පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, April 30, 2014

ශ්‍රී ලංකාවේ වකුගඩු ජාවාරමක් හෙළිකරමින් මිය ගිය ඉන්දියාවේ දිනේෂ් - Dinesh, An Indian who died revealing a kidney business in Sri Lanka

දිනේෂ් මාරු
ලෝකයේ සියලු දෙයම තීරණය වන්නේ මුදල් මතය. අතීතයේදී විවිධ පුද්ගලයින් ගෞරවයට පාත්‍ර වූයේ ඔවුන්ගේ පරම්පරාගත කුලවත්භාවය, උසස්බව වැනි දේ මත වුව ද වර්තමානයේ එසේ නොවේ. ඔවුනට අවශ්‍ය අන් කිසිවක් නොව මුදල්ය. ඔවුනට ගෞරවය, තරාතිරම, බලය ආදිය ළඟා කර දෙන්නේ මුදල්ය. මේ නිසා  ඔවුහු මුදල් සෙවීම පිණිස ඕනෑම දෙයක් කරති.  බල්ලන් මරා හෝ සල්ලි සෙවීමපිළිබඳ මිනිසුන් සිතන්නේ එබැවිනි. නමුත් අප අවට ඇති විවිධ කූට ව්‍යාපාරයන්ට පින් සිදුවන්නට බල්ලනට මැරෙන්නට සිදු නොවේ. ශරීර කොටස් මුදලට අළෙවි කිරීම මේ අතුරින් එක් ප්‍රධාන, එහෙත් නීති විරෝධී ව්‍යාපරයකි. ඇස්, ඉස්, මස්, ලේ ආදිය තවෙකෙකුගේ හිතසුව පිණිස දන්දුන්නේ බෝසත් ගතිගුණ ඇත්තන්ය. ඒ සියලු සත්වයන්ගේ හිතසුව පිණිස බුද්ධත්වය අවබෝධ කරගන්නටය. නමුත් මුදල් පසුපස හඹා යන මිනිසාට බුද්ධත්වය හෝ වෙනත් කිසියම් අධ්‍යාත්මික සැනසීමක් අවශ්‍ය නැත. දිනේෂ කුමාර් මාරු නම් ඉන්දීය තරුණයාට ශ්‍රී ලංකාවේදී මිය යන්නට සිදුවන්නේ මේ පවිටු සමාජ ධර්මතාවය නිසාය.

අනුරාග් ෂර්මා

දිනේෂ් 26 හැවිරිදිය. ඔහු ඉන්දියාවේ හයිද්‍රාබාද් හි සුපිරි වෙළෙඳ සැළක කලමනාකරුවකු ලෙස සේවය කළේය. මේ අතරතුරේ සිය ෆේස්බුක් ගිණුම හරහා ඔහුට අලුත් මිතුරන් කිහිපදෙනෙකු හඳුනාගන්නට ලැබෙන්නේය. එයින් එක් පුද්ගලයකු වන්නේ ප්‍රසාන්ත් ය. දිනේෂ් හා මිතුරුවීමෙන් කිහිප දිනකට පසුව ඔහු මුදල් උපයන මාර්ගයක් පිළිබඳ දිනේෂ් හා කතා කරන්නට පටන්ගත්තේය. මීට අමතරව තවත් ෆේස්බුක් මිතුරන් 6 දෙනෙකුවත් වකුගඩු විකිණීම පිළිබඳ දිනේෂ් සමඟ කතාබහ කොට තිබිණි. මේ කතා බහ වැඩි වශයෙන් සිදුවූයේ ෆේස්බුක් ගිණුම ඔස්සේ නොව ඊමේල් හරහාය. ඔහු දිනක් පැවසූයේ වකුගඩුවක් විකිණීමෙන් සෑහෙන මුදලක් සොයාගන්නට හැකි බවය. ඉන්දියානු රුපියල් ලක්ෂ 4 - 15 (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 8 - 32) අතර මුදලක් වකුගඩුවක් වෙනුවෙන් ලබාගත හැකි බව දිනේෂ්ට දැනුම් දෙනු ලැබිණි. එමෙන්ම වකගඩු ව්‍යාපාරයෙන් අනතුරුව කොළඹින් රැකියාවක් සොයා දෙන බවට ද දිනේෂ්ට පවසා තිබිණි. එකවර එතරම් මුදලක් සොයාගැනීමට අවස්ථාවක් ලැබීම පිළිබඳ ඔහු සිටියේ සතුටිනි. සියලු කටයුතු ඉතා වේගයෙන් සිදුවිය. ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගමන් බලපත්‍ර හා වීසා සකස් කිරීම සිදුකෙරිණි. මේ කටයුතු සඳහා මැදිහත් වී ඇත්තේ වෙන්කතේෂ් නමැති පුද්ගලයාය. දිනේෂ් සමඟ මෙසේ වකුගඩු විකිණීම සඳහා කිරාන් කුමාර්, අරාම් සර්ගාර් යන දෙදෙනා ද   සූදානම්ව සිටියහ. ඔවුනට ඉන්දීය රුපියල් ලක්ෂ පහ බැගින් ගෙවන්නට වෙන්කතේෂ් පොරොන්දු වී තිබිණි.

සැකකරුවන්

දිනේෂ් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර මුළින්ම ගොස් තිබුණේ ගුන්ටූර් කරාය. කිරාන් කුමාර් සහ අරාම් සර්ගාර් ඔහුට මුණගැසී ඇත්තේ එහිදීය.  ඔවුන් තිදෙනා එතැනින් චෙන්නයි කරා ගොස්  පසුගිය 22 වැනිදා (ඇතැම් වාර්තාවලට අනුව මාර්තු 23) ශ්‍රී ලංකාවට පැමිණියහ. දිනේෂ් ශ්‍රී ලංකාවට පැමිණි බැව් නිවැසියන් දැනගන්නේ තමා සිටින්නේ කොළඹ යැයි පවසමින් සිය සොයුරු ගනේෂ්ට දුරකතන ඇමතුමක ලබාදීමෙන් අනතුරුවය. ඔහු ගනේෂ්ට පවසන්නේ සුපිරි වෙළෙඳසැල් ව්‍යාපාරය සම්බන්ධ කාර්යයකට තමා කොළම පැමිණි බවය. ඒ පසුගිය මාර්තු 26 වැනිදාය. නමුත් ඒ පිළිබඳ නිවැසියන් කිසිවකු හෝ සැක පහළ කළේ නැත. වකුගඩුව සැත්කමකින් ඉවත්කිරීමට පෙර දිනේෂ් ඇතුලු තිදෙනාට අත්තිකාරම් මුදලක් අදාළ ජාවාරම්කරුවන් විසින් ලබාදී තිබිණි. මාර්තු 28 වැනිදා දිනේෂ් සිය මිතුරන් දෙදෙනා සමඟ මුහුදු වෙරළට ගිය අතර බීර පානය කරමින් අධික ලෙස දුම්වැටි ද උරන්නට පටන්ගෙන ඇත. මුහුදේ බොහෝ වේලාවක් නාන්නට ද ඔහු අමතක කළේ නැත.  පසුදා ඔවුහු වකුගඩු ඉවත්කිරීමේ සැත්කම වෙනුවෙන් කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ රෝහලකට ගියහ. රෝහලට ගොස් මොහොතකින් දිනේෂ්ගෙන් අසනීප ස්වභාවයක් දිස්වන්නට විය. ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර ඔහු එහි ගෙන එන අතරේ මියගොස් ඇති බව වෛද්‍යවරු පැවසූහ. ඒ මාර්තු 30 වැනිදාය. ශ්‍රී ලංකා පොලීසිය දිනේෂ්ගේ දුරකතනය ඔස්සේ ඔහුගේ සොයුරු ගනේෂ් අමතමින් පවසා සිටියේ දිනේෂ් මියගොස් ඇතිබවත්, ඔහුගේ සිරුර ජාතික රෝහලේ ඇති බවත්ය.
ගනේෂ් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය අමතා අවශ්‍ය මළසිරුර ලබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කොට ගත්තේය. මරණ පරීක්ෂණයෙන් පැවසුනේ දිනේෂ්ගේ මරණයට හේතුවී ඇත්තේ හෘදායාබාධයක් බවය. නමුත් තවමත් 26 හැවිරිදි වියෙහි පසුවන සිය සොයුරා මෙවැනි රෝගයකින් මිය යා නොහැකි බැවින් මෙය සැකකටයුතු මරණයක් බව ඔහු ඉන්දීය පොලීසිටය දැන්වූයේය. මේ අතරතුර දිනේෂ්ගේ ෆේස්බුක් ගිණුම හා ඔහුගේ ඊමේල් ගිණුම විවෘත කරන්නට ද ගනේෂ් කටුයතු කළේය. මෙම ගිණුම්වල මුරපද  කිසිවකු නොදැන සිටිමුත් වෙනත් තාක්ෂණික උපාය මාර්ගයකින් එම ගිණුම් විවෘතකරගන්නට හැකියාව ලැබිණි. සියල්ල හෙළිවන්නට පටන් ගැනුණේ් ඉන් අනතුරුවය. වකුගඩු අළෙවි කිරීමේ කටයුත්ත සම්බන්ධ හුවමාරු වූ ඊමේල් 50කට අධික සංඛ්‍යාවක් මෙහිදී හමුවිය. සිය සොයුරාගේ මරණයට හේතුවී ඇත්තේ නිසැකවම මෙම වකුගඩු ජාවාරම බව ඔහු සැක කළ අතර එය පොලීසියට ද දැන්වූයේය. වෙඩි නූල පත්තුවන්නට වූයේ ඒ සමඟය.

හයිද්‍රාබාද් පොලිස් කොමසාරිස් අනුරාග් ෂර්මා මේ පිළිබඳ විමර්ශන සිය භාරයට ගෙන ක්‍රිියාත්මක කරන්නට පටන්ගත් අතර මේ පිළිබඳව සොයා බලන්නට විශේෂ පොලිස් කණ්ඩායමක් ද ශ්‍රී ලංකාවට එවනු ලැබිණි. ඉන්දියාවේ මේ පිළිබඳව සොයා බලන විමර්ශන කණ්ඩායම මෙම වකුගඩු ජාවාරම සම්බන්ධව එන්. වෙන්කතේෂම්, ඩී. ෂන්මුඛා පවන් ශ්‍රීනිවාස්, රෙඩ්ඩි නාගර් සහ ගෝවින්ද් සූර්යනාරායන හෙවත් සුරේෂ් යන අය අත්අඩංගුවට ගනු ලැබිණි.

මෙම අවස්ථාවේදී මාධ්‍ය හමුවක් කැඳවූ අනුරාග් ෂර්මා පවසා සිටියේ මෙම පිරිස පසුගිය මාස කිහිපයේදී  ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයකුට වකුගඩු 21ක් පමණ මුදලට විකුණා ඇති බවය. වකුගඩු ඉවත්කිරීමේ සැත්කම් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් 3ක සිදුකෙරන බවත් ඔහු පවසා සිටියේය. මෙහිදී හෙළිකෙරුණු කරුණුවලට අනුව මෙසේ වකුගඩු අළෙවිකිරීමෙන් ජාවාරම්කරුවකුට ඉන්දියානු රුපියල් 50,000 - 150,000 (ශ්‍රී ලංකා රුපියල් 107,065 - 321,196) ක් පමණ හිමිවේ. මෙම ජාවාරම්කරුවන් වකුගඩු ප්‍රදානය කරන්නනට කැමති පුද්ගලයන් සොයාගනු ලබන්නේ www.ineedakidneynow.org සහ www.experienceproject.com වෙබ් අඩවිවලිනි. ඊට අමතරව ෆේස්බුක් සහ වෙනත් සමාජ වෙබ් අඩවි ජාල ඔස්සේ ද වකුගඩු ප්‍රදානය කරන්නන් සොයාගනු ලබයි. යමෙක් සිය වකුගඩුව ප්‍රදානය කිරීමට කැමැත්තක් දැක්වූ විගස මෙම ජාවාරම්කරුවෝ මේ බව ශ්‍රී ලංකාවෛ් ඔවුනගේ මිතුරු වෛද්‍යවරුන්ට දන්වා සිටිති. වෛද්‍යවරයාගේ අනුමැතිය ලද විගස අදාළ පුද්ගලයන් ඉන්දියාවේදී මූලික පරීක්ෂණවලට යොමුකෙරෙන අතර සියලු දේ පිළිබඳ සෑහීමකට පත්වන්නට හැකි නම් කොළඹට පැමිණීම සහ ආපසු යාම සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගනු ලබයි.

ශරීර අවයව ප්‍රදානය කිරීම සඳහා මෙසේ රටකින් රටකට ගමන් කිරීම ඉන්ද්‍රිය බද්ධ සංචරණය’ (Transplant Tourism) යනුවෙන් හඳුන්වනු ලබයි. මෙහිදී අවයවයක් අවශ්‍ය රෝගියා සේම අදාළ අවයවය ප්‍රදානය කිරීමට කැමති රෝගියා ද සැත්කම කරන රටට ගමන්කරයි. ඉන්ද්‍රිය බද්ධ සංචරණයසඳහා ලෝකයේ සුප්‍රකටම රට බවට පත්ව ඇත්තේ චීනය වන අතර එහි ටියැන්ජින් රෝහල මේ සඳහා විශේෂත්වයක් උසුලයි. අප නොදැන සිටියත් ජත්‍යන්තර තොරතුරුවලට අනුව ශ්‍රී ලංකාව ද යනු මිනිස් අවයව ජාවාරමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබේ. නමුත් අප රටේ පොලීසිය හෝ වෙනත් වගකිවයුතු ආයතන මෙය පිළිගන්නේ නැති බැව් පෙනේ. දිනේෂ් මාරුගේ සිදුවීම සම්බන්ධව සළකාබැලීමේදී මෙයට අප රටේ විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගේ සම්බන්ධතාවය හොඳින්ම පෙනෙන්නට තිබේ. වරදක් පෙනෙන්නට තිබියදී එය පිළිබඳ විභාග කිරීමට විශේෂ පැමිණිල්ලක් අවශ්‍ය නැතත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පවසන්නේ මේ පිළිබඳ පැමිණිලි කිසිවක් නැති බැවින් විමර්ශණය කිරීම අවශ්‍ය නැති බවය. එමෙන්ම අප රට ඉන්ද්‍රිය බද්ධ සංචරණයකේන්ද්‍රස්ථානයක යැයි එල්ලවන චෝදනාවන් ද වගකිව යුත්තන් බැහැරකරනු විනා එම චෝදනා සත්‍යදැයි සොයා බලන්නට කටයුතු කරන බව් නොපෙනේ. මේවා පිළිබඳ අද අදම නිසි පියවර නොගතහොත් මේ ආශ්චර්යමත් ශ්‍රී ලංකාවේ ශරීර අවයව සඳහා මිනිසුන් මරා දැමෙන දිනය ද වැඩි ඈතක නොවනු ඇත.








රාණි මුඛ්ර්ජි හොර රහසේම ඉතාලියේදී විවාහ වෙයි - Rani Mukherji's Secret Weding in Italy

රාණි සහ ආදිත්‍ය

රාණි මුඛර්ජි කියන්නේ අපි කවුරුත් හොඳින් දන්නා හඳුනන බොලිවුඩ් නිළියක්. සාමාන්‍යයෙන් හින්දි චිත්‍රපට බලන ඕනෑම කෙනෙක් රාණි ව දන්නවා. කුච් කුච් හෝතා හේ, සාතියා, චල්තේ චල්තේ, හම් තුම්, වීර් සාරා වගේ අතිශය ජනප්‍රියත්වයට පත්වුණු බොලිවුඩ් චිත්‍රපටවල ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වුණේ ඇය යි. මේ ළඟදි රාණි ගැන පුංචි ආරංචියක් ආවා. ඒ තමයි ඇය විවාහ වුණු බව. ඇය විවාහ වුණේ ආදිත්‍ය චොප්රා සමගයි. ආදිත්‍ය කියන්නේ සිනමා අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් වගේම තිර පිටපත් රචකයෙක්. දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ, ඩූම් 1, 2 හා 3, මොහාබතීන්, රබ්නේ බනා ඩි ජෝඩි වැනි සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කළේ ඔහුයි.

පායල්

පසුගිය දින කිහිපයේ අන්තර්ජාලය හරහා පැතිර ගිය උණුසුම් පුවතක් වූයේ ආදිත්‍ය චොප්රා සහ රාණි මුඛර්ජි වැඩි සද්දයක් නැතිවම විවාහ වූ බවයි. ඒ පහුගිය අප්‍රේල් 21 වැනිදා ඉතාලියේදී.

රාණි සහ ආදිත්‍ය අතර තිබුණු ආදරයට දැන් සෑහෙන කාලයක් වෙනවා. විවාහය කියන එක රාණි අලුත් අත්දැකීමක් වුණත් ආදිත්‍ය නම් එක වරක් විවාහ වූ කෙනෙක්. ඔහු 2001 දී පායල් ඛන්නා සමඟ විවාහ වුණා. පායල් ඛන්නා කියන්නේ ආදිත්‍යගේ පාසල් කලෙයේ පෙම්වතිය. ඇය ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පිනියක්. ආදිත්‍යගේ සිනමා නිර්මාණ බොහොමයකට ඇය සයි මෝස්තර නිර්මාණවලින් උදව් කළා. නමුත් ආදිත්‍යගේ දෙමාපියක් මේ කාසාදයට ඒ තරම් කැමැත්තක් නොදැක්වූ බවයි පේන්න තිබුණේ. කොහොම නමුත් පාසල් කාලයේ පෙම්වතිය සමඟ ආදිත්‍ය හදපු කූඩුව 2009 දි බිඳ වැටුණා. පායල් දිගින් දිගටම පවසා සිටියේ තමන්ගේ විවාහයට කණකොකා හැඬුවේ රාණි නිසා බවයි. රාණි සහ ආදිත්‍ය අතර ආදර සම්බන්ධය වසර ගණනාවක් තිබුණත් ඔවුනට විවාහ වෙන්න අවස්ථාවක් නැති වුණේ පායල් දික්කසාදයට බාධා කළ නිසයි. දික්කසාදය ලබාදෙන්නට නම් ඇය කෝටි ගණනක වන්දියක් ඉල්ලා සිටියා. දික්කසාදය වසරින් වසර ඇදී යන විට ඇය මේ වන්දි ප්‍රමාණයක් ටික ටික වැඩි කළා. ඒත් ආදිත්‍ය මේ වගේ වන්දියක් දෙන්න නම් කැමැති වුණේ නැහැ.

ආදිත්‍ය චොප්රා හැරණාම රාණි ගැනත් කනින් කොනින් තවත් ආරංචිත් ඇහෙනවා. රාණි ආමීර් ඛාන්, ගෝවින්ද, අභිෂේක් බච්චන්, ෂාහිඩ් කපූර් වගේ බොලිවුඩ් තරුත් එක්කත් ආදරේ රස විඳළා තියෙනවා. ඒත් සිනමාවේ හැටි දන්න නිසාදෝ ආදිත්‍ය මේවා ගැන වැඩිය ගණන් ගන්න පෙනුමක් නැහැ. එහෙම ගණන් ගත්තේ නැති නිසානේ ඉතාලියේදි කසාද බැන්දෙත්.

රාණිගේ රසික රසිකාවියෝ නම් කියන්නේ ආදිත්‍ය එක්ක විවාහ වෙන්න එපා කියලයි. ඒත් දැන් විවාහ වෙලා ඉවරයි.

කොහොම වුණත් රාණි සහ ආදිත්‍ය කුමන මොහොතේ හෝ විවාහ වේ යැයි මාධ්‍ය බලාගෙන හිටියා. ඒත් මේ විදියට වැඩි සද්දයක් නැතිව මේක සිද්ධ වෙයි කියලා කවුරුවත් හිතුවේ නැහැ. මේ සම්බන්ධව මාධ්‍ය හරහා නොයෙක් විදියේ කට කතාත් පැතිරිලා ගියා. කොහොම වුණත් දැන් මේ හැම දෙයක්ම ඉවරයි කියලයි හැමෝම කියන්නේ.

මේ විවාහයට සම්බන්ධ වෙලා තියෙන්නේ ළඟම මිතුරු මිතුරියන් සහ පවුලේ පිරිස විතරයි. නමුත් රාණි මාධ්‍ය ප්‍රකාශනයක් කරමින් පවසා සිටියේ තමන්ගේ ජීවිතේ ප්‍රීතිමත්ම දිනය ලොව වටා සිටින තමනගේ රසික රසකාවියන් සමඟ බෙදා හදාගන්නට කැමැති බවයි. ඉතාලියේ ගම්බද පළාතක පැවැත්වුණු මේ චාම් විවාහ උත්සවය ඉතා සුන්දර බව ඇය පවසනවා.

ෂාරුක් ඛාන් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන කරන් ජොහාර් මේ අවස්ථාවය සුබ පැතූ බවත් සඳහන්.


මේ දවස උදාවෙන කල් මගේ රසික රසිකාවින් ඇඟිළි ගනිමින් බලා සිටිය බව මම දන්නවා.රාණි මාධ්‍ය ප්‍රකාශනයෙන් එසේ ද පවසා සිටියා. 

ඔබේ ගෙඋයනටත් සැබෑ සොඳුරු රෝස වගාවක් - Lets Grow Rose in our Home Garden


ලෝකයේ විවිධ මල් වර්ග තිබුණත්, විවිධ පුද්ගලයන් විවිධ මල් වර්ගවලට කැමැත්තක් දැක්වූවත්, තවමත් ලෝකයේ ජනප්‍රියතම මල් වර්ගය ලෙස කිරුළු පළඳින්නේ රෝසය. එයටම ආවේණික සුවඳකින් යුක්ත රෝස ලෝකයේ මේතරමටම ජනප්‍රියත්වයට පත්වන්නට එක් හේතුවක් වන්නට ඇත්තේ ආදරය සහ මේවා ඇතර ඇති දැඩි සම්බන්ධතාවය නිසාම වන්නට පුළුවන. ප්‍රේමවන්තයෝ ආදරයේ සංකේතයක් ලෙස  රෝසමල් හුවමාරු කරගනිති. මේ නිසා ලොව පුරා රෝස මල් සඳහා ඇත්තේ ඉහළ මෙන්ම අඛණ්ඩ ඉල්ලුමකි. අප රටේ වුව ද වැලෙන්ටයින්ගේ දිනය යනුවෙන් හැඳින්වෙන පෙම්වතුන්ගේ දිනයේදී එක් රෝස මලක මිල රුපියල් දහස් ගණන් දක්වා ඉහළ යන අවස්ථා ද පැවති බව රහසක් නොවේ. 

රෝස මල්වල ඉතිහාසය ක්‍රිස්තු පූර්ව යුගය දක්වාම විහිද යයි. ලෝකයේ විවිධ රටවලින් රෝස මල්වල පොසිල හමුවී තිබේ. මුල් කාලයේ රෝස යනු කැලෑවල වැඩුණු මල් වර්ගයකි. අද ලෝකයේ දක්නට ලැබෙන සියලු රෝස වර්ග ලබාගෙන ඇත්තේ මෙම කැලෑ රෝසමල් ඇසුරෙනි. මෙතරම් ජනප්‍රියත්වයක් සහ ඉල්ලුමක් ඇති රෝස ඔබට තම නිවසේ ක්‍රමවත්ව වගාකරගැනීමට හැකියාවක්, ඉඩ පහසුකමක් ඇත්නම් එය ගෙවත්තේ අලංකාරයට පමණක් නොව ආර්ථිකය පැත්තෙන් ද වාසියක් වනු නිසැකය. අප මේ ලිපියෙන් ඔබට ඒ සඳහා අවශ්‍ය කරන මූලික අඩිතාලමක් දමන්නට අපේක්ෂා කරමු. 

දැනට වගා කෙරෙන රෝස වර්ග ගණනාවක් වෙයි. හයිබ්‍රිඩ් ටී, ෆ්ලොර්බණ්ඩා, කුරු, වැල්, පඳුරු, ලෙස එක් ආකාරයකිනුත්, ඇලෙක්ස්, ඇල්ෆා ෆයින් සන්සෙට්, චිකාගෝ ෆිෂ්, ගෝල්ඩ් ක්‍රවුන්, පීස් වැනි නම්වලින් හැඳින්වෙන පරිදි තවත් ආකාරයකිනුත් රෝස වර්ග කෙරේ. 
ආර්ථික වශයෙන් වාසියක් ලබාගැනීමට නම් රෝස නිවැරදි ආකාරයෙන් වගා කළ යුතු වේ. අවශ්‍ය පස හඳුනා ගැනීම, රෝසවලට වැළඳෙන රෝග, යෙදිය යුතු පොහොර, කප්පාදු කිරීම, බෝකර ගැනීම ආදිය පිළිබඳ මූලික අවබෝධයකින් යුක්තව රෝස වැවීම සිදු කළහොත් සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීමට හැකි වනු ඇත. 

අපේ රටේ විවිධ පළාත්වල ඇත්තේ විවිධාකරයේ පස්වර්ගයන්ය. සෑම පස්වර්ගයක්ම රෝස වගාවට සුදුසු නොවේ. කෙසේ වුවද ඔබට ඔබේ ගෙවත්තේම රෝස වගාව සඳහා අවශ්‍ය බිමක් හා වටපිටාවක් සකසාගත හැකිය. ඔබේ ගෙවත්තේ හොඳින් හිරු එළිය පතිත වන ස්ථානයක් මේ සඳහා තෝරාගත යුතුය. අඩි 1x1 වලවල්වල හෝ බඳුන්වල පැළ සිටුවිය යුතුය. පාත්තිවල සිටුවන්නේ නම් පැල අතර පරතරය අඩි 1 1/2ක් විය යුතු වේ. පාත්ති පිළියෙල කිරීමේදී වඩාත් සුදුසුතම දෙය වන්නේ අඩියක් පමණ ගැඹුරට පස් කපා ඉවත්කොට එම පස් වෙනුවට රෝස වගාව සඳහා සුදුසු වගා මාධ්‍යක් සකස් කොට එයින් එම පාත්ති පිරවීමය. මේ මාධ්‍ය සඳහා වියළි ගොම කොටස් 1, රතුපස් හෝ මතුපිට පස් කොටස් 2 සහ වැලි හෝ අඩක් පිළිස්සූ දහයියා කොටස් 1ක් යොදාගත යුතුය. 

ඔබ වෙළෙඳ පොලෙන් මිලදී ගත් රෝස පැළ හොඳින් වර්ධනය වූ පසු පැල බෝකරගැනීම සඳහා ඒවාම යොදා ගැනීමට පුලුවන. අතු බැඳීම, කපා අතු සිටුවීම, බද්ධ කිරීම, හෝමෝන කිරීම, බීජ මගින් බෝකරගැනීම වැනි විවිධ ක්‍රම මගින් රෝස පැල බෝකර ගත හැකිය. මේ කුමන ආකාරයට හෝ සකස්කරගන්නා රෝස පැල සිටවූ පසු එයට හොඳින් ජලය යොදා පැලය අවට පිරිසිදුව තබාගැනීමට සැළකිලිමත් විය යුතුය. රෝස සඳහා පොහොර සැකසීමේදී ඇමෝනියා සල්ෆේට් කොටස් 2, සුපර් පොස්පේට් කොටස් 2 හා පොටෑසියම් සල්පේට් කොටස් 1 ක් වශයෙන් මිශ්‍රකරගත යුතුය. මේ සම්බන්ධයෙන් ගෙවතු පොහොර අළෙවි කරන ස්ථානවලින් ඔබට වැඩිදුර උපදෙස් ලබාගත හැකිය. 

වර්ධනය වෙමින් පවතින රෝස පඳුරු සදහා කාබනික පොහොර යෙදීම අත්‍යවශ්‍ය වේ. පඳුර වටා ඇති පස් ඉවත්කොට හොඳින් දිරන ලද ගොම පොහොර හෝ කොම්පෝස්ට් පොහොර යොදා කලින් ඉවත් කල පස්වලින් වැසිය යුතුවේ. මේ අවස්ථාවේදීම රෝස පඳුර කප්පාදු කොට පොහොර යෙදීමෙන් මාස 2 -3 කාලයකදී අලුත් මල් ලබාගත හැකිය. 

රෝස වගාවේදී දැනගත යුතු තවත් වැදගත්ම දෙයක් වන්නේ රෝස අතු කප්පාදුවයි. මේ සඳහා වඩාත් සුදුසුතම කාලය ලෙස සැළකෙන්නේ අප්‍රේල් මාසයයි. අතු කප්පාදුවේදී පොලොවේ සිට අඟල් 5ක් ඉහළින් ඇති සියලු අතු කපා දැමිය යුතුය. කිනිති කුණුවීම වැළැක්වීම සඳහා කැපූ ස්ථානවල දිලීර නාශක ආලේපකිරීම සුදුසුය. අතු කැපීම සඳහා සැත්කම්වලට යොදාගන්නා කතුරක් හෝ තියණු ලෙස කැපෙන කතුරක් යොදාගත යුතු වේ. 

රෝග හා පළිබෝධ පිළිබඳව දැනුවත්ව සිටීම ද වැදගත්ය. රෝස සඳහා වැළදෙන ප්‍රධානතම රෝගයක් වන්නේ ‛කලුපුල්ලි’ රෝගයයි. පත්‍ර කහපාට වී කලු පුල්ලි ඇතිවීම මෙහි ඇති ලක්ෂණ වේ. වර්ෂාව සමඟ මෙය ශීඝ්‍ර ලෙස පැතිර යන අතර ක්ෂණික පළිබෝධ නාශකයක් යෙදීම අනිවාර්ය වේ. ප්‍රොපිනොබ් හෝ බීනොවිල් අඩංගු මේ සඳහා යෝග්‍යය. කලුපුල්ලි රෝගයට අමතරව කඳමැරීමේ රෝගය හෙවත් පසු මැරීම, සුදු පුස් රෝගය මෙන්ම කූඹින්, පිටි මකුණා, කොරපොතු කෘමියා, කඳ විදින පණුවා ආදීන්ගෙන් ද රෝස වගාවට හානි පැමිණේ. 

රෝස නඩත්තුවෙදී පහත සඳහන් කරුණු ගැන සැළකිලිමත් විය යුතුය. 

1. ග්‍රාහක කඳෙන් වැවෙන වැල් රෝස අතු වැඩීමට ඉඩ නොතබන්න. ඒවා මුළින්ම ගළවා ඉවත් කරන්න. 
2. පැළ පරීක්ෂා කර ප්‍රමාණවත් ලෙස ජලය යොදන්න. 
3. මල් හට නොගන්නා අතු ඇත්නම් පොළොවේ සිට අඟල් 8ක් පමණ ඉහළින් කප්පාදු කරන්න. 
4. මාස 6කට වරක් පමණ වියළි ගොම පොහොර පැළ වටා යෙදීමෙන් ශාක හොඳින් වර්ධණයවීමට උපකාරී වේ. 
5. පර වූ මල් ඉවත් කිරීමේදී නටුවේ පර්වයන් (කඳේ ගැට දෙකක් අතර ප්‍රදේශය) 3ක් පමණ පහළින් අත්ත කපා ඉවත් කරන්න. එවිට එම ස්ථානයේ නිරෝගී රිකිළි හට ගනී. 


සතුන්ටත් අපට වගේ හිතන්න පුලුවන්ද? - Can Animals Think Like us?

අයර්නි පෙපරබර්ග් සහ ඇලෙක්ස්


මෑතක් වන තුරුම බටහිර වැසියන්ගේ ආගමික විශ්වාසය වුයේ සතුන් යනු මනුෂ්‍ය පුත්‍රයාගේ ප්‍රයෝජනය උදෙසා දෙවියන් විසින් මවන ලද්දක් විදිහටයි. මිනිසාගේ ප්‍රයෝජනය විදිහට මෙතැනදී වැඩි වශයෙන්ම කියැවෙන්නේ ආහාර පිණිස යන තේරුමින්. නමුත් පටු ආගමික රාමුවෙන් මිදී වඩාත් නිදහස් ලෙස සිතන්නට හුරුවීමෙන් පසු මිනිසුන් මේ අදහස එලෙසින්ම පිළිගන්නට කැමැත්තක් දැක්වූයේ නැහැ. සතුන්ටත් මිනිසුන්ට සේම මේ මිහිතලයේ සම උරුමයක් ඇති බව පිළිගන්නට ඔවුන්ට සිදුවුණා. නමුත් අතීතයේ සිටම සතුන් පිළිබඳ පෙරදිග වැසියන්ගේ ආකල්පය මීට හාත්පසින්ම වෙනස් වුණා. බුදුන් වහන්සේ පවා දේශනා කළේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියායි. මිහිඳු මා හිමියන් එක අවස්ථාවක පවසා තිබුණේ මේ මිහිතලය මිනිසාට පමණක් නොව සියලු සතුන්ගේ සම උරුමයක් ඇති බවයි. මේ අදහස දැන් බටහිර ලෝකයේ බහුතරයක් පිළිගෙන තිබෙනවා. අපේ පන්සිය පනස් ජාතක පොතේ බෝසතාණන් වහන්සේ සත්ව කූලවල ඉපදී බුද්ධිමත්ව ක්‍රියා කළ අවස්ථාවන් අපට ගොඩක් දකින්න ලැබෙනවා. ඒ ඇතැම් කතාවල මිනිසුන්ට වඩා තිරිසන් සතුන් උතුම් බව ඔප්පු වුණු අවස්ථා බොහොමයි.

මනැසින් උසස් යන අරුත ඇතිව මිනිසායන වදන අපට හිමිව තිබුණත් මිනිසුන් අතර නොමිනිස්කම් ඇති අයවලුන් ඕනෑ තරම් දකින්නට පුලුවන්.  වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද - දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇතවගේ ගීත ලියැවෙන්නට හේතුවත් මේ වගේ නොමිනිස්කම් ඇති මිනිසුන් නිසයි. මිනිසා තිරිසන් සතෙකු සේ හැසිරෙන අවස්ථා අපට නිතර විවිධ මාධ්‍ය ඔස්සේද අසන්නට ලැබෙනවා. නමුත් අප වැඩිපුර කතා නොකළත්, අසන්නට නොලැබුණත් මේ සඳහන් කළ කාරණයේ අනෙක් පැත්ත සිදුවන අවස්ථා මේ ලෝකයේ ඕනෑ තරම් දැකගන්නට පුලුවන්. අනෙක් පැත්ත කියා අදහස් කළේ තිරිසන් සතුන් ළඟ ඇති උතුම් ගතිගුණ ගැනයි. අපට එවැනි සිදුවීම් වැඩිපුර අසන්නට අවස්ථාවක් නැත්තේ ඇතැම් විට මාධ්‍ය ඒවාට එතරම් ප්‍රසිද්ධියක් ලබානොදෙන නිසා වන්නටත් පුලුවන්. නමුත් සතුන් අතරින් ප්‍රකටවන උතුම් ගතිගුණ ගැන තොරතුරු අතීතයේ වාගේම වර්තමානයේදීත් අපට සොයාගන්න පුලුවන්. පනාමුරේ ඇත් රාජා ගැන කතාව සමහරවිට ඔබ දන්නවා ඇති. තමන්ගේ රන්චුව වෙනුවෙන් ජීවිතේ පූජා කළ ඒ කතාව අදටත් අමතකවන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ හාම්පුතාගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කළ, හාම්පුතා හදිසි අනතුරුවලින් බේරාගත්, හාම්පුතාට සිදුවුණු අනතුරු ක්ෂණිකව අන් අයට දැන්වූ සුනඛයන් ආදී සතුන් පිළිබඳව ලොව නන්දෙසින් තොරතුරු ලැබෙමින් තිබෙනවා.

සත්තුන්ට මේ වගේ උතුම් ගතිගුණ පිහිටන්නේ ඔවුන් අපි හිතනවාට වඩා, දන්නවාට වඩා ඉහළ බුද්ධි මට්ටමක ඉන්න නිසයි. මේ ගැන අවබෝධයක් නැති නිසයි අපි හුඟ දෙනෙක් අතින් සතුන්ට හිංසා පීඩා සිද්ධ වෙන්නේ. සතුන් ගැන අතීතයේදී සංවේදීව නොබලපු බටහිර රටවල් අද ආසියානු අපටත් වඩා සතුන් ගැන සිතන්න පටන් අරන්. සතුන්ටත් අපට වගේම හැඟීම් දැනීම් තියෙන බව ඔප්පු කරලා පෙන්වන්න පර්යේෂණ පවත්වන්නෙත් ඔවුන්මයි.

අතීතයේ පටන්ම සතුන්ගේ විවිධ මානසික හැකියාවන් ගැන මිනිසුන් දැන සිටියත් මේ ගැන දිගින් දිගට හොයන්න පටන්ගත්තේ චාර්ල්ස් ඩාවින්ගේ විද්‍යාත්මක පර්යේෂණවලින් පසුවයි.

වර්ෂ 1977 දී හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙන් පිටවුණු අයර්නි පෙපර්බර්ග් අපූරු පර්යේෂණයක් කළා. සතුන්ටත් මිනිසුන්ට වගේ හිතන්න පතන්න පුලුවන් කියලා බටහිර බොහෝ දෙනෙක් මේ කාලය වනවිටවත් විශ්වාස කළේ නැහැ. ඇය අවුරුද්දක පමණ වුණු  අප්‍රිකානු අලු ගිරවෙක් හුරතලයට හදන්න පන්ගත්තා. ඇය මේ අලුගිරවාට ඇලෙක්ස් කියලා නමකුත් තැබුවා. ඇය මේ ගිරවා තමන්ගේ පර්යේෂණාගාරයට අරගෙන ගිහින් ඉංග්‍රීසි භාෂාවේ විවිධ ශබ්ද නගන හැටි පුරුදුකරන්න පටන්ගත්තා. ගිරවට කතා කරන්න පුලුවන් වුණොත් එයා මේ ලෝකේ දේවල් ගැන හිතන හැටි විස්තර කරයි කියලා මට හිතුණාඅයර්නි එහෙම කිවවා. අයර්නි ගිරවත් එක්ක කතා කරන්න පටන්ගත්තා. සතුන්ටත් මිනිසුන්ට වගේ සිතන්න පුලුවන් කියලා මේ අවස්ථාව වෙනකල්වත් විද්‍යාඥයෝ දැනගෙන හිටියේ නැහැ. ඔවුන් සිතුවේ සතුන් කියන්නේ හිතක් පපුවක් නැති ජීවීන් පිරිසක් කියලා පමණයි.  එහෙම වුණත් හැම සතෙක්ම හුදෙක් භෞතික වස්තුවක් කියල හිතන අය හැරුණාම, සුරතලයට සතුන් හදන්න පුරුදුවෙලා ඉන්න අය නම් සමහරවිට එහෙම හිතන්නේ නැතිවෙන්නත් පුලුවන්. ඔබේ නිවසේ බලුපැටියාට කෑම දෙනකොට ඌ කෘතඥ පූර්වකව වල්ගය වනන්නේ වලිගය වැනීම ජානමය පුරුද්දක් නිසා නෙවෙයි. ඕනෑම සුනඛයෙකුට අවබෝධයක් තිබෙනවා තමන්ට ආදරේ කරන්නේ කවුද කියන එක. ඒ වෙනුවෙන් කෘතඥතාවය පළකරන්නේ ඔවුන් තුළ යම්කිසි අවබෝධයක්, බුද්ධි මට්ටමක් ඇති නිසයි.

අයර්නිගේ සුරතල් ගිරවා, ඇලෙස්ක් වැඩිකාලයක් යන්නට මත්තෙන් හොඳට කතාකරන්න පටන්ගත්තා. නමුත් හුඟ දෙනෙක් කිව්වේ මේක තේරුමක් නැති වැඩක් කියලයි. අයර්නි ටික දවසක් යනකොට ඇලෙක්ස්ට තව ගිරව් යාලුවෝ දෙන්නෙක් ගෙනත් දුන්නා. දවසක් අයර්නි, ඇලෙක්ස්ව නාට්‍යයක් බලන්න අරගෙන ගියා. මේ වෙනකොට ඇලෙක්ස් සෑහෙන්න වචන හුරු පුරුදු වෙලයි තිබුණේ. මේ නාට්‍යය බලලා ආවට පස්සේ තමයි හොඳම දේ සිද්ධ වුණේ. ඇලෙක්ස් තමන්ගේ යාලුවෝ දෙන්නට අර නරඹපු නාට්‍යයේ මතක තිබුණු කොටස් රඟපාලා පෙන්නුවා. ගිරවෙක් වගේ කුඩා සතෙකුට එවැනි දෙයක් මතකයේ තබාගෙන කරන්නට යම්කිසි බුද්ධියක් තිබිය යුතුමයි. එසේ නොමැතිව මෙවැනි දේවල් සිදුකරන්න බැහැ.

අප අපගේ බුද්ධි ඵලය ගැන කතා කරනවා. නමුත් සු්නගේ එවැනි දෙයක් ගැන කතා කරන්නේ නැහැ. නමුත් නවීන පර්යේෂණවලින් හෙළිවී තිබෙන්නේ සෑම සතෙකුටම යම්කිසි ප්‍රමාණයකින් බුද්ධි ඵලයක් ඇති බවයි.

තමන්ගේ වර්ගයාට යම්කිසි කරදරයක් සිදුවූ විට සිංහයන්ට පවා පහර දෙන්නට පසුබට නොවන ගවයන් වර්ග පිළිබඳ වාර්තා චිත්‍රපට අප ඕනෑ තරම් දැක තිබෙනවා. ඔවුන්ට මේ අවබෝධය ලැබෙන්නේ ජානමය පුරුද්දට වඩා අදාළ තත්වය පිළිබඳව ක්ෂණිකව ලැබෙන අවබෝධයත්, ඒ සඳහා ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද යන්නත් ගැන ව්‍යවහාර බුද්ධියක් පවතින නිසයි.


සතුන් කියන්නේ බුද්ධියක් නැති, සිතන්නට නොහැකි කොට්ඨාශයක් ලෙස ඔබ සිතා සිටියා නම් එය වෙනස් කරගන්නට මෙය හොඳම අවස්ථාවක්. 

ශ්‍රී ගෞතම සම්බුද්ධ ටෙලි නාට්‍යය - Sri Gauthama Sambuddha Tele Drama

වේදන්ත් දත්තානි

සෑම බෞද්ධයකුගේ ලොව ආදර්ශවත්ම චරිතය ලොව්තුරු බුදුරජාණන් වහන්සේයි. ජීවිතයක් නිවැරදිව හැඩගස්වා ගැන්මට උන් වහන්සේගේ චරිතයෙන් ලැබෙන්නේ ඉමහත් ආදර්ශයක්. බුදුන් වහන්සේගේ චරිතය සිනමා නිර්මාණයකට නැගීම මුල් කාලයේ යම් යම් අභියෝගවලට ලක්වන සුළු කාර්යයක් වුණා. නමුත් පසුව විවිධ නිර්මාණකරුවන් මෙයට අතගැසුවා. අප රටේ ද මේ සම්බන්ධව සිනමා නිර්මාණයක් එළිදුටුවා. නමුත් මේ සෑම නිර්මාණයකම විවිධ අඩුපාඩු තිබුණු බව රහසක් නොවෙයි. බුදුන් වහන්සේගේ චරිතය අප හමුවේ දිගහරින නවතම ටෙලි නාට්‍ය මාලාවක් ශ්‍රී ගෞතම සම්බුද්ධනමින් දෙරණ රූපවාහිනියෙන් පසුගිය මාර්තු 29 දා විකාශනය ආරම්භ කළා. අපි මේ කතා කරන්නට සූදානම් වන්නේ ඒ ගැනයි.

අසිත තවුසා ලෙස - කබීර් බේඩි 

අප රටේ ශ්‍රී ගෞතම සමුබුද්ධයනුවෙන් විකාශනය කෙරෙන මෙය ඉන්දියානු නිෂ්පාදනයක්. එහි හින්දි නම වන්නේ බුද්ධ - රාජාවොන් කා රාජා’ (බුදුන් වහන්සේ - රජුන්ගෙත් රජු) යන්නයි. මෙය 2013 සැප්තැම්බර් 6 වැනිදා ඉන්දියාවේ සී ටීවීහා දූර්දර්ශන්යන නාලිකා ඔස්සේ සෑම ඉරිදාවකම පෙ.ව. 11 ට විකාශනය ආරම්භ කෙරුණා. ඉන්දියාවේ මෙය විකාශනය වූයේ පැයක ධාවන කාලයක් සහිත කොටස්  52කින් යුක්තවයි.  ධර්මේෂ්ගේ අධ්‍යක්ෂණයෙන් හා බී.කේ. මෝඩිගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වුණු මෙහි පර්යේෂණ කටයුතු සහ පිටපත සකස්කිරීම සඳහා ඉන්දියාවේ සුප්‍රකට සිනමා නිර්මාණවේදීන් දෙපළක් වන් අශුතෝෂ් ගෝවාරිකාර් සහ ශේකර් කපූර් ඉහළ දායකත්වයක් ලබාදුන්නා.

සිදුහත් කුමරා ලෙස -හිමන්සු සෝනි 

ඉන්දියානුවන්ගෙන් බහුතරය හින්දු ආගම ඇදහූවත් ඔවුන් බුදුන් වහන්සේ සළකන්නේ සිය රටේ උපන් අති ශ්‍රේෂ්ඨතම ඉන්දියානු පුත්‍රයා ලෙසටයි. හින්දූන් තරම් බුදුන් වහන්සේට ගෞරව කරන බෞද්ධ නොවන වෙනත් පිරිසක් ලොව නැති තරම්. ඇතැම් හින්දු ඉගැන්වීමවල බුදුන්වහන්සේට හින්දු ආගමේ සුවිශේෂත්වයක් ද ප්‍රදානය කොට තිබෙනවා. ඒ විෂ්ණුගේ දස අවතාරවලින් නව වන අවතාරය ලෙසින්. ඒ අනුව ඔවුන් බුදුන් වහන්සේ චරිතය ටෙලි නිර්මාණයක් බවට පත් කරන්නේ එම ගෞරවය මුල්කරගෙනයි. ඒ නිසා ඔවුන්ගේ නිර්මාණ තුළ බුදුන් වහන්සේගේ චරිතයට හානිවන කිසිවක් ඇතුළත් නොකිරීමට වගබලාගෙන ඇති බවයි පැවසෙන්නේ.

මහාමායා දේවිය ලෙස - දීපිකා උපාද්‍යායි 

ශ්‍රී ගෞතම සම්බුද්ධටෙලි  නාට්‍යයේ අසිත තවුසා ලෙස කබීර් බේඩි රංගනයෙන් දායක වනවා. කබීර් බේඩි යනු හොලිවුඩ් චිත්‍රපටවලට පවා දායක වීමෙන් විශ්ව කීර්තියට පත් ඉන්දියානු සිනමා ශිල්පියෙක්. මහාමායාදේවියගේ චරිතය මුළින්ම නිරූපණය කරන්නට සිටියේ සෂ්මිකා සිංග් වුවත් පසුව ඒ සඳහා දීපිකා උපාද්‍යායි තෝරාගනු ලැබුවා. සිදුහත් කුමරුගේ පියාණන් වන සුද්දෝධන රජු ලෙස චරිතය නිරූපණය කරන්නේ සමීර් ධර්මාධිකාරී. ප්‍රධාන චරිතය වනසිද්ධාර්ථ චරිතය නිරූපණය කරන්නේ හිමන්සු සෝනිසිද්ධාර්ථ කුමරුන්ගේ ළමා කාලය නිරූණය කරන්නේ වේදන්ත් දත්තානි නම් දරුවායි. ඔහුට ඒ අවස්ථාව ලැබි ඇත්තේ ස්ටාර් ප්ලස්රියැලිටි වැඩසටහනකින් පසුවයි.2010 වසරේ ඉන්දියානු රූ රැජින තරගයේ අවසන් 10 දෙනා අතරට තේරී පත්වුණු කාජල් ජායින් යශෝධරා කුමරියගේ චරිතයට පණ දෙනවා.

සුද්දෝදන රජු ලෙස - සමීර් ධර්මාධිකාරි 

මෙම ටෙලි නාට්‍යය නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දීය රුපියල් මිලියන 100ක (ශ්‍රී ලංකා රුපියල් 213939400 - 21 කෝටියක් පමණ) පමණ මුදලක් වැය වී තිබෙනවා.

යශෝදරා ලෙස - කාජල් ජායින් 

ඇඳුම් සහ ආභරණ නිර්මාණය නිධි යාෂාගේ වන අතර දර්ශන තල සැකැස්ම වර්ෂා ජායින් විසින් සිදුකොට තිබෙනවා. පසුගිය වසරේ වෙසක් මංගල්‍යය යෙදී තිබූ සතියේ එක් දිනක් වූ  මැයි 27 වැනිදා සුබ මොහොතින් මෙහි  මුල්ම කොටස රූපගත කොට තිබෙනවා.

ප්‍රජාපතීගෝතමිය ලෙස -ගන්ගුන් උප්රාරි

ඉන්දියාවේ විකාශනය කෙරුණු මුල්ම දිනයේම නේපාලයේ කේබල් රූපවාහිනි ආයතන මෙය විකාශනය කිරීම තහනම් කළා. එයට හේතුව වූයේ බුදුන් වහන්සේ උපන්නේ ඉන්දියාවේ යනුවෙන් මෙම නාට්‍යයේ සඳහන් වීමයි.  එය බහුතරය බෞද්ධයන් වූ නේපාල වැසියන්ට දරාගත නොහැකි දෙයක් යැයි එම කේබල් රූපවාහිනි සමාගම් පවසා තිබුණා. බුදුන් වහන්සේ උපන් ලුම්බිණිය පිහිටා ඇත්තේ නේපාලයේ බැව් ඓතිහාසික මෙන්ම පුරා විද්‍යාත්මකවත් තහවුරු වී තිබෙනවා. යුනෙස්කෝව පවා මෙය තහවුරු කොට සංස්කෘතික ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබෙනවා. පසුව මෙම නාට්‍යයේ නිෂ්පාදක කණ්ඩායම මෙම වරද නිවැරදි කළා. ඔවුන් සිය නිල වෙබ් අඩවියෙන් මේ සම්බන්ධව නේපාල වැසියන්ගේ සමාව පවා ඉල්ලා තිබුණා.


දැන් ශ්‍රී ගෞතම සම්බුද්ධදෙරණ නාලිකාවෙන් සෑම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම රාත්‍රී 8.30ට ඔබට නරඹන්නට පුලුවන්. 

Tuesday, April 29, 2014

වැඩිපුර වතුර බොන එකත් අනතුරුදායකයි - Drinking of too much water is Dangerous


ජලය හෙවත් H2O යනු අප ජීවිතයට අත්‍යවශ්‍යම දෙයකි. ආහාර නොමැතිව සිටිය ද ජලය නොමැතිව ජීවත්වීම කළ නොහැකි දෙයකි. මිනිස් සිරුරෙන් 66%ක්ම සමන්විත වන්නේ ජලයෙනි. ජලය අපගේ රුධිරය ඔස්සේ ගමන් කරයි. සෛලවල ජීවත්වෙයි. සෑම මොහොතකම දහදිය, මළ මුත්‍ර, ප්‍රස්වාසය සහ තවත් වෙනත් ක්‍රම ඔස්සේ අප සිරුරෙන් ජලය ඉවත්වෙයි. මෙසේ ඉවත්වන ජලය සිරුරට නැවත ලබාදීම අත්‍යවශ්‍ය දෙයකි. නමුත් එය අනවශ්‍ය පිරිදි සිදුකිරීම ද හිතකර කටයුත්තක් නොවේ. මන්ද ඕනෑම යහපත් දෙයක් වුවත්, පමණ ඉක්මවා සිදුකිරීම අවසානයේදී අහිතකර වියහැකි නිසාය.

ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ 28 හැවිරිදි ජෙනිෆර් ස්ට්‍රේන්ජ් නම් කාන්තාව ගුවන් විදුලි නාලිකාවක් මගින් පවත්වන ලද දිය පානය කිරීමේ තරගයකටසහභාගිීවීමේ ප්‍රතිඵලයක් ලෙස මිය ගියාය. මරණ පරීක්ෂණයේදී පැවසුනේ අධික ලෙස ජලය පානය කිරීම මෙම මරණයට හේතුවී ඇති බවය. ඇය පැය තුනක කාලයක් ඇතුළත ජලය ලීටර් 6ක් පානය කොට තිබිණි. මුළින්ම ඇයට වමනය යන්නට වූ අතර පසුව තදබල හිසරදයක් වැළඳිණි. ඇය මිය ගියේ ජලයෙන් මත්වීමනිසා යැයි සඳහන්ය. අධික ලෙස ජලය පානය කිරීම නිසා රුධිරය පමණ ඉක්මවා තනූක වීම හෙවත් දියාරු වීම නිසා හයිපොනට්‍රිමියා’ (hyponatremia ) නම් තත්වයක් ඇතිවෙයි. මරණයට පත්වන්නට හේතුවන්නේ මෙම තත්වයයි.

හයිපොනට්‍රෙමියාජන වචනය ගොඩනැගී ඇත්තේ රුධිරයේ ලවණ හිඟතාවයනම් අරුතැති ලතින් හා ග්‍රීක වදන්වල සම්මිශ්‍රණයකිනි. ප්‍රමාණාත්මකව සඳහන් කළහොත් මෙයින් කියැවෙන්නේ රුධිරය ලීටරයක ඇති සෝඩියම් සාන්ද්‍රණය මිලිමෝල (millimoles  - මිලිමෝල යනු රසායන විද්‍යාවේදී භාවිතවන මිණුම් ඒකකයකි)  යනු  135 ට වඩා අඩුවීමය. එසේත් නැත්නම් ආසන්න වශයෙන් ගැලුමකට අවුන්ස 0.4කි. සාමාන්‍යයෙන් රුධිරය ලීටරයකට මිලිමෝල 135 - 145 අතර පැවතිය යුතුය. හයිපොනට්‍රෙමියාව වඩාත් අසාධ්‍ය වූ විට ජලය නිසා ඇතිවන මත්භාවයට හෙවත් ජල මත්භාවයට පත්විය හැකිය. මෙහිදී හිස කැක්කුම, විඩාව, වමනය, නිතර මුත්‍රාකරීමට ඇති අවශ්‍යතාවය සහ මානසික අසමබරතාවය ඇතිවේ.

මිනිස් වකුගඩුවල ඇති ලක්ෂ ගණනක් වූ නාලිකා පෙරහණයක් ලෙස ක්‍රියාකරමින් ජලය, ලවණ හා අනෙකුත් ද්‍රාව්‍යයන් වෙන්කරයි. යම්කිසි පුද්ගලයෙක් කෙටි කාලයක් ඇතුළත පමණ ඉක්මවා ජලය පානය කළහොත් එතරම් ජල ප්‍රමාණයක් ඉතා වේගයෙන් පෙරන්නට වකුගඩුවලට නොහැකි වෙයි. එවිට එම ජලය රුධිරය සමඟ මිශ්‍ර වෙයි. රුධිරය සමඟ මිශ්‍රවන ජලය අවසානයේ ගමන් කරන්නේ සෛල කරාය. අධික ජල සාන්ද්‍රණයක් ජලයෙහි ඇති බැවින් සෛල ඉදිමෙන්නට පටන්ගනී.

මේදය හා මාංශ පේශීමය ස්වභාවයක් ඇති බොහෝ සෛලවල ඇදෙන සුළුබවක් පැවතීම නිසා ඒවාට ප්‍රමාණයෙන් විශාලවීමේ හැකියාවක් පවතී. නමුත් මස්තිෂ්කයේ හෙවත් මොලයේ ඇති සෛලවලට මෙම හැකියාව නැත. මස්තිෂ්ක සෛල හිස්කබලේ දෘඩ අස්ථි තුළ ඉතා තදින් ඇසිරී පවතී. රුධිරය සහ මස්තිෂ්ක ෂුෂුම්නා දියරය පැවතිය යුත්තේද මේ ඉඩ තුළමය. මෙවැනි තත්වයක් තුළ සෛලවලට ඉදිමෙන්නට ඉඩක් නොමැති බව ඇමරිකා එක්සත් ජනපදයේ ඩියුක් සරසවියේ චිකිත්සක ස්නායු විද්‍යාඥයකු වන වොල්ෆෑන්ග් ලියඩ්ට්කේ පවසයි.

මෙවැනි තත්වයක් තුළ මස්තිෂ්කය ඉදිමීම අනතුරුදායක තත්වයක් බවට පත් වේ. සීග්‍ර හා දරුණු හයිපොනට්‍රෙමියාතත්වයකදී මස්තිෂ්ක සෛලවලට ජලය ඇතුළුවීම මස්තිෂ්කයේ ඉදිමීමට හේතු වේ. මෙය මස්තිෂ්ක ආබාධ, කොමා, ස්වසන නැවතීම සහ අවසානයේ මරණයට ද හේතු විය හැකි යැයි ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් මහ රෝහලේ  සහ හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය එම්. අමින් ආර්නෝට් පවසයි.

නමුත් අප කුඩා කල සිටම අසා ඇත්තේ හැකි තරම් ජලය පානය කිරීම නිරෝගී ජීවිතයක මගපාදන එක් සාධකයක් බවය. දිනකට ජල වීදුරු අටක්වත් පානය කළ යුතු යැයි පැවසෙන කතාවේ සත්‍යතාවය පිරික්සා බැලීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ඩාර්ට්මවුත් වෛද්‍ය විද්‍යාලයේ වකුගඩු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු වන හේන්ස් වැලිටින් පරීක්ෂණයක් සිදු කළේය. එම පරීක්ෂණයෙන් පසු ඔහු නිගමනය කළේ දිනකට ජල වීදුරු අටක් පානය කිරීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මගපාදන්නක් බවට තහවුරු කළ හැකි කිසිදු සාධකයක් නොමැති බවය.
ජලය විෂවීමයැයි මෙහිදී සඳහන් කළ තත්වය අධික ලෙස ජලය පානය කිරීම නිසා පමණක්ම ඇතිවන්නක් නොවේ යැයි ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජ්ටවුන් සරසවි වෛද්‍ය මධ්‍යස්ථානයේ සභාපතිවරයා වන ජෝශෆ් වර්බලිස් පවසයි.    මෙය අධික ලෙස දියර ශරීරයට ලබාදීම සහ ඇන්ටිඩියුරෙටික් හෝමෝනයේ වෑස්සීම අතර සහසම්බන්ධතාවය මගින් සිදුවේ. හයිපොතැලමස මගින් නිපදවනු ලබන මෙම හෝමෝනය රුධිර ධාරාවට වෑස්සෙන අතර සිරුරේ ජලය ආරක්ෂාකරගන්නැයි එමගින් වකුගඩුවලට උපදෙස් දෙයි. ශාරීරික ආතතිමය අවස්ථාවලදීද මෙහි වෑස්සීම් දක්නට ලැබේ. උදාහරණයක් ලෙස මැරතන් ධාවන තරගයක් වැනි සිරුර අධික ලෙස වෙහෙසවන අවස්ථාවක් දැක්විය හැකිය. එවිට යම් පුද්ගලයෙක් අධික ලෙස ජලය පානය කළ ද මෙවැනි අවස්ථාවකදී සිදුවන්නේ සිරුරේ ජලය ආරක්ෂාකිරීමය.

නීරෝගී වකුගඩුවකට සාමාන්‍යයෙන් සෑම පැයකටම ජලය මිලි ලීටර් 800 - 1,000 (ගැලුම් 0.21 -  0.26) වැනි ප්‍රමාණයක් පෙරන්නට හැකියාව තිබේ. එබැවින් යම් පුද්ගලයෙක් පැයකට පානය කළ යුතු ජල ප්‍රමාණය වන්නේ ද මිලි ලීටර් 800 - 1,000 අතර ප්‍රමාණයකි. සාමාන්‍ය පුද්ගලයෙකු මැරතන් ධාවනයක් වැනි ශාරීරික ආතති අවස්ථාවකට පත්වීමේදී මෙම හෝමොන්ය වෑස්සීම ද අධිකව සිදුවෙයි. එවිට වකුගඩු සිය ජලය පෙරීමේ වේගය බොහෝ පහත හෙළයි. එය ඇතැම් විට පැයකට මිලිලීටර් 100ක් තරම් විය හැකිය.

ව්‍යයාමකිරීමේදී ඔබ පානය කරන ජලය ප්‍රමාණය ඔබෙන් පිටවන දහදිය ප්‍රමාණය අතර සම්බරතාවයකින් පවත්වාගනත යුතුවේ. ක්‍රිඩාවේදී යොදාගැනෙන විවිධ පාන වර්ග ගැනීමේදීද සැළකිලිමත් විය යුතුය. කෙසේ හෝ පැයකට ඔබෙන් දහදිය ලෙස මිලිලීටර් 500 ක් පිටවන්නේ නම් ඔබ ජලය පානය කළයුත්තේ එම ප්‍රමාණය පමණි.


නමුත් දහදිය පිටවීම මැනීම යනු පහසු කටයුත්තක් නොවේ. පානය කළ යුතු ජලය ප්‍රමාණය කුමක්දැයි ඔබ තීරණය කළ යුතුය. පිපාසය ඇතිවිට පමණක් ජලය පානය කිරීම සෑහෙන බැව් වර්බලිස් පවසයි.