පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, August 18, 2023

ඡායාරූප, සම්මාන සහ මනුස්සකම - Humanity in an Award, Camparison between Vulrure & Little Girl and and the Terror of the War


කුසගින්නේ මිරිකෙමින් සිටින කුඩා දැරියක සහ ඇය කුසගින්නේ මිය ගිය පසු ඇගේ සිරුර අනුභව කරන්නට බලා සිටින ගිජුළිහිණියක සිටින ඡායාරූපයක්
1990 ගණන්වල ලොව පුරා ඉතා වේගයෙන් පැතිර ගියේ ය. එම ඡායාරූපය ගනු ලැබුවේ 1993/94 සමයේ සුඩානයේ පැවති දරුණු සාගතයේ දී දකුණු ඇමරිකානු පුවත්පත් ඡායාරූප ශිල්පියකු වූ කෙවින් කාටර් විසින් වූ අතර මේ ‘අපූර්ව’ ඡායාරූපය වෙනුවෙන් ඔහු පුලිට්සර් සම්මානය ද දිනා ගත්තේ ය.
 

කෙවින් කාටර් තමා ලද මේ ජයග්‍රහණය පිළිබඳ සතුටු වූයේ ය. උදම් ඇනුවේ ය. ලෝකයේ ප්‍රධාන පෙළේ ප්‍රවෘත්ති නාලිකා ඔස්සේ ඔහුගේ මේ ‘විශිෂ්ට ගණයේ ඡායාරූප දක්ෂතාව’ සමරනු ලැබිණි. නමුත් තමා හිමි කරගත්තේ යැයි උදම් අනමින් සිටි මේ ජයග්‍රහණය සහ කීර්තිය සමරන්නට ඔහු මාස කිහිපයකට වඩා ජීවත් වූයේ නැත. මහත් මානසික පීඩාවකින් පෙළෙන්නට පටන් ගත් ඔහු වැඩි දවසක් ගතවන්නට පෙර සියදිවි නසා ගත්තේ ය. 

කෙවින් කාටර්


කෙවින් කාටර්ගේ මානසික පීඩාකාරී තත්ත්වය පටන් ගැනුණේ a phone-in නම් වැඩසටහනෙන් අනතුරුව ය. මේ වැඩසටහනට දුරකතන ඇමතුමක් ලැබුණු අතර ඡායාරූපයේ සිටින මේ දැරියට සිදුවූයේ කුමක්දැයි ඇමතුම ගත් පුද්ගලයා ඇසුවේ ය. 

පින්තූරය ගත්තට පස්සේ මට ඒ ගැන හොයන්න තරම් වෙලාවක් තිබුණේ නෑ. මම ගුවන්යානය අල්ලා ගන්න සිහියෙන් හිටියේ.” ඔහු කිසිදු සැලකිල්ලකින් තොරව පිළිතුරු දුන්නේ ය. 

ඇමතුම ගත් පුද්ගලයා එවිට මෙසේ පැවසුවේ ය. 

මම ඔබට මේ නිකම් කියන්නේ, එදා එතන ගිජුලිහිණියො දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ළඟ කැමරාවක් තිබුණා.” 

ඔහු මේ කියමන ගැන ඉන්පසුව දිගින් දිගටම සිතන්නට පටන් ගත්තේ ය. එය ඔහු තුළ දැඩි මානසික පීඩාකාරී තත්ත්වයක් ඇති කළ අතර අවසානයේ ඔහු සියදිවි නසා ගත්තේ ය. ඔහු මේ දැරිය දෑතට ගෙන, ඇය සෙමින් සෙමින් ළඟා වෙමින් සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර සැපයුම් මධ්‍යස්ථානයට හෝ වෙනත් ආරක්ෂිත ස්ථානයකට රැගෙන යන්නට මොහොතක් හෝ සිතුවා නම් කෙවින් කාටර් අද වන විටත් ජීවතුන් අතර සිටින්නට ඉඩ තිබුණි. ඔහු මේ වන විට වඩාත් ප්‍රසිද්ධ, ආදරණීය පුද්ගලයකු බවට පත්වන්නටත් ඉඩ තිබිණි. 

කනගාටුවට කරුණ නම් අද ලොව පුරාම සිදුවන්නේ මෙයයි. ලෝකය අද ආත්මාර්ථකාමීබව සහ අනුන්ගේ විපතේ දී සතුටු වීම ඉහළින්ම සමරති. මේ දැරිය එතැනින් වෙනත් තැනකට රැගෙන යන්නට කෙවින් කාටර්හට හැකියාව තිබිණි. ඔහුට ඒ වෙනුවෙන් කිසිවක් වැය වන්නේ නැත. නමුත් ඔහු එසේ නොකළේ ය. අමානුෂිකත්වය එයයි. “ඔහුට සිය ඡායාරූපය ගන්නට තරම් වෙලාවක් තිබුණත්, දැරියගේ ජීවිතය බේරාගන්නට කාලයක් තිබුණේ නැත.” 




ඊළඟට අප දකින්නේ මේ මේ ලෝක ප්‍රකට ඡායාරූපය පවසන්නේ එයට ඉඳුරාම වෙනස් කතාවකි.

1972 ජූනි 8 වැනි දා දකුණු  වියට්නාමය විසින් උතුරු වියට්නාමයට නාපාම් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලදී. මෙයට හසු වූ මිනිසුන්ගේ රෙදිවලට ගිනි ඇවිලී ඒවා පිළිස්සී ගියේය. මේ ඡායාරූපයේ සිටින ෆැන් ත් කිම් ෆුක් දැරිය ද මේ ඉරණමටම මුහුණ දුන් අතර ඇය ඇඳුම් උනා දමා දිව යන්නට පටන් ගත්තා ය. සිරුර පිළිස්සීම නිසා ඇති වූ වේදනාවෙන් ඇය කෑ ගැසුවා ය. මේ අවස්ථාවේ එතැන සිටි, ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති සේවය වෙනුවෙන් සේවය කළ 21 හැවිරිදි වියට්නාම් ජාතික ඡායාරූප ශිල්පියකු වූ නික් වුට් විසින් මෙය සිය කැමරාවේ සටහන් කර ගත්තේ ය.


නික් වුට්


කෙවින් කාටර් සහ නික් වුට් අතර වෙනස මතු වන්නේ මෙතැන ය. කෙවින් කාටර් සිය ඡායාරූපය ගෙන එම දැරියට ඊළඟට වන්නේ කුමක්දැයි සිතන්නට පවා කාලයක් නොමැතිවා සේ ගුවන් යානය අල්ලා ගන්නට යුහුසුළු වූවා වුවත්, නික් වුට් කළේ මේ දැරිය ද ඇතුළුව අනෙක් දරුවන් සියලු දෙනා සයිගොන් හි පිහිටි බාර්ස්කි රෝහල කරා රැගෙන යාම ය. මේ දැරිය මාස 14 ක් රෝහලේ ගත කොට, චර්ම බද්ධයන් ඇතුළු ශල්‍යකර්ම 17 කට ලක් වී , සුව අතට හැරීමෙන් පසු නැවත නිවාස කරා යන්නට හැකියාව ලැබිණි. 

නිරුවත්ව දිව යන මේ දැරියගේ ඡායාරූපය මුලින්ම ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධ දෙගෙඩියාවක් ඇසෝසියේටඩ් ප්‍රෙස් සේවයට පැවතිය ද කෙසේ හෝ එය ප්‍රසිද්ධ කෙරිණි. ‘යුද්ධයේ භීෂණය’ මැනවින් පෙන්නුම් කරන ඡායාරූපයක් ලෙස අර්ථ දැක්වුණු මෙය ද පුලිට්සර් සම්මානයෙන් පුදනු ලැබිණි. නමුත් කෙවින් කාටර්ගේ පුලිසට්සර් සම්මානය තුළ ගැබ් නොවුණු මිනිස්කම් පිළිබඳ සම්මාන ය නික් වුට් ගේ ඡායාරූපය තුළින් අපට දකින්නට හැකි ය. 

මේ අනුව, අප තේරුම්ගත යුත්තේ ජිවිතයේ අරමුණ වන්නේ හදවත් ආදරණීයව ස්පර්ශ කිරීම සහ වෙනස් කිරීම බව ය. ඉතින් ඔබත් ගිජුලිහිණියක් ද? අප කුමක් කළ ද, එම අවස්ථාවෙන් අප බලාපොරොත්තු වන්නේ කුමක් වුව ද, මනුෂ්‍යත්වය මතුවන්නට ඉඩ හැරිය යුතු ය. අප කරන සෑම ක්‍රියාවක දී ම අන්‍යයන් පිළිබඳ සිතිය යුතු ය. මනුෂ්‍යත්වය වෙනුවෙන් අපට කළ හැක්කේ කුමක් ද යන්න පිළිබඳ කල්පනා කළ යුතු ය. කෙනෙකුට පිහිට වී කඳුළු පිසදා හරින්නේ කෙසේද යන්න පිළිබඳ සොයා බැලිය යුතු ය. අප දැනුම, ධනය, දක්ෂතා හෝ තරාතිරම් ආදිය පවා සොයා ගෙන යද්දී, ඒවා මිනිසුන්ගේ සහ සමාජයේ යහපත සඳහා පුළුල් වශයෙන් යොදා ගන්නේ කෙසේදැයි සිතිය යුතු ය. 

ෆැන් ත් කිම් ෆුක් සහ ඡායාරූප ශිල්පී නික් වුට්. මෙවන් ආදරණීය අත්දැකීමක් ලබන්නට තරම් කෙවින් කාටර් වාසනාවන්ත වූයේ නැත. 


අද ලෝකය පුරා දරිද්‍රතාව බොහෝ සෙයින් පැතිර යයි. පිහිටක් අවැසි අයට පිහිට වන්නට තරම් ඔබ ශක්තිමත් නම්, ඔවුන්ට ආශීර්වාදයක් වන්න.  ඔබගේ පරිත්‍යාගයන් යනු ඔබට හිමි වුණු දිව්‍යමය ආශීර්වාද, තිළිණ සහ ප්‍රසාදයන් පසසන්නට ඔබට ලැබුණු අවස්ථාවක් බව සෑමවිටම මතකයේ තබා ගන්න. එබැවින්, අප අතර සිටින දිළින්දන්ට, අසරණයන්ට, වැන්දඹුවන්ට සහ දුර්වලයන්ට අප සෑමවිටම පිහිට වීම ඉතා අගනා දෙයකි. කාරුණිකව ඔබෙන් ඉල්ලා සිටින්නේ, ඔබ තවත් කෙවින් කාටර් කෙනෙක් බවට පත්නොවන්නැයි කියා ය. 

මතක තබා ගන්න. අප සිදුකරන සෑම දෙයක් තුළම මනුෂ්‍යත්වය නොමැති නම් මනුෂ්‍යන් වන අප කිසිදා මනුෂ්‍යයන් වන්නේ නැත.

 

 

Wednesday, August 16, 2023

ලෝක ඉතිහාසයෙන් සැඟව ගිය මහා දුර්භික්ෂයක සාක්ෂිය - Great Famine of 1876–1878 in India

 


එය ඉංග්‍රීසි ජාතිකයන් ඉන්දියාව පාලනය කළ සමය විය. අතිශයින් කේඩෑරී වී ගිය මිනිසෙක් සිය පවුල ආරක්ෂා කර ගනු වස් මෙසේ බලා සිටියි. එසේ ආරක්ෂා කරන්නට සිදුව තිබුණේ මිනිසෙක් තවත් මිනිසෙකුගේ මාංශ කෑමට තරම් වූ වාතාවරණයක් ඇති වී තිබුණු බැවිනි.

මෙය බලාගෙන සිටින්නට තරම් නෙතට සුවපහසුවක් දැනෙන ඡායාරූපයක් නොවේ. කෙසේ නමුත් ඉතිහාසයේ ලිය වී ඇති, අප කියවා ඇති, බටහිර ලෝකය මුහුණ දුන් දරුණු දුර්භික්ෂවලටත් වඩා වැඩි යමක් ඉන්දියාවේ සිදු වූ බව බොහෝ දෙනෙක් දන්නේ නැත.

මේ 1876 - 1878 සමයේ ඉන්දියාව මුහුණ දුන් අතිශය දරුණු දුර්භික්ෂය පිළිබිඹු කරන එක් ඡායාරූපයක් පමණි.  මේ මහා දුර්භික්ෂයට ඇති වී තිබුණේ සුදු ජාතිකයන් ඉතා අධික ලෙස තිරුඟු අපනයනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.  ස්වදේශිකයන්ට පරිභෝජනය කරන්නට තරම් කිසිවක් ඉතිරි වූයේ නැත. ඒ සමගම පැමිණි නියඟය නිසා තත්ත්වය තව තවත් දරුණු අතට හැරුණි. නිවැරදිම සංඛ්‍යාලේඛන සොයා ගන්නට නැතත් මේ දුර්භික්ෂය නිසා ඉන්දියානු ජාතිකයෝ මිලියන 5 - 9 අතර පිරිසක් ගියහ.

මේ සංඛ්‍යාලේඛන ලෝක ඉතිහාසය තුළ කතා නොවෙන තරම් ය.

පෙනෙන අනාගතය තුළ ආහාර ලැබේ කිසිදු සළකුණක් නොවූ බැවින් මේ මිනිසුන්ගේ දෑස්වල ගැබ්ව ඇත්තේ බලාපොරොත්තු රහිත බවකි. තමාට හෝ සිය අඹුදරුවන්ට හෝ ජීවිතට රැකගන්නට කිසිදු පිහිටක් නොලැබෙන බව ඔවුහු ඉඳුරාම දැන සිටිය හ. ඉදිරියේ වූයේ මරණය පමණි.

මේ ඡායාරූපය හේතු කිහිපයක් නිසාම අප සිත් කම්පනය කරවයි. කෙතරම් කේඩෑරී විය ගොස් තිබුණ ද ඔවුහු තවමත් ජීවතුන් අතර සිටින්නට උත්සාහ කරමින් සිටින බව පෙනෙයි. ඔවුන් මුහුණ දී තිබෙන්නේ catabolysis  නම් තත්ත්වයට ය. එහිදි සිදුවන්නේ ශරීරය පෝෂණය කරවන්නට වෙනත් පෝෂණ මූලාශ්‍ර නොමැති නිසා ශරීරයේම පටක බිඳ දමා ඒවායෙන් ශරීරය පෝෂණය වීම ය.

පවුලේ පියා සිය ශරීරයේ අවසන් සවිය ද වැයකරමින් සිය පවුල ආරක්ෂා කරන්නට කල්පනා කරමින් සිටියි. ඉන්දියාවේ දිළින්දන් කුසගින්නේ මිය ගිය වග අනාගතය හමුවේ සනාථ කරන්නට මේ ඡායාරූපය කදිම සාක්ෂියක් ලෙස ශේෂවී පවතී.

Friday, August 11, 2023

ජීවිතය කියන්නේ මොකක්ද? Sad Fate of Nisha Ghimire



මේ පින්තූරයේ ඉන්නේ නිෂා ගිමිරේ. ඇය නේපාලයේ හිටපු මෝස්තර නිරූපණ ශිලිපිනයක් වගේම රංගන ශිල්පිනියක්.

2018 වසරේ දී ඇය තම වෘත්තීය ජීවිතයේ හිනිපෙත්තටම එනවා.

විශාල සමාගම් තමන්ගේ සන්නාම තානාපතිනිය බවට ඇයව පත්කරගන්න පොරකනවා. නේපාලයේ සහ ඉන්දියාවේ දේශපාලනයට සහ කලාවට සම්බන්ධ අතිශය ප්‍රසිද්ධ පුද්ගලයන් ඇගේ අවධානය ලබාගන්නට, ඇගේ ඇසුර ලබාගන්නට නොකරන දෙයක් නැහැ. 

2019 ජනවාරි මාසයේ ඇය මෝස්තර නිරූපණය සහ කුසලතා කළමනාකරණය සම්බන්ධ හැකියාවන් වර්ධනය කරගැනීම සඳහා ඉන්දියාවට එනවා. අවාසනාවන්ත විදියට එයින් මාස කීපයකට පසුව ඇය රිය අනතුරකට මුහුණ දෙනවා. 



ඇගේ පවුලේ අයට ඇයගේ ප්‍රතිකාර සඳහා වැය වන මුදල දරාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඇය ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම සිටින කාලයේ ඇය පසුපස ආපු සියලු දෙනා එකවරම අතුරුදහන් වෙනවා. උදව් කරන්න කවුරුවත් නැති වෙනවා. කිසිම දෙයක් කරගන්නට බැරි තැන ඇයව නැවත නේපාලයට රැගෙන එනවා.



ඉඳලා හිටලා එන යාළු මිත්‍රාදීන් ඇයගේ ඉරණම පෙන්වන ඡායාරූප අරන් සමාජ මාධ්‍යවලට මුදා හරිනවා. ඒත් ඇයට කාලයකටය පෙර ලැබුණු මනාප (Likes) කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඒවා දකින කිසිම කෙනෙක් ඇයට උදව් කරන්නට ඉදිරිපත් වෙන්නේ නැහැ.



දේශපාලනඥයෝ, කලා ක්ෂේත්‍රයේ ඇය පසුපස ආපු කවුරුවත් දැන් ඇයව හඳුනන්නේ නැහැ.

ඇය ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම ඉන්න කාලේ තමන්ගේ සන්නාමය ප්‍රවර්ධනය කරගන්න ඇයගේ අනුග්‍රහය ලබා ගන්න ආපු, ඇගේ කළමනාකරු විසින් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණු ව්‍යාපාරික මෙඝා චවුද්‍රිට සමාජජාල ඔස්සේ ඇගේ මේ ඉරණම දැනගන්නට ලැබෙනවා. 

ඔහු කෙසේ හෝ ඇගේ ජීවිතය ගලවාගන්නට ඉදිරිපත් වෙනවා.

නමුත් ඒ වන විට ප්‍රමාද වැඩියි. ඇය 2021 සැප්තැම්බර් 1 වැනිදා ජීවිතයට සමුදෙනවා. 



ඔබ ජයපැන් බොද්දි ඔබේ ළඟ සිටින කිසිම කෙනෙක් ඔබ පරාජය ලබන විට ඔබ අසලට පැමිණෙන්නේ නැහැ.

නිෂා ගිමිරේගේ කතාව අපට නැවත මතක් කරදෙන්නේ ඒ ජීවන යථාර්ථයම තමයි. 


Thursday, August 10, 2023

මොරිස් ගුඩ්මාන් නම් වූ ‘ආශ්චර්යවත් මිනිසා’ - Morris E. Goodman, The The Miracle Man


මොරිස් ගුඩ්මාන් ප්‍රකටව ඇත්තේ ‘ආශ්චර්යවත් මිනිසා’ නමිනි. The Secret කෘතිය සඳහා ඔහුගේ කතාව තෝරා ගන්නා ලද්දේ මිනිස් සිතෙහි ඇති කෙළවරක් නැති බලය සහ අසීමාන්තික විභව ශක්තිය එම කතාවෙන් පෙන්වා දෙන නිසාය. තමා තෝරා ගත් දෙය සාක්ෂාත් කරගන්නට අවශ්‍ය බලය තමා තුළ තිබෙන බැව් මොරිස් දැන සිටියේය. කළ නොහැකි කිසිවක් නැත. මිනිසුන් දහස් ගණනකට සිය නීරෝගී බව නැවත නගා සිටුවාගන්නට මොරිස් ගුඩ්මාන්ගේ කතාව මහඟු අත්වැලක් විය. සිය ජීවිතයට එල්ල වූ ප්‍රබල අභියෝගය ඔහු ශ්‍රේෂ්ඨ තිළිණයක් බවට හරවා ගත්තේය.

 

මගේ කතාව ආරම්භ වන්නේ 1981 මාර්තු 10 වැනිදා දින ය. මේ දිනය මගේ මුළුමහත් ජීවිතයම සැබවින්ම වෙනස් කළේය. එය මට කිසිදා අමතක නොවන දිනයකි. මම ගුවන් අනතුරකට ලක් වීමි. මා රෝහල් ගත වූයේ සහමුලින්ම අංශභාග රෝගියකු ලෙසිනි. මගේ ෂුෂුම්නාව බිඳී ගොස් තිබිණි. මගේ ගෙලෙහි පළමු හා දෙවැනි අස්ථි බිඳී ගොස් තිබිණි. ආහාර පාන ගිලීමට මට තවදුරටත් හැකියාවක් තිබුණේ නැත. මගේ මහා ප්‍රාචීර පේශීය විනාශ වී තිබිණි. මට හුස්ම ගැනීමට පවා හැකියාවක් තිබුණේ නැත. මට කළ හැකි වූ එකම දෙය වූයේ ඇසි පිය හෙළීම පමණි. වෛද්‍යවරු පැවසූයේ මගේ ඉතිරි ජීවිත කාලය මස් ගොඩක් සේ පමණක් ගෙවී යනු ඇති බවය. ඔවුන් මට මා ගැන පෙන්වූ පින්තූරය එය විය. නමුත් මට ඔවුන් සිතනා දෙයින් පලක් වූයේ නැත. මා කල්පනා කළේ මට සිතුණු දේ ගැන පමණි. මා නැවතත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන පුද්ගලයකුව, රෝහලෙන් පිටතට ඇවිද යන ආකාරය මම සිතින් දැකීමි.

රෝහලේ දී මට තිබූ එකම කාර්යය වූයේ මගේ සිත සමග ක්‍රියා කිරීමය. ඔබට ඔබේ සිත නිරවුල්ව ඇත් නම්, මේ සියල්ල නැවත තිබූ පරිදි එකලස් කළ හැකිය.

මා කෘත්‍රිම ස්වසන යන්ත්‍රයකට සම්බන්ධ කෙරිණි. මාගේ මහා ප්‍රාචීර පේශිය ඉරී ගොස් තිබුණු බැවින්, මට නැවතත් කිසිදා මගේ උත්සාහයෙන් හුස්ම ගැනීමට හැකියාවක් නොලැබෙන බව වෛද්‍යවරු පැවසූහ. නමුත් මට පිටුපසින් සිහිනයකින් මෙන් හඬක් ඇසිණි. “ගැඹුරින් හුස්ම ගන්න. ගැඹුරින් හුස්ම ගන්න.” ඒ හඬ මට පැවසූවේය. අවසානයේ එම හඬින් මා පිරී ගියේය. මා දකින දෙයින් මා මුදවාලන කිසිම දෙයක් කෙරෙහි මම අවධානය යොමු නොකළෙමි.

නත්තල් දිනය දා රෝහලෙන් පිටව ඇවිද යන්නට මම ඉලක්කයක් සරි කර ගතිමි. මම එසේ කළෙමි. මම, මගේම දෙපයින් ඇවිද ගියෙමි. එය සිදු විය නොහැක්කක් බැව් ඔවුහු පැවසූහ. මට එදින කිසිදා අමතක වන්නේ නැත.

මේ මොහොතේ එතැන සිටින, වේදනා විඳින මිනිසුන් වෙනුවෙන් මා පවසන්නේ, මා ජීවිතය නැවත ගොඩ ගත්තේ නම්, ඔවුන්ට ජිවිතයෙන් කළ හැකි දේ කුමක්දැයි පෙන්වා දෙන්නට අවශ්‍ය නම්, එය මට වචන කිහිපයකට කෙටි කළ හැකිය. “මිනිසා තමා සිතන පුද්ගලයා බවටම පත් වේ.

The Secret කෘතිය ඇසුරෙනි.

Sunday, August 6, 2023

යළි කිසිදා ගෙදර නොඑන එවරස්ට් ගිය මිනිස්සු - Why are the bodies of people who died in Everest not brought back?



එවරස්ට් කඳු මුදුන තරණය කිරීමේ ඉලක්කය ජය ගත නොහැකිව අතරමග දී ජීවිතයට සමු දුන් පුද්ගලයන්ගේ මළ සිරුරු එවරස්ට් තරණය යන්නන් නිතර දකින සුලබ දසුනක්. මේ අතරින් නැවත නිවසට රැගෙන එන්නේ ඉතාමත් ස්වල්ප සිරුරු ප්‍රමාණයක් පමණයි. බහුතරයක් ඒවා එසේම තිබෙන්නට හරිනවා.

මේවා නැවත නිවසට රැගෙන නො එන්නට හේතු කීපයක් ම තියෙනවා.

මේ ප්‍රදේශයේ පවතින අධික ශීතල දේශගුණය සහ දුෂ්කර භෞතික තත්ත්වය හැරුණු විට මේවා නැවත නිවසට රැගෙන ඒමට ඇති විශාලතම දුෂ්කරතාවක් වන්නේ මේ සිරුරු ඉතා ඉක්මනින් අයිස්වලින් වැසී යාමයි. ඒවා හොයා ගත්තත් අයිස්වලට ඉතාමත් ඉතා තදින් ඇලී අධික ලෙස මිදී පවතින නිසා නැවත රැගෙන ඒමක් ගැන සිතීම පවා කළ නො හැකි දෙයක්.



මේ කඳු මුදුන ආශ්‍රිතව පවතින අධික වායු පීඩනය නිසා මිනිස් සිරුරක් සාමාන්‍ය තත්ත්වයට වඩා දස ගුණයක පමණ බරකින් යුක්ත වෙනවා. සාමාන්‍ය පුද්ගලයකුට පවා තම සිරුරේ බර දරා ගෙන ගමන් කිරීම අධික වෙහෙසකාරී කාර්යයක්. එවන් තත්ත්වයක දී මිය ගිය පුද්ගලයකුගේ සිරුරක් රැගෙන ඒම, ජීවත් ව සිටින පුද්ගලයාගේ ජීවිතයට ද මරණය කැඳවීමක් වෙනවා.



ඒ වගේම එවරස්ට් කඳු මුදුන තරණය සඳහා සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් පනස් දහසක් (දැනට රුපියල පවතින තත්ත්වය අනුව එය රු. ලක්ෂ 15 කට ආසන්න මුදලක් වෙනවා) පමණ වියදම් වෙනවා. මළ සිරුරක් නැවත පහළට රැගෙන ඒම සඳහා ද ඒ තරම් ම මුදලක් වැය කළ යුතු වෙනවා.

මේ වගේ හේතු නිසා එවරස්ට් තරණයට ගොස් මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුර නැවත නිවෙස්වලට රැගෙන ඒම සිදු වන්නේ නැහැ. ඒවා සදා කල් එවරස්ට් කඳු අතරම තිබෙන්නට හරිනවා.