පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, April 30, 2014

ශ්‍රී ගෞතම සම්බුද්ධ ටෙලි නාට්‍යය - Sri Gauthama Sambuddha Tele Drama

වේදන්ත් දත්තානි

සෑම බෞද්ධයකුගේ ලොව ආදර්ශවත්ම චරිතය ලොව්තුරු බුදුරජාණන් වහන්සේයි. ජීවිතයක් නිවැරදිව හැඩගස්වා ගැන්මට උන් වහන්සේගේ චරිතයෙන් ලැබෙන්නේ ඉමහත් ආදර්ශයක්. බුදුන් වහන්සේගේ චරිතය සිනමා නිර්මාණයකට නැගීම මුල් කාලයේ යම් යම් අභියෝගවලට ලක්වන සුළු කාර්යයක් වුණා. නමුත් පසුව විවිධ නිර්මාණකරුවන් මෙයට අතගැසුවා. අප රටේ ද මේ සම්බන්ධව සිනමා නිර්මාණයක් එළිදුටුවා. නමුත් මේ සෑම නිර්මාණයකම විවිධ අඩුපාඩු තිබුණු බව රහසක් නොවෙයි. බුදුන් වහන්සේගේ චරිතය අප හමුවේ දිගහරින නවතම ටෙලි නාට්‍ය මාලාවක් ශ්‍රී ගෞතම සම්බුද්ධනමින් දෙරණ රූපවාහිනියෙන් පසුගිය මාර්තු 29 දා විකාශනය ආරම්භ කළා. අපි මේ කතා කරන්නට සූදානම් වන්නේ ඒ ගැනයි.

අසිත තවුසා ලෙස - කබීර් බේඩි 

අප රටේ ශ්‍රී ගෞතම සමුබුද්ධයනුවෙන් විකාශනය කෙරෙන මෙය ඉන්දියානු නිෂ්පාදනයක්. එහි හින්දි නම වන්නේ බුද්ධ - රාජාවොන් කා රාජා’ (බුදුන් වහන්සේ - රජුන්ගෙත් රජු) යන්නයි. මෙය 2013 සැප්තැම්බර් 6 වැනිදා ඉන්දියාවේ සී ටීවීහා දූර්දර්ශන්යන නාලිකා ඔස්සේ සෑම ඉරිදාවකම පෙ.ව. 11 ට විකාශනය ආරම්භ කෙරුණා. ඉන්දියාවේ මෙය විකාශනය වූයේ පැයක ධාවන කාලයක් සහිත කොටස්  52කින් යුක්තවයි.  ධර්මේෂ්ගේ අධ්‍යක්ෂණයෙන් හා බී.කේ. මෝඩිගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වුණු මෙහි පර්යේෂණ කටයුතු සහ පිටපත සකස්කිරීම සඳහා ඉන්දියාවේ සුප්‍රකට සිනමා නිර්මාණවේදීන් දෙපළක් වන් අශුතෝෂ් ගෝවාරිකාර් සහ ශේකර් කපූර් ඉහළ දායකත්වයක් ලබාදුන්නා.

සිදුහත් කුමරා ලෙස -හිමන්සු සෝනි 

ඉන්දියානුවන්ගෙන් බහුතරය හින්දු ආගම ඇදහූවත් ඔවුන් බුදුන් වහන්සේ සළකන්නේ සිය රටේ උපන් අති ශ්‍රේෂ්ඨතම ඉන්දියානු පුත්‍රයා ලෙසටයි. හින්දූන් තරම් බුදුන් වහන්සේට ගෞරව කරන බෞද්ධ නොවන වෙනත් පිරිසක් ලොව නැති තරම්. ඇතැම් හින්දු ඉගැන්වීමවල බුදුන්වහන්සේට හින්දු ආගමේ සුවිශේෂත්වයක් ද ප්‍රදානය කොට තිබෙනවා. ඒ විෂ්ණුගේ දස අවතාරවලින් නව වන අවතාරය ලෙසින්. ඒ අනුව ඔවුන් බුදුන් වහන්සේ චරිතය ටෙලි නිර්මාණයක් බවට පත් කරන්නේ එම ගෞරවය මුල්කරගෙනයි. ඒ නිසා ඔවුන්ගේ නිර්මාණ තුළ බුදුන් වහන්සේගේ චරිතයට හානිවන කිසිවක් ඇතුළත් නොකිරීමට වගබලාගෙන ඇති බවයි පැවසෙන්නේ.

මහාමායා දේවිය ලෙස - දීපිකා උපාද්‍යායි 

ශ්‍රී ගෞතම සම්බුද්ධටෙලි  නාට්‍යයේ අසිත තවුසා ලෙස කබීර් බේඩි රංගනයෙන් දායක වනවා. කබීර් බේඩි යනු හොලිවුඩ් චිත්‍රපටවලට පවා දායක වීමෙන් විශ්ව කීර්තියට පත් ඉන්දියානු සිනමා ශිල්පියෙක්. මහාමායාදේවියගේ චරිතය මුළින්ම නිරූපණය කරන්නට සිටියේ සෂ්මිකා සිංග් වුවත් පසුව ඒ සඳහා දීපිකා උපාද්‍යායි තෝරාගනු ලැබුවා. සිදුහත් කුමරුගේ පියාණන් වන සුද්දෝධන රජු ලෙස චරිතය නිරූපණය කරන්නේ සමීර් ධර්මාධිකාරී. ප්‍රධාන චරිතය වනසිද්ධාර්ථ චරිතය නිරූපණය කරන්නේ හිමන්සු සෝනිසිද්ධාර්ථ කුමරුන්ගේ ළමා කාලය නිරූණය කරන්නේ වේදන්ත් දත්තානි නම් දරුවායි. ඔහුට ඒ අවස්ථාව ලැබි ඇත්තේ ස්ටාර් ප්ලස්රියැලිටි වැඩසටහනකින් පසුවයි.2010 වසරේ ඉන්දියානු රූ රැජින තරගයේ අවසන් 10 දෙනා අතරට තේරී පත්වුණු කාජල් ජායින් යශෝධරා කුමරියගේ චරිතයට පණ දෙනවා.

සුද්දෝදන රජු ලෙස - සමීර් ධර්මාධිකාරි 

මෙම ටෙලි නාට්‍යය නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දීය රුපියල් මිලියන 100ක (ශ්‍රී ලංකා රුපියල් 213939400 - 21 කෝටියක් පමණ) පමණ මුදලක් වැය වී තිබෙනවා.

යශෝදරා ලෙස - කාජල් ජායින් 

ඇඳුම් සහ ආභරණ නිර්මාණය නිධි යාෂාගේ වන අතර දර්ශන තල සැකැස්ම වර්ෂා ජායින් විසින් සිදුකොට තිබෙනවා. පසුගිය වසරේ වෙසක් මංගල්‍යය යෙදී තිබූ සතියේ එක් දිනක් වූ  මැයි 27 වැනිදා සුබ මොහොතින් මෙහි  මුල්ම කොටස රූපගත කොට තිබෙනවා.

ප්‍රජාපතීගෝතමිය ලෙස -ගන්ගුන් උප්රාරි

ඉන්දියාවේ විකාශනය කෙරුණු මුල්ම දිනයේම නේපාලයේ කේබල් රූපවාහිනි ආයතන මෙය විකාශනය කිරීම තහනම් කළා. එයට හේතුව වූයේ බුදුන් වහන්සේ උපන්නේ ඉන්දියාවේ යනුවෙන් මෙම නාට්‍යයේ සඳහන් වීමයි.  එය බහුතරය බෞද්ධයන් වූ නේපාල වැසියන්ට දරාගත නොහැකි දෙයක් යැයි එම කේබල් රූපවාහිනි සමාගම් පවසා තිබුණා. බුදුන් වහන්සේ උපන් ලුම්බිණිය පිහිටා ඇත්තේ නේපාලයේ බැව් ඓතිහාසික මෙන්ම පුරා විද්‍යාත්මකවත් තහවුරු වී තිබෙනවා. යුනෙස්කෝව පවා මෙය තහවුරු කොට සංස්කෘතික ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබෙනවා. පසුව මෙම නාට්‍යයේ නිෂ්පාදක කණ්ඩායම මෙම වරද නිවැරදි කළා. ඔවුන් සිය නිල වෙබ් අඩවියෙන් මේ සම්බන්ධව නේපාල වැසියන්ගේ සමාව පවා ඉල්ලා තිබුණා.


දැන් ශ්‍රී ගෞතම සම්බුද්ධදෙරණ නාලිකාවෙන් සෑම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම රාත්‍රී 8.30ට ඔබට නරඹන්නට පුලුවන්. 

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න