසේ විසඳේද යන්න පිළිබඳ අවිනිශ්චිත බවක් මිනිස් සිත්වල නිසර්ගයෙන්ම රැඳී තිබුණා. ඒ සඳහා ලෝකයේ මුලික පැරණි ආගම්වලින් මිනිසාගේ අනාගත භීතිය සඳහා පහසු, පොදු විසඳුමක් ඉදිරිපත් කළා. ඒ  තමයි මේ ලෝකය පාලනය කරන දෙවියකු සිටිනවාය, ඒ දෙවියන්ගේ කැමැත්ත පරිදි ඔබේ අනාගතය විසඳෙනවාය, ඒ නිසා ඔබ කළ යුත්තේ ඔබේ ජීවිතාන්තය දක්වාත්, මරණයෙන් පසුවත්, ඔබට යහපතක් උදාකරගැනීම පිණිස ඒ දෙවියන් කැමති ආකාරයකට දෙවියන්ට අනුගතව සිටින එකය කියා ඒ ආගම්වලින් පැවසුණා. 


නමුත් ස්වාමීන් වහන්ස බෞද්ධයන්ට, දෛවය පිළිගැනීමට බුදුදහමෙනුත් නියමකොට තිබෙනවා නේද


දෛවය යන සංකල්පය බුදු දහමේ කොතැකන හෝ සඳහන් වන්නේ නැහැ. දෛවය (Destiny) යන්නෙහි තේරුම  දෙවියන්ගෙන් පැමිණි දෙයයන්නයි. සංස්කෘතයෙහි දෛවය පිළිබඳ නිරුක්තිය දක්වා ඇත්තේ දේවේභ්‍යඃ ආගතඃ දෛව්‍යයඃයනුවෙන්. නමුත් ලෝකය පාලනය කරන දෙවි කෙනෙකු සිටිනවාය කියන සංකල්පය මුළුමනින්ම පිටු දකින බුදුදහම දෛවය කියන සංකල්පයත් ඉඳුරාම බැහැර කරනවා.



එතකොට ස්වාමීන් වහන්සේ කර්මයකියන එක


කර්මයකියන්නේ චේතනාව මුල්කොටගත් ක්‍රියාදාමයට’. නමුත් අපේ ජනවහරේ එන කරුමයකියන්නේ ඔය අබෞද්ධ දෛවයටමයි. එයට ඉංග්‍රීසි බසින් Fate කියා කියනවා.  අපි බුදුදහමේ කර්ම ශක්තිය පිළිබඳ සඳහන් කළත් කරුමයයන්න පිළිබඳව බෞද්ධ ඉගැන්වීම්වල කිසිම තැනක සඳහන් වන්නේ නැහැ. කර්ම ශක්තිය මැඩ පැවැත්වීමට, අවම කරගැනීමට හැකි බව බුද්ධ දේශනාවේ සඳහන්. නමුත් ඔය දෛවයහෝ කරුමයවැළැක්විය නොහැක්කක් බවයි පැවසෙන්නේ. 


එසේ නම් ස්වාමීන් වහන්ස ග්‍රහයන්ගෙන් විපත් පැමිණීම පිළිබඳව බෞද්ධයන් තැකීමක් කළ යුතු නැද්ද


නවග්‍රහයන්ගෙන් මිනිසාට විපත් පැමිණෙනවා යැයි පැවසෙන විශ්වාසය බුදු දහමට අනුව අර්ථ දක්වන්නේ මිච්ඡා දිට්ඨිහෙවත් වැරදි දැක්මක් හැටියටයි. වැරදි දැක්මකින් යමක් නිවැරදිව බලාගන්න පුලුවන් නම් අප ග්‍රහයන්ට බිය වුණාට කමක් නැහැ. ජාතක පාලියේ  නක්කත්ථ ජාතකට්ඨකතාවේ එන අප කවුරුත් දන්නා කිං කරිස්සන්ති තාරකායන ගාථාවේ තේරුම තමයි නක්ෂත්‍රය පිළිගන්නා බාලයෝ අර්ථය, යහපත ඉක්මවා කටයුතු කරති. නැකත යනු යමක් සඳහා වූ සුදුසුම වෙලාවය. ග්‍රහ තාරකාවෝ කුමක් කෙරෙත්ද?’ කියන එක. 


ඔබ වහන්සේට මේ පිළිබඳව පෞද්ගලික අත්දැකීම් තිබෙනවාද


ඕනෑ තරම් තිබෙනවා. මා ඉන් එකක් කියන්නම්. ග්‍රහයන්ගේ බලපෑම් නිසා තමන්ට බලවත් අපල කාලයක් උදාවී ඇතැයි බියට පත්ව සිටි විනිසුරුතුමකු තමන්ගේ රාජකාරිය පවා අතපසුකොට මා හමුවට පැමිණියා. මම එතුමාට ධර්මානුකූලව කරුණු පැහැදිලි කළා.  සිත ශක්තිමත් කරගැනීම, ශක්තිමත් සිත දමනය කිරීම, අනුන්ට අවංකවන අතරේම තමන්ගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීම, සදාචාරත්මකව ජීවත්වීම වැනි කරුණු ගැන මා එතුමා දැනුවත් කළා. ඒ තුළින් ගොඩනැගුණු චිත්ත ශක්තිය ඔස්සේ එතුමා ඒ අපලකාලය තුළ තමන්ගේ පවුල් ජීවිතයේ ඒ වෙනකොට තිබුණු අඩුපාඩුත් සම්පූර්ණ කරගෙන තනතුරිනුත් ඉහළ ගිහින්  ජීවිතයේ අතිශය සාර්ථකත්වයට පත් වුණා. පසුව එතුමා ඇවිත් ඇසුවා, ‛ස්වාමීන් වහන්ස, මට ඒ වෙනස දැනෙනවා. මොකක්ද එහි ඇති රහසකියලා. මම කිව්වා එතැන වෙන කිසිම රහසක් නැහැ, ‛මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයාකියන බුදු වදන විතරයි එතැන තියෙන්නේ කියලා. ඉතින් අපට බුදු දහමට අමතරව නවග්‍රහයනුත් වැදගත් වෙනවා නම් අපි තමයි හරි. බුදු හාමුදුරුවන්ටයි වැරදිලා තියෙන්නේකියලා අපිට හිතන්න වෙනවා. නමුත් බෞද්ධයන් හැටියට එහෙම හිතන්න අප කාටවත් පුලුවන්ද? ඒ අනුව මිථ්‍යාව හිස මත රඳවා ගත්තොත් අපේ ජීවිත දවසින් දවස කරුවල පක්ෂයේ සඳ වගේ පිරිහීමට පත්වීමත් වළක්වන්න බැහැ කියන එක විශේෂයෙන් මතක තබාගත යුතුයි. ඒ වගේම නවග්‍රහයන් එකිනෙකා පිට හිටි පිණුම් බඩ පිණුම් ගැහුවත් අපේ ආධ්‍යාත්මික ශක්තිය ප්‍රබල නම් අපේ ශරීරයේ එක රෝම කූපයකටවත් ඉන් කිසිම හානියක් සිදු නොවන බව ත්‍රිවිධ රත්නයේ නාමයෙන් අප මෙහිදී අවධාරණය කර සිටිනවා. 




- ඡායාරූපය - නලින්ද ගුණතිලක